ධම්මානුධම්ම පටිපදාව ආනාපාන සති භාවනාව ඇසුරින්

මජ්ඣිම නිකායේ සඳහන් ආනාපානසති භාවනා ක්‍රමය

බුදුපියාණන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව දේශණා කිරීමට මුල් වූ පසුබිමේ සඳහන් නිදාන කථාවද අසා දැන තේරුම් ගැනීම බෞද්ධ අබෞද්ධ කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත. මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහිම ප‍්‍රකාශ කර දක්වන පරිදි එය මෙසේ සැකෙවින් විස්තර කර දෙමි.

එක්තරා පසළොස්වක පොහොය දිනක බුදුපියාණන් වැඩ සිටි මිගාර වනයට බුදුපියාණන් බැහැ දැකගනු පිණිස භික්ඛු සංඝයා වහන්සේලා විශාල වශයෙන් රැුස්වූහ. සැරියුත්, මුගලන් දෙඅග සව්වන් සමඟ මහා කප්පිතේන, මහා චුන්ද, අනුරුද්ධ, රේවත, ආනන්ද ආදීන් තම තමන්ගේ ශ‍්‍රාවක භික්ඛූන්ද සමඟ පැමිණ මිගාර වනයෙහි සමවත් සුවයෙන් කමටහන් භාවනා කළහ.

එහි සිටි නවක භික්ඛූන්, මඟඵලලාභීන් සහ මහඅරතුන්වහන්සේලාද දුටු බුදුපියාණන් විමසා සිටියේ ”ඔබලා කුමන කර්මස්ථානයක් භාවනා කරමින් සිටිත්ද යන්නයි.

”අපි සතර සතිපට්ඨානය වඩමින් සිටිමු. අපි සතර සම්මප්පදාන වඩමින් සිටිමු. අපි සතර ඍද්ධිපාද වඩමින් සිටිමු. අපි පංචබල භාවනාව වඩමින් සිටිමු. අපි සත්ත බෝජ්ජංග භාවනාව වඩමින් සිටිමු. අපි අෂ්ටාංගික මාර්ගය වඩමින් සිටිමුයි” බොහෝ අය පිළිතුරු දුන්හ.

තවත් කෙනෙක්, ”අපි මෙත්තා භාවනාව වඩමින් සිටිමු. අපි කරුණා භාවනාව වඩමින් සිටිමු. අපි උපේක්ඛා භාවනාව වඩමින් සිටිමු. අපි අසුභ භාවනාව වඩමින් සිටිමු. අපි අනිච්ච සංඥා භාවනාව වඩමින් සිටිමු.”යැයි පිළිතුරු දුන් සේක.

මේ සියල්ලම සාවධානව අසා සිටි බුදුපියාණන්වහන්සේ සියලු භික්ඛු සංඝයා වහන්සේලා රැුස්කර විශේෂ දේශණයක් කරමින් ආනාපාන සති සූත‍්‍ර දේශණාව වදාරා විග‍්‍රහ කර දුන් සේක. මෙසේ දේශණා කර විග‍්‍රහකර දුන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව මීට පෙර භාවිතයේ තිබූ අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසති භාවනා ක‍්‍රමයට හාත්පසින්ම වෙනස් එකකි. එය අර්ථ ගැන්වූයේ අරිය විනයට ගැළපෙන පරිදි අර්ථ, ධර්ම, නිරුක්ති සහිතවය.

”සන්ති භික්‍ඛවේ, භික්‍ඛු ඉමස්මිං භික්‍ඛු සංඝේ ආනාපානසති භාවනානුයෝගමනුයුත්තා විහරන්ති. ආනාපාන සති භික්‍ඛවේ භාවිතා බහුල කථා මහප්පලා හෝති මහානිසංසා, ආනාපානසති භික්‍ඛවේ භාවිතා බහුලී කථා චත්තාරෝ සතිපට්ඨානේ පරිපුරෙන්ති. චත්තාරෝ සතිපට්ඨානේ භාවිතා බහුලී කථා සත්ත බොජ්ජංගේ පරිපුරෙන්ති. සත්ත බොජ්ජංගේ භාවිතා බහුලීකා විජ්ජාවිමුක්තිං පරිපුරෙන්ති.”

මෙහි තේරුම :- ”මහණෙනි මම ඔබලාට ආනාපාන සති භාවනාව දේශණා කරමි. මෙය සියලු භාවනා ක‍්‍රම වලට වඩා පහසුවෙන් හා ඉක්මනින් සතර සතිපට්ඨානය සම්පූර්ණ කරගෙන සත්ත බොජ්ජංග සම්පූර්ණ කරගෙන විද්‍යා විමුක්තිය පූර්ණ කර ගතහැකි මහත්ඵල සහිත වූ මහානිසංස ඇති භාවනා ක‍්‍රමයකි. මෙයම වඩ වඩාත් භාවනා කරන්න. අනිකුත් සියලු භාවනා ක‍්‍රම වලින් ලබාගත හැකි ධ්‍යාන හා මාර්ගඵල මෙම ආනාපානසති භාවනාව තුළින් පහසුවෙන් හා ඉක්මණින් ලබාගත හැකිය. ඒ නිසා මේ අරිය භාවනා ක‍්‍රමය ඔබලාට නිර්දේශකර අනුදැන වදාරමි.”

බුදුපියාණන් බුද්ධත්වයට පත්වීමේදී ද උපකාර කරගත්තේත්, භාවිතා කළේත්, මෙම ආනාපානසති අරිය භාවනා ක‍්‍රමයයි. මෙසේ එදා දේශණා කර වදාළ ආනාපානසති භාවනාව අතීතයේ පටන් පැවත ආ සම්මත ලෞකික ආනාපානසති භාවනා ක‍්‍රමයම නොවේ. මෙය අරහත් බවට පත්වූ සමහර ශ‍්‍රාවකයින් වහන්සේලා පවා දැන නොසිටි නිසා සියලුම භික්ඛු සංඝයා වහන්සේලා වෙත මෙය දේශණා කර ධර්ම අර්ථය මතුකර පෙන්වා දුන් බවත් ඉතාම පැහැදිළිය.

සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ බොහෝමයක් සූත‍්‍ර ධර්ම වලද මෙම ආනාපාන සති සූත‍්‍රය වරින්වර නැවත නැවතත් දේශණා කර වදාරා ඇත. එහි දැක්වෙන පරිදි බුදුපියාණන්වහන්සේ පවා වරින් වර තම ශ‍්‍රාවකයින්ගෙන් වෙන්වී මාසයක් දෙකක් තනිවම ආනාපාන සති භාවනාවෙහි යෙදෙමින් ඉහාත්ම සුඛ විහරණය ලබා ගත්හ. මේ අනුව බලනවිට බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ පරිදි මෙම අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය අරහත් ඵල ලැබූ, මඟඵල ලැබූ සහ මඟඵල නොලැබූ, මඟඵල ලබන්නට උත්සාහ දරන යන තුන් කොටසටම සුදුසු වූ මහත්ඵල ලබාදෙන, මහානිසංස සහිත එකම භාවනා ක‍්‍රමයයි.

මෙම උතුම් භාවනා ක‍්‍රමයෙහි ධර්ම අර්ථයම අද නැවතත් සොයා මතුකර ගෙන අරිය භාවනාවක් ලෙසින් භාවිතයට ගන්නට මිනිසුන්ට මඟ කියාදිය හැකිනම් බොහෝ මිනිසුන්ට අද පවා නිවන් අවබෝධ කරගැනීමට නියත වශයෙන්ම වාසනාව ලැබෙනු ඇත. මේ අනුව ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි සඳහන් ධර්ම අර්ථයම මතුකර තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය.

”කථං භාවිතාච භික්ඛවේ ආනාපාන සති කථං බහුලී කථා මහප්ඵලා හෝති මහානිසංසා, ඉධ භික්‍ඛවේ භික්‍ඛු ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංඛං ආභූජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති”

මෙම පාඨයෙන් පෙන්වා විග‍්‍රහකර ඇත්තේ ආනාපානසති භාවනාව වඩන්නට උත්සාහ දරණ කෙනෙකු විසින් සම්පූර්ණ කරගත යුතු පූර්ව කොන්දේසි කිහිපයකි. මේවා ඉතා ප‍්‍රවේශමෙන් කියවා මෙහිදී බුදුපියාණන් ගෙනහැර පා වදාළ ධර්ම අර්ථයම අවබෝධ කරගත යුතුය. යම් කෙනෙකු භාවනාව ආරම්භ කරන්නට පෙර

1. ආරඤ්ඤ ගත විය යුතුය.
2. රුක්ඛමූල ගත විය යුතුය.
3. සුඤ්ඤාගාර ගත විය යුතුය.

1. ආරඤ්ඤගතෝවා යන පදයේ ලෞකික වශයෙන් සම්මත කරගත් අද භාවිතයේ පවතින අර්ථය මහ කැලෑවකට, වනාන්තරයකට ගොස් භාවනා කිරීමයි. එසේත් නැතිනම් කැලෑ ප‍්‍රදේශවල පිහිටි ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කිරීමයි.

ආරඤ්ඤගතෝවා යන පදයේ අරිය විනයේ එන ලෝකෝත්තර ධර්ම අර්ථය මීට හාත්පසින්ම වෙනස්ය. රඤ්ඤ යනු ”රණබිම, යුධබිම” යන අර්ථයයි. ආරඤ්ඤ යනු රණබිමෙන්, යුධබිමෙන් ඉවත් වූ යන අර්ථයයි. අද ගිහි ගෙදරක වාසය කරන හෝ පන්සලක වාසය කරන හැම කෙනෙකුම තමන් දැන හෝ නොදැන ජීවත්වන්නේ යුධබිමකය. රණබිමකය. තම සිත නිරන්තරයෙන්ම ගෙදර ප‍්‍රශ්න නිසා, අනෙක් ලෝකයාගේ ප‍්‍රශ්න නිසා, දේශපාලන ප‍්‍රශ්න නිසා යුධබිමක සිටින්නෙකුගේ තත්ත්වයට පත්වී අසහනයෙන්, ගින්නෙන් දැවි දැවී හැම මොහොතක්ම ගත කරයි. ගුවන් විදුලි යන්ත‍්‍ර, රූපවාහිනි යන්ත‍්‍ර, දුරකථන, පුවත්පත්, ඕපා¥ප ආදී සියල්ලම සිත ගිනි අවුළුවන සිත යුධබිමක සිටින්නෙකුගේ ස්වරූපයට පත්කරන මූලාශ‍්‍රයෝය. තමන් මේ යුධ තත්ත්වයෙන් වෙන්වී තම සිත රණ තත්ත්වයෙන් අරණ තත්ත්වයට වෙනස් කරගෙන තම නිවස තුළම හෝ ගෙවත්තේම හෝ නිදහස් තැනක තැන්පත්වීම ආරඤ්ඤගතෝවා යන වචනයේ ලෝකෝත්තර ධර්ම අර්ථයයි.

මහ කැළයකට හෝ වනයකට හෝ භාවනා මධස්ථානයකට හෝ ගියත් තම සිත තුළ පැසවන්නේ සිත ගිනි අවුළුවන සුළු රාග, ද්වේෂ, මෝහ අරමුණු නම්, සිතුවිලි නම් එතැන ආරඤ්ඤ ගතවීමක් නැත. එතැන ඇත්තේ රණබිමක ස්වරූපයයි. මේ නිසා භාවනාවට සැරසෙන කෙනෙකු පළමු පියවර ලෙසින් තම සිත රාගයෙන් ඇලීමෙන්, ද්වේෂයෙන් ගැටීමෙන්, මෝහයෙන් මුළාවීමෙන් නිදහස් කරගෙන භාවනාව ආරම්භ කිරීම අරිය විනයේ ආරඤ්ඤගතෝවා වීමයි.

2. රුක්ඛමූලගතෝවා යන පදයද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම තේරුම්ගත යුතුය. එහි අද භාවිතා කරන සම්මත ලෞකික අර්ථය කැළේ මහ ගසක් මුලට වී භාවනා කිරීමයි. නමුත් මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. රුක්ඛ යනු ආරක්ෂා වීමයි. සිත රැක ගැනීමයි. විඤ්ඤාණයෙන් ක‍්‍රියාත්මක වන සිතක් නිතරම ඇලීමට, ගැටීමට, මුළාවීමට කැමතිය. තම විඤ්ඤාණය නිරතුරුවම විවිධ ආකාරයේ මායා සිතුවිලි මවාපා පිය මධුර දේ කෙරෙහි සිත අලවයි. නොසැලෙන, නොසෙල්වන චිත්ත ධෛර්යයකින් යුක්තව සිත රැුක ගැනීම රුක්ඛමූල ගතෝවා වීම යන්නයි. කාටවත් පළවා හරින්නට නොහැකි, කවුරුවත් බාධා නොකරන, වැස්සට, අව්වට ආරක්‍ෂා විය හැකි බාධා රහිත ස්ථානයක් භාවනාව සඳහා තෝරා ගැනීමද රුක්ඛමූලගතෝවා යන්නෙහිම ධර්ම අර්ථයයි.

3. සුඤ්ඤාගාරගතෝවා යන පදයේද ලෞකික සහ ලෝකෝත්තර අර්ථයන් දෙකක්ම ඇත. මේ අර්ථ දෙකම නිවැරදිව තේරුම් ගෙන ධර්ම අර්ථයෙන්ම සුඤ්ඤාගාරගතවීම භාවනාව කරගෙන යාමට උපකාර වෙයි. පාළු හිස් ගෙදරකට යාම හෝ මිනී කනත්තකට යාම, ගල් ගුහාවකට යාම, සුඤ්ඤාගාර ගතවීමක් ලෙස අද සම්මතයේ භාවිතා වෙයි. සුඤ්ඤාගාරගතෝවා යන්නෙහි ධර්ම අර්ථය තමාගේ සිත තුළම ඇති කරගත යුතු නිදහස් තත්ත්වයකට සිත පත්කර ගැනීමයි. රණබිමෙන් තොර වූ ආරඤ්ඤගත වීමෙන් පසුව රුක්ඛමූලගතවීමෙන් පසුව සිත චංචල නොවන, භාවනාවට සුදුසු නිදහස් තත්ත්වයකට සිත පත්කරගත හැකිවෙයි. අතීතයේ තමන්ම එකතුකරගත් රාග, ද්වේෂ, මෝහ මූලික කාම විතර්ක සිතුවිලි වලින් නිදහස්ව සිතට එවන් සිතුවිලි අරමුණු ගලා ඒම නවත්වා ගෙන භාවනා කිරීමට සුදුසු තත්ත්වයකට තම සිතම සුඤ්ඤාගාරයක තත්ත්වයට පත්කර ගැනීමයි. භාවනා කිරීමට ඉඳගත් මොහොතේ පටන්ම සිතෙහි මතුවන්නේ භෞතික, ලෞකික බලාපොරොත්තු නම් කාම විතර්ක නම් එතැන භාවනාවට සුදුසු සිතක් පවතින්නේ නැත. අතීතය අමතක කර ඉන්ද්‍රිය සංවරය තුළින් සිත තැන්පත් කර ගැනීම කර්මස්ථාන වැඞීමට සුදුසු පරිදි සිත සුඤ්ඤාගාරගත කර ගැනීම මෙහිදී බලාපොරොත්තු වන තත්ත්වයයි.

මේ පියවර තුනම නිවැරදිව තේරුම්ගත් කෙනෙකුට බුදුපියාණන් දේශණා කළ ආනාපානසති භාවනාවද නිවැරදිවම තේරුම්ගෙන භාවිතා කළහැකි වෙයි.

”නිසීදති පල්ලංකං ආභූජිත්වා” යනුවෙන් ප‍්‍රකාශ කළේ පළක් බැඳ පර්යංකයෙන් හිඳගැනීම ලෙස අද සම්මතයේ ලබාදෙන අර්ථ විග‍්‍රහයයි. නමුත් අරිය විනයේ ධර්ම අර්ථය වන්නේ මහන්තත්තකමෙන් ඉවත්වී, උද්ධච්චකමෙන් ඉවත්වී, අභිමානයෙන්, මමත්ත්වයෙන් තොරව තම සිත පහළම අංකයට ගෙනවිත්, මානයෙන් තොරවී අවංකව, පිරිසිදුව භාවනාවට ගැළපෙන ලෙසින් සිත සකස්කර ගැනීමයි. උච්චාසයන, මහාසයන තත්ත්වයෙන් සිත, කය නිදහස් කරගෙන බිමට බැස භාවනාවට ගැළපෙන සේ සිත ගත සකස්කර ගැනීමයි.

”උජුංකායං පණිදාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා” යන පදයේ සම්මත තේරුම කය සෘජුව තබාගෙන හොඳ සිහියෙන් යුතුව ක‍්‍රියා කිරීම යන්නයි. මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය හේතුඵල දහමට ගළපා බලා, සියලු වැරදි කායකර්ම වලින් වැළකී යහපත් කාය කර්ම සිහිපත් කිරීමයි. සතියෙහි පිහිටා උට්ඨාන වීර්යයෙන් ක‍්‍රියා කිරීමයි.

”සෝ සතෝව අස්සසති සතෝ පස්ස සති” ”සෝ” යනු හෙතෙම, ඔහු යනුයි.

මෙහි කලින් සඳහන් කළ පූර්ව කොන්දේසි සම්පූර්ණ කරගත් ඔහු සත්‍යාවබෝධයෙන්ම ලැබූ සත්‍ය ධර්මාවබෝධය නිසාම කුසල ධර්ම ආශ‍්‍රය කරයි. අකුසල ධර්ම ප‍්‍රහාණය කරයි. එසේත් නැතිනම් ආශ‍්‍රය කළයුතු දහමත් දනී. ප‍්‍රහාණය කළයුතු අධර්මයත් දනී. කුසලය ආශ‍්‍රය කළයුතු බවත් දනී. අකුසලය ප‍්‍රහාණය කළ යුතු බවත් දනී. ”ආනාපාන සති” යනු වචන තුනකි. ආන = අස්ස, පාන = පස්ස. ”අස්පස් කරනවා” යනුවෙන් අපේ පැරන්නන් අතර ගැමි වහරේ එන ව්‍යවහාර වචනයක් ඇත.” ගෙයක් අස්පස් කරනවා, කාමරයක් අස්පස් කරනවා” යනු ඒ කාමරයේ ඇති ප‍්‍රයෝජනයට ගතහැකි වටිනා දේ පිසදමා ශුද්ධ කර භාවිතයට ගතහැකි පරිදි අස් කිරීමත්, ප‍්‍රයෝජනයට ගත නොහැකි නොවටිනා කුණු කන්දල් පස් කිරීමත් ප‍්‍රහාණය කර ඉවත් කිරීමත්ය. මේ ආකාරයෙන්ම හැම පෘථග්ජන මිනිසෙකුගේම චිත්තසංථානයද අස්පස් කරගත යුතු තත්ත්වයෙන්ම පවතී. ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි පෙන්වාදුන් අස්ස හා පස්ස යන වචන දෙකෙහි ධර්ම අර්ථය කුසලය ආශ‍්‍රය කිරීමත් අකුසලය ප‍්‍රහාණය කිරීමත්ය.

ත‍්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වග්ගයේම ආනාපානසති සූත‍්‍ර දේශණාවට පෙර ඒ අසලින්ම සඳහන් ”සේවිතබ්බා අසේවිතබ්බා” නමැති සූත‍්‍ර දේශණාවක් ද ඇත. මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍රයෙන් විස්තර සහිතව පියවරෙන් පියවර විග‍්‍රහකර දේශණා කර පෙන්වා වදාළ සේවනය කළයුතු = අස්ස හා සේවනය නොකළ යුතු = පස්ස යන සියලු කුසල් හා අකුසල් දෙකොටසකට බෙදා ඉතාමත් පිරිසිදු ලෙස පෙන්වාදී ඇත. මෙම සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේ ගෙනහැර දැක්වූ කරුණු යම් තරමකට හෝ තේරුම්ගත් කෙනෙකුට ආනාපානසති සූත‍්‍ර දේශණාවේ දේශණාකර වදාළ ”සතෝව අස්සසති සතෝව පස්සසති” යන්නෙන් අදහස් කළ කරුණු දෙවර්ගයම ඉතාම පැහැදිළිව තේරුම් ගත හැකි වනු ඇත. මේ උතුම් අදහස ඇතිවම ත‍්‍රිපිටකයේ ආනාපානසති සූත‍්‍ර දේශණාවට කලින් ඒ අසලින්ම මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍රයද ලියාතැබූ බව ඉතාම හොඳින් තේරුම්ගත හැකිවෙයි. මේ සූත‍්‍ර ධර්ම දෙකම කියවා ඒවායේ එන ධර්ම අර්ථයන් තේරුම් ගත් කෙනෙකුට පමණක් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන

ආනාපානසති භාවනාවද නොවැරදීම භාවිතා කරන්නට මනස යොමුවනවා ඇත. මේ කරුණු තේරුම් ගන්නට තරම් හැකියාවක් නොමැතිව කවුරු හෝ කවදා හෝ ත‍්‍රිපිටකයේ එන උතුම් ආනාපානසති දේශණාව සිංහලයට පරිවර්තනය කිරීමේදී ”ප‍්‍රාණයාම” නමැති වේද භාවනාවේ ඇතුළත් අදහසට ගැළපෙන පරිදි ”ආශ්වාස ප‍්‍රාශ්වාස” යන හුස්ම ඉහළ පහළ දැමීම අරමුණු කරගත් වචන අස්ස – පස්ස වෙනුවට ලියා තැබූහ. මේ අස්ස යන පදය ”අස්සාස” යන පදය ලෙසින් ගෙන එය ආශ්වාස කිරීම ලෙසත්, පස්ස යන පදය ”පස්සාස” ලෙසින් ගෙන එය ප‍්‍රාශ්වාස කිරීම ලෙසත් අර්ථ ගන්වා බුද්ධ දේශණාවේ එන උතුම් භාවනා ක‍්‍රමය ප‍්‍රාණයාම භාවනාවක් බවටම පරිවර්තනය කර ගත්හ. අද ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයා මෙම අරිය භාවනා ක‍්‍රමය ගැන කරුණු කාරණා තේරුම් ගන්නට නොහැකිව, අනරිය භාවනා ක‍්‍රමයක් භාවිතා කරමින් අතරමංවී ඇති බව තවදුරටත් මේ පොත කියවන කිහිප දෙනෙකුට හෝ තේරුම්ගත හැකිවෙනු ඇත.

(”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍ර දේශණාවේ සඳහන් ධර්ම කරුණු පසු පරිච්ෙඡ්දයක විස්තර වශයෙන් ලියා තබන අතර ආනාපානසති සූත‍්‍ර දේශණාවේ ධර්ම කරුණු මුළින් පැහැදිළි කරදෙන්නට අදහස් කරමි.)

1. ආනාපානසති සූත්‍රයේ සඳහන් කායානුපස්සනාව

”කථං භාවිතාච භික්‍ඛවේ, ආනාපානසති, කථං බහුලීකථා චත්තාරෝ සතිපට්ඨානෝ පරිපුරෙති. යස්මිං සමයේ භික්‍ඛවේ”

i. භික්‍ඛු දීඝංවා අස්ස සංතෝ දීඝං අස්සසාමිති පජානාති
දීඝංවා පස්ස සංතෝ දීඝං පස්සසාමිති පජානාති
ii. රස්සංවා අස්ස සංතෝ රස්සං අස්සසාමිති පජානාති
රස්සංවා පස්ස සංතෝ රස්සං පස්සසාමිති පජානාති
iii. සබ්බකාය පටිසංවේදි අස්සසිස්සාමිති සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
iv. පස්සං භයං කායසංකාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සං භයං කායසංකාරං පස්සසිස්සාමිති සික්කති
කායේකායානුපස්සී භික්ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු විහරති
ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං කායේසු කායඤ්ඤතරාහං
භික්ඛවේ ඒවං වදාමි යදිදිං අස්සාසපස්සාසා
තස්මාතිහ භික්‍ඛවේ කායේ කායානු පස්සී තස්මං
සමයේ භික්‍ඛු විහරති”

ආනාපානසති සූත‍්‍ර දේශණාවේ පිළිවෙලින් පියවර දාසයක්ම විග‍්‍රහ කර ඇති අතර මෙම පියවර දාසයම ගිරිමානන්ද සූත‍්‍රයේද ආනාපාන සතිය ලෙසින්ම ඉදිරිපත් කර ඇත. ආනාපානසති සූත‍්‍ර දේශණාවේ මෙම පියවර 16 කොටස් හතරකට බෙදා දක්වා ඇත. මුල් පියවර හතර කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද දෙවන පියවර හතර වේදනානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද තුන්වන පියවර හතර චිත්තානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද හතරවන අවසාන පියවර හතර ධම්මානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද ඉතාමත් පිරිසිදු ලෙසින්ම විභජනය කර, විග‍්‍රහකර, විස්තර කරදී ඇත.

ඉහත සඳහන් කළ පාලි පාඨවලින් දැක්වෙන්නේ පළමුවන පියවර වූ කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාවේ එන පියවර හතරයි. එහිම එන කරුණු කිහිපයක් විස්තර වශයෙනුත් අර්ථ, ධර්ම, නිරුක්ති වශයෙනුත් පැහැදිළිකර ගැනීමෙන් ආනාපානසති භාවනා කිරීමෙන් කායේකායානුපස්සනාව වැඩෙන ආකාරය තේරුම් ගත හැකිය. ”මහණෙනි, ආනාපානසති භාවනාව නිවැරදිව දැන තේරුම් ගෙන නිතර නිතර බහුල ලෙස භාවනා කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙයි. සතර සති පට්ඨානය නිතර නිතර වැඩෙන විට සත්තබොජ්ජංග වැඩෙයි. සත්තබොජ්ජංග වැඞීමෙන් විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි. විද්‍යා විමුක්තිය යනු ප‍්‍රඥා විමුක්තියයි. නිවන් අවබෝධයයි”.

කායානුපස්සනාව විග‍්‍රහකර දේශණාකළ පදවැල් වල ”පජානාති” යන පදය මුල් පේළි හතරේම සඳහන් වේ. පජානාති යන පදය ආනාපානසති සූත‍්‍ර දේශණාවේ සඳහන් පද අතරින් ඉතාමත්ම වැදගත් පදයකි. මෙහි තේරුම නිවැරදිවත් පූර්ණ ලෙසත් මුළින්ම තේරුම්ගත යුතුමය.

”පජානාති” යන පදයෙහි ධර්ම අර්ථය පිරිසිඳ දැන ගැනීම යන්නයි. ”පරිජානාති” ”පරිජානං” යන පදවලින් ද බොහෝ තැන්වල සඳහන් මෙම පදයම ”පරිඤ්ඤෙයිය” යන පදයෙන්ද විග‍්‍රහකර ඇත. මෙසේ පිරිසිඳ දැනගත යුතු වන්නේ හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ‍්‍රය කළයුතු, සේවනය කළයුතු කුසල ධර්මයන් තෝරාබේරා ගෙන ආශ‍්‍රය කිරීමත් (අස්ස) හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ‍්‍රය නොකළ යුතු ප‍්‍රහාණය කළයුතු (පස්ස) අකුසල ධර්ම ප‍්‍රහාණය කිරීමත් යන දෙපැත්තයි. මේ තේරුම් නොගත් පිරිසිඳ දැන නොගත් කෙනෙකු ”නප්පජානාති” යන පදයෙන්ද බුද්ධ භාෂිතයේදී හඳුන්වා දී ඇති බවත් තේරුම්ගත යුතුය.

අරිය මාර්ගය වැඩෙන අරිය මාර්ගයට උපකාරවන කුසල ධර්මයන් පිරිසිඳ දැන ආශ‍්‍රය කිරීමත් අරිය මාර්ගය වසා සිටින අරිය මාර්ගයට බාධක අකුසල ධර්මයන් පිරිසිඳ දැන ඒවා ප‍්‍රහාණය කර ඉන් ඉවත්වීමත් යන දෙකම ආනාපානසතිය නිවැරදිව වඩන කෙනෙකු අනිවාර්යයෙන්ම දැනගෙන භාවිතා කළයුතු දෙපැත්තයි. ”අස්සසාමිති පජානාති, පස්සසාමිති පජානාති” යන මේ දෙපැත්ත පිරිසිඳ දැන ක‍්‍රියාකළ යුතු බවයි.

”සතෝව අස්ස සති”,”සතෝව පස්ස සති” එනම් සතියෙහි පිහිටා ඇතුළට ගෙන ආශ‍්‍රය කළ යුතු ධර්මයත්, ප‍්‍රහාණය කර බැහැර කළයුතු අධර්මයකුත් ලෙසින් දෙයාකාරයක්ම ඇති බව පිරිසිඳ දැන නොගත් කෙනෙකුට ආනාපානසති භාවනාවෙන් කායානුපස්සනාව එනම් කාය පස්සදිය, කය සංසිඳවීමක් කරගත නොහැකිය. මේ නිසා ”පජානාති” යන වචනයෙන් හතර වරක්ම අවධාරණයෙන් පළමුකොටම ප‍්‍රකාශකර සිටියේ, ඉතාම වැදගත් දෙයකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව දෙයාකාර වූ ක‍්‍රියාවන්ම තෝරා බේරාගෙන කටයුතු කළයුතු බව අවධාරණය කිරීමයි.

හුස්ම ඇතුළට ගැනීමත්, හුස්ම පිට කිරීමත් එක ආකාරයක අස්ස පස්ස කිරීමකි. මේ සඳහා ”පජානාති” යන පදයෙන් අවධාරණය කර පෙන්වූ පිරිසිඳ දැන ගැනීමක් අවශ්‍ය නොවේ. හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම කල්පනාවක් ඇතත් නැතත් හොඳ සිහියක් ඇතත්, නැතත් මරණ මොහොත දක්වාම නිතැතින්ම සිදුවන දෙයකි. කොතරම් හොඳින් හුස්ම ගත්තත් දිග, කෙටි වශයෙන් හුස්ම ගත්තත් අනිත් ඉන්ද්‍රියයන් පහකින් කරන ක‍්‍රියා යහපත් නොවේ නම් ඒ අනෙක් ක‍්‍රියා නිසා ඇතුළට ගන්නා දේ කෙළෙස් නම් අයහපත් නම් අයහපත් දේ බැහැර කරනු වෙනුවට යහපත් අයහපත්, කුසල් අකුසල්, සියල්ලම බැහැර කරයි නම් එවිටද ඇතුලාන්තය, අභ්‍යන්තරය පිරිසිදු විය නොහැකිය. ඒ නිසා තේරුම් ගතයුතු වන්නේ ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ආශ‍්‍රය කොටගත් භාවනා ක‍්‍රමයක් ද ඇති බවත් එය අරිය භාවනා ක‍්‍රමය නොවන බවත්ය.

සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රය කියවා සේවනය කළයුතු කුසලය හා අසේවනය කළයුතු සේවනයෙන් බැහැර කර ඉවත් කළයුතු අකුසලය කෙළෙස් තේරුම්ගත් කෙනෙකුට ඉතාම පහසුවෙන් ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ සඳහන් කළ,

”සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති
සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්‍ඛති”

යනුවෙන් දේශණා කළ ”සබ්බකාය” හා ”පටිසංවේදී” යන පද දෙකේ තේරුමද අරිය විනයෙහි එන ධර්ම අර්ථයෙන්ම තේරුම් ගත හැකිවෙයි. කායානුපස්සනාව – කාය පස්සදිය – කය සංසිඳවීම සිදුකර ගැනීමට නම් මේ කය යනු කුමක්දැයි මුළින්ම තේරුම් ගත යුතුය. කාය යනු ක‍්‍රියා හයක එකතු වීමකි. මේ ක‍්‍රියා හය නිසාම මෙය කයක් වූවා මිස ක‍්‍රියා හය නැති කලක මෙය කඳක් මිස කයක් වන්නේද නැත. ”සබ්බ කාය” ලෙසින් පෙළ දහමේ විග‍්‍රහ කළේ ඇසින් කරන ක‍්‍රියාවන්, කනෙන් කරන ක‍්‍රියාවන්, නාසයෙන් කරන ක‍්‍රියාවන්, කටින් කරන ක‍්‍රියාවන්, කයෙන් කරන ක‍්‍රියාවන් හා මනසින් කරන ක‍්‍රියාවන්ය. මේ ක‍්‍රියා හය නිසාම චක්ඛුකාය – රූපකාය, සෝතකාය – ශබ්දකාය, ඝාණකාය-ගන්ධකාය, ඡුව්හාකාය – රසකාය, ස්පර්ශකාය – කායකාය, මනෝකාය – ධම්මකාය ලෙසින්ද මේ ක‍්‍රියා හඳුන්වන බව ඉතාම පැහැදිළිය.

මේ ක‍්‍රියා හයම කරන්නට දොරවල් හයක්ම ඇත. මේ දොරවල් හයෙන්ම යමක් ඇතුළට ගතහැකි නිසා මේ කයට අපි ”ගත” යන පදයද භාවිතා කරමු. හොඳ – නරක, යහපත් – අයහපත්, කුසල් – අකුසල් යන දෙයාකාරයෙන්ම යුතුවූ සියලුම දේ ඇතුළට ගත හැකිවන්නේ මේ දොරවල් හයෙන්මය. ඇතුලාන්තය ශූද්ධ පවිත‍්‍ර කරගන්නට නම් ඇතුළට ගත් නරක දේ පිට කළ යුතු වන්නේද මේ දොරවල් හයෙන්මය. ඒනිසා ”සබ්බකාය” ලෙස අදහස් කරන විට හැම කෙනෙකුම තමාගේම ඉන්ද්‍රියයන් හය හා ඒ ඉන්ද්‍රියයන් හයෙන්ම කරන ක‍්‍රියාවන් හයද නිවැරදිව තේරුම් ගත යුතුය.

”පටිසංවේදී” යන පදයේද ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. ”සංවේදිතාවය” යන පදය ඔබ අසා ඇති නිසා දැනටමත් දන්නා දෙයකි. ”සං” යනු යමක් එකතුරගත්, රැස්කරගත්, උපාදානය කරගත් ගති ලක්ෂණ යන තේරුමයි. එසේ එකතු කරගත් දේ නිසා විඳින වින්දනය, ලබන වේදනාව ”පටිසංවේදී” යන්නයි. පටි යනු බැඳීමයි. යම් කෙනෙකු කරන, කියන, හිතන සියලුම ක‍්‍රියා නිසා යමකට, යමෙකුට සිතින් බැඳෙයි. එසේ සිතෙන් බැඳෙන්නේ යම් වින්දනයක්, වේදනාවක් විඳීමට තමා කැමති වූ නිසාය. ඉන්ද්‍රියයන් පිනවීම ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන පදය මේ සංවේදීතාවයයි.

1. ඇසින් බලා රූපයක් දැක, චක්ඛු විඤ්ඤාණයක් බිහිවෙයි. ඇස පිනවීම යනු මෙයයි ඇසින් විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
2. කනෙන් යම් ශබ්දයක් අසා සෝත විඤ්ඤාණයක් බිහිවෙයි. කන පිනවීම යනු මෙයයි. සෝත විඤ්ඤාණ ආහාර බිහිවෙයි.
3. නාසයෙන් යමක ගඳ සුවඳ ගෙන ඝාණ විඤ්ඤාණයක් බිහිවෙයි. නාසය පිනවීම යනු මෙයයි. ඝාණ විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
4. දිවෙන් ආහාරයක රස විඳීමෙන් ජිව්හා විඤ්ඤාණය බිහිවෙයි. දිව පිනවීම යනු මෙයයි. ජිව්හා විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
5. කයට යම් ස්පර්ශයක් ලැබීම නිසා පොට්ඨබ්බ විඤ්ඤාණය බිහිවෙයි. කය පිනවීම යනු මෙයයි. කාය විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
6. මනසට යම් මතක සටහනක් ගෙන මනෝ විඤ්ඤාණය බිහිවෙයි මන පිනවීම යනු මෙයයි. මනෝ විඤ්ඤාණ ආහාර උපදින්නේ මෙසේයි.

”සබ්බ කාය” යනුවෙන් සඳහන් කළේ මෙම ක‍්‍රියාවන් හයම නිසාම උපදින විඤ්ඤාණ ශක්තියටයි. මේ ක‍්‍රියා හය නිසාම කාය පටිසංවේදී බවද ඇතිවෙයි. චිත්ත පටිසංවේදී බවද ඇතිවෙයි. වෙන කිසිම ආකාරයකින් කාය පටිසංවේදී බව හෝ චිත්ත පටිසංවේදී බවක් කිසි කෙනෙකුට ඇතිවිය නොහැකිය. පටිසංවේදී බව යනු විඤ්ඤාණ ශක්තිය ඉපදවීමයි.

කය සංසිඳවීමට නම් මේ ක‍්‍රියා හයෙන්ම (එකතු කරන) ආශ‍්‍රය කරන හොඳ දේ ආශ‍්‍රය කිරීමත්, ආශ‍්‍රය නොකළ යුතු අයහපත් දේ බැහැර කිරීමත් යන ක‍්‍රියා දෙකම කළ යුතුය. හොඳ නරක සියල්ලම ආශ‍්‍රය නොකිරීම හෝ සියල්ලම ආශ‍්‍රය කිරීම හෝ යන දෙකම අන්ත දෙකකි. සියල්ලම ආශ‍්‍රය නොකිරීම නිසා සිත අසංඥ තත්ත්වයකට පැමිණීමත් සියල්ලම ආශ‍්‍රය කිරීම නිසා දාහය, ගින්න – අභිජ්ඣා දෝමනස්ස බිහිවීමත් සිදුවෙයි. අභිජ්ඣා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. එය දුකට, දොම්නසට මුල්වන හේතුවයි. කාය පස්සදිය නැතිවන්නේ ක‍්‍රියාව අසංවර වන්නේ ”දාහය” ”ගින්න” අභිජ්ඣා ගති ලක්ෂණයන් සිතේ උපදින නිසාමය.

”සබ්බකාය පටිසංවේදීතාවය” පිළිබඳව මෙතරම් දීර්ඝ විස්තරයක් කළේ මුළු ආනාපානසති භාවනා ක‍්‍රමයම රැඳී පවතින්නේ මේ ”සබ්බකාය පටිසංවේදී” බව යන්නෙහි දෙපැත්තම නිවැරදිව තේරුම් ගැනීම මත නිසාමය. කය ගිනිගන්නා, කය දාහයට පත්වන අභිජ්ඣා ගති ලක්ෂණයන් සේවනය කිරීමෙන් බැහැරවිය යුතු බවත් කයෙහි ගින්න නිවන, කය සංසිඳවන, කය නිවන ක‍්‍රියාවන්හි යෙදීම කළ යුතු බවත් අවධාරණය කිරීම සඳහාය. ”කාය” යනු ක‍්‍රියාව යන තේරුම මිස ශරීරය නොවේ.

”පස්සං භයං කාය සංඛාරං” යනුවෙන් අදහස් කළේ කෙනෙකු තුළ සියලු භය ඇතිවන්නේ කාය සංඛාර නිසා බව පෙන්වා දී කාය සංඛාර නිසා උපදින අයහපත් අකුසල් දේ බැහැර කර නිදහස් විය යුතු බවත් පෙන්වා දී ඒ සමඟම යහපත් කුසල් ආශ‍්‍රය කිරීමෙන් සියලු භය සංසිඳෙන බවත් භය සංසිඳීමත් සමඟම කය සංසිඳෙන බවත් පෙන්වා දීමටයි. ක‍්‍රියාවන් යහපත් වීමත් සමඟම අයහපත් ක‍්‍රියාවන් බැහැර කිරීමත් සමඟම කය සංසිඳී – කායානුපස්සනාව වැඞී – ගින්න සංසිඳී – දාහය නැතිවී – භය සංසිඳී නිවුණු කයක ස්වභාවයට පත්වෙයි.

ඉන්ද්‍රියයන් හයම දොරවල් හයක් ඇර තැබුවා සේ විවෘත කර තැබීමෙන් හොඳ නරක සියලුම කුණු එකතු වෙයි. කුණු එකතු කිරීම නැවැත්වීමට නම් තමාගේම ඉන්ද්‍රියන් හයම සංවර කරගත යුතුය. ඒ ආකාරයෙන්ම කුණු සළාහැර පිරිසිදු වීම කරගත හැකිවන්නේද ඒ ඉන්ද්‍රියයන් හයෙන්ම කවදා හෝ අතීතයේ එකතු කර චිත්තසංථානයේ තැන්පත් කර ගබඩාවී පවතින කුණු ගති ගුණ ඒ ඉන්ද්‍රියයන් හයම ආශ‍්‍රයෙන් බැහැර කිරීමෙනි. කුණු ඇතුළට ගත් (ඉන්ද්‍රියයන්) දොරවල් හයෙන්ම කුණු බැහැර කිරීමද කළ යුතුය. මෙය ඉන්ද්‍රිය භාවනාවයි. ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සංවර සීලයයි. මේ අනුව ආනාපානසති භාවනාව යථා පරිදි අවබෝධ කරගෙන සතියෙන් යුතුව භාවනා කිරීමෙන් සීල, සමාධි, පඤ්ඤා යන තුන් ආකාරයේම ක‍්‍රියාකාරීත්වය පූර්ණ වෙයි.

කායානුපස්සනාව යථා පරිදි සිදුනොවී නම් කය සංසිඳීම සිදුවූයේ නැත්නම් වේදනාව සංසිඳීමක් වේදනානුපස්සනාවේ පිහිටීමක්් හෝ සිත සංසිඳීමක් චිත්තානුපස්සනාවේ පිහිටීමක් හෝ ධම්මානුධම්ම ප‍්‍රතිපදාව පුරාගෙන ධම්මානුපස්සනාව පුරා ගැනීමක් හෝ කිසිසේත්ම සිදු නොවේ.

හුස්ම ගැනීම – ආශ්වාසය – හුස්ම පිට කිරීම – ප‍්‍රාශ්වාසය ලෙසින් අස්ස, පස්ස යන පද අර්ථ ගන්නා එක ක‍්‍රියාවක් දෙස පමණක්ම බලා කය සංසිඳවා ගත නොහැකිය. ක‍්‍රියාවන් හයම දෙස බලා ක‍්‍රියාවන් හයෙන්ම යහපත් කුසල් ආශ‍්‍රය කිරීමත්, අයහපත් අකුසල් බැහැර කිරීමත් කළ යුතුය. මේ අනුව තම තමන්ම තමාගේම ඉන්ද්‍රියයන් හයෙන්ම වටිනා, හරවත්, ප‍්‍රිය මධුර යැයි සිතා එකතු කරගන්නා දේ පිළිබඳව දෙවරක් නොව කිහිපවරක්ම ඉවසා, සිතා බලා එවැනි ප‍්‍රිය මනාප දේ ගින්න, දාහය, අභිජ්ඣා, ශෝකය, භය ඇතිකර වන දේ නම් ඒවා ඇතුළට නොගත යුතුය. සිත කය නිවන භය ඇති නොවන කය සංසිඳෙන දේ නම් ඒවා පමණක් ඇතුළට ගත යුතුය. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍ර දේශණාවේ ඉතා දීර්ඝ වශයෙන් මේ කරුණු විස්තර කර ඇත. එය කියවා තේරුම් ගැනීම කාටත් ඉතාම ප‍්‍රයෝජනවත් වෙනු ඇත’

2. වේදනානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්

යස්මිං සමයේ භික්‍ඛවේ, භික්‍ඛු
v. පීති පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
පීති පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
vi. සුඛ පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
සුඛ පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
vii. චිත්තසංඛාර පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
viii. පස්සම් භයං චිත්ත සංඛාර පටිසංවේදි අස්සසිස්සාමිති සික්‍ඛති
පස්සම් භයං චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති

”වේදනාසු වේදනානුපස්සී භික්‍ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු විහරති. ආතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජඣාදෝමස්සං”

කායානුපස්සනාව වැඩූ කෙනෙකු තම ක‍්‍රියාවන්ගේ වේගය සංසිඳවා ගැනීමත් සමඟම වේදනාව ගැනද යම් තරමක හැඟීමක් ඇතිවෙයි. ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ප‍්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බව හා එවන් ඉන්ද්‍රියයන් පිනවීම අත්හැරීමෙන් ලබන නිරාමිස ප‍්‍රීිතිය, නිරාමිස සුවය හා සිත නිවීමද යම් තරමකට හෝ තේරුම් ගත හැකි වෙයි. කය රමණය කරන ක‍්‍රියාවන් නිසා කාම ප‍්‍රීතියත්, කාම සුඛයත් ඇතිවේ. කාමයෙන් වෙන්වීම නිසා නෙක්ඛම්ම ප‍්‍රීතියත්, නෙක්ඛම්ම සුවයත් ඇතිවෙයි. කාම ප‍්‍රීතිය හා කාම සුඛය යන දෙකම වේදනාවෙන් විඳීමත් ප‍්‍රීතියක් හා සුවයකි. ඒ දෙකම සුළු මොහොතකින් වෙනස් වී දුකට පත් කරවන දුකම උරුම කරදෙන එක දිගටම පැවැත්විය නොහැකි ප‍්‍රීතියක් හා සුවයකි. නෙක්ඛම්ම ප‍්‍රීතිය ඊට හාත්පසින්ම වෙනස් නිරාමිස ප‍්‍රීතියකි. නිරාමිස සුවයකි. මේ ආකාරයෙන්ම කායික ප‍්‍රීතිය, උපධි ප‍්‍රීතියකි. උපධි සුඛයකි. නිරුපදි ප‍්‍රීතිය හා නිරුපදි සුඛය යහපත් එකකි. සාසව ප‍්‍රීතිය හා සාසව සුඛය බැඳීමක්, බරක්, බයක් උපදවයි. අනාසව සුඛය සම්මා සුවයයි. අනරිය ප‍්‍රීතිය අනරිය සුවය සසර ගමන දික් කරන්නකි. අරිය ප‍්‍රීතිය, අරිය සුවය නිර්වේදයිත සුඛයකි. නිදහස්වීමේ සුවයකි. ඒ ආකාරයෙන්ම සමාධි සුවය, උපේක්ඛා සුවයද නිවන් සුවයට මංපෙත් හෙළිකරයි.

මෙහි කළින් දැක්වූ පරිදි සෑම සංඛාර ක‍්‍රියාවක් නිසාම කෙනෙක් යම් විඳීමක් වින්දනයක්, වේදනාවක් ලබයි. මෙය ප‍්‍රිය වේදනාවක් හෝ අප‍්‍රිය වේදනාවක් හෝ මැදිහත් වේදනාවක් හෝ විය හැකිය. අකුසල් කර්මයක් කිරීමෙන් ලබන ප‍්‍රිය වේදනාව හා ප‍්‍රිය සුවය මොහොතකින් දුක්, අප‍්‍රිය වේදනාවක් බවටද පත්වෙයි. ඒ අනුවම කුසල කර්මයක් නිසා කුසල ධර්මයක් කිරීමෙන් ලබන ප‍්‍රීතිය හා සුවය නිරාමිස ප‍්‍රීතියක්ද වෙයි. අත්හැර නිදහස්වීමේ සුවයක් වෙයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ ප‍්‍රීති, සුඛ, චිත්ත, සංඛාර යන තුන් අවස්ථාවෙහිම අත්හැර නිදහස් විය යුතු ප‍්‍රීතියක්, සුවයක් හා චිත්ත සංඛාර පටිසංවේදී බවක් ඇත. ”පස්ස සිස්සාමිති සික්‍ඛති” යනු ඒ අතහැර මිදී හික්මිය යුතු ප‍්‍රීතියයි. සුඛයයි. චිත්ත පටිසංවේදීතාවයයි. ඒවාගේම ආශ‍්‍රය කළයුතු කුසල මූල ප‍්‍රීතියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදී බවක්ද ඇත. ”අස්ස සිස්සාමිති සික්‍ඛති” කීවේ මේ ආශ‍්‍රය කළයුතු ප‍්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බවයි.

වේදනානුපස්සනාව සඳහා වේදනාව සංසිඳීම සඳහා මේ දෙයාකාර ක‍්‍රියාවන්ම කළ යුතුය. අත්හළ යුතු කාම ප‍්‍රීති, කාම සුඛ, කාම චිත්ත පටිසංවේදී බව ආදී කොට ඇති ඉන්ද්‍රියයන් පිනවීමේ ප‍්‍රීති, සුඛ අත්හැර, නිදහස් වී, ශික්ෂණය විය යුතුය. එවාගේම ආශ‍්‍රය කළ යුතු නෙක්ඛම්ම සුවය, අනාසව සුවය, නිරාමිස ප‍්‍රීතිය, සමාධි සුවය ආදී ප‍්‍රීති හා සුඛ අත්විඳ ගත යුතුය. එය අරිය සුවයයි. මේ අනුව වේදනානුපස්සනාව ලැබීමට නම් වේදනාව සංසිඳුවා ගැනීමට නම් මේ සඳහන් කළ දෙයාකාරයේම ආශ‍්‍රය කිරීම හා ආශ‍්‍රයෙන් බැහැර කිරීමද තෝරා බේරාගෙන කටයුතු කළ යුතුමය.

නිරාමිස සුවය හා ප‍්‍රීතියත් නෙක්ඛම්ම සුවය හා ප‍්‍රීතියත් නිරුපදි සුවය හා ප‍්‍රීතියත් සමාධි සුවය හා ප‍්‍රීතියත් යන සියල්ලමත් අත්හැර සිත අසංඥ තත්ත්වයට පත්කර ගත හොත් කිසි විටකත් ධම්මානුධම්ම ප‍්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට උපකාර වන ප‍්‍රසාදයට පත්වූ සිතකින් ධම්මානුපස්සනාවෙහි යෙදීමටද නොහැකි වෙනු ඇත. ඒ නිසා ආශ‍්‍රය කළ යුතු ප‍්‍රීතිියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදීතාවයකුත් ඇති බව නිතරම කල්පනා කර කායානුපස්සනාව හා වේදනානුපස්සනාව වැඩිය යුතුය.

කාම ප‍්‍රීතිය, කාම සුවය, උපධි ප‍්‍රීතිය හා උපධි සුවය, සාසව ප‍්‍රීතිය හා සාසව සුවය ආමිස සුවය හා ආමිස පී‍්‍රිතිය හැම විටම අභිජ්ඣා දෝමනස්සයට මුල්වන බව දැන එය ප‍්‍රහාණය කර දමා ඉන් ලබන වේදනාව ප‍්‍රිය මධුර වුවත් එහි අනිච්ච බව පසක් කොට දැන ඉන් මිදී නිදහස්විය යුතුය. එය වේදනානුපස්සනාව වැඞීමයි. වේදනාව සංසිඳීමයි. ඒ මිස කයෙහි ඇතිවන වේදනා බැලීම වේදනානුපස්සනාව නොවේ.

කාම සුවය කාම ප‍්‍රීතිය නිසා උපධි සුවය ප‍්‍රීතිය නිසා නිතරම සිතෙහි භයක්, බරක්, බැඳීමක් ඇතිවෙයි. එයට හේතුව කොයි මොහොතේ හෝ පී‍්‍රතිය, සුවය නැති වී අවසන් වී යාදෝ යන භයයි. නමුත් නෙක්ඛම්ම පී‍්‍රතියේ හා සුවයේ නිරුපධි පී‍්‍රතියේ හා සුවයේ, සමාධි සුවයේ පී‍්‍රතියේ එවැනි භයක්, තැති ගැන්මක් හිතකට ඇති වන්නේ නැත. එය අත්හැර මිදී නිදහස්වීමේ සුවයයි. පී‍්‍රතියයි. ඒ නිසා ”පස්සං භයං චිත්ත සංඛාරං” යන තත්ත්වය තේරුම් ගෙන වේදනාව සංසිඳවා ගත යුතුය.

සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේ වේදනානුපස්සනාවට අදාළව සේවනය කළයුතු කුසල් ධර්මයන් හා සේවනයෙන් බැහැර කළ යුතු අකුසලයන් පිළිබඳව පැහැදිළිවම විස්තර කර ඇති නිසා අස්ස හා පස්ස යන කොටස් දෙකම නිවැරදිවත්, පිරිසිදුවත් දැන ඒ අනුව කි‍්‍රයා කළ යුතු වන්නේය. අස්ස යන්න ආශ්වාස ලෙසත් පස්ස යන්න ප‍්‍රාශ්වාස ලෙසත් වැරදියට පරිවර්තනය කරගෙන හුස්ම ඉහළ පහළ දැමීම, පිම්බීම හැකිළීම කෙරෙහි අවධානය යොමු කර අරමුණු වන සියලුම පී‍්‍රති හා සුඛ අත්හැර ලබන්නට හැකි වන්නේ අසඤ්ඤ තත්ත්වයකි. ධර්මය නොදැනීම නිසා ධර්මය වැරදියට පරිවර්තනය කිරීම නිසා සිදුවූයේ මෙවන් මහානර්ඝ වූ ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතයෙන් අනේක වූ දුක්විඳි ලෝක සත්ත්වයාට ලබාගත හැකිව තිබූ වේදනා සංසිඳියාව ලබාගැනීමේ අරිය මාර්ගය වැසී යටපත් වී යාමයි. අද වේදනානුපස්සනාව යනු කායික වේදනාවක් බැලීමකට පමණක් සීමාවී ඇත. මෙය ප‍්‍රාණයාම භාවනාවකි.

3. චිත්තානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්

”යස්මිං සමයේ භික්‍ඛු
ix. චිත්තපටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තපටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
x. අභිප්පමෝදයං චිත්තං අස්සස්සාමිති සික්‍ඛති
අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
xi. සමාදහං චිත්තං අස්සසිස්සාමිති සික්‍ඛති
සමාදහං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
xii. විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තේ චිත්තානුපස්සී භික්‍ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු
විහරති අතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදොමනස්සං නාහං භික්‍ඛවේ මුට්ඨස්සතිස්ස
අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි
තස්මාතිහ භික්‍ඛවේ චිත්තේ චිත්තානුපස්සී තස්මිං
සමයේ භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං”

සියලු අකුසල් කි‍්‍රයාවන් බැහැර කර කුසල් කි‍්‍රයාවන් ආශ‍්‍රය කිරීම නිසා කයෙහි ක‍්‍රියාවන් නිසා ඇතිවන දාහය, ගින්න සංසිඳවාගත්, ඒ අනුවම වේදනාවද සංසිඳුවාගත් ආනාපානසති භාවනානුයෝගියාට දැන් තම සිත සංසිඳුවා ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. කි‍්‍රයාවන් නිසා බිහිකරගත් වේගය සමඟ මෙතෙක් සිතින් බැඳී තිබූ චිත්ත පටිසංවේදීතාවය අත්හැරීමත් සමගම දැන් චේතෝ විමුක්තිය ලබාගැනීම අරමුණු කරගෙන සිත ප‍්‍රසාදයට පත්වෙයි. මෙය නිරාමිස පී‍්‍රතියයි. නිරාමිස සුඛයයි. නිරාමිස පී‍්‍රතියත්, නිරාමිස සුවයත් ක‍්‍රමයෙන් අත්හැර නිදහස් වීමෙන් සිත අධිමොක්ඛ තත්ත්වයට, අභිප‍්‍රමෝද තත්ත්වයටද පත්වෙයි. අභිප‍්‍රමෝදයට පත්වූ සිත සමාදහං තත්ත්වයටද පත්වෙයි. සමාදහං තත්ත්වයට පත්වීමේදී සිදුවන්නේ මෙතෙක් සිතෙහි රැුඳී පැවති (සං) අභිජ්ඣා, දෝමනස්ස ගති සහමුළින් ඉවත් වී, ”සම්මා” තත්ත්වයට සිත පත්වීමයි. නෙක්ඛම්ම, උපේක්ඛා තත්ත්වයට සිත පත්වීමයි.

පෘථග්ජන පුද්ගලයෙකු තුළ කායික දාහය, ගින්න, දුක ඇතිවන්නේත් මානසික දාහය, ගින්න, දුක ඇත්වන්නේත් පංචස්කන්ධය උපාදානය කරගන්නේත් අභිජ්ඣාව නිසාමය. අභිඉච්චා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. බලවත් කැමැත්තයි. දැඩි ලෝභය නිසා සිතෙහි ගින්නක් දාහයක් නිරන්තරවම උපදී. දැඩි ලෝභයෙන්, ආශාවෙන්, උපාදානය කරගත් දේ තමන්ට අහිමිවී යාමත් සමගම දොම්නස් සිතක්ද, ද්වේෂයක්ද ඇතිවෙයි.

ආනාපානසති සූත‍්‍ර දේශණාවේ සඳහන් මුල් පියවර දොළහ තුළදීම අභිජ්ඣාව දෝමනස්ස යන කෙළෙස් ගති ලක්ෂණ කෙනෙකුගේ සිත තුළින් සහමුළින්ම ඉවත්කර,
සිත ”සමාදහං චිත්තං” යන තත්ත්වයට පත්කර ගන්නට මඟ කියාදෙයි. මේ සඳහා සිතින් බැහැර කළ යුත්තේ අකුසල් සහගත කි‍්‍රයා, වදන් හා සිතුවිලිය. ඒ සමගම ආශ‍්‍රය කළ යුත්තේ අභිජ්ඣාව දොම්නස සිතෙහි උපදින්නට මුල්වන සිතෙහි තැන්පත්ව පවතින කිළිටි කෙළෙස් ගති ලක්ෂණ සළාහැර පිරිසිදුවීමට උපකාරවන කුසල කි‍්‍රයාවන්ය. කුසලස්ස උපසම්පදා යන පදයෙන් විග‍්‍රහ කරදුන්නේ මෙම යථාර්ථයයි. මේ අනුව ආනාපානසති සූත‍්‍රයෙන්ද පෙන්වා දුන්නේ ”සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා” යන ආශ‍්‍රය කළයුතු හා බැහැර කළ යුතු යන දෙපැත්තමයි. මෙතැනදී බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් සඳහන් කළ කරුණක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.

”නාහං භික්ඛවේ මුටඨස්සතිස්ස – අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි”

”මුට්ඨස්සතිස්ස” යනු ඇත්ත නැත්ත තේරුම් කරගන්නට නොහැකි හේතුඵල ධර්මය තේරුම්ගත නොහැකි මුට්ඨ, මෝහ, සතියෙහි පිහිටා කටයුතු නොකරන, සංපජානනය කළ නොහැකි, අසම්පජානස්ස පුද්ගලයාටයි. ”මම ආනාපානසති භාවනා ක‍්‍රමය එවැන්නන්ට දේශණා නොකරමි, නිර්දේශ නොකරමි” සංපජානනය කළ නොහැකි පුද්ගලයාට සමාදහන් චිත්තං තත්ත්වයට පත්වීමටද හැකියාවක් ද නැත. ”සං” යනු රැස්කරගත් උපාදානය කරගත් රාග, ද්වේෂ, මෝහ මූලික ගති ගුණයෝයි. ”සං” නිවැරදිවම තේරුම් ගෙන, පිරිසිඳ දැනගත නොහැකි පුද්ගලයාට ”සං” වලින් මිදී සම්මා තත්ත්වයට පත් වීමද කරගත නොහැකිය. සම්මා දිට්ඨියට පත්වන්නට නොහැකිය. දස්සනේන සම්පන්නෝ යන තත්ත්වයට පත්විය නොහැකිය. අසම්පජානස්ස යනු එවන් ගති ලක්ෂණයන් ඇති පුද්ගලයාට භාවිතා කළ නමකි. එවන් පුද්ගලයෙකුට තමන් ආශ‍්‍රය කළයුතු කුසල කි‍්‍රයා හෝ බැහැර කළ යුතු අකුසල කි‍්‍රයා හෝ වෙන්කොට දැන හඳුනාගත නොහැකි නම් මෙවන් උතුම් ආනාපානසති භාවනාවකින් ලබාගත හැකි ඵලයක්ද නැත. මේ බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ ධර්මයයි.

හුස්ම ඇතුළට ගැනීම හා පිටකිරීම, ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම හෝ පිම්බීම හැකිළීම කෙරෙහි පමණක් සිත යොමුකරගෙන සිතට එන සියලුම අරමුණු, සිතුවිලි බැහැර කරන්නාද අසම්පජනාස්ස පුද්ගලයෙකි. අසඤ්ඤ තලයකට පත්වීම ඔහු ලබන ඵල විපාකයයි.

අරිය විනයෙහි ලබන චේතෝ විමුක්තිය ලබන්නේද මෙම චිත්තානුපස්සනාවත් සමඟය. ”විමෝචයං චිත්තං” යනුවෙන් සඳහන් කළේ චේතෝ විමුක්තියයි. ”ප‍්‍රාණයාම” භාවනාව නම් අනරිය භාවනා ක‍්‍රමයෙන්ද චේතෝ විමුක්තියක් ලබාගත හැකිය. අනරිය අරූපී ධ්‍යානයකට පත්වීමෙන් ලබන එම චේතෝ විමුක්තියත් අරිය විනයේ එන අකුප්පා චේතෝ විමුක්තියත් දෙයාකාරය.

අරිය විනයේ එන චේතෝ විමුක්තිය ලැබූ පුද්ගලයාට ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරන්නට සුදුසු චිත්ත ශක්තියක් සිතේ පිරිසිදු බවක් ධර්මතාවයෙන්ම ලැබෙන නිසා ධම්මානුපස්සනාව වඩා ප‍්‍රඥා විමුක්තියම පූර්ණකර ගැනීම කරගත හැකිය.

නමුත් අනරිය භාවනාවකින් ලබන චේතෝ විමුක්තියත් සමඟම ඒ අනරිය ධ්‍යානයන් නිසා ලබන ලෞකික සුවයෙන් මත් වී ඉන් ඔබ්බට යාමේ පිළිවෙතක් දැකගන්නට නොහැකිව ඒ ලෞකික සුවයෙහිම ඇළෙයි. එයම නිවන යැයි එයම විමුක්තිය යැයි තීරණය කර ඒ අරූපී ධ්‍යානයම සුවයක් සේ ගෙන වාසය කරයි. මේ නිසා සිදුවන්නේ එවන් අනරිය ධ්‍යානයන් ලැබූ පුද්ගලයින් අසඤ්ඤ තලයක් අල්ලාගෙන මරණ මොහොතින් පසුව එවැනි අසඤ්ඤ තලයකම උපත ලැබීමයි.

මේ නිසා නිවැරදි ආනාපානසති භාවනාව තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීම හෝ වැරදි ආනාපානසති භාවනාව භාවිතා කර අසඤ්ඤ තලයක උපත ලබා සංසාරයේ අතරමං වීම හෝ යන දෙකෙන් එකක් තෝරා ගන්නට ඔබ දක්ෂ විය යුතුය.

4. ධම්මානුපස්සනාව වැඩීම

”යස්මිං සමයේ භික්‍ඛවේ, භික්‍ඛු,
xiii. අනිච්චානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
අනිච්චානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
ixv. විරාගානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
විරාගානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
xv. නිරෝධානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
නිරෝධානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
xvi. පටිනිස්සග්ගානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
පටිනිස්සග්ගානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
ධම්මේසු ධම්මානුපස්සී භික්ඛවේ තස්මිං සමයේ
භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං සෝ යංතං
අභිජ්ඣා දෝමනස්සං පහානං තං පඤ්ඤය දිස්වා සාධුකං අජ්ඣුපෙක්‍ඛිතා හොති.
තස්මාතිහ භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං එවං භාවිතා ඛෝ භික්‍ඛවේ
ආනාපානසති එවං බහුලීකථා චත්තාරෝ
සතිපට්ඨානේ පරිපූරෙති”

”ධම්මානුධම්මපස්සනාව” යන්න අරිය විනයෙහි මිස වෙනත් කිසිම ආගමක, දර්ශනයක හෝ භාවනා ක‍්‍රමයක ඇතුළත් වන එකක් නොවේ. ධම්මානුපස්සනාව වැඞීමට නම් ති‍්‍රලක්ඛණය නිවැරදිවත් යථාවබෝධයකින් යුතුවත් තේරුම්ගත යුතුමය. ති‍්‍රලක්ඛණය නිවැරදි ලෙස අවබෝධ නොවූ කෙනෙකුට ”අනිච්ච” යන පදයේ තේරුම පවා එහි ධර්ම අර්ථය පවා නොදැන ධර්මාවබෝධයක් ඇතිව කි‍්‍රයාකරතියි සිතිය නොහැකිය. මේ ආකාරයෙන්ම ධම්මානුපස්සනාව වැඞීමට නම් හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳවද යම්කිසි අවබෝධයක් ලබා සිටිය යුතුමය. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන ”භව” නිරෝධ කිරීමටත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, කුණු මුල් කපාහැර ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමටත් හැකියාව, ශක්තිය ලැබිය යුතුය.

ධම්මානුපස්සනාව වැඞීමෙන් සිදුවන්නේ ප‍්‍රඥා විමුක්තිය සම්පූර්ණ වීමයි. විද්‍යා විමුක්තියට පත්වීම යනුද ප‍්‍රඥා විමුක්තියට පත් වීමයි. සම්මා විමුක්තියට පත්වීම ලෙසින්ද මෙය බොහෝ තැන්වල සඳහන්ව ඇත. චේතෝ විමුක්තියට පත්වීමත් ප‍්‍රඥා විමුුක්තියට පත්වීමත් යනු දෙයාකාරයක විමුක්තියට පත් වීමකි. අවිද්‍යාවෙන් දුරු වූ, මානයෙන් දුරු වූ, භව නිරෝධ කළ උත්තමයා ප‍්‍රඥා විමුක්තියට පත් වූ අරහත් බුද්ධ තත්ත්වයටම පත්වූ උත්තමයෙකි. ඔහුට තවදුරටත් කරගතයුතු දෙයක් ඉතිරිව නැත.

අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගත් චතුරාර්ය සත්‍යයන් යථාපරිදි අවබෝධකරගත් අරිය පුද්ගලයෙකුට රාග – විරාග කිරීමටත්, රෝද – නිරෝධ කිරීමටත්, සංයෝජන – පටිනිස්සග්ග කිරීමටත් ධර්මතාවයෙන්ම ශක්තිය හා හැකියාවද ලැබෙයි. ඒ අනුව ආශ‍්‍රය කළ යුතු ධර්මතාවය – කුසල ධර්මයන් ආශ‍්‍රය කර, පහකර දැමිය යුතු අකුසල ධර්මයන් ප‍්‍රහාණය කර, සියලු සංයෝජනයන් ගෙන් මිදී මෙතෙක් සංසාර ගමන පවත්වාගෙන යාමට උපකාරවූ සියලු බැඳීම් – පටි නිස්සග්ග කර සියලු උපධීන්ගෙන් මිදී, නිදහස් වී අරහත් තත්ත්වයට පත්වීමට කි‍්‍රයාකරන උත්තමයෙකි.

චේතෝ විමුක්තිය පමණක් ලැබූ පුද්ගලයා යම් ආකාරයක අනරිය ධ්‍යනයක් ලබාගෙන චිත්ත විමුක්තියක් ලබා ගත්තද අරිය තත්ත්වයට පත්නොවූ අරිය ධර්මයෙහි යෙදීමට සමත් නොවන පෘථග්ජන පුද්ගලයෙකු නිසා යම් මොහොතක එම චේතෝ විමුක්තිය නැතිවී ධ්‍යානයන් නැති වී නැවත සාමාන්‍ය පුද්ගලයෙකු බවටත් පත්විය හැකිය. ඒවාගේම ඔහු සතර අපා දුකෙන් මිදුණු පුද්ගලයෙකු ද නොවේ.

චේතෝ විමුක්තිය ලබා ධ්‍යාන ලබාගෙන හෝ චේතෝ විමුක්තියෙන් තොර ධ්‍යානයන් නොලබාම හෝ ප‍්‍රඥා විමුක්තියට පත් අරිය උත්තමයාට ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් අකුප්පා චේතෝ විමුක්තියද උරුමයෙන් ලැබෙයි. අකුප්පා චේතෝ විමුක්තිය යනු කම්පනය නොවන, නොසෙල්වෙන, වෙනස් නොවන චේතෝ විමුක්තියයි. යමෙකුට අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගත හැකි වන්නේද ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින්මය. මේ නිසා ප‍්‍රඥා විමුක්තිය හා චේතෝ විමුක්තිය යනු දෙයාකාර දෙවිධියක ශක්තීන් හා බලයන් බව නිවැරදිවම තේරුම් ගත යුතුය. චේතෝ විමුක්තිය පළමුව නොලබා ප‍්‍රඥා විමුක්තියෙන් අරහත් තත්ත්වයට පත් අයම බහුලය. බෞද්ධයෙකුගේ එකම බලාපොරොත්තුව නිවන් අවබෝධය ලබාගෙන සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි. අනරිය භාවනා ක‍්‍රමයකින් ධ්‍යාන ලබාගැනීම හෝ ඍර්ධි ප‍්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය ලබාගැනීම හෝ පංච අභිඥා ලබාගෙන තම ශක්තීන් විදහාපෑම හෝ බුදුපියාණන්වහන්සේ අනුදැන වදාළ දෙයක් නොවේ. ප‍්‍රතික්ෂේප කළ දෙයකි. මේ අනුවම එවකට ජම්බුද්වීපයේ පැවති අනරිය ආනාපනසති භාවනා ක‍්‍රමයද බැහැර කළ බුදුපියාණන්වහන්සේ අනිකුත් හැමතැනකදීම පෙන්වාදුන් පරිදි ආනාපාන සතිය වැඞීමේදීද අරිය මාර්ගයක් ඇති බව පෙන්වා දී ඒ සඳහා නව අර්ථ කථනයක් ලබාදී පහසුම හා කෙටිම නිවන් මඟ පූර්ණ කරගැනීමේ ඒකායන මාර්ගය නම් අරිය ආනාපානසති භාවනාව වැඞීම බව පැහැදිළිවම ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් පැහැදිළි කර දුන්හ.

සත්ත සම්බොජ්ජංග වැඩීමෙන් විද්යාම විමුක්තිය පූරණය වීම

විද්‍යා විමුක්තිය පරිපූරණය කරගෙන බුද්ධ බවට පත්වී නිවන් අවබෝධය පූර්ණ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම සම්බොජ්ජංග වැඞී සත්ත සම්බෝජ්ජංග පූර්ණ කරගත යුතුමය. නිවන් අවබෝධය පූර්ණකර ගැනීමේදී නියත වශයෙන්ම සම්පූර්ණ කරගත යුතු අංග හතක්ම සත්ත බොජ්ජංග ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාරා ඇත. බුද්ධත්වයට පත්වීම යනු ලොව්තුරා බුද්ධත්වයට පත්වීම, පච්චේක බුද්ධත්වයට පත්වීම හා අරහත් බුද්ධත්වයට පත්වීම යැයි තුන්තරා බෝධියක්ම බුද්ධ භාෂිතයේ සඳහන් වෙයි. මෙතැන බුද්ධ යනුවෙන් වදාළ පදයේ ධර්ම අර්ථය බු+උද්ධ යන්නයි. (භු) බු යනු බිහි කිරීමයි. ”භව” යන පදයෙන්ද පටිච්චසමුප්පාද ධර්මයේ විග‍්‍රහ කළේ (භු) බු යන පදයයි. ”භව” සහමුළින් උදුරා දැමීම බුද්ධ තත්ත්වයට පත්වීමයි. ”භව” යනු කර්මබීජ උත්පත්ති බීජ යන්නයි. ”උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති”, ”උපාදාන නිරෝධා භව නිරෝධා”, ”භව නිරෝධා ජාති නිරෝධා”, යනුවෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ කරන ලද විග‍්‍රහයද ඉතාමත්ම පැහැදිළිය. කර්ම බීජ, උත්පත්ති බීජ සහමුළින්ම උදුරා දමා, නසා දමා අවසන් කිරීමෙන්ම පමණක් ”භව” නිරෝධ කර ජාති නිරෝධ කරගත හැකිවෙයි. ජාති යනු උපතයි. ජාති යනු නිතරම ඵලයකි. ලබා ඇති උපත දැන් නැති කළ නොහැකිය. ජාති නැති කිරීමට නම් මතු ජාතියක උපත ලැබීමම නැති කරනු මිස දැන් ඊට වෙනත් ක‍්‍රමයක්ද නැත. මතු ජාතියක උපත නැති කිරීම සඳහා කළයුතු හා කළ හැකි එකම දේ කර්ම බීජ, උත්පත්ති බීජ, භව නිරෝධ කර, භව උදුරා ඉවත්කර දැමීමයි. භව නිරෝධ කරන්නට අහවර කරන්නට ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු මග, පටිපදාව සත්ත සම්බොජ්ජංග සම්පූර්ණ කර ගැනීමයි. එසේ නම් සත්තබොජ්ජංග වැඞීම යනු භව අංග හතක්ම උදුරා දමා ඉවත් කිරීමයි. චිත්තසංථානයේ යළි යළිත් භව අංග බිහිවෙන තුරාවට කර්ම බීජද උපදී. ”භව” නිරෝධ කර සියලු කර්ම බීජ වලින් චිත්තසංථානය හිස්කර, මතු යළිත් කර්ම බීජ (භව) නැවත කවදාවත් නොඋපදවන තත්ත්වයටම පත්වීම සත්ත බොජ්ජංග පූර්ණ කර ගැනීමයි. මෙතනදී යළි කවදාවත් උත්පත්ති බීජ, කර්ම බීජ එකතු කර, රැස්කර නොගන්නා ආකාරයට චිත්තසංථානය පිරිසිදු කර ගැනීම සත්ත සම්බොජ්ජංග වැඞීම නමින් අදහස් කෙරේ. අතීතයේදී උපදවා චිත්තසංතානයේ රැුස්කර ගබඩා කරගෙන තිබූ සියලු අතීත කර්ම බීජයන්ද විනාශ කර, භව උදුරා දමා, අලුතින් කිසිම කර්ම බීජයක් උපදවා ගබඩා කර ගැනීමද නවතා දමා පිරිසිදු තත්ත්වයටම චිත්තසංථානය පත්කර ගැනීම සත්ත සම්බොජ්ජංග පූර්ණකර ගැනීම ලෙසින් සරළ ලෙස පෙන්වා දිය හැකිය.

අවිද්‍යාව හා තණ්හාව නිසාම මෙතෙක් කළක් ඒවායෙහි ඇති යම් සාර බවක් දැක සංසාර දෘෂ්ඨියෙන්ම එසේ එකතුකර ගබඩා කරගත් සියලු කර්ම බීජයන් දැන් විද්‍යා විමුක්තියට පත්වීම නිසා නිස්සාර ලෙසින් දැක ඒවා එකතු කිරීමෙන්, ගබඩා කිරීමෙන් හා භාවිතා කිරීමෙන්ද වැළකී ඉවත්වීම බුද්ධ බවට පත්වීමයි. සත්ත සම්බොජ්ජංග වැඞීමෙන් නියත වශයෙන්ම අෂ්ටාංගික මාර්ගයද වැඩෙයි. ප‍්‍රඥා විමුක්තියද පූර්ණ වෙයි.

ආනාපානසති අරිය භාවනාව වැඞීමෙන්, නිතර නිතර බහුල ලෙස භාවිතා කිරීමෙන්, සතර සතිපට්ඨානයද වැඩෙයි. සතර සතිපට්ඨානය වැඩෙත්ම, බහුල ලෙස වැඩෙත්ම, සත්ත සම්බෝජ්ජංගද වැඩෙයි. සත්ත සම්බොජ්ජංගයන් වැඞී පූර්ණ වීමත් සමඟම විද්‍යා විමුක්තිය පරිපූරණය වෙයි. ආනාපානසති සූත‍්‍රයෙන් පෙන්වා වදාළ මෙම අරිය මාර්ගය ඉතාම පහසුවෙන් ඉතාම කෙටි කලකින් විද්‍යා විමුක්තිය පරිපූරණය කරගැනීමේ කෙටිම මාර්ගය බවත් ඒකායන මාර්ගය බවත් බුද්ධ දේශණාවෙහිම පැහැදිළිව දක්වා ඇත.

පෘථග්ජන පුද්ගලයෙකු කරන, කියන, හිතන බොහෝමයක් ක‍්‍රියාවන් කරන්නේ අවිද්‍යාවෙන්, තණ්හාවෙන් පංචඋපාදානස්කන්ධයම අල්ලා, උපාදානය කර ගැනීමේ එකම චේතනාවෙනි. මේ ආකාරයට පංචස්කන්ධය උපාදානය කර ගැනීමත් සමඟම උපාදානය කරගත් දේ රැුකගන්නට ක‍්‍රියා කරන නිසා පංචනීවරණ ධර්මයන්ටද යටත්වෙයි. මෙසේ යමක් උපාදානය කර ගැනීමත් සමඟම සිදු වන්නේ කර්ම බීජ උත්පත්තියක් සිදුවීමයි. බොහෝමයක් පෘථග්ජන මිනිස්සු පංච නීවරණ ධර්මයන් යනු මොනවාදැයි නොදනිති. පංචඋපාදානස්කන්ධය පිළිබඳව හා පංචස්කන්ධය පිළිබඳව වෙනස්කම් කිසිවක්ම නොදනිති. කර්ම බීජ තමන්ම තම කැමැත්තෙන්ම උපදවා ගෙන, තමාගේම චිත්තසංථානයේ ගබඩාකර, රැස්කර ගන්නා බවද නොදනිති. මෙවන් කරුණු පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගත් පුද්ගලයා පමණක් සති සංපජානකාරී පුද්ගලයෙකි. සම්මා දිට්ඨියට පත් පුද්ගලයෙකි. පංචඋපාදානස්කන්ධයම තම කැමැත්තෙන්ම අල්ලා උපාදානය කරගන්නේත්, පංච නීවරණ ධර්මයන්හිම චන්දරාගයෙන් ඇලෙන්නේත්, දෙවනුව ඒවා සමඟ ගැටෙන්නේත්, මුලා වූ ස්වභාවයෙන් අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් ක‍්‍රියා කරන්නේත් මේ කරුණු පිරිසිඳ නොදත් අසම්පජානස්ස පුද්ගලයායි. මොහු මොටවූ මුට්ඨස්ස පුද්ගලයෙකි. ඇත්ත දැක සතියෙහි පිහිටිය නොහැකි කෙනෙකි. ”ආනාපානසති අරිය භාවනාව එවන් අසම්පජානකාරී, මුට්ඨස්ස පුද්ගලයින් සඳහා නොව සම්පජානකාරී අසම්මුට්ඨස්ස පුද්ගලයින් සඳහාම පමණක් දේශණා කරමි” යි බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් දේශණාකර පෙන්වා වදාළහ.

සත්ත සම්බෝජ්ජංග ධර්මයන් වැඞීමෙන් ”භව” නිරෝධ වී ක‍්‍රමයෙන් කර්ම බීජ උත්පත්ති බීජ ඛය වී යයි. කර්ම බීජ ඛය වී, භව නිරෝධ වීම යනු රාගක්ඛය වීමයි. ද්වේෂඛය වීමයි, මෝහඛය වීමයි. ඒ අනුව සත්ත බොජ්ජංග වැඞීම යනු කුමක්දැයි තේරුම් ගෙන නිවැරදි ආකාරයෙන් ප‍්‍රතිපත්ති පිරීමෙන්ම, කර්ම බීජ ඛය වී ජාති නිරෝධ වීමද සිදුවෙයි. භව නිරෝධ කිරීම යනු සම්බොජ්ජංග වැඞීමයි. භව නිරෝධ වී ජාති නිරෝධ වී, මතු යළි උපතක් නොලබන තත්ත්වයයි. නිවන් අවබෝධය පූර්ණකර ගැනීම සඳහා සත්ත සම්බොජ්ජංග වඩා සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය අංගයක් බව බුද්ධ දේශණාවේ හැම තැනකම පැහැදිළිවම දක්වා ඇත. ඒ ඒ බොජ්ජංග ධර්මයන් වෙන්කොට, නම්කර, පොත පතෙහි වෙන් වශයෙන් සඳහන් කර තිබුණත් මේ කිසිවක් නම් වශයෙන්, පියවර වශයෙන් නොදැනම තමාගේම ආධ්‍යාත්මය තුළින්ම සත්ත සම්බොජ්ජංග ධර්මයන් වැඞී පූර්ණ වී නිවන් අවබෝධ කරගත් බොහෝ අරහතුන්වහන්සේලා පිළිබඳව බුද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත.

ආනාපානසති භාවනාව නිවැරදිවත්, යථා පරිදිත් පිරිසිඳ දැනගත් කෙනෙකුට ආශ‍්‍රය කළයුතු කුසල ධර්මයන් හා ආශ‍්‍රයෙන් බැහැර කළයුතු අකුසල ධර්මයන් තෝරා බේරා ගන්නට තරම් දියුණු මනසක්ද ඇතිවන නිසා සතියෙහි පිහිටා කටයුතු කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙන්නට පටන් ගනී. පටිසංවේදී බව, සම්පජානකාරී බව, කාය සංඛාර, චිත්ත සංඛාර ආදී පදවල එන ”සං” යන පදයේ තේරුමද යථාපරිදි වැටහෙනු ඇත. ”සං” යන පදයෙන් විග‍්‍රහ කළේ එකතුවීම, රැස්කිරීම, බැඳීම, උපාදානය කර ගැනීම යන ධර්මතාවයයි. ”භව” යනු මේ බැඳීම නිසා උපදින ගති ලක්ෂණයයි. ඒ ගති ලක්ෂණයම කර්ම බීජයකි. මතු එම ගති ලක්ෂණයටම අදාළ උපතක්ද ලබාදෙන්නට ඒ ”භව” සමත් වන නිසා එය උත්පත්ති බීජයකි. කාය පටිසංවේදී, චිත්ත පටිසංවේදී, පී‍්‍රති පටිසංවේදී, සුඛ පටිසංවේදී යන සියලු ගතිගුණයන් අපි සංතෝසය ලෙසින්ද සතුට ලෙසින්ද සාමාන්‍ය භාෂාවේදී හඳුන්වමු. නමුත් මෙහි එන පටිසංවේදී බව නිසා සංතෝසය පමණක්ම නොව සංවේගය, සංතාපය, සංවේදී බව හා සම්බන්ධයද පෘථග්ජන සිතකම ඇතිවෙයි. සං, නිවැරදිව තේරුම්ගත් කෙනෙකු හේතුඵල ධර්මය දැන ඒ තුළින්ම ”සංදිට්ඨික” තත්ත්වයටද පත්වූ කෙනෙකි. සම්මා දිට්ඨියට පත්වීම යනුද එයයි. සං+මා යනු එකතු කරගත්, බැඳුනු, උපාදානය කරගත් දෙයින් (මා) මිදී නිදහස්විය යුතුයැයි දකින දැකීමයි. මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ සම්මා අංග අටෙන් නිදහස ්වීමත්, සත්ත බොජ්ජංග ධර්මයන් පූර්ණ කරගැනීමත් යනු එක ම ප‍්‍රතිපදාවක දෙපැත්තක් බව පහදා දීමටයි.

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙහි මෙන්ම සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේත් ත‍්‍රිපිටකයේ තවත් බොහෝ තැන්වලත් පෙන්වා වදාළ සත්ත සම්බොජ්ජංග වඩා පූර්ණකර ගැනීම යනු කුමන ආකාරයක ප‍්‍රතිපත්ති පිරීමක්ද යන්න පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගැනීම කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත.

සත්ත සම්බොජ්ජංග යන පදයේම සඳහන් ආකාරයට අංග හතක්ම ඇත. මෙම අංග හත අතරින් සති සම්බොජ්ජංගය වැදගත්ම හා මූලිකම අංගයයි.

”අතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං උපටඨිස්ස තස්මිං සමයේ
සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ඣෙංගා
තස්මිං සමයේ භික්‍ඛු භාවෙති.”

මෙහි සඳහන් අර්ථය ”අභිජ්ඣා දෝමනස්ස” යන ගති ලක්ෂණයන් කෙනෙකු තුළ පහළවීම නිසාම තමා තුළම ඇතිවන අනර්ථකර ඵලවිපාක යථාපරිදි දැක, තේරුම් ගෙන අභිජ්ඣා දෝමනස්ස ගති ලක්ෂණ වලින් ඉවත්වී සිත සම්මා දිට්ඨියට පත්කර ගන්නට හැකි පළමු ලක්ෂණය සති සංපජානනයයි. අසම්පජානස්ස යනු එය දැක ගැනීමට සමත් නොවන යන අර්ථයයි. අසම්පජානකාරී පුද්ගලයාට හේතුඵල දහමට බහා ගළපා බලා තමා තුළම බිහිවන අභිජ්ඣා ගති ලක්ෂණ නිසා ඇතිවන දැඩි ලෝබකමද දැඩි ආශාවද හේතු කොට තමා තුළම බිහිවන අයහපත් ගති ලක්ෂණයන්, කර්මබීජ බිහිවීම තේරුම් ගත නොහැකිය. අභිජ්ඣාව නිසාම තමා තුළ මතුවන දොම්නස් ගතිය ගැනද තේරුම් ගත නොහැකිය. කෙනෙකු දුක් විඳින්නේ අභිජ්ඣාව නිසා ඇතිවන දෝමනස්ස ගතිය නිසාමය.

අභිජ්ඣා දෝමනස්ස යන ගති ලක්ෂණයන් අන්ත දෙකක ගති ලක්ෂණ බව දැක ඒ ගති ලක්ෂණ වලින් තම සිත නිදහස් කරගත හැකි පුද්ගලයා අසම්මුට්ඨස්ස පුද්ගලයායි. මුට්ඨස්ස පුද්ගලයා, මොට්ට පුද්ගලයා මෝහය නිසාම දැඩි ලෝබයෙන්, ආශාවෙන් හැකිතාක් අල්ලා ගන්නට, උපාදානය කරගන්නට දරණ උත්සාහය නිසාම එහි ඵලය ලෙසම දෝමනසයටද පත්වීම නියත වශයෙන්ම සිදුවන දෙයකි.

මේ නිසා සති සම්බොජ්ජංගයේ පිහිටි පුද්ගලයෙකු සතියෙහි පිහිටා හොඳ නරක, හේතුඵල, ආදීනව – ආනිසංස දැන, දැක, තේරුම් ගෙන ක‍්‍රියා කරන පුද්ගලයෙකුද වෙයි. ඔහු හිතට වහල් වී ක‍්‍රියාකරන පුද්ගලයෙකු නොවේ. ඇත්ත ඇති සැටියෙන් දැනගත් කෙනෙකි. සති සම්බොජ්ජංගයෙහි නිවැරදිව පිහිටා කටයුතු කරන පුද්ගලයෙකුට ඉතිරි සම්බොජ්ජංග හයමත් සම්පූර්ණ කරගෙන බොජ්ජංග ධර්ම පරිපූරණය කර ගැනීමේ හැකියාව හා ශක්තියද ලැබෙයි.

ප‍්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය යන බෝධි අංග තුනම එක පැත්තක පිහිටි ඒවාය. සිත තුළම ජනිත වන අභිජ්ඣා දෝමනස්ස ගති පහකර දැමීමෙන් ලබන ප‍්‍රීතිය, සුඛය හා විරිය වඩන පංචකාම නීවරණ ධර්මවලින් සිත නිදහස් කරන කුසල අකුසල ධර්ම තේරුම් ගැනීමටත්, සාවද්‍ය අනවද්‍ය ධර්මයන් තෝරා බේරා ගන්නටත්, හින ප‍්‍රණීත ධර්මයන් තේරුම් ගන්නටත්, කටුක දේ බැහැර කර, සුවදේ තෝරා ගන්නටත් හැකි ශක්තිය හා හැකියාව කෙනෙකු තුළ ඇති කරවන අවස්ථාවයි.

පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගයන් අනික් පැත්තේ වැඩෙන දහම්ය. කාය පස්සදිය, කය සංසිඳීම ඇතිවීම හා චිත්ත පස්සදිය සිත සංසිඳීම ඇතිවීමත්, සමථ, විපස්සනා නිමිති පහළ වී සිත සමාධි ගතවීමටත් සිත නෙක්ඛම්ම උපේක්ඛා යන උතුම් තත්ත්වයට පත්වන්නටත් මේ බොජ්ජංග වැඞීම උපකාර වෙයි. මෙතනදී චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය යන දෙයාකාර උභතෝ විමුක්තියම පූර්ණ වන්නේ් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වීමත් සමඟය.

”සෙයි්‍යථාපි භික්‍ඛවේ අයං කායෝ ආහාරටඨිතිකෝ,
ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරෝ නො තිට්ඨති
ඒව මේව ඛෝ භික්‍ඛවේ සත්ත බොජ්ඣංගා
ආහාරට්ඨිතිකා ආහාරං පටිච්චා තිටඨන්ති
අනාහාරා නො තිට්ඨන්ති කො ච භික්‍ඛවේ
ආහාරෝ අනුප්පන්නස්ස වා සත්ත බොජ්ජංගස්ස
උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස
භාවනාය පරිපුරියෝ අත්ථි භික්‍ඛවේ
සතිසම්බොජ්ජංගංගට්ඨානියා
ධම්මා අයමාහාරෝ අනුප්පන්නස්ස වා
සතිසම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා
සතිසම්බොජ්ජංගස්ස භාවනා පරිපූරියා”

ආහාර හේතුකොට ගෙනම ආහාර ප‍්‍රත්‍ය කොට ගෙනම කය පවතින්නා සේම, පංචකාම නීවරණ ධර්මයන් ආහාර කොට ගෙනම, ප‍්‍රත්‍ය කොට ගෙනම වැඩෙන කර්ම බීජ නැතිකර දමා සත්ත බොජ්ජංග ධර්මයන් උපැදීමට නම් ඒ සඳහාද අවශ්‍ය සුදුසු ආහාර දිය යුතුය. ඒනිසා සත්ත බොජ්ජංග ධර්මයන් වැඞීමට බාධක ආහාර පිට කිරීමත්, ආශ‍්‍රය නොකිරීමත් පිරිසිඳ දැන ක‍්‍රියා කිරීමෙන්ම සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙයි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ පෙන්වා වදාළ ”සබ්බ කාය” මෙතැනදී ද පැහැදිළිකර දී ඇත. මෙතැන ආහාර යනු කබලිංකාර ආහාර, සංචේතනා ආහාර, ස්පර්ෂ ආහාර හා විඤ්ඤාණ ආහාර යන සතර කොටසටම අයත් ආහාර කොටස්මය. මේ ආහාර සතර වර්ගයේමත් භාවිතයට ගතයුතු යහපත් කොටසකුත්, භාවිතයට නොගතයුතු අයහපත් කොටසකුත් යැයි කොටස් දෙකක්ම වෙයි. සියලු ආහාර ගැනීමෙන් හෝ සියලු ආහාර නොගැනීමෙන් හෝ සත්ත බොජ්ජංගයන් වඩාගෙන නිවන් අවබෝධ කරගත නොහැකිය. අයහපත් ආහාර කොටස් භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ ගතිගුණ වැඞී කර්ම බීජ, ”භව” උපත් ලැබෙයි. අයහපත් ආහාර බැහැර කිරීමෙන් හා යහපත් ආහාර භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ දුරුවී, සමාධිගත වන්නටත් උපේක්ඛා තත්ත්වයට සිත පත් වන්නටත් ශක්තිය ලැබෙයි.

මේ අනුව ආන – ඇතුළට ගැනීම හා පාන – පිට කිරීම යන්න පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමම නිවන් අවබෝධයට ඉමහත් සේ උපකාරවන බව මෙහිදීත් ඉතාමත්ම පැහැදිළිය.

ආනාපානසතිය බහුලව නිතර නිතර වඩත්ම, කායානුපස්සනාව වැඞී, කය සංසිඳී, රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ වලින් තොරවූ සිත කය දෙකම විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී ව සති සම්බොජ්ජංගය වැඩෙයි. සති සම්බොජ්ජංගය වැඞීමත් සමඟම ප‍්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය වැඞී ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතාවයන් හා කුසල් දහම් මෙනෙහි කිරීමද බහුල වෙයි. අකුසල දහම් බැහැර කිරීමද බහුල වෙයි. ඊළඟ පියවරේදී පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය වැඞී සිත සමාදහං චිත්ත තත්ත්වයට පත් වී සමථය හා විපස්සනා නුවණ දෙකම පහළවීමත් සමඟම ධම්මානු ධම්ම පස්සනාවත් පූර්ණ වෙයි.

මේ ආකාරයටම වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිදී ඒ ගති ලක්ෂණයන් නිසා නැවතත් සම්බොජ්ජංග හතම වැඞී දියුණු වෙයි.

මේ ආකාරයටම චිත්තානුපස්සනාවෙන් හා ධම්මානුපස්සනාවෙන්ද හතර වරක්ම වැඞී සත්ත සම්බොජ්ජංග පූර්ණ වෙයි. හතර වරක්ම විවේක නිශි‍්‍රත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී සත්ත සම්බෝජ්ජංගයන් වැඞීමත් සමඟම නෙක්ඛම්ම උපේක්ඛා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි.

කායානුපස්සනාව වැඞී, කාය පස්සදිය ලැබීමත් සමඟින් කෙරෙහි උපේක්ඛා සිතක් ඇතිවී නෙක්ඛම්ම උපෙක්ඛාව දියුණු වෙයි. සියලු ක‍්‍රියාවන් වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිඳීමත් සමඟින් උපේක්ඛා සිතින් සියලු වේදනා ඉවසා දරා, සොම්නස් වේදනා, දොම්නස් වේදනා දෙකම දුරුකර නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි. චිත්ත පස්සදිය වැඞී සිත සංසිඳීමත් සමඟම සිතෙහි ද නෙක්ඛම්ම උපේක්ඛාව ඇතිවෙයි. ධම්මානුපස්සනාව පූර්ණවීමත් සමඟම විපස්සනා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පහළ වී නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි.

මේ ආකාරයට සතර සතිපට්ඨානය හා සත්ත සම්බොජ්ජංග මෙන්ම නෙක්ඛම්ම උපේක්ඛාවත් සම්පූර්ණ වීම නිසා අකුප්පා චේතෝ විමුක්තියත්, විද්‍යා විමුක්තියත් සම්පූර්ණ වී ප‍්‍රඥා විමුක්තියේ පිහිටීම සිදුවේ. මෙය නිවන් අවබෝධය පූර්ණ වී අරහත් ඵලයට පත්වීමයි. (මජ්ඣිම නිකායේ සළායතන විභංග සූත‍්‍රය)

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් පසුව ඊළඟටම මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන කායගතාසති සූත‍්‍ර දේශණාවෙහි හා ආනාපානසති සූත‍්‍ර දේශණාවෙහි එන කායානුපස්සනාවේද ප‍්‍රායෝගික වශයෙන් ඇත්තේ ඉතා සුළු වෙනස්කමකි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ එන කායානුපස්සනාවම විවිධ ආකාරයෙන් විස්තර සහිතව විග‍්‍රහකර පෙන්වීමක් කායගතාසති සූත‍්‍රයේදී විග‍්‍රහ කර ඇත. මෙහි තේරුම නම් ආනාපානසති භාවනාව සතිසම්පජානයෙන් යුත් ප‍්‍රඥා විමුක්ත හෝ උභතෝභාග විමුක්ත පුද්ගලයාට භාවිතයට සුදුසු වන අතර සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයාට කායගතාසති භාවනාව භාවිතයට සුදුසු ලෙසින් විස්තර කර ප‍්‍රතිපදාව දීර්ඝ ලෙසින් පෙන්වා දී ඇත යන්නයි. ඒ විනා මෙම සූත‍්‍ර දෙකෙහි විශේෂ වෙනස්කමක් නැත. මෙසේ බුදුපියාණන් දේශණා කර වදාළ භාවනා කර්මස්ථාන අතරින් හැම අතින්ම සම්පූර්ණ ලෙස නිවන දක්වාම මඟ පෙන්වන වැදගත්ම සූත‍්‍ර දේශණාව වන්නේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවයි. අනිකුත් සියලුම කර්මස්ථානයන්ද මෙහි ඇතුළත්ය’

අරිය අනාපානසති භාවනා ක්‍රමය හා අනරිය ලෞකික අනාපානසති භාවනා මය අතර ඇති විශේෂ වෙනස්කම්

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් විස්තර වශයෙන් විග‍්‍රහ කර, ප‍්‍රකාශ කර පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, මතුකර, පෙන්වා වදාළ භාවනා ක‍්‍රමයකි. අනරිය ලෞකික ප‍්‍රාණයාම භාවනා ක‍්‍රමය අතීතයේ පටන්ම වේද ග‍්‍රන්ථ වල සඳහන් උපනිෂද් ආගමේ භාවිතා කළ අනරිය භාවනා ක‍්‍රමයකි. මේ ආකාරයට මූලික වශයෙන්ම වෙනස්කම් ඇතිව ආනාපානසති භාවනාව යන නමින්ම භාවිතයේ ඇති භාවනා ක‍්‍රම දෙකක්ම ඇති බව හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. එකක් ලෞකිකය. අනික ලෝකෝත්තරය.

අතීතයේ ලොව ප‍්‍රචලිතව භාවිතා කළ මෙම අනරිය ලෞකික ආනාපානසති භාවනාව පිළිබඳව බුදුපියාණන්වහන්සේ තරම් කරුණු කාරණා දැන සිටි වෙනත් කෙනෙකු නොවූහ. ඊට හේතුව ගිහිගෙයින් නික්මුණු දා පටන්ම වසර හයක්ම ජන්බුද්වීපයේ එවකට පැවති සියලුම අනරිය භාවනා ක‍්‍රම ප‍්‍රායෝගිකවම අත්හදා බලමින්, ධූතාංග රකිමින්, වත්පිළිවෙත් පුරමින්, දහදුක් විඳිමින්, දුෂ්කර ක‍්‍රියා කළ නිසාය. ඒ අනරිය ක‍්‍රමවලින් ප‍්‍රාණයාම භාවනා ක‍්‍රමවලින් අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමය මගින් ලබාගත හැකිවූ ධ්‍යානයන්ද ප‍්‍රායෝගිකවම ලබාගෙන පුද්ගලිකවම අත්විඳගෙන ලබාගතහැකි නිවනක්, විමුක්තියක් නොදුටු බුදුපියාණන්, ඒ සියලු අනරිය ක‍්‍රමයන් පසෙකලා මෙතෙක් භාවිතයේ නොපැවති අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, භාවිතා කර ප‍්‍රඥා විමුක්තියට පත්වූ බව අරිය පර්යේෂණ සූත‍්‍රයේ පැහැදිළිවම දේශණා කර පෙන්වා ඇත. මෙතැනදී බුදුපියාණන් භාවිතා කළේ වේද ග‍්‍රන්ථ වල එන ආනාපානසති භාවනාව නොවේ.

දහසක් දුක්විඳ අත්ථතාපනයෙහි යෙදී ධූතාංග රැුක, වත් පිළිවෙත් පුරා සය වසරක් තුළ ලබාගත් ධ්‍යානයන් සියල්ලම ලෞකික වූත් භෞතික වූත් ඒවා මිස විද්‍යා විමුක්තියට පත්වී ලබන නිවනක් එහි නොවන බව බුදුපියාණන්වහන්සේම යථාපරිදි තේරුම් ගත් බව නිතර නිතර ප‍්‍රකාශ කර ඇත.

අනරිය භාවනා ක‍්‍රම භාවිතයෙන් ලබන අෂ්ට අභිඥාද යම් ආකාරයක රාගයෙන් ද්වේෂයෙන් වෙන්වූ එකකි. නමුත් මෝහයෙන් සහමුළින්ම ඉවත්වී ලබන විද්‍යා විමුක්තිය එහිදී නොලබන බවත් පැහැදිළිවම දේශණා කර ඇත. ලෞකික වූත් භෞතික වූත් පංච අභිඥා හා ඍර්ධි ප‍්‍රාතිහාර්යයන්ද පෑ හැකි මෙම අනරිය ධ්‍යානයන් උපදවා ගැනීමේ භාවනා ක‍්‍රමය බුදුපියාණන් සොයා දැනගත් දෙයක් හෝ බුද්ධ දේශණාවක් හෝ නොවේ. බුදුපියාණන් සොයා දැන දේශණාකළ ආනාපානසති භාවනා ක‍්‍රමය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී විද්‍යා විමුක්තියම ළඟාකර දෙන භාවනා ක‍්‍රමයකි. එය අරිය මාර්ගයයි.

අද සම්මත වශයෙන් භාවිතා කරන අනරිය ආනාපාන සතිය භාවනා කිරීමට නම් කැලයකට, ආරඤ්ඤයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට යාමත් එසේ ගොස් මිනිස් වාසයෙන් තරමක් දුරස්වී, තනිවී භාවනා කිරීමත් කළ යුතුය. මෙහිදී ලබාදෙන වැදගත්ම හා එකම උපදේශය සිතට අරමුණු වන සියලු ආකාර අරමුණු සිතින් ඉවත් කර හොඳ නරක සියලු අරමුණු වලින් ඉවත්වීමට ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. මෙහිදී සිදුවන්නේ රාග, ද්වේෂ අරමුණු තාවකාලිකව යටපත්වී, සිත සංඥා වලින් තොරවී අසංඥ තත්ත්වයට පත්වීමයි. මේ ආනාපානසති භාවනාව වැඞීමට යම් ධර්මාවබෝධයක් හෝ සබ්බකාය පිරිසිඳ දැන ගැනීමක් හෝ අවශ්‍ය නොවේ. ඒ නිසා කිසිවිටෙකත් මෝහයේ, අවිද්‍යාවේ මුල් ගළවා විද්‍යා විමුක්තියට පත්වීම මෙහිදී සිදු නොවේ. අවිද්‍යාව දුරුවී, විද්‍යාව උපතක් නොලබන නිසාම ධ්‍යානයන් ලැබුවත් මෝහ මුල දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙයි.

අද භාවිතා කරන මෙම ලෞකික ආනාපානසති භාවනා ක‍්‍රමයට අනුව කය සෙළවීම, ඉරියවු වෙනස් කිරීම හෝ වෙනත් බාහිර බාධක, උපද්‍රව භාවනාව දිගටම පවත්වා ගෙන යන්නට නොහැකිවන බාධක හේතුන්ය. බලයෙන්, කෘතිම වශයෙන් තාවකාලිකව යටපත් කරගත් රාග, ද්වේෂ ගති ලක්ෂණයන් මෙවන් බාහිර බාධාවීම් සිදුවීමත් සමඟම නැවතත් මතුවී එයි. මෙහිදී මෝහ මූලය නොසිඳන නිසා මෝහ ගතිය සහමුළින්ම උදුරා ඉවත් නොකරන නිසා රාගය උපදවන, ද්වේෂය උපදන යම් අරමුණක්, දර්ශනයක් ශබ්දයක් නිසා ධ්‍යානය කඩා වැටෙයි. වසර පනහක් හෝ කැලයක භාවනා කර සියලු ධ්‍යානයන් ලබාගත් කෙනෙකු පවා කැලයෙන් එළියට පැමිණ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ජීවත්වන විට දින ගණනකදී ධ්‍යානයෙන් පිරිහීගත් සාමාන්‍ය පුද්ගලයෙකු බවටම යළි පත්වෙයි. වසර ගණනක් දුක් විඳ ධූතාංග රැක උපයාගත් අනරිය ධ්‍යානයන් සහමුළින්ම නැතිවී යයි.

බුදුපියාණන් දේශණා කර වදාළ අරිය ධ්‍යානයන් එවැනි දේ නොවේ. යථාවබෝධයෙන්, ධර්මාවබෝධයෙන් සත්‍යය දැන තේරුම්ගෙන අරිය තත්ත්වයට පත්වූ උත්තමයෙකු නැවත කිසිදාක වසර සියයක් පෘථග්ජනයා අතර ජීවත් වූවත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළා නොවෙයි. ධ්‍යානයන්, මාර්ග ඵලයන් පිරිහීමක් සිදු නොවෙයි. මෙහිදී ආරඤ්ඤගතවීම, රුක්ඛමූලගතවීම, සුඤ්ඤාගාරගතවීම තම ආධ්‍යාත්මයෙන් අභ්‍යන්තර වශයෙන් ඇති කරගන්නා ගතිගුණ සමුදායකි. ඒවාට හුරුපුරුදු වූ විට මහ සෙනඟක් මැදදී පවා මොහොතකින් සමාධි ගතවී සමාපත්තියෙහි පිහිටා ක‍්‍රියාකිරීමේ ශක්තියක් අරිය ධ්‍යානයන් ලැබූවෙකු සතුව පවතී.

මුලදී යම් ආකාරයක නිසල පරිසරයකට වී භාවනාව පුරුදු පුහුණු කරගත් පසුව, භාවනා කරන ඉරියව්ව හෝ ඉඳගෙන, හිටගෙන, ඇවිදිමින්, නිදයමින් සිටම හෝ භාවනා කිරීමට බාධකයක්ද නොවේ. ඒනිසා සතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානයේම පිහිටා කටයුතු කිරීමේ ශක්තියක් බුදුපියාණන් පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක‍්‍රමයේ පවතී. යථාවබෝධය ලැබූ අරහතුන්වහන්සේ පැය විසිහතර මුළුල්ලේම සතර සතිපට්ඨානයෙන් යුතුවම සියලු කටයුතු කරයි.  ඒ ලබාගත් සත්‍යාවබෝධය නිසාම සිදුවන්නකි.

අද භාවිතා කරනු ලබන අනරිය ආනාපානසති භාවනා ක‍්‍රමයේ උගන්වන පරිදි මුළින්ම සමථ භාවනාව වඩා සමථයට පත්වී දෙවන අවස්ථාවේදී විපස්සනා භාවනාව වෙත මාරුවීමක් ප‍්‍රකාශ කරයි. නමුත් බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ ආනාපානසති භාවනාව එවැන්නක් නොවේ. එය යුගනද්ධ භාවනාවකි. සමථ විපස්සනා වැඞීම යැයි දෙකක් එහි වෙන්කොට නැත. සමථ විපස්සනා දෙකම එකටම එක සමගම වැඩෙන එකම භාවනා ක‍්‍රමයද මෙයයි. ඉන්ද්‍රියයන් හයම මෙහිදී එකවර සංවර වන නිසා
තමන් දැන හෝ නොදැන සමථ විපස්සනා යැයි වෙන් කිරීමකින් තොරවම සතර සතිපට්ඨානයේම පිහිටීමත් සමඟම සත්ත බොජ්ජංග වැඩෙන්නට පටන් ගනී. මේ අනුව හුස්ම ගැනීම පිට කිරීම – පිම්බීම හැකිළීම මෙනෙහි කිරීමේදී පළමුව සමථය වඩා දෙවනුව විපස්සනාවට මාරුවිය යුතුයැයි ප‍්‍රකාශ කළත් එහිදී විපස්සනා භාවනාවක් සිදුවන්නේම නැත. අනිච්ච සංඥාව වැඞීමෙන් – සඤ්ඤාපටිලාභය විපස්සනා කිරීමත්, විරාග සංඥාව, නිරෝධ සංඥාව වැඞීමෙන් – දිට්ඨිපටිලාභය විපස්සනා කිරිමත්, පටිනිස්සග්ග සංඥාව වැඞීමෙන් – අත්ථපටිලාභ සංඥාව විපස්සනා කිරීමටත් හැකි වන්නේ අරිය ආනාපානසති භාවනාව වැඞීමේදී මිස පිම්බීම හැකිළීම අරමුණු කරගැනීමේදී නොවේ. මේ අනුව අද පුරුදු කරන පුහුණු කරන ආනාපානසති භාවනාව යැයි නම් කළ ක‍්‍රමයේ විපස්සනා භාවනාවක් සිදුවන්නේ යැයි අනුමානයෙන් වත් සිතිය නොහැකිය.

බුදුපියාණන් අර්ථ විග‍්‍රහ කර අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව සීල, සමාධි, ප‍්‍රඥා යන අංගයන් තුනම ක‍්‍රමානුකූලව වැඩෙන භාවනා ක‍්‍රමයකි. සංවර, සංසිඳීම හා සම්මා යන අංග තුන සීල, සමාධි, ප‍්‍රඥා යන නම් වලින්ද බුද්ධ දේශණාවේ නම්කර ඇත. ඉන්ද්‍රියයන් හයම සංවරවීමත් සමඟ සංවර සීලයේ පිහිටීමත් කාය පස්සදිය, වේදනා පස්සදිය හා චිත්ත පස්සදිය සමඟ සංසිඳීම සිදුවන බවත් ධම්මානුපස්සනාව වැඞීමත් සමඟ ප‍්‍රඥාව පූර්ණ වී සම්මා අංග අටම පූර්ණවන බවත් අරිය ආනාපානසතියේ පෙන්වා වදාළ නිවන් මාර්ගයයි. අනරිය ආනාපානසතිය වැඞීමෙන්ද යම් සීලයක පිහිටන නිසා ශික්ෂණය වීමත් සංවර වීමත් සිදුවන අතර ප‍්‍රඥා විමුක්තියට පත්වීමට උපකාර වන විද්‍යා විමුක්තිය නම් පූර්ණ වීමක් සිදු වන්නේම නැත. ඒනිසා එය නිවනට උපකාර නොවන භාවනා ක‍්‍රමයක් බව කාටත් තේරුම් ගත හැකිය.

බුද්ධ දේශණාවේ අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව පෘථග්ජන, සේඛ, අසේඛ යන තුන් කොට්ඨාශයටම භාවිතයට සුදුසු භාවනා ක‍්‍රමයකි. බුදුපියාණන්වහන්සේ පවා බොහෝ අවස්ථාවල විවේක සුවයෙන් සති ගණන් වාසය කළේ මෙම ආනාපානසති භාවනාවේ යෙදෙමිනි. මේ බව බොහෝ සූත‍්‍ර දේශණාවල සඳහන්ය. මේ අනුව අරිය විනයෙහි දක්වා වදාළ ආනාපානසති භාවනා ක‍්‍රමය අරහත් බව ලබා නිවන් අවබෝධකරගත් අසේඛ උත්තමයන්ටත් මගඵල පූර්ණය කරන්නට උත්සාහ ගන්නා සේඛ පුද්ගලයින්ටත් අරිය තත්ත්වයට පත්වන්නට මං සොයන පෘථග්ජන පුද්ගලයින්ටත් එක සමානව භාවනා කළ හැකි මහත්ඵල ලබාදෙන මහානිසංස ඇති භාවනා ක‍්‍රමයකි.

මේ අනුව මෙහි සඳහන් කරුණු කාරණා කිහිප වරක් හෝ කියවා බලා තේරුම්ගෙන තමා තමා තුළින්ම ධර්මය අනුගමනය කර නිවන අත්විඳ ගන්නට උත්සාහ කරන්න. වචන හරඹයක යෙදී මෙවන් උතුම් ධර්මයක් යටපත් කරන්නට උත්සාහ දරණ බොහෝ උගත්තු එදා මෙන්ම අදත් සිටිති. හෙටත් එවැනි අය යම් යම් දෘෂ්ඨි වල එල්බගෙන කටයුතු කරනු ඇත. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ දරණ කෙනෙකු ලෙස මේ පොත කියවන ඔබ මෙහි සඳහන් අරිය මාර්ගය ප‍්‍රායෝගිකවම ක‍්‍රියාත්මක කර බලන්නටම උත්සාහ ගන්න. සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ යන පියවරයන් තුනම සම්පූර්ණ වශයෙන් මෙම ආනාපානසති සූත‍්‍රයේ ඇති නිසා එය දැන අනුගමනය කර අත්විඳ ගැනීම හෝ නොසළකා මඟහැර අතරමංවීම ඔබටම අයත් කාර්යයයි. වගකීමයි.

Share Button