අටමස්ථාන සංකල්පය

එදා ගෞතම බුදුපියාණන් මේ හෙළබිම ජීවමානවම වැඩසිටි යුගයේදීත් අටමහ ස්ථානයක් වැඳපුදා ගැනීමේ සිරිතක් බෞද්ධ ලෝකයා අතරේ පැවතිණි. බුද්ධ ධර්මයේ එන අට්ඨාංගික මාර්ගයන් සිහිපත් කරමින් අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ සිරිත එදා පටන්ම හෙළබිම පැවති බවට ලංකාවේ ලියූ හත්‍ථසාලීනි නම් අති පැරණි ග‍්‍රන්ථයේද සඳහන් වේ. වලගම්බා, භාතිය, දුටුගැමුණු, විජයබා, මහා පරාක‍්‍රමබාහු මෙන්ම නිස්සංකමල්ල යන රජදරුවන්ද මෙම හෙළබිමේ පිහිටි අටමහ ස්ථාන වලින් කිහිපයක් හෝ වැඳ පුදා ගන්නට එ්වා කරා රජ පෙරහරෙන් ගිය බව ඉතිහාස පොත්වල සඳහන් වේ. මේ කිසිම හෙළ රජදරුවෙකු අටමස්ථාන වන්දනාව සඳහා ඉන්දියාවට හෝ භාරත දේශයට හෝ ගිය බවක් ඉතිහාසයේ නම් සඳහන්ව නැත. මහා පරිනිබ්බාන සුත‍්‍රයේ ගෞතම බුදුපියානන්ම අනුදැන වදාල පරිදි වැඳපුදා දැකබලාගත යුතු ස්ථාන හතරමත් මේ බෞද්ධ අටමස්ථාන සංකල්පයටද පාදක වන්නට ඇත. මේ අනුව සිරිපතුල් අටකුත්, බෝ අංකුර අටකුත් වැඳීම බෞද්ධ අටමස්ථාන සංකල්පයට හා අෂ්ටපල බෝධි සංකල්පයටද මුල් වුවාට සැකයක් නැත.

අද වන විටත් බෞද්ධ ලෝකයා අනුගමනය කරණ අනුරාධපුරයේදී අටමස්ථානයන් වන්දනා කරගැනීමේ සිරිතටද මුල් වූයේ මේ මුල්ම අටමස්ථාන වන්දනාවයි. එදා ඉන්දියාවට බුද්ධාගම හඳුන්වා දුන් අශෝක මහරජතුමාත් ඉන්දියාව තුළද මේ අටමස්ථාන වන්දනාව ආරම්භ කිරීමට ආකෘති වශයෙන් ස්ථාන අටක්ම ගොඩනංවා එ්වාට වන්දනා මාන කිරීමට ඉන්දීය ජනතාවටත් පුරුදු කළේය.

අටමස්ථාන වන්දනා සංකල්පය පසුව හිංදු හා වේද ආගම් වලටද ඇතුළත් වූ බව ඉන්දියාවේදී ලියූ ලලිත විස්තරය නමැති පොතේ සඳහන් වේ. ඉන්දියාවේදී හින්දුන් හා බමුණන් පව් සෝදා හරින තොටුපල අටක් ලෙසින් තීර්ථ ස්ථානයන් අටක් නම් කර එම ස්ථානයන් වැඳපුදා ගත් බවත්, ශිලාදිත්‍ය නම් ඉන්දියාවේ රජකම් කළ රජු පවා මෙම තීර්ථ ස්ථානයන් වැඳ පුදා ගන්නට ගිය බවත් ”දිව්‍යාවදානය” නම් සංස්කෘත පොතේ සඳහන් වෙයි. බෂාම්තුමා ලියු ඉන්දියා ඉතිහාසය පොතේද මෙම අටමස්ථාන වන්දනාව පිළිබඳව පැහැදිලිවම සටහන් කර තබා ඇත. ඉතා ඈත අතීතයේ පටන්ම මේ හෙළබිමේ ජන්බුද්වීපයේ – අනුරාධපුර යුගයටත් පෙර යුගවලදී පවා හෙළබිම බෞද්ධයාට වැඳපුදා ගන්නට – අටමස්ථානයන්ම ඉදිකර, නම් කර, පැවති බව පැහැදිලිය. මේ අටමහ ස්ථානයන් කලින් කලට වෙනස් විය. මෙසේ වෙනස් වූ බවට පැහැදිලිවම සාධක ඇත්තේ අප අද භාවිතා කරන සිංහල පිරිත් පොතේය. මේ පිරිත් පොතේ ”විහාර අස්න” යන නමින් ඒ ඒ යුගවල, ඒ ඒ ප‍්‍රදේශවල පිහිටුවා තිබූ අටමස්ථානයන් වෙන් වෙන්ව සඳහන් කර වෙන්ව පේළියට ලියා තබා ඇත. මේ ලෙසින් අටමස්ථානයන් ලියා තැබීම කවදා ආරම්භ වී දැයි තිරණය කරන්නට අපහසු නමුත් ඒ ඒ යුගයන්හීදී වැඳපුදාගත් ස්ථානයන්ගේ නම් වෙන් වෙන්වම එකම ඡේදයකට සඳහන් කර ලියා තබා ඇත.

විහාර අස්නෙහි එන අතීතයේදී වැඳපුදා ගත් විහාරයන් දක්වන නම්වල එක් පෙළකට ගොනුකර ලියා ඇති මෙම පූජනීය ස්ථානයන්ගේ නම් දෙස විමසිල්ලෙන් බලන්න. ”ජේතවන විහාරය, කපිල විහාරය, ඉසිපතනාරාමය, කුසිනාරාමය, පුර්වාරාමය, දක්‍ෂිණාරාමය හා උත්තරාරාමය, සිළුමිණි සෑය යන අටමස්ථානයන් අනුරපුර යුගයට පෙර එක්තරා වකවානුවක (බුද්ධ යුගයේදී) වැඳපුදාගත් විහාර ලේඛනයට ඇතුළත් කර ලියා තබා ඇත. මෙහි එන කපිල විහාරය යනු රජගල පිහිටි වේලුවනාරාමය අසල පිහිටි පැරණි බෞද්ධ මුලස්ථානයයි.

මෙයින් පැහැදිලි වන පරම සත්‍යය නම් මේ හෙළ බිමේ යම් අතීත යුගයක මේ නම්වලින් සඳහන් වූ බුදු පා පහස ලැබූ මෙම උතුම් ස්ථානයන් පිහිටුවා තිබුණු බවයි. අද මේවා ඉන්දියාවේ හෝ මහා භාරතයේ හෝ විහාරස්ථානයන් යැයි නම් කර අපේ හෙළ ඉතිහාසය යටපත් කරන්නට දරන අසාර්ථක උත්සාහයන් ගැනද හෙළබිමේ ජීවත්වන අවංක බෞද්ධයින් හැටියට අප කල්පනා කළ යුතුය. මේවා අපේ පිරිත් පොතේ ලියා තබා ඇත්තේ ඇයි?

කාලයාගේ ඇවෑමෙන් ඉසිපතනාරාමය ඉසින්බැස්සගල යන නමින්ද, – රජගහ නුවර – රජගල නමින්ද, ජේතවනාරාමය – රිටිගල නමින්ද, කුසිනාරාමය – බුදුගල යන නමින්ද කටට පහසු ලෙසින් නම් සකස් වී භාවිතයට ගෙන ඇත. මේ සියලුම ස්ථානයන් අද වන විට සොයා දැන බෞද්ධ ලෝකයාට සද්ධා සිතින් වැඳපුදා ගෙන බුද්ධ ශක්තියට අනුගතවන්නට අවශ්‍ය පරිදි ස්ථාන (ඨාන) වශයෙන්ම හඳුන්වා දීම මේ පොත් ලියා එලිදැක්වීමේ එකම පරමාර්ථයයි.

එදා ගෞතම බුදුපියාණන් වහන්සේ මේ හෙළබිමේ ජන්බුද්වීපයේ වැඩසිටි යුගයේදීම වැඳපුදා ගන්නට අනුදැන වදාළ අනුරාධපුර රාජධානිය දියුණු වන්නටත් පෙර වසර 600 ක් පමණම දීර්ඝ කාලයක් පුරාමත් රටේ පාලකයින්, රජදරුවන් හා මහජනයාද වැඳපුදා ගත් අතීත අටමහ ස්ථානයන් වෙන් කොට හඳුනා දැක බලා ගැනීමේ පහසුව සඳහා මෙහි සටහන් කර තබමි.

I. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත්වූ ජයසිරි මහ බෝ සමිඳු පිහිටි ස්ථානය

අද වන විට හිරිවඩුන්න සිරිමහ බෝධීන් වහන්සේ ලෙසින් පොදුවේ කවුරුත් හඳුන්වන මෙම ජයසිරි මහ බෝ සමිඳු පිහිටා ඇත්තේ මෙම හෙළබිම ලංකාද්වීපයේ හරි මැදය. එනම් මධ්‍ය මණ්ඩලයේය. ලංකාව පිහිටි දේශාංශක හා අක්‍ෂාංශක ගැන බලා එ් අනුව හතරැුස් කොටුවක් ලෙසින් සකස් කර ගෙන එහි මුළු හතර යා කර කතිරයක් ගසා බලා ලංකාවේ හරිමැද ලක්‍ෂය ලබාගන්න. මෙම ලක්‍ෂය හරියටම හිරිවඩුන්න බෝ සමිඳු දැනටත් වැඩවාසය කරන ස්ථානයයි. දඹුල්ල හබරණ මාර්ගයේ 110 කී. මීටර් කණුව අසලින් වමට හැරී කී. මීටර් එකක් පමණ ගුරුපාර දිගේ ගමන් කරන විට මෙම රමණිය ස්ථානයට ළඟා විය හැකිය. එදා පටන්ම මේ බෝධීන් වහන්සේට සුදු බෝධිය යන නම ව්‍යවහාර කර තිබූ බවද පෙන්වා දිය යුතුය.

“ජයෝ මුනින්දස්ස – සුබෝධි මුලේ
අහෝසි මාරස්ස – පරාජයෝහී”

යන බෝධි වන්දනා ගාථාවෙහි ”සුබෝධි” යනු මේ සුදු බෝධියට එදා භාවිතා කළ විශේෂ නාමයයි. ලංකාවේ හෝ ලෝකයේ හෝ වෙනත් කිසිදු බෝධීන් වහන්සේ නමකට සුදු බෝධිය යැයි නම් කර නැත. අදත් වසරකට වරක් ජයසිරි මහ බෝ සමිඳුන්ගේ බෝධි මූලයෙන් වෙසක් පොහොයට ආසන්න දිනයක සුදු බෝ අංකුරයක් මතුවීම මගින් මේ සුදු බෝධිය ලෝකයාට ප‍්‍රදර්ශනය කරනු ලැබේ.

මෙම ජයසිරි මහ බෝධි මුලයේ ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීම සඳහා වැඩ හිඳින්නට මුචලින්ද නම් නාග ගෝත‍්‍රික රජතුමා විසින් කරවා දුන් වජ්රාසනයද අදටත් ඒ බෝධි මූලයේම නොසෙල් වී තැන්පත් වී පවතී. මේ වජ්රාසනය කිසිවෙකුටත් සොලවන්නට, වෙනස් කරන්නට හෝ විනාශ කරන්නට බැරි ආකාරයටම ස්ථාවරවම තැන්පත් වී ඇති ආකාරය එය දැක බලාගෙනම ඔබටද සහතික කර ගත හැකිය.

පුරාවිදා රක්‍ෂිතයක් ලෙසින්ද වනවාසී නිකායට අයත් ආරඤ්ඤ සේනාසනයක් ලෙසින්ද අදටත් ආරක්‍ෂා වී පවතින මේ උතුම් පුන්‍යභූමිය එදා හෙළ රජදරුවන් විසින් වැඳපුදා ගත්, විහාර අස්නේද නම සඳහන් වන, උත්තරාරාමය ලෙසින් එදා හැඳින්වූ ජටිල කාශ්‍යප ඇතුළු භික්ෂුන් වහන්සේ දහසක් දෙනාද එකල වැඩ සිටි ස්ථානයයි.

අටමස්ථානයන්ට අයිති පළමුවන ස්ථානය වන මේ ස්ථානය පිළිබඳව වැඩි දුරටත් තොරතුරු දැන ගන්නට මුලින් ලියූ පළමුවන පොතද කියවා බලන්න.

II. සිදුහත් බෝසත් කුමරා උත්පත්තිය ලැබූ ලුම්බිණිය

එදා හෙළ රජදරුවන් විසින් ගල් කටාරම් කොටා ගෞතම බුදුරජාණන් වහන්සේටම පූජා කරන ලද මෙය උතුම් පූජනීය ස්ථානයකි. අටමස්ථාන අතරින් වැදගත්ම තැනක් ගත් මේ පූජනීය ස්ථානය පිහිටා ඇත්තේ මහනුවර දිස්ති‍්‍රක්කයේ තෙල්දෙණිය ප‍්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ බඹරගල රජමහා විහාරය, වැවගම රජමහ විහාරය යන නම් වලින් අද හඳුන්වන ස්ථානයේය.

ඉන්ද්‍රසාල ගුහාව ඇතුළු කටාරම් කෙටු ගල්ගුහා 50 කට අධික සංඛ්‍යාවක් මේ රජමහ විහාර භූමියේ අදටත් දකින්නට ඇති අතර මෙයින් ගල්ලෙන් 14කම මුල්ම යුගයේ හෙළ බසින් ලියූ අකුරු සහිත සෙල්ලිපි 14 ක්ද ඇත. ගෞතම බුදුපියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වූ පසු 16 වැනි වසර ගත කළේ බඹරගල රජමහ විහාර භූමියේ පිහිටි ඉන්දසාල ගුහාවේදීය. මෙම ගල්ගුහාවේ කොටා ඇති සෙල්ලිපියකින් එය ඉන්දසාල ගුහාව බවට අද හඳුනාගෙන ඇත. එදා මේ ගුහාව ගෞතම බුදුපියාණන්ට වස් වසන්නට සුදුසු පරිදි අලංකාර ලෙසින් සකස් කර පිළියෙල කර දුන් බවට අදත් එහි දකින්නට ඇති චිත‍්‍ර වල නෂ්ටාවශේෂ වලින්ද පැහැදිලි වෙයි.

ති‍්‍රපිටකයේ දීඝ නිකායේ සඳහන් සක්ක පඤ්ඤහ සූත‍්‍රය ගෞතම බුදුපියාණන් එදා දේශනා කළේ මෙම ඉන්දසාල ගුහාවේ වැඩවාසය කරන අවස්ථාවේදීය. ඒ බව ති‍්‍රපිටකයේම පැහැදිලිවම සඳහන් කර ඇත. මහාචාර්ය පරණවිතාන මහතාද මෙම ස්ථානය ඉන්දසාල ගුහාව ලෙසින් හඳුනාගෙන ඒ බව ප‍්‍රකාශ කර ඇත. සක්කස්ස දේවානමින්ද නම් වූ චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත ආ වේදේහ නුවර විසු රජ කෙනෙකුට, එනම් ”දේවයන් වහන්සේ” යැයි මහජනයා එදා ආමන්ත‍්‍රණය කළ හෙළදිව පැරණි චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත ආ රජෙකුට, මේ සක්ක පඤ්ඤහ සුත‍්‍රය ගෞතම බුදු පියාණන් වහන්සේ මෙම ඉන්දසාල ගුහාවේදී දේශනා කර වදාළ සේක. පනිත නමින් වූ චක‍්‍රවර්ති රජ පරපුරටම අයත් රජ කෙනෙකුටත් මෙම ඉන්දසාල ගුහාවේදීම පනිත සුත‍්‍රය දේශනා කළ නමුත් එය අද ති‍්‍රපිටකයේ දක්නට නැත. සක්කස්ස දේවා නමින්ද සක්දෙවියන් ලෙසින් පසුව හැඳින්විය.

මෙම රජමහ විහාර භූමිය තුළ අදටත් සල්ගස් දැකගන්නට ඇති අතර වසර 3000 කටත් වඩා පැරණි විශේෂිත සල්ගසක් එහි අදටත් දක්නට ඇත. මේ සල්ගස මුලදී ගෞතම සිද්ධාර්ථ කුමාරයාගේ උපත සිදු විය. එදා ඒ ප‍්‍රදේශයේ රජකම් කළ සක්කස්ස රජ පරපුරේ රජදරුවන් සිදුහත් උපත සිහිපත් කරන්නට විශේෂ විහාරයක් කරවා ඊට වැඳුම් පිදුම් කළ බවද ඉතාම පැහැදිලිව දකින්නට ඇත. ගෞතම බුදුපියාණන් වහන්සේගේම බුදු පා පහස ලැබු බුදු සිරිපතුලක්ද මෙම විහාර භූමියේම විහාරයක තැන්පත් කර එදා රජ දරුවන් හා මහජනතාව වැඳුම් පිදුම් කරගත් බව දක්වන චිත‍්‍ර සටහනක් අදටත් මෙම බඹරගල රජ මහා විහාරයේම ඇති පැරණි පොතක දක්නට ඇත.

මහනුවර රාජධානි කාලය තෙක්ම මේ විහාරය අටමස්ථාන අතරින් එකක් ලෙසින් හෙළදිව වැසියන් වැදපුදාගත් බවත් පෙන්වා දිය යුතු කරුණකි. එදා පිරිත් පොතේ සඳහන් අටමස්ථානයන් අතරින් සිළුමිණි සෑය යනුවෙන් සඳහන් කළ ස්ථානය මෙයයි. මෙහි අතීතයේ මෙවැනි සෑයක් තිබී පසුකලෙක විනාශ වී ගිය බවද පෙනෙන්නට ඇත.

මේ ස්ථානයට යන මාර්ගය හා ඒ පිළිබඳව වැඩි මනත් තොරතුරු පළමුවන පොතේද විස්තර වශයෙන් සටහන් කර ඇති නිසා එයද කියවා බලන්න.

III. පළමු ධර්ම දේශනාව පැවැත් වූ ඉසිපතනේ මිගදාය

අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ මැදවච්චියට ආසන්නව පිහිටා ඇති ඉසින් බැස්සගල රජමහා විහාරය නමින් අද ප‍්‍රසිද්ධියට පත්ව ඇත්තේ එදා දම්සක් පැවතුම් සුත‍්‍රය දේශනා කළ උතුම් පුදබිමයි. ගෞතම බුදුපියාණන්ගේ ජීවමාන කාලයේම මෙම ස්ථානය ඉසිපතනාරාමය ලෙසින් හෙළබිම බෞද්ධයින් අතරේ ප‍්‍රසිද්ධ විය. අටමස්ථාන අතරින් මේ ස්ථානයද වසර අට සියයක් පමණ දීර්ඝ කාලයක් තුළම අතීත බෞද්ධ රජදරුවන්ගේ හා මහජනතාවගේ ගෞරවයට හා වන්දනාමාන වලට යොදාගන්නා ලදී.

මෙම ගල්තලාව එතරම් උස නැතත් ලක්ෂ ගණනකට එකවර රැස් විය හැකි ස්ථානයකි. පස්වග මහණුන් එදා භාවනානුයෝගීව වැඩසිටියේ මෙම ගල් පර්වතයේම නැගෙනහිර බෑවුමේ පිහිටා ඇති අරහත් ගුහාව නමින් අදටත් හඳුන්වන ස්වාභාවිකව පිහිටා ඇති ගල් ගුහාවේය. කවදාවත්ම ජලය නොසිඳෙන ලිඳක්ද එහි පිහිටා ඇත. අරහත් ගුහාවට නැගෙනහිර දෙසින් මහා අරුම පුදුම නුග යායක් වැනි විශාල ප‍්‍රදේශයක පැතිරුණු නුග ගසකි. නුග ගසට ඔබ්බෙන් අක්කර 100ක පමණ ප‍්‍රදේශයක් පුරා පැතිරුණු මුව වනයකි. මේ මුව වනයට අදත් මුවන් මොනරුන් ආදී සතුන් පැමිණෙනු දැක ගත හැකිවෙයි. මෙය ස්වාභාවික දසුනකි.

එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත් වූ මේ ප‍්‍රදේශයේ පාලකයාව සිටියේ සාතාගිර නම් යක්ෂ ගෝති‍්‍රක රජුයි. හේමවත යනු සාතාගිර රජුගේ මිත‍්‍ර රජෙකි. මේ ප‍්‍රදේශය එදා කසී රටට අයත්ව තිබු බවද පෙන්වා දිය යුතුයි.

සාතාගිර ප‍්‍රාදේශීය රජු විසින් මෙහි විශාල ගල් තලාව මැද එනම් එදා ගෞතම බුදුපියාණන් පළමුවන ධර්ම දේශනාව පැවැත්වු ස්ථානයේම කුඩා දාගැබක් තනවා තමන්ගේ වැඳුම් පිදුම් සඳහා යොදා ගන්නා ලදී. පසු කලකදී හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන් ගෙන් බෝ අංකුරයක් ගෙන්වා ගෙන එහි රෝපණය කළ අතර අදටත් ඒ අති පැරණි බෝධීන් වහන්සේ වැඳ පුදා ගන්නට හැකි අයුරින්ම එහි රැකී ආරක්ෂා වී පවතී. මේ ආසන්න කාලයකදීම ගෞතම බුදු පියාණන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල් යුගලයක්ද මෙම ස්ථානයෙහි තැන්පත් කර විහාරයක් කරවා වන්දනා මාන කිරීම සඳහා යොදාගත් අතර මෙම ස්ථානයද අටමස්ථාන වලින් එකක් බවට එදා ප‍්‍රසිද්ධ විය. ඉසිපතනාරාමය ලෙසින් පිරිත් පොතේ විහාර අස්නෙහි මෙය නම් කර ඇත.

නයිපෙන සහිත නාගරූප කෙටු ගල් පුවරුවක්ද මේ ස්ථානයේම තැන්පත් කර ඇත්තේ නාග ගෝත‍්‍රයේ රජ වරුන්ද මෙම ස්ථානය වැඳපුදා ගත් බවට සාක්ෂියක් වශයෙනි.

බුද්ධත්වයට පත් වු ගෞතමයන් වහන්සේගේ පළමුවන ධර්ම දේශනාව අසා මේ බුද්ධ සාසනයේ බිහි වු පළමුවන සංඝයා වහන්සේත්, පළමු ශ‍්‍රාවකයින් වහන්සේලා හැට නමකුත් බිහිවුයේද මෙම උතුම් ස්ථානයේදීය. මේ නිසා මේ බුද්ධ සාසනයේ ආරම්භය සිදු වුයේ මේ පුන්‍ය භූමියේදීය. පසුකලක හෙළබිම රජ සිටුවරු හා මහජනයා මේ උතුම් ස්ථානයද අටමස්ථාන වලින් එකක් සේ දීර්ඝ කාලයක් තුළ වැඳුම් පිදුම් කරගත්හ.

IV. ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීම සිදු වු කුසිනාරාමය

රත්නපුර දිස්ති‍්‍රක්කයේ බලන්ගොඩට නුදුරු කල්තොට ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයට අයත් වලවේ ගංගාධාරයේ උඩ කොටසේ පිහිටි ඉතාම රමධෑය භූමි භාගයකි (බුදුගල). කුසිනාරාමය, එදා මල්ලව රජදරුවන් මේ ප‍්‍රදේශයේ රජකම් කරන යුගයේදී ගෞතම බුදු පියාණන් වහන්සේ පිරිනිවී වදාළේ අද බුදුගල නමිනුත්, එදා කුසිනාරා නුවර නමිනුත්, ප‍්‍රසිද්ධ වූ මෙම කුඩා නගරයේදීය.

බුදුගලට නුදුරෙන් පිහිටි අද රජවක නමින් හඳුන්වන ප‍්‍රදේශයේ එදා මල්ලව රජදරුවන්ගේ රාජධානියේ අගනුවර පිහිටියේය. ඇඹිලිපිටියේ සිට වලව ගංතීරයේ උඩහට පිහිටි සරු සාරවත් ප‍්‍රදේශයක් එදා මල්ලව රටට අයත් ප‍්‍රදේශ ලෙසින් සැලකිණි.

මහා පරිනිබ්බාන සුත‍්‍රයේ සඳහන් වන පාඨයන් සිහිපත් කරවන පරිසරයක් බුදුගල කුසිනාරා නුවරදී අදටත් එහි ගිය කෙනෙකුට දැකගත හැකිය. මේ කුසිනාරාව දුර්ගයන්ද සහිත කුඩා නුවරකි. මේ නුවර පිරිනිවන් පාන්නේ නැතිව රජගහනුවර, චම්පා නුවර, ශ‍්‍රාවස්ති නුවර හෝ වෙනත් ප‍්‍රධාන නගරයක පිරිනිවන් පාන්නට ආනන්ද හිමියන් ගෞතම බුදු පියාණන්ට ආරාධනා කළත් එය නොපිළිගෙන ගෞතමයන් වහන්සේ එහිදීම පිරිනිවන් පා වදාළ සේක.

මේ ආකාරයෙන් මල්ල රජුගේ උපවර්තන නම් සල් උයනේදී පිරිනිවන් පා වදාළ බුදු පියාණන් වහන්සේගේ දේහය ආදාහනය කිරීමට සකස් කරන ලද ආදාහනාගාරය අදටත් එහිදී දැකගත හැකිය.

බුදුගල විහාරස්ථානයට ආසන්නවම පිහිටි ඉඩමේ එනම් පුරාවිද්‍යා ආරක්ෂිත බිමේදී අද මෙය දැකගත හැකිය. මල්ලව රජුන්ට ලැබුණු දන්ත ධාතූන් වහන්සේ ඇතුළු අනිකුත් ධාතුන් වහන්සේලා තැන්පත් කර වැඳපුදා ගන්නට දන්ත ධාතු මන්දිරයක් මුලින්ම හෙළබිම ඉදිකළේද මෙම මල්ලරට කුසිනාරා නුවරය. අදටත් මෙම දළදා මාලිගාවේ නටඹුන්ද එහිදී දැකගන්නට ඇත. හිරිවඩුන්න සිරිමහ බෝ සමිඳුන් ගෙන් ලබාගත් බෝධි අංකුරයක් ද මේ අසලම ස්ථානයක එදා රෝපනය කරවා පංචවාස නමින් ස්ථූප පහක් ද එහි ඉදිකරවා වැඳුම් පිදුම් කරන්නට පටන් ගන්නා ලදී. ඒ අනුව මෙයද අටමස්ථාන වලින් එකක් බවට පත්විය.

ගෞතම බුදුපියාණන් පිරිනිවන් පා වදාළ කටාරම් කෙටු එම ගල් ලෙනෙහි ගෞතම බුදුපියාණන් ගේ පාද ස්පර්ශය ලැබු බුදු සිරිපතුලක්ද තැන්පත් කර එයට වන්දනා මාන කිරීමක්ද ඒ යුගයේදීම ආරම්භ විය. මේ අනුව මේ හෙළබිමේ අටමස්ථානයන් අතරට කුසිනාරානුවරද ඇතුළත් විය. මල්ල රජ පරපුරේ අන්තිම සමාජිකයින් වු දන්ත කුමරු හා හේමමාලා කුමරිය දළදා වහන්සේ ආරක්ෂා කරගෙන පුද පූජා පවත්වන්නට තරම් තමන්ට හැකියාවක් හෝ ශක්තියක් නොවු නිසාත්, මේ වන විට අනුරපුර රාජධානිය දියුණු වී බලවත් රජවරුන් යටතේ පාලනය වූ නිසාත් දන්තධාතුන් වහන්සේ හොර රහසේම කුසිනාරා නුවර සිට අනුරාධපුරයට වඩම්මවාගෙන විත් එවකට අනුරපුර රජකළ කිත්සිරි මෙවන් රජුට භාර දුන්හ. අනුරපුර රාජධානියේ එතෙක් කාලයක් තුළ දන්ත ධාතුන් වහන්සේලා වැඳ පුදාගත් බවක් ඉතිහාසයේ ලියැවී නැත.

මේ අනුව කිත්සිරි මෙවන් රජු දවස වන විට අනුරාධපුරය අංග සම්පූර්ණ බෞද්ධ අගනගරය බවට පත්විය. ජය ශ්‍රී මහ බෝධි අංකුරය, බුදු සිරිපතුළ, සිරි දළදා වහන්සේ හා සියලු හෙළ අටුවා පොත් ද මේ වන විට රුහුණේ සිට අනුරාධපුරයට රැුගෙන විත් අනුරාධපුර නගරයේ තැන්පත් කර තිබුණි. ඒ කි‍්‍ර.ව. 303 පමණ වන විටදීය.

V. සැවැත්නුවර ජේතවනාරාමය

අනුරාධපුර දිස්ති‍්‍රක්කයේ රිටිගල නමින් අද හඳුන්වන කඳු වලින් වට වූ ප‍්‍රදේශය පුරා පැතිරුණු ඓතිහාසික පුරාවස්තූන් හමු වූ ප‍්‍රදේශය එදා සැවැත් නුවර ජේතවනාරාමය යනුවෙන් හැඳින්වු අටමස්ථානයන්ගෙන් එකකි.

බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ තම මුල් කාලය ගත කළේ රජගහ නුවර වේලුවනාරාමය ආශ‍්‍රය කරගෙනය. අනේපිඬු සිටුතුමා විසින් අලංකාර ලෙසත්, මහා ධනයක් වැය කරමින් රිටිගල කන්දේ නා වනය තුළ ජේතවනාරාමය ඉදිකර දුන් පසුව අවසාන වසර 20 ක් පමණම ගෞතම බුදුපියාණන් ජීවත් වුයේත්, ධර්මය දේශනා කළේත් මෙම රිටිගල ජේතවනාරාමය මුලස්ථානය කර ගනිමින්ය.

කොසොල් රාජ්‍යය නමින් එදා හෙළබිම දේවහෙළයට අයත් වූ ප‍්‍රධානතම රාජ්‍යයේ අගනුවර වුයේද සැවැත් නුවරයි. රිටිගලට නැගෙනහිරින් වූ අද මහවනයක් සහිත වූ ප‍්‍රදේශයේ එදා කොසොල් රටේ අගනුවර වන සැවැත් නුවර පිහිටියේය. මේ ප‍්‍රදේශය පසුගිය වසර 1000 කටත් වැඩි කාලයක්ම මහ වනයෙන් වැසී වනගතව පවතින නිසා සැවත් නුවර ද ඉතිහාසයෙන්ම මැකී යන්නට ඇත.

ගෞතම බුදු පියාණන් වහන්සේ ජීවමානවම වැඩසිටි යුගයේදීම. සැවැත්නුවර ජේතවනාරාම භූමියේ මඟඵල ලාභී භික්ෂුන් වහන්සේලා දහස් ගණනක් වාසය කළ බව අදටත් එහි දකින්නට ඇති නටඹුන් වලින් මනා සේ පැහැදිලි වෙයි. සුදත්ත සිටුතුමා විසින් කරවන ලද මෙම සුවිශේෂි පූජාභූමියේ විශේෂත්වය වන්නේ එහි සියලු ඉදිකළ විහාර ආරාම තනි කලුගල් වලින් නිම කිරීමයි.

මේ යුගයට අයත් වන ගොඩනැගිලි ලංකාවේ හෙළබිම සෑම ප‍්‍රදේශයකින්ම දැනට සොයාගෙන ඇති අතර මේ සියලුම තැන්වලදී දකින්නට ඇත්තේ එකම තාක්ෂණයක් උපයෝගී කොට ගෙන කලු ගලෙන්ම නිම වූ අතිවිශිෂ්ඨ නිර්මාණයන් එදා මේ හෙළබිම පුරා විසිරී තිබුණු ආකාරයයි. රිටිගල ජයසේන යනුවෙන් අතීතයේ විසු කෙනෙකු පිළිබඳව රිටිගල ඉතිහාස කථාවේ කවුරුත් සඳහන් කරති. මේ රිටිගල ජයසේන යනු එදා සුදත්ත සිටුතුමාට ජේතවනාරාමය නිර්මාණය කරන්නට අතහිත දුන් ප‍්‍රධාන තාක්ෂණ ශිල්පියාය. අදටත් රිටිගල පැරැුන්නෝ ජයසේන යන නම සිහිපත් කරන්නේ ගෞරවයෙනි.

ගෞතම බුදුපියාණන්ට සුදත්ත සිටුතුමා ජේතවනාරාමය සාදවා පූජා කළ ආකාරයටම එවකට සැවැත් නුවර විසු තවත් මහධන සිටුවරයෙක් යශෝධරා අරහත් තෙරණියටද එවන්ම වූ විශ්මිත ආරාමයක් සාදවා පූජා කෙළේය. ඒ රිටිගල කන්දට බටහිරින් පිහිටි ”මානෑව කන්ද” නමින් අද හඳුන්වන ස්ථානයේය. මෙම කන්ද එදා ”මෙහෙණි ආරාම කන්ද” යන නමින් ප‍්‍රසිද්ධ වී තිබුණි. රිටිගලට ආසන්නයේම පිහිටි මරදන්කඩවල නගරයට කි.මීටර් 1 ක් පමණ දුරින් පිහිටා ඇති මානෑව කන්දේ ද රිටිගල ඉදිකළ විහාර ආරාම අංගයන් හැකිතාක් දුරට ඒ ආකාරයෙන්ම තනවා සකස් කර පූජා කරන්නට උත්සාහ ගෙන ඇති බවද පෙනෙන්නට ඇත. ජලය රැස් කළ විශාල පොකුණු, ගල්ලෙන්, විහාර ආරාම හා ඊට අදාළ වෙනත් පහසුකම් මෙන්ම මෙහෙණින් වහන්සේලා 500 කට පමණ ලැගුම් ගන්නට අවශ්‍ය කුටිද මෙහි අදටත් දකින්නට ඇත. මේ සියල්ලම රිටිගල මෙන්ම තනි කලුගලින්ම නිමවා තිබීම විශේෂ වූ ලක්ෂණයකි. මේ ස්ථාන දෙකම එකම යුගයක එකම තාක්ෂණයෙන් නිම කළ බවත් පැහැදිලිය.

රිටිගල නමින් අද ප‍්‍රසිද්ධව ඇති ජේතවනාරාමය යනුවෙන් ති‍්‍රපිටකයේ, පිරිත් පොතේ හා මහාවංශයේද නම් කර ඇති මෙම ඓතිහාසික පූජා භූමිය එදා අනුරාධපුර යුගයට පෙර යුගයේදී බෞද්ධයින් වන්දනා මාන කරගත් අටමස්ථානවලින්ද එකක් විය. ගෞතම බුදුන්ගේම අනුදැනුම මත හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝධි අංකුරයක් මෙහි රෝපණය කර එයට ආනන්ද බෝධිය යනුවෙන් නම් කර ඒ අසළම බුදු සිරි පතුල් යුගලයක්ද පිහිටුවා එදා වැඳුම් පිදුම් කරගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි. ආනන්ද බෝධිය රෝපණය කර තිබුණේ දැනට රිටිගල පුරාවිද්‍යා වැඩබිම ලෙසින් හඳුනාගෙන ඇති ගෞතම බුදුපියාණන් උදෙසා පිළියෙළ කර දුන් ගඳකිළියට උතුරු දෙසින් වු නා වනයේය. අද මේ බෝධීන් වහන්සේ පෙනෙන්නට නැත්තේ එය මහ වනයට යට වී අභාවයට ගිය නිසාය. රිටිගල කන්ද වටාම පිහිටි කඳුවැටි ආශි‍්‍රතව තවත් පූජා භූමි 8ක්ද එදා මෙහි පැවති බව ඉතිහාසයේ සඳහන්ය.

VI. රජගහනුවර – වේලුවනාරාමය

රජගහනුවර වේලුවනාරාමය එදා පිහිටා තිබුණේ අද අම්පාර දිස්ති‍්‍රක්කයට අයත්, අම්පාර මහඔය පාරේ රජගල පුරා විද්‍යා නටඹුන් නමින් අද සඳහන් කරන විශාල බිම් ප‍්‍රදේශයකය. මේ මිහිතලය මත මේ බුද්ධ කල්පයට අයත් වූ විශාලතම බෞද්ධ උරුමය පිහිටා තිබුණේ මෙතැනය. ඒ අම්පාරේ රජගලය. අක්කර 1600 කටත් වැඩි භූමි ප‍්‍රදේශයක් පුරා පැතිරි පැවති විහාර, ආරාම, දාගැබ්, වැව්, වන උයන්, පිරිවෙන්, විද්‍යායතන, බෙහෙත් ශාලා, දාන ශාලා ඇතුළු සියලු අංගයන්ගෙන් සමන්විත වූ රජගහනුවර වේලුවනාරාමය එදා බෞද්ධ ලෝකයාගේ පළමුවැනි පූජනීය ස්ථානය බවටද පත්වී තිබිණි. අසුමහ ශ‍්‍රාවකයින් වහන්සේලාගෙන් වැඩි දෙනෙකුම පැවිදි වී තම ඉතිරි ජීවිත කාලය ගෙවුයේ මෙම රජගල වන උයන මුලස්ථානය කරගෙනය. අගසවු සැරියුත්, මුගලන් යන අරහතුන් වහන්සේලා දෙනමත් මහ ප‍්‍රාඥයන් වහන්සේ කෙනෙකු වූ මහා කච්චායන අරහතුන් වහන්සේත් තම ජීවිතයේ වැඩිම කාලයක් ගත කර පිරිනිවන් පා වදාළේ රජගල පිහිටි මෙම ස්ථානයේදීය.

ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වී පළමු වන වස ඉසිපතනාරාමයේ (මැදවච්චිය අසල) වැඩ වාසය කළ බවත් ඉන් පසුව එළඹුණු වසර 25 ක් පමණම දිගු කාලයක් තුළම වරින් වර රජගහ නුවර වේලුවනාරාමයේ වැඩ විසු බවද ති‍්‍රපිටකයේම සඳහන්ය.

බිම්බිසාර රජු විසින් පාලනය කළ මගධ රාජ්‍ය එදා පිහිටා තිබුණේ මෙම ප‍්‍රදේශයේය. අම්පාර දිස්ත‍්‍රික්කය, මොනරාගල දිස්ති‍්‍රක්කයේ, බිබිල, මැදගම ආදී විශාල ප‍්‍රදේශයක්, බදුල්ල දිස්ති‍්‍රක්කයේ විශාල ප‍්‍රදේශයකුත් එදා මගධ රාජ්‍යයට අයත් විය. මගධ රට රජකම් කළ බිම්බිසාර රජු එදා රජගහනුවර වේලුවනාරාමය සාදවා ගෞතම බුදුපියාණන්ට අත පැන්වත් කර පූජා කළ බව සඳහන් වී ඇත්තේ මේ හෙළබිමේ දීම ලියූ ති‍්‍රපිටකයේය. මෙය මේ හෙළබිම තුළදීම සිදු වු සිද්ධියක් මිස ඉන්දියාවේදී සිදු වුවක් නොවේ. අනුරාධපුරයේ රාජධානියක් ආරම්භ කරන්නට පෙරත් වසර දහස් ගණනක් පුරාම මේ හෙළබිමේ දියුණුම රාජ්‍යයක්ව පැවතියේ මේ මගධ රාජ්‍යයි. ඉන්දියාවට දුරින් පිහිටා තිබු නිසාත්, ස්වභාවිකවම කඳු වලල්ලකින් හා මඩකලපුවේ කලපු වලින් වට වූ නිසාත් මගධ රාජ්‍යයට බාහිර ආක‍්‍රමණ හෝ වෙනත් බාහිර සංස්කෘතික බලපෑම් හෝ ඇති නොවීය. මේ නිසා කාශ්‍යප බුද්ධ ශාසනය පැවති යුගයේදී පටන්ම ධර්මතාවයෙන්ම මාගධී භාෂාව රැුකී රැුඳී පැවතියේ මෙම මගධ දේශයේය. රජගල පිහිටි වේලුවනාරාමය අද වල්බිහි වී කැළයට යට වී පැවතුණත් එදා මෙහි පැවති ශ්‍රී විභූතිය විදහාපාන්නට තරම් සමත් පුරා විද්‍යා නටඹුන ලක්ෂ ගණනක් අදටත් එහි ඉතිරිව ඇත.

අශෝක රජු එදා ඉන්දියාවේ රජ පරම්පරාවල සාමාජිකයින් සොයා සමූල ඝාතනය කළ අවස්ථාවේ මිහිඳු කුමාරයා සහ සොහොයුරියන් තුන්දෙනා මේ හෙළබිමට පැනවිත් තම දිවි බේරා ගන්නට සැඟව ගත්තේ මගධ රාජ්‍යයේ රජගහනුවරය. ඒ අද අම්පාරේ රජගලය. එදා මේ පුන්‍යභූමිය ඉතාමත්ම ආරක්ෂිත ස්ථානයක්ව පැවති බවටත් මේ හොඳම සාක්ෂියකි. මිහිඳු කුමරු සංඝමිත්තා කුමරිය හා සුමනා, සුනන්දා කුමරියන්ද රජගහනුවරට පැමිණ හෙළ බස ඉගෙන ගෙන, මගධ බස ඉගෙන ගෙන, බුද්ධ ධර්මය ඉගෙන ගත්තේද රජගල වේලුවනාරාමයේ පිහිටි බෞද්ධ විද්‍යායතනයෙන්ය. ගෞතම බුදුන්ගේ පිරිනිවීමෙන් වසර 280 කට පමණ පසුවත් මේ බෞද්ධ විද්‍යාස්ථානය තුළ මඟඵල ලාභී අරහතුන් වහන්සේලා සිය දහස් ගණනක් වාසය කළ බව මෙයින් මොනවට ඔප්පු වෙයි.

රජගහනුවරදී ධර්මය ඉගෙන ගෙන මහණ වී, මඟඵල ලැබූ මිහිඳු මහ අරහතුන් වහන්සේ ඉන්දියාවේ රජ පවුලකට අයත්ය. අශෝක රජුගේද ළඟම නෑදෑයෙකි. නමුත් අශෝක රජුගේ පුත‍්‍රයෙකු නම් නොවන බව ඉන්දීය ඉතිහාසඥ බෂාම් තුමාද පැහැදිලිවම ප‍්‍රකාශ කරයි.

මිහිඳු හිමියන් අනුරාධපුර පිහිටි ලංකාපුර රාජධානියට බුදු දහම හඳුන්වා දෙන්නට එහි පැමිණියේ අම්පාරේ රජගහනුවර වාසය කළ කාලයේදීය. එනම් රජගල සිට අනුරාධපුරයටය. කලකෝලාහල, යුදබිය හා අවුල් වියවුල් සහිතව පැවති උතුරු ඉන්දියාවේ මේ යුගය වනතුරාවටත් බුද්ධ ශ‍්‍රාවකයෙක් දැකගන්නට වත් නොවීය. අශෝක රජතුමාද පළමු වරටම බුද්ධ ශ‍්‍රාවකයෙකු දැක ගත්තේ කාලිංග යුද්ධය අවසන් වීමෙන් පසුව කාවේරී නදිය අසලදීය. කාවේරි නදිය තෙක් දකුණු ඉන්දිය ප‍්‍රදේශවලටත් මේ වන විට හෙළබිමේ බලපෑම අනුව බුද්ධ ධර්මය ව්‍යාප්ත වී තිබිණි. ඉසින්බැස්සගලදී පැවැත් වූ ධර්ම චක‍්‍ර බලය කාවේරි නදි මායිම් කොට ගත් ප‍්‍රදේශය තෙක්ම බලපැවැත් වු නිසා කාවේරි නදිය තෙක්ම ඉන්දීය ප‍්‍රදේශ වලද බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා මේ යුගය වන විටත් වැඩ සිටියහ.

අශෝක රජු යුද්ධය අත්හැර දමා බුදු දහම වැළඳගත් පසුව මිහිඳු හිමියන්ද ඉන්දියාවට ගිය බවත් සත්‍යයකි. නමුත් මිහිඳු හිමියන් මේ හෙළබිමට යළි ආපසු පැමිණ තමන් මහණ වූ රජගහනුවරම තම ඉතිරි ජීවිත කාලයද ගෙවා එහිදී පිරිනිවන් පා වදාළ බවත්, මිහිඳු හිමියන්ගේ භස්මාවශේෂ තැන්පත් කළේ අම්පාරේ රජගල බවත් එහි ඇති සෙල්ලිපි මගින්ද ඔප්පු වී ඇත. රජගල පුරාවිද්‍යා වැඩ බිමේ දැනට සොයා ගෙන ඇති සෙල්ලිපි 48 ක් අතරින්, පිහිටි ගලකම කොටා ඇති එක් සෙල් ලිපියක මිහිඳු හිමියන්ගේ භෂ්මාවශේෂ මෙම ස්ථානයේ තැන්පත් කළ බව පැහැදිලිවම සඳහන් කර ඇත. පිහිටි ගලක කෙටු මේ සෙල් ලිපිය අසල ම දැනට නිදන් හොරුන් හාරා විනාශ කළ චෛත්‍යයක නටඹුන්ද අදටත් දකින්නට ඇති අතර ඒ චෛත්‍යය මිහිඳු මහ සෑය බවටත් තහවුරු කරගෙන ඇත.

උතුම් බුද්ධ ධර්මය එදා හෙළ බසින් ලියැවී තිබුණු හෙළ අටුවා ලීවේත් හෙළ අටුවා පොත් එදා තැන්පත් කර තිබුණේත් රජගල පිහිටා තිබු වේළුවනාරාම පුද බිමේ බෞද්ධ විද්‍යාස්ථානයේය. මෙම හෙළ අටුවා පොත් ලියා තිබුණේ පැරණි හෙළ බසිනි. මේවා ලියුවේ ති‍්‍රපිටකය ලියා තබන්නටත් වසර සිය ගණනකට පෙර යුගකදීය. ගෞතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගයේදීම බුදු කැලි අටුවාව නමැති හෙළ අටුවාව ලියා තිබිණි. මහා ප‍්‍රාඥ මහා කච්චායන අරහතුන් වහන්සේගේ මුලිකත්වයෙන් ලියැවුණු බුදු කැලි අටුවාව මිහිඳු හිමියන් අනුරාධපුරයට එන විට රැගෙන ආ බව මහාවංශයේද සඳහන් වෙයි.

සංඝමිත්තා මෙහෙණින් වහන්සේ පැවිදි වුයේද රජගල වේලුවනාරාම පුදබිම අසලම පිහිටා තිබු මෙහෙණි ආරාමයකදීය. සුමනා, සුනන්දා යන දෙසොහොයුරියන්ද පසු කලක එහිදීම මහණ වුවත් පසුව සිවුරු හැර බෝධිගුප්ත නම් කුමරු සමඟ විවාහ වූ බවත් බෝධි වංශයේ සඳහන් වෙයි. සංඝමිත්තා මෙහෙණින් වහන්සේ හිරිවඩුන්න ජය සිරි මහ බෝ සමිඳුන්ගේ බෝ අංකුරයක් අනුරාධ පුරයට පෙරහරින් වඩම්මවාගෙන යන්නට ගමන් ආරම්භ කළේද, රජගල අම්පාරේ වේලුවනාරාමයෙනි. හිරිවඩුන්න පිහිටියේ රජගල හා අනුරාධපුරය අතර මැද ස්ථානයකය.

ගෞතම බුදුපියාණන් වහන්සේ පිරිනිවන් පාන්නට පෙරදීම සැරියුත් මුගලන් ආදී අසුමහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක්ම පිරිනිවන් පා වදාළහ. ගෞතම බුදුපියාණන්ගේ උපදෙස් වලට අනුව පිරිනිවන් පා වදාළ අරහතුන් වහන්සේසෙලාගේ ධාතුන් තැන්පත් කිරීම සඳහා රජගල රජගහනුවර වේලුවනාරාම භූමියේ චෛත්‍යයන් ඉදිකර ඒ ධාතුන් වහන්සේලා එදා එහි තැන්පත් කරන ලදී. රජගල පුරා විද්‍යා වැඩ බිමේදී මෙවන් චෛත්‍යයන් දහයකට වැඩි ගණනක් දැනටමත් සොයාගෙන ඇත. මේ සියලු චෛත්‍යයන් අද වන විට නිදන් සොරුන් විසින් හාරා විනාශ කරදමා ඇත. ඊට හේතුව මේ ධාතුන් වහන්සේලා එදා තැන්පත් කර තැබුවේ රත්රන් කරඬුවලවීමය. රත්රන් සොරා ගැනීමට නිදන් හොරුන් විසින් චෛත්‍යයන් හාරා විනාශ කර ඇත.

අනිකුත් අටමස්ථාන වලද පිහිටුවා තිබූ, ආකාරයෙන්ම ගෞතම බුදුපියාණන් වහන්සේගේම බුදු පා පහස ලැබූ බුදු සිරිපතුල් යුගලක්ම රජගහනුවරද (රජගල) තැන්පත් කර විහාරයක් කරවා එය වන්දනා මාන කරගන්නට එදා බෞද්ධයා පුරුදුව සිටියහ. අදටත් මෙම බුදු සිරිපතුල් යුගලය රජගල පුරාවිද්‍යා වැඩබිමේ තැන්පත් කර ඇත. මෙම සිරිපතුල් යුගලයන් අනුරාධපුර කෞතුකාගාරයේ රුවන්වැලි මහ සෑ සලපතල මළුවේ සහ ඉසින් බැස්සගල යන ස්ථානවල තැන්පත් කර ඇති සිරිපතුල් හා සමඟද සසදා බලා ඒවායේ එක සමාන වූ ලක්ෂණ දැන හඳුනාගත හැකිය. හිරිවඩුන්න පිහිටි ජයසිරි මහ බෝ සමිඳුගෙන් ලබාගත් සිරි මා බෝ අංකුරයක් රජගහ නුවරද රෝපණය කර එදා මගධ රට රජ සිටුවරු හා මහජනයාද වැඳුම් කරගන්නට ඒ අතීතයේදී පුරුදුව සිටියහ. අද දැඩි වනගහනයට යට වූ රජගල මහවනයේ කොතැනක හෝ අදටත් මේ බෝධීන් වහන්සේ ජීවමානවම ඇති බව පෙන්වා දිය යුතුය.

රජගහනුවර පිහිටි විහාර ආරාම 28 කම මගඵල ලාභී භික්ෂුන් හා භික්ෂුධෑන් ද එදා වැඩ සිටි බව මහා පරිනිබ්බාන සූත‍්‍රයේ පැහැදිලිවම සටහන් වී ඇත. මහාපරිනිබ්බාන සූත‍්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් රජගහ නුවරින් පිටත් වී කුසිනාරා නුවරදී පිරිනිවන් පාන්නට යන අවසන් ගමන ආරම්භ කරන්නට පෙර රජගල විහාර ආරාම 28 ක වැඩ සිටි සියලුම භික්ෂුන් හා සංඝයා රැස්කර ඒ බව දැනුම් දී කුසිනාරා ගමන ආරම්භ කළ බව ති‍්‍රපිටකයේ සඳහන් වේ.

ලංකාවේදී – හෙළ බිමේදී – එදා ලියු ති‍්‍රපිටකයේ මෙන්ම ලංකාවේදීම ලියූ මහාවංශයේද (3 වන පරිච්ඡේදය) ලියා තැබූ විශේෂ කාරණයක් පිළිබඳවද අපේ අවධානය යොමු කළ යුතුය. එම කථා පුවත නම් පළමුවැනි ධර්ම සංගායනාව පැවැත්වීම පිළිබඳවයි.

ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීමෙන් මාස තුනක් ගත වූ අවස්ථාවේදී රජගහ නුවරදී පළමුවන ධර්ම සංගායනාව පැවැත් වූ බව මහාවංශයේ සඳහන්ය. මහාවංශයේ මේ බව මෙසේ ලියා තැබුවේ එය මේ හෙළ බිමේම ඉතිහාසය නිසායි. ඉන්දියාවේදී සිදු වූ දෙයක් මහාවංශයේ ලියා තබා නැත. මෙය හොඳ සිහියෙන් මධ්‍යස්ථ මනසකින් කල්පනා කරන්නෙකුට මනාව අවබෝධ කරගත හැකිය. මෙවන් ධර්ම සංගායනාවක් එදා ඉන්දියාවේදී සිදු වී නම් ඉන්දියාවේදී ලියු පොත්වල හෝ ලේඛන වල මිස එදා ලංකාවේදී ලියු පොත පතේ මේවා මෙසේ සඳහන් වන්නට හේතුවක් නැත.

පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීමට අජාසත්ත රජු රජගහනුවර වේලුවනාරාම භූමියේ සාදා සකස් කර දුන් සප්තපර්ණි ගල් ගුහාව අදටත් රජගල පුරාවිද්‍යා භූමියේදී කාටත් දැකගන්නට ඇත. එම ප‍්‍රධාන ගුහාව හා ඒ වටා ඇති ගුහා හයක 500ක් අරහතුන් වහන්සේලා එදා පැවැත් වූ පළමු ධර්ම සංගායනාවට සහභාගීවීම සඳහා වැඩ සිටි බව මහාවංශයේත් ති‍්‍රපිටකයේත් සඳහන් වේ. රජගල ගල් ගුහා මැද පිහිටි කුඩගල යනුවෙන් අද හඳුන්වන කුඩයක හැඩය ගත් ගල්ගුහාව අදටත් රජගලදී දැකගන්නට ඇති විස්මිත නිර්මාණයකි. රජගලට යන ඕනෑම කෙනෙකුට අදටත් මේ සප්තපර්ණි ගුහාව තම දෑසින්ම දැකබලාගෙන මහාවංශයේ සටහන් වන විස්තරයද කියවා සත්‍යය වටහා ගත හැකි වනු ඇත. එදා ලංකාවේදීම ලියු මහාවංශයේ මෙසේ සඳහන් වන මේ සියලුම කරුණු ලියා දැක්වුයේ එදා මේ හෙළ බිමේදීම සිදු වූ සිද්ධීන්ම සම්බන්ධ කරගෙනය. මේ හෙළදිවදී සිදු වු මෙවන් සත්‍ය සිද්ධීන් ඉන්දියාවට පවරා දෙන්නට අදත් කි‍්‍රයා කරන්නේ පරම මිත්‍යා දෘෂ්ඨිකයින්ය. රජගල පුරාවිද්‍යා භූමියේ නැෙඟනහිර මායිමේ පිහිටි අක්කර 500ක් තරම් විශාල ගල්පර්වතයක් අදටත් එහි යන ඕනෑම කෙනෙකුට දැක බලා ගත හැකිය. පියංගල ආරඤ්ඤ සේනාසනය පිටුපස ඇති මේ විශාල ගල් පව්ව ති‍්‍රපිටකයේ සඳහන් වන ගිජ්ජකූට පර්වතයයි. මේ ගිජ්ජකූට පර්වතය වටාම එහි පාමුල කටාරම් කෙටු ගල්ලෙන් විශාල සංඛ්‍යාවක් අදටත් දැකගත හැකිය. රජගහනුවර වේලුවනාරාම මායිමේම මෙම ගිජ්ජකූට පර්වතය පිහිටා ඇති බව ති‍්‍රපිටකයේ සඳහන් වෙයි. ති‍්‍රපිටකයේ ගිජ්ජකූට පර්වතය පිළිබඳව හා රජගහනුවර පිළිබඳව සඳහන් කළ සියලු කරුණු අදටත් එහි යන ඕනෑම කෙනෙකුට සහතික කොට තම දෑසින්ම දැක බලා ගත හැකිය.

ගිජ්ජකූට පර්වතය පා මුල ඇති සීත වනය නමින් අදත් හඳුන්වන තැනකින් පානය සඳහා සුදුසු ඉතාම පිරිසිදු ජලය නොකඩවාම උල්පතකින් ගලාගෙන එන බව අදටත් දැකගත හැකියි. මේ පිරිසිදු පානීය ජලය එදා එහි වාසය කළ භික්ෂුන් වහන්සේලා ගේ පරිහරණය පිණිස ගබඩා කර රැස්කර ගන්නට ඒ යුගයේදීම සකස් කළ අතිවිශාල ප‍්‍රමාණයේ තනි කලු ගලින් නෙලු පාත‍්‍රයක හැඩය ගත් ජල ටැංකි අදටත් මෙම වේලුවනාරාම භූමියේදී දැක ගත හැකිය. මේ ආකාරයට සකස් කළ කලුගල් පාත‍්‍රයේ ජලය ගැලුම් සියයක් වත් ගබඩා කරන්නට හැකි බවද පෙන්වා දිය යුතුයි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවටවත් නිවැරදි ලෙසින් කාල නිර්ණය කරන්නට නොහැකි වූ තරම් පැරණි, අනුරාධපුර යුගයටත් පෙර යුගයක භාවිතා කළ හෙළ අක්ෂර වලින් ලියු සෙල්ලිපි 28 ක් පමණ දැනටමත් මෙම රජගල පුරාවිද්‍යා වැඩබිමෙන් සොයාගෙන ඇත. මේවායේ සඳහන් වන අකුරු අනුරාධපුර යුගයට පෙර යුගයේදී භාවිතා කළ හෙළ අක්ෂර බව විද්වතුන්ගේ මතයයි.

අනුරාධපුර යුගයට පෙර මගධ රාජ්‍ය යුගයේදී, එනම් ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩසිටි යුගයේදී ඉදිකරණ ලද රජගහනුවර ගොඩනැගිලි (මෙම පුරාවිද්‍යා නටඹුන්) ඉදිකර, නිර්මාණය කර ඇත්තේ සියයට සියයක්ම තනි කලුගල් වලිනි. ගෞතම බුදුපියාණන් ජීවත් වූ ඒ අතීත යුගයේදී මේ හෙළබිමේ ඉදිකළ සියලුම පුජනීය ස්ථානයන් හි පදනම ඉදිකර ඇත්තේ තනි කලු ගලෙනි. බුදුගල, රිටිගල, හිරිවඩුන්න, තිරියාය, මනෑව කන්ද, ඉසින්බැස්සගල, මාලිගාවිල ආදී සියලුම ස්ථාන වලදීද අපට අදටත් දැක ගත හැක්කේ රජගලදීද දැකගත හැකි ආකාර වූ එකම රටාවක නිර්මාණයන්ය. ඒවා ගඩොලින් කර වූ නිර්මාණ නම් නොවේ. ඉන්දියාවේ ඉදිකළ සියලුම ආකෘති ගොඩනැංවුයේ ගඩොල් වලිනි. එදා හෙළබිම ගොඩනැංවූ සියලුම පූජනීය ස්ථානවල පදනම තනි කලුගලෙන්ම ගොඩනගා ඇති බව පෙන්වා දිය යුතුය.

පසු කලකදී ජන ශුන්‍ය තත්වයට පත් වූ රජගල පුරාවස්තු අද වන විට නිදන් හොරුන් විසින් හාරා වටිනා රන්රුවන් සොරාගෙන ගොස් ඇත. මේ රජගල පුරාවිද්‍යා පුදබිම ඉන්දියානු ආක‍්‍රමණ වලින් කිසිදා විනාශ නොවීය. පෘතුගිසීන්, ලන්දේසින් හෝ ඉංගී‍්‍රසින්ද මේවා විනාශ කළේ නැත. කොඩිරිංග්ටන්, එච්.සී.පී.බෙල් වැනි අතීත පුරාවිද්‍යාඥයින් ද මේවා ගැන තොරතුරු දැන සිටියේ නැත. මහචාර්ය පරණවිතාන මහතාටද අක්කර 1600 ක් පමණ විශාල වූ රජගහ නුවර නටඹුන් සියල්ලම දැකගන්නට නොලැබිණි.

අම්පාර දිස්ති‍්‍රක්කයේ පිහිටි තවමත් ජනාවාස නොවු රජගල, නිල්ගල, බුද්ධංගල, සමන්ගල, පියන්ගල හා නුවරගල යන කඳුවලල්ලකින් වට වූ මේ විශාල භූමි භාගය එදා මගධ රාජ්‍යයේ අගනුවර වූ රජගහනුවරය. ගෞතම බුදුපියාණන්ට පූජා කළ වේලුනාරාමය හා ඒ ආශි‍්‍රත විහාර ආරාම 28 ක් පිහිටි ප‍්‍රදේශය බව දැන් සහතික කර පෙන්වා දිය හැකිය. රුහුණේ හා නැෙඟනහිර මුල් හෙළ රාජධානි විනාශ වී ගිය පසුවද අනුරාධපුර නගරය අග නගරය බවට පත් වූ යුගයකදී මේ රජගල ප‍්‍රදේශයද ක‍්‍රමයෙන් වල්බිහි වී ගොස් මගධ රාජධානිය, ලිච්ඡුවි රාජධානිය හා වජ්ජි රාජධානියද ශාක්‍ය රාජධානියද යන සියල්ලම මහවනයෙන් යට වී තොරතුරක් පවා දැනගන්නටම නොහැකි ආකාරයටම යටපත් වී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය.

මහාවංශයේ හා ති‍්‍රපිටකයේ මේ ස්ථාන ගැන පැහැදිලි විස්තර ලියා තැබුවත් පසු කලෙක පොත පත ලියු විද්වතුන්ට මේ පිළිබඳව සිතාගන්නට හෝ ක‍්‍රමයක් නැති වූ නිසාත්, ඉන්දියාවේ අශෝක රජු ඉදිකළ ආකෘති ස්ථාන ගැන මධ්‍යකාලීන බෞද්ධයින් අසා දැනසිටි නිසාත් මේ සියලු ස්ථාන ඉන්දියාවේ පිහිටි තැන් හැටියට සිතා කටයුතු කිරීමද සිදු විය. අද ජීවත්වන හෙළදිව බෞද්ධයින්ටත් මේවා දැක බලාගන්නට ධර්මතාවයෙන්ම මේ පුරාවිද්‍යා බිම් රැකුණේ මේ අයුරින්ය.

ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ, නිවන් දැකගන්නට උපකාර වූ, උතුම් බුද්ධ ධර්මය ඉගෙන ගන්නට එදා දෙස් විදෙස් වලින් මහජනයා රජගහනුවරට පැමිණියහ. පැරණි ලෝක බෞද්ධ මුලස්ථානය, මධ්‍යස්ථානය වුයේ මේ හෙළබිමේ පිහිටි එදා රජගහනුවර නමින් ප‍්‍රසිද්ධ වූ අද රජගල නම් වූ ස්ථානයයි. ගෞතම බුදුපියාණන් පිරිනිවන්පා වදාළ කාලයට පසුවත්, තවත් වසර දහසක් පමණම දිගු කාලයකුත් මේ බෞද්ධ විද්‍යාස්ථානය දියුණු තත්වයෙන් පැවති නමුත් ඉන් පසුව මෙය කාටවත්ම සිතාගන්නටවත් බැරි ආකාරයට විනාශ වී අභාවයට ගොස් ජන ශුන්‍ය ප‍්‍රදේශයක් බවටම පත් විය. අදටත් තවමත් එය ජන ශුන්‍ය ප‍්‍රදේශයකි.

VII සමනල කන්දේ පිහිට වූ සිරිපතුල

ගෞතම බුදුපියාණන් ජීවමානවම වැඩසිටි අවධියේ සමනල කන්ද හා කුරුරට ප‍්‍රදේශයන් පාලනය කළ ප‍්‍රාදේශීය රජතුමා වුයේ ”සමන” රජතුමාය. ”සමන” රජතුමාගේ ආරාධනයෙන් එදා කුරු රටට වැඩම කර වදාළ ගෞතම බුපියාණන් එක් වසක් එහි වස් විසූහ. මෙසේ වස් විසු අවස්ථාවේදී කාලය ගත කළේ කුරුරට පිහිටි දිවා ලෙනෙහිය. අද දිවා ගුහාව යන නමින් ප‍්‍රසිද්ධව ඇති මෙම පර්වත ලෙන් විහාරය එදා සමන රජු විසින් ගෞතම බුදුපියාණන්ට වස් වසන්නට පිළියෙල කර සකස් කර දුන් ස්ථානයයි.

එදා සමන රජුගේ රාජධානිය මහියංගනයේ සිට කුරුවිට තෙක්ම පැතිර පැවති කඳු සහිත රාජධානියකි. මේ රාජධානියෙහි උසම හා රමධෑයම ස්ථානයක් වූ සමනල කන්ද මුදුනේ බුදු සිරිපතුලක් කොටා එම බුදු සිරි පතුළට ගෞතම බුදුපියාණන්ගේ පාද ස්පර්ශය ලබා ගෙන ඊට වැඳ පුදා ගන්නට, මහජනයාට අවස්ථාවක් ලබා දුන්නේ සමන මහ රජුය. ගෞතම බුදු පියාණන් ගෙන් බුද්ධ ධර්මය අසා දැන සෝවාන් ඵලයට පත් වූ සමන මහ රජ පසුව සමන් දෙවියන් ලෙසින් ලාංකික මහජනතාව අතරේ වන්දනාමානයටද පාත‍්‍ර විය.

අනුරාධපුර හා පොළොන්නරු යුගවලදීත් පැරණි රජදරුවන් අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ දීත් සමනල කන්ද මුදුනේ පිහිටුවා තිබු බුදු සිරිපතුලද වන්දනා කරගත් බව අපේ ඉතිහාසයේ පැහැදිලිවම සටහන් කර ඇත. නිස්සංකමල්ල නම් පොළොන්නරුවේ රජ කළ රජුගේ කාලයේදී සමනල කන්දේ පිහිටි බුදු සිරි පතුල තැන්පත් කර වන්දනා කිරීමට පැමිණි එම රජ විසින් එතෙක් අනාරක්ෂිතව පැවති බුදු සිරිපතුලට ආරක්ෂක ආවරණයක් සකසා අද පවතින තත්වයට එය සකස් කරන ලදී. අද අප වන්දනා කරගන්නේ නිස්සංකමල්ල රජු විසින් ඉදිකරන ලද බුදු සිරිපතුල ආවරණය කරන ලද ගල් පුවරුවටය. ගෞතම බුදුන්ගේ බුදු පා පහස ලැබූ බුදු සිරි පතුල ඇත්තේ ඊට අඩි අටක් පමණ යටින් ආරක්ෂා සහිතවය.

VIII. මොක්කෙම සිරිපතුල

මෙම අටවැනි බුදු සිරිපතුල පිහිටියේ කල්පිටිය මුහුදු තීරයේ කෙළවරය. කල්පිටිය යනු එදා අතීත හෙළයේ නාග රාජධානියට අයත් ප‍්‍රදේශයකි. නාග රාජධානියට-නාගදීපයට-වැඩම කළ බුදු පියාණන්ගේ පාද ස්පර්ශය ලබාගෙන එදා කල්පිටියේ මුහුදු කෙළවරේ පිහිටි ගලක කෙටු බුදු සිරිපතුළක් වන්දනා මාන කරගැනීමට එදා නාග රාජධානියේ වැසියෝ පුරුදු වී සිටියෝය. මුහුදු වැල්ලේ මහගල් තලාවක විහාරයක් කරවා එහි බුදු සිරිපතුලක් කොටවා නාග රජ දරුවන් හා මහජනයා ඊට වන්දනා මාන කරණ බව දැකගත් වෙළඳාම සඳහා ලංකාවට පැමිණි අරාබි වෙළෙන්දෝද එදා බුදු සිරි පතුළට වන්දනාමාන කරන්නට පුරුදු වූහ.

පෘතුගිසින් ලංකාවට පැමිණි පසුව එදා කල්පිටියේ මොක්කෙම පිහිටි මුහුදු මහ විහාරය බලකොටුවක් බවට පත්කර එහි ගල්කඩා විහාරය විනාශ කළේය. දැන් මේ වන විට කල්පිටියේ මොක්කෙම ශ්‍රී ලංකා නාවික හමුදාවට අයත් නාවික හමුදා කඳවුරකි. මෙහි අදටත් ගෞතම බුදුන්ගේ පා පහස ලැබූ බුදු සිරි පතුල ආරක්ෂා වී පවතී.

අනුරාධපුර රාජධානිය ආරම්භ කරන්නට පෙර අතීත යුගයේදී මේ හෙළබිමේ ජීවත් වූ බෞද්ධ රජදරුවන් හා මහජනතාව වැඳපුදා ගත්තේ බුදු සිරිපතුලට හා ජයසිරි මහ බෝධීන් වහන්සේටය. ඒ යුගයේ බුදු පිළිම වන්දනාමාන කිරීමේ සිරිතක් මේ හෙළ බිම තුළ නොවීය. නිවන් දැක ගැනීමේ ඒකායන පරමාර්ථයෙන් බුද්ධ ධර්මය අනුගමනය කළ (ධම්මානු ධම්ම ප‍්‍රතිපදාව අනුගමනය කළ) හෙළ බෞද්ධ පිරිස ගෞතම බුදුපියාණන් ගේ පිරිනිවීමෙන් වසර 900 ක් පමණ කාලයක් ගත වන තුරුත් මේ අටමස්ථානයන් වැඳපුදා ගැනීමේ සිරිතක් එදා හෙළදිව පැවතිණි. අනුරාධපුර රාජධානියේද පසු කලෙක අට මහා ස්ථානයන් ඉදිකර වන්දනා මාන කරන්නට පටන් ගත්තේ පැරණි අටමස්ථානයන් අනුරාධපුරයට ඉතාම දුර බැහැර ප‍්‍රදේශවල පිහිටි බැවිනි. පසුව පොළොන්නරුවේද මෙවැනිම අටමස්ථානයන් ඉදිකර වන්දනා මාන කළ බවක් දැකගන්නට ඇත. රාජධානිය වෙනස්වීමත් සමගම අටමස්ථානයන්ද වෙනස් වූ බව පිරිත් පොතේ සඳහන් විහාර අස්නෙන් පැහැදිලි වෙයි.

ලංකාවේදී බුදු පිළිම වන්දනාව පටන්ගත්තේ කි‍්‍රස්තු වර්ෂ තුන්වන හෝ හතරවන සියවසේදී පමණය. ඉන්දියාවේදී ආරම්භ වූ මහායාන බුද්ධාගමේ බුදු පිළිම වන්දනාව ඉතාම ජනපි‍්‍රය අංගයක් වූ අතර මේ සිරිත හෙළබිමටද වැද්ද ගැනීම නිසා පසුකාලීන ලාංකික බෞද්ධයාද අද මුල්තැනදී ඇත්තේ බුදුපිළිම වන්දනාවටය. බුද්ධාගම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනාවේය යන මතය ගොඩ නැඟුණේ ද මෙවැනි වූ බොහෝ බෞද්ධ සංස්කෘතික අංගයන් හා පුදපූජා ක‍්‍රම ඉන්දියාවෙන් ලංකාවට ආනයනය කර ගෙනා නිසාය. මේ අනුව නම් අද ලංකාවේ අදහන බුද්ධාගමේ බොහෝ අංගයන් ඉන්දියාවෙන් ලංකාවට ගෙනා ඒවාය.

ගුප්ත පාලන යුගයේත්, කුෂාන් රජ පෙළපත පැවති යුගයේත් මහායාන බුද්ධාගම ඉන්දියාව තුළ ඉතාම දියුණු තත්ත්වයකට පත් විය. දේව ආගම්වල බලපෑම් ලෙසින් පොදු මහජනයාගේ භක්තිය කුළුගැන් වූ පුද පූජා ක‍්‍රම, වත්පිළිවෙත්, සජ්ඣායනා ක‍්‍රම, පෙරහැර පැවැත්වීම, ශබ්ද පූජා, බෙර දවුල් ගැසීම හා වෙනත් බොහෝ ජනප‍්‍රිය අංගයන් හෙළබිමටද ක‍්‍රමයෙන් ඇතුළු වී පිරිසිදු බුද්ධ ධර්මය හා නිවන් දකින පිළිවෙත් පිරීමේ මඟ වැසී ගියේය. නිවන් පතන, භක්තියෙන් ආගම ඇදහු පිරිසක් ලංකාවේද බිහිවිය. හුදී ජන පහන් සංවේගය සඳහාත්, සාංස්කෘතික අංගයන් ලෙසත් සමාජ සුබ සාධනය සඳහාත්, බුද්ධාගම නමට පමණක් අදහන පිරිසක් මේ හෙළබිම තුළද බිහිවීම මෙහි ප‍්‍රතිඵලයයි.

එදා බුද්ධ දේශය, ධර්ම දීපය, ධර්ම රාජ්‍යය, ලෝකෙන්ම උතුම් රට, රත්න දීපය ආදී විරුදාවලි ලත් බුදුන් ජන්මය ලැබූ මේ උතුම් රට ධර්ම දීපය මේ ආකාරයෙන් විනාශය කරා ගියේය.

අපේ ඉතිහාස කථා පොත්වල, මහාවංශයේ, දීපවංශයේ, බෝධිවංශයේ, ථූප වංශයේ හෝ වෙනත් කිසිම පොතක හෝ නම් සඳහන් වන කිසිම හෙළබිම රජ කෙනෙකු අටමස්ථානය වැඳපුදාගන්නට ඉන්දියාවට ගිය බව නම් සඳහන් නොවේ. ලංකාවේදීම ලියු ”අත්ථසාලිනී” නමැති ග‍්‍රන්ථයේ පැහැදිලිවම ලියා සටහන් කර ඇති පරිදි නම් අපේ හෙළ රජදරුවන් හෙළබිම පිහිටි අටමස්ථානයන් වැඳපුදා ගන්නට රජ පෙරහරෙන් එදා අටමස්ථාන කරා ගමන් කළ බව නම් (පැහැදිලිවම) සඳහන් වෙයි.

හෙළබිම එදා පැවති අටමස්ථාන වැඳපුදා ගැනීමේ මෙම සිරිතට අනුව අශෝක මහරජ තුමාද අටමස්ථානයක් ඉන්දියාවේද ඉදිකර ඒවාට වන්දනා ගමන් ගිය බවද පැහැදිලිවම පෙන්වා දිය හැකිය. අශෝක ශිලා ලිපිවල සඳහන් වන්නේ අශෝක රජුගේ මේ වන්දනා ගමන් ගැනය. අශෝක රජු සියලු ආගම් සඳහා තැන වූ මෙම පොදු අටමස්ථානයන් ශිලාදිත්‍යය රජුගේ පාලන සමය වන විට, ශිව ආගමේ, වේද ආගමේ, හින්දු ආගමේ අටමස්ථානයන් බවට පත්ව තිබු බව දිව්‍යාවදානය, ලලිත විස්තරය වැනි සංස්කෘත පොත්වල පැහැදිලිවම සටහන් කර ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

හෙළබිම මුල්ම යුගයේ පැවති බුද්ධ වන්දනා ක්‍රම

ගෞතම බුදුපියාණන් එදා හෙළ බිම ජන්බුද්වීපයේ ජීවමානවම වැඩ සිටි යුගයේදීත් බෞද්ධ ජනතාවට බුදුන් වහන්සේ සිහිපත් කර වැඳුම් පිදුම් කරගැනීමට ගෞතම බුදුපියාණන්ම අනුදැන වදාළ, නිද්දේස කර වදාළ පූජා වස්තූන් කිහිපයක්ම විය. මේවා කොටස් තුනකට බෙදා දැක්විය හැකිය.

I. පාරිභෝගික වස්තූන්
II. උද්දේසික වස්තූන්
III. ශාරීරික ධාතූන්

මේ කොටස් තුනටම එදා මුල්ම යුගයේ හෙළදිව බෞද්ධයා වැඳ පුදාගත් බව ති‍්‍රපිටකයේත්, මහාවංශයේත්, දීප වංශයේත් පැහැදිලිවම සඳහන්ව ඇත.

මේ අනුව සිදුහත් බෝසත් තුමා උපත ලැබූ, ගෞතම බුදු පියාණන් බුද්ධත්වයට පත් වූ, වසර හතළිස් පහක් පුරාම බුද්ධ ධර්මය දේශනා කරන ලද මේ හෙළබිමේ මුල්ම බෞද්ධ ජනතාවද බුදුන් සිහිපත් කිරීම සඳහා මේ කොටස් තුනටම අයත් පූජා වස්තූන්ට ශ‍්‍රද්ධාවෙන් යුතුව හා ගෞරව භක්තියෙන් යුතුව වන්දනාමාන කරන සිරිතක් එදා පැවතිණි.

ගෞතම බුදු පියාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමේදී පිට දුන්, උන්වහන්සේ පාරිභෝග කළ, ජය සිරි මහා බෝධිය හා ඒ බෝධීන් වහන්සේගේ අංකුර බෝධීන් වහන්සේලා මෙසේ මුල්ම යුගයේදී හෙළදිව ජනයා වැඳ පුදාගත් වැදගත්ම පූජා වස්තුවයි. ගෞතම බුදුපියාණන්ම ආනන්ද හාමුදුරුවන්ට එදා උපදෙස් දී වදාළ පරිදි හිරිවඩුන්නේ සිට වඩම්මවා ගෙන ආ සිරි මහා බෝධි අංකුරයක් සැවැත්නුවර ජේතවනාරාම භූමියේ එනම් අද රිටිගල නමින් හඳුන්වන පුරාවිද්‍යා භූමියේ පිහිටි නා වනයේ (ජේතවනයේ) එදා රෝපනය කර වැඳුම් පිදුම් කරගත් බව අපේ රටේදීම ලියූ ඉතිහාස පොත් වලද සඳහන්ය. මේ ආනන්ද බෝධිය එදා රෝපණය කර තිබුණේ අද රිටිගල පිහිටි නා උයනේය. අද එය වනයෙන් යටවී අභාවයට ගොස් ඇති බව පෙනේ.

මීට අමතරව ගෞතම බුදුපියාණන් පරිහරණය කළ වජ‍්‍රාසනයටද එදා පටන්ම හෙළදිව බෞද්ධයා වැඳුම් පිදුම් කළහ. හිරිවඩුන්න ජය ශ්‍රී මහා බෝධි මුලයේ අදටත් දකින්නට ඇත්තේත්, බෞද්ධ ලෝකයා අදටත් වැඳුම් පිදුම් කරන්නේත් එදා ගෞතම බුදුන්ගේ බුදු පහස ලැබූ වජ‍්‍රාසනයටමය. තවත් මෙවැනිම වජ‍්‍රාසන කිහිපයක්ම අතීත හෙළබිමේ වැදගත් පූජනීය ස්ථානවල තිබු බව පෙනෙතත් අද ප‍්‍රසිද්ධියේ මේවා දැක ගන්නට නැත.

ගෞතම බුදු පියාණන් ජීවමානව වැඩසිටි කාලයේදීම බොහෝ බෞද්ධයින් වැඳපුදාගත් උද්දේශික පූජා භාණ්ඩය වුයේ බුදු සිරි පතුලයි. බුදු සිරි පතුලේ පිහිටා තිබු විස්මිත ලකුණු නිසාම මේ විශේෂ ලක්ෂණ සහිතවම ගලේ කොටා සකස් කරගත් බුදු සිරිපතුල් වලට වන්දනා කිරීමට එදා හෙළ දිව බෞද්ධයා පටන් ගත්හ. බුදුන් ජීවමානව සිටි කාලයේදීම ගෞතම බුදුන්ගේම බුදු පා පහස ලැබූ සිරිපාද ස්පර්ශය ලැබූ සිරි පතුල් අටක් හෙළබිමේ අට ස්ථානයක තැන්පත් කර වැඳුම් පිදුම් කරන්නට එදා හෙළබිම ජනතාව පටන් ගත්හ. සිරි පතුල් යුගලයන් වශයෙන් සමහර තැනක පිහිටු වූ අතර, තනි සිරිපතුලක් ලෙස පිහිට වූ ස්ථානයන්ද තිබුණි. මේ ස්ථානයන් පසුව අට මහා ස්ථානයන් – අටමස්ථාන – වන්දනාව ලෙසින් එදා ලංකාවේ බෞද්ධයා අතරේද ප‍්‍රචලිත විය. අනුරාධපුර යුගයේදී පවා බොහෝ හෙළ රජ දරුවන්, ප‍්‍රභූවරුන්, සිටුවරුන් හෙළබිමේ පිහිටි මෙම පැරණි අටමස්ථානයන් වැඳ පුදා ගන්නට රජ පෙරහරින් ගමන් කළ බව “හස්තසාලිනී” නමැති අනුරපුර යුගයේදී ලියු පොතකද සඳහන් වී ඇත.

ගෞතම බුදුපියාණන් එදා ජීවමානව වැඩ සිටි යුගයේම ශාරීරික ධාතු වන්දනාවද අනුදැන වදාළ අතර ලොව්තුරා බුදුපියාණන් වහන්සේගේ ශාරිරික ධාතු, පසේ බුදුවරයන් වහන්සේ කෙනෙකුගේ ශාරිරික ධාතු අරහතුන් වහන්සේ කෙනෙකුගේ ශාරිරික ධාතු හා චක‍්‍රවර්ති රජකෙනෙකුගේ ශාරිරික ධාතු තැන්පත් කර දා ගැබ් හා චෛත්‍යයන් ඉදිකර වන්දනාමාන කිරීම බුදුපියාණෝ එදා අනුදැන වදාළහ. ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ නොබෝ දිනකට පසුවම වැඳුම් පිදුම් කරගන්නට යමක් ඉල්ලා සිටි ”තපස්සු භල්ලුක” වෙළඳ දෙබෑයන්ට ලබා දුන් ශාරිරික ධාතුන් වුයේ කේස ධාතුන්ය. මේ කේස ධාතු තැන්පත් කර ඉදිකළ දාගැබ තිරියාය ”ගිරිහඬු සෑය” නම් විය. මේ දාගැබ පිහිටියේ ලංකාවේ ති‍්‍රකුණාමලය අසල එදා අංග රටට අයත් වූ ස්ථානයකය. සියලුම බෞද්ධයෝ මේ බව අදත් පිළිගනිති. ගෞතම බුදුන් වෙනුවෙන් මේ හෙළබිමේම ඉදිකළ දෙවන දාගැබ වන්නේද මහියංගනයේ සුමන රජු ඉදි කළ දාගැබයි. එහිද ගෞතම බුදුන්ගේම කේසධාතු තැන්පත් කර දාගැබක් ඉදිකළ බව ඉතිහාසයේ සඳහන්ය. ගෞතම බුදු පියාණන්ට පෙර පිරිනිවන් පා වදාළ අසුමහා ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් සැරියුත්, මුගලන් ආදී මහ අරහතුන් වහන්සේලා දස නමකගේම ශාරිරික ධාතු තැන්පත් කර රජගහ නුවර චෛත්‍යයන් ඉදිකර වන්දනා මාන කළ බව ති‍්‍රපිටකයේ සඳහන්ය. අදටත් අම්පාරේ රජගල මේ චෛත්‍යයන් දහයේම නටඹුන් පැහැදිලිවම දැක ගන්නට ඇත. එසේ නම් මේ හෙළබිමේ අනුරාධපුර යුගයට බොහෝ පෙර යුගයයේදී ඉදිකරන ලද චෛත්‍යයන් හා දාගැබ් වැඳ පුදා ගැනීමද එදා හෙළ බෞද්ධයන්ගේ සිරිතක් විය.

ගෞතම බුදුපියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූ කුසිනාරා නුවරදී (බුදුගල) එදා සියලුම සර්වඥ ධාතූන් වහන්සේලා කොටස් අටකට බෙදා වෙන්කර භාර දුන්නේ එවකට මේ හෙළබිමේම රජකරන ලද රජවරුන් අට දෙනෙකුටය. එදා පටන්ම මේ ධාතූන් වහන්සේලා හෙළබිම වැසියන්ගේ වැඳුම් පිදුම් වලට පාත‍්‍ර විය. ඉන්දියාවේ සිට ධාතුන් වහන්සේලා ලංකාවට වැඩම වු බවක් කිසිම ඉතිහාසය පොතක පතක හෝ මහාවංශයේ හෝ කොතැනක වත්ම සඳහන්ව නැත. හේමමාලා කුමරිය සහ දන්ත කුමරු දන්ත ධාතුන් වහන්සේ වැඩමවාගෙන අනුරාධපුරයට ආවේ බුදුගල කුසිනාරා නුවරින් මිස වෙනත් තැනකින් නොවේ. කුසිනාරා නුවර පිහිටියේද ජන්බුද්වීපයේය. අද නම් එ් රත්නපුර දිස්ති‍්‍රක්කයේ බුදුගලයි.

ගෞතම බුදුපියාණන් ජීවමානව වැඩ සිටි යුගයේ පටන්ම ජය සිරි මහ බෝධින් වහන්සේ වැඳ පුදා ගැනීමේ සිරිත හෙළ බෞද්ධ ලෝකයා අතරේ ප‍්‍රචලිත විය. මේ අනුව ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයේම හිරිවඩුන්නේ පිහිටි ජය සිරි මහා බෝ සමිඳුගෙන් බෝ අංකුර රැුගෙන විත් රෝපණය කර වැඳුම් පිදුම් කිරීමේ සිරිත අනුව එහි පළමුවැනි බෝධි අංකුරය වඩම්මවාගෙන ගියේ ඉසින්බැස්සගල ඉසිපතනාරාමයටය. මැදවච්චියේ පිහිටි ඉසින්බැස්සගල එදා කසී රටට අයත් වූ ස්ථානයකි. එදා රෝපණය කළ ජය ශ්‍රී මහ බෝ අංකුරය අද දක්වාමත් ඉසින්බැස්සගල රජමහ විහාර භූමියේ ආරක්ෂා වී පවති. අදටත් බෞද්ධ හෙළ ජනතාව මේ බෝධීන් වහන්සේට වැඳුම් පිදුම් කරති.

ජය ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ තවත් බෝ අංකුරයක් රජගහනුවර අම්පාර රජගල වේලුවනාරාමයේත් රෝපණය කර ඊට වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේද ගෞතම බුදුන් ජීවමාන කාලයේදීමය. මේ බෝධීන් වහන්සේ පිළිබඳව අද වන විට තොරතුරු දැනගන්නට නොලැබෙන්නේ පසුගිය වසර 1000 කටත් වැඩි කාලයක් ඒ රජගල ප‍්‍රදේශයම මහ කැලයෙන් වැසී යටපත්ව ගිය හෙයිනි.

ජය ශ්‍රී මහ බෝ සමිඳුන්ගේ තවත් ශාඛාවක් පසු කලෙක සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදු වු ලුම්බිණියේ, (අද නම් බඹරගල) රෝපණය කරවූ අතර අදටත් බඹරගල වැවගම රජමහා විහාර භූමියේ මේ බෝධීන් වහන්සේ ජීවමානවම වැඩ සිටී.

ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවීමත් සමගම කුසිනාරා නුවරටද ජය සිරි බෝධීන් වහන්සේ ගෙන් බෝධි අංකුරයක් වඩම්මවාගෙන විත් එහි රෝපණය කර ගැනීම සිදුවිය. අදටත් බුදුගල හා කුරගල අතර කාටත් දැක වැඳ පුදා ගත හැකි ටැම්පිටයාය බෝධිය නමින් ප‍්‍රසිද්ධ අති පැරණි බෝධීන් වහන්සේ මෙසේ ලබාගත් බෝ අංකුරයකි. ගෞතම බුදුපියාණන් පිරිනිවීමෙන් වසර 280 කට පමණ පසු යුගයක සංඝමිත්තා මෙහෙණිය විසින් අනුරාධපුරය කරා හිරිවඩුන්නේ ජය සිරි මහ බෝ සමිඳුන්ගෙන් ලබාගත් බෝ අංකුරයක් වැඩමවීමේ සත්‍ය පුවත වටා ගෙතුණු කථාවද බෝධි වංශයේ සඳහන් වේ.

බෝධී වංශය ලියා පළ කළේ දඹදෙණි යුගයේදී වන අතර මේ පිළිබඳව එන කතා පුවත උත්තරවංශයේද, මහාවංශයේද දීපවංශයේද කෙටියෙන් සඳහන් වෙයි.

මිහිඳු කුමාරයා, සඟමිත් කුමරිය හා සුමනා, සුනන්දා යන කුමරියන් තිදෙනාත් සමඟ අශෝක රජුගේ යුද්ධ සමයේ හෙළ බිමට පැන ආ අතර එම රජකුමර කුමරියන් එදා සැඟවී ගත්තේ අම්පාරේ රජගල වේලුවනාරාම භූමියේය. මේ සතර දෙනාම කාලිංග ප‍්‍රදේශයේ ඉන්දීය රජ පවුලකට අයත් රජ කුමර කුමරියන්ය. අශෝක රජුටද නෑකම් ඇති මේ රජ කුමර කුමරියන් හෙළබිමට පැන ආවේ අශෝක රජුගේ යුද්ධයට බියෙන්ය. අශෝක රජු ඉන්දියාවේ රජකම් කළ ප‍්‍රාදේශීය රජ පවුල්වලට අයත් තමන්ගේම නෑදෑයින් සමුලඝාතනය කළ බව ඉතාමත් ප‍්‍රසිද්ධය. මේ කුමර කුමරියන් එදා හෙළබිමට පැන අවේ තම ජීවිතය බේරා ගන්නටය. රජගලට ආ මේ කුමර කුමරියෝ සියලු දෙනාම පළමුව මහණ වූහ. මිහිඳු මහ රහතන් වහන්සේ නමින් මහණ වී මඟඵල ලබාගෙන සිංහල, මාගධී හා බුද්ධ ධර්මයද ඉගෙන ගෙන පසු කලෙක අනුරාධපුරයට බුද්ධ ධර්මය හඳුන්වා දෙන ලද්දේද රජගල අම්පාරේ රජගහනුවර වේලුවනාරාමයේ ජීවත් වූ මිහිඳු හිමියන් විසිනි. පසු කලෙක අශෝක රජු බුද්ධාගම වැළඳගෙන ධර්මාශෝක බවට පත් වූ පසුව ඉන්දියාවට ගොස් එහි බුද්ධාගම පැතිර වීමටද උන්වහන්සේ කි‍්‍රයා කළහ. මිහිඳු හිමියන් තම අවසාන කාලය ගත කළේත් පිරිනිවන් පා වදාළේත් අම්පාරේ රජගල නමින් ප‍්‍රසිද්ධ වූ රජගහනුවරදීය.

අම්පාරේ රජගලින් හමු වූ පිහිටි ගලක ලියා ඇති සෙල්ලිපියකුත් ඒ සෙල්ලිපිය ආසන්නයේම ඇති චෛත්‍යයක නටඹුන්ද අදටත් මේ පුවත සනාථ කරයි. මේ අනුව එදා මිහිඳු හිමියන් මහණ වූ ධර්මය ඉගෙනගත් මඟඵල ලබාගත් ලෝක බෞද්ධ මුලස්ථානය වුයේ අම්පාරේ අද රජගල නමින් ප‍්‍රසිද්ධ වූ එදා රජගහනුවර වේලුවනාරාමයේදීය. මිහිඳු හිමියන් ඉන්දියාවේ යම් තැනක සිට අනුරාධපුරයට වැඩම කර වදාළේ නම් උන්වහන්සේ පිරිනිවන් පෑම සඳහා සහ තම අවසාන ජීවිත කාලය ගත කිරීම සඳහා අනුරාධපුරයෙන් ඉතා ඈත පිහිටි රජගල තෝරා ගන්නට කිසිදු හේතුවක් නැත. රජගහ නුවරින් අනුරාධපුරයට වැඩම කළ මිහිඳු හිමියන් නැවතත් රජගහ නුවරටම ආපසු වැඩම කළ බවත් ඒ වන විටත් ඉතාම දියුණු හා ධනවත් තත්ත්වයකින් රජගල පිහිටි හෙළ රාජධානිය පැවති බවත්, බෞද්ධ විද්‍යා ස්ථානයක්ව එය පැවති බවත් මේ සාක්ෂි වලින්ම ඔප්පු කළ හැකියි.

මිහිඳු හිමියන් එදා වැඩසිටි රජගල වේලුවනාරාමය භූමියේම පිහිටා තිබු මෙහෙණි ආරාමයකදී මහණ වූ සඟමිත් කුමරියද පසු කලෙක මගඵල ලබාගෙන මිහිඳු හිමියන් සමඟ අනුරාධපුරයට වැඩමවා වදාළේ ලංකා පුරයේ මෙහෙණි සසුන පිහිටු වීම සඳහාය. මේ යන ගමනකදී අනුරාධපුර බෞද්ධ ජනතාවට වැඳුම් පිදුම් කර ගැනීමට හිරිවඩුන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේ ගෙන් බෝධි අංකුරයක් අනුරාධපුරයට වඩම්මවා ගෙන ගිය පුවත බෝධි වංශයේම සඳහන් වෙයි.

එදා ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ දවස වන විට හිරිවඩුන්න ප‍්‍රදේශය පාලනය කළේ මුචලින්ද නම් නාග ගෝති‍්‍රක රජු විසිනි. මුචලින්ද නම් නාග ගෝති‍්‍රක රජු ගෞතම බුදුන්ට වැස්සෙන් බේරී වාසය කිරීමට සකස් කර දුන් කුටියත්, සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනයත් අදත් හිරිවඩුන්නේ දකින්නට ඇත. බුද්ධත්වයට පත් වීමේදී භාවිතා කරන ලද ආසනය වූ වජ්රාසනයද සකස් කර දුන්නේ මුචලින්ද රජුමය. සංඝමිත්තා මෙහෙණිය අනුරාධපුරයට ජය ශ්‍රී මහ බෝධියෙන් බෝ අංකුරයක් වඩම්මවා ගෙන යන්නට හිරිවඩුන්නට පැමිණි අවස්ථාවේද එහි පාලනය භාරව සිටියේ නාග ගෝත‍්‍රයටම අයත් රජවරුන්ය. මේ බව සනාථ කරන සත්‍යමවූ පුවතක් බෝධි වංශයේත් මහාවංශයේත් සඳහන් වෙයි. මේ පුවත නම් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ ගෙන් ලබා ගත් බෝ අංකුරය අනුරාධපුරයට වඩම්මවාගෙන යන්නට පෙර නා ලොවදී පුද පූජා කළ බවයි.

”නා ලොව සතියක් පුද ලද බෝධිය” නමින් අදටත් බෝධි වන්දනාවේදී කවි පෙළක සඳහන් වන්නේද මේ පුවතයි. එදා නා ලොව වුයේ නාග ගෝත‍්‍රයට අයත් වූ මේ රාජධානියය. එදා හෙළබිම නාග රාජධානි ගණනාවක්ම තිබුණි.

රජගහ නුවර (අම්පාරේ) සිට හිරිවඩුන්නට පැමිණි සංඝමිත්තා කුමරිය නාග ගෝති‍්‍රක රජුගේ අනුග‍්‍රහයද ඇතිව එදා අනුරාධපුරයට ජයසිරි මහ බෝධිය වැඩම කර වුයේ නේරංජනා නදිය දිගේය. අද හුරුළුඔය හා යාන්ඔය නමින් හඳුන්වන ගඟ එදා විශාල ගංගාවක් ලෙසින් ගලාගෙන ගිය නේරංජනා නදියයි. මේ නදිය දිගේ ජය සිරි මහා බෝ අංකුරය වඩම්මවා ගෙන ගොස් දේවානම් පියතිස්ස රජුට එය මහ කනදරාව අසල තොටුපලකදී භාර දී ඇත.

අනුරාධපුරයේදී එදා පැවැත් වූ මෙම ජයසිරි මහ බෝ අංකුර රෝපණ උත්සවයට එවකට නැගෙනහිර හා රුහුණේ රජකම් කළ හෙළ රජදරුවන්ටද ආරාධනය කළ බවත් මෙසේ ආරාධනා ලැබ එහි පැමිණි රුහුණු රජදරුවන් ආපසු යන ගමනේදී හිරිවඩුන්නේ පිහිටි ජය සිරි මහා බෝධියෙන් ලබාගත් බෝ අංකුර කිහිපයක් රුහුණට රැගෙන ගොස් එහි රෝපණය කළ බවත් මහා වංශයේම සඳහන් වෙයි. කතරගම බෝ සමිඳු මෙයින් එක බෝධියකි.

මීට ආසන්නම කාලයකදී එවකට ඉන්දියාවේ රජකම් කළ අශෝක රජතුමා වෙතද හිරිවඩුන්නේ පිහිටි ජය ශ්‍රී මහ බෝධියෙන් ලබාගත් බෝධි අංකුරයක් තෑගි කර යැවු බවත් අශෝක රජතුමා ඒ බෝ අංකුරය තමන් නිර්මාණය කළ ආකෘති බුද්ධගයාවේ රෝපණය කරගෙන වන්දනා මාන කළ බවත් ඉතිහාසයේ සඳහන් වේ. සාංචි තොරණේ දැක්වෙන්නේද අශෝක රජු මෙම බෝ අංකුරය භාර ගන්නා චිත‍්‍ර සටහනකි.

මෙම බෝ අංකුරය අශෝක රජුගේ ජීවිත කාලයේම අවසාන යුගයේදී අශෝක අධිරාජයාගේම බිසවක විසින් කටුගසා විනාශ කර දැමු බවත් ඉතිහාසයේම ලියා තබා ඇත. පසු කලෙකදී ඉන්දියාවට තවත් ජයසිරි මා බෝ අංකුරයක් වැඩමවා ගෙන යන්නට ගත් උත්සාහයද වැළකී ගිය බවත් සඳහන්ය. මෙසේ පසුව වැඩමවාගෙන යන්නට උත්සාහ ගත් මෙම බෝධීන් වහන්සේ තන්තිරිමලේ පූජාභුමියෙන් ඔබ්බට වැඩමවා ගෙන යන්නට නොහැකි වූ බවත් අදටත් ඒ බෝධි අංකුරය තන්තිරිමලේ පූජාභූමියේ බෞද්ධ ජනයාට වැඳපුදා ගන්නට සුදුසු සේ ජීවමානවම එහි වැඩ සිටින බවත් පෙන්වා දිය යුතුය.

බුදුන් වහන්සේ ජීවමානව වැඩසිටි යුගයේදීම මේ හෙළබිමේ අටමහාස්ථානයක බෝධීන් වහන්සේලා අටනමක් බෞද්ධ මහජනයාගේ වැඳපුදා ගැනීම සඳහා සුදුසු සේ රෝපණය කර ස්ථාපිත කර තිබිණි. මේ ආකාරයට ජය සිරි මහ බෝධීන් වහන්සේගේ බෝ අංකුරයන් රෝපණය කළ සියලුම ස්ථානවලත් හිරිවඩුන්නේ ජයසිරි මහ බෝධීන් වහන්සේ අසලත් එදා බුදු සිරිපතුල්ද සකස් කර ගෞතම බුදුපියාණන් වහන්සේගේම පාද ස්පර්ශය ලබාගෙන තැන්පත් කර වැඳ පුදාගන්නට එදා බෞද්ධයෝ පටන් ගත්හ. හෙළබිම දේව හෙළයේ ජන්බුද්වීපයේ පිහිට වූ බුදු සිරි පතුල් යුගල වශයෙන් සිරි පතුල් දෙකම සහිතව ස්ථාන හයක එදා තැන්පත් කර තිබුණි. ඒ හිරිවඩුන්න ජය සිරි මහ බෝධිය අසල ඉසින්බැස්සගල ඉසිපතනාරාමයේ, බඹරගල සිදුහත් උපත සිදු වු භූමියේ, කුසිනාරා නුවර බුදුගල අසල ටැම්පිටයායේ, රිටිගල ජේතවනාරාමයේ හා රජගල වේලුවනාරාම පුදබිමේ යන ස්ථානයන් හයකය. ඊට අමතරව එදා නාග රාජ්‍යයට අයත්ව තිබු මොක්කෙම (කල්පිටිය) නම් ස්ථානයේත්, සමනල කන්ද මුදුනේත් සිරිපතුල් පිහිටු විය. සමනල කන්දේ හා මොක්කෙම තනි සිරිපතුලක් බැගින් තැන්පත් කළ අතර අනෙක් ස්ථාන වල සිරිපතුල් යුගලයන් බැගින් තැන්පත් කරන්නටද විශේෂ හේතුවක් තිබෙන්නට ඇත.

එදා සංඝමිත්තා මෙහෙණිය විසින් සිරි මහ බෝ අංකුරයක් අනුරාධ පුරයට වඩම්මවාගෙන ගොස් සුළු කලකට පසුව හිරිවඩුන්න සිරි මහ බෝ සමිඳු වැඩ සිටි භූමියේම බෞද්ධයාට වන්දනාමාන කරන්නට සකස් කර ගෙන තිබූ බුදු සිරිපතුල්ද අනුරාධපුරයට වඩම්මවා ගෙන ගොස් අනුරාධපුරයේ රජ මාලිගය අසල ම අලුතින් ගොඩ නඟන ලද විහාරයක තැන්පත් කරනු ලැබිණි. අලුතින් රෝපනය කරන ලද සිරිමා බෝ අංකුරයටත්, රජ මාලිගාව අසල සිරිපතුල් තැන්පත් කර ඉදිකළ විහාරයටත්, රජ පවුලේ අයත් මහජනයාත් එදා වන්දනාමාන පැවැත්වූහ. මේ අනුව අනුරපුර රාජධානියේ මුල්ම යුගයේදී බෞද්ධයින් වන්දනාමාන කරන ලද්දේ සිරි මහබෝ සමිඳුන්ට හා බුදු සිරි පතුලටත්ය.

රුවන්වැලි මහසෑය, ථූපාරාමය ආදී මහ දාගැබ් ඉදි කළ පසුව සිරිපතුල් වන්දනාව ක‍්‍රමානුකූලව අහෝසි වී ගියේය. බුදුපිලිම වන්දනාව පටන් ගත් පසුව සමනල කන්ංදේ පිහිට වූ සිරි පතුලට පමණක් වන්දනා මාන කළත් බුදු සිරිපතුලට වන්දනා මාන කිරීම සම්පූර්ණයෙන්ම අභාවයට ගියේය. සමනල කන්ද මුදුනේ පිහිට වූ බුදු සිරිපතුලටද අද බෞද්ධ ජනයා වන්දනාමාන කරන්නේ සමන් දෙවියන්ට පුදපූජා කිරීමේ දේව භක්තියකින් මිස බුදු බැතියෙන් නම් නොවේ.

එදා හෙළ රජදරුවන් හා හෙළබිමේ බෞද්ධයින් විසින් ගෞරවයෙන් වන්දනාමාන කරන ලද මේ උතුම් පාරිභෝගික වස්තූන්ට පසු කලෙක අත් වූ ඉරණම නම් අතිශය ඛේදජනකය.

එදා හිරිවඩුන්නේ සිරි මහ බෝ සමිඳුන් අසල නාග ගෝත‍්‍රික මුචලින්ද රජු විසින් වැඳ පුදාගන්නට සකස් කර තැන්පත් කර තිබූ බුදු පා පහස ලැබූ බුදු සිරිපතුල් යුගලයද පසු කලකදී අනුරාධපුර නගරයට ගෙනැවිත් අනුරාධපුර මහමෙවුනා උයනේ රජවාසල අසලම තැනූ විහාරයක තැන්පත් කර වන්දනා මාන පවත්වන්නට විය. දේවානම්පියතිස්ස රජුගේ පටන් බොහෝ කාලයක් අනුරපුර රජකම් කළ හෙළ රජදරුවන් මෙම බුදු සිරිපතුල් වන්දනා කර ගත්තත් පසු කලෙක මහ දාගැබ් තනවා බුදුපිලිම ඉදිකර ඒවාට වන්දනාමාන කරන්නට පටන්ගත් පසුව උතුම් සිරිපතුල් වැඳීමේ බොදු සිරිත බෞද්ධ ජනයා අතරින් නැත්තටම නැතිවී ගියේය.

මීටත් වඩා ඛේදජනක සිදුවීම නම් එදා රිටිගල ජේතවනාරාමයේ බෞද්ධ රජදරුවන් හා පොදු ජනතාව විසින් වැඳ පුදාගත් බුදු සිරිපතුල් යුගලය සමග තවත් පුජනීය ස්ථානවලින් සොයාගත් සිරිපතුල් යුගලයන් කිහිපයක්ම අද වන විට රුවන්වැලි සෑයේ සලපතල මලුවේ ගල් අතරට අල්ලා බිම සවිකර එ්වා පොදු මහජනයාට පෑගෙන්නට සැලැස්වීමයි. මෙම බුදු සිරි පතුල් යුගලයක් රිටිගලින් හමු වූ කෞතුක වස්තූන් ලෙස සලකා ඒවා ආරක්‍ෂා කරන්නට රුවන්වැලි සෑ සලපතල මලුවේ බිම තැන්පත් කර තැබූ බවක් එච්. සී. පී. බෙල් මහතා තම දිනපොතේ සටහන් කර ඇති බව පරණවිතාන මහතාද සඳහන් කර ඇත.

හිරිවඩුන්නෙන් එදා රාජ ගෞරව සහිතව අනුරාධපුරයට වඩම්මවා ගෙන ආ සිරි පතුල් යුගලයන්ද අද වන විට අනුරාධපුර පුරාණ කෞතුකාගාරය ඉදිරිපිට එලිමහනේ අව්වට වේලෙමින් වැස්සට තෙමෙමින් අනාරක්‍ෂිත ලෙසින් බිම දමා ඇත. අද එය කෞතුක භාණ්ඩයක් පමණක් සේ සලකති.

ඉසින්බැස්සගල පිහිට වූ සිරිපතුල්ද දැන් විශේෂයෙන් වන්දනා මාන සඳහා භාවිතා නොකරන අතර අද බුද්ධ රූපයක් තැබීමට පාදමක් ලෙසින් එය භාවිතා කරන බව පෙනේ. ඉසින් බැස්සගල සිරි මා බෝධිය අසලම ඇති බුදු පිලිමය අද තැන්පත් කර ඇත්තේ මේ සිරි පතුල් උඩය.

බුදුගල ද එදා සිරිපතුල් යුගලයක් සකස් කොට වැඳුම් පිදුම් කළ අතර අද ඒ සිරිපතුල් යුගලය යටකර සිමෙන්ති දමා සැතපෙන බුදුපිළිමයක් ඉදිකර ඇත.

මක්කම පිහිටුවා තිබු සිරිපතුල් යටකර එහි කල්පිටියේ නාවුක හමුදා කඳවුරක් ඉදිකර ඇත්තේ පෘතුගීසි පාලන කාලයේදීමය.

රජගහ නුවර වේලුවන විහාරයේ එදා තැන්පත් කර තිබූ බුදු සිරිපතුල් යුගල දෙකම මෑතකදී සොයාගෙන ඇති අතර අද ඒවා පුරාවිද්‍යා කාර්යාලය (රජගල) අසල බිමදමා මහජන ප‍්‍රදර්ශනය සඳහා තබා ඇත.

මේ ආකාරයට එදා බෞද්ධ ලෝකයා විසින්ද හෙළ රජ දරුවන් විසින් ද සද්ධාවෙන් වන්දනාමාන කරගත් බුදු පා පහස ලැබූ බුදු සිරිපතුල් පසුව කෞතුක වස්තූන් බවට පත් වී අභාවයට පත්වීම සිදුවිය. දැන් බුද්ධ ධර්මය නොදත් ආගම් අදහන හෙළදිව නාමික බෞද්ධයින්ද අද වන්දනාමාන කරන්නේ බුද්ධ පිළිමයන්ට මිස බුදු පා පහස ලද උතුම් පූජනීය වස්තුන්ට නම් නොවේ.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

බුද්ධ වන්දනාව හා බුදු පිළිම වන්දනාව

ක‍්‍රි. පු. 589 දී ගෞතම බුදුපියාණන් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට ආරම්භ කළ දිනයේ පටන් ඉංදියාවේ රජකම් කළ කණිෂ්ක රජුගේ රාජ යුගය දක්වාම වූ වසර 650 ක් පමණම තරම් දිගු කාලයක් ඇතුළත බෞද්ධ ලෝකයා අතරේ බුදු පිළිම වන්දනා කිරීමේ සිරිතක් හෝ චාරිත‍්‍රයක් හෝ පැවතුණේම නැත. පිරිසිදු බුද්ධ ධර්මයට අනුව ”රූපය” දිරා යන, අනිච්ච වූ දෙයක් නිසා රූපය වන්දනා මාන කරන්නට තරම් වටිනා හෝ සුදුසු හෝ දෙයක් ලෙසින් බුද්ධ ධර්මයේ පෙන්නා දුන්නේ නැත. මේ අනුව මුල්ම බුදු සමය තුළ ගෞතම බුදුපියානන්ගේ හෝ වෙනත් කිසිම බුද්ධ ශාවකයෙකුගේ හෝ පිළිමයකට වැඳුම් පිදුම් කළ බවක් නම් පෙනෙන්නටද නැත. ඉන්දියාවේදී එදා අශෝක මහරජ විසින් කෘති‍්‍රමව නිර්මානය කරගත් ආකෘති බුද්ධ රාජ්‍යයේවත් ඒ යුගයට අයත් වන කිසිම බුදු පිළිමයක් හෝ බුද්ධ ශ‍්‍රාවකයෙකුගේ පිළිමයක් හෝ වන්දනා මාන සඳහා එදා යොදාගත් බවක් පෙනෙන්නට නැත.

ලෝකයේ පළමු වරට බුද්ධ රූපයක් භාවිතා කළ බව දකින්නට ඇත්තේ ඉන්දියාවේ රජකම් කළ ”කනිෂ්ක” රජුගේ රාජ සමයේදීය. එයද රටේ වෙළදාම සඳහා භාවිතා කළ රන් කාසියක එක පැත්තක බුදුරුවක් සටහන් කර භාවිතා කර තිබීමයි. මේ අනුව අපට හමු වී ඇති මුල්ම බුද්ධ රූපයද භක්තියෙන් හෝ ගෞරවයෙන් වන්දනා මාන කිරීම සඳහා භාවිතා කරන ලද්දක් නොව ලෞකික වානිජ කටයුත්තක් සඳහා භාවිතා කළ එකක් බවද තේරුම් ගත යුතුය.

කනිෂ්ක රාජ යුගයට පසුව කි. ව. 3 වන සියවසේදි පමණ ඉන්දියාවේ කුෂාන් රජ පරපුර පැවති යුගයේ ඉන්දියානු මහායාන බුද්ධාගමේ බෞද්ධයින් විසින් පළමු වරට බුදු පිළිමවලට වන්දනා මාන කරන්නට පටන්ගත් බව පැහැදිලිය. පසුව මථුරා, ගාන්ධාර, අමරාවති, නාගර්ජුනකොංඩ වැනි ස්ථාන වලත් ඊට පසුව 5 වැනි සියවස පමණ වන විට නාලන්දා, වෙල්ලෝරා වැනි ස්ථාන වලත් මේ සමගම ලංකාවේ හා ලෝකයේ බොහෝ පෙරදිග රටවලත් බුදු පිළිම නෙලා බුදුපිළිම වලට වැදුම් පිදුම් කරන්නටත් පටන් ගත් බව පෙනේ.

මෙම බුදු පිළිම වන්දනාව පැහැදිලිවම දේව ආගම් සංකල්ප වල ආභාෂයෙන් බුද්ධාගමට ඇතුළු කරගත් ආගම් සංකල්පයකි. ග‍්‍රීකයින් ඉන්දියාව පාලනය කළ සමයේ බොහොමයක්ම බටහිර දේව ආගම් සංකල්පයන් ඉන්දියාව තුළද ප‍්‍රචලිත විය. ගී‍්‍රකයින් ඇපලෝ දෙවියාගේ පිළිමයක් තනා ඊට වන්දනා මාන පවත්වන සිරිතක් එදා භාවිතයේ පැවතිණි. මේ අනුව ඉන්දියාවේදී ගී‍්‍රකයෝ දේව පිළිම වන්දනාව පටන්ගත්හ. මේ ආභාෂයෙන් කි‍්‍ර.ව. 2 වන 3 වන සියවස පමණ වන විට ඉන්දියාවේ මහායාන බෞද්ධයෝ බුදු පිළිම වන්දනාවක් ආරම්භ කළහ. ඉන්දියාවේ තැනු මුල්ම බුද්ධ ප‍්‍රතිමා වල ඇපලෝ දෙවියාගේ පිළිම වලට සමාන ලක්ෂණ ප‍්‍රතිරූපණය වන බවද බොහෝ අය පෙන්වා දී ඇත. මාල පැළඳු බුදු පිළිම, රැලි සහිත සිනිඳු ඇඳුම් ඇන්ද වූ බුදු පිළිම, හිස සැරසු බුදු පිළිම ආදිය දේව ආගම් සංකල්ප වලින් ලත් ආභාෂයයි.

ඉන්දියාවේ සිට ලංකාවට බුද්ධාගම ගෙනවාය කියන මතය තහවුරු කරන්නට බලවත් සේම පාදක කරගත්තේද මෙවන් බෞද්ධ සංස්කෘතිකාංගයි. බුද්ධාගම යැයි භක්තියෙන් ඇදහු ආගමක් එදා අනුරාධපුර යුගය තෙක්ම මේ හෙළබිමේ නොවීය. පිරිසිදු බුද්ධ ධර්මය පිළිවෙතින් පෙළගැසීමක් මිස වැඳුම් පිදුම් පැතුම් යැදුම් සහිත වූ ඇදහිල්ලක් හෝ ආගමක් හෝ නොවේ. මේ සියලු ආකාරයේ ආගමික සංකල්පයන් ලංකාවට ගෙන ආවේ නම් ඉන්දියාවෙන්ය. මේ අනුව නම් එදා බුද්ධාගම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනාවේය යන මතයට අපිදු එකඟ වෙමු. නමුත් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මය නම් මේ හෙළ බිමේදීම ගෞතම බුදු පියාණන් විසින්ම වසර හතළිස් පහක් පුරා දේශනා කර වදාළ බුද්ධ ධර්මයයි. එය මේ හෙළ බිමේදීම උපත ලැබූ උතුම් බුද්ධ ධර්මයයි.

බුද්ධ ප‍්‍රතිමාව වැඳපුදා ගැනීම ආරම්භ වීමත් සමගම බෞද්ධයාගේ භක්තිය – බුද්ධ භක්තිය – ඇති වුවා වාගේම බෞද්ධයාගේ අනන්‍යතාවයද රැුකුණු බවත් පෙන්වා දිය යුතුය. බුද්ධ ධර්මය පිරිසිදු වූ තරමට නිවන් දකින්නට උපකාර වන්නා සේම පරම්පරාවෙන් පරම්පරාවට එය පවත්වාගෙන එන්නට නම් බුද්ධාගම මිස බුද්ධ ධර්මය සමත් නොවන බවත් පෙන්වා දිය යුතුය. ඊට හේතුව බුද්ධ ධර්මය ඒ ඒ පුද්ගලයාම තම තමන්ගේම මනසිකාරය දියුණු කරගෙන පෞද්ගලිකවම අවබෝධ කරගත යුතු දෙයක් මිස ඇදහිල්ලක් නොවන නිසයි. මෙසේ සලකා බලන විට බුද්ධාගම යනු වාහනයක් බඳුය. ඒ වාහනයේම ගෙන ආ බුද්ධ ධර්මය වන පරමාර්ථ ධර්මයම නිවන් දකින්නට උපකාර වෙයි. දැනට වසර 2600 කට පමණ පෙර යුගයකදී ගෞතම බුදුපියාණන් විසින් දේශනා කරන ලද උතුම් බුද්ධ ධර්මය රැඳී රැකී පවතින්නේ ලංකාවේදී ලියූ ති‍්‍රපිටක බුද්ධ දේශනාව තුළ පමණි. සංස්කෘතික අංගයන්, සාහිත්‍යමය අංගයන් හා වෙනත් බොහෝ සැරසිලි සහිත වූ අලංකාර අද්භූත දේ අන්තර්ගත වන්නේ හා අයත් වන්නේ බුද්ධාගමට මිස උතුම් බුද්ධ ධර්මයට නම් නොවේ. සියලුම ආමිස පූජා, වැඳුම් පිඳුම් පිළිවෙත්, ශාන්ති කර්ම, ආශිර්වාද පුජා ආදිය මෙන්ම සජ්ඣායනා ක‍්‍රමයන්ද අයත් වන්නේ බුද්ධාගමටයි. බුද්ධ ධර්මය නිවන් දකින්නට උපකාර වන පිළිවෙතින් පෙළගැසීමයි.

බුද්ධාගමත් විනාශ නොකරම, ඇදහිල්ලක් ලෙසින් අද පවතින බුද්ධාගම නමැති සම්මත ආගම් සංකල්පයන් තුළින්ම, පරමාර්ථ ධර්මය තේරුම් ගැනීම මගින්ම, නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ධම්මානුධම්ම ප‍්‍රතිපදාව අවබෝධ කරගැනීම නියම බෞද්ධයෙකුගේ උත්සාහය විය යුතුයි. සම්මතය තුළින්ම පරමාර්ථය දැක ගත යුතුයි.

බුද්ධ යුගයට පසුව වසර 600 කට පමණ පසුව ඉන්දියාවේදී ලියු ”දිව්‍යාවදානය, ලලිත විස්තරය” ආදී සංස්කෘත පොත් වල පළමුවෙන්ම බුද්ධ චරිතයට ආදාළ සිතුවම් ඇඳ දක්වා බුද්ධ රූප හා එවන් සංකල්පයන් ලෝකයාට හඳුන්වා දී ඇත. මේ පොත් ලියා ඇත්තේද අශෝක යුගයටත් පසුව ආ ශිලාදිත්‍ය රාජ යුගයේදීය. ගී‍්‍රක හා රෝම කලාශිල්ප හා සංස්කෘතික අංගයන් මෙන්ම දේව ආගම් සංකල්පයන් ද බහුල ලෙසින්ම බුද්ධාගම තුළට වැද්ද ගත්තේ මේ යුගයේදීය. මේ දේව ආගම් සංකල්ප හා සංස්කෘතික අංගයන් හුදී ජන පහන් සංවේගය සඳහා බලවත් සේම උපකාර වූ නිසා ඉන්දියාවේදී ආරම්භ වූ ඉන්දියාවේදී පටන්ගත්, මෙවැනි දෑ අනුරාධපුර රාජධානිය කරාද සංක‍්‍රමණය වූ බව පෙනේ. මේ අනුව මහායාන බුද්ධාගමේ බොහෝමයක් අංග හා උපාංග ලංකාවේ බෞද්ධ ජනයා අතරද, විශේෂයෙන් ඉන්දියාවේ සිට මෙරටට පැමිණි ප‍්‍රභූ පිරිස් අතරද ප‍්‍රචලිත වූ නිසා ඒවා ජනපි‍්‍රය වන්නට විය. අනුරාධපුර යුගයේදී අභයගිරි විහාරයේ ආරම්භය මෙහි ප‍්‍රතිඵලයකි. නිකාය භේදයන්ට මුල්වුයේද මෙයයි.

තොලුවිල බුදු පිළිමය, මාලිගාවිල බුදු පිළිමය, අව්කන බුදු පිළිමය, තන්තිරිමලේ බුදු පිළිමය,. රැස්වෙහෙර බුදු පිළිමය ආදී විශාල ප‍්‍රමාණයේ බුදු පිළිම නෙලීම ලංකාවේ ආරම්භ කළේ 3 වන සියවසට ආසන්න කාලයකදීය. නමුත් රුහුණේ පිරිසිදු බුද්ධ ධර්මය ඒ වන විටත් ආරක්ෂා වූ පූජනීය ස්ථාන වල මෙවන් බුදු පිළිම වන්දනාවක් එදා පැවති බවක් නොපෙනේ.

මේ අනුව සලකා බලන කල අපට අද බුද්ධාගම යැයි අදහන්නට ඉතිරි වී ඇති, අදත් බෞද්ධ ජනයා අගය කොට අදහන හා අගය කොට සලකන බොහෝ සංස්කෘතික අංගයන් එදා ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා දේවල්ය. මේ හේතුව නිසාම එදා පැරණි සිංහලයන් මෙන්ම අද වර්තමාන බොහෝ ගිහි පැවිදි බෞද්ධයින්ද බුද්ධාගම ඉන්දියාවෙන් ලංකාවට ගෙනා බව පැවසීම තරමක් දුරට සාධාරණ ප‍්‍රකාශයකි. නමුත් උතුම් බුද්ධ ධර්මය නම් ලංකාවේම ආරම්භ වී ඉන්දියාවටත් ගෙන ගිය දෙයක් බවත් තේරුම් ගත යුතුය. බුද්ධ ආගම හා බුද්ධ ධර්මය යනු එකක්ම ලෙසින් දකින, මේ දෙකෙහි වෙනසක් හඳුනාගන්නට බැරි, පෘථග්ජන පුද්ගලයින් තව දුරටත් මිථ්‍යා සංකල්ප හා මිථ්‍යා මත වල එල්ලී බුද්ධාගම ඉන්දියාවේ සිට ලංකාවට ගෙනා බවට තර්ක කිරීම පිළිබඳව පුදුම විය යුතු නොවේ. ඔවුන්ගේ නොදැනුවත්කම ගැනද අප අනුකම්පා කළ යුතුයි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

අනුරාධපුර රාජධානිය ආරම්භවීමට පෙර හෙළබිමේ පැවති ශ්‍රී විභූතිය

අනුරාධපුර රාජධානි යුගයේ විවිධ අවස්ථාවලදීත්, ඊට පෙර ප‍්‍රාග් විජය යුගයේදී දේව හෙළයේ පැවති ඉතාම දියුණු රාජ්‍යය යුගයන් වලදීත්, රුහුණේ සහ නැගෙනහිර ප‍්‍රදේශවල පැවති දියුණු රාජධානි වලදීත්, හෙළ බසින් හා මාගධී බසින් ලියා එතෙක් රැුකගෙන තිබු බොහෝ වටිනා පොත් පත් හා ලිපි ලේඛන මේ රටේ අතීතයේ විසූ උගතුන් හා වියතුන් අතරේ පරිශීලනය විය. එවැනි පොත් පත් එදා හෙළදිව පොත්ගුල් වලද ගබඩා කර තිබිණි. මේ පොත් පත් සියල්ලම වාගේ රටට එල්ලවූ විවිධ දේශපාලනික හා සංස්කෘතික ආක‍්‍රමණ වලදී කිහිප අවස්ථාවකදීම ගිනිබත් කර විනාශකර දැමූ බවද අපේ ඉතිහාසයම පෙන්වා දෙයි.

මුල්ම සුර – අසුර යුද්ධයේදීත්, රාම රාවණ යුද්ධයේදීත්, විජයගේ ආක‍්‍රමණ වලදීත්, මෙවැනි විශාල විනාශයන් සිදු විය. මාඝ හා පණ්ඩව සොලී ආක‍්‍රමණ වලදීත් ඉන් පසුව දකුණු ඉන්දියාවෙන් එල්ල වූ විවිධ ආක‍්‍රමණ වලදීත් අපේ රටේ ලියා පළ කරන ලද වටිනා පොත් පත් විනාශ වී ගියේය. මහායානික හීනයානික මතභේද නිසාත් වටිනා පොත් පත් බොහොමයක් විනාශ විය.

ලංකාපුරයට – අනුරාධපුරයට – එදා හෙළදිව අග නගරය ගෙන යන්නට පෙර මෙම හෙළබිමේ ඉතාමත්ම දියුණු නගර හා ගම් පිහිටා තිබුණේ නැගෙනහිර වෙරළ තීරයේ, රුහුණේ සහ රට මැද ප‍්‍රදේශ වලය. රජගහ නුවර අගනුවර කොටගත් මගධ රාජ්‍යයද (අද අම්පාරේ රජගල) විශාලා මහනුවර අගනුවර කොටගත් ලිච්චවි රාජ්‍යයද (අද යාල අභය භූමියට යට වූ ප‍්‍රදේශය) කෑගල්ල, රත්නපුර මෙන්ම මහනුවර ප‍්‍රදේශයන් අයත් වූ රාවණා රජ පරපුරට අයත් රාජධානියද, කසී රට වරනාසී නුවර පිහිටි රාජධානියද (අද වව්නියාව මුලතිවු ප‍්‍රදේශය) සැවැත් නුවර අග නගරය කොටගත් කෝසල රාජධානියද (අද රිටිගල ප‍්‍රදේශය) එදා හෙළදිව බලවත්ම රාජ්‍යයන් විය. කිඹුල්වත් නුවර අග නගරය කොටගත් ශාක්‍ය රාජධානිය පිහිටියේද අද මහවැලි ගඟට දකුණේ පිහිටි දිඹුලාගල ප‍්‍රදේශයේය. මෙවන් වූ දියුණු ඉතිහාසයක් සහමුලින්ම වැසී යටපත් වන්නට හේතු භූත වූ මූලික කරුණුද අප සොයා බැලිය යුතුය.

ලංකා ඉතිහාසය යැයි අද අප සම්මතයෙන් ඉගෙන ගන්නා, පිළිගත් ඉතිහාසය ලෙසින් පොත්වල ලියා තැබූ, අප දන්නා වූ ලංකා ඉතිහාසය නිර්මාණය කර, අපට උරුම කර ලියා දෙන ලද්දේ ඉංගි‍්‍රසි සුදු පාලක මහත්වරුන් විසින්ය. ඉන්දියාවේ මෙන්ම ලංකාවේද එදා පාලනය භාරව සිටි සමහර සුදු සිවිල් නිළධාරී මහත්වරු ලංකා  ඉතිහාසය ලිවීමේ කාර්යයෙහිද යෙදුණාහ. කෑගල්ලේ සහකාර දිසාපති ධූරය දැරූ ජෝර්ජ් ටර්නර් සහ ජේමිස් පි‍්‍රන්සස්, ස්ට්‍රෝන්ග්, රීස් ඩෙවිස්, මෙන්ම විශේෂයෙන්ම කොඞ්රිංග්ටන් හා එච්.සී.පී. බෙල් වැනි සුදු සිවිල් නිළධාරී මහත්වරු ඔවුන්ට තේරුම් ගන්නට හැකි වූ පරිදි, පොතපතින් කියවා ඔවුන් ලැබූ අල්ප දැනුම අනුව ලංකා ඉතිහාසයක් ලියා අටවා, අමුණා නිර්මාණය කර අපට බාර දුන්හ. පසුව පැමිණි සිංහල උගතුන්ද මහාචාර්යවරුන්ද බටහිර මතයන්ටම ගරු කළ නිසා ඉංගි‍්‍රසීන් විසින් නිර්මාණය කර දුන් ඉතිහාසය දෙස විමර්ශනාත්මකව බැලුවේ නැත. යමෙකු එසේ මැදිහත්ව විමර්ශනාත්මකව බලා යම් පර්යේෂණාත්මක ස්වාධීන මතයක් ඉදිරිපත් කළේ නම්, එවන් මතවලට විරුද්ධ වීමට නම් ඔවුන් වගබලා ගත්හ. සුදු මහත්වරුන් පෙන්වා දුන් මතය රැුක ගැනීමත් ඊට විරුද්ධ මත වලට, විරුද්ධ වීමත් අපේ ඉතිහාසඥයින්ගේ හා පුරා විද්‍යාඥයින්ගේ රාජකාරිය විය. අදටත් එය එසේම සිදුවෙයි.

”විජය රජුට පෙරත් මේ හෙළබිමේ ඉතාමත්ම දියුණු රාජ සමයන් පැවතියේය” යන්න මේ උගතුන්ට පිළිගන්නට නොව සිතාගන්නට වත් බැරි තරම් අභව්‍ය මතයන් සේ බැහැර කිරීම ඔවුන් පුරුද්දක් කොට ගත් බව නම් ඉතාම පැහැදිලිය. අරිසෙන් අහුබුදු මහතා, සූරිය ගුණසේකර මහතා මෙන්ම මහාචාර්ය පරණවිතාන මහතාද තවත් බොහෝ අයද වරින් වර මෙවැනි විමර්ශනාත්මක මත පළ කළත් අපේම උගත්තු ඒවාට විරුද්ධව රාජ්‍ය බලය හා ආගමේ බලයද යොදාගෙන ඒ මැදහත් මත යටපත් කර දමන්නට තරම් සැහැසි වූහ. සත්‍යය සොයන්නට නම් කිසිවෙකුවත්ම අවංකම උත්සාහයක් නම් ගත්තේම නැත. ඒ සමාජ සම්මත බලවේග වලට, ලාභ ප‍්‍රයෝජන වලට යටත් වීම නිසාය. සත්‍යය එළිදක්වන්නට යමෙකු උත්සාහ දරන හැම අවස්ථාවකම එවැනි නව මත දරන්නන්ව නිර්දය ලෙසින් විවේචනය කර සත්‍යය යටපත් කරන්නට නම් බොහෝ අය ඉදිරිපත් වූහ. අදත් රටේ එවැනි අය නම් බහුලය.

නිවැරදි ලෙසම දින වකවානු ඉදිරිපත් කරන්නට බැරි වුණත්, අනුරපුර රාජධානියේ මුල්ම යුගයේදී, දුටුගැමුණු මහ රජතුමාගේ රජ්‍ය කාලයට පසුව ”මහාවංශය” නම් හෙළ බසින් ලියූ අපේම හෙළ ඉතිහාස පොතක් සිංහල ගත් කතුවරයෙකු විසින් හෙළ බසින් ලියා පළ කරනු ලැබ තිබුණි. මෙය ඉතිහාස තොරතුරු ද අඩංගු ප‍්‍රශස්ති රචනාවකි. එදා රජකම් කළ සිංහල රජවරුන්ගේ කි‍්‍රයාකාරකම් හා හැකියාවන් ප‍්‍රශස්ති ලෙසින් වර්ණනා කිරීම මේ හෙළ මහා වංශයෙන් එදා සිදු වී තිබේ. නමුත් මෙය පසු කලෙක වටිනා ඉතිහාස පොතක් බවටද පත්විය.

මේ හෙළ බසින් ලියු මහාවංශය ලිවීමෙන් වසර 300 කට පමණ පසුව කාලයකදී අද අපට මහාවංශය නමින් කියවන්නට ඇති පාලි බසින් ලියු ”පාලි මහාවංශය” ලියා එළි දැක්වීය. මුලින් හෙළ බසින් ලියා තිබු මහාවංශය ආශ‍්‍රයෙන්ම පාලි බසින් ලියු පොතක් වන මේ පාලි මහාවංශය රචනා කළ මහානාම හිමියන්ගේ පෞද්ගලික මතයන්ද පාලි මහවංශයට ඇතුළත් කර ඇත. මහානාම හිමියන්ගේ සිත්ගත් රජවරුන් පිළිබඳව දීර්ඝ ලෙසින් වර්ණනා කර ඇති අතර සමහර රජවරුන් පිළිබඳව ගාථා කිහිපයකින් යාන්තමට පමණක් සඳහන් කර ඇත.

දීප වංශය නමින්ද හෙළ ඉතිහාස පොතක් පාලි බසින්ම ලියා තිබුණු අතර අදටත් අපට මේ දීපවංශයද (පාලි) පරිශීලනය කරන්නටත් ඉතිරි වී ඇත. මේ දීප වංශයද ලියා ඇත්තේ මුල්ම සිංහල (හෙළ) මහාවංශය ලියුවාට පසු යුගයේදීය. නමුත් පාලි මහාවංශය ලියන්නට නම් පෙර යුගයකදීය. දීප වංශය ලියූ කතුවරයාද මුල්ම සිංහල (හෙළ) මහාවංශය කියවා එහි අදහස් ද ලබා ගෙන පාලි දීප වංශය ලියා ඇති බවද පෙනේ. අනුරාධපුර යුගයට පසුව පොළොන්නරු යුගයේ අග භාගයේ හෝ ඊටත් පසු කාලයකදී හෝ ලියැවුණු ධාතු වංශය, ථුප වංශය හා බෝධි වංශය යැයි තවත් වංශ කථා තුනක්ද අද අපට කියවා ගන්නට ඉතිරි වී ඇත. නමුත් මේ පොත් ලියැවී ඇත්තේ දඹදෙණි යුගයේදී බව බොහෝ අය විශ්වාස කරති. සිංහල මහාවංශය ලියූ ආදී යුගයේම ලියූ තවත් හෙළ වංශ කථාවක් පිළිබඳව තොරතුරු අසා දැන ගන්නට ඇතත් අද මේ වැදගත් ඉතිහාස පොත අස්ථාන ගත වී ඇත. ”උත්තර වංශය” නමැති මේ ඉතිහාස පොත මගින් අනුරාධපුර ඉතිහාසයත් ඊට පෙර යුගන්හි පැවති හෙළ රාජධානී ගැනත් යම් යම් තොරතුරු සඳහන් කර තිබීම නිසා මේ ඉතිහාස පොත හිතාමතාම අස්ථාන, ගත කළේද, විනාශ කර දැමුවේද, යන්න අපට තවමත් හිතාගත නොහැකිය. උත්තර වංශයේ ලියා දැක්වුයේ බුද්ධ ධර්මයේ ඉතිහාසයයි. විශේෂයෙන්ම මෙහි අතීත බෞද්ධ ඉතිහාසය ලියා තැබු නිසා එය ”උත්තර වංශය” යන නමින්ම හැදින් විය. උත්තර වංශය නමැති හෙළ බෞද්ධ ඉතිහාසය ලියා තැබූ මෙම පොත මහනුවර යුගය දක්වාම භාවිතයේ පැවති බවට සාධක රාජාවලිය නම් පොතක් ලියූ කතුවරයාද එහි සඳහන් කරයි. රාජාවලිය ලියුවේ මහනුවර යුගයේදීය. සුදු මහතුන් ලියු ඉතිහාසයට වඩා වෙනස් තොරතුරු සඳහන් වූ නිසා මේ ”උත්තර වංශය” නමැති පොත හිතා මතාම අස්ථාන ගත කරන්නට ඇත යන මතයක් ද අද පවතී.

කෙසේ වෙතත් අද අපට කියවන්නට ඇති අපේ අතීත හෙළ ඉතිහාසය අසම්පූර්ණ වූත්, පැලැස්තර දමා අමුණා ගෙන නිර්මාණය කරගත්තා වුත් හෙළ ඉතිහාස කථාවකි. විශේෂයෙන්ම දුටුගැමුණු මහා රජතුමාට පෙර ලංකා ඉතිහාසය මේ අයුරින් කෘති‍්‍රමව නිර්මාණය කරගත් අනුමාන තොරතුරු වලින් ගහණ වී ඇත. අපේ අතීත හෙළ ඉතිහාසයේ පැවති ස්වර්ණමය යුගයන් කාලයේ වැලිතලාවෙන් වැසී යටපත් වී ගොස් තිබුණත් ඒවායේ නටඹුන් මේ හෙළබිම තුළ දී අදටත් අපට සොයාගන්නට ඉතිරිව ඇති නිසා හෙළබිම ඉතිහාසය සහමුලින්ම වසා දමා නිහඬ විය නොහැකි ය. අද මේ පොත ලියා පළකරන්නට මාස 15කට පෙර එනම් 2009 පොසොන් මාසයේදී මා විසින්ම ලියා එළි දැක් වූ මෙහි පළමුවැනි පොතේ (”අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි”) පෙන්වා දුන් පරම සත්‍යයන් සහතික කර පෙන්වන්නට උපකාර වූ සොයාගැනීම් රාශියක් පසුගිය මාස 15ක සුළු කාලය තුළදී මේ හෙළබිමේම විවිධ ප‍්‍රදේශ වලින් විවිධ පුද්ගලයින් විසින් මතුකර සොයා එළි දක්වා පෙන්වා දෙන ලදී.

මෙසේ සොයා මතුකරගත් නටඹුන් හැම එකකින්ම වාගේ සහතික කරන්නේ, පෙන්වා දෙන්නේ, බුදුන් බුද්ධත්වයට පත් වූ එදා පැවති හෙළබිම පිළිබඳව සත්‍යය තොරතුරුය. පසුගිය මාස 15ක පමණ සුළු කාලයක් තුළදී පමණක් අපේම පර්යේෂකයින් විසින් පුරාවිද්‍යාඥයින් විසින් හෝ වෙනත් පුද්ගලයින් විසින් අහම්බෙන් හෝ සොයා මතුකර ප‍්‍රසිද්ධ කරන ලද ඓතිහාසික තොරතුරු ප‍්‍රමාණය අතිවිශාලය. මෙසේ සොයා ගත් සියලුම දේවල් විජය රාජ සමයටත් පෙර, එනම් අනුරාධපුර රාජධානිය පටන් ගන්නටත් පෙර අතීත රාජ්‍ය යුගයන්ට අයත් වීම මෙහිදී විශේෂයෙන් සලකා බැලිය යුතු කරුණකි. මේ සියලුම පුරාවිද්‍යා තොරතුරු ගෞතම බුදුපියාණන් උපන්, බුද්ධත්වයට පත් වූ බුද්ධ යුගයට අයත් ඒවා හෝ ඊට පෙර යුගයන්ට අයත් ඒවාය. මේ සියල්ලම ධර්මතාවයෙන්ම නිසි කලට මතු වී හෙළබිමේ ඉතිහාසය පිළිබඳව සත්‍යය හෙළි කරන්නට උපකාරක වන පරිදි මතු වූ බවද පෙන්වා දිය යුතුය. මේ සියල්ල මතු වුයේ ජන්බුද්වීපයෙන්මය.

1. 2009 නොවැම්බර් මාසයේදී පමණ ලංකාවේම පුරාවිද්‍යාඥයින් පිරිසක් විසින් අනුරාධපුර නගරයට ආසන්නයේදී කරන ලද කැනීම් වලින් මතුකරගන්නා ලද පැරණි විශාල නගරයක නටඹුන් : මෙහිදී මතු කරගත් පුරා වස්තු කි‍්‍ර.පූ 600 පමණ කාලයට අයත් බව, එනම් බුදුන් උපන් වහන්සේ කි‍්‍ර.පූ. 589 දී පමණ බුද්ධත්වයට පත් වී පළමු ධර්ම දේශනාව පවත්වන ලද්දේ මේ නටඹුන් සොයාගත් පැරණි නගරයට තරමක් ආසන්නයේ පිහිටි ඉසිපතනාරාමයේදීය. අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල රජ මහා විහාර භූමිය එදා ඉසිපතනාරාමය විය. මෙසේ සොයාගත් නටඹුන් හා තොරතුරු දේවානම්පියතිස්ස රජුගේ පාලන යුගයටත් පෙර, විජය රජු ලංකාවට පැමිණෙන්නටත් පෙර යුගයක පැවති දියුණු නගරයකට අයත් වන නටඹුන්ය. ලංකාපුරය නමින් එදා ප‍්‍රචලිත වූ අනුරාධපුර නගරය දේවානම්පියතිස්ස රජ විසින් ගොඩනැඟු බව මහාවංශයේ සඳහන් වෙතත් මේ පැරැණි නගරයන් ගැන මහාවංශයේ සඳහන් නොවන්නේ ඇයි? මහාවංශය ලියන යුගය වන විට මේ නගර වලට සිදු වුයේ කුමක්ද?

2. මුලතිවු හා වව්නියාව දිස්ති‍්‍රක්ක වලට අයත් මහඝණ වනාන්තර ප‍්‍රදේශ වලින් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් මෑතකදී සොයාගත් අති පැරණි පූජා භූමි ගණනාවකම නටඹුන් එදා පැරණි කසීරටට අයත් ප‍්‍රදේශ වලින් හමු වු අතර ඒවා බුද්ධ කාලයට අයත් බෞද්ධ සිද්ධස්ථාන බවද දැනට හඳුනාගෙන ඇත. මේවා විජය රජු ලංකාවට පැමිණෙන්නටත් පෙර යුගයකට අයත් ඒවා නිසා හෙළබිම පිළිබඳව ඉතිහාසය අලුතින් යළි ලියන්නටම මතු වූ සාධකයන්ය.

3. ඇඹිලිපිටිය ආසන්නයේ ”රංචාමඩම” නම් ස්ථානයෙන් මෑතකදී හමු වූ අතිපැරණි පුරාවස්තු හා විශාල පැරණි නගරයක නටඹුන්: මෙහිදී හමු වූ පුරාවස්තු අනුරාධපුර රාජධානියට වඩා වසර දහසක් තරම් පැරණි බව දැන් හඳුනා ගෙන ඇත. මේ අනුව අනුරපුර රාජධානිය පටන් ගන්නටත් පෙර රුහුණේ හා දකුණේ දියුණු නගර හා ගම් පැවති බවට මෙයද හොඳම සාක්ෂියකි. ගෞතම බුදුපියාණන් එදා කි‍්‍ර.පූ. 543 දී පිරිනිවන් පා වදාළේ මේ රංචමඩම ප‍්‍රදේශයට තරමක් කිට්ටුවෙන් පිහිටා ඇති බුදුගල කුසිනාරාවේදීය.

4. සේරුවිල හා සෝමාවතී පුදබිම් සම්බන්ධ කරමින් අලුතින් පාරක් කපන්නට ගිය ශ්‍රී ලංකා යුද්ධ හමුදාවට 2009 අග භාගයේදී හමු වූ බුදු සිරිපතුල් හා වෙනත් පුරා වස්තු : මේ ප‍්‍රදේශය එදා ශාක්‍ය රාජවංශය විසින් පාලනය කරන ලද කිඹුල්වත් පුර රාජධානියට අයත් බිම් ප‍්‍රදේශයන්ය. මේ බුදු සිරිපතුල් හා වෙනත් නෂ්ටාවශේෂ පැරණි ශාක්‍ය රාජ යුගයට අයත් ඒවාය.

5. වාකරෙයි හා වෙරුගල් අතර නැගෙනහිර ප‍්‍රදේශයෙන් 2010 ජුනි මාසයේදී පමණ හමු වූ අක්කරයක පමණ විශාල රජමාලිගාවක නටඹුන් : අද ඉච්චිලන්පත්තුව නමින්ද එදා කොට්ටියාරම් නුවර නමින්ද ප‍්‍රසිද්ධ වූ මේ ප‍්‍රදේශය අතීතයේ අමිතෝදන රජු විසින් පාලනය කරන ලද ශාක්‍ය වංශික රාජධානියකි. මෙහිදී හමු වී ඇති මාලිගාව එදා අමිතෝදන රජුගේ මාලිගාව විය හැකිය. අමිතෝදන රජු සුද්ධෝදන රජුගේ සොහොයුරෙකි. මේ ප‍්‍රදේශ වල එදා දේව හෙළයට අයත් දියුණු රාජධානි පැවති බවට හොඳම සාක්ෂි මෙයින් මතු වෙයි. කොට්ටියාරම යනු කෝටියක් ආරාම තිබු ප‍්‍රදේශයයි. බුදුපියාණන් ගේ උපන් ගම වූ කපිලවස්තු පුරයට එදා අයත් වූ කොට්ටියාරම් නුවර ඒ කාලයේ බෞද්ධ ආරාම කෝටියක් පමණ තිබු බවට මෙයද සාක්ෂියකි. කෝටිය යන මාගධී පදයේ තේරුම කෙළවරක් නැති යන අර්ථයයි.

6. 2010 ජූලි මාසයේ දිනක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් පුවත්පත් සාකච්ඡාවක් පවත්වා හෙළබිම පිහිටි විශාලතම පුරාවිද්‍යා නටබුන් සහිත බිම පිළිබඳව කරන ලද විග‍්‍රහයක් : අක්කර 1600 කටත් වැඩි භූමි ප‍්‍රදේශයක් පුරා විසිරී පැතිර පවතින මේ නටබුන් එදා ගෞතම බුදු පියාණන් විසින් තම මුල් කාලයේ වැඩවාසය කරන ලද රජගහ නුවර නටබුන්ය. අද මේ ස්ථානය ”රජගල” නමින් හැඳින්වුවත් එදා එය රජගහ නුවර නමින් ත‍්‍රිපිටකයේ හා මහාවංශයේද සඳහන් කරන ලද පැරණි බෞද්ධ නගරයයි. ගෞතම බුදුපියානන්ට බිම්බිසාර රජතුමා විසින් අතපැන් වත්කොට පුජා කරන ලද වේලුවනාරාමයත් එ් ආශ‍්‍රිත බෞද්ධ නටබුන් සහිත ස්ථාන 28කුත් රජගලින් දැන් මතුවී ඇත. දැනට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙහි අක්කර දහයක පමණ සුළු ප‍්‍රදේශයක කැනීම් කර සොයාගත් පුරාවස්තු ප‍්‍රමාණය ගැන සලකා බලන විට අක්කර 1600 ක් වැනි විශාල ප‍්‍රදේශයක මොන තරම් තවමත් සොයා නොගත් පුරාවස්තු ඇද්දැයි තවම කාටවත්ම සිතාගත නොහැකිය.

7. රජගහ නුවරට – රජගලට – දකුණෙන් පිහිටි ”නෑල්ල” (අම්පාර) පුරා විද්‍යා නටබුන් : මෙයද රජගහ නුවර පුජා භූමියේම කොටසක් බව පෙන්වා දිය යුතුය. අද බුද්ධංගල පුරාවස්තු ඇත්තේද ”නෑල්ල” යන ස්ථානයටම සමීපයේය. ඉතා ඈත අතීත යුගයකදී නෑල්ල යන ස්ථානයට ”දීඝවාපිය” යන නම ව්‍යවහාර කරන ලද බවත් එය මුල්ම දීඝවාපිය බවත් සමහරුන්ගේ මතයයි. මුළු දිගාම`ඩුල්ල ප‍්‍රදේශයම එදා බුදුන් වැඩසිටි යුගයේ ඉතාම දියුණු තත්වයක පැවතුණු මගධ රාජධානියයි. මගධ රාජධානියට අයත් බෞද්ධ පුරාවස්තු අම්පාර ප‍්‍රදේශයෙන් දැන් දැන් විශාල වශයෙන්ම මතුවෙමින් පවතී. මගධ රටේ රජගහ නුවර යනු බුද්ධත්වයට පත් වූ ගෞතම බුදුපියාණන් වහන්සේ මුල් වසර 25 ක් පමණම කාලයක් වාසය කළ එදා ලෝක බෞද්ධ මධ්‍යස්ථානයයි. බුදුපියාණන් ජීවත් වූ සමයේත්, අනුරාධපුරයේ රාජධානියක් පැවති සමයේත් වසර 800 ක් පමණම දීර්ඝ කාලයක් පුරාවටමත් බෞද්ධ ලෝකයාගේ මුල්ම බෞද්ධ විද්‍යා ස්ථානය වුයේ මේ රජගල වේළුවනාරාමයයි. එදා ලෝකයා බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ රජගහ නුවර නම්වූ මේ ස්ථානයේදීය.

8. ගෞතම බුදුන් පිරිනිවන් පා වදාල බුදුගල කුසිනාරා නුවර ආසන්නයේ කොස්ලන්ද හා හල්දුම්මුල්ල කඳු බෑවුම් පාමුල 2010 අගෝස්තුවේදී හමු වූ ඉපැරණි සොහොන් කොත් සමූහය හා එ් ආශ‍්‍රිත නටබුන් : මේවාද මල්ලව රටේ රජදරුවන්ට අයත් සොහොන් කොත් හෝ ඒ ආශ‍්‍රිත දේවල් බව පෙන්වා දිය හැකිය.

එදා දේව හෙළය නමින් ප‍්‍රසිද්ධ වූ බුදුන් උපන් දීපය ජන්බුද්වීපය තුළින් දැන් දැන් මේ ආකාරයෙන් මතුවන පුරාවිද්‍යා නටබුන් පිළිබඳව අපේ විද්වතුන් මීට වඩා සැලකිල්ලෙන් කටයුතු කර මේවා පිළිබඳව නිවැරදිව හා මධ්‍යස්ථ මත ඉදිරිපත් කරන්නේ නම් වඩාත් යහපත්ය. ඉංග‍්‍රිසීන් විසින් අපට උරුම කර දුන් වැරදි ඉතිහාස නිගමන වලින් බැහැර වී නිදහසේ සිතන්නටත් දැන් කාලය පැමිණ ඇත.

1970 – 2006 දක්වා කාලය තුළ විවිධ බටහිර රටවල විවිධ පුරා විද්‍යා ගවේෂකයින් විසින්, පර්යේෂකයින් විසින්, ලංකාවේදී හා ලෝකයේ වෙනත් පැරණි ඓතිහාසික තොරතුරු ඇති රටවලදීත් කරන ලද විවිධ පර්යේෂණ වලින් සොයාගත් තොරතුරු පිළිබඳවද අප විමසිලිමත් විය යුතුය. මේ හෙළබිම හා සම්බන්ධ වූ අප මවිතයට පත් කරවන බොහෝ සත්‍ය තොරතුරු මෙම ඇමෙරිකන් හා ජර්මන් පර්යේෂකයින් විසින් සොයා මතුකර ගනු ලැබූවද ඔවුන් එ්වා ප‍්‍රසිද්ධියට පත් කළේ නැත. නමුත් මේ පර්යේෂකයින් විසින්ම මේ සම්බන්ධ වූ යම් යම් තොරතුරු විවිධ අවස්ථාවලදී හෙළිදරව් කළ අවස්ථාවන්ද ඇත. මෙසේ සොයාගත් බොහෝ තොරතුරු අනුරාධ පුර යුගයට පෙර හෙළබිමේ අතීත රාජ්‍ය යුගයකට අයත්වීම එසේත් නැතිනම් අතීත හෙළබිමට (ක‍්‍රි.පූ. 600-3000) කාලයට සම්බන්ධ වීමද අප විසින් සලකා බැලිය යුතු කරුණකි. අපේ අතීත හෙළබිම පිළිබඳව බොහෝ වැදගත් තොරතුරු අපට වඩා ඔවුන් දන්නා බව නම් සත්‍යයකි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

අ‍ටුවා, ටීකා, ටිප්පනි හා සම්මත

එදා ගෞතම බුදුපියාණන් වහන්සේ විසින් මාගධී පදවැල් වලින් දේශනා කරන ලද ගම්භීර බුද්ධ ධර්මය ඒ යුගයේ ජීවත් වූ අසු මහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින් කිහිප නමක් විසින් හෙළ අර්ථ කථා ලෙසින් හෙළ බස් වහරින් අර්ථ ධර්ම විග‍්‍රහ කර ලේඛන ගත කරන ලදි. මෙසේ බුද්ධ භාෂිතය අර්ථ කථා යන නමින් (අටුවා) සිංහල ජනතාවට තේරුම් ගන්නට හැකි වන පරිදි ලියා තබන්නට පටන් ගත්තේ ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි ඒ අතීත යුගයේදීමය. එදා ලියූ මුල්ම හෙළ අට්ඨ කථාවන් ලෙසින්ම භාවිතයේ පැවති, රජගල දී ලියූ බුදු කැලි අටුවාව, හෙළ අට්ඨ කථා, මහා අට්ඨ කථා, අට්ඨ කථා, කුරුන්දි අට්ඨ කථා යනුවෙන්ද නම් කර අටුවා රාශියක්ම එදා භාවිතයේ පැවති බව අපේ අතීත හෙළ පොත්වල සඳහන් වී ඇත. මේ අට්ඨ කථා ලියන ලද්දේ අගසවූ සැරියුත් අරහතුන් වහන්සේ, මහා කච්චායන අරහතුන් වහන්සේ, මහා කොටඨිත අරහතුන් වහන්සේ ආදී එදා බුද්ධ කාලයට සමකාලීනවම මේ හෙළබිමේ රජගහනුවර (අම්පාරේ රජගල) වැඩසිටි මහා ප‍්‍රාඥ බුද්ධ ශ‍්‍රාවකයින් වහන්සේලා විසින්ය. මෙම හෙළ අටුවා වල නිවන් දකින්නට උපකාර වන නියම නිවැරදි බුද්ධ ධර්මය හෙළ බසින් විග‍්‍රහකර සිංහල මිනිසුන්ට නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ආකාරයටම සරල ලෙසින් ද සම්පූර්ණවද ලියා තිබිණි.

බුද්ධ පරිනිර්වාණයෙන් පසුවද රුහුණේ මෙන්ම නැගෙනහිර රජගල හා දිඝවාපියේත්, සැවැත්නුවර ජේතවනාරාමයේත් ලියා තැන්පත් කර තිබු මෙම සිංහල අර්ථ කථා පොත්, දුටු ගැමුණු රාජ්‍ය, යුගයේදී අනුරාධපුර මහා විහාරය කරා ගෙනවුත් එහි තැන්පත් කර තිබු බවද මහාවංශයේ සඳහන්ය. මිහිඳු හිමියන් අම්පාරේ රජගල (රජගහනුවර) සිට අනුරාධපුරයට බුද්ධාගම ගෙන ආ මුල්ම ගමනට පසුව අනුරාධපුරයට දෙවන ගමනේදී රජගලදී ලියා තිබු සිංහල අර්ථ කථාවක් (අටුවා) වන බුදු කැලි අටුවාවද මිහිඳු හිමියන්ම අනුරාධපුරයට ගෙනා බවත් මහාවංශයේ සඳහන් කර ඇත. රුහුණේ, නැෙඟනහිර හා රටේ වෙනත් පළාත් වල බෞද්ධ මධ්‍යස්ථාන වල පුස්තකාල වල ලියා තැන්පත් කර තිබු හෙළ අටුවා හා වෙනත් වටිනා හෙළ පොත් පත් විශාල ප‍්‍රමාණයක් මෙසේ වරින් වර අනුරාධපුරයට ගෙනවිත් අනුරාධපුර මහා විහාරයේ තැන්පත් කර තිබිණි. බු.වර්ෂ 984 ලංකාවට පැමිණි බුද්ධඝෝෂ හිමියන් පාලි භාෂාවට පරිවර්තනය කළේ ද මෙසේ අනුරාධපුර මහාවිහාරයේ තැන්පත් කර තිබු හෙළ බසින් ලියා තිබු අටුවා පොත් වලින් සමහර කොටසකි.

මෙම පාලි පරිවර්තනයේදී සිදු වුයේ මුලින්ම ආර්යයන් වහන්සේලා විසින් ලියූ සිංහල අර්ථ කථාවල ගැබ් වී තිබු නිර්මල උතුම් බුද්ධ ධර්මය ලෞකික දේව ආගම් සංකල්ප වලට හැරවීමයි. පෘථග්ජන ලෝකයාට ගැලපෙන සේ සකස් කර ලිවීමයි. මේ අනුව මෙතෙක් සිංහල උගත් අයට සිංහලයෙන් විග‍්‍රහ කර තිබු සිංහල මිනිසුන්ට තේරුම් ගත හැකිව තිබූ, හෙළ අර්ථ කථා දේව ආගම් සංකල්ප සමගින් සම්මිශ‍්‍රණය කර විශේෂයෙන්ම එවකට ඉන්දියාවේ ප‍්‍රචලිතව තිබු පතංජලී දේව ආගම් සංකල්ප වලට ගැලපෙන අයුරින් සකසා පාලි භාෂවෙන් ලියා තැබීමයි. විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක්ම ලියා තැබු බුද්ධඝෝෂ හිමියන් අවසානයේදී අනුරපුර මහා විහාර පුස්තකාලයේ තැන්පත් කර තිබු ඇතුන් හත් දෙනෙකුගේ බරට සමාන වූ සිංහල පොත් පත් සියල්ලම ගිනිබත් කරන ආකාරයට උපක‍්‍රම යොදා කටයුතු සකස් කර රටින් පිට වී ගිය බවද ඉතිහාසයේම සඳහන්ව ඇත.

නමුත් බුද්ධඝෝෂ හිමියන් විසින් පරිවර්තනය කර ලියු විශුද්ධි මාර්ගය ඇතුළු අර්ථ කථා පොත් අභයගිරියේ ආරක්ෂා සහිතව රැකී පැවතිණි. මහා විහාරයේ පුස්තකාලයේ ගබඩා කර තිබු හෙළ අටුවා පොත්පත් සියල්ල විනාශ වී ගිය පසු, මහා විහාරයද බිමට සමතලා කර උඳු වපුරන්නටත් කි‍්‍රයා කළ පසුව, බුද්ධාගම ලෙසින් මේ ලක්දිව තුල ඉතිරි වුයේ බුදු ගොස් හිමියන් විසින් ලියු පාලි අටුවා පොත් පමණි. ඉන් පසුව අනුරපුර යුගයේත් පොළොන්නරු යුගයේත් විවිධ අටුවා ලියු, හා ඒවාටම ටීකා ලියු ටිප්පණි ලියු, සම්මත ලියු පාලි හා සිංහල අර්ථ කථාකරුවන් හැම කෙනෙකුම වාගේ භාවිතා කළේ, ගුරුකොට ගත්තේ, බුද්ධඝෝෂ හිමියන් විසින් ලෞකික අර්ථ යොදා වැරදි ලෙසින් පරිවර්තනය කර ලියා ඉදිරිපත් කරන ලද පාලි විශුද්ධි මාර්ගය ඇතුළු පොත් පත් මිස නියම නිවැරදි බුද්ධ ධර්මය නම් නොවේ. මේ අනුව පොළොන්නරු යුගය වන විට සම්පූර්ණයෙන්ම පිරිසිදු බුද්ධ ධර්මය වෙනස් වී නිවන් දැකීම යනු පැතීමකට පමණක්ම සීමා වී ඉන්දියාවේ එදා පැවති ආගම් සංකල්පයන් හෙළදිව පුරාමත් තදින්ම පැතිරී යන්නට විය. නිවන් දකින්නට උපකාර වූ උතුම් බුද්ධ ධර්මය සහමුලින්ම ආගම් සංකල්ප වලින් යටපත් වී අභාවයටම ගියේය. බුද්ධාගම නමින් අදහන්නට යමක් පමණක් ඉතිරි විය. මේ අනුව ඉන්දීය ආගම් සංකල්ප වල හා දේව ආගම් වල ඇදහු ඇදහිලි පුද පූජා, ගායනා, ශාන්ති කර්ම, ආශිර්වාද පූජා ආදි විවිධ දේ පොදු ලාංකික මහජනයා අතරේද ප‍්‍රචලිත වන්නට පටන් ගත්තේ මහා විහාරයේ ගබඩා කර තිබු හෙළ පොත් පත් ගිනිබත් කර විනාශ කිරීමත් සමගමය. අභයගිරි විහාරයේ වාසය කළ මහායානිකයෝ තරගය ජය ගත්හ. මහා විහාරිකයෝ සහමුලින්ම විනාශ වී ගියහ. නිවන් දකින පිරිසිදු බුද්ධ ධර්මයත් හෙළ බසින් සරළ ලෙසින් ලියා තිබු හෙළ අටුවාත් විනාශ වී ගොස් දේව ආගම් සංකල්ප වලට බර ආමිස පූජා සහිත වූ බුද්ධාගමක් පමණක් හෙළබිම ලංකා වාසීන්ටද, ඉතිරි විය. උරුම විය. නිවන් දකින පිරිසිදු උතුම් බුද්ධ ධර්මය අනුගමනය කරන පිරිස වනගත විය. දේව ආගමික සංකල්ප ඇදහූ අභයගිරියට සම්බන්ධ මහායානික පිරිස රජමාලිගා වටා රොක් විය. රජ සැප සිටු සැප වලටත් වඩා සැප පහසු කම් ලැබූ ජීවිතයක් ගත කරන භික්ෂුන් පිරිසක් එදා අනුරපුර රාජධානියේදී ලංකාවේද බිහි විය. පොළොන්නරු යුගය වන විට මේ තත්ත්වය තව තවත් දරුණු තත්වයට පත් විය. බුද්ධාගම සහමුලින්ම ලෞකික දේව ආගම් සංකල්ප වලට යට වී උතුම් බුද්ධ ධර්මය ක‍්‍රමානුකූලව අභාවයටම ගිය බවත් ඉතාම පැහැදිලිය. පුජාවලිය, කව්සිළුමිණ, බුත්සරණ වැනි බෞද්ධ සාහිත්‍යය පොත් පත් ලියැවූණේද මේ යුගයේය. එවැනි පොත් පත් බෞද්ධ සාහිත්‍ය ඉතිහාසයේ නම් ස්වර්ණමය යුගයේදී ලියු පොත්පත්ය. බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය බෞද්ධ කාලාශිල්ප ආදිය මේ යුගයේදී ඉතාමත්ම දියුණු තත්ත්වයට පත්විය. මෙහි නියත ප‍්‍රතිඵලය වුයේ ආගම් සංකල්ප වලට මුල්තැන දී නිවන් දැකීම යන්න ප‍්‍රාර්ථනාවක් පමණක් බවට පත්විමයි. උතුම් බුද්ධ ධර්මය යටපත්වී ඇදහිලි පුදපූජා වලට මුල් තැනදීමයි. ඉන්පසුව ආ යුගයන්හි තව තවත් තත්ත්වය පිරිහී මහනුවර යුගයේදී බුද්ධ ධර්මය සම්පුර්ණයෙන්ම නැතිවී අභාවයටම ගිය බවද පෙන්වා දිය යුතුය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button