සිරි සම්බුදු, සිරි සත් ධර්මය හා සිරිලක් දෙරණ

අප උපන් මේ සිරිලක් දෙරණෙහිම උපත ලබා, බුද්ධත්වයට පත් වූ එමෙන්ම සිරි සත් ධර්මයද දේශනා කළ ගෞතම බුදුපියාණන් ජීවත් වූ ඒ අතීත යුගයේදී මේ හෙළ බිමේම ජීවත් වූ පොදු මහජනයා මෙන්ම රජ සිටුවරුන්ද ගෞතම බුදුපියාණන් වහන්සේ හැඳින්වීම සඳහා භාවිතා කරන ලද ගෞරවනීය විශේෂණ නාමයක් විය. ඒ නාමය නම් “සිරි” යන නාමයයි.

සිරි දළදා සමිඳු සිරි දන්තධාතුන් වහන්සේ, සිරි දළදා, සිරි මහ බෝ සමිඳු, සිරි මහ බෝ අංකුර, සිරි මා බෝ දක්ෂිණ ශාඛාව, බුදු සිරි පතුල, සිරි පා සමනොළ, සිරි පා, බුදු සිරිපා, සිරි දෙස්ම, සිරි සත් ධර්මය, සිරි වරුණ, සිරි මළුව මහ සිරි සඟ ගණ සිරි ලක් බිම, සිරිලක් දේශය, සිරි දේශය, සිරි ලංකා, සිරි සඟ මොක්, සිරි නිවන්, සිරි සැප.”

මේ ආකාරයෙන් හැම යෙදුමකම “සිරි” යන විශේෂණ නාමය භාවිතා කළේ ගෞතම බුදුන්ට, ගෞතම බුද්ධ ධර්මයට, ගෞතම බුදුන්ගේ ශාරිරික ධාතූන්ට, පාරිභෝගික හා උද්දේශික වස්තුන්ට මෙන්ම ගෞතම බුදුන් වැඩ සිටි මේ දීපය හඳුන්වන්නටම බව හැම විටකම ආදී හෙළයන්ගේ බස් වහරෙහි භාවිතා කළ මෙවන් විශේෂණ පද වලින් පැහැදිලි වෙයි.

“ගෞතම සිරි පාද වඳීම් සමනොළ කන්දේ”

යනුවෙන් අතීතයේ මෙන්ම අදත් හෙළදිව බෞද්ධයා සමනොළ සිරිපා වඳින්නට යන බව කවුරුත් දන්නා දෙයකි.

බුදු සිරි පතුළ බුදු සිරි පා, සමනොළ සිරි පා, සිරි පාද කන්ද ආදී පදවලින් එදා හෙළබිම බෞද්ධයා “සිරි” යන විශේෂණ පදයෙන් හැඳින්වුයේ ගෞතම බුදු පියාණන් වහන්සේටමය.

”චක්කවරංකිත රත්ත සුපාදෝ” ආදී වශයෙන් එදා ගාථාවන් පද බැඳ බුදු සිරි පාද පද්මයෙහි තිබු එකසිය අටක් වූ විශේෂ ලක්ෂණ සිහිපත් කරමින් වන්දනා මාන කරගත්තේ මේ රටේම වැඩවාසය කළ ගෞතම බුදු පියාණන් වහන්සේගේම සිරි පාද පද්මයන්ටමය.

ගෞතම බුදු පියාණන් වසර හතළිස් පහක් පුරාවටම දේශනා කළ උතුම් බුද්ධ ධර්මය සිරි සද්ධර්මය “සිරි දෙස්ම” යනුවෙන් එදා අතීත හෙළ පොත්පත් වල සඳහන් වීය. සිරි සදහම් මඟ ආදී වශයෙන් අදටත් හෙළබිම බෞද්ධයෝ “සිරි” යන විශේෂණ පදය බුද්ධ ධර්මයටත් භාවිතා කරති.

සිරි මහ බෝ සමිඳු, සිරි මහ බෝ අංකුර, ජයසිරි මහ බෝධිය, අනුරපුර ජය සිරි මහ බෝධිය ආදී වශයෙන් අදටත්, “සිරි” යන විශේෂණ පදයෙන් ඇසතු බෝධිය හඳුන්වනු ලැබේ. එදා ගෞතම බුදුපියාණන්ට ඒ උතුම් බුද්ධ තත්ත්වයට පත් වීමේදී පිට දීමට උපකාර වූ ඇසතු ගසට පසු කලකදී හෙළබිම වැසියෝ සිරි මහ බෝධීන් වහන්සේ යන ගෞරව නාමයෙන් ආමන්ත‍්‍රණය කළේ බුදුන් සිහිපත් කරන්නටමය. එතෙක් කාලයක් ඇසතු ගස ලෙසින් ලෝකයා හැඳින්වු වෘක්ෂය මින් මතුවට සිරි මහ බෝධීන් වහන්සේ බවට පත් විය.

වසර 2600 කට පෙර ගෞතම බුදුන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ උතුම් ජයසිරි මහ බෝධීන් වහන්සේ පිහිටි ගමේ නමද මේ ආකාරයටම වෙනස් විය.

සිරි වැඩඋන්න ගම” යනුවෙන් මෙම ගමට එදා අලුතින් නමක් ආරෝපනය කර භාවිතා කළ අතර එය අදවන විට “සිරි වැඩ උන්න ගම” හිරිවඩුන්න ගම ලෙසින් ව්‍යවහාරයට පත්ව කටවහරට පුරුදු කරගෙන ඇත. මේ ගමේ නියම නිවැරදි නම “සිරි වැඩ උන්න” ගම යන්නයි. ගෞතම බුදුපියාණන් වහන්සේගේ ශාරිරික ධාතු හා කේස ධාතුන් තැන්පත් කර ඉදි කළ වෙහෙර විහාර ධාතු මන්දිර සියල්ලටමත් “සිරි දළදා මැදුර, සිරි දන්ත ධාතු මන්දිර, සිරි දළදා කරඬුව, සිරි ලලාට ධාතුව ආදී වශයෙන් හෙළබිම වැසියෝ අදත් සිරි නමින් නම් කරති.

ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත්වී නොබෝ දිනකින්ම තපස්සු භල්ලුක නම් වෙළඳ දෙබෑයන්ට ලබා දුන් කේස ධාතුන් වහන්සේලා තැන්පත් කර ඔවුන් විසින් එදා ඉදි කරන ලද සෑය අද “ගිරිහඬු සෑය” යැයි නම්විය. එය ඉදි කළ ස්ථානය අද තිරියාය නමින් නම් කර ඇත.

එදා මුල්ම යුගයේ මෙම සෑය “සිරි හඬු සෑය” යන නමින් නම් කර තිබුණි. “සිරි හඬු සෑය” යනුවෙන් මේ සෑයට එදා නම් කළේ ගෞතම බුදුන්ගේම කේස ධාතු වලට “සිරි හඬු” යන නම එදා භාවිතා කළ බැවිනි. එදා මේ සිරි හඬු තැන්පත් කළ ප‍්‍රදේශය “සිරි යාය” නමින් නම් කර තිබිණි. සිරි හඬු සෑය, ගිරි හඬු සෑය බවටත්, සිරි යාය, තිරියාය බවටත් භාවිතයෙන්ම වෙනස් විය. එදා ඈත අතීතයේ හෙළබිම වැසියෝ බුදුගුණ වර්ණනාව ”සිරි වරුණ” ලෙසින්ද බුදුන්ට වැඳුම් පිදුම් කළ තැන ”සිරි මළුව” ලෙසින්ද ඒ පිළිවෙත් බුදු සිරිත් ලෙසින්ද නම් කර භාවිතා කරන්නට පටන්ගත්හ.

මේ අනුවම එදා ගෞතම බුදුන් ජීවත් වූ රට,බුදු බණ දේශනා කළ දේශය, දීපය සිරි ලක්බිම, සිරි දේශය යනුවෙන්ද භාවිත වීම සිදුවිය. මේ සිරිලක, එසිරිලක, එසිරිබර මෙසිරිලක සිරිලක් දෙරණ ආදී වශයෙන් “සිරි” යන විශේෂණ පදය යොදා සිරි ලංකාව යන මේ නම අප රටට මෙසේ භාවිතයට ලැබුණේ ගෞතම බුදුන් වහන්සේ නිසාමය. ගෞතම බුදුන් මේ දීපයේ උපන් නිසාමය. මේ රටේදීම බුද්ධත්වයට පත් වු නිසාමය. මේ දීපය බුද්ධ දේශය බව කියා පාන්නටම “සිරි දේශය” ලෙසින්ද එදා මේ නම භාවිතා කරන ලදී. “සිරි දේසේ වැසියෝ කිපී” යැයි පැරණි හෙළ කවියක්ද ඇත. මේ අනුව අපේ හෙළදිවයිනට ගෞතම බුදුන්ගේ බුද්ධත්වයට පත්වීම නම් උතුම් සිදුවීමත් සමගම “සිරි දේශය, සිරි ලක් දෙරණ, සිරි ලංකා යන නාමයන් ගෙන් විශේෂණ පදයක්ද සහිතව එදා ලෝකයා පොත පතෙහි පවා ලියා තැබු බව පෙනේ.

පසු කලෙක “සිරි” යන උතුම් නාමය ”ශ්‍රී” යන සංස්කෘත පදය (වචනය) හා පටලවා ගෙන සංස්කෘත සුන්ගාරාත්මක බලපෑම නිසාවෙන් සිරි ලංකා, සිරි දේශය යන්න ශ්‍රී ලංකා යැයි නම් කෙරිණි. මේ රට සිරි ලක්බිම, සිරි දේශය, සිරි ලක් දෙරණ මිස ශ්‍රී ලංකා නොවේ. “සිරි” යනුවෙන් විශේෂයෙන්ම මේ රටට එදා භාවිතා කළේ ගෞතම බුදුන්ට සත් වරක් පූජාකළ මේ දීපයේ මේ දේශයේ ඇති සම්බන්ධය පෙන්වීම සඳහාම කළ පැරණි අර්ථ ගැන්වීමක් නිසා මිස මෙය අහම්බෙන් ලැබුණු නාමයක් නිසා නොවන බව අවධාරණයෙන්ම සිරි ලක් බිම වැසියන් සිහිපත් කරගත යුතුය. දැනගත යුතුය.

නිවැරදි හෙළ වහර “සිරි” යන්න මිස ශ්‍රී යන්න නොවේ. “සිරි ධම්මාලංකාර” යන නාමයද මේ අනුවම ධර්මතාවයෙන්ම ලැබුණු අර්ථ ධර්ම සහිත වූ විශේෂණ නාමයකි. සිරි සද්ධර්මය මතුකර, ලෝකයාට දේශනා කරමින් පෘථග්ජන ලෝකයාගේ දහම් පවස නිවා දමන්නට, සංසාර ගැටළුවෙන් ලෝකයා මුදවාලන්නට මඟ කියා දෙන්නට බුද්ධ ධර්මය දේශනා කිරීම “සිරි ධම්මාලංකාර” යන නාමයේ ධර්ම අර්ථයයි. අද මේ ආකාරයෙන් ඉටු කරනු ලබන මේ යුග මෙහෙවර සිරි සත් ධර්මය දේශනා කර සිරි සඟ මොක් සඳහා මඟ විවෘත කරදීමයි. මෙහි වෙනත් ලෞකික පරමාර්ථයක් ඇත්තේම නැත.

මේ අනුසාරයෙන් පැහැදිලි කර දෙන්නේ එදා අතීතයේ මේ හෙළබිම ජීවත් වූ බෞද්ධයින් ගෞතම බුදුපියාණන්ට මෙන්ම ගෞතම බුදු පියාණන් දේශනා කළ ධර්මයට, උද්දේසික පාරිභෝගික හා ශාරිරික ධාතුන් වහන්සේලාට සිරි යන නම භාවිතා කළ ආකාරයයි. මේ අනුවම සිරිලක් බිම යන නමද මේ හෙළබිමට භාවිතා කෙරිණි. ලෝකයේ වෙනත් කිසිම රටකට “සිරි” යන නම මේ අර්ථයෙන් භාවිතා වන්නේද නැත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button