හෙළබිමේදී ලියූ ත්‍රිපිටකය හා පාලි භාෂාව

විජය නමැති සංකල්පිත ඉන්දියානු රජු එදා හෙළබිමට පය තබන්නට පෙර මේ හෙළබිමේ විසු දේව ගෝති‍්‍රක ජනයාද, යක්ෂ හෙළයේ විසූ යක්ෂ ගෝති‍්‍රක ජනයාද, නාග හෙළයේ විසූ නාග ගෝත‍්‍රික ජනයාද, කුම්භාණ්ඩ හෙළයේ විසූ කුම්භාණ්ඩ ගෝත‍්‍රික ජනයාද, සාමයෙන් හා සමාදානයෙන් මේ රටේම වාසය කළ ජනතාවය. මේ නම් සඳහන් කළ සියලුම ගෝත‍්‍රවලට අයත් මනුස්සයින් කිසිවෙකුත්ම අද්භූත, ආශ්චර්ය, අමනුස්සයෝ නම් නොවෙත්. වැද්දදෝද නොවෙත්. විශේෂයෙන්ම දේව හෙළයේ එදා ජීවත් වූ ජනතාව විද්‍යා ශාස්ත‍්‍ර දැනුමෙන්ද, ශිල්ප ක‍්‍රම දැනුමෙන්ද, දැන උගත්කමෙන් ද, වාරි කර්මාන්තය පිළිබඳව උසස් දැනුමෙන්ද යුතුව කටයුතු කළ මිනිස්සුම වූහ. පසු කලෙක ජන්බුද්වීපයේදී බුද්ධත්වයට පත් වූ සිද්ධාර්ථ ගෞතම බෝසත් කුමාරයාත් උපත ලැබුයේ මහා මයාදේවිය කුසින් මෙම දේව හෙළයේම ප‍්‍රාදේශිය රජ කෙනෙකු ලෙසින් එදා ප‍්‍රසිද්ධියට පත්ව සිටි සුද්ධෝදන රජතුමාට දාවය. හෙළබිම දේව හෙළයේ කිඹුල්වත්පුරය නමින් එදා ප‍්‍රසිද්ධව තිබු, අද දිඹුලාගල නමින් ප‍්‍රසිද්ධව ඇති මහවැලි ගඟින් දකුණේ පිහිටා තිබු නගරයක ශාක්‍ය වංශික රජ පරපුර එදා රජකම් කරන ලදී.

ඒ වාගේම අද සතරවරම් දෙවියන් ලෙසින් හඳුන්වා දෙනු ලබන අපේ ජනයා අදත් වැඳුම් පිඳුම් කරනු ලබන, චත්තාරෝ මහාරාජාවරුන් ලෙසින් ති‍්‍රපිටක සාහිත්‍යයේත්, ආටානාටා සූත‍්‍රයේත් සඳහන් වන, වෙසමුණි, විරුඩ, විරූපක්ඛ, දතරාශ්ඨ යන නම් ඇති මහරජවරුන් එදා රජකම් කළේද මේ හෙළබිමේම යක්ෂ හෙළයේ හා නාග හෙළයේය.

ඒ වාගේම ති‍්‍රපිටක පොත්පත් වල හා මහාවංශයේත්, දීපවංශයේත් නම් සඳහන් වන කොසොල් මහා රජතුමා, බිම්බිසාර මහ රජතුමා අජාසත්ත මහ රජතුමා, සුද්ධෝදන, අමිතෝදන, දෝතෝදන මහ රජවරුන්, සුප‍්‍රබුද්ධ රජතුමා, මහාසේන රජතුමා, අභය රාජ කුමාරයා, ආලවක, හේමවත, සාතාගිරි, සමන් ආදී රජවරුන්ද, චුලෝදර, මහෝදර, මුචලින්ද, මණිඅක්ඛිත යන නාග ගෝත‍්‍රික රජවරුන් මෙන්ම සුදත්ත සිටුතුමා, විශාකා, නන්දා මාතා චිත්ත ගහපති ආදී ති‍්‍රපිටකයේ නම් සඳහන් සියලුම රජ සිටු වරුන්ද එදා මේ හෙළබිමේම උපත ලබා, මේ හෙළබිමේම ජීවත් වී, මෙහි දීම මිය පරලොව ගිය අපේ ම මී මුත්තන්ය. අපේම අතීත ඥාති වර්ගයාය.

මේ හැම කෙනෙකුගේම නම් ගම් සඳහන් වන්නේත් ඒ නම් ගම් ලියැවී ඇත්තේත් අතීත හෙලබිමේදීම ලියු ඓතිහාසික ත‍්‍රිපිටක ග‍්‍රන්ථ වල හා දීපවංශය, මහාවංශය වැනි හෙළදිවේදීම ලියු ඉතිහාස වංශ කථා පොත්වලමය.

එදා ගෞතම බුදුපියාණන් වහන්සේ ජීවමානවම වැඩ සිටි සමයේ ඉතාමත්ම දියුණු නගර හා ගම් වශයෙන් සඳහන් වන රජගහ නුවර, සැවැත් නුවර, කොසඹෑ නුවර, කිඹුල්වත් පුරය, විශාලා මහ නුවර, බරණැස් නුවර ආදී සියලු නම් ගම් සඳහන් වන්නේද ති‍්‍රපිටක සාහිත්‍යයේම පමණක්මය. ඒ ලංකාවේදීම ලියූ ති‍්‍රපිටක පොත්වලමය. ති‍්‍රපිටකය ලෙසින් ලේඛන ගත කළ සියලුම ග‍්‍රන්ථයන් මුල්වරටම ලියා ලේඛන ගත කර ඇත්තේ මේ හෙළබිමේම ”අලුලෙන” නම් ස්ථානයකදීය. ති‍්‍රපිටක ග‍්‍රන්ථ වල හෝ දීප වංශයේ හෝ මහාවංශයේ හෝ සඳහන් වන පුද්ගලයින්ගේ, රජුන්ගේ, සිටුවරුන්ගේ හෝ නගරයන්ගේ හෝ ගම්වල හෝ නම් ගම් ඉන්දියාවේදී – මහා භාරතයේදී – ලියු කිසිම සමකාලීනව හෝ ආසන්න කාලීනව හෝ ලියු ග‍්‍රන්ථයක පොතක පතක ලියවිල්ලක හෝ සඳහන් නොවන්නා සේම වෙනත් කිසිම ආකාරයකින් හෝ අසන්නට හෝ දැක ගන්නට හෝ ලැබෙන්නේ ද නැත. එවන් ප‍්‍රසිද්ධ පුද්ගලයින් ඒ රටේ එවකට වාසය කළේ නම් පිට රටක පොත්වල ඒවා ලියැවෙන්නට පෙර එ් ඉන්දීය පොත් පත් වල ඒවා ලියා සටහන් කර තබන්නට හැකියාව තිබිණි. බුද්ධ කාලයේ හා ඊට සමකාලීනව ඉන්දියාවේදී ලියු බොහෝ පුරාණ ග‍්‍රන්ථ, වේද ග‍්‍රන්ථ හා රාමායනය ආදී වෙනත් පොත් පත් අද පවා ඉන්දියාවේදී දක්නට ඇත. ඉන්දියාවේදී ලියු මේ කිසිම පොතක පතක ලියැවිල්ලක ති‍්‍රපිටකයේ සඳහන් වන මේ කිසිම නමක්, ගමක් නගරයක් සඳහන් වී නැත. දැනට වසර 2000 කටත් වඩා අතීතයේදී ලියා තැබු ති‍්‍රපිටකයේ සඳහන් වන සියලුම ස්ථාන හා නගර නාම, පුද්ගල නාම ආදියේ තොරතුරු මේ හෙළබිම හා සම්බන්ධ වූ පුද්ගලයින්ගේ නම් ගම්ය, තොරතුරුය. ති‍්‍රපිටකයේ සඳහන් වන මේ තොරතුරු ලේඛනගත කර ලියා තබන්නට පෙර මේවා අපේම සිංහල භික්ෂුන් වහන්සේලා විසින් වර්ෂ හාර සියයකටත් වඩා දීර්ඝ කාලයක් තිස්සේ කටින් කට වන පොත් කරගෙන, පරම්පරාවෙන් පරම්පරාවට රැකගෙන, පවත්වාගෙන ආ දේවල්ය. තොරතුරුය. ධර්මයය.

ගෞතම බුදුපියාණන් වහන්සේ උතුම් බුද්ධ ධර්මය දේශනා කලේ ඉන්දියාවේදී යැයි යමෙකු ප‍්‍රකාශ කරන්නේ නම් එදා ඉන්දියාවේ ජීවත් වූ භික්ෂුන් වහන්සේලා පිරිසක් ගැන හෝ මේවා වන පොත් කරගෙන, කටපාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට, රැකගෙන ආ පිරිසක් ගැන හෝ සඳහන් විය යුතුය. නමුත් ඉන්දියාවේ එවැනි ඉතිහාසයක් පැවති බව හෝ කිසිම කෙනෙකු හෝ කිසිම භික්ෂුවක් හෝ මෙවන් ධර්මයක් ගැන හෝ දැන සිටිබවක් පිළිබඳව එවකට අසාවත් නොතිබිණි. විශේෂයෙන්ම සඳහන් කළයුතු කාරණය වන්නේ, අශෝක රාජ යුගයට පෙර භාරතයේ කාවේරි නදියෙන් එහා උතුරේ, එනම්, උතුරු ඉන්දියාවේ විසූ කිසිම බෞද්ධ භික්ෂුවක් ගැන හෝ ම`ගඵල ලැබූ කෙනෙක් ගැන හෝ කිසි තැනක සඳහන් නොවීමය. අශෝක රජතුමාටත් පළමු වරටම බෞද්ධ භික්ෂුවකගේ දර්ශනය දැකගන්නට ලැබුණේ කාලිංග යුද්ධයෙන් පසුව කාවේරි නදියෙන් දකුණු ඉන්දිය ප‍්‍රදේශයේදීය. හෙළබිමේදී දහම් ඉගෙනගෙන මගඵල ලැබූ බෞද්ධ භික්ෂුන් වහන්සේලා අශෝක යුගය වන විට (කාවේරි නදියෙන් මෙපිට) දකුණු ඉන්දියාවේ නම් විසුහ.

ලොව්තුරා බුද්ධත්වයට පත් වූ සියලුම බුදුවරයින් වහන්සේලා උපත ලැබූ, බුද්ධත්වයට පත් වු, මේ හෙළබිමේ සත්‍යයම වූ ඉතිහාස කථාව පෘතග්ජන ඉතිහාසඥයෙකුට, විද්‍යාඥයෙකුට, පුරාවිද්‍යාඥයෙකුට හෝ වෙනත් පෘථග්ජන පැවිද්දෙකුට හෝ, ඔහුගේ උගත්කම අනුව, දැනුම අනුව, අවබෝධය අනුව අනුමානයෙන් වත් සිතා ගත නොහැකි තරම් ගාම්භීරය. විශිෂ්ටය. ලොව පහළ වූ සියලුම බුදුවරයින් වහන්සේලාත් අරහතුන් වහන්සේලාත් පසේ බුදුවරයින් වහන්සේලාත් පමණක් නොව සියලුම චක‍්‍රවර්තී රජවරුන්ද උපත ලබන්නේත්, ජීවත් වන්නේත් ලෝකයෙන්ම උතුම් රට වූ මේ හෙල දිවයිනේ දීමය. මේ හෙළබිමේ අතීත ඉතිහාසයෙන් අද වන විට වත්මන් ලෝකයා සොයා දැනගෙන, අසා දැනගෙන ඇත්තේ ඉතාමත්ම සුළු කොටසක් පමණි. ලෝකයාට තවමත් සොයා දැන ගන්නට නොහැකි වූ, කාලයේ වැලිතලාවෙන් යටපත් වූ, මේ හෙළබිමේ ශ්‍රී විභූතිය වචනයෙන් කියා, පොතක පතක ලියා නිම කළ නොහැකි තරම් විශ්මිත එකකි. දීපංකර බුද්ධ කාලය තෙක්ම අතීතයට දිවයන්නකි.

”ති‍්‍රපිටක පොත්වල” ලියැවී ඇත්තේ මේ හෙළබිමේම එක්තරා අතීත යුගයක නියම නිවැරදි ඉතිහාසයයි. අදටත් අපේම යැයි කියා පෙන්වා දිය හැකි හොඳම නිවැරදිම ලේඛන ගත ලිඛිත ඓතිහාසික සාක්ෂි සටහන් වන්නේ ති‍්‍රපිටක පොත් පෙළෙහිය. වසර 2000 කටත් වඩා පැරණි අතීත යුගයකදී මේ රටේදීම පුස්කොළ පොත්වල ලියා තිබු සූත‍්‍ර ධර්ම දහහත් දහසකටත් වැඩි ප‍්‍රමාණයකුත්, ජාතක කථා පන්සිය පනහකිනුත් කියා පාන සියලුම තොරතුරු සියයට සියයක්ම මේ හෙළදිවට සම්බන්ධ වූ අපේම ඉතිහාසයට සම්බන්ධ වූ, අදාළ වූ, ලිඛිත සාක්ෂි බව මෙහිදී සහතික කර පෙන්වා දී ප‍්‍රකාශ කර සිටිමි. මේ එකද පොතක් හෝ ලේඛනයක් හෝ ඉන්දියාවේදී හෝ භාරත දේශයේදී හෝ ලියු ඒවා නොවේ. මේ අනුව මේ තරම් වැදගත් ලෙසින්, සත්‍ය වශයෙන්ම සහතික කර පෙන්වා දිය හැකි, ඉතිහාසයක් ලොව වෙනත් කිසිම කිසි රටකට උරුම වී නැත. අපේම මුතුන් මිත්තන් උගතුන්, මග ඵල ලාභීන් ධර්මධරයින් එදා මෙසේ ලියා තැබු අපේම මේ ඉතිහාසය පිටරටකට පාවා දී, වෙනත් රටක ඉතිහාසයක් ලෙසින් සරලවම බැහැර කරන්නට හෝ යටපත් කර දමන්නට හෝ කිසිම සාධාරණ හේතුවක් ඉදිරිපත් කරන්නට හෝ කිසිදු ජගතෙකුට නොහැකිය.

මේ ආකාරයෙන් නැවත මතුකර පෙන්වා දෙනු ලබන, ප‍්‍රකාශ කර සහතික කරනු ලබන, සත්‍යයන් පිළිබඳව යම් කිසි ආකාරයක හෝ සැක සංකාවක් ඔබටත් ඇත්නම් මෙහි මා අසා සටහන් කර තබන ප‍්‍රශ්න කිහිපයකටද ඔබම කල්පනා කර විමර්ශනාත්මකව හා මධ්‍යස්ථව පිළිතුරු සොයා දැන සපයාගෙන මේ ප‍්‍රකාශනයේ ඇත්ත නැත්ත හොඳින් සොයා බලන ලෙසින් කාරුණිකව මම ඔබට ආරාධනා කර සිටිමි. ඔබ හෙළයෙකු ලෙසින් සිතන්නට පුරුදු වන්න. අපේම ඉතිහාසය යටපත් කර දමන්නට තරම් අධම නොවන්න. දීන නොවන්න.

I. ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය ති‍්‍රපිටක පොත් ලෙසින් හා ජාතක කථා ලෙසින් වසර 2100 කට පෙර යුගයකදී ලේඛන ගත කර ලියා තබන ලද්දේ කුමන රටකදීද? – මේ හෙලබිමේදී ය.

II. මේ ති‍්‍රපිටක ධර්මය හා ජාතක පොත් වසර 2100කට පමණ පෙර ලියා තබන්නට භාවිතා කරන ලද හෙළ අක්ෂර (අකුරු) එදා මොන රටේ භාවිතා වූ අකුරුද? – හෙලබිම එදා භාවිතා කළ පැරණි හෙල අකුරුය.

III. මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ ධර්මය පේළි ලෙසින් – පෙළ දහම ලෙසින් – පෙළ ගස්වා කට පාඩම් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට වසර 450ක් පමණ දිගු කාලයක් තිස්සේ පවත්වාගෙන ආවේ කුමන රටක භික්ෂු පරපුරක්ද? හෙලබිම විසූ හෙල භික්ඛු පරපුර විසිනි.

IV. හෙළබිමේ පිහිටි අලුලෙනේදී කි‍්‍ර.පූ. 76 වන වර්ෂයේදී මේ බුද්ධ භාෂිතය ලියා තැබීමට සහභාගිවූ භික්ෂුන් වහන්සේලා පැමිණියේ කොහි සිටද? එම ධර්ම සංගායනාව පැවැත්වීමට සහභාගී වූ සියලුම භික්ෂුන් වහන්සේලා හෙළදිව විවිධ ප‍්‍රදේශවලින් වැඩම කළ බව ඔබ දන්නවාද?

V. නිවන් දකින්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මය හා ඇදහිල්ලක් ලෙසින් අද අදහන බුද්ධාගම යන දෙකෙන් කුමන කොටසට ති‍්‍රපිටකයේ ලියා සටහන් කර ඇති දේ අයත් වන්නේද? ත‍්‍රිපිටක ග‍්‍රන්ථවල සඳහන් වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය මිස ඇදහිලි ගැන නොවේ.

VI. එදා ගෞතම බුදුන් උපන් ජන්බුද්වීපයේ ලක්ෂ සංඛ්‍යාත අරහතුන් වහන්සේලා එහි විහාර ආරාමවල වැඩ සිටි බව ති‍්‍රපිටකයේම සඳහන්ව ඇත. ඉන්දියාවේ කාවේරි නදියෙන් උතුරේ පිහිටි කිසියම්ම ප‍්‍රදේශයක කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුන් ජීවත්ව සිටි බවක් හෝ ඒ ගැන සඳහනක් හෝ මොනයම්ම ඉතිහාස පොතක හෝ ලියවිල්ලක හෝ සටහන්ව නැත්තේ ඇයි? එවන් මගඵල ලාභීන් එහි නොවු හෙයිනි.

ගෞතම බුදුපියාණන් වහන්සේ එදා ශුද්ධ මාගධී බසින් ලෝකයාට දේශනා කරන ලද උතුම් බුද්ධ ධර්මය පේළි වශයෙන් පෙළ ගස්වා කට පාඩම් කරගෙන, වනපොත් කරගෙන, ගුරු ශිෂ්‍යය පරම්පරාවෙන් පරම්පරාවට වසර හාරසිය විසිපහක් පමණ කි‍්‍ර.පූ 543 සිට කි‍්‍ර.පූ 76 දක්වාම කටින් කට පවත්වා ගෙන එන ලද්දේ අපේම හෙළබිම විශේෂයෙන්ම දේව හෙළයේ වාසය කළ භික්ෂුන් වහන්සේලා විසින්මය. එදා අලුලෙනේදී පැවැත් වූ ධර්ම සංගායනාවට වැඩමවා වදාළ භික්ෂුන් වහන්සේලා එදා එහි පැමිණියේ රුහුණේ තිස්සමහාරාමය, සිතුල්පව්ව, හබුරුගල, බුදුගල, කුසිනාරා නුවර, කුඩිම්බිගල, රජගල, දීඝවාපිය මෙන්ම රුහුනේ සබරගමු පළාතේ හා නැගෙනහිර පළාතේ ආරඤ්ඤ සේනාසන වලින්ය. දඹුල්ලේ එඬේරගල, පිදුරංගල, රංගිරිගල හා තවත් කිහිප ස්ථානයකින්ද පැමිණියහ. ඉන්දියාවේ සිට හෝ භාරතයේ සිට හෝ පැමිණි කිසිම කෙනෙකු මෙයට සහභාගී වූ බවක් මහා වංශයේ හෝ දීපවංශයේ හෝ කිසිම පොතක පතක හෝ සඳහන්ව නැත. ඊට හේතුව ඉන්දියාවේ සිටි කිසිම කෙනෙකුට මේ බුද්ධ ධර්මය, බුද්ධ භාෂිත ති‍්‍රපිටකය ගැන කිසියම්ම අවබෝධයක් හෝ දැනුමක් නොවු නිසයි. මිහිඳු කුමාරයාද එදා ඉන්දියාවේ සිට දේව හෙළයේ රජගහ නුවරට (අම්පාරට) පැමිණ රජගහ නුවර පිහිටි බෞද්ධ විද්‍යායතනයේදී සිංහල භාෂාව, මාගධී භාෂාව හා බුද්ධ ධර්මයද ඉගෙන ගෙන මහණ වී මගඵල ලබාගත් බවත් ඉතාම පිරිසිදුවම මෙහිදී පෙන්වා දිය යුතුය.

බුදු පියාණන් වහන්සේ දේව හෙළයේදී මෙන්ම, යක්ෂ හෙළයේ යම් යම් තැන්වලදීත්, නාග හෙළයේ යම් යම් තැන් වලදීත් වසර හතළිස් පහක් පුරාම දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය, පේළි වශයෙන් පෙළ ගස්වා සකස් කර ගෙන සංගායනා කරමින්, කටවහරට පුරුදු කරගෙන කටින් කට රැක ගෙන පවත්වාගෙන ආ සිරිතක් අපේ මේ හෙළබිමේ එදා පටන්ම පැවතිණි.

අම්පාරේ රජගල නමින් අද නම් කර ඇති ඓතිහාසික ස්ථානය එදා මගධ රටේ රජගහනුවර නම් විය. මගධ රටේ මාගධී භාෂාව මෙන්ම පැරණි හෙළ භාෂාවද එදා භාවිතා කළ බවත් පෙනේ. එදා විශ්ව විද්‍යාලවල විද්‍යාස්ථාන වල ශිල්ප ශාස්ත‍්‍ර හැදෑරීමේදී උගතුන් එදා ශුද්ධ මාගධී භාෂාව භාවිතා කළ අතර සාමාන්‍ය පොදු මහජනයාගේ ව්‍යවහාර භාෂාව වුයේ හෙළ බසයි. අදත් හෙළ බසට ඉතාමත්ම සමීප භාෂාව වන්නේද මාගධී භාෂාවයි. ඒ යුගය වන විට ඉන්දියාවේ භාවිතා වූ භාෂාවන් සියල්ලටම පාදක වූයේත් මූල භාෂාව වූයේත් සංස්කෘත භාෂාවයි. එදා දකුණු ඉන්දියාවේ භාවිතා වු දමිළ බස පවා මේ සංස්කෘත භාෂාවන්ට වඩා වෙනස් මුලාශ‍්‍රයකින් පැවත ආ භාෂාවකි. ගෞතම බුදුපියාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසුවත් අපේ හෙළබිම, විශේෂයෙන්ම දේව හෙළයේ ජීවත් වූ, ධර්මධර උගත් වියත් භික්ෂු පරපුර නිහඬවම තම පණමෙන් ආරක්ෂා කරගෙන, වනපොත් කරගෙන කටපාඩම් කරගෙන පරම්පරා ගතව පවත්වාගෙන ආ මේ උතුම් ති‍්‍රපිටක බුද්ධ ධර්මයට එදා රාජ්‍ය අනුග‍්‍රහයක් පවා ලැබී තිබුණේද නැත.

කි‍්‍ර.පූර්ව 76 වන වර්ෂයේදී දේවහෙළයට අයත් අලුලෙන නම් ස්ථානයකදී ති‍්‍රපිටක ධර්මය ලේඛන ගත කළත් ඊට වලගම්බා රජු මුල් වී කි‍්‍රයා කළ බවක්ද පෙනෙන්නට නැත. උතුම් බුද්ධ භාෂිතය රැකගෙන ආ හෙළදිව භික්ෂු පරපුරේම මුලිකත්වයෙන් මෙම ති‍්‍රපිටකය ලේඛන ගත කිරීමද සිදු විය. ඒ අතීත යුගයේ, එනම් අශෝක රාජ්‍ය යුගයටත් වසර 280 කට තරම් පෙර යුගයේදී ඉන්දියාවේ මේ උතුම් බුද්ධ ධර්මය ප‍්‍රචලිතව පැවතියේ නම් එදා ඉන්දීය ජනතාව තුළ මේ උතුම් ධර්ම සංකල්පනා තරයේම මුල්බැස ගන්නට ඉඩ තිබිණි. එදා ඉන්දිය ජනතාව තුළ වේද ආගම් සංකල්ප, ජෛන ආගම් සංකල්ප, ශිව ආදී දේව ආගම් සංකල්පයන් ගැන මිස මේ උතුම් බුද්ධ ධර්මය ගැන කිසිම දැනුමක් හෝ අවබෝධයක් හෝ තිබු බවක් පෙනෙන්ටද නැත.

අශෝක අධිරාජ්‍යයාගේ රජ්‍ය කාලය තුළදී ඔහු උත්සාහ ගත්තේ බුද්ධ ධර්මයේ දේශනා කරන ලද යම් යම් යහපත් වත් පිළිවෙත්, එකතු කරගෙන එදා ඉන්දියාවේ ඇදහු හිංදු, ශිව, වේද හා ජෛන ආදී ආගම් සංකල්ප වලට පංචසීල ප‍්‍රතිපදාවද ඇතුළු කරගෙන කාටත් සාමයෙන් හා සාමදානයෙන් ජීවත් වන්නට ගැලපෙන ආකාරයේ යහපත් සමාජයක් නිර්මාණය කරන්නට උපකාර වන විධියේ ආගමක් ඉන්දියාවේ නිර්මාණය කරගන්නටය. ධර්ම රාජ්‍යයක් නිර්මාණය කරන්නටය. ඉන්දියාවේ බුද්ධාගම බිහි වූයේ ඒ ආකාරයෙන්ය. බුද්ධ ධර්මය හා ආගම යනු දෙකකි.

බුද්ධ ධර්මය යනු ඇදැහිල්ලක් නොවේ. දේශපාලනය හා සමඟ සැසදෙන්නක්ද නොවේ. ආර්ය තුස්නිම්භූත භාවය බුද්ධ ධර්මයේ මුලිකම ලක්ෂණයයි. ඒ නිසාම අරඤ්ඤ ගත වී, රුක්මුල්වලට වී, සුඤ්ඤාගාර ගත වී වනගත වී ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි නියැළුණු කෙළෙස් තවන කෙළෙස් දවන්නටම උත්සාහ දරන බුද්ධ ශ‍්‍රාවකයින් පිරිසක් මගින්ම බුද්ධ ධර්මය ආරක්ෂා වෙයි. ධර්මය රැකෙයි.
අශෝක රාජ්‍ය පාලන කාලයේදී මෙන්ම ඊට පසුව ආ යුග වලදී ද ඉන්දියාවේ බලවත් අධිරාජ්‍යයන් වූ ගුප්ත අධිරාජ්‍ය යුගයේත්, කුෂාන් අධිරාජ්‍ය යුගයේදීත්, ඉන්දියාවේ බුද්ධාගම බලවත් සේම ප‍්‍රචලිත විය. නමුත් බුද්ධ ධර්මය නම්, නිවන් දකින්නට උපකාර වන අයුරින් නම් ප‍්‍රචලිත වූ බවක් දකින්නට නැත. ඉන්දියාවේ ගුප්ත පාලන යුගය වන විටත් ලංකාවේ හෙළබිමේ රජගල, අම්පාරේ, සිතුල්පව්වේ, දීඝවාපියේ හා මාලිගාවිල මෙන්ම සබරගමු පළාතේ රත්නපුර හා කෑගල්ල වැනි ප‍්‍රදේශ වලද උතුම් නිර්මල බුද්ධ ධර්මය භාවිතයේ පැවතුණු බවත් පෙන්වා දිය යුතුය. ඒ බුද්ධ ධර්මය එදා භාවිතයේ පැවතුණු බවට හොඳම සාධකය කෑගල්ල ප‍්‍රදේශයෙන් බිහි වූ මලියදේව මහ අරහතුන් වහන්සේ පිළිබඳ කථා පුවතයි.

පාලි භාෂාව හා පාලි යන වචනය ගැනද මෙහි යමක් ලියා තැබිය යුතුය. එදා හෙළදීපයේදී සිංහල අකුරෙන් ලියා තැබු ගෞතම බුදුපියාණන් හා බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා විසින් මාගධි බසින් දේශනා කළ බුද්ධ ධර්මය කටපාඩමෙන් පාඩම් කරගෙන කටින් කට පවත්වාගෙන ඒමේ පහසුව හා අවශ්‍යතාවය සඳහා ධර්මය පෙළගස්වා, පේළි ලෙසින් සකස් කර ගන්නා ලදී. මෙසේ පෙළ ගස්වා තිබු නිසාත්, පේළි වශයෙන් සකසා කටපාඩම් කරගන්නට හැකි වූ නිසාත් මේ මාගධී බසින් දේශනා කරන ලද බුද්ධ භාෂිතය පසුව පෙළ, පෙළ දහම යන නම් වලින්ද ප‍්‍රසිද්ධ විය. පෙළ දහමටත් පාදක වුයේ අතීත සිංහල ව්‍යාකරණ හා භාෂා රීතීන්මය. ඒ අප අද භාවිතා කරන නවීකරණය කළ හෙළ භාෂා රීති නොව මිහිඳු හිමියන් වැඩ සිටි යුගයටත් පෙර යුගයේදී මේ හෙළදිව භාවිතා වූ පැරණි හෙළ බසෙහි ව්‍යාකරණ හා නීති රීතීය. පසු කලෙක මේ මාගධී භාෂාවම පාලි භාෂාව ලෙසින් අනුරාධපුර යුගයේදී, අනුරාධපුරයේදීත්, පොළාන්නරු යුගයේදීත්, විවිධ ආකාරයෙන් පොත් පත් වලද ලියන්නටත් භාෂාවක් ලෙසින් උපයෝගී කර ගන්නටත් පුරුදු වූ බව පෙනේ. ති‍්‍රපිටකය ලේඛන ගත කරන්නට පෙර යුගයේදී පාලි නමින් භාෂාවක් ලෝකයේ නොවීය. ඊට පසුව ආ යුගයේදී බුද්ධ ධර්මයට අදාළ කරුණු මෙන්ම හෙළදිව ඉතිහාසයට අදාළ යම් යම් ඓතිහාසික කාරණාද ලියුවේ පාලි (මාගධී) නමැති භාෂාවෙනි. මෙම පාලි නම් භාෂාව ලිවීම ආරම්භ වුයේ ලංකාවේදීය. දියුණු වුයේත් ලිපි ලේඛන ලියුවේත් ලංකාවේදීය. පසු කාලයකදී එනම් තුන්වන හා අටවන සියවස් අතර කාලයකදී ඉන්දියාවේ උගත්තු ද හෙළදිව රජගහනුවරට (අද අම්පාරේ රජගලට) පැමිණ පාලි බස හදාරා හෙළ බස හදාරා බුද්ධ ධර්මයට අදාළ බොහෝ දේ ඉගෙන ගත්හ. පසු කාලයකදී මේ පෙළ දහමට අදාළ බොහෝ දේ සංස්කෘත ආදී ඉන්දිය භාෂා වලටද පරිවර්තනය කරන්නටද පටන්ගත්හ.

මේ අනුව 5 වන සියවස පමණ වන විට ඉන්දියාවේ අජන්තා, වෙල්ලෝරා, නගර්ජුනකොංඩ, මථුරා, ගන්ධාර ආදී ප‍්‍රදේශ වලත් පාලි භාෂා උගත්තු බිහි වී සිටියහ. විශ්ව විද්‍යාල වල හා විද්‍යායතන වලත් බෞද්ධාගම ඉගැන්වුයේ පාලි භාෂාවෙන්මය. හියුං සාන්, පාහියන් වැනි චීන සංචාරකයින් ඉන්දියාවට හා ලංකාවට එන අවධියේත් පාලි උගතුන් ලංකාවේ මෙන්ම ඉන්දියාවේද සිටි බව ඔවුන්ද සඳහන් කරන්නේ මේ අනුවය. මේ අනුව පාලි භාෂාව යනු කවදාවත්, මිනිසුන්ගේ පොදු ව්‍යවහාරයට පත් වූ ව්‍යවහාර භාෂාවක් නොව, ලංකාවේදී බුද්ධ ධර්මය ලියන්නට භාවිතා කළ නිර්මාණය කරගත් භාෂාවකි. එහි පදවැල් මාගධී පදවැල්ය.

ලංකාවේදී ලියු පාලි වචන සිංහල අකුරෙන් ලියූ අතර ඒ ඒ රටවලදී පාලි වචන ලියුවේ ඒ ඒ රටේ අක්‍ෂර වලිනි. පසු කලකදී ඉංගි‍්‍රසි අක්ෂර වලින්ද, පාලි භාෂාවම ලියන ලදී. මේ හැම තැනකදීම ලියා ඇත්තේ එදා හෙළබිමේදී ආරම්භ කළ මාගධී වචන ලිවීමය. මාගධී පද වැල්ය. ශුද්ධ මාගධී භාෂාව යනු සියලුම භාෂාවන්ට පොදු, මුල් වූ භාෂාවයි. හෙළ බස සකස් වුයේද මුල් ශුද්ධ මාගධී භාෂාවෙන්මය. සියලුම බුදුවරයින් වහන්සේලා විසින් උතුම් බුද්ධ ධර්මය දේශනා කරනු ලබන්නේද ශුද්ධ මාගධී භාෂාවෙන්මය. එයට හේතුව මාගධී භාෂාව විපරිනාමයට පත්වන විකාශනයට පත්වන කාලයෙන් කාලයට අර්ථය ධර්මය වෙනස් වන ව්‍යවහාරික භාෂාවක් නොවන නිසයි. එදා භාවිතා කළ මාගධී වචන, පදවැල් අදටත් එසේම වලංගුව පවතී. ව්‍යවහාරික භාෂා සියල්ලම කාලයාගේ අවෑමෙන් ව්‍යවහාරයෙන්ම විකාශනය වී විපරිනාමයට පත් වී වෙනස් වෙයි. අප දන්නා මෑත යුගයේම කි‍්‍ර.වර්ෂ 1900 -1950 වැනි යුගයේදී භාවිතා කළ සිංහල භාෂාව අද රටේ භාවිතයේ නැත. අද එය විවිධ ආකාරයේ වෙනස් වීම් වලට භාජනය වී ඇත. නමුත් මාගධී භාෂාව එසේ වෙනස් නොවන භාෂාවකි. එදා ගෞතම බුදුපියාණන් වහන්සේ දේශනා කළේ ඊට පෙර කාශ්‍යප බුදු පියාණන් වහන්සේ දේශනා කළ මාගධී පදවැල් වලින්මය. අද අපි කියවන්නේද ඒ අතීත මාගධී පදවැල්මය. ඒවා භාවිතයෙන් වෙනස් නොවේ. අනික් අතට ශුද්ධ මාගධී පදවැල් වලට, බුද්ධ භාෂිතයේ දේශනා කර වදාළ ශුද්ධ පදවැල් වලට අර්ථ ධර්ම නිරුක්ති හා පටිභාන යන සිවුපිළිසිඹියා විග‍්‍රහයන් ඉදිරිපත් කළ හැකිය. ශුද්ධ මාගධී පදවැල් වලට මිස වෙනත් කිසිම ව්‍යවහාර භාෂාවක වචන වලට මෙවැනි අර්ථ නානාත්වයක් ධර්ම නානාත්වයක් නිරුක්ති නානත්වයක් හෝ පටිසංභිදා නානත්වය ඉදිරිපත් කරමින් අර්ථය ධර්මය විග‍්‍රහ කළ නොහැකිය. ඒ නිසා ශුද්ධ මාගධී භාෂාව අනික් සියලුම භාෂාවලට වඩා වෙනස් ආකාරයේ උතුම් භාෂාවකි.

මාගධී පද වලින් සියලු බුදුවරයින් වහන්සේලා දේශනා කර වදාරණු ලබන බුද්ධ ධර්මය නිවන් දකින්නට උපකාර වන ආකාරයෙන් තේරුම් ගන්නට නම් එහි අඩංගු අර්ථයන්, ධර්මයන්, නිරුක්තීන් හා පටිසංභිදා නානාත්වයද තේරුම් ගතයුතුය. පදපරම ලෙසින්ම මාගධී පදවැල් වලට අර්ථ දක්වන්නට පටන්ගත් පසුව අද නිවන් දකින්නට උපකාර වන ලෝකෝත්තර ධර්මය ඉන් විග‍්‍රහ වන්නේද නැත. පසුගිය වසර දහසකටත් වැඩි කාලයක් තුළම මේ මාගධී පදවැල් පාලි භාෂාව ලෙසින් පදපරම අර්ථයෙන් පදපරම ලෙසින්ම භාවිතා විය. නිවන් දකින්නට උපකාර වන ලෙසින් මාගධී පදවලට අර්ථ ධර්ම නිරුක්ති පටිසංභිදා දැනුමක් මතු කර ගන්නටද අපොහොසත් විය. නිවන් දකින්නට උපකාර වන්නේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිසංභිදා විග‍්‍රහයක් සහිත වූ මාගධී පදවැල් තේරුම් ගැනීමමය. මාගධී භාෂාව යනු අරුම පුදුම අර්ථ, ධර්ම, නිරුක්ති හා පටිසංභිදා විග‍්‍රහයක් ලබා දෙන පරමාර්ථ ධර්ම ප‍්‍රකාශන මාධ්‍යයක් බව තේරුම් ගත හැක්කේ ධර්මාවබෝධය ලබා ගත් මගඵල ලබාගත් කෙනෙකුටමය. පෘතග්ජන පුද්ගලයෙකුට මේ ධර්ම අර්ථයන් තේරුම් ගත නොහැකිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.