බව නිරෝධය සහ සමුදය නිරෝධ කිරීම

අද වන විට බොහෝ භාවනා මධ්‍යස්ථානවල සංඥා නිරෝධ කිරීමක් ගැන පෙන්වා දෙන බවත්, උගන්වන බවත් අසන්නට ලැබෙන බවත් පෙන්වා දිය යුතුයි. බුද්ධ දේශණාවේ නම් කිසි විටකත්, කිසි තැනකත් සංඥා නිරෝධයක් නම් අනු දැන වදාරා නැත. මෙවන් වූ සංඥා නිරෝධයක් ගැන කථා කරන, දේශණා කරන, භාවනා ගුරුවරුන් ලෙස පෙනී සිටින බොහෝ දෙනා ”සංඥා” යනුවෙන් පෙන්වා වදාළ බුද්ධ දේශණාවේ සඳහන් ”නාම” කොටසට අයත් පදය හෝ ”නිරෝධ” කිරීම යන ක‍්‍රියා පදයේ හෝ අර්ථය නොදැනම කථා කරන බවත් පෙන්වා දිය යුතුය. සංඥා නිරෝධ කළ පුද්ගලයා අසංඥ තත්ත්වයට පත්වීම නියත වශයෙන්ම සිදු වෙයි. අසංඥ තත්ත්වයට පත්වූ පුද්ගලයෙකුට සිතේ මතු වන කෙළෙස් ප‍්‍රහාණය කර දැමීමට හෝ එසේ ක‍්‍රියා කිරීමට හෝ කෙළෙස් මුල් උදුරා සිත පිරිසිදු කර දැමීමට හෝ අවශ්‍ය වන හොඳ සිහිකල්පනාවක් නොපවතී. තමන්ගේ සිතට අරමුණු වන සියලුම සංඥා එනම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්භ සංඥා හා මනෝ සංඥා කෙරෙහි පිරිසිදු සතින් අවධානයෙන් පසු වී, (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා) ඒ අරමුණු වෙන් කර, තෝරා බේරා ගෙන, ඒවා භාවිතා කළ යුතු යහපත් අරමුණු ද (සතෝව අස්ස සති) ඒ අරමුණු භාවිතයෙන් බැහැර කළ යුතු කෙළෙස් සහිත අරමුණුද යන්න තෝරා බේරා ගෙන සතියෙන් යුතුව ක‍්‍රියා කිරීම කළ යුතුය. ඒ මිස සංඥා නිරෝධ කිරීමක් පිළිබඳව බුද්ධ දේශණාවේ නම් කොතැනකවත් සඳහන් කර නැති බව අවධාරණයෙන්ම සඳහන් කර පෙන්වා දෙන්නට කැමැත්තෙමු.

මේ අනුවම බුද්ධ දේශණාවේ ඇස නැමති ඉන්ද්‍රියය නිරෝධ කිරීමක් හෝ කන ආදී අනෙක් ඉන්ද්‍රියයන් නිරෝධ කිරීමක් ගැනද මාගධී භාෂාවෙන් නම් අනුදැන වදාරා නැත. ඉන්ද්‍රියයන් ක‍්‍රියාත්මක නොවන කලක ඉන්ද්‍රියයන්ට සංඥා නොලැබෙන කලක ඔහු අන්ධයෙකු, බිහිරෙකු ලෙසින් සැළකිය හැකිවා මිස සතියෙහි පිහිටා භාවනා කරන්නෙකු ලෙසින් සැළකිය හැකි නොවේ. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් මෙන්ම මනීන්ද්‍රියද අසංඥ තත්ත්වයට පත් කළ විට මානසික රෝගින් වනවා මිස භාවනා කරමින් සිත පිරිසිදු කර ගැනීමේ යහපත් චේතනාව නම් සම්පූර්ණ වන්නේද නැත. බුද්ධ දේසණාවෙන් පෙන්වා වදාළේ ”සමුදය” නිරෝධ කිරීම පිළිබඳවයි. ”යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” ලෙසින් පෙන්වා දුන් පැහැදිළි කිරීමද අද වැරදියට අර්ථ ගන්වා ඇත. ”සමුදය” යනු සං උදය වීමයි, සං උපත ලැබීමයි. සං උපත ලැබීමට මුල් වූ, නිදාන වූ, ප‍්‍රත්‍යය වන හේතුවන කරුණු ලෙසින් සම්මා දිට්ඨි සූත‍්‍රයේ කරුණු 15ක්ම පෙන්වා දී ඇති අතර මේ සියලු කරුණු නිරෝධ කළ හැකි අතර ඒ මගින් සිදුවන්නේ ”භව” නිරෝධයෙන් සමුදය (සංභව) නිරෝධ වීමයි. මෙහිදී ”නිරෝධ” යන මාගධී පදයේ අර්ථය නිර්උදා යන්නයි. එයම ”අනුත්පාදෝ” යන නොඋපදවීම යන තේරුමෙන්ද භාවිතා කර ඇත. කෙළෙස් ගති සිතක ඉපදීම ආරම්භ වනවාත් සමගම ඒ බව දැක මේ ගති නොඋපදවා සිතින් බැහැර කිරීම නිරෝධ කිරීම යන ක‍්‍රියාවයි. ”නිරෝධ” යන පදයේම ප‍්‍රතිපක්ෂ වූ අර්ථය ගෙනෙන පදය රෝද කිරීමයි. දහසක් සිතුවිලි පැවැත්වීම, චිත්ත විථි දිගේ සිතින් රවුම් ගැසීම, අරමුණක් සිතට ලැබුණු විට ඒ අරමුණ කාමච්ඡන්දයට අදාළ කාම විතර්කයක් නම්, ව්‍යාපාදයට අදාළ ව්‍යාපාද විතර්කයක් නම්, මෝහයෙන් කරුණු ලබන විහිංසා විතර්කයක් නම් ඒ බව දැන හඳුනා ගෙන ඒ මොහොතේම ඒ අරමුණ දිගේ රවුම් ගැසීම, සිතින් රෝද කිරීම නවතා දැමීමට ක‍්‍රියා කිරීම ”නිරෝධ” කිරීමයි. ඒ කෙළෙස් සහිත වූ අරමුණ දිගේ සිතින් රවුම් ගැසීම රෝද කිරීම නවතා දමා ඒ වෙනුවට ඒ අරමුණට ප‍්‍රතිපක්ෂ වූ වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණක් සිත තුළ මතුකර වගාකර ගැනීම, ‘‘අනතිවත්තන අර්ථයෙන්’’ භාවනා කිරීම යන ක‍්‍රියාකාරකම මගින් ද විග‍්‍රහ කර ඇත.

සිතක් තුළ සමුදය උපදින මූලික කරුණු 15ක්ම සම්මා දිට්ඨි සූත‍්‍රයේදී පෙන්වා දී ඇත. මේ කරුණු 15 ම නිසා සමුදය උපදින අතර සමුදය නිරෝධ කිරීම මගින්ම ”සංභව” නිරෝධ කළ හැකිය. ”හේතුං පටිච්ච සංභූතං – හේතු භංගා නිරුජ්ඣති” යනුවෙන් පෙන්වා වදාළේ මේ සමුදය නිරෝධ කිරීමයි. අවිද්‍යා සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථාවන් හා කම්ම, කෙළෙස්, ආසව හා ආහාර යන හේතුන් නිසාද සමුදය බිහි වන බවත් මේ කිනම් අවස්ථාවක් හෝ අනුත්පාද ලෙසින් නිරෝධ කළ හැකි නම් ඒ අනුවම සංභව නිරෝධ වන බවත් ඉතාම පැහැදිළි ලෙසින් පෙන්වා වදාරා ඇත. සම්මා දිට්ඨි සූත‍්‍රයේ දී පෙන්වූ නිරෝධ කළ හැකි කාරණා අතර ”සංඥා” යන්න පෙන්වා දී නැත. බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේත් ඉතිරි ජීවිත කාලය පුරාම සංඥා භාවිතා කළ යුතුය. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් භාවිතා කළ යුතුය. එසේ කරන ලද්දේය. නමුත් සංඥාවලට පටිච්ච වීමෙන් සමුදය නම් බිහි කළේ නැත. ඒ නිසා සියලු අරහතුන් වහන්සේලාම සමුදය නිරෝධ කිරීමක් කරනු මිස සංඥා නිරෝධ කිරීමක් නොකරන බව පැහැදිළිව ම තේරුම් ගත යුතුයි.

සංඥා නිරෝධ කළහොත් ඒ පුද්ගලයා අසංඥ තත්ත්වයට, විසංඥ තත්ත්වයට පත්වෙනු ඇත. එවන් අය මානසික රෝගීන් බවට පත් වීමද මේ අනුවම සිදු වෙනු ඇත. මේ අනුව සංඥා නිරෝධ කිරීමක් ගැන අනරිය භාවනා ක‍්‍රමවල දැක්වූවත්, බුද්ධ භාවනා ක‍්‍රමවල නම් අන්තර්ගත වී නැත. අනුමත කළේද නැත. ධර්මාවබෝධයක් නැති අශ‍්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෝ් පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කර නොගැනීම නිසාම බොහෝ විට සංඥා නිරෝධ කිරීමක් ගැන අද කථා කරති. පොත් පත් වල ද ලියා දක්වති. බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” යන්න වැරදියට තේරුම් කරදීම මෙයට බොහෝ විට මුල් වන්නට ඇති බවත් පෙන්වා දිය යුතුය. ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” සමවදින්නේ අරහතුන්වහන්සේලා පමණි. මෙතැනදී සිදු වන්නේ සංඥාවක් නිසා අරමුණු වන සුව වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛම අසුව වේදනාවකට හෝ පටිච්ච නොවී සංපස්සජා වේදනා තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිසා ලබන නිරාමිස සුවයට පත් වීමයි. මේ නිසා සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වූ අරහතුන්වහන්සේ අනිමිත්ත, අප්පණිහිත යන සමාපත්තීන් වලටත් සමවැදීමෙන් සිදු කරනු ලබන්නේ සංඥාව මගින් උත්පාදනය වන වේදනාව (සුව වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්ඛම අසුඛ වේදනා) නිරෝධ කිරීමක් පමණි. වේදනාවක් ඇති වීම නිසා තණ්හා උපාදාන හා සංභව සිතක හටගනී. වේදනා නිරෝධ කිරීම නිසා උපේක්ඛා සිතින් සංඛාර උපේක්ඛා ඥාණයෙන් යුතුව ක‍්‍රියා කිරීමෙන් සිදු කරනු ලබන්නේ වේදනා නිරෝධ කර වේදයිත තත්ත්වයට සිත පිරිසිදු කර ගැනීමෙන් සුව වේදනාවට නොඇලී, දුක් වේදනාවට ද නොගැටී, ඒ අතර වූ සුඛ දුක් සහිත වේදනාවන්ටත් මුළා නොවී ක‍්‍රියා කිරීමට පුරුදු වූ අරහතුන්වහන්සේ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමෙන්, නිබ්බාන සුවය අත් විඳ ගැනීමට ක‍්‍රියා කිරීමයි.

සමුදය වීම ගැන තේරුම් නොගත් කෙනෙකුට, එනම් ”සං” දැක නොගත් කෙනෙකුට සමුදය නිරෝධ කිරීමද තේරුම්ගත නොහැකිය. ඒ නිසා ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ කෙනෙකුටම පමණක් සමුදය නිරෝධ කිරීමක් ද කළ හැකි වෙයි. මේ නිසා බුද්ධ දේශණාවේ සඳහන් නිරෝධ කිරීම යන්නෙන් අර්ථ දක්වන්නේ ඉපදීමට පෙරම බිහි වීමට ඉඩ නොදීම යමක් අනුත්පාද කිරීම ලෙසින් ”නිරෝධ” කිරීම යන්න අර්ථ දක්වා ඇත. නොඋපන් අකුසල්, කෙළෙස් ගති නොඋපදින්නටත්, යළි කෙළෙස් ගති සිතෙහි මුල් බැස උත්පාදනය නොවීමටත් ක‍්‍රියා කිරීම සමුදය නිරෝධ කිරීම ලෙසින් පෙන්වා දී ඇත.

ඇස, කන ආදී ඉන්ද්‍රියයන් නිරෝධ කළ හැකි වන්නේ ද නැත. ඉන්ද්‍රියය භාවනාවෙන් කරගත යුත්තේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් අක‍්‍රීය කිරීමක් නොව ඇසෙන් දකින රූපය නිසා සිතෙහි හටගන්නා සමුදය ශක්තිය, ක‍්‍රියාවේ ශක්තිය මත්වීම, රත්වීම, ගිනි ගැනීම යන ස්වභාවය නැමැති ක‍්‍රියාවේ වේගය පාලනය කර ගැනීමයි. චක්ඛු යනු ඇසයි. චක්ඛුං යනු ඇසෙන් රූපයක් දැක උපදින ක‍්‍රියාවේ වේගයයි. මේ ක‍්‍රියාවේ වේගය පාලනය කර ගැනීම යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක‍්‍රියාකාරී වීමෙන්ම කරගත හැකිය. මෙය ශික්ෂණය, හික්මීම සංවරත්වය යනාදී පදවලින් ද විග‍්‍රහ වෙයි. මේ අනුව තේරුම් ගත යුත්තේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් නිරෝධ කළ නොහැකි බවත් ඇසින්, කනෙන් කරනු ලබන ක‍්‍රියාවන් නිසා සිත මත් වීමේ, රත්වීමේ, ගිනිගැනීමේ වේගය සමථයකට පත්කර සිත පාලනය කර ගැනීම ඉන්ද්‍රියය සංවර භාවනාව ලෙසින් පෙන්වූ වගයි. මේ අනුව පටිච්ච වීමේ ක‍්‍රියාවලිය තේරුම් ගෙන පටිච්ච නොවී ක‍්‍රියා සිත් පැවැත්වීමට පුරුදු පුහුණු වීම මගින්ම සමුදය නිරෝධ කර ගැනීමටද කටයුතු කිරීම භාවනාවයි. මෙය පටිච්චසමුප්පාද ධර්මාවබෝධය මඟින්ම ඉන්ද්‍රියයන් සංවරත්වයට පත්කර ගැනීම යන නිවැරදි බුද්ධ භාවනාවයි. මේ අනුව සමථ භාවනා, විපස්සනා, අනුපස්සනා භාවනා යන සියලුම භාවනාවන් කිරීමෙන් සාක්ෂාත් කරගතයුතු වන්නේ සිතක උපත ලබන කෙළෙස් ගති උපත ලැබීමට හේතු වන මුල් වන ”පටිච්ච වීම” තේරුම් ගෙන පටිච්ච වීමම නවතා දමා සමුදය බිහි නොකරන තත්ත්වයට තම සිත පිරිසිදු කර ගැනීමයි. ”සං” උපත ලැබීමට මුල් වන කෙළෙස් ගති සහමුළින්ම සිතින් උදුරා, උපුටා ඉවත් කර දැමීමට ක‍්‍රියා කිරීම සම්මා අංගයන් සම්පුර්ණ කර ගැනීමයි. මේ අනුව සම්මා දිට්ඨියට පත් වීමෙන් සම්මා අංගයන් සම්පූර්ණ කරගැනීම අරිය අට්ඨාංගික මාර්ගය සම්පුර්ණ කරගැනීම යන්න සහ හොඳ, යහපත්, නිවැරදි යන ලෞකික අර්ථයෙන් අද භාවිතා කරන ලෞකික සම්මා දිට්ඨිය විග‍්‍රහ කිරීම දෙයාකාර වෙයි. රාගයෙන් මිදී, ද්වේෂයෙන් මිදී, මෝහයෙන් හා මානයෙන් ද මිදී සිත කෙළෙස් ගති වලින් තොර පිරිසිදු තැනක් බවට පත්කර ගැනීම සම්මා අංග සම්පූර්ණ කර ගැනීම අරිය අෂ්ටාංගික මාර්ගය සම්පුර්ණ කර ගැනීම යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ නිබ්බානගාමී මාර්ගයයි.

Share Button

සංකාර නිරෝධයේ සිට බව නිරෝධය දක්වා

“නිරෝධං අප්පජානත්ථා – ආගන්තාරෝ පුනබ්භවං” නිරෝධ කිරීම යනු කුමක්දැයි නිවැරදිව, ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම තේරුම් නොගැනීමත් ප‍්‍රායෝගික වශයෙන් නිරෝධ කරන ආකාරය ගැන තේරුමක් නොමැති වීම නිසාම ගති ලක්ෂණයන් (භව) එකතු කර ගැනීමෙන් පුන පුනාම, නැවත නැවතත් නොදන්නා කමෙන් දිගින් දිගටම, භවට පත් ව සංසාර ගමන යයි යනු මෙහි තේරුමයි.

පටිච්ච සමුප්පාද ධර්මය දේශණා කර බුදුපියාණන්වහන්සේ ලෝකයාට පැහැදිළි කර වදාළේ ”භව” උපදින ආකාරයත්, ”භව” නිරෝධ කර ගැනීමට නම් අනුගමනය කළ යුතු නිසි ක‍්‍රියාමාර්ගයත් පෙන්වා දී ඇත. ”භව” නිරෝධය යනු නිවන ලෙසත් බොහෝමයක් තැන්වල පෙන්වා දී තිබේ. පටිච්චසමුප්පාද දේශණාවට අනුව සංඛාර නිරෝධයේ සිට ”භව” නිරෝධය තෙක් ‘‘ආදී නව’’ අවස්ථා වලදීම ”භව” නිරෝධ කරගත යුතු බවත් ”ජාති” නිරෝධ කරගත හැකි වන්නේ සංඛාර නිරෝධයේ සිට ”භව” නිරෝධය තෙක් අවස්ථා නවයක් තුළදීම ”භව” නිරෝධ කර ගැනීමෙන්ම බවත් පටිච්චසමුප්පාද ධර්මයෙන් ඉතාම පැහැදිළිව පෙන්වා දී ඇත.

කරුණු නිවැරදිව තේරුම් නොගෙන විශේෂයෙන්ම හේතුඵල දහමත්, ද්වතාවත් තරමක් දුරට හෝ නිවැරදිව තේරුම් නොගෙන ‘‘සත්ත්වයෙකු, පුද්ගලයෙකු ලෙස ගත් දෘෂ්ඨියෙන්ම මිදිය යුතුය” යන්න කල්පනා නොකර ඒ වෙනුවට ඵලයෙන්ම නිදහස් වීමට උත්සාහ කිරීම අද බොහෝ දෙනෙක් නිවන් අවබෝධ කර ගැනීමට උත්සාහ දැරීම ලෙස හඳුන්වයි. මෙම සත්ත්ව, පුද්ගල සංකල්පය මේ පංචස්කන්ධය ඵලයක් බව තේරුම් නොගෙන මෙම පංචස්කන්ධයෙන් සත්ත්ව පුද්ගල තත්ත්වයෙන්් මුළුමණින්ම නිදහස් වීමට අද බොහෝ දෙනා උත්සාහ ගනිති. ඒ භව නිරෝධ කිරීම යනු කුමක්දැයි නොදන්නාකම නිසාවෙයි.

මම යන පුද්ගලයා, සත්ත්වයා යන පංචස්කන්ධය බිහි වූයේ ඇයි? මීට හේතු මොනවාද? ඒ හේතුවලින් නිදහස් වීමට නම් කුමක් කළ යුතුද? මෙවැනි ප‍්‍රශ්න සඳහා හේතුඵල දහම තුළින්ම කරුණු කාරණා තේරුම් කර ගැනීමෙන් මිස ”භව නිරෝධය” යන වචන තුළින් අදහසක් ගත නොහැකියි. ”භව නිරෝධ” යන වචන දහස්වරක් කීවද, මේ වචන වලින් බුදුපියාණන්වහන්සේ අදහස් කළ දේ නිවැරදිව තේරුම් ගැනීමට නොහැකි නිසාම අද බොහෝමයක් මිනිසුන් සංසාරේ අතරමං වී මංමුළා වී කටයුතු කරති.

”භව” යනු උපතක්, ජාතියක් ලෙසින් වැරදි ආකාරයට තේරුම් ගෙන කටයුතු කිරීම පළමුවන වරද වේ. ලෝක සම්මතයෙහි ”භව” යන පදය පෙර ජාතිය, මතු ජාතිය, මේ ජාතිය ආදී වශයෙන් ජාතිය තේරුම් කිරීමට යොදා ගන්නා පදයකි. මෙහිදී ”භව” යනුද උපතකි. එය නිවැරදි යෙදීමක් වේ. නමුත් ”උපාදාන පච්චයා භව” ”භව පච්චයා ජාති” යනුවෙන් බුදුපියාණන් පටිච්චසමුප්පාද දේශණාවේ ගෙන හැර දැක්වූ ”භව” යන පදය සත්ත්ව, පුද්ගල උපතක් හැඳින්වීමට භාවිතා කළ වචනයක් නොවේ. එහිදී භව යනු ගති ලක්ෂණ, චර්යා රටා, හුරු පුරුදුකම් ආදියේ උපතයි. ගති උපතයි. සත්ත්වයෙකු, පුද්ගලයෙකු ගති ලක්ෂණ පුරුදු කර ගැනීම නිසා ඊට අදාළ චිත්තජ ශක්තීන් උපදවා ගෙන (ජාති) ඒවා කර්මජ කෝෂයේ තැන්පත් කර ගබඩා කර ගැනීමේ ක‍්‍රියාවලිය පටිච්චසමුප්පාද ධර්මයෙන් මෙහිදී පැහැදිළි කරන ලදී. ඒ චිත්තජ ශක්තීන් නිපදවීම ”ජාති” ලෙස පෙන්වා දී ඇත. ඒ චිත්තජ ශක්තීන් කර්මජ රූප ලෙස ඵල විපාක දීම සත්ත්වයාගේ, පුද්ගලයාගේ මතු උපතක් ලැබීමට හේතුවන එකම ක‍්‍රියාවලිය වේ.

මෙම කරුණු නිවැරදිව තේරුම් ගැනීමෙන් පමණක් ”භව” නිරෝධ කිරීමටත් නිවන තේරුම් ගැනීමටත් හැකි වේ. මෙහි නිරෝධ යන වචනෙහි නිරුද්ධ කිරීම නැති කිරීම යන අර්ථයක් අද ලෝක ව්‍යවහාරයේදී භාවිතා වේ. නිරෝධ කිරීම යනු නැති කිරීම නොවේ. නිරෝධ යන පදයේ ද්වතාවය මුලින්ම දැකගත යුතුයි. රෝද – නිරෝධ යනු මෙතන ද්වතාවයයි. රෝද තේරුම් නොගෙන රෝද කිරීම කරන ආකාරය නොදැක නිරෝධ කිරීම යන්න තේරුම් ගැනීම කිසිසේත් කළ නොහැකි වේ.

සත්ත්වයෙකු, පුද්ගලයෙකු, සංඛාර කිරීම යනු ”සං” එකතුකර ගැනීමට කරන ක‍්‍රියාකාරකමකි. ”සං” එකතු කිරීමට කරන සෑම ක‍්‍රියාකාරකමක්ම උපත ලබන්නේ සිතකම වේ. මුලින්ම අරමුණක් බලාපොරොත්තුවක් සිතට මනසිකාරකයක් ලෙස ලැබුණු වහාම සිත තුළදීම රෝද ගසා, සිතුවිලි අතර රවුම් ගසා චිත්ත වීථි දිගේ දුවමින් රවුම් ගැසීමෙන් පසුව නිගමනයකට එනම් ”භව” ට පත්වේ. යම් ගති ලක්ෂණයකට පත් වීමට පෙර සෑම අරමුණක්ම සිත තුළදී සිතා කල්පනා කර, සැලසුම් කර, දහ අතේ කල්පනා කර නිගමනයට බහී. මේ සිත තුළදීම දහ අතේ කල්පනා කර රවුම් ගැසීම රෝද කිරීම යනුවෙන් හඳුන්වා දී තිබේ. මෙයම ධර්මයේ පැහැදිළිවම හඳුන්වා දී තිබේ. මෙයම ප‍්‍රපංචතාවය යනුවෙන්ද භාවිතා වේ.

සිතක පහළවෙන අවිද්‍යා සංඛාර සියල්ලම අල්ලා, සිත තුළින්ම රවුම් ගසා, බලාපොරොත්තු ඇතිකර, ඉන්ද්‍රියයන් හරහා ඒවා පිළිබඳව විවිධ ආකාරයෙන් සිහින මවමින්, ඉන්ද්‍රියයන් පිනවා, ඊට තණ්හා වී, ඒවාම උපාදානය කර ගැනීම මගින් අවසානයේ ”භව” යන ගති ලක්ෂණයකට පත්වී, චිත්තජ ශක්තියක් එකතු කර ගනී. මේ ක‍්‍රියාවලිය ”අවිද්‍යා සංඛාර පච්චයා අවිද්‍යා විඤ්ඤාණ” පටන් ”අවිද්‍යා භව පච්චයා අවිද්‍යා ජාති” තෙක්ම පටිච්ච සමුප්පාද දේශණාවෙන් බුදුපියාණන් ගෙනහැර පා වදාළහ.

චිත්තජ ශක්තියක්, චිත්තජ රූපයක්, සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ සිතේ බිහි විය හැකි එකම ක‍්‍රමය නම් මේ සිතින් රවුම් ගැසීමේ ක‍්‍රියාවලියයි. චිත්තජ ශක්තියක් බිහිවීමට මේ රවුම් ගැසීමේ ක‍්‍රමය මිස වෙනත් කිසිම ක‍්‍රමයක් ඇත්තෙත් නැත.

මේ කරුණු කාරණා සහ ‘‘ආදී නව’’ අවස්ථාවත් අසා දැක, තේරුම් ගැනීමෙන් චිත්තජ ශක්තියක් සිතක බිහිවීම වළක්වා ගන්නත් කළ යුතු නිවැරදි දේ තේරුම් ගත හැකි වේ. සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථා නමයේදීම සිතින්ම අරමුණ දිගේ රවුම් ගසයි. ඒ අවස්ථා නවය තුළදීම කරන රෝද ගැසීම නැවැත්වීම නිරෝධ කිරීමයි. නිරෝධ යනු යමක් නැති කිරීමක් හෝ නිරුද්ධ කිරීමක් හෝ නොවේ. සිතුවිලි අතර රවුම් ගැසීම රෝද කිරීම නවතා දැමුවහොත් ”ජාති” යන අවස්ථාවට සිත පත් වීමක් සිදුනොවේ. ඒ නිසා නිරෝධ කිරීම යනු සිතින්ම කරන රෝද, නිරෝධ කිරීම බව නිවැරදිව මුලින්ම තේරුම් ගත යුතුයි.

සිතකට අරමුණු වන සියලුම මනසිකාරයන් ගති ලක්ෂණ උපදවන චිත්තජ ශක්තීන් එකතු කරන අවිද්‍යා සංඛාර නොවේ. සිතකට අරමුණු වන මනසිකාර කොටස් තුනකට බෙදා පෙන්විය හැකිය.

1. අවිද්‍යා සංඛාර
2. සංඛාර නොවන මනසිකාර
3. කුසලමූල අරමුණු

මේවා අතරින් අවිද්‍යා සංඛාර වලින් පමණක් ”සං” එකතු කරන ගති ලක්ෂණ එකතු කරන (භව) චිත්තජ ශක්තීන් බිහිකරන කොටසට අයත් වේ. මේ නිසා සිතකට අරමුණු වන අවිද්‍යා සංඛාර හා කුසල මූල අරමුණු වෙන් කර තෝරා බේරා දැනහැඳින ගෙන කටයුතු කිරීම ”සතියේ” පිහිටා කටයුතු කිරීමයි, සත්‍යය දැකීම, සතියෙහි පිහිටීමයි.

අවිද්‍යා සංඛාරවලින් එකතු කරන ”සං” නිසා සංසාර ගමන පවත්වයි. ඒවා පින් පව් දෙකම විය හැකියි. හොඳ යහපත්, නරක අයහපත් ගතිගුණ ද විය හැකියි. සිත පිනා යන චිත්තජ ශක්තීන් එකතු කිරීම පින්කම් ලෙසිනුත්, සිත කිළිටි කර අඳුරු කරන චිත්තජ ශක්තීන් පව්කාරකම් ලෙසිනුත් හැඳින්විය හැකිය. මේ කොටස් දෙකෙන්ම චිත්තජ ශක්තීන් නිපදවන නිසා කොටස් දෙකම අවිද්‍යා සංඛාර ලෙස හඳුන්වයි. මේ සියල්ලම සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑමට පමණක් උපකාර වන චිත්තජ ශක්තීන් වේ.

සංඛාර කොටසට අයත් නොවන මනසිකාර එළොවටත් නැති, මෙළොවටත් නැති චෛතසික පමණි. කුසලමූල අරමුණු යනුවෙන් හැඳින්වන්නේ මෙතෙක් සංසාර ගමනේදී අතීතයේ එකතු කරගත් චිත්තසංථානයේ, කර්මජ කෝෂයේ ගබඩා වී පවතින චිත්තජ ශක්තීන් කර්මජ රූප සළාහැර, පිරිසිදු බවට පත්කරවන අරමුණු වේ. මේවා කුසල් ලෙස හඳුන්වන්නේ කුණු සළාහැර, සිත පිරිසිදු තත්ත්වයට පත්කර ගැනීමට උපකාර වන අරමුණු පැවැත්වීමක් නිසයි. ලෝභක්ඛය කරන අරමුණු, ද්වේෂක්ඛය කරන අරමුණු, හා මෝහක්ඛය කරන අරමුණු පැවැත්වීම කුසල් පිරීමයි. සංසාර ගමනේ මතු මතුත් උපත් ලැබීමට හේතු වන්නේ මේ පෙර අතීතයේ එකතු කර ගබඩා කර ගත් චිත්තජ ශක්තින්, කර්මජ රූප ලෙසින් ක‍්‍රියාත්මක වීමයි. මේ කර්මජ රූප සළාහැර, සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීම ලෝකෝත්තර කුසල් පූර්ණය කිරීමයි. මෙම අවස්ථා දෙකම නිවැරදිවත් පහැදිළිවත් තේරුම්ගත යුතුයි.

1. අවිද්‍යා සංඛාර කරමින්, සිතින් රෝද කරමින් ගති ලක්ෂණ එකතු කිරීම (භව) හා ඒ අනුව චිත්තජ ශක්තීන් (ජාති) නිපදවා ගබඩා කර ගැනීම පළමුවන අවස්ථාවයි. මේ චිත්තජ ශක්තීන් එකතු කිරීම, බිහිකිරීම නැවැත්වීමට නම් රෝද, නිරෝධ කළ යුතුයි.
2. එකතුකර ගබඩා වී ඇති අතීත ගති ලක්ෂණවලට අදාළ චිත්තජ ශක්තීන් කර්මජ රූප ලෙසින් චිත්තසංථානයේ මෙන්ම කර්මජ කෝෂයේ ද තැන්පත් වී ඇති නිසා ඒවා අරමුණු ලෙස සිතෙහි මතු වී ක‍්‍රියාත්මක වීම දෙවන අවස්ථාවයි. මේ අතීතයේ එකතු කරගත් චිත්තජ ශක්තීන් හෝ කර්මජ රූප සළාහැර ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට නම් රෝද නිරෝධ කිරීම මෙන්ම කුසල් පිරීම ද යන දෙකම කළ යුතු වේ. ඒ කුණු සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීමද කළ යුතුමයි.

”අසේස විරාග නිරෝධෝ, චාගෝ පටිනිස්සග්ගෝ මුත්ති අනාලයෝ” යනුවෙන් දුක්ඛ නිරෝධ අරිය සත්‍යය නිවැරදිව තේරුම් ගැනීමට නම්, මේ වචනවල ද්වතාවය ද තේරුම් ගත යුතු වේ. (දුක්ඛ සුඛ, නිරෝධ රෝද, අරිය රිය, සත්‍ය අසත්‍ය) සත්‍ය තේරුම් ගැනීමට නොහැකිවීම නිසා, නොදැනීමෙන් කටයුතු කරන නිසා සැප සොයා රෝද කරමින් යන මේ රිය ගමන සංසාර ගමනයි. මේ සංසාර ගමන නැවැත්වීමට නම් රෝද – නිරෝධ කිරීම එකම ප‍්‍රතිකර්මයයි. රෝද නිරෝධ කළ හැකි වන්නේ පැවැත්මේ නියම තත්ත්වය ත‍්‍රිලක්ඛණය තේරුම් ගෙන සත්‍යාවබෝධය කරගැනීමෙන්ම පමණි. රෝද- නිරෝධ කර, රාග- විරාග කර, රිය අරිය කිරීම කරගත හැකි වන්නේද ඒ අනුවමයි.

රෝද කිරීමට හේතු වන්නේ සිතින්ම සංකල්පනා හා කල්පනා පැවැත්වීමයි. (සංකල්පනාව යනු ”සං”- එකතු කිරීම, කල් – කාලය, පනා – පිරීම) අතීතය පීරා, අදාළ අරමුණට ගැළපෙන ගති ලක්ෂණ එකතු කිරීම, සිතින් රවුම් ගැසීම, අතීතය පීරීම සංකල්පනා පැවැත්වීමයි. කල්පනා නොකර, සංකල්පනා නොපවත්වා, කර්මජ රූප ලෙසින් සිත තුළ තැන්පත් වී තිබෙන අතීතයේ තැන්පත් කළ ගති ලක්ෂණ මතුකර එකතු කර ගත නොහැකිය. විඤ්ඤාණය කල්පනා කරන්නේ ඒ අතීත ගති ලක්ෂණයන් එකතුකර ගැනීම සඳහාමය.

මෙයින් පැහැදිළි කරගත යුතු අනික් සත්‍යය නම් හේතුඵල පරම්පරාවක අතීත සම්බන්ධතාවයන් තුළ සිතින්ම රෝද ගසා ඒ අතීත සම්බන්ධතාවයන්ට අනුකූලව අලුත් ගති ලක්ෂණයන් ද, අලුත් චිත්තජ ශක්තිය ද බිහිකරගන්නා බවයි. මේ අනුව සිතින් රවුම් ගැසීම රෝද කිරීම මගින් සිදු වන්නේ අතීතය පාදක කර, අනාගතයක් සකස්කර ගැනීමට විඤ්ඤාණය විසින් වර්තමානය උපකාර කර ගැනීමයි. වර්තමාන මොහොතේ සිතින් රෝද කිරීම කරන්නේ මැරුණු අතීතයම සිහිපත් කර නූපන් අනාගතයක් සකස් කර ගැනීමට වර්තමාන මොහොත පාලමක් ලෙස භාවිතා කිරීමයි. එසේ නම් රෝද- නිරෝධ කිරීම යනු මැරුණු අතීතය තුළ සිතින් රෝද ගැසීම නවතා දමා, නූපන් අනාගතයක් බිහිකර ගැනීමට විඤ්ඤාණය දරණ උත්සාහය නතර කිරීමයි. වැළැක්වීමයි.

යම් දෙයක් දැකීමෙන්, ඇසීමෙන්, ස්පර්ශ වීමෙන් සිතට ලැබුණු අරමුණක් දිගේ රවුම් නොගසා සිතින් සිතීම නතර කර සංඛාර නිරෝධ කිරීම කරගත හැකිය. සංඛාරයක් බලාපොරොත්තුවක් බවට පත්වී නම් බලාපොරොත්තුව පිළිබඳව සිතින් රෝද කිරීම නවතා විඤ්ඤාණ නිරෝධ කර ගත හැකිය. බලාපොරොත්තුව නාමරූපවල බැස ගත්තේ නම් ඒ පිළිබඳ මනසිකාර කිරීම නවත්වා නාමරූපවල නිරෝධ කර ගැනීම කර ගත හැකිය. ඉන්ද්‍රියයන් හයෙන් එකකට හෝ බලාපොරොත්තුව පිළිබඳ නැවත නැවතත් දකින්නට, අසන්නට, සිතන්නට අවශ්‍යතාවයක් ඇතිවුවහොත් ඒ සිතුවිලි නිරෝධ කර, සළායතන නිරෝධ කර ගත හැකිය. ඒ සළායතනවල අදාළ අරමුණු පටළැවී, ස්පර්ශ වී නම්, මනෝ විඤ්ඤාණයේ ස්පර්ශ වීම නවත්වා ස්පර්ශ මාත‍්‍රයට පමණක් සිත සීමා කර රෝද නිරෝධ කිරීම ස්පර්ශ නිරෝධ කිරීමයි. අදාළ අරමුණ මනෝ විඤ්ඤාණයේ ස්පර්ශ වී යම් සුව අසුව හෝ අතරමැදි වේදනාවක් විඳීමෙන් වැළකී සිටීම රෝද නිරෝධ කිරීම වේදනා නිරෝධ කිරීමයි. තැනකට හාවීමට මත්වීමෙන් ගෑවීමට සිත දරණ උත්සාහය නිරෝධ කිරීම තණ්හා නිරෝධ කිරීමයි. තැනකට හා වූ පසු ඒ තැන පැළ පදියම් වී ඒ තැන අල්ලා බඳාගෙන, ලෝකය උරා බීමට දරණ උත්සාහයට අදාළ සිතුවිලි රෝද- නිරෝධ කිරීම, උපාදාන නිරෝධ කිරීමයි. උපාදානය කරගත් අරමුණට සම්බන්ධ ගති ලක්ෂණයකට අදාළව භවට පත්වීම නැවැත්වීම රෝද- නිරෝධ කිරීම භව නිරෝධයයි. ”භව” නිරෝධ කිරීම ජාති නිරෝධ කිරීමයි. යම් අරමුණක් දිගේ රෝද කිරීමෙන් භවට පත්වුවහොත් අනිවාර්යයෙන්ම ”ජාති” තත්ත්වයට ද පත්වී, චිත්තජ ශක්තියක් ද උපදවා ගනී. ඒ නිසා ආදීනව අවස්ථාව තුළදීම රෝද නිරෝධ කර ”ජාති” තත්ත්වයට පත්වීම නවතා ගැනීම මිස වෙන කිසිම ක‍්‍රමයකින් ”අසේස විරාග නිරෝධෝ” යන තත්ත්වයට පත්වීම කරගත නොහැකිය.

එසේ නම් නිවන් අවබෝධ කර ගැනීමට සම්පූර්ණ කරගත යුතු පළමුවෙනි හා වැදගත්ම ක‍්‍රියාමාර්ගය වන්නේ මේ ආකාරයෙන් අවිද්‍යා සංඛාර ”භව” ට පත්වීමට පෙර අවස්ථා නමය තුළදී නිරෝධ කර ඉන් මිදී නිදහස් වීමයි. මෙයම සිත සංවර කර ගැනීමයි. ත‍්‍රිවිධ සුචරිතයෙහි පිහිටා කටයුතු කිරීමයි. දහසක් සංවර සීලයයි.

සිතින් රෝද ගසා, සිතින් සිතා මිස කටින් හෝ කයෙන් හෝ පමණක් කිසිම ක‍්‍රියාවක් කාටවත් කළ නොහැකි බව ඔබ හොඳින්ම දන්නා කරුණකි. එසේනම් මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර යන තුන් ආකාරයෙන්ම අවිද්‍යා සංඛාර නිරෝධ කර සංවර විය හැකි වන්නේ සිතින් රෝද කිරීම නැවැත්වීමෙන්ම පමණි. එය භව නිරෝධ කිරීමයි. කුසල මූල අරමුණු සිතින් ගෙන රෝද කිරීම පිළිබඳව ද මෙතැනදීම පැහැදිළි අවබෝධයක් ලබාගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන අනිත් ක‍්‍රියා මාර්ගයයි. මෙය සම්මා වීමයි. ”සං” වලින් මිදී නිදහස් වීමට කටයුතු කිරීමයි. ගබඩාකර එකතුකරගත් කුණු සළාහැර, චිත්ත පාරිශුද්ධත්වයට පත්කර ගැනීමට කටයුතු කිරීම සම්මා වීමයි.

සිතින් රෝද කිරීම නවතා සිත නිරෝධ කළවිට සිත සමාධි ගත වෙයි. මෙසේ අලුතින් චිත්තජ ශක්තීන් එකතු කිරීම නැවැත්වූූ විට විඤ්ඤාණයට ආහාර නැතිවී යයි. විඤ්ඤාණය දැන් උත්සාහ කරන්නේ අතීතයේ එකතුකර ගබඩාකරගත් ආහාර (කුණු) සොයා සංකල්පනා ඇති කිරීමට කටයුතු කිරීමයි. විපස්සනා කිරීම සතියෙහි පිහිටා කටයුතු කිරීම අවශ්‍ය වන්නේ මේ අවස්ථාවෙහිදීය. සතියෙහි පිහිටා හේතුඵල දහමට බහා ගළපා බලා විඤ්ඤාණයට අරමුණු වන සියලු චෛතසිකයන් දැන හඳුනා, තෝරා බේරා ගෙන කටයුතු කිරීමෙන්ම අවිද්‍යා සංඛාර හා කුසලමූල අරමුණු වෙන්කොට දැන හඳුනා කටයුතු කළ යුතුය. අවිද්‍යා සංඛාරයකට මුල්වන ගති ලක්ෂණයක්, චෛතසිකයක් සිතෙහි අරමුණු වීමත් සමඟම ඒ බව හොඳින් දැන හඳුනා එය සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට සිතින්ම රෝද කිරීම කුසල මූල අරමුණු පැවැත්වීමයි. මේ අවස්ථාවේදී කළයුතු වන්නේ සිත නිරෝධ කිරීමයි. මේ අවස්ථාවේදී ද පෙර සඳහන් කළ පරිදි අවස්ථා නවයක් තුළදීම කුණු සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමට සිතින්ම නිරෝධ කිරීම කළ යුතුය. මෙතැනදී නිරෝධ කිරීමක් නොකරන අතර, ලෝභක්ඛය කිරීමට, ද්වේෂක්ඛය කිරීමට, මෝහක්ඛය කිරීමට අදාළ අරමුණු නිරෝධ කර ඒ ගති ලක්ෂණය සම්පූර්ණයෙන්ම සළාහැර සිත ශුද්ධ පවිත‍්‍ර වීමක් සිදුකර ගත යුතුය.

සිත සමථයට, සමාධියට පත් වූ විට සිත තුළින්ම නැගී මතු වී එන මෙවැනි ගබඩා වී ඇති අභ්‍යන්තර අරමුණු (කුණු) යටපත් කර, සඟවා දැමීමට උත්සාහ දැරීම නුසුදුසු ක‍්‍රියාවකි. ඒවා යටපත් කර සඟවා දැමීමෙන් වන්නේ යළිත් කවදා හෝ අළුයට ඇති අඟුුරු සේ මතුවී කවදා හෝ යළි ගින්න ඇවිළීමට හේතුවක් වීමයි. මේ නිසා විපස්සනා කිරීමෙන් කළ යුත්තේ මෙවන් අළුයට ඇති ගිනි අඟුරු හාරා අවුස්සා මතුකර ඒවා සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමයි.

මෙයින් පැහැදිළිවම තේරුම් ගතයුතු වන්නේ ”භව” නිරෝධය යනු සත්ත්වයෙකුගේ, පුද්ගලයෙකුගේ මතු උපතක් අතිවීමට හේතුවන (ගති) ”භව” නිරෝධ කිරීමට දරණ උත්සාහයක් බවයි. හේතුවම නිරෝධ කර ඵලයක් ඇතිවීම වළක්වනු මිස ඵලය අල්ලාගෙන එය නැති කිරීමට වෙර වීරිය දැරීම නිශ්ඵල ක‍්‍රියාවකි. ඒ නිසා කරුණු කාරණා නිවැරදිව දැන ඉන්පසුව කළ යුතු දේ කර ගැනීමෙන්ම නිවන් අවබෝධ කරගතහැකි වෙයි.

Share Button

නිරෝධ කිරීම යනු කුමක්ද?

නිරෝධ ”නිරුද්ධ” යන බුද්ධ භාෂිතයෙහි සඳහන් වචනයට සිංහල පදයක් සොයා ගැනීමට නොහැකි වූ බොහෝ ආචාර්යවරු තම පොත්වල ”නැති” කිරීම ලෙස මෙය සිංහලයට පරිවර්තනය කර ඇත.

මේ නිසාම ”නිරෝධ කිරීම” යන්නෙහි තේරුම කුමක්දැයි සැක හැර දැන ගැනීම නිවන් මඟ සොයන කෙනෙකුට බෙහෙවින් උපකාර වනු ඇත. බුදුපියාණන්වහන්සේ මෙන්ම අරහත් තත්ත්වයට පත් වූ සියලුම උත්තමයින්ද සංඛාර නිරෝධ කළ බව, විඤ්ඤාණ නිරෝධ කළ බව, සළායතන නිරෝධ කළ බව ප‍්‍රකාශිතය. සළායතන යනු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හය එකතු කරන තැන් බවට පත්කර ගැනීමයි. ආයතන බවට පත්කර ගන්නා මෙම ඉන්ද්‍රියයන් කිසිවක් අරහතුන්වහන්සේ නමක් නැති කළේ නැත. නිරෝධ කිරීමක් පමණක් සිදු කරන ලදී.

ඇසින් රූපයක් දුටු විට ඒ රූපය පිළිබඳව යම් රාගයක්, කැමැත්තක් හට ගනී නම් චක්ඛු විඤ්ඤාණයක් හට ගනී. විඤ්ඤාණය ඒ රූපය දැකීම නිසා සංඛාර කරමින් සිතෙන් ප‍්‍රිය රූපය වටේ රවුම් ගසයි. විවිධ ආකාරයේ සිතුවිලි මවමින්, දහසක් අරමුණු සිතින් මවා ගනී. කටින් වචන පිට කිරීමට හෝ කයෙන් ක‍්‍රියා කිරීමට හෝ පෙර සිතින් කරන මේ රවුම් ගැසීම මේ රූපය ප‍්‍රියයි, මනාපයි, හැඩයි යනුවෙන් එය සිතින් අල්ලා ගැනීමට නැවත නැවතත් දැකීමට සිතුවිළි පහළ කිරීම මේ රවුම් ගැසීමයි. මෙය රෝද ගැසීමකි. සිතින් රෝද කිරීමකි. කර්මජ බීජ උපත ලබන්නේ මේ අනුවය. පෘථග්ජන සිතක සාමාන්‍ය හැසිරීම ප‍්‍රියයි, මනාපයි, සුවයි වැනි ”සං” බිහිකරන සිතුවිල්ලක් වටා දහසක් මතක සටහන් බිහිකර, සිතින් රවුම් ගසා ඒ වටාම කැරකීමයි. ”සං” නැමති ජවයක් බිහි කිරීමයි. ඒ දුටු රූපය දෙස නැවත බලන්නේ ඒ ගැන විපරම් කරන්නේ කාගේ කවුදැයි සොයන්නේ ඒ නිසාමය.

යම් සත්‍යාවබෝධයක් ලබාගෙන සිතින් රවුම් ගැසීම, රෝද කිරීම නවතා දැමිය හැකි නම්, එය නිරෝධ කිරීමකි. මේ නිරෝධ කිරීම සඳහා ”සං” දැකිය යුතුය. එහි ධර්මතාවය දැකිය යුතුය. ඒ නිසාම ඒ පිළිබඳ සත්‍යය ධර්මය දැකීම ”සංදිට්ඨිකෝ” නම් වෙයි.

මේ නිරෝධ කිරීමේදී ඇස නැති කළේ නැත. ඇසෙහි ක‍්‍රියාකාරීත්වය නැති කළේ නැත. දුටු රූපය නැති කළේ් නැත. ඒ රූපය දුටු සිත නැති කළේ නැත. නැති කළ එකම දෙය ඒ රූපය දැකීමෙන් සිතෙහි හටගත් මනෝ විඤ්ඤාණය ඔස්සේ රෝද කිරීම, රවුම් ගැසීම නිසා එකතු කරන ”සං” නැමති ජවය එකතු කිරීම නැවැත්වීම පමණි. එය නිර් උදා කිරීමයි.

ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින්් මෙවැනි අරමුණු සිතට ඇතුලු වී විඤ්ඤාණයෝ උපදිති. මේ සියලු විඤ්ඤාණයෝ එකතු කර, රවුම් ගසන්නේ සිතින්මය. ඒ නිසා නිරෝධ කළ යුත්තේ සිතින් රවුම් ගැසීමය. එය සිත නිරෝධ කිරීමය.

ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේවා ඉන්ද්‍රියයන්ය. මේවා ආයතන ලෙසද හඳුන්වන්නේ ඒවායෙහි යමක් එකතු කිරීමේ ශක්තියක් ඇති නිසාය. ආයතනයක් යනු යමක් (අය කරන තැන) එකතු කරන තැන, යන අර්ථයෙනි. මේ ඉන්ද්‍රියයෝ විඤ්ඤාණය ශක්ති ගැන්වීමට, බලගැන්වීමට, කහට ගැන්වීමට ආහාර එකතු කරයි. එසේත් නැතිනම් ”සං”එකතු කරයි. එකතු කරන ස්ථාන යන අර්ථයෙන්ම මේ ඉන්ද්‍රියයන් හයම ආයතන ලෙස හඳුන්වයි.

ආයතනයෝ නිරෝධ කරනු මිස ඉන්ද්‍රියයෝ නිරෝධ කළ නොහැකිය. නිරෝධ කිරීම මගින් සිදුවන්නේ ඉන්ද්‍රියයන් මාර්ගයෙන් ”සං”එකතු වීම නැවැත්වීමයි. සියලු පෘථග්ජන සත්ත්වයින්ගේ ඉන්ද්‍රියයන් ආයතන බවට පත් වී ක‍්‍රියාත්මක වෙති. ”සං” දැක, ”සං දිට්ඨිකෝ ” වී, ඒ රෝද ගැළවීම නිරෝධ කිරීමයි. සිත නිරෝධ කිරීමෙන් කර්ම බීජ වල උපත ලැබීම නවතා නිර්උදා වීම සිදුවෙයි.

Share Button