සැවැත්නුවර හා දෙව්රම් වෙහෙර

http://maps.google.com/maps?q=8.122196,80.6596899&hl=en&t=h&z=16

සැවැත් නුවර එදා කොසොල් රටේ අග නුවරයි. කොසොල් මහරජතුමා ගෞතම බුදුන්ට සමකාලීන වූ කොසොල් රටේ පාලකයාය. එදා හෙළදිව,ජන්බුද්වීපයේ පිහිටි ශාක්‍ය ජනපද අතුරෙන් විශාලම ජනපදය වූයේත්, ධනවත් ම මිනිසුන් ජීවත් වූයේත්, විශාල ජනගහණයකින් යුතු වූයේත් මෙම කොසොල් රටේ ය. නැ‍ඟෙනහිරින් සුද්ධෝදන රජුගේ ශාක්‍ය ජනපදයත් (මහවැලි ගඟත්) උතුරෙන් අංග හා කසී රටත්,බටහිරින් වෙසමුණි මහ රජු පාලනය කළ යක්ෂ හෙළයත්, දකුණෙන් දෙව්දහ රජු පාලනය කළ දෙව්දහ රාජධානියත් පිහිටියේය. අද ගලෙන්බිඳුනුවැව, හුරුළුවැව, පලුගස්වැව හා රිටිගල වැනි විශාල ප්‍රදේශයක් තුළ එදා ධනවත් සැවැත් නුවර පිහිටියේය. සැවැත් නුවර මැදින් එදා නේරංජනා නදිය ගලා ගියේය. (හුරුළු ඔය යාං ඔය ලෙසින් එය අදත් ගලා යයි.) කන්තලේ, පොලොන්නරුව, කහටගස්දිගිලිය, පදවිය ආදී විශාල ප්‍රදේශ රාශියක් ම එදා කොසොල් රටට අයත් විය. එදා නේරංජනාවද මහවැලි ගඟ හා සමානම  වූ විශාල ජලයක් ගලාගිය තවත් ගඟකි. අද ඒ ජලය මේ ප්‍රදේශයට ගලන්නේ නැත. ඊට හේතුව ඒ ගඟ ඉහලින් හරස්කර වැව් බැඳීමත්, ඇලහැරදී ගඟ හරවා ජලය මින්නේරි වැවට හරවා යැවීමත්ය. ගිරිතලේ, මින්නේරිය, කවුඩුල්ල, කන්තලේ යන සියලු වැව් වලට අදත් ඒ ජලය ගලා යයි. මොරගහකන්ද ජලාශය තනා නැවතත් ඒ ජල කඳ පෙර පරිදි ගලා යන්නට කරුණු දැන් සකස් වෙමින් පවතී. මෙයද ධර්මතාවයෙන් ම සිදු වන්නකි. නේරංජනා ගඟ අසබඩ පිහිටි සැවැත් නුවර එදා පෙරදිග වූ විශාලම වෙළඳ නගරයක් විය. කුඩා නැව් මගින් ද ඔරු පාරු මගින් ද පිට රටින් පවා මෙම නගරයට මෙම නගරයට වෙළඳ බඩු ප්‍රවාහණය සිදු විය. සංඝමිත්තා මෙහෙණිය විසින් එදා හිරිවඩුන්නේ සිට ශ්‍රී මහාබෝධි ශාකාවක් අනුරාධපුරයට වැඩමවාගෙන එන ලද්දේ ද මෙම ගඟ දිගේ ම කුඩා නැවකිනි. භද්දකච්චායනා නම් ශාක්‍ය කුමරිය එදා පාවී ආවේද මෙම ගඟ දිගේ ය. ඒ පඬුවස් රජුගේ කාලයේදීය. භද්දකච්චායනා කුමරියත් ඇගේ සොහොයුරන් දහ අට දෙනෙක්මත් එදා ජීවත් වූයේ මේ ශාක්‍ය ජනපද වලමය.එදා පඬුවස් රජු රජ කළේ හෙළයේ මහ විලච්චිය අග නගරය කොට ගත් යක්ඛ රාජ්‍යයකය. එසේ නම් භද්දකච්චායනාත් එදා ජන්බුද්වීපයේ සිට ලංකා පුරවරයට කැන්දාගෙන ආ බව සත්‍යයකි.

එදා හෙළදිව ජන්බුද්වීපයේ ජීවත් වූ මහ ධනවත්තු ගෞතම බුදුපියාණන් වහන්සේටත් බුද්ධශ්‍රාවකයින්ටත් තම ධනය වැය කර සැවැත් නුවර ජේතවනාරාමය, පූර්වාරාමය, ඝෝෂිතාරාමය ආදී වෙහෙර විහාර සාදා පූජා කළහ. ගෞතම බුදුපියාණන් වහන්සේ තමාගේ අන්තිම කාලයේ වසර විස්සක් තරම් දීර්ඝ කාලයක් ම ධර්මය දේශනා කරමින් වැඩ සිටියේ සුදත්ත සි‍ටු තුමා ඉදිකර දුන් මෙම ජේතවනයේ පිහිටි දෙවුරම් වෙහෙරේය. මාගධී භාෂාවෙන්  “ජේත” යනු “නා ගස” ට භාවිතා කළ නමයි. “වේලු” යනු “උණ ගස” ට භාවිතා කළ නමයි. ජේතවනය යනු නා ගස් වලින් ගහණ වූ  නා වනයක් යන්නයි.

හෙළදිව ජන්බුද්වීපයේ රිටිගල නම් කඳු සහිත ප්‍රදේශයේ අදටත් අක්කර 2000 ක  තරම් විශාල ප්‍රදේශයක මෙම ජේතවනය (නා වනය) පැතිරී ඇත.දැනට වසර 2500–3000 තරම් හෝ ඊටත් වඩා පැරණි නා ගස් මෙම ජේතවන භූමියේ අදත් දැක ගත හැකිය. මෙම ජේත වනය එදා පිහිටා තිබුණේ සැවැත් නුවර බටහිර මායිමේය. මෙම ජේත වනය අදටත් රිටිගල රක්ෂිතය ලෙසින් නම් කර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ආරක්ෂා කෙරේ. එදා සුදත්ත සි‍ටුතුමා (අනේපිඬු සි‍ටුතුමා) විසින් තම ධනය අසූකෝටියක් වැය කරමින් ගෞතම බුදුන් උදෙසා ඉදිකරන ලද ඒ විස්මිත දෙවුරම් වෙහෙරේ බොහොමයක් ගොඩනැගිලි වල නටඹුන් හා පදනම් අදටත් ඒ ආකාරයෙන් ම ඉතිරිව ඇත. දෙවුරම් වෙහෙරට යෑම සඳහා එදා ඉදි කරන ලද පදම් කළ කළුගල් අල්ලා සකස් කළ සැතපුමක් තරම් දිග විසිතුරු මාර්ගයත්, බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට ජලය සැපයීම සඳහා කරවන ලද බන්දා නම් විශාල පොකුණත්, බුදුපියාණන්ට පූජා කරන ලද දෙවුරම් වෙහෙරේ ගඳකිලියත් එහිම ආනන්ද හිමියන් විසූ කුටියත්, සක්මන් මලුවත්, දාන ශාලා, බෙහෙත් ශාලා, මෙන් ම එදා ගෞතම බුදුන් ධර්මය දේශනා කළ දම්සභා මණ්ඩපයත් අදටත් පැහැදිලිවම නටඹුන් ලෙස මෙහිදී දැකගත හැකිය. මීට අමතරව වෙන් කොට හඳුනා ගත නොහැකි ගොඩනැගිලි විශාල ගණනක පදනම් ද අදටත් දැක ගත හැකිය. මේවා අතුරෙන් බොහෝමයක් කුටි එදා දෙවුරම් වෙහෙරේ ම වැඩ සිටි අරහතුන් වහන්සේලා 500 නමකට සාදා දුන් කුටි බවත් හඳුනා ගත හැකිය.

මේ ආකාරයට එදා සුදත්ත සි‍ටුතුමා විසින් තම ධනය වැය කරමින් ඉදි කරන ලද මෙම වෙහෙරට එදා දෙවුරම් වෙහෙර යයිනම් තැබීම මගින් ම එහි ඇති පුදුම එලවන විශ්මිත දේ ගැන කෙනෙකුට සිතා ගත හැකිය. අශෝක යුගයටත් වසර තුන්සියයකට පමණ පෙර කාලයකදී ගොඩ නැඟූ මෙම විශ්මිත හා මනරම් ගොඩනැඟිලි සමූහය ලෝකයේ පුදුම හතත් පරදවන තරම් විශ්වකර්ම වැඩක් බව අදටත් මෙහි නියම ස්වරූපය දකින විට කෙනෙකුට තේරුම් ගත හැකිය. අදහා ගත හැකිය.

ritigala

(පින්තූර මූලාශ්‍රය http://sharmini-serasinghe.blogspot.com/2011/03/ritigala-kanda-mountain.html)

මේ සියලු දේ අදටත් අපට අපේ ඇස් වලින් ම දැක බලා ගතහැකි ආකාරයෙන් ම ‍රැකී ආරක්ෂා වී පවතින්නේ ධර්මතාවයේ බලයෙන් මය.එදා පෘතුගීසි, ලංදේසි, ඉංග්‍රීසි යුග වල මේ ප්‍රදේශ මහ වනයෙන් වැසී නොගියේ නම් මෙම ප්‍රදේශ වල ඇති වටිනා නටඹුන් අද අපට අහිමි වන්නට ඉඩ තිබිණි.

දෙවුරම් වෙහෙරට අමතරව එදා රිටිගල කන්ද ආශ්‍රයෙන් ම ඉදි කර පිහි‍ටුවා තිබූ පූර්වාරාමය,යශෝධරා මෙහෙණි ආරාමය,හා වෙනත් වනවාසී ආරඤ්ඤ සේනාසන වල නටඹුන්ද අද දක්වාමත් මේ ප්‍රදේශය තුලම පවතී. අද රිටිගල කන්ද ලෙසින් සලකන අක්කර 5000 ක් පමණ  විශාල වූ වනයෙන් වැසුණු කඳු මුදුනේ ජේතවනාරාමයට ඉහලින් එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේදීම මාගධී ප්‍රාකෘත භාෂාවෙන් ලියූ අති විශාල සෙල් ලිපි අදත් එහි ඇති බව පුරා විද්‍යාඥයින් හෝ නොදන්නවා වියහැක. මෙහි සටහන් වන අකුරු ගණන දස දහසකට වැඩි මිස අඩු නම් නොවේ. මේ සෙල්ලිපි තවම කිසිවෙකුත් කියවා ඇතැයි සිතිය නොහැකිය. මෙය විනාශ කරන්නට කවුරුන් හෝ අතීතයේදී උත්සාහ දරා ඇති බවද පෙනේ. ඉංග්‍රිසි පාලන සමයේදී මේ සෙල්ලිපි දු‍ටු යමකු විසින් මෙය කඩාගෙන ‍රැගෙන යාමට දැරූ උත්සාහයක් හෝ විය හැකිය. නමුත් එහි විශාලත්වය අනුවත් ධර්මතාවය අනුවත් එය කෙනෙකුට ගෙන යා නොහැකි ලෙසින් ම අදටත් ‍රැකී ඇත.

මෙහි ලියා ඇති දේ කියවා තේරුම් ගෙන එදා හෙළ දිව ජන්බුද්වීපයේ නිවැරදි ඉතිහාසය සහමුලින් ම විවෘත කර ගැනීම රජයේත් පාලන බලධාරීන්ගේත් යුතු කමකි. වගකීමකි. රිටිගල යනු එදා හෙළදිව ජන්බුද්වීපයේ පිහිටි අසිරිමත් ම ස්ථානයයි.අදටත් ඒ අසිරිමත් බව එසේම ‍රැඳී ‍රැකී පවතී. සුදත්ත යන නම් ඇති අනේපිඬු සිටාණන් යන නමින් විරුදාවලි ලැබූ මේ මහා දානපතියා එදා වාසය කළේ ඔබත් මමත් අද ජීවත් වන මේ හෙළදිව ජන්බුද්වීපයේ ම කොසොල් රටේ මිස ඉන්දියාවේ නොවන බව දැන් සහතික කොට ප්‍රකාශ කල හැකිය.

එදා අනේපිඬු සි‍ටුතුමා විසින් ඉදි කරන ලද මෙම විශ්මිත දෙවුරම් වෙහෙර ගැන තම පුරෝහිතයන් අතින් තොරතුරු ඇසූ අශෝක මහ රජ තුමාද තමාගේ රාජ්‍යයෙහිත් එවන් දෙවුරම් වෙහෙරක් ඉදි කරන්නට යම් උත්සාහයක් දරා ඇති බව පෙනේ. රිටිගල පිහිටි මුල් දෙවුරම් වෙහෙරේ බුදුපියාණන් වැඩ සිටි ගඳකිලිය හා ඒ අවට වූ ගොඩනැගිලි සියල්ලමත් ඒ දිග ඒ පලල හා එම සැලැස්මද සහිතවම ඉන්දියාවේදී අද දකින්නට ඇති දෙවුරම් වෙහෙරේ ආකෘතියේ පදනම් වලද දකින්නට ඇත.නමුත් මෙහි ඇදහිය නොහැකි මූලික ම වෙනස නම් රිටිගල පිහිටි බුද්ධ කාලයේ ඉදි කල දෙවුරම් වෙහෙරේ පදනම සකස් කර ඇත්තේ පදම් කරන ලද තනි කළු ගලෙනි. අද නම් ග්‍රැනයිට් වලින් ය. අශෝක මහ රජු ඉදි කල දෙවුරම් වෙහෙර ගඩොලින් නිම කල එකකි. ඊට හේතුව බුද්ධ කාලයෙන් වසර 300 කට පමණ පසුව අශෝක මහරජ තුමා ඉදිකල දෙවුරම් වෙහෙර  ග්‍රීක ආභාෂයෙන් ගඩොලින් තැනීමය. රිටිගල දෙවුරම් වෙහෙරේ බිත්ති සඳුන් ලීයෙන් කළ බවක් පෙනේ. ඉන්දියාවේ බිත්ති ද ගඩොල් යොදා ඉදි කර තිබිණි.අදටත් ඉන්දියාවේ දඹදිව වන්දනාවේ  යන අයට රිටිගලටත් ගොස් මේ ඉදිකිරීම් දෙක සසඳා බලා මුල් ජන්බුද්වීපය  හා පසුව ඉන්දියාවේ සැදූ ජන්බුද්වීප ආකෘතිය යන දෙකේ වෙනස් කම් පැහැදිලිවම හඳුනාගත හැකිය. මේ ඇත්ත කවදාහෝ මතු විය යුතුමය. අශෝක රාජ්‍ය යුගයේ ඉන්දියාවේ සෑදූ වෙහෙර විහාර අසූහාර දහසෙහි මත් ගොඩනැගිලි නිර්මාණ වල ග්‍රීක හා හින්දු බලපෑම් දැකිය හැක. ඉන්දියාවේ හින්දු දේවාල හා අශෝක මහ රජු ඉදිකල වෙහෙර විහාර අතර එතරම් විශාල වෙනසක් නැත. නමුත් බුද්ධ යුගයේ, එදා ජන්බුද්වීපයේ, දේව හෙළයේ, ගොඩනැඟූ සියලු ඉදි කිරීම් වලට භාවිතා කර ඇත්තේ අපටම ආවේණික වූ ගෘහ නිර්මාණ ශිල්ප ක්‍රමයකි. වෙනත් කිසිම රටක මෙම ශිල්ප ක්‍රමයන් දකින්නට නැත. ලංකාවේම අනුරාධපුර යුගයේදී පවා දකින්නට ඇත්තේ අසෝක යුගයේ ඉන්දියාවේ ඉදි කිරීම් වලට සමාන ලක්ෂණයන් ය. බුද්ධ යුගයේ ජන්බුද්වීපයේ ,එනම් දේව හෙළයේ කිසිම ගොඩනැඟිල්ලක ගඩොල් එදා භාවිතා කළ බවක් දකින්නට නැත. යම් තැනක ගඩොල් භාවිතා කර ඇත් නම් ඒ ඉදි කිරීම අනුරාධපුර යුගයට හෝ පොලොන්නරු යුගයට හෝ අයත් ප්‍රතිසංස්කරණයකි. බුද්ධ යුගයෙන් පසුව මේ කළුගල් තාක්ෂණය හෙල දිවෙන් ද අහෝසි වී ගිය බවක් පෙනේ.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

කුසිනාරා නුවර

 http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

Budugala

(පින්තූර මූලාශ්‍රය http://www.panoramio.com/photo/46471308)

ගෞතම බුදු පියාණන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වූයේත්, ශ්‍රී දේහය ආදාහනය කළේත්,ද්‍රෝණ බමුණා විසින් සර්වඥ ධාතු බෙදීම සිදු කළේත් කුසිනාරා නුවරදීය. ඒ කුසිනාරා නුවර එදා පිහිටියේ මල්ල රජුන්ගේ රටෙහිය.

අශෝක මහරජතුමා ද බුද්ධ පරිනිර්වාණය සිහිපත් කිරීම සඳහා ඉන්දියාවේ “කාසියා” නමින් අද හඳුන්වන ස්ථානයක ස්මාරකයක් කරවීය. ස්ථූපයක් ද කරවීය. පසුව ඒහි බුදු පිලිමයක් ද ඉදිකර ඇත.

ගෞතම බුදුන් පිරිනිවියේත්, ශ්‍රී දේහය ආදාහනය කළේත් ද්‍රෝණ බමුණා ධාතු බෙදා දුන්නේත් මේ හෙළදිවේ දීමය.එදා මල්ල රට අග නුවර අද බලංගොඩට පහළින් පිහිටි රජවක මහවලතැන්න,උග්ගල් කල්තොටවේලිඔය සිට සංඛපාල තෙක් ඇති ප්‍රදේශය මල්ලව රාජධානියට අයත් ප්‍රදේශ  විය. අද “බුදුගල” කූරගල නමින් බලංගොඩට පහලින් කල්තොට පාරේ පිහිටි ප්‍රදේශය එදා ගෞතම බුදුන් පිරිනිවී ස්ථානයයි.අදටත් මේ ස්ථානයේ විශාල ප්‍රමාණයක් නටබුන් දැක ගත හැකිය. එකල මල්ල රජ දරුවන් ඉදිකළ සිහිවටන හා සෙල් ලිපි සියල්ලමත් ආදාහනය කිරීමට ඉදිකළ  පංචාවාසයත් අදටත් මෙහි දකින්නට ඇත. ගෞතම බුදු පියාණන් කුසිනාරා නුවරදී (හෙළදිව බුදුගලදී)පිරිනිවන් පා වදාළ පසුව එහිදීම ආදාහනය කළ බවත් ,ඒ සඳහා මූලිකවී කටයුතු කළේ මල්ලව රජ දරුවන් බවත් මහා පරිනිබ්බාණ සූත්‍රයේම සඳහන් වී ඇත. ද්‍රෝණ බමුණා විසින් ධාතු බෙදීමේදී මල්ලව රජ දරුවන්ට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ කුසිනාරා නුවරම (එනම් බුදුගල නමින් අද හඳුන්වන ස්ථානයේම) දන්තධාතු මන්දිරයක් තනවා ආරක්ෂා සහිතව තැන්පත් කර මල්ලව රජ පරපුර විසින් පුද පූජා පවත්වමින් ‍රැක ගත් බව පෙනේ. හෙළදිව ඉදිකළ පළමුවැනි දන්ත ධාතු මන්දිරයේ මුල් අඩිතාලම අදටත් බලංගොඩ බුදුගලදී කාටත් දැක ගත හැකිය.

දන්ත කුමරු හා හේමමාලා කුමරිය යනු මෙම මල්ලව රජ පරපුරෙන් ම බිහි වූ දන්ත ධාතූන් වහන්සේව ‍රැක බලාගත් හෙළදිව උපන් දෙදෙනෙකි. මල්ලව රටේ රාජ බලය දුර්වල වී යෑමත් සමන්ගම තමන් මෙතෙක් කල් සඟවා  ආරක්ෂා කරගෙන සිටි දන්ත ධාතූන් වහන්සේව අනුරාධපුරයේ  රජකම් කල කිත්සිරිමෙවන් රජුට හොර රහසේම ගෙන ගොස් භාර දුන්නේද මේ හෙළයේම උපන් දන්ත කුමරු හා හේමමාලා කුමරිය යන දෙදෙනායි.

මහාවංශ  අ‍ටුවාවේද මේ කතා පුවත නිවැරදිවම සටහන් වී ඇත. ඒ දන්ත කුමරු හා හේමමාලා කුමරිය ලංකාපුරයට ජන්බුද්වීපයේ සිට දන්ත ධාතූන් වහන්සේව වැඩමවාගෙන ආ පුවතයි. අද බුදුගල යනු එදා කුසිනාරා නුවරයි.කුසිනාරා නුවර පිහිටියේ බුදුන් ජන්මය ලබන ජන්බුද්වීපයේ හෙළ දිවයිනේය. ලංකාපුර වූයේ අනුරාධපුර නගරයයි.අදටත්  බුදුගල නමින් ඇති අක්කර 15 ක පමණ විශාල භූමි ප්‍රදේශයක මල්ලව රජදරුවන් විසින් එදා ඉදි කරන ලද ගොඩනැගිලි වල නටඹුන් කාටත් දැක ගත හැකිය.

මහා පරිනිබ්බාණ සූත්‍රයේ දක්වා ඇති පරිදි රජගහ නුවර සිට විශාලා මහනුවරටත් එතැන් සිට බේලුව ගමටත් ,එතැන් සිට පාවා නුවරටත් පැමිණි ගෞතම බුදුන් එහිදී පිරිනිවන් පෑ සේක. රජගහ නුවර වේළුවනය එදා පිහිටියේ අම්පාර නිල්ගල පාරේ පිහිටි රජගලතැන්න නම් ස්ථානයේය. එතැන් සිට බිබිලටත් ,මැදගම හා මොණරාගලටත් එතැන් සිට මාලිගාවිල හරහා විශාලා මහ නුවරටත් පැමිණියහ. අද විශාලා මහනුවරක් දකින්නට නැත. එය යාල අභය භූමියේ වනය හරි මැද කුඹුක්කන් ඔය අසල පිහිටි තැනකි. එහිද විශාල නටඹුන් රාශියක් අදටත් දකින්නට ඇත. ඒවා මහ වනයෙන් තවමත් යට වී ගොස් ඇත. අද මේ ස්ථානය කැබිලිත්ත දේවාලය ලෙසින් හඳුන්වයි.

විශාලා මහනුවර සිට බේලුව ගමට (බුත්තල) පැමිණ එතැන් සිට වැල්ලවායට පහලින් පිහිටි ඇතිලිවැව ප්‍රදේශය හරහා හබ්බෙගමුවටත් පැමිණියහ. එදා පාවා නුවර වූයේ අද හබ්බෙගමුව නම් මහ වනයෙන් වැසුනු ප්‍රදේශයයි. ඇතිලිවැව හා හබ්බෙගමුව අතර මාර්ගයේ එදා බුදුපියාණෝ රෝගීව දින දෙක තුනක් ගත කළහ.ඒ විශාල ගල්ලෙන් අදටත් එහි දකින්නට ඇත. මේ සියල්ලම දැන් මහ වනයෙන් වැසී ගිය ප්‍රදේශයන් ය.පාවා නුවරින් ගඟින් එතෙරව මල්ල රජදරුවන්ගේ රටේ කුසිනාරා නුවරට පැමිණි බව සඳහන්ය.එදා එගොඩ වූ ගඟ අද වේලි ඔය නමින් නම් කළ වලවේ ගඟේම තැනකි. එදා මල්ල රජ දරුවන්ගේ රාජධානියේ අග නුවර වූයේ බලංගොඩ ,රජවක මහවලතැන්න ප්‍රදේශයයි. බුදුගල නම් වූ ගෞතම බුදුන් පිරිනිවන් පෑ ස්ථානය මහවලතැන්නට සැතපුම් 10 ක් පමණ පහලින් පිහිටියේය. එදා එය කුසිනාරා නම් විය.අද එය බුදුගල කූරගල යන නමින් හැඳින්වෙයි.

මේ අනුව සිදුහත් උපත,ගෞතම බුදුන්ගේ සම්මා සම්බෝධියට පැමිණීම, පළමු ධර්ම දේශනය පැවැත්වීම මෙන්ම පිරිනිවන් පෑම යන මේ වැදගත් අවස්ථාවන් හතරම සිදු වූයේ එදා මේ හෙළදිවම පිහිටි ජන්බුද්වීපයේදීය.ඉන්දියාවේදී එදාඅශෝක මහ රජු විසින් ඉදි කරන ලද්දේ මේවායේ ම ආකෘතීන්ය. අද ලංකාවේ බෞද්ධයා ඉන්දියාවේදී දැක බලාගෙන වඳින්නට යන්නේ මේ ආකෘති වලට මිස නියම වශයෙන් ම නියත වූ තැනකට නොවේ. මෙය අනුමානයෙන් කරනු ලබන ප්‍රකාශයක් නොව සත්‍යය දැකීමෙන් ම කරන ප්‍රකාශයකි. සද්ධාවන්ත කුල පුත්‍රයින් සඳහා ම මතුකර පෙන්වාදෙන සත්‍යයකි.

ගෞතම බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පා වදාළ කුසිනාරාව හෙවත් බුදුගල.

Budugala Ruins

(පින්තූර මූලාශ්‍රය http://www.panoramio.com/photo/46471253)

බුදුගල පිහිටා ඇත්තේ රත්නපුර දිස්ත්‍රික්කයේ කල්තොට ප්‍රාදේශීය ලේකම් කොටසේය. රත්නපුර සිට බලන්ගොඩට ගොස් බලන්ගොඩින් දකුණට හැරී  කල්තොට පාරේ කි.මී.3 ක් පමණ ගිය පසු බුදුගල රජමහා විහාරය හමු වෙයි. ගොඩකවෙල සිට වැලිගෙපොලටත්,වැලිගෙපොල සිට කල්තොට පාරේ දියවින්න පසුකර කි.මී.5 ක් පමණ ගිය පසු බුදුගල රජමහා විහාරය හමු වේ. තණමල්විල හබ්බෙගමුව හරහා බලන්ගොඩ යන පාරෙන් ද මෙම ස්ථානයට පැමිණිය හැකිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

ඉසිපතනේ මිගදාය

http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16

වෙසක් පෝදා උතුම් සම්මා සම්බෝධියට පත්වූ,ලොව්තුරා බුද්ධ වූ ගෞතමයන් වහන්සේ ජයසිරි මහාබෝධි මූලයේ ම සත් සතියක් ගතකර මෙතැන් සිට කසීරට ඉසිපතනේ මිගදායෙහි ගල්ලෙනක සිටි පස්වග මහණුන් සොයා පා ගමනින් ම වැඩි සේක.මේ ගමන් විස්තරය හා මඟදී හමු වූ අය පිළිබඳවත් අරිය පර්යේෂණ සූත්‍රයේ ම සඳහන් කර ඇත.

ඉන්දියාවේදී ද අශෝක  මහ රජතුමා විසින්  ද එදා මෙම සිදු වීම සනි‍ටුහන් කිරීම සඳහා ඉසිපතනය නමින් ද එක් ස්ථානයක්  නම්කර එහි ඉදි කිරීම් කරවන ලදි.ඒ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ යුගයට වසර 300 කට පමණ පසු කාලයේ දී ය. ඉන්දියාවේ ගයා බෝධිය යැයි අද හඳුන්වන ස්ථානය හා ඉසිපතනය යයි අද හඳුන්වන  ස්ථාන දෙක අතර අද දුර කි.මී.400 ක් පමණ වෙයි. මෙවැනි දුරක් එදා පා ගමනින් යාමට නම් දින 20 ක් වත් ගමන් කළ යුතුය. වෙසක් මස පුන් පෝ දා ශ්‍රී මහා බෝධි මූලයේදී උතුම් සම්මා සම් බෝඪියට පත් වූ ගෞතම බුදුපියාණන් ඇසල මස පුන් පොහොය දා එනම් බුද්ධත්වයට පත් වී මාස දෙකකට  පමණ පසුව ඉසිපතනයේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ බව අරිය පරියේෂණ සූත්‍රයේ පොතේ සඳහන්ය. සති හතක්ම බෝ මැඩ අසල ම කාලය ගත කල බවත් සඳහන් ය. මේ අනුව පැහැදිලි වන්නේ ඉතිහාසය ලියූවන්ට කොහේ හරි වැරදී ඇති බවයි.

කෙසේ වුවත් එදා ජන්බුද්වීපයේ (හෙළදිව) දුර ප්‍රමාණයන් අනුව සලකා බලන විට මේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. හෙළදිව එදා ඉසිපතනය වූයේ අද මැදවච්චිය අසල පූනෑව පාරේ පිහිටි “ඉසින් බැස්සගල”යන නමින් අදටත් හඳුන්වන ස්ථානයයි.එදා කසී රට වූයේ අද වවුනියාව ,මුලතිව්,පදවිය ඇතුළු ප්‍රදේශයකි. එහි අග නුවර වරනාසි විය.අද එය වවුනියාව නම් වේ.එදා පස්වග මහණුන් වැඩ සිටි ස්වභාවික විශාල ගල් ලෙනත් එහි ඉදි කළ සෙල් ලිපිත් බුදු පියාණන් පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ස්ථානයත් යන සියල්ල ම අදටත් මේ “ඉසින් බැස්සගල”යන නමින් ප්‍රසිද්ධ වූ ස්ථානයේදී ම දැක බලා ගත හැකිය. එවකට ඉසිපතනේ මිගදායට බටහිරින් පිහිටියේ සාතාගිර ,හේමවත යන යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය රජුන් පාලනය කළ ප්‍රදේශයකි. මෙම රජ වරුන් දෙදෙනාම එදා ගෞතම බුදු පියාණන් බැහැදැක බණ අසා පැහැදුණු බව අරිය පරියේෂණ සූත්‍රයේ ද සඳහන් ය. සාතාගිරි, හේමවත යන මේ නම් දෙකම ආටානාටා සූත්‍රයේ සඳහන් හෙළදිව ගෝත්‍ර නායකයින්ගේ නම් වලටද ඇතුලත් ය. අදටත් සන්තාන කන්ද නමින් ම මෙම ප්‍රදේශය හඳුන්වයි.

ත්‍රිපිටකයේ සඳහන් වන තවත් වැදගත් පුවතක් ද මෙහිදී මතක් කළ යුතුය.එනම් ගෞතම බුදුන් හිරිවඩුන්නේ ශ්‍රි මහා බෝධි මූලයෙන් ඉසිපතනය බලා වැඩම කරන අතර මඟදී “තපස්සු..භල්ලුක”නම් වෙළඳ දෙබෑයන් හමු වූ බවයි. මොවුන් හමු වූයේ එදා ඉසිපතනයත් ශ්‍රී මහාබෝධියත් අතර මාර්ගයේදීය. අද එය ත්‍රිකුණාමලයට කිට්‍ටු හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ දීය. එහිදී තපස්සු භල්ලුක දෙබෑයන්ට ගෞතම බුදු පියාණන් ලබා දුන් පූජා භාණ්ඩය වූයේ කේස ධාතුය. ඒවා තැන්පත් කර ඒ වෙළඳ දෙබෑයන් විසින් එදා ඉදි කරන ලද ස්ථුපය ගිරිහඬු සෑය,තිරියාය යන නම් වලින් අදත් ප්‍රසිද්ධය. මේ ගිරිහඬු සෑය හා තිරියාය යන ස්ථාන දෙකම පිහිටියේ හෙළදිවය. ඉසිපතනයටත් ශ්‍රී මහා බෝධියටත් අතර ප්‍රදේශයේය.අදටත් මේ ස්ථාන වල ඉදිකළ ගොඩනැගිලි වල නටඹුන් විශාල ප්‍රමාණයක් දැක බලා ගත හැකිය.

යස කුලපුත්‍රයා සහ ඔහුගේ මිත්‍රයින් පනස් හතර දෙනෙකුද බුද්ධ ධර්මය අවබෝධ කරගෙන එදා මඟ ඵල ලැබූයේ ද කසී රට නම් වූ මෙම ස්ථානයේ දීමය. ඒ අනුව ගෞතම බුදුන් බුද්ධ ධර්ම දූත සේවය ආරම්භ කළේ අද වවුනියාවට නුදුරින් පිහිටි ඉසින් බැස්සගල (ඉසිපතනය)නම් මෙම පින් බිමේ දීය.අදටත් මේ ස්ථානයන් ධර්මතාවයෙන් ම වැසී යටපත්ව ‍රැකී පවතී. ඒ ධර්ම මාර්ගයේ යන අයට දැක බලා වැඳපුදා ගැනීම සඳහා මය.

හිසින් බැස්සගල  හෙවත් ඉර්ෂීන් පතනය වූ ස්ථානය.

Isenbessagala

(පින්තූර මූලාශ්‍රය http://www.panoramio.com/photo/44249406)

ගෞතම බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් බුද්ධ ධර්මය පස්වග මහණුන් ට දේශනා කර දහම් බෙරය හැඬවූ ස්ථානය මෙම ඉසිපතනය හෙවත් ඉසින් බැස්සගල රජමහා විහාර භූමියයි.අද එහි රජ මහා විහාරයක් ඇත. මහනුවර යාපනය අංක 9  පාරේ මැදවච්චියේ සිට කි.මීටර් දෙකක් පමණ වවුනියාව දෙසට ගම්න් කළ විට පාරේ දකුණු පැත්තේ මෙම පින් බිම පිහිටා ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

බුද්ධගයාව (ගයා බෝධිය)

http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16

hiriwadunna

අද බෞද්ධයා සම්මතයෙන් අදහන, බුද්ධගයාව යැයි අනුමාන කරන ස්ථානයක් ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ ගයා දුම්රියපළට කි.මීටර් 11 ක් දුරින් ද, ථාල්ගු නම් ගංඟාවට කි.මී. 10 ක් දුරින් ද පිහිටා ඇත. කලකට පෙර ධර්මපාලතුමන් විසින් මෙම ස්ථානය ගෞතම බුදුන් සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය ලෙසින් හඳුනාගෙන එය ලෝකයට මෙසේ පෙන්වා දෙන ලදී. මෙම ස්ථානයේ එදා අශෝක රජතුමා විසින් බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ගොඩනඟද්දී හින්දු හා ග්‍රීක සම්ප්‍රදායයන්ට අනුව එහි ගොඩනැඟූ ගොඩනැඟිලි කිහිපයක් ද, ඇසතු බෝධිය සිහිපත් කිරීම සඳහා පසුව රෝපණය කරන ලද මුල්ම බෝධීන් වහන්සේ අශෝක රජතුමාගේ ජීවිත කාලය තුළ දී අශෝක අධිරාජ්‍යයාගේ බිසවක විසින් ම කටුගසා විනාශ කර මරා දමන ලද බවක් ද ඉතිහාසයේ සඳහන් ය.

ගෞතම බුදුන්ට උතුම් බුද්ධත්වයට පත් වීමේ දී පිට දෙන්න‍ට උපකාර වූ ඒ අති උතුම් ඇසතු බෝධිය පන්දහසක් කල් යන තුරුම ජන්බුද්වීපයේ මධ්‍ය මණ්ඩල‍යෙහි ආරක්ෂා වී පවතින එකකි. එය කිසිම භූමි කම්පාවකින්, ජල ගැලීමකින්, ගින්නකින්, කුණාටුවකින් හෝ යම්කිසි මිනිස් ක්‍රියාකාරකමකින් හෝ විනාශ කළ හැකි එකක් නොවේ. පන්දහසක් කල් යන තුරු උතුම් බුද්ධ ධර්මය ආරක්ෂා වී පවතින්නාක් මෙන් ම නිවන් දකින්නට පිං ඇති ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට විශ්ව ශක්තිය සමඟින් අනුගත වී “බුද්ධ” බවට පත් වන්නට (අරහත් බුද්ධ බවට) පත් වන්නට මේ ඇසතු බෝධීන් වහන්සේ ද උපකාර වනු ඇත. තවත් දීර්ඝ කාලයක් ඉදිරියටත් මෙම උතුම් බෝධි වෘක්ෂය ජීවමානව පවතිනු ඇත.

අශෝක මහ රජතුමා විසින් හෙළදිව ජන්බුද්වීපයෙන් එදා ඇසතු බෝ පැළයක් ගෙන්වා ‍ගෙන ඉන්දියාවේ අද බුද්ධගයාව නමින් සම්මත කරගත් ස්ථානයේ එය රෝපණය කර වූ බවට නිවැරදි සාක්ෂි ඉන්දීය ඉතිහාසයේ ම සඳහන්ව ඇත. අශෝක රජුගේ ආගමික ක්‍රියාකලාපයන් අගය කරන්නටත් ලෝකයාට ප්‍රදර්ශණය කරන්නටත් එදා ඉදි කරන ලද සාංචි තොරණේ අදටත් දකින්නට ඇති රූ සටහන්වලින් පැහැදිළිව ම දැක්වෙන්නේ ජන්බුද්වීපයෙන් එදා වැඩමවාගෙන ආ ඇසතු බෝ පැළය මහරජ විසින් පිළිගෙන එය රොපණය කළ බවයි. එය සාංචි තොරණේ අශෝක රජුගේ කාලයේ දී ම සටහන් කර තබා ඇත.අද එය ද වැරදි ආකාරයට අර්ථකථනය කරන බව පෙනේ.

ගෞතම බුදුන්ට පමණක් නොව මේ මිහිතලය මත සම්මා සම්බුද්ධ තත්වයට පත්වන සියළුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලාට අතීතයේ මෙන් ම මතු අනාගතයේ ද බුද්ධත්වයට පත් විය හැක්කේ එක ම තැනකදී ය. ඒ ස්ථානය යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතව පවතින ජන්බුද්වීපයේ (බුදුන ජන්මය ලබන ද්වීපයේ හෙළදිව) මධ්‍ය මණ්ඩලයයි. එම ස්ථානය මේ හෙළදිව හරිමැද ස්ථිර වශයෙන් ම පිහිටා ඇති අතිරමණීය සථානයකි. ලංකාවේ සිතියමක් ගෙන අක්ෂාංශක දේශාංශක අතර ඇති හරස් කැපුමක හරි මැද ලක්ෂය හිරිවඩුන්නයි. හෙළබිමේ මධ්‍ය මණ්ඩලයේ අදටත් මේ උතුම් ඇසතු බෝධීන් වහන්සේ කාටත් දැක බලා ගත හැකි ආකාරයෙන් ම රැකී රැඳී ආරක්ෂා වී පවතී. (සිතියම බලන්න) මේ ස්ථානය අදත් ලංකාදීපයේ හරි මැදයි.

මෙම පැරණි ඇසතු බෝධීන් වහන්සේ දැනට වසර 2700ක් හෝ ඊටත් වැඩි වසර ගණනක් පැරණි බව එය දකින හැම කෙනෙකුටම මනාව වටහා ගත හැකිය. ගෞතම බෝසත් තුමා එදා මේ රමණීය බිම් කඩට පැමිණ තමන්ට පිටදීමට සුදුසු වෘක්‍ෂයක් සොයද්දී මෙම ඇසතු බෝධීන් වහන්සේ ඊට සුදුසු ප්‍රමාණයෙන් හැදී වැඩී උස් මහත් වී කදිම තත්වයෙන් පවතින්නට ඇත.එය ධර්මතාවයෙන් ම සකස් වූ බෝධිය මිස කවුරුන් හෝ කෘතිමව සකස් කළ එකක් ද නොවේ.

“හිරිවඩුන්න” නමින් මේ ස්ථානය අද හැඳින්වෙයි. මේ ස්ථානය එදා “සිරිවැඩඋන්න” ස්ථානය ලෙසින් ජන්බුද්වීප වැසියන් ගේ ව්‍යවහාරයට පැමිණ අද එය සිරිවැඩඋන්න වෙනුවට කටට හුරු ලෙසින් හිරිවඩුන්න බවට පත්ව ඇති බව පෙනේ. මේ ස්ථානය හබරණ දඹුල්ල පාරේ කි.110 කණුව අසලින් බටහිර දෙසට සැතපුමක් පමණ දුර ගමන් කිරීමෙන් අදටත් දැකගත හැකිය.

hiriwadunna2

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ද, අරඤ්ඤ සේනාසනයක් ලෙසින් ද අදටත් රැකී ආරක්ෂා වී ඇති මේ රමණීය බිම අද කාටත් දැක ගත හැකිය. එදා ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය.

1. ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය)
2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්‍රාසනය (ශිලා ආසනය)
3. කුසතණ පඳුරු (බෝධිය පිහිටි බිමේදීම දැක ගත හැකිය.මේ කුසතණ කවුරුන් හෝ වගාකළ ඒවා නොවේ) මේ කුසතණ ඒක දේශික බෝගයකි.
4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන)
5. මුචලින් ද රජු විසින් (නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනය (ඇඳ)
6. සුජාතා සිටු දුව කිරිපිඬු පිළිගැන්වූ අජපල් නුගරුක (මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැගී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත)
7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදියේ පාත්‍රය උඩුගං බලා ගිය ගංගාවේ ඉතිරි වූ කොටස, හාස්කමකින් සේ අදටත් ඒ ගංගාවේ යාර 200ක් පමණ වූ කොටසක් ඉතිරි වී ඇත.
8. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා උරුවෙල් කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාමවල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේ ම කොටසක් අදටත් “කස්සප ගම”) නමින් හඳුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය.

ගෞතම බුදු පියාණන් එදා බුදු වන්නට අධිෂ්ඨාන කරමින් තම පාත්‍රය නේරංජන ග‍ඟේ උඩුගං බලා යැවූ බව ඉතිහාසයේ සඳහන්ය. අදටත් හිරිවඩුන්නට උඩින් (ඉහත්තාවේ) ඇති ගම “උඩංගාව” නමින් හඳුන්වයි. (උඩ+ගං+ආ) “උඩංගාව” යනු උඩුගං බලා ගිය පාත්‍රය සිහිපත් කිරීමට අතීතයේ විසුවන් විසින් තබන ලද නමකි. හිරිවඩුන්නට තරමක් දුරින් පිහිටි ඒ අසලම වූ ගමක් අදටත් “මාමිණියාව” නමින් හැඳින්වෙයි. මෙය “මහ මුණි ආව” යන අර්ථයෙන් තැබූ නමකි. මහමුණි යනු ගෞතම බුදුපියාණන්ය. බුද්ධත්වයටපත් වූ ගෞතම බුදුන් එදා පළමුවෙන්ම මේ ගමට පැමිණි බව පෙන්වා දිය හැකිය.

මෙවැන් නම් ගම් තම මී මුත්තන්ගේ කාලයේ පටන්ම ධර්මතාවයෙන්ම රැකී රැඳී පවතින බව අදත් හිරිවඩුන්න වැඩිහිටියෝ පවසති. එදා ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට පත් වීමට උර දුන් , උපකාර වූ මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රමණීය භූමියත් ඕනෑම කෙනෙකුට දැක බලා ගත හැකි ආකාරයෙන් අදත් විවෘත බව ප්‍රකාශ කළ යුතුය. මෙම මුල් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සලසා දෙන්නේ අති පුදුම නොපෙනෙන බලවේගයකිනි. එහි රනින් කළ රන් වැටවල් නැත. එදා ගෞතම බුදුන් බුදු වූ මොහොතේ පටන් ම මෙම අදෘශ්‍යමාන බලවේගයන් මෙම ස්ථානයට අරක් ගෙන පවතින බව කිව යුතුය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මේ බලවේගය ජීවමානව ම අදටත් සිටින බව මෑතක දී සිදු වූ සිද්ධීන්ගෙන් කාටත් දැන ගත හැකි විය. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව එදා සංඝමිත්තා මෙහෙණිය විසින් හිරිවඩුන්නේ සිට අනුරාධපුර නගරය බලා වැඩමවා ගෙන ඒම එදා සිදු වූ සත්‍යය ම සිදුවීමයි. මෙය මහා වංශයේ ද සඳහන්ය. මෙය “ජන්බුද්ධීපා ඉධා ගතා ලංකාපුර” යනුවෙන් මාගධී බසින් බෝධීන් වහන්සේ වැඩමවීම ගැන මහා වංශයේ සටහන් වෙයි. ජන්බුද්වීපය යනුවෙන් එදා අදහස් කළ ප්‍රදේශය බුදුන් ජන්මය ලැබූ මේ හිරිවඩුන්න ප්‍රදේශයයි. එහි සිට සංඝමිත්තා මෙහෙණිය විසින් පාත්‍රයක් තුළ පැළ කරන ලද මෙම බෝ පැළය ඔරුවක පටවාගෙන මහකනදරාව තෙක් ගඟ දියේ ගෙනවුත් දෙවන පෑ තිස්ස රජුට එහි දී බාර දුන් බව ද පෙන්වා දිය යුතුය. එදා නේරංජනා ගඟ නමින් නම් කරන ලද විශාල ගංගාවක් හිරිවඩුන්න ආරඤ්ඤ සේනාසනය අසල ම ප්‍රදේශයේ සිට සැවැත් නුවර හරහා ගලාගොස් කෝකිලායි කලපුව ළඟින් මුහුදට ගලා ගිය බවද පෙනේ. අද ඒ විශාල ගඟ ඔයක් (හුරුලු ඔය) බවට පත් වූයේ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පසු කාලයක දී ඇලහැර දී අඹන් ගඟ හා සුදු ගඟ හරවා එහි ජලය පරාක්‍රම සමුද්‍රයට හැරවීමත් ඊට පහළ ප්‍රදේශවල දී මෙම ගඟ හරස් කර හිරිවඩුන්න වැව, හුරුළු වැව, මහගල් කඩවල වැව, වාහල්කඩ වැව හා පදවිය වැව වැනි විශාල වැව් ගණනාවක් පසු කාලයක දී සෑදීමත් නිසාය. අද මේ විශාල ගංඟාව කුඩා ජල පහරක් බවට (යාන් ඔය, හුරුළු ඔය) පත් වී තිබේ. නමුත් එදා සැවැත් නුවරට වෙළඳ බඩු ප්‍රවාහනය කළේ මේ ග‍ඟේ ගමන් කළ ඔරු පාරු හා කුඩා නැව්වලින්ය. සඟමිත් තෙරණිය ද එදා හිරිවඩුන්නේ සිට අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවා ගෙන ගියේ ද මේ නේරංජනා ගඟ දිගේම ඔරුවකිනි. ඒ හෙළදිව ජන්බුද්වීයේ සිට ලංකාපුරයටයි. ලංකාපුර පසු කලෙක අනුරපුර ලෙසින් ව්‍යවහාර විය.

එදා බුදුපියාණන් පිට දී බුද්ධත්වයට පත් වූ මෙම බෝ සමිඳුන්ගේ දකුණු ශාඛාව ගලවාගෙන ගිය ස්ථානයේ ම අදටත් සමහර වර්ෂවල මහා ආශ්චර්යයන් පාමින් සුදු බෝධීන් වහන්සේ නමක් මතු වී ඉන් බුදුරැස් විහිදුවන බව කවුරුත් නොදන්නා කරුණකි. 2009 මැයි මස 08 වැනි දින වෙසක් පුන් පොහොය දිනයේ හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිරාජයාගේ මුලින මතු වූ මෙම විශ්මිත සුදු බෝ අංකුරයේ සේයාරුවක් (2009-05-17 ගන්නා ලද) මෙහි ඇතුළත් කර ඇත. මෙම බෝ අංකුරය සති හතක් පවතී. ඉන්පසු ව අපවත් වී යාම ද සිදු වෙයි. මෙම සුදු බෝධි අංකුරය මතු වන්නේ ද වෙසක් පොහොය දිනයටමය. මෙම ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පත්‍ර පවා වෙනත් කිසිම බෝධියක දකින්නට නැති විශේෂ ලක්ෂණවලින් ද යුක්තය. අදත් මෙහි බෝ පත් වලින් පවා රශ්මියක් කිරණයක් විහිදේ. වෙනත් බෝ ගස්වල නැති විශේෂ ලක්ෂණ රාශියක් මෙහි දී දැකගත හැක. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මවු බෝධීන් වහන්සේ බව විද්‍යාත්මකව ද ඔප්පු කර පෙන්විය හැකි කරුණකි. ගෞතම බෝසත්තුමාට එදා සුජාතා සිටු දේවිය කිරිපිඞු පූජා කළේත් මේ බෝධීන් වහන්සේට නුදුරින් පිහිටි අජපල් නුග රුක මුලදී ය. ඒ නුග රුක මෙන් ම නේරංජනා නදියේ පාත්‍රය පා කර හැරිය, පාත්‍රය උඩු ගං බලා ගිය අඩි 300ක් 400ක් පමණ ගංඟාවේ කොටසක් ද අදටත් නිරුපද්‍රිතවම ඒ ආකාරයෙන් ම කාටත් දැක ගත හැකි සේ මෙම ආරඤ්ඤ භූමියේ ම ආරක්ෂා වී පවතී. ඒ ග‍‍ඟේඋඩ කෙළවර ප්‍රදේශය අදටත් “උඩංගාව” ලෙසින් නම් කළ ගමකි. ඒ උඩ ගං ආව යන අර්ථයෙනි. උඩු ගං බලා ආවේ පා කර හැරිය පාත්‍රයයි. එදා මේ ස්ථානයට කිට්ටු ම වූ පාලකයා වූයේ මුචලින්ද රජුය. මුචලින්ද රජුගේ නම ආටානාටා සූත්‍රයේ ද සන්ටුහන් වේ. මේ රජු නාග ගෝත්‍රික රජ කෙනෙකි. (නයෙක් නොවේ.) මුචලින්ද රජු එදා පැවති උසස් තාක්ෂණය යොදා ගෙන බුදු පියාණන්ට සකස් කර දුන් ගල් කුටිය හා ගල් ආසනය ද (දිග අඩි 6.5, පළල අඩි 3) අදටත් එතැනම දකින්නට ඇත.

බුදු පියාණන් එදා බුද්ධත්වයට පත් වී පස්වග මහණුන්ට පළමු ධර්ම දේශනාව පවත්වන්න‍ට ගිය ගමන ආරම්භ කළේ මේ බෝධි මූලයේ සිටය. පස්වග මහණුන් හා යසකුල පුත්‍රයා හා පිරිස ද මහණ කර වූ බුදු පියාණන් ටික කලකින් ම යළිත් ශ්‍රී මහා බෝධිය කරා පැමිණියේ ය. හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිය අසලම වූ කස්සප ගමේ එදා (අදටත් කස්සප ගම පවතී.) ජීවත් වූ නදී කස්සප, ගයා කස්සප හා උරුවෙල් කස්සප යන ජටිල තුන් බෑයන්ට ධර්මය දේශනා කළේත් මේ ශ්‍රී මහා බෝධි මූලයේදී ම ය. මේ අනුව ජටිල තුන් බෑයන් හා ඔවුන්ගේ පිරිස මඟ පල ලබාගෙන ඉන් පසුව හිරිවඩුන්න නම් වූ මෙම ස්ථානයේ ම ආරඤ්ඤ සේනාසන සකස් කර ගෙන වැඩ සිටි බවත් පැහැදිළිය. අදටත් අක්කර 11ක පමණ වූ මෙම භූමි භාගය තුළ මේ අතීත ආරඤ්ඤ සේනාසනවල සියළුම නටබුන් දක්නට ඇත. ඒ සියලු නටබුන් අනුරාධපුර යුගයට වඩා වසර 300ක්වත් පැරණි ඒවාය.

එදා පැවති මුචලින්ද විල නමින් ප්‍රසිද්ධ වූ විල නේරංජනා නදියට බටහිරින් අදටත් දකින්නට ඇත. අද ඉන්දියාවේ වන්දනාවේ යන පිරිසට දක්නට ලැබෙන්නේ බුද්ධ කාලයට වසර 300කට පමණ කාලයකට පසුව අශෝක මහ රජතුමා විසින් ගඩොලින් සාදා ගොජ නැංවූ බුද්ධගයාවේ ස්මාරකයකි. නමුත් හිරිවඩුන්නේ ඇති සියළු අංග ධර්මතාවයෙන් රැකී ආරක්ෂා වූ දේවල්ය. අරිය පර්යේෂණ සූත්‍රයේ ඉතා ම පැහැදිළිව පෙන්වා දෙන පරිදි “ඉතාම රමණීය භූමි භාගයකින් ද සිත් ගන්නා නේරංජනා ගඟ අසලම පිහිටි වැලි තලාව ද, ඒ අසලම පිහිටි ගොදුරු ගම ද සිත්කළු යැයි බුදු පියාණන් ම පවසයි. අද හිරිවඩුන්න ආරඤ්ඤයට යන ඕනෑම කෙනෙකුට තම දෑසින් ම මේ සියළු දර්ශන අරිය පර්යේෂණ සූත්‍රයේ එන වර්ණනාවට බිඳකුදු නොඅඩුවම දැක ගත හැකි අයුරු ආරක්ෂා වී පවතී. ඒ අතරම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන යෝගාවචරයෙකුට ම  සුදුසු වූත් සියළුම බුදුවරයින් වහන්සේලාට ද අරහත් ඵල සමාපත්තියට ම පත් වීමට උපකාර වූත් ඒ සමාපත්ති සුවය ලබාගත හැකි වූ විස්මිත විශ්ව ශක්තියක් ද මෙම ස්ථානයේ අදටත් පවතින බවත් මා ලැබූ අත්දැකීමෙන්ම ප්‍රකාශ කර සිටිමු.

ගෞතම බුදුන් ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පූර්ණ කර ගත්තේ මේ ස්ථානයේ දී ම බව පෙන්වා දීමට මෙයට වඩා තවත් උපමා උදාහරණ සාක්ෂි අවශ්‍ය නොවේ.

උතුම් විශ්ව ශක්තිය මේ ආකාරයට කේන්ද්‍ර ගත වූ වෙනත් තැනක් මේ මිහිතලය මත නැති බවත් මේ ස්ථානයේ දී ලබාගත හැකි මෙම විශ්ව ශක්තිය ධර්ම මාර්ගයේ යන අයට පමණක් ම ලබා ගත හැකි එකක් බවත් අවංකවම පෙන්වා දිය යුතුය. මෙතෙක් කාලයක්, වසර 1200කටත් වැඩි කාලයක් මෙම උතුම් ස්ථානය සොයාගත නොහැකි වන ආකාරයට මහ වනයෙන් වැසී යටපත්ව තිබිණි. එයට හේතුව ද ධර්මතාවය මිස වෙනත් හේතුවක් නොවේ. පවිත්‍ර බුද්ධ ධර්මය යළි මතුවීමත් සමඟ ම මෙම උතුම් ස්ථානයන් ද ධර්මතාවයෙන් ම මතුවීම සිදුවිය. ඔබත් ධර්ම මාර්ගයම අනුඟමනය කර මේ සත්‍යයන් අත් දැක ගන්න.

හිරිවඩුන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට යන ගමන් මාර්ගය :

කොළඹ ත්‍රිකුණාමලය පාරේ දඹුල්ල පසු කර කි. මීටර් 20ක් පමණ ගිය පසුව කි. මීටර් 110 කණුව ළඟින් වමට හැරී කි. මීටර් 1ක් ගුරු පාර දිගේ යා යුතු ය. හබරණ සිට හෝ අනුරාධපුර පොළොන්නරුව සිට හෝ පැමිණෙන විට හබරණ දඹුල්ල පාරේ කි. මීටර් 2 ක් පමණ පැමිණ දකුණට හැරී කි. මීටර් 1ක් ගුරු පාරේ ගමන් කළ පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ආරඤ්ඤ සේනාසනය හමු වේ. කොළඹින් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සෝමවතී පුදබිම, කන්තලේ, හිඟුරක්‍ගොඩ, මැදිරිගිරිය, කදුරුවෙල, දෙහිඅත්තකණ්ඩිය, මඩකලපුව බලා යන ඕනෑම බස් රථයක නැඟී හිරිවඩුන්නෙන් බැස මෙම පින් බිමට ළඟාවිය හැකිය. අක්කර 11ක් පමණ විශාල ආරඤ්ඤ සේනාසන භූමිය පුරා විසිරුණු පුරා වස්තු ඇති අතර සත් සතියට අදාළ සියළුම ස්ථාන අදටත් දැක බලාගත හැකිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය

http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16

lumbini_sal_gasa

අශෝක මහරජතුමා විසින් සිදුහත් උපත සනිටුහන් කරන්නට එදා තෝරා ගත්තේ ඉන්දියාවේ ඈත කෙළවරක පිහිටි කඳු සහිත ස්ථානයකි. මේ ස්ථානය අද “රුමින්දායි” නමැති ගම්මානයකි. එය අද නේපාලයට අයත් ගමකි. මේ ගමට කිසිම දවසක අතීතයේ දී ලුම්බිනිය යැයි නමක් ව්‍යවහාර කර නැත. නමුත් අපේම සමහරුන් මේ ස්ථානයට අද ලුම්බිනිය යන නම ලබා දී ඇත. මේ ස්ථානයේ අශෝක රජ විසින් ස්ථාපනය කරන ලද අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. එහි සටහන් වන කරුණු අනුව බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසුව පිහිටුවා ඇති මෙම ලිපිය බුද්ධ උත්පත්තිය සිහිපත් කරණු සඳහා සිහිවටනයක් ලෙසින් පිහිටුවන ලද බව සඳහන්ය. නමුත් එහි ඇති අකුරු අනූ හතරෙන් කිසිම තැනක මේ ස්ථානයේ දී සිදුහත් උපත සිදු වූ බවක් නම් ලියා තබා නැත.

අශෝකාවදානය නමැති සංස්කෘත භාෂාවෙන් ඊට කාලයකට පසුව ලියූ පොතක ද ඉන්දීය ගත්කතුවරයෙකු මේ ස්ථානය පිළිබඳව ලියා ඇති විස්තරයෙහි ද සිදුහත් කුමරු මෙම රුමින්දායි ගමෙහිදී උපන් බවක් හෝ ලුම්බිනිය යන නම මේ ස්ථානයට භාවිතා කළ බවක් හෝ සඳහන් කර නැත. එහි ලියා ඇත්තේ අශෝක රජ විසින් තම රාජ්‍යයේ කරන ලද ආගමික සංචාරවලදී මෙම ස්ථානයත් වන්දනා කර ගත් බවයි. එසේ වන්දනා කර ගන්නට පැමිණි අවස්ථාවේ ගම්වරක් පුදා එය තහවුරු කිරීමට මෙම අශෝක ලිපිය එහි ස්ථාපිත කළ බවත් පැහැදිළිය. එදා ඉන්දියාවේ හින්දු රජවරුන් තීර්ථ ස්ථාන වන්දනා කළ බවත්, තීර්ථ යනු පව්‍ සෝදා හරින තොටුපළවල් බවත් අශෝකාවදානයේ ම සඳහන් කර ඇත. මෙවැන් තීර්ථ ස්ථාන අටක් අශෝක රජතුමා මෙන්ම ශිලාදිත්‍යය රජතුමා වන්දනා කළ බව ඉන්දීය ඉතිහාසයෙහි ම දක්වා ඇත. (ලලිත විස්තරය) අශෝක රජතුමා ද තමා ගොඩ නැඟූ ධර්ම රාජ්‍යය තුළ සියළු ආගම්වලට සමතැන් දී ගොඩනැගිලි ඉදි කළ බවත් ඉතාම පැහැදිළිය. මේ අනුව අශෝක මහ රජතුමා විසින් තම රාජ්‍යය තුළ එවකටත් වැඳුම් පිදුම් කළ එක් තීර්ථායතනයක් මේ නමින් හඳුන්වා ගොඩනැගිලි අළුතින් ඉදි කර එය බුදුන්ගේ උපත සිදු වූ ස්ථානය සිහිපත් කිරීමට ඉදි කළ බව ද ලියා තැබූ බව පැහැදිළිය. ඒ මිස ඒ ලිපියෙහි සිදුහත් උපතක් ගැන නම් කිසිවක් ම සටහන් කර නැත. මේ බව බෂාම් නැමැති ඉතිහාසඥයා ද තහවුරු කරයි. පසු කාලවලදී ඉන්දීය හින්දු රජවරු ද මේ ස්ථානය වන්දනා කිරීමට ගිය බවත්, ශීලාදිත්‍ය රජු ද මේ ස්ථානය වැදගත් බවත්, චීන ජාතික හියුං සාං ද මේ ස්ථානයට ගොස් වැඳ පුදා ගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ.

bambaragala

අශෝක මහරජතුමාගේ පුරෝහිතයන්ට බුද්ධොත්පත්තියක් මිස සිදුහත් කුමාරොත්පත්තියක් ගැන අසන්නට හෝ දැන ගන්නට හෝ නොලැබුණු නිසාදෝ ඉන්දියාවේ වෙහෙර විහාර ගොඩනැඟීමේ දී මෙම රුමින්දායි නමැති ස්ථානයේ පිහිටු වූ අශෝක ලිපියේ ලියා තැබුයේ බුද්ධොත්පත්තිය සිහිපත් කිරීම සඳහා මෙම ශිලා ලිපිය ලියා තබන බවයි. සිදුහත් කුමරු පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. නමුත් නියම නිවැරදි සිදුහත් උපත සිදු වූයේ මේ හෙළදිව දේවහෙළයට අයත් ජන්බුද්වීපයේ ශාක්‍ය ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්න සල් වනයකදීය. අද මේ ස්ථානය තෙල්දෙණිය අසල පිහිටි බඹරගල බව හඳුනාගෙන ඇත. එදා දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව පිහිටි ප්‍රදේශයේය. එදා දෙව්දහ නුවර පිහිටිශාක්‍ය ජනපදයට අද උඩරට ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි බොහෝ ප්‍රදේශ අයත් විය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමෙන් වසර කිහිපයකට පසුව මෙම තෙල්දෙණියේ තමන් උපත ලැබූ සල්වනය අසල වූ ඉන්දසාල නම් ගුහාවේ එක් වසක් බුදු පියාණන් ගත කළ බව ත්‍රිපිටකයේ ම සක්ක පඤ්හ සූත්‍රයේ සඳහන් කර ඇත. එදා සල් උයන පසුව සල් වත්ත වී අද තල්වත්ත නමින වෙනස් වී ඇත. මේ ඉන්දසාල ගුහාව ද අද බඹරගල යනුවෙන් හැඳින්වෙයි. බඹරගලින් හමු වී ඇති සෙල් ලිපියක ද ගෞතම බුදුන් එහි වැඩ සිටි බව සඳහන් කර ඇත. පණිත සූත්‍රය යැයි සූත්‍රයක් ද මෙහිදී දේශනා කර ඇතත් අද මේ පණිත සූත්‍රය ද යම් කිසි ‍හේතුවක් නිසා ත්‍රිපිටකයෙන් ද හැලී ගොස් ඇත. ගෞතම බුදු පියාණන් එක් වසක් මෙහි ගත කළ බව මහාචාර්ය පරණවිතාන මහතා ද පිළිගෙන ඇත. (INSCRIPTION OF CEYLON- VOL 1.P.63:103 )

මෙම ලේඛනවල පැහැදිළිව ම ලියා දක්වා ඇති පරිදි ක්‍රි. පූර්ව 560 තරම් ඈත යුගයේ දී, එනම්, බුද්ධෝත්පත්තිය සිදු වූ යුගයේ දී ලියා තැබූ සෙල්ලිපි :

1.    දෙකුන්දරා සෙල්ලිපිය
2.    කොටා දැවු හෙළ සෙල්ලිපිය
3.    කොරවක්ගල සෙල්ලිපිය

නමින් නම් කර ඇති ශිලා ලේඛන රාශියකම සඳහන් කර ඇත. ඒ වන විටත් සිතුල්පව්ව (“චිත්තල පබ්බත”) විහාරයේ මහ රහතන් වහන්සේලා දොළොස් දහසක් විසූ බව සඳහන් වේ. (Inscription of Ceylon Volume 1 No.1035,1103,1104)

මහානාම හිමියන් ලියූ පාලි මහාවංශ අටුවාවෙහි ද මේ පුවතම සඳහන් වෙයි. (පාලි මහා වංශ පරිච්ඡේද 24,8,9 ගාථාවල මෙය සඳහන් වේ.)

“සඞඝං සන්නිපාතයි භූපති, ද්වාදසෙත්ථ සහස්සාති භික්ඛු චිත්තල පබ්බතා. තතෝ තතෝ ද්වාදහස්සේව සහස්සාති සමාගමුං” ද්වාදසෙත්ථ සහස්සාති යනු 12000 ක් යන්නයි.  චිත්තල පබ්බත යනු සිතුල්පව්වයි. මේ යුගය ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයයි. මේ පුවත සඳහන් වන්නේ රුහුණේ දී හෝ රජගහනුවරදී හෝ ලියූ මුල්ම හෙළ මහා වංශයේ ය.

ඉහත සඳහන් දෙකුන්දරා ලිපිය ඇතුළු සෙල්ලිපි 30කම  “ගෞතම ශ්‍රමන” යන නම පැහැදිළිවම සටහන් වීමෙන් ගල්ලෙන් තනවා ගෞතම ශ්‍රමණයානන් වහන්සේට ඒවා පූජා කළ බව පැහැදිළිවම ඔප්පු වෙයි.

එදා සුද්ධෝදන රජතුමා රජ කළේ ජන්බුද්වීපයේ කපිලවස්තු පුරයේය. හෙළදිව කපිලවස්තු පුරය එදා පිහිටා තිබුණේ අද දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ සරුසාර ප්‍රදේශයකටය. සුද්ධෝදන රජු එදා රජ කළ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතිණි. මාදුරු ඔය ජනපදයේ සිට මාවිල්ආරු සේරුවිල අල්ල ජනපදය ආදී විශාල ප්‍රදේශයක් දක්වා ම මේ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතුණි. මහවැලි ග‍ඟේ අනික් ඉවුරේ අද සෝමවාතිය, පොළොන්නරුව කන්තලේ පිහිටි ප්‍රදේශයේ එදා පිහිටා තිබුණේ කෝලිය ජනපදයයි. ශාක්‍ය හා කෝලිය ජනපද දෙක අතර එදා රෝහිණී නදියේ ජලයට යුද්ධයක් ඇති විය. මේ යුද්ධය ඇති වූයේ මෑතක දී වාගේම මාවිල්ආරු ප්‍රදේශයේ දී ය. ග‍ඟේ ජලය ප්‍රශ්ණයට මුල් විය. මේ ශාක්‍ය කෝලිය යුද්ධයේ පුනරාගමනයක් ලෙස මෑතදීත් මාවිල්ආරු ජල ප්‍රශ්ණය ඇති වූ බව සිහිපත් කළ හැකි ය. මේවා ඉතිහාසය නැවත නැවතත් සිදු වන විශේෂ සිදු වීම්ය. පුනරාගමන්ය.

එදා මහාමායා දේවිය ගැබ් පෙළහර පෑම සඳහා කපිලවස්තුපුර සිට දෙව්දහ නුවරට ගමන් කළබව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට ගමන් කළ බව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ  දෙව්දහ නුවරට යන මාර්ගයක් එදා පිහිටා තිබිණි. මේ මඟ ඔස්සේ කි. මීටර් 40ක් පමණ දුර ගිය විට තෙල්දෙණියට ළඟා විය හැකි ය. එය දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකුට පයින් පවා යා හැකි දුරකි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තුපුර යැයි ලකුණු කර ඇති තැන සිට නේපාලය ලුම්බිනිය යැයි ලකුණු කළ ස්ථානයට කි. මීටර් 300 පමණ දුරක් දැයි සාධාරණව කාටත් කල්පනා කර බැලිය හැකි කරුණකි.

ගැබ් පෙළහර පෑම එදා මේ හෙළදිව පැවති සිරිතකි. ඒ දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකු තම දෙමාපියන් කරා යෑමයි. මේ සිරිත මේ සිරිත අදටත් මේ ලංකාවේ පවතී. නමුත් ඉන්දියාවේ මෙවැනි සිරිතක් නැත. මේ අනුව ලංකාවේ එදා “ජන්බුද්වීපයේ” සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ බවත් මෙම ස්ථානය අද තෙල්දෙණිය – කුණ්ඩසාලේ අසල ස්ථානයක් බවත් අද එය යටපත්ව ගොස් ඇති බවත් පෙන්වා දිය යුතු ය. බඹරගල රජමහා විහාරය නමින් අද නම්කර ඇත්තේ ලුම්බිනිය යි.සිදුහත් කුමාරයා උපත ලැබූ බඹරගල රජමහා විහාරයට යන ගමන් මාර්ගය මහනුවර සිට මහියංගණයට යන පාරේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු දිගන හන්දිය හමු වෙයි. පරණ තෙල්දෙණියට යන පාරේ වික්ටෝරියා බැම්ම දෙසට කි. මීටර් 2ක් පමණ ගමන් ගන්නා විට වැවගම බඹරගල රජමහා විහාරයට යන පාර හමු වෙයි. එදා කපිල වස්තුපුරයේ සිට දෙව්දහ නුවරට යන මාවත රජ මාවත ලෙසින් හැඳින්වීය. අද බඹරගල රජමහා විහාරය පිහිටියේ මෙම රජ මාවත ආසන්නයේය. බඹරගල රජමහා විහාර භූමියේ දී අදටත් දැක ගත හැකි පරිදි වසර දහස් ගණනක් පැරණි සල්ගස් පිහිටා ඇත. මෙම ස්ථානයේ සදුහත් කුමාරොත්පත්තිය සදු විය. මෙම විහාරස්ථාන භූමියේම ගෞතම බුදු පියාණන් 6 වැනි වස වැඩ සිටි ගල් ගුහාවක් ඉන්දසාල ගුහාව ලෙසින් එම ලෙනෙහිම මාගධී ප්‍රාකෘත අකුරෙන් කොටා ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button