චක්‍රවර්තී රාජ සංකල්පය හා සක්විති රජ පරපුර

චක‍්‍රවර්ති රාජ සංකල්පය පිළිබඳව කරුණු ලියැවී ඇත්තේ ලංකාවේදීම එදා ලියු ති‍්‍රපිටකයේය. චක්කවත්ති සිහනාද සූත‍්‍රය, චක්කවත්ති සූත‍්‍රය ආදී සූත‍්‍ර කිහිපයකම වක‍්‍රවර්ති රජුන් පිළිබඳව තොරතුරු ති‍්‍රපිටකයේ ලියැවී ඇත. මීට අමතරව බුද්ධ චරිතයේත් මේ පිළිබඳවම සටහන් වී ඇත.

බුදු සිරිතේ එන සිදුහත් කුමාරෝත්පත්තිය සිදු වීමෙන් පසුව නම් තබන්නට අසිත තවුසා ඇතුළු අභිඥාලාභී තවුසන් රජ ගෙදරට කැඳවා කුමරු පෙන්වූ කළ ”මෙම කුමාරයා මතු සක්විති රජු වන්නේය. එසේ නැති නම් බුදු වන්නේය” යන ප‍්‍රකාශය තවුසන් බොහෝමයකගේ මතය විය. මේ ප‍්‍රකාශය කරන තවුසන් අභිඥා ලත් අය නිසා මෙම ප‍්‍රකාශය තුළින් ගම්‍ය වන එක් සත්‍යයක් අපට මතුකර ගත හැකිය.

මේ සත්‍යය නම් ලොව්තුරා බුදු කෙනෙකු බුදු වන්නේ නම් ඒ යුගයේදී සක්විති රජකෙනෙකු රජනොවන බවත් සක්විති රජ කෙනෙකු රාජ්‍යත්වයට පත්වන්නේ නම් ඒ යුගයේදී බුදු කෙනෙකු බුද්ධත්වයට පත් නොවන බවත්ය. මේ සිදුවීම් දෙකම, එනම්, බුදුන් බුද්ධත්වයට පත්වීමත්, රජකෙනෙකු සක්විති රජ බවට පත්වීමත් යන දෙකම එක යුගයක, එකට සමගාමිව සිදු නොවන අභව්‍යයදෙයකි යන්නයි.

මේ මඟින් ඔප්පුවන අනෙක් සත්‍යය නම් සියලුම බුදුවරුන් බුදු වන මේ හෙළ බිමේම මිස මේ මිහිතලය මත වෙනත් කිසිම තැනක රටක චක‍්‍රවර්ති රජ කෙනෙකුන් උපත ලබන්නේද, රජ කරන්නේද නැත යන්නයි.

තවත් එක වැදගත් කරුණක් මෙහිදී පෙන්වා දිය හැකිය. චක්කවත්ති සිහනාද සූත‍්‍රයේ පෙන්වා දෙන පරිදි චක‍්‍රවර්ති රාජ සමයක ඒ චක‍්‍රවර්ති රජවරු දසරාජ ධර්මයෙන්ම රාජ්‍යය කරවති. මහජනයා බහුතරයක්ද ධර්මානුකූලවම තම දිවිපැවැත්ම ගෙන යති. රජු සාධාරණය. පාලකයෝ සාධාරණය. ඒ නිසා මිනිසුන්ට පව්කම් කරන්නට කිසිම අවශ්‍යතාවයක්ද නැත. පින්කම් කරගන්නට හැකි සෑම පරිසරයක්ම සෑම අතින්ම එහිදී සකස් වෙයි. නමුත් පින්කම් කරමින් සැප සම්පත් විඳිමින් දිගුකල් ජීවත් වන පෘථග්ජන මිනිසුන්ට දුක අවබෝධ කරගන්නට අවස්ථාවක් එහිදී නොලැබෙයි. ඒ නිසා පින්කම් මිසක් කුසල් කර, කුසලස්ස උපසම්පදා කරගැනීමට මිනිසුන්ට දැනීමක් ලබාගන්නට ක‍්‍රමයක් චක‍්‍රවර්ති රජෙකුගේ පාලන යුගයේදී නැති වෙයි. මෙවන් යුගයක නිවන් අවබෝධ කරගන්නට මිනිසුන්ට ක‍්‍රමයක් හෝ හැකියාවක්ද නැත. නිවන් දැකගැනීමේ අවශ්‍යතාවයක් ඇත්තේද නැත. ඊට හේතුව දුක අල්පවීමයි. දුක අවම වීමයි. සමාජය යහපත්ය. අග හිඟකම් නැත. රජු සර්ව සාධාරණය. දස රාජ ධර්මයම රකින රජු අනුගමනය කරන සියලුම ඇමතිවරු හා රට වැසියෝද දස අකුසලයෙන්ම වැළකී පින්කම් කරමින් පින් පුරමින් දිගු කල් වාසය කර මිය පරලොව යති.

චක‍්‍රවර්ති රජවරුන් රාජ්‍යය කරන සමය මෙසේ පින් පුරාගත්, මතු නිවන් දැක ගන්නට තරම් වාසනාව ලැබූ දෙව් මිනිසුන් බොහෝ කොට බිහිවන යුගයක් නිසා ඉන් පසුව එළඹෙන යුගය නියත වශයෙන්ම බුදු කෙනෙකුගේ උපතක් ලබන බුද්ධ කල්පයක්ද වන්නේමය. චක‍්‍රවර්ති රාජ සමයකදී මිනිසුන්ට හෝ දෙවියන්ට හෝ නිවන් දැක ගන්නට ක‍්‍රමයක්ද නැත. කුසල් යනු කුමක්දැයි දන්නා කුසල් හඳුනන කෙනෙකුද එහි නැත. දහම්සොඬ ජාතකයේ ද මේ පුවත සඳහන්ව ඇත. පසේ බුදුවරයෙකුට මිස වෙනත් කිසිම කෙනෙකුට මෙවන් යුගයකදී නිවන් දැකගන්නට ද නොහැකිය.

මේ අනුව ලොව්තුරු බුදු කෙනෙකු බුද්ධත්වයට පත්වන බුද්ධ කල්පයකට පෙර – බුදු කෙනෙකුන්ගේ උපත ලබන්නට පෙර හැම විටම සක්විති රජ පරපුරක් බිහි වී රජ වී නිවන් දකින්නට තරම් බලවත් පින්කම් කරගත් පින්පිරූ විශාල මිනිසුන් දෙවියන් සමූහයක් සකස් වී බිහි වීමද ධර්මතාවයෙන්ම සිදුවිය යුතුමය. මෙය පුබ්බේත කථ පුඤ්ඤතා යුගය වේ.

මේ සියලු දේම සිදු වන්නේත් මේ හෙළබිම තුළදීමය. අතීතයේ සියලු බුදුපියාණන් වහන්සේලා බුද්ධත්වයට පත් වුයේත් අතීතයේ සියලු චක‍්‍රවර්ති රජවරුන් රජකම් කළේත්, මේ හෙළදීපය, ලෝකෙන්ම උතුම් රට මූලස්ථානය කරගෙනමය. ඉන්දියාවේ හෝ ලෝකයේ වෙනත් කිසිම රටක හෝ මෙවන් උත්තම සිදුවීම් සිද්ධවීමට නම් අවකාශයක් නැත්තේමය. එවන් විශ්ව ශක්තියක් කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ මිහිතලයේ මධ්‍ය ලක්ෂය වූ හෙළදීපය නමින් මේ යුගයේදී අප හඳුන්වන අප උපන් අපේම ජන්බුද්වීපයෙහිමය. සිරි ලක්බිමෙහිමය.

බුද්ධ සාහිත්‍යයේ ති‍්‍රපිටක සාහිත්‍යයේ කේතුමතී නම් රාජධානියක් මතු බිහි වන බව සඳහන්ව ඇත. ඒ ගැන බොහෝ විස්තරද තොරතුරුද අප අසා දැනගෙන ඇත. මේ බුද්ධ කල්පය, එනම් ගෞතම බුද්ධ ශාසනය, අවසන් වී වසර (111) එකසිය එකොළහ කට පසුව මේ හෙළ බිමේම කේතු නමින් රජ පරපුරක් බිහි වී දසරාජ ධර්මයෙන් රජකම් කරන චක‍්‍රවර්ති රජවරුන් ලොව රජකරන්නට පටන් ගන්නා යුගයක් මතු එන්නේය.

ගෞතම බුද්ධ ශාසනය ජීවමානව පවතින තුරු, කුසල් පුරාගෙන නිවන් අවබෝධ කරගන්නට මාර්ගය ජීවමානව පවතින තුරු, (මේ යුගය පණ දහසක් (චතුරාර්ය සත්‍යයන් පණ පවතින යුගය) යැයි ති‍්‍රපිටකයේ සඳහන්ව ඇත.) එනම් එදා ඉසින්බැස්ස ගල ඉසිපතනාරාමයේදී ගෞතම බුදුපියාණන් පැවැත් වූ ධර්ම චක‍්‍රයේ බලය (පණ) පවත්වන තුරාවට දෙවි මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නටත් හැකිවෙයි. ඒ ගෞතම බුදු පියාණන් එදා පැවැත් වූ ධර්ම චක‍්‍රය පවත්වා ලොවට නිකුත් කළ බුද්ධ ශක්තිය අවසන් වූ විට ඉන් පසුව එන යුගය කළි යුගයක් වන්නේය. කළියුගය යනු කෙළෙස් සහිත වූ මිනිසුන්ගෙන් පිරි පව්කම් කරන මිනිසුන් බහුල යුගයක්ය යන්නයි. කළියුගයට ඊට පසුව කල්ප විනාසයත් නැවතත් චක‍්‍රවර්ති රාජ යුගයත් බිහිවෙයි.

මේ අනුව සෑම ලොව්තුරා බුදු කෙනෙකුගේම බුද්ධත්වය ලබන්නට පෙර යුගය චක‍්‍රවර්ති රාජ යුගයක් වීමද නියත වශයෙන්ම ධර්මතාවයෙන්ම සිද්ධ වන්නකි.

මෛති‍්‍රය බුදුන් බුද්ධත්වයට පත්වන්නට පෙර කේතු නම් චක‍්‍රවර්ති රජ පරපුරක් මතු මේ හෙළබිමේ රජකම් කරන්නේය. මෙහිදී රජවරුන් 7 දෙනෙක්ම චක‍්‍රවර්ති රජවරුන් ලෙසින් ධාර්මිකව රජකම් කර මිනිසුන්ට පිං පුරාගන්නට, පිංකම් කරගන්නට අවස්ථාව ලබා දෙති. ඉන් පසුව චක‍්‍රවර්ති රජ පරපුර අවසන් වී වසර 99 කට පසුව, මෛති‍්‍ර බුදු පියාණන්ගේ බුද්ධත්වයට පත් වීමද සිදු වන්නේය.

ගෞතම බුදු පියාණන් බුද්ධත්වයට පත් වන්නට පෙර යුගයේ මේ හෙළ බිමේම රාවණා නමින් චක‍්‍රවර්ති රාවණ රජුන් 7 දෙනෙකුම රජ කලේය. එම රාජ්‍ය කාලය අවසන් වීමෙන් පසුව චක‍්‍රවර්ති බලශක්තිය අහිමි වී ගිය 8 වැනි රාවණ රජු රාමායනයේ සඳහන් වන අද අප දන්නා රාවණා රජුය. බොහෝ තෙරතුරු රාමායනයේද සඳහන් වන මෙම රාවණා රජතුමාද චක‍්‍රවර්ති පරපුරේම කෙනෙකි. නමුත් චක‍්‍රවර්ති බලතල සියල්ලම අහෝසී වී ගිය රාවණා රජ කෙනෙකු හා රාම නම් ඉන්දීය රජ කෙනෙකු අතරත් යුද්ධය ඇතිවිය. චක‍්‍රවර්ති රජ කෙනෙකුට යුද්ධ කර බලය පා රටවල් දිනාගැනීමක් අවශ්‍ය නොවේ. චක‍්‍ර රත්නය භාවිතා කර ධර්මතාවයෙන්ම ලොව සියලු රටවල් හා රජවරුන්ද තම පාලනයට ධර්මතාවයෙන්ම අවනත කර ගැනීමේ හැකියාවක් හා බලයක් චක‍්‍රවර්ති රජුන් සතුව පවති. ලංකාවේ අප අසා ඇති රාමායනයේද සඳහන් වන අද බොහෝ දෙනාගේ වාද විවාද වලට භාජනය වූ 8 වැනි රාවණා රජු, අන්තිම හත්වැනි චක‍්‍රවර්ති රාවණා රජුට පසුව රජු වූ ඔහුගේම පුත‍්‍රයාය. දස රාජ ධර්මයන් බිඳීම නිසා ඔහුට චක‍්‍රවර්ති බලය හා සක්විති රජකම අහිමි විය. ඔහු සාමාන්‍ය පාරම්පරික රජ කෙනෙක් පමණි. මේ අනුව රාම – රාවණා පුවතේ සඳහන් වන රාවණා රජු සක්විති පරපුරටම අයත් සාමාන්‍යය රජ කෙනෙකි.

ගෞතම බුදුන් බුද්ධත්වයට පත්වන්නට වසර 242 කට පෙර යුගයක මේ හෙළබිමේම ඒ අවසන් චක‍්‍රවර්ති රාවණා රජු රජකම් කළේය. මේ ආකාරයට රාවණ පරම්පරාවටම අයත් වූ චක‍්‍රවර්ති රජවරු 7 දෙනෙක්ම මේ හෙළබිම දීර්ඝ කාලයක් රජ කරමින ගෞතම බුද්ධ ශාසනයේදී නිවන් දැක ගන්නට තරම් පිංකම් කරගන්නටත් විශාල පිරිසකට අවස්ථාවක් සලසා දුන්හ.

කාශ්‍යප බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ යුගයේ දී මෙම ජන්බුද්වීපයම මංඩදීපය නමින් හැඳින්විය. මංඩදීපයේ කාශ්‍යප බුදුපියාණන් බුද්ධත්වයට පත්වන්නට පෙර ”තාරක” නමින් චක‍්‍රවර්ති රජවරු 14 දෙනෙක්ම අති දීර්ඝ කාලයක් රජකම් කළහ. කාශ්‍යප බුදුපියාණන්ගේ යුගයේදී බොහෝ දෙව් මිනිසුන්ට නිවන් දැක ගන්නට අවස්ථාව ලැබුණේ අතිදීර්ඝ කාලයක් තුළ පිංපිරූ මිනිසුන් බිහිවීමේ හේතුව නිසාමය.

මේ ආකාරයෙන්ම කෝණාගම බුදුපියාණන් බුද්ධත්වයට පත්වන්නට පෙර යුගයේදී ”බලි” නමින් චක‍්‍රවර්ති රජ පරපුරක් මේ ජන්බුද්වීපය තුළම සක්විති රජකම් කළහ. එකල මේ දීපය ඔජ දීපය නමින් විය. බලි චක‍්‍රවර්ති රජවරු 7 දෙනෙක්ම ඒ යුගයේදීද රජකම් කළහ.

කකුසඳ බුදුන් බුද්ධත්වයට පත්වන්නට පෙර යුගයේදී මේ දීපය වර දීපය නමින් හැඳින්වීය. ”මන්දාතු” නමින් සක්විති රජවරුන් 5 දෙනෙකු ඊට පෙර යුගයේදී රජකම් කළ බවද පෙන්වා දිය යුතුය.

මෛති‍්‍ර බුදුපියාණන් මතු බුද්ධත්වයට පත්වීමෙන් පසුව එන යුගයේදී මේ හෙළ බිමේ චක‍්‍රවර්ති රජ පරපුරක් බිහි නොවන නිසා ධර්මය විනාශ වී අධර්මයම රජයන්නටම පටන් ගනී. මේ නිසා මේ යුගය අවසානයේ ලෝක විනාශයක් සිදු වන්නටම සියලු මිනිසුන් අධර්මයෙන්ම කි‍්‍රයා කරන යුගයක් බවටත් පත්වෙයි. ලෝක විනාශයෙන් පසුව නැවත සත්ව වාසය සඳහා නුසුදුසු තත්ත්වයට මේ මිහිතලය පත් වීම සිදුවන නිසා මහා භද්‍ර කල්පයක් පුරාවටම මේ මිහිතලය මත බුදු කෙනෙකුන් බුද්ධත්වයට පත් වීමක් සිදු වන්නේද නැත.

හිමි මහා සම්මත රජ පරම්පරාවෙන් ආරම්භ වූ මෙම මහා භද්‍ර කල්පය මෛතී‍්‍ර බුදුන්ගේ බුදු වීමත් සමගම උදාවන බුද්ධ කල්පයද අවසන් වීයාමත් සමඟම ටික කලකින්ම අබුද්ධෝත්පාද කාලයද අවසන් වී ලෝක විනාශය වීමද සිදුවන්නේය. මහා වංශයේ පළමුවන පරිච්ඡේදයේද මේ බව සඳහන් වෙයි.

අප උපන් මේ හෙළ බිමේ හැර මේ මිහිතලය මත වෙනත් කිසිම රටක, වෙනත් කිසිම දීපයක සක්විති රජ කෙනෙකුගේ රජවීම හෝ බුදු කෙනෙකුගේ බුද්ධත්වයට පත්වීම හෝ සිද්ධ වීමක්ද නොවන්නේය. මිහිතලයේ මධ්‍ය මණ්ඩලය, එනම් පෘථිවියේ මධ්‍ය ලක්ෂයේ යහපත් කෙළවර පිහිටා ඇත්තේ මේ අප උපන් හෙළ බිමේය. එහි අයහපත් අන්තය. කෙළවර පිහිටා ඇත්තේ බර්මියුඩා ති‍්‍රකෝණය නමින් අද ලෝකයා හඳුන්වන අනික් කෙළවරේය. මේ නිසාම මේ දීපය, මේ රට, ලෝකෙන්ම උතුම් රට, පෙරදිග මුතු ඇටය, රත්න දීපය, ජන්බුද්වීපය, ධර්ම දීපය ආදී විවිධ විශේෂණ පදවලින් අතීතයේ පටන්ම ලෝකයා හඳුන්වාදී ඇත.

සක්විති රජවරුන්ගේ ගති ලක්ෂණයන් හා බලයන් ගැන ති‍්‍රපිටකයේ චක්කවත්ති සිහනාද සූත‍්‍රයේ විස්තර වශයෙන්ම කරුණු සඳහන් කර ඇත. බෞද්ධ ති‍්‍රපිටක සාහිත්‍යයේ හැර ලෝකයේ වෙනත් කිසිම ඓතිහාසික පොතක, පතක සාහිත්‍යයක හෝ චක‍්‍රවර්ති රජුන් ගැන සඳහන් වන්නේ නැත. ”සක්විති රජු” යනු බුද්ධෝත්පාද කාලයක් නොවන අබුද්ධෝත්පාද කාලයකදීම රජකම් කරන, දසරාජ ධර්මයම අනුගමනය කරන, අනාර්ය ධ්‍යානයන් හා අභිඥා බලයන් ලබාගත් අති උසස් මානසික ශක්තියකින් හා චක‍්‍රරත්නය, හත්ථි රත්නය, අස්ස රත්නය, මණිරත්නය, ඉත්ථිරත්නය, ගහපති රත්නය හා පරිනායක රත්නය යන රත්න හතක් හිමිකර ගත් රජ කෙනෙකි. මෙවන් යුගයක සතර සති පට්ඨානය, සත්ත බොජ්ජංග අට්ඨාංගික මාර්ගය යනාදිය සම්පූර්ණ කරගන්නට අවශ්‍ය දැනුම, ප‍්‍රඥාව, මිනිසුන්ට ලබාගත නොහැකිය. මේවා ගැන ඇසු පිරූ තැන් ඇති අයද රටේ ලෝකයේ නැත. මේ යුගය හැම කෙනෙකුන්ම ලෞකික සුවයන් විඳිමින්, පින්කම් කරමින් සුවසේ කාලය ගෙවන යුගයකි.

වර්තමානයේ ලෝකය තුළ සිදු වන්නාක් මෙන් මිනිසුන් තලා, පෙලා, යුද්ධ කරමින්, දැඩි නීති රීති පනවා, වෛරී සිතින්, අධර්මයෙන් රටවල් යටත් කර ගැනීමක් හෝ අධිරාජ්‍යයන් බිහි කිරීමක් හෝ චක‍්‍රවර්ති රාජ්‍යයක ගති ලක්ෂණ නොවේ. සියලු සැප සම්පත් ලැබෙන්නේ ධර්මතාවයෙන්මය. චක‍්‍රරත්නය කි‍්‍රයාත්මක වීමෙන් ධර්මතාවයෙන්ම සියලු රටවල්, සියලු රජවරු, චක‍්‍රවර්ති රජුගේ අනසකට අවනත වෙයි. කිසිවෙකු චක‍්‍රවර්ති රජ කෙනෙකුට විරුද්ධ වීමට පවා නොසිතති. මෙවැනි ධාර්මික, උතුම් සක්විති රජවරු අතීතයේ මේ හෙළබිමේ රජකම් කළහ. ලෝකයම පාලනය කළහ. සක්විති – චක‍්‍රවර්ති – යන විරුදාවලිය, විරුදාවලි නාමය සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකු විසින් තම භාවිතයට යොදා ගත්තොත් ඒ පදයේ නාමයේ ඇති බලය දරන්නට නොහැකි ඒ පුද්ගලයා ඉමහත් දුක් ගැහැටට පත් වීමද නියත සිදු වීමකි. මේ අනුව චක‍්‍රවර්ති නාමය දැරීමට නම් දසරාජ ධර්මයෙන් හැසිරී ධර්මයේ බලය ලබාගත යුතුමය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.