විඤ්ඤානය හා සංසාර සම්බන්ධතාවය

පෘථග්ජන පුද්ගලයෙකුගේ චිත්තසංථානයේ බිහිවන සියලුම සංඛාර, බලාපොරොත්තු ලෙසින් විඤ්ඤාණයෙහි උපදියි. සමස්ත පැවැත්මම මේ බලාපොරොත්තු පැවැත්වීමයි. අකුසලයක් කරන කෙනෙකු එම අකුසලය කරන්නේ එයින් යම් වින්දනයක්, තෘප්තියක් බලාපොරොත්තු වන නිසාමය. මේ තෘප්තිය යනු ඉන්ද්‍රිය පිනවීමකි. ඒ ඉන්ද්‍රිය පිනවීම සඳහා කළ දේ අකුසලයක් නම්, තමා ලබන තෘප්තිය නිසා තමන්ට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පොදුවේ ස්වභාව ධර්මයම හෝ යම් පීඩාවකට පත්වෙයි. මෝහය නිසා මේ කිසිවක් තමන්ට නොපෙනෙයි. දස අකුසලයෙහිම හැසිරීම මෙවැනි අධර්මයෙහි හැසිරීමයි. එනම් ධර්මයට නොගැළපෙන ධර්මතාවන්ට විරුද්ධ වූ සිතිවිල්ලක්, කථාවක්, හෝ ක‍්‍රියාවක්මය. රාග, ද්වේෂ, මෝහ නිසාම ඇති වූ අවිද්‍යා සහගත සංඛාරයකි.

විඤ්ඤාණස්කන්ධය යනු අතීත, අනාගත, වර්තමාන යන තුන්කලටම අයත් සියලු බලාපොරොත්තුයි. හැම විඤ්ඤාණස්කන්ධයක්ම, අතීතයත් සමඟ සම්බන්ධ වූ අනාගත බලාපොරොත්තු ඇති, වර්තමාන මොහොතක් පවත්වන සත්ත්වයෙකුගේ බලාපොරොත්තුවකි. මේ අතීත, අනාගත, වර්තමාන සම්බන්ධයට හේතුව අවිද්‍යාව හා තණ්හාවයි. සියලු ධර්මයෝ විඤ්ඤාණයට අරමුණු කළ හැකි නිසා ඒවා විඤ්ඤාණයෙහි ආහාර වෙයි. ඒ ධර්මතාවය හැම කෙනෙකුටම පොදුය. ඒ ධර්මතාවය අපට දුක් නොදෙයි. ඒ ධර්මයට අපි බැඳුණොත්, ඵල විපාක ලෙස අපි දුක් විඳිමු. බලාපොරොත්තු නැති කර ගතහොත් නොබැඳෙයි. විඳීමකට, වේදනාවකට හිමිකමක් කියනතාක්, එම වේදනාව විඳීමට කැමති වන තාක්, ඒ වේදනාවට අයිතියක් පවතින තාක්, ඒ දුක ද උරුමයෙන් ලැබෙයි.

ධර්මය අවබෝධ නොවීම, ධර්මය නොදැනීම, අසා දැනගත් ධර්මය නොපිළිපැදීම, ධර්මය නොසළකා හැරීම, හෝ ධර්මයෙහි නොහැසිරීම දස අකුසලයටම හේතුවයි. මෙතැන ධර්මය යනු හේතුඵල දහම පිළිබඳ අවබෝධයයි. හේතුඵල දහම කි‍්‍රයාත්මක වන ආකාරය එහි සත්‍යය ස්වභාවය දැකීම ධර්මය දැකීමයි. මෝහයෙන් මිදීමයි. මම සිතන සිතුවිල්ල නිසා, කරන කථාව නිසා, කරන ක‍්‍රියාව නිසා බිහිවන යම් ඵලයක් මගේම නිවන් මඟට බාධා කරයි ද, නිවන් මඟ වසා තබයිද වෙනත් කෙනෙකුගේ නිවන් මඟට බාධා කරයිද, නිවන් මඟ වසා තබයි ද, එසේ නම් එම සිතුවිල්ලෙන්, කථාවෙන්, ක‍්‍රියාවෙන් වැළකී, එය අතහැර මිදී යාම ධර්මය දැක සතියෙහි පිහිටීමයි. සත්‍යය දැක සිහි නුවණින් ක‍්‍රියා කිරීමයි. එමෙන්ම මා සිතන, කරන, කියන දේ නිසා යම් කෙනෙකුගේ හෝ මගේම හෝ නිවන් මඟට උපකාරයක් වෙයිද, නිවන් මගෙහි බාධා මඟහැර විවෘත කර දෙයි ද, ඒ සිතුවිල්ල, ක‍්‍රියාව, කථාව නිතර ඇසුරු කිරීමත්, බහුලව භාවිතා කිරීමත් ධර්මය දැක සතියෙහි පිහිටා කටයුතු කිරීමයි.

ලෝකය අල්ලාගන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආදී ඉන්ද්‍රියයන් හයෙන්මය. වෙන කිසිදු ආකාරයකින් අල්ලාගත් බිහිකර පවත්වන ලෝකයක් කිසිඳු සත්ත්වයෙකුට නැත. ඇසින් හා කනෙන් රූප ලෝකය උරා බොයි. නාසයෙන්, දිවෙන්, කයෙන් කාම ලෝකය උරා බොයි. මනසින් (සිතින්) අරූප ලෝකය උරාබොයි. මෙලෙස තම ඉන්ද්‍රියන්ගෙන් ලෝකය උරාබොන නිසාම, පානය, කරන නිසාම සියලු සත්ත්වයින්ට ප‍්‍රාණීන් යැයි නම් කරති. පණ ඇති කෙනෙකු යනු, ලෝකය උරා බී පානය කරන තත්ත්වයක සිටීමයි.

මම යැයි මගේ යැයි මේ ඉන්ද්‍රියයන් ගෙන් අල්ලා ගන්නා ලෝකය සාදා සකස් කර ගන්නේ, භුක්ති විඳින්නේ විඤ්ඤාණයෙනි. ඒ විඤ්ඤාණයේ ආහාරයයි. ඒ ආහාර නිසාම ආහාර සඳහාම විඤ්ඤාණය ජීවත්වෙයි.

මෙසේ අල්ලාගෙන පවත්වන්නට උත්සාහ දරන ලෝකය, පංචස්කන්ධය ලෙසින්, අටළොස් ධාතු ලෙසින්, ඉන්ද්‍රියයන් ලෙසින්, ආයතන ලෙසින් (”සං” එකතු කරන තැන් ලෙසින්) දැක ගැනීමට උත්සාහ ගත යුතුය. මේ කොයි ආකාරයට හෝ බෙදා වෙන් කර දැක බලා ගත්තොත්, ලෝකය තේරුම් ගැනීමට පහසු වෙයි. මේ සංසාර පැවැත්ම යනු හේතුඵල දහමේ නොනවතින ක‍්‍රියාත්මක වීමක් මිස, ශුද්ධාෂ්ටක එකතු කිරීම හා සකස් කිරීම මෙන්ම නැවතත් වෙන් කර විනාශ වීමක් මිස, වෙන කිසිඳු හරයක් මෙහි නැති බව දැකගත හැකිය. මෙය තරමක් ගැඹුරු තේරුම් ගැනීමට පහසු නොවන නමුත් සත්‍ය ප‍්‍රකාශයකි. විද්‍යාත්මක සත්‍යයයකි.

උපාදානය කරගත් පංචස්කන්ධයෝ, ලෝකය නම් මේ ලෝකය හට ගැනීමට හේතුව කුමක් ද? කාගේ උවමනාවකට මේ ලෝකය හදා ගත්තේ ද? කාගේ උවමනාවකට මේ ලෝකය පවත්වන්නට වෙර දරන්නේ ද? මේ ලෝකය නැවැත්මක් නැතිවම මතු මතුත් බිහිවන්නේ ඇයි? සියලු දුක් විඳින්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගැනීම නිසාම නේද? මේ පංචස්කන්ධය බිහිවීම නැවැත්විය හැකිද? එය නැවැත්විය හැක්කේ කාටද? කෙසේද? මේ ආදී ප‍්‍රශ්න රාශියක් පෘථග්ජන සිතක නිරන්තරවම මතුවනු ඇත. තමන්ගේ උත්සාහයෙන්ම තමන්ගේ මනසින්ම කල්පනා කර, භාවනා කර හෝ වෙනත් ආකාරයකින් මේ ප‍්‍රශ්න වලට නිසි උත්තර සපයා ගත නොහැකිය. කරුණු අවබෝධ කරගත් යථාවබෝධය ලැබූ උත්තමයෙකුගෙන්ම මෙවැනි ප‍්‍රශ්න වලට නිසි පිළිතුරු අසා දැනගත යුතුය. මෙය සිරි සද්ධර්මය ශ‍්‍රවණය කිරීමයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමයි. ඒ අසා දැනගත් කරුණු එකින් එක විපස්සනා කර, මනසින් මෙනෙහි කර, ප‍්‍රත්‍යක්ෂ කර ගැනීම ”දස්සනේන පහාතබ්බං” යනුවෙන් බුදුපියාණන් දේශණා කර පෙන්වූ සත්‍යය දැක ගැනීමයි.

අසා දැනගත් පසුව තම මනසින් තමන්ම තනිවම ඉතිරි ටික කරගත යුතුය. වෙනකාට හෝ අවබෝධ වූ සත්‍යයක් වචන වලට නඟා හෝ අකුරින් ලියා හෝ ඉදිරිපත් කළ නොහැකිය. වෙන කවුරු හෝ අවබෝධ කරගත් සත්‍යය ඔබ අවබෝධ කරගත් එකක් ද නොවේ. අසා දැනගත් දේ ආශ‍්‍රය කොට, උපනිශ‍්‍රය කොට සත්‍ය අවබෝධ කර ගැනීම තමාම කළ යුතුය. බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගත් හේතුඵල දහම, චතුරාර්ය සත්‍යය ලෝකයාට පැහැදිළි කරදෙනු ලැබුවත්, ඒ ධර්මය අපට අවබෝධ වන්නේ අපද ඒ සත්‍යය සමඟ සම්බන්ධ වීමෙන්ම පමණිි. සත්‍යය අත්දැක ගැනීමෙන් ම පමණිි. මිනිසෙකුට එය පහසුවෙන්ම කරගත හැකිය.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් උතුම් සිරි සද්ධර්මය ශ‍්‍රවණය කර ලබාගන්නා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය අනුසාරයෙන් ලබන යථාවබෝධය, සක්කාය දිට්ඨිය දුරුකර ගැනීමටත්, විච්කිච්චාව දුරුකර ගැනීමටත්, සීලබ්බත පරාමාසයෙන් මිදීමටත් උපකාර වේ. මෙම සංයෝජන (බැඳීම්) තුන දුරුකර ගැනීමෙන් සෝතාපන්න තත්ත්වයට පත්වේ. අරිය තත්ත්වයට පත්වේ.

අසාදැන ගත් ධර්මය මෙනෙහි කිරීමෙන්, විපස්සනා නුවණින් සළකා බැලීමෙන් ලෝකය පිළිබඳව සම්මතයන් හාරා අවුස්සා පරමාර්ථ සත්‍යය දැක ගැනීම, සක්කාය දිට්ඨියෙන් මිදීමට උපකාර වේ. සක්කාය දිට්ඨිය නැති කිරීම යනු මමත්වය නැති කිරීම නොවේ. අස්මිමානය නැති කිරීමද නොවේ. තමන්ගේම කය (පංචස්කන්ධය) පිළිබඳව සත්‍යය දැකීමයි. ‘‘ස්ව’’ කය පිළිබඳ සත්‍යය අවබෝධ වී මෙය මගේ දෙයක් නොවන බව දැකීමයි.

කුමන හේතුවක ඵලයක් ලෙස මේ කය බිහිවී ද? මේ කය උපන්දා පටන්ම මරණය තෙක්ම වෙනස් වී, විපරිණාමයට පත්වී විනාශ වී යන්නේ ඇයි? මේ තත්ත්වය වෙනස්කර ගන්නට නොහැකි ඇයි? මෙවැනි ප‍්‍රශ්න දැන් තමාගෙන්ම අසා විමසා දැනගත හැකිය. කාගෙන් හෝ අසාදැන ගත් ධර්මය එලෙසින්ම ගැනීම අන්ධානුකරණයෙන් විශ්වාස කිරීම, බුදුපියාණන් හෝ අරහතුන් වහන්සේ දේශණා කළ නිසා පිළිගැනීම බුදු මඟ නොවේ. අසා දැනගත් දේ කොතරම් දුරට සත්‍යය දැයි තම මනසින්ම, ප‍්‍රඥාවෙන් විග‍්‍රහ කර යථාවබෝධය ලැබීම බුද්ධියෙන් දැරීමයි. විමුක්තියට මඟයි.

මම, මගේ, මාගේ ආත්මයැයි ගෙන කටයුතු කිරීම අස්මිමානයයි. මමත්වයයි. මමත්වය නැති කරගත හැක්කේ අරහත් තත්ත්වයට පත් වීමෙන්මයි. ඒ මානය හා අවිද්‍යාව යන සංයෝජන වලින් මිදීමෙනි. අරහත් තත්ත්වයට පත්වන තුරුම යම් බලාපොරොත්තුවක් (විඤ්ඤාණයක්) මතුවන නිසා ”මම” යන සංකල්පයෙන් පූර්ණ ලෙස මිදී ගිය නොහැක. සෝවාන් ඵලයට පත්වීමෙන් නැති වන්නේ සක්කාය දිට්ඨියයි. මාගේ කය යැයි අල්ලාගෙන සිටින මේ පංචස්කන්ධය පිළිබඳව සත්‍යය දැකීමයි.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයත්, ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඤ්ඤාණ යන ධාතු පිළිබඳවත් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් පිළිබඳවත් අගමුල සොයා දැන ගත හැකි වන්නේ, යම් තරමක සත්‍යය අවබෝධයක් ලැබෙන්නේ සක්කාය දිට්ඨියෙන් මිදීමත් සමඟමය.

සත්ත්වයෙකු, භූතයෙකු, ප‍්‍රාණියෙකු ලෙස අප හඳුන්වන බිහි වූ සියලුම දෙනාට විඤ්ඤාණයක් ඇත. විඤ්ඤාණයක් නැති තත්ත්වයක් යටතේ විඤ්ඤාණය රහිතව කිසි සත්ත්වයෙකුට ඉපැදීමක් යැයි අප ප‍්‍රකාශ කරන හේතුඵල ක‍්‍රියාවලියට සම්බන්ධ විය නොහැකිය. විඤ්ඤාණයෙන් උපදවන චිත්තජ ශක්තීන් චිත්තජ රූප ලෙසින් ඒ ඒ සත්ත්වයාගේ කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. ඒ ක‍්‍රියාවලිය හිතාමතා හෝ දැන හැඳින කරන දෙයක් නොවේ. ලොව පැවැත්මට උපකාර වන ධර්මතාවයෙන්ම මේ ක‍්‍රියාවලිය සිදුවෙයි. එසේ බිහිකර ගත් චිත්තජ ශක්තීන් කර්මජ කෝෂවල තැන්පත් වූ පසුව කල්යල් බලා බීජ නියාමය හා ඍතු නියාමය ආදී නියාමයන්ට අනුව තම තමන් වෙතම ඵල විපාක ලෙසින් ඒවා ආපසු ලැබෙයි. චිත්තජ රූප වල ශක්ති ප‍්‍රමාණය අනුව ඒ ඒ කර්මජ රූප වල ඵල විපාක හේතුව මෙන් කිහිප ගුණයකින් වැඩි හෝ අඩු විය හැකිය. ඒ කර්මජ රූප ඵල විපාක දෙන්නට නම් ඉන්ද්‍රියයන් බිහි වී තිබිය යුතුමය. ඉන්ද්‍රියයන් ප‍්‍රයෝජනයට ගන්නේ විඤ්ඤාණයමය. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා කූඩුවක්, ගුහාවක්, කයක් සකස් කරගෙන, ඉන්ද්‍රියයන් ද ඇති ව එහි ලැඟුම් ගනී. මේ කූඩුවෙහි අයිතිකරු විඤ්ඤාණයයි. විඤ්ඤාණයට ඕනෑ ලෙසකින් මේ ඉන්ද්‍රියයන් මෙහෙයවනු මිස වෙන කිසිවක් මෙහි සිදු නොවේ. හේතුඵල ධර්මය අවබෝධ කර ගෙන පෘථග්ජන තත්ත්වයෙන් මිදී යාමෙන්ම මේ සත්‍යය දැක ගත හැකිය. එය සෝතාපන්න වීමයි.

සම්මත වචන වලින් ”සිත” ලෙසින් අප හඳුන්වන මේ විඤ්ඤාණය ”චිත්ත” යන වචනයෙන් ධර්මයේ පෙන්වා දුන් තත්ත්වයම නොවේ. චිත්ත යන තත්ත්වයද සිතෙහිම එක්තරා අවස්ථාවකි. චිත්ත අවස්ථාව ඉතා පිරිසිදු, නිසල, ශාන්ත, නොකිළිිටි තත්ත්වයයි. රාග, ද්වේෂ, මෝහ වැනි කිළිිටි, කෙළෙස් සහිත බලාපොරොත්තු නිසාම සිත පිරිසිදු චිත්ත තත්ත්වයේ නොපැවැතීී විඤ්ඤාණ තත්ත්වයට පත්වෙයි. චිත්ත යන පිරිසිදු තත්ත්වය යටතේ කිසිඳු බලාපොරොත්තුවක් එහි නොඋපදියි.

මේ ආත්මයේ දී බිහිකරගත් චිත්තජ රූප (පසුව කර්මජ රූප) පමණක් නොව අනන්ත අප‍්‍රමාණ සංසාර ගමනේ දී උපදවා එකතුකර ගත් කර්මජ රූප, තම තමන්ගේ කර්මජ කෝෂවල තැන්පත් වී පවතී. බොහෝ කර්මජ රූප ඵල විපාක දීමට අවස්ථාවක් නොලැබ අහෝසි වී යයි. බලවත් කර්මජ රූප පින්, පව්, අකුසල් සියල්ල කවදා හෝ අවස්ථාව ලැබෙන තුරු ඵල විපාක ලබා දීමට පෙළ ගැසී සිටී. අටුවේ තැන්පත් කළ බිත්තර වී මෙන් තැන්පත්ව පවතින මේ කර්මජ රූප සුදුසු පරිසරය හා පසුබිම සකස් වූ වහාම බිත්තර වී පැළ වෙන්නා සේ ඵල විපාක ලබා දෙයි.

මේ ආත්මයේ අප උපාදානය කරගෙන සිටින මේ පංචස්කන්ධයේ කිසිදු කොටසක් මතු උපතකදී ලැබෙන පංචස්කන්ධයට ගෙන යන්නේ නැත. චිත්තජ ශක්තීන් උපදවන විඤ්ඤාණයද මරණයත් සමඟ විනාශ වී යයි. නමුත් විඤ්ඤාණය බිහි කළ ශක්තීන් දැන් කර්මජ රූප ලෙසින් කර්ම කෝෂ වල තැන්පත් ව ඇති නිසා, ඒ ශක්තියෙන් නව විඤ්ඤාණයක් හා විඤ්ඤාණයට නවාතැන් ගැනීමට කූඩුවක් සකස්කර ගනී. සංසාරයේ උපන් හැම ජාතියකම විඤ්ඤාණයෙන් උපදවා තැන්පත් කළ කර්මජ රූප, තම තමන්ගේ උරුමය ලෙස තම කර්මජ කෝෂයේම තැන්පත්ව පවතින නිසා, උරුමයෙන්ම අලුතින් සකස් වූ විඤ්ඤාණයට ද ඒවායෙහි හිමිකම ලැබෙයි. උපන් හැම සත්ත්වයෙකුගේම කර්මජ කෝෂවල මෙලෙස අනන්ත අප‍්‍රමාණ සංසාරයේ තමන්ම කළ පින් පව්, කුසල් අකුසල් වලට අනුරූප වූ කර්මජ රූප එකතු වී, තැන්පත් වී පවතී. මේවා පෘථග්ජනයන්ට නොපෙනේ. අපට ඕනෑ ලෙසින් ඕනෑ වූ විටකදී මේවා පාවිච්චි කිරීමටද නොහැකිය. ධර්මතාවය අනුවම ධර්ම නියාමයන්ට අනුව ම අප කරා ඵල විපාක ලෙසින් ලැබෙයි. සංසාර ගමන පවතින තාක් නිවන් දකිනා ජාති දක්වාම විඤ්ඤාණ ශක්තිය ක‍්‍රියාත්මකව පවතින්නේ ධර්මතාවයෙන්ම මේවා ඵල විපාක ලෙසින් ලබා දීමටය. විඤ්ඤාණය ක‍්‍රියාත්මක වන හැම මොහොතකම අලුතින් ශක්තිය නිපදවා අලුත් කර්මජ රූප එකතු කරයි. ඵල විපාක දෙන හැම මොහොතකම තැන්පත් වී තිබූ කර්මජ රූප ගෙවී විනාශ වී යයි. හේතුඵල ක‍්‍රියාවලිය ලෙසින් හඳුන්වන්නේ මෙම ක‍්‍රියාදාමයයි. යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් සත්ත්වයා සංසාර ගමනට බැඳ තබන බැමිය. හේතුඵල ධර්මතාවයට අනුව මෙවන් යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් ආදී බැඳීම් තමන් ම බැඳගත්, අල්ලාගත්, අල්ලාගෙන පවත්වන්නට උත්සාහ දරණ සංසාර සම්බන්ධතාවයන් හේතුකොටගෙන ඇති කර ගත් බැදීම්ය. ”සං” එකතු කර අන්ධ ලෙසින් බවට ඈඳෙන බව, බැඳෙන බව පෘථග්ජන පුද්ගලයෙකුට තේරුම් ගැනීම තරමක් අපහසු දෙයකි. විඤ්ඤාණය සත්‍යය වසංකර ඔබව මුළාකර ඇති නිසා මෙවැනි බලාපොරොත්තු යුතුකම්, වගකීම් අයිතිවාසිකම් ආදී දේ ඉතාම වැදගත් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු දේ හැටියට සිහිපත් කරයි. සියලු පෘථග්ජන මිනිසුන් මේ හේතුව නිසාම තම මුළු ජීවිත කාලයම, වටිනා මිනිස් ජීවිතයම, තමාට සම්බන්ධ වූ අයට, සම්බන්ධ වූ දේ වලට යුතුකම් ඉටුකිරිමටත්, වගකීම් ඉටුකිරීමටත්, අයිතිවාසිකම් ලබා ගැනීමටත් වැය කරයි. පොදි බැඳගත් මෙවන් බලාපොරොත්තු රාශියක් නිසාම මතු මතුත් සංසාර ගමනට යළි යළිත් බැඳෙයි.

මෙවැනි දැඩි බලාපොරොත්තු ලෙහෙසියෙන් අතහැර ඒවායෙන් මිදී නිදහස් වීම කළ නොහැකිය. බොහෝ අය ජීවත්වන්නේම යුතුකම් හා වගකීම් ඉටුකර දීම සඳහාමය. තවත් බොහෝ අය මුළු ජීවිත කාලයම අපතේ යවන්නේ තම අයිතිවාසිකම් ලබා ගැනීමටය. මිනිසා සියලු ආකාර දුක් විඳින්නේ මේ යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධතා නිසා බව කිසිවිටකත් නොසිතයි. මේ අයිතිවාසිකම් අතහැර, යුතුකම් වගකීම් වලින් මිදී නිදහස ලබාගත් දිනකදී පමණක් නිවන් දැකිය හැකි බව සියලු දෙනාම සිහිපත් කළ යුතුයි.

මේ සියල්ලම සම්බන්ධතාවයන්ය. සම්බන්ධතා යනු ”සං” නිසා ”බවට” අන්ධ ලෙස ඈඳීම බව සිහිපත් කළ යුතුය. සියලු ආකාර වූ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් සංයෝජන බව, සංසාර බැමි බව දැක, ඒ බැමි වලින් නිදහස් විය යුතු යැයි නිගමනය කර, ඒවායින් මිදී නිදහස් වන මාර්ගය අසා දැන, ඒ අසා දැනගත් මඟ අනුගමනය කළහොත්, ප‍්‍රතිපත්ති පුරුදු පුහුණු කළ හොත් මේ සියලු සම්බන්ධකම් වලින් නිදහස් වී නිවන් දැකිය හැකි වෙයි. ඒවා අතහැර ඒවායෙහි නොඇලී, ඒවායෙන් මිදී නිදහස් වීම නිවන බව දැක කටයුතු කළ යුතුය. ”සං” ශක්තිය එකතු කරන තාක් ”බවට” බැඳෙන බව, ඈඳෙන බව යථාවබෝධයෙන්ම දැක, සත්‍ය වටහා ගෙනම කටයුතු කළ හැක්කේ හේතුඵල ධර්මතාවය තේරුම් ගැනීමෙනි. විඤ්ඤාණයට වහල්වී මෝහයෙන් කටයුතු කිරීම මෝඩකමයි. පෘථග්ජන පුද්ගලයෙකුගේ සිතට මේ සියලු බලාපොරොත්තු ඇතුලු කරගෙන හොඳයි, යහපත්, සුවයි යන නිගමනයට බසින්නේ විඤ්ඤාණයම මිස මනසින් නොවේ.

මේ හේතුඵල ක‍්‍රියාවලිය එසේත් නැත්නම් සම්බන්ධකම් පැවැත්වීම යනු ගණුදෙනුවකි. සංසාර ගමනට උපකාර වෙන ගණුදෙනුවකි. ගණු ඇත්නම් දෙනු බිහි වේ. දෙනු ඇත්නම් ගණු බලාපොරොත්තු වේ. යමක් ගත්තොත් එය දෙන්නම සිදුවේ. ණය ගෙවන්නම සිදුවේ. බලාපොරොත්තුවක් ඇතිව යමක් දුන්නොත් එය ආපසු ගන්නත් බලාපොරොත්තු වේ. මුළු විශ්වයේම අපට නොපෙනෙන හේතුඵල ධර්මතාවයේ ක‍්‍රියාත්මක වීම මේ ගණුදෙනුවයි. හොඳ – නරක, දුක- සැප, යහපත්- අයහපත්, ලාභ- අලාභ, කීර්ති- ප‍්‍රසංසා, අපකීර්ති- අවමාන ආදී අටලෝදහමට අයත් මොනයම් අංගයක් ගත්තත් මේ ගණුදෙනුව මිස වෙන කිසිම හරයක්, අර්ථයක් වටිනාකමක් මේ හේතුඵල ක‍්‍රියාවලිය තුළින් දැක ගත නොහැකියි. යථාවබෝධයක් ලැබ මෙහි සත්‍යතාවය තේරුම් ගැනීම ධර්මාවබෝධය ලැබීමයි.

බැමි වලින් තදින්ම බැඳී ඒවා සුවයි, සැපයි, ප‍්‍රියයි, මනාපයි යනුවෙන් නිගමනය කර ඒවායේ හිරවී සිටින පෘථග්ජනයාට මේ පිළිබඳව සිතීමටවත් නොහැකිය. ඒ බැඳුම් අතහරිනවා, සම්බන්ධකම් අතහරිනවා යනු තනිවෙනවා, පාළුවක් දැනෙනවා, අතරමං වෙනවා වැනි තත්ත්වයක් ලෙස පෘථග්ජන සිත් වලට දැනේ.

මේ සංසාරය පුරාම මෙතෙක් කර ඇත්තේද තවදුරටත් කරන්නේද මාගේ යැයි කියාගෙන අපේ යැයි කියාගෙන යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් යන බැමි වලින් බැඳී, ඒ මතම බිහිකරගත් බලාපොරොත්තු පොදි බැඳගෙන, ඒවා ඉටුකිරීමට හා ඉටු කරවා ගැනීමට දරණ නොනිමෙන උත්සාහයක් පමණයි. මෙය අවිද්‍යා සහගත දෘෂ්ඨියක් පමණි. මේ දෘෂ්ඨිය ඇති තාක් සංසාර ගමන නිමාකර ගත නොහැකිය. මෙවන් අවිද්‍යා සහගත බලාපොරොත්තු යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් ආදිය පටලවා ගත හොත් ඒවායෙහි අවසානයක්, කෙළවරක්, නිමාවක් නම් දැකිය නොහැකි නිසාම සංසාර ගමනෙහිද කෙළවරක් දකිනු තබා කෙළවර කිරීමට සිතීමද කළ නොහැකිය.

ඒවා පසුපසම ඒවා බලාපොරොත්තුවෙන්ම, තෘප්තියක් නැතිව, විමුක්තියක් නැතිව දිවයාම අසහනය, ගින්න, දාහය, දුක උපදවන හේතුවයි. මේ තත්ත්වයෙන් මිදී නිදහසක්, විමුක්තියක් ලබා ගැනීමට නම්, කෙළවරක් දැක ගැනීමට නම්, මිනිසෙකු ලෙස උපන් මේ ජීවිතයේදී මනස මෙහෙයවා කල්පනාකර හේතුඵල ධර්මතාවය දැක, අවිද්‍යා සහගත බැඳීම් තෝරාබේරා ගෙන, ඊට මුල් වූ හේතුව නැති කිරීමට පියවර ගත යුතුයි. ඵලය දැන් නැති කළ නොහැකි බව, වෙනස් කළ නොහැකි බව යථාවබෝධයෙන්ම සිහිපත් කළ යුතුය. මෝහය නිසා සියලු මිනිසුන් උත්සාහ ගන්නේම වද වේදනා විඳින්නේම, ඵලය වෙනස් කර ගැනීම සඳහාමය. එහි ප‍්‍රතිඵලය තව තවත් දාහයට, දුකට පත්වීමයි. ඵලය ගැන නොසිතා හේතුව සොයා, මින්මතු එවැනි හේතු වලින් වැළකී, හේතුව අතහැර නිදහස් වීම පමණක් සැනසීමට මඟ බව දැන කටයුතු කිරීම නිවන් දැකීමයි. හේතුව කරන්නේ තමන්මය.

තමා සංසාරයේ අතරමංවී සියලු දුක් වේදනා විඳින්නේ්, මතු මතුත් උපදින්නේ, අසහනයෙන්, ගින්නෙන් දැවෙන්නේ තමා තමාටම කරගත යුතු යුතුකම් හා වගකීම් කොටස අමතක කර දමා අනුන්ගේ දේ ගැනම කල්පනා කිරීමෙන් කටයුතු කිරීම නිසාය. මම, මාගේ නිදහස විමුක්තිය සඳහා කළයුතු කොටස නිවැරදිව අවබෝධ කර ගැනීම මුළින්ම කළ යුතුය. මෙය සම්මා දිට්ඨිය පිළිබඳ ලබා ගන්නා දැනුමයි. අවබෝධයයි.

ලෞකික යනු ලෝකයේ පැවැත්ම සඳහාම උපකාර වන දේ විස්තර කිරීමකි. ලෝකෝත්තර යනු ලෝකයෙන් එතෙර වී නිදහස ලබන මාර්ගය පැහැදිළි කිරීමයි. අවිද්‍යා සහගත සියලු දේ අවිද්‍යා මූලයෙන් බිහිවූ සියලු සංඛාර, හොඳ හෝ නරක වුවත් පින් හෝ පව් වුවත් සියල්ලම ලෞකිකය. ලෝකයේ පැවැත්ම යහපත් හෝ අයහපත් කරන්නටම පමණක් ඒවා උපකාරකය. කුසල මූලයෙන් අරමුණු කළ සංඛාර සියල්ල ලෞකිකත්වයෙන් බැහැර වීමට, ලෝකෝත්තර තත්ත්වයට පත්වීමට උපකාර වන දේවල්ය. ඒ නිසා හැම අවස්ථාවකදීම කුසල මූල සංඛාර වලින් බිහිකර ගත් අරමුණු, සිතුවිලි, සතියෙන් දැක, දියුණු කරගෙන භාවිතා කිරීම නිවනට මඟ පෙන්වීමකි. කුසල මූල යනු ලෝභක්ඛය කරන ,මෝහක්ඛය කරන, ද්වේෂක්ඛය කරන ක‍්‍රියා, වදන් හා සිතුවිලිය.

යුතුකම්, අයිතිවාසිකම්, වගකීම් වලද දෙපැත්තක්ම ඇත. අවිද්‍යා සහගත සංඛාර කොටසට අයත් සියලු සම්බන්ධතා තෝරා බේරා ගෙන, දැන හැඳින අත්හැරිය යුතුය. කුසල මූල අරමුණක් වන ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන අයිතිවාසිකම්, යුතුකම්, හා වගකීම් දැන හඳුනා, එවැනි ක‍්‍රියා, වදන්, සිතුවිලි පවත්වා ගෙන යාම ආශ‍්‍රය කිරීම, භාවිතා කිරීම, නිතරම නිවන් දැකීමට උපකාරකය. හේතුඵල ධර්මයට බහා බැලීමෙන්ම මේවා හඳුනාගත යුතුයි. දැන ගත යුතුයි.

පින් – පව් සළකා, යහපත – අයහපත සළකා, යුතුකම් – වගකීම් සළකා කටයුතු කිරීම ලෞකික මිස ලෝකෝත්තර නොවේ. හේතුඵල දහම දැක යම් ඵල විපාකයක් ලැබීමට මුල් වූ හේතුව යම් ආකාරයක චිත්ත ශක්තියක් බිහිකරයි නම්, ”සං” එකතු කරයි නම්, එය අතහැර ඉන් මිදී හේතුව නිරෝධ කිරීම පමණක් ම ”සං” එකතු නොකිරීමට (‘‘සං’’ සිඳීමට ) උපකාර වන බව සත්‍යාවබෝධයෙන්ම දැන කටයුතු කිරීම නිවනට උපකාර වන ක‍්‍රියාමාර්ගයයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගන්නේ සියලු යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් අතහැරීමක් කිසි ලෙසකින් බුද්ධ දේශණාවෙහි සඳහන් නොවන අතර, සම්බන්ධයක් ඇති කරන, බවට බැඳ තබන, බලාපොරොත්තුවක් බිහිකරන සියලු අයිතිවාසිකම් යුතුකම් හා වගකීම් පමණක් අත්හැර මිදී නිදහස් විය යුතු බවයි. බලාපොරොත්තුවක් සම්බන්ධයක් බිහිකරයි නම්, ඒ අවිද්‍යාව හේතුකොට ගෙනම ඇති වූවකි. බලාපොරොත්තුවක්, සම්බන්ධතාවයක් ඇති නොකරයි නම් එය කුසල මූලයෙන් බිහි වූවකි. හේතුඵල දහම ගැන, චිත්ත ශක්තිය ගැන ”සං” එකතු කිරීම ගැන, යථාවබෝධයක් ලැබීමෙන් ම කුසල මූල හා අවිද්‍යා මූල සංඛාර තෝරා බේරා ගැනීමට හැකියාව ලැබෙයි. විපස්සනා කළ යුත්තේ මේ දෙක තෝරා බේරා ගෙන කටයුතු කිරීමටයි. පුරුදු පුහුණු විය යුත්තේ මේ වෙන්කොට දැකීම සඳහාමය. ලෝකයට, ලෝකයාට, මගේ අයට, අපේ අයට, අපේ දේවලට, අපේ තැන් වලට මම සම්බන්ධ වී, ඒවාට බැඳී ඒවාම අල්ලාගෙන, ඒවා මගේ කරගන්නට, අපේ කරගන්නට දරණ උත්සාහය නිසා මම ම නේද මේ සම්බන්ධය ඇති කර ගන්නෙත් යන සත්‍යය දැක ගන්නට උත්සාහ ගත යුතුයි. මම ම කල්පනා කර මේවායින් මිදිය යුතුය යන සිතුවිල්ල පහළ කරගත යුතුයි. මෙය යථාවබෝධයෙන් දැක ගතහොත් එය සම්මා දිට්ඨිය ලැබීමයි. ”සං” වලින් පූර්ණ ලෙස මිදීමට අවශ්‍ය බව දැකීමයි.

යම් කෙනෙකු තමා තමාටම ඉටුකරගත යුතු යුතුකම් හා වගකීම් සම්පූර්ණ කරගත් පසුව, කළ්‍යාණ මිත‍්‍රයෙකු ලෙස පොදුවේ ලෝක සත්ත්වයාටම ඉටු කළයුතු යුතුකම් හා වගකීම් කොටසක් ඇති බව දැක, ඉතිරි මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් ගත කිරීම අරිය උත්තමයින්ගේ සිරිතය. මෙය අරිය විහරණයෙහි යෙදීම යනුවෙන් හඳුන්වයි.

මිනිසෙකුට තමා උපන්දා සිට මේ මොහොත දක්වා අතීතය සිහිපත් කර මෙනෙහි කළ හැකිය. මේ අතීතය මියගිය එකක් නිසා කෙස්ගහක ප‍්‍රමාණයකින් හෝ දැන් වෙනස් කළ නොහැකිය. ඒ මුළු අතීතයම හොඳ හෝ නරක හෝ නැවත නැවතත් මතුකර, සිහිපත් කර දුක් විඳීමද නොකළ යුත්තකි. මිනිසෙකු විඳින සියලු දුක් විඳින්නේ මේ මියගිය අතීතය අල්ලාගෙන, ඒ අතීත සම්බන්ධකම් සිහිපත් කර, ඒ මත්තේම සිත මෙහෙයවීමෙනි. අනාගතයක් පිළිබඳ සිහින මවන්නේද අතීතයක් පැවැති නිසාමය. අතීතය පූර්ණ ලෙස අමතක කර, නිදහස් වීම නිවන් දැකීමට මාර්ගයයි. අතීතය යනු මේ ජීවිතයේ අතීතය පමණක් නොවේ. කල්ප ගණනක් මේ සංසාර සම්බන්ධතා පැවැත්වීම නිසාම ගණුදෙනු බිහිවිය. අපි දැන හෝ නොදැන හෝ කරන සියලු දේ සිතන සියලු දේ එසේ කරන්නේ, කියන්නේ, සිතන්නේ අතීත සම්බන්ධතා මුල් කරගෙන, අනාගත සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහාමය. ඒ නිසා අනාගත සම්බන්ධතා කෙළවරක් කර නිදහස් වීමට නම්, අතීත සම්බන්ධතා වලින් පූර්ණ ලෙස මිදී නිදහස් විය යුතුයි. මේ සඳහා ගන්නා උත්සාහය සම්මා වායාමයයි. ”සං” එකතු කිරීමෙන් පූර්ණ ලෙස මිදී නිදහස් වීමට දරණ උත්සාහයයි.

මේ සියලු සම්බන්ධකම් වලින් මිදී නිදහස් විය යුත්තේ තමාමය. තම සිතෙන්මය. අතීත මතක සටහන් වලින්මය. මෙවන් සම්බන්ධකමක් පවතින අනෙක් පාර්ශවයක් දකී නම්, ඒ පාර්ශවයට පින් පැමිණවීමෙන්, පින් ලබා දීමෙන්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සහගතව මෙත් වැඞීමෙන් හා ඒ පාර්ශවයෙන් සමාව ගැනීමෙන්, මේ සම්බන්ධතාවලින් මිදී නිදහස් විය හැකිය. ඒ සියලු සත්ත්වයන්ටද, මෙවන් සියලු අවිද්‍යා සහගත සම්බන්ධතාවලින් මිදී නිදහස් වීමට හැකිවේවා යන මෙත් සහගත පැතුම නිතර මෙනෙහි කළ යුතුය. මෙවන් සම්බන්ධතා වලින් මිදීම සඳහා ඊට සම්බන්ධ කිසි කෙනෙක්, කිසි දෙයක් අප විසින් නැති කළ යුතු නොවේ. අපට ඒ අය නැති කළ නොහැකිය. අප ඒ දේ හෝ ඒ අය නැති කිරීමෙන්, අපේ නිවන් මඟට කිසි උපකාරයක්ද ලබා ගත නොහැකිය. අපට වන ලාභයක් ප‍්‍රයෝජනයක් ද නැත. ඒ අයගේ පැවතීම හෝ ඒ අය අප හා සම්බන්ධතා පැවැත්වීමට හෝ ඒ සඳහා ඒ අය තැබූ බලාපොරොත්තු හෝ අපට බාධක නොවේ. අප ඒවාට පැටලුනොත්, ඒවා අපේ කරගන්නට උත්සාහ ගත්තොත් එයම සම්බන්ධවීමක් නිසා නිවන් මඟ වැසී යයි. සසර ගමන දික්වෙයි. මාගේ නිවන් මඟට ඇතිවිය හැකි එකම බාධකය මගේම සිත ඒ සම්බන්ධතා වල එල්ලී, ඒවා සමඟ බැඳී ඒවා මත්තෙහිම සිත මෙහෙයවීමයි.

මම සියලු දුක් විඳන්නේ උපන් නිසාමය. මගේ උපතට හේතු වූයේ මම, ”බවට” සම්බන්ධ වීමයි. සම්බන්ධතා පැවැත්වීමට කැමැත්ත තිබූ නිසාම ලෝකයාට බැඳුණි. විඤ්ඤාණය තම පැවැත්ම දිගටම පවත්වාගෙන යාම සඳහාම මේ සියල්ල කරන බව අවබෝධ කරගත යුතුය. දැන් සත්‍යය අවබෝධ වූ පසුව, විඤ්ඤාණයේ පාලනයට ගෙන පැවැති සියලු ඉන්ද්‍රියන්ගේ පාලනය, මනසට බුද්ධියට පවරා ගෙන ඒවා නිදහස් කර ගත යුතුය.

මේ හේතුඵල ක‍්‍රියාවලිය පිළිබඳව අගමුල දැන යථාවබෝධය ලැබීමෙන් පසුව මේ ක‍්‍රියාවලියෙහි වෙනසක් කරගත හැකි එකම සත්ත්වයා මිනිසා පමණි. මේ පැවැත්මට උපකාර වන ශක්තිය උපදවන ශක්ති ප‍්‍රභවය චිත්ත ශක්තිය බව මනසින් කල්පනා කර දැක ගත හැකිය. චිත්තජ රූප උපදවන උල්පත, සමුදය නැතිනම් ‘‘සං’’ උපදවන තැන විඤ්ඤාණයයි. විඤ්ඤාණය ක‍්‍රියාත්මකව පවතින තුරු ‘‘සං’’ උපත ලබයි. ‘‘සං’’ උපත ලබන්නේ මෝහය නිසාමය. රාග, ද්වේෂ, නිසාමය. මෝහය නිසා තම තමන්ම කරන, කියන, හිතන දේම මේ සියල්ලටම මුල බව දැන් අවබෝධ කරගත හැකි විය යුතුය.

චිත්තයේ කිළිටි බව, අපිරිසිදු බව උපදින්නේ දස අකුසලය නිසාමය. දස අකුසලයෙන් මිදී කුසල පුරා ගැනීම පිරිසිදු චිත්ත තත්ත්වයට පත්වීමයි. විඤ්ඤාණයේ උපදින සියලුම අවිද්‍යා සහගත බලාපොරොත්තු නිරෝධ කර, උල්පත් සිඳවීම නිවනට මඟයි. ඒ සඳහා කළයුතු, ඉන්ද්‍රියයන් හයම සංවර කර ඉන්ද්‍රියයන් පිනවීම නතර කිරීමයි.

විඤ්ඤාණය ඉතා බලවත් එකකි. තම පැවැත්ම පවත්වා ගැනීම සඳහා විඤ්ඤාණය හැම වෙර වීරියක්ම දරණු ඇත. අපව මෝහයෙන් මුලාකර, ප‍්‍රිය, මධුර දේ මවා පෙන්වා, ගින්න දාහය උපද්දවා බලාපොරොත්තු ඇති කර, ඉන්ද්‍රියයන් සංතර්පණය කරන්නේ විඤ්ඤාණයේ පැවැත්ම කරගෙන යාම සඳහාමය. මේ බොළඳ ක‍්‍රියා නිසා මුලා වූ වසඟයට පත් වූ සත්ත්වයාට මේ මුලාවෙන් බේරී යථාර්ථය දැක ලෙහෙසියෙන් නිදහස් වී යාමට ඉඩ නොදෙන්නේ විඤ්ඤාණයමය.

විශ්වය, ලෝකය යයි අප දන්නා අපට පෙනෙන මේ පැවැත්ම තුළම නොපෙනෙන සත්ත්වයින්ගේ ප‍්‍රමාණය, පෙනෙන සත්ත්වයින්ගේ ප‍්‍රමාණය මෙන්ම කිහිප ගුණයකි. දේව, බ‍්‍රහ්ම, අමනුස්ස, පේ‍්‍රත, භූත, අපාගත, ගන්ධබ්බ ආදී කිසිඳු සත්ත්ව කොටසක් මසැසින් අපට දැක ගත නොහැකිය. මනස දියුණු කරගත් උත්තමයෙකුට මේ සියලු සත්ත්වයින් දැක ගත හැකිය. ඔවුන් විඳින දුක් කන්දරාව දැක ගත හැකිය. මේ බොහෝමයක් සත්ත්වයෝ අප ආශ‍්‍රයෙන්ම ජීවත් වෙති. ස්වභාව ධර්මය යැයි අප සම්මතයෙන් අදහස් කරන සියලු දේ අපට වාගේම ඒ නොපෙනෙන සියලු සත්ත්වයින්ටද තම තමන්ගේ පැවැත්ම ගෙන යාම සඳහා උපකාර වෙයි. අපේ පැවැත්මට වාගේම ඒ නොපෙනෙන සත්ත්ව කොට්ඨාශ වල පැවැත්මට ඔවුන්, ඔවුන් විසින්ම තම චිත්තජ ශක්තියෙන් උපදවා, බිහිකර ගත් පරිසරය අපි ස්වභාව ධර්මය ලෙසින් හඳුන්වමු. ස්වභාව ධර්මයට විනාශයක්, හානියක් කරන හැම අවස්ථාවකම අපි ඒ නොපෙනෙන අනන්ත අප‍්‍රමාණ සත්ත්වයින්ගේ අයිතීන් විනාශ කරන්නෙමු.

සාදා බිහිකර නොගත් සංඛතයක් නොවන කිසිම දෙයක් මේ මිහිපිට නොමැත. එසේ සාදාගත් බිහිකරගත් සියලු දේ හැම මොහොතකම ගෙවී විනාශ වී යන අතර හැම මොහොතකම අලුතින් කොටසක් උපදවා එකතු කර ගනී. තම තමන් දැන් නිපදවා එකතු කරන දේ මතු දිනක තම තමාටම ආපසු ලැබෙයි. එය ධර්මතාවයයි. හේතුඵල ධර්මය අවබෝධ කර ගැනීමෙන්ම මේ තත්ත්වය දැක ගත හැකිය.

අද සත්ත්වයෙකු ජීවත්වනවා යැයි කරන්නේ මේ උපන් ජීවිත කාලය ගෙවීමට වඩා මතු උපතක් සඳහා වූ පරිසරය සකස් කර ගැනීමෙහි ක‍්‍රියාවලියක යෙදී සිටීමයි. අප නොදැනුවත්වම එය කරන්නේ විඤ්ඤාණය විසිනි. මතු පැවැත්මක අවශ්‍යතාවය ඇත්තේ විඤ්ඤාණයට මිස කයට හෝ මනසට නොවේ. අප හේතුඵල දහම යැයි ප‍්‍රකාශ කර, විස්තර කරන්නේ මේ විඤ්ඤාණයේ හැසීරීම විනා වෙන කිසිවක් නොවේ.

හොඳින් කල්පනා කර බැලුවොත් මේ කිසිඳු හේතුවක් ඉබේ බිහිවී නැත. අපේ කැමැත්තෙන්ම අප බලාපොරොත්තු ඇති කර ගෙනම බිහිකරගත් දේවල්ය. මෙතැන මම, අපි කියා ප‍්‍රකාශ කළත් මනසට අවබෝධ කරගත හැකි එකම ශක්තිය, බලය තමාගේම විඤ්ඤාණයම පමණි.

පටිච්චසමුප්පාද දේශණාව යනු, මේ හේතුඵල දහම විස්තර ලෙස පැහැදිළි කර දුන් දේශණාවයි. පටිච්ච සමුප්පාද දේශණාවේ සංඛාර මුළිින්ම සඳහන් කර විඤ්ඤාණය ඊළගට පෙන්වා දී ඇත. ඒ නිසා මේ හේතුඵල ක‍්‍රියාවලියෙහි මුල සංඛාර වලින් ආරම්භ වේ දැයි කෙනෙකුට සිතන්නට ඉඩ ඇත. නමුත් සංඛාරයක්, ශක්තියක් බිහිකරන තත්ත්වයට පත්වන්නේ එය බලාපොරොත්තුවක් ලෙස එළිි දැකීමෙනි. එය විඤ්ඤාණයේම නිර්මාණයකි. මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර තුනම විඤ්ඤාණයේ ස්පර්ශ වීමෙන්ම බලාපොරොත්තුවක් නිර්මාණය වී චිත්ත ශක්තියක් නිපදවයි. මේ ශක්තිය නිපදවීමේදී විඤ්ඤාණයට උපකාර වන අවස්ථා නවයක්ම ”ආදීනව” ලෙසින් පටිච්චසමුප්පාද දේශණාවෙහි පෙන්වා දී ඇත. මේ අවස්ථා නමයම කරුණු දාසයකින් එකින් එකට සම්බන්ධ වන අතර, චිත්ත ශක්තියක් බිහිවීමට (ජාති වීමට) නම් අවස්ථා නමයම (ආදී නවයම) පසුකළ යුතුය.

යම් සංඛාරයක් ජාති බවට පත්වීම පිළිබඳ ක‍්‍රියාවලිය 96 ආකාරයකින් හේතුඵල දහම ලෙස විස්තර කරදුන් ධර්මයයි. අද පටිච්ච සමුප්පාද ධර්මය යැයි හඳුන්වන්නේ, භාවිතා වන්නේ මෙයින් දෙකක් පමණි. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන කුසල මූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය, සම්පූර්ණයෙන්ම අද යටපත්ව ඇත. පට්ඨාන දේශණාව යැයි අද ගිරවුන් මෙන් කියවන මේ පටිච්චසමුප්පාද දේශණාවෙහි එන කරුණු පිළිබඳව තේරුම් ගැනීමම නිවන් අවබෝධ කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

ජාති බවට පත් වීම නැතහොත් උපතක් ලැබීමට (චිත්ත ශක්තියක් බිහිවීමට) පෙර හැම සංඛාරයක්ම අවස්ථා නවයක්, ආදී නව අවස්ථාවක් පසු කළ යුතුමය. මේ හැසිරීම විස්තර කිරීම සඳහා 96 ආකාරයකින් පටිච්චසමුප්පාද දහම මගින් කළ විස්තරය පිටු දහසකින් හෝ විස්තර කියා නිම කළ නොහැකි දහමකි. අද මේ දහම යටපත්ව ගොස් ඇති බව කිව යුතුය.

අපේ කැමැත්ත අනුවම කැමැත්ත පරිදිම සංඛාරය කළ නිසා, ඉන් බිහිවන ශක්තියට (ජාති) උරුම වූ ඵලය නිතැතින්ම ලැබේ. ඒ නිසාම අවිද්‍යා මූලිකව හටගත් හැම සංඛාරකින්ම ජාති බිහිවන අතර ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස එහි විපාකයන් වෙයි. මෙහිදී හේතුව කර අවසන් වීමත් සමඟම, ඊට නියමිත ඵලයද ධර්මතාවයෙන්ම උරුම වී ඇත. මෝහය නිසා ඒ තත්ත්වය අපට නොපෙනේ. අපි කැමති ඵල විපාකයක් හෝ අප පැතූ ඵල විපාකයක් හෝ අපට නොලැබේ. හේතුවට ධර්මතාවයෙන් නියම වූ ඵලයම විපාකයම ලැබේ. හේතුව සිදුකර අවසන් වූ පසුව ඵලය වෙනස් කිරීමේ ශක්තියක් අපට නැත. ඵලයට අපි කැමති නැත. ඒ ඵලය එපා කියා අත් හැරීමේ හැකියාවක්ද නැත.

මිනිසෙකු ලෙස උපන් කෙනෙකුට මේ තත්ත්වය මනසින් සිතා සිහියෙන් යුතුව කටයුතු කිරීමෙන්ම පමණක් හේතුවක් (සංඛාරයක්) කරන්නට පෙර එහි ඵල විපාකය, ධර්මතාවයෙන් ලැබෙන උරුමය දැන, එය තමන්ට ගැළපේද, සුදුසු ද යන්න සිතා කටයුතු කිරීමේ හැකියාවක් ලැබී තිබේ. බුද්ධියෙන් දැක, ධාරණය කර, මනසින් විපස්සනා කර තමන් හිතන, කියන, කරන සියලු දේ තමන්ට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පොදුවේ ස්වභාව ධර්මයට හෝ කොයි ලෙසකින් බලපායිද? ඉන් අකුසලයක්, අවැඩක්, අසාධාරණයක් සිදුවේ නම් එය නොකිරීමත් එය තමන්ට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පොදුවේ ස්වභාව ධර්මයට හෝ යහපතක් සෙතක් සරණක් වේ නම් එය කිරීමත් සතියෙන් කටයුතු කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. මුළු බුද්ධ ධර්මයේම පදනම මෙයයි.

රාග, ද්වේෂ, මෝහ යන කිළිටි දහම් වලට ප‍්‍රිය මනාප කරන, ඇලුම් කරන අවිද්‍යා සහගත විඤ්ඤාණයට, හිතුමතේ කටයුතු කරන්නට ඉඩ හැර ඉන්ද්‍රියයන් පිනවීම බුද්ධිමත් ක‍්‍රියාවක් නොවේ. මෝඩයෙකුගේ හැසිරීමයි. මෝහය නිසාම කරන දේවල්ය. මිනිසුන් ලෙස කරන සියලුම සංඛාර ප‍්‍රධාන කොටස් 2කට බෙදා පෙන්විය හැක.

1. අවිද්‍යා මූලිකව කරන සංඛාර
2. කුසල මූලිකව කරන සංඛාර

ලෝභ , ද්වේෂ, මෝහ මෙන්ම අලෝභ, අද්වේෂ, අමෝහ යන කොටස් හයම අයත් සියලු සංඛාර අවිද්‍යා මූලිකවම කරයි. එහි ඵල විපාක හොඳ හෝ නරක විය හැකිය. පින් හෝ පව් විය හැකිය. ඒ කුමන ආකාරයක ඵලයක්, විපාකයක් වුවත් සංසාර ගමන දික්කරන හේතුමය.

කුසල මූලයෙන් කරන සංඛාර වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය හා මෝහක්ඛය කිරීම යන විසංඛාරයෝය. මේ සංඛාර තුනම මතු ඵල විපාක නොදෙන, අතහැර මිදී නිදහස් වීමට උපකාර වන ඒවාය. කුසල මූල යනු කුණු, පහත් දේ සළා හැර නිදහස් වීම යන තේරුමයි. මේ කුසල මූල සංඛාර වැඩිමෙන්ම චිත්ත පාරිශුද්ධිය ලබා විමුක්තිය අත්කර ගත හැකිය. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය අද භාවිතයෙන් ඉවත්ව යටපත් වීම නිවන් මඟ වැසී යටපත් වීමට හේතු විය.

අවිද්‍යාව මුල්කර උපදින සියලුම සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති ලෙසට පත් වී ජරා, මරණ, දුක්, දොම්නස්, ශෝක, පරිදේව, උපායාස ආදී සියලු ඵල විපාක දෙවන හෙයින් අවිද්‍යාවෙන් උපන් සංඛාර නිරෝධ කළ යුතුය. එය අවස්ථා නමය පසුකර ජාති බවට පත්වන්නට පෙර නිරෝධ කිරීමෙන්ම චිත්ත ශක්තියක්, උපතක් නොලැබෙන තත්ත්වයට පත්කර ගත හැකිය.

කුසල මූලයෙන් හටගන්නා සියලු සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, පසාදෝ, අධිමොක්ඛෝ, බව, ජාති බවට පත්වේ. ඒවා නිරෝධ කළ යුතු නොවේ. ඒවා ආශ‍්‍රය කිරීම මගින් චිත්ත පාරිශුද්ධියට පත් වී බුද්ධ ජාතියට පත්වේ. එහි ප‍්‍රතිඵලය ”ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති” යනුවෙන් විභංගප්ප‍්‍රකරණයේ ඉතා පැහැදිළි ලෙස පෙන්වා දී ඇත.

යමක් අතහැර, නොඇලී, නොබැඳී, මිදී යාම ඵල විපාක වලින්ද නිදහස් වීමයි. යමක් ඇති විටකම ඵලයක් විපාකයක් ලැබෙනු මිස, නැති තැනකදී ඵල විපාක ලැබීමක් සිදු නොවේ. එය නිදහස් වීමක්ම පමණි. නිවන යනු සියල්ල අතහැර මිදී නිදහස් වීමයි. නිවන කිසි විටක ඵලයක් හෝ විපාකයක් නොවේ. සංඛතයක් ද නොවේ. මේ හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය මැනවින් තේරුම් ගෙන ගැඹුරින් විපස්සනාකර අවිද්‍යා මූලයන් නිරෝධ කිරීමෙනුත්, කුසල මූලයන් ආශ‍්‍රය කිරීමෙනුත් භාවනාවක් ලෙස භාවිතා කිරීම නිවන් දැකීමට උපකාර වේ.

සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ආදිය සාමාන්‍ය මිනිසුන් දකින්නේ මිනිසුන්, සතුන්, ගස් ආදී සම්මත ස්වභාවයෙනි. ඒ තමාට ඇති අවබෝධය හා දැනුම අනුවම දකින ආකාරයයි. ඒ පෘථග්ජන තත්ත්වයෙන් මිදී, අරිය බවට පත්වූ පසුව, මේ සම්මතය මෙන්ම සම්මතය තුළින් දැකිය හැකි පරම සත්‍යය ගැනද වැටහීමක් ලැබෙයි. සක්කාය දිට්ඨියෙන් මිදීම යනු මෙයයි.

සම්මතයෙහි, හොඳයි, යහපත්, නිවැරදියි යන දේ පමණක් සිතමින්, කියමින්, කරමින් සිටීම කිසිසේත් නිවන් දැකීමට ප‍්‍රමාණවත් නොවේ. සම්මතය ලෝකය පැවැත්වීමකි. ඒ ලෝකය තුළ කොපමණ හොඳ දේ වුවත්, නිවැරදි දේ වුවත් ලෞකිකත්වය තුළම හිරවීමකි. නිවන් දැකීම යනු මේ අයිති කරගෙන සිටින, අල්ලාගෙන සිටින, හොඳ කරන්නට හදන ලෝකයෙනුත් මිදී යාමයි. කෙස් ගහක් තරම් හෝ සම්මත ලෝකයේ යමක් අල්ලාගෙන සිටියේ නම් ඒ විඤ්ඤාණයෙහි ආහාරයකි. නිවනට බාධාවකි.

ළදරුවෙකු ලෙසින් ලොවට බිහිවූ කෙනෙකු කල්යත්ම ලොකු මහත්වී, මිනිසකු වී මහලු වෙයි. අන්තිමේ මිය යයි. දරුවා තරුණයෙකු බවට පත්වූ පසුව ඒ තරුණ තත්ත්වයෙන්ම හැමදාම පවත්වා ගැනීම අපි හැම කෙනෙකුගේම කැමැත්තයි. අපි කොයි ආකාරයෙන් කැමති වුවත් අපේ කැමැත්තට අනුව මේ ලොව බිහිවූ පවතින කිසිම දෙයක් පැවැත්විය නොහැකිය. ලබාගත නොහැකිය. සිදුනොවෙයි. එය ”අනිච්ච” නැමති ධර්මතාවයයි. ”අනිච්ච” මිස ”අනිත්‍ය” නොවේ.

හොඳයි, සුවයි, යහපත්, ප‍්‍රියයි, මධුරයි යනුවෙන් හිතන, පතන කිසිම දෙයක්, කිසිම කෙනෙක්, කිසිම තැනක් කොපමණ ළංකර ගත්තත්, ආරක්ෂාකර ගත්තත් ඒ සියල්ල සම්මතයන් නිසා වෙනස් වී, විපරිණාමයට පත්වී, විනාශයට පත්වීම සිදු වෙයි. ඉතිහාසයේ අප අසා ඇති හැමදේම, හැම කෙනෙකුම නැතිවිය. දැන් අප දකින සෑම දේම, හැම කෙනෙකුම අපේ ඇස් පනා පිටම වෙනස් වී, නැති වී, විනාශ වී යන්නේය. මතු බිහිවන සියලු දේද මේ ඉරණමටම ගොදුරු වන බව ඒකාන්තය. මේ ධර්මතාවය සදාකාලිකව ලොව පවතින ධර්මතාවයයි. එසේ නැතිව විනාශ වී යන ලෝකයකින් ස්ථිර බවක්, වින්දනයක් සුවයක් බලාපොරොත්තු වීම මේ දුකට හේතුවයි. අප එවැනි සුවයක්, වින්දනයක්, ප‍්‍රිය මධුර බවක් බලාපොරොත්තු නොවී ඒවා අපේ කරගන්නට උත්සාහ නොකළේ නම්, ඒ කැඞී, බිඳී, විනාශ වී යන දේ නැති වී, විනාශ වීම ඒවායෙහි ස්වභාවයම බව අවබෝධ කරගත්තේ නම් අපට වේදනාවක්, අසහනයක් ඇති නොවේ. අර්ථයක් නැති, හරයක් නැති, වටිනාකමක් නැති දේවල් අපේ කරගන්නට අයිතිකරගන්නට යාමම අපව අනාථ තත්ත්වයට පත් කරයි. මෙය ”අනත්ථ” ධර්මතාවයයි. ”සබ්බේ ධම්මා අනත්ථාති” යනු මෙයයි. මෙය අනාත්ම යන අදහස නොවේ.

”අනිච්ච, දුක්ඛ, අනත්ථ” යන ත‍්‍රිලක්ඛණය යම් තරමකට හෝ අවබෝධ කර ගැනීම ”දුක” පිළිබඳ චතුුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාර වෙයි. මේ අනිච්ච ලෝකයෙහි අනාථ තත්ත්වයට පත්වීම දුක උරුම වීමට එකම හේතුවයි. මෝහයෙන් මුළා වී, අවිද්‍යාවෙන් අතරමං කරන මේ සියලු සංඛාර, විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම කරන දේ බව තේරුම් ගත යුතුය. මේ දැඩිව අල්ලාගෙන අන්ධ බවින් භවයට බැඳී සිටින සියලු බැමි වලින් මිදී, ඒවා අතහැර, නිදහස් වීම මොන තරම් සුවයක් විය හැකි දැයි සිතන්නට පවා හැකි වන්නේ ඒ නිදහස අත්විඳගත් කෙනෙකුටමය.

ලෝකයේ පවතින, ජීවත්වන කිසි කෙනෙකු, කිසි වස්තුවක්, කිසි තැනක් අපට බාධා නොකරයි. ඒවා කිසිවක් අපට නැති කළ නොහැකිය. නැති කිරීම අවශ්‍ය ද නොවේ. නැති කිරීමෙන් අප ලබන ලාභයක් හෝ පාඩුවක්ද නැත. ඒවා අපේ ගමන නිමා කර නිවන් දැකීමට කිසි ලෙසකින් උපකාර නොවන අතර බාධකද නොවේ. අප ඒවාට අන්ධ බවින් ඈඳීම පමණක් බාධක වෙයි. ඒ බාහිර පුද්ගලයින්ට, වස්තුවලට අපිම අපේ සිතින්ම සම්බන්ධ වී, ඇලී බැඳී අපේ කරගන්නට යාමම භවට ඈඳීම බව දැන සතියෙන් ඒවා අතහැර නිදහස් වීම නිවනයි.

මේ ජීවිතයේදී අප දැන් ලබා සිටින කය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිකර ගත යුතුය. පසුගිය උපතේදී අපි මියයන්නට පෙර තවදුරටත් ජීවත්වීමේ දැඩි බලාපොරොත්තුවක්, ආශාවක් තිබූ නිසාම ඒ චිත්තජ ශක්තීන්ගේ බලයෙන්ම යළි කයක් ලබා ඉපදුනි. මේ කය මේ ජීවිතයේදී හදාගත් දෙයක් හෝ ලබා ගත් දෙයක් හෝ නොවේ. දැන් අපේ කැමැත්ත, පැතුම, බලාපොරොත්තුව කුමක් වුවත් ලැබූ ඵලය වෙනස් කළ නොහැකිය. ලබා උපන් ආයුෂ අවසන් වෙන තුරු කොපමණ උත්සාහ කළත් අපට මරණය සිදුකර ගත නොහැකිය. මේ ලැබූ ආයුෂ බලයෙන් ගෙවා අවසන් කළ හැකි එකක්ද නොවේ.

මේ තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා උපතේදී ලැබූ හිත, ගත පවත්වා ගන්නට අවශ්‍ය අවම අවශ්‍යතා එය පවතින තුරුම ඉටුකළ යුතුය. මේ කයට දැඩිව නොබැඳී, නොඇලී, ඉන්ද්‍රිය සංතර්පණයෙන්, ඉන්ද්‍රියන් පිනවීමෙන් වැළකී සිටිය යුතුවා වාගේම කයට දැඩි දුක් පීඩා, වද වේදනා දීමෙන්ද වැළකී සිටිය යුතුය. මේ ගත හිත දෙකම සංසාර පුරුදුය. දැන් මේ පුරුදු භාවනාවෙන්, දර්ශනයෙන් හෝ සංවරත්වයෙන්ද පූර්ණ ලෙසින් නැති කර දැමිය නොහැකිය. නිවන් දුටු අරහතුන් වහන්සේටද සිවු පසයම අවශ්‍ය වන්නේ මේ හේතුවෙනි. අටලෝ දහමම ඉවසා දරා සිටීම, එයින් උද්දාම නොවීම, කම්පා නොවීම නියම සංවරත්වයයි. මෙවන් සියලු කරුණු පිළිබඳව යථාවබෝධයක් ලැබූ පසු, හේතුඵල ධර්මතාවය පිළිබඳව සත්‍යය දැක්ක පසු, කළ යුතු එකම දේ මතු මතුත් මෙවන් දුක් දෙන, වේදනා ගෙන දෙන, රෝග බිය උපදවන, අසහනය දාහය ලබාදෙන, පංචස්කන්ධයක් උපාදානය කරගන්නට විඤ්ඤාණය දරණ උත්සාහය පරදවා, අවිද්‍යා සහගත සියලු විඤ්ඤාණ ශක්තීන් නිපැදවීම නතර කර, විඤ්ඤාණයේ ආහාර නතර කිරීමයි. හේතුඵල දහමෙහි එන ”හේතු නැති තැනකම ඵල නැතිවේ” යන ධර්මතාවය අවබෝධ කර දැරීම බුද්ධ ධර්මයයි. විමුක්ති මාර්ගයයි.

Share Button