“අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි (II)” – නිගමනය හා සමාප්තිය

ගෞතම බුදුන් උපත ලැබූ එමෙන්ම සියලුම බුදුවරුන්ට උපත ලබන්නට තරම් වාසනාවන්ත වූ මේ ජන්බුද්දීපයේ මේ හෙළබිම සත්‍යම වූ ඉතිහාසය වසං කර දමන්නට – සහමුලින්ම යටපත් කර දමන්නට- කාටවත්ම නොහැකිය. බුද්ධ ධර්මය පිරිසිදු ලෙසින් යළි මතු වීමත් සමගම නිවන් අවබෝධ කරගන්නට උපකාර වන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත් උතුමන්ගේ බිහිවීමත් සමගම ඊට සමගාමීවම, මගඵල ලබන්නට උපනිශ‍්‍රය වන්නා වූ ආකාරයටම බුද්ධෝත්පත්තියට, බුද්ධත්වයට හා පළමුවන ධම්මචක්ක පවත්වන ධර්ම දේශනාව පැවැත්වීමට අදාළ ස්ථානයන් හා බුදුන්ගේ පිරිනිවීමට අදාළ වූ බුද්ධ ශක්තිය ගැබ් වූ ස්ථානයන්, නම් ගම් වශයෙන් පමණක් නොව ඇසින් දැක බලාගත හැකි අයුරින්ම ස්ථානයන් වශයෙන්ම මේ හෙළබිමෙන්ම දැන් හඳුනාගෙන තිබේ.

මේ ස්ථානයන් ගැන කරණ ලබන මේ ප‍්‍රකාශයන් අනුමානයෙන් ප‍්‍රකාශ කරන දේ නම් නොවේ. මේ පරම සත්‍යයන් දැකගත් නිසාම ලෝකයටද හෙළි කරනු ලබන පරම සත්‍යයන්ය. මෙවන් සත්‍යයන් ලෝකයාට හෙළි කරන්නට මුල් වූ හේතුවද මෙහිදී පැහැදිලි කළ යුතුව ඇත.

2005 සිට 2008 දක්වා කාලය තුළදී නිවන් දකින්නට උපකාර වන පරම පවිත‍්‍ර ශ්‍රී සද්ධර්මය නන් අයුරින් සොයා දැන මතුකර ලෝකයාට දේශනා කළත්, ලියා ප‍්‍රකාශ කළත්, සෝතාපත්ති ඵලයට හෝ පත්වන්නට බාධයක් වන තවත් එක් හේතුවක් යටපත්ව තිබෙන බව ධර්මතාවයෙන්ම පෙන්නුම් කර දෙන ලදි.

මේ බාධකය මග හැරවීමට ගත යුතු ධම්මානුධම්ම ප‍්‍රතිපදාව සොයාගෙන යද්දී ඵල සමාපත්තියෙන්ම පෙන්වු, ඵල සමාපත්තියෙන්ම දැකගත් දැක හඳුනාගත්, ඒ අනුව සමාපත්තියෙන්ම මතුකරගත් මේ උතුම් පූජනීය ස්ථාන හතරම එක් දිනක එක් මොහොතක පෙන්නුම් කළ අතර ඒ සමගම ඊට නිධාන වූ කථාවද පෙන්නුම් කර දෙන ලදි.

ඒ නිධාන කථාව නම් මහාපරිනිබ්බාන සුත‍්‍රයේ එන පරිදි ගෞතම බුදුපියාණන් පිරිනිවන් පාන්නට විනාඩි පහක් පමණ කාලයක් ඉතිරිව තිබියදී අග‍්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් ගෞතම බුදුපියාණන් ගෙන් ප‍්‍රශ්නයක් විචාළේය. ඒ ප‍්‍රශ්නය නම් ”භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේම දෙවි මිනිසුන්ට බුදු බණ දේශනා කරමින් බුදු කට හඬ ලබා දෙමින් බුදුරුව දැකගනිමින් බුද්ධ ශක්තියට අනුගත වෙන්නට අවශ්‍ය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය දෙවි මිනිසුන්ට ලබාදුන්හ. දැන් ඔබ වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ඉදිරි කාලයේදී දෙවි මිනිසුන්ට බුදුරුව, බුදු කට හඬ, බුද්ධ ශක්තිය ලබා ගන්නට ක‍්‍රමයක් නැතිව ලෝකයාට පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා ගන්නට බැරිවීම නිසා සෝතාපන්න ඵලයට හෝ පත් වන්නට ක‍්‍රමයක්ද නැති වෙනවා නේද?” යන ප‍්‍රශ්නයයි.

බුද්ධ ශක්තියට අනුගත නොවී, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය නොලබා සම්මා දිට්ඨියට පත් නොවී ස්වයං ශක්තියෙන්ම සෝතාපන්න ඵලයට හෝ පත් වන්නට පෘථග්ජන මිනිසෙකුට නොහැකිය. චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්නටත්, සම්මා දිට්ඨියට පත් වන්නටත් නම් යමෙකු සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කරගත යුතුමය. මෙයින් ”සප්පුරිස සංසේවෝ” යනුවෙන් පෙන්වා වදාළ පළමුවන අංගය සම්පුර්ණ වන්නේ ස්වයංභූ ඥාණයෙන්ම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන අරහත් මගඵලයට පත් වූ ලොව්තුරා බුදුපියාණන් ජීවමානවම දැකීම සහ බුදුපියාණන්ගෙන් බණ ඇසීම හෝ මග ඵලයකට පත් වූ බුද්ධ ශ‍්‍රාවකයෙකුගෙන් බුද්ධ ධර්මය ශ‍්‍රවණය කිරීම යන කරුණු සම්පුර්ණ කර ගැනීමෙන් ලබාගත හැකි පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමෙනි.

මහාපරිනිබ්බාන සූත‍්‍රයේ දේශනා කරන ලද පරිදි ”සද්ධස්ස කුලපුත්තස්ස – දස්සනීයානං සංවේජනීයානං” චත්තාරෝ ඨානා යන්නෙහි අර්ථය ගෞතම බුදුන් පිරිනිවන් පා වදාළ පසුවත් මගඵල ලාභී බුද්ධ පුත‍්‍රයෙකුගෙන් පිරිසිදු ධර්මය අසා සද්ධස්ස කුලපුත්තස්ස තත්වයට පත් වු යමෙකුට එනම් සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ”දස්සනීයානං – සංවේජනීයානං” යනුවෙන් ප‍්‍රකාශ කළ සෝතාපන්න ඵලයට (දස්සනේන සංපන්න වීමට) පත් වීමට නම් බුද්ධත්වයට සම්බන්ධ වූ මේ උතුම් ස්ථාන හතරින් එකක් හෝ දැකබලා වැඳපුදා හිත පහදා ගත යුතුය යන්නයි. බුද්ධ ශක්තියට අනුගත විය හැක්කේ ඒ අයුරිනි. මේ නිසා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා සම්මා දිට්ඨියට පත් වීමට මෙන්ම සෝතාපත්ති අංගයන් සම්පූර්ණ කර ගන්නටත් මේ ස්ථානයන් අතරින් එකක් හෝ දැක බලා ගත යුතුය.

පිරිසිදු පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය විකෘති වී යටපත්ව ගිය පසුගිය යුගයක සංදේශනාව අසන්නට නොලැබු අතීත යුගයක ආර්ය ධර්මයක් අසා චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්නට අවශ්‍ය පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ශ‍්‍රවණය කරන්නට නොලැබුණු යුගයක, ධර්මතාවයෙන්ම මේ උතුම් බුද්ධ ශක්තිය පවතින ඊට අනුගත වූ උතුම් ස්ථානයන්ද මහ වනයෙන් වැසී යටපත්වීම ද ධර්මතාවයෙන්ම සිදු වූ දෙයකි. එසේ එම ස්ථානයන් ධර්මතාවයෙන්ම වැසී තාවකාලිකව යටපත් නොවුයේ නම් එදා පෘථග්ජන ලෝකයා විසින් පෙරදිග හා බටහිර ආක‍්‍රමණිකයින් විසින් මේ උතුම් ස්ථානයන්ද කඩා බිඳ දමා විනාශ කර දමන්නට තිබිණි.

ආනන්ද හමුදුරුවන් ඇසු මේ වැදගත් ප‍්‍රශ්නයට ගෞතම බුදු පියාණන් ලබා දුන් පිළිතුර ඔස්සේ අතීතය අවලෝකනය කර සමවතින් මේ ස්ථානයන් හතරම එකවර සොයා දැන නිවැරදි ලෙසින් ප‍්‍රකාශ කරන්නටත් මේ උතුම් ස්ථානයන් පිහිටි තැන් පෙන්වා දෙන්නටත් යෙදුණේ මගඵල ලබාගන්නට සමත් ධර්මාවබෝධයක් ලැබූ විශාල පිරිසක් මේ හෙළබිම තුළ අද වන විටත් උපත ලබා ධර්ම මාර්ගයේද යමින් සොතාපන්න මාර්ගයට පත් වී සිටින හෙයිනි. එවන් සද්ධස්ස කුලපුත‍්‍රයින්ට සෝතාපත්ති ඵලයට පත්වන්නට උපකාරවත් වන ආකාරයට මේවා මතුකර පෙන්වා දුන් බවද ප‍්‍රකාශ කළ යුතුය.

2009 පොසොන් පෝදා මේ ස්ථාන හතර ලෝකයාට විවෘත කර පෙන්වා දීමෙන් පසුව මේ මාස 15ක පමණ සුළු කාලය තුළදී විශාල ජනතාවක් මේ උතුම් පුදබිම් දැකබලා වැඳපුදා ගත්තා පමණක් නොව නිහඬවම මගඵල ලබාගත් බවද දැන් සහතික කොට ප‍්‍රකාශ කළ හැකිය. මේ අනුව යළිත් බුද්ධ ධර්මය පණ පිහිටුවා බුද්ධ ශක්තිය ලෝකයාට විදහා පෙන්වන්නට දැන් නියම කාලයද උදාවී ඇත. ධර්මයට ඉඩ දී අධර්මය විනාශ වී යන ස්වභාවයේ යුගයක් දැන් හැම අතින්ම දැකගන්නට ඇත. දැන් දැන් සිදුවන සිද්ධීන් අනුව මේ ධර්මතාවය දැකගත හැකි බව යෝනිසෝ මනසිකාරයෙන් සිතන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම දැන් සිතාගත හැකිය. පව්කාරයාට, අසෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නාට මේ ධර්මතාවයන් දැන ගන්නට හෝ දැක ගන්නට හෝ ලැබෙන්නේද නැත.

මේ පරම සත්‍යයන් මතුකර ප‍්‍රකාශ කර, ලෝකයාට හෙළිකර මා කළේ වරදක් යැයි සිතන සමහර පෘථග්ජන පුද්ගලයෝද අද සමාජයේත් අප අතරම වාසය කරති. මගඵල ලබාගන්නට නොහැකි අයුරින් බෞද්ධ ලෝකයාට නිවන් මාර්ගය වසා අහුරා දමා තිබු යුගය දැන් අවසානය. සියලුම බාධක දැන් ඉවත්කර මග පිරිසිදු ලෙසින්ම විවෘත කර ඇති බව ප‍්‍රකාශ කරන්නේ සද්ධාවන්ත කුලපුත‍්‍රයින්ට මිස නිවන් දකින්නට තරම් පෙර පිං නොකළ එවන් අඥාන පුද්ගලයින්ට නම් නොවේ.

මේ ධර්මය අඥාන දුප්පඤ්ඤස්ස පුද්ගලයාට නම් නොවේ, ප‍්‍රඥාවන්තයාට පමණක්ම යැයි බුදු පියාණන් එදා දේශනා කර වදාළ උතුම් පාඨය යළිත් සිහිපත් කරවමින් මේ පොත කියවා අවබෝධයක් ලබාගත නොහැකි නම් ඔබ තවමත් සංසාර ගැටළුවට මැදී වී සංසාර සාගරයේ අතරමං වී මිරිඟුවක් පසුපස දුවන ලාභයෙන් පිපාසිත පුද්ගලයෙකු ලෙසින් කි‍්‍රයා කරන අතෘප්ත කර මිනිසෙකු බවත් සිහිපත් කරගන්නා ලෙසින් මේ උතුම් ධර්ම ප‍්‍රකාශයන්ට විරුද්ධ වන කොයි කාටත් මෛති‍්‍රයෙන් හා කරුණාවෙන් මතක් කර දීමට කැමැත්තෙමි.

– නිමි –

Share Button