5. වේදනාසු වේදනානුපස්සනාව

සෑම පෘථග්ජන පුද්ගලයෙකුම ඉන්ද්‍රියයන් පිනවීම සැපය, සුවය, සතුට, සන්තෝෂය යනුවෙන් හඳුන්වයි. මෙසේ ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවා සතුටක් ලැබිය හැක්කේ බලාපොරොත්තුවක් සිත තුළ රැඳී පවතින තුරුම පමණි. ”සුඛ වේදනං වේදියමානෝ” යන පදවලින් පෙන්වා දුන්නේ හිත පිනවන ආමිස – සාමිස බලාපොරොත්තුවක් හිතේ පවතින තුරාවටම කෙනෙකුගේ පංච ඉන්ද්‍රියයන්ම පිනවන ස්වරූපයක් පවතින බවයි. ”වේදියමානෝ” යනු විඳවීමේ, දැනීමක් පවතින අදහසයි. බලාපොරොත්තුවක් ඉටුවීමත් සමඟ හෝ බලාපොරොත්තුවක් කඩ වීමත් සමඟම හෝ මේ සැප විඳවීමේ වේගය අවසන් වේ. ඒ අවසන් වන්නේ සුඛ වේදනාවයි. දැන් මතුවෙන්නේ දුක් වේදනාවක් හෝ අදුක්ඛම අසුඛ වේදනාවකි. ”පජානාති” යනුවෙන් මෙතැනදීද මේ අවස්ථාව විග‍්‍රහ කර ඇත. පෘථග්ජන පුද්ගලයෙකුට පවා සතියෙන් යුතුව කටයුතු කරන විට මේ සුඛ වේදනාව, දුක් වේදනාව හෝ අදුක්ඛම අසුඛ වේදනාව උපදින ආකාරය තමා තුළින්ම තමාටම දැනගැනීමට හැකි නම් ඒ උසස් දැනුම මෙතැනදී ”පජානාති” කියන පදයෙන් අර්ථ ගන්වන ලදී. මෙහිදී වර්ග දෙකොටසක් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. ”සාමිසං සුඛං වේදනා වේදියාමීති පජානාති” ‘‘නිරාමිසං වා සුඛං වේදනං වේදියමානෝ නිරාමිස සුඛං වේදනං වේදියාමීති පජානාති”යන කොටස් දෙකයි.

සාමිස සුවය – සුඛය යනු බලාපොරොත්තුවක් සිත තුළ පවත්වාගෙන ඒ බලාපොරොත්තුවේ හිතින්ම එල්ලී ඇලී ඒ බලාපොරොත්තු පවතින තුරා ඉන්ද්‍රියන් පිනවීමයි. මෙතැන විග‍්‍රහ වන්නේ යමක් උපාදානය කර ගැනීමේ සුවයක් පිළිබඳවයි. ඒ බලාපොරොත්තු වූ දේ උපාදානය කර එහි අයිතිකරු බවට පත් වීම නිසා බැම්මකට බැඳේ. මේ බැඳීම නිසා බරක් ඉසිලීමටද සිදු වේ. ඒ බර වටිනවා යනුවෙන් සිතන නිසාත් සාරවත් නිසාත් අල්ලගෙන උපාදානය කරගනී. මේ නිසා බලාපොරොත්තුව ඉටු වනතුරු පැවති සාමිස සුවය දැන් බලාපොරොත්තුව ඉටුවීමත් සමඟම දුකක් බවටත් පරිවර්තනය වේ. මේ විපරිණාමය පෘථග්ජන පුද්ගලයෙකුට දැක ගත නොහැකියි. එසේ දැක ගැනීමට පෙර විඤ්ඤාණය අලුත් බලාපොරාත්තුවක් එම සිතේම බිහි කරයි. මතු කරයි. ඒ නිසා දැන් යළි යළිත් අලුත් බලාපොරොත්තුව තුළින් සාමිස සුවයක් විඳී. දුක යටපත් කරවනු ලැබේ.

නිරාමිස සුවය යනු මීට හාත්පසින්ම වෙනස් සුවයකි. බලාපොරොත්තුවක් නිසා ලෞකික යමක් උත්පාදනය කර ගැනීම හිතේ භයට, බැම්මට, බරට මුල් වේ. දැන් යමක් උත්පාදනය කරගැනීමේ බලාපොරොත්තුවක් නැතිනම් එතැනදී බරක්, භයක්, බැම්මක් හෝ බලයක්ද සිත තුළ ඇති නොවේ. සිත නිදහස් වේ. දැන් නැති වීමට හෝ අහිමි වීමට හෝ දෙයක් නොමැත. මේ සුවය නිරාමිස සුවයයි. ”නිරාමිසං දුක්ඛං වේදනං වේදියාමීති පජානාති’’ යනුවෙන් විග‍්‍රහ වන දේ පිළිබඳවත් මෙහිදී දැනගත යුතුයි. අතීතයේදී තමන් අල්ලාගෙන සිටි, උපාදානය කරගෙන සිටි දේ දැන් අතහැර එක් වරම නිදහස් වීමත් වේදනාවක්, හිතට දුකක් ලෙස දැනෙතත් එයද උපේක්ඛා සිතින් ඉවසීමට පුරුදු වීම නිසා දැන් නිදහස් වීමේ සුවය බලවත්ව අත්විඳ ගැනමට හැකිවේ. ඒ නිසා අත්හැරීමේ සුවය දිගින් දිගටම අනන්තය තෙක්ම ලබන සුවයක් බවට පත්වේ. මේ නිරාමිස සුවයයි. සදහටම බරෙන්, බයෙන් බැම්මෙන් මිදී නිදහස් වීම නිරාමිස සුවයයි. මේ සුවය පිළිබඳව ඇතිවන දැනුම වේදනානුපස්සනාවයි. මෙතැනත් ආධ්‍යාත්මික හා බාහිර වශයෙන් සිතේ මතුවන බලාපොරොත්තු අත්හැරීමෙන් ”මම”, ”මාගේ”, ”අපි”, ”අපේ” යන කොටස් දෙකම පිළිබඳව තිබූ උපාදානයත් අත් හැරේ. ”නච කිංචි ලෝකේ උපාදියති” උපාදානය කරගත් කිසිම දෙයක් සිතේ නැති කළ සිතින් හදාගත් ලෝකයකුත් නොපවතී. ලෝකය යනු සිතින්ම උපාදානය කර ගත් සියලුම දේ සහ ඒවාම පරිහරණය කිරීම බව දැන් මනාව තමාටම අවබෝධ වේ.

මෙතනදී වේදනානුපස්සනාව යනුවෙන් විශේෂයෙන් කළ යුතු දෙයක් නැත. ක‍්‍රියාවේ වේගය කායේ කායානුපස්සනාව වැඞීමත් සමඟම එහි වේදනාවේ වේගය සංසිඳීමත් දැන ගැනීම (පජානති) පමණක් අවශ්‍ය වේ. මෙතැනදී යථා පරිදි දැන ගත යුතු දේ වනුයේ අපි ඉන්ද්‍රියයන් පිනවීම සඳහා ප‍්‍රිය දේ සමඟ ඇලී, ප‍්‍රිය දේ උපාදානය කර ගැනීමට ඇති බලාපොරොත්තු සුව වේදනාව බවත් අප‍්‍රිය දේ සමඟ ගැටී ඒවා බැහැර කිරීමට ඒවාට විරුද්ධව ක‍්‍රියා කිරීමට ඇතිවන බලාපොරොත්තු නිසා ඇති කරගනු ලබන උපාදානය (විභව තණ්හා) දුක් වේදනාව ලෙසත් මෙහිදී වේදනාව පිළිබඳව වටහා ගත යුතු වේ. මේ අනුව කායේ කායානුපස්සනාව වැඞීමේ ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රියාවේ වේගය සංසිඳී, උපේක්ඛා සිතින් ඉවසා විමසා කටයුතු කරන්නට වීම නිසා දැඩිව ප‍්‍රිය දේට ඇලීමත්, දැඩිව අප‍්‍රිය දේ සමඟ ගැටීමත්, මානයෙන් මෝහයෙන් මුළා වීමත් ක‍්‍රමානුකූලවම අවමකර ගැනීමෙන් වේදනානුපස්සනාවද සම්පූර්ණ වේ. දැන් විඳවීමේ වේගයද සංසිඳ වේ.

බාහිර ලෝකයේ අනන්ත අප‍්‍රමාණ වූ සිද්ධීන් සිදු වේ. එක පුද්ගලයෙක් පිළිබඳව සලකා බැලූ විට ලෝකයේ සිදුවන සියලුම සිද්ධීන් නිසා පුද්ගලයෙකුගේ සිතට වේදනාවක් ඇති නොවේ. තමන්ගේ සිතට අරමුණ වූ යම් වෙනස්කමක් සිත තුළ ඇති කරවන සිද්ධියක් නිසා පමණක් කෙනෙකුට වේදනාවක් ඇති වේ. වේදනාව සැප වේදනාවක් වන්නේ ඒ සිදුවීමට ප‍්‍රිය වුවහොත් පමණි. වේදනාව දුක් වේදනාවක් වන්නේ ඒ සිදුවීම අප‍්‍රිය, අමිහිරි වෙනස්කමක් සිතේ ඇති කරවන්නට හේතුවෙනවා නම් පමණි. ප‍්‍රිය දේත් උපාදානය කරගනී. අප‍්‍රිය දේත් අතීතයේ උපාදානය කරගත් දේවල්ම වේ. මේ ආකාරයට සිතේ යම් වෙනසක් සිදුවීම වෙනසක් දැනීම සංඥා යනුවෙන් හඳුන්වයි. සිතේ ඇති වූ වෙනසට ප‍්‍රිය අප‍්‍රිය වීම නිසා ඒ වෙනසට දිගටම සම්බන්ධ වීම සංඛාර කිරීමයි. ක‍්‍රියා සිතකින්, කාර සිතකින් කරන්නේ ඒ දැනීම අනුව යම් ක‍්‍රියාවක් කිරීමයි. ක‍්‍රියා සිතකින් යමක් උපාදානය කර නොගනී. නමුත් පරිහරණය කිරීම පමණක් සිදු කරයි. යමක් අල්ලාගෙන තමාටම යනුවෙන් බදාගෙන දිගින් දිගටම පරිහරණය කිරීමේ ආසාවක්, අවශ්‍යතාවයක් උපාදානය කිරීම යනුවෙන් හඳුන්වයි. එහෙම නැතිනම් තමාගේම තනි පරිහරණයට වෙන් කර ගැනීම උපාදානය කර ගැනීමයි. තමන්ට හිමි කොටස පමණක් පරිහරණය කිරීම උපාදානය කර ගැනීමක් නොවේ. ඒ මොහොතට අවශ්‍ය දේ පරිහරණය කිරීම පමණක් සිදු කරයි. මතුවට පරිහරණය කිරීමේ බලාපොරොත්තුව ඇතහැර ඇත. බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී ගත කළ වසර හතළිස් පහම තුළදී පංචස්කන්ධයම පරිහරණය කළ නමුත් පංචස්කන්ධය උපාදානය කර ගත්තේම නැත. මේ දෙක අතරෙ ඇති වෙනස දැන ගැනීමත් සමගම වේදනානුපස්සනාවත්, චිත්තානුපස්සනාවත්, ධම්මානුපස්සනාවත් යන තුනම වැඬේ.

”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” පත්වූ අරහතුන්වහන්සේ කෙනෙකුන් පමණක් ලබා ගන්නා උසස්ම සමාපත්තියට පත්වීමේදී සිදුවෙන්නේ සංඥා සියල්ල නැතිවීමක් නොවෙයි. අරහතුන්වහන්සේලාට පෘථග්ජන පුද්ගලයෙකුටත් වඩා බොහොම පිරිසිදුව පැහැදිළිව සියලුම සංඥා ලැබුණත් ඒ සංඥාවන් හේතු කොට ගෙන උත්පාදනය වන විඳවීම, වේදනාව නොලබන තත්ත්වයට ”වේදයිත” තත්ත්වයට පත්වේ. ”වේදයිත” යනු වේදනා විඳීමෙන් තොරවූ තත්ත්වයයි. සැප විඳීමේ හෝ දුක් විඳවීමේ හෝ බලාපොරොත්තුවෙන් තොරව ක‍්‍රියාකාරකමක් නොකරන විට සමුදය නිරෝධ වේ. ”සං” උත්පාදනය නොවී නිර්උදා තත්ත්වයට සිත පත් වේ. එහෙම නම් ”සං” උදාවීමට මූළික වන හේතුව සංඥාවකට ඇලීම හෝ ගැටීම නිසා වේදනාවක් රත්වීමක් මත් වීමක් නිසාම යම් ශක්තියක් සිත තුළම ජනිත කරගැනීමයි. මේ ශක්තියක් ජනිත වීම ”සංපජානනය” වීම යථා පරිදි දැක ”සං” ප‍්‍රහාණය කර වේදනා නොවිඳින වේදනාවෙන් තොරවූ තත්ත්වයට පත්වීම ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” වේ. ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට” පත් වූ අරහතුන්වහන්සේ ”අස්ස පස්ස” යන ක‍්‍රියාකාරකම් දෙකම නොකරයි. මෙතැන ”අස්ස පස්ස” යනුවෙන් අර්ථ ගැන්වූයේ රාග, ද්වේෂ මෝහ ගතියෙන් යුතුව කරන, කියන, සිතන සියලුම ක‍්‍රියාකාරකම් ආශ‍්‍රය නොකිරීම පිළිබඳවයි. හුස්ම ගැනීම, හුස්ම පිට කිරීම පිළිබඳව මෙහිදී කිසිවිටෙකත් අදහස් නොකෙරේ. ප‍්‍රහාණය කිරීමට දැන් එවැනි ගති තමා තුළ නොමැති නිසා දැන් ඒවා ප‍්‍රහාණය කිරීමකුත් නොකරයි.

සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වූ අරහතුන්වහන්සේට හුස්ම නොගෙනම දිගටම සිටිය හැකි බව යම් කෙනෙකු පවසනවා නම් එය වැරදි මතයකි. විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී තත්ත්වයට පත්වීම මෙතැනදී සිදුවේ. ක‍්‍රියාවේ වේගය සංසිඳවා වේදනාවේ වේගය සංසිඳවා චිත්තාවේගය සංසිඳවා සියලු උපාදානයෙන් තොර වූ වොස්සග්ග තත්ත්වයට පත් වූ විට සංඥා වේදයිත තත්ත්වයට පත්වේ. හුස්ම ගැනීම පිට කිරීම දැනුමක් නැතිවම මෙතැනදී සිදු වේ. මෙතුවක් කාලයක් තම පාලනයෙන් තොර වූ සිතට වහල් වීමෙන් කැමැත්තට වහල් වී සිදු වූ දේ දැක දැන් සම්පූර්ණ වශයෙන්ම ඒවායේ වේගය පාලනය කර සංවරව, සංසුං වී, සංයමයට පත්වීමෙන් සම්මා තත්ත්වයට පත්වීම මෙතැනදී සිදු වේ.

අපි සම්මත ලෝකය යනුවෙන් නම් කරන මේ බාහිර ලෝකයේ යම් වරදක් නිසා දුක්, දෝමනස්ස වැනි වද වේදනා කිසිවිටෙකත් නොවිඳවමු. අපේ හිතේම කෙළෙස් ගති මුල් බැසගෙන පවතින නිසා දුකක් දොම්නසක් ඇති වීම සිදු වේ. තමන්ගේම හිතේ මුල්බැස ගෙන ක‍්‍රියාත්මකව පවතින මේ කෙළෙස් ගති තමන්ටම නොපෙනී තමන්ටම නොදැනීම (නප්පාජනාති) චතුරාර්ය සත්‍යයන් අවබෝධ නොවීමත් අවිද්‍යාවෙන් තණ්හාවෙන් කටයුතු කිරීමත් ලෙස හැඳින්වේ. යම් කෙනෙකුට ධර්මාවබෝධය ලැබී පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමට ශක්තිය හා හැකියාව ලැබුණොත් ඔහු ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත්වේ. තමන්ගේම සිතෙහි මුල් බැසගෙන පවතින ක‍්‍රියාත්මක වන ”සමුදය” දැක ගනී. එනම් තමන්ගේම සිතේ මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වන රාග ගති, ද්වේෂ ගති, මෝහ ගති නිසාම මිස බාහිර ලෝකයේ වරදක්, දෝෂයක් නිසාවෙන් දුක් විඳින කෙනෙක් නැති බවත් දකී. මේ දැකීම දුක පිළිබඳව අරිය සත්‍යය අවබෝධ වීමයි. දුක්ඛ අරිය සත්‍යය අවබෝධය මෙන්ම සමුදය අරිය සත්‍යය අවබෝධ වීමත් මෙහිදී එක වරම සිදු වේ. ”සං” උදා වීම දුකට හේතුව බව නිවැරදිව දැන ගත් පුද්ගලයාට ”සං” නිරෝධ (නිර් උදා) කිරීමටත් හැකි වේ. මේ නිරෝධ ආර්යිය සත්‍යයයි.

Share Button

4. ඉරියාපත පබ්බය හා සංපජඤ්ඤ්ය පබ්බය

ඉරියාපත පබ්බය

ආනාපාන සතියෙහි පිහිටා එකඟ කරගත් සිතින් යුතුව එක ඉරියවුවකින්ම හේතුඵල දහමට බහා ගළපා බලා කටයුතු කරමින් හිත ශික්ෂණයට පත් කර ගත් ඉන්ද්‍රියයන් සංවර කරගත් අරිය මාර්ගයේ ගමන් කරන පුද්ගලයාට දැන් සියලුම ඉරියවු වලදීත් මේ ආකාරයටම හේතුඵල ධර්මය දැන හේතුව හා ඵලය යන දෙකම දැක තේරුම් ගෙන ආශ‍්‍රය කළයුතු දේ හා බැහැර කළයුතු දේ වෙන්කර ගැනීමේ පුරුද්දක්, පුහුණුවක් අලුතින් ඇති කර ගත හැකි වේ. මේ අනුව ඇවිදිමින්, ඉඳගෙන සිටින අතරෙදීත්, නිදියගෙන හාන්සිවී සිටින වේලාවේදීත් සේම හිටගෙන සිටින අවස්ථාවේදීත් යන හතර ඉරියව්වේදීමත් මේ අවබෝධය සම්පූර්ණ කර ගැනීමට හිත පුහුණුකර ගෙන පුරුදු කරගෙන සතියෙහි පිහිටා කටයුතු කිරීමට හා ක‍්‍රියා කිරීමට හැකියාව ලැබේ.

”ගච්ජන්තෝ වා ගච්ඡාමිති පජානාති”

”පජානාති” යන තේරුම සිතේ ජනිත වන, උත්පාදනය වන සිතුවිල්ල සංඛාර සිතක්ද ක‍්‍රියා සිතක්ද යන්න යථා පරිදි තේරුම් ගැනීමට ඇති දැනුමයි. පය බිම තබා ඇවිදින අවස්ථාවේදීත්, හිතට ඇතිවන සිතේ උත්පාදනය වන අරමුණු භාවිතා කළ යුතු යහපත් එකක්ද, ප‍්‍රහාණය කළ යුතු අයහපත් එකක්ද යන්න නිවැරදිවම දැක තීරණය කිරීමේ ශක්තිය හැකියාව හා පළපුරුද්ද මෙතැනදී විග‍්‍රහ කර පෙන්වා දී ඇත. අද බොහෝමයක් භාවනා මධ්‍යස්ථාවල ”ගච්ඡුන්තෝවා” යන පදය පද පරම අර්ථයෙන්ම ”පය ගන්නවා, උස්සනවා, පද්දනවා, ගෙනියනවා, තියනවා” යනුවෙන් කායික වූත්, භෞතික වූත් ක‍්‍රියාවලියකුත් උගන්වනු පෙනේ. මෙවැනි ක‍්‍රමයන් අරිය ක‍්‍රමය නොවන බව ධර්මාවබෝධය ලැබීමත් සමඟම යථා පරිදි බොහෝමයක් දෙනා තේරුම් ගනීවි. මේවැනි දේ අනුගමනය කිරීම මගින් රාග, ද්වේෂ, මෝහ ගති බැහැර කර හිත නිදහස් කර ගත හැකිද, නොහැකිද යන්නත් සිතා බැලිය යුතු වේ. හිත නිදහස් කර ගැනීමට, හිත පිරිසිදු කර ගැනීමට නම් හිතේ මතුවන අරමුණ ගැන අවධානයෙන් පසු වී හේතුඵල දහමට බහා ගළපා බලා හේතුව අයහපත් නම් හේතුව ප‍්‍රහාණය කරන්නට පුරුදු පුහුණු විය යුතුමයි.

”ඨිතෝවා ඨිතෝම්භිති පජානාති
නිසින්නෝවා නිසින්නෝම්භිති පජානාති
සයානෝවා සයානෝම්භිති පජානාති
යථා යථාවා පනස්ස කායෝ පණිහිතෝ
තථා තථා නං පජානාති”

”ඨිතෝ” යනු එකතැනක හිටගෙන සිටීමයි. ”නිසින්නෝව” යනු එක තැනක ඉඳගෙන සිටීමයි. ”සයානෝවා” සයනයක හාන්සි වී සිටීම, සැතපීමයි. මේ කොයි ඉරියව්වකින් හෝ කාලය ගත කළත් තමන්ගේ හිත පුරුදු පුහුණු කරගත් පුද්ගලයාට මේ සතර ඉරියව්වේදීමත් හේතුඵල දහමට බහා ගළපා බලා සතියෙන් යුතුව සතියෙහි පිහිටා කටයුතු කිරීමට නිවැරදීම පුරුද්දක් තිබේ නම් එය සතර සතිපට්ඨාන භාවනාවේ ඉරියාපත පබ්බය යනුවෙන් විග‍්‍රහ කර පෙන්වූ ක‍්‍රියාවලියයි. මේ ඉරියවු හතරෙදීමත්, නාසයෙන් හුස්ම ගැනීම, පහළට හෙළීම බැලීමක් පිළිබඳ විස්තර කර නොමැත. මෙතැනදී අර්ථ දැක්වූයේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන දොරවල් හයෙන්ම චිත්තසංථානයට ඇතුලුවන ආරම්මණයන් සියල්ලම කෙරෙහි අවධානයෙන් පසුවී ඒ ආරම්මණයන් ක‍්‍රියාත්මක වුවහොත් තමන්ගේ හෝ බාහිර පුද්ගලයෙකුගේ හෝ සිත කිළිටි වේ නම් එවැනි ආරම්මණයන් බැහැර කර සිත නිදහස් කරගැනීමටත් මෙවැනි ආරම්මණයක් ක‍්‍රියාත්මක වීමෙන් තම චිත්තසංථානය හෝ බාහිර පුද්ගලයෙකුගේ සිත හෝ කුණු සළාහැර පිරිසිදු කරගත හැකි වේ නම් එවැනි අරමුණු ක‍්‍රියාත්මක කළ යුතුයි යන තීරණයත් ක‍්‍රියාත්මක කිරීමටයි.

පෘථග්ජන පුද්ගලයෙකු ඉරියාපත හතරෙදීමත්, සියලුම ඉරියවුවලදීත් අසතියෙන්, අනවබෝධයෙන් කටයුතු කරයි නම් ඒ පුද්ගලයා අතින් පව්කම් සිද්ධ වේ. පව්කම් කරනවා යනු ඇලීමක් ගැටීමක් හෝ මුළාවක් නිසා කරන වැරදි ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුම ඔහුගේ අවබෝධයේ ප‍්‍රමාණයට අනුව, දැකීම අනුව ඔහුම හුරු පුරුදු කරගත් ජීවිත රටාවකට කොටු වී කටයුතු කරති. ඒ ජීවිත රටාවට ගැළපෙන කතාවක්, ක‍්‍රියාවක්, සිතිවිල්ලක් නම් ඔහුට එය සැපයකි. පි‍්‍රය දෙයකි. ඒ ජීවිත රටාවෙන් පිට පනිනවා නම් එයම දුකකි. අප‍්‍රිය දෙයකි. නමුත් පෘථග්ජන පුද්ගලයා නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ මැදි වී ඉන්නේ්ත් බාහිර ලෝකයත් සමඟ බව ඔහුටම සිිතාගත නොහැකියි. අභ්‍යන්තර ලෝකය බාහිර ලෝකය ලෙස ලෝක දෙකක් තමන් හදාගෙන නොතිබිණි නම් අභ්‍යන්තර ලෝකයට හැම අතින්ම ගැළපෙන ආකාරයේ බාහිර ලෝකයක්ද හැම විටම පවතිනවා නම් එය සදාකාලික සැපතකි. එසේම අපට බාහිර ලෝකය වෙනස් කළ නොහැකි බවත් තේරුම් ගත යුතුයි. නමුත් අභ්‍යන්තරව තමන්ම හදාගත් තමාගේම ලෝකය නම් වෙනස් කර ගැනීමටත් සුඤ්ඤත තත්ත්වයට පත්කර ගැනීමටත් හැකියි. අභ්‍යන්තර ලෝකය හා බාහිර ලෝකය අතර බැඳීමක් ඇති නිසාම පෘථග්ජන කෙනෙකුට මේ සියලු රිදීම් සියලු වේදනා දුක් උරුම විය. හැම පෘථග්ජන කෙනෙකුට මේ සියලු රිදීම්, සියලු වේදනා දුක් උරුම වෙන්නේ හැම පෘථග්ජන පුද්ගලයෙකුම අවිද්‍යාව නිසා ඇත්ත ඇති සැටි නොදන්නා කම නිසා උත්සාහ ගන්නේම බාහිර ලෝකය වෙනස් කිරීමටයි. තමන්ට ගැළපෙන, තමන්ට සුදුසු තමන්ගේ මනාපයට සුදුසු පරිදි වූ බාහිර ලෝකයක් නිර්මාණය කිරීමට දරණ හැම උත්සාහයකදීම තව තවත් දුක්, දොම්නස්, උපායාස, පරිදේව තමන්ටම උරුම වන බව, හිමිවන බව නොදන්නා නිසා බාහිර ලෝකය සෑදීමටම උත්සාහ ගනී. මේ අවිද්‍යාව නොදැනීම දුකට මුල් වේ.

”කායේ කායානුපස්සනාව” මඟින් විග‍්‍රහ කර පෙන්වා දුන් ”පබ්බ” හයේදීමත් ”අජ්ඣත්තංවා කායේකායානුපස්සී විහරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති” පිළිබඳව විශේෂයෙන්ම හැම තැනකදීමත් පෙන්වා වදාළේ මේ ආධ්‍යාත්මික හා බාහිර යන ලෝක දෙකක් අතර පවතින බැඳීම, සම්බන්ධය විග‍්‍රහ කර පෙන්වා පැහැදිළි කර දීම සඳහායි. මේ ආකාරයට ද්වතාවයක් පවතින තුරු සිතින්ම ඇති කරගන්නා හැම බැඳීමක්ම, සම්බන්ධයක්ම දුකට මුල් වේ. මේ බැඳීම පිළිබඳව යථා තත්ත්වය, සත්‍යය තත්ත්වය අරිය සත්‍යය තේරුම් ගැනීම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමයි. මේ බැඳීම, ආධ්‍යාත්මික වූ කැමැත්තක්, රුචියක් නිසාම සිදුවන්නකි. මේ බැඳීම ”පටිච්චවීම” යි. මේ බැඳීම නිසා සම්බන්ධයක් උපත ලබයි. මේ සම්බන්ධතාවයට මුල් වූ ක‍්‍රියාවලිය පටිච්ච සමුප්පාද කි‍්‍රියාවලියයි. හේතුඵල ක‍්‍රියාදාමයක් යනුවෙන් සිංහල බසින් හඳුන්වන්නේත් මෙයමයි.

අභ්‍යන්තර, බාහිර වශයෙන් වෙන් කර මේ බැඳීම් වලට හේතුවත්, හේතුව නිසා උපදින ඵලයත්, සම්බන්ධයත් වෙන් කොට දැකගත හැකි වන්නේ් ඉරියාපත පබ්බය නිවැරදිවම අවබෝධ කර ගැනීමෙනුයි. ”සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා” යන පද යුගලයෙන් මෙය තවත් පැහැදිළි වේ. ”සං උදය” නොවුණොත්, සම්බන්ධයක් සිද්ධ නොවුණොත්, වැය වීමට හෝ ගෙවී යාමට හෝ කිසිවක් නොවේ. එහෙම නැත්නම් සියලුම සමුදය ධර්මයන් යම් ශක්තියකින් හිතින්ම හදාගත් බිහිකරගත් දේ නිසා නියාම ධර්ම ක‍්‍රියාත්මක වීමත් සමඟ, ඒ සියලු බැඳීම් සම්බන්ධතා වැය වී, ගෙවී වෙනස් තත්ත්වයන්ටත් පත් වේ. එසේ නම් හිතින්ම හදා ගත්, හිතේම මතු වූ ”පටිච්ච” වීම මේ සියල්ලන්ටම මුල් වූ හේතුව වේ. සමුදය වීම (සං උපත) නැවැත්වීමට හැකි එකම ක‍්‍රමවේදය ”පටිච්ච” නොවී, සිත උපේක්ඛා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට පුරුදු වීම, පුහුණු වීමයි.

මේ අනුව ”සං” උපදින ආකාරය සමුදය හා ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධය දැන ගැනීමට නම් සංදේශණාවක් අසාම කරුණු කාරණා තේරුම් ගත යුතුයි. සතර සතිපට්ඨානයේම පිහිටා ක‍්‍රියා කිරීමට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වී සම්මා දිට්ඨියටත් පත් විය යුතුමයි.

සම්පජඤ්ඤ පබ්බය

”පුනව පරං භික්ඛවේ භික්ඛු අභික්කන්තේ
පටික්කන්තේ සංපජානකාරී හෝතී”

මෙතැනදී අලුත් වචනයක් පදයක් භාවිතා කර ඇත. මේ පදය ”සංපජානකාරී හෝති” යන්නයි. මීට පෙර විග‍්‍රහ කර පෙන්වා දුන් ආනාපාන පබ්බයෙහිත්, ඉරියාපත පබ්බයෙහිත් භාවිතා කළේ ”පජානාති” යන පදයයි. මෙතැනදී ඒ වෙනුවට සංපජානකාරී යන පදය භාවිතා කර ඇත. මේ නිසා සතර සතිපට්ඨාන භාවනාව පිළිබඳව යථාවබෝධයක් ලබා ගැනීමට නම් මේ පදවල අර්ථයක් නිවැරදිවම තේරුම් ගැනීමක් අවශ්‍ය වේ.

ජානාති, පජානාති, සංපජානකාරී හෝති මේ දැනුම පිරිසිදු කිරීම පිළිබඳ ලබාගත හැකි අවස්ථා තුනකි. ”ජානාති” යනු දැනීමයි. එය විඤ්ඤාණයෙන් ලබන දැනුමට වඩා පිරිසිදු දැනුමකි. විඤ්ඤාණයෙන් ලබන දැනුම ප‍්‍රිය අප‍්‍රිය යන අන්ත දෙකට වහල් වූ දැනුමකි. නමුත් ”පජානාති” යන දැනුම ඊට වඩා වෙනස් දැනුමකි. ”පජානාති” නැතිනම් ”ප‍්‍රජනනය” යනු අරමුණක් හිතේ මතුවෙන බව දැන ගැනීම හා නැවත නැවතත් නොකඩවාම ඒ අරමුණ දිගේම හිතින්ම රවුම් ගහන බව දැනගන්නා දැනුමයි. මෙය ඥාණයක් වශයෙන්ද පෙන්වා දිය හැකියි. ”සංපජානාති” යනු ඒ අරමුණට මුල් වූ හිතේම ජනිත වන සමුදය (සං+උපත) ධර්මය පිළිබඳවද ලබා ගන්නා දැනුමයි. එහෙම නැත්නම් මේ අරමුණට හේතුව වන රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම හා මානයෙන්, මෝහයෙන් මුළාවීම යන සමුදය ධර්මවලින් කුමන හේතුවක් නිසා මේ සිතුවිලි පහළ වෙනවාද යන්න තමාටම වෙන් කර දැන ගැනීමට හැකි වන ශක්තිය ”සංපජානකාරී” යන පදයෙන් විග‍්‍රහ වේ. මේ අනුව ”සං” තේරුම් ගත් කෙනෙකුටම පමණක් සං+පජානකාරී වීමටත් සං+පඤ්ඤ වීමටත් හැකියාව ලැබේ.

”අභික්කන්තේ පටික්කන්තේ” යනු ඉදිරිය හා පසුපස ලෙස සමහරුන් විග‍්‍රහ කළත් මෙතැනදී තමන්ගේ හිතේ ඇති වූ අරමුණ දිගේම ඉදිරියට ගොස් එය විමසා ඒ අරමුණට බැස ඒ අරමුණේ අතීතයත් දැන, හේතුඵල දහමට බහා ගළපා බලා හේතුව හා ඵලය දෙකම දැක ”සංපජානය” වන ආකාරය එහෙමත් නැත්නම් සමුදය හා වැය යන ආකාර දෙකමත් දැක, හේතුවෙන් නිදහස් වී ඵලයෙන් ද නිදහස් වීමට කටයුතු කළ යුතුයි. ”සංජානකාරීහෝති” යනුවෙන් විග‍්‍රහ කළේ මෙයයි.

”අලෝකිතේ, විලෝකිතේ” යනුවෙන් අදහස් කළේ රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් හදාගත් හදාගන පරිහරණය කරන ලෝකය (අ+ලෝක) අත් හැරීමත්, ඒ හදාගත් ලෝකයෙන් වෙන්වීමත් (වි+ලෝක) යන ක‍්‍රියා දෙකයි. එසේ කටයුතු කරන පුද්ගලයෙකු උපේක්ඛා සිතින්ම කටයුතු කරන ”සංපජානකාරී” පුද්ගලයෙක්ද ලෙස හඳුන්වනු ලැබේ.

”සංඝාඨි පත්ත චීවර ධාරණය” යනුවෙන් ප‍්‍රකාශ කළේත් සිවුරු, පාත‍්‍ර දැරීම වාගේම, සිවු පසයම පරිහරණය කිරීමේදී භික්ඛුවක් ”සංපජනකාරී” විය යුතු බව ප‍්‍රකාශ කිරීමයි. එනම් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර සංවර වූ සංයමයට පත් වූ සංසුන් ගති ඇතිව ක‍්‍රියා කළ යුතු බවයි.

කරන, කියන, හිතන, කන, බොන, ගමන් කරන, නිදියන, ඉඳගෙන, හිටගෙන ආදී වශයෙන් හැම අවස්ථාවකදීමත් ”සංපජානකාරී” විය යුතුයි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් සමුදය බිහිකරන ක‍්‍රියාවන්ගෙන් වෙන් වී දවසේ පැය 24 දීම කටයුතු කිරීමට පුරුදු විය යුතුය. රාගය, ද්වේෂය, මෝහය මුල් වීම නිසා හිත කිළිටි කර, රත් කර, හිත මත් කර, හිතේ අනවශ්‍ය ශක්තියක් උත්පාදනය කර සංසාර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යාමට උපකාර වන කර්ම බීජ සකස් කර දීම සිදු වේ. ”සං+ප‍්‍රජනනය” වන ආකාරය, සමුදය බිහිවන ආකාරය දැක ගත් කෙනෙකුට පමණක්ම ”සම්මා දිටිඨියට” පත් වූ ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන තත්ත්වය තමා තුළින්ම තේරුම් ගැනීමට හැකි වේ. එවැනි පුද්ගලයෙකු මඟ නැණ පහළ වූ නිවන් මාර්ගයට පිළිපන් පුද්ගලයෙක් යනුවෙන් පෙන්වා දිය හැකියි. මේ අනුව සතියෙහි පිහිටා සතර සතිපට්ඨානයෙන් යුතුව කටයුතු කරන කෙනෙකු ”සංපජානකාරී” තත්ත්වයෙන් කටයුතු කරන විට දවසේ පැය විසිහතර තුළම (නිදාගන්නා කාලය හැර) හේතුඵල දහමට බහා ගළපා කටයුතු කරමින් නිවන් මාර්ගය සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය ශක්තිය හා හැකියාව ලබා ගනී. තමනුත් නිවී අනුන්වත් නිවීමට කටයුතු කරයි. තමන් ගින්නක්, දාහයක් උරුමවෙන ක‍්‍රියාකාරකම් කිසිවිටෙකත් නොකරයි. අනුන්ව ගින්නෙන් දාහයෙන් අවුළුවන ක‍්‍රියාවන් කිරීමට කිසි විටෙකත් නොපෙළඹවේ.

ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය, සංපජඤ්ඤ පබ්බය යන සිත නිවන මෙම ක‍්‍රමවේදයන් තුනම උපකාර වන්නේ ක‍්‍රියාවේ වේගය සංසිඳවා, කායේකායානු පස්සනාවෙන් සිතේ මත් වීමේ, රත් වීමේ වේගය පාලනය කර ගැනීමටයි.

පටික්කූල මනසිකාර පබ්බය, ධාතුමනසිකාර පබ්බය හා නවසීවතික පබ්බය යන ක‍්‍රමවේද තුනම කෙනෙකුට උපකාර වෙන්නේ ඝණ සඤ්ඤාව දුරු කර ධුව සඤ්ඤාව දුරු කර ගැනීමටයි. මෙතැන සත්ත්වයෙක් පුද්ගලයෙක් හෝ ”ස්වකය” හෝ යනුවෙන් දෙයක් විග‍්‍රහ කළ හැකි නොවේ. දිගටම පවත්වා යා හැකි ”මම” යනුවෙන් පුද්ගලයෙකු නැති බවත් හේ්තූන් කරනා තුරාවට ඵල භුක්ති විඳින ධර්මතාවයක් පමණක් ඇති බවත් වටහා ගත යුතුයි. නියාම ධර්මයන් තේරුම් ගැනීමටත් ඒ පිළිබඳව යථාවබෝධයක් ලබා ගැනීමටත් මේ තුන් ආකාර වූ කායේකායානුපස්සනාව වැඩිය යුතු වේ.

”පටික්කූල” යන පදය පිළිකුල් භාවනාවක් ලෙස වැරදි අර්ථයකින්ම අද භාවිතා වේ. මේ ශරීරය කේශා, ලෝමා, නඛා, දන්තා ආදී වශයෙන් කොටස් තිස් දෙකකට බෙදා, මේ කය දෙස බැලිය හැකි බව බුදු පියාණන්වහන්සේම පැහැදිළි කර වදාළහ. එසේ බෙදා බැලීම නිසා, පටි+කුලක තත්ත්වයෙන් මිදීමට හැකියාව ලැබේ. ඝණ සඤ්ඤාවත් මම, මගේ, මාගේ ආත්මය යන ආත්මීය බලාපොරොත්තු ඇති වන්නේ මේ කොටස් තිස් දෙකම එකක් ලෙසම දකිනා තුරුම පමණි. මේ ”මම” යනුවෙන් දැක ගන්නේ ”අසූචි” කොටස් තිස් දෙකකි. ”අසූචි” යනු ”සුචි ” යන පදයේ ද්වතාවය අර්ථයයි. සුචි යනු සුව+චිත්තය, ප‍්‍රිය මධුර බවයි. අසුභ බව, අසුන්දර බව, අමිහිරි බව ”අසුචි” යනුවෙන් හැඳින්වේ. කෙළෙස් යනුවෙන් අපි මේ අසුචි කොටස් තිස්දෙකම එකක් ලෙස ”මම” ලෙස ඝන සඤ්ඤාවක් ලෙස දැක කටයුතු කරමු. සියලුම ක‍්‍රියාකාරකම් පවත්වා ”මම” යන පුද්ගලයාව ජීවත් කරවීම සඳහා නිබඳවම දරණ උත්සාහයද දැක ගත යුතුයි. මේ සියල්ලම ආත්මීය බලාපොරොත්තු පොදියක් පමණි.

ආත්මීය බලාපොරොත්තුවක් සිතට අරමුණුවීමත් සමඟම සං+උත්පාදනය වේ. මේ සමුදය වීමට සම්බන්ධ වීම ලෙස අපි හඳුන්වමු. ”මම” සංකල්පය, ඝණ සඤ්ඤාව, සත්ත්ව පුද්ගල ආකල්පය යන සියල්ලමත් පෘථග්ජන පුද්ගලයෙකුගේ සිතේ මුල් බැහැගෙන ක‍්‍රියාත්මකව පවතින්නේම සමුදය ධර්ම උත්පාද වීම නිසයි.

”සබ්බේ ධම්මා අනත්ථාති” යන බුද්ධ දේශණාවෙන් ප‍්‍රකාශකර වදාළ උතුම් ධර්මය තේරුම් වටහා ගන්නා තුරු කෙනෙකුට මේ ”මම” යන ආත්ම සංකල්පයෙන් නම් වෙන් විය නොහැකියි. ”සබ්බේ සංඛාර අනිච්චාතී” ”සබ්බේ සංඛාර දුක්ඛාතී” යන යථාර්ථය තේරුම් ගන්නා තුරුම යථාපරිදිම ”යථා පඤ්ඤාය පස්සතී” ‘‘සබ්බේ ධම්මා අනත්ථාතී ” යන ධර්මතාවයන්ද තේරුම් ගැනීම කළ නොහැකි වේ.

පටික්කූල මනසිකාර භාවනාවෙන් ”මම” යන ඝණ සඤ්ඤාව ආත්ම සංකල්පය දුරු කර ගත හැකි නම් එතැනදී හේතුඵල ධර්මයත් යථාපරිදිම අවබෝධය වීමට පටන් ගනී. ඝණ සඤ්ඤාව පවතිනා තුරාවට සත්ත්වයෙක්, පුද්ගලයෙක්, ”මම” යන ආත්ම සංකල්පයකුත් පවතී.

ධාතුමනසිකාර පබ්බය සේම නවසීවතික පබ්බය භාවනා කිරීම මඟින් ද අවබෝධ කර ගත යුත්තේ මෙතන සත්ත්වයෙක්, පුද්ගලයෙක් යනුවෙන් දිගින් දිගටම, සදහටම පවතින කෙනෙක් නොමැති බවයි. හේතුවක් නිසා එකටම බැඳුණු ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධාෂ්ටක කොටස් අටක් එක ගොඩකට ගොනු කර, උත්පාදනය කර ගෙන ආත්ම සංඥාවකින් එයම පරිහරණය කිරීමත් මෙතැනදී සිදු වන බව වටහා ගත යුතුයි. මෙය දිගටම සදාකාලිකවම කැමති ආකාරයටම පරිහරණය කළ නොහැක. ක‍්‍රියාවේ වේගය, ශක්තිය අවසාන වීමත් සමඟම උපාදානය කරගත් කොටස් අටම, ශුද්ධාෂ්ටක දිය වී, කුණු වී ඒ ඒ කොටස් තමන්ට නියමිත තැන්වලට මුදා හැරීමක් සිදු වනවා විනා මෙතැන ”මම” යනුවෙන් පුද්ගලයෙකු දැකිය නොහැකිය. ඇත්තේ මුළාවක් පමණි. කොතරම් උත්සාහ ගත්තත් සදාකාලයටම පවත්වා ගත හැකි ”මම” යනුවෙන් කෙනෙක් නොමැති බව වටහා ගත යුතුයි. කළ නොහැකි දෙයක් කිරීමට උත්සාහ ගැනීම නිසා සිදු වන්නේ දුක උරුම කරගැනීම පමණි.

සක්කාය දිට්ඨිය, විචිකිච්චිතාවය හා සීලබ්බත පරාමාසය යන සංයෝජන තුනම ප‍්‍රහාණය වන්නේත් මේ ”දිට්ඨි අනුසය හා විචිකිචිචා අනුසය” දුරුවීමෙනුයි. ”මම” යන වැරදි දැකීමක් මෙතෙක් කල්ම සංසාරයේ දිගින් දිගටම පවත්වාගෙන ආවත් දැන් ඇත්ත දැකීමට පුරුදු විය යුතුයි. ශරීර කූඩුවක් හදාගත්තේ ජීවිතය පවත්වා ගෙන යාම සඳහායි. නමුත් විඤ්ඤාණය කරන්නේ මේ කුණුප කොටස් වලින් අනවශ්‍ය වැඩක් ගැනීමයි. ඒ අනවශ්‍ය වැඩය විඤ්ඤාණ බීජ සකස් කර ගබඩා කර පවත්වා ගෙන යාමයි. රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම, මෝහයෙන්, මානයෙන් මුළාවීම මගින් විඤ්ඤාණ බීජ සකස් කර ගනී. මේ අනවශ්‍ය වැඩ කොටස නවතා ගැනීමට පුරුදු විය හැකි නම් ”දුක” මෙතැනින්ම අවසාන කර ගැනීමත් කළ හැකි වේ.

මේ ආකාරයට වෙන් වෙන් වශයෙන් මනසින් දැක ගත හැකි කුණුප කොටස් තිස් දෙකමත් විඤ්ඤාණ ශක්තියෙන් එකට බැඳ, සම්බන්ධ කර ”මම” යනුවෙන් ඒකකයක් ගොඩනගා ගෙන ඒ ඒකකය ලෝකයක් ලෙසත් දකී. මේ මගේ යන ලෝකය දිගින් දිගටම පවත්වා ගැනීමට බාහිර ලෝකයටත් ”මම” සම්බන්ධ වේ. මේ අනුව ආධ්‍යාත්මික ලෝකයේ පැවැත්ම දිගින් දිගටම පවත්වා ගන්නත් මතු පැවැත්මක් සහතික කර ගන්නත් සුරක්‍ෂිත කරගන්නත් සියලුම දුක් විඳී. මේ ආකාරයට ලෝකය පවත්වා ගැනීමට දුක් විඳින්නේ මේ පැවැත්මේ සත්‍යම වූ ස්වභාවය වූ ”දුක” නොදකින නිසයි. ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” යන සත්‍යයන් අවබෝධ කර ”නිච්ච, සුඛ, අත්ථ සඤ්ඤාවන්” අත් හැරීමම දුකෙන් නිදහස් වීමට අනුගමනය කළයුතු නිවැරදි මාර්ගය වේ.

නිවන, නිවීම, නිබ්බාන යන පදවලින් විග‍්‍රහ කර පෙන්වා දී ඇත්තේ ”ගිනි ගොඩක් නිවනවා” යන අර්ථයෙන්මයි. මේ පැවැත්ම පවත්වාගෙන යාමට දරණ සෑම උත්සාහයකින්ම නැවත නැවතත් ගිනි ගොඩක් අවුළුවා ගනී. ගින්නක් හට ගැනීමට නම් හේතුවක් තිබිය යුතුමයි. මෙතැන ගින්නට හේතුව ”දර සුන්වීමයි”. සුන්දර දේ හඹා යාමට හැම පෘථග්ජන පුද්ගලයෙකුම තම මුළු ජීවිත කාලයම රාගයෙන්, ආශාවෙන් සුන්දර දේ පරිහරණය කිරීමේ සංසාර පුරුද්දකින් කටයුතු කරති. ප‍්‍රිය මධුර දේට ඇලෙති. ප‍්‍රිය මධුර දේ ලෙස හිතන දේ, නිගමනය කරන දේ නැවත නැවතත් ලබා ගැනීමටම, ප‍්‍රිය මධුර දේ ඒ ප‍්‍රිය මධුර වූ ආකාරයෙන්ම දිගටම පවත්වා ගැනීමටත් උත්සාහ ගනී. නමුත් ධර්මතාවය එය නොවෙයි. හැම ප‍්‍රිය මධුර දෙයක්ම වෙනස් වී විපරිණාමයට පත් වී ගෙවී විනාශ වී නිස්සරණයට පත් වීමයි. මේ ”ප‍්‍රිය මධුර” යන ආකල්ප පවතින්නේ ගතිය පවතින්නේ තමන්ගේම හිත තුළම බව නොදැනීම අරිය සත්‍යයන් නොදැනීමයි.

මේ අරිය සත්‍යයන් කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගැනීමට හැකියාවක්, ශක්තියක් නැත්තේ රාගයෙන්, ද්වේෂයෙන්, තණ්හාවෙන් තම සිතම මුවහ වී වැසී පවතින නිසාමයි. පංචකාම නීවරණ ධර්මවලින්ම තම සිත ආවරණය වී ඇති නිසාමයි. ආනාපාන සති භාවනාවෙන් සිදු වන්නේ් මේ පංචකාම නීවරණ ධර්මයන් නිවන වසා සිටින කෙළෙස් ධර්මයන් ක‍්‍රමානුකූලව ඉවත් කර දමා සිත ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමයි. මෙය කුසලස්ස යන පදයෙන් අර්ථ ගැන්වේ. එසේ නම් කුසලස්ස යන පදයෙන් අදහස් කළේ යමක් එකතු කර ගැනීම පිළිබඳව නොවෙයි. අතීතයේ එකතු කරගත් කෙළෙස් අස්කර දමා චිත්තසංථානය පිරිසිදු කර ගැනීමත් වර්තමානයේදී අලුතින් කුණු උපත ලබන (කෙළෙස් උත්පාදවන) කෙළෙස් මුල් ගළවා චිත්තසංථානය පිරිසිදු කර ගැනීමත් යන අර්ථයෙන්මයි. ”කුසලස්ස උපසම්පදා” යන පදවැල් වලින් බුද්ධ භාෂිතයේදී විග‍්‍රහ කළේ සිත ශුද්ධ පවිත‍්‍ර වීමයි. සිත ශුද්ධ පවිත‍්‍ර වීමට නම් කෙළෙස් ධර්ම සිතෙන්ම ප‍්‍රහාණය කර ඉවත් කිරීමත් නික්ලේසී ධර්ම පරිහරණය කිරීමත් යන ක‍්‍රියාකාරකම් දෙකම යථාවබෝධයකින්ම යුතුව පුරුදු විය යුතුයි.

ආනාපාන පබ්බය, ඉරියාපත පබ්බය හා සංපජඤ්ඤ පබ්බය යන මුල් පබ්බ තුනම යථාවබෝධය ප‍්‍රගුණ වීමත් සමඟම එකටම අනුගමනය කිරීමට හැකිවන ක‍්‍රමවේදයන් තුනක්ම බවත් තේරුම් ගත හැකි විය යුතුයි. ප‍්‍රඥා විමුක්ත පුද්ගලයාට සහ උභතෝභාග විමුක්ත පුද්ගලයාට මේ සඳහන් කළ පබ්බ, ක‍්‍රමවේදයන් තුන අනුගමනය කිරීමත් සමඟම මාර්ගය සම්පූර්ණ වී සම්මා අංග අටමත් සම්පූර්ණ වීමෙන් සම්මා ඥාණ, සම්මා විමුක්තිය සම්පූර්ණ වීමද ධර්මතාවයෙන්ම සිදු වන්නකි.

ධම්මානුසාරී, සද්ධානුසාරී, සද්ධා විමුක්ත යන පුද්ගලයින් කොටස් තුනටම පටික්කූල මනසිකාර පබ්බය, ධාතුමනසිකාර පබ්බය හා නවසීවතික පබ්බයත් අවබෝධ කර ගැනීමෙන් ඝණ සඤ්ඤාව, ධුව සඤ්ඤාව දුරු කර සත්ත්ව පුද්ගල සංකල්පයෙන්ද වෙන්වීමත් සමඟම සක්කාය දිට්ඨියෙන් වෙන් වීමත් දිට්ඨි අනුසය හා විචිකිච්ඡ අනුසය දුරු වීමත් සමඟ අරිය තත්ත්වයට පත් වේ. චිත්තසංථානය තුළ ”සං” ප‍්‍රජනනය වන ආකාරය යථාපරිදි දැක ”සං” ප‍්‍රහාණය කර චිත්තසංථානය ශුද්ධ පවිත‍්‍ර කරගත් කෙනෙකුට පමණක් නිවන් සුවය අත්විඳ ගත හැකි වේ. ”සං” පජඤ්ඤ පබ්බයෙන් අවබෝධ කරගත යුතු වන්නේ සං ප‍්‍රහාණය කිරීමේ නිවැරදි ක‍්‍රමවේදයයි. ”සං” යනු රාග, ද්වේෂ” මෝහ යන ගති තුනෙන්ම නැවත නැවතත් රාග, ද්වේෂ, මෝහ යන ක‍්‍රියාකාරකම් සිදු වී නැවත නැවතත් රාග, ද්වේෂ, මෝහ ගතිම උත්පාදනය වීමයි. මේ අනුව කායේකායානුපස්සනාව භාවනා කිරීම යනු කැළෑවකට වී, ගහක් මුලට වී, ජනශුන්‍ය ස්ථානයකට වී නොසෙලවී කය දෙසම බලා සිට කරගත හැකි දෙයක් නොවේ. යථාවබෝධයෙන්ම, ප‍්‍රත්‍යක්ෂ අවබෝධයෙන්ම යුතුව දවසේ පැය විසිහතර තුළම තමන් කරන, කියන, හිතන සියලුම ක‍්‍රියාකාරකම් යම් කිසි පාලනයකට යටත්ව අන්තවාදී ලෙසින් නොඇලී, නොගැටී, මුළා නොවී, උපේක්ඛා සිතින්ම ඉවසා, විමසා ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි.

තමා තමා ගැනම කල්පනා කළ යුතුයි. තමන්ට යථාවබෝධයක් නොතිබූ යටගිය යුගයේදී ප‍්‍රිය දේවලට ඇලුණත් දැන් එසේ නොවන බවත් අතීතයේදී අප‍්‍රිය දේ් නිසා සිතට ද්වේෂයක්, දොම්නසක් ඇති වුණත් දැන් එසේ නොවන බවත් වෙනස වටහා ගත යුතුයි. අතීතයේ පෘථග්ජන පුද්ගලයෙකු ලෙසින් මානයෙන්ම, මෝහයන්ම තමන් කටයුතු කළ බවද තමන්ටම දැන් වැටහිය යුතුයි. ”මම බලවත්, මම දන්නවා, මට වඩා කෙනෙකුන් නැහැ, මට වඩා ඉහළින් යන්න තවත් කෙනෙකුට ඉඩ දෙන්න බැහැ.” ඒ අනුවම අස්මි මානයෙන් කටයුතු කළද දැන් එසේ ක‍්‍රියා නොකරයි. අතීතයේදී හිතාගෙන සිටි ඝණ සඤ්ඤාවක්, මමත්වයක් දැන් නොදකී. මේ පැවැත්ම ජීවත් වීම යනු නිරන්තරවම හේතුන් කරන ඵලයන් උරුම කරගන්නා හේතුඵල පරම්පරාවක් පමණි. මේ හේතුව වෙනස් කරගැනීමට තමන්ටම හැකියාවක් ඇත. හේතුව ක‍්‍රියාත්මක නොකරම සිටීමට වුවද තමන්ටම හැකියාව දැන් ලැබී ඇත. හේතු නැති තැනක ඵල උරුම නොවන බවත් දකී. මෙවන් වූ යථාවබෝධයෙන් යුක්තව කටයුතු කරන හැම විටකදීම ක‍්‍රියාවේ උත්පාදනය වන්නා වූ මත් වීමේ, රත්වීමේ විඤ්ඤාණ ශක්තියද උපදින්නේ නැති විට සිත විවේක නිශි‍්‍රත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී යන උතුම්, නිදහස් නිවුන තත්ත්වයටම පත් වේ.

Share Button

3. කායේකායානුපස්සනාව – ආනාපාන පබ්බය

සතර සතිපට්ඨාන සූත‍්‍රයෙන් විග‍්‍රහ වන්නේ හේතුඵල පරම්පරාවක ක‍්‍රියාකාරීත්වයක් පිළිබදවයි. මේ විග‍්‍රහය නිවැරදිවම තේරුම් ගත් සෑම පුද්ගලයෙකුම, සෑම මිනිහෙකුම තමන් පිළිබඳව ”මම” පිළිබඳව මේ තාක් හිතාගෙන සිටි තේරුම් ගත් පුද්ගල සංකල්පය, සත්ත්ව සංකල්පය පිළිබඳව දැන් ඇත්ත ඇති සේ දැන ගනී. මෙතෙක් කලක් තමාම නුදුටු ”මම” පිළිබඳව තමාටම යථාවබෝධයකුත් ලැබේ. තමන්ගේ දෛනික පැවැත්ම තැන්පත් ස්වභාවයකින් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍යතාවයකුත් කැමැත්තකුත් දැන් ඉබේටම වාගේ ඇති වේ. තමන් ක‍්‍රියා කරන්නේ අසංවර ලෙසින් නම් තැන්පත් නොවූ නොඉවසන ස්වරූපයකින් නම් තමන් තුළම ගින්නක් අවුළුවා ගන්නා බවත් තමන්ම පසක් කර ගනී.

1. රූපාදී යම් අරමුණක් සිතට ස්පර්ශ කර ගැනීම.
2. ඒ ස්පර්ශය වූ අරමුණ දිගේ සිතුවිලි පරම්පරාවක් බිහි කර ගැනීම
3. ඇස, කන, මන ආදී ආයතන හයේමත් මේ ක‍්‍රියාකාරීත්වය සිදුවේ.
4. ක‍්‍රියාවක් සිදු කර එහි ඵලය උරුම කරගෙන එයම භුක්ති විඳී.

ඉහත පෙන් වූ ආකාරයට යම් බලාපොරොත්තුවක් ඇති වී යම් කිසි ක‍්‍රියාවක් කළ පසු ඒ ක‍්‍රියාව, ඵලය, විපාකය ගැන බලා දුක්වීම හෝ පසු තැවීම පෘථග්ජන පුද්ගලයෙකුගේ සාමාන්‍යම පුරුද්දයි. ක‍්‍රියාවක් කරන්නට පෙර ක‍්‍රියාත්මක වන්නට පෙර ඒ ක‍්‍රියාව හා ඊට උරුමවෙන ඵල විපාකයන් පිළිබඳවත් සිතා බැලීමට දැන් අලුතින් පුරුදු පුහුණු විය යුතුයි. ”කායේකායානුපස්සනාව” යනුවෙන් අර්ථ ගැන්වූයේ මෙම ක‍්‍රියාවලියයි. ”සෝ සතෝව අස්ස සති පස්ස සති” යනු මෙහිම දෙවන පියවරයි. හේතුවත් හේතුවට උරුම වන්නා වූ ඵලයත් යන දෙකම හොඳින් දැකගත් පුද්ගලයාට මේ අරමුණෙන් ඇතිවූ බලාපොරොත්තු ආශ‍්‍රය කළ යුත්තක්ද ආශ‍්‍රය නොකර බැහැර කර හිතෙන්ම ප‍්‍රහාණය කළ යුත්තක්ද යන්න නිගමනය කිරීමට දැන් හැකියාව ලැබේ. මෙය තවදුරටත් මෙනෙහි කළයුතු අරමුණක්ද, මෙනෙහි නොකරම සිත නිදහස් කරගත යුතුද යන්නත් නිගමනය කරගත යුතු වේ.

ශරීරය යනු ආයතන හයක ක‍්‍රියාකාරීත්වයකි. ශරීරයේ යම් තැනකින් කරනු ලබන ක‍්‍රියාවකින් උපදින ශක්තියේ වේගයේ ප‍්‍රමාණයට අනුව හදවතේ ලේ ධාතුවේ ඇති රූප කලාප නැත්නම් පරමාණු භ‍්‍රමණය වීමත් වේගවත් වීමත් සිදු වේ. කම්පනය වීමත් වේගවත් වේ. මේ භ‍්‍රමණය වීම කම්පනය වීම අභ්‍යන්තරයේ ගින්නක් බවටත් පත්වේ. ආශ්වාස ප‍්‍රාශ්වාසය දෙස බලා සිටීමෙන් මේ වේගය, ගින්න, කම්පනය සංසිඳවීම කළ නොහැක්කක් බව ඔබට දැන් වැටහෙනු ඇත. වේගයක් සිතේ උපද්දවන්නට මුල් වූ ක‍්‍රියාව දෙසම බලා ඒ ක‍්‍රියාව නිසා උපදින වේගය, ශක්තිය, ගින්න නොඋපදවන ආකාරයට ඉවසා, විමසා, උපේක්ඛා සිතින් කටයුතු කිරීම ”සතෝව අස්සසති සතෝ පස්ස සති” යන පද වලින් විග‍්‍රහ කර පෙන්වා ඇත. මේ අනුව හේතුවත් හේතුවෙන් උත්පාදනය වන්නා වූ ඵලයත් යන දෙකම තමා තුළින්ම පැහැදිළිව නිරවුල්ව දැක ගැනීම මෙතනදී අදහස් වේ. හේතුව ආශ‍්‍රය කළ යුතු මෙනෙහි කළ යුතු එකක් නම් මෙනෙහි කිරීමත් ආශ‍්‍රය නොකළ යුතු අතහැර නිදහස් විය යුතු එකක් නම් ප‍්‍රහාණය කිරීමත් මෙතැනදී කළ යුතු ක‍්‍රියාවයි. ආන – පාන යනුවෙන් අර්ථ ගැන්වූයේ මෙයයි. මේ අනුව තේරුම් ගත යුතු වැදගත්ම දේ වන්නේ අද භාවනා මධ්‍යස්ථානවලදී සාමාන්‍යයෙන් උගන්වන ආශ්වාසය ප‍්‍රාශ්වාසය නැත්නම් හුළං රැුල්ල වදින තැනකට හිත පිහිටුවා සිටීම මගින් යමෙකු නොමඟ යෑමට හොඳින්ම ඉඩ ඇති බවයි. මෙම ක‍්‍රමය මගින් සතියෙහි පිහිටා සතියෙන් යුතුව කළ යුතු දේ සහ නොකළ යුතුදේ කිරීමක් කිසිසේත්ම සිදු නොවේ. භාවිතා කළ යුතු දේ (අස්ස සති) සහ නොකළ යුතු (පස්ස සති) යන දෙකමත් සිතින් ඉවත් කිරීම නිසා පුද්ගලයා අසඤ්ඤ ධ්‍යානයකට පත් වීමට පුරුදු වීම නිසා අසඤ්ඤ ධ්‍යානයකින් ගමන අතරමං වන බව කාටත්ම දැන් පැහැදිළිවම අවබෝධ විය යුතුයි.

”දීඝංවා අස්සසන්තෝ – රස්සංවා අස්සන්තෝ
දීඝංවා පස්සසංතෝ – රස්සංවා පස්සසංතෝ”

ආදී වශයෙන් මෙතැනදී විග‍්‍රහ කර පෙන්වූ ක‍්‍රියාවත් නිවැරදිව තේරුම් ගත යුතුයි. ”දීඝංවා’’ යනු අති දීර්ඝ සංසාරයේදී තමන්ම පුරුදු පුහුණු කරගත් ගති පුරුදු වේ. ”රස්සංවා” යනු අලුතින් අද අද තමා පුරුදු පුහුණු කර ගන්නා අලුත් ”ගති” පුරුදුයි.

දීර්ඝ සංසාරයේදී පුරුදු පුහුණු කරගත් ගතිගුණ වලත් කොටස් දෙකක්ම ඇත. ඉන්ද්‍රියයන් හයෙන්ම ක‍්‍රියාත්මක කරන අරමුණු වලට ඇලීම්, බැඳීම්, ගැටීම් හා මුළාවීම්, දිර්ඝ සංසාරයේදි ප‍්‍රියයි යනුවෙන් තීරණය කර කටයුතු කිරීම නිසා අද වන තුරුම මෙතෙක් කාලයක් මේ දිර්ඝ සංසාර ගමන නොනවත්වාම මේ තාක්ම පවත්වා ගෙන ආ බව වටහා ගත යුතුයි. මේ පුරුද්ද ගතිය දැන් වෙනස් කර ගත යුතුයි. ඒවාගේම දිර්ඝ සංසාර ගමනේදි අපි බොහෝ අවස්ථාවලදී සංසාර දුකෙන් මිදීම සඳහා උපකාර වන ආශ‍්‍රය කළයුතු වීතරාගී, වීතද්වේසී හා වීතමෝහී ගති පිළිබඳවත් අපි අසා දැන ගත්තද ඒවා අතීතයේදී පුරුදු කිරීමක් හෝ ආශ‍්‍රය කිරීමක් හෝ නොකෙළෙමු. දැන් එවැනි දේ ආශ‍්‍රය කිරීමට, පුරුදු වී ඒවා බහුලවම භාවිතා කිරීමටත් පුරුදු විය යුතුයි.

ඒවාගේම අලුතින් අද අද අසා දැක තේරුම් ගන්නා නොයෙකුත් දේවල ආශ‍්‍රය කළයුතු හා ආශ‍්‍රය නොකළ යුතු කොටස් දෙකක්ම ඇත. මේ දෙකොටසම පිළිබඳවම ”රස්සංවා” යන පදයෙන් විග‍්‍රහ කරන ලදී. දිර්ඝ සංසාර ගමනට මෙතෙක් උපකාර වූ ප‍්‍රිය දේට ඇලීමේත්් අප‍්‍රිය දේට ගැටීමේත් මෝහයයෙන් මුළා වී කටයුතු කිරීමේත් පුරුද්ද අත්හැර (පස්ස) හේතුඵල දහමට බහා ගළපා බලා ආශ‍්‍රය කළයුතු වන්නේ උපේක්ඛා සිතින් ඉවසා කටයුතු කිරීමයි. මේ නිවනට මඟ පහදා දෙන ප‍්‍රතිපදාව වේ. (අස්ස)

”සබ්බ කාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්ඛති පස්සසිස්සාමීති සික්ඛති” යන්නෙහි ”කාය” යනු ක‍්‍රියාකාරකම් හැඳින් වූ පදයයි. ”සබ්බ කාය” යනුවෙන් මෙහි සටහන් කර පෙන්වූයේ චක්ඛු කාය, රූප කාය, සෝත කාය, සද්ධ කාය, ඝාන කාය, ගන්ධ කාය, ජිව්හා කාය, රස කාය, කාය කාය, පොට්ඨබ්බ කාය, මනෝ කාය, ධම්ම කාය යන ක‍්‍රියාකාරකම් යුගලයන් හය හා විඤ්ඤාණ කායයන් හයක් පිළිබඳවයි. යම්කිසි ක‍්‍රියාකාරකමක් කරමින් බාහිර ලෝකයේ හා ආධ්‍යාත්මික ලෝකයේ පැවැත්ම දිගටම පවත්වා ගැනීමට යමක් එකතු කරගනී නම් එතැනදී අපි ඒ ක‍්‍රියාකාරකම ”සංඛාර” යනුවෙන් හඳුන්වනු ලැබේ. මේ ”සංඛාර” අවිද්‍යාමූල සංඛාර නම් ඒ සංඛාර සියල්ලන්ගෙන්ම උත්පාද වන සියලු ශක්තීන් නිසා ආධ්‍යාත්මයේ මත්වීමත් විඤ්ඤාණ ශක්තිය උත්පාදනයත් සිදු වේ. ඒ ශක්තිය සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යෑමට උපකාර කර ගනී. එම නිසා මේ ආකාර වූ අවිද්‍යා මූලයෙන් සංඛාර ක‍්‍රියාත්මක කිරීම පැවැත්වීම නවතා ඒවා ප‍්‍රහාණය කළ යුතුයි (පස්ස). කුසල මූල සංඛාර ක‍්‍රියාත්මක කරනවා නම් එතැනදී කරනු ලබන ක‍්‍රියාකාරකම් වලින් සිදුවන්නේ අතීතයේ එකතු කරගත් චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් ගති ඉවත් කර අස් කර චිත්තසංථානය පිරිසිදු කර ගැනීමයි. එම නිසා කුසල මූල සංඛාර කර ඒවා ආශ‍්‍රය කර රාග, ද්වේෂ, මෝහ ගති සිතින්ම ප‍්‍රහාණය කළ යුතුයි. එය අස්ස යනුයි. මේ කුසල මූල සංඛාර ආශ‍්‍රය කිරීමයි. සබ්බ කාය යනු සියලු ක‍්‍රියාකාරකම් යන අදහසයි. දැන් අලුතින් ලැබූ ධර්ම අවබෝධයට අනුව සියලුම ක‍්‍රියාකාරකම්හි යෙදෙමින් කෙළෙස් ගති ශුද්ධ පවිත‍්‍ර කරන අතර අලුතින් කුණු කෙළෙස් එකතු කර නොගන්නා ක‍්‍රමවේදයකට දැන් හුරු පුරුදු වීමත් කළ යුතුවේ. පටිසංවේදී අස්ස, පටිසංවේදී පස්ස යනු මේ අලුත්ම ක‍්‍රමවේදයයි. මෙයට කලින් ධර්මාවබෝධයක් ලැබීමට පෙර කාලයේදී ක‍්‍රියාත්මක කරන ලද්දේ කෙළෙස් කුණු එකතු කරගන්නා කෙළෙස්ම භාවිතා කරමින් එකතු කරගත් කෙළෙස් ගබඩා කර ගනිමින් ඒවා වටිනවාය, සාරවත්ය යන නිගමනයට බැස ඒ අනුව ක‍්‍රියා කිරීමයි. දැන් ඊට හාත්පසින්ම වෙනස් වූ යථාභූත ඥාණ දර්ශනයක් ලැබූ නිසා කෙළෙස් යනු කුණු ගොඩක් පමණක්ම බව දැන් නිවැරදිවම දැක ගත් නිසා සම්මා දිට්ඨියටම පත් වූ නිසා දැන් කුණු ඉවත් කර සිත සංසිඳවාගෙන, කාය පස්සදියට හා චිත්ත පස්සදියට” පත් වීමෙන් ලබන ඉහාත්ම සුඛවිහරණයත් ලබා ගත හැකියි. මෙය නිරාමිස සුවයයි.

තමන්ම අදටත් විඳවන, අතීතයේත් විඳි සියලු දුක්වලට සියලු කරදර වලට එකම හේතුව තම ක‍්‍රියාකාරකම් නිසා උපදවාගන්නා අනවශ්‍ය මත්වීමේ රත්වීමේ ශක්තියයි. වෙනත් කිසිම බලවේගයක් මේ විශ්වය තුළ නැති බවත් දැන් දකී. මේ ක‍්‍රියාකාරකම් සියල්ලටම මුල් වූයේත් නිධාන හේතුව වූයේත් ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකකට ගැතිවී ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. ප‍්‍රිය දේ අල්ලා ගැනීමටත් අප‍්‍රිය දේ තල්ලු කර බැහැර කිරීමටත් මේ සියලුම ක‍්‍රියාකාරකම් කළ බව පැහැදිළි විය යුතුයි. උපේක්ඛා සිතින් මේ අන්ත දෙකම ඉවසා සියලු ක‍්‍රියාකාරකම් එකසේ ඉවසා දරාගත හැකිනම් කාය පස්සදි, වේදනා පස්සදි, චිත්ත පස්සදි තුනමත් සම්පූර්ණ කරගත හැකිවේ.

මෙතනදී මේ සත්‍යයන් යථා පරිදිම අවබෝධ කරගත් කෙනෙකුට පරමාර්ථ වශයෙන්ම ඇත්ත දැක ගන්නත් ලැබේ. ලෝකය යනු තමන්ම හදා ගත් එකක් බවත් මම විසින් ගොඩ නඟා ගත් මගේ ලෝකය විපරිණාමයට පත් වී, වෙනස් වී, කැඞී, බිඳී, ගෙවී විනාශ වී යන බවත් මනාව වැටහෙන්නට පටන් ගනී. ලෝකය යනු රාග, ද්වේෂ, මෝහ ගතිවලින් යුක්ත වන තත්ත්වයයි. ප‍්‍රිය බවෙන් ඇලෙන නිසා අප‍්‍රිය බවෙන් ගැටෙන නිසා, මානයෙන්, මෝහයෙන් මේ අන්ත දෙකටම පටළැවෙන නිසා මුංමුළා වෙන්නේ මම හදා ගත් ලෝකය තුළයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කරගැනීමෙන්ම ”සබ්බකාය පටිසංවේදී” තත්ත්වයෙන් මිදී ”පටිනිස්සග්ග” යන අලුත් තත්ත්වයට පත් වීමෙන් ”පටිච්ච” නොවී සමුදය නිරෝධ කරගන්නටත් හැකි වේ.

මම දුක් විඳින්නේ මගේ සිතේම පවතින මෙතෙක් පැවතුණු ගති තුනක් නිසාම බවත් බාහිර ලෝකයක වරදක් නිසා නොවෙන බවත් දැන් යථා පරිදි තේරුම් ගැනීමට හැකි ශක්තිය දුක්ඛ අරිය සත්‍යාවබෝධය යනුවෙන් හඳුන්වනු ලැබේ. රාග, ද්වේෂ, මෝහ ගති තුනම පවතින්නේ තමන් තුළම වේ. ප‍්‍රිය, අප‍්‍රිය අන්ත දෙකක් පවතින්නේත් මේ ගති පවතින නිසයි. තමන් ලෝකයක් හදාගෙන ලෝකයක ජීවත්වන්නෙත් මේ ගති නිසයි.

”පස්සම්භයං කායසංඛාරං අස්සසිස්සාමීති සික්ඛති
පස්සම්භයං කායසංඛාරං පස්සසිස්සාමීති සික්ඛති”

අපි යමක් හොඳයි, ප‍්‍රියයි, මධුරයි යනුවෙන් තීරණයක් ගන්නේ මේ හොඳ දේ දිගින් දිගටම ඒ රිසි වූ පරිදිම තම මනාපය පරිදිම දිගටම පවත්වාගෙන යෑමට ඇති වූ බලවත් කැමැත්තක් නිසයි. ඒවාගේම අප‍්‍රියයි, අමනාපයි යනු ඒ අප‍්‍රිය දේ අකමැති දේ දිගටම පවත්වාගෙන යෑමට ඇති වූ බලවත් අකමැත්තයි. එහෙම නම් යමක් හොඳයි යනුවෙන් අදහස් කරන්නේ ඒ දේ ඉදිරියටත් ඒ ආකාරයෙන්ම පැවතීම හොඳයි යන බලාපොරොත්තුවයි. මේක තමන්ගේ හිතේම ඇති වූ පෞද්ගලික ප‍්‍රිය, අප‍්‍රිය බවක් නිසා මිස මෙය ලෝකයේ කාටත් පොදු වූ සර්ව සාධාරණ වූ නියත හේතුවක් මුල්කරගෙන ඇති වූ දෙයක් නොවන බව වටහා ගත යුතුයි.

හොඳයි යනුවෙන් තමන්ගේම සිතේ මතු වූ ප‍්‍රිය දේට ඇලෙන ගතිය නිසා තමන් ප‍්‍රිය කළ දේ දිගටම පවත්වා ගැනීමටත් අප‍්‍රිය දේ අත්හැරීමටත් දරණ උත්සාහය නිසා පුද්ගලයෙකු දුක් විඳී. මෙය තමන්ගේ සිතේ පවතින පුරුදු වී ක‍්‍රියාත්මක කරමින් පවතින ගතියක් බව තමන්ටම නොදැනීම නොතේරීම අඥාණකමයි. මේ නොදැනීම සියලුම ආකාර වූ භයට, වේදනාවට, කම්පනයට, චලනයට මුල් වේ. සියලුම ආකාරයේ සංඛාර සිත් කෙනෙකුගේ චිත්තසංථානයෙහි පහළවන්නේ තමන්ගේම සිත තුළ මෙවන් කෙළෙස් ආසව අනුසය මුල් බැස පවතින නිසයි. කෙළෙස් ක‍්‍රියාත්මක වන නිසයි.

ආශ‍්‍රය කළයුතු දේ සහ ආශ‍්‍රය නොකර බැහැර කළයුතු දේ යන කොටස් දෙක තුළට සියලුම ක‍්‍රියාකාරකම් බෙදා බලා පරිහරණය කිරීමට සුදුසු දේ පරිහණය කිරීමට හුරු පුරුදු වුණොත් එතැනදී ”පස්සම්භයං කායසංඛාකාරං” අස්ස පස්ස යන තත්ත්වයට පත් වේ.

මෙතැනදී ”භමකාරෝ භමකාරන්තේවාසීවා” යනුවෙන් උදාහරණයක් මගින් ද මෙය විග‍්‍රහ කරා පෙන්වා දී තිබේ. ”භම කාර” යනු යකඩයක් රත් කරන කම්මල්කරුවෙකු පිළිබඳව පෙන්වා දී කරන ලද උපමාවකි. මේ උපමාවෙනුත් පෙන්වන්නේ යකඩය රත්වන්නේ මයිනහම අදින ප‍්‍රමාණය අනුවයි යන බවයි. මයිනහමෙන් පිටකරන හා ඇතුලු කරන හුළගේ බලයේ වේගය අනුව යකඩයක් රත්වේ යන්න අස්ස, පස්ස යන්නට යොදාගෙන ඇත. මේ ආකාරයට අපත් දොරවල් හයකින්ම කරන, කියන, හිතන ක‍්‍රියාකාරකම් අනුව විඤ්ඤාණ ශක්තියත් උපදී. හිත රත් වන්නේත් මත් වන්නෙත් ඒ අනුවයි. හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කරවමින් දිගටම සංසාර රිය ගමන ගමන් කරවන්නේත් මේ පිටතින් ඇතුළට එකතුකර ගන්නා ශක්තියේ ප‍්‍රමාණයටයි. මේ ශක්ති නිපදවන, ශක්ති ප‍්‍රභවය කරන හේතුවම පාලනය කරගන්නට තමන්ටම හැකි නම් මයිනහම අදින පුද්ගලයාට යකඩෙ රත්වීම පාලනය කර ගැනීමට හැකියාව ඇතිවා මෙන් අපටත් අපේම හිත පාලනය කර ගැනීමටත් ශක්තියක් ඇති වේ.

”ඉති අජ්ඣත්තංවා කායේ කායානුපස්සී විහරති
බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති
අජ්ඣත්ත බහිද්ධා වා කායේ කායානු පස්සී විහරති”

මෙතැනදී ”අජ්ඣත්ත” යනුවෙන් අර්ථ ගැන්වූයේ තමන් පිළිබඳවයි. ”බහිද්ධා” යනු බාහිර ලෝකයා පිළිබඳවයි. තමන් කරන, කියන, හිතන යම් කිසි ක‍්‍රියාකාරකමක්, හේතුවක් නිසා තමන්ට උරුම වන ඵලය, විපාකය යහපත් එකක් නම් ඒ ක‍්‍රියාව කළ යුතුයි. බාහිර ලෝකයාට එයින් උරුම වන ඵලය, විපාකය යහපත් ආකාරයේ ඵලයක්, විපාකයක් නම් ඒ ක‍්‍රියාවත් ක‍්‍රියාත්මක කළ යුතුයි.

තමන් කරන, කියන, හිතන යම් කිසි ක‍්‍රියාකාරකමක් නිසා එහි ඵලය, විපාකය ලෙසින් උරුම වන දේ තමන්ට අහිත කර නම් අපායගාමීවන ඵලයක් විපාකයක් උරුම වන්නේ නම් එම ක‍්‍රියාකාරකම නොකළ යුතුයි. ඒ ක‍්‍රියාකාරකම නිසා බාහිර ලෝකයාට උරුම වන ඵලය, විපාකය අයහපත් නම් අපායගාමී ඵලයක් විපාකයක් නම් එම ක‍්‍රියාකාරකම් නොකළ යුතුයි.

තමන්ටත් බාහිර ලෝකයාටත් යන දෙපාර්ශවයටම යහපතක් වන්නා වූ දෙපාර්ශවයේ ම නිවනට මඟ පාදන්නා වූ ක‍්‍රියාකාරකමක් නම් එය ක‍්‍රියාත්මක කළ යුතුයි. එවැනි දේ නිතර නිතර බහුලව කළ යුතුයි. තමන්ගේත්, අනුන්ගේත් නිවන් මඟට බාධාවන නිවන් මඟ අසුරා සිටින ක‍්‍රියාකාරකමක් නම් එවැනි ක‍්‍රියාකාරකමක් නොකර සිටිය යුතුයි. කායානුපස්සනාව ආධ්‍යාත්මික වශයෙන් තමන්ටත් බාහිර වශයෙන් බාහිර ලෝකයටත් යන දෙපාර්ශවයටම යහපතක් වන නිවනක් වන එකක්ම විය යුතුයි. මෙතැනදී තවත් අර්ථ විග‍්‍රහයක් පෙන්වා දිය හැකියි. තමන් විසින් කරන, කියන, හිතන යම් ක‍්‍රියාකාරකමකින් ආධ්‍යාත්මය (සිත) කිළිටි වේ නම් ඒ ක‍්‍රියාකාරකම නිසා තම සිත කිළිටි වේ නම් සිතේ කෙළෙස් උපදී නම් ඒ ක‍්‍රියාකාරකම නිසා බාහිර පුද්ගලයෙකුගේ සිතේ රාගය, ද්වේෂය, මෝහය උත්පාදනය වේ. ඒ ක‍්‍රියාව, කථාව, සිතුවිල්ල වහාම අතහැර දමා සිතින් අස්කර සිත නිදහස් කර ගත යුතුයි.

යම් කිසි ක‍්‍රියාකාරකමක්, සිතුවිල්ලක් තමා විසින් ක‍්‍රියාත්මක කිරීම නිසා එහි ඵල විපාකය ලෙසින් තම සිත, ආධ්‍යාත්මය පිරිසිදු වේ නම් කෙළෙස් ප‍්‍රහාණය වේ නම් එසේම බාහිර පුද්ගලයෙකුගේ චිත්තසංථානයේ පවතින කෙළෙස් රාග, ද්වේෂ, මෝහ ගති ඉවත්කර ගැනීමට හැකියාව ලැබේ නම් ඒ පුද්ගලයාටත් මේ ගති වලින් නිදහස් වී ඔහුගේ චිත්තසංථානය පිරිසිදු කරගැනීමට එම ක‍්‍රියාව, කථාව, සිතුවිල්ල උපකාර වේ නම් එම සිතුවිල්ල දිගටම පැවැත්වීමෙන් සිත පිරිසිදු කරගත යුතුයි.

ඒ අනුව මේ සූත‍්‍රයේදී ප‍්‍රකාශ කළ පරිදි ”අස්ස, පස්ස” යන අවස්ථා දෙකේදීම සිත පිරිසිදු කර ගැනීමට හැකියාව ලැබේ. ආධ්‍යාත්මය පාරිශුද්ධ වේ. තමන්ගේ සිතත් පිරිසිදු වේ. බාහිර පුද්ගලයෙකුගේ සිතත් පිරිසිදු වේ. හිතට වහල් වී හැඟීමට වහල් වී යමෙක් ක‍්‍රියා කරන්නේ විඤ්ඤාණයට ආහාර සොයා දීමේ අරමුණෙනිි. විඤ්ඤාණයේ වැඩකාරයෙකු ලෙසින්ම ඒ අරමුණ ක‍්‍රියාත්මක කරනු ලැබේ. නමුත් හිතට වහල් නොවී හැඟීමට වහල් නොවී ප‍්‍රිය බවට නොඇලී අප‍්‍රිය බවට නොගැටී මුළා නොවී කටයුතු කිරීමට නම් තම සිතුවිලි පාලනයක් කර ගත යුතුයි. හේතුඵල ධර්මතාවයට බහා ගළපා බලා තමන් ක‍්‍රියාත්මක වීමට නිතරම පුරුදු විය යුතුයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකිරීම යනු මෙවන් අලුත් පුරුද්දක් ඇති කර ගැනීමයි. පුරුද්ද දිගටම පුහුණු කර ගැනීමයි. සිත ඒ සඳහාම පදම් කර ගැනීමයි.

”සමුදය ධම්මානු පස්සීවා කායස්මිං විහරති
වයධම්මානු පස්සීවා කායස්මිං විහරති
සමුදය – වයධමමානු පස්සීවා කායස්මිං විහරති”

ජීවිත පැවැත්ම දිගින් දිගටම සසර පුරාම පවත්වාගෙන යෑමට නම් යම්කිසි ශක්තියක් උත්පාදනය කරගැනීම අවශ්‍යම වේ. මේ ශක්තිය සමුදය ශක්තිය ලෙස ධර්ම විග‍්‍රහයේදී පෙන්වා දී ඇත. සමුදය ශක්තියේ කොටස් දෙකක්ම විග‍්‍රහ වේ. මේ උපන් ජීවිතය මරණය තෙක් පවත්වා ගෙන යෑමට අවශ්‍ය ශක්තිය උත්පාදනය කර නිපදවීම පළමු වැන්නනයි. මේ පවතින ජීවිතයෙන් පසුවත් මතු යළි යළිත් උපතක් ලැබීමට අවශ්‍යවන උපකාරවන විඤ්ඤාණ බීජ සකස් කිරීම දෙවැනි ආකාර ශක්තියයි. විඤ්ඤාණ බීජ නිපදවන පංචස්කන්ධයම උපාදානය කරගන්නට උපකාරවන, සංඛාර සිත් පැවැත්වීම යන දෙවන ක‍්‍රියාව වෙන්කර දැක ගැනීම අත්‍යාවශ්‍ය වේ. නිවන් අවබෝධ කර ගැනීම යනු මේ දෙවැනි ආකාරයේ සංඛාර කරමින් ශක්තියක් ප‍්‍රභවය කරගන්නා ආකාරය පැහැදිළිවම දැක ඊට මුල්වන ඊට නිදාන වන හේතුවම නිරෝධ කර ඒ ශක්තියම අනුත්පාද කිරීම කළ යුතුයි. පංචස්කන්ධය පරිහරණය කිරීම පංචස්කන්ධය භාවිතා කිරීම සේම ඉන්ද්‍රියයන් හයම භාවිතා කරමින් ක‍්‍රියා සිත් පැවැත්වීමත් මේ උපන් ජීවිතය මරණය දක්වාම පවත්වාගෙන යෑමට අවශ්‍යයෙන්ම උපකාර වන නිසා අරහත් තත්ත්වයට පත් වූ නිවන් දුටු අරහතුන්වහන්සේත් ක‍්‍රියා සිත් පැවැත්විය යුතුයි.

සංඛාර සිතක් පවත්වනාත් සමඟම සමුදය ශක්තියක්ද උත්පාදනය වේ. ශක්තිය බිහිවූ මොහොතේ පටන්ම ඒ උත්පාදනය කරගත් සමුදය ශක්තියත් වැය කර ගෙවා දමා හේතු ඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක කරමින් සංසාර ගමන පවත්වාගෙන යයි. අවිද්‍යා මූලයෙන් උපදින සංඛාර සිත් පැවැත්වීම නිරෝධ කර නවතා දැමීමත් සමඟම සමුදය ශක්තියක් බිහි නොවේ. සමුදය ශක්තියක් උත්පාදනය නොවෙන විට රාගයෙන් මත් වී ඇලීමක් ඇති නොවේ. ද්වේෂයෙන් මත් වීමෙන්ද ගැටීමක් ඇති නොවේ. මෝහයෙන් මත් වී මුළාවෙන් පටිච්ච නොවේ. මත් නොවූ සිතකින් රත් නොවූ සිතකින් අනවශ්‍ය වේගයක්, ශක්තියක් අලුතින් බිහිනොවන නිසා ක‍්‍රියාවේ වේගය දැන් සංසිඳුණු බවත් තේරුම් ගනී. මේ ක‍්‍රියාවලියට අපි සමුදය නිරෝධ කිරීම යනුවෙන් හඳුන්වමු. ”ඒවංපි භික්ඛවේ කායේ කායානුපස්සී විහරති” යනුවෙන් ඉතාම පැහැදිළිව දේශණා කර වදාළේ එවන් වූ භික්ඛුවක් භව ඛයකර දමන්නට බිහි කිරීමේ ශක්ති මූලය උදුරා දමන්නට ක‍්‍රියා කරන බව පෙන්වා දීමටයි.

ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකටම මෝහයෙන් මුළාවෙන් පටිච්ච නොවන අරහතුන් වහන්සේට පෙර කරන ලද ඉතිරි අතීත කර්ම කොටසක් ඵල දුන්නත් ඒවායෙන් මතුවන විපාකයන් උරුම කර නොගනී. උපේක්ඛා සිතින් ඒ සියල්ලමත් බැහැර කරන නිසා පටිච්ච නොවූ තත්ත්වයක් යටතේ ”අනුත්පාදෝ නිබ්බානං” යන්න අරහතුන්වහන්සේගේ තත්ත්වය ලෙස විග‍්‍රහ කළ හැක. පටිච්ච වීමක් සිදු වුවහොත් පමණක්ම ”සං” උත්පාද වේ. සමුදය ධර්මයක් බිහි වේ. ”නපටිච්ච” නම් සං උත්පාද නොවන නිසා අනුත්පාදෝ තත්ත්වය පවතී.

”සං උත්පාද වීමයි දුකට හේතුව    –    අනුප්පාදෝ සුඛං
සං උත්පාද වීමයි භයට හේතුව    –    අනුප්පාදෝ ඛේමං (සහනයයි)
සං උත්පාද වීමයි ආමිසයට හේතුව    –    අනුප්පාදෝ නිරාමිසං
සං උත්පාද වීමයි සංඛාර කිරීමට හේතුව    –    අනුප්පාදෝ නිබ්බානං”

මේ ආකාරයට හේතුඵල දහමට බහා ගළපා බලා කටයුතු කිරීමට යම් කෙනෙකු පුරුදු පුහුණු වුණොත් සමුදය නිරෝධ කිරීමට පුරුදු පුහුණු වුණොත් ඔහු සතර සති පට්ඨානයෙහිම පිහිටා ක‍්‍රියා කරන්නකු බවටත් අරිය මාර්ගය අනුගමනය කරන අරිය උත්තමයෙකු බවටත් පත්වේ. අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගන්නා පුද්ගලයා අරිය මාර්ගයේ ගමන් කරන්නෙකු බවටම පත් වේ.

පෘථග්ජන පුද්ගලයෙකු ඉරියාපත හතරෙදීමත් සියලුම ඉරියවුවලදීත් අසතියෙන්, අනවබෝධයෙන් කටයුතු කරයි නම් ඒ පුද්ගලයා අතින් පව්කම් සිද්ධ වේ. පව්කම් කරනවා යනු ඇලීමක් ගැටීමක් හෝ මුළාවක් නිසා කරන වැරදි ක‍්‍රියාකාරකම්වලට සම්බන්ධ වීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුම ඔහුගේ අවබෝධයේ ප‍්‍රමාණයට අනුව දැකීම අනුව ඔහුම හුරු පුරුදු කරගත් ජීවිත රටාවකට කොටු වී කටයුතු කරති. ඒ ජීවිත රටාවට ගැළපෙන කතාවක්, ක‍්‍රියාවක්, සිතිවිල්ලක් නම් ඔහුට එය සැපයකි. පි‍්‍රය දෙයකි. ඒ ජීවිත රටාවෙන් පිට පනිනවා නම් එයම දුකකි. අප‍්‍රිය දෙයකි. නමුත් පෘථග්ජන පුද්ගලයා නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ මැදි වී ඉන්නේත් බාහිර ලෝකයත් සමග බව ඔහුටම හිතාගත නොහැකියි. අභ්‍යන්තර ලෝකය බාහිර ලෝකය ලෙස ලෝක දෙකක් තමන් හදාගෙන නොතිබිණි නම් අභ්‍යන්තර ලෝකයට හැම අතින්ම ගැළපෙන ආකාරයේ බාහිර ලෝකයක්ද හැම විටම පවතිනවා නම් එය සදාකාලික සැපතකි. එසේම අපට බාහිර ලෝකය වෙනස් කළ නොහැකි බවත් තේරුම් ගත යුතුයි. නමුත් අභ්‍යන්තරව තමන්ම හදාගත් තමාගේම ලෝකය නම් වෙනස් කර ගැනීමටත් සුඤ්ඤත තත්ත්වයට පත්කර ගැනීමටත් හැකියි. අභ්‍යන්තර ලෝකය හා බාහිර ලෝකය අතර බැඳීමක් ඇති නිසාම පෘථග්ජන කෙනෙකුට මේ සියලු රිදීම් සියලු වේදනා දුක් උරුම විය. හැම පෘථග්ජන පුද්ගලයෙකුම අවිද්‍යාව නිසා ඇත්ත ඇති සැටි නොදන්නා කම නිසා උත්සාහ ගන්නේම බාහිර ලෝකය වෙනස් කිරීමටයි. තමන්ට ගැළපෙන, තමන්ට සුදුසු, තමන්ගේ මනාපයට සුදුසු පරිදි වූ බාහිර ලෝකයක් නිර්මාණය කිරීමට දරණ හැම උත්සාහයකදීම තව තවත් දුක් දොම්නස්, උපායාස, පරිදේව තමන්ටම උරුම වන බව, හිමිවන බව නොදන්නා නිසා බාහිර ලෝකය සෑදීමටම උත්සාහ ගනී. මේ අවිද්‍යාව, නොදැනීම දුකට මුල් වේ.

”කායේ කායානුපස්සනාව” මඟින් විග‍්‍රහ කර පෙන්වා දුන් ”පබ්බ” හයේදීමත් ”අජ්ඣත්තංවා කායේකායානුපස්සී විහරති, බහිද්ධාවා කායේ කායානුපස්සී විහරති” පිළිබඳව විශේෂයෙන්ම හැම තැනකදීමත් පෙන්වා වදාළේ මේ ආධ්‍යාත්මික හා බාහිර යන ලෝක දෙකක් අතර පවතින බැඳීම, සම්බන්ධය විග‍්‍රහ කර පෙන්වා පැහැදිළි කර දීම සඳහායි. මේ ආකාරයට ද්වතාවයක් පවතින තුරු සිතින්ම ඇති කරගන්නා හැම බැඳීමක්ම සම්බන්ධයක්ම දුකට මුල් වේ. මේ බැඳීම පිළිබඳව යථා තත්ත්වය, සත්‍ය තත්ත්වය, අරිය සත්‍යය තේරුම් ගැනීම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමයි. මේ බැඳීම ආධ්‍යාත්මික වූ කැමැත්තක්, රුචියක් නිසාම සිදුවන්නකි. මේ බැඳීම ”පටිච්චවීම” යි. මේ බැඳීම නිසා සම්බන්ධයක් උපත ලබයි. මේ සම්බන්ධතාවයට මුල් වූ ක‍්‍රියාවලිය පටිච්ච සමුප්පාද කි‍්‍රියාවලියයි. හේතුඵල ක‍්‍රියාදාමයක් යනුවෙන් සිංහල බසින් හඳුන්වන්නේත් මෙයමයි.

අභ්‍යන්තර, බාහිර වශයෙන් වෙන් කර මේ බැඳීම් වලට හේතුවත් හේතුව නිසා උපදින ඵලයත්, සම්බන්ධයත් වෙන් කොට දැකගත හැකි වන්නේ ඉරියාපත පබ්බය නිවැරදිවම අවබෝධ කර ගැනීමෙනුයි. ”සමුදය ධම්මානුපස්සීවා වය ධම්මානුපස්සීවා” යන පද යුගලයෙන් මෙය තවත් පැහැදිළි වේ. ”සං උදය” නොවුණොත් සම්බන්ධයක් සිද්ධ නොවුණොත් වැය වීමට හෝ ගෙවී යාමට හෝ කිසිවක් නොවේ. එහෙම නැත්නම් සියලුම සමුදය ධර්මයන් යම් ශක්තියකින් හිතින්ම හදාගත්, බිහිකරගත් දේ නිසා නියාම ධර්ම ක‍්‍රියාත්මක වීමත් සමඟ ඒ සියලු බැඳීම් සම්බන්ධතා වැය වී, ගෙවී වෙනස් තත්ත්වයන්ටත් පත් වේ. එහෙම නම් හිතින්ම හදා ගත්, හිතේම මතු වූ ”පටිච්ච” වීම මේ සියල්ලන්ටම මුල් වූ හේතුව වේ. සමුදය වීම (සං උපත) නැවැත්වීමට හැකි එකම ක‍්‍රමවේදය ”පටිච්ච” නොවී සිත උපේක්ඛා තත්ත්වයෙන් පවත්වාගෙන යාමට පුරුදු වීම, පුහුණු වීමයි.

මේ අනුව ”සං” උපදින ආකාරය, සමුදය හා ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය සම්බන්ධය දැන ගැනීමට නම් සංදේශණාවක් අසාම කරුණු කාරණා තේරුම් ගත යුතුයි. සතර සතිපට්ඨානයේම පිහිටා ක‍්‍රියා කිරීමට නිවැරදි අවබෝධයක් ලබා ගැනීමට නම් ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වී සම්මා දිට්ඨියටත් පත් විය යුතුමයි.

Share Button

2. කායේකායානුපස්සනාව

”යදිදං චත්තාරෝ සතිපට්ඨානා” යන පදවලින් ”කායේ කායානුපස්සී විහරති, වේදනා වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති” යනුවෙන් පෙන් වූ පියවරයන් හතර වෙන් වෙන් වශයෙන් දැනගත හැකි වෙන් කොට භාවනා කළ හැක, හෝ වෙන්ව භාවිතා කළ හැකි කරුණු හතරක් නොවෙයි. මේ හතරම එකම අරමුණකට බැඳුණු එකම කාරණයකට අදාළ වූ අවස්ථා හතරක්ම පමණි. සතර සතිපට්ඨානය භාවනා කරන්නට අදහස් කරන කෙනෙකු නම් පළමු කොටම මේ බව නිවැරදිම තේරුම් ගත යුතුයි. යම් කිසි ආරම්මණයකට පටිච්ච වීම නිසා තම සිතේම යම්කිසි වේගයක් උත්පාදනය වන ආකාරයත් ඒ වේගය සිත තුළදීම ක‍්‍රියාත්මක වී සකස් වන ආකාරයත් පෙන්වා දී ඒ වේගය ගින්නක් බවට ශක්තියක් බවට පත් නොවන්නට නම් වේගය නිවෙන යම් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බවක් ප‍්‍රායෝගිකවම පෙන්වා දීම මෙහිදී පියවර හතරකින්ම විග‍්‍රහ වේ. හිතේම හටගත් සිත තුළම උත්පාදනය වූ ගින්නත්, ගින්න නිසා ක‍්‍රියාත්මක වූ චිත්ත ආවේගයනුත්, චිත්ත ආවේගය නිසා ලබන ප‍්‍රතිවිපාකත් පෙන්වා දී ඒ හතර අවස්ථාවන්හිදීම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමන් හේතුඵල දෙකම දැන, දැක ක‍්‍රියා කිරීමෙන් වේගය සංසිඳවා සිත සංසුන් කර චිත්තය සංයමයට පත්කර ගෙන සම්මා තත්ත්වයටම සිත පත් කරගැනිමට මඟ පෙන්වා දීම සතර සතිපට්ඨානයෙහි යෙදී සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමෙන් සිදුවේ. ඒ නිසා සතර සතිපට්ඨාන භාවනාව යනු වෙන් වෙන්ව කර ගත හැකි කරුණු හතරක් නොවේ.

අවිද්‍යාව නිසා, නොදන්නා කම නිසා, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක‍්‍රියාත්මක වන පෘථග්ජන කෙනෙකුට සිතට අරමුණක් ”පටිච්ච වූ” වහාම ඒ අනුව ක‍්‍රියාකර අවිද්‍යා සංඛාරයක් ලෙස සිතේම ක‍්‍රියාත්මක වීමට පටන් ගනී. ප‍්‍රිය අරමුණක් නම් ඊට පටිච්ච වීම නිසා සමුදය ශක්තියක් බිහි වේ. අප‍්‍රිය අරමුණක් නම් එයට පටිච්චවීම නිසාත් සමුදය ශක්තියක් උත්පාද කරගනී. මෙතැනදී ක‍්‍රියාකාරකමක් සිදුවේ. මේ ක‍්‍රියාව වෙන් කර ක‍්‍රියාව නිසා උපදින වේගය දැක ගැනීමට නොහැකි නම් සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු ලෙස හැදින්විය නොහැකියි. අසතියෙන් ක‍්‍රියාකිරීම නිසා වේගයක් ශක්තියක් තම සිතේම උත්පාදනය කරගනී. සතියෙන් ක‍්‍රියාකරන කෙනෙකුට නම් අරමුණකට පටිච්චවීම නිසා තමාගේම සිතේම උත්පාදනය වන ශක්තිය, ගින්න, දාහය, වේගය දැකගන්නත් හැකිවේ. ක‍්‍රියාවේ වේගය නිසා තමා තුළම හටගත් ගින්නෙන්, යම් වින්දනයක්, වේදනාවක් උත්පාදනය වන බවත් දැකගන්නත් හැකියාව ලැබේ. ඒ වේදනාව නිසා චිත්තාවේගයක් සිතේ උත්පාදනය වන බවත් ඒ චිත්තාවේගය නිසා ක‍්‍රියාත්මක කරන සංඛාරයට අනුව සංඛතයක් බිහිවී කර්ම බීජයක්ද සකස් වෙන බවත් දැකගත හැකියි. මෙතැනදී ක‍්‍රියාවෙන් උත්පාදනය වන්නා වූ වේගය නිසා මත් ගතියක් මත් වීමක සිතේ මතු වේ. රත් වීමත්, ගිනි ගැනීමත්් නිසා සිතක මත් වීම සිද්ධ වේ. රාගයෙන් මත් වීමෙන් හෝ ද්වේෂයෙන් මත් වීමෙන් හෝ මෝහයෙන් මත්වීම හෝ නිසා මත් වූ මත් ගතියක් නිසාම ථිනමිද්ධ යන ගතියත් ඇති වේ. මේ නිසා ලේ ධාතුව කිළිටි වේ. එනම් ජීවිතේන්ද්‍රියත් කිළිටි වේ. කිළිටි වූ, මත් වූ, රත් වූ, ලේ ධාතුව මොළය කරා ගමන් කළ විට ඒ කිළිටි ලේ නිසා මනසේ මුවහවීම නිසාත් කෙනෙකුට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමටත් නොහැකි වේ. එසේ අමනසිකරණයෙන් ක‍්‍රියාකරන විට හොඳ නරක, හේතුඵල, සුව අසුව ආදියෙහි දෙපැත්තම බලා ක‍්‍රියා කරන්නට නොහැකි වේ. මනසීකරණ ශක්තියක් නැති වීම හේතුවෙන් මත් වී ක‍්‍රියාකරන පුද්ගලයෙකු බවටත් පත් වේ. මෙතන ක‍්‍රියාවන් හතරක් වෙන්කොට දැක්විය නොහැක. එකම ක‍්‍රියාවක වේගය අනුව පියවරයන් හතරක්ම ක‍්‍රියාත්මක වීමක් පමණක් සිදුවේ.

තම ක‍්‍රියාවේ වේගය තමන්ම පාලනය කර ගැනීමටද පුරුදු පුහුණු විය යුතුයි. මේ පුරුද්ද පුහුණුව නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට නම් හේතුඵල ධර්මය ක‍්‍රියාත්මක වන ආකාරය හා එහි ද්වතාවයත් තේරුම් ගත යුතුයි. ක‍්‍රියාවේ වේගය තමන්ටම පාලනය කරගන්නට හැකි බවත් ක‍්‍රියාවේ වේගය පාලනය කරගත් විට ක‍්‍රියාව නිසා උත්පාදනය වන මත්වීමේ ශක්තියද අනුත්පාද වීමෙන් සිත පාලනය කරගත හැකි බවත් උත්සාහයෙන්, වීර්යයෙන්, යථාවබෝධයෙන් ක‍්‍රියාවේ වේගය පාලනය කරගත හොත් ඒ අනුව වේදනාවක් ඇති නොවී වේදනාවේ වේගයද පාලනය කරගැනීමට තමන්ටම ශක්තිය ලැබෙන බවත් තේරුම් ගත හැකියි. වේදනාවේ වේගය පාලනය කරගත් විට තමන්ට තමාගේ චිත්තාවේගයන්ද පාලනය කරගත හැකි වේ. හිත සමථයට පත්වී හිතේ විසුරුණු ගතිය පහවී සිත ඒකාරම්මණයකම පිහිටා සිට කි‍්‍රියා කිරීමේ ශක්තිය හා පුහුණුවද දැන් ලැබේ. මේ අනුව රත් නොවූ මත් නොවූ ඒකාග්ගතාවයකට පත් වූ සිතින් ධම්මානුධම්ම පටිපදාවෙහි පිහිටා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කර හැම ක‍්‍රියාවක් පිළිබඳවම දැක ඉවසා, විමසා කටයුතු කරගැනීමේ පුරුද්දක් හා පුහුණුවක් ලැබේ. මේ අනුව හේතුඵල ධර්මයට බහා ගළපා බලා කටයුතු කරන්නටත් අනිච්ච, දුක්ඛ, අනත්ථ ත‍්‍රිලක්ඛණයට අනුව ක‍්‍රියාවේ වේගය සහමුළින්ම උදුරා ගළවා දමන්නටත් ප‍්‍රායෝගිකව පුරුද්දක් ද ලැබේ. මෙතැනදී ධර්මතාවයට අනුවම ක‍්‍රියාත්මක වීමත් සිදුවේ. ජීවිතය පවත්වන නමුත් ක‍්‍රියාවේ වේගයෙන් මත් වූ ගිනිගත් සිතකින් ක‍්‍රියා නොකරන තත්ත්වයටම සිත සංසුන් වේ.

මේ අනුව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යනු කරුණු හතරක් නොවේ. හතරකට වෙන් කර භාවිතා කිරීමේ හැකියාවද නොපවතී. වෙන්කර භාවිතා කිරීම හෝ භාවනා කිරීමට හෝ හැකි පියවරන්ද නොවේ. ක‍්‍රියාවේ වේගය තමාට දැකගන්නට නොලැබුණොත් ක‍්‍රියාව නිසා උත්පාදනය වන වේගය පාලනය කරගන්නට හෝ යථාවබෝධයකුත් නැත්නම් හෝ කායේ කායානුපස්සනාව වැඞීමටද කළ නොහැකි වේ. ශරීරය දෙස බලා සිට කය අනුව හොඳ සිහියක් පැවැත්වීම යන්න ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක්ද නොවේ. ඒ නිසා එය නිවනට උපකාර වන භාවනාවකුත් නොවන්නේමය.

සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සිස්සාමීති සික්ඛති” යන්නෙහි ”සබ්බකාය” යනුවෙන් අදහස් කරන ලද්දේ සියලුම ක‍්‍රියාවන් පිළිබඳවයි. මෙහි සියලු ක‍්‍රියාවන් ලෙසින් ගැනෙන්නේ චක්ඛුකාය – ඇසෙන් කරන ක‍්‍රියාවන්, සෝත කාය – කනෙන් කරන ක‍්‍රියාවන්, ඝාණ කාය – නාසයෙන් කරන ක‍්‍රියාවන්, ජිව්හා කාය – කටින්, දිවෙන් කරන ක‍්‍රියාකාරකම්, පොට්ඨබ්බ කාය – කයෙන් කරන ක‍්‍රියාවන්, මනෝ කාය – මනසින් කරන ක‍්‍රියාවන් යන හයයි. ඇසෙන් ප‍්‍රිය රූපයක් දෙස බලා ඒ රූප සංඥාව ප‍්‍රිය යැයි තීරණය කර ඉන් උත්පාදනය වූ ශක්තියෙන් මත් වීම නිසා ඒ රූපයට ඇලුණොත් රූපයට තණ්හා වී, අල්ලා උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවක් කළොත් එතැනදී ක‍්‍රියාවේ වේගයක් උත්පාදනය වේ. වේදනාවක් උත්පාදනය වේ. චිත්තාවේගයක් උත්පාදනය වේ. රූපයට මත් වී රාගයෙන් රූපය උපාදනය කරගනී. ඇසෙන් දුටු රූපය අප‍්‍රිය නම් අමිහිරි නම් ඒ රූපය කෙරෙහි ද්වේෂයක් සිතේ මතු වේ. එතැනදී සිතේ දෙවැනි වේෂයක් උත්පාදනය වේ. ද්වේෂයෙනුත් සිත මත් වේ. සිතේ වේදනාවක් හට ගනී. මේ දෙවෙනි ආකාරයෙන් අප‍්‍රිය රූපයට මත්වීම වඩා බලවත් වේදනාවකි. එයින් තමාගේම ලේ ධාතුව බලවත් සේම කිළිිටි වී මනස වැසීි මුවහ වී යයි. මේ ආකාරයටම සෝත කාය ශබ්ද රූපයටත්, ඝාණ කාය ගන්ධ රූපයටත්, ජිව්හා කාය රස රූපයටත්, පොට්ඨබ්බ කාය සුව පහසු බවටත්, මනෝ කාය ධම්ම රූපයටත් පටිච්ච වීමෙන් පටිසංවේදී බවක් සිතේ හට ගනී . මෙසේ පටිසංවේදී බවක් ඇතිවීම නිසා මත් වීමෙන් යමකට බැඳීම සිදු වේ. ”පටි” යනු බැඳෙන බවයි. මත් වීමෙන් ක‍්‍රියා කිරීම සංවේදී බවයි. මෙවන් වූ ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනීමෙන් පටිසංවේදී බව පාලනය කර තම සිත හික්මවා ශික්ෂණයට පත් කර ගැනීමටත් හැකි වේ. මේ සඳහා ”අස්ස” යනුවෙන් පෙන්වා දුන් ආශ‍්‍රය කළයුතු භාවිතා කළයුතු අලුත් වැඩ පිළිවෙළ මනාව වටහා ගත යුතු වේ. එසේම ආශ‍්‍රයෙන් බැහැර කළ යුතු ”පස්ස” යනුවෙන් පෙන්වා දුන් ප‍්‍රහාණය කළ යුතු වැඩ පිළිවෙළක් ද වටහා ගත යුතු වේ. මේ අනුව අස්ස පස්ස යන්න යථාවබෝධයෙන්ම භාවිතා කිරීමත් ප‍්‍රහාණය කිරීමත් කළ යුතුයි.

ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනීමට ආශ‍්‍රය කළයුතු හා භාවිතා කළයුතු වැඩ පිළිවෙළ අලුතින් අසා දැන තේරුම් ගෙන ප‍්‍රායෝගික කර ගත යුතු වැඩ පිළිවෙළයි. එය ”අස්ස” යනුයි. ක‍්‍රියාවේ වේගයෙන් සිත මත්වෙන ගති ස්වභාවය සංසාරයේ මේතාක් කාලයක් පුරුදු පුහුණු කර ගෙන පැවති වැඩපිළිවෙළ ”පස්ස” යනුවෙන් ඉවත් කළයුතු වැඩ පිළිවෙළයි. රාගයෙන් ඇලීමේත්, ද්වේෂයෙන් ගැටීමේත් සංසාර පුරුද්ද බැහැර කර දමා උපේක්ඛා සිතින් එය ඉවසා දරා විමසා ක‍්‍රියාවේ වේගය පාලනය කර සිත සංසිඳවා ගත යුතුයි. මෙය කායේකායානුපස්සනාවේ පිහිටා ක‍්‍රියා කිරීමයි. බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ නිවැරදිම ආනාපානාසතිය ද මෙයයි. ”දීඝංවා අස්ස සංතෝ, රස්සංවා අස්ස සංතෝ – දීඝංවා පස්ස සංතෝ රස්සංවා පස්ස සංතෝ ” යනුවෙන් දේශණා කළ පාඨයන්ගෙන්ද අස්ස හා පස්ස යන පද දෙකෙන් ද විග‍්‍රහ කර පෙන්වා වදාළේ ආශ‍්‍රය කළ යුතු දේ හා ආශ‍්‍රය නොකර බැහැර කළ යුතු දේ පිළිබඳවයි. ඉන්ද්‍රියයන් හයෙන්ම ආශ‍්‍රය කිරීමත් ආශ‍්‍රයෙන් බැහැර කර දැමීමත් කළ හැකියි. ”දීඝංවා” යනු අතී දිර්ඝ සංසාරයේ පෘථග්ජන පුද්ගලයෙකු ලෙසින් තමා හුරු පුරුදු කරගෙන පවත්වා ගෙන ආ පුරුද්ද එනම් ප‍්‍රිය දේට ඇලීමත් අප‍්‍රිය දේට ගැටීමත් යන අන්තවාදී පුරුද්දයි. හැම ආකාරයේම දුක් වලට මුල් වන්නේද මෙම අවිද්‍යා මූලික පුරුදු පැවතීමයි. දීර්ඝ සංසාරයේ පුරුදු කරගෙන ආ මෙවන් ගති පුරුදු නිසා සිතේ හටගන්නා වේගය, වේදනාව, දුක, කිළිටිවීම දැක එහි යථා තත්ත්වය අවබෝධ කරගෙන එවන් පුරුදු මෙතෙක් දිගටම පවත්වාගෙන ආවත් ඒවායින් දැන් ඉවත් වී, නිදහස් වී, උපේක්ඛා සිතින්ම කටයුතු කරන්නට පුරුදු වීම අලුත් පුරුද්දයි.

”රස්සංවා අස්ස සංතෝ, රස්සංවා පස්ස සංතෝ” යැයි ප‍්‍රකාශ කළේත් අපි අද අලුතින් පුරුදු කරගන්නා ප‍්‍රිය දේට ඇලෙන පුරුද්ද හා අප‍්‍රිය දේට ගැටෙන පුරුද්ද පිළිබඳවයි. හැම ආකාරයේම දුක් දොම්නස්, වේදනා වලට මුල් වන්නේත් මෙවැනි අන්තවාදී ප‍්‍රිය අප‍්‍රිය ගති පුරුදු බවත් දැන ගෙන ඒවායින් ඉවත්වී උපේක්ඛා සිතින්ම ක‍්‍රියා කරන්නට පුරුදු වීම යන ද්වතාවය මෙහි අදහසයි. මෙහි අස්ස යනු ආශ‍්‍රය කළ යුතු අලුතින් පුරුදු විය යුතු දේයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කළ යුතු දේයි. මේ ආකාරයෙන් ක‍්‍රියාවේ වේගය බැහැර කරමින් අනුපස්සනා කරමින් සිත සංසිඳවීමද කළ හැකිවෙයි.

මේ අනුව ”කායේකායානුපස්සනාව” යනුවෙන් මාගධී පදවලින් බුද්ධ දේශණාවේ අදහස් කරන ලද්දේ ”කය” යන සිංහල භාෂාවේ පදයෙන් අදහස් කළ මේ ශරිර කූඩුව පිළිබඳව නම් නොවේ. කය හෝ ශරීර කූඩූව හෝ දෙස බලා සිට කොපමණ කාලක් භාවනාවක යෙදී සිටියත් ලබාගත හැකි නිවනක් නිදහසක් නම් කාටවත්ම සිතාගත නොහැකියි. මෙහිදී ”කය” යන පදය නොව ”කාය” යන පදයම ධර්ම විග‍්‍රහයේදී භාවිතා කර ඇත. ”කාය” යනු ක‍්‍රියාකාරකම යන්නයි. ක‍්‍රියාකාරකම් හයක එකතු වීමෙන් මේ ශරීර කූඩුව ”පණ ඇති” තත්ත්වයට පත් වී ඇත. සත්ත්වයෙකු, පුද්ගලයෙකු ලෙසින් ක‍්‍රියා කරනු දැකිය හැකි වන්නේ මෙම ක‍්‍රියාකාරකම් හයක් ක‍්‍රියාත්මක වන තුරු පමණි. ක‍්‍රියාකාරකමත්, එම ක‍්‍රියාකාරකම උපදින්නට, (උප්පජ්ජති) මුල් වූ හේතුවත් ක‍්‍රියාකාරකමක් ක‍්‍රියාත්මක කිරීම නිසා උපදින ශක්තියත් (වේගය) යන හේතුඵල දෙකම දෙස විමසිල්ලෙන් බලා, ක‍්‍රියාවේ වේගය මත්වීමේ ශක්තිය සංසිඳවා ගැනීම කායේකායානුපස්සනාවයි. ක‍්‍රියාව නිසා උපදින අයහපත් වේගය සංසිඳවා ගත හැකි නම් ඒ ක‍්‍රියාව නිසා තමාට හෝ බාහිර කිසිවෙකුටත් කිසිම හානියක් සිදුවන්නේද නැත. ක‍්‍රියාව නිසා ක‍්‍රියාකාරකම නිසා උපදින වේගය ශක්තිය මත් වීම විශ්ව ශක්තියක් උපදවන සියලුම දුකට හා සැපටද හේතුවන එකම ශක්ති ප‍්‍රභවයයි. ලෝකයක් බිහිවන්නේ මේ ශක්ති උත්පාදනය වීමෙනි. ”කය” යනුවෙන් අදහස් කරන මේ ශරීර කූඩුව තුළ පංචස්කන්ධය තුළ ක‍්‍රියාත්මක ක‍්‍රියාකාරකම් හය වෙන් කර,ඉවත් කර ඒවා එකින් එක වෙන් කොට සළකා බලන්නට පුරුදු වන්නේ නම් මේ ශරීර කූඩූව තුළින් සත්ත්වයකු, පුද්ගලයකු යන සංකල්පයක් දැක ගන්නටද නොහැකියි. මේ පංචස්කන්ධය මම, මගේ, මගේ ආත්මය යන පුද්ගල සංකල්පයක් ලෙසින් පෘථග්ජනයා දැක ගන්නේ මේ ක‍්‍රියා හය ක‍්‍රියාත්මක වන තුරාවටම පමණි. මේ ක‍්‍රියාකාරකම් හය නැති විට මේ ශරිරය මල කඳකි. එසේ නම් ඒ පංචස්කන්ධයට ශරිර කූඩුවට ක‍්‍රියාත්මක ශක්තියක් වේගයක් ලබාදෙන්නේ මේ ක‍්‍රියාකාරකම් හයක් නිසාමය. මේ ක‍්‍රියාකාරකම් හයම නිසා හේතු ඵල පරම්පරාවක්ද බිහි වෙයි. හේතුව (ප‍්‍රිය හෝ අප‍්‍රිය පුරුද්දක් නිසා) පටිච්ච වීමයි. ඵලය ”සං” ශක්තිය සමුදය ධර්මයන් බිහිවීමයි. මේ අනුව සත්ත්ව පුද්ගල සංකල්පය අතහැර ආත්ම, අනාත්ම සංකල්පයද අතහැර මේ ”කය” පිළිබඳව ශරිර කූඩුව පිළිබඳව යථා තත්ත්වය නිවැරදි ආකාරයට දැක ගන්නට හැකි වන්නේ මේ ක‍්‍රියාකාරකම් හය වෙන් වෙන් වශයෙන් වෙන්කොට බෙදා බලාගන්නට පුරුදු වීමෙන්ම පමණි. මෙය අනුපස්සනා කිරීමයි. කායානුපස්සනා කිරීමයි.

ගෝතම බුදුපියාණන් එදා කුරු රටදී දේශණා කර වදාළ මේ ගැඹුරු අර්ථ සහිත වූ මහා සතරසතිපට්ඨාන සූත‍්‍ර දේශණාවේදී කායේකායානුපස්සනාව භාවනා කිරීමට එය අවබෝධ කර ගැනීමට පහසු වීම සඳහාම එය වෙන් කොට දැක ගන්නට උපකාර වන ලෙසින්ම ”පබ්බ ”දාහතරකින්ම කායානුපස්සනාව දේශණා කර විග‍්‍රහ කර වදාරා ඇත. මෙය ක‍්‍රම වේදයන් හයකි. ”පබ්බ” යන පදය පසු කාලයක අටුවාචාරීන් යොදාගත් පදයකි. මෙහි සඳහන් වන්නේ ක‍්‍රම වේදයන් හයකි. මෙහිදී ”කායේකායානුපස්සනාව” තේරුම් ගැනීම සඳහාම පමණක් මේ ක‍්‍රියාකාරකම් හය වෙන් කොට දැක ගන්නටත් ක‍්‍රියාකාරකම් හය වෙන්ව දැක ගත් පසු මෙහි ”ඝණ සඤ්ඤාවක්” හෝ සත්ත්ව පුද්ගල සංඥාවක් හෝ නැති බව තේරුම් ගන්නටත් මේ පබ්බ හයම උපකාර වෙයි. පෘථග්ජන පුද්ගලයෙකුට තමාගේ ”කාය” පිළිබඳව සත්‍යාවබෝධයක් ලැබීම පහසු නොවන නිසාම මෙසේ පබ්බ හයකින්ම විවිධාකාරයෙන්ම විභංග කර බෙදා බලා තේරුම් ගන්නට පහසුවන සේ විස්තර වශයෙන්ම ”කායේකායානුපස්සනාව” විග‍්‍රහ කර ඇති බවක් පෙනේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරනු ලබන මෙහි පෙන්වා වදාළ කුමන හෝ ක‍්‍රියාකාරකමක් නිසාම හැම අවස්ථාවකදීම යම් ශක්ති ප‍්‍රභවයක් උත්පාදනය වෙයි. මේ ශක්තියෙන් පුද්ගලයා මත්වෙයි. මේ මත්වීම නිසා විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය වේ. විඤ්ඤාණ ශක්තිය උත්පානය වීම නිසා සංසාර රිය ගමනද දිගින් දිගටම පවත්වා ගෙන යන්නට අවශ්‍ය වන හේතුඵල පරම්පරාවක්ද ක‍්‍රියාත්මක වෙයි. හේතු කරන තාක් කල්ම ඵලද උරුම වෙයි. හේතු නොකරන විට ඵල උරුම වන්නේද නැත. ඒ අනුවම යහපත් හේතු කරන විට යහපත් ඵලයන්ම උරුම වෙයි. අයහපත් හේතු කරන විට අයහපත් අයහපත් ඵලයන්ම උරුම වෙයි. අවිද්‍යාව හා තණ්හාව නිසා කරනු ලබන සියලුම හේතු නිසා උරුම වන ඵල විපාක දුකට මුල්වන වේදනාවට මුල්වන සංසාරයේ අතරමං වන ආකාරයේ ඒවාය. එවැනි හේතු නොකළ යුතුයි. හේතු අත්හළ යුතුයි. (පස්ස)

මේ අනුව ”කායේකායානුපස්සී විහරති” යනුවෙන් මහා සතර සතිපට්ඨාන සූත‍්‍රයේ හෝ වෙනත් සූත‍්‍ර දේශණාවකදී හෝ දේශණා කර පෙන්වා දී ඇත්තේ පුද්ගලයෙකු තමාගේ ඉන්ද්‍රියයන් හයෙන්ම කරන, කියන, හිතන යම් කිසි ක‍්‍රියාකාරකමක් නිසා තමා තුළම උත්පාදනය වන අනවශ්‍ය ශක්තිය මත්වීමේ ශක්තිය පාලනය කරගෙන සංවර වීමට ධර්මයට හා විනයට බහා ගළපා බලා ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. පුහුණු වීමයි.

Share Button

බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ඒකායන ප්‍රායෝගික නිවන් මාර්ගය

සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණාකර වදාරණු ලබන්නා වූ ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති මාර්ගය වන්නේ ගෝතම බුදුපියාණන් ද පෙන්වා වදාරා ඇති පරිදි සතර සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමයි. ත‍්‍රිපිටක ධර්මය තුළම ගෝතම බුදුපියාණන්වහන්සේම දේශණා කර වදාළ සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙන් මජ්ක්‍ධිම නිකායේත් අංගුත්තර නිකායේත් සංයුක්ත නිකායේත් විවිධ නම් වලින් දේශණා කර ඇති අතර දීඝ නිකායේ එය ”මහා සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාව” ලෙසින්ම නම් කර දේශණා කර වදාරා ඇත.

සතර සතිපට්ඨානය යනුවෙන් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ යථාවබෝධයෙන්ම භාවිතා කළයුතු, භාවනා කළයුතු, නිතර නිතර පුරුද්දක් වශයෙන් ම අනුගමනය කළයුතු ප‍්‍රායෝගික වූ ප‍්‍රතිපත්ති මාලාවකි. මහා සතර සතිපට්ඨාන සූත‍්‍රයේ සඳහන් වන මාගධී පදවැල් කටපාඩම් කරගෙන, ඒවා මතක තබාගෙන, උදේ සවස සජ්ඣායනා කිරීමෙන් පමණක්ම කෙනෙකුට මේ ප‍්‍රායෝගික ක‍්‍රියා පිළිවෙත කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකිය. සතර සතිපට්ඨාන වැඞීම යනුවෙන් බුද්ධ දේශණාවෙහිදී අදහස් කරන ලද ප‍්‍රායෝගික ක‍්‍රියා පිළිවෙත උගත්කමෙන් හෝ බුද්ධිමත්කමෙන් හෝ පමණක්ම කරගත හැකි දෙයක් නොවන බවද අවධාරණයෙන්ම සඳහන් කළ යුතුය. ත‍්‍රිපිටක ධර්මයේ සඳහන් වන මාගධී පදවැල් කටපාඩමෙන් කියවීම හෝ ඒ පදවැල් ඉගෙන ගෙන ඒ මාගධී පදවලට තමන්ගේ දැනීම අනුව තමන්ගේ මතයට අනුව සිංහල බසින් අර්ථයන් ඉදිරිපත් කිරීමද සතර සතිපට්ඨාන භාවනාවක පිහිටා ක‍්‍රියා කිරීමක් නොවන්නේමය.

සතර සතිපට්ඨානය භාවනා කිරීම යනු ”සතියෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කිරීමට” යම් කෙනෙකු ප‍්‍රායෝගිකවම තමන්ම ලබාගන්නා පළපුරුද්දයි. මෙය ශික්ෂණයකි. තම සිතම පදම්කර ගැනීමකි. සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කරන්නට නම් ධර්මය අසා තමන්ම ලබාගත් නිවැරදි ධර්මාවබෝධයකුත් අසාදැනගත් ධර්ම මාර්ගය අනුගමනය කර තමන් ලබාගන්නා පළපුරුද්දත් යන දෙකම එක හා සමානවම වැදගත්ය. ධර්මාවබෝධය යනුවෙන් අදහස් කළේ හේතුඵල ධර්මාවබෝධයයි. පටිච්චසමුප්පාද ධර්මයයි. පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය අසා දැන ගැනීමයි. පළපුරුද්ද යනු පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි පෙන්වා වදාළ නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව හා කුසලමූල මාර්ග ප‍්‍රතිපදාව ප‍්‍රායෝගිකවම යථාවබෝධයෙන් ම අනුගමනය කරන්නට පුරුදු පුහුණු වීමයි. ඒ සඳහා ලබා ගන්නා හා ඇති කරගන්නා හැකියාවයි. පළපුරුද්දයි. මේ අනුව බුද්ධ ධර්මයේ සඳහන් පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිවම තේරුම් නොගත් කෙනෙකුට සමුදය නිරෝධ කරන්නට නොදත් කෙනකුට කුසලමූල පටිච්චසමුප්පාද භාවිතා කරන්නට නොදත් කෙනකුට නිවැරදි ධම්මානුධම්ම පටිපදාවක පිහිටා සතර සතිපට්ඨාන භාවනාවක යෙදී නියම ප‍්‍රතිඵල ලබා ගැනීමද කරගත නොහැකිය. එවැනි කෙනෙකුට ”සතියෙන් ක‍්‍රියා කිරීම” යනු කුමක්දැයි යන්න පවා තේරුම් ගත නොහැකියි.

පෘථග්ජන පුද්ගලයින් ලෙස උපන් සෑම කෙනෙක්ම ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තම ඉන්ද්‍රියයන් හයම ආයතන හයක් බවට පරිවර්තනය කරගෙන විඤ්ඤාණයේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ශක්තියක් (ආහාර) උපදවා ගන්නට විවිධාකාර වූ ක‍්‍රියාකාරකම් කරති. ප‍්‍රිය දේට ඇලීමෙන්, අප‍්‍රිය දේ සමඟ ගැටීමෙන් ද, මෝහයෙන් මුළා වීමෙන් ද මේ ශක්ති විශේෂය උපද්දවා ගනිති. මේ ශක්ති වේගයන් හයම ක‍්‍රියාවන් හයක් නිසාම සිතකම උපදින චිත්ත වේගයන්ය. මෙවන් වේගයන් උපදවා ගැනීමක් සිදු නොවන්නේ නම් විඤ්ඤාණයේ පැවැත්මට අවශ්‍යවන ආහාරද නොලැබෙයි. විඤ්ඤාණයෙන් කරන, කියන, හිතන සියලු ක‍්‍රියාකාරකම් කරන්නේ එහි පැවැත්මට අවශ්‍ය කරන ශක්තිය උපද්දවා ගැනීම සඳහායි. මෙවන් ශක්තියක් උත්පාදනය වන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන්හි මත්වීමේ ස්වභාවයක්, මත් වීමේ ගතියක් පවතින නිසාමයි. ප‍්‍රිය දේකට ඇලීමෙන් මෙන් ම අප‍්‍රිය දේකට ගැටීමෙන්ද, මානයෙන්ද, මුළාවෙන්ද මේ මත් වීමේ ස්වභාවයට පත්වෙයි. මේ මත් වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ වා, පිත්, සෙම් කෝප වී ලේ ධාතුව කිළිටි වීමයි. මෙය යමෙකුට දෘෂ්ඨි ගතවීමටත්, මිත්‍යා දෘෂ්ඨියට පත් වීමටත් හේතුවන නියත ක‍්‍රියාදාමයකි.

යම් කෙනෙක් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන සතර සතිපට්ඨාන භාවනාවක යෙදීමෙන් ඉෂ්ඨ සිද්ධ කරගත යුත්තේ තමා තුළින්ම මතුවන මෙවන් වූ ක‍්‍රියාවන්හි වේගය සංසිඳවා ගැනීමට පුරුදු වීමයි. කායේ කායානුපස්සනාව යනු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයකින් විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය කරන බව දැනගෙන ඒ ක‍්‍රියාවන්හි වේගය සංසිඳුවා ගැනීමයි. මේ ක‍්‍රියාවන් නිසා උපදින වේගය විනා වෙනත් කිසිම ශක්ති විශේෂයක් මේ පංචස්කන්ධ ශරීරය තුළින් උත්පාදනය නොවේ. මෙවැනි ක‍්‍රියාවලින් උත්පාදනය වන ශක්තිය නිසා සංසාර ගමනක්, රිය ගමනක් ලෙසින් හේතුඵල පරම්පරාවක් නොකඩවාම දිගින් දිගටම පවත්වාගෙන යාමට ක‍්‍රමවේදයක්ද සකස් වෙයි. ඇසට රූපයක් පටිච්ච වීමෙන් ශක්තියක් උත්පාදනය වෙයි. මේ ශක්තිය චක්ඛු විඤ්ඤාණ ශක්තිය ලෙසින් නම් කර ඇත. කනට ශබ්දයක් පටිච්ච වීමෙන් සෝත විඤ්ඤාණ ශක්තිය ද, නාසයට ගඳක් සුවඳක් පටිච්ච වීමෙන් ඝාණ විඤ්ඤාණ ශක්තියද, දිවට රසක් පටිච්ච වීමෙන් ජිව්හා විඤ්ඤාණ ශක්තියද, මනසට ධම්මයක් අරමුණු වී පටිච්චවීමෙන් මනෝ විඤ්ඤාණ ශක්තියද උත්පාදනය වෙයි. මේ හය ආකාරයට පරිබාහිර වූ වෙනත් කිසිම ශක්ති විශේෂයක් මේ ශරීර කූඩූව තුළින් උත්පාදනය වන්නේද නැත. මේ හය ආකාර වූ විඤ්ඤාණ ශක්තීන්ට ම බුද්ධ ධර්මයේ එක පොදු නමක් භාවිතා කරයි. ඒ පොදු නම නම් සමුදය (සං උදය) ශක්තිය යන නමයි. සමුදය ශක්තියෙන් තොර වූ විටෙක දිගින් දිගටම සංසාර ගමනක් පවත්වා ගෙන යන්නට උපකාර වන (සංභව) විඤ්ඤාණ බීජයන් සකස් වන්නේද නැත. ”භව” යනුවෙන් පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ අවස්ථාව ”විඤ්ඤාණ බීජ” සකස් කරගන්නා අවස්ථාවයි. විඤ්ඤාණ බීජයක් සකස් වී එය චිත්තසංථානයේ ගබඩා වීමෙන් ඊළඟට ”ජාති” යන අවස්ථාවද උදාවෙයි. ”භව පච්චයා ජාති” යැයි පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි සඳහන් වන්නේ විඤ්ඤාණ බීජ සකස් වන අවස්ථාව හා විඤ්ඤාණ බීජය උප්පජ්ජති යන අවස්ථාවට පත්වීමයි.

සමුදය ශක්තිය පාලනය කර විඤ්ඤාණ බීජ නිපදවීමේ ක‍්‍රියාවලිය නවත්වාගත හැකි එකම උපාය මාර්ගය වන්නේ සමුදය ශක්තීන් උත්පාදනය කරන්නා වූ ක‍්‍රියාවන්හි වේගය, ශක්තිය පාලනය කර, ප‍්‍රහාණය කර ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමයි. මේ ක‍්‍රියාවන්හි වේගය පාලනය කර කෙළෙස් ශක්තිය ප‍්‍රහාණය කිරීම ”කායේ කායානුපස්සනාව” ලෙසින් මාගධී පද වලින් සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙහිදී ඉතාමත්ම පැහැදිළිව දේශණා කර පෙන්වා වදාරා ඇත. ”සබ්බ කාය පටිසංවේදී” යනුවෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ පටිච්ච වීම නිදාන කොට, හේතුව කොට, ”සං” උපතක් ලබන සියලු ආකාර වූ ක‍්‍රියාකාරකම් වලින් උත්පාදනය වන ශක්තිය පාලනය කිරීම සඳහා මඟ පෙන්වූ ප‍්‍රතිපාදාවයි. ක‍්‍රමවේදයයි.

”අස්ස” යනු ඒ කෙළෙස් ප‍්‍රහාණය කිරීමේ ප‍්‍රතිපදාව අනුගමනය කිරීමේදී ආශ‍්‍රය කළයුතු, භාවිතා කළයුතු, බහුලව භාවිතා කළයුතු, මෙනෙහි කළ යුතු යහපත් ක‍්‍රියා පටිපාටියයි. ”පස්ස” යනු ඒ පටිපදාව අනුගමනය කිරීමේදී ආශ‍්‍රයෙන් ඉවත්කර ප‍්‍රහාණය කළයුතු ප‍්‍රහාණය කර බැහැර කළ යුතු අයහපත් දේ පිළිබඳවයි. මෙයම සේවිතබ්බා අසේවිතබ්බා යනුවෙන් ද වෙනම සූත‍්‍ර ධර්මයකින් පැහැදිළි කර විග‍්‍රහ කර දී ඇත. ක‍්‍රියා හයකින් උපදින කෙළෙස් වේගයන් සංසිඳවා ගැනීම කායේ කායානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර දුන් පසුව කෙළෙස් නිසාම උපදින වේදනාවද, වින්දනයද, වේගයද, සංසිඳෙන නිසා එය වේදනා වේදනානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර ඇත. ක‍්‍රියාවේ වේගය හා වේදනාවේ වේගය සංසිඳීම හේතු කොට ගෙන චිත්ත ආවේගය ද සංසිඳවීමට පටන් ගනී. එය චිත්තේ චිත්තානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර දී ඇත. දැන් මත්වන ස්වභාවයක් නැත. ධම්මේ ධම්මානුපස්සනාව අනුගමනය කිරීම සඳහා අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය නිවැරදි ලෙසම අවබෝධ කරගෙන හැම ”පටිච්ච” වන අවස්ථාවකදීම ඒ පටිච්ච වීමේ ප‍්‍රතිඵලය ලෙසින් සමුදය ධර්මයක් ද බිහිවන බව දැක සමුදය නිරෝධ කිරීම සඳහාම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” අනුපස්සනාවන් මෙනෙහි කර නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව මෙන්ම පටිනිස්සග්ගානුපස්සනාව යථාවබෝධයෙන්ම භාවනා කිරීම, භාවිතා කිරීම ධම්මානුපස්සනාවයි.

පටිච්චසමුප්පාද ධර්මය නොදැන රූප ආදී අරමුණකට පටිච්චවීම නිසා තම සිත තුළම උත්පාදනය වන සමුදය ධර්මය උපදින ආකාරය තේරුම් නොගෙන සංසාර ගමනක යෙදෙමින් දුක් විඳින්නට මුල් වන්නා වූ නිදාන වන්නා වූ හේතුන් ද දැක ගත නොහැකිය. සියලුම සමුදය ධර්මයන් උපත ලබන්නේම තම සිත තුළම බවත් සමුදය ධර්මයක් උත්පාදනය වීම නිසාම උපත ලැබු ”සං” ශක්තිය චිත්තසංථානය තුළම ගබඩා වන ආකාරයත් චිත්තසංථානයේ ගබඩා වූ ”සං” ශක්තිය විඤ්ඤාණ ආහාර ලෙසින් හා විඤ්ඤාණ බීජ ලෙසින් සිත තුළදිම සකස් වන ආකාරයත් තමන්ටම තමා තුළින්ම දැකගත හැකි වන්නේ තමන් පටිච්චසමුප්පාද ධර්මාවබෝධය ලැබූ පමණටමයි. සංඛාර කිරීමට යම් කෙනෙකු නිරතුරුවම පෙළඹෙන්නේ රුචිකමක් දක්වන්නේ විඤ්ඤාණයට වහල් වී හිතට වහල් වී ක‍්‍රියා කරන නිසාමයි. මෙය හිතට වහල් වීම, හැඟීමට වහල්වීම ලෙසින්ද අපට සරළ ලෙසින් පෙන්වා දිය හැකි පෘථග්ජන ගතියයි.

”සං” උත්පාදනය වන ආකාරය හා ”සං” ශක්තිය චිත්තසංථානයේ තැන්පත් වන ආකාරය හා ජීවිතය පවත්වාගෙන යන්නට ”සං” ශක්තිය උපයෝගි කර ගන්නා ආකාරයත් විඤ්ඤාණ බීජ වශයෙන් මතු උපතක් සහතික කරගන්නට සමුදය ශක්තියම සකස්වන ආකාරයත් නිවැරදිවම තේරුම් ගෙන අවබෝධ කරගත් තැනැත්තා ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වූවකු බවටද පත්වෙයි. ”සං” දැක නොගත් කෙනෙකුට සංසාර දුකින් නිදහස් වීමේ මාර්ගය දැකගත් කෙනෙකු යැයි ප‍්‍රකාශ කළ නොහැකිය. තම සිත කිළිටි වී, ලේ ධාතුව කිළිටි වී, සංකිළිට්ඨේන තත්ත්වයට පත්වීමෙන් තමාගේම මනසේ මනසීකරණ ශක්තියත් දුර්වල වී, මැනීමේ ශක්තිය නැතිව යන බව දැන ගන්නට දැක ගන්නට නොහැකි වීමද සංදිට්ඨිකෝ නොවීමේම ප‍්‍රතිඵලයකි. අවිද්‍යාව, නොදන්නාකම, මෝඩකම, මොට්ටකම, මෝහය මෙන්ම අස්මිමානය යන ගති උපත ලබන්නේද තමන්ම උපදවාගත් සමුදය ශක්තිය තමන්ම තම චිත්තසංථානයේම ගබඩා කර ගැනීමෙන්මයි.

යම් කෙනෙකුට සතර සතිපට්ඨාන භාවනාව කිරීමට අවශ්‍ය වන්නාවූ නිවැරදි අවබෝධයක් ලබාගත හැකි වන්නේ තමා තුළින් ම සමුදය උත්පාදනය වන ආකාරය දැක, තමා තුළින් ම උත්පාදනය වන මේ සමුදය ශක්තිය තමාටම නිර්උදා කර ගත හැකි ක‍්‍රමවේදයක් ද ඇති බවත් නිවැරදිවම දැනගෙන ඒ නිවැරදි නිරෝධගාමී මාර්ගයම අනුගමනය කිරීමෙනි. මේ ප‍්‍රතිපදාව හේතුඵල දහමට බහා ගළපා බලා සතියෙන් ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. ක‍්‍රියාවේ වේගය නිරෝධ වන ආකාරයත් නිවැරදිවම තමන් තුළින්ම
දැකගැනීමට හැකිවීම ”කායානුපස්සනාව” වැඞීමට බලවත් සේම උපකාර වන්නකි. ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගත හැකි වන්නේ එවන් අවබෝධයකිනි.

සංඛාරයක් නිසා වේගයක්, ශක්තියක් උත්පාදනය වන්නේම ”පටිච්ච” වීම හේතුව කොටගෙනමය. පටිච්ච වීම යනු රාගයෙන් ක‍්‍රියාකරන කෙනෙකු තමාගේ ඇස, කන වැනි ඉන්ද්‍රියයන් පිනවන ප‍්‍රිය දේවලට ඇලීම නිසා මත්වීමෙන් එයම ඒ ප‍්‍රිය දේම උපාදානය කර ගැනීමේ ගතිය සහ තමාගේ ම ඇස, කන වැනි ඉන්ද්‍රියයන් අප‍්‍රිය කරන දෙයක් නම් ඒවා සමඟින් ගැටීමක් ඇති වී ද්වේෂයක් සිතෙහි උපත ලැබීමත් යන සංසාර පුරුද්ද නිසා සිත මත්වීමයි. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙක අතර සිදුවන මුළාව නිසාද සිතේ මතුවන මානය, මෝහය යන ගතිද තමා තුළම පැවැත්වීමයි. මේ ගති සංසාරයේ පුරුදු කරගත්, පුහුණු කරගත් දිගටම පවත්වා ගෙන ආ ගති කිහිපයකි. ප‍්‍රිය, අප‍්‍රිය යන ගති පුරුද්ද තම සිතේ පවතිනා තුරාවට පටිච්ච වීමද සිදුවෙයි. ප‍්‍රිය දේට ඇලෙයි. අප‍්‍රිය දේ සමඟ ගැටෙයි. පටිච්ච වීමෙන් ”සං” උප්පාදනය වෙයි. සමුදය බිහිවෙයි. රිය ගමනට අවශ්‍ය ශක්තිය උපද්දවා ගනී. එය මත්වීමකි.

පෘථග්ජන පුද්ගයෙක් යම්කිසි සතුටක් ලබනවාය, සැප විඳිනවාය, සංතෝස වෙනවාය යනු තමන් ප‍්‍රිය කරන දේකට ඇලී, සම්බන්ධවීම හෝ අප‍්‍රිය දේවල් වලින් වෙන්වීම හෝ යන අන්ත දෙකට පත්වීමයි. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකට ම අයත් වන ඊට අදාළ වූ ක‍්‍රියාදාමයකට ඇලීම බැඳීම හෝ ගැටීම ඉන්ද්‍රියයන් පිනවීමක්ම පමණි. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ආමිස සුවයක් ගැන මිස නිරාමිස සුවයක් ඇති බව හෝ එවන් සුවයක් ලබා ගත හැකි බවක් හෝ ඒ සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපදාවක් ඇති බව හෝ පෘථග්ජන පුද්ගලයකුට කල්පනා කළ නොහැකියි. ප‍්‍රිය හා අප‍්‍රිය අන්තවලට ඇලීමෙන්ම හෝ ගැටීමෙන් හෝ ඉන්ද්‍රියයන් පිනවීමේ සංසාර පුරුද්දක් පවතින තාක් කල්ම තමන්ම දුක්විඳිමින් සංසාර ගමනක නොනවත්වා ම ගමන් කරනු මිස සසර දුකින් නිදහස් වන නිවැරදි මාර්ගයක් ගැන නම් නිසි අවබෝධයක් ලැබෙන්නේ ද නැත.

ප‍්‍රිය දේට අන්තවාදී ලෙසින් ඇලීමක් සිදු නොවන්නට ක‍්‍රියා කළහොත් හා අප‍්‍රිය දේ අන්තගාමී ලෙසින් ද්වේෂ නොකරන්නටද ක‍්‍රියා කළ හොත් මෝහයෙන් මානයෙන් මුළාවීමක් සිදු නොවන්නටද ක‍්‍රියා කළහොත් රූපාදී ආරම්මණයන්ට පටිච්ච වීමක් ද සිදු නොවන නිසා සිත කිළිටිවන සමුදය ශක්තියක්ද උත්පාද නොවන නිසා එතැනදී සිත නිදහස් වෙයි. එයම කායේ කායානුපස්සනාවෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි. ප‍්‍රිය දේට ඇලෙන, රාගයෙන් ක‍්‍රියා කරන ගතියත්, අප‍්‍රිය දේ වලට ගැටෙන ද්වේෂයෙන් ක‍්‍රියා කරන ගතියත්, මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරන මෝහ ගතියත් යන ගති තුනම ඒ ඒ පුද්ගලයා ම දිර්ඝ සංසාරයේදී පුරුදු ලෙසින් කාලාන්තරයක් පුරාම පුරුදු පුහුණු කරගෙන ආ ඒ ඒ පුද්ගලයාගේම චිත්තසංථානයේම තදින්ම මුල්බැසගත් ගති පුරුදු තුනකි. තමා තුළ මෙවැනි ගති පුරුදු තුනක් මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වෙමින් පවතින බව තමන්ටම දැකගන්නට නොහැකිවීම සියළු දුක් උරුම වන්නට, සියලු දුක් විඳවන්නට මුල් වූ ප‍්‍රධානම හේතුවයි. හේතුව පටිච්චවීම ලෙසත් ඵලය සමුදය බිහිවීම ලෙසත් තමා තුළින්ම දැක හේතුව හා ඵලය යන දෙකම දැක ගත් පසුව හේතුවක් නිසාම චිත්තසංථානය කිළිටි වන බව තේරුම් ගෙන හේතුවෙන්ම නිදහස් වී ඵලයද උරුම නොවන්නට ක‍්‍රියා කළ හැකි බව යථා පරිදි දැක තම චිත්තසංථානය කිළිටිවන ක‍්‍රියාවන්ගෙන් බැහැරවීමත් තම චිත්තසංථානය පිරිසිදු වන ක‍්‍රියාවන් භාවිතා කිරීමත් යන ප‍්‍රතිපදාව පිරීම සතර සති පට්ඨානයෙන් ක‍්‍රියා කිරීමයි. හේතුව යහපත් නම් සිත පිරිසිදු කරන ආකාරයේ ක‍්‍රියාවක් නම් ඉන් සමුදය බිහි නොකරයි නම් එයම භාවිතා කිරීම, බහුලවම භාවිතා කිරීම සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි.

සතියෙන් ක‍්‍රියා කිරීම සතියෙහි පිහිටා කි‍්‍රයා කිරීම සතර සතිපට්ඨානය භාවනා කිරීම යනුවෙන් අදහස් කරන මෙම ක‍්‍රියාවෙහි ”සති” යන මාගධී පදයේ අර්ථය අද වන විට හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීම ලෙසින් අර්ථ ගන්වා වැරදි ආකාරයට භාවිතා කරන බව පෙන්වා දිය යුතුය. ”සති” යන මාගධී පදයෙන් අදහස් කළේ හොඳ සිහිය යන ව්‍යවහාර අර්ථයට වඩා ඉතාමත් ගැඹුරු අර්ථයකි. සතියෙහි පිහිටා කටයුතු කරන යම් කෙනෙකුට තමන් කරන, කියන, හිතන දේ නිසා තමන්ටම මතු උරුම ඵල විපාකයන් ගැනද යථාපරිදි දැක ගන්නට ලැබෙන නිසා අපායගාමී ඵල විපාක ලැබෙන බව දැක දැකම ඒ ක‍්‍රියාවෙහි සිත නොයොදනු ඇත. මේ අනුව සතියෙහි පිහිටා සතියෙන් යුතුව ක‍්‍රියාකරන කෙනෙකු බවට පත් වන්නේ තමා කරන ක‍්‍රියාව නිසා මතු තමාටම උරුමවන ඵල විපාකද යථා පරිදිම දැනගත් දැකගත් කෙනෙකුනම් පමණි. අයහපත් ඵල විපාකයක් තමාට උරුමවන බව දැක දැකම යම් කිසි ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් ක‍්‍රියාත්මක කරන්නට සතියෙන් ක‍්‍රියා කරන්නෙකුට නම් කළ නොහැකිය. නමුත් හේතුඵල දහම නොදත්, උගත්, බුද්ධිමත් අය බොහෝ දෙනෙකු පවා ලාභය, ආස්වාදය, කීර්තිය, ප‍්‍රසංසාව පමණක් බලාගෙන බොහෝමයක්ම අපායගාමී ක‍්‍රියාකාරකම් ඉතාමත් හොඳ සිහියෙන් යුතුවම ක‍්‍රියාත්මක කරති. ඒ ඔවුන් සතියෙන් ක‍්‍රියා නොකරන නිසාය. හේතුව හා ඵලය යන දෙකම නොදකින නිසයි. තමන්ට උරුමවන අයහපත් ඵලවිපාකය නොදකින හෙයිනි.

මේ අනුව බුද්ධභාෂිතයේ පෙන්වා වදාළ සතියෙහි පිහිටා, සතියෙන් ක‍්‍රියාකිරීම යනු හේතුඵල ධර්මය දැනගෙනම, හේතුඵල ධර්මයට බහා ගළපා බලාම කටයුතු කිරීමට පුරුදුවීමයි. මෙසේ සතියෙහි පිහිටා ක‍්‍රියාකිරීමටද යම් පළපුරුද්දක්, පුහුණුවක් ලබාගත යුතුමයි. මෙතෙක් කාලයක් සංසාරයේ පුරුදු වී පුහුණු වී සිටියේ ප‍්‍රිය දේට කැමැත්තෙන්ම ඇලීමටයි. අප‍්‍රිය දේ සමඟින් ගැටීමටයි. මෙය හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමකි. දැන් හිතට වහල් නොවී, හැඟීමට වහල් නොවී හේතුඵල ධර්මයට බහා ගළපා බලා කොතරම් ප‍්‍රිය දෙයක් වුවත් එහි ඵලය අහිතකර නම් එය බැහැර කිරීමටත්, ඒ ක‍්‍රියාව නොකර ඉන් වැළකී සිටීමටත් ක‍්‍රියාව අප‍්‍රිය නමුත් ඵලය යහපත් නම් එය භාවිතා කිරීමටත් පුරුදු වීමයි. හේතුඵල දහම අසා, ධර්මය තේරුම් ගෙන, පටිච්ච සමුප්පාද ධර්මය දැක, කළු, සුදු ද්වතාවය වෙන් කොට තෝරාගෙන කළු ධර්ම බැහැර කිරීමටත්, සුදු ධර්ම භාවිතා කිරීමත් යනු සතියෙන් ක‍්‍රියාකිරීම ලෙසින්ද අර්ථකථනය කළ හැක. මෙසේ සතියෙන් යුතුව ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීම සතර සතිපට්ඨාන භාවනාව භාවනා කිරීම යැයි ද පෙන්වා දිය හැකියි.

උගත්කම, බුද්ධිමත්කම බොහෝ අවස්ථාවන්හී දී සතියෙන් ක‍්‍රියාකරන්නට බාධාවක් ද විය හැකිය. පෘථග්ජන මිනිස්සු හේතුඵල ධර්මය නොදැන උගතුන්, බුද්ධිමතුන් බවට පත්වූ විට ඒ ඉගෙන ගත් දේ නිසාම ඒ දැනුම නිසාම මත් වෙති. මේ නිසාම බුද්ධිමත් යන පදයද ව්‍යවහාර භාෂාවෙහි දී භාවිතා කරයි. බුද්ධියෙන් මත්වූවෙකුට හේතුඵල ධර්මයට බහා ගළපා බලන්නට හෝ ඊට අනුරූපව ක‍්‍රියාකරන්නට හෝ පළපුරුද්දක් නැත්නම් ඔහු නියත වශයෙන්ම ලාභයෙන්, ආස්වාදයෙන්, ආත්මලාභයෙන් මත් වී ක‍්‍රියා කරන්නෙකු බවටද පත්වී අපායගාමී විය හැකියි. උගත්කමෙන්, බුද්ධිමත්කමෙන් මත්වූවෙකුට හේතුඵල ධර්මය හෝ ද්වතාව ධර්මය හෝ තේරුම් ගන්නට නොහැකි වූවොත් ඔහු නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ හැකිතාක් දේ (පංචස්කන්ධය) උපාදානය කරගන්නටමය. ඉන් සෑහීමකට පත් වීමක් හෝ තෘප්තියක් හෝ ලබන්නේද නොවේ. මෙවන් වූ බුද්ධිමතෙක් ඉතා හොඳ සිහියෙන් උපායෙන් යුතුව ක‍්‍රියා කරන කෙනෙකි. නමුත් සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු නම් නොවේ. ඔහු එකතු කරගත් දේ ඔහුටම බරක් වී, බැම්මක් වී, සංයෝජනයක් වී, භයට මුල් වන හේතුවක් වී,ඔහු සංසාර දුකටම පත් වීමද නියත වශයෙන් සිදු වෙයි. ඒ අසතියෙන් ක‍්‍රියා කිරීම නිසා අත්වන නියත ප‍්‍රතිවිපාකයයි.

උගත්කම, බුද්ධිමත්කම අඩු පුද්ගලයෙකුට පවා හේතුඵල ධර්මය, ද්වතාවය ධර්මය යම් ප‍්‍රමාණයකට අසා දැන තේරුම්ගෙන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට යම් පුරුද්දක් පුහුණුවක් ලබාගත් පසුව ඔහු මොහොතින් මොහොතම නිවුණු පුද්ගලයකු බවට නිදහස් පුද්ගලයකු බවටම පත්වෙයි. බැදීම් වලින් තොර වූ උපාදානයෙන් තොරවූ කෙනෙකුට භයට, කම්පා වීමට හේතුවක් ද නැත. ඔහු නිවන කරාම ගමන් කරන්නකු බවට පත්වෙයි. මේ අනුව උගත්කම, බුද්ධිමත්කම, දැනුවත්කම යන දේවල් සම්මත ලෝකයේ ලෞකිකත්වය තුළ වටිනා, වැදගත් දේ ලෙසින් සැළකුවත් ලෝකෝත්තර වශයෙන් වැදගත් වන්නේ හේතුඵල දහමට බහා ගළපා බලා ක‍්‍රියා කරන්නකු ලෙසින් ලබාගත් පලපුරුද්ද හා පුහුණුවයි. මෙයම සමුදය නිරෝධ කිරීමේ පුරුද්දයි. හැකියාවයි. සියලුම පෘථග්ජන පුද්ගලයින් සාරවත් යැයි කල්පනා කරන්නේත්, වටිනවා යැයි සිතන්නේත්, සුළු මොහොතකට හෝ තමාගේම ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබාගන්නා තාවකාලික සුවය, සතුට, ලාභය හෝ සැපය ගැන පමණි. ඉන්ද්‍රියයන් පිනවා මොහොතකට ලබා ගන්නා වූ සැපත, සුවය සඳහා කරන, කියන, හිතන දේම හේතුවක් ලෙසින් ක‍්‍රියාත්මක වී තමන්ටම ආපසු උරුම වන ඵල විපාකයන් කුමන ආකාරයක ඒවාදැයි දැක ගන්නට නම් ඒ සඳහා ද පළපුරුද්දක් ශක්තියක් ඇතිකර ගත යුතුමය. හේතුව හා ඵලය යන දෙකම මනා කොට දැකගෙන තමා කරන යම් ක‍්‍රියාවක් නිසා තමාටම ආපසු මතුවට උරුම වන ඵලය යළිත් තමාටම බරක් වේ නම්, බැම්මක් වේ නම්, භයට හේතුවක් වේ නම් එය තමාටම පලිබෝධයක් වේ නම් ඒ ක‍්‍රියාව නොකර නිදහස් වීමට පුරුදු වීම සතියෙන් ක‍්‍රියා කිරීමයි. සතියෙහි පිහිටා කටයුතු කිරීමයි.

මොහොතකට තමන් ලබන ලාභයට, ආස්වාදයට, සුවයට, තමන්ම මුළාවී, හිතට වහල්වී, ඉන්ද්‍රියයන් පිනවන්නට ක‍්‍රියා කළහොත් එහි නියත ඵල විපාක ලෙසින් සංසාරය පුරාම දිගින් දිගටම තමන්ටම විඳින්නට උරුම වන ආදීනව හා ආනිසංස ගැන නොසළකා ක‍්‍රියා කි‍්‍රයාකිරීම යනු අසතියයි. සතියෙහි පිහිටා ක‍්‍රියා නොකිරීමයි. අසතියෙන් ක‍්‍රියා කිරීමයි. හේතුඵල දහමට බහා ගළපා බලා ද්වතාව ධර්මයට බහා ගළපා බලා කළයුතු දේ හා නොකළ යුතු දේ මෙන්ම මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කිරීමත් මෙනෙහි නොකළ යුතු අධර්මය මෙනෙහි නොකර බැහැර කිරීමත් යන දෙක පුරුදු පුහුණු කරගත හැකි වන්නේ සතර සතිපට්ඨානයෙන්ම යුතුව කටයුතු කිරීමෙනි. අතීත සංසාර පුරුද්දට පටහැනි වූ මෙම අලුත් පුරුද්ද උත්සාහයෙන්ම, අවබෝධයෙන්ම තමා තුළින්ම ඇති කර ගත යුතු මෙතෙක් තමා තුළ නොතිබූ අලුත්ම විධියේ පුරුද්දකි. රූපාරම්මණයක් ආදී වශයෙන් සිතට ස්පර්ශ වූ යම් ප‍්‍රිය හැඟීමකට, ප‍්‍රිය අරමුණකට වහල් වී ඒ අරමුණ දිගේම දිගටම සිතුවිලි පවත්වමින් රූප රාගයෙන් සිත මත්වීම නිසා ඒ ප‍්‍රිය රූපයම උපාදානය කරගන්නට දරණ උත්සාහයද දුකකි. රූපය උපාදානය කරගත්තේ නම් එයද බරකි . බැම්මකි. දුකටම හේතුවකි. ප‍්‍රිය රූපය උපාදානය කරගන්නට නොහැකි වූයේ නම් එයද බලවත්ම දුකකි. මේ අනුව අරමුණකට තදින් බැඳීම කොයි ආකාරයෙන් සිතා බැලුවත් දුකකි.

රූප සංඥාවක් ඇසට ස්පර්ශ වූ වහාම එය පිළිබඳව යථා පරිදි දැනගෙන උපේක්ඛාවෙන් සළකා ඉවසීමෙන් විමසා බලා හේතුව හා ඵලය යන දෙකම පිළිබඳවත් යථා පරිදි තේරුම් ගෙන කටයුතු කළහොත් ඒ රූපාරම්මණය කොතරම් ප‍්‍රිය හෝ අප‍්‍රිය හෝ එකක් වූවත් එයට පටිච්ච නොවී දහසක් දුක් දොම්නස් වේදනා වලින් සදහටම අතමිදී නිදහස් විය හැකි බවත් තේරුම් ගෙන සතියෙහි පිහිටා ක‍්‍රියා කරමින් ලබන නිදහස, නිවන් දැකීමේ මාර්ගය අනුගමනය කිරීමයි. මෙයම සම්මා දිට්ඨියෙන් ක‍්‍රියා කිරීමයි. මේ අනුව හොඳ සිහිය යනුවෙන් පෙන්වූ දේ ලෞකික වශයෙන් නම් හොඳ, යහපත් දෙයක් විය හැකි වුවත් ලෝකෝත්තර නිවන් සුවය සඳහා නම් උපකාර වන්නේ සතියෙන්ම ක‍්‍රියා කිරීමයි. හොඳ සිහිය යන්න බොහෝ විටම සතියෙන් නොව අසතියෙන්ම කරන්නක් විය හැකිය.

මේ අනුව සතර සතිපට්ඨාන භාවනාවෙහි ප‍්‍රායෝගිකවම යෙදෙන්නට නම් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාවෙහි පිහිටා ක‍්‍රියාකරන්නට නම් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ භාවනා කර්මස්ථාන ප‍්‍රායෝගිකවම භාවනා කරන්නකු වන්නට නම් නිවැරදිවම පටිච්චසමුප්පාද ධර්මය හා ද්වතාවය ධර්මය යන දේ යම් තරමකට හෝ අසා දැන තේරුම් ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. සතර සතිපට්ඨාන භාවනාවක් කරන්නට අදහස් කරන යම් කෙනෙකුට මේ මූලික දැනුම පවා නොලැබුණ හොත් නිවන් මාර්ගය උපදවා පහදා ගැනීමද පහසු දෙයක් නොවෙනු ඇත. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයෙහිත් ආනාපානාසති සූත‍්‍රයෙහිත් ද්වේධා විතර්ක සූත‍්‍රයෙහිත් මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයෙහිත් ගිරිමානන්ද සූත‍්‍රයෙහිත් තවත් සූත‍්‍ර ධර්ම රාශියකමත් පෙන්වූ මූලිකම හරය වූයේ සේවනය කරන්නට සුදුසු ධර්මයන් පෙන්වා දීමත් සේවනයෙන් බැහැර කළයුතු කළු ධර්මයන් පෙන්වා දී ඒවා සේවනයෙන් බැහැර කරදමා, ප‍්‍රහාණය කරදමා, අස්කර දැමීමට මඟ කියාදීමත්ය. මේ සඳහා ප‍්‍රායෝගිකවම පුරුදු විය යුත්තේ මෙනෙහි කළයුතු දේ මෙනෙහි කිරීමටත් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර බැහැර කිරීමටත් පුරුදු වීමයි. පුහුණු වීමයි.

භාවිතා කළ යුතු වන්නේ සුදු ධර්මයන්ය. ප‍්‍රහාණය කර, භාවිතයෙන් බැහැර කළයුතු වන්නේ කළු ධර්මයන්ය. කළු ධර්ම යනුවෙන් බුද්ධ භාෂිතයෙහි හඳුන්වා දෙන්නේ චිත්තසංථානය කිළිටි කරන ලේ ධාතුව කිළිටි කරන පාපී ක‍්‍රියාවන්ට මුල්වන අපායගාමී ඵලවිපාක උරුමකර දෙන ක‍්‍රියාවන්ය. රාගය, ද්වේෂය, මෝහය යැයි ප‍්‍රධාන කොටස් තුනකටම බෙදා දක්වන්නේ මෙම කළු ධර්මයන්ය. සියලුම කළු ධර්මයන් විඤ්ඤාණයේ ආහාර වශයෙන්ද සංසාර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය ශක්තිය උපදවන දේ ලෙසද ද පෙන්වා දී ඇත. මතු උපතකට උපකාර වන විඤ්ඤාණ බීජ සකස් කිරීම සඳහා ද ඒවාම උපකාර වෙයි. විඤ්ඤාණයෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයින්ට මෙම කළු ධර්මයන් බොහෝ අවස්ථාවල ප‍්‍රිය දේවල්, යහපත් දේවල්, හොඳ දේවල්, නිවැරදි දේවල් ලෙසද දකින්නට හැකි වෙයි. ඒ තම තමන්ගේම දෘෂ්ඨිය අපිරිසිදුතාවය අනුවම තීරණය වන්නකි. සම්මා දෘෂ්ඨියට පත්වූවෙකුට පමණක් නිවැරදිවම කළු ධර්ම කළු ධර්ම ලෙසින් දැකගත හැකි වෙයි. සම්මා දිට්ඨියට පත් නොවූ සංසාර දෘෂ්ඨියෙන් ක‍්‍රියාකරන හැම කෙනෙකුටම බෙහෝමයක්ම කළු ධර්මයන්ද මනාප වූ දේ ලෙසින්ම දැක ගන්නට ලැබෙයි.

සුදු ධර්ම යනුවෙන් අදහස් කරන්නේ චිත්තසංථානය පිරිසිදු කරන ලෝභ, ද්වේෂ, මෝහ ගති සහමුළින්ම ඉවත්කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම්ය. අතීතයේ කවදා හෝ තමාම හොඳය, යහපත්ය, නිවැරදිය කියා පුරුදු කරගත්, පුහුණු කරගත් රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය යන කිළිටි ගති දැන් තමන් තුළම මුල්බැස ගෙන පවතින බවත් මේ ගති තමන්ගේම අනර්ථය සඳහාම තම චිත්තසංථානයම කිළිටි වීම සඳහාම හේතුවන බවත් නිවැරදිවම දැක මේ ගති සහමුළින්ම ගළවා ඉවත්කර දමන්නට ක‍්‍රියාකිරීම සුදු ධර්ම භාවිතා කිරීමයි. ඒවාගේම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක‍්‍රියාකර අලුතින් මේ ගති පුරුදු කර ගැනීම නිසා තව තවත් කුණු එකතු වී තම චිත්තසංථානයම කිළිටි වී, තම මනසද මුවහ වී, මෝහය මතුවන බවද දැක එවන් ක‍්‍රියාවන් බැහැරවීම ද, ඒවා අත්හැරීම ද, සුදු ධර්මයන් භාවිතා කිරීමක් වන්නේය.

රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු ක‍්‍රියා සිත් පැවැත්වීම විඤ්ඤාණයට එතරම් සුදුසු, ගැළපෙන ක‍්‍රියාකාරකම් නොවේ. ඊට හේතුව මෙවන් සුදු ධර්මයන් දිගටම පැවැත්වීමෙන් විඤ්ඤාණයට අවශ්‍ය ආහාරයන් නොලැබෙන හෙයිනි. සුදු ධර්මයන් නිරතුරුවම භාවිතා කරමින් කෙළෙස් දුරු කළ විට චිත්තසංථානය පිරිසිදු වී සම්මතය විදබලා පරම සත්‍යය දැකබලා ගන්නට හැකි ප‍්‍රඥාව නම් වූ බලවත් ශක්තියක්ද සිතේම උපදී. ප‍්‍රඥාව සිතක උපදින්නේම රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති සළාහැර කෙළෙස්වලින් තොරවූ නිදහස් වූ චිත්තසංථානයකමය.

සතර සතිපට්ඨාන භාවනාව භාවනා කිරීම භාවිතා කිරීම හැර නිවන් දැකීමට උපකාර වන වෙනත් කිසිම ප‍්‍රායෝගික ප‍්‍රතිපදාවක් නම් නැති බව ගෝතම බුදුපියාණන්ම ඉතාම පැහැදිළිවම පිරිසිදුවම සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙහි ප‍්‍රකාශ කර ඇත. අප බෞද්ධයින් ලෙස බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, චාගානුස්සතිය, මෙත්තානුස්සතිය, කයාගතාසතිය, ආනපානසතිය ආදී සියලුම ”සති” භාවනා කරන්නේත් භාවිතා කරන්නේත් අවසාන හා ඒකායන පරමාර්ථය වූ සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කරන්නට උපකාර කරගත යුතු උපකාර වන ප‍්‍රතිපදාවන් ඒවා මඟින්ද සම්පූර්ණ කරගන්නට හැකි නිසාමයි. ඒ කුමන ආකාරයක හෝ ”සති” භාවනාවක් භාවිතා කරමින් ඒවා ප‍්‍රගුණ කිරීමේ ඒකායන බලාපොරොත්තුව සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට පුරුදු පුහුණු වීමයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට උපකාර නොවන කිසිම භාවනාවක් නිවනට උපකාර වන බුද්ධ භාවනා ක‍්‍රමයක්ද නොවේ. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට උපකාර වන සියලු භාවනා, බුද්ධ භාවනාවන් වේ.

මේ අනුව නිවැරදි ලෙසම තේරුම් ගත යුත්තේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ සියලුම භාවනා ක‍්‍රම සියලුම කර්මස්ථාන උපකාර කරගත යුතු වන්නේ නොවැරදීම නිවන් මඟ සම්පූර්ණ කරගත හැකි සතර සතිපට්ඨාන භාවනාවම පුරුදු පුහුණු කර ගැනීමටයි. සතර සතිපට්ඨානය වැඩෙන්නේ නම් සතියේ පිහිටා ක‍්‍රියා කරන්නට උපකාර වන්නේ නම් කායානුපස්සනාව වැඩෙන්නේ නම් එය මොන නමකින් හැඳින්වූවත් එය බුද්ධ භාවනාවකි. නිවනට නොවරදින මඟ උපදවා පහදවා දෙන්නකි. මොහොතින් මොහොතම පියවරෙන් පියවරම ක‍්‍රියාවේ වේගය සංසිඳීමේ යහපත් ප‍්‍රතිවිපාකයන් තමාටම අත්විඳ ගත හැකි නිවැරදි ප‍්‍රතිපත්ති මාර්ගයකි. නිවන යනු මේ ගින්න නිවීමයි. පැවැත්ම යනු ගින්න දිගටම පැවතීමයි.

Share Button