මහාවංශය – ත්‍රිපිටකය හා බුද්ධ භාෂිතය

ගෞතම බුදුපියාණන් මාගධී බස් වහරෙන් වසර හතළිස් පහක් පුරාවටම මේ හෙළ බිමේදී ලෝකයාට දේශනා කර වදාළ බුද්ධ ධර්මය පේළි වශයෙන් පෙළ ගස්වා කටවහරෙන් වන පොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්නට සුදුසු ලෙසින් සකස් කරන ලද්දේ උන්වහන්සේ ජීවමානවම වැඩ සිටි යුගයේදීමය. අසුමහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින්ම ඒ වෙනුවෙන්ම කි‍්‍රයා කළ මහා කස්සප මහ රහතන් වහන්සේ, ආනන්ද රහතන් වහන්සේ ආදී පිරිසක් එදා මේ දහම් පෙළ ගස්වා පවත්වාගෙන ආවෝය.

පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීමේ ඓතිහාසික පුවත ලෝකයාට හෙළි දක්වන්නේත් මේ ලංකාවේදීම ලියු මහා වංශයේ තුන්වන පරිච්ඡේදයෙනි. මහා වංශය ලංකාවේදීම ලියු පොතක් බවත් සහතික නම්, එහි ලියා තැබුවේ ලංකාවේම ඉතිහාසය බවත් සහතික නම්, මහාවංශයේ ලියා දක්වන මේ පළමුවන ධර්ම සංගායනාව රජගහනුවරදී පැවැත්වීමේ කථා පුවතින් දක්වන්නේත් මහාවංශයේම නම්, මෙය මේ හෙළ බිමේදී, හෙළබිම (රජගල) රජගහනුරවදී සිද්ධ වුවක් බව ඕනෑම කෙනෙකුට තීරණය කළ හැකිය. මෙවන් සංගායනාවක් භාරත දේශයේ දී එදා පැවැත්වී නම් ඒ බව භාරතයේදී සමකාලිනව ලියු පොත් පත් වලද සඳහන් විය යුතුවම තිබිණි. නමුත් එසේ සඳහන් වී නැත. මෙම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා වැඩම කළ උගත් වියත් 500 ක් වු මහා අරහතුන් වහන්සේලා වැඩම කර වදාළේ රජගහනුවර රජගල ආශි‍්‍රතව එවකට පිහිටා තිබු විහාර ආරාම 28 කින් හා රුහුණේ සිතුල්පව්ව, මාලිගාවිල, දීඝවාපිය, කුඩිම්බිගල ආදී නම් වලින් අද ප‍්‍රචලිතව ඇති ආරඤ්ඤ සේනාසන වලින්ය. ඉන්දියාවේදී මෙවන් ධර්ම සංගායනාවක් පැවැත් වූ බව ප‍්‍රකාශ කිරීම මහා මුළාවකි.

කුසිනාරා නුවරදී (අද බුදුගලදී) ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවන් පෑම සිදු වී මාස තුනකින් පසුව රජගහ නුවරදී, අම්පාරේ රජගලදී පළමුවන ධර්ම සංගායනාව පැවැත්වූ බව අලුලෙනේදී ලේඛන ගත කළ ති‍්‍රපිටකයේද සඳහන් වේ. මේ අනුව ලංකාවේදීම ලියු මහාවංශය හා ති‍්‍රපිටකය යන පොත් දෙකකම සඳහන් වන මේ පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීමේ සිද්ධිය හෙළ බිමේදී සිදු වූ ඓතිහාසික සිද්ධියක් මිස ඉන්දියාවේ හෝ භාරතයේදී සිදු වූ දෙයක් ලෙස ප‍්‍රකාශ කිරීම අමනෝඥ කි‍්‍රයාවක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමි.

එවකට මගධ දේශයේ පාලකව සිටි අජාසත්ත රජ විසින් පළමු ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා සකස් කර දුන් සප්තපර්ණි ගුහාව හා පරිවාර ගුහාපෙළ මෙන්ම අරහතුන් වහන්සේලා 500 නමකට අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් සලසා දුන් ආකාරය අදටත් අම්පාරේ රජගලට යන ඕනෑම කෙනෙකුටත් දැක ගත හැකිය.

ධර්ම සංගායනාවකට සුදුසු සේ විශාල ගල් කුඩයක හැඩයට සකස්කර ගත් වටේටම වාඩි වී සැප පහසුවට අරහතුන් වහන්සේලාට වැඩ සිටිය හැකි සේ සකස් කළ මේ සප්තපර්ණී ගුහාව මේ හෙළබිම අදටත් දැකගන්නට හැකි විස්ම කර්ම නිර්මාණයකි. මෙය අදටත් දැක බලා ගත හැකි ආකාරයෙන්ම රජගල රැකී ආරක්ෂා වී පවතී.

මහාවංශය හා ති‍්‍රපිටකය ලිවීමෙන් වසර 800 කට පමණ පසුව ලියු බෝධිවංශය, ථූපවංශය, ධාතූවංශය මෙන්ම පොළොන්නරු යුගයේ ලියූ බොහොමයක්ම බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ වලද මේ සියලු දේ පිළිබඳවම අනුමාන වැරදි මත ප‍්‍රකාශ කර, මේ සියල්ලම ඉන්දියාවට පිටමං කිරීම කර ඇත්තේද අපේම රටේදී පොත් ලියු මධ්‍යකාලීන ගත්කතුවරුන් විසිනි. ඒ පෘථග්ජන පද පරම සත්‍යය නොදන්නා ගතියයි. පොළොන්නරු යුගයේ, දඹදෙණි යුගයේ, ගම්පල යුගයේ සිංහල හා පාලි පොත් ලියු හැම කතුවරයෙකුටම ඉන්දීය බලපෑම් මෙන්ම, මහායාන බුද්ධාගමේ බලපෑම්ද ඇතිවීම නිසා බුද්ධාගම හා බුද්ධ ධර්මය වෙන්කොට අවබෝධ කරගන්නට තරම් ඔවුන්ට ධර්මාවබෝධයක් නොවූ බවත්, එම යුගයේදී ලියු සුංගාරාත්මක වර්ණනාත්මක ලෞකික බෞද්ධ සාහිත්‍යය පොත් පත් වලින් මනාව පැහැදිලි වෙයි.

උතුම් බුද්ධ ධර්මය උපත ලැබුවේත්, එදා ජීවමානවම පැවතුණේත්, අද පවතින්නේත්, මතුවට පවතින්නේත් මේ උතුම් හෙළ බිමේම පමණක් බව මම නැවතත් අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර සිටිමි.

බමුණු මත දරන, බුද්ධාගම් ලේබලය ගසාගත් බොහෝ පදපරම පුද්ගලයින් උතුම් බුද්ධ ධර්මයේ පෙන්වා වදාළ පරම සත්‍යයන් යටපත් කරන්නට, වසා තබන්නට අදත් බලවත් සේම උත්සාහයක යෙදෙන බවද අවංකවම පෙන්වා දෙනු කැමැත්තෙමි. ඉදිරියටත් ඔවුන් මේ දේම කිරීමට ඉදිරිපත් වීමද පුදුමයට කරුණක්ද නොවේ. නමුත් සත්‍යය ජය ගැනීමටත් සියල්ල හෙළදරව් කරපෙන්වා දීමටත් අවස්ථාව හා කාලය දැන් එළඹි ඇත.

ගෞතම බුදුපියාණන් පිරිනිවන් පා වදාළ කාලයට පසුව වලගම්බා රජු දවස අලුලෙනේදී මේ උතුම් බුද්ධ ධර්මය ලේඛන ගත කිරීම දක්වාම වසර 400 කටත් වැඩි කාලයක් මේ ති‍්‍රපිටකය කට වහරෙන් වන පොත් කරගෙන කටින් කට පවත්වාගෙන එන ලද්දේ රජගල, සිතුල්පව්ව, කුඩුම්බිගල, දීඝවාපිය, බුදුගල හා හබුරුගල, මුල්කිරිගල ආදී රුහුණේ හා නැගෙනහිර මෙන්ම රටමැද පිහිටා තිබු හෙළ බිමේ ආරඤ්ඤ සේනාසන වල ජීවත් වු මගඵල ලාභි හෙළබිම භික්ෂු පරපුරක් විසිනි. භාරතයේදී මේ එකද ධර්ම වචනයක් වත් මේ අතීත යුගයේදී කටපාඩම් කරගෙන පවත්වාගෙන නොආවා පමණක් නොව අසා දැන ගෙනවත් සිටි කෙනෙකුන්ද නොසිටි බවත් අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර සිටිමි.

අනුරාධපුර මහා විහාරයේ පොත්ගුල් වල එදා තැන්පත් කර තිබු බෞද්ධ හෙළ හා පාලි පොත් පත් සියල්ලම ගිනිබත් කර පිරිසිදු බුද්ධ ධර්මය ලියා තිබු පොත් විනාශ කර දැමු පසුව හෙළබිම බෞද්ධයාට කියවන්නට පරිශීලනය කරන්නට ඉතිරි වුයේ මහායානික අභයගිරියේ ගබඩා කර ආරක්ෂා කරගත් බුද්ධඝෝෂ හිමියන් විසින් ලියු පොත් 17 ක් පමණි. අභයගිරි විහාරයේ ජීවත් වූ මහායානයට පක්ෂ වූ භික්ෂුන් වහන්සේලාත්, මහාවිහාරය විනාශ කළ එවකට රටේ රාජ්‍යය පාලනය කළ අභයගිරියට පක්ෂ වූ සිංහල රජුත් යන දෙකොටසම මහායානිකයන්ය. මේ හෙළ අටුවා පොත්පෙළ විනාශ කිරීමෙන් පසුව ආ යුගයේ දී හෙළබිමේ බෞද්ධ භික්ෂුන් හා රජදරුවන් බොහෝ දෙනෙකුමත් අගය කොට සැලකුවේත් බුද්ධ ධර්මය ලෙසින් සැලකුවේත් මේ මහායානික මත සහිත පොත්පත්ය. ති‍්‍රපිටකය ලියා තැන්පත් කර තිබුණේ අලුලෙනේය. අනුරාධපුරයේද එහි පිටපත් තැන්පත් කර තිබුණා නම් ඒවාද මහාවිහාරය ගිනි තැබීමේදී පිළිස්සී යන්නට ඇත. නමුත් අපේ වාසනාවට අලුලෙනේ තැන්පත් කර තිබු ති‍්‍රපිටකයේ මුල් පිටපත් සතුරන් අතට පත් වුයේ නැත. ඒවා ගිනිබත් නොවී දිගටම අලුතෙන් යළි යළිත් ලිය ලියා අද දක්වාම පවත්වාගෙන ඒමද සිදු වෙයි.

පසු කලෙක ති‍්‍රපිටකය සිංහලයට පරිවර්තනය කළ අපේ බොහෝ උගතුන් ති‍්‍රපිටකයේ සඳහන් මාගධී වචන වලට පදවලට අර්ථ දැක්වීමේදී උපකාර කරගත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේ ලෞකික ආගම් සංකල්ප සහිත වූ අර්ථ කථා පරිවර්තන වල එන අදහස් හෝ ඒ අර්ථ කථාවලටම පසු කාලයකදී ලියු ටීකා, ටිප්පනි සම්මත ආදී විග‍්‍රහයන්ය. මේ හේතුන් නිසා බුද්ධ ජයන්ති ති‍්‍රපිටක සම්පාදක මණ්ඩලයේ කටයුතු කළ උගත් භික්ෂුන් වහන්සේලාටත් බහුල ලෙසින්ම විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක පෙන්වා දුන් පතංජලී වාදයට යට වී සිංහලයට ති‍්‍රපිටක පොත් පරිවර්තනය කරන්නට සිදු වූ බවද පෙන්වා දිය යුතුය. මේ අතරම එදා ති‍්‍රපිටකය පරිවර්තනය කළ අපේ උගත් ස්වාමීන් වහන්සේලා සංස්කෘත භාෂා විශාරදයින් වීම හේතු කොට ගෙන මාගධී භාෂාව සිංහලයට පරිවර්තනය කිරීමේදී වචන සියයට 50කට වැඩියෙන් භාවිතා කර ඇත්තේ සංස්කෘත භාෂාවේ පදයන්ය. මේ විකෘති වීම් නිසා සිංහලයාට පිරිසිදු ති‍්‍රපිටක ධර්මය අවබෝධ කරගන්නට අද වන විට ඉමහත් අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති බවත් කනගාටුවෙන් වුවද ප‍්‍රකාශ කළ යුතුව තිබේ.

මාගධී භාෂාවෙන් කියවා, මාගධී භාෂාවෙන් ම ධර්මය සිතන්නට හැකි, ධර්මාවබෝධයක් ලැබූ උත්තමයා නියත වශයෙන්ම ආර්ය උත්තමයෙකු වන්නේය.

මේ අනුව අදින් වසර 2100 කට පමණ පෙර අතීත යුගයකදී, වලගම්බා රාජ්‍යය පාලන සමයේදී, හෙළබිමේ වැඩවිසු උගත්, වියත්, ධර්මධර මගඵල ලාභී භික්ෂුන් වහන්සේලා විසින් ති‍්‍රපිටක ග‍්‍රන්ථයන් ලෙසින් ලේඛන ගත කර එදා ලියා තැබු ධර්ම කාරණා අතරින් අපේ හෙළ ඉතිහාසයට අයත් බොහෝ නම් ගම් හා තොරතුරු මෙන්ම එදා මේ රටේ ජීවන රටාවද විවෘත කර, වෙන් කර සොයා දැනගන්නට, තේරුම් ගන්නට හැකි වන දිනය හා පිළිගන්නට සිදු වන දිනයද දැන් එළඹ තිබේ. ති‍්‍රපිටක ග‍්‍රන්ථ වල එන සියලුම නම් ගම්, රාජ්‍යයන්, රජවරුන්, සිටුවරුන්, මගඵල ලාභීන්, අරහතුන් වහන්සේලා මෙන්ම අතීත අනාගත වර්තමාන සිද්ධීන්ද මේ සිවු හෙළයටම සම්බන්ධ වූ දේවල් මිස ඉන්දියාවට හෝ මහා භාරතයට හෝ සම්බන්ධ වූ දේවල් නොවන බව අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර සිටිමි.

ගෞතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගය යැයි අපි අද සම්මතයෙන් පිළිගන්නා රාජ්‍ය වර්ෂ වලින් කි‍්‍ර.පු. 589-543 අතර කාලයේදී හෝ ඒ ආසන්නම කාලයකදී හෝ භාරතයේ දේශපාලනය මහා අවුල් වියවුල් සහිත ග‍්‍රීක හා පර්ෂියන් ආක‍්‍රමණ වලින් රට අවුලට පත් වූ බුදු කෙනෙකුට උපත ලබන්නට කිසි සේත්ම සුදුසු නොවු සාමයෙන් තොර වූ තත්ත්වයක භාරතය පැවති බව බෂාම් තුමාද තම ඉතිහාස පොතේ සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පමණ පසුව කාලයකදී අශෝක අධිරාජයා භාරත දේශය එක්සේසත් කරන තුරුම එහි මහා අවුල් වියවුල් සහිත අරාජික යුගයක් පැවතිණි. ඒ යුගයේ භාරතයේ දේශපාලනය ගැන කිසිම පොතක පතක හෝ ලියැවිල්ලක ලියැවී නොතිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි.

රිස් ඩෙවිස්, ජෝර්ජ් ටර්නර් ජේම්ස් පි‍්‍රන්සස්, එච්.සී.පී.බෙල් හා කොඩිරිංග්ටන් වැනි සුදු මහතුන් කළේ ලංකාවේ ලියා තිබු මහාවංශය, දීපවංශය, ති‍්‍රපිටකය වැනි පොත්වලින්ද පසු කාලීනව පොළොන්නරු දඹදෙණි යුගවල ලියු පොත් පත්වලින් ද කරුණු කියවා දැන ලබාගත් පටු හා වැරදි අවබෝධයකින් ඉතිහාසය ලිවීමයි. මෙසේ අනුමානයෙන් ලියූ ඉන්දීය ඉතිහාසයක් අද ඉන්දීය ඉතිහාස පොත්පත් වලද, ලියැවී ඇත. මේ අනුව මෙම හෙළබිමේ ඉතිහාසයට විජයගේ යුගයෙන් තිත තබා ඊට පෙර සියල්ලම ඉන්දීය ඉතිහාසයට පවරාදී භාර කරන ලද්දේ ඒ ඒ යුගවල වැරදියට ඉතිහාසය ලියු පෘථග්ජන මිනිසුන් විසින්මය. මේ වරද කරන්නට දැන් කාලය එළඹී ඇත.

අපේ මේ හෙළ බිමේදීම ඒවා යුගයන්දීම ලියු පිරිසිදු ඓතිහාසික සාක්ෂි අපට අදටත් ඉතිරි වී ඇතත් අද අපේ ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් හා ආගම් සංකල්ප දරන ගිහි පැවිදි උගතුන්ද ඒවා පිළිගන්නට මැළිවන්නේ ඔවුන් ඉංගි‍්‍රසියෙන් සිතන බටහිරට ගැති අය හෝ භාරතයට ගැතිව සිතන්නන් හෝ වීම නිසායි. තම පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා ජාතික ඉතිහාසය යටපත් කරන්නට උත්සාහ දැරීමයි.

එදා අපේ ඉතිහාසය ලියු ජේමිස් පි‍්‍රන්සස්, ජෝර්ජ් ටර්නර්, ස්ට්‍රොංග්, රිස් ඬේවිස්, කොඩිරිංග්ටන්, එච්.සී.පී. බෙල්, විල්හෙල්ම් ගයිගර් වැනි සුදු මහතුන් කළ සේවයද අප යම් තරමකට හෝ අගය කරන අතරම, ඔවුන්ගේ නොදැනුම නිසා අපට සිදු වූ මහත් හානියද අපම කල්පනා කළ යුතුය. එය දැන්වත් නිවැරදි කරගත යුතුය. එය දැන්වත් නිවැරදි කර ගත යුතුය.

ලෝකෝපකාරය නමින් වූ පොතක් රණස්ගල්ලේ හිමියන් විසින් පසු කලෙක ලියා පළ කරන ලදී. මේ ලෝකෝපකාරයේ 189 වැනි කවියේ සඳහන් වන සතර දිවයින් පිහිටා තිබුණේ මේ හෙළබිම තුළමය. කරදිය වලල්ලෙන් වට වූ සතර දිවයින් ලෙස එදා ලෝකෝපකාරයේ දැක්වුයේ මේවාය.

I. උතුරු කුරු දිවයින
II. ජන්බුද්දීපය (දඹදිව)
III. පුර්වවිදේහය
IV. අපර ගෝයානය

අනුරපුර යුගයටත් පෙර අතීතයේ එනම් බුද්ධ කාලයේ මේ රට මෙවන් කොටස් හතරකට බෙදා සම්මතයෙන් නම්කර ගෙන භාවිතා කළ මේ සතර දිවයින් (ප‍්‍රදේශ) ලෙසින් දැක්වුයේ සිවු හෙළයයි. ඒ ඒ හෙළයන්හි වාසය කළ ගෝති‍්‍රක රජවරුන්ගේ ගෝත‍්‍ර අනුව පසුව ජන්බුද්වීපය දේව හෙළය ලෙසින් ද, උතුරුකුරු දිවයින් යක්ෂ හෙළය ලෙසින්ද, අපරගෝයානය නාග හෙළය ලෙසින්ද පූර්ව විදේහය ගාන්ධර්ව හෙළය ලෙසින්ද නම් කෙරිණි.

ආටානාට සූත‍්‍රයේත්, මහාසමය සූත‍්‍රයේත් පැහැදිලිවම නම්කර පෙන්නුම් කරන චත්තාරෝ මහාරජවරුන් රජකම් කළේද මේ සිවු හෙළයට අදාළ ප‍්‍රදේශවලමය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වුයේ ජන්බුද්දීපය (දඹදිව) නම් දේව හෙළයට අයත් ප‍්‍රදේශයකදීය. මේ අනුව ජන්බුද්දීපය දඹදිව යන නම් මේ හෙළ බිමේම කොටසකට ඉතා ඈත යුගයන්හිදීද භාවිතා කරන ලද නාමයකි. එයට ජන්බුද්දීපය යන නම ලැබුණේ සියලුම බුදුන් වහන්සේලා ජන්මය ලබන දීපය යන අර්ථයෙනි. දඹදිව යන නම ලැබුණේ ධර්ම දීපය යන අර්ථයෙනි.

ලෝකෝපකාරයේ එදා ලියා පෙන්වූ සතර දිවයින්ම කරදිය වලල්ලෙන් වට වූ බව පවසා තිබීම නිසා මේ සතර දිවයින්ම මේ හෙළ බිමේම එදා පිහිටා තිබු බවත් සහතික කර ප‍්‍රකාශ කළ හැකිය.

කි‍්‍ර.පූ. යුගයේදී භාරතයේ ලියු පොත් පත් දෙස බලන විට ඒ හැම සාහිත්‍ය කෘතියකම දැක්වෙන්නේ ලෞකික උපදේශනයන් ගෙන් හා සුංගාර රසය උපදවන පෘථග්ජන ලෝකයාට ගැළපෙන ආකාරයේ ලෞකික කරුණු කාරණාවෝය. ඍග්වේද ග‍්‍රන්ථයන්, විෂ්ණු පුරාණය, ස්කන්ධ පුරාණය හා තවත් බොහෝ පුරාණ ග‍්‍රන්ථ, බ‍්‍රාහ්මණ හා උපනිසද් ග‍්‍රන්ථ මෙන්ම භගවත් ගීතාව නම් විශේෂ ග‍්‍රන්ථයද ලෞකික දියුණුව සඳහා උපදෙස්දීමට ලියු ඒවාය. මේවා ලෝකයක් හදන්නට උපකාර වන විධියේ සාහිත්‍යය ග‍්‍රන්ථ හෝ උපදේශාත්මක ග‍්‍රන්ථයන්ය. නමුත් මේවාට සමකාලීන වූ යුගයේදී හෙළ බිමේදී ලියු ති‍්‍රපිටක ග‍්‍රන්ථ හා හෙළ අට්ඨ කථා සියල්ලම ලියුවේ ලෝකයෙන් එතෙර වන ලෝකෝත්තර මාර්ගය පෙන්වා දෙන්නටය. සදහටම දුකෙන් මිදෙන්නට අනුගමනය කළ යුතු ධම්මානුධම්ම පටිපදාව පහදා දෙන්නටය. මේ අරමුණු දෙක දෙයාකාර වූ දෙවිධියක අරමුණු දෙකකි. ඉන්දියාවේ හෝ භාරතයේ හෝ උතුම් බුද්ධ ධර්මය එදා ව්‍යාප්ත වී තිබුණේ නම් එහි ඒ යුගයේ ලියු මේ පොත්පත් වලද යාන්තමින් හෝ මේ ලෝකෝත්තර ධර්මය ගැනද සටහන් වන්නට ඉඩ තිබිණි. නමුත් ඉන්දියාවේ ලියු පොත් වල එසේ සඳහන් වී නැත.

භාරතයේ ලියු පැරණි සාහිත්‍යයේ අරමුණ ජීවත්වීමට අවශ්‍ය උපදේශනය ලබා දීම බව භගවත් ගීතාව කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම අවබෝධ වනු ඇත. භගවත් ගීතාවේ එන සුංගාරාත්මක, උපදේශාත්මක රසවත් කවි කටපාඩම් කරගෙන භජන් ගී ලෙසින් ඒවා සජ්ඣායනා කිරීම අදටත් ඉන්දීයයන්ගේ චාරිත‍්‍රයකි. සිරිතකි. නමුත් ති‍්‍රපිටකයේ සඳහන් වූ උතුම් ධර්මය අසාදැන, ධාරණය කරගෙන, අත්විඳගත යුතු යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ධර්මතාවයකි. මේ අනුව බුදු දහම දුක අවබෝධ කරගෙන දුකට නිධාන හේතුවම සොයාදැන, හේතුවම නිරුද්ධ කරන්නට ම`ග කියා දුන් දහමකි. එසේත් නැති නම් හේතුඵල දහමට බහා බලා ගලපා අනුගමනය කර අත් විඳගත යුතු දහමකි. භාරතීය දේව සංකල්ප වලට අනුව තාවකාලිකව ඵලය වෙනස් කර ගත්තෙ හේතුව වෙනස් කර ගැනීමෙනි. මේ නිසා එදා ලියූ භාරත සාහිත්‍යය උපදේශාත්මක සාහිත්‍යයක්ම පමණක්ම වීය.

බුදු දහමින් දේශනා කලේ මිනිසාට තම මනස මෙහෙයවා කි‍්‍රයාකර යෝනිසෝ මනසිකාරයෙන් කි‍්‍රයාකරන්නෙකු බවට පත් වී විමුක්තිය සොයාගන්නට මගපාදා දෙනු සඳහාය. භාරත ආගම් වල විමුක්තිය සොයන ලද්දේ ලෝකය තුළම ඇති දේ වෙනස් කර දුක තාවකාලිකව යටපත් කිරීමෙනි. ලෝකයෙන් එතෙර වන්නට උපකාරවන ආකාරයේ ලෝකෝත්තර දහමක් ඒ වායේ නොවීය.

බුද්ධඝෝෂ හිමියන් පරිවර්තනය කළ පාලි අර්ථ කථා වලත් ඊට පසුව ආයුගයේදී අනුරාධපුරයේදී ලියු පොත පතේත් විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ හා දඹදෙණි යුගයේදී ලියු බොහෝ සිංහල පොත්පත්වලත් දක්නට ඇත්තේ බුදු දහමේ පෙන්වා දුන් හේතුඵල දහමට බහා ගලපා කි‍්‍රයා කරන්නට, විනයට සසඳා බලා කටයුතු කරන්නට උපකාර වන විධියේ පරමාර්ථ ධර්මයක් නොව ලෝකය හදන්නට, භව වෘද්ධිය සඳහාම උපකාර වන විධියේ සම්මත ධර්මයකි. ඒ එවකට භාරත දේශයේ ප‍්‍රචලිතව තිබු ලෞකික ආගම් සංකල්ප වල හා උපදේශක කාව්‍යයන්හි බලපෑම් තදින්ම හෙළ බිමටද දැනුණු යුගයයි.

මේ අනුව අද අපට ඉතිරි වී ඇති මධ්‍යකාලීන ඓතිහාසික බෞද්ධ සාහිත්‍යය ග‍්‍රන්ථ, අටුවා කථා හා වෙනත් සාහිත්‍ය පොත් පත් බොහොමයක්ම වාගේ භාරතයේ බලපෑම් නිසා පසු කාලීනව බිහි වු ඒවා මිස උතුම් බුද්ධ ධර්මයේ හෝ ති‍්‍රපිටකයේ හෝ පෙන්වු ආකාරයෙන් නිවන් මගට උපකාරක වන පරමාර්ථ ධර්ම විග‍්‍රහ කළ පොත් පත් නම් නොවේ. පසු කලක දඹදෙණියේදී ලියැවුණ ජාතක කථා සාහිත්‍යයද හුදී ජන පහන් සංවේගය සඳහාම ලියැවුණු ඒවා මිස මිනිසාගේ මනස මෙහෙයවා හේතුඵල දහමට බහා ගලපා බලා කි‍්‍රයාකරන්නට උපකාර වන ඒවා නොවන බවත් පෙන්වා දිය යුතුය. ඒවාද උපදේශාත්මක කොටසටම අයත් වන බව නම් පැහැදිලිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Time limit is exhausted. Please reload the CAPTCHA.