බව නිරෝධය සහ සමුදය නිරෝධ කිරීම

අද වන විට බොහෝ භාවනා මධ්‍යස්ථානවල සංඥා නිරෝධ කිරීමක් ගැන පෙන්වා දෙන බවත්, උගන්වන බවත් අසන්නට ලැබෙන බවත් පෙන්වා දිය යුතුයි. බුද්ධ දේශණාවේ නම් කිසි විටකත්, කිසි තැනකත් සංඥා නිරෝධයක් නම් අනු දැන වදාරා නැත. මෙවන් වූ සංඥා නිරෝධයක් ගැන කථා කරන, දේශණා කරන, භාවනා ගුරුවරුන් ලෙස පෙනී සිටින බොහෝ දෙනා ”සංඥා” යනුවෙන් පෙන්වා වදාළ බුද්ධ දේශණාවේ සඳහන් ”නාම” කොටසට අයත් පදය හෝ ”නිරෝධ” කිරීම යන ක‍්‍රියා පදයේ හෝ අර්ථය නොදැනම කථා කරන බවත් පෙන්වා දිය යුතුය. සංඥා නිරෝධ කළ පුද්ගලයා අසංඥ තත්ත්වයට පත්වීම නියත වශයෙන්ම සිදු වෙයි. අසංඥ තත්ත්වයට පත්වූ පුද්ගලයෙකුට සිතේ මතු වන කෙළෙස් ප‍්‍රහාණය කර දැමීමට හෝ එසේ ක‍්‍රියා කිරීමට හෝ කෙළෙස් මුල් උදුරා සිත පිරිසිදු කර දැමීමට හෝ අවශ්‍ය වන හොඳ සිහිකල්පනාවක් නොපවතී. තමන්ගේ සිතට අරමුණු වන සියලුම සංඥා එනම් රූප සංඥා, ශබ්ද සංඥා, ගන්ධ සංඥා, රස සංඥා, පොට්ඨබ්භ සංඥා හා මනෝ සංඥා කෙරෙහි පිරිසිදු සතින් අවධානයෙන් පසු වී, (පරිමුඛං සතිං උපට්ඨපෙත්වා) ඒ අරමුණු වෙන් කර, තෝරා බේරා ගෙන, ඒවා භාවිතා කළ යුතු යහපත් අරමුණු ද (සතෝව අස්ස සති) ඒ අරමුණු භාවිතයෙන් බැහැර කළ යුතු කෙළෙස් සහිත අරමුණුද යන්න තෝරා බේරා ගෙන සතියෙන් යුතුව ක‍්‍රියා කිරීම කළ යුතුය. ඒ මිස සංඥා නිරෝධ කිරීමක් පිළිබඳව බුද්ධ දේශණාවේ නම් කොතැනකවත් සඳහන් කර නැති බව අවධාරණයෙන්ම සඳහන් කර පෙන්වා දෙන්නට කැමැත්තෙමු.

මේ අනුවම බුද්ධ දේශණාවේ ඇස නැමති ඉන්ද්‍රියය නිරෝධ කිරීමක් හෝ කන ආදී අනෙක් ඉන්ද්‍රියයන් නිරෝධ කිරීමක් ගැනද මාගධී භාෂාවෙන් නම් අනුදැන වදාරා නැත. ඉන්ද්‍රියයන් ක‍්‍රියාත්මක නොවන කලක ඉන්ද්‍රියයන්ට සංඥා නොලැබෙන කලක ඔහු අන්ධයෙකු, බිහිරෙකු ලෙසින් සැළකිය හැකිවා මිස සතියෙහි පිහිටා භාවනා කරන්නෙකු ලෙසින් සැළකිය හැකි නොවේ. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් මෙන්ම මනීන්ද්‍රියද අසංඥ තත්ත්වයට පත් කළ විට මානසික රෝගින් වනවා මිස භාවනා කරමින් සිත පිරිසිදු කර ගැනීමේ යහපත් චේතනාව නම් සම්පූර්ණ වන්නේද නැත. බුද්ධ දේසණාවෙන් පෙන්වා වදාළේ ”සමුදය” නිරෝධ කිරීම පිළිබඳවයි. ”යං කිංචි සමුදය ධම්මං සබ්බංතං නිරෝධ ධම්මං” ලෙසින් පෙන්වා දුන් පැහැදිළි කිරීමද අද වැරදියට අර්ථ ගන්වා ඇත. ”සමුදය” යනු සං උදය වීමයි, සං උපත ලැබීමයි. සං උපත ලැබීමට මුල් වූ, නිදාන වූ, ප‍්‍රත්‍යය වන හේතුවන කරුණු ලෙසින් සම්මා දිට්ඨි සූත‍්‍රයේ කරුණු 15ක්ම පෙන්වා දී ඇති අතර මේ සියලු කරුණු නිරෝධ කළ හැකි අතර ඒ මගින් සිදුවන්නේ ”භව” නිරෝධයෙන් සමුදය (සංභව) නිරෝධ වීමයි. මෙහිදී ”නිරෝධ” යන මාගධී පදයේ අර්ථය නිර්උදා යන්නයි. එයම ”අනුත්පාදෝ” යන නොඋපදවීම යන තේරුමෙන්ද භාවිතා කර ඇත. කෙළෙස් ගති සිතක ඉපදීම ආරම්භ වනවාත් සමගම ඒ බව දැක මේ ගති නොඋපදවා සිතින් බැහැර කිරීම නිරෝධ කිරීම යන ක‍්‍රියාවයි. ”නිරෝධ” යන පදයේම ප‍්‍රතිපක්ෂ වූ අර්ථය ගෙනෙන පදය රෝද කිරීමයි. දහසක් සිතුවිලි පැවැත්වීම, චිත්ත විථි දිගේ සිතින් රවුම් ගැසීම, අරමුණක් සිතට ලැබුණු විට ඒ අරමුණ කාමච්ඡන්දයට අදාළ කාම විතර්කයක් නම්, ව්‍යාපාදයට අදාළ ව්‍යාපාද විතර්කයක් නම්, මෝහයෙන් කරුණු ලබන විහිංසා විතර්කයක් නම් ඒ බව දැන හඳුනා ගෙන ඒ මොහොතේම ඒ අරමුණ දිගේ රවුම් ගැසීම, සිතින් රෝද කිරීම නවතා දැමීමට ක‍්‍රියා කිරීම ”නිරෝධ” කිරීමයි. ඒ කෙළෙස් සහිත වූ අරමුණ දිගේ සිතින් රවුම් ගැසීම රෝද කිරීම නවතා දමා ඒ වෙනුවට ඒ අරමුණට ප‍්‍රතිපක්ෂ වූ වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණක් සිත තුළ මතුකර වගාකර ගැනීම, ‘‘අනතිවත්තන අර්ථයෙන්’’ භාවනා කිරීම යන ක‍්‍රියාකාරකම මගින් ද විග‍්‍රහ කර ඇත.

සිතක් තුළ සමුදය උපදින මූලික කරුණු 15ක්ම සම්මා දිට්ඨි සූත‍්‍රයේදී පෙන්වා දී ඇත. මේ කරුණු 15 ම නිසා සමුදය උපදින අතර සමුදය නිරෝධ කිරීම මගින්ම ”සංභව” නිරෝධ කළ හැකිය. ”හේතුං පටිච්ච සංභූතං – හේතු භංගා නිරුජ්ඣති” යනුවෙන් පෙන්වා වදාළේ මේ සමුදය නිරෝධ කිරීමයි. අවිද්‍යා සංඛාර, විඤ්ඤාණ, නාම රූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව යන අවස්ථාවන් හා කම්ම, කෙළෙස්, ආසව හා ආහාර යන හේතුන් නිසාද සමුදය බිහි වන බවත් මේ කිනම් අවස්ථාවක් හෝ අනුත්පාද ලෙසින් නිරෝධ කළ හැකි නම් ඒ අනුවම සංභව නිරෝධ වන බවත් ඉතාම පැහැදිළි ලෙසින් පෙන්වා වදාරා ඇත. සම්මා දිට්ඨි සූත‍්‍රයේ දී පෙන්වූ නිරෝධ කළ හැකි කාරණා අතර ”සංඥා” යන්න පෙන්වා දී නැත. බුද්ධත්වයට පත් වූ බුදුපියාණන් වහන්සේත් ඉතිරි ජීවිත කාලය පුරාම සංඥා භාවිතා කළ යුතුය. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් භාවිතා කළ යුතුය. එසේ කරන ලද්දේය. නමුත් සංඥාවලට පටිච්ච වීමෙන් සමුදය නම් බිහි කළේ නැත. ඒ නිසා සියලු අරහතුන් වහන්සේලාම සමුදය නිරෝධ කිරීමක් කරනු මිස සංඥා නිරෝධ කිරීමක් නොකරන බව පැහැදිළිව ම තේරුම් ගත යුතුයි.

සංඥා නිරෝධ කළහොත් ඒ පුද්ගලයා අසංඥ තත්ත්වයට, විසංඥ තත්ත්වයට පත්වෙනු ඇත. එවන් අය මානසික රෝගීන් බවට පත් වීමද මේ අනුවම සිදු වෙනු ඇත. මේ අනුව සංඥා නිරෝධ කිරීමක් ගැන අනරිය භාවනා ක‍්‍රමවල දැක්වූවත්, බුද්ධ භාවනා ක‍්‍රමවල නම් අන්තර්ගත වී නැත. අනුමත කළේද නැත. ධර්මාවබෝධයක් නැති අශ‍්‍රැතවත් පෘථග්ජන පුද්ගලයෝ් පටිච්චසමුප්පාද ධර්මය අවබෝධ කර නොගැනීම නිසාම බොහෝ විට සංඥා නිරෝධ කිරීමක් ගැන අද කථා කරති. පොත් පත් වල ද ලියා දක්වති. බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” යන්න වැරදියට තේරුම් කරදීම මෙයට බොහෝ විට මුල් වන්නට ඇති බවත් පෙන්වා දිය යුතුය. ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” සමවදින්නේ අරහතුන්වහන්සේලා පමණි. මෙතැනදී සිදු වන්නේ සංඥාවක් නිසා අරමුණු වන සුව වේදනාවක්, දුක් වේදනාවක් හෝ අදුක්ඛම අසුව වේදනාවකට හෝ පටිච්ච නොවී සංපස්සජා වේදනා තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිසා ලබන නිරාමිස සුවයට පත් වීමයි. මේ නිසා සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වූ අරහතුන්වහන්සේ අනිමිත්ත, අප්පණිහිත යන සමාපත්තීන් වලටත් සමවැදීමෙන් සිදු කරනු ලබන්නේ සංඥාව මගින් උත්පාදනය වන වේදනාව (සුව වේදනා හෝ දුක් වේදනා හෝ අදුක්ඛම අසුඛ වේදනා) නිරෝධ කිරීමක් පමණි. වේදනාවක් ඇති වීම නිසා තණ්හා උපාදාන හා සංභව සිතක හටගනී. වේදනා නිරෝධ කිරීම නිසා උපේක්ඛා සිතින් සංඛාර උපේක්ඛා ඥාණයෙන් යුතුව ක‍්‍රියා කිරීමෙන් සිදු කරනු ලබන්නේ වේදනා නිරෝධ කර වේදයිත තත්ත්වයට සිත පිරිසිදු කර ගැනීමෙන් සුව වේදනාවට නොඇලී, දුක් වේදනාවට ද නොගැටී, ඒ අතර වූ සුඛ දුක් සහිත වේදනාවන්ටත් මුළා නොවී ක‍්‍රියා කිරීමට පුරුදු වූ අරහතුන්වහන්සේ, සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට සමවැදීමෙන්, නිබ්බාන සුවය අත් විඳ ගැනීමට ක‍්‍රියා කිරීමයි.

සමුදය වීම ගැන තේරුම් නොගත් කෙනෙකුට, එනම් ”සං” දැක නොගත් කෙනෙකුට සමුදය නිරෝධ කිරීමද තේරුම්ගත නොහැකිය. ඒ නිසා ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ කෙනෙකුටම පමණක් සමුදය නිරෝධ කිරීමක් ද කළ හැකි වෙයි. මේ නිසා බුද්ධ දේශණාවේ සඳහන් නිරෝධ කිරීම යන්නෙන් අර්ථ දක්වන්නේ ඉපදීමට පෙරම බිහි වීමට ඉඩ නොදීම යමක් අනුත්පාද කිරීම ලෙසින් ”නිරෝධ” කිරීම යන්න අර්ථ දක්වා ඇත. නොඋපන් අකුසල්, කෙළෙස් ගති නොඋපදින්නටත්, යළි කෙළෙස් ගති සිතෙහි මුල් බැස උත්පාදනය නොවීමටත් ක‍්‍රියා කිරීම සමුදය නිරෝධ කිරීම ලෙසින් පෙන්වා දී ඇත.

ඇස, කන ආදී ඉන්ද්‍රියයන් නිරෝධ කළ හැකි වන්නේ ද නැත. ඉන්ද්‍රියය භාවනාවෙන් කරගත යුත්තේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් අක‍්‍රීය කිරීමක් නොව ඇසෙන් දකින රූපය නිසා සිතෙහි හටගන්නා සමුදය ශක්තිය, ක‍්‍රියාවේ ශක්තිය මත්වීම, රත්වීම, ගිනි ගැනීම යන ස්වභාවය නැමැති ක‍්‍රියාවේ වේගය පාලනය කර ගැනීමයි. චක්ඛු යනු ඇසයි. චක්ඛුං යනු ඇසෙන් රූපයක් දැක උපදින ක‍්‍රියාවේ වේගයයි. මේ ක‍්‍රියාවේ වේගය පාලනය කර ගැනීම යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක‍්‍රියාකාරී වීමෙන්ම කරගත හැකිය. මෙය ශික්ෂණය, හික්මීම සංවරත්වය යනාදී පදවලින් ද විග‍්‍රහ වෙයි. මේ අනුව තේරුම් ගත යුත්තේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් නිරෝධ කළ නොහැකි බවත් ඇසින්, කනෙන් කරනු ලබන ක‍්‍රියාවන් නිසා සිත මත් වීමේ, රත්වීමේ, ගිනිගැනීමේ වේගය සමථයකට පත්කර සිත පාලනය කර ගැනීම ඉන්ද්‍රියය සංවර භාවනාව ලෙසින් පෙන්වූ වගයි. මේ අනුව පටිච්ච වීමේ ක‍්‍රියාවලිය තේරුම් ගෙන පටිච්ච නොවී ක‍්‍රියා සිත් පැවැත්වීමට පුරුදු පුහුණු වීම මගින්ම සමුදය නිරෝධ කර ගැනීමටද කටයුතු කිරීම භාවනාවයි. මෙය පටිච්චසමුප්පාද ධර්මාවබෝධය මඟින්ම ඉන්ද්‍රියයන් සංවරත්වයට පත්කර ගැනීම යන නිවැරදි බුද්ධ භාවනාවයි. මේ අනුව සමථ භාවනා, විපස්සනා, අනුපස්සනා භාවනා යන සියලුම භාවනාවන් කිරීමෙන් සාක්ෂාත් කරගතයුතු වන්නේ සිතක උපත ලබන කෙළෙස් ගති උපත ලැබීමට හේතු වන මුල් වන ”පටිච්ච වීම” තේරුම් ගෙන පටිච්ච වීමම නවතා දමා සමුදය බිහි නොකරන තත්ත්වයට තම සිත පිරිසිදු කර ගැනීමයි. ”සං” උපත ලැබීමට මුල් වන කෙළෙස් ගති සහමුළින්ම සිතින් උදුරා, උපුටා ඉවත් කර දැමීමට ක‍්‍රියා කිරීම සම්මා අංගයන් සම්පුර්ණ කර ගැනීමයි. මේ අනුව සම්මා දිට්ඨියට පත් වීමෙන් සම්මා අංගයන් සම්පූර්ණ කරගැනීම අරිය අට්ඨාංගික මාර්ගය සම්පුර්ණ කරගැනීම යන්න සහ හොඳ, යහපත්, නිවැරදි යන ලෞකික අර්ථයෙන් අද භාවිතා කරන ලෞකික සම්මා දිට්ඨිය විග‍්‍රහ කිරීම දෙයාකාර වෙයි. රාගයෙන් මිදී, ද්වේෂයෙන් මිදී, මෝහයෙන් හා මානයෙන් ද මිදී සිත කෙළෙස් ගති වලින් තොර පිරිසිදු තැනක් බවට පත්කර ගැනීම සම්මා අංග සම්පූර්ණ කර ගැනීම අරිය අෂ්ටාංගික මාර්ගය සම්පුර්ණ කර ගැනීම යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ නිබ්බානගාමී මාර්ගයයි.

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.