2. කායේකායානුපස්සනාව

”යදිදං චත්තාරෝ සතිපට්ඨානා” යන පදවලින් ”කායේ කායානුපස්සී විහරති, වේදනා වේදනානුපස්සී විහරති, චිත්තේ චිත්තානුපස්සී විහරති, ධම්මේසු ධම්මානුපස්සී විහරති” යනුවෙන් පෙන් වූ පියවරයන් හතර වෙන් වෙන් වශයෙන් දැනගත හැකි වෙන් කොට භාවනා කළ හැක, හෝ වෙන්ව භාවිතා කළ හැකි කරුණු හතරක් නොවෙයි. මේ හතරම එකම අරමුණකට බැඳුණු එකම කාරණයකට අදාළ වූ අවස්ථා හතරක්ම පමණි. සතර සතිපට්ඨානය භාවනා කරන්නට අදහස් කරන කෙනෙකු නම් පළමු කොටම මේ බව නිවැරදිම තේරුම් ගත යුතුයි. යම් කිසි ආරම්මණයකට පටිච්ච වීම නිසා තම සිතේම යම්කිසි වේගයක් උත්පාදනය වන ආකාරයත් ඒ වේගය සිත තුළදීම ක‍්‍රියාත්මක වී සකස් වන ආකාරයත් පෙන්වා දී ඒ වේගය ගින්නක් බවට ශක්තියක් බවට පත් නොවන්නට නම් වේගය නිවෙන යම් ප‍්‍රතිපත්තියක් අනුගමනය කළයුතු බවක් ප‍්‍රායෝගිකවම පෙන්වා දීම මෙහිදී පියවර හතරකින්ම විග‍්‍රහ වේ. හිතේම හටගත් සිත තුළම උත්පාදනය වූ ගින්නත්, ගින්න නිසා ක‍්‍රියාත්මක වූ චිත්ත ආවේගයනුත්, චිත්ත ආවේගය නිසා ලබන ප‍්‍රතිවිපාකත් පෙන්වා දී ඒ හතර අවස්ථාවන්හිදීම අවබෝධයෙන් යුතුව කටයුතු කිරීමන් හේතුඵල දෙකම දැන, දැක ක‍්‍රියා කිරීමෙන් වේගය සංසිඳවා සිත සංසුන් කර චිත්තය සංයමයට පත්කර ගෙන සම්මා තත්ත්වයටම සිත පත් කරගැනිමට මඟ පෙන්වා දීම සතර සතිපට්ඨානයෙහි යෙදී සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමෙන් සිදුවේ. ඒ නිසා සතර සතිපට්ඨාන භාවනාව යනු වෙන් වෙන්ව කර ගත හැකි කරුණු හතරක් නොවේ.

අවිද්‍යාව නිසා, නොදන්නා කම නිසා, රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක‍්‍රියාත්මක වන පෘථග්ජන කෙනෙකුට සිතට අරමුණක් ”පටිච්ච වූ” වහාම ඒ අනුව ක‍්‍රියාකර අවිද්‍යා සංඛාරයක් ලෙස සිතේම ක‍්‍රියාත්මක වීමට පටන් ගනී. ප‍්‍රිය අරමුණක් නම් ඊට පටිච්ච වීම නිසා සමුදය ශක්තියක් බිහි වේ. අප‍්‍රිය අරමුණක් නම් එයට පටිච්චවීම නිසාත් සමුදය ශක්තියක් උත්පාද කරගනී. මෙතැනදී ක‍්‍රියාකාරකමක් සිදුවේ. මේ ක‍්‍රියාව වෙන් කර ක‍්‍රියාව නිසා උපදින වේගය දැක ගැනීමට නොහැකි නම් සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු ලෙස හැදින්විය නොහැකියි. අසතියෙන් ක‍්‍රියාකිරීම නිසා වේගයක් ශක්තියක් තම සිතේම උත්පාදනය කරගනී. සතියෙන් ක‍්‍රියාකරන කෙනෙකුට නම් අරමුණකට පටිච්චවීම නිසා තමාගේම සිතේම උත්පාදනය වන ශක්තිය, ගින්න, දාහය, වේගය දැකගන්නත් හැකිවේ. ක‍්‍රියාවේ වේගය නිසා තමා තුළම හටගත් ගින්නෙන්, යම් වින්දනයක්, වේදනාවක් උත්පාදනය වන බවත් දැකගන්නත් හැකියාව ලැබේ. ඒ වේදනාව නිසා චිත්තාවේගයක් සිතේ උත්පාදනය වන බවත් ඒ චිත්තාවේගය නිසා ක‍්‍රියාත්මක කරන සංඛාරයට අනුව සංඛතයක් බිහිවී කර්ම බීජයක්ද සකස් වෙන බවත් දැකගත හැකියි. මෙතැනදී ක‍්‍රියාවෙන් උත්පාදනය වන්නා වූ වේගය නිසා මත් ගතියක් මත් වීමක සිතේ මතු වේ. රත් වීමත්, ගිනි ගැනීමත්් නිසා සිතක මත් වීම සිද්ධ වේ. රාගයෙන් මත් වීමෙන් හෝ ද්වේෂයෙන් මත් වීමෙන් හෝ මෝහයෙන් මත්වීම හෝ නිසා මත් වූ මත් ගතියක් නිසාම ථිනමිද්ධ යන ගතියත් ඇති වේ. මේ නිසා ලේ ධාතුව කිළිටි වේ. එනම් ජීවිතේන්ද්‍රියත් කිළිටි වේ. කිළිටි වූ, මත් වූ, රත් වූ, ලේ ධාතුව මොළය කරා ගමන් කළ විට ඒ කිළිටි ලේ නිසා මනසේ මුවහවීම නිසාත් කෙනෙකුට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමටත් නොහැකි වේ. එසේ අමනසිකරණයෙන් ක‍්‍රියාකරන විට හොඳ නරක, හේතුඵල, සුව අසුව ආදියෙහි දෙපැත්තම බලා ක‍්‍රියා කරන්නට නොහැකි වේ. මනසීකරණ ශක්තියක් නැති වීම හේතුවෙන් මත් වී ක‍්‍රියාකරන පුද්ගලයෙකු බවටත් පත් වේ. මෙතන ක‍්‍රියාවන් හතරක් වෙන්කොට දැක්විය නොහැක. එකම ක‍්‍රියාවක වේගය අනුව පියවරයන් හතරක්ම ක‍්‍රියාත්මක වීමක් පමණක් සිදුවේ.

තම ක‍්‍රියාවේ වේගය තමන්ම පාලනය කර ගැනීමටද පුරුදු පුහුණු විය යුතුයි. මේ පුරුද්ද පුහුණුව නිසි ආකාරයෙන් ක‍්‍රියාත්මක කිරීමට නම් හේතුඵල ධර්මය ක‍්‍රියාත්මක වන ආකාරය හා එහි ද්වතාවයත් තේරුම් ගත යුතුයි. ක‍්‍රියාවේ වේගය තමන්ටම පාලනය කරගන්නට හැකි බවත් ක‍්‍රියාවේ වේගය පාලනය කරගත් විට ක‍්‍රියාව නිසා උත්පාදනය වන මත්වීමේ ශක්තියද අනුත්පාද වීමෙන් සිත පාලනය කරගත හැකි බවත් උත්සාහයෙන්, වීර්යයෙන්, යථාවබෝධයෙන් ක‍්‍රියාවේ වේගය පාලනය කරගත හොත් ඒ අනුව වේදනාවක් ඇති නොවී වේදනාවේ වේගයද පාලනය කරගැනීමට තමන්ටම ශක්තිය ලැබෙන බවත් තේරුම් ගත හැකියි. වේදනාවේ වේගය පාලනය කරගත් විට තමන්ට තමාගේ චිත්තාවේගයන්ද පාලනය කරගත හැකි වේ. හිත සමථයට පත්වී හිතේ විසුරුණු ගතිය පහවී සිත ඒකාරම්මණයකම පිහිටා සිට කි‍්‍රියා කිරීමේ ශක්තිය හා පුහුණුවද දැන් ලැබේ. මේ අනුව රත් නොවූ මත් නොවූ ඒකාග්ගතාවයකට පත් වූ සිතින් ධම්මානුධම්ම පටිපදාවෙහි පිහිටා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කර හැම ක‍්‍රියාවක් පිළිබඳවම දැක ඉවසා, විමසා කටයුතු කරගැනීමේ පුරුද්දක් හා පුහුණුවක් ලැබේ. මේ අනුව හේතුඵල ධර්මයට බහා ගළපා බලා කටයුතු කරන්නටත් අනිච්ච, දුක්ඛ, අනත්ථ ත‍්‍රිලක්ඛණයට අනුව ක‍්‍රියාවේ වේගය සහමුළින්ම උදුරා ගළවා දමන්නටත් ප‍්‍රායෝගිකව පුරුද්දක් ද ලැබේ. මෙතැනදී ධර්මතාවයට අනුවම ක‍්‍රියාත්මක වීමත් සිදුවේ. ජීවිතය පවත්වන නමුත් ක‍්‍රියාවේ වේගයෙන් මත් වූ ගිනිගත් සිතකින් ක‍්‍රියා නොකරන තත්ත්වයටම සිත සංසුන් වේ.

මේ අනුව කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව හා ධම්මානුපස්සනාව යනු කරුණු හතරක් නොවේ. හතරකට වෙන් කර භාවිතා කිරීමේ හැකියාවද නොපවතී. වෙන්කර භාවිතා කිරීම හෝ භාවනා කිරීමට හෝ හැකි පියවරන්ද නොවේ. ක‍්‍රියාවේ වේගය තමාට දැකගන්නට නොලැබුණොත් ක‍්‍රියාව නිසා උත්පාදනය වන වේගය පාලනය කරගන්නට හෝ යථාවබෝධයකුත් නැත්නම් හෝ කායේ කායානුපස්සනාව වැඞීමටද කළ නොහැකි වේ. ශරීරය දෙස බලා සිට කය අනුව හොඳ සිහියක් පැවැත්වීම යන්න ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගයක්ද නොවේ. ඒ නිසා එය නිවනට උපකාර වන භාවනාවකුත් නොවන්නේමය.

සබ්බකාය පටිසංවේදී අස්සසිස්සාමීති සික්ඛති පස්සිස්සාමීති සික්ඛති” යන්නෙහි ”සබ්බකාය” යනුවෙන් අදහස් කරන ලද්දේ සියලුම ක‍්‍රියාවන් පිළිබඳවයි. මෙහි සියලු ක‍්‍රියාවන් ලෙසින් ගැනෙන්නේ චක්ඛුකාය – ඇසෙන් කරන ක‍්‍රියාවන්, සෝත කාය – කනෙන් කරන ක‍්‍රියාවන්, ඝාණ කාය – නාසයෙන් කරන ක‍්‍රියාවන්, ජිව්හා කාය – කටින්, දිවෙන් කරන ක‍්‍රියාකාරකම්, පොට්ඨබ්බ කාය – කයෙන් කරන ක‍්‍රියාවන්, මනෝ කාය – මනසින් කරන ක‍්‍රියාවන් යන හයයි. ඇසෙන් ප‍්‍රිය රූපයක් දෙස බලා ඒ රූප සංඥාව ප‍්‍රිය යැයි තීරණය කර ඉන් උත්පාදනය වූ ශක්තියෙන් මත් වීම නිසා ඒ රූපයට ඇලුණොත් රූපයට තණ්හා වී, අල්ලා උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවක් කළොත් එතැනදී ක‍්‍රියාවේ වේගයක් උත්පාදනය වේ. වේදනාවක් උත්පාදනය වේ. චිත්තාවේගයක් උත්පාදනය වේ. රූපයට මත් වී රාගයෙන් රූපය උපාදනය කරගනී. ඇසෙන් දුටු රූපය අප‍්‍රිය නම් අමිහිරි නම් ඒ රූපය කෙරෙහි ද්වේෂයක් සිතේ මතු වේ. එතැනදී සිතේ දෙවැනි වේෂයක් උත්පාදනය වේ. ද්වේෂයෙනුත් සිත මත් වේ. සිතේ වේදනාවක් හට ගනී. මේ දෙවෙනි ආකාරයෙන් අප‍්‍රිය රූපයට මත්වීම වඩා බලවත් වේදනාවකි. එයින් තමාගේම ලේ ධාතුව බලවත් සේම කිළිිටි වී මනස වැසීි මුවහ වී යයි. මේ ආකාරයටම සෝත කාය ශබ්ද රූපයටත්, ඝාණ කාය ගන්ධ රූපයටත්, ජිව්හා කාය රස රූපයටත්, පොට්ඨබ්බ කාය සුව පහසු බවටත්, මනෝ කාය ධම්ම රූපයටත් පටිච්ච වීමෙන් පටිසංවේදී බවක් සිතේ හට ගනී . මෙසේ පටිසංවේදී බවක් ඇතිවීම නිසා මත් වීමෙන් යමකට බැඳීම සිදු වේ. ”පටි” යනු බැඳෙන බවයි. මත් වීමෙන් ක‍්‍රියා කිරීම සංවේදී බවයි. මෙවන් වූ ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනීමෙන් පටිසංවේදී බව පාලනය කර තම සිත හික්මවා ශික්ෂණයට පත් කර ගැනීමටත් හැකි වේ. මේ සඳහා ”අස්ස” යනුවෙන් පෙන්වා දුන් ආශ‍්‍රය කළයුතු භාවිතා කළයුතු අලුත් වැඩ පිළිවෙළ මනාව වටහා ගත යුතු වේ. එසේම ආශ‍්‍රයෙන් බැහැර කළ යුතු ”පස්ස” යනුවෙන් පෙන්වා දුන් ප‍්‍රහාණය කළ යුතු වැඩ පිළිවෙළක් ද වටහා ගත යුතු වේ. මේ අනුව අස්ස පස්ස යන්න යථාවබෝධයෙන්ම භාවිතා කිරීමත් ප‍්‍රහාණය කිරීමත් කළ යුතුයි.

ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගැනීමට ආශ‍්‍රය කළයුතු හා භාවිතා කළයුතු වැඩ පිළිවෙළ අලුතින් අසා දැන තේරුම් ගෙන ප‍්‍රායෝගික කර ගත යුතු වැඩ පිළිවෙළයි. එය ”අස්ස” යනුයි. ක‍්‍රියාවේ වේගයෙන් සිත මත්වෙන ගති ස්වභාවය සංසාරයේ මේතාක් කාලයක් පුරුදු පුහුණු කර ගෙන පැවති වැඩපිළිවෙළ ”පස්ස” යනුවෙන් ඉවත් කළයුතු වැඩ පිළිවෙළයි. රාගයෙන් ඇලීමේත්, ද්වේෂයෙන් ගැටීමේත් සංසාර පුරුද්ද බැහැර කර දමා උපේක්ඛා සිතින් එය ඉවසා දරා විමසා ක‍්‍රියාවේ වේගය පාලනය කර සිත සංසිඳවා ගත යුතුයි. මෙය කායේකායානුපස්සනාවේ පිහිටා ක‍්‍රියා කිරීමයි. බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ නිවැරදිම ආනාපානාසතිය ද මෙයයි. ”දීඝංවා අස්ස සංතෝ, රස්සංවා අස්ස සංතෝ – දීඝංවා පස්ස සංතෝ රස්සංවා පස්ස සංතෝ ” යනුවෙන් දේශණා කළ පාඨයන්ගෙන්ද අස්ස හා පස්ස යන පද දෙකෙන් ද විග‍්‍රහ කර පෙන්වා වදාළේ ආශ‍්‍රය කළ යුතු දේ හා ආශ‍්‍රය නොකර බැහැර කළ යුතු දේ පිළිබඳවයි. ඉන්ද්‍රියයන් හයෙන්ම ආශ‍්‍රය කිරීමත් ආශ‍්‍රයෙන් බැහැර කර දැමීමත් කළ හැකියි. ”දීඝංවා” යනු අතී දිර්ඝ සංසාරයේ පෘථග්ජන පුද්ගලයෙකු ලෙසින් තමා හුරු පුරුදු කරගෙන පවත්වා ගෙන ආ පුරුද්ද එනම් ප‍්‍රිය දේට ඇලීමත් අප‍්‍රිය දේට ගැටීමත් යන අන්තවාදී පුරුද්දයි. හැම ආකාරයේම දුක් වලට මුල් වන්නේද මෙම අවිද්‍යා මූලික පුරුදු පැවතීමයි. දීර්ඝ සංසාරයේ පුරුදු කරගෙන ආ මෙවන් ගති පුරුදු නිසා සිතේ හටගන්නා වේගය, වේදනාව, දුක, කිළිටිවීම දැක එහි යථා තත්ත්වය අවබෝධ කරගෙන එවන් පුරුදු මෙතෙක් දිගටම පවත්වාගෙන ආවත් ඒවායින් දැන් ඉවත් වී, නිදහස් වී, උපේක්ඛා සිතින්ම කටයුතු කරන්නට පුරුදු වීම අලුත් පුරුද්දයි.

”රස්සංවා අස්ස සංතෝ, රස්සංවා පස්ස සංතෝ” යැයි ප‍්‍රකාශ කළේත් අපි අද අලුතින් පුරුදු කරගන්නා ප‍්‍රිය දේට ඇලෙන පුරුද්ද හා අප‍්‍රිය දේට ගැටෙන පුරුද්ද පිළිබඳවයි. හැම ආකාරයේම දුක් දොම්නස්, වේදනා වලට මුල් වන්නේත් මෙවැනි අන්තවාදී ප‍්‍රිය අප‍්‍රිය ගති පුරුදු බවත් දැන ගෙන ඒවායින් ඉවත්වී උපේක්ඛා සිතින්ම ක‍්‍රියා කරන්නට පුරුදු වීම යන ද්වතාවය මෙහි අදහසයි. මෙහි අස්ස යනු ආශ‍්‍රය කළ යුතු අලුතින් පුරුදු විය යුතු දේයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කළ යුතු දේයි. මේ ආකාරයෙන් ක‍්‍රියාවේ වේගය බැහැර කරමින් අනුපස්සනා කරමින් සිත සංසිඳවීමද කළ හැකිවෙයි.

මේ අනුව ”කායේකායානුපස්සනාව” යනුවෙන් මාගධී පදවලින් බුද්ධ දේශණාවේ අදහස් කරන ලද්දේ ”කය” යන සිංහල භාෂාවේ පදයෙන් අදහස් කළ මේ ශරිර කූඩුව පිළිබඳව නම් නොවේ. කය හෝ ශරීර කූඩූව හෝ දෙස බලා සිට කොපමණ කාලක් භාවනාවක යෙදී සිටියත් ලබාගත හැකි නිවනක් නිදහසක් නම් කාටවත්ම සිතාගත නොහැකියි. මෙහිදී ”කය” යන පදය නොව ”කාය” යන පදයම ධර්ම විග‍්‍රහයේදී භාවිතා කර ඇත. ”කාය” යනු ක‍්‍රියාකාරකම යන්නයි. ක‍්‍රියාකාරකම් හයක එකතු වීමෙන් මේ ශරීර කූඩුව ”පණ ඇති” තත්ත්වයට පත් වී ඇත. සත්ත්වයෙකු, පුද්ගලයෙකු ලෙසින් ක‍්‍රියා කරනු දැකිය හැකි වන්නේ මෙම ක‍්‍රියාකාරකම් හයක් ක‍්‍රියාත්මක වන තුරු පමණි. ක‍්‍රියාකාරකමත්, එම ක‍්‍රියාකාරකම උපදින්නට, (උප්පජ්ජති) මුල් වූ හේතුවත් ක‍්‍රියාකාරකමක් ක‍්‍රියාත්මක කිරීම නිසා උපදින ශක්තියත් (වේගය) යන හේතුඵල දෙකම දෙස විමසිල්ලෙන් බලා, ක‍්‍රියාවේ වේගය මත්වීමේ ශක්තිය සංසිඳවා ගැනීම කායේකායානුපස්සනාවයි. ක‍්‍රියාව නිසා උපදින අයහපත් වේගය සංසිඳවා ගත හැකි නම් ඒ ක‍්‍රියාව නිසා තමාට හෝ බාහිර කිසිවෙකුටත් කිසිම හානියක් සිදුවන්නේද නැත. ක‍්‍රියාව නිසා ක‍්‍රියාකාරකම නිසා උපදින වේගය ශක්තිය මත් වීම විශ්ව ශක්තියක් උපදවන සියලුම දුකට හා සැපටද හේතුවන එකම ශක්ති ප‍්‍රභවයයි. ලෝකයක් බිහිවන්නේ මේ ශක්ති උත්පාදනය වීමෙනි. ”කය” යනුවෙන් අදහස් කරන මේ ශරීර කූඩුව තුළ පංචස්කන්ධය තුළ ක‍්‍රියාත්මක ක‍්‍රියාකාරකම් හය වෙන් කර,ඉවත් කර ඒවා එකින් එක වෙන් කොට සළකා බලන්නට පුරුදු වන්නේ නම් මේ ශරීර කූඩූව තුළින් සත්ත්වයකු, පුද්ගලයකු යන සංකල්පයක් දැක ගන්නටද නොහැකියි. මේ පංචස්කන්ධය මම, මගේ, මගේ ආත්මය යන පුද්ගල සංකල්පයක් ලෙසින් පෘථග්ජනයා දැක ගන්නේ මේ ක‍්‍රියා හය ක‍්‍රියාත්මක වන තුරාවටම පමණි. මේ ක‍්‍රියාකාරකම් හය නැති විට මේ ශරිරය මල කඳකි. එසේ නම් ඒ පංචස්කන්ධයට ශරිර කූඩුවට ක‍්‍රියාත්මක ශක්තියක් වේගයක් ලබාදෙන්නේ මේ ක‍්‍රියාකාරකම් හයක් නිසාමය. මේ ක‍්‍රියාකාරකම් හයම නිසා හේතු ඵල පරම්පරාවක්ද බිහි වෙයි. හේතුව (ප‍්‍රිය හෝ අප‍්‍රිය පුරුද්දක් නිසා) පටිච්ච වීමයි. ඵලය ”සං” ශක්තිය සමුදය ධර්මයන් බිහිවීමයි. මේ අනුව සත්ත්ව පුද්ගල සංකල්පය අතහැර ආත්ම, අනාත්ම සංකල්පයද අතහැර මේ ”කය” පිළිබඳව ශරිර කූඩුව පිළිබඳව යථා තත්ත්වය නිවැරදි ආකාරයට දැක ගන්නට හැකි වන්නේ මේ ක‍්‍රියාකාරකම් හය වෙන් වෙන් වශයෙන් වෙන්කොට බෙදා බලාගන්නට පුරුදු වීමෙන්ම පමණි. මෙය අනුපස්සනා කිරීමයි. කායානුපස්සනා කිරීමයි.

ගෝතම බුදුපියාණන් එදා කුරු රටදී දේශණා කර වදාළ මේ ගැඹුරු අර්ථ සහිත වූ මහා සතරසතිපට්ඨාන සූත‍්‍ර දේශණාවේදී කායේකායානුපස්සනාව භාවනා කිරීමට එය අවබෝධ කර ගැනීමට පහසු වීම සඳහාම එය වෙන් කොට දැක ගන්නට උපකාර වන ලෙසින්ම ”පබ්බ ”දාහතරකින්ම කායානුපස්සනාව දේශණා කර විග‍්‍රහ කර වදාරා ඇත. මෙය ක‍්‍රම වේදයන් හයකි. ”පබ්බ” යන පදය පසු කාලයක අටුවාචාරීන් යොදාගත් පදයකි. මෙහි සඳහන් වන්නේ ක‍්‍රම වේදයන් හයකි. මෙහිදී ”කායේකායානුපස්සනාව” තේරුම් ගැනීම සඳහාම පමණක් මේ ක‍්‍රියාකාරකම් හය වෙන් කොට දැක ගන්නටත් ක‍්‍රියාකාරකම් හය වෙන්ව දැක ගත් පසු මෙහි ”ඝණ සඤ්ඤාවක්” හෝ සත්ත්ව පුද්ගල සංඥාවක් හෝ නැති බව තේරුම් ගන්නටත් මේ පබ්බ හයම උපකාර වෙයි. පෘථග්ජන පුද්ගලයෙකුට තමාගේ ”කාය” පිළිබඳව සත්‍යාවබෝධයක් ලැබීම පහසු නොවන නිසාම මෙසේ පබ්බ හයකින්ම විවිධාකාරයෙන්ම විභංග කර බෙදා බලා තේරුම් ගන්නට පහසුවන සේ විස්තර වශයෙන්ම ”කායේකායානුපස්සනාව” විග‍්‍රහ කර ඇති බවක් පෙනේ. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරනු ලබන මෙහි පෙන්වා වදාළ කුමන හෝ ක‍්‍රියාකාරකමක් නිසාම හැම අවස්ථාවකදීම යම් ශක්ති ප‍්‍රභවයක් උත්පාදනය වෙයි. මේ ශක්තියෙන් පුද්ගලයා මත්වෙයි. මේ මත්වීම නිසා විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය වේ. විඤ්ඤාණ ශක්තිය උත්පානය වීම නිසා සංසාර රිය ගමනද දිගින් දිගටම පවත්වා ගෙන යන්නට අවශ්‍ය වන හේතුඵල පරම්පරාවක්ද ක‍්‍රියාත්මක වෙයි. හේතු කරන තාක් කල්ම ඵලද උරුම වෙයි. හේතු නොකරන විට ඵල උරුම වන්නේද නැත. ඒ අනුවම යහපත් හේතු කරන විට යහපත් ඵලයන්ම උරුම වෙයි. අයහපත් හේතු කරන විට අයහපත් අයහපත් ඵලයන්ම උරුම වෙයි. අවිද්‍යාව හා තණ්හාව නිසා කරනු ලබන සියලුම හේතු නිසා උරුම වන ඵල විපාක දුකට මුල්වන වේදනාවට මුල්වන සංසාරයේ අතරමං වන ආකාරයේ ඒවාය. එවැනි හේතු නොකළ යුතුයි. හේතු අත්හළ යුතුයි. (පස්ස)

මේ අනුව ”කායේකායානුපස්සී විහරති” යනුවෙන් මහා සතර සතිපට්ඨාන සූත‍්‍රයේ හෝ වෙනත් සූත‍්‍ර දේශණාවකදී හෝ දේශණා කර පෙන්වා දී ඇත්තේ පුද්ගලයෙකු තමාගේ ඉන්ද්‍රියයන් හයෙන්ම කරන, කියන, හිතන යම් කිසි ක‍්‍රියාකාරකමක් නිසා තමා තුළම උත්පාදනය වන අනවශ්‍ය ශක්තිය මත්වීමේ ශක්තිය පාලනය කරගෙන සංවර වීමට ධර්මයට හා විනයට බහා ගළපා බලා ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. පුහුණු වීමයි.

Share Button

බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ඒකායන ප්‍රායෝගික නිවන් මාර්ගය

සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණාකර වදාරණු ලබන්නා වූ ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති මාර්ගය වන්නේ ගෝතම බුදුපියාණන් ද පෙන්වා වදාරා ඇති පරිදි සතර සතිපට්ඨාන භාවනාව පුරුදු කිරීමයි. ත‍්‍රිපිටක ධර්මය තුළම ගෝතම බුදුපියාණන්වහන්සේම දේශණා කර වදාළ සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙන් මජ්ක්‍ධිම නිකායේත් අංගුත්තර නිකායේත් සංයුක්ත නිකායේත් විවිධ නම් වලින් දේශණා කර ඇති අතර දීඝ නිකායේ එය ”මහා සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාව” ලෙසින්ම නම් කර දේශණා කර වදාරා ඇත.

සතර සතිපට්ඨානය යනුවෙන් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ යථාවබෝධයෙන්ම භාවිතා කළයුතු, භාවනා කළයුතු, නිතර නිතර පුරුද්දක් වශයෙන් ම අනුගමනය කළයුතු ප‍්‍රායෝගික වූ ප‍්‍රතිපත්ති මාලාවකි. මහා සතර සතිපට්ඨාන සූත‍්‍රයේ සඳහන් වන මාගධී පදවැල් කටපාඩම් කරගෙන, ඒවා මතක තබාගෙන, උදේ සවස සජ්ඣායනා කිරීමෙන් පමණක්ම කෙනෙකුට මේ ප‍්‍රායෝගික ක‍්‍රියා පිළිවෙත කිසිසේත්ම සම්පූර්ණ කරගත නොහැකිය. සතර සතිපට්ඨාන වැඞීම යනුවෙන් බුද්ධ දේශණාවෙහිදී අදහස් කරන ලද ප‍්‍රායෝගික ක‍්‍රියා පිළිවෙත උගත්කමෙන් හෝ බුද්ධිමත්කමෙන් හෝ පමණක්ම කරගත හැකි දෙයක් නොවන බවද අවධාරණයෙන්ම සඳහන් කළ යුතුය. ත‍්‍රිපිටක ධර්මයේ සඳහන් වන මාගධී පදවැල් කටපාඩමෙන් කියවීම හෝ ඒ පදවැල් ඉගෙන ගෙන ඒ මාගධී පදවලට තමන්ගේ දැනීම අනුව තමන්ගේ මතයට අනුව සිංහල බසින් අර්ථයන් ඉදිරිපත් කිරීමද සතර සතිපට්ඨාන භාවනාවක පිහිටා ක‍්‍රියා කිරීමක් නොවන්නේමය.

සතර සතිපට්ඨානය භාවනා කිරීම යනු ”සතියෙහි පිහිටා සතියෙන් ක‍්‍රියා කිරීමට” යම් කෙනෙකු ප‍්‍රායෝගිකවම තමන්ම ලබාගන්නා පළපුරුද්දයි. මෙය ශික්ෂණයකි. තම සිතම පදම්කර ගැනීමකි. සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කරන්නට නම් ධර්මය අසා තමන්ම ලබාගත් නිවැරදි ධර්මාවබෝධයකුත් අසාදැනගත් ධර්ම මාර්ගය අනුගමනය කර තමන් ලබාගන්නා පළපුරුද්දත් යන දෙකම එක හා සමානවම වැදගත්ය. ධර්මාවබෝධය යනුවෙන් අදහස් කළේ හේතුඵල ධර්මාවබෝධයයි. පටිච්චසමුප්පාද ධර්මයයි. පටිච්චසමුප්පාද ධර්මයේ තිපරිවට්ටය අසා දැන ගැනීමයි. පළපුරුද්ද යනු පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි පෙන්වා වදාළ නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව හා කුසලමූල මාර්ග ප‍්‍රතිපදාව ප‍්‍රායෝගිකවම යථාවබෝධයෙන් ම අනුගමනය කරන්නට පුරුදු පුහුණු වීමයි. ඒ සඳහා ලබා ගන්නා හා ඇති කරගන්නා හැකියාවයි. පළපුරුද්දයි. මේ අනුව බුද්ධ ධර්මයේ සඳහන් පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිවම තේරුම් නොගත් කෙනෙකුට සමුදය නිරෝධ කරන්නට නොදත් කෙනකුට කුසලමූල පටිච්චසමුප්පාද භාවිතා කරන්නට නොදත් කෙනකුට නිවැරදි ධම්මානුධම්ම පටිපදාවක පිහිටා සතර සතිපට්ඨාන භාවනාවක යෙදී නියම ප‍්‍රතිඵල ලබා ගැනීමද කරගත නොහැකිය. එවැනි කෙනෙකුට ”සතියෙන් ක‍්‍රියා කිරීම” යනු කුමක්දැයි යන්න පවා තේරුම් ගත නොහැකියි.

පෘථග්ජන පුද්ගලයින් ලෙස උපන් සෑම කෙනෙක්ම ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තම ඉන්ද්‍රියයන් හයම ආයතන හයක් බවට පරිවර්තනය කරගෙන විඤ්ඤාණයේ පැවැත්ම පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය වන ශක්තියක් (ආහාර) උපදවා ගන්නට විවිධාකාර වූ ක‍්‍රියාකාරකම් කරති. ප‍්‍රිය දේට ඇලීමෙන්, අප‍්‍රිය දේ සමඟ ගැටීමෙන් ද, මෝහයෙන් මුළා වීමෙන් ද මේ ශක්ති විශේෂය උපද්දවා ගනිති. මේ ශක්ති වේගයන් හයම ක‍්‍රියාවන් හයක් නිසාම සිතකම උපදින චිත්ත වේගයන්ය. මෙවන් වේගයන් උපදවා ගැනීමක් සිදු නොවන්නේ නම් විඤ්ඤාණයේ පැවැත්මට අවශ්‍යවන ආහාරද නොලැබෙයි. විඤ්ඤාණයෙන් කරන, කියන, හිතන සියලු ක‍්‍රියාකාරකම් කරන්නේ එහි පැවැත්මට අවශ්‍ය කරන ශක්තිය උපද්දවා ගැනීම සඳහායි. මෙවන් ශක්තියක් උත්පාදනය වන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියන්හි මත්වීමේ ස්වභාවයක්, මත් වීමේ ගතියක් පවතින නිසාමයි. ප‍්‍රිය දේකට ඇලීමෙන් මෙන් ම අප‍්‍රිය දේකට ගැටීමෙන්ද, මානයෙන්ද, මුළාවෙන්ද මේ මත් වීමේ ස්වභාවයට පත්වෙයි. මේ මත් වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ වා, පිත්, සෙම් කෝප වී ලේ ධාතුව කිළිටි වීමයි. මෙය යමෙකුට දෘෂ්ඨි ගතවීමටත්, මිත්‍යා දෘෂ්ඨියට පත් වීමටත් හේතුවන නියත ක‍්‍රියාදාමයකි.

යම් කෙනෙක් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන සතර සතිපට්ඨාන භාවනාවක යෙදීමෙන් ඉෂ්ඨ සිද්ධ කරගත යුත්තේ තමා තුළින්ම මතුවන මෙවන් වූ ක‍්‍රියාවන්හි වේගය සංසිඳවා ගැනීමට පුරුදු වීමයි. කායේ කායානුපස්සනාව යනු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ආයතන හයකින් විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය කරන බව දැනගෙන ඒ ක‍්‍රියාවන්හි වේගය සංසිඳුවා ගැනීමයි. මේ ක‍්‍රියාවන් නිසා උපදින වේගය විනා වෙනත් කිසිම ශක්ති විශේෂයක් මේ පංචස්කන්ධ ශරීරය තුළින් උත්පාදනය නොවේ. මෙවැනි ක‍්‍රියාවලින් උත්පාදනය වන ශක්තිය නිසා සංසාර ගමනක්, රිය ගමනක් ලෙසින් හේතුඵල පරම්පරාවක් නොකඩවාම දිගින් දිගටම පවත්වාගෙන යාමට ක‍්‍රමවේදයක්ද සකස් වෙයි. ඇසට රූපයක් පටිච්ච වීමෙන් ශක්තියක් උත්පාදනය වෙයි. මේ ශක්තිය චක්ඛු විඤ්ඤාණ ශක්තිය ලෙසින් නම් කර ඇත. කනට ශබ්දයක් පටිච්ච වීමෙන් සෝත විඤ්ඤාණ ශක්තිය ද, නාසයට ගඳක් සුවඳක් පටිච්ච වීමෙන් ඝාණ විඤ්ඤාණ ශක්තියද, දිවට රසක් පටිච්ච වීමෙන් ජිව්හා විඤ්ඤාණ ශක්තියද, මනසට ධම්මයක් අරමුණු වී පටිච්චවීමෙන් මනෝ විඤ්ඤාණ ශක්තියද උත්පාදනය වෙයි. මේ හය ආකාරයට පරිබාහිර වූ වෙනත් කිසිම ශක්ති විශේෂයක් මේ ශරීර කූඩූව තුළින් උත්පාදනය වන්නේද නැත. මේ හය ආකාර වූ විඤ්ඤාණ ශක්තීන්ට ම බුද්ධ ධර්මයේ එක පොදු නමක් භාවිතා කරයි. ඒ පොදු නම නම් සමුදය (සං උදය) ශක්තිය යන නමයි. සමුදය ශක්තියෙන් තොර වූ විටෙක දිගින් දිගටම සංසාර ගමනක් පවත්වා ගෙන යන්නට උපකාර වන (සංභව) විඤ්ඤාණ බීජයන් සකස් වන්නේද නැත. ”භව” යනුවෙන් පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ අවස්ථාව ”විඤ්ඤාණ බීජ” සකස් කරගන්නා අවස්ථාවයි. විඤ්ඤාණ බීජයක් සකස් වී එය චිත්තසංථානයේ ගබඩා වීමෙන් ඊළඟට ”ජාති” යන අවස්ථාවද උදාවෙයි. ”භව පච්චයා ජාති” යැයි පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙහි සඳහන් වන්නේ විඤ්ඤාණ බීජ සකස් වන අවස්ථාව හා විඤ්ඤාණ බීජය උප්පජ්ජති යන අවස්ථාවට පත්වීමයි.

සමුදය ශක්තිය පාලනය කර විඤ්ඤාණ බීජ නිපදවීමේ ක‍්‍රියාවලිය නවත්වාගත හැකි එකම උපාය මාර්ගය වන්නේ සමුදය ශක්තීන් උත්පාදනය කරන්නා වූ ක‍්‍රියාවන්හි වේගය, ශක්තිය පාලනය කර, ප‍්‍රහාණය කර ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමයි. මේ ක‍්‍රියාවන්හි වේගය පාලනය කර කෙළෙස් ශක්තිය ප‍්‍රහාණය කිරීම ”කායේ කායානුපස්සනාව” ලෙසින් මාගධී පද වලින් සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙහිදී ඉතාමත්ම පැහැදිළිව දේශණා කර පෙන්වා වදාරා ඇත. ”සබ්බ කාය පටිසංවේදී” යනුවෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ පටිච්ච වීම නිදාන කොට, හේතුව කොට, ”සං” උපතක් ලබන සියලු ආකාර වූ ක‍්‍රියාකාරකම් වලින් උත්පාදනය වන ශක්තිය පාලනය කිරීම සඳහා මඟ පෙන්වූ ප‍්‍රතිපාදාවයි. ක‍්‍රමවේදයයි.

”අස්ස” යනු ඒ කෙළෙස් ප‍්‍රහාණය කිරීමේ ප‍්‍රතිපදාව අනුගමනය කිරීමේදී ආශ‍්‍රය කළයුතු, භාවිතා කළයුතු, බහුලව භාවිතා කළයුතු, මෙනෙහි කළ යුතු යහපත් ක‍්‍රියා පටිපාටියයි. ”පස්ස” යනු ඒ පටිපදාව අනුගමනය කිරීමේදී ආශ‍්‍රයෙන් ඉවත්කර ප‍්‍රහාණය කළයුතු ප‍්‍රහාණය කර බැහැර කළ යුතු අයහපත් දේ පිළිබඳවයි. මෙයම සේවිතබ්බා අසේවිතබ්බා යනුවෙන් ද වෙනම සූත‍්‍ර ධර්මයකින් පැහැදිළි කර විග‍්‍රහ කර දී ඇත. ක‍්‍රියා හයකින් උපදින කෙළෙස් වේගයන් සංසිඳවා ගැනීම කායේ කායානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර දුන් පසුව කෙළෙස් නිසාම උපදින වේදනාවද, වින්දනයද, වේගයද, සංසිඳෙන නිසා එය වේදනා වේදනානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර ඇත. ක‍්‍රියාවේ වේගය හා වේදනාවේ වේගය සංසිඳීම හේතු කොට ගෙන චිත්ත ආවේගය ද සංසිඳවීමට පටන් ගනී. එය චිත්තේ චිත්තානුපස්සනාව ලෙසින් විග‍්‍රහ කර දී ඇත. දැන් මත්වන ස්වභාවයක් නැත. ධම්මේ ධම්මානුපස්සනාව අනුගමනය කිරීම සඳහා අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය නිවැරදි ලෙසම අවබෝධ කරගෙන හැම ”පටිච්ච” වන අවස්ථාවකදීම ඒ පටිච්ච වීමේ ප‍්‍රතිඵලය ලෙසින් සමුදය ධර්මයක් ද බිහිවන බව දැක සමුදය නිරෝධ කිරීම සඳහාම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” අනුපස්සනාවන් මෙනෙහි කර නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව මෙන්ම පටිනිස්සග්ගානුපස්සනාව යථාවබෝධයෙන්ම භාවනා කිරීම, භාවිතා කිරීම ධම්මානුපස්සනාවයි.

පටිච්චසමුප්පාද ධර්මය නොදැන රූප ආදී අරමුණකට පටිච්චවීම නිසා තම සිත තුළම උත්පාදනය වන සමුදය ධර්මය උපදින ආකාරය තේරුම් නොගෙන සංසාර ගමනක යෙදෙමින් දුක් විඳින්නට මුල් වන්නා වූ නිදාන වන්නා වූ හේතුන් ද දැක ගත නොහැකිය. සියලුම සමුදය ධර්මයන් උපත ලබන්නේම තම සිත තුළම බවත් සමුදය ධර්මයක් උත්පාදනය වීම නිසාම උපත ලැබු ”සං” ශක්තිය චිත්තසංථානය තුළම ගබඩා වන ආකාරයත් චිත්තසංථානයේ ගබඩා වූ ”සං” ශක්තිය විඤ්ඤාණ ආහාර ලෙසින් හා විඤ්ඤාණ බීජ ලෙසින් සිත තුළදිම සකස් වන ආකාරයත් තමන්ටම තමා තුළින්ම දැකගත හැකි වන්නේ තමන් පටිච්චසමුප්පාද ධර්මාවබෝධය ලැබූ පමණටමයි. සංඛාර කිරීමට යම් කෙනෙකු නිරතුරුවම පෙළඹෙන්නේ රුචිකමක් දක්වන්නේ විඤ්ඤාණයට වහල් වී හිතට වහල් වී ක‍්‍රියා කරන නිසාමයි. මෙය හිතට වහල් වීම, හැඟීමට වහල්වීම ලෙසින්ද අපට සරළ ලෙසින් පෙන්වා දිය හැකි පෘථග්ජන ගතියයි.

”සං” උත්පාදනය වන ආකාරය හා ”සං” ශක්තිය චිත්තසංථානයේ තැන්පත් වන ආකාරය හා ජීවිතය පවත්වාගෙන යන්නට ”සං” ශක්තිය උපයෝගි කර ගන්නා ආකාරයත් විඤ්ඤාණ බීජ වශයෙන් මතු උපතක් සහතික කරගන්නට සමුදය ශක්තියම සකස්වන ආකාරයත් නිවැරදිවම තේරුම් ගෙන අවබෝධ කරගත් තැනැත්තා ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වූවකු බවටද පත්වෙයි. ”සං” දැක නොගත් කෙනෙකුට සංසාර දුකින් නිදහස් වීමේ මාර්ගය දැකගත් කෙනෙකු යැයි ප‍්‍රකාශ කළ නොහැකිය. තම සිත කිළිටි වී, ලේ ධාතුව කිළිටි වී, සංකිළිට්ඨේන තත්ත්වයට පත්වීමෙන් තමාගේම මනසේ මනසීකරණ ශක්තියත් දුර්වල වී, මැනීමේ ශක්තිය නැතිව යන බව දැන ගන්නට දැක ගන්නට නොහැකි වීමද සංදිට්ඨිකෝ නොවීමේම ප‍්‍රතිඵලයකි. අවිද්‍යාව, නොදන්නාකම, මෝඩකම, මොට්ටකම, මෝහය මෙන්ම අස්මිමානය යන ගති උපත ලබන්නේද තමන්ම උපදවාගත් සමුදය ශක්තිය තමන්ම තම චිත්තසංථානයේම ගබඩා කර ගැනීමෙන්මයි.

යම් කෙනෙකුට සතර සතිපට්ඨාන භාවනාව කිරීමට අවශ්‍ය වන්නාවූ නිවැරදි අවබෝධයක් ලබාගත හැකි වන්නේ තමා තුළින් ම සමුදය උත්පාදනය වන ආකාරය දැක, තමා තුළින් ම උත්පාදනය වන මේ සමුදය ශක්තිය තමාටම නිර්උදා කර ගත හැකි ක‍්‍රමවේදයක් ද ඇති බවත් නිවැරදිවම දැනගෙන ඒ නිවැරදි නිරෝධගාමී මාර්ගයම අනුගමනය කිරීමෙනි. මේ ප‍්‍රතිපදාව හේතුඵල දහමට බහා ගළපා බලා සතියෙන් ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. ක‍්‍රියාවේ වේගය නිරෝධ වන ආකාරයත් නිවැරදිවම තමන් තුළින්ම
දැකගැනීමට හැකිවීම ”කායානුපස්සනාව” වැඞීමට බලවත් සේම උපකාර වන්නකි. ක‍්‍රියාවේ වේගය සංසිඳවා ගත හැකි වන්නේ එවන් අවබෝධයකිනි.

සංඛාරයක් නිසා වේගයක්, ශක්තියක් උත්පාදනය වන්නේම ”පටිච්ච” වීම හේතුව කොටගෙනමය. පටිච්ච වීම යනු රාගයෙන් ක‍්‍රියාකරන කෙනෙකු තමාගේ ඇස, කන වැනි ඉන්ද්‍රියයන් පිනවන ප‍්‍රිය දේවලට ඇලීම නිසා මත්වීමෙන් එයම ඒ ප‍්‍රිය දේම උපාදානය කර ගැනීමේ ගතිය සහ තමාගේ ම ඇස, කන වැනි ඉන්ද්‍රියයන් අප‍්‍රිය කරන දෙයක් නම් ඒවා සමඟින් ගැටීමක් ඇති වී ද්වේෂයක් සිතෙහි උපත ලැබීමත් යන සංසාර පුරුද්ද නිසා සිත මත්වීමයි. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙක අතර සිදුවන මුළාව නිසාද සිතේ මතුවන මානය, මෝහය යන ගතිද තමා තුළම පැවැත්වීමයි. මේ ගති සංසාරයේ පුරුදු කරගත්, පුහුණු කරගත් දිගටම පවත්වා ගෙන ආ ගති කිහිපයකි. ප‍්‍රිය, අප‍්‍රිය යන ගති පුරුද්ද තම සිතේ පවතිනා තුරාවට පටිච්ච වීමද සිදුවෙයි. ප‍්‍රිය දේට ඇලෙයි. අප‍්‍රිය දේ සමඟ ගැටෙයි. පටිච්ච වීමෙන් ”සං” උප්පාදනය වෙයි. සමුදය බිහිවෙයි. රිය ගමනට අවශ්‍ය ශක්තිය උපද්දවා ගනී. එය මත්වීමකි.

පෘථග්ජන පුද්ගයෙක් යම්කිසි සතුටක් ලබනවාය, සැප විඳිනවාය, සංතෝස වෙනවාය යනු තමන් ප‍්‍රිය කරන දේකට ඇලී, සම්බන්ධවීම හෝ අප‍්‍රිය දේවල් වලින් වෙන්වීම හෝ යන අන්ත දෙකට පත්වීමයි. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකට ම අයත් වන ඊට අදාළ වූ ක‍්‍රියාදාමයකට ඇලීම බැඳීම හෝ ගැටීම ඉන්ද්‍රියයන් පිනවීමක්ම පමණි. ඇස, කන ආදී ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ආමිස සුවයක් ගැන මිස නිරාමිස සුවයක් ඇති බව හෝ එවන් සුවයක් ලබා ගත හැකි බවක් හෝ ඒ සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා පටිපදාවක් ඇති බව හෝ පෘථග්ජන පුද්ගලයකුට කල්පනා කළ නොහැකියි. ප‍්‍රිය හා අප‍්‍රිය අන්තවලට ඇලීමෙන්ම හෝ ගැටීමෙන් හෝ ඉන්ද්‍රියයන් පිනවීමේ සංසාර පුරුද්දක් පවතින තාක් කල්ම තමන්ම දුක්විඳිමින් සංසාර ගමනක නොනවත්වා ම ගමන් කරනු මිස සසර දුකින් නිදහස් වන නිවැරදි මාර්ගයක් ගැන නම් නිසි අවබෝධයක් ලැබෙන්නේ ද නැත.

ප‍්‍රිය දේට අන්තවාදී ලෙසින් ඇලීමක් සිදු නොවන්නට ක‍්‍රියා කළහොත් හා අප‍්‍රිය දේ අන්තගාමී ලෙසින් ද්වේෂ නොකරන්නටද ක‍්‍රියා කළ හොත් මෝහයෙන් මානයෙන් මුළාවීමක් සිදු නොවන්නටද ක‍්‍රියා කළහොත් රූපාදී ආරම්මණයන්ට පටිච්ච වීමක් ද සිදු නොවන නිසා සිත කිළිටිවන සමුදය ශක්තියක්ද උත්පාද නොවන නිසා එතැනදී සිත නිදහස් වෙයි. එයම කායේ කායානුපස්සනාවෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි. ප‍්‍රිය දේට ඇලෙන, රාගයෙන් ක‍්‍රියා කරන ගතියත්, අප‍්‍රිය දේ වලට ගැටෙන ද්වේෂයෙන් ක‍්‍රියා කරන ගතියත්, මානයෙන්, මමත්වයෙන් ක‍්‍රියා කරන මෝහ ගතියත් යන ගති තුනම ඒ ඒ පුද්ගලයා ම දිර්ඝ සංසාරයේදී පුරුදු ලෙසින් කාලාන්තරයක් පුරාම පුරුදු පුහුණු කරගෙන ආ ඒ ඒ පුද්ගලයාගේම චිත්තසංථානයේම තදින්ම මුල්බැසගත් ගති පුරුදු තුනකි. තමා තුළ මෙවැනි ගති පුරුදු තුනක් මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වෙමින් පවතින බව තමන්ටම දැකගන්නට නොහැකිවීම සියළු දුක් උරුම වන්නට, සියලු දුක් විඳවන්නට මුල් වූ ප‍්‍රධානම හේතුවයි. හේතුව පටිච්චවීම ලෙසත් ඵලය සමුදය බිහිවීම ලෙසත් තමා තුළින්ම දැක හේතුව හා ඵලය යන දෙකම දැක ගත් පසුව හේතුවක් නිසාම චිත්තසංථානය කිළිටි වන බව තේරුම් ගෙන හේතුවෙන්ම නිදහස් වී ඵලයද උරුම නොවන්නට ක‍්‍රියා කළ හැකි බව යථා පරිදි දැක තම චිත්තසංථානය කිළිටිවන ක‍්‍රියාවන්ගෙන් බැහැරවීමත් තම චිත්තසංථානය පිරිසිදු වන ක‍්‍රියාවන් භාවිතා කිරීමත් යන ප‍්‍රතිපදාව පිරීම සතර සති පට්ඨානයෙන් ක‍්‍රියා කිරීමයි. හේතුව යහපත් නම් සිත පිරිසිදු කරන ආකාරයේ ක‍්‍රියාවක් නම් ඉන් සමුදය බිහි නොකරයි නම් එයම භාවිතා කිරීම, බහුලවම භාවිතා කිරීම සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කිරීමයි.

සතියෙන් ක‍්‍රියා කිරීම සතියෙහි පිහිටා කි‍්‍රයා කිරීම සතර සතිපට්ඨානය භාවනා කිරීම යනුවෙන් අදහස් කරන මෙම ක‍්‍රියාවෙහි ”සති” යන මාගධී පදයේ අර්ථය අද වන විට හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීම ලෙසින් අර්ථ ගන්වා වැරදි ආකාරයට භාවිතා කරන බව පෙන්වා දිය යුතුය. ”සති” යන මාගධී පදයෙන් අදහස් කළේ හොඳ සිහිය යන ව්‍යවහාර අර්ථයට වඩා ඉතාමත් ගැඹුරු අර්ථයකි. සතියෙහි පිහිටා කටයුතු කරන යම් කෙනෙකුට තමන් කරන, කියන, හිතන දේ නිසා තමන්ටම මතු උරුම ඵල විපාකයන් ගැනද යථාපරිදි දැක ගන්නට ලැබෙන නිසා අපායගාමී ඵල විපාක ලැබෙන බව දැක දැකම ඒ ක‍්‍රියාවෙහි සිත නොයොදනු ඇත. මේ අනුව සතියෙහි පිහිටා සතියෙන් යුතුව ක‍්‍රියාකරන කෙනෙකු බවට පත් වන්නේ තමා කරන ක‍්‍රියාව නිසා මතු තමාටම උරුමවන ඵල විපාකද යථා පරිදිම දැනගත් දැකගත් කෙනෙකුනම් පමණි. අයහපත් ඵල විපාකයක් තමාට උරුමවන බව දැක දැකම යම් කිසි ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් ක‍්‍රියාත්මක කරන්නට සතියෙන් ක‍්‍රියා කරන්නෙකුට නම් කළ නොහැකිය. නමුත් හේතුඵල දහම නොදත්, උගත්, බුද්ධිමත් අය බොහෝ දෙනෙකු පවා ලාභය, ආස්වාදය, කීර්තිය, ප‍්‍රසංසාව පමණක් බලාගෙන බොහෝමයක්ම අපායගාමී ක‍්‍රියාකාරකම් ඉතාමත් හොඳ සිහියෙන් යුතුවම ක‍්‍රියාත්මක කරති. ඒ ඔවුන් සතියෙන් ක‍්‍රියා නොකරන නිසාය. හේතුව හා ඵලය යන දෙකම නොදකින නිසයි. තමන්ට උරුමවන අයහපත් ඵලවිපාකය නොදකින හෙයිනි.

මේ අනුව බුද්ධභාෂිතයේ පෙන්වා වදාළ සතියෙහි පිහිටා, සතියෙන් ක‍්‍රියාකිරීම යනු හේතුඵල ධර්මය දැනගෙනම, හේතුඵල ධර්මයට බහා ගළපා බලාම කටයුතු කිරීමට පුරුදුවීමයි. මෙසේ සතියෙහි පිහිටා ක‍්‍රියාකිරීමටද යම් පළපුරුද්දක්, පුහුණුවක් ලබාගත යුතුමයි. මෙතෙක් කාලයක් සංසාරයේ පුරුදු වී පුහුණු වී සිටියේ ප‍්‍රිය දේට කැමැත්තෙන්ම ඇලීමටයි. අප‍්‍රිය දේ සමඟින් ගැටීමටයි. මෙය හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමකි. දැන් හිතට වහල් නොවී, හැඟීමට වහල් නොවී හේතුඵල ධර්මයට බහා ගළපා බලා කොතරම් ප‍්‍රිය දෙයක් වුවත් එහි ඵලය අහිතකර නම් එය බැහැර කිරීමටත්, ඒ ක‍්‍රියාව නොකර ඉන් වැළකී සිටීමටත් ක‍්‍රියාව අප‍්‍රිය නමුත් ඵලය යහපත් නම් එය භාවිතා කිරීමටත් පුරුදු වීමයි. හේතුඵල දහම අසා, ධර්මය තේරුම් ගෙන, පටිච්ච සමුප්පාද ධර්මය දැක, කළු, සුදු ද්වතාවය වෙන් කොට තෝරාගෙන කළු ධර්ම බැහැර කිරීමටත්, සුදු ධර්ම භාවිතා කිරීමත් යනු සතියෙන් ක‍්‍රියාකිරීම ලෙසින්ද අර්ථකථනය කළ හැක. මෙසේ සතියෙන් යුතුව ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීම සතර සතිපට්ඨාන භාවනාව භාවනා කිරීම යැයි ද පෙන්වා දිය හැකියි.

උගත්කම, බුද්ධිමත්කම බොහෝ අවස්ථාවන්හී දී සතියෙන් ක‍්‍රියාකරන්නට බාධාවක් ද විය හැකිය. පෘථග්ජන මිනිස්සු හේතුඵල ධර්මය නොදැන උගතුන්, බුද්ධිමතුන් බවට පත්වූ විට ඒ ඉගෙන ගත් දේ නිසාම ඒ දැනුම නිසාම මත් වෙති. මේ නිසාම බුද්ධිමත් යන පදයද ව්‍යවහාර භාෂාවෙහි දී භාවිතා කරයි. බුද්ධියෙන් මත්වූවෙකුට හේතුඵල ධර්මයට බහා ගළපා බලන්නට හෝ ඊට අනුරූපව ක‍්‍රියාකරන්නට හෝ පළපුරුද්දක් නැත්නම් ඔහු නියත වශයෙන්ම ලාභයෙන්, ආස්වාදයෙන්, ආත්මලාභයෙන් මත් වී ක‍්‍රියා කරන්නෙකු බවටද පත්වී අපායගාමී විය හැකියි. උගත්කමෙන්, බුද්ධිමත්කමෙන් මත්වූවෙකුට හේතුඵල ධර්මය හෝ ද්වතාව ධර්මය හෝ තේරුම් ගන්නට නොහැකි වූවොත් ඔහු නිරන්තරයෙන්ම කටයුතු කරන්නේ හැකිතාක් දේ (පංචස්කන්ධය) උපාදානය කරගන්නටමය. ඉන් සෑහීමකට පත් වීමක් හෝ තෘප්තියක් හෝ ලබන්නේද නොවේ. මෙවන් වූ බුද්ධිමතෙක් ඉතා හොඳ සිහියෙන් උපායෙන් යුතුව ක‍්‍රියා කරන කෙනෙකි. නමුත් සතියෙන් ක‍්‍රියා කරන කෙනෙකු නම් නොවේ. ඔහු එකතු කරගත් දේ ඔහුටම බරක් වී, බැම්මක් වී, සංයෝජනයක් වී, භයට මුල් වන හේතුවක් වී,ඔහු සංසාර දුකටම පත් වීමද නියත වශයෙන් සිදු වෙයි. ඒ අසතියෙන් ක‍්‍රියා කිරීම නිසා අත්වන නියත ප‍්‍රතිවිපාකයයි.

උගත්කම, බුද්ධිමත්කම අඩු පුද්ගලයෙකුට පවා හේතුඵල ධර්මය, ද්වතාවය ධර්මය යම් ප‍්‍රමාණයකට අසා දැන තේරුම්ගෙන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට යම් පුරුද්දක් පුහුණුවක් ලබාගත් පසුව ඔහු මොහොතින් මොහොතම නිවුණු පුද්ගලයකු බවට නිදහස් පුද්ගලයකු බවටම පත්වෙයි. බැදීම් වලින් තොර වූ උපාදානයෙන් තොරවූ කෙනෙකුට භයට, කම්පා වීමට හේතුවක් ද නැත. ඔහු නිවන කරාම ගමන් කරන්නකු බවට පත්වෙයි. මේ අනුව උගත්කම, බුද්ධිමත්කම, දැනුවත්කම යන දේවල් සම්මත ලෝකයේ ලෞකිකත්වය තුළ වටිනා, වැදගත් දේ ලෙසින් සැළකුවත් ලෝකෝත්තර වශයෙන් වැදගත් වන්නේ හේතුඵල දහමට බහා ගළපා බලා ක‍්‍රියා කරන්නකු ලෙසින් ලබාගත් පලපුරුද්ද හා පුහුණුවයි. මෙයම සමුදය නිරෝධ කිරීමේ පුරුද්දයි. හැකියාවයි. සියලුම පෘථග්ජන පුද්ගලයින් සාරවත් යැයි කල්පනා කරන්නේත්, වටිනවා යැයි සිතන්නේත්, සුළු මොහොතකට හෝ තමාගේම ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබාගන්නා තාවකාලික සුවය, සතුට, ලාභය හෝ සැපය ගැන පමණි. ඉන්ද්‍රියයන් පිනවා මොහොතකට ලබා ගන්නා වූ සැපත, සුවය සඳහා කරන, කියන, හිතන දේම හේතුවක් ලෙසින් ක‍්‍රියාත්මක වී තමන්ටම ආපසු උරුම වන ඵල විපාකයන් කුමන ආකාරයක ඒවාදැයි දැක ගන්නට නම් ඒ සඳහා ද පළපුරුද්දක් ශක්තියක් ඇතිකර ගත යුතුමය. හේතුව හා ඵලය යන දෙකම මනා කොට දැකගෙන තමා කරන යම් ක‍්‍රියාවක් නිසා තමාටම ආපසු මතුවට උරුම වන ඵලය යළිත් තමාටම බරක් වේ නම්, බැම්මක් වේ නම්, භයට හේතුවක් වේ නම් එය තමාටම පලිබෝධයක් වේ නම් ඒ ක‍්‍රියාව නොකර නිදහස් වීමට පුරුදු වීම සතියෙන් ක‍්‍රියා කිරීමයි. සතියෙහි පිහිටා කටයුතු කිරීමයි.

මොහොතකට තමන් ලබන ලාභයට, ආස්වාදයට, සුවයට, තමන්ම මුළාවී, හිතට වහල්වී, ඉන්ද්‍රියයන් පිනවන්නට ක‍්‍රියා කළහොත් එහි නියත ඵල විපාක ලෙසින් සංසාරය පුරාම දිගින් දිගටම තමන්ටම විඳින්නට උරුම වන ආදීනව හා ආනිසංස ගැන නොසළකා ක‍්‍රියා කි‍්‍රයාකිරීම යනු අසතියයි. සතියෙහි පිහිටා ක‍්‍රියා නොකිරීමයි. අසතියෙන් ක‍්‍රියා කිරීමයි. හේතුඵල දහමට බහා ගළපා බලා ද්වතාව ධර්මයට බහා ගළපා බලා කළයුතු දේ හා නොකළ යුතු දේ මෙන්ම මෙනෙහි කළයුතු ධර්ම මෙනෙහි කිරීමත් මෙනෙහි නොකළ යුතු අධර්මය මෙනෙහි නොකර බැහැර කිරීමත් යන දෙක පුරුදු පුහුණු කරගත හැකි වන්නේ සතර සතිපට්ඨානයෙන්ම යුතුව කටයුතු කිරීමෙනි. අතීත සංසාර පුරුද්දට පටහැනි වූ මෙම අලුත් පුරුද්ද උත්සාහයෙන්ම, අවබෝධයෙන්ම තමා තුළින්ම ඇති කර ගත යුතු මෙතෙක් තමා තුළ නොතිබූ අලුත්ම විධියේ පුරුද්දකි. රූපාරම්මණයක් ආදී වශයෙන් සිතට ස්පර්ශ වූ යම් ප‍්‍රිය හැඟීමකට, ප‍්‍රිය අරමුණකට වහල් වී ඒ අරමුණ දිගේම දිගටම සිතුවිලි පවත්වමින් රූප රාගයෙන් සිත මත්වීම නිසා ඒ ප‍්‍රිය රූපයම උපාදානය කරගන්නට දරණ උත්සාහයද දුකකි. රූපය උපාදානය කරගත්තේ නම් එයද බරකි . බැම්මකි. දුකටම හේතුවකි. ප‍්‍රිය රූපය උපාදානය කරගන්නට නොහැකි වූයේ නම් එයද බලවත්ම දුකකි. මේ අනුව අරමුණකට තදින් බැඳීම කොයි ආකාරයෙන් සිතා බැලුවත් දුකකි.

රූප සංඥාවක් ඇසට ස්පර්ශ වූ වහාම එය පිළිබඳව යථා පරිදි දැනගෙන උපේක්ඛාවෙන් සළකා ඉවසීමෙන් විමසා බලා හේතුව හා ඵලය යන දෙකම පිළිබඳවත් යථා පරිදි තේරුම් ගෙන කටයුතු කළහොත් ඒ රූපාරම්මණය කොතරම් ප‍්‍රිය හෝ අප‍්‍රිය හෝ එකක් වූවත් එයට පටිච්ච නොවී දහසක් දුක් දොම්නස් වේදනා වලින් සදහටම අතමිදී නිදහස් විය හැකි බවත් තේරුම් ගෙන සතියෙහි පිහිටා ක‍්‍රියා කරමින් ලබන නිදහස, නිවන් දැකීමේ මාර්ගය අනුගමනය කිරීමයි. මෙයම සම්මා දිට්ඨියෙන් ක‍්‍රියා කිරීමයි. මේ අනුව හොඳ සිහිය යනුවෙන් පෙන්වූ දේ ලෞකික වශයෙන් නම් හොඳ, යහපත් දෙයක් විය හැකි වුවත් ලෝකෝත්තර නිවන් සුවය සඳහා නම් උපකාර වන්නේ සතියෙන්ම ක‍්‍රියා කිරීමයි. හොඳ සිහිය යන්න බොහෝ විටම සතියෙන් නොව අසතියෙන්ම කරන්නක් විය හැකිය.

මේ අනුව සතර සතිපට්ඨාන භාවනාවෙහි ප‍්‍රායෝගිකවම යෙදෙන්නට නම් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාවෙහි පිහිටා ක‍්‍රියාකරන්නට නම් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ භාවනා කර්මස්ථාන ප‍්‍රායෝගිකවම භාවනා කරන්නකු වන්නට නම් නිවැරදිවම පටිච්චසමුප්පාද ධර්මය හා ද්වතාවය ධර්මය යන දේ යම් තරමකට හෝ අසා දැන තේරුම් ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි. සතර සතිපට්ඨාන භාවනාවක් කරන්නට අදහස් කරන යම් කෙනෙකුට මේ මූලික දැනුම පවා නොලැබුණ හොත් නිවන් මාර්ගය උපදවා පහදා ගැනීමද පහසු දෙයක් නොවෙනු ඇත. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයෙහිත් ආනාපානාසති සූත‍්‍රයෙහිත් ද්වේධා විතර්ක සූත‍්‍රයෙහිත් මහා සතරසතිපට්ඨාන සූත‍්‍රයෙහිත් ගිරිමානන්ද සූත‍්‍රයෙහිත් තවත් සූත‍්‍ර ධර්ම රාශියකමත් පෙන්වූ මූලිකම හරය වූයේ සේවනය කරන්නට සුදුසු ධර්මයන් පෙන්වා දීමත් සේවනයෙන් බැහැර කළයුතු කළු ධර්මයන් පෙන්වා දී ඒවා සේවනයෙන් බැහැර කරදමා, ප‍්‍රහාණය කරදමා, අස්කර දැමීමට මඟ කියාදීමත්ය. මේ සඳහා ප‍්‍රායෝගිකවම පුරුදු විය යුත්තේ මෙනෙහි කළයුතු දේ මෙනෙහි කිරීමටත් මෙනෙහි නොකළ යුතු දේ මෙනෙහි නොකර බැහැර කිරීමටත් පුරුදු වීමයි. පුහුණු වීමයි.

භාවිතා කළ යුතු වන්නේ සුදු ධර්මයන්ය. ප‍්‍රහාණය කර, භාවිතයෙන් බැහැර කළයුතු වන්නේ කළු ධර්මයන්ය. කළු ධර්ම යනුවෙන් බුද්ධ භාෂිතයෙහි හඳුන්වා දෙන්නේ චිත්තසංථානය කිළිටි කරන ලේ ධාතුව කිළිටි කරන පාපී ක‍්‍රියාවන්ට මුල්වන අපායගාමී ඵලවිපාක උරුමකර දෙන ක‍්‍රියාවන්ය. රාගය, ද්වේෂය, මෝහය යැයි ප‍්‍රධාන කොටස් තුනකටම බෙදා දක්වන්නේ මෙම කළු ධර්මයන්ය. සියලුම කළු ධර්මයන් විඤ්ඤාණයේ ආහාර වශයෙන්ද සංසාර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය ශක්තිය උපදවන දේ ලෙසද ද පෙන්වා දී ඇත. මතු උපතකට උපකාර වන විඤ්ඤාණ බීජ සකස් කිරීම සඳහා ද ඒවාම උපකාර වෙයි. විඤ්ඤාණයෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයින්ට මෙම කළු ධර්මයන් බොහෝ අවස්ථාවල ප‍්‍රිය දේවල්, යහපත් දේවල්, හොඳ දේවල්, නිවැරදි දේවල් ලෙසද දකින්නට හැකි වෙයි. ඒ තම තමන්ගේම දෘෂ්ඨිය අපිරිසිදුතාවය අනුවම තීරණය වන්නකි. සම්මා දෘෂ්ඨියට පත්වූවෙකුට පමණක් නිවැරදිවම කළු ධර්ම කළු ධර්ම ලෙසින් දැකගත හැකි වෙයි. සම්මා දිට්ඨියට පත් නොවූ සංසාර දෘෂ්ඨියෙන් ක‍්‍රියාකරන හැම කෙනෙකුටම බෙහෝමයක්ම කළු ධර්මයන්ද මනාප වූ දේ ලෙසින්ම දැක ගන්නට ලැබෙයි.

සුදු ධර්ම යනුවෙන් අදහස් කරන්නේ චිත්තසංථානය පිරිසිදු කරන ලෝභ, ද්වේෂ, මෝහ ගති සහමුළින්ම ඉවත්කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම්ය. අතීතයේ කවදා හෝ තමාම හොඳය, යහපත්ය, නිවැරදිය කියා පුරුදු කරගත්, පුහුණු කරගත් රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය යන කිළිටි ගති දැන් තමන් තුළම මුල්බැස ගෙන පවතින බවත් මේ ගති තමන්ගේම අනර්ථය සඳහාම තම චිත්තසංථානයම කිළිටි වීම සඳහාම හේතුවන බවත් නිවැරදිවම දැක මේ ගති සහමුළින්ම ගළවා ඉවත්කර දමන්නට ක‍්‍රියාකිරීම සුදු ධර්ම භාවිතා කිරීමයි. ඒවාගේම රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ක‍්‍රියාකර අලුතින් මේ ගති පුරුදු කර ගැනීම නිසා තව තවත් කුණු එකතු වී තම චිත්තසංථානයම කිළිටි වී, තම මනසද මුවහ වී, මෝහය මතුවන බවද දැක එවන් ක‍්‍රියාවන් බැහැරවීම ද, ඒවා අත්හැරීම ද, සුදු ධර්මයන් භාවිතා කිරීමක් වන්නේය.

රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු ක‍්‍රියා සිත් පැවැත්වීම විඤ්ඤාණයට එතරම් සුදුසු, ගැළපෙන ක‍්‍රියාකාරකම් නොවේ. ඊට හේතුව මෙවන් සුදු ධර්මයන් දිගටම පැවැත්වීමෙන් විඤ්ඤාණයට අවශ්‍ය ආහාරයන් නොලැබෙන හෙයිනි. සුදු ධර්මයන් නිරතුරුවම භාවිතා කරමින් කෙළෙස් දුරු කළ විට චිත්තසංථානය පිරිසිදු වී සම්මතය විදබලා පරම සත්‍යය දැකබලා ගන්නට හැකි ප‍්‍රඥාව නම් වූ බලවත් ශක්තියක්ද සිතේම උපදී. ප‍්‍රඥාව සිතක උපදින්නේම රාග, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති සළාහැර කෙළෙස්වලින් තොරවූ නිදහස් වූ චිත්තසංථානයකමය.

සතර සතිපට්ඨාන භාවනාව භාවනා කිරීම භාවිතා කිරීම හැර නිවන් දැකීමට උපකාර වන වෙනත් කිසිම ප‍්‍රායෝගික ප‍්‍රතිපදාවක් නම් නැති බව ගෝතම බුදුපියාණන්ම ඉතාම පැහැදිළිවම පිරිසිදුවම සතර සතිපට්ඨාන සූත‍්‍ර දේශණාවෙහි ප‍්‍රකාශ කර ඇත. අප බෞද්ධයින් ලෙස බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය, මරණානුස්සතිය, අසුභානුස්සතිය, චාගානුස්සතිය, මෙත්තානුස්සතිය, කයාගතාසතිය, ආනපානසතිය ආදී සියලුම ”සති” භාවනා කරන්නේත් භාවිතා කරන්නේත් අවසාන හා ඒකායන පරමාර්ථය වූ සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියා කරන්නට උපකාර කරගත යුතු උපකාර වන ප‍්‍රතිපදාවන් ඒවා මඟින්ද සම්පූර්ණ කරගන්නට හැකි නිසාමයි. ඒ කුමන ආකාරයක හෝ ”සති” භාවනාවක් භාවිතා කරමින් ඒවා ප‍්‍රගුණ කිරීමේ ඒකායන බලාපොරොත්තුව සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට පුරුදු පුහුණු වීමයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට උපකාර නොවන කිසිම භාවනාවක් නිවනට උපකාර වන බුද්ධ භාවනා ක‍්‍රමයක්ද නොවේ. සතර සතිපට්ඨානයෙහි පිහිටා ක‍්‍රියාකරන්නට උපකාර වන සියලු භාවනා, බුද්ධ භාවනාවන් වේ.

මේ අනුව නිවැරදි ලෙසම තේරුම් ගත යුත්තේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ සියලුම භාවනා ක‍්‍රම සියලුම කර්මස්ථාන උපකාර කරගත යුතු වන්නේ නොවැරදීම නිවන් මඟ සම්පූර්ණ කරගත හැකි සතර සතිපට්ඨාන භාවනාවම පුරුදු පුහුණු කර ගැනීමටයි. සතර සතිපට්ඨානය වැඩෙන්නේ නම් සතියේ පිහිටා ක‍්‍රියා කරන්නට උපකාර වන්නේ නම් කායානුපස්සනාව වැඩෙන්නේ නම් එය මොන නමකින් හැඳින්වූවත් එය බුද්ධ භාවනාවකි. නිවනට නොවරදින මඟ උපදවා පහදවා දෙන්නකි. මොහොතින් මොහොතම පියවරෙන් පියවරම ක‍්‍රියාවේ වේගය සංසිඳීමේ යහපත් ප‍්‍රතිවිපාකයන් තමාටම අත්විඳ ගත හැකි නිවැරදි ප‍්‍රතිපත්ති මාර්ගයකි. නිවන යනු මේ ගින්න නිවීමයි. පැවැත්ම යනු ගින්න දිගටම පැවතීමයි.

Share Button

ධම්මානුධම්ම පටිපදාව ආනාපාන සති භාවනාව ඇසුරින්

මජ්ඣිම නිකායේ සඳහන් ආනාපානසති භාවනා ක්‍රමය

බුදුපියාණන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව දේශණා කිරීමට මුල් වූ පසුබිමේ සඳහන් නිදාන කථාවද අසා දැන තේරුම් ගැනීම බෞද්ධ අබෞද්ධ කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත. මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහිම ප‍්‍රකාශ කර දක්වන පරිදි එය මෙසේ සැකෙවින් විස්තර කර දෙමි.

එක්තරා පසළොස්වක පොහොය දිනක බුදුපියාණන් වැඩ සිටි මිගාර වනයට බුදුපියාණන් බැහැ දැකගනු පිණිස භික්ඛු සංඝයා වහන්සේලා විශාල වශයෙන් රැුස්වූහ. සැරියුත්, මුගලන් දෙඅග සව්වන් සමඟ මහා කප්පිතේන, මහා චුන්ද, අනුරුද්ධ, රේවත, ආනන්ද ආදීන් තම තමන්ගේ ශ‍්‍රාවක භික්ඛූන්ද සමඟ පැමිණ මිගාර වනයෙහි සමවත් සුවයෙන් කමටහන් භාවනා කළහ.

එහි සිටි නවක භික්ඛූන්, මඟඵලලාභීන් සහ මහඅරතුන්වහන්සේලාද දුටු බුදුපියාණන් විමසා සිටියේ ”ඔබලා කුමන කර්මස්ථානයක් භාවනා කරමින් සිටිත්ද යන්නයි.

”අපි සතර සතිපට්ඨානය වඩමින් සිටිමු. අපි සතර සම්මප්පදාන වඩමින් සිටිමු. අපි සතර ඍද්ධිපාද වඩමින් සිටිමු. අපි පංචබල භාවනාව වඩමින් සිටිමු. අපි සත්ත බෝජ්ජංග භාවනාව වඩමින් සිටිමු. අපි අෂ්ටාංගික මාර්ගය වඩමින් සිටිමුයි” බොහෝ අය පිළිතුරු දුන්හ.

තවත් කෙනෙක්, ”අපි මෙත්තා භාවනාව වඩමින් සිටිමු. අපි කරුණා භාවනාව වඩමින් සිටිමු. අපි උපේක්ඛා භාවනාව වඩමින් සිටිමු. අපි අසුභ භාවනාව වඩමින් සිටිමු. අපි අනිච්ච සංඥා භාවනාව වඩමින් සිටිමු.”යැයි පිළිතුරු දුන් සේක.

මේ සියල්ලම සාවධානව අසා සිටි බුදුපියාණන්වහන්සේ සියලු භික්ඛු සංඝයා වහන්සේලා රැුස්කර විශේෂ දේශණයක් කරමින් ආනාපාන සති සූත‍්‍ර දේශණාව වදාරා විග‍්‍රහ කර දුන් සේක. මෙසේ දේශණා කර විග‍්‍රහකර දුන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව මීට පෙර භාවිතයේ තිබූ අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසති භාවනා ක‍්‍රමයට හාත්පසින්ම වෙනස් එකකි. එය අර්ථ ගැන්වූයේ අරිය විනයට ගැළපෙන පරිදි අර්ථ, ධර්ම, නිරුක්ති සහිතවය.

”සන්ති භික්‍ඛවේ, භික්‍ඛු ඉමස්මිං භික්‍ඛු සංඝේ ආනාපානසති භාවනානුයෝගමනුයුත්තා විහරන්ති. ආනාපාන සති භික්‍ඛවේ භාවිතා බහුල කථා මහප්පලා හෝති මහානිසංසා, ආනාපානසති භික්‍ඛවේ භාවිතා බහුලී කථා චත්තාරෝ සතිපට්ඨානේ පරිපුරෙන්ති. චත්තාරෝ සතිපට්ඨානේ භාවිතා බහුලී කථා සත්ත බොජ්ජංගේ පරිපුරෙන්ති. සත්ත බොජ්ජංගේ භාවිතා බහුලීකා විජ්ජාවිමුක්තිං පරිපුරෙන්ති.”

මෙහි තේරුම :- ”මහණෙනි මම ඔබලාට ආනාපාන සති භාවනාව දේශණා කරමි. මෙය සියලු භාවනා ක‍්‍රම වලට වඩා පහසුවෙන් හා ඉක්මනින් සතර සතිපට්ඨානය සම්පූර්ණ කරගෙන සත්ත බොජ්ජංග සම්පූර්ණ කරගෙන විද්‍යා විමුක්තිය පූර්ණ කර ගතහැකි මහත්ඵල සහිත වූ මහානිසංස ඇති භාවනා ක‍්‍රමයකි. මෙයම වඩ වඩාත් භාවනා කරන්න. අනිකුත් සියලු භාවනා ක‍්‍රම වලින් ලබාගත හැකි ධ්‍යාන හා මාර්ගඵල මෙම ආනාපානසති භාවනාව තුළින් පහසුවෙන් හා ඉක්මණින් ලබාගත හැකිය. ඒ නිසා මේ අරිය භාවනා ක‍්‍රමය ඔබලාට නිර්දේශකර අනුදැන වදාරමි.”

බුදුපියාණන් බුද්ධත්වයට පත්වීමේදී ද උපකාර කරගත්තේත්, භාවිතා කළේත්, මෙම ආනාපානසති අරිය භාවනා ක‍්‍රමයයි. මෙසේ එදා දේශණා කර වදාළ ආනාපානසති භාවනාව අතීතයේ පටන් පැවත ආ සම්මත ලෞකික ආනාපානසති භාවනා ක‍්‍රමයම නොවේ. මෙය අරහත් බවට පත්වූ සමහර ශ‍්‍රාවකයින් වහන්සේලා පවා දැන නොසිටි නිසා සියලුම භික්ඛු සංඝයා වහන්සේලා වෙත මෙය දේශණා කර ධර්ම අර්ථය මතුකර පෙන්වා දුන් බවත් ඉතාම පැහැදිළිය.

සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ බොහෝමයක් සූත‍්‍ර ධර්ම වලද මෙම ආනාපාන සති සූත‍්‍රය වරින්වර නැවත නැවතත් දේශණා කර වදාරා ඇත. එහි දැක්වෙන පරිදි බුදුපියාණන්වහන්සේ පවා වරින් වර තම ශ‍්‍රාවකයින්ගෙන් වෙන්වී මාසයක් දෙකක් තනිවම ආනාපාන සති භාවනාවෙහි යෙදෙමින් ඉහාත්ම සුඛ විහරණය ලබා ගත්හ. මේ අනුව බලනවිට බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ පරිදි මෙම අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය අරහත් ඵල ලැබූ, මඟඵල ලැබූ සහ මඟඵල නොලැබූ, මඟඵල ලබන්නට උත්සාහ දරන යන තුන් කොටසටම සුදුසු වූ මහත්ඵල ලබාදෙන, මහානිසංස සහිත එකම භාවනා ක‍්‍රමයයි.

මෙම උතුම් භාවනා ක‍්‍රමයෙහි ධර්ම අර්ථයම අද නැවතත් සොයා මතුකර ගෙන අරිය භාවනාවක් ලෙසින් භාවිතයට ගන්නට මිනිසුන්ට මඟ කියාදිය හැකිනම් බොහෝ මිනිසුන්ට අද පවා නිවන් අවබෝධ කරගැනීමට නියත වශයෙන්ම වාසනාව ලැබෙනු ඇත. මේ අනුව ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි සඳහන් ධර්ම අර්ථයම මතුකර තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය.

”කථං භාවිතාච භික්ඛවේ ආනාපාන සති කථං බහුලී කථා මහප්ඵලා හෝති මහානිසංසා, ඉධ භික්‍ඛවේ භික්‍ඛු ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංඛං ආභූජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති”

මෙම පාඨයෙන් පෙන්වා විග‍්‍රහකර ඇත්තේ ආනාපානසති භාවනාව වඩන්නට උත්සාහ දරණ කෙනෙකු විසින් සම්පූර්ණ කරගත යුතු පූර්ව කොන්දේසි කිහිපයකි. මේවා ඉතා ප‍්‍රවේශමෙන් කියවා මෙහිදී බුදුපියාණන් ගෙනහැර පා වදාළ ධර්ම අර්ථයම අවබෝධ කරගත යුතුය. යම් කෙනෙකු භාවනාව ආරම්භ කරන්නට පෙර

1. ආරඤ්ඤ ගත විය යුතුය.
2. රුක්ඛමූල ගත විය යුතුය.
3. සුඤ්ඤාගාර ගත විය යුතුය.

1. ආරඤ්ඤගතෝවා යන පදයේ ලෞකික වශයෙන් සම්මත කරගත් අද භාවිතයේ පවතින අර්ථය මහ කැලෑවකට, වනාන්තරයකට ගොස් භාවනා කිරීමයි. එසේත් නැතිනම් කැලෑ ප‍්‍රදේශවල පිහිටි ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කිරීමයි.

ආරඤ්ඤගතෝවා යන පදයේ අරිය විනයේ එන ලෝකෝත්තර ධර්ම අර්ථය මීට හාත්පසින්ම වෙනස්ය. රඤ්ඤ යනු ”රණබිම, යුධබිම” යන අර්ථයයි. ආරඤ්ඤ යනු රණබිමෙන්, යුධබිමෙන් ඉවත් වූ යන අර්ථයයි. අද ගිහි ගෙදරක වාසය කරන හෝ පන්සලක වාසය කරන හැම කෙනෙකුම තමන් දැන හෝ නොදැන ජීවත්වන්නේ යුධබිමකය. රණබිමකය. තම සිත නිරන්තරයෙන්ම ගෙදර ප‍්‍රශ්න නිසා, අනෙක් ලෝකයාගේ ප‍්‍රශ්න නිසා, දේශපාලන ප‍්‍රශ්න නිසා යුධබිමක සිටින්නෙකුගේ තත්ත්වයට පත්වී අසහනයෙන්, ගින්නෙන් දැවි දැවී හැම මොහොතක්ම ගත කරයි. ගුවන් විදුලි යන්ත‍්‍ර, රූපවාහිනි යන්ත‍්‍ර, දුරකථන, පුවත්පත්, ඕපා¥ප ආදී සියල්ලම සිත ගිනි අවුළුවන සිත යුධබිමක සිටින්නෙකුගේ ස්වරූපයට පත්කරන මූලාශ‍්‍රයෝය. තමන් මේ යුධ තත්ත්වයෙන් වෙන්වී තම සිත රණ තත්ත්වයෙන් අරණ තත්ත්වයට වෙනස් කරගෙන තම නිවස තුළම හෝ ගෙවත්තේම හෝ නිදහස් තැනක තැන්පත්වීම ආරඤ්ඤගතෝවා යන වචනයේ ලෝකෝත්තර ධර්ම අර්ථයයි.

මහ කැළයකට හෝ වනයකට හෝ භාවනා මධස්ථානයකට හෝ ගියත් තම සිත තුළ පැසවන්නේ සිත ගිනි අවුළුවන සුළු රාග, ද්වේෂ, මෝහ අරමුණු නම්, සිතුවිලි නම් එතැන ආරඤ්ඤ ගතවීමක් නැත. එතැන ඇත්තේ රණබිමක ස්වරූපයයි. මේ නිසා භාවනාවට සැරසෙන කෙනෙකු පළමු පියවර ලෙසින් තම සිත රාගයෙන් ඇලීමෙන්, ද්වේෂයෙන් ගැටීමෙන්, මෝහයෙන් මුළාවීමෙන් නිදහස් කරගෙන භාවනාව ආරම්භ කිරීම අරිය විනයේ ආරඤ්ඤගතෝවා වීමයි.

2. රුක්ඛමූලගතෝවා යන පදයද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම තේරුම්ගත යුතුය. එහි අද භාවිතා කරන සම්මත ලෞකික අර්ථය කැළේ මහ ගසක් මුලට වී භාවනා කිරීමයි. නමුත් මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. රුක්ඛ යනු ආරක්ෂා වීමයි. සිත රැක ගැනීමයි. විඤ්ඤාණයෙන් ක‍්‍රියාත්මක වන සිතක් නිතරම ඇලීමට, ගැටීමට, මුළාවීමට කැමතිය. තම විඤ්ඤාණය නිරතුරුවම විවිධ ආකාරයේ මායා සිතුවිලි මවාපා පිය මධුර දේ කෙරෙහි සිත අලවයි. නොසැලෙන, නොසෙල්වන චිත්ත ධෛර්යයකින් යුක්තව සිත රැුක ගැනීම රුක්ඛමූල ගතෝවා වීම යන්නයි. කාටවත් පළවා හරින්නට නොහැකි, කවුරුවත් බාධා නොකරන, වැස්සට, අව්වට ආරක්‍ෂා විය හැකි බාධා රහිත ස්ථානයක් භාවනාව සඳහා තෝරා ගැනීමද රුක්ඛමූලගතෝවා යන්නෙහිම ධර්ම අර්ථයයි.

3. සුඤ්ඤාගාරගතෝවා යන පදයේද ලෞකික සහ ලෝකෝත්තර අර්ථයන් දෙකක්ම ඇත. මේ අර්ථ දෙකම නිවැරදිව තේරුම් ගෙන ධර්ම අර්ථයෙන්ම සුඤ්ඤාගාරගතවීම භාවනාව කරගෙන යාමට උපකාර වෙයි. පාළු හිස් ගෙදරකට යාම හෝ මිනී කනත්තකට යාම, ගල් ගුහාවකට යාම, සුඤ්ඤාගාර ගතවීමක් ලෙස අද සම්මතයේ භාවිතා වෙයි. සුඤ්ඤාගාරගතෝවා යන්නෙහි ධර්ම අර්ථය තමාගේ සිත තුළම ඇති කරගත යුතු නිදහස් තත්ත්වයකට සිත පත්කර ගැනීමයි. රණබිමෙන් තොර වූ ආරඤ්ඤගත වීමෙන් පසුව රුක්ඛමූලගතවීමෙන් පසුව සිත චංචල නොවන, භාවනාවට සුදුසු නිදහස් තත්ත්වයකට සිත පත්කරගත හැකිවෙයි. අතීතයේ තමන්ම එකතුකරගත් රාග, ද්වේෂ, මෝහ මූලික කාම විතර්ක සිතුවිලි වලින් නිදහස්ව සිතට එවන් සිතුවිලි අරමුණු ගලා ඒම නවත්වා ගෙන භාවනා කිරීමට සුදුසු තත්ත්වයකට තම සිතම සුඤ්ඤාගාරයක තත්ත්වයට පත්කර ගැනීමයි. භාවනා කිරීමට ඉඳගත් මොහොතේ පටන්ම සිතෙහි මතුවන්නේ භෞතික, ලෞකික බලාපොරොත්තු නම් කාම විතර්ක නම් එතැන භාවනාවට සුදුසු සිතක් පවතින්නේ නැත. අතීතය අමතක කර ඉන්ද්‍රිය සංවරය තුළින් සිත තැන්පත් කර ගැනීම කර්මස්ථාන වැඞීමට සුදුසු පරිදි සිත සුඤ්ඤාගාරගත කර ගැනීම මෙහිදී බලාපොරොත්තු වන තත්ත්වයයි.

මේ පියවර තුනම නිවැරදිව තේරුම්ගත් කෙනෙකුට බුදුපියාණන් දේශණා කළ ආනාපානසති භාවනාවද නිවැරදිවම තේරුම්ගෙන භාවිතා කළහැකි වෙයි.

”නිසීදති පල්ලංකං ආභූජිත්වා” යනුවෙන් ප‍්‍රකාශ කළේ පළක් බැඳ පර්යංකයෙන් හිඳගැනීම ලෙස අද සම්මතයේ ලබාදෙන අර්ථ විග‍්‍රහයයි. නමුත් අරිය විනයේ ධර්ම අර්ථය වන්නේ මහන්තත්තකමෙන් ඉවත්වී, උද්ධච්චකමෙන් ඉවත්වී, අභිමානයෙන්, මමත්ත්වයෙන් තොරව තම සිත පහළම අංකයට ගෙනවිත්, මානයෙන් තොරවී අවංකව, පිරිසිදුව භාවනාවට ගැළපෙන ලෙසින් සිත සකස්කර ගැනීමයි. උච්චාසයන, මහාසයන තත්ත්වයෙන් සිත, කය නිදහස් කරගෙන බිමට බැස භාවනාවට ගැළපෙන සේ සිත ගත සකස්කර ගැනීමයි.

”උජුංකායං පණිදාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා” යන පදයේ සම්මත තේරුම කය සෘජුව තබාගෙන හොඳ සිහියෙන් යුතුව ක‍්‍රියා කිරීම යන්නයි. මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය හේතුඵල දහමට ගළපා බලා, සියලු වැරදි කායකර්ම වලින් වැළකී යහපත් කාය කර්ම සිහිපත් කිරීමයි. සතියෙහි පිහිටා උට්ඨාන වීර්යයෙන් ක‍්‍රියා කිරීමයි.

”සෝ සතෝව අස්සසති සතෝ පස්ස සති” ”සෝ” යනු හෙතෙම, ඔහු යනුයි.

මෙහි කලින් සඳහන් කළ පූර්ව කොන්දේසි සම්පූර්ණ කරගත් ඔහු සත්‍යාවබෝධයෙන්ම ලැබූ සත්‍ය ධර්මාවබෝධය නිසාම කුසල ධර්ම ආශ‍්‍රය කරයි. අකුසල ධර්ම ප‍්‍රහාණය කරයි. එසේත් නැතිනම් ආශ‍්‍රය කළයුතු දහමත් දනී. ප‍්‍රහාණය කළයුතු අධර්මයත් දනී. කුසලය ආශ‍්‍රය කළයුතු බවත් දනී. අකුසලය ප‍්‍රහාණය කළ යුතු බවත් දනී. ”ආනාපාන සති” යනු වචන තුනකි. ආන = අස්ස, පාන = පස්ස. ”අස්පස් කරනවා” යනුවෙන් අපේ පැරන්නන් අතර ගැමි වහරේ එන ව්‍යවහාර වචනයක් ඇත.” ගෙයක් අස්පස් කරනවා, කාමරයක් අස්පස් කරනවා” යනු ඒ කාමරයේ ඇති ප‍්‍රයෝජනයට ගතහැකි වටිනා දේ පිසදමා ශුද්ධ කර භාවිතයට ගතහැකි පරිදි අස් කිරීමත්, ප‍්‍රයෝජනයට ගත නොහැකි නොවටිනා කුණු කන්දල් පස් කිරීමත් ප‍්‍රහාණය කර ඉවත් කිරීමත්ය. මේ ආකාරයෙන්ම හැම පෘථග්ජන මිනිසෙකුගේම චිත්තසංථානයද අස්පස් කරගත යුතු තත්ත්වයෙන්ම පවතී. ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි පෙන්වාදුන් අස්ස හා පස්ස යන වචන දෙකෙහි ධර්ම අර්ථය කුසලය ආශ‍්‍රය කිරීමත් අකුසලය ප‍්‍රහාණය කිරීමත්ය.

ත‍්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වග්ගයේම ආනාපානසති සූත‍්‍ර දේශණාවට පෙර ඒ අසලින්ම සඳහන් ”සේවිතබ්බා අසේවිතබ්බා” නමැති සූත‍්‍ර දේශණාවක් ද ඇත. මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍රයෙන් විස්තර සහිතව පියවරෙන් පියවර විග‍්‍රහකර දේශණා කර පෙන්වා වදාළ සේවනය කළයුතු = අස්ස හා සේවනය නොකළ යුතු = පස්ස යන සියලු කුසල් හා අකුසල් දෙකොටසකට බෙදා ඉතාමත් පිරිසිදු ලෙස පෙන්වාදී ඇත. මෙම සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේ ගෙනහැර දැක්වූ කරුණු යම් තරමකට හෝ තේරුම්ගත් කෙනෙකුට ආනාපානසති සූත‍්‍ර දේශණාවේ දේශණාකර වදාළ ”සතෝව අස්සසති සතෝව පස්සසති” යන්නෙන් අදහස් කළ කරුණු දෙවර්ගයම ඉතාම පැහැදිළිව තේරුම් ගත හැකි වනු ඇත. මේ උතුම් අදහස ඇතිවම ත‍්‍රිපිටකයේ ආනාපානසති සූත‍්‍ර දේශණාවට කලින් ඒ අසලින්ම මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍රයද ලියාතැබූ බව ඉතාම හොඳින් තේරුම්ගත හැකිවෙයි. මේ සූත‍්‍ර ධර්ම දෙකම කියවා ඒවායේ එන ධර්ම අර්ථයන් තේරුම් ගත් කෙනෙකුට පමණක් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන

ආනාපානසති භාවනාවද නොවැරදීම භාවිතා කරන්නට මනස යොමුවනවා ඇත. මේ කරුණු තේරුම් ගන්නට තරම් හැකියාවක් නොමැතිව කවුරු හෝ කවදා හෝ ත‍්‍රිපිටකයේ එන උතුම් ආනාපානසති දේශණාව සිංහලයට පරිවර්තනය කිරීමේදී ”ප‍්‍රාණයාම” නමැති වේද භාවනාවේ ඇතුළත් අදහසට ගැළපෙන පරිදි ”ආශ්වාස ප‍්‍රාශ්වාස” යන හුස්ම ඉහළ පහළ දැමීම අරමුණු කරගත් වචන අස්ස – පස්ස වෙනුවට ලියා තැබූහ. මේ අස්ස යන පදය ”අස්සාස” යන පදය ලෙසින් ගෙන එය ආශ්වාස කිරීම ලෙසත්, පස්ස යන පදය ”පස්සාස” ලෙසින් ගෙන එය ප‍්‍රාශ්වාස කිරීම ලෙසත් අර්ථ ගන්වා බුද්ධ දේශණාවේ එන උතුම් භාවනා ක‍්‍රමය ප‍්‍රාණයාම භාවනාවක් බවටම පරිවර්තනය කර ගත්හ. අද ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයා මෙම අරිය භාවනා ක‍්‍රමය ගැන කරුණු කාරණා තේරුම් ගන්නට නොහැකිව, අනරිය භාවනා ක‍්‍රමයක් භාවිතා කරමින් අතරමංවී ඇති බව තවදුරටත් මේ පොත කියවන කිහිප දෙනෙකුට හෝ තේරුම්ගත හැකිවෙනු ඇත.

(”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍ර දේශණාවේ සඳහන් ධර්ම කරුණු පසු පරිච්ෙඡ්දයක විස්තර වශයෙන් ලියා තබන අතර ආනාපානසති සූත‍්‍ර දේශණාවේ ධර්ම කරුණු මුළින් පැහැදිළි කරදෙන්නට අදහස් කරමි.)

1. ආනාපානසති සූත්‍රයේ සඳහන් කායානුපස්සනාව

”කථං භාවිතාච භික්‍ඛවේ, ආනාපානසති, කථං බහුලීකථා චත්තාරෝ සතිපට්ඨානෝ පරිපුරෙති. යස්මිං සමයේ භික්‍ඛවේ”

i. භික්‍ඛු දීඝංවා අස්ස සංතෝ දීඝං අස්සසාමිති පජානාති
දීඝංවා පස්ස සංතෝ දීඝං පස්සසාමිති පජානාති
ii. රස්සංවා අස්ස සංතෝ රස්සං අස්සසාමිති පජානාති
රස්සංවා පස්ස සංතෝ රස්සං පස්සසාමිති පජානාති
iii. සබ්බකාය පටිසංවේදි අස්සසිස්සාමිති සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
iv. පස්සං භයං කායසංකාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සං භයං කායසංකාරං පස්සසිස්සාමිති සික්කති
කායේකායානුපස්සී භික්ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු විහරති
ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං කායේසු කායඤ්ඤතරාහං
භික්ඛවේ ඒවං වදාමි යදිදිං අස්සාසපස්සාසා
තස්මාතිහ භික්‍ඛවේ කායේ කායානු පස්සී තස්මං
සමයේ භික්‍ඛු විහරති”

ආනාපානසති සූත‍්‍ර දේශණාවේ පිළිවෙලින් පියවර දාසයක්ම විග‍්‍රහ කර ඇති අතර මෙම පියවර දාසයම ගිරිමානන්ද සූත‍්‍රයේද ආනාපාන සතිය ලෙසින්ම ඉදිරිපත් කර ඇත. ආනාපානසති සූත‍්‍ර දේශණාවේ මෙම පියවර 16 කොටස් හතරකට බෙදා දක්වා ඇත. මුල් පියවර හතර කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද දෙවන පියවර හතර වේදනානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද තුන්වන පියවර හතර චිත්තානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද හතරවන අවසාන පියවර හතර ධම්මානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද ඉතාමත් පිරිසිදු ලෙසින්ම විභජනය කර, විග‍්‍රහකර, විස්තර කරදී ඇත.

ඉහත සඳහන් කළ පාලි පාඨවලින් දැක්වෙන්නේ පළමුවන පියවර වූ කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාවේ එන පියවර හතරයි. එහිම එන කරුණු කිහිපයක් විස්තර වශයෙනුත් අර්ථ, ධර්ම, නිරුක්ති වශයෙනුත් පැහැදිළිකර ගැනීමෙන් ආනාපානසති භාවනා කිරීමෙන් කායේකායානුපස්සනාව වැඩෙන ආකාරය තේරුම් ගත හැකිය. ”මහණෙනි, ආනාපානසති භාවනාව නිවැරදිව දැන තේරුම් ගෙන නිතර නිතර බහුල ලෙස භාවනා කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙයි. සතර සති පට්ඨානය නිතර නිතර වැඩෙන විට සත්තබොජ්ජංග වැඩෙයි. සත්තබොජ්ජංග වැඞීමෙන් විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි. විද්‍යා විමුක්තිය යනු ප‍්‍රඥා විමුක්තියයි. නිවන් අවබෝධයයි”.

කායානුපස්සනාව විග‍්‍රහකර දේශණාකළ පදවැල් වල ”පජානාති” යන පදය මුල් පේළි හතරේම සඳහන් වේ. පජානාති යන පදය ආනාපානසති සූත‍්‍ර දේශණාවේ සඳහන් පද අතරින් ඉතාමත්ම වැදගත් පදයකි. මෙහි තේරුම නිවැරදිවත් පූර්ණ ලෙසත් මුළින්ම තේරුම්ගත යුතුමය.

”පජානාති” යන පදයෙහි ධර්ම අර්ථය පිරිසිඳ දැන ගැනීම යන්නයි. ”පරිජානාති” ”පරිජානං” යන පදවලින් ද බොහෝ තැන්වල සඳහන් මෙම පදයම ”පරිඤ්ඤෙයිය” යන පදයෙන්ද විග‍්‍රහකර ඇත. මෙසේ පිරිසිඳ දැනගත යුතු වන්නේ හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ‍්‍රය කළයුතු, සේවනය කළයුතු කුසල ධර්මයන් තෝරාබේරා ගෙන ආශ‍්‍රය කිරීමත් (අස්ස) හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ‍්‍රය නොකළ යුතු ප‍්‍රහාණය කළයුතු (පස්ස) අකුසල ධර්ම ප‍්‍රහාණය කිරීමත් යන දෙපැත්තයි. මේ තේරුම් නොගත් පිරිසිඳ දැන නොගත් කෙනෙකු ”නප්පජානාති” යන පදයෙන්ද බුද්ධ භාෂිතයේදී හඳුන්වා දී ඇති බවත් තේරුම්ගත යුතුය.

අරිය මාර්ගය වැඩෙන අරිය මාර්ගයට උපකාරවන කුසල ධර්මයන් පිරිසිඳ දැන ආශ‍්‍රය කිරීමත් අරිය මාර්ගය වසා සිටින අරිය මාර්ගයට බාධක අකුසල ධර්මයන් පිරිසිඳ දැන ඒවා ප‍්‍රහාණය කර ඉන් ඉවත්වීමත් යන දෙකම ආනාපානසතිය නිවැරදිව වඩන කෙනෙකු අනිවාර්යයෙන්ම දැනගෙන භාවිතා කළයුතු දෙපැත්තයි. ”අස්සසාමිති පජානාති, පස්සසාමිති පජානාති” යන මේ දෙපැත්ත පිරිසිඳ දැන ක‍්‍රියාකළ යුතු බවයි.

”සතෝව අස්ස සති”,”සතෝව පස්ස සති” එනම් සතියෙහි පිහිටා ඇතුළට ගෙන ආශ‍්‍රය කළ යුතු ධර්මයත්, ප‍්‍රහාණය කර බැහැර කළයුතු අධර්මයකුත් ලෙසින් දෙයාකාරයක්ම ඇති බව පිරිසිඳ දැන නොගත් කෙනෙකුට ආනාපානසති භාවනාවෙන් කායානුපස්සනාව එනම් කාය පස්සදිය, කය සංසිඳවීමක් කරගත නොහැකිය. මේ නිසා ”පජානාති” යන වචනයෙන් හතර වරක්ම අවධාරණයෙන් පළමුකොටම ප‍්‍රකාශකර සිටියේ, ඉතාම වැදගත් දෙයකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව දෙයාකාර වූ ක‍්‍රියාවන්ම තෝරා බේරාගෙන කටයුතු කළයුතු බව අවධාරණය කිරීමයි.

හුස්ම ඇතුළට ගැනීමත්, හුස්ම පිට කිරීමත් එක ආකාරයක අස්ස පස්ස කිරීමකි. මේ සඳහා ”පජානාති” යන පදයෙන් අවධාරණය කර පෙන්වූ පිරිසිඳ දැන ගැනීමක් අවශ්‍ය නොවේ. හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම කල්පනාවක් ඇතත් නැතත් හොඳ සිහියක් ඇතත්, නැතත් මරණ මොහොත දක්වාම නිතැතින්ම සිදුවන දෙයකි. කොතරම් හොඳින් හුස්ම ගත්තත් දිග, කෙටි වශයෙන් හුස්ම ගත්තත් අනිත් ඉන්ද්‍රියයන් පහකින් කරන ක‍්‍රියා යහපත් නොවේ නම් ඒ අනෙක් ක‍්‍රියා නිසා ඇතුළට ගන්නා දේ කෙළෙස් නම් අයහපත් නම් අයහපත් දේ බැහැර කරනු වෙනුවට යහපත් අයහපත්, කුසල් අකුසල්, සියල්ලම බැහැර කරයි නම් එවිටද ඇතුලාන්තය, අභ්‍යන්තරය පිරිසිදු විය නොහැකිය. ඒ නිසා තේරුම් ගතයුතු වන්නේ ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ආශ‍්‍රය කොටගත් භාවනා ක‍්‍රමයක් ද ඇති බවත් එය අරිය භාවනා ක‍්‍රමය නොවන බවත්ය.

සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රය කියවා සේවනය කළයුතු කුසලය හා අසේවනය කළයුතු සේවනයෙන් බැහැර කර ඉවත් කළයුතු අකුසලය කෙළෙස් තේරුම්ගත් කෙනෙකුට ඉතාම පහසුවෙන් ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ සඳහන් කළ,

”සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති
සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්‍ඛති”

යනුවෙන් දේශණා කළ ”සබ්බකාය” හා ”පටිසංවේදී” යන පද දෙකේ තේරුමද අරිය විනයෙහි එන ධර්ම අර්ථයෙන්ම තේරුම් ගත හැකිවෙයි. කායානුපස්සනාව – කාය පස්සදිය – කය සංසිඳවීම සිදුකර ගැනීමට නම් මේ කය යනු කුමක්දැයි මුළින්ම තේරුම් ගත යුතුය. කාය යනු ක‍්‍රියා හයක එකතු වීමකි. මේ ක‍්‍රියා හය නිසාම මෙය කයක් වූවා මිස ක‍්‍රියා හය නැති කලක මෙය කඳක් මිස කයක් වන්නේද නැත. ”සබ්බ කාය” ලෙසින් පෙළ දහමේ විග‍්‍රහ කළේ ඇසින් කරන ක‍්‍රියාවන්, කනෙන් කරන ක‍්‍රියාවන්, නාසයෙන් කරන ක‍්‍රියාවන්, කටින් කරන ක‍්‍රියාවන්, කයෙන් කරන ක‍්‍රියාවන් හා මනසින් කරන ක‍්‍රියාවන්ය. මේ ක‍්‍රියා හය නිසාම චක්ඛුකාය – රූපකාය, සෝතකාය – ශබ්දකාය, ඝාණකාය-ගන්ධකාය, ඡුව්හාකාය – රසකාය, ස්පර්ශකාය – කායකාය, මනෝකාය – ධම්මකාය ලෙසින්ද මේ ක‍්‍රියා හඳුන්වන බව ඉතාම පැහැදිළිය.

මේ ක‍්‍රියා හයම කරන්නට දොරවල් හයක්ම ඇත. මේ දොරවල් හයෙන්ම යමක් ඇතුළට ගතහැකි නිසා මේ කයට අපි ”ගත” යන පදයද භාවිතා කරමු. හොඳ – නරක, යහපත් – අයහපත්, කුසල් – අකුසල් යන දෙයාකාරයෙන්ම යුතුවූ සියලුම දේ ඇතුළට ගත හැකිවන්නේ මේ දොරවල් හයෙන්මය. ඇතුලාන්තය ශූද්ධ පවිත‍්‍ර කරගන්නට නම් ඇතුළට ගත් නරක දේ පිට කළ යුතු වන්නේද මේ දොරවල් හයෙන්මය. ඒනිසා ”සබ්බකාය” ලෙස අදහස් කරන විට හැම කෙනෙකුම තමාගේම ඉන්ද්‍රියයන් හය හා ඒ ඉන්ද්‍රියයන් හයෙන්ම කරන ක‍්‍රියාවන් හයද නිවැරදිව තේරුම් ගත යුතුය.

”පටිසංවේදී” යන පදයේද ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. ”සංවේදිතාවය” යන පදය ඔබ අසා ඇති නිසා දැනටමත් දන්නා දෙයකි. ”සං” යනු යමක් එකතුරගත්, රැස්කරගත්, උපාදානය කරගත් ගති ලක්ෂණ යන තේරුමයි. එසේ එකතු කරගත් දේ නිසා විඳින වින්දනය, ලබන වේදනාව ”පටිසංවේදී” යන්නයි. පටි යනු බැඳීමයි. යම් කෙනෙකු කරන, කියන, හිතන සියලුම ක‍්‍රියා නිසා යමකට, යමෙකුට සිතින් බැඳෙයි. එසේ සිතෙන් බැඳෙන්නේ යම් වින්දනයක්, වේදනාවක් විඳීමට තමා කැමති වූ නිසාය. ඉන්ද්‍රියයන් පිනවීම ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන පදය මේ සංවේදීතාවයයි.

1. ඇසින් බලා රූපයක් දැක, චක්ඛු විඤ්ඤාණයක් බිහිවෙයි. ඇස පිනවීම යනු මෙයයි ඇසින් විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
2. කනෙන් යම් ශබ්දයක් අසා සෝත විඤ්ඤාණයක් බිහිවෙයි. කන පිනවීම යනු මෙයයි. සෝත විඤ්ඤාණ ආහාර බිහිවෙයි.
3. නාසයෙන් යමක ගඳ සුවඳ ගෙන ඝාණ විඤ්ඤාණයක් බිහිවෙයි. නාසය පිනවීම යනු මෙයයි. ඝාණ විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
4. දිවෙන් ආහාරයක රස විඳීමෙන් ජිව්හා විඤ්ඤාණය බිහිවෙයි. දිව පිනවීම යනු මෙයයි. ජිව්හා විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
5. කයට යම් ස්පර්ශයක් ලැබීම නිසා පොට්ඨබ්බ විඤ්ඤාණය බිහිවෙයි. කය පිනවීම යනු මෙයයි. කාය විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
6. මනසට යම් මතක සටහනක් ගෙන මනෝ විඤ්ඤාණය බිහිවෙයි මන පිනවීම යනු මෙයයි. මනෝ විඤ්ඤාණ ආහාර උපදින්නේ මෙසේයි.

”සබ්බ කාය” යනුවෙන් සඳහන් කළේ මෙම ක‍්‍රියාවන් හයම නිසාම උපදින විඤ්ඤාණ ශක්තියටයි. මේ ක‍්‍රියා හය නිසාම කාය පටිසංවේදී බවද ඇතිවෙයි. චිත්ත පටිසංවේදී බවද ඇතිවෙයි. වෙන කිසිම ආකාරයකින් කාය පටිසංවේදී බව හෝ චිත්ත පටිසංවේදී බවක් කිසි කෙනෙකුට ඇතිවිය නොහැකිය. පටිසංවේදී බව යනු විඤ්ඤාණ ශක්තිය ඉපදවීමයි.

කය සංසිඳවීමට නම් මේ ක‍්‍රියා හයෙන්ම (එකතු කරන) ආශ‍්‍රය කරන හොඳ දේ ආශ‍්‍රය කිරීමත්, ආශ‍්‍රය නොකළ යුතු අයහපත් දේ බැහැර කිරීමත් යන ක‍්‍රියා දෙකම කළ යුතුය. හොඳ නරක සියල්ලම ආශ‍්‍රය නොකිරීම හෝ සියල්ලම ආශ‍්‍රය කිරීම හෝ යන දෙකම අන්ත දෙකකි. සියල්ලම ආශ‍්‍රය නොකිරීම නිසා සිත අසංඥ තත්ත්වයකට පැමිණීමත් සියල්ලම ආශ‍්‍රය කිරීම නිසා දාහය, ගින්න – අභිජ්ඣා දෝමනස්ස බිහිවීමත් සිදුවෙයි. අභිජ්ඣා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. එය දුකට, දොම්නසට මුල්වන හේතුවයි. කාය පස්සදිය නැතිවන්නේ ක‍්‍රියාව අසංවර වන්නේ ”දාහය” ”ගින්න” අභිජ්ඣා ගති ලක්ෂණයන් සිතේ උපදින නිසාමය.

”සබ්බකාය පටිසංවේදීතාවය” පිළිබඳව මෙතරම් දීර්ඝ විස්තරයක් කළේ මුළු ආනාපානසති භාවනා ක‍්‍රමයම රැඳී පවතින්නේ මේ ”සබ්බකාය පටිසංවේදී” බව යන්නෙහි දෙපැත්තම නිවැරදිව තේරුම් ගැනීම මත නිසාමය. කය ගිනිගන්නා, කය දාහයට පත්වන අභිජ්ඣා ගති ලක්ෂණයන් සේවනය කිරීමෙන් බැහැරවිය යුතු බවත් කයෙහි ගින්න නිවන, කය සංසිඳවන, කය නිවන ක‍්‍රියාවන්හි යෙදීම කළ යුතු බවත් අවධාරණය කිරීම සඳහාය. ”කාය” යනු ක‍්‍රියාව යන තේරුම මිස ශරීරය නොවේ.

”පස්සං භයං කාය සංඛාරං” යනුවෙන් අදහස් කළේ කෙනෙකු තුළ සියලු භය ඇතිවන්නේ කාය සංඛාර නිසා බව පෙන්වා දී කාය සංඛාර නිසා උපදින අයහපත් අකුසල් දේ බැහැර කර නිදහස් විය යුතු බවත් පෙන්වා දී ඒ සමඟම යහපත් කුසල් ආශ‍්‍රය කිරීමෙන් සියලු භය සංසිඳෙන බවත් භය සංසිඳීමත් සමඟම කය සංසිඳෙන බවත් පෙන්වා දීමටයි. ක‍්‍රියාවන් යහපත් වීමත් සමඟම අයහපත් ක‍්‍රියාවන් බැහැර කිරීමත් සමඟම කය සංසිඳී – කායානුපස්සනාව වැඞී – ගින්න සංසිඳී – දාහය නැතිවී – භය සංසිඳී නිවුණු කයක ස්වභාවයට පත්වෙයි.

ඉන්ද්‍රියයන් හයම දොරවල් හයක් ඇර තැබුවා සේ විවෘත කර තැබීමෙන් හොඳ නරක සියලුම කුණු එකතු වෙයි. කුණු එකතු කිරීම නැවැත්වීමට නම් තමාගේම ඉන්ද්‍රියන් හයම සංවර කරගත යුතුය. ඒ ආකාරයෙන්ම කුණු සළාහැර පිරිසිදු වීම කරගත හැකිවන්නේද ඒ ඉන්ද්‍රියයන් හයෙන්ම කවදා හෝ අතීතයේ එකතු කර චිත්තසංථානයේ තැන්පත් කර ගබඩාවී පවතින කුණු ගති ගුණ ඒ ඉන්ද්‍රියයන් හයම ආශ‍්‍රයෙන් බැහැර කිරීමෙනි. කුණු ඇතුළට ගත් (ඉන්ද්‍රියයන්) දොරවල් හයෙන්ම කුණු බැහැර කිරීමද කළ යුතුය. මෙය ඉන්ද්‍රිය භාවනාවයි. ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සංවර සීලයයි. මේ අනුව ආනාපානසති භාවනාව යථා පරිදි අවබෝධ කරගෙන සතියෙන් යුතුව භාවනා කිරීමෙන් සීල, සමාධි, පඤ්ඤා යන තුන් ආකාරයේම ක‍්‍රියාකාරීත්වය පූර්ණ වෙයි.

කායානුපස්සනාව යථා පරිදි සිදුනොවී නම් කය සංසිඳීම සිදුවූයේ නැත්නම් වේදනාව සංසිඳීමක් වේදනානුපස්සනාවේ පිහිටීමක්් හෝ සිත සංසිඳීමක් චිත්තානුපස්සනාවේ පිහිටීමක් හෝ ධම්මානුධම්ම ප‍්‍රතිපදාව පුරාගෙන ධම්මානුපස්සනාව පුරා ගැනීමක් හෝ කිසිසේත්ම සිදු නොවේ.

හුස්ම ගැනීම – ආශ්වාසය – හුස්ම පිට කිරීම – ප‍්‍රාශ්වාසය ලෙසින් අස්ස, පස්ස යන පද අර්ථ ගන්නා එක ක‍්‍රියාවක් දෙස පමණක්ම බලා කය සංසිඳවා ගත නොහැකිය. ක‍්‍රියාවන් හයම දෙස බලා ක‍්‍රියාවන් හයෙන්ම යහපත් කුසල් ආශ‍්‍රය කිරීමත්, අයහපත් අකුසල් බැහැර කිරීමත් කළ යුතුය. මේ අනුව තම තමන්ම තමාගේම ඉන්ද්‍රියයන් හයෙන්ම වටිනා, හරවත්, ප‍්‍රිය මධුර යැයි සිතා එකතු කරගන්නා දේ පිළිබඳව දෙවරක් නොව කිහිපවරක්ම ඉවසා, සිතා බලා එවැනි ප‍්‍රිය මනාප දේ ගින්න, දාහය, අභිජ්ඣා, ශෝකය, භය ඇතිකර වන දේ නම් ඒවා ඇතුළට නොගත යුතුය. සිත කය නිවන භය ඇති නොවන කය සංසිඳෙන දේ නම් ඒවා පමණක් ඇතුළට ගත යුතුය. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍ර දේශණාවේ ඉතා දීර්ඝ වශයෙන් මේ කරුණු විස්තර කර ඇත. එය කියවා තේරුම් ගැනීම කාටත් ඉතාම ප‍්‍රයෝජනවත් වෙනු ඇත’

2. වේදනානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්

යස්මිං සමයේ භික්‍ඛවේ, භික්‍ඛු
v. පීති පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
පීති පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
vi. සුඛ පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
සුඛ පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
vii. චිත්තසංඛාර පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
viii. පස්සම් භයං චිත්ත සංඛාර පටිසංවේදි අස්සසිස්සාමිති සික්‍ඛති
පස්සම් භයං චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති

”වේදනාසු වේදනානුපස්සී භික්‍ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු විහරති. ආතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජඣාදෝමස්සං”

කායානුපස්සනාව වැඩූ කෙනෙකු තම ක‍්‍රියාවන්ගේ වේගය සංසිඳවා ගැනීමත් සමඟම වේදනාව ගැනද යම් තරමක හැඟීමක් ඇතිවෙයි. ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ප‍්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බව හා එවන් ඉන්ද්‍රියයන් පිනවීම අත්හැරීමෙන් ලබන නිරාමිස ප‍්‍රීිතිය, නිරාමිස සුවය හා සිත නිවීමද යම් තරමකට හෝ තේරුම් ගත හැකි වෙයි. කය රමණය කරන ක‍්‍රියාවන් නිසා කාම ප‍්‍රීතියත්, කාම සුඛයත් ඇතිවේ. කාමයෙන් වෙන්වීම නිසා නෙක්ඛම්ම ප‍්‍රීතියත්, නෙක්ඛම්ම සුවයත් ඇතිවෙයි. කාම ප‍්‍රීතිය හා කාම සුඛය යන දෙකම වේදනාවෙන් විඳීමත් ප‍්‍රීතියක් හා සුවයකි. ඒ දෙකම සුළු මොහොතකින් වෙනස් වී දුකට පත් කරවන දුකම උරුම කරදෙන එක දිගටම පැවැත්විය නොහැකි ප‍්‍රීතියක් හා සුවයකි. නෙක්ඛම්ම ප‍්‍රීතිය ඊට හාත්පසින්ම වෙනස් නිරාමිස ප‍්‍රීතියකි. නිරාමිස සුවයකි. මේ ආකාරයෙන්ම කායික ප‍්‍රීතිය, උපධි ප‍්‍රීතියකි. උපධි සුඛයකි. නිරුපදි ප‍්‍රීතිය හා නිරුපදි සුඛය යහපත් එකකි. සාසව ප‍්‍රීතිය හා සාසව සුඛය බැඳීමක්, බරක්, බයක් උපදවයි. අනාසව සුඛය සම්මා සුවයයි. අනරිය ප‍්‍රීතිය අනරිය සුවය සසර ගමන දික් කරන්නකි. අරිය ප‍්‍රීතිය, අරිය සුවය නිර්වේදයිත සුඛයකි. නිදහස්වීමේ සුවයකි. ඒ ආකාරයෙන්ම සමාධි සුවය, උපේක්ඛා සුවයද නිවන් සුවයට මංපෙත් හෙළිකරයි.

මෙහි කළින් දැක්වූ පරිදි සෑම සංඛාර ක‍්‍රියාවක් නිසාම කෙනෙක් යම් විඳීමක් වින්දනයක්, වේදනාවක් ලබයි. මෙය ප‍්‍රිය වේදනාවක් හෝ අප‍්‍රිය වේදනාවක් හෝ මැදිහත් වේදනාවක් හෝ විය හැකිය. අකුසල් කර්මයක් කිරීමෙන් ලබන ප‍්‍රිය වේදනාව හා ප‍්‍රිය සුවය මොහොතකින් දුක්, අප‍්‍රිය වේදනාවක් බවටද පත්වෙයි. ඒ අනුවම කුසල කර්මයක් නිසා කුසල ධර්මයක් කිරීමෙන් ලබන ප‍්‍රීතිය හා සුවය නිරාමිස ප‍්‍රීතියක්ද වෙයි. අත්හැර නිදහස්වීමේ සුවයක් වෙයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ ප‍්‍රීති, සුඛ, චිත්ත, සංඛාර යන තුන් අවස්ථාවෙහිම අත්හැර නිදහස් විය යුතු ප‍්‍රීතියක්, සුවයක් හා චිත්ත සංඛාර පටිසංවේදී බවක් ඇත. ”පස්ස සිස්සාමිති සික්‍ඛති” යනු ඒ අතහැර මිදී හික්මිය යුතු ප‍්‍රීතියයි. සුඛයයි. චිත්ත පටිසංවේදීතාවයයි. ඒවාගේම ආශ‍්‍රය කළයුතු කුසල මූල ප‍්‍රීතියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදී බවක්ද ඇත. ”අස්ස සිස්සාමිති සික්‍ඛති” කීවේ මේ ආශ‍්‍රය කළයුතු ප‍්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බවයි.

වේදනානුපස්සනාව සඳහා වේදනාව සංසිඳීම සඳහා මේ දෙයාකාර ක‍්‍රියාවන්ම කළ යුතුය. අත්හළ යුතු කාම ප‍්‍රීති, කාම සුඛ, කාම චිත්ත පටිසංවේදී බව ආදී කොට ඇති ඉන්ද්‍රියයන් පිනවීමේ ප‍්‍රීති, සුඛ අත්හැර, නිදහස් වී, ශික්ෂණය විය යුතුය. එවාගේම ආශ‍්‍රය කළ යුතු නෙක්ඛම්ම සුවය, අනාසව සුවය, නිරාමිස ප‍්‍රීතිය, සමාධි සුවය ආදී ප‍්‍රීති හා සුඛ අත්විඳ ගත යුතුය. එය අරිය සුවයයි. මේ අනුව වේදනානුපස්සනාව ලැබීමට නම් වේදනාව සංසිඳුවා ගැනීමට නම් මේ සඳහන් කළ දෙයාකාරයේම ආශ‍්‍රය කිරීම හා ආශ‍්‍රයෙන් බැහැර කිරීමද තෝරා බේරාගෙන කටයුතු කළ යුතුමය.

නිරාමිස සුවය හා ප‍්‍රීතියත් නෙක්ඛම්ම සුවය හා ප‍්‍රීතියත් නිරුපදි සුවය හා ප‍්‍රීතියත් සමාධි සුවය හා ප‍්‍රීතියත් යන සියල්ලමත් අත්හැර සිත අසංඥ තත්ත්වයට පත්කර ගත හොත් කිසි විටකත් ධම්මානුධම්ම ප‍්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට උපකාර වන ප‍්‍රසාදයට පත්වූ සිතකින් ධම්මානුපස්සනාවෙහි යෙදීමටද නොහැකි වෙනු ඇත. ඒ නිසා ආශ‍්‍රය කළ යුතු ප‍්‍රීතිියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදීතාවයකුත් ඇති බව නිතරම කල්පනා කර කායානුපස්සනාව හා වේදනානුපස්සනාව වැඩිය යුතුය.

කාම ප‍්‍රීතිය, කාම සුවය, උපධි ප‍්‍රීතිය හා උපධි සුවය, සාසව ප‍්‍රීතිය හා සාසව සුවය ආමිස සුවය හා ආමිස පී‍්‍රිතිය හැම විටම අභිජ්ඣා දෝමනස්සයට මුල්වන බව දැන එය ප‍්‍රහාණය කර දමා ඉන් ලබන වේදනාව ප‍්‍රිය මධුර වුවත් එහි අනිච්ච බව පසක් කොට දැන ඉන් මිදී නිදහස්විය යුතුය. එය වේදනානුපස්සනාව වැඞීමයි. වේදනාව සංසිඳීමයි. ඒ මිස කයෙහි ඇතිවන වේදනා බැලීම වේදනානුපස්සනාව නොවේ.

කාම සුවය කාම ප‍්‍රීතිය නිසා උපධි සුවය ප‍්‍රීතිය නිසා නිතරම සිතෙහි භයක්, බරක්, බැඳීමක් ඇතිවෙයි. එයට හේතුව කොයි මොහොතේ හෝ පී‍්‍රතිය, සුවය නැති වී අවසන් වී යාදෝ යන භයයි. නමුත් නෙක්ඛම්ම පී‍්‍රතියේ හා සුවයේ නිරුපධි පී‍්‍රතියේ හා සුවයේ, සමාධි සුවයේ පී‍්‍රතියේ එවැනි භයක්, තැති ගැන්මක් හිතකට ඇති වන්නේ නැත. එය අත්හැර මිදී නිදහස්වීමේ සුවයයි. පී‍්‍රතියයි. ඒ නිසා ”පස්සං භයං චිත්ත සංඛාරං” යන තත්ත්වය තේරුම් ගෙන වේදනාව සංසිඳවා ගත යුතුය.

සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේ වේදනානුපස්සනාවට අදාළව සේවනය කළයුතු කුසල් ධර්මයන් හා සේවනයෙන් බැහැර කළ යුතු අකුසලයන් පිළිබඳව පැහැදිළිවම විස්තර කර ඇති නිසා අස්ස හා පස්ස යන කොටස් දෙකම නිවැරදිවත්, පිරිසිදුවත් දැන ඒ අනුව කි‍්‍රයා කළ යුතු වන්නේය. අස්ස යන්න ආශ්වාස ලෙසත් පස්ස යන්න ප‍්‍රාශ්වාස ලෙසත් වැරදියට පරිවර්තනය කරගෙන හුස්ම ඉහළ පහළ දැමීම, පිම්බීම හැකිළීම කෙරෙහි අවධානය යොමු කර අරමුණු වන සියලුම පී‍්‍රති හා සුඛ අත්හැර ලබන්නට හැකි වන්නේ අසඤ්ඤ තත්ත්වයකි. ධර්මය නොදැනීම නිසා ධර්මය වැරදියට පරිවර්තනය කිරීම නිසා සිදුවූයේ මෙවන් මහානර්ඝ වූ ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතයෙන් අනේක වූ දුක්විඳි ලෝක සත්ත්වයාට ලබාගත හැකිව තිබූ වේදනා සංසිඳියාව ලබාගැනීමේ අරිය මාර්ගය වැසී යටපත් වී යාමයි. අද වේදනානුපස්සනාව යනු කායික වේදනාවක් බැලීමකට පමණක් සීමාවී ඇත. මෙය ප‍්‍රාණයාම භාවනාවකි.

3. චිත්තානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්

”යස්මිං සමයේ භික්‍ඛු
ix. චිත්තපටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තපටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
x. අභිප්පමෝදයං චිත්තං අස්සස්සාමිති සික්‍ඛති
අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
xi. සමාදහං චිත්තං අස්සසිස්සාමිති සික්‍ඛති
සමාදහං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
xii. විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තේ චිත්තානුපස්සී භික්‍ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු
විහරති අතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදොමනස්සං නාහං භික්‍ඛවේ මුට්ඨස්සතිස්ස
අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි
තස්මාතිහ භික්‍ඛවේ චිත්තේ චිත්තානුපස්සී තස්මිං
සමයේ භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං”

සියලු අකුසල් කි‍්‍රයාවන් බැහැර කර කුසල් කි‍්‍රයාවන් ආශ‍්‍රය කිරීම නිසා කයෙහි ක‍්‍රියාවන් නිසා ඇතිවන දාහය, ගින්න සංසිඳවාගත්, ඒ අනුවම වේදනාවද සංසිඳුවාගත් ආනාපානසති භාවනානුයෝගියාට දැන් තම සිත සංසිඳුවා ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. කි‍්‍රයාවන් නිසා බිහිකරගත් වේගය සමඟ මෙතෙක් සිතින් බැඳී තිබූ චිත්ත පටිසංවේදීතාවය අත්හැරීමත් සමගම දැන් චේතෝ විමුක්තිය ලබාගැනීම අරමුණු කරගෙන සිත ප‍්‍රසාදයට පත්වෙයි. මෙය නිරාමිස පී‍්‍රතියයි. නිරාමිස සුඛයයි. නිරාමිස පී‍්‍රතියත්, නිරාමිස සුවයත් ක‍්‍රමයෙන් අත්හැර නිදහස් වීමෙන් සිත අධිමොක්ඛ තත්ත්වයට, අභිප‍්‍රමෝද තත්ත්වයටද පත්වෙයි. අභිප‍්‍රමෝදයට පත්වූ සිත සමාදහං තත්ත්වයටද පත්වෙයි. සමාදහං තත්ත්වයට පත්වීමේදී සිදුවන්නේ මෙතෙක් සිතෙහි රැුඳී පැවති (සං) අභිජ්ඣා, දෝමනස්ස ගති සහමුළින් ඉවත් වී, ”සම්මා” තත්ත්වයට සිත පත්වීමයි. නෙක්ඛම්ම, උපේක්ඛා තත්ත්වයට සිත පත්වීමයි.

පෘථග්ජන පුද්ගලයෙකු තුළ කායික දාහය, ගින්න, දුක ඇතිවන්නේත් මානසික දාහය, ගින්න, දුක ඇත්වන්නේත් පංචස්කන්ධය උපාදානය කරගන්නේත් අභිජ්ඣාව නිසාමය. අභිඉච්චා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. බලවත් කැමැත්තයි. දැඩි ලෝභය නිසා සිතෙහි ගින්නක් දාහයක් නිරන්තරවම උපදී. දැඩි ලෝභයෙන්, ආශාවෙන්, උපාදානය කරගත් දේ තමන්ට අහිමිවී යාමත් සමගම දොම්නස් සිතක්ද, ද්වේෂයක්ද ඇතිවෙයි.

ආනාපානසති සූත‍්‍ර දේශණාවේ සඳහන් මුල් පියවර දොළහ තුළදීම අභිජ්ඣාව දෝමනස්ස යන කෙළෙස් ගති ලක්ෂණ කෙනෙකුගේ සිත තුළින් සහමුළින්ම ඉවත්කර,
සිත ”සමාදහං චිත්තං” යන තත්ත්වයට පත්කර ගන්නට මඟ කියාදෙයි. මේ සඳහා සිතින් බැහැර කළ යුත්තේ අකුසල් සහගත කි‍්‍රයා, වදන් හා සිතුවිලිය. ඒ සමගම ආශ‍්‍රය කළ යුත්තේ අභිජ්ඣාව දොම්නස සිතෙහි උපදින්නට මුල්වන සිතෙහි තැන්පත්ව පවතින කිළිටි කෙළෙස් ගති ලක්ෂණ සළාහැර පිරිසිදුවීමට උපකාරවන කුසල කි‍්‍රයාවන්ය. කුසලස්ස උපසම්පදා යන පදයෙන් විග‍්‍රහ කරදුන්නේ මෙම යථාර්ථයයි. මේ අනුව ආනාපානසති සූත‍්‍රයෙන්ද පෙන්වා දුන්නේ ”සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා” යන ආශ‍්‍රය කළයුතු හා බැහැර කළ යුතු යන දෙපැත්තමයි. මෙතැනදී බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් සඳහන් කළ කරුණක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.

”නාහං භික්ඛවේ මුටඨස්සතිස්ස – අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි”

”මුට්ඨස්සතිස්ස” යනු ඇත්ත නැත්ත තේරුම් කරගන්නට නොහැකි හේතුඵල ධර්මය තේරුම්ගත නොහැකි මුට්ඨ, මෝහ, සතියෙහි පිහිටා කටයුතු නොකරන, සංපජානනය කළ නොහැකි, අසම්පජානස්ස පුද්ගලයාටයි. ”මම ආනාපානසති භාවනා ක‍්‍රමය එවැන්නන්ට දේශණා නොකරමි, නිර්දේශ නොකරමි” සංපජානනය කළ නොහැකි පුද්ගලයාට සමාදහන් චිත්තං තත්ත්වයට පත්වීමටද හැකියාවක් ද නැත. ”සං” යනු රැස්කරගත් උපාදානය කරගත් රාග, ද්වේෂ, මෝහ මූලික ගති ගුණයෝයි. ”සං” නිවැරදිවම තේරුම් ගෙන, පිරිසිඳ දැනගත නොහැකි පුද්ගලයාට ”සං” වලින් මිදී සම්මා තත්ත්වයට පත් වීමද කරගත නොහැකිය. සම්මා දිට්ඨියට පත්වන්නට නොහැකිය. දස්සනේන සම්පන්නෝ යන තත්ත්වයට පත්විය නොහැකිය. අසම්පජානස්ස යනු එවන් ගති ලක්ෂණයන් ඇති පුද්ගලයාට භාවිතා කළ නමකි. එවන් පුද්ගලයෙකුට තමන් ආශ‍්‍රය කළයුතු කුසල කි‍්‍රයා හෝ බැහැර කළ යුතු අකුසල කි‍්‍රයා හෝ වෙන්කොට දැන හඳුනාගත නොහැකි නම් මෙවන් උතුම් ආනාපානසති භාවනාවකින් ලබාගත හැකි ඵලයක්ද නැත. මේ බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ ධර්මයයි.

හුස්ම ඇතුළට ගැනීම හා පිටකිරීම, ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම හෝ පිම්බීම හැකිළීම කෙරෙහි පමණක් සිත යොමුකරගෙන සිතට එන සියලුම අරමුණු, සිතුවිලි බැහැර කරන්නාද අසම්පජනාස්ස පුද්ගලයෙකි. අසඤ්ඤ තලයකට පත්වීම ඔහු ලබන ඵල විපාකයයි.

අරිය විනයෙහි ලබන චේතෝ විමුක්තිය ලබන්නේද මෙම චිත්තානුපස්සනාවත් සමඟය. ”විමෝචයං චිත්තං” යනුවෙන් සඳහන් කළේ චේතෝ විමුක්තියයි. ”ප‍්‍රාණයාම” භාවනාව නම් අනරිය භාවනා ක‍්‍රමයෙන්ද චේතෝ විමුක්තියක් ලබාගත හැකිය. අනරිය අරූපී ධ්‍යානයකට පත්වීමෙන් ලබන එම චේතෝ විමුක්තියත් අරිය විනයේ එන අකුප්පා චේතෝ විමුක්තියත් දෙයාකාරය.

අරිය විනයේ එන චේතෝ විමුක්තිය ලැබූ පුද්ගලයාට ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරන්නට සුදුසු චිත්ත ශක්තියක් සිතේ පිරිසිදු බවක් ධර්මතාවයෙන්ම ලැබෙන නිසා ධම්මානුපස්සනාව වඩා ප‍්‍රඥා විමුක්තියම පූර්ණකර ගැනීම කරගත හැකිය.

නමුත් අනරිය භාවනාවකින් ලබන චේතෝ විමුක්තියත් සමඟම ඒ අනරිය ධ්‍යානයන් නිසා ලබන ලෞකික සුවයෙන් මත් වී ඉන් ඔබ්බට යාමේ පිළිවෙතක් දැකගන්නට නොහැකිව ඒ ලෞකික සුවයෙහිම ඇළෙයි. එයම නිවන යැයි එයම විමුක්තිය යැයි තීරණය කර ඒ අරූපී ධ්‍යානයම සුවයක් සේ ගෙන වාසය කරයි. මේ නිසා සිදුවන්නේ එවන් අනරිය ධ්‍යානයන් ලැබූ පුද්ගලයින් අසඤ්ඤ තලයක් අල්ලාගෙන මරණ මොහොතින් පසුව එවැනි අසඤ්ඤ තලයකම උපත ලැබීමයි.

මේ නිසා නිවැරදි ආනාපානසති භාවනාව තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීම හෝ වැරදි ආනාපානසති භාවනාව භාවිතා කර අසඤ්ඤ තලයක උපත ලබා සංසාරයේ අතරමං වීම හෝ යන දෙකෙන් එකක් තෝරා ගන්නට ඔබ දක්ෂ විය යුතුය.

4. ධම්මානුපස්සනාව වැඩීම

”යස්මිං සමයේ භික්‍ඛවේ, භික්‍ඛු,
xiii. අනිච්චානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
අනිච්චානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
ixv. විරාගානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
විරාගානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
xv. නිරෝධානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
නිරෝධානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
xvi. පටිනිස්සග්ගානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
පටිනිස්සග්ගානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
ධම්මේසු ධම්මානුපස්සී භික්ඛවේ තස්මිං සමයේ
භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං සෝ යංතං
අභිජ්ඣා දෝමනස්සං පහානං තං පඤ්ඤය දිස්වා සාධුකං අජ්ඣුපෙක්‍ඛිතා හොති.
තස්මාතිහ භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං එවං භාවිතා ඛෝ භික්‍ඛවේ
ආනාපානසති එවං බහුලීකථා චත්තාරෝ
සතිපට්ඨානේ පරිපූරෙති”

”ධම්මානුධම්මපස්සනාව” යන්න අරිය විනයෙහි මිස වෙනත් කිසිම ආගමක, දර්ශනයක හෝ භාවනා ක‍්‍රමයක ඇතුළත් වන එකක් නොවේ. ධම්මානුපස්සනාව වැඞීමට නම් ති‍්‍රලක්ඛණය නිවැරදිවත් යථාවබෝධයකින් යුතුවත් තේරුම්ගත යුතුමය. ති‍්‍රලක්ඛණය නිවැරදි ලෙස අවබෝධ නොවූ කෙනෙකුට ”අනිච්ච” යන පදයේ තේරුම පවා එහි ධර්ම අර්ථය පවා නොදැන ධර්මාවබෝධයක් ඇතිව කි‍්‍රයාකරතියි සිතිය නොහැකිය. මේ ආකාරයෙන්ම ධම්මානුපස්සනාව වැඞීමට නම් හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳවද යම්කිසි අවබෝධයක් ලබා සිටිය යුතුමය. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන ”භව” නිරෝධ කිරීමටත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, කුණු මුල් කපාහැර ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමටත් හැකියාව, ශක්තිය ලැබිය යුතුය.

ධම්මානුපස්සනාව වැඞීමෙන් සිදුවන්නේ ප‍්‍රඥා විමුක්තිය සම්පූර්ණ වීමයි. විද්‍යා විමුක්තියට පත්වීම යනුද ප‍්‍රඥා විමුක්තියට පත් වීමයි. සම්මා විමුක්තියට පත්වීම ලෙසින්ද මෙය බොහෝ තැන්වල සඳහන්ව ඇත. චේතෝ විමුක්තියට පත්වීමත් ප‍්‍රඥා විමුුක්තියට පත්වීමත් යනු දෙයාකාරයක විමුක්තියට පත් වීමකි. අවිද්‍යාවෙන් දුරු වූ, මානයෙන් දුරු වූ, භව නිරෝධ කළ උත්තමයා ප‍්‍රඥා විමුක්තියට පත් වූ අරහත් බුද්ධ තත්ත්වයටම පත්වූ උත්තමයෙකි. ඔහුට තවදුරටත් කරගතයුතු දෙයක් ඉතිරිව නැත.

අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගත් චතුරාර්ය සත්‍යයන් යථාපරිදි අවබෝධකරගත් අරිය පුද්ගලයෙකුට රාග – විරාග කිරීමටත්, රෝද – නිරෝධ කිරීමටත්, සංයෝජන – පටිනිස්සග්ග කිරීමටත් ධර්මතාවයෙන්ම ශක්තිය හා හැකියාවද ලැබෙයි. ඒ අනුව ආශ‍්‍රය කළ යුතු ධර්මතාවය – කුසල ධර්මයන් ආශ‍්‍රය කර, පහකර දැමිය යුතු අකුසල ධර්මයන් ප‍්‍රහාණය කර, සියලු සංයෝජනයන් ගෙන් මිදී මෙතෙක් සංසාර ගමන පවත්වාගෙන යාමට උපකාරවූ සියලු බැඳීම් – පටි නිස්සග්ග කර සියලු උපධීන්ගෙන් මිදී, නිදහස් වී අරහත් තත්ත්වයට පත්වීමට කි‍්‍රයාකරන උත්තමයෙකි.

චේතෝ විමුක්තිය පමණක් ලැබූ පුද්ගලයා යම් ආකාරයක අනරිය ධ්‍යනයක් ලබාගෙන චිත්ත විමුක්තියක් ලබා ගත්තද අරිය තත්ත්වයට පත්නොවූ අරිය ධර්මයෙහි යෙදීමට සමත් නොවන පෘථග්ජන පුද්ගලයෙකු නිසා යම් මොහොතක එම චේතෝ විමුක්තිය නැතිවී ධ්‍යානයන් නැති වී නැවත සාමාන්‍ය පුද්ගලයෙකු බවටත් පත්විය හැකිය. ඒවාගේම ඔහු සතර අපා දුකෙන් මිදුණු පුද්ගලයෙකු ද නොවේ.

චේතෝ විමුක්තිය ලබා ධ්‍යාන ලබාගෙන හෝ චේතෝ විමුක්තියෙන් තොර ධ්‍යානයන් නොලබාම හෝ ප‍්‍රඥා විමුක්තියට පත් අරිය උත්තමයාට ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් අකුප්පා චේතෝ විමුක්තියද උරුමයෙන් ලැබෙයි. අකුප්පා චේතෝ විමුක්තිය යනු කම්පනය නොවන, නොසෙල්වෙන, වෙනස් නොවන චේතෝ විමුක්තියයි. යමෙකුට අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගත හැකි වන්නේද ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින්මය. මේ නිසා ප‍්‍රඥා විමුක්තිය හා චේතෝ විමුක්තිය යනු දෙයාකාර දෙවිධියක ශක්තීන් හා බලයන් බව නිවැරදිවම තේරුම් ගත යුතුය. චේතෝ විමුක්තිය පළමුව නොලබා ප‍්‍රඥා විමුක්තියෙන් අරහත් තත්ත්වයට පත් අයම බහුලය. බෞද්ධයෙකුගේ එකම බලාපොරොත්තුව නිවන් අවබෝධය ලබාගෙන සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි. අනරිය භාවනා ක‍්‍රමයකින් ධ්‍යාන ලබාගැනීම හෝ ඍර්ධි ප‍්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය ලබාගැනීම හෝ පංච අභිඥා ලබාගෙන තම ශක්තීන් විදහාපෑම හෝ බුදුපියාණන්වහන්සේ අනුදැන වදාළ දෙයක් නොවේ. ප‍්‍රතික්ෂේප කළ දෙයකි. මේ අනුවම එවකට ජම්බුද්වීපයේ පැවති අනරිය ආනාපනසති භාවනා ක‍්‍රමයද බැහැර කළ බුදුපියාණන්වහන්සේ අනිකුත් හැමතැනකදීම පෙන්වාදුන් පරිදි ආනාපාන සතිය වැඞීමේදීද අරිය මාර්ගයක් ඇති බව පෙන්වා දී ඒ සඳහා නව අර්ථ කථනයක් ලබාදී පහසුම හා කෙටිම නිවන් මඟ පූර්ණ කරගැනීමේ ඒකායන මාර්ගය නම් අරිය ආනාපානසති භාවනාව වැඞීම බව පැහැදිළිවම ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් පැහැදිළි කර දුන්හ.

සත්ත සම්බොජ්ජංග වැඩීමෙන් විද්යාම විමුක්තිය පූරණය වීම

විද්‍යා විමුක්තිය පරිපූරණය කරගෙන බුද්ධ බවට පත්වී නිවන් අවබෝධය පූර්ණ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම සම්බොජ්ජංග වැඞී සත්ත සම්බෝජ්ජංග පූර්ණ කරගත යුතුමය. නිවන් අවබෝධය පූර්ණකර ගැනීමේදී නියත වශයෙන්ම සම්පූර්ණ කරගත යුතු අංග හතක්ම සත්ත බොජ්ජංග ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාරා ඇත. බුද්ධත්වයට පත්වීම යනු ලොව්තුරා බුද්ධත්වයට පත්වීම, පච්චේක බුද්ධත්වයට පත්වීම හා අරහත් බුද්ධත්වයට පත්වීම යැයි තුන්තරා බෝධියක්ම බුද්ධ භාෂිතයේ සඳහන් වෙයි. මෙතැන බුද්ධ යනුවෙන් වදාළ පදයේ ධර්ම අර්ථය බු+උද්ධ යන්නයි. (භු) බු යනු බිහි කිරීමයි. ”භව” යන පදයෙන්ද පටිච්චසමුප්පාද ධර්මයේ විග‍්‍රහ කළේ (භු) බු යන පදයයි. ”භව” සහමුළින් උදුරා දැමීම බුද්ධ තත්ත්වයට පත්වීමයි. ”භව” යනු කර්මබීජ උත්පත්ති බීජ යන්නයි. ”උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති”, ”උපාදාන නිරෝධා භව නිරෝධා”, ”භව නිරෝධා ජාති නිරෝධා”, යනුවෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ කරන ලද විග‍්‍රහයද ඉතාමත්ම පැහැදිළිය. කර්ම බීජ, උත්පත්ති බීජ සහමුළින්ම උදුරා දමා, නසා දමා අවසන් කිරීමෙන්ම පමණක් ”භව” නිරෝධ කර ජාති නිරෝධ කරගත හැකිවෙයි. ජාති යනු උපතයි. ජාති යනු නිතරම ඵලයකි. ලබා ඇති උපත දැන් නැති කළ නොහැකිය. ජාති නැති කිරීමට නම් මතු ජාතියක උපත ලැබීමම නැති කරනු මිස දැන් ඊට වෙනත් ක‍්‍රමයක්ද නැත. මතු ජාතියක උපත නැති කිරීම සඳහා කළයුතු හා කළ හැකි එකම දේ කර්ම බීජ, උත්පත්ති බීජ, භව නිරෝධ කර, භව උදුරා ඉවත්කර දැමීමයි. භව නිරෝධ කරන්නට අහවර කරන්නට ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු මග, පටිපදාව සත්ත සම්බොජ්ජංග සම්පූර්ණ කර ගැනීමයි. එසේ නම් සත්තබොජ්ජංග වැඞීම යනු භව අංග හතක්ම උදුරා දමා ඉවත් කිරීමයි. චිත්තසංථානයේ යළි යළිත් භව අංග බිහිවෙන තුරාවට කර්ම බීජද උපදී. ”භව” නිරෝධ කර සියලු කර්ම බීජ වලින් චිත්තසංථානය හිස්කර, මතු යළිත් කර්ම බීජ (භව) නැවත කවදාවත් නොඋපදවන තත්ත්වයටම පත්වීම සත්ත බොජ්ජංග පූර්ණ කර ගැනීමයි. මෙතනදී යළි කවදාවත් උත්පත්ති බීජ, කර්ම බීජ එකතු කර, රැස්කර නොගන්නා ආකාරයට චිත්තසංථානය පිරිසිදු කර ගැනීම සත්ත සම්බොජ්ජංග වැඞීම නමින් අදහස් කෙරේ. අතීතයේදී උපදවා චිත්තසංතානයේ රැුස්කර ගබඩා කරගෙන තිබූ සියලු අතීත කර්ම බීජයන්ද විනාශ කර, භව උදුරා දමා, අලුතින් කිසිම කර්ම බීජයක් උපදවා ගබඩා කර ගැනීමද නවතා දමා පිරිසිදු තත්ත්වයටම චිත්තසංථානය පත්කර ගැනීම සත්ත සම්බොජ්ජංග පූර්ණකර ගැනීම ලෙසින් සරළ ලෙස පෙන්වා දිය හැකිය.

අවිද්‍යාව හා තණ්හාව නිසාම මෙතෙක් කළක් ඒවායෙහි ඇති යම් සාර බවක් දැක සංසාර දෘෂ්ඨියෙන්ම එසේ එකතුකර ගබඩා කරගත් සියලු කර්ම බීජයන් දැන් විද්‍යා විමුක්තියට පත්වීම නිසා නිස්සාර ලෙසින් දැක ඒවා එකතු කිරීමෙන්, ගබඩා කිරීමෙන් හා භාවිතා කිරීමෙන්ද වැළකී ඉවත්වීම බුද්ධ බවට පත්වීමයි. සත්ත සම්බොජ්ජංග වැඞීමෙන් නියත වශයෙන්ම අෂ්ටාංගික මාර්ගයද වැඩෙයි. ප‍්‍රඥා විමුක්තියද පූර්ණ වෙයි.

ආනාපානසති අරිය භාවනාව වැඞීමෙන්, නිතර නිතර බහුල ලෙස භාවිතා කිරීමෙන්, සතර සතිපට්ඨානයද වැඩෙයි. සතර සතිපට්ඨානය වැඩෙත්ම, බහුල ලෙස වැඩෙත්ම, සත්ත සම්බෝජ්ජංගද වැඩෙයි. සත්ත සම්බොජ්ජංගයන් වැඞී පූර්ණ වීමත් සමඟම විද්‍යා විමුක්තිය පරිපූරණය වෙයි. ආනාපානසති සූත‍්‍රයෙන් පෙන්වා වදාළ මෙම අරිය මාර්ගය ඉතාම පහසුවෙන් ඉතාම කෙටි කලකින් විද්‍යා විමුක්තිය පරිපූරණය කරගැනීමේ කෙටිම මාර්ගය බවත් ඒකායන මාර්ගය බවත් බුද්ධ දේශණාවෙහිම පැහැදිළිව දක්වා ඇත.

පෘථග්ජන පුද්ගලයෙකු කරන, කියන, හිතන බොහෝමයක් ක‍්‍රියාවන් කරන්නේ අවිද්‍යාවෙන්, තණ්හාවෙන් පංචඋපාදානස්කන්ධයම අල්ලා, උපාදානය කර ගැනීමේ එකම චේතනාවෙනි. මේ ආකාරයට පංචස්කන්ධය උපාදානය කර ගැනීමත් සමඟම උපාදානය කරගත් දේ රැුකගන්නට ක‍්‍රියා කරන නිසා පංචනීවරණ ධර්මයන්ටද යටත්වෙයි. මෙසේ යමක් උපාදානය කර ගැනීමත් සමඟම සිදු වන්නේ කර්ම බීජ උත්පත්තියක් සිදුවීමයි. බොහෝමයක් පෘථග්ජන මිනිස්සු පංච නීවරණ ධර්මයන් යනු මොනවාදැයි නොදනිති. පංචඋපාදානස්කන්ධය පිළිබඳව හා පංචස්කන්ධය පිළිබඳව වෙනස්කම් කිසිවක්ම නොදනිති. කර්ම බීජ තමන්ම තම කැමැත්තෙන්ම උපදවා ගෙන, තමාගේම චිත්තසංථානයේ ගබඩාකර, රැස්කර ගන්නා බවද නොදනිති. මෙවන් කරුණු පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගත් පුද්ගලයා පමණක් සති සංපජානකාරී පුද්ගලයෙකි. සම්මා දිට්ඨියට පත් පුද්ගලයෙකි. පංචඋපාදානස්කන්ධයම තම කැමැත්තෙන්ම අල්ලා උපාදානය කරගන්නේත්, පංච නීවරණ ධර්මයන්හිම චන්දරාගයෙන් ඇලෙන්නේත්, දෙවනුව ඒවා සමඟ ගැටෙන්නේත්, මුලා වූ ස්වභාවයෙන් අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් ක‍්‍රියා කරන්නේත් මේ කරුණු පිරිසිඳ නොදත් අසම්පජානස්ස පුද්ගලයායි. මොහු මොටවූ මුට්ඨස්ස පුද්ගලයෙකි. ඇත්ත දැක සතියෙහි පිහිටිය නොහැකි කෙනෙකි. ”ආනාපානසති අරිය භාවනාව එවන් අසම්පජානකාරී, මුට්ඨස්ස පුද්ගලයින් සඳහා නොව සම්පජානකාරී අසම්මුට්ඨස්ස පුද්ගලයින් සඳහාම පමණක් දේශණා කරමි” යි බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් දේශණාකර පෙන්වා වදාළහ.

සත්ත සම්බෝජ්ජංග ධර්මයන් වැඞීමෙන් ”භව” නිරෝධ වී ක‍්‍රමයෙන් කර්ම බීජ උත්පත්ති බීජ ඛය වී යයි. කර්ම බීජ ඛය වී, භව නිරෝධ වීම යනු රාගක්ඛය වීමයි. ද්වේෂඛය වීමයි, මෝහඛය වීමයි. ඒ අනුව සත්ත බොජ්ජංග වැඞීම යනු කුමක්දැයි තේරුම් ගෙන නිවැරදි ආකාරයෙන් ප‍්‍රතිපත්ති පිරීමෙන්ම, කර්ම බීජ ඛය වී ජාති නිරෝධ වීමද සිදුවෙයි. භව නිරෝධ කිරීම යනු සම්බොජ්ජංග වැඞීමයි. භව නිරෝධ වී ජාති නිරෝධ වී, මතු යළි උපතක් නොලබන තත්ත්වයයි. නිවන් අවබෝධය පූර්ණකර ගැනීම සඳහා සත්ත සම්බොජ්ජංග වඩා සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය අංගයක් බව බුද්ධ දේශණාවේ හැම තැනකම පැහැදිළිවම දක්වා ඇත. ඒ ඒ බොජ්ජංග ධර්මයන් වෙන්කොට, නම්කර, පොත පතෙහි වෙන් වශයෙන් සඳහන් කර තිබුණත් මේ කිසිවක් නම් වශයෙන්, පියවර වශයෙන් නොදැනම තමාගේම ආධ්‍යාත්මය තුළින්ම සත්ත සම්බොජ්ජංග ධර්මයන් වැඞී පූර්ණ වී නිවන් අවබෝධ කරගත් බොහෝ අරහතුන්වහන්සේලා පිළිබඳව බුද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත.

ආනාපානසති භාවනාව නිවැරදිවත්, යථා පරිදිත් පිරිසිඳ දැනගත් කෙනෙකුට ආශ‍්‍රය කළයුතු කුසල ධර්මයන් හා ආශ‍්‍රයෙන් බැහැර කළයුතු අකුසල ධර්මයන් තෝරා බේරා ගන්නට තරම් දියුණු මනසක්ද ඇතිවන නිසා සතියෙහි පිහිටා කටයුතු කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙන්නට පටන් ගනී. පටිසංවේදී බව, සම්පජානකාරී බව, කාය සංඛාර, චිත්ත සංඛාර ආදී පදවල එන ”සං” යන පදයේ තේරුමද යථාපරිදි වැටහෙනු ඇත. ”සං” යන පදයෙන් විග‍්‍රහ කළේ එකතුවීම, රැස්කිරීම, බැඳීම, උපාදානය කර ගැනීම යන ධර්මතාවයයි. ”භව” යනු මේ බැඳීම නිසා උපදින ගති ලක්ෂණයයි. ඒ ගති ලක්ෂණයම කර්ම බීජයකි. මතු එම ගති ලක්ෂණයටම අදාළ උපතක්ද ලබාදෙන්නට ඒ ”භව” සමත් වන නිසා එය උත්පත්ති බීජයකි. කාය පටිසංවේදී, චිත්ත පටිසංවේදී, පී‍්‍රති පටිසංවේදී, සුඛ පටිසංවේදී යන සියලු ගතිගුණයන් අපි සංතෝසය ලෙසින්ද සතුට ලෙසින්ද සාමාන්‍ය භාෂාවේදී හඳුන්වමු. නමුත් මෙහි එන පටිසංවේදී බව නිසා සංතෝසය පමණක්ම නොව සංවේගය, සංතාපය, සංවේදී බව හා සම්බන්ධයද පෘථග්ජන සිතකම ඇතිවෙයි. සං, නිවැරදිව තේරුම්ගත් කෙනෙකු හේතුඵල ධර්මය දැන ඒ තුළින්ම ”සංදිට්ඨික” තත්ත්වයටද පත්වූ කෙනෙකි. සම්මා දිට්ඨියට පත්වීම යනුද එයයි. සං+මා යනු එකතු කරගත්, බැඳුනු, උපාදානය කරගත් දෙයින් (මා) මිදී නිදහස්විය යුතුයැයි දකින දැකීමයි. මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ සම්මා අංග අටෙන් නිදහස ්වීමත්, සත්ත බොජ්ජංග ධර්මයන් පූර්ණ කරගැනීමත් යනු එක ම ප‍්‍රතිපදාවක දෙපැත්තක් බව පහදා දීමටයි.

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙහි මෙන්ම සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේත් ත‍්‍රිපිටකයේ තවත් බොහෝ තැන්වලත් පෙන්වා වදාළ සත්ත සම්බොජ්ජංග වඩා පූර්ණකර ගැනීම යනු කුමන ආකාරයක ප‍්‍රතිපත්ති පිරීමක්ද යන්න පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගැනීම කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත.

සත්ත සම්බොජ්ජංග යන පදයේම සඳහන් ආකාරයට අංග හතක්ම ඇත. මෙම අංග හත අතරින් සති සම්බොජ්ජංගය වැදගත්ම හා මූලිකම අංගයයි.

”අතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං උපටඨිස්ස තස්මිං සමයේ
සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ඣෙංගා
තස්මිං සමයේ භික්‍ඛු භාවෙති.”

මෙහි සඳහන් අර්ථය ”අභිජ්ඣා දෝමනස්ස” යන ගති ලක්ෂණයන් කෙනෙකු තුළ පහළවීම නිසාම තමා තුළම ඇතිවන අනර්ථකර ඵලවිපාක යථාපරිදි දැක, තේරුම් ගෙන අභිජ්ඣා දෝමනස්ස ගති ලක්ෂණ වලින් ඉවත්වී සිත සම්මා දිට්ඨියට පත්කර ගන්නට හැකි පළමු ලක්ෂණය සති සංපජානනයයි. අසම්පජානස්ස යනු එය දැක ගැනීමට සමත් නොවන යන අර්ථයයි. අසම්පජානකාරී පුද්ගලයාට හේතුඵල දහමට බහා ගළපා බලා තමා තුළම බිහිවන අභිජ්ඣා ගති ලක්ෂණ නිසා ඇතිවන දැඩි ලෝබකමද දැඩි ආශාවද හේතු කොට තමා තුළම බිහිවන අයහපත් ගති ලක්ෂණයන්, කර්මබීජ බිහිවීම තේරුම් ගත නොහැකිය. අභිජ්ඣාව නිසාම තමා තුළ මතුවන දොම්නස් ගතිය ගැනද තේරුම් ගත නොහැකිය. කෙනෙකු දුක් විඳින්නේ අභිජ්ඣාව නිසා ඇතිවන දෝමනස්ස ගතිය නිසාමය.

අභිජ්ඣා දෝමනස්ස යන ගති ලක්ෂණයන් අන්ත දෙකක ගති ලක්ෂණ බව දැක ඒ ගති ලක්ෂණ වලින් තම සිත නිදහස් කරගත හැකි පුද්ගලයා අසම්මුට්ඨස්ස පුද්ගලයායි. මුට්ඨස්ස පුද්ගලයා, මොට්ට පුද්ගලයා මෝහය නිසාම දැඩි ලෝබයෙන්, ආශාවෙන් හැකිතාක් අල්ලා ගන්නට, උපාදානය කරගන්නට දරණ උත්සාහය නිසාම එහි ඵලය ලෙසම දෝමනසයටද පත්වීම නියත වශයෙන්ම සිදුවන දෙයකි.

මේ නිසා සති සම්බොජ්ජංගයේ පිහිටි පුද්ගලයෙකු සතියෙහි පිහිටා හොඳ නරක, හේතුඵල, ආදීනව – ආනිසංස දැන, දැක, තේරුම් ගෙන ක‍්‍රියා කරන පුද්ගලයෙකුද වෙයි. ඔහු හිතට වහල් වී ක‍්‍රියාකරන පුද්ගලයෙකු නොවේ. ඇත්ත ඇති සැටියෙන් දැනගත් කෙනෙකි. සති සම්බොජ්ජංගයෙහි නිවැරදිව පිහිටා කටයුතු කරන පුද්ගලයෙකුට ඉතිරි සම්බොජ්ජංග හයමත් සම්පූර්ණ කරගෙන බොජ්ජංග ධර්ම පරිපූරණය කර ගැනීමේ හැකියාව හා ශක්තියද ලැබෙයි.

ප‍්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය යන බෝධි අංග තුනම එක පැත්තක පිහිටි ඒවාය. සිත තුළම ජනිත වන අභිජ්ඣා දෝමනස්ස ගති පහකර දැමීමෙන් ලබන ප‍්‍රීතිය, සුඛය හා විරිය වඩන පංචකාම නීවරණ ධර්මවලින් සිත නිදහස් කරන කුසල අකුසල ධර්ම තේරුම් ගැනීමටත්, සාවද්‍ය අනවද්‍ය ධර්මයන් තෝරා බේරා ගන්නටත්, හින ප‍්‍රණීත ධර්මයන් තේරුම් ගන්නටත්, කටුක දේ බැහැර කර, සුවදේ තෝරා ගන්නටත් හැකි ශක්තිය හා හැකියාව කෙනෙකු තුළ ඇති කරවන අවස්ථාවයි.

පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගයන් අනික් පැත්තේ වැඩෙන දහම්ය. කාය පස්සදිය, කය සංසිඳීම ඇතිවීම හා චිත්ත පස්සදිය සිත සංසිඳීම ඇතිවීමත්, සමථ, විපස්සනා නිමිති පහළ වී සිත සමාධි ගතවීමටත් සිත නෙක්ඛම්ම උපේක්ඛා යන උතුම් තත්ත්වයට පත්වන්නටත් මේ බොජ්ජංග වැඞීම උපකාර වෙයි. මෙතනදී චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය යන දෙයාකාර උභතෝ විමුක්තියම පූර්ණ වන්නේ් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වීමත් සමඟය.

”සෙයි්‍යථාපි භික්‍ඛවේ අයං කායෝ ආහාරටඨිතිකෝ,
ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරෝ නො තිට්ඨති
ඒව මේව ඛෝ භික්‍ඛවේ සත්ත බොජ්ඣංගා
ආහාරට්ඨිතිකා ආහාරං පටිච්චා තිටඨන්ති
අනාහාරා නො තිට්ඨන්ති කො ච භික්‍ඛවේ
ආහාරෝ අනුප්පන්නස්ස වා සත්ත බොජ්ජංගස්ස
උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස
භාවනාය පරිපුරියෝ අත්ථි භික්‍ඛවේ
සතිසම්බොජ්ජංගංගට්ඨානියා
ධම්මා අයමාහාරෝ අනුප්පන්නස්ස වා
සතිසම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා
සතිසම්බොජ්ජංගස්ස භාවනා පරිපූරියා”

ආහාර හේතුකොට ගෙනම ආහාර ප‍්‍රත්‍ය කොට ගෙනම කය පවතින්නා සේම, පංචකාම නීවරණ ධර්මයන් ආහාර කොට ගෙනම, ප‍්‍රත්‍ය කොට ගෙනම වැඩෙන කර්ම බීජ නැතිකර දමා සත්ත බොජ්ජංග ධර්මයන් උපැදීමට නම් ඒ සඳහාද අවශ්‍ය සුදුසු ආහාර දිය යුතුය. ඒනිසා සත්ත බොජ්ජංග ධර්මයන් වැඞීමට බාධක ආහාර පිට කිරීමත්, ආශ‍්‍රය නොකිරීමත් පිරිසිඳ දැන ක‍්‍රියා කිරීමෙන්ම සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙයි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ පෙන්වා වදාළ ”සබ්බ කාය” මෙතැනදී ද පැහැදිළිකර දී ඇත. මෙතැන ආහාර යනු කබලිංකාර ආහාර, සංචේතනා ආහාර, ස්පර්ෂ ආහාර හා විඤ්ඤාණ ආහාර යන සතර කොටසටම අයත් ආහාර කොටස්මය. මේ ආහාර සතර වර්ගයේමත් භාවිතයට ගතයුතු යහපත් කොටසකුත්, භාවිතයට නොගතයුතු අයහපත් කොටසකුත් යැයි කොටස් දෙකක්ම වෙයි. සියලු ආහාර ගැනීමෙන් හෝ සියලු ආහාර නොගැනීමෙන් හෝ සත්ත බොජ්ජංගයන් වඩාගෙන නිවන් අවබෝධ කරගත නොහැකිය. අයහපත් ආහාර කොටස් භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ ගතිගුණ වැඞී කර්ම බීජ, ”භව” උපත් ලැබෙයි. අයහපත් ආහාර බැහැර කිරීමෙන් හා යහපත් ආහාර භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ දුරුවී, සමාධිගත වන්නටත් උපේක්ඛා තත්ත්වයට සිත පත් වන්නටත් ශක්තිය ලැබෙයි.

මේ අනුව ආන – ඇතුළට ගැනීම හා පාන – පිට කිරීම යන්න පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමම නිවන් අවබෝධයට ඉමහත් සේ උපකාරවන බව මෙහිදීත් ඉතාමත්ම පැහැදිළිය.

ආනාපානසතිය බහුලව නිතර නිතර වඩත්ම, කායානුපස්සනාව වැඞී, කය සංසිඳී, රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ වලින් තොරවූ සිත කය දෙකම විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී ව සති සම්බොජ්ජංගය වැඩෙයි. සති සම්බොජ්ජංගය වැඞීමත් සමඟම ප‍්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය වැඞී ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතාවයන් හා කුසල් දහම් මෙනෙහි කිරීමද බහුල වෙයි. අකුසල දහම් බැහැර කිරීමද බහුල වෙයි. ඊළඟ පියවරේදී පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය වැඞී සිත සමාදහං චිත්ත තත්ත්වයට පත් වී සමථය හා විපස්සනා නුවණ දෙකම පහළවීමත් සමඟම ධම්මානු ධම්ම පස්සනාවත් පූර්ණ වෙයි.

මේ ආකාරයටම වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිදී ඒ ගති ලක්ෂණයන් නිසා නැවතත් සම්බොජ්ජංග හතම වැඞී දියුණු වෙයි.

මේ ආකාරයටම චිත්තානුපස්සනාවෙන් හා ධම්මානුපස්සනාවෙන්ද හතර වරක්ම වැඞී සත්ත සම්බොජ්ජංග පූර්ණ වෙයි. හතර වරක්ම විවේක නිශි‍්‍රත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී සත්ත සම්බෝජ්ජංගයන් වැඞීමත් සමඟම නෙක්ඛම්ම උපේක්ඛා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි.

කායානුපස්සනාව වැඞී, කාය පස්සදිය ලැබීමත් සමඟින් කෙරෙහි උපේක්ඛා සිතක් ඇතිවී නෙක්ඛම්ම උපෙක්ඛාව දියුණු වෙයි. සියලු ක‍්‍රියාවන් වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිඳීමත් සමඟින් උපේක්ඛා සිතින් සියලු වේදනා ඉවසා දරා, සොම්නස් වේදනා, දොම්නස් වේදනා දෙකම දුරුකර නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි. චිත්ත පස්සදිය වැඞී සිත සංසිඳීමත් සමඟම සිතෙහි ද නෙක්ඛම්ම උපේක්ඛාව ඇතිවෙයි. ධම්මානුපස්සනාව පූර්ණවීමත් සමඟම විපස්සනා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පහළ වී නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි.

මේ ආකාරයට සතර සතිපට්ඨානය හා සත්ත සම්බොජ්ජංග මෙන්ම නෙක්ඛම්ම උපේක්ඛාවත් සම්පූර්ණ වීම නිසා අකුප්පා චේතෝ විමුක්තියත්, විද්‍යා විමුක්තියත් සම්පූර්ණ වී ප‍්‍රඥා විමුක්තියේ පිහිටීම සිදුවේ. මෙය නිවන් අවබෝධය පූර්ණ වී අරහත් ඵලයට පත්වීමයි. (මජ්ඣිම නිකායේ සළායතන විභංග සූත‍්‍රය)

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් පසුව ඊළඟටම මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන කායගතාසති සූත‍්‍ර දේශණාවෙහි හා ආනාපානසති සූත‍්‍ර දේශණාවෙහි එන කායානුපස්සනාවේද ප‍්‍රායෝගික වශයෙන් ඇත්තේ ඉතා සුළු වෙනස්කමකි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ එන කායානුපස්සනාවම විවිධ ආකාරයෙන් විස්තර සහිතව විග‍්‍රහකර පෙන්වීමක් කායගතාසති සූත‍්‍රයේදී විග‍්‍රහ කර ඇත. මෙහි තේරුම නම් ආනාපානසති භාවනාව සතිසම්පජානයෙන් යුත් ප‍්‍රඥා විමුක්ත හෝ උභතෝභාග විමුක්ත පුද්ගලයාට භාවිතයට සුදුසු වන අතර සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයාට කායගතාසති භාවනාව භාවිතයට සුදුසු ලෙසින් විස්තර කර ප‍්‍රතිපදාව දීර්ඝ ලෙසින් පෙන්වා දී ඇත යන්නයි. ඒ විනා මෙම සූත‍්‍ර දෙකෙහි විශේෂ වෙනස්කමක් නැත. මෙසේ බුදුපියාණන් දේශණා කර වදාළ භාවනා කර්මස්ථාන අතරින් හැම අතින්ම සම්පූර්ණ ලෙස නිවන දක්වාම මඟ පෙන්වන වැදගත්ම සූත‍්‍ර දේශණාව වන්නේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවයි. අනිකුත් සියලුම කර්මස්ථානයන්ද මෙහි ඇතුළත්ය’

අරිය අනාපානසති භාවනා ක්‍රමය හා අනරිය ලෞකික අනාපානසති භාවනා මය අතර ඇති විශේෂ වෙනස්කම්

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් විස්තර වශයෙන් විග‍්‍රහ කර, ප‍්‍රකාශ කර පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, මතුකර, පෙන්වා වදාළ භාවනා ක‍්‍රමයකි. අනරිය ලෞකික ප‍්‍රාණයාම භාවනා ක‍්‍රමය අතීතයේ පටන්ම වේද ග‍්‍රන්ථ වල සඳහන් උපනිෂද් ආගමේ භාවිතා කළ අනරිය භාවනා ක‍්‍රමයකි. මේ ආකාරයට මූලික වශයෙන්ම වෙනස්කම් ඇතිව ආනාපානසති භාවනාව යන නමින්ම භාවිතයේ ඇති භාවනා ක‍්‍රම දෙකක්ම ඇති බව හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. එකක් ලෞකිකය. අනික ලෝකෝත්තරය.

අතීතයේ ලොව ප‍්‍රචලිතව භාවිතා කළ මෙම අනරිය ලෞකික ආනාපානසති භාවනාව පිළිබඳව බුදුපියාණන්වහන්සේ තරම් කරුණු කාරණා දැන සිටි වෙනත් කෙනෙකු නොවූහ. ඊට හේතුව ගිහිගෙයින් නික්මුණු දා පටන්ම වසර හයක්ම ජන්බුද්වීපයේ එවකට පැවති සියලුම අනරිය භාවනා ක‍්‍රම ප‍්‍රායෝගිකවම අත්හදා බලමින්, ධූතාංග රකිමින්, වත්පිළිවෙත් පුරමින්, දහදුක් විඳිමින්, දුෂ්කර ක‍්‍රියා කළ නිසාය. ඒ අනරිය ක‍්‍රමවලින් ප‍්‍රාණයාම භාවනා ක‍්‍රමවලින් අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමය මගින් ලබාගත හැකිවූ ධ්‍යානයන්ද ප‍්‍රායෝගිකවම ලබාගෙන පුද්ගලිකවම අත්විඳගෙන ලබාගතහැකි නිවනක්, විමුක්තියක් නොදුටු බුදුපියාණන්, ඒ සියලු අනරිය ක‍්‍රමයන් පසෙකලා මෙතෙක් භාවිතයේ නොපැවති අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, භාවිතා කර ප‍්‍රඥා විමුක්තියට පත්වූ බව අරිය පර්යේෂණ සූත‍්‍රයේ පැහැදිළිවම දේශණා කර පෙන්වා ඇත. මෙතැනදී බුදුපියාණන් භාවිතා කළේ වේද ග‍්‍රන්ථ වල එන ආනාපානසති භාවනාව නොවේ.

දහසක් දුක්විඳ අත්ථතාපනයෙහි යෙදී ධූතාංග රැුක, වත් පිළිවෙත් පුරා සය වසරක් තුළ ලබාගත් ධ්‍යානයන් සියල්ලම ලෞකික වූත් භෞතික වූත් ඒවා මිස විද්‍යා විමුක්තියට පත්වී ලබන නිවනක් එහි නොවන බව බුදුපියාණන්වහන්සේම යථාපරිදි තේරුම් ගත් බව නිතර නිතර ප‍්‍රකාශ කර ඇත.

අනරිය භාවනා ක‍්‍රම භාවිතයෙන් ලබන අෂ්ට අභිඥාද යම් ආකාරයක රාගයෙන් ද්වේෂයෙන් වෙන්වූ එකකි. නමුත් මෝහයෙන් සහමුළින්ම ඉවත්වී ලබන විද්‍යා විමුක්තිය එහිදී නොලබන බවත් පැහැදිළිවම දේශණා කර ඇත. ලෞකික වූත් භෞතික වූත් පංච අභිඥා හා ඍර්ධි ප‍්‍රාතිහාර්යයන්ද පෑ හැකි මෙම අනරිය ධ්‍යානයන් උපදවා ගැනීමේ භාවනා ක‍්‍රමය බුදුපියාණන් සොයා දැනගත් දෙයක් හෝ බුද්ධ දේශණාවක් හෝ නොවේ. බුදුපියාණන් සොයා දැන දේශණාකළ ආනාපානසති භාවනා ක‍්‍රමය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී විද්‍යා විමුක්තියම ළඟාකර දෙන භාවනා ක‍්‍රමයකි. එය අරිය මාර්ගයයි.

අද සම්මත වශයෙන් භාවිතා කරන අනරිය ආනාපාන සතිය භාවනා කිරීමට නම් කැලයකට, ආරඤ්ඤයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට යාමත් එසේ ගොස් මිනිස් වාසයෙන් තරමක් දුරස්වී, තනිවී භාවනා කිරීමත් කළ යුතුය. මෙහිදී ලබාදෙන වැදගත්ම හා එකම උපදේශය සිතට අරමුණු වන සියලු ආකාර අරමුණු සිතින් ඉවත් කර හොඳ නරක සියලු අරමුණු වලින් ඉවත්වීමට ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. මෙහිදී සිදුවන්නේ රාග, ද්වේෂ අරමුණු තාවකාලිකව යටපත්වී, සිත සංඥා වලින් තොරවී අසංඥ තත්ත්වයට පත්වීමයි. මේ ආනාපානසති භාවනාව වැඞීමට යම් ධර්මාවබෝධයක් හෝ සබ්බකාය පිරිසිඳ දැන ගැනීමක් හෝ අවශ්‍ය නොවේ. ඒ නිසා කිසිවිටෙකත් මෝහයේ, අවිද්‍යාවේ මුල් ගළවා විද්‍යා විමුක්තියට පත්වීම මෙහිදී සිදු නොවේ. අවිද්‍යාව දුරුවී, විද්‍යාව උපතක් නොලබන නිසාම ධ්‍යානයන් ලැබුවත් මෝහ මුල දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙයි.

අද භාවිතා කරන මෙම ලෞකික ආනාපානසති භාවනා ක‍්‍රමයට අනුව කය සෙළවීම, ඉරියවු වෙනස් කිරීම හෝ වෙනත් බාහිර බාධක, උපද්‍රව භාවනාව දිගටම පවත්වා ගෙන යන්නට නොහැකිවන බාධක හේතුන්ය. බලයෙන්, කෘතිම වශයෙන් තාවකාලිකව යටපත් කරගත් රාග, ද්වේෂ ගති ලක්ෂණයන් මෙවන් බාහිර බාධාවීම් සිදුවීමත් සමඟම නැවතත් මතුවී එයි. මෙහිදී මෝහ මූලය නොසිඳන නිසා මෝහ ගතිය සහමුළින්ම උදුරා ඉවත් නොකරන නිසා රාගය උපදවන, ද්වේෂය උපදන යම් අරමුණක්, දර්ශනයක් ශබ්දයක් නිසා ධ්‍යානය කඩා වැටෙයි. වසර පනහක් හෝ කැලයක භාවනා කර සියලු ධ්‍යානයන් ලබාගත් කෙනෙකු පවා කැලයෙන් එළියට පැමිණ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ජීවත්වන විට දින ගණනකදී ධ්‍යානයෙන් පිරිහීගත් සාමාන්‍ය පුද්ගලයෙකු බවටම යළි පත්වෙයි. වසර ගණනක් දුක් විඳ ධූතාංග රැක උපයාගත් අනරිය ධ්‍යානයන් සහමුළින්ම නැතිවී යයි.

බුදුපියාණන් දේශණා කර වදාළ අරිය ධ්‍යානයන් එවැනි දේ නොවේ. යථාවබෝධයෙන්, ධර්මාවබෝධයෙන් සත්‍යය දැන තේරුම්ගෙන අරිය තත්ත්වයට පත්වූ උත්තමයෙකු නැවත කිසිදාක වසර සියයක් පෘථග්ජනයා අතර ජීවත් වූවත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළා නොවෙයි. ධ්‍යානයන්, මාර්ග ඵලයන් පිරිහීමක් සිදු නොවෙයි. මෙහිදී ආරඤ්ඤගතවීම, රුක්ඛමූලගතවීම, සුඤ්ඤාගාරගතවීම තම ආධ්‍යාත්මයෙන් අභ්‍යන්තර වශයෙන් ඇති කරගන්නා ගතිගුණ සමුදායකි. ඒවාට හුරුපුරුදු වූ විට මහ සෙනඟක් මැදදී පවා මොහොතකින් සමාධි ගතවී සමාපත්තියෙහි පිහිටා ක‍්‍රියාකිරීමේ ශක්තියක් අරිය ධ්‍යානයන් ලැබූවෙකු සතුව පවතී.

මුලදී යම් ආකාරයක නිසල පරිසරයකට වී භාවනාව පුරුදු පුහුණු කරගත් පසුව, භාවනා කරන ඉරියව්ව හෝ ඉඳගෙන, හිටගෙන, ඇවිදිමින්, නිදයමින් සිටම හෝ භාවනා කිරීමට බාධකයක්ද නොවේ. ඒනිසා සතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානයේම පිහිටා කටයුතු කිරීමේ ශක්තියක් බුදුපියාණන් පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක‍්‍රමයේ පවතී. යථාවබෝධය ලැබූ අරහතුන්වහන්සේ පැය විසිහතර මුළුල්ලේම සතර සතිපට්ඨානයෙන් යුතුවම සියලු කටයුතු කරයි.  ඒ ලබාගත් සත්‍යාවබෝධය නිසාම සිදුවන්නකි.

අද භාවිතා කරනු ලබන අනරිය ආනාපානසති භාවනා ක‍්‍රමයේ උගන්වන පරිදි මුළින්ම සමථ භාවනාව වඩා සමථයට පත්වී දෙවන අවස්ථාවේදී විපස්සනා භාවනාව වෙත මාරුවීමක් ප‍්‍රකාශ කරයි. නමුත් බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ ආනාපානසති භාවනාව එවැන්නක් නොවේ. එය යුගනද්ධ භාවනාවකි. සමථ විපස්සනා වැඞීම යැයි දෙකක් එහි වෙන්කොට නැත. සමථ විපස්සනා දෙකම එකටම එක සමගම වැඩෙන එකම භාවනා ක‍්‍රමයද මෙයයි. ඉන්ද්‍රියයන් හයම මෙහිදී එකවර සංවර වන නිසා
තමන් දැන හෝ නොදැන සමථ විපස්සනා යැයි වෙන් කිරීමකින් තොරවම සතර සතිපට්ඨානයේම පිහිටීමත් සමඟම සත්ත බොජ්ජංග වැඩෙන්නට පටන් ගනී. මේ අනුව හුස්ම ගැනීම පිට කිරීම – පිම්බීම හැකිළීම මෙනෙහි කිරීමේදී පළමුව සමථය වඩා දෙවනුව විපස්සනාවට මාරුවිය යුතුයැයි ප‍්‍රකාශ කළත් එහිදී විපස්සනා භාවනාවක් සිදුවන්නේම නැත. අනිච්ච සංඥාව වැඞීමෙන් – සඤ්ඤාපටිලාභය විපස්සනා කිරීමත්, විරාග සංඥාව, නිරෝධ සංඥාව වැඞීමෙන් – දිට්ඨිපටිලාභය විපස්සනා කිරිමත්, පටිනිස්සග්ග සංඥාව වැඞීමෙන් – අත්ථපටිලාභ සංඥාව විපස්සනා කිරීමටත් හැකි වන්නේ අරිය ආනාපානසති භාවනාව වැඞීමේදී මිස පිම්බීම හැකිළීම අරමුණු කරගැනීමේදී නොවේ. මේ අනුව අද පුරුදු කරන පුහුණු කරන ආනාපානසති භාවනාව යැයි නම් කළ ක‍්‍රමයේ විපස්සනා භාවනාවක් සිදුවන්නේ යැයි අනුමානයෙන් වත් සිතිය නොහැකිය.

බුදුපියාණන් අර්ථ විග‍්‍රහ කර අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව සීල, සමාධි, ප‍්‍රඥා යන අංගයන් තුනම ක‍්‍රමානුකූලව වැඩෙන භාවනා ක‍්‍රමයකි. සංවර, සංසිඳීම හා සම්මා යන අංග තුන සීල, සමාධි, ප‍්‍රඥා යන නම් වලින්ද බුද්ධ දේශණාවේ නම්කර ඇත. ඉන්ද්‍රියයන් හයම සංවරවීමත් සමඟ සංවර සීලයේ පිහිටීමත් කාය පස්සදිය, වේදනා පස්සදිය හා චිත්ත පස්සදිය සමඟ සංසිඳීම සිදුවන බවත් ධම්මානුපස්සනාව වැඞීමත් සමඟ ප‍්‍රඥාව පූර්ණ වී සම්මා අංග අටම පූර්ණවන බවත් අරිය ආනාපානසතියේ පෙන්වා වදාළ නිවන් මාර්ගයයි. අනරිය ආනාපානසතිය වැඞීමෙන්ද යම් සීලයක පිහිටන නිසා ශික්ෂණය වීමත් සංවර වීමත් සිදුවන අතර ප‍්‍රඥා විමුක්තියට පත්වීමට උපකාර වන විද්‍යා විමුක්තිය නම් පූර්ණ වීමක් සිදු වන්නේම නැත. ඒනිසා එය නිවනට උපකාර නොවන භාවනා ක‍්‍රමයක් බව කාටත් තේරුම් ගත හැකිය.

බුද්ධ දේශණාවේ අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව පෘථග්ජන, සේඛ, අසේඛ යන තුන් කොට්ඨාශයටම භාවිතයට සුදුසු භාවනා ක‍්‍රමයකි. බුදුපියාණන්වහන්සේ පවා බොහෝ අවස්ථාවල විවේක සුවයෙන් සති ගණන් වාසය කළේ මෙම ආනාපානසති භාවනාවේ යෙදෙමිනි. මේ බව බොහෝ සූත‍්‍ර දේශණාවල සඳහන්ය. මේ අනුව අරිය විනයෙහි දක්වා වදාළ ආනාපානසති භාවනා ක‍්‍රමය අරහත් බව ලබා නිවන් අවබෝධකරගත් අසේඛ උත්තමයන්ටත් මගඵල පූර්ණය කරන්නට උත්සාහ ගන්නා සේඛ පුද්ගලයින්ටත් අරිය තත්ත්වයට පත්වන්නට මං සොයන පෘථග්ජන පුද්ගලයින්ටත් එක සමානව භාවනා කළ හැකි මහත්ඵල ලබාදෙන මහානිසංස ඇති භාවනා ක‍්‍රමයකි.

මේ අනුව මෙහි සඳහන් කරුණු කාරණා කිහිප වරක් හෝ කියවා බලා තේරුම්ගෙන තමා තමා තුළින්ම ධර්මය අනුගමනය කර නිවන අත්විඳ ගන්නට උත්සාහ කරන්න. වචන හරඹයක යෙදී මෙවන් උතුම් ධර්මයක් යටපත් කරන්නට උත්සාහ දරණ බොහෝ උගත්තු එදා මෙන්ම අදත් සිටිති. හෙටත් එවැනි අය යම් යම් දෘෂ්ඨි වල එල්බගෙන කටයුතු කරනු ඇත. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ දරණ කෙනෙකු ලෙස මේ පොත කියවන ඔබ මෙහි සඳහන් අරිය මාර්ගය ප‍්‍රායෝගිකවම ක‍්‍රියාත්මක කර බලන්නටම උත්සාහ ගන්න. සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ යන පියවරයන් තුනම සම්පූර්ණ වශයෙන් මෙම ආනාපානසති සූත‍්‍රයේ ඇති නිසා එය දැන අනුගමනය කර අත්විඳ ගැනීම හෝ නොසළකා මඟහැර අතරමංවීම ඔබටම අයත් කාර්යයයි. වගකීමයි.

Share Button

ධම්මානුධම්ම පටිපදාව III

මේ උතුම් බුද්ධ ධර්මය ප‍්‍රඥාවන්ත පුද්ගලයාට මිස දුප්පඤ්ඤ පුද්ගලයාට ගෝචර නොවේ යැයි ආනාපනා සති සූත‍්‍ර දේශණාවේදී මෙන්ම වෙනත් තැන්වලදීත් බුදුපියාණන් වහන්සේ ම පෙන්වා වදාළහ.

මිනිසුන් ලෙස උපතලත් ඔබ හැම කෙනෙකු උපතින් ම මනසක්ද උරුම කරගෙන ම උපත ලබා ඇත. මනස පාවිච්චි කරමින් තම චිත්තසංථානයේම ගබඩා වී පවතින කෙළෙස් ගති දැක ඒවා ප‍්‍රහාණය කර දැමීමට ක‍්‍රියා කළහොත් බොහෝ මිනිසුන්ටත් ප‍්‍රඥාවන්තයින් ලෙසින් ද ක‍්‍රියා කිරීමේ ශක්තියක් තමා තුළම ඇති කර ගත හැකියි. මේ අනුව ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි ආකාරයට මිනිසුන්ගේ සිතුම් පැතුම් සැකසීමට උපකාර වීමත්, ධර්මාවබෝධය ලැබූ අයට සසර දුකින් සඳහටම මිදී නිදහස් වීමට මඟ පැහැදිළිවම පෙන්වා දීමත් බුද්ධ දේශණාවේ ඒකායන පරමාර්ථය වේ.

යමකුට බුද්ධ ධර්මය අසා බුද්ධ දේශණාවෙහි සඳහන් සරළ දේ පවා තේරුම් ගත නොහැකි නම් එය කාගේවත් ම වරදක් නොවන බවත් තමා තුළම ඇති වැරදි දෘෂ්ඨිය බවත් දැනගත යුතුයි. බුද්ධ ධර්මයේ දේශණා කර වදාළ ගැඹුරු ධර්මයන් නිවැරදිව ම තේරුම් ගත හැකි වන්නේ තමා තුළම අනන්ත අප‍්‍රමාණ කාලයක් පටන්ම මුල් බැසගෙන පවතින මිච්ජා දෘෂ්ඨි, වැරදි ගතිගුණ, වැරදි හුරු පුරුදු තමා තුළින් ම ඉවත් කර නිදහසේ සිතන්නට පුරුදු පුහුණු වීමත් සමඟම පමණි. මේ වැරදි ආකල්ප, නරක ගතිගුණ, හුරු පුරුදු අතීතයේ තමන්ම එකතු කර තමාගේම චිත්තසංන්ථාය තුළම ගබඩා වී පවතින නිසා ඒ කෙළෙස්වලින් ම තමාගේ ම මනස වැසී යෑම හේතු කොට ගෙනම දැන් තමා මෝහයෙන් යුතුව ක‍්‍රියා කරන බවත් දැනගත යුතුයි. තමා දුක් විඳින්නේ මේ බව නොදැනීම, අවිද්‍යාව, නොදන්නාකම නිසයි. මෝඩකම ඇත්තේ තමා තුළමයි. තම මනස වසා, මුවහ කරගත්තේ ද තමන් මයි.

දැඩි දෘෂ්ඨියෙන් මුළා වූ, මිච්ඡ දිට්ඨියෙන් භරිත වූ බොහෝ මිනිසුන්ට බුදු බණ දේශණා කර මනස, ඥාණය උපදවා පහදා ගන්නට මඟ කියා දුන්නත් ක‍්‍රියාත්මක වශයෙන් ඒ මඟ අනුගමනය කරගන්නට ඔවුන්ට නොහැකියි. එවැනි අයට පිහිට වන මඟක් පෙන්වීමද අපහසුයි. එවැනි අයට ධර්මය දේශණා කරන්නට දරණ උත්සාහය ද කාලය අපතේ යැවීමක් පමණි.

පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක්, සීනි බෝලයක් වැනි ඒ මොහොතේ සිත සනසා ගන්නට යමක් දී රවටනවා මෙන් ඒ අයට ලෞකික දෙව් මිනිස් සැප සම්පත් මවා පෙන්වා දී තාවකාලික හෝ යහමඟට ගැනීමේ ක‍්‍රමයක්ද බුද්ධාගමේ නම් ඇති බව තේරුම් ගත යුතුයි. එවන් ලෞකික සැප සම්පත්, දෙව් මිනිස් සැප සම්පත් හඹා යන පුද්ගලයා නිරන්තරයෙන්ම ආත්ම දෘෂ්ඨියට පත්වීමද සිදුවෙයි. ලාභ දෘෂ්ඨියට පත්වීමද සිදුවෙයි. ආස්වාදයක් විඳගැනීමේ අත්ථපටිලාභ දෘෂ්ඨියද ඒ නිසා ම භව දෘෂ්ඨිය හා විභව දාෂ්ඨියට පත් වීම ද නියත වශයෙන් ම සිදු වේ.

මේ අනුව මිනිසෙකු ලෙසින් අද උපත ලබා සිටින ඔබ පළමු කොටම ශුද්ධ පවිත‍්‍ර කරගත යුතු වන්නේ තමා තුළම මුල් බැසගෙන පවතින වැරදි දෘෂ්ඨියයි. මිච්ඡුා දෘෂ්ඨියයි. සක්කාය දෘෂ්ඨියයි. සීල, සමාධි, ප‍්‍රඥා යන අංග තුනම මේ සඳහා ද නියත වශයෙන් ම උපකාර වන බව තේරුම් ගත යුතුයි. සීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය නිසාම දෘෂ්ඨි විශුද්ධියට පත්වීම ද සිදු කර ගත හැකි වේ.

බුද්ධ භාෂිතයේ සඳහන් පංච සීලය සීල විශුද්ධියයි. බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ පංච සීලය පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ දී මෙසේ දක්වා ඇත.

”පාණාතිපාතස්ස පහානා සීලං වේරමණී සීලං, චේතනා සීලං, සංවරෝ සීලං, අවිතික්කමෝ සීලං”

සංවර සීලය මෙහි වැදගත්ම අංගයයි. එහිදි මූලිකම කොටස් හතරක් විග‍්‍රහ වේ. සියලු සිල් පදයන්හි ම මේ අංග පහම අඩංගු වේ.

1. ප‍්‍රාතිමෝක්ඛ සංවර සීලය – චාරිත‍්‍ර වාරිත‍්‍ර සීලයයි.
2. ඉන්ද්‍රිය සංවර සීලය – ඉන්දියයන් හය සංවර කර ගැනීමයි.
3. ආජීව පාරිශුද්ධ සංවර සීලය – පිරිසිදු ආජීවකයෙකුගේ පැවැත්මයි.
4. ප‍්‍රත්‍ය සංනිශ‍්‍රිත සංවර සීලය – සිවුපසය සංවරත්වයෙන් පරිහරණය කිරීමයි.

සතර සංවර සීලයේ පිහිටියෙකු අප්පමාද වූ අයෙකි. මදයට, ප‍්‍රමාදයට හේතු ඔහු තුළ නොවේ. කළ්‍යාණ ධර්මයන් පිළිපදින කළ්‍යාණ මිත‍්‍රයින් ආශ‍්‍රය කරන කෙනෙකි. බිය පහකර දැමුවෙකි. අවංකව, පිරිසිදුව, පවිත‍්‍රව ක‍්‍රියා කරන කෙනෙකි. මරණ මොහොතේදී පවා සිහි මුළා නොවී සිහියෙන් කාලක‍්‍රියා කරන්නට හැකි ශක්තිය ඇත්තෙකි. මරණයෙන් පසු නිවන් නොදැක්කේ නම් සුගති ලෝකයකම උපත ලබයි. සංවර සීලයේ පිහිටා ක‍්‍රියාකරන කෙනෙකු චේතනා සීලය, ප‍්‍රහාණ සීලය, වේරමණී සීලය මෙන්ම අවිතික්කම සීලයෙහි ද පිහිටා ක‍්‍රියාකරන්නකුම වේ.

මිනිස් සමාජයේ සාමාජිකයකු ලෙසින් එදිනෙදා තම පැවැත්ම යහපත් ලෙසින් පවත්වා ගන්නට නීති ගරුකව ශිෂ්ඨ සම්පන්නව, සුචරිතවත් ලෙසින් ජීවිතය පවත්වා ගන්නට උපකාර වන සම්මත පංච සීලයක්ද තිබේ. එය ලෞකික සීලයයි. එය සමාජ චර්යා ධර්ම පද්ධතියකි. ගිහියාටත්, පැවිද්දාටත් නිත්‍ය සීලයක් ලෙසින් පෙන්වා දුන් මේ ලෞකික සීලය යහපැවැත්මකට මෙන්ම යහපත් සමාජ රටාවකටද උපකාරවන සීලයකි. මේ මඟින් ලෝකයේ ජීවත් වන්නට, ශික්ෂණය වන්නට, හික්මීමට උපකාරයක් ලැබේ. සංවරත්වය, සංවර සීලය යන්න ඊට වඩා බලවත් එකකි. එය බෞද්ධ අබෞද්ධ හැම මිනිසකුටම නිවන් අවබෝධය සඳහාම නියත වශයෙන් උපකාර වන සීලයකි. බුද්ධ ධර්මයේ හැර වෙනත් ආගමක හෝ ආගම් සංකල්පයක් තුළ හෝ මේ සංවර සීලය පෙන්වා දී නොමැත. සුගති ලෝකයකට යාමේ හෝ අපායෙන් බේරී නිදහස් වීමට හෝ බලාපොරොත්තුවෙන් රකින සීලයක් නම් එය සංවර සීලයක් නොවේ. එහි යම් ලෞකික බලාපොරොත්තුවක් පැවතීම එයට හේතුව වේ.

ජෛන, පතංජලී, ශිව ආදී විවිධ පෙරදිග ආගම් වල එදා පැවති පංචසීල හෝ උපෝස්ථ සීල ප‍්‍රතිපත්තීන් ඉතා ගරු කොට වැදගත් කොට සැලකූ බව පෙනේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ, ගුරුළුගෝමීන් වැනි අටුවාචාරීන් විග‍්‍රහ කර පෙන්වූයේ ද වේද, ජෛන, ශිව, පතංජලී ආදි ආගම්වල එදා අනුගමනය කළ ලෞකික සීල ප‍්‍රතිපදාවන් ම මිස සංවර සීලය යන අර්ථය ඇතිව පෙන්වා වදාළ සීලයක් නොවේ. අද බුද්ධාගමේ ද සිල් ගැනීම, සිල් රැුකීම ආදි වශයෙන් ගිහි, පැවිදි දෙපිරිසම කරන්නේත් විශ්වාස කරන්නේත් එදා විශුද්ධි මාර්ගය ලියා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉස්මතු කර දුන් ලෞකික සීල ප‍්‍රතිපදාව මිස සංවර අර්ථයෙන් එදා බුදුපියාණන් පෙන්වා වදාළ ත‍්‍රිපිටකයේ සඳහන් වන සීල විශුද්ධිය නම් නොවේ. මේ සීල සමාදානය ද හොඳ යහපත් දෙයකි. මෙහි අයහපතක් ඇතැයි කාටවත් ම කිව නොහැකිය. නමුත් බුද්ධ ධර්මය අනුගමනය කර, නිවන් අවබෝධයම ලබා ගන්නට බලාපොරොත්තු වන බෞද්ධ පින්වතුනට නම් මෙම ලෞකික සීල ප‍්‍රතිපදාවට අමතර වශයෙන් ලෝකෝත්තර නිවන් මාර්ගයට උපකාර වන සංවර සීලයද අත්‍යවශ්‍යම වන අංගයකි.

වේරමණි සීලය බුදුපියාණන් බුද්ධත්වයට පත්වන වකවානුවෙහිත් ජන්බුද්වීපයේ බහුල ලෙසින් ම භාවිතා කළ සමාදන් වූ සීල ප‍්‍රතිපදාවකි. බුදුපියාණන්වහන්සේ මේ සම්මත සීල ප‍්‍රතිපදාවටම ලෝකෝත්තර අර්ථයක් ලබාදී සංවර අර්ථයෙන්ම සීලයේ පිහිටා ක‍්‍රියාකළ යුතු බව දේශණා කර වදාරා ඇත.

සමාදන් කරවීම යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ යම් කෙනෙකු පොරොන්දු කරවා ගෙන, සපථ කරවාගෙන, යමකින් වළක්වා ගැනීමට දරණ උත්සාහයකි. මෙය බොහෝ දේව ආගම් වල දකින්නට ලැබෙන ලක්ෂණයකි. නමුත් බුද්ධ භාෂිතයේ අනුදැන වදාළ සීල ප‍්‍රතිපදාවෙහි, සීලයේ පිහිටා ක‍්‍රියාකරන කෙනෙකුගේ ළය සිසිල් වන බව, හදවත සුදුවන බව, (සුහද) ඉන්ද්‍රියයන් සංවර වන බව ඒ පුද්ගලයාටම අත්විඳ ගන්නට හැකි වන කරුණකි. ඒ සීල ප‍්‍රතිපදාවෙන් තමන්ම නිවෙන බව, නිදහස් වන බව, තමන් ම නිවනට ළංවන බව, අත්දැක ගත හැකි වීම විශේෂත්වයකි.

නිවන් මඟට උපකාර වන ලෝකෝත්තර සීලයේ, සීල ප‍්‍රතිපදාවේ පිහිටා ක‍්‍රියාකරන පුද්ගලයා නියත වශයෙන්ම නිරුත්සාහයෙන්ම අනිවාර්යයෙන්ම යහපත්, හොඳ නිවැරදි පුද්ගලයෙකු වීමද සිදුවේ. මෙය අතුරු ප‍්‍රතිඵලයකි. නමුත් අරියකාන්ත සීලයේ ඒකායන පරමාර්ථය සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි.

ආගම් සංකල්පවල පෙන්වා දෙනු ලබන ලෞකික සීල ප‍්‍රතිපදාවෙහි යෙදීමෙන් අත්කුක්කංසන පරවම්හනය සිදු නොවේ. එනම් කුල බලය, නිල බලය, ධන බලය, උගත්කම, බුද්ධිමත් කම, බහුස්සුත බව වැනි මානය මුල් කොට ගත් ගති ගුණ නිසා අනුන් පහත හෙළා ක‍්‍රියා කරන්නට, තමන් උසස් යැයි සිතන්නට, එසේ කථා කරන්නට උපකාරවන ආත්මාර්ථකාමී ගතිගුණ ප‍්‍රහාණය නොවේ. ප‍්‍රහාණ සීලය, චේතනා සීලය මේ ලෞකික සීල සමාදානයන් තුළ නැති නිසා එවැනි ගතිගුණ ප‍්‍රහාණය වීමක් සිදු නොවේ. අප‍්‍රමාණ මෙත්තාව – චේතෝ විමුක්තිය, සම මෙත පතුරවා විද්‍යා විමුක්තියට පත්වීමට නම් ලෝකෝත්තර සීල ප‍්‍රතිපදාවෙහි ම පිහිටිය යුතුයි. තමන් සංසාරයේ පුරුදු කරගෙන ආ යම් යම් ගති පුරුදු, ආත්මවාදී ලක්ෂණයන් ඉවත් කර පාරිශුද්ධ තත්ත්වයට පත් වීමට නම් අවිතික්කම සීලයේද පිහිටිය යුතුමයි. පාපය, වරද සම්මතයට වඩා ලෝකෝත්තර සීලයේ පදනම බවම තේරුම් ගෙන ක‍්‍රියා කිරීම ”සංවරට්ඨේන සීල විශුද්ධිං” යන පදවල අර්ථයයි.

අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා වදාළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ලෝකෝත්තර සීල අංග සම්පූර්ණ කරගත හැකි වන්නේද සංවර සීලයෙන්, චේතනා සීලයෙන් හා අවිතික්කම සීලයෙන් ම පමණි. මේ බව මහාචත්තාරිස සූත‍්‍රයේදී ඉතාමත් පැහැදිළිව විග‍්‍රහ කර පෙන්වා දී තිබේ.

ආගම්වල සමාදන් වන ලෞකික සීලය ඒ ඒ කාලයට, ඒ ඒ දේශයට, ඒ ඒ පුද්ගලයාට, ඒ ඒ පාලකයාට අනුව වෙනස් වූ, වෙනස් වන දෙයකි. රටක මිනිහකු මැරීම පාණාතිපාතයට අයත් වන පාප කර්මයක් නමුත් යුද්ධයක් පවතින රටක යම් ලෞකික පරමාර්ථයකින් මිනිසුන් මරණයට පත්කර හෝ රට රැුක ගැනීම යහපත් සදාචාරවත් සම්මත වූ එකක් බව අද මෙන් ම එදා ද සැළකූ බව පෙනේ. මේ අනුව සිල්පද රැුකීමත්, සමාදන් වීමත් විවිධ සමාජ අවශ්‍යතාවන් අනුව වෙනස් වන දෙයකි. අනුන් සතු දේ බලයෙන් අල්ලා ගැනීම අදින්නාදානය ද මේ ආකාරයෙන් ම සිදු වේ. කාමයෙහි හැසිරීම ද මේ ආකාරයෙන්ම විග‍්‍රහ කරගත යුතුයි. අතීතයේ රටේ රජුට තම රටේ හැම රුවැති කාන්තාවක්ම තම අන්තඃපුරයට ගෙන්වා ගන්නට අයිතියක් පැවතුණි. මේ නිසාම සම්මත සීලය හා සංවර සීලය යන දෙකෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාණ යන සියල්ලම නා නා අර්ථ ගන්නා බව පෙන්වා දිය යුතුයි. තමන්ට හොඳ දේ, තමන්ට ගැළපෙන දේ, වැඩි දෙනකු පිළිගන්නා සම්මත ක‍්‍රමය, ලෞකික සීලයයි. එය සමාජමය වශයෙන් කොතරම් යහපත් වුණත්, නිවනට බාධක නම් එය සංවරත්වයට බාධක නම්, චේතනාව අපිරිසිදු නම් එතන නිවනට උපකාර වන සීලයක් ද නොපවතී. මේ අනුව සංවර අර්ථයෙන්ම සීල විශුද්ධියේ පිහිටා ක‍්‍රියා කිරීම නිවනට මාර්ගයයි.

මේ ආකාරයෙන්ම විශුද්ධි මාර්ගයේ කංඛාවිතරණ විශුද්ධියක් පිළිබඳවද පෙන්වාදී ඇත. විචිකිච්ඡුාවෙන් වෙන් වී උද්ධච්චයෙන් වෙන් වීම, අවික්ඛේපාර්ථයෙන්ම චිත්තවිශුද්ධියට පත්වීමක් මිස කංඛාවිතරණයෙන් මිදී, සැකයෙන් නිදහස් වීමේ ක‍්‍රමවේදයක් බුද්ධ දේශණාවෙහි නම් පෙන්වා දී නොමැත. අටුවාචාරීන් ”කංඛා විතරණය” හා ”විචිකිච්ඡුාව” වෙන් කොට නොදුටු නිසා, විචිකිච්චාව ද සැකයක් සේම විග‍්‍රහ කිරීමෙන් ”අනිච්චානුපස්නාව” ප‍්‍රගුණ කර නිච්ච සංඥාව ප‍්‍රහාණය කිරීමෙන් අසාර බව, අනාථ බව අනුපස්සනා කරමින් අත්ථ සංඥාව ප‍්‍රහාණය කිරීමේ ක‍්‍රමය බෞද්ධයාට නුහුරු නුපුරුදු දෙයක් බවට ම පත් කරන ලදී.

නිවන් අවබෝධ කරගැනීමට කටයුතු කරන ගිහියකු හෝ යෝගාවචරයකු ”පංච ප‍්‍රහාණයන්” පිළිබඳවද නිවැරදිවම අවබෝධ කරගත යුතුයි. ”කුසලස්ස උපසම්පදා” යනුවෙන් පෙන්වා දුන්්නේ සළා හැර, අස්කර, ඉවත්කර දැමිය යුතු කුණු, කෙළෙස්, ආසව පිළිබඳවයි. මේ නිසා සංසාර ගමනේදී කවදා හෝ තමන් එකතුකර තම චිත්තසංථානයේ ම
දැනට ගබඩා වී ඇති කිළිටි ගති (කුණු) ප‍්‍රහාණය කර, ඉවත් කිරීම පස් ආකාරයකින් සිදු කරගත යුතුයි. මේ පස් ආකාරය පංච ප‍්‍රහාණයන් ලෙසින් ධර්ම විග‍්‍රහයේ පැහැදිළිවම පෙන්වා දී තිබේ.

1. විෂ්කම්භන වශයෙන් ප‍්‍රහාණය කිරීම
2. තදංගම වශයෙන් ප‍්‍රහාණය කිරීම
3. සමුච්ෙඡ්ද වශයෙන් ප‍්‍රහාණය කිරීම
4. පටිපස්සද්දි වශයෙන් ප‍්‍රහාණය කිරීම හා
5. නිස්සරණ වශයෙන් ප‍්‍රහාණය කිරීම

1. විෂ්කම්භන වශයෙන් ප‍්‍රහාණය කළ යුත්තේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මයිි. කාමච්ඡන්දය දුරු කිරීමෙන් නෙක්ඛම්ම තත්ත්වයට සිත පත්වීමත්, ව්‍යාපාදය දුරු කිරීමෙන් මෙත් සිත වැඞීමත්, ථීනමිද්ධය දුරු කිරීමෙන් අලෝක සංඥාව මතුවීමත්, උද්ධච්චය දුරු කිරීමෙන් සිතේ විසිරුණු ගතිය දුරු වී, අවික්ඛේප තත්ත්වයට සිත පත්වීමත්, විචිකිච්චාව දුරු වීමෙන්, හේතුඵල දැක සතියෙහි පිහිටා කටයුතු කිරිමේ ශක්තිය ලැබීමත් නිසා, පළමුවැනි අරිය ධ්‍යානයට පත්වීමේ හැකියාව ද ලැබේ. මේ අනුව, එතෙක් කාලයක් සිතේ මුල් බැසගෙන පැවති නීවරණ ධර්මයෝ ප‍්‍රහාණය වී ප‍්‍රථම ධ්‍යානයේ පටන් මාර්ගයන්ට පත් වේ. මේ ක‍්‍රියාවලිය සඳහා ද ආනාපානා සතියම වැඩිය යුතුයි. සේවනය කළ යුතුයි. භාවිතා කළ යුතුය. බහුල ලෙසින් භාවිතා කළ යුතුයි.

නෙක්ඛම්ම අස්සසති කාමච්ඡන්දං පහජති
අව්‍යාපාදං අස්සසති උද්ධච්චං පජහති
අවික්ඛේපං අස්සති උද්ධච්චං පජහති
ධම්මවවත්තේන අස්සසති විචිකිච්චං පජහති
ඥාණ වශයෙන් ජාතධම්මා අවිජ්ජා පජහති
පාමොජ්ජ (ප‍්‍රමෝදය) ජාතධම්මා අරතිං පජහතෝ

මෙහිදී භාවිතා කළයුතු සේවනය කළයුතු වන්නේ ඉතාමත් ම පැහැදිළිව ආනාපානා සතියයි. නෙක්ඛම්ම ආන කරන විට (අස්ස) කාමච්ඡන්දය ”පාන” කළ යුතුයි. ප‍්‍රහාණය කිරීම ”පාන” යන අර්ථයෙන් හා පජහති යන අර්ථයෙන්ද මෙහිදී පෙන්වා දී තිබේ.

2. තදංගප්පහාණංච – දිටිඨිගතානං නිබ්බේධ භාගියා සමාධං භාවයතෝ. මේ දෙවන අවස්ථාවේදී ධ්‍යානයන් ලබා ගැනීමත් සමඟම මෙතෙක් පැවති තද දෘෂ්ඨිගතවීම් නිර්වේදයට පැමිණ, වේදනා විඳීමෙන් තොර වූ තත්ත්වයකට පැමිණ, තදින් දෘෂ්ඨිගත වීමෙන්ද ඉවත් වී සමාධිගත වීමත් සමඟම සංයෝජන වෙන්කර දැක ගැනීමටත්, ආසව අනුසය වෙන්කර දැක ගැනීමටත් හැකි වේ. මෙය තදංගම ප‍්‍රහාණයයි.

3. සමුච්ඡේදප්පහාණං – ලෝකුත්තරා ඛයගාමි මග්ගං භාවයතෝ
මාර්ග ඵලයන් ලබාගන්නටම උපකාර වන ආසව, අනුසය ඛය වී යන, කෙළෙස් මුලින් ගළවා දමන, සමුච්ඡේද වශයෙන් කෙළෙස් ප‍්‍රහාණය කරනු ලබන්නේ මේ අවස්ථාවේදීයි. මෙය ලෝකෝත්තර නිවන් මාර්ගය වන,

1. සෝතාපන්න මාර්ගය
2. සකෘදාගාමි මාර්ගය
3. අනාගාමි මාර්ගය
4. අරහත් මාර්ගය

යන මාර්ගයන් සතර සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන ආසවඛ්‍යා ඥාණය හා අනුසය ඛයා ඥාණයමයි. ඛණ සම්පත්තිය හතර වරකදී සම්පූර්ණ වීමත් සමඟම සමුච්ෙඡ්ද වශයෙන් ආසව ඛය වී, නිවන් මාර්ගය සම්පූර්ණ වන්නේ මෙම තුන් වන පියවරේදීයි.

4. පටිපස්සද්දීප්පහාණංච – පලක්ඛනේ (මාර්ගඵලයකට පත්වීම)සමුච්ඡේද වශයෙන් අනුසය ධර්මයන් ඛය වී යාමත් සමඟම සෝවාන්, සකෘදාගාමි අනාගාමි, අරහත් ඵලයන්ට පත් වන්නේ මේ අවස්ථාවේදීයි. මේ ඛණ සම්පත්තිය පූර්ණ වීමයි.

5. නිස්සරණප්පහානංච – නිරෝධෝ නිබ්බානං
මේ අවස්ථාව නිවන් ඵලයට පත්වී සිත අනුප්පාද තත්ත්වයට පත්වීම නිසා ලබන නිවන් සුවය අත්විඳ ගැනීමයි. අරහත් මාර්ග ඵලයෙන් පසුව ලබන නිබ්බාන සුවය සදාකාලික වශයෙන්ම සසර දුකින් මිදී ලබන අනුප්පාද නිස්සරණයයි. කෙළෙස් උපත ලබන සියලු මාර්ගයන් සහමුළින් ම ගළවා අවසන් කර නිස්සරණ තත්ත්වයට පත්වීමයි.

1. i.  චක්ඛුංච පටිච්ච රූපේච – උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
ii. චක්ඛුංච නපට්ච්ච රූපේච – අනුප්පාදෝ නිබ්බානං

මේ ප‍්‍රකාශ දෙකෙන් පැහැදිළිවම දෙපැත්තක් පෙන්වා දී ඇත. පළමුවැනි ප‍්‍රකාශයෙන ඇසත් රූපයත් පටිච්ච වීම නිසා කැමැත්තෙන්ම බැඳීම හේතුව කොටගෙනම විඤ්ඤාණ ශක්තියක් සිතක උපදී. ”සං” ශක්තිය උපදී. කෙළෙස් උපදී.

දෙවැනිව ප‍්‍රකාශ වන්නේ ”න පටිච්ච” – කැමැත්තට වහල් නොවී, කැමැත්තට නොබැඳී, උපේක්ඛා සිතින් ක‍්‍රියා කිරීම නිසා විඤ්ඤාණ ශක්තියක් නොඋපදින නිසා ඵල විපාකයක් උරුම නොවේ යන අදහසයි. ඵල විපාක උරුම නොවේ නම් එතැන ”අනුප්පාද” තත්ත්වයක් පවතී. එයම නිවනයි. නිදහස් වීමයි. මෙතැන ”අනුප්පාදෝ” යන පදයෙන් විග‍්‍රහ කළේ සම්මත උපතකින් නිදහස්වීම පමණක්ම නොවේ. මොහොතක් මොහොතක්ම පාසාම සිතක උපදින විඤ්ඤාණ ශක්තියකින්ම නිදහස් වීම පිළිබඳවයි. කර්ම බීජ සකස් වීම, කෙළෙස් උපත අනුප්පාද වීමයි. මේ ආකාරයටම

2.      i.    සෝතංච පටිච්ච සද්ධංච – උප්පජ්ජති සෝත විඤ්ඤාණං
ii.    සෝතංච න පටිච්ච්ච සද්ධං ච    – අනුප්පාදෝ නිබ්බානං
3.    i.    ඝානංච පටිච්ච ගන්ධංච    – උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං
ii.    ඝානංච න පටිච්ච ගන්ධං    – අනුප්පාදෝ නිබ්බානං
4.    i.    ජිව්හාච පටිච්ච රසාච    – උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං
ii.    ජිව්හාච න පටිච්ච රසාච    – අනුප්පාදෝ නිබ්බනං
5.    i.    කායංච පටිච්ච පොට්ඨබ්බං    – උප්පජ්ජති කාය විඤ්ඤාණං
ii.    කායංච න පට්ච්ච පොට්ඨබ්බං    – අනුප්පාදෝ නිබ්බානං
6.    i.    මානාච පටිච්ච ධම්මෝච    – උප්පජ්ජති මනෝ විඤ්ඤාණං
ii.    මනාච න පටිච්ච ධම්මෝච    – අනුප්පාදෝ නිබ්බානං

මෙතැනදී තේරුම් ගතයුතු වැදගත්ම මූල ධර්මය වන්නේ මේ ඉන්ද්‍රියයන් හයට පටිච්ච වීමට අමතරව වෙනත් කිසිම ආකාරයකින් විඤ්ඤාණ ශක්තියත් සිතක උත්පාදනය නොවන බවයි. ඒ වාගේම ප‍්‍රිය බවෙන්, අප‍්‍රිය බවෙන් හෝ මුළාවෙන් පටිච්ච නොවුණොත් උපේක්ඛා තත්ත්වයට සිත පත් කර ගෙන ක‍්‍රියා සිතක් පමණක් පැවැත්වූවොත් එතැනදීත් විඤ්ඤාණ ශක්තියක් නොඋපදින බවත්, විඤ්ඤාණ ශක්තියක් උත්පාද නොවුණොත් කර්ම බීජ සකස් නොවන බවත් දැනගත යුතුයි.

1. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීමම දුකට හේතුවයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදෝ සුඛං (නිරාමිස සුවයයි).
2. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීමම භයට හේතුවයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදෝ ඛේමං (සහනයයි).
3. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීම ආමිසං – ආසව උපතට මුලයි.
විඤ්ඤාණ ශක්තීන් අනුත්පාදනය නිරාමිසං.
4. විඤ්දාණ ශක්තියක් ඉපදීම සංඛාර පැවැත්වීමට මුලයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදනය නිබ්බානං – නිදහස් වීමයි.

මේ නිවන නිදහස මොහොතින් මොහොතම තමන්ටම අත්විඳ ගත හැකි දෙයක්ම බවත් හැම කෙනෙකුටම දැන් අවබෝධ විය යුතුයි. විඤ්ඤාණ ශක්තිය දුර්වල වී යත්ම ප‍්‍රඥා ශක්තිය ක‍්‍රියාත්මක වීමටත් ආරම්භ වේ. ප‍්‍රඥා ශක්තිය යනු රාග, ද්වේෂ, මෝහ ගති වලින් හටගත් ආසව, අනුසය ධර්ම ඛය කර, ගළවා දැමීමට ඇති හැකියාවයි. ආසවඛයා
ඥාණයයි.

භාවනා කිරීම පරමාර්ථ වශයෙන් කොටස් හතරකට බෙදා බුද්ධ භාෂිතයෙහි විග‍්‍රහ කර අර්ථ දක්වා ඇත.

i. අනතිවත්තනට්ඨේන භාවනා
ii. ඉන්ද්‍රියානං එකරසට්ඨේන භාවනා
iii. තදුපග විරිය වහනට්ඨේන භාවනා
iv. ආසේවනට්ඨේන භාවනා යනුවෙනි

1. අනතිවත්තන – අර්ථයෙන් භාවනාව යනු අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් පැවැත්මෙහි, ජීවත්වීමෙහි ඇති යථාර්ථය ප‍්‍රත්‍යක්ෂ කර යථාවබෝධයක් ලබා ගැනීමට හැකි වන ආකාරයට භාවනා කිරීමයි. දුක්ඛ, සමුදය, නිරෝධ ප‍්‍රත්‍යක්ෂ කර චතුරාර්ය සත්‍යයන් ප‍්‍රත්‍යක්ෂ කර අවබෝධ කර ගත හැකි වන්නේ මෙම විපස්සනා භාවනා ක‍්‍රමයෙනුයි.

දුක යනු කිමැයි පීලනට්ඨෝ අභිඤ්ඤෙයියං (පීඩන අර්ථයෙන්)
දුක යනු කිමැයි සංඛතට්ටඨෝ අභිඤ්ඤෙයියං (එකතු කිරීමේ අර්ථයෙන්)
දුක යනු කිමැයි සන්තාපට්ඨෝ අභිඤ්ඤෙයියං (තවන අර්ථයෙන්)
දුක යනු කිමැයි විපරිණාමට්ඨෝ අභිඤ්ඤෙයියං (වෙනස් වන අර්ථයෙන්)

දුක පීඩාවක්ය, තමන්ම සකස්කර ගත් දෙයක්ය, පෙළිමක්ය, විඳ වීමක්ය යන අර්ථයෙන් යථා පරිදි අවබෝධ කරගත යුතුයි. දුක යනු සංඛාර කිරීමෙන් තම සිතෙන් ම සාදා එකතු කර තමාම සකස් කරගත් දෙයක් බව යථා පරිදි අවබෝධ කරගත යුතුයි. දුක යනු නිරන්තරයෙන්ම සන්තාපයට පත්කර වන, සංවේදී බවට මුල්වන බරක්, භයක්, බැම්මක් බව යථා පරිදි දැනගත යුතුයි. දුක යනු නිරන්තරයෙන් ම යමක් විපරිණාමයට පත්වන, වෙනස් වන ස්වභාවය නිසාම උරුම වන්නක් බව යථා පරිදි තේරුම් ගත යුතුයි.

සමුදයස්ස ආයුහනට්ඨෝ අභිඤ්ඤෙයිය (කර්ම බීජ සකස් වන බව) සමුදයස්ස නිදානට්ඨෝ අභිඤ්ඤෙයිය (කර්ම බීජවලට නිදාන වන බව) සමුදයස්ස සංයෝගට්ඨෝ අභිඤ්ඤෙයිය (සංයෝජන බිහි වන බව) සමුදයස්ස පලිබෝධට්ඨෝ අභිඤ්ඤෙයිය (පලිබෝධයක් බව)

සමුදය යනු ආයුහනය කර්ම බීජ සකස් වීමක්, සං උපත ලැබීමක්, රාග ද්වේෂ මෝහ උපත ලැබීමක් යන අර්ථයෙන් යථාපරිදි අවබෝධ කරගත යුතුයි.
සමුදය යනු නිදාන හේතුවක්, පටිච්ච වීමක් නිසා ම සිතක හටගත් කැමැත්තක් මුල්කොට ගෙනම බිහි වූවක් බව යථා පරිදි අවබෝධ කර ගත යුතුයි.
සමුදය යනු සංයෝජන ධර්මයක්, දස සංයෝජනයන් බිහිවීමට උපකාර වන සංඛාරයක් බව යථා පරිදි අවබෝධ කරගත යුතුයි.
සමුදය යනු සිතක මතුවන පලිබෝධයක් බව නිවැරදිවම යථා පරිදි අවබෝධ කර ගත යුතුයි.

නිරෝධස්ස නිස්සරණට්ඨෝ අභිඤ්ඤෙයියං (නිස්සරණය)
නිරෝධස්ස විවේකට්ඨෝ අභිඤ්ඤෙයියං (විවේක නිශ‍්‍රිත)
නිරෝධස්ස අසංඛට්ඨෝ අභිඤ්ඤෙයියං (අසංඛත)
නිරෝධස්ස අමතට්ඨෝ අභිඤ්ඤෙයියං (නිවන)

නිස්සරණ යනු නිස්සරණ අර්ථයෙන්ම නිරෝධය යථා පරිදි දැන ගත යුතුයි. සංසාර රිය ගමනෙන්, සැරි සැරීමෙන් මිදී නිදහස් වීම යන අර්ථයෙන් ම බව තේරුම් ගත යුතුයි.

විවේකය යනු විවේක අර්ථයෙන්ම නිරෝධය යන්නෙහි අර්ථය යථා පරිදි අවබෝධ කර ගත යුතුයි. ක‍්‍රියා හයක වේගයෙන් වෙන් වීම බවද දැන ගත යුතුයි. ඇසින් කරන ක‍්‍රියාව, කනෙන් කරන ක‍්‍රියාව, නාසයෙන්, දිවෙන්, කයෙන් කරන ක‍්‍රියාව මෙන්ම මනසින් කරන ක‍්‍රියාවන් නිසා විඤ්ඤාණ ශක්තිය උපදින බව දැක ඒ ක‍්‍රියා හයම පාලනය කර ගැනීමෙන් විවේක අර්ථයෙන් නිරෝධය තේරුම් ගත යුතුයි.

අසංඛත යනු අසංඛත අර්ථයෙන් ම නිරෝධය යථා පරිදි තේරුම් ගත යුතුයි. මෙතන ක‍්‍රියාව යන්න සංඛාර බවද දැනගත යුතුයි. සංඛාරයකට පටළැවීම නවතාගත හොත්, ක‍්‍රියා සිතක් පමණක් පැවැත්වුවහොත්, අසංඛත අර්ථයෙන් නිරෝධ වීම තේරුම්ගත යුතුයි.

අමතට්ඨෝ යනු අමතට්ඨෝ යන අර්ථයෙන්ම නිරෝධය තේරුම් ගත යුතුයි. මත් වීම, මදයට ප‍්‍රමාදයට හේතුව තේරුම් ගෙන අමත (මත අත්හැරීම) යන අර්ථයෙන්ම, අප්පමාද යන අර්ථයෙන්ම, නිරෝධය තේරුම් ගත යුතුයි. රාගයෙන්, කාමයෙන් මත්වීම සංසාර රිය ගමනට පාදක වන හේතුවයි. අවිද්‍යාව, තණ්හාවට නිදාන වන හේතුවයි. ”අමත” යනු, මතෙන් තොර යන අර්ථයෙන්ම නිරෝධය තේරුම් ගත යුතුයි. මජ්ක්‍ධිමා යන අර්ථයයි.

මේ අනුව අනතිවත්තන භාවනා ක‍්‍රමය, සමථ විපස්සනා යන භාවනා ක‍්‍රම දෙකටම පොදු වූ ඉතාමත් වැදගත්, නිවනට නිවැරදිවම උපකාර වන, උපකාර කර ගත යුතු භාවනා ක‍්‍රමයයි. මෙම භාවනා ක‍්‍රමයේ භාවනා කළයුතු, භාවිත කළ යුතු සියලුම කර්මස්ථාන ආන – පාන මූල ධර්මයට අනුගත වීම ප‍්‍රධානතම ලක්ෂණයයි.

ආන යනු ආශ‍්‍රය කළ යුතු – ඇතුළට ගත යුතු දේ පෙන්වා දීමයි
පාන යනු බැහැර කළ යුත – ප‍්‍රහාණය කර ඉවත් කළ යුතු දේ පෙන්වා දීමයි

මේ සඳහා ආශ‍්‍රය කළ යුතු හා බැහැර කළ යුතු දේ පෙන්වූ කර්මස්ථාන මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. අස්ස- පස්ස විග‍්‍රහය
1.    අනිච්චානුපස්සනා    – නිච්ච සඤ්ඤා පජහතෝ (ප‍්‍රහාණය)
2.    දුක්ඛානුපස්සනා    – සුඛ සක්ඤා පජහතෝ
3.    අනත්ථානුපස්සනා    – අත්ථ සඤ්ඤා පජහතෝ
4.    නිබ්බදානුපස්සනා    – නන්දිං පජහතෝ (අභිනන්දනය)
5.    විරාගානුපස්සනා විහරති    – රාගං පජහතෝ
6.    නිරෝධානුපස්සනා විහරති    – සමුදයං පජහතෝ
7.    පටිනිස්සග්ගානුපස්සනා විහරති    – ආදානං පජහතෝ (උපාදානය)
8.    ඛයානුපස්සනා විහරති    – ඝන සඤ්ඤා පජහතෝ
9.    වයානුපස්සනා විහරති    – ආයුහනං පජහති (කර්ම සකස් කිරීම)
10.    විපරිණාමානුපස්සනා විහරති    – ධුව සඤ්ඤා පජහති
11.    අනිමිත්තානුපස්සනා විහරති    – නිමිත්තං පජහති
12.    අප්පනිහිතානුපස්සනා විහරති    – පණිහිතං පජහති
13.    සුඤ්ඤතානුපස්සනා විහරත    – අභිනිවේසං පජහති
14.    අධිපඤ්ඤා ධම්මානුපස්සනා විහරති    – සාරාභිනිවේසං පජහති
15.    යථාභූත ඥාණ දස්සනං විහරති    – සම්මෝහාභිනිවේසං පජහති
16.    ආදීනවානුපස්සි විහරති    – ආලයාභි නිවේසං පජහාති
17.    පටිසංඛානුපස්සී විහරති    – අප්පටිසංඛං පජහති
18.    විවට්ටානුපස්සි විහරති    – සංයෝගාභිනිවේසං පජහති

මෙම විපස්සනා කර්මස්ථාන මාලාවේ, සෑම පියවරකදී ම ආන – පාන (අස්ස – පස්ස ) කොටස් දෙකම ඉතාම පැහැදිළිව අවබෝධ කරගත හැකි ආකාරයෙන්ම පෙන්වා දී ඇත. මෙහිදී කළු ධර්ම ප‍්‍රහාණය කිරීමත්, සුදු ධර්ම ආශ‍්‍රය කිරීමත් කළයුතු බවත් ඉතාමත් පැහැදිළි කරුණකි. නිවන යනු තමා තුළම මෙතෙක් කල් මුල් බැසගෙන පැවති කෙළෙස් (කළු ධර්ම) බැහැර කර දමා, ඒ වෙනුවට සුදු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමයි. සුදු ධර්ම කිසි විටෙකත් සසර දික් කරන කර්ම බීජ සකස් කරන විඤ්ඤාණ ශක්තිය උත්පාදනය කරන ඒවා නොවේ. ආසව නොවේ. සුදු ධර්ම කිසි විටෙකත් ඇලීමට, බැඳීමට ගැටීමට මුල් නොවන නිසා ඒවා ”අනුප්පාදෝ” ධර්මයෝමයි. අනුප්පාදය, නිබ්බානං තත්ත්වයයි.

2. ඉන්ද්‍රියානං ඒක රසට්ඨ භාවනා
පෘථග්ජන පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන්ම විසුරුණු ස්වභාවයෙන් යුතු වූ කැළඹිලි ගතියෙන් යුතු වූ සිතක් ලෙසින්ම පවතී. මෙය ”වික්ඛේප” සිතක් ලෙසින් ධර්මයේ පෙන්වා දී ඇත. සිත වික්ඛේප තත්ත්වයට පත්වීමට හේතුව පංචකාම නීවරණ ධර්ම වලින් ආවරණය වී, මුවහ වී පැවතීමයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චාව යන පංචකාම නීවරණ ධර්ම නිසා පිරිසිදු සිතක් කෙළෙස් වලින් වැසීයයි. කෙළෙස් වලින් වැසී, මුවහ වූ සිතක් නිරන්තරයෙන්ම භයට පත්වන, කම්පනයට පත්වන, වේදනාවට පත්වන, අසහනයට පත්වන නොසන්සුන් සිතකි. එවන් සිතක් උද්ධච්ච ගතියෙන් යුක්තය. මොහොතින් මොහොතම වෙනස් වන්නා වූ එවන් සිතකින් භාවනා කර්මස්ථාන වැඞීමක් කළ නොහැකියි.

ඉන්ද්‍රියයන් හය සංවර කරගැනීමෙන් ම ඒකරසට්ඨ තත්ත්වයට පත්කර ගත හැකිය. මේ සඳහා සමථ භාවනා කර්මස්ථානයන් භාවිතා කර සිත එකඟ කර ගැනීම ඒකරසට්ඨ භාවනාවයි. මේ සඳහාද භාවිතා කළ යුත්තේ ආන- පාන (අස්ස – පස්ස ) භාවනා කර්මස්ථානයෝමයි.

මේ සඳහා භාවිතා කළ යුතු භාවනා කළයුතු ආන – පාන භාවනා කර්මස්ථාන පහත දැක්වෙන පරිදි දැක්විය හැකියි’
1. කාමච්ඡන්දය ප‍්‍රහාණය කර – නෙක්ඛම්ම වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
2. ව්‍යාපාදය ප‍්‍රහාණය කර – මෙත් සිත (අව්‍යපාදය) වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
3. ථීනමිද්ධ ප‍්‍රහාණය කර – අලෝක සංඥා වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
4. උද්ධච්චය ප‍්‍රහාණය කර – අවික්ඛේප වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
5. විචිකිච්චාව ප‍්‍රහාණය කර – ධම්මවවත්ථාන වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
6. අවිද්‍යාව ප‍්‍රහාණය කර- ඥාණයන් මතුකර ගැනීම
7. පංචකාමයන් ප‍්‍රහාණය කර – පළමුවැනි ධ්‍යානයට පත්වීම (පළමුවන ධ්‍යානයේදී සවිතක්ක, සවිචාර, ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතා මතුවෙයි)
8. සවිතක්ක සවිචාර ප‍්‍රහාණය කර – දෙවැනි ධ්‍යානයට පත්වීම
9. ප‍්‍රීතියද ප‍්‍රහාණය කර – තුන්වැනි ධ්‍යානයට පත්වීම
10. සුඛයද ප‍්‍රහාණය කර – උපේක්ඛා, ඒකාග්ගතා සහිත සතරවන ධ්‍යානයට පත්වීම
11. රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සංඥා පහකර ආකාසානාඤ්ඤායතන ධ්‍යානයට පත්වීම
12. ආකාසානාඤ්ඤායතන යටපත් කරමින් -විඤ්ඤාණඤ්ඤායතනයට පත්වීම
13. විඤ්ඤාණඤ්ඤායතනය යටපත් කරමින් – ආකිඤ්ඤාණඤ්ඤායතනයට පත්වීම
14. ආකිඤ්ඤාණඤ්ඤායතනය යටපත් කරමින් – නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පත්වීම

මෙම ක‍්‍රමය සමථ භාවනාව තුළින් ධ්‍යාන ලබා අභිඥා ලබා ගැනීමේ ක‍්‍රමයයි. ධ්‍යානයන් ලබා ගෙන, අභිඥා ලබාගෙන, දෙවනුව මාර්ග ඵලයට පත් වන්නට කැමති වූ කෙනකුට පළමුවෙන් ම සමථ භාවනාව ප‍්‍රගුණ කර, ධ්‍යානයන් ලබා, පසුව විපස්සනාා භාවනා කර්මස්ථානයන් භාවනා කර නිවන් මඟ ඵලයන්ද ලබාගත හැකියි. මෙය බොහෝ කල් ගතවන ක‍්‍රමයකි. මේ ක‍්‍රමය සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක‍්‍රමයයි’

3. තදුපග විරිය වහට්ඨේන භාවනා ක‍්‍රමය
මෙයද බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ සමථ හා විපස්සනා භාවනා ක‍්‍රම දෙකට ම පොදු වූ භාවනා ක‍්‍රමයකි. යුගනන්ධ භාවනාව භාවිතා කරන කෙනකුට මාර්ග ඵලයන් ඉක්මනින් ලබාගන්නටත්, ආසවඛයා ඥාණය දියුණු කරගෙන සමථ විපස්සනා දෙක සමව ඉදිරියට ගෙන යන්නටත් මේ භාවනා ක‍්‍රමය උපකාර වෙයි. මෙහිදී වෙනම කර්මස්ථාන භාවනා කිරීමක් අවශ්‍ය නැති අතර සමථය හා විපස්සනාව සඳහා භාවිතා කළයුතු කර්මස්ථායක් ම භාවනා කළ යුතුයි.

4. ආසේවනට්ඨේන භාවනා ක‍්‍රමය
මෙම භාවනා ක‍්‍රමයේදී සතර ඉරියවුවේදීම සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කිරීමේ හැකියාව, ශක්තිය, පුරුද්ද මනාකොට ප‍්‍රගුණ කරගත යුතුයි. ආසේවති, භාවේති, බහුලීකරෝති යනුවෙන් මෙය ධර්ම විග‍්‍රහයේදී පෙන්වා දී ඇත. අසා දැනගත්, අවබෝධ කරගත් ධර්මය අනුගමනය කරමින් මගඵල ලබා ගැනීම සඳහා

1. ආවජ්ජන්තෝ – නැවත නැවතත් මාර්ගය ආවර්ජනය කර, අවබෝධය පූර්ණ කර ගැනිීමට උත්සාහ ගත යුතුයි.
2. ජානත්තෝ – අනුගමනය කිරීමට ධර්ම මාර්ගයම යථාපරිදි දැනගත යුතුයි. අවබෝධය පූර්ණ කරගත යුතුයි.
3. පස්සන්තෝ – යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප‍්‍රහාණය කළ යුතු කෙළෙස් පිරිසිඳ දැක ගත යුතුයි.
4. පච්චචෙක්ඛන්තෝ – ප‍්‍රත්‍යාවේක්ෂා නුවණින් පසුවිපරම් කර බලා, තමා තුළම පවතින කෙළෙස් ගති දැක මතුකර ප‍්‍රහාණය කර ගත යුතුයි.
5. චිත්තං අධිට්ඨහන්තෝ – ප‍්‍රහාණය කළ යුතු කළු ධර්ම ප‍්‍රහාණය කිරීමටත් ඒ වෙනුවට සුදු ධර්ම ආශ‍්‍රය කිරීමටත් ඇලීම, ගැටීම දුරලා, උපේක්ඛා
තත්ත්වයෙන් ක‍්‍රියා කිරීමටත් පටන් ගත යුතුයි.
6. සද්ධාය අධිමුච්චන්තෝ – ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය, ශ‍්‍රද්ධා බලයන් සිත තුළ ක‍්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා මෙතෙක් කලක් අසද්ධාවෙන් කම්පා වුණ ස්වභාවයෙන් පැවති සිත සද්ධාව නිසා කම්පා නොවන, අකම්පියට්ඨේන තත්ත්වයෙන් බලවත් වෙයි.
7. විරියං පග්ගහන්තෝ – විරිය ඉන්ද්‍රිය විරිය සිත තුළින් මතු වී ක‍්‍රියාත්මක වීමට පටන්ගෙන මෙතෙක් කලක් කුසීත කමෙන්, කම්පාවන ස්වභාවයෙන් පැවති සිත (අකම්පියට්ඨේන) කම්පා නොවන, විරිය බලය ලෙසින් වර්ධනය වෙයි.
8. සති උප්පට්ඨපෙන්තෝ – සති ඉන්ද්‍රිය, සති බලය ක‍්‍රියාත්මක වී මෙතෙක් ප‍්‍රමාදයෙන් කම්පනයට පත් වූ සිත අප‍්‍රමාදයෙන් අකම්පන තත්ත්වයට පත්වන, කම්පා නොවන තත්ත්වයට පත්වෙයි. හේතුඵල දෙකම දැක ප‍්‍රමාදයට හේතු ඉවතලා ක‍්‍රියා කරයි.
9. චිත්තං සමාදහන්තෝ – සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය මතු වී ක‍්‍රියාත්මක වීමත් සමඟ ම මෙතෙක් උද්ධච්චයෙන් කම්පනයට පත් වූ සිත දැන් උද්ධච්චයෙන් ඉවත් වී, අකම්පිත තත්ත්වයෙන් ම සමාධිගත වෙයි. චිත්ත සමාධියක පිහිටයි.
10. පඤ්ඤාය පජහන්තෝ – පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය ක‍්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප‍්‍රහාණය කර මනස අකම්පිය තත්ත්වයට පත් වීමෙන් ක‍්‍රියාත්මක වෙයි. චිත්තය පිරිසිදු වී ප‍්‍රකෘති තත්ත්වයට පත්වෙයි. මේ පංච ඉන්ද්‍රියයන්, පංච බලයන් ක‍්‍රියාත්මක වී
– අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගැනීමටත් (අභිඤ්ඤාතං)
– දැක ගත යුතු දේ පිරිසිඳ දැක ගැනීමත් (පරිඤ්ඤාතං)
– භාවිත කළයුතු දේ තෝරා භාවිතා කිරීමත් (භාවේතබ්බං)
– බැහැර කළයුතු දේ දැන හැඳින, බැහැර කර නිදහස් වීමත් සමඟම සත්‍යාවබෝධය ප‍්‍රත්‍යක්ෂ වෙයි. (පහාතබ්බං)

මේ අනුව, ”සංයෝජනා පහීයන්තී, ආසව අනුසයා ඛයා හොන්ති” තත්ත්වයට පත්වෙයි.

සග සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ වී සෝතාපත්ති ඵලයට පත්වෙයි.
සසග සකෘදාගාමි මාර්ගය සම්පූර්ණ වී සකෘදාගාමි ඵලයට පත්වෙයි.
සසසග අනාගාමි මාර්ගය සම්පූර්ණ වී අනාගාමි ඵලයට පත්වෙයි.
සඩග අරහත් මාර්ගය සම්පූර්ණ වී අරහත් ඵලයට පත්වෙයි.

ඉන්ද්‍රියය ධර්මයන් හා බල ධර්මයන් ක‍්‍රියාත්මක නොවූ කාලයකදී නිරතුරුවම සිත කම්පනයට, තැති ගැනීමට, අසහනයට, වේදනාවට, කැළඹීමට පත් වූවත් දැන් සමථයට පත් වූ සිත විපස්සනා වැඞීම සඳහා හේතුඵල ධර්මයට බහා ගළපා, ඉවසා විමසා, තෝරා බේරා ප‍්‍රඥාවෙන් ක‍්‍රියා කරන්නට වීම නිසා සති සම්බොජ්ජංගයේ පටන් සත්ත සම්බොජ්ජංගයම ක‍්‍රියාත්මක වී පැවැත්ම පිළිබඳව, ජීවත්වීම පිළිබඳව යථා තත්ත්වය සම්පුර්ණයෙන් ම අවබෝධ වී, බිහි කිරීමට උපකාර වූ විඤ්ඤාණ ශක්තීන් ප‍්‍රහාණය කර, කෙළෙස් ප‍්‍රභවය කිරීමේ (සංභව ශක්තිය) ක‍්‍රියාකාරිත්වයෙන් බැහැර වෙයි. භව නිරෝධ වෙයි. භව අනුත්පාද වෙයි.

සම්මා අංගයන් අටමත් සම්පූර්ණ වී, සම්මා ඥාණ හා සම්මා විමුක්ති පරිපූර්ණ වීමෙන් නිවන් සුවයට පත් වෙයි. සමථ, විපස්සනා භාවනා ක‍්‍රම දෙකම එක විට යුගනද්ධ වශයෙන් භාවනා කිරීමෙන්, එක දිගටම භාවිතා කිරීමෙන්, බහුල ලෙසින් ම භාවනා කිරීමෙන් (සේවිතාය, භාවිතාය, බහුලීකථාය) යථාභූත ඥාණ දර්ශනය ලැබෙයි. යථා භූත

ඥාණ දර්ශනය ලැබූ අරිය උත්තමයා අබමල් රේණුවක තරම්වත් රාගයෙන් ඇලීමේ සංඛාර සිතකින් කටයුතු නොකරයි. තවත් කෙනෙකු කෙරෙහි ද්වේෂයෙන් කිසි විටෙකත් ක‍්‍රියා නොකරයිි. සිතේ ගැටීමේ සංඛාර මතු නොවෙයි.

මමත්වයෙන්, මානයෙන්, අවිද්‍යාවෙන් මම, මගේ, මගේ ආත්මය යන හැඟීමෙන් ක‍්‍රියා නොකරයි. ”මම” යනු සකස් කරගත් ඝණ සංඥාවක්, හේතුඵල පරම්පාරාවක් මිස නිච්ච සේ, සුඛ සේ, අත්ථ සේ පවතින දෙයක් නොවන බව යථා පරිදි දැක අවබෝධ කරගත් කෙනකු බවට ම පත්වෙයි.

මේ තත්ත්වයට පත් වූ අරිය උත්තමයාට ධ්‍යාන වලට පත් වීමේ හෝ ඍර්ධි ප‍්‍රාතිහාර්ය පෑමේ හෝ ලෝකයාට තමන් කවුදැයි ප‍්‍රකාශ කර පෙන්වා දීමේ හෝ කිසිඳු අවශ්‍යතාවයක් කැමැත්තක් ඇති නොවේ. ලැබූ නිදහස් වීමේ සුවය විඳිමින් ඉහාමත් ම සුඛ විහරණයෙන් කල් ගෙවීමේ අගය දකියි.

යථාවබෝධයෙන්ම ධර්ම මාර්ගය අනුගමනය කරනු ලබන යුගනද්ධ වශයෙන් සමථ විපස්නා භාවනා කරනු ලබන පුද්ගලයාට දැන හෝ නොදැනම ලැබෙන්නා වූ
ඥාණයන් කිහිපයක් පිළිබඳවත් නම් වශයෙන්ම පෙන්වා දීම සුදුසුයි.

1. සම්මස්සන ඥාණය (”සං” දැක ගැනීමේ ඥාණයයි – සං විමර්ශණය)
අතීත, අනාගත, වර්තමාන සියලු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්
i. අනිච්ච වශයෙන් දැක, ඒවා නිච්ච ලෙසින් දැකීම මුලාවක් බව යථා පරිදි තේරුම් ගැනීමේත්,
ii. දුක්ඛ වශයෙන් දැක, ඒවා සුඛයක් සේ දැකීම මුළාවක් බව යථා පරිදි තේරුම් ගැනීමේත්,
iii. අනත්ථ වශයෙන් දැක, ඒවාට බැඳීම අනාථ වන තත්ත්වයක් උදාවන බව මෙනෙහි කිරීමේ පිරිසිඳ දැකීමේත් නුවණ (වවත්ථානේ පඤ්ඤා) සම්මස්සන ඥාණයයි.

මේ ආකාරයෙන් ත‍්‍රිලක්ඛණය භාවනා කරන යෝගියාට අනිච්චං ඛය අර්ථයෙනුත්, දුක්ඛං භය අර්ථයෙනුත්, අනත්ථං අසාර අර්ථයෙනුත් වැටහෙන්නට පටන් ගනී. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයටම අදාළව අවිද්‍යා මූළයෙන් මතුවන සියලු සිත් අවිද්‍යා සංඛාර සිත් ම බවත් දැක ගන්නට පටන් ගනී. පැවැත්මේ නිසරු බව ප‍්‍රත්‍යක්ෂ කරගනී. අවිද්‍යාව මුල් නොවූ විට, අවිද්‍යාව නැති තැනක, මතුවන සියලු සිත් ”කාර” සිත් (ක‍්‍රියා සිත්) පමණක් බවත් දකී. මේ කරුණු යථාපරිදි මෙනෙහි කිරීමේ ශක්තිය සම්මස්සන ඥාණයයි. ”සං” දැක ගත්, ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත්වූවෙකුට සම්මස්සන ඥාණයද පහළවෙයි.

2. උදයව්‍ය ඥාණය
පච්චුප්පන්නානං (වර්තමානය) ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයව්‍යනුපස්සනේ ඥාණං – වර්තමාන මොහොත කෙරේ සිත පවත්වාගෙන සිටින විට, මොහොතින් මොහොතේ ම සිතෙහි මතුවන – රූප (ජාතං රූපං) ජනිත වීම තුළින්,
– නිබ්බත්ති ලක්ඛණං (අභිනව තත්ත්වයන්ට පත්වීමේ ලකුණු දැකීමත්)
– විපරිණාමානුලක්ඛණං (වෙනස් වී, වැය වීම දැකීමත්) යන දෙයාකාරය අනුපස්සනා කිරීමේ ඥාණය උදය, වැය දැකීමේ ඥාණයයි. උදයවීම සිදුවන හේතු පහක් ඇත.
i. අවිද්‍යාව නිසා රූප උදය වේ. (අවිජ්ජා සමුදය) උපත දකී.
ii. තණ්හාව නිසා රූප උදය වේ. (තණ්හා සමුදය) උපතදකී.
iii. කර්මය හේතුවෙන් රූප උදය වේ. (කම්ම සමුදය) උපත දකී.
iv. ආහාර නිසා රූප උදය වේ. (ආහාර සමුදය) උපත දකී.
v. පස්ස නිසා නිබ්බත්ති ලක්ඛණ උදය වේ. (පස්ස සමුදය) උපත දකී.

මේ කරුණු පහට අමතරව කිසිම දෙයක් රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ උපතට හේතු නොවේ.
i. අවිද්‍යා නිරෝධො රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
ii. තණ්හා නිරෝධෝ රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
iii. කම්ම නිරෝධෝ රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
iv. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ – වැය වන ආකාරය පසක්කොට දකී.

මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම උදය හා වැය වෙන් කොට දැකගැනීමේ ඥාණය උදය වැය ඥාණයයි.

3. විපස්සනා ඥාණය
ඇසට ප‍්‍රිය හෝ අප‍්‍රිය රූපයක් අරමුණු වූ සිතකට ඇලීමක්, බැඳීමක්, ගැටීමක්, මානයක් ඇති වන බවත් ඒ ගතිය භංගකර අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් මෙනෙහි කර, ප‍්‍රත්‍යවේක්ඛා නුවණින් පටිච්චවීමේ ගතිය ප‍්‍රහාණය කළ හැකි බවත් තේරුම් ගැනීමේ නුවණ, විපස්සනා නුවණයි. මේ ආකාරයට පංචස්කන්ධය පිළිබඳවම උපාදානය කිරීමේ ගතිය විපස්සනා නුවණින් බැහැර කිරීම රාග විරාගයයි. උද්ධච්චයට හේතුවන වික්ඛේප ගතිය භංග කර සිත ඒකාග්ගතාවයට පත්කර ගැනීම සමථයයි. අවිද්‍යාව විරාග කර සිත තුළ ප‍්‍රඥාව උපදවා ගැනීම ප‍්‍රඥා විමුක්තියයි. මේ අනුව සමථ හා විපස්සනා දෙකම මෙහි අඩංගුයි.

4. ආදීනව ඥාණය
– පංච ආකාරේහි ආදීනවෝ හෝති
– අට්ඨාකාරේහි අවිජ්ජා නිරෝධෝ හෝති

භාවනානුයෝගියාට ඉතාමත් වැදගත් ඥාණයකි. අදීනව ඥාණය. භාවනානුයෝගියා අවිද්‍යාවෙහි ආදීනව පස් ආකාරයකින් දැක අවබෝධ කර ගත යුතුමයි.
i. අනිච්ච වශයෙන්, අනිච්ච අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
ii. දුක්ඛ වශයෙන්්, දුක්ඛ අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
iii. අනත්ථ වශයෙන්, අනාථ අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
iv. සංතාප වශයෙන්, සංතාප අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
v. විපරිණාම වශයෙන්, විපරිණාම අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි’

අනිච්ච – කැමති සේ පැවත්විය නොහැකි, රිසිසේ, මනාප සේ නොපවතින දෙයක් බව දැකිය යුතුයි. (න නිච්චං)
දුක්ඛ – කැමැත්ත අනුව පැවැත්විය නොහැකි නම්, දුකම උරුමකර දෙන දෙයක් බව දැකිය යුතුයි.(න සුඛං)
අනත්ථ – දුකම උරුම කර දෙන්නක් නම් නියත වශයෙන්ම අනාථ තත්ත්වයට පත් කරවන්නක් බව (න අත්ථ) සන්තාපයට පත්කරවන්නක් බවත්, සංඛතය විපරිණාමයට පත් වී වැනසී යන බවත් දැකීම ආදීනව ඥාණයයි.

අට ආකාරයකින් අවිද්‍යාව නිරෝධ කිරීමේ දැනුම හා හැකියාව ද ආදීනව ඥාණයයි.

i. නිදානය නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළහැකි බව
ii. සමුදය නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
iii. ජාති (උප්පජ්ජති) නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
iv. ප‍්‍රභව (සංභව) බීජය සකස්වීම නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
v. හේතුව නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
vi. ප‍්‍රත්‍ය නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළහැකි බව
vii. ඥාණයන් උපද්දවා ගැනීමෙන් අවිද්‍යාව නිරෝධ වන බව
viii. නිරෝධ පට්ඨානයෙන්ම අවිද්‍යාව නිරෝධ වන බව

මෙසේ පස් ආකාර වූ ආදීනවයෝ දැක, අට ආකාර වූ නිරෝධ කළ යුතු කරුණුද දැකගත් පුද්ගලයා ඒ මඟ අනුගමනය කිරීමෙන් ආශ‍්‍රය කළයුතු දේ මෙන්ම ප‍්‍රහාණය කළයුතු දේ (අස්ස පස්ස) දැක ඒ අනුව ශික්ෂණයට පත් වෙයි. මේ අනුව ආදීනව ඥාණය යන්න නිවන් මාර්ගය අනුගමනය කරන කෙනෙකුට ඉතාමත් ම වැදගත් ඥාණයකි.

5. සංඛාරුපෙක්ඛා ඥාණය
ආදීනව ඥාණය අවබෝධ වූ තැනැත්තාට,
”උප්පාදෝ භයං අනුප්පාදෝ සුඛං උප්පාදෝ
ආමිසං අනුප්පාදෝ නිරාමිසං
උප්පාදෝ සංඛාරං අනුප්පාදෝ නිබ්බානං”

වශයෙන් කරුණු අවබෝධ වීමත් සමඟම සංඛාර පැවැත්ම ම, සියලු දුක්, සියලු භය, සියලු ආසව උත්පත්තියට මුල් වූ හේතුව බව යථා පරිදි අවබෝධ කර සංඛාර උපේක්ඛා ඥාණයෙන් සළකා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව තේරුම් ගැනීමේ නුවණයි.

යමක් එකතු කරන්නට කරුණු ලබන සියලුම ක‍්‍රියා සංඛාර බවත් සංඛාර නිසාම උපත, පැවැත්ම, නිමිත්ත, පටිසන්ධි ආදිය සියල්ලම සිතේ බිහි වන බවත් දැක සංඛාර උපෙක්ඛා ඥාණයෙන් ඒවායෙහි නොවටිනා බව, අසාරවත් බව, නිස්සාර බව, දැකීම සංඛාර උපේක්ඛා ඥාණයයි. සංඛාර සිත් නිස්සාර බව දැකීම සංඛාර උපේක්ඛා ඥාණයයි. සංඛාර සිත් කෙරෙහි උපේක්ඛාවෙන් ම බැලීමට පුරුදු වීමයි.

අනිමිත්ත සමාපත්තියට, අප්පනිහිත සමාපත්තියට පත්වීමට උපකාර වන්නේද සංඛාර උපේක්ඛා ඥාණයමයි. මුංචිතුකම්මතා ඥාණය යන්න ද සංඛාර උපේක්ඛා ඥාණයට ම භාවිතා කරන නමකි. මුංචිතුකම්මතා ඥාණය යනු අවබෝධය ලැබීම නිසා කැමැත්තෙන්ම මුදනු හැකි, මිදී අතහරිනු හැකි, උපේක්ඛා සිතින් ඉවසා විමසනු ප‍්‍රත්‍යාවේක්ෂා කරනු යනුවෙන් වදාළ ගුණයන් පිහිටීමේ ඥාණයයි. මෙසේ කැමැත්තෙන්ම මුදවා අතහරිනු ලබන්නේ රාගය ද්වේෂය හා මෝහය යන කෙළෙස් ගති තුනයි.

සංඛාර උපෙක්ඛා ඥාණය පෘථග්ජන පුද්ගලයාට එක් අයුරකින් ද මඟඵල සම්පූර්ණ කරන ලද අසේඛ වූ අරහතුන්වහන්සේට තවත් අයුරින්ද අවබෝධය ලැබෙන බවත් ධර්මයේ ම පෙන්වා දී ඇත.

විවිධ අරමුණු වලට අදාළව අනිච්චතෝ, දුක්ඛතෝ, අනත්ථතෝ අනුපස්සනා කිරීමෙන් ම නිච්ච, සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය කරමින්ම චිත්තසංථානය පිරිසිදු කර සංඛාර උපෙක්ඛා ඥාණය ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුයි. සංඛාර කිරීම නවතා ක‍්‍රියා සිත් පැවැත්වීමට ම සිත පුරුදු පුහුණු කරගත යුතුයි.

සමථ වශයෙන් ධ්‍යානයන් අටෙහිදීම ධ්‍යානපටිලාභයත් සමඟම නීවරණ දුරු වීමෙන් පටිසංඛා සංතිට්ඨානා පඤ්ඤාවෙන්, සංඛාර උපෙක්ඛා ඥාණය ලබාගනී. අරිය ධ්‍යානයන් අටෙහිදීම සිත සමථ තත්ත්වයට පත් වීමෙන් මෙය සිදු වෙයි.

විපස්සනා වශයෙන් අවස්ථා දහයකදී පටිසංඛා සංතිට්ඨානා, සංනිසීදතී, සම්මාදියති වශයෙන් සෝවාන් මාර්ගය හා ඵලය, සකෘදාගාමී මාර්ගය හා ඵලය, අනාගාමී මාර්ගය හා ඵලය, අරහත් මාර්ගය හා ඵලය, සුඤ්ඤත සමාපත්තිය හා සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය ද ලබා ගනී. මේ අනුව සංඛාර උපෙක්ඛා ඥාණය නිවන් මාර්ගයේ ඉතාමත් උතුම් අවස්ථාවක් බව තේරුම් ගත යුතුයි.

6. මග්ගේ මග්ග ඥාණං
මාර්ග ඥාණය යනු අරිය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමයි.
i. දස්සන අර්ථයෙන් සම්මා දිට්ඨියට පත්වීම – ”මිච්ඡ දිට්ඨියා වූට්ඨාති” යනු වැරදි දැක්ම පෙරළා දමා නැඟී සිටීම යන අර්ථයයි. මිත්‍යා දෘෂ්ඨිය, තදංගම වශයෙන් ද චිත්තසංථානයේ පවතින කෙළෙස්් දෘෂ්ඨී වශයෙන් පෙරළා දමා සම්මා දෘෂ්ඨියට පත්වීම මෙහිදී සිදු වේ. තමාම එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ (සං) වලින් මිදී එවැනි කෙළෙස් සහමුළින් ම ගළවා දැමිය යුතු බව දැක ගැනීම සම්මා දිට්ඨියයි’
ii. අභිනිරෝපන අර්ථයෙන් සම්මා සංකප්පයට පත්වීම – මිච්ඡ සංකප්ප
ගළවා ඉවත් කර දමා යළිත් කෙළෙස් රෝපනය නොවන පරිද්දෙන් කාම විතර්ක, විහිංසා විතර්ක, පාප විතර්ක චිත්තසංථානයෙන් ගළවා දැමීම (ඛය කිරීම) සම්මා සංකප්පයයි.
iii. පරිග්ගහ අර්ථයෙන් සම්මා වාචාහි පිහිටා මිච්ඡුා වාචා වුට්ඨාති – මිථ්‍යා වචන වලින් සහමුළින්ම ඉවත් වී වචී සංඛාර ක‍්‍රියා සිත් බවට පෙරළීම මෙහි අදහසයි.
iv. සමුට්ඨාන අර්ථයෙන් සම්මා කම්මන්තයෙහි පිහිටා මිච්ඡ කම්මන්ත වුට්ඨාති – සසර ගමනට හේතු වන සියලුම සංඛාරයන්ගෙන් සහමුළින් ඉවත්වීම මෙයින් අදහස් කෙරේ. කර්ම සකස් කිරීම, කර්ම බීජ නිපදවීම සඳහා මෙතෙක් කරන ලද සියලු කාය සංඛාර නවතා ක‍්‍රියා සිත් පමණක් පැවැත් වීමට පටන් ගනී.
v. වෝදාන අර්ථයෙන් සම්මා ආජීවයෙහි පිහිටා මිච්ඡුා ආජීවෝ වුට්ඨාති (පෙරළා දමා නැඟී සිටීම යන අර්ථයෙනි).
vi. පග්ගහට්ඨේන වෙන් කිරීමේ අර්ථයෙන් සම්මා වායාමයෙහි පිහිටා, මිච්ඡ වායාමයෙන් වුට්ඨාතී.
vii. උපට්ඨාන අර්ථයෙන් සම්මා සතියෙහි පිහිටා ම්ච්ඡුා සති වුට්ඨාති – හේතුඵල දහමට බහා බලා ආසව, කෙළෙස් මුළින් ගළවා නැඟී සිටින අර්ථයෙන්, එළඹ සිටි සිහියෙන් ක‍්‍රියා කිරීම.
viii. අවික්ඛේප අර්ථයෙන් සම්මා සමාධියෙහි පිහිටා ”මිච්ඡුා සමාධි වුට්ඨාති” – සිතෙහි අවික්ඛේප ගතිය, නොවිසුරුණු නොකැළඹුණු ගතිය ඇති කර
ගැනීමෙන් සමාධියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ ශක්තියයි. මේ ආකාරයට සෝතාපන්න මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සතර අවස්ථාවේදීම චිත්තසංථානයේ මෙතෙක් ගබඩා වී පැවති කෙළෙස් (සං) ප‍්‍රහාණය කර, මුළින් ගළවා දමා (වුට්ඨාති) ආසව ඛය කර දමා නිවන් මාර්ගය පූර්ණ කරගත යුතුයි.
ix. විමුක්ති ඥාණය – ජින්නවට්ට මනුපස්සනෝ පඤ්ඤා විමුක්ති ඥාණං. ආධ්‍යාත්මිකව හා බාහිර වශයෙන් උපදින ක්ලේශ ධර්මයන් උපක්ලේශයන් (ඇලීම- ගැටීම- මුළාව) සමුච්ජේද වශයෙන් ප‍්‍රහාණය කිරීම විමුක්ති ඥාණයයි.
x. අනුප්පාදෝ ඥාණං – කෙළෙස් ගති යළිත් සිතෙහි නැවත කවදාවත්ම නොඋපදන ලෙසින් ම අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගත් පසුව රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කිසිවිටකත් පටිච්ච නොවන නිසාම විඤ්ඤාණ ශක්තියක් නොඋපදින කර්ම බීජ සකස් නොකරන තත්ත්වයටම සිත පත්වීම, අනුප්පාදෝ ඥාණයයි.
xi. පලක්ඛනේ ඥාණං – මාර්ග ඥාණය සම්පූර්ණ වීමත් සමඟම යථාභූත ඥාණ දර්ශනයෙන් සම්මා ඥාණ උපදවා පහදා ගැනීමත් සමඟම සම්මා විමුක්තියද සම්පූර්ණ වී, දස අංගේ සමන්නාගතෝ යන තත්ත්වයට පත් වී මාර්ග සතරත් ඵල සතරත් සම්පූර්ණ වී නිවන් සුවයට පත්වීමයි. මෙසේ සියලු සංයෝජන ධර්ම වලින් නැවත නොඋපදින ලෙසින් ම මිදී නිදහස් වූ බවත් සියලු ආසව, අනුසව ධර්මයන් මුළින් උදුරා දමා, විමුක්ත වූ බවත් චිත්තසංථානය කර්ම බීජවලින් සහමළින්ම නිදහස් වූ තත්ත්වයකට පත් වූ බවත් සහතික කොට දැකීම නිවන් සුවයයි.

කොතෙක් දුක් විඳිමින්, කොයි තරම් වීර්යයෙන් උත්සාහයෙන් ධූතාංග රකිමින් කොපමණ කාලයක් භාවනා කළත් යමෙකු අරිය ධර්මයේ පෙන්වා වදාළ නිවැරදි ආනාපාන සති භාවනාව යන්නෙහි අර්ථය, ධර්මය, නිරුක්්තිය තේරුම් නොගත්තේ නම් ”ද්වතාවය” තේරුම් නොගත්තේ නම් සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ඛාවෙහි තිපරිවට්ටය යථා පරිදි අවබෝධ කර නොගත්තේ නම් ඔහුට බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාව සම්පූර්ණ නොවේ. අරිය මාර්ගයේ පෙන්වා වදාළ ප‍්‍රතිඵල ද නොලබයි.

අතීතයේදී කවදා කවුරුන් හෝ කෙසේ හෝ මාර්ග ඵල අවබෝධ කර නිවන් අවබෝධ කරගත්තේ නම් ඒ සෑම කෙනෙකුම බුද්ධ ආනාපානසති භාවනාව තුළින්ම සතර සතිපට්ඨානය ප‍්‍රගුණ කර සතර සතිපට්ඨානයේම පිහිටා මාර්ගය සම්පූර්ණ කරගත් අයම වේ. අනාගතයටද මෙම ධර්මතාවය වෙනස් නොවේ.

බුද්ධ දේශණාවට අයත් පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ සඳහන් ආනාපාන සති විග‍්‍රහයේදී පහත සඳහන් ගාථාව දේශණා කර අනාපානා සතිය නිවැරදි ආකාරයටත් බුද්ධ දේශණාවට අනුවත් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය අවධාරණයෙන් ම පෙන්වා දී ඇත.

”ආනාපානසති යස්ස, පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දේසිතා
සෝ ඉමං ලෝකං පහාසේති
අබ්හං මුත්තෝච චන්දිමා” ති

මෙහි අර්ථය යම් කෙනෙක් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ පරිදි විපස්සනා ක‍්‍රමයට භාවනා කළහොත්්් පූර්ණ වශයෙන් අනුගමනය කළොත් යථාභූත ඥාණ දර්ශනය ලබාගත හොත් හෙතෙම සියලු කෙළෙස් ධර්මයන්ගෙන් මිදී අරහත් මඟ ඵලයට පත් වන්නේ අඳුරු වළා පෙළින් මිදුණු පුන්සඳ බබලන්නාක් මෙනි යන්න වේ.

ත‍්‍රිලක්ඛණ භාවනාව භාවිතා කිරීමෙන් යෝගියකුගේ චිත්තසංථානය තුළ ”නව පාමොජ්ජ” මූලික ධර්මයන් ප‍්‍රගුණ වෙන ආකාරයද මෙහිදී පෙන්වා දීම කළ යුතුමයි.

රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ අනිච්චා, දුක්ඛා, අනත්ථා වශයෙන් භාවනා කර නිච්ච සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය කිරීමේදී

1. අනිච්චතෝ මනසිකරෝතෝ – පාමොජ්ජං ජායති (සිතෙහි ප‍්‍රමෝදය ජනිත කරවයි).
2. පමුදිතස්ස – පීතිං ජායති (ප‍්‍රමෝද වූ සිතෙහි පීතිය ජනිත වෙයි).
3. පීතිං මනස්ස – කායෝ පස්සම්භතී (කය සංසිඳෙයි) කායානුපස්සනාව වැඩෙයි’
4. පස්සද්ධිකායෝ – සුඛං වේදති (කායානුපස්සනාවෙන්, වේදනානු පස්සනාවද වැඩෙයි).
5. සුඛිනෝ චිත්තං සමාධියතිි ( චිත්තානුපස්සනාව ද වැඩෙයි).
6. සමාහිතෝ චිත්තෝ – යථාභූත ඥාණ දස්සනං ජායති පස්සති.
7. යථාභූතං ජානං පස්සං නිබ්බින්දති (නිර්වේදයට, නොබැඳීමට පත්වෙයි).
8. නිබ්බිංදං විරජ්ජති (රාගයෙන් වෙන් වී, විරාග තත්ත්වයට පත්වෙයි).
9. විරාගං විමුච්චති (විමුක්ති ඥාණ දර්ශනයට පත්වෙයි).

මෙහි පෙන්වා වදාළේ විපස්සනා භාවනා (අනිච්ච දුක්ඛ අනත්ථ) කර්මස්ථානයන් දිගටම භාවනා කරගෙන යෑමේදී සතර සතිපට්ඨානයෙහි පිහිටා විමුක්ති ඥාණ දර්ශනයට පත්වෙන නිවැරදි නිවන් මාර්ගයයි. සෑම කෙනෙකුම මේ නිවැරදි මඟ අනුගමනය කරමින් නිවන් සුවය අත්විඳ ගන්නටම ක‍්‍රියා කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.

Share Button

ධම්මානුධම්ම පටිපදාව II

”අභිඤ්ඤෙයියං අභිජානන්තෝ
පරිඤ්ඤෙයියං පරිජානන්තෝ
පහාතබ්බං පජහන්තෝ
භාචේතබ්බං භාවෙන්තෝ
සච්ජිකාතබ්බං සච්ජිකරොන්තෝ
තස්ස තං මග්ග ආසේවතෝ, භාවයතෝ, බහුලීකරෝතෝ සංයෝජනා පහියන්තී, අනුසයා ඛ්‍යයන්තීහොන්තී ති”

ලෝකයේ උපතක් ලබන සත්ත්වයින්, භූතයින්, ප‍්‍රාණීන් අතුරින් මනුස්සයින් ලෙස හඳුන්වන කොටසට පමණක් සෘජුවම මේ උතුම් බුද්ධ ධර්මය අසා ශ‍්‍රවණය කර, අනුගමනය කර, අත්විඳ ගැනීමෙන් නිවන් අවබෝධය ලැබීමට හැකියාව හා ශක්තිය ලබා ඇත. මේ ශක්තිය, මනස, යෝනිසෝමනසීකරණීය ශක්තිය උපතින්ම සෑම මිනිසකුම ලබා තිබුණත් මේ ශක්තිය, හැකියාව නිවැරදි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට නම් කළ්‍යාණ මිත‍්‍රයකුගෙන්ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසා දැනගත යුතුයි . වෙනත් කිසිම සත්ත්වයකුට මනස උසස් තත්ත්වයකට පත් කර ගැනීමටත් මනීන්ද්‍රිය පාවිච්චි කිරීමටත් හැකියාවක් උපතින් ලබා නැත. ”දෙවි දේවතාවන්ට මේ ශක්තිය ලැබී නැද්ද?” යන්න ඔබට ගැටළුවක් පැන නැගිය හැකිය. දෙවි දේවතා කොටස් වලටත් මේ ශක්තිය හැකියාව ලබාගන්නට නම් ඒ අයටත් අරිය උත්තමයකු විසින් දේශණා කරනු ලබන ධර්මය ශ‍්‍රවණය කරන්නට හැකිසේ මනුස්සාවේශයක් ගත යුතුයි. එනම් මිනිහකුගේ කටහඩ අසා ගන්නට හැකි පරිදි කන් යොමු කර මනුස්සාවේශයට පත් විය යුතුයි. දෙවියන්ටත් ඒ ආකාර වූ ශක්තියක් හැකියාවක් ලැබී තිබේ. මේ හේතුව නිසා ධර්ම දේශණාවකදී පළමුව ”සමන්තා චක්ඛවාලේසු” යනුවෙන් දෙවියන්ට ආරාධනා කරනු ලැබේ. ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ සඳහන් පහත ගාථා පේළි වලින් එය මනාව දැක ගත හැකියි.

”භුම්මා දේවා සද්ද මනුස්සාවේසුං”
චාතුර්මහා රාජිකා දේවා සද්ද මනුස්සාවේසුං

ආදී වශයෙන් සෑම දෙව්ලොවකටම වෙන් වෙන් වශයෙන් ධර්මය ඇසීම සඳහා කන් යොමු කරන ලෙසට කරන ලද ආරාධනය ”සද්දා මනුස්සාවේසුං” යනුවෙන් දක්වා ඇත. බුදුපියාණන් වහන්සේ මනුස්ස කටහඬින් දේශණා කරනු ලබන ධර්මය ශ‍්‍රවණය කිරීමට හැකිවන ලෙසින් අවේශය වෙනස් කර කන් යොමු කරන ලෙස දෙවියන්ට ආරාධනා කළ වදාළහ. එසේ නොවුණානම් දෙවියන්ට ධර්මය අසා තේරුම් ගැනීමට නොහැකි වේ.

නමුත් සෑම මිනිහෙකුට ම උපතින් ම මනසක් ලැබී ඇති නිසා තවත් මිනිසෙකු ප‍්‍රකාශ කරන දේ අසා තේරුම් ගැනීමටත් අවබෝධ කරගැනීමටත් හැකියාවක් ශක්තියක් ලබා ඇත. ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යන සත්‍යාවබෝධය ලබා ගැනීමට සෑම මිනිසෙකුට ම ශක්තිය හා හැකියාවක් උපතින්ම උරුම වී ඇත.එම නිසා අද මිනිසත් බවට පත් වී සිටින ඔබ සැම මේ උතුම් ධර්මය අසන්නටත් අද වාසනාවන්ත වී සිටින බව තේරුම් ගත යුතුයි.

මේ මනුස්සකම ලැබුවේ අනන්ත අප‍්‍රමාණ කාලයකට පසු විය හැකියි. මනුස්සයකු ලෙස උපත ලැබූ කෝටි ගණනක් අතුරෙන් බෝහෝම සුළු පිරිසකට පමණක්ම මේ උතුම් බුද්ධ ධර්මය අසා තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. එම නිසා මේ ලැබූ දුර්ලභ අවස්ථාව උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගෙන මනස යොමු කර මේ ධර්මය අසා දැන, අනුගමනය කිරීමට පසුබට නොවිය යුතුයි.

අසන, ශ‍්‍රවණය කරන ධර්මය යෝනිසෝමනසිකාරයෙන්ම විමර්ශණය කළ යුතුයි. කවුරු හෝ කියූ නිසා මේ සියල්ලම අන්ධ භක්තියෙන් පිළිගැනීම යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය දැන ගැනීම නොවේ. යෝනිසෝමනසිකරණය යනු අසා දැනගත් දේ මනසින් විමසා බැලීමයි. සති සම්පජානකාරී වීම යනුද යෝනිසෝමනසිකරණ ශක්තියයි. එනම් අසා දැනගත් ධර්ම කාරණා හේතුඵල දහමට බහා ගළපා බැලීමයි. යම් හේතුවක් නිසා පටිච්ච වීමක් සිදු වී නම් හේතුව අත්හැර නිදහස් විය යුතුයි. හේතුව නිදහස් වීමක් නම් නොඇලෙන, නොගැටෙන මුළා නොවන්නක් නම් එය භාවිතා කිරීම ආශ‍්‍රය කිරීම නිවනට මඟයි. මේ අනුව සතිපම්පජානකාරී වන කෙනෙකුට සතර සතිපට්ඨානයෙහි ම පිහිටා සතර ඉරියව්වෙන් ම දිනයේ පැය විසිහතර පුරාම සතියෙන් ක‍්‍රියාකිරීමට හැකියාව ලැබේ.

කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යනු ඇලෙන, ගැටෙන, මුළා වන ක‍්‍රියාවලින් වෙන් වී එවන් ක‍්‍රියා, සිතුවිලි, වදන් වලින් ඉවත් වී ඒවා ඉවසා, විමසා උපේක්ඛා සිතින් සළකා බැහැර කර සැනසීම ලබා ගැනීම මිස වෙනත් ප‍්‍රතිහාර්ය පෑමක් නොවෙයි. මේ අනුව ”සතියෙන් යුතුව ක‍්‍රියා කිරීම යනුවෙන් ධර්ම විග‍්‍රහයේ සඳහන් ප‍්‍රකාශය හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීමට යන අදහසට වඩා බලවත් වෙනසක් සහිත ප‍්‍රකාශයක් බව සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි. ඕනෑ ම කපටි, කෛරාටික වැරදි වැඩක් කිරීම සඳහාත් කෙනකුට හොඳ සිහියක් අවශ්‍ය වේ. නමුත් සතියෙහි පිහිටා හේතුඵල දෙකම දැන ක‍්‍රියා කරන කෙනකු තමාටම ආපසු අනිසි ප‍්‍රති විපාක උරුම වන පව්කාරකම්, ළාමක දේ කිසි විටකත් නොකරයි. සතියෙහි පිහිටා ක‍්‍රියා කීරීමේ ධර්ම අර්ථය හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීම යන්නට වඩා ඉතා ගැඹුරු බව දැන ගත යුතුයි.

සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමටත්, භාවනා කිරීමටත් ”ද්වතා” ධර්මතාවය පිළිබඳව තරමත් දුරට හෝ අවබෝධයක් ඇති කර ගත යුතුමයි. සෑම සංඛතයකම සෑම සංකල්පනාවකම දෙපැත්තක් තිබේ. ප‍්‍රිය දේ, අප‍්‍රිය දේ, හොඳ දේ, නරක දේ, කළු ධර්ම, සුදු ධර්ම, පින් පව්, කුසල් අකුසල්, සුව අසුව, ලාභ අලාභ, දුක සැප ආදී වශයෙන් ඕනෑ ම දෙයක දෙපැත්තක් ඇති බව කුඩා දරුවකුට පවා තේරුම් ගත හැකි සරළ දෙයකි.

පෘථග්ජන පුද්ගලයෙකු නිතරම උනන්දු වන්නේ ප‍්‍රිය දේට ඇලීමට, අප‍්‍රිය දේ සමඟ ගැටීමට, අප‍්‍රිය දේ ප‍්‍රතික්ෂේප කර ලාභ දේ ඇතුළට ගැනීම හා අලාභ දේ බැහැර කිරීම සඳහායි. හොඳයි යනුවෙන් තීරණය කරනු ලැබූ දේ සමඟ එකතු වීමටත් නරකයි යනුවෙන් තීරණය කළ දේ ඉවත් කිරීමටත් සැම විටම ක‍්‍රියා කරති. එවන් පෘථග්ජන පුද්ගලයෙකු ප‍්‍රිය දෙයක් පිළිබඳව හේතුඵල ධර්මතාවය නොදකී. ප‍්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵලවිපාක ගැන සොයා කටයුතු නෙකරයි. බොහෝ විටම ප‍්‍රිය ගතිය යනු තමා තුළම ඇති සංසාර පුරුද්දක් බව පෘථග්ජන පුද්ගලයා නොදනී. ඒ ප‍්‍රිය බව විඤ්ඤාණය ආහාර සොයා ගැනීම සඳහා ම ඇටවූ උගුලකි. මේ බව තේරුම් ගත නොහැකි පෘථග්ජනයා මේ උගුලේ පැටලී මුළාවට පත් වී සංසාරයට බැඳෙති. ප‍්‍රිය දේම උපාදානය කරගැනීමට වෙහෙසෙති.

පෘථග්ජන පුද්ගලයෙකු ප‍්‍රිය, අප‍්‍රිය යනුවෙන් මිම්මක් තම තමන්ට ම පෞද්ගලික වූ මානයක් ඇති කරගෙන ක‍්‍රියා කරති. මේ මැනීම මේ මිම්ම සැමටම සර්ව සාධාරණ වූ පොදු මිම්මක් නොවේ. මේ මිම්ම තමන්ට රිසි ආකාරයට ගොඩනඟා ගත් ප‍්‍රිය, ලාභ හොඳ මිම්මකි. ප‍්‍රිය දෙයට ඇලීම නිසා හෝ අප‍්‍රිය දෙයක් සමඟ ගැටීම නිසා හෝ තමාගේ ම චිත්තසංථානය තුළ සිදුවන විපර්යාසය, කිළිටි වීම ඔහුටම දැක ගැනීමට නොහැකි වීම නිසාම මෙවන් ප‍්‍රිය දේට ඇලීමත්්, අප‍්‍රිය දේ සමඟ ගැටීමත්, ප‍්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵල විපාකයත්, තමන් උපාදානය කරගන්නා පංච උපාදානස්කන්ධය තමාටම උරුම කර දෙන සංසාර බරත්, සංසාර බැම්මත්, සංසාර භයත් ඔහුටම දැක ගැනීමට නොහැකි වේ. හිතේ මුල් බැස ගෙන පවතින ප‍්‍රිය දේට ඇලීමේ ගතිය ඊට වඩා බලවත් වීම නිසාම තමාට උරුම වන ඵල විපාක නොපෙනී යයි.

මේ ගතිය හැඟීමට වහල් වී ක‍්‍රියා කිරීමයි. විචිකිච්චාවෙන් ක‍්‍රියා කිරීම යන පෘථග්ජන ගතිය පටිඉචිච වීම යනු මෙයයි. මේ පුරුද්ද තමන්ම අතීතයේ එකතු කරගත් තම චිත්තසංථානයේ ම ගබඩා කරගත් ගති පුරුදු වේ. මේ ගති පුරුදු වලට සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම දෘෂ්ඨි ගත වීම නිසා නිරන්තරයෙන්ම ක‍්‍රියා කරනු ලබන්නේ් අන්තවාදී දෘෂ්ඨියකිනි. තමන්ට යම් ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ නිසාම සක්කාය දිටිඨියත්, මිච්ඡුා දිට්ඨියටත් පත් වේ. භව දෘෂ්ඨිය, විභව දෘෂ්ඨියටත් පත් වේ. මේ නිසා පෘථග්ජන ලෝකයා නිරතුරුවම තමාගේම ලෝකයක් නිර්මාණය කරගෙන ලෝකස්වාදයක් විඳීමේ, ලෝකාස්වාද දෘෂ්ඨියකින් ක‍්‍රියා කරති. එනම් සැප හඹා යමින් දුකම උරුම කරගැනීමයි. මේ පරම සත්‍යය දැක ගන්නට නොහැකි වන ලෙසින් ඒ ඒ පුද්ගලයාගේම මනස ප‍්‍රිය, අප‍්‍රිය යන ගති වලින්, පුරුදු වලින් වැසී මුවහ වී පවතී. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකටම අන්තගාමී ලෙසින් නොඇලී, නොගැටී, උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක‍්‍රියාකරන්නට පුරුදු වීම, පුහුණු වීම නිවනට මඟය. ඇලීමෙන්, ගැටීමෙන් හා මුළාවෙන් මිදීමම නිවැරදි මඟයි. පිරිසිඳ දැක ක‍්‍රියා කිරීමට පුරුදු වීම සතියේ පිහිටා සති සම්පජානකාරීව ක‍්‍රියා කිරීම නිදහස් වීමේ මාර්ගයයි.

පෘථග්ජන ලෝකයාගේ දැනුම ඒ ඒ පුද්ගලයාගේ ම ප‍්‍රිය අප‍්‍රියතාවය අනුවම ඊටම සීමා වූ එකකි. ඒ නිසා කෙනෙක් යමක් පිළිගන්නේ හෝ තේරුම් ගන්නේ හෝ ඒ ගැන හොයන්නේ බලන්නේ හෝ එය ප‍්‍රිය මනාප දෙයක් නම් පමණි. ලෝකයේ වාසය කරන මිනිසුන් දෙදෙනෙකුට එකම දෙයක් පිළිබඳව දෙයාකාරයකින් දැකගන්නට, තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට නොහැකි වීමේ හේතුව මේ ප‍්‍රිය, අප‍්‍රිය, මනාප, අමනාප යන අන්තවාදී ගති ලක්ෂණයි. හුරු පුරුදුයි. මේ ප‍්‍රිය අප‍්‍රිය, මනාප අමනාප යන අන්තවාදී ගති ලක්ෂණ නිසා කෙනෙකුගේ චිත්තසංථානය කිළිටි වේ. චිත්තසංථානය කිළිටිවීමත් සමඟම මනස මුවහ වී මෝහය යනුවෙන් හඳුන්වනු ලබන ගති ලක්ෂණය නිසා මනසීකරණීය ශක්තිය දුර්වල වේ. එම නිසා ප‍්‍රියතාවයෙන් ඇලීමත්, අප‍්‍රියතාවයෙන් ගැටීමත් යන අන්ත දෙකම මනස මුවහ කරන කළු ධර්ම වේ. එවන් ගති කෙළෙස්, අකුසල් යනුවෙන් හඳුන්වනු ලබයි. සරළව විග‍්‍රහ කරනවා නම් මේ සියල්ල කුණු ගොඩකි.

මේ අනුව පෘථග්ජන ලෝකයා හොඳය, යහපත්ය, සැපය, සුවයක්ය යනුවෙන් හිතන සියලු දේ, ඒ ඒ පුද්ගලයාගේ සංසාර පුරුද්දට අනුව ඒ ඒ පුද්ගලයාට ම ආවේණික වූ ප‍්‍රිය දේ හා අප‍්‍රිය දේ මිස ඒවායෙහි කාටත් පොදු පරම සත්‍යයක් නැති බව තේරුම් ගත හැකියි. මේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ඇලීම නිසාත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීම නිසාත් සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම සංසාර ගමන යාමට හේතු වන, උපකාර වන සමුදය, කර්ම බීජ තමන් ම සකස් කර ගනී. මේ අනුව රාග, ද්වේෂ, මෝහ යන ගති තුන එනම් කළු ධර්ම, කෙළෙස් නැත්නම් කුණු ගති මෙසේ කර්ම බීජ සකස් කිරීමට හේතු වේ.

එසේම රාගක්ඛ්‍යය, ද්වේෂක්ඛ්‍යය, මෝහක්ඛ්‍යය කිරීම සඳහා උපකාර වන සියලුම ක‍්‍රියාකාරකම් කුසල් ධර්ම ලෙසත් ධර්මයේම විග‍්‍රහ වේ. විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලැබූ සෑම කෙනෙක් ම කළු ධර්මත්, සුදු ධර්මත් ක‍්‍රියාත්මක කරමින් හොඳ නරක දෙයාකාරයේම ඵල විපාක උරුම කර ගනී. රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්ම සිතක උපත ලැබීමට මුල් වූ ක‍්‍රියාකාරකම් හා රාගක්ඛ්‍යයට, ද්වේෂක්ඛ්‍යයට, මෝහක්ඛ්‍යයට හේතුවූ කුසල් ධර්ම සිතක උපත ලබන ක‍්‍රියාකාරකම් යන ද්වයතාවයම නිවැරදිවත් පූර්ණ ලෙසත් තේරුම් ගැනීම චතු අරිය සත්‍යයයන් තේරුම් ගැනීමටත් උපකාර වේ.

සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම ජීවත් වීම යනුවෙන් අර්ථ ගන්වන්නේ කළු ධර්ම ඉපදීම සඳහා සංඛාර ක‍්‍රියාත්මක කරමින් කුණු එකතු කර ගැනීමේ ක‍්‍රියාවලියක නිරත වීමයි. එසේම සුදු ධර්මයන් ක‍්‍රියාත්මක කරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගතිගුණාංග නිරාමිස, නිරාසව, වීතරාගී, වීතදේසී, වීතමෝහී යන ක‍්‍රියාකාරකම් වලත් නිරත වේ. තම මනස අපිරිසිදු නම් මෝහය, මුළාව සිතේ පවතී නම් කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තෝරා බේරා දැන හඳුනාගෙන, සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට දැනීමක් නැතිකම නිසා අතරමං වූවන් සේ සැප හඹා ගොස් දුකම උරුම කරගනී.

මනසේ ක‍්‍රියාවලිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මැනීම, පෙරීම, තෝරා බේරා හොඳ නරක වෙන් කිරීමේ ශක්තියයි. මේ සඳහා මනායතනය උපකාර නොවන අතර ”මනීන්ද්‍රිය”උපකාර වන බව තේරුම් ගත යුතුයි. මනායතනය ලෙස මනස ක‍්‍රියාත්මක වනතාක් එතැනදීත් විඤ්ඤාණයට ම (ආහාර) කුණු එකතුකර ගැනීමටම මනායතනයත් උපකාර වේ. මනස ඉන්ද්‍රීයයක් වශයෙන් ක‍්‍රියාත්මක වන විට පමණක්ම කෙනෙකුට යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමේ ශක්තිය හා හැකියාව ලැබේ.

එසේ නම් කළු ධර්ම එකතු කිරීම නිසා චිත්තසංථානය කිළිටි වන බවත්, මනස වැසී අඳුරු වී යන බවත් සුදු ධර්ම ඇතුළට ගැනීම නිසා චිත්තසංථානය පිරිසිදු වී මනස  ශක්තිමත් වන බවත් දකී. සුදු ධර්ම නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වේ. ප‍්‍රඥාව දියුණු වේ. අරහතුන්වහන්සේ කෙනෙකු තුළ විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක නොවේ. රාග, ද්වේෂ, මෝහ එකතු කරන ක‍්‍රියාකාරකම් එනම් අවිද්‍යා සංඛාර නොකරයි. පංචස්කන්ධය පරිහරණය කළත්, භාවිතා කළත් පංචස්කන්ධය උපාදානය කර නොගනී. ඒ අනුව අරහතුන්වහන්සේ කෙනෙකු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හයම භාවිතා කළත් ඒ කිසි ම ඉන්ද්‍රියයක් ආයතනයක් බවට පත් කොට කුණු (රාග, ද්වේෂ, මෝහ) එකතු කරන්නට ක‍්‍රියා නොකරයි. අරහතුන්වහන්සේගේ ඉන්ද්‍රියයන් හයම සංවර වී ඇත.

අතීතයේ කවදා හෝ තමන් ම කළු ධර්ම තම චිත්තසංථානය ඇතුළට නොගත්තේ නම් අද තමන්ට ම විඤ්ඤාණයෙන් කටයුතු කරන කෙනෙකු ලෙස මෙවැනි උපතක් ලබා ජීවිතයක් ගත කළ නොහැක. අතීතයේ කවදා හෝ සුදු ධර්ම ස්වල්පයක් හෝ චිත්තසංතානය තුළට නොගත්තේ නම් අද තමන්ට ම මනසක් ලැබී මේ ආකාරයට මිනිසෙකු ලෙස මනීන්ද්‍රිය භාවිතා කිරීමේ හැකියාවද නොලබයි.

මේ අනුව කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් නිවැරදිව ම දැන හඳුනාගෙන, තෝරා බේරා ගැනීමේ ශක්තිය හැකියාව දියුණු කර ගැනීම ධර්මාවබෝධය ලැබීම යනුවෙන් හඳුන්වයි. කළ්‍යාණ මිත‍්‍රයෙක් යනු, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබීම යනු කළු ධර්ම පෙන්වා දී ඒවා නසා දැමීමට, ප‍්‍රහාණය කිරීමට, නිවැරදිව මඟ කියා දිය හැකි උත්තමයාටයි. කළ්‍යාණ යනු ”කළු නසන” යන අර්ථයයි. කළ්‍යාණ මිත‍්‍රයෙක් කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් පිරිසිදුව, පැහැදිළිව වෙන් කර පෙන්වා දී කළු ධර්ම ප‍්‍රහාණය කිරීමට හා සුදු ධර්ම ආශ‍්‍රය කිරීමටද නිවැරදිව මාර්ගය පෙන්වා දෙයි. ඒ නිසා කළ්‍යාණ මිත‍්‍රයකුගෙන් ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ම අසා දැන, ඊට පසු මේ මඟ නිවැරදිව අනුගමනය කිරීමෙන් තමන්ගේ ම චිත්තසංතානය පිරිසිදු කර, ප‍්‍රඥාව උපදවා පහදා ගෙන, භව උදුරා දමන්නටත් ක‍්‍රියා කළ හැකි වේ.

යම් කිසි මිනිසකුගේ මනස අපිරිසිදු නම්, මනායතනය ක‍්‍රියාත්මක වේ නම් ඔහුට ද්වතාවය ධර්මය තේරුම් ගත නොහැක. කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තේරුම් ගැනීමට නොහැකි නිසා ඔහු කුණු එකතු කර තව තවත් චිත්තසංථානයේ කෙළෙස් පුරවා ගනී. කළු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමත් සමඟම මනස වැසී මෝහයෙන් මුළා වී සත්‍යාවබෝධය දුරස් වේ.

ප‍්‍රඥාව යනු චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් කළු ධර්ම ප‍්‍රහාණය කර ඉවත් කිරීමේ හැකියාවයි. ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වීමට නම් පඤ්ඤා ඉන්ද්‍රියම ක‍්‍රියාත්මක විය යුතුයි. මනීන්ද්‍රිය ක‍්‍රියාත්මක වීමත් සමඟම ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්මයන් සිත තුළම ක‍්‍රියාත්මක වී පඤ්ඤා ඉන්ද්‍රිය ක‍්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප‍්‍රහාණය කර ආසව, අනුසය ඛය කර අස්කර දමන්නටත් ශක්තිය ලැබේ.

තමන්ගේම මනස කිළිටි කර ගැනීමෙන් මනස, මනීන්ද්‍රිය ලෙසින් ක‍්‍රියාත්මක නොවීමත්, එසේම මනස පිරිසිදු කිරීමෙන් මනීන්ද්‍රිය වාගේම පඤ්ඤා ඉන්ද්‍රියත් ක‍්‍රියාත්මක කිරීමට හැකි ශක්තිය ලබා ගන්නෙත් තම තමන්මය. මනස මුවහ වූ තරමට චිත්තසංථානයේ කුණු ගබඩා වූ තරමට කෙනෙක් දුක් විඳියි. උපාදානය කර ගන්නා දේ වල සීමාවක් ද නොදනී. ඒ උපාදානය කර ගන්නේ ම කුණු ගොඩවල් බවත් ඒවා සංසාර බරක් බවත් නොදනී. නොදකී.

කුණු ඉවත් කර අස් කර හිත නිදහස් වූ තරමට ම තමන්ටම නිදහස ලැබේ. තමන් දුක් විඳීමෙන් බැහැර වේ. සත්‍යාවබෝධය පූර්ණ වේ. ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වේ. ආසව, අනුසය ඛය කිරීමෙන් සංයෝජන ප‍්‍රහාණය වේ. නිවන යනු මෙසේ අතීතයේ තමන් එකතු කරගත් කෙළෙස් තමන්ගේම චිත්තසංථානයෙන් සේසයක්වත් ඉතිරි නොවන්නට ප‍්‍රහාණය කර ඉවත්කර දැමීමටයි. මෙතැනදී රාග විරාගයත්, අවිද්‍යා විරාගයත් යන දෙයාකාරයෙන්ම චිත්තසංථානය පිරිසිදු කරගත යුතුයි. චිත්තසංථානය කෙළෙස් රහිත වූ තත්ත්වයටම පිරිසිදු කර ගැනීමත් සමඟම විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤත තත්ත්වයටත් ප‍්‍රඥා ශක්තිය පූර්ණ තත්ත්වයටත් පත්කර ගැනීම අරහත් ඵලයට පත්වීමයි. එසේ නම් නිවන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී සිතක් බවට තමාගේම සිත විමුක්තියට පත් කර ගැනීමයි නිදහස් කර ගැනීමයි.

එසේ නම් ඔබේම සිත ඔබම කිළිටි කර ගන්නේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙස ඇලීමෙනුත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීමෙනුත් බිහි වන මුළා ගතිය නිසා ම බව නිවැරදිව ම තේරුම් ගත යුතුයි.

ඔබේ සිත තුළ තැති ගැනීමක්, චලනයක්, නොසන්සුන්කමක්, කම්පනයක් ඇති වන්නේ මේ මුළාව නිසාමයි. මුළාව නිසාම මානයක්, මමත්වයක් සිතක ඇති වේ. මානයෙන් සිත මත් වීම නිසා කෙනෙකු තුළ අවිද්‍යාව පහළ වේ. මානය නිසාම කෙනෙකු තුළ තණ්හාවද ඇති වේ. මේ ”මම” යන දෘෂ්ඨිය මුළා දෘෂ්ඨියකි. මායාවකි. තමන්ම ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගැනීම නිසා බිහි කරගත් මුලා දෘෂ්ඨියක් මිස මම, මාගේ, මාගේ ආත්මය යනුවෙන් අල්ලා ගැනීමට, දිගටම පවත්වා ගැනීමට හැකි කිසිම දෙයක් මේ පැවැත්ම තුළ නොපවතී. මේ පැවැත්ම යනු, ජීවත් වීම යනු තමන්ම කරන, කියන, හිතන හේතුඵල පරම්පරාවකට පටිච්ච වීම නිසා බිහි කරගන්නා ඵලවිපාක පරම්පරාවක් උරුම කරගැනීම හා ඒ ඵලවිපාක සංසාරයි යැයි යන මිථ්‍යා දෘෂ්ඨියෙන් උපාදානය කර ගැනීමයි.

සම්මා දෘෂ්ඨියට පත් වීම යනු මෙසේ එකතු කර ගැනීමේ ක‍්‍රියාවලිය දැක, හේතුඵල පරම්පරාවක් තමන්ම තම චිත්තසංථානයෙන්ම සකස් කර ගන්නා බව නිවැරදිවම දැක, ඒ හේතු පරම්පරාවටමත් පටිච්ච නොවී, ඉන් මිදී, ඵලයෙන්ද නිදහස් විය හැකි බව දැකීමයි. ඒ මිස හොඳ යහපත් දේ අල්ලා උපාදානය කර ගැනීමක් සම්මා දිට්ඨිය යන පදයෙන් ධර්ම අර්ථ නොගැන්වේ. හොඳ, නරක දෙක ම පවතින්නේ් උපදින්නේ මේ හදාගත් ලෝකය තුළමයි. ඒ දෙකම ලෞකිකයි. එම නිසා මිච්ඡ දිට්ඨියෙන් මිදී ඊළඟට ලෞකික සම්මා දිට්ඨියෙනුත් මිදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම නිවනයි.

ප‍්‍රිය දේකට බැඳුණු විට (පටිච්ච වීමෙන්) ප‍්‍රිය මනාපයැයි තමා තීරණය කරගත් දේ, ඒ ප‍්‍රිය ආකාරයෙන්ම එක දිගටම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක්, කැමැත්තක් සෑම පුද්ගලයකු තුළම හට ගනී. මේ ගතිය ”නිච්ච සංඥාව” යන පදයෙන් විග‍්‍රහ වේ. මේ ”නිච්ච” වීම තමන්ගේ සිතේම හටගත් ”නිච්ච සංඥාවක්” නිසා සෑම පෘථග්ජන පුද්ගලයකුම තමන් ප‍්‍රිය කළ දේ තුළින්ම තම ඉන්ද්‍රියන් පිනවීමක් ද බලාපොරොත්තු වේ. මේ ආමිස සැපය, ආමිස සුවය, ඉන්ද්‍රිය පිනවීම යන ගති ලක්ෂණයයි. මේ වාගේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් යම් සැපයක් විඳගන්නට තමාම බලාපොරොත්තු වීමත් සමඟම, පෘථග්ජන පුද්ගලයකු තුළ මමත්වය ඇති වේ. ”සැප විඳගන්නේ” ”මමයි” යන අන්තවාදී දෘෂ්ඨියටත් පත් වේ.

චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං,
තින්නං සංගති පස්සෝ,
සං පස්ස ජා වේදනා
වේදනා පච්චයා තණ්හා, උපාදාන, භව

ඇසට ප‍්‍රිය රූපයක් අරමුණු වීම නිසා ඇසත්, ප‍්‍රිය රූපයත්් පටිච්ච වීමෙන් චක්ඛු විඤ්ඤාණයක් (රූපය උපාදානය කරගැනීමේ බලාපොරොත්තුවක්) සිතේ හටගනී. ඇස, ප‍්‍රිය රූපය හා ඒ රූපය පිළිබඳව ඇති වූ විඤ්ඤාණය, බලාපොරොත්තුව (තින්නං සංගති පස්සෝ) එකට ස්පර්ෂ වීම නිසා ”සංපස්සජා වේදනා” යන ප‍්‍රිය වේදනාවක්, වින්දනයක් සිතේ ජනිත වේ. මෙවන් ප‍්‍රිය වේදනාවක් සිතේ ජනිත වීම යනු තමාගේම මන පින වීමට, ඇස පින වීමට එම රූපය උපාදානය කර ගැනීමේ අවශ්‍යතාවයක් බලවත් සේ සිතෙහිම හට ගැනීමයි. උපාදානය කර ගැනීමත් සමඟම ”භව” තත්ත්වයට පත් වීමෙන් කර්ම බීජ සකස් වේ. නැතිනම් සමුප්පාද ක‍්‍රියාවලියක් පූර්ණ වේ. සමුදය ධර්මයක් සැකසී බිහි වේ. සමුදය බිහි වීමෙන් පසු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස ආදී සියල්ලමත් උරුමයෙන්ම තමන්ටම ලැබේ.

මුළින් සඳහන් කරන ලද ප‍්‍රිය රූපය දුටු විගසම ඒ අවස්ථාවේදීම ඒ රූපය අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව සේම අසුභ බවත් අවබෝධ කරගැනීමෙන් ඒ ප‍්‍රිය රූපය නිච්ච බවක්, සුභ බවක් හෝ අත්ථ වශයෙන් ගැනීමට යමක් හෝ එහි නැති බව ප‍්‍රත්‍යක්ෂ කර පිරිසිඳ දැකීම සඳහා රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා වශයෙන් ත‍්‍රිලක්ඛණ භාවනාව මෙනෙහි කළ යුතුයි. මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයමත් නිච්චයි, සුඛයි, අත්ථයි, සුබයි යනුවෙන් මෙතෙක් සංසාරයේ ඇති කරගෙන පැවති වැරදි පුරුද්ද නිසාම සියලු මිනිසුන් සැප හඹා ගොස් දුකම උරුම කර ගන්නා බව හතර අවස්ථාවකදී පූර්ණ වශයෙන්ම දැක සත්‍යාවබෝධ කර ගැනීම අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකීමයි. මඟඵල ලබා නිවන් අවබෝධය, සම්පූර්ණ කර ගැනීමයි.

බුද්ධ ධර්මය අසා දැන, අනුගමනය කර ධම්මානුධම්ම පටිපදාවෙහි නිරත වීම යනු අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙනුත් තමන්ම හදා ගත් ලෝකය තමන්ටම අදාළව තමා තුළින්ම යථා පරිදි දැක ගැනීමයි. පිරිසිඳ දැකීමයි. යමෙක් ලෝකය යථා පරිදි දැක ගන්නට උත්සාහ කරයි නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයම තමා තුළින්ම දැක ගත යුතුයි. තමන් ජීවත් වෙනවාය, උත්පත්තියක් ලබනවාය, කර්ම සකස් කරනවාය, පටිසන්ධි ලබනවාය, අභිනව තත්ත්වයන්ට පත් වෙනවාය, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව ආද’ ඵල විපාක ලබනවා යන මේ සියල්ලම තමාගේම ක‍්‍රියාකාරකම් නිසාම මිස ඉබේ සිදුවන දේ හෝ ඉබේ සිදු විය හැකි දේ හෝ නොවන බවත් නිවැරදිවම තේරුම් ගත යුතුයි.

තමා යනු කවුද? මේ ජීවත් වීම කියන්නේ කුමකටද? ජීවිත යන පදයේ අර්ථය, ධර්මය කුමක්ද? ලෝකය යනු කුමක්ද? මේ ලෝකය නිර්මාණය කර ගත්තේ කවුද? ඇයි මේ ලෝකයක් හැදුනේ? ලෝකය සාදා ගෙන මම යනුවෙන් කෙනෙක් උපදවා, බිහිකර ගත්තේ නැත්නම්, දුක් විඳින කෙනෙක් ඉන්නවාද? තමන් කිසි විටෙකත් දුකක් බලාපොරොත්තු නොවුණත් නිරතුරුවම තමාට දුකම උරුම වන්නේ ඇයි? මේ ආදී තවත් දහසක් ප‍්‍රශ්ණ වලට තමා තුළින්ම තමන්ට ම පිළිතුරු සපයා ගත යුතුයි. මේ ප‍්‍රත්‍යක්ෂ අවබෝධය හතර අවස්ථාවකදී පුර්ණ වීම නිවනයි.

එදා බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ මුළු බුද්ධ ධර්මයම දේශණා කර වදාළේ පෘථග්ජන ලෝකයාට මේ කරුණු අවබෝධ කරගැනීමටත් මෙම මායා පැවැත්මෙහි සත්‍යය ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට මාර්ගයත් පෙන්වා දීමේ ඒකායන පරමාර්ථයෙනි. පෘථග්ජන ලෝකයා රූපය මමයි, මාගේ රූපයයි, රූපයෙන් තොර මමෙක් නැත, මගෙන් තොර ලෝකයක් නැත, රූපය තුළ ආත්මයක් ඇත ආදී වශයෙන් තමා පිළිබඳවම ඇති කර ගත් වැරදි තීරණයක් නිසා ”මම” යන මමත්ත්ව සංකල්පයන් හිතෙන් මවාගෙන මම ”නිච්ච” බවට පත් කර ගන්නට, මම සැප, සුව, සුඛ විඳගන්නට හැම විටම මුලා වූ දෘෂ්ඨියකින් ක‍්‍රියා කරයි. අවිද්‍යාවට මුළාවට හා තණ්හාවට හේතුව මෙයයි.

මේ සාදාගත් ශරීර කූඩුව තුළ ක‍්‍රියාත්මකව පවතින ගත, හිත යන කොටස් දෙක ”වත” යනුවෙන් හඳුන්වයි. ”වත” විවිධාකාරයෙන් බෙදා වෙන් කර, කොටස් නම් කර විභංග කර පෙන් වූ එකම විද්‍යාඥයා ලොව්තුරා බුදුපියාණන්වහන්සේයි. ගත, හිත යන නාම රූප කොටස් දෙක නැවත නැවතත් විභංග කර බෙදා බලන ආකාරයත් මේ හදාගත් ශරීර කූඩුවේත්්, විඤ්ඤාණ ශක්තියේත් ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” බව පිරිසිඳ දැක ගෙන මේ පැවැත්මෙහි ඇති නිස්සාර බව පසක්කර දැක ගැනීමට උපකාර වීම සඳහා ධර්මය දේශණා කර වදාළහ. විභංග යන පද දෙක වි+වෙන් කිරීම, භංග+බෙදා බැලීීමයිි. විභංග කිරීම යනු බෙදා බැලීමයි. ”භගවත්” ගුණය යන්නත්් විභංග කර බැලීමයි. පැවැත්මෙහි සත්‍යය අවබෝධ කර ගැනීමේ පහසුව තකාම ඉදිරිපත් කරන ලද්දේත් විභජ්ජ වාදයයි. බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර දෙසිය පනහක් පමණ කාලයක් ගතවන තුරු මේ උතුම් බුද්ධ ධර්මයට ”විභජ්ජවාදය” ලෙසින්ද හැඳින්වූයේ මේ විභංග කර පෙන්වීම නිසයි. ”අනිච්ච, දුක්ඛ අනත්ථ, අසුබ” යන සංකල්ප පහසුවෙන්ම කෙනෙකුට තේරුම් ගත හැකි වන්නේ තම වතම බෙදා බලා ඇත්ත ඇති සැටියෙන් දැන ගත් විට පමණකි.

ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ සඳහන් ”ආචික්ඛනා දේශණා පඤ්ඤපනා, පට්ටපනා, විභජනා, විවරණා උත්තානිකම්මන්ති” යන පද වලින් ඉතාම පැහැදිළි ලෙසින් බුදුපියාණන් ලෝකයාට දේශණාකර පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යයන්, ත‍්‍රිලක්ඛණය, අෂ්ටාංගික මාර්ගය මෙන්ම මජ්ක්‍ධිමා පටිපදාව ද අවබෝධ කර ගැනීමට මේ වත බෙදා භාග කර, විභජනය කර, විවරණා කර දැකීමට උපකාර වන නිසයි.

මේ ආකාරයට තමන්ගේම ගත, හිත බෙදා බලා තමන්ම එහි යථා තත්ත්වය පරිපූර්ණ වශයෙන් දැක බලා ගැනීමට නම් අවම වශයෙන් ”භගවත්” ගුණයෙන් පෙන්වා වදාළ විභංග කිරීම යථා පරිදි අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන බෙදීම් කිහිපයක් හෝ දැනගත යුතුමයි. මේ පහත සඳහන් සියලු විභංග කිරීම් තමා තුළින්ම දැක ගන්නට උත්සාහ ගත යුතුයි.

1. ස්කන්ධ විභංගය – රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යනුවෙන් කොටස් පහකට බෙදා වෙන් කර දැක ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි.
2. පංචඋපාදානස්කන්ධ විභංගය – රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. ස්කන්ධය හා උපාදානස්කන්දය වෙන් කොට දැකිය යුතුයි.
3. ඉන්ද්‍රිය විභංගය – චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජීව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනීන්ද්‍රිය යන හය මනාව වෙන් කොට දැක ගත යුතුයි.
4. ආයතන විභංගය – චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය වෙන් කොට දැකිය යුතුයි. ආයතනය හා ඉන්ද්‍රියයන් වෙන් කොට දැකිය යුතුයි.
5. විඤ්ඤාණ විභංගය – චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණය, හා මනෝ විඤ්ඤාණය වෙන් කොට තේරුම් ගත යුතුයි.
6. රූප විභංගය – අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ලඟ රූප, සියුම් රූප, ඝණ රූප, ප‍්‍රිය මධුර රූප, ඕලාරික රූප, කටුක රූප ලෙස විභංග කර දැකිය යුතුයි.
7. රූප සංඥාව – රූප සංචේතනාව, රූප තණ්හාව, රූප චිතක්ක, රූප විචාර වෙන් කොට දැන හඳුනා ගත යුතුයි. (මේ ආකාරයට ම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණත් මේ පස් ආකාරයට ම බෙදා බලා දැන හඳුනාගත යුතුයි).
8. ධාතු විභංගය – පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය විභංග කර දැන ගත යුතුයි.
9. කේසා, ලෝමා, නඛා, දන්තා ආදි රූප කොටස් 32 පිළිබඳව බෙදා බලා දැන තේරුම් ගත යුතුයි.
10. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී කොට ඇති අට්ඨාරස ධාතු පිළිබඳවත් තමා තුළින් දැනගත යුතුයි.
11. චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන යන ඉන්ද්‍රියයන් හයට අමතරව ජිවිතේන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා පඤ්ඤා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්ම ගැන ද දැන ගත යුතුයි. මේ සියලුු ඉන්ද්‍රියයන් තමා තුළ ම පවතින බව දැකගත යුතුයි.
12. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු, කාම භව, රූප භව, අරූප භව, සඤ්ඤී භව, අසඤ්ඤී භව, නේවසඤ්ඤා නාසඤ්ඤ භව ඒකවෝකාර භව, චතුචෝකාර භව හා පඤ්ඤාවෝකාර භව පිළිබඳවත් දැනගත යුතුයි.
13. පළමු වන ධ්‍යානයේ සිට සතර වන ධ්‍යානය ගැනත් (රූප ධ්‍යාන) ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ධ්‍යාන ගැනත් දැනගත යුතුයි. (අරිය ධ්‍යානයන් අරිය ධ්‍යාන ලෙසත්, අනරිය ධ්‍යානයන් අනරිය ධයානයන් ලෙසත් වෙන් කොට දැන ගත යුතුයි.)
14. ධ්‍යාන යනු චේතෝ විමුක්තිය බවත් රාග විරාගය බවත් දැනගත යුතුයි. මඟඵල යනු ප‍්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය බවත්, අවිද්‍යා විරාගය බවත්, දැනගත යුතුයි. මඟඵල ලැබීමෙන් සංයෝජන ප‍්‍රහාණය වී, ආසව අනුසය ධර්මයන් ඛය වී, ඉවත් වන බවත් දැන ගත යුතුයි. ධ්‍යානයන් ලබාගත් පමණින් ආසව අනුසය ධර්ම ඛය කිරීමට නොහැකි බවත් දැනගත යුතුයි.
15. අවිද්‍යා මූල පට්ච්ච සමුප්පාද ධර්ම අවිද්‍යාව නිසා උපදින බව දැන ගත යුතුයි. සංඛාර, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති වශයෙන් තමාගේ ම සිත තුළ අවිද්‍යාව ක‍්‍රියාත්මක වන ආකාරය තමාම දැකගත යුතුයි.
16. අවිද්‍යා මූල සංඛාර ආදී සියලුම පටිච්ච සමුප්පාද අංගයන් තම සිත තුළදීම නිර් උදා කර, සමුදය ශක්තියක් උදා නොකර නිරෝධ කළ හැකි බවත් දැකිය යුතුයි.
17. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය කුණු සළාහැර, සිතින් කෙළෙස් අස්කර දැමීමේදී කුසල මූල සංඛාර විඤ්ඤාණ, නාමරූප, සළායතන, පස්ස, වේදනා පසාදෝ, අධිමොක්කෝ, භව, ජාති යන තත්ත්වයට සිත පත්වන සැටිත් දැක ගත යුතුයි.
18. පටි+ඉච්ච+සං+උප්පන්න යන ක‍්‍රියාවලිය තුළින් ඉච්ච (නිච්ච) ගළවා දැමීමට එහි අනිච්ච, දුක්ඛ, අනත්ථ බව පසක් කොට දැක දුක්ඛ අරිය සත්‍යය, සමුදය අරිය සත්‍යය, නිරෝධ අරිය සත්‍යය හා නිරෝධගාමී මාර්ග අරිය සත්‍යය ද තමාම අවබෝධ කර ගත යුතුයි.
19. දුක්ඛං අභිඤ්ඤෙයිය, දුක්ඛ සමුදයං අභිඤ්ඤෙයිය, දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤෙයිය දුක්ඛස්ස ආදීනවෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤෙයිය පිළිබඳවද යථා පරිදි අවබෝධ කරගත යුතුයි. (අභිඤ්ඤෙයිය යනු උසස්ම මට්ටමකින් සත්‍යවබෝධය, පුර්ණවබෝධය ලැබීමේ යන අදහසයි.)
20. රූපං අභිඤ්ඤෙයිය … වේදනා අභිඤ්ඤෙයිය……..
සංඥා අභිඤ්ඤෙයිය ….සංඛාර අභිඤ්ඤෙයිය…
විඤ්ඤාණ අභිඤ්ඤෙයිය ….රූපං සමුදය අභිඤ්ඤෙයියං
වේදනා සමුදය අභිඤ්ඤෙයියං
රූපං නිස්සරණං අභිඤ්ඤෙයියං, වේදනා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඥා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඛාර නිස්සරණං අභිඤ්ඤෙයියං, විඤ්ඤාණ නිස්සරණං අභිඤ්ඤෙයියං මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයාගේම උපත (සමුදය), වැය, නිස්සරණය, නිරෝධය ප‍්‍රත්‍යක්ෂ කර දැක ගත යුතුයි.
21. මේ ආකාරයටම රූප, වේදනා ආදී පංචස්කන්ධයෝත්, ආයතනත්, ඉන්ද්‍රියයනුත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන බාහිර ආයතනයෝත් යන සියල්ලෙහි ම
1. අනිච්චානුපස්සනා අභිඤ්ඤෙයියං
2. දුක්ඛානුපස්සනා අභිඤ්ඤෙයියං
3. අනත්ථානුපස්සනා අභිඤ්ඤෙයියං
4. නිබ්බිදානුපස්සනා අභිඤ්ඤෙයියං
5. විරාගානුපස්සනා අභිඤ්ඤෙයියං
6. නිරෝධානුපස්සනා අභිඤ්ඤෙයියං
7. පටිනිස්සග්ගානුපස්සනා අභිඤ්ඤෙයියං
මේ විපස්සනා භාවනාවයි. අනුපස්සනා භාවනාවයි. තමා තුළින්ම උපත ලබන පංචඋපාදානස්කන්ධයම පිළිබඳව මේ ආකාරයට තමන් අනුපස්සනා කරමින් ත‍්‍රිලක්ඛණ භාවනාව ප‍්‍රත්‍යක්ෂ වන තුරුම භාවනා කළ යුතුයි. උපාදානය බැහැර කළ හැක්කේ ”නිච්ච, සුඛ, අත්ථ ” සංඥා ප‍්‍රහාණය කිරීමෙන් පමණි.

22. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී අරමුණුවලට පටිච්ච වූ චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මනෝ ආයතන වලින් සමුදය උපදී. (සං උපත ලබයි) උදය වෙයි. මේ ආකාරයට බිහි වන සමුදය උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කර ගත යුතුයි.)

1. උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කරගත යුතුයි)
2. පවත්තං අභිඤ්ඤෙයියං    
3. නිමිත්තං අභිඤ්ඤෙයියං    
4. ආයුහනං අභිඤ්ඤෙයියං (කර්මය සකස් වීම)
5. පටිසන්ධිං අභිඤ්ඤෙයියං    
6. ගතිං අභිඤ්ඤෙයියං    
7. නිබ්බත්ති අභිඤ්ඤෙයියං (අභිනව තත්ත්වය)
8. උපපත්ති අභිඤ්ඤෙයියං (නෙකඩවා උපතක් වීම)
9. ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, උපායාස අභිඤ්ඤෙයියං

23. මේ ආකාරයට ම අරමුණුවලට (රූප ආදී) ඇස ආදී ඉන්දියයන් පටිච්ච නොවුවොත් පටිච්ච වීම නිරෝධ කළහොත්”

1. අනුප්පාදෝ අභිඤ්ඤෙයියං
2. අපවත්තං අභිඤ්ඤෙයියං
3. අනිමිත්තං අභිඤ්ඤෙයියං
4. අනායුහනං අභිඤ්ඤෙයියං
5. අප්පටිසංධිං අභිඤ්ඤෙයියං
6. අගතිං අභිඤ්ඤෙයියං
7. අනිබ්බත්ති අභිඤ්ඤෙයියං
8. අනුපපත්ති අභිඤ්ඤෙයියං
9. අජාති, අජරා, අමර, අව්‍යාධි, අශෝකං, අපරිදේව, අනුපයාස අභිඤ්ඤෙයියං. අභිඤ්ඤෙයියං යනු තම සිතින් ම බිහිවෙන තත්ත්වයන් ප‍්‍රත්‍යක්ෂ කර ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමේ උසස්ම යථාවබෝධයයි.

24. උප්පාදෝ දුක්ඛං – අනුප්පාදෝ සුඛං අභිඤ්ඤෙයියං
පවත්තං දුක්ඛං – අපවත්තං සුඛං අභිඤ්ඤෙයියං
නිමිත්තං දුක්ඛං – අනිමිත්තං සුඛං අභිඤ්ඤෙයියං
ආයුහනං දුක්ඛං – අනායුහං සුඛං අභිඤ්ඤෙයියං
පටිසන්ධිං දුක්ඛං – අප්පටිසන්ධි සුඛං අභිඤ්ඤෙයියං
ගතිං දුක්ඛං – අගතිං සුඛං අභිඤ්ඤෙයියං
නිබ්බන්ති දුක්ඛං – අනිබ්බන්ති සුඛං අභිඤ්ඤෙයියං (අභිනව)
උපපත්ති දුක්ඛං – අනුප්පත්ති සුඛං අභිඤ්ඤෙයියං
ජාති, ජරා…දුක්ඛං – අජාති, අජරා, අමර, අශෝකං සුඛං අභිඤ්ඤෙයියං(ද්වතාවය පිරිසිඳ දැකීමයි)

25. උප්පාදෝ භයං – අනුප්පාදෝ ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පවත්තං භයං අපවත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං භයං – අනිමිත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං භයං – අනායුනහං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං භයං – අප්පටිසන්දිං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ගතිං භයං – අගති ඛෙමං අභිඤ්ඤෙයියං
නිබ්බති භයං – අනිබ්බති ඛෙමං අභිඤ්ඤෙයියං
උපපත්ති භයං -අනුපපත්ති ඛෙමං අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණං, භයං – අජාති, අව්‍යාධි, අමර, ඛෙමං අභිඤ්ඤෙයියං (ඛෙමං යනු සහනයක් අභය තත්ත්වයකි.)

26. උප්පාදෝ සාමිසන්ති – අනුප්පාදෝ නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පවත්වත්තං සාමිසන්ති – අපවත්තං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සාමිසන්ති – අනායුහනං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සාමිසන්ති – අප්පටිසන්ධිං නිරාමිසන්ති අභිඤ්ඤයියං
ගතිං සාමිසන්ති – අගති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ සාමිසන්ති – අජාති, අජරා, අව්‍යාධි අමර නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
සාමිසන්ති යනු ආමිස බිහි කරන, සමුදය බිහි කරන ගතිගුණ යන අදහසයි. මේ අනුව රාග,ද්වේෂ, මෝහ මෙන්ම කාමසව, භවාසව, දිට්ඨාසව බිහි කිරීමට මේ ආමිස හේතුවේ.

27. උප්පාදෝ සංඛාරාති – අනුප්පාදෝ නිබ්බානන්ති අභිඤ්ඤයියං
පවත්තං සංඛාරාති – අපවත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං සංඛාරාති -අනිමිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සංඛාරාති – අනායුහං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සංඛාරාති – අප්පටිසන්ධිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ගතිං සංඛාරාති – අගතිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සංඛාරති – අනිබ්බිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සංඛාරාති – අනුපපත්තිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ, සංඛාරාති – අජාති, අජරා, අව්‍යාධි, අමරණං අශෝකං, අපරිදේව, අනුපයාසං, නිබ්බානන්ති අභිඤ්ඤෙයියං

යම් කෙනෙකු යෝනිසෝමනසිකාරයෙන් මේ කරුණු අනුපස්සනා කර විපස්සනා කර තමා ගැනම අවබෝධය පූර්ණ කර ගත හොත් ”අභිඤ්ඤෙයියං” තත්ත්වයට පත් වෙනු ඇත. අවබෝධය ප‍්‍රත්‍යක්ෂ ලෙසින් දැක සත්‍යාවබෝධය බවට පත් කර ගත හොත් අභිඤ්ඤෙයියං යන උසස් තත්ත්වයට පත්වෙනු ඇත. අවබෝධය පරිපූර්ණ කර පරිපූර්ණ සත්‍යාවබෝධය ලබා ගැනීම නිසා ”අභිඤ්ඤෙයියං, අභිජානනත්තෝ” යන තත්ත්වයට ම පත්වීම ද සිදු වේ.

මේ ආකාරයට තමා තුළම ක‍්‍රියාත්මක වන හේතුඵල ධර්ම ක‍්‍රියාවලිය පිරිසිඳ දැක ඒ පිළිබඳව පූර්ණාවබෝධයක් ලැබූ විට,

අභිඤ්ඤාය – අභිඤ්ඤාතට්ඨෝ (උසස් අවබෝධය)
පරිඤ්ඤාය – තීරණට්ඨෝ (පිරිසිඳ දැක තීරණ ගැනීම)
පහානස්ස – පරිච්චාගට්ඨෝ (ප‍්‍රහාණය කළයුතු දේ අත්හැරීම) භාවනාය – ඒකරසට්ඨෝ (ඒකාග්ග සිතින් භාවනා කිරීම)
සච්ජීකිරියාය – දස්සනට්ඨෝ

යන පූර්ණාවබෝධය ලැබූ පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් පරිපූර්ණ ලෙසින්ම අවබෝධ කරගත් කෙනකු බවටත් පත් වේ. ආසව හා අනුසය ධර්ම ඛය කර (උදුරා, ගළවා දමා) ඉවත් කිරීමට අවශ්‍ය ආසවඛ්‍යා ඥාණය ද ලබා ගනී. අනුසය ධර්මයන් ඛ්‍යාහොන්තී, සංයෝජනා පහියන්තී යනුවෙන් පෙන්වා වදාළේ ආසවඛ්‍යා ඥාණය ලැබීමෙන් ආසව ධර්ම ගළවා ඉවත් කර, අනුසය ධර්මයන් ද ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය ප‍්‍රභාශ්වර තත්ත්වයට පත් කර ගැනීමත්, දස සංයෝජන ක‍්‍රමානුකූලව අවස්ථා හතරක දී ප‍්‍රහාණය වී යාමත් සිදු වී සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන් හා ඵලයන් සම්පූර්ණ වන ආකාරයත් පැහැදිළි කර පෙන්වා දීමයි.

මෙතැනදී පෙන්වූ උප්පාදෝ භයං, උප්පාදෝ දුක්ඛං, උප්පාදෝ සාමිසං, උප්පාදෝ සංඛාරං යන විග‍්‍රහයේදී ”උප්පාදෝ” යනු පුද්ගලයකුගේ, සත්ත්වයකුගේ සම්මත උත්පත්තිය පමණක්ම නොවේ. මොහොතක් මොහොතක් පාසාම, චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම සිතක උපත ලබන්නාවූ අරමුණු වලට පටිච්ච වීම නිසා ප‍්‍රිය අප‍්‍රියතාවයන්ට බැඳීම නිසා ඇලීම, මුළා වීම නිසා සිතක හේතුඵල පරම්පරාවක් උපත ලබන, පවතින, ක‍්‍රියාත්මක වන ආකාරයත් විග‍්‍රහ කිරීමයි.

අනුප්පාදෝ ඛෙමං, අනුප්පාදෝ සුඛං, අනුප්පාදෝ නිරාමිසං, අනුප්පාදෝ නිබ්බානන්තී යනුවෙන් විග‍්‍රහ වන්නේ චිත්තසංථානයක නිච්ච සංඥාවක්, අත්ථ සංඥාවක් නොඉපදුණොත්, සංඛාර උත්පත්තියක් පටිච්ච නොවුණොත්, චිත්තසංථානය අනිමිත්ත බවට, අප්පණිහිත බවට, සුඤ්ඤත බවට පත්වීම නිසා නිබ්බානන්තී බවට පත්වන බව පෙන්වීමටම කරන ලද විග‍්‍රහයකි. ඒ මිස දැන් ගත කරන මේ ලබා ඇති උපත අනුප්පාද කිරීමේ ක‍්‍රමයක් පිළිබඳව නොවේ. පංචඋපාදානස්කන්ධයම අතහැරියහොත්, සංඛාර පැවැත්වීම (එකතු කිරීම) අත්හැරියහොත්, ආසව – නිරාසව කළහොත් නිබ්බානන්ති යන නිවන් සුවයත් මේ මිනිස් ජීවිත කාලය තුළදීම අත් දැක, අත්විඳ ගත හැකි සත්‍යය වූ දෙයක් බව ප‍්‍රකාශ කිරීමයි. මෙතැනදී විග‍්‍රහ කර පෙන්වා වදාළේ”

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති     චක්ඛු විඤ්ඤාණං
සෝතංච පට්ච්ච සද්ධං    උප්පජ්ජති    සෝත විඤ්ඤාණං
මනාච පටිච්ච ධම්මා    උප්පජ්ජති    මනෝ විඤ්ඤාණං”

මේ ඉහත පෙන්වා ඇති වාක්‍යවල ”උප්පජ්ජති” යන පදයෙන් පෙන්වා දුන්නේ පෙරදී විග‍්‍රහ කරන ලද උප්පත්ති යන අදහසමයි. එමනිසා පුද්ගලයෙක්, සත්ත්වයෙක් අත්විඳින සම්මත උත්පත්තියත් සම්මත මරණයත් අතර ජීවිත කාලයක් තුළ අනත්ත අප‍්‍රමාණ වාරයක් උප්පත්ති, උපපත්තිි, නිබ්බත්ති යන පද වලින් විග‍්‍රහ කරන ලද ”උපත්” ලබයි. එසේම ඒවා ගෙවී, දිය වී විනාශ වී යයි. ”පොනෝභවිකා” යනු පුන පුනා බිහි කිරීම යන අදහසයි.

”අනුපපත්ති යන සංඛාර නොකරන තත්ත්වය අනුව සමුදය ධර්මයෝ උපදවා නොගැනීම සඳහා ”සං” නූපදීම, නිර්උදා හේතුව කොටගෙන ලබන නිදහස, නිවන අත්විඳ ගත හැකියි. සමුදය නිරෝධ කිරීමත් – නිරෝධගාමී මාර්ගයත් නිවනයි.

මේ අනුව බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ පිරිසිදු නිවන් මාර්ගය ඒකායන අර්ථයෙන්ම ”අනුප්පාදෝ ඥාණං” මුල් කොටගත් අනුප්පාදය අවසාන පරම අර්ථය කොටගත් අනූපූරක නිවන් මාර්ගයක් ම වේ.

මේ නිවන් මාර්ගය පැහැදිළිවම, පිරිසිදුවම දැන ගැනීමත්, ඒ නිවෙන මාර්ගය යථාවබෝධයෙන්ම අනුගමනය කිරීමත්, ඒ දැනගත් මඟ තමන්ම අත්විඳ ගැනීමත් නිවනයි.

Share Button