බුද්ධ වන්දනාව හා බුදු පිළිම වන්දනාව

ක‍්‍රි. පු. 589 දී ගෞතම බුදුපියාණන් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට ආරම්භ කළ දිනයේ පටන් ඉංදියාවේ රජකම් කළ කණිෂ්ක රජුගේ රාජ යුගය දක්වාම වූ වසර 650 ක් පමණම තරම් දිගු කාලයක් ඇතුළත බෞද්ධ ලෝකයා අතරේ බුදු පිළිම වන්දනා කිරීමේ සිරිතක් හෝ චාරිත‍්‍රයක් හෝ පැවතුණේම නැත. පිරිසිදු බුද්ධ ධර්මයට අනුව ”රූපය” දිරා යන, අනිච්ච වූ දෙයක් නිසා රූපය වන්දනා මාන කරන්නට තරම් වටිනා හෝ සුදුසු හෝ දෙයක් ලෙසින් බුද්ධ ධර්මයේ පෙන්නා දුන්නේ නැත. මේ අනුව මුල්ම බුදු සමය තුළ ගෞතම බුදුපියානන්ගේ හෝ වෙනත් කිසිම බුද්ධ ශාවකයෙකුගේ හෝ පිළිමයකට වැඳුම් පිදුම් කළ බවක් නම් පෙනෙන්නටද නැත. ඉන්දියාවේදී එදා අශෝක මහරජ විසින් කෘති‍්‍රමව නිර්මානය කරගත් ආකෘති බුද්ධ රාජ්‍යයේවත් ඒ යුගයට අයත් වන කිසිම බුදු පිළිමයක් හෝ බුද්ධ ශ‍්‍රාවකයෙකුගේ පිළිමයක් හෝ වන්දනා මාන සඳහා එදා යොදාගත් බවක් පෙනෙන්නට නැත.

ලෝකයේ පළමු වරට බුද්ධ රූපයක් භාවිතා කළ බව දකින්නට ඇත්තේ ඉන්දියාවේ රජකම් කළ ”කනිෂ්ක” රජුගේ රාජ සමයේදීය. එයද රටේ වෙළදාම සඳහා භාවිතා කළ රන් කාසියක එක පැත්තක බුදුරුවක් සටහන් කර භාවිතා කර තිබීමයි. මේ අනුව අපට හමු වී ඇති මුල්ම බුද්ධ රූපයද භක්තියෙන් හෝ ගෞරවයෙන් වන්දනා මාන කිරීම සඳහා භාවිතා කරන ලද්දක් නොව ලෞකික වානිජ කටයුත්තක් සඳහා භාවිතා කළ එකක් බවද තේරුම් ගත යුතුය.

කනිෂ්ක රාජ යුගයට පසුව කි. ව. 3 වන සියවසේදි පමණ ඉන්දියාවේ කුෂාන් රජ පරපුර පැවති යුගයේ ඉන්දියානු මහායාන බුද්ධාගමේ බෞද්ධයින් විසින් පළමු වරට බුදු පිළිමවලට වන්දනා මාන කරන්නට පටන්ගත් බව පැහැදිලිය. පසුව මථුරා, ගාන්ධාර, අමරාවති, නාගර්ජුනකොංඩ වැනි ස්ථාන වලත් ඊට පසුව 5 වැනි සියවස පමණ වන විට නාලන්දා, වෙල්ලෝරා වැනි ස්ථාන වලත් මේ සමගම ලංකාවේ හා ලෝකයේ බොහෝ පෙරදිග රටවලත් බුදු පිළිම නෙලා බුදුපිළිම වලට වැදුම් පිදුම් කරන්නටත් පටන් ගත් බව පෙනේ.

මෙම බුදු පිළිම වන්දනාව පැහැදිලිවම දේව ආගම් සංකල්ප වල ආභාෂයෙන් බුද්ධාගමට ඇතුළු කරගත් ආගම් සංකල්පයකි. ග‍්‍රීකයින් ඉන්දියාව පාලනය කළ සමයේ බොහොමයක්ම බටහිර දේව ආගම් සංකල්පයන් ඉන්දියාව තුළද ප‍්‍රචලිත විය. ගී‍්‍රකයින් ඇපලෝ දෙවියාගේ පිළිමයක් තනා ඊට වන්දනා මාන පවත්වන සිරිතක් එදා භාවිතයේ පැවතිණි. මේ අනුව ඉන්දියාවේදී ගී‍්‍රකයෝ දේව පිළිම වන්දනාව පටන්ගත්හ. මේ ආභාෂයෙන් කි‍්‍ර.ව. 2 වන 3 වන සියවස පමණ වන විට ඉන්දියාවේ මහායාන බෞද්ධයෝ බුදු පිළිම වන්දනාවක් ආරම්භ කළහ. ඉන්දියාවේ තැනු මුල්ම බුද්ධ ප‍්‍රතිමා වල ඇපලෝ දෙවියාගේ පිළිම වලට සමාන ලක්ෂණ ප‍්‍රතිරූපණය වන බවද බොහෝ අය පෙන්වා දී ඇත. මාල පැළඳු බුදු පිළිම, රැලි සහිත සිනිඳු ඇඳුම් ඇන්ද වූ බුදු පිළිම, හිස සැරසු බුදු පිළිම ආදිය දේව ආගම් සංකල්ප වලින් ලත් ආභාෂයයි.

ඉන්දියාවේ සිට ලංකාවට බුද්ධාගම ගෙනවාය කියන මතය තහවුරු කරන්නට බලවත් සේම පාදක කරගත්තේද මෙවන් බෞද්ධ සංස්කෘතිකාංගයි. බුද්ධාගම යැයි භක්තියෙන් ඇදහු ආගමක් එදා අනුරාධපුර යුගය තෙක්ම මේ හෙළබිමේ නොවීය. පිරිසිදු බුද්ධ ධර්මය පිළිවෙතින් පෙළගැසීමක් මිස වැඳුම් පිදුම් පැතුම් යැදුම් සහිත වූ ඇදහිල්ලක් හෝ ආගමක් හෝ නොවේ. මේ සියලු ආකාරයේ ආගමික සංකල්පයන් ලංකාවට ගෙන ආවේ නම් ඉන්දියාවෙන්ය. මේ අනුව නම් එදා බුද්ධාගම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනාවේය යන මතයට අපිදු එකඟ වෙමු. නමුත් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මය නම් මේ හෙළ බිමේදීම ගෞතම බුදු පියාණන් විසින්ම වසර හතළිස් පහක් පුරා දේශනා කර වදාළ බුද්ධ ධර්මයයි. එය මේ හෙළ බිමේදීම උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයයි.

බුද්ධ ප‍්‍රතිමාව වැඳපුදා ගැනීම ආරම්භ වීමත් සමගම බෞද්ධයාගේ භක්තිය – බුද්ධ භක්තිය – ඇති වුවා වාගේම බෞද්ධයාගේ අනන්‍යතාවයද රැුකුණු බවත් පෙන්වා දිය යුතුය. බුද්ධ ධර්මය පිරිසිදු වූ තරමට නිවන් දකින්නට උපකාර වන්නා සේම පරම්පරාවෙන් පරම්පරාවට එය පවත්වාගෙන එන්නට නම් බුද්ධාගම මිස බුද්ධ ධර්මය සමත් නොවන බවත් පෙන්වා දිය යුතුය. ඊට හේතුව බුද්ධ ධර්මය ඒ ඒ පුද්ගලයාම තම තමන්ගේම මනසිකාරය දියුණු කරගෙන පෞද්ගලිකවම අවබෝධ කරගත යුතු දෙයක් මිස ඇදහිල්ලක් නොවන නිසයි. මෙසේ සලකා බලන විට බුද්ධාගම යනු වාහනයක් බඳුය. ඒ වාහනයේම ගෙන ආ බුද්ධ ධර්මය වන පරමාර්ථ ධර්මයම නිවන් දකින්නට උපකාර වෙයි. දැනට වසර 2600 කට පමණ පෙර යුගයකදී ගෞතම බුදුපියාණන් විසින් දේශනා කරන ලද උතුම් බුද්ධ ධර්මය රැඳී රැකී පවතින්නේ ලංකාවේදී ලියූ ති‍්‍රපිටක බුද්ධ දේශනාව තුළ පමණි. සංස්කෘතික අංගයන්, සාහිත්‍යමය අංගයන් හා වෙනත් බොහෝ සැරසිලි සහිත වූ අලංකාර අද්භූත දේ අන්තර්ගත වන්නේ හා අයත් වන්නේ බුද්ධාගමට මිස උතුම් බුද්ධ ධර්මයට නම් නොවේ. සියලුම ආමිස පූජා, වැඳුම් පිඳුම් පිළිවෙත්, ශාන්ති කර්ම, ආශිර්වාද පුජා ආදිය මෙන්ම සජ්ඣායනා ක‍්‍රමයන්ද අයත් වන්නේ බුද්ධාගමටයි. බුද්ධ ධර්මය නිවන් දකින්නට උපකාර වන පිළිවෙතින් පෙළගැසීමයි.

බුද්ධාගමත් විනාශ නොකරම, ඇදහිල්ලක් ලෙසින් අද පවතින බුද්ධාගම නමැති සම්මත ආගම් සංකල්පයන් තුළින්ම, පරමාර්ථ ධර්මය තේරුම් ගැනීම මගින්ම, නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ධම්මානුධම්ම ප‍්‍රතිපදාව අවබෝධ කරගැනීම නියම බෞද්ධයෙකුගේ උත්සාහය විය යුතුයි. සම්මතය තුළින්ම පරමාර්ථය දැක ගත යුතුයි.

බුද්ධ යුගයට පසුව වසර 600 කට පමණ පසුව ඉන්දියාවේදී ලියු ”දිව්‍යාවදානය, ලලිත විස්තරය” ආදී සංස්කෘත පොත් වල පළමුවෙන්ම බුද්ධ චරිතයට ආදාළ සිතුවම් ඇඳ දක්වා බුද්ධ රූප හා එවන් සංකල්පයන් ලෝකයාට හඳුන්වා දී ඇත. මේ පොත් ලියා ඇත්තේද අශෝක යුගයටත් පසුව ආ ශිලාදිත්‍ය රාජ යුගයේදීය. ගී‍්‍රක හා රෝම කලාශිල්ප හා සංස්කෘතික අංගයන් මෙන්ම දේව ආගම් සංකල්පයන් ද බහුල ලෙසින්ම බුද්ධාගම තුළට වැද්ද ගත්තේ මේ යුගයේදීය. මේ දේව ආගම් සංකල්ප හා සංස්කෘතික අංගයන් හුදී ජන පහන් සංවේගය සඳහා බලවත් සේම උපකාර වූ නිසා ඉන්දියාවේදී ආරම්භ වූ ඉන්දියාවේදී පටන්ගත්, මෙවැනි දෑ අනුරාධපුර රාජධානිය කරාද සංක‍්‍රමණය වූ බව පෙනේ. මේ අනුව මහායාන බුද්ධාගමේ බොහෝමයක් අංග හා උපාංග ලංකාවේ බෞද්ධ ජනයා අතරද, විශේෂයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ප‍්‍රභූ පිරිස් අතරද ප‍්‍රචලිත වූ නිසා ඒවා ජනපි‍්‍රය වන්නට විය. අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරයේ ආරම්භය මෙහි ප‍්‍රතිඵලයකි. නිකාය භේදයන්ට මුල්වුයේද මෙයයි.

තොලුවිල බුදු පිළිමය, මාලිගාවිල බුදු පිළිමය, අව්කන බුදු පිළිමය, තන්තිරිමලේ බුදු පිළිමය,. රැස්වෙහෙර බුදු පිළිමය ආදී විශාල ප‍්‍රමාණයේ බුදු පිළිම නෙලීම ලංකාවේ ආරම්භ කළේ 3 වන සියවසට ආසන්න කාලයකදීය. නමුත් රුහුණේ පිරිසිදු බුද්ධ ධර්මය ඒ වන විටත් ආරක්ෂා වූ පූජනීය ස්ථාන වල මෙවන් බුදු පිළිම වන්දනාවක් එදා පැවති බවක් නොපෙනේ.

මේ අනුව සලකා බලන කල අපට අද බුද්ධාගම යැයි අදහන්නට ඉතිරි වී ඇති, අදත් බෞද්ධ ජනයා අගය කොට අදහන හා අගය කොට සලකන බොහෝ සංස්කෘතික අංගයන් එදා ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා දේවල්ය. මේ හේතුව නිසාම එදා පැරණි සිංහලයන් මෙන්ම අද වර්තමාන බොහෝ ගිහි පැවිදි බෞද්ධයින්ද බුද්ධාගම ඉන්දියාවෙන් ලංකාවට ගෙනා බව පැවසීම තරමක් දුරට සාධාරණ ප‍්‍රකාශයකි. නමුත් උතුම් බුද්ධ ධර්මය නම් ලංකාවේම ආරම්භ වී ඉන්දියාවටත් ගෙන ගිය දෙයක් බවත් තේරුම් ගත යුතුය. බුද්ධ ආගම හා බුද්ධ ධර්මය යනු එකක්ම ලෙසින් දකින, මේ දෙකෙහි වෙනසක් හඳුනාගන්නට බැරි, පෘථග්ජන පුද්ගලයින් තව දුරටත් මිථ්‍යා සංකල්ප හා මිථ්‍යා මත වල එල්ලී බුද්ධාගම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා බවට තර්ක කිරීම පිළිබඳව පුදුම විය යුතු නොවේ. ඔවුන්ගේ නොදැනුවත්කම ගැනද අප අනුකම්පා කළ යුතුයි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.