පංචස්කන්ධය හා පංචඋපාදානාස්කන්ධය

පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යනු සංකල්ප දෙකකි. මේවායින් ප‍්‍රකාශ කරන විග‍්‍රහ කරන දේ එකක්ම නොවේ. මේ දෙක අතර විශාල වෙනසක් ඇති අතර මේ වෙනස්කම් නිවැරදිවම අවබෝධ කර ගැනීම නිවන් අවබෝධකර ගැනීමට බොහෝ සේ උපකාර වෙයි. අද අපි සාමාන්‍ය ව්‍යවහාරයේදීත් බොහෝ ධර්ම දේශකයිනුත් පංචස්කන්ධය යැයි ප‍්‍රකාශ කරන්නේ ගත – සිත වශයෙන් අපි හඳුන්වන අපේම වතටයි. එයද පංචස්කන්ධයකි. නමුත් බුද්ධ දේශණාවේ විභංගප‍්‍රකරණයේ විග‍්‍රහකර ඇති පංචස්කන්ධයෝ ඊට බොහෝ වෙනස්ය.

1. රූප ස්කන්ධය   
2. වේදනා ස්කන්ධය   
3. සංඥා ස්කන්ධය
4. සංඛාර ස්කන්ධය   
5. විඤ්ඤාණ ස්කන්ධය

යනු පංචස්කන්ධයයි. එක් එක් ස්කන්ධය විස්තර කිරීමේදී එය නැවතත් කොටස් 11කට බෙදා ඇත. රූප ස්කන්ධය යනු රූප ගොඩක් යන්නයි. මේ රූප ගොඩට

1. දුර රූප
2. ළඟ රූප
3. සියුම් රූප
4 .ඝණ රූප
5. හීන රූප
6. ප‍්‍රණීත රූප
7. බාහිර රූප
8. අභ්‍යන්තර රූප
9. අතීත රූප
10. වර්තමාන රූප
11. අනාගත රූප

යනාදී වශයෙන් යම් කෙනෙකුට මෙනෙහි කරගත හැකි රූප සමුහයක්ම පංචස්කන්ධයට අයිති වෙයි.

මේ ආකාරයෙන්ම වේදනා ස්කන්ධයද, සංඥා ස්කන්ධයද, සංඛාර ස්කන්ධයද, විඤ්ඤාණ ස්කන්ධයද එකළොස් ආකාර වේ. මෙලෙස මිනිසෙකුට කෙනෙකුගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය පනස්පස් ආකාරයකට බෙදා මෙනෙහි කළ හැකිවෙයි. මේ පනස්පස් වූ කොටස්වලට පරිබාහිර වශයෙන් කිසි මිනිසෙකුට, දෙවියෙකුට මේ විශ්වය තුළින් වෙනත් අතිරේක යමක් මෙනෙහි කරගන්නටද නොහැකිය. මේ අනුව බුද්ධ දේශණාවේ එන පංචස්කන්ධය කෙනෙකුට සිතාගත නොහැකි තරම් විශාල වූ මේ මුළු සක්වලම පිළිබඳව කළ විග‍්‍රහයකි.

පංචඋපාදානස්කන්ධය යනුවෙන් පෙන්වාදෙන දෙවන කොටස මිනිසෙකුට, සත්ත්වයෙකුට, දෙවියෙකුට, උපාදානය කරගත හැකි ඉතාම සුළු කොටසකි. පංචඋපාදානස්කන්්ධයේද පෙරකී පරිදිම කොටස් එකොළහ බැගින් බෙදා විග‍්‍රහ කළ

1.  රූප උපාදානස්කන්ධය   
2.  වේදනා උපාදානස්කන්ධය
3.  සංඥා උපාදානස්කන්ධය   
4.  සංඛාර උපාදානස්කන්ධය
5.  විඤ්ඤාණ උපාදානස්කන්ධය  

යැයි කොටස් පහක්ම ඇත. මේ අනුව පංචඋපාදානස්කන්ධයද පනස් පස් ආකාරයකින් බෙදා දැක්වෙයි. ඉහත පෙන්වා දුන් රූපස්කන්ධයෙන් යම් කෙනෙකුට උපාදානය කර ගත හැකි වන්නේ ඉතාම සුළු රූප කොටසක් පමණි. දකින, පෙනෙන සිතාගත හැකි රූප අනන්ත අප‍්‍රමාණය. නමුත් ඉතාම සුළු කොටසක් පමණක් උපාදානය කරගනී. මෙලෙසම වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය අතරින්ද උපාදානය කර ගන්නා ඉතාම සුළු කොටසක් පංචඋපාදානස්කන්ධයට අයිති වේ. ඉහත දැක් වූ අසීමිත පංචස්කන්ධයන් අතරින් ප‍්‍රිය රූප, ප‍්‍රිය වේදනා, ප‍්‍රිය සංඥා, ප‍්‍රිය සංඛාර, ප‍්‍රිය විඤ්ඤාණ පමණක් කෙනෙකු උපාදානය කර ගන්නා අතර අප‍්‍රිය දේ උපාදානය කර නොගනී. එසේනම් යම් කෙනෙකුට තම සිතින් මෙනෙහි කළ හැකි එකළොස් ආකාර වූ රූප ස්කන්ධය අතරින් ඉතාම සුළු ප‍්‍රිය රූප කොටසක් පමණක් උපාදානය කරගනී. අනන්ත අප‍්‍රමාණ වූ අනිකුත් රූප උපාදානය කර නොගනී. ඒ නිසා ප‍්‍රිය බවක්, සුව සැප බවක්, යහපත් බවක් දකින රූප පමණක් රූප උපාදානස්කන්ධයට ඇතුළත් වෙයි. උපාදානයේ නියත ලක්ෂණය ප‍්‍රිය බවයි. පංචඋපාදානස්කන්ධයම ප‍්‍රිය බව නිසා උපාදානය කරගත් කොටසකි.

උපාදානය කරගත් යම් කොටසක ප‍්‍රිය බව පහව ගියේ නම්, ප‍්‍රිය බව අප‍්‍රිය බවට පත්වූයේ නම්, ඒ කොටස ක‍්‍රමයෙන් උපාදානය කරගත් කොටසෙන් ප‍්‍රහාණය කර ඉවත් කරයි. අලුතින් යම් දෙයක් කෙරෙහි ප‍්‍රිය මධුර බවක් ඇතිවූයේ නම්, ඒ කොටසද උපාදානය කරගනී. මේ අනුව උපාදානස්කන්ධයට අයත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් පහම නිතිපතා වෙනස් වන නිරතුරුවම අලුත්වන, වෙනස්වන, ඉවත් කරන ස්වභාවයෙන් යුක්තය. යම් කෙනෙකුට මේ පංචඋපාදානස්කන්ධයේ ඇතිවන නිරන්තර වෙනස්වීම දැකගත හැකි වුවොත්, එම පුද්ගලයාට චුති – උපත යන දෙකද නිවැරදිව තේරුම් ගත හැකි වෙයි.

එකම ආකාරයක එකම පංචඋපාදානස්කන්ධයක් කිසිම පුද්ගලයෙකුට දිගටම පවත්වාගෙන යා හැකි නොවේ. රූපස්කන්ධය ගතහොත් සමස්ත රූපස්කන්ධයමත් නිරන්තරවම වෙනස් වන අතර උපාදානය කරගත් රූපස්කන්ධය හෙවත් රූප උපාදානස්කන්ධයද නිරතුරුවම විපරිණාමයට පත්වේ. වැයවේ. විනාශ වේ. පුද්ගලයාගෙන් පුද්ගලයාටද පංචඋපාදානස්කන්ධයද කාලයත් සමඟම හැම මොහොතකම වෙනස් වෙයි. මේ ධර්මතාවය නිවැරදිව යමෙකුට තේරුම් ගත හැකි වූවොත්, චුතූපපාත ඥාණය පහළවීමටද එයම උපකාර වෙයි.

පංචස්කන්ධය යනුවෙන් අප කලින් සඳහන් කළ දේවල් කිසිම මිනිසෙකුට සත්ත්වයෙකුට දුක හෝ සැප හෝ උරුම කර දෙන්නට සමත් එකක් ද නොවේ. පංච උපාදානස්කන්ධයම සියලු ආකාර වූ දුක සැප උරුමකර දෙන්නටද හේතුව වෙයි. මිනිසුන්, සත්ත්වයින් සැප යැයි සළකන්නේ පංචඋපාදානස්කන්ධයේ ප‍්‍රිය කොටසටයි. ඒ උපාදානය කරගත් යම්කිසි ප‍්‍රිය කොටසක් අප‍්‍රිය බවට පත්වී නම් එතැනදී මිනිසුන් එයම දුකක් ලෙසින්ද සළකති. සියලු මිනිසුන්, සත්ත්වයින්, දෙවියන් සැප යැයි සළකන්නේ ප‍්‍රිය බවක්, මධුර බවක් තමන් තමාගේම සිතෙන්ම ඇති කරගත් මායාවක් මුළාවක් මිස සත්‍යයක්ද නොවේ. යම්කිසි දෙයක් පිළිබඳව ප‍්‍රිය මධුර බවක් තම සිත තුළම හටගත්තේ නම් එවැනි රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ තමන් උපාදානය කරගනී. තමා තම සිතෙන්ම අල්ලා උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධය එක දිගටම තමන්ට කැමති සේ පවත්වන්නට, කැමති ආකාරයෙන් නවත්වාගන්නට නොහැකිව විපරිණාමයට, වෙනසට භාජනය වූ විට එතැනදී දුක, ශෝක, පරිදේව, දොම්නස්, උපායාස ආදී සියලු ලක්ෂණද පහළවෙයි. මෙයට මුල් වූයේ ”අනිච්ච” ධර්මතාවයයි. කැමති සේ පැවැත්විය නොහැකි බවයි. මේ අනුව දුක යනු යම් ප‍්‍රිය දෙයක් උපාදානය කර අල්ලා ගැනීමත් සමඟම එහි නියත ලක්ෂණය වූ නිච්ච ධර්මතාවය නිසා නියත වශයෙන්ම උරුම වන ඵලයයි. විපාකයයි. දුක්ඛ අරිය සත්‍යය නිවැරදිව තේරුම් ගන්නට නම් මේ උපාදානස්කන්ධය පිළිබඳව නිවැරදිව තේරුම් ගත යුතුයි. යම් යම් දේ පිළිබඳව, පුද්ගලයින් පිළිබඳව, වස්තූන් පිළිබඳ ප‍්‍රිය බවක් ඇති වීමත්, එවැනි ප‍්‍රිය වූ දෙයක් අප‍්‍රිය බවට පත්වීමත් දුකට හේතුවයි. එවැනි ප‍්‍රිය දෙයක් උපාදානය කර නොගත්තේ නම් දුකක් හෝ සැපක් ඇතිවන්නේද නැත.

මේ නිසා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධයේම යථාස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමත්, අපේම සිතෙහි හටගන්නා ප‍්‍රිය බව හා අප‍්‍රිය බව නිවැරදිව තේරුම් ගැනීමත්, චතුරාර්ය සත්‍යය නිවැරදිව අවබෝධ කර ගන්නටද උපකාරවන මූල ධර්මයයි. සැප පතා, සුව පතා, ප‍්‍රිය මධුර දේ කෙරෙහි ඇලුනේ නම්, එවැනි දේ උපාදානය කරගත්තේ නම්, එය සංසාර ගමනට එකම හේතුවද වෙයි. ලෝකයේ යම් සත්ත්වයෙකු, භූතයෙකු, මිනිසෙකු, දෙවියෙකු උපත ලබන්නේද, දුක් විඳින්නේද, දුක හටගන්නේද ඊට එකම හේතුව, ප‍්‍රිය මධුර වස්තූන් කෙරෙහි ඇති වූ ඇල්ම, උපාදානය, බැඳීම නම් වූ පංචඋපාදානස්කන්ධය නිසයි. ප‍්‍රිය, මධුර වස්තූන් ලොව පැවතීම හෝ එවැනි ප‍්‍රිය මධුර වස්තූන් විනාශ කර තුරන් කිරීම හෝ කාටවත් කවදාකවත් කළ හැකි දෙයක් නොවේ. ඒ ඒ සත්ත්වයා යම් දිනක ප‍්‍රිය, මධුර වස්තුන් කෙරෙහි ඇති කරගන්නා පංචඋපාදානස්කන්ධය ඉවත් කරන්නට සිතින් තුරන් කරන්නට සමත් වුවහොත් දුකද එයින්ම කෙළවර වෙයි. අරහතුන්වහන්සේ කිසිම ආකාරයකින් පංචඋපාදානස්කන්ධයකට බැඳී නැත. පංචස්කන්ධය අරහතුන් වහන්සේටත් පොදු දෙයකි. ඒ අනුව පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යන දෙක නිවැරදිවම තේරුම් ගෙන, නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ධර්මයම තේරුම් ගත යුතුය.

දසබිම්බර මාර සෙනඟ වශයෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළේද මේ පංචඋපාදානස්කන්ධයමයි. අභ්‍යන්තර හා බාහිර වශයෙන් රූප උපාදානස්කන්ධය දෙයාකාරය. වේදනා උපාදානස්කන්ධයද දෙයාකාරය. සංඥා, සංඛාර, විඤ්ඤාණය යන පංචඋපාදානස්කන්ධයෝම නිසා දස ආකාරයකින් කෙනෙකු බිමට බර වෙයි. බිම අල්ලාගනී. බිමක පිහිටා සිටියි. ප‍්‍රතිෂ්ඨාපිත වෙයි. මේ නිසා දසබ්ම්බර මාර සෙනඟ වන්නේ අභ්‍යන්තර හා බාහිර පංචඋපාදානස්කන්ධ කොටස් දහයයි.

ලෝභ, ද්වේෂ, මෝහ නිසා සිතක තණ්හාව රතිය හා රඟපෑමේ අවශ්‍යතාවයද මතුවෙයි. උපාදානස්කන්ධ නිසාම තණ්හා, රතී, රඟා යන මාර¥තියෝද ක‍්‍රියාත්මක වෙති. පංචඋපාදානස්කන්ධයක් අල්ලාගෙන සිටිනා තුරාවට යම් කෙනෙකු මාරයාටද ණය ගෙවිය යුතුය. මරුට ණය ගෙවීමෙන් වැළකෙන්නට නම්, අල්ලාගෙන උපාදානය කරගෙන සිටින පංචඋපාදානස්කන්ධයම අතහැර නිදහස් විය යුතුයි. රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය, වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය ආදී වශයෙන් සංඥාව, සංඛාර හා විඤ්ඤාණයද මමත්වයෙන්, මඤ්ඤතිතාවයෙන් අල්ලා ගෙන, පංචස්කන්ධ කොටස් අල්ලාගෙන සිටිනා තුරාවට හේතුඵල පරම්පරාවකටද බැඳෙයි. සම්බන්ධවෙයි.

මේ පංච උපාදානස්කන්ධයම මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්මය යැයි ගැනීමට සුදුසු නොවන බව යම් කෙනෙකු ප‍්‍රත්‍යක්ෂ කර සත්‍යාවබෝධ කරගත හොත් ඒ පුද්ගලයා පංචඋපාදානස්කන්ධයම උපාදානය කර ගැනීමෙන් වැළකෙයි. එයම අතහැර නිවන් අවබෝධ කර ගනී.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.