ධ්‍යාන හා මාර්ගඵල

භාවනාවේ යෙදීමෙන්, භාවනා කිරීමෙන් අද යම් කිසිවෙකු බලාපොරොත්තු වන්නේ ධ්‍යානයක් ලබා ගැනීමයි. ධ්‍යානයක් ලබා ගැනීම ධ්‍යානයකට පත් වීම යනු යම්කිසි ආකාරයක කෙළෙස් දවාහැරීමක් සිදුවීමයි. මේ දවා හැරීම නිසා සිදුවන්නේ, යමෙකුගේ චිත්තසංථානය තුළ මෙතෙක් ක‍්‍රියාත්මකව පැවති රාග, ද්වේෂ යන කිළිටි ගති ලක්ෂණයන් තාවකාලිකව දවා හැරීමයි. රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් දවාහැර, ඒවායින් යම් තරමකට නිදහස්වීම නිසා කාය පස්සදිය – කය සංසිඳවීම, වේදනා පස්සදිය – වේදනා සංසිඳවීම, චිත්ත පස්සදිය – සිත සංසිඳවීම සිදුවෙයි.

අනාදිමත් කාලයක පටන්ම විවිධ ආගම්වල, දර්ශනවල විවිධ ක‍්‍රම මගින් භාවනා කර, ධ්‍යානයක් ලබා ගැනීමේ ක‍්‍රම උගැන්වීය. බුද්ධ ධර්මයට අනුකූලවද ධ්‍යාන ලබා, මඟඵල ලබා නිවන් අවබෝධ කරගත හැකිය. බුදුපියාණන් බුදු බවට පත්වන්නට පෙර වසර හයක්ම එවකට භාවිතයේ පැවති විවිධ ඉගැන්වීම් ඔස්සේ යමින් දුෂ්කර ක‍්‍රියා කරමින්, ධූතාංග රකිමින් එවකට භාවිතයේ පැවති සියලු අනරිය ධ්‍යානයන් ලබාගත්හ. එවැනි අනරිය ධ්‍යානයන් ලැබීමෙන් ප‍්‍රඥා විමුක්තියට පත්වීමක් සිදු නොවූ බව තේරුම්ගත් බුදුපියාණන්වහන්සේ එවන් දුෂ්කර ක‍්‍රියාවන්ගෙන් වෙන් වී අරිය මාර්ගයම සොයා දැන බුද්ධත්වයට පත්වූහ. එසේ නම් ගෝතම බුදුපියාණන් ස්වයංභූ ඥාණයෙන් තමන්ම සොයා දැන, අනුගමනය කර, තමන්ම අත්විඳි මෙම ධ්‍යානයන් එතෙක් කල් විවිධ ආගම්වල පැවති අනරිය ධ්‍යාන නමින් හැඳින්වූ ධ්‍යානයන් නොවේ. ඊට හාත්පසින්ම වෙනස් අරිය ධ්‍යානයන් කොටසකි. බුදුවරයෙකු ලොව පහළවන්නේම එතෙක් පැවති ලෞකික ක‍්‍රමයන් වෙනස් කර ඊට හාත්පසින්ම වෙනස් වූ ලෝකෝත්තර අරිය මාර්ගයක් සොයා දැන, ලෝකයාට දේශණාකර පෘථග්ජන ලෝකයා සංසාර දුකෙන් මුදවා ගැනීමේ ඒකායන අභිලාශයෙනි.

බුද්ධ දේශණාවට අනුව අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන් ලෙස දෙවිධියක, දෙයාකාරයක ධ්‍යානයන් ඇති බවවත් අද බොහෝ බෞද්ධයින් නොදනිති. අනරිය ධ්‍යානයන් එකක් නොව සියල්ලම (අටම) ලබාගෙන විවිධ හාස්කම් කළ බොහෝ පුද්ගලයින් එදා ජන්බුද්වීපයේ ජීවත් වූ බවත්, අද පවා ලෝකයේ විවිධ තැන්වල ජීවත්වන බවත් සත්‍යයකි. නමුත් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයෙන් පෙන්වා වදාළ ප‍්‍රඥා විමුක්තිය ලබා, අරහත් තත්ත්වයට පත්වීමේ හැකියාවක් ඒ කිසිම අනරිය ධ්‍යානලාභියෙකුට ලැබෙන්නේ නැත. සෝවාන් මාර්ග ඵලය නමැති නිවන් මාර්ගයේ පළමුවන පියවරට පත්වීමට නම් අරිය උත්තමයෙකු බවට පත්විය යුතුමය. සෝවාන් මාර්ගඵලයට පත්වීම යන උතුම් අරිය තත්ත්වයට පත්වීම හා අනරිය ධ්‍යානයන් අටටම පත්වීම යන තත්ත්වයන් දෙක සැසඳීමේ දී සෝවාන් මාර්ගඵලයට පත්වීමේදී ලබන සුවයෙන් කෝටියෙන් එකක් හෝ අනරිය ධ්‍යානයන් අටටම පත්වූ පුද්ගලයා ලබන්නේ නැත. සෝවාන් මාර්ග ඵලයට පත්වූ පුද්ගලයා සඳහටම සතර අපා දුකෙන් මිදුණු නියත වශයෙන්ම නිවන් මාර්ගයට පත්වූවෙකි. අනරිය ධ්‍යානයන් අටටම පත්වූ පුද්ගලයා පවා මතු යම් කලක යළි සතර අපා දුකටද පත්විය හැකිය. නමුත් සෝවාන් මඟඵලයට පත්වූ අරිය පුද්ගලයා නියත පරායනයෙන්ම දස්සනේන සම්පන්න වූ මාර්ගඵල ලාභියෙකි.

බුදුපියාණන් කිසි විටෙකත් අනරිය ධ්‍යානයන් ලබාගැනීම වර්ණනා නොකළ බවත් අගය නොකළ බවත් මජ්ක්‍ධිම නිකායේ දේවදහ වග්ගයේ එන ගෝපක මොග්ගල්ලාන සූත‍්‍රයේ ඉතාමත් පැහැදිළිවම විග‍්‍රහ කර පෙන්වාදී ඇත. පහත සඳහන් පාඨයෙන් එය මොනවට පැහැදිළි වෙයි.
”ගාරය්හං කිර භෝ ආනන්ද, සෝ භවං ගෝතමෝ ඣානං ගරහි පාසංසං පසංසි”
භවත් ආනන්දයෙනි, ගෝතම බුදුපියාණන්වහන්සේ ගැරහිය යුතු ලෞකික අනරිය ධ්‍යානයන් නිරන්තරයෙන්ම ගරහති. ප‍්‍රතික්‍ෂෙප කරති. ප‍්‍රසංශා කළ යුතු, අගය කළ යුතු අරිය ධ්‍යානයන් හා මාර්ගඵල නිතරම අගය කරති. භාවිතයට අනුදැන වදාරති.

ගැරහිය යුතු අනරිය ධ්‍යානයන් හා ප‍්‍රසංශා කළ යුතු අරිය ධ්‍යානයන් යැයි ධ්‍යානයන් දෙකොටසක්ම ඇති බව විග‍්‍රහ කර පෙන්වා වදාළ ගෝතම බුදුපියාණන්වහන්සේ මෙම ගෝපක මොග්ගල්ලාන සූත‍්‍රයෙහිම මේ අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන්හි ගති ලක්ෂණයන් හි ඇති වෙනස්කම්ද විග‍්‍රහ කර පැහැදිළි කර දේශණා කර වදාළ සේක.

අනරිය ලෞකික ධ්‍යාන විස්තර කරමින්,
”න ඛෝ බ‍්‍රාහ්මණ සෝ භගවා සබ්බං ඣානං වණ්ණේසි
නාපි සෝ භගවා සබ්බං ඣානං න වණ්ණේසීතී”
”කථං රූපංඤච බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං න වණ්ණෙසී ඉධ බ‍්‍රාහ්මණ, ඒකච්චෝ කාමරාගපරියුට්ඨිතේන චේතසා විහරති, කාමරාගපරේතේන. උප්පන්නස්ස ච කාමරාගස්ස නිස්සරණං යථාභූතං නප්පජානාති. සෝ කාමරාගංයේච අන්තරං කරිත්වා ඣායති, පජ්ඣායති, නිජ්ඣායති අපජ්ඣායති…. එවරූපං ඛෝ බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං න වණ්ණේසි.”

බ‍්‍රාහ්මණය, භාග්‍යවතුන් වහන්සේ සියලු ආකාර වූ ධ්‍යානයන් වර්ණනා නොකරති. කාමරාග, පටිඝ ආදී පංචකාම නිවරණයන්ගෙන් වෙන් නොවූ කෙනෙකු, ධර්මයේ නොපිහිටා, යථා අවබෝධයකින් තොරව, ඇති තතු පිරිසිඳ නොදැන (නප්පජනාති) වඩන ලෞකික වූත්, අනරිය වූත් ධ්‍යානයන් මම කිසිසේත් වර්ණනා නොකරමි. අගය නොකරමි. ඒවා නිවනට උපකාර නොවන, සංසාරයේ අතරමං කරනා ධ්‍යානයෝ පමණකි.

අරිය ධ්‍යානයන් විස්තර කරමින් (ලෝකෝත්තර ධ්‍යානයන්)
”කථංරූපඤ්ච බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං වණ්ණේසී
ඉධ බ‍්‍රාහ්මණ, භික්‍ඛු විවිච්චේව කාමෙහි, විවිච්ච
අකුසලේහි ධම්මේහි සවිතක්කං සවිචාරං විවේකජං
පීතිසුඛං පඨමං ඣානං උපසම්පජ්ජ විහරති….
ඒවං රූපං ඛෝ බ‍්‍රාහ්මණ, සෝ භගවා ඣානං වණ්ණේසිති”

කාමයෙන් වෙන්වූ සිතින් යුතු, අකුසල ධර්මයෙන් වෙන්වූ සිතින් යුතු, භක්ඛු තත්ත්වයට පත්වූ කෙනෙකු ලබන පළමුවන ධ්‍යානයේ පටන්ම මම එය අරිය ධ්‍යානයන් ලැබීම යයි වර්ණනා කරමි. මේ අරිය ධ්‍යානයන් නියත පරායනයෙන්ම විජ්ජා විමුක්තිය සඳහාම උපකාර වෙයි.

කළ යුතු දේ හා නොකළ යුතු දේ පිරිසිඳ දැන (පජානාති) භව ඛය කිරීමට කැපවී කටයුතු කරන පුද්ගලයා ”භික්ඛු” යන නමින් මෙහි නම්කර තිබේ. ”භික්ඛු” යනු මහණ, මෙහෙණි, උපාසක, උපාසිකා යන සිවුවනක් පිරිසය. මේ සිවුවනක් පිරිසට අයත් සියලුම අය, ධර්මය අසා, දස්සනේන සම්පන්න වූ, සම්මා දිට්ඨියට පත් වූ ආශ‍්‍රය කළයුතු හා ආශ‍්‍රයෙන් බැහැර කර ප‍්‍රහාණය කළයුතු ධර්මයන් යන දෙකොටසම පිළිබඳ යථා අවබෝධයක් ලැබූ (කාමෙහි විවිච්ච) කාමයෙන් වෙන් වූ සිතින් යුතු (අකුසල ධම්මෙහි විවිච්ච) අකුසල ධර්මයන් සිතින් ඉවත් කරගත් නිවන් මාර්ගයෙහි යන අරිය පුද්ගලයින්ය. ඔවුන් යම් ධ්‍යානයක් වැඞීම නිසා ලබන්නේ අරිය ධ්‍යානයන්ය. එම අරිය ධ්‍යානයන් හා අනරිය ධ්‍යානයන් අතර විශාල වෙනසක් ඇතැයි මම දේශණා කරමි.

ආනාපාන සති සූත‍්‍ර දේශණාව ආරම්භයේම දක්වා ඇති පරිදි, බුදුපියාණන් මෙම සූත‍්‍ර දේශණාව කරන්නේ ”භික්ඛූ”න් සඳහාම බව විශේෂයෙන්ම එහි සඳහන් කර ඇත. (මජ්ක්‍ධිම නිකාය අනුපද වර්ගය) ”භික්ඛු” යනුවෙන් බුද්ධ භාෂිතයේ යම් තැනක නම් කළේ මහණ, මෙහෙණ, උපාසක, උපාසිකා යන සතර වරිගය සඳහාම බව අංගුත්තර නිකායේ චතුර්ථක නිපාතයේ පැහැදිළිවම සඳහන් කර ඇත. භික්ඛු යන පදයේ තේරුම භව ඛය කර දමන්නට ඇප කැපවී ක‍්‍රියා කරන, පූර්වභාග නුවණ පහළ වූ පුද්ගලයා යන්නයි. සිවුරු හැඳ මහණ වූ මහණ හා මෙහෙණි යන කොටස් දෙක පමණක්ම නොව ගිහිගෙයි වාසය කරන භව ඛය කර දමන්නට ඇප කැපවී ක‍්‍රියා කරන උපාසක උපාසිකා සියල්ලෝ ද ජාති ආගම් කුල භේදයකින් තොරවම ”භික්ඛු” යන නමින් එකල හඳුන්වනු ලැබූහ.

ත‍්‍රිපිටක ධර්මයෙහි ආනාපානසති භාවනාව පිළිබඳව විවිධ තැන්වල විවිධ ආකාරයෙන් බුදුපියාණන් දේශණාකර පෙන්වා වදාරා ඇත. මජ්ක්‍ධිම නිකායේ ආනාපාන සති සූත‍්‍ර දේශණාව යන නමින්ම විශේෂ දේශණාවක් කර ඇත. මජ්ක්‍ධිම නිකායේම ආනාපානසති සූත‍්‍ර දේශණාවට අදාළවම ගිරිමානන්ද සූත‍්‍රයේත්, සේවිතබ්බා සේවිතබ්බා සූත‍්‍රයේත් මෙම කරුණුම දේශණා කර ඇත. සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තය යැයි මීට අදාළ සූත‍්‍ර ධර්ම රාශියක්ම දේශණා කර ඇත. ආනාපාන සති භාවනාව නිවැරදිව භාවිතා කිරීම, නිවන් මඟට නොවැරදීම උපකාරවන, ඒකායන කෙටිම මාර්ගය බවද බොහෝ තැන්වලදී බුදුපියාණන්ම දේශණා කර වදාරා ඇත.

මෙලෙස බුදුපියාණන් දේශණා කර වදාළ, භික්ඛූන්ට භාවිතා කරන්නට අනුදැන වදාළ ආනාපාන සති භාවනාවට අමතරව පෙර අතීතයේ පටන්ම වේද ආගම්වල, ශිව ආගම්වල හා උපනිශද් ආගම්වල පැවත ආ භාවිතා කළ අනුගමනය කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයක්ද එකල භාවිතයේ පැවති බවට පැහැදිළි වන සාක්ෂි ආනාපාන සංයුක්තයේ එන ”අරිට්ඨ සූත‍්‍රයෙන්” මොනවට පැහැදිළි වෙයි. (සංයුක්ත නිකාය – අරිට්ඨ සූත‍්‍රය)

”අහං ඛෝ භන්තේ භාවෙමි ආනාපානසතින්ති, යථා කථං පන ත්වං අරිට්ඨ භාවෙසි ආනාපානසතින්ති, අතීතේසූ මේ භන්තේ කාමේසු කාමච්ඡන්දෝ පහීනෝ. අනාගතේසු මේ කාමේසු කාමච්ඡන්දෝ විගතෝ, අජඣත්තබහිද්ධා ච මේ ධම්මේසු පටිඝසඤ්ඤා සුප්පටිවිනිතා. සෝ සතෝව අස්ස සිස්සාමි සතෝ පස්ස සිස්සාමි ඒවං ඛෝහං භන්තේ භාවෙමි ආනාපානසති”
”අත්ථෙසා අරිට්ඨ, ආනාපානසති නෙසා නත්ථිති වදාමි. අපි ච අරිට්ඨ යථා ආනාපානසති විත්ථාරේන පරිපුණ්ණා හෝති තං සුනාහි……”
”එවං ඛෝ අරිට්ඨ, ආනාපානසති විත්ථාරේන පරිපුණ්ණා හෝතිති”

අරිට්ඨ අරහතන් වහන්සේ අරහත් තත්ත්වයට පත්වන්නට පෙර ආනාපාන සතිය නම් වූ භාවනාවක් භාවිතා කළ බවත් එය භාවනා කළ නමුත් කිසිම යහපත් ඵලයක් නොලැබූ නිසාත් බුදුපියාණන් හමුවී මේ බව ප‍්‍රකාශ කර සිටියහ. අරිට්ඨ හිමියන්ගෙන් බුදුපියාණන් කරුණු අසා දැන ප‍්‍රකාශ කර සිටියේ සම්මතයේ පවතින අනරිය වූත් ලෞකික වූත් ආනාපානසති භාවනාවක්ද ඇති බවයි. ”අරිට්ඨ ඔය ආකාරයේ නිවන් මගට උපකාර නොවන, ලෞකික ධ්‍යාන ලබාගත හැකි ආනාපන සති භාවනාවක්ද ඇත. එවැන්නක් නැතැයි මම නොකියමි. මම මගේ ශ‍්‍රාවකයන්ට අනුදැන වදාළ නිර්දේශ කරන ආනාපාන සති භාවනාව වෙන එකකි” යනුවෙන් පවසා අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය විස්තර වශයෙන් දේශණා කර පෙන්වා වදාළහ. ”මෙය භාවිතා කර අරිය මඟඵල හා ධ්‍යාන පූරණය කරගන්න. අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසතිය බැහැර කරන්න.” යැයි ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ.

බුදුපියාණන්වහන්සේද බෝධිසත්ව යුගයේ වසර හයක් තිස්සේම විවිධ දුෂ්කර ක‍්‍රියා කරමින් අනුගමනය කළේ මෙවන් අනරිය වූත් ලෞකික වූත් නියත ප‍්‍රතිඵලයක් ලබාගත නොහැකිවූත් ආනාපාන සති භාවනා ක‍්‍රමයකි. එය තමන් වහන්සේම අත්දැක තිබූ නිසාත් එම භාවනා ක‍්‍රමයන් ප‍්‍රාණයාම, හතයෝග ආදී විවිධ නම් වලින්ද කසින භාවනා ක‍්‍රම ලෙසින්ද එවකට ජන්බුද්වීපයේ ප‍්‍රචලිතව පැවති නිසාත් පැහැදිළිවම මේ ලෞකික භාවනා ක‍්‍රම බැහැර කළහ. තමන් වහන්සේ වසර හයක්ම අත්විඳි මහා දුක් කන්දරාව තවත් කෙනෙකුට විඳවන්නට ඉඩ නොතබනු පිණිස මෙම පිරිසිදු බුද්ධ ආනාපාන සති භාවනාව විග‍්‍රහකර තම ශ‍්‍රාවකයින්ට පෙන්වා වදාළහ.

මේ අනුව හැම කෙනෙකුම නිවැරදි ආකාරයට තේරුම් ගත යුත්තේ ආනාපාන සති භාවනාවද දෙයාකාරයකින්ම භාවිතා වන බවයි. එකක් ලෞකික අර්ථයෙන් අර්ථ ගැන්වූ පෙර පටන්ම පැවත එන හුස්ම ඉහළ පහළ යාම පිළිබඳ මෙනෙහි කරමින් පිම්බීම හැකිළීම දෙස බලා සිටින අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමයයි.

අනික ධර්මයෙන් අර්ථ ගැන්වූ කාමයෙන් වෙන්විය හැකි, අකුසල ධර්මයන්ගෙන් වෙන්විය හැකි, සේවනය කළයුතු හා සේවනයෙන් බැහැර කළයුතු ධර්මයන් තේරුම් ගෙන ඒවා ආනාපානය කිරීමේ අරිය භාවනා ක‍්‍රමයයි. ආන යනු ඇතුළට ගැනීමයි. (ආනයන) පාන යනු පිට කිරීමයි (අපනයන). අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර බැහැර කිරීමයි. අස්සාස පස්සාස යන පද දෙකද හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීමට මෙන්ම, ඉන්ද්‍රියයන් හයෙන්ම ඇතුළට ගන්නා විවිධ ගති ලක්ෂණ ඇතුළට ගැනීමත් ඉන්ද්‍රියයන් හයෙන්ම පිට කර බැහැර කළයුතු දේ බැහැර කිරීමත් යන අර්ථයෙනුත් බුද්ධ භාෂිතයේ භාවිතා කළ බව ඉතාම පැහැදිළිය.

හුස්ම ඉහළට පහළට ගැනීම කෙරෙහි පමණක් සිත යොමුකර, කය දෙස බලා සිට සිතට එන අරමුණු සියල්ලම බැහැර කර දැමීමෙන්ද සිත සමථයට පත්වීම සිදුවේ. මේ ආකාරයට සිත සමථයට පත්කර ගැනීම මගින්ද රාග, ද්වේෂ සිතුවිලි වලින් බැහැරව, එවන් අරමුණු යටපත් කර, ධ්‍යානයන් ලබාගත හැකි ක‍්‍රමයක් ද තිබේ. එය ලෞකික වූත්, අනරිය වූත් බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ ආනාපාන සති භාවනා ක‍්‍රමයයි. මෙහිදී වන්නේ රාග, ද්වේෂ, මෝහ අරමුණු, සිතිවිලි තාවකාලිකව යටපත් කිරීමේ ක‍්‍රියාදාමයක් සිදුවීම මිස රාග, ද්වේෂ, මෝහ අරමුණු සහමුළින්ම ඉවත්කර දමා ”භව” නිරෝධ කරන අරිය ක‍්‍රමයක් නොවේ. උපාදාන නිරෝධ කර, ”භව” නිරෝධ කිරීමේත්, භව නිරෝධ කර ජාති නිරෝධ කිරීමේත් අරිය ආනාපන සති භාවනාව වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ භාවිතා කළ එකක්ද නොවේ. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ජීවමානවීමත් සමඟම මතුවී එන භාවිතයට ගත හැකි මෙම ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතා කිරීමෙන්ම පමණක් උතුම් නිවන් අවබෝධයද පූර්ණ කර ගත හැකිය. ඒ සඳහා බුද්ධ දේශණාවෙන් ගෙනහැර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේත්, ඊට සම්බන්ධ තවත් සූත‍්‍ර ධර්ම කිහිපයකත් ධර්ම අර්ථයම විග‍්‍රහකර යථා පරිදි පෙන්වාදී කළයුතු හා නොකළ යුතු යන දෙපැත්තම තේරුම් කර පෙන්වා දිය යුතුමය.

රාග, ද්වේෂ ගති ලක්ෂණයන් තාවකාලිකව දවාහැර, යටපත් කරදමා ලබන ලෞකික වූත්, අනරියවූත් ධ්‍යානයන් ලැබීමෙන් නිවන් අවබෝධය සඳහා මාර්ගඵල පූර්ණ කර ගැනීම හෝ ප‍්‍රඥා විමුක්තියට පත්වීම හෝ සිදුවන්නේ නැත. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසාදැන, තේරුම් ගෙන තම තමන්ගේම සිත් කිළිටි වන්නේත්, තමන්ගේ සිත තුළට රාග, ද්වේෂ, මෝහ අරමුණු ඇතුලු කරගන්නේත්, තම කැමැත්තෙන්ම බවත් ඒ කැමැත්ත අවිද්‍යාව නිසා නොදන්නාකම නිසා තමන්ම ඇති කරගත් තණ්හාව බවත් තේරුම් ගත යුතුය.

බුදුපියාණන් දේශණා කර වදාළ ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ එන මුල් පේළි හතර ගෙන සළකා බැලුවොත්,

දීඝංවා අස්සසන්තෝ දීඝං අස්සසාමිති පජානාති
දීඝංවා පස්සසන්තෝ දීඝං පස්සසාමිති පජානාති
රස්සං වා අස්සසන්තෝ රස්සං අස්සසාමිති පජානාති
රස්සං වා පස්සසන්තෝ රස්සං පස්සසාමිති පජානාති

මෙහි ”පජානාති” යනුවෙන් වචනයක් භාවිතාකර ඇත. මෙහි විරුද්ධ පදය ”නප්පජානාති” යන්නයි. අරිය භාවනා ක‍්‍රමය තේරුම් ගැනීමේදී පජානාති යන පදය ඉතාමත් වැදගත් පදයකි. පජානාති, පරිජානාති, පරිජානං යන පදවල තේරුම පිරිසිඳ දැන ගැනීම යන්නයි. ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීම යන්නයි. ධර්මය අසා දැන, ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගත් කෙනෙකුට මෙම අරිය ආනාපාන සතිය නිවැරදිව භාවනා කළ නොහැකිය. සත්‍යය අවබෝධකරගත්, දස්සනේන සම්පන්න වූ සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයා අරිය ධ්‍යානයක් වඩන්නට ද සුදුසු වූ කෙනෙකි. ”පජානාති” යන්නෙහි තේරුම එයයි.

ධ්‍යානයක් ලබා ගත් කෙනෙකුට ධ්‍යාන ක‍්‍රියාකාරීත්වය පවත්වා ගත හැකි වන්නේ ධ්‍යානයකට සම වැදී සිටින කාල පරාසයක් තුළදී පමණකි. ධ්‍යානයකට සම වැදුණු ධ්‍යානලාභියාට රාග, ද්වේෂ යන කෙළෙස් කොටස් දෙක තාවකාලිකව යටපත් කර කෙළෙස් දවා හැර යම් සුවයක්, සහනයක් ලබා ගත හැකි වන්නේ ඒ ලබාගත් ධ්‍යානයට සමවැදී කාලය ගත කරන අවස්ථාවන්හි දී පමණි. ධ්‍යානයට සම නොවැදුණු අවස්ථාවන්හිදි ධ්‍යානලාභියා තුළද මෝහය ක‍්‍රියාත්මක වන නිසා රාගයෙන් ද්වේෂයෙන් කටයුතු කිරීමේ සංසාර පුරුද්ද යළිි පණ ගැන්වී, නැවතත් පෘථග්ජන පුද්ගලයෙකු බවටම ඔහු පත් වෙයි. මේ අනුව ධ්‍යාන සුවය ලෞකිකත්්වය තුළින්ම ලබා ගන්නා ලෞකික සුවයක් මිස ලෝකොත්තර නිවන් සුවය නම් නොවේ.

සම්මා දිටිඨියට පත් වූ ශ‍්‍රැතවත් අරිය ශ‍්‍රාවකයා ලබන ඵල සමාපත්තිය හා ධ්‍යාන ලාභියෙකු ධ්‍යානකට සම වැදීමෙන් ලබන ධ්‍යාන සුවය යනු දෙයාකාර වූ තත්ත්වයන් දෙකකි. ධ්‍යානලාභියෙකුට සම්මාපත්තියකට සමවැදීමේ හැකියාවක් නැත. සමාපත්තියට සම වැදෙන්නට නම්, ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට ම පත්ව, ”සං” වලින් මිදී නිදහස් වන ක‍්‍රමය ද තේරුම් ගත් ” සම්මා” අංගයන් සම්පූර්ණයෙන් ම අවබෝධ කරගත්, ශ‍්‍රැතවත් අරිය පුද්ගලයෙක් විය යුතුයි. ධ්‍යානයකට සමවදින්නට ඕනෑම පෘථග්ජන පුද්ගලයෙකුටත් හැකිය.

ධ්‍යාන ක‍්‍රියාකාරීත්වය ධ්‍යානයට සම වැදුණුු කාල සීමාවට පමණක් ම සීමා වන අතර මාර්ග ඵල සමාපත්තියට පත් වූ අරිය උත්තමයන් වහන්සේ කෙනෙකු තම ඉතිරි මුළු ජීවිත කාලයමත් නිවන් අවබෝධය සම්පූර්ණ කරගන්නා තුරුම මතුවටත්, සම්මා දිට්ඨියෙන් යුතුව ම කාලය ගෙවයි. ඒ අනුව රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මිදී නිදහස් වීම යන අර්ථයෙන්ම සම්මා දිට්ඨියද, සමාපත්තිය ද, ඵලසමාපත්තියද යන සියල්ලම එකම ක‍්‍රියාකාරකමකි. නමුත් ධ්‍යානය යන්න මීට වඩා වෙනස්ය. ධ්‍යානයක් ලැබීමේදී රාගය හා ද්වේෂය යන කෙළෙස් ගති දෙක පමණක් තාවකාලිකව දවා හැර, කෙළෙස් යටපත් කර ගැනීම සිදු වේ.

”යෝ පටිච්ච සමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති” යනුවෙන් පෙන්වා වදාළ පටිච්ච වීම හා සං උත්පන්න වීම – සං උදයවීම දැක නොගත් කෙනෙකුට, ඵල සමාපත්තියට සමවැදීමට ද නොහැකිය. සමුදය නිරෝධ කරමින්, නිරෝධගාමී පටිපදාවෙන්ම කාලය ගෙවිය හැක්කේත් චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් අරිය උත්තමයෙකුට පමණි.

ආධ්‍යාත්මික වශයෙන් තමා තුළින් තමන්ම ලබා ගන්නා චෛතසික පාරිශුද්ධතාවයත්, මානසික පාරිශුද්ධතාවයත් යන දෙකම ලබා ගන්නට නම් සීලයෙන් සංවරවීමත්, සමාධියෙන් සංසිඳවීමත්, ප‍්‍රඥාවෙන් සම්මා අංගයන් සම්පූර්ණ කර ගැනීමත් යන තුන් ආකාර වූ ප‍්‍රතිපදාව ම භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුමය. සිත හා මනස යන දෙකම සංවර වන්නේ ඉන්ද්‍රියයන් සංවර කරගත් පසුවමය. ඒ සමඟම ජීවිතයේ එදිනෙදා කරන, කියන, හිතන සාමාන්‍ය කටයුතුද, ඇවතුම් පැවතුම් ද, කල්කිරියාවන් ද, බාහිර හැසිරීම් රටාව ද, ආකල්පයන් ද විශේෂයෙන් ම ලෝකය පිළිබඳව මෙතෙක් පැවති දෘෂ්ඨිය ද, දැක්ම ද වෙනස් වී, යහපත් අතට හැරී, භාවනාවෙහි නියම සුවය, සහනය අත්විඳ ගන්නටත් හැකි වෙයි.

මේ අනුව බුද්ධ ධර්ම විග‍්‍රහයේ ”භාවනා” යන පදයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළ ගාම්භීර පිළිවෙත් සමූහය හා වෙනත් පෙරදිග ආගම් වල පෙන්වා දුන් ධ්‍යානයන් ලබා ගැනීමේ පිළිවෙත එකක් නොව පිළිවෙත් දෙකක් බව පැහැදිළිවම හා පිරිසිදුවම වෙන් කොට අවබෝධ කර ගත යුතුය. ගල් පිළිමයක් සේ එක තැනකට වී, නොසෙල් වී, සමාජයෙන් වෙන් වී, කැලයකට ගොස් ශරීරය – කය භාවිතයට පුරුදු පුහුණු කිරීම අනරිය ක‍්‍රමයයි. මෙහිදී තම හුස්ම රැුල්ල දෙස බලා සිටීම, අස්වාස ප‍්‍රස්වාස කිරීම දෙස අවධානයෙන් බලා සිටීම, බඩ පිම්බීම, බඩ හැකිළීම දෙස අවධානයෙන් බලා සිටීම, වායෝ කසීන භාවනාවකි. වායෝ කසිනය ඇතුලු කසින භාවනා ක‍්‍රම දහයක්ම විසුද්ධි මාර්ගයෙහි පෙන්වා දී ඇත. ධ්‍යානයක් ලබා ගැනීමට මේ කසින භාවනා ක‍්‍රම භාවිතා කිරීම ප‍්‍රමාණවත් බව අපිදු පිළිගනිමු. නමුත් බෞද්ධයින් ලෙස ඒකායන පරමාර්ථය වන්නේ ධ්‍යානයන් ලබා ගැනීම නොව මඟඵල ලබා ගැනීමයි. බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ ”දස අනුස්සති” භාවනා ක‍්‍රමයන් භාවිතා කිරීමෙන් මිස වෙනත් කිසිම අනරිය කසින භාවනා ක‍්‍රමයකින් විපස්සනා, අනුපස්සනා භාවනාවක් සිදු නොවන අතර කෙළෙස් ප‍්‍රහාණය කිරීමක් සිදු වන්නේ ද නැත. සමථ භාවනාවකින් කෙළෙස් තාවකාලිකව යටපත් වන අතර විපස්සනා, අනුපස්සනා භාවනාවකින් කෙළෙස් සහමුළින්ම උදුරා දමා, නික්ලේශී සිතක් හා මනසක් ඇති කර ගත හැකි වෙයි. වෙනත් කිසිම ආගමක දර්ශනයක හෝ විද්‍යාවක හෝ පෙන්වා දී නැති නමුත් බුද්ධ ධර්මයෙහිම පමණක්ම පෙන්වා වදාළ ආසවක්ඛ්‍යය ඥාණය ලබා ගැනීමෙන් මිනිසෙකු ලෙසින් උපත ලැබූ කෙනෙකුටම පමණක් ප‍්‍රඥා විමුක්තියට ද පත්විය හැකිය. ආසවඛ්‍යා ඥාණය උපකාර වන්නේ, මෙතෙක් සංසාර රිය ගමනට (ආහාර) ඉන්ධන සැපයූ දිට්ඨාසව, කාමාසව, භවාසව හා අවිද්‍යාසව යන ආසව, අනුසය කෙළෙස් කොටස් සහමුළින්ම ප‍්‍රහාණය කරදමා, සිත හා මනස යන දෙකම පිරිසිදු තත්ත්වයට පත්කර ගන්නටය. ආසවක්ඛ්‍යය කිරීමේ, ආසව සහමුළින්ම ගළවා, කපා දැමීමේ ඥාණ ශක්තිය ලබා ගත් තැනැත්තාට තම සිත තුළින් අභ්‍යන්තර වශයෙන් උපත ලබන සියලුම කෙළෙස්ද, ආගන්තුක වශයෙන් චිත්තසංථාතානයට බාහිර වශයෙන් ඇතුළු වන්නට එන සියලු කෙළෙස් ද සහමුළින්ම කපාහැර, චිත්තසංථානය හා මනස යන දෙතැන ම එකවර පිරිසිදු කරගත හැකි වෙයි. රාගක්ඛ්‍යය කළ හැකි වෙයි. ද්වේෂක්ඛ්‍යය කළ හැකි වෙයි. මෝහක්ඛ්‍යය කළ හැකි වෙයි. කම්මක්ඛ්‍යය කළ හැකි වෙයි. ඒ අනුව ආසවක්ඛ්‍යය කළ හැකි වෙයි. අනුසයක්ඛ්‍යය කළ හැකි වෙයි. මේ සුවිශේෂි බුද්ධ ඥාණය සම්පූර්ණ කර ගන්නට උපකාර වන්නේ, පටිච්චසමුප්පාද ධර්මාවබෝධය මිස ධ්‍යානයන් ලැබීම නොවේ. හය වසරක් ම නොවිඳිනා දහදුක් විඳ එදා සම්මතයෙන් විමුක්තිය ලෙස සැළකු ධ්‍යානයන් අටමත් ලබාගත් සිද්ධාර්ථ බෝසත්තුමා තමන් ලබාගත් මේ ධ්‍යානයන්ගෙන් කිසි සේත් ම සෑහීමකට පත් නොවීය.තමන් සෙවූ ප‍්‍රඥා විමුක්තිය, නිවන මේ ධ්‍යානයන්ගෙන් ලබා ගත නොහැකි බව පසක් කොට දැක පස්වග තවුසන් ද අත්හැර ගයා බෝධීන් වහන්සේ අසළදී අවබෝධ කරගත්තේ, පටිච්චසමුප්පාද ධර්මයයි. ලැබූ පටිච්ච සමුප්පාද ධර්මාවබෝධය නිසාම පුබ්බේනිවාසානුස්සති ඥාණයද උපදවා පහදා ගත්හ. ඒ අනුව ආසව, අනුසය කපාහැර දමා සංයෝජන ප‍්‍රහාණය කර දමා ප‍්‍රඥා විමුක්තියට ම පත්වූහ. බුද්ධත්වයට ම පත්වූහ.

Share Button

භාවනා කිරීමේ ඒකායන පරමාර්ථය

සිත හා මනස සංවර කරගෙන පාලනය කර ගැනීම සිත හා මනස කෙළෙස් වලින් තොරව පිරිසිදු තත්ත්වයට පත්කර ගැනීම චේතනාව පිරිසිදු කරගෙන යහපත් සිතුවිලි භාවිතයට ගැනීම නූපන් කෙළෙස් යළි නූපදින ලෙසින් ම අනුත්පාද ලෙසින් ම ප‍්‍රහාණය කිරීම හා කෙළෙස් වලින් තොර වූ පිරිසිදු සිතක් හා මනසක් දිගටම පවත්වා ගන්නට පුරුදු පුහුණු වීම භාවනා කිරීමේ පරමාර්ථය විය යුතුය. කය දෙස, ශරිර කූඩුව දෙස බලා කය භාවනාවට යොමු කිරීමක් බුද්ධ දේශණාවේ නම් පෙන්වා දී නැත.

ඒවාගේ ම අද බොහෝමයක් ම භාවනා මධ්‍යස්ථානවල පෙන්වා දෙන පරිදි සිත හා මනස අසඤ්ඤී තත්ත්වයට පත් කරවන, අක‍්‍රීය තත්ත්වයට පත් කර වීමක්ද බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාවට නම් නොගැළපෙයි.

ඉන්ද්‍රියයන්හි අසංවර ක‍්‍රියාකාරීත්වය නිසා උපත ලබන්නා වූ ක‍්‍රියාවේ ”සං” වේගය පාලනය කරගන්නට කායේ කායානුපස්සනා කිරීම ද, ක‍්‍රියාවේ අනවශ්‍ය වේගය නිසා සිතේ හා මනසේ උපත ලබන රත් වීමෙන්, ගිනි ගැනීමෙන් උපත ලබන වේදනාව පාලනය කරගන්නට වේදනාසු වේදනානුපස්සනාවද, සිතේ ඇති වන අනවශ්‍ය චිත්තාවේගය පාලනය කරගන්නට චිත්තේසු චිත්තානුපස්සනාව ද, අනිච්ච, දුක්ඛ, අනත්ථ මෙන් ම නිරෝධානු පස්සනාවත්, පටිනිස්සග්ගානු පස්සනාවත්් වැඞීමට පුරුදු වීමෙන්, ධම්මේසු ධම්මානුපස්සනාව සම්පුර්ණ කරගැනීමත් සඳහා සතර සතිපට්ඨාන භාවනාවෙහිම යෙදිය යුතුය.

මෙය සමථ, විපස්සනා යන කර්මස්ථාන දෙකම එකවර සම්පූර්ණයෙන් ම වැඩෙන යුගනද්ධ භාවනා ක‍්‍රමයයි. ප‍්‍රායෝගික වශයෙන් සතර කමටහන් – චතුරා රක්ඛා – වැඞීමෙන් සතර සතිපට්ඨානයත් සම්පූර්ණ වෙයි. මෙහිදී දවසේ නිදා ගන්නා කාලය හැර අනෙක් සියලු අවස්ථාවලදී සතර ඉරියවුවේදීම, ඕනෑම ක‍්‍රියාවක යෙදෙන ගමන් ම, මේ සතර කමටහන් භාවිතා කරන්නට පුරුදු විය යුතුය. මෙසේ සතර කමටහන් භාවිතා කරන්නට, භාවනා කරන්නට නම් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වී, සම්මා දිට්ඨියට පත් වීම සම්පූර්ණ කර ගත යුතු පූර්ව කොන්දේසියකි. ඒ සුතමයේ ඥාණයයි.

මිනිසෙකු ලෙසින් උපත ලැබූ කෙනෙකුට තම මනසේ ශක්තිය පිරිසිදු කරගෙන, සිත ඒකරාශි කරගෙන, යම් කිසි විශේෂ බලයකින් ක‍්‍රියා කිරීමේ හැකියාවක් පවතින බවද, ලෝකය තුළදීම තමන්ගේ ම මනසේ ශක්තිය භාවිතා කරමින් ලෝකයම අතහැර ලෝකෝත්තර තත්ත්වයට පත් වීමේ හැකියාවක් හා ශක්තියක් ද ලබා ගත හැකිය. ඒවාගේ ම තම මනසේ ශක්තියම භාවිතා කරමින් සාමාන්‍ය මිනිසෙකුට කළ නොහැකි යම් යම් අධිමානසික ශක්තියකින් ක‍්‍රියා කිරීමේ හැකියාව ද මිනිසෙකුට ම ලබා ගත හැකිය. ඍද්ධි ප‍්‍රතිහාර්යයන් පෑම, අභිඥා ශක්තියෙන් ක‍්‍රියා කිරීම, පරචිත්ත විජානනය, මිනිසුන් මෝහනය කිරීමේ හැකියාව, තවත් කෙනෙකු තම වසඟයට ගැනීමේ හැකියාව, සමහරක් ලෙඩ රෝග සුව කිරීමේ හැකියාව ද මේ මානසික ශක්තියයෙන් ම කළ හැකිය. මේ දෙවනුව පෙන්වා දුන් දේ ලෞකික දේවල්ය. ඒවා නිවනට බාධාවන් මිස කිසිසේත් ම උපකාර වන දේවල් ද නොවේ.

බුදුපියාණන්වහන්සේ පෙන්වා අනුදැන වදාළ භාවනා කිරීම මඟින් දෙවනුව කී ආකාර ලෞකික බලාපොරොත්තු ඉටු කර ගැනීමට නොව පළමුව පෙන්වා දුන් ලෝකෝත්තර නිවන් සුවයට පත් වීමටම මඟ පාදා ගැනීමටය. බුදුපියාණන් දස අනුස්සති භාවනා කිරීමට කර්මස්ථානයන් ලබා දුන්නේ කල්පකාලාන්තරයක් තුළම ලෝකයට භද්‍ර වී, කිළිටි වී පවතින මනස හා සිත යළිි යළිත් කිළිටිවන්නට හේතු වූ ආසව, අනුසය සමුදය වන්නාහාම කෙළෙස් ගති ප‍්‍රහාණය කර දමා නිදහස් වීමට ආසව අනුසය සිතින් ම ගළවා උදුරා ඉවත්කර දැමීමට නිවැරදි ආකාර වූ මඟ පෙන් වීමක් කිරීමටය.

කෙළෙස්වලින් පිරුණු සිතක් සහිත අශ‍්‍රතවත් පෘථග්ජනයෙක් ලෙසින් සංසාරයි කියා ලෝකයෙන් තවත් යමක් අල්ලා උපාදානය කර ගැනීමේ බලාපොරොත්තුවෙන් ම ඉන්ද්‍රියයන් පිනවා යම් ආස්වාදයක් විඳවීමේ කැමැත්තෙන් ම මෙතෙක් ලෝකයට බද්ධ වී ක‍්‍රියා කළ පුද්ගලයෙකුට මේ සංසාර පැවැත්මේ යථා ස්වභාවය එනම් අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි දැන ගත හැකි වන්නේ බුද්ධ කල්පයක් තුළදීම පමණි. භද්‍ර කල්පය යනු සසරට බැඳී, සංසාර ගමනට තව තවත් බැඳෙන්නටම ක‍්‍රියා කරන කාලයයි. බුද්ධ කල්පය යනු සසර බැමි සිඳ දමා, සසර දුකෙන් මිදී නිදහස් විය හැකි කාල පරාසයයි. මේ අනුව භද්‍ර කල්පය හා බුද්ධ කල්පය ද වෙන් කොට දැන හඳුනා තේරුම් ගත යුතුයි.

මේ අතීත භද්‍ර කල්පය තුළ අනන්ත අප‍්‍රමාණ වාරයක් අනරිය ධ්‍යානයන් ලබා, අභිඥා ලබාගෙන, ඉර්ධි ප‍්‍රතිහාර්යයන් පාමින් දෙව් මිනිස් තලයන්හි මෙන් ම බ‍්‍රහ්්ම ලෝකවල ද, චක‍්‍රවර්ති රජුන් ලෙස ද, ලෝකය තුලම ඔබ අප සැම දෙනා ම අතරමං වන්නට ඇත. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්‍ෂාව ම සම්පූර්ණ කරගෙන අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගෙන නිච්ච, සුඛ, අත්ථ සංඥා සිතින් ම ඉවත් කර දමා, පංචකාම නීවරණ ධර්මයන්ම සිතින් ප‍්‍රහාණය කර දමා, රාගක්ඛ්‍යය කිරීම, ද්වේෂක්ඛ්‍යය කිරීම, මෝහක්ඛ්‍යය කිරීම බුද්ධ කල්පයක දීම පමණක් කරගත හැකි දෙයකි. මේ අනුව බුද්ධ කල්පයක් වු මේ වර්තමාන කාල පරාසයේදීත් අනරිය ධ්‍යානයන් ලබා ගන්නට ම භාවනාවන්හි යෙදීම, බුද්ධ දේශණාවෙහි නම් කොතැනකවත් පෙන්වා දුන් නිර්දේශකර වදාළ ප‍්‍රතිපදාවක් නොවේ. එසේ ධ්‍යානයන් ලබාගෙනම මඟඵල ලැබිය යුතුයැයි ප‍්‍රකාශ කරන්නට උත්සාහ දැරීම ද වැරදි ක‍්‍රියාවකි.

සිතක මතුවන, සිතක් කිළිටි කරවන, රාග, ද්වේෂ ආදී පංචකාම නීවරණ ධර්මයන් කෙළෙස් ගති තාවකාලිකව සිතින්ම යටපත් කර, සිත සමථයට පත්කර ගැනීම සමථ භාවනාවකින් ද කර ගත හැකිය. කල්ප කාලාන්තරයක පටන් අනන්ත සංසාරයේ දිගින් දිගටම මුල්බැස ගෙන, දිගටම පවත්වා ගෙන ආ ආසව, අනුසය ධර්මයන් – කෙළෙස් ගති සහමුළින්ම උදුරා දමා, නැවත නොඋපදින ලෙසින්ම කෙළෙස් අස්කර දැමීමට, කෙළෙස් මුල් සිඳ දැමීමට ක‍්‍රියා කිරීම කළ හැකි වන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ විපස්සනා අනුපස්සනා භාවනාවන් ප‍්‍රායෝගිකවම භාවිතා කිරීමෙනි. නිතර නිතර බහුල ලෙසින්ම භාවිතා කිරීමෙනි. ”ආසේවිතාය, භාවිතාය, බහුලීකථාය, යානි කථාය, වත්ථු කථාය, පරිචිතාය, අනුචිතාය, සුසමා රද්ධාය” යනුවෙන් පෙන්වා දුන්නේ මේ ධර්මතාවයයි.

විෂ්කම්භන වශයෙන් හා තදංගම වශයෙන් කෙළෙස් තාවකාලිකව යටපත් කර දමා යම් ලෞකික සුවයක් ලබා ගැනීම මගින්ද බොහෝමයක් දෙනා තෘප්තිමත් වන්නට ක‍්‍රියාකරන්නේ එයද සංසාර ගති පුරුද්දක් නිසාය. සමුච්ෙඡ්දප්ප‍්‍රහාණයෙන්ම කෙළෙස් ප‍්‍රහාණය කර දමා පටිපස්සදී ප‍්‍රහාණයෙන් හා නිස්සරණප්ප‍්‍රහාණයෙන් කෙළෙස් යළි නූපදින ලෙසින්ම කෙළෙස් මුල් සිඳ දමා නිදහස් විය හැකි බව ඔවුන් නොදන්නා නිසාම ධ්‍යාන ලබන්නට ක‍්‍රියා කරති. මේ අනුව ධ්‍යානයන් ලැබීමේ චේතනාවක් සිතක ඇති වන්නේ ද විඤ්ඤාණයේම ගතියක් වංචක ධර්මයක් මුල්කර ගෙනය.

උරුමයෙන්ම, උපතින්ම මිනිසෙකු ලෙසින් ලබා උපන් මනසේ ශක්තිය, යහපත් සේ යහපත් ආකාරයෙන්ම, සංවරව භාවිතා කරන්නට දක්ෂ වූ පුද්ගලයා ඥාණවන්තයෙකු, ප‍්‍රඥාවන්තයෙකු බවට පත් වෙයි. උරුමයෙන් ලබා උපන් මනසේ ශක්තිය අයහපත් ලෙසින් අයහපත් ආකාරයෙන් අසංවරව වැරදි ලෙසින් භාවිතා කරමින් තමන්ටත් බාහිර ලෝකයාටත්, ස්වභාව ධර්මයාටත් හානියක්, විනාශයක්, පාපයෙන් කිළිටි කිරීමක් සිද්ධ කරන්නට ක‍්‍රියා කරන්නේ අඥාණ, අශ‍්‍රැතවත් පෘථග්ජන ගතිය නිසයි. යෝනිසෝමනසිකාරය හා අයෝනිසෝමනසිකාරය යන දෙකම වෙන්කොට හඳුනාගන්නට තරම්වත් ශක්තියක් මනසේ නැති වූ විට මිනිස් බව කෙළෙසා ගන්නා එවන් පෘථග්ජනයින් මතු කල්ප කාලාන්තරයක් යළි මිනිස් බවක උපත ලබා ගැනීමේ උතුම් අවස්ථාව ද අහිමි කර ගන්නේය. භාවනා කළයුතු වන්නේ මෙම පංචස්කන්ධ ලෝකය තුළින් තව තවත් යමක් අල්ලා ගන්නට, එකතු කරගන්නට හෝ උපාදානය කරගන්නට හෝ නොවේ.

මේ ලෝකය තුළින් යමක් අල්ලාගෙන, උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියෙහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව පසක් කොට දැක යථාවබෝධයක් ලබා ගැනීමට ම භාවනා කළ යුතුය. යම් කිසි සැපයක්, සුවයක්, ලාභයක්, ආස්වාදයක් ලැබීමේ ආමිස බලාපොරොත්තුවෙන් යමෙක් භාවනා කරන්නේ නම්, එයද වැරදි චේතනාවකි. ධ්‍යානයන් ලබාගෙන ධ්‍යාන සුවයට පත් වීමේ අපේක්ෂාව ද නිවනට බලවත්ම බාධකයකි. ලබා ගත් ධ්‍යානයන් ද අනිච්ච බව විපරිණාමයට පත් වී වෙනස් වන බව අවසානයේ විනාශ වී ධ්‍යාන ශක්තිය ද පිරිහී, අහෝසි වී යන බව යථාපරිදි තේරුම් ගත යුතුය.

මිනිස් වාසයෙන් තොර වූ අරඤ්ඤයකට, ගසක් මුලකට, සුඤ්ඤාගාරයකට ගොස් කැලෑවකට වැදී, ගල් ගුහාවකට ගොස් මිනිස් වාසයෙන් තොර තැනකට ගොස් සමාජමය ප‍්‍රශ්ණවලින් තාවකාලිකව මිදී ජිවිතයෙන් පැනයන්නට උත්සාහ දැරීම ද භාවනා කිරීමක් වන්නේ නැත. මිනිසුන් අතරම ජීවත්වෙමින් අටලෝ දහමටම මුහුණ දී සමාජමය ගැටළු නිර්මාණය වන ආකාරය තම සිත තුළින් ම දැකගෙන, ඒවායින් කම්පා නොවී සිත කම්පනයට පත් කර නොගෙන විස්සෝප නොවී සමාජමය ප‍්‍රශ්ණ වලට නොඇලී, නොගැටී, මුළා නොවී, උපේක්ඛා සිතින් ඒවා ඉවසා විමසා දරාගෙන, ඒවායින් තමන් ද මිදී, ලෝකයාව ද මුදවා ගන්නට නිදහස් වන්නට තම සිත හා මනස සකස් කරගන්නට පුරුදු පුහුණු වීම බුද්ධ භාවනාවයි.

මේ අනුව ධර්මාවබෝධයක් නැතිව පටිච්ච සමුප්පාද ධර්මාවබෝධයෙන් තොරව, කරන්නන් වාලේ භාවනා කිරීමෙන්, ධම්මෝ සංදිට්ඨිකෝ, අකාලිකෝ, ඒහි පස්සිකෝ, ඕපනයිකෝ, පචිචත්තං වේදිතබ්බෝ විඤ්ඤුුහීති” යනාදී දහම් ගුණයන් එකක් වත් තමන් තුළ පිහිටන්නේ නැත. මේ පදවැල් මිමිනීමෙන් හෝ සජ්ඣායනා කිරීමෙන් හෝ පමණක් දහම් ගුණයන් පිහිටන්නේද නැත. මෙහිදී අනුපූරක පිළිවෙතක් ම අනුගමනය කළ යුතුය. ඒ පිළිවෙත අනුගමනය කර ධර්මාවබෝධය තුළින් නිවන අත්දැක ගත යුතුය.

ලොව පවතින, ක‍්‍රියාත්මක වන චිත්ත ශක්තිය විශ්ව ශක්තියයි. සියලු ශක්තීන්හි ප‍්‍රභවයට මුල් වන්නේත් සිතක මතු වන චිත්ත ශක්තියමයි. පිරිසිදු, ප‍්‍රභාස්වර සිතක මතු වන චිත්ත ශක්තිය සමස්ත ලෝක සත්ත්වයාටම යහපත ළගාකර දෙන ස්වභාවයේ එකක් වන අතර කෙළෙස් සහිත වූ කිළිටි සිතකින් මතුවන චිත්ත ශක්තිය සමස්ත ලෝක සත්ත්වයාටම අයහපත ළඟාකර දෙන ස්වභාවයේ එකක් වන අතර කෙළෙස් සහිත වූ කිළිටි සිතකින් මතුවන චිත්ත ශක්තිය නිසා, ඒ කිළිටි ශක්තිය නිකුත් කරණු ලබන පුද්ගලයාගේ ම සිත කිළිටි වීමට අමතරව ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මහා භූතයන් ද කිළිටි කරවන නිසා සතර මහා භූතයන්ම අනවශ්‍ය ලෙසින් කම්පා කරවන්නට ද ඒ ශක්තියම හේතු වෙයි. ඒ සතර මහා භූතයින්ගේ අනවශ්‍ය කම්පනය, භ‍්‍රමණය සමස්ත ලෝක වාසීන්ටම අයහපත්, අස්වාභාවික අනිසි ආකාර වූ ප‍්‍රතිඵල උරුම කර දෙයි.

මිනිස් චිත්තසංථානයකම ගබඩා වී පවතින, මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වන ලෝභය, තන්හාව, රාගය, ද්වේෂය, වෛරය, ක්‍රෝධය වැනි කිළිටි ගති, කෙළෙස් ගති තමන්ගේම සතුරන් ලෙසින් තමන්ටම විරුද්ධව නැඟී සිටී. මේ ගති තමා තුළම සැගවී සිට සතුරෙකු ලෙසින් තමන්ටම වින කරන බව, තමන්වම විනාශ කරවන බව, තමන්ටම දුක උරුම කර දෙන සියලු දුක් කන්දරාවන්ට ද මුල් වන බව, තම තමන්ටම තේරුම් ගැනීමට නොහැකි වීම මේ ගති තවදුරටත් තමන් තුළම වගා කරගන්නටත් එක ම හේතුවයි. මේ කෙළෙස් ගති තමන් ම තම කැමැත්තෙන් ම ළංකර ගත් ගන්නා සතුරන් ය. මේ සතුරන් ආධ්‍යාත්මිකව තමා තුළම ක‍්‍රියාත්මක වෙයි. අපායට ගමන් කරවන්නට ද උපකාර වෙයි. කෙළෙස් ගති වල නියම නිවැරදි ස්වරූපය, ස්වභාවය මෙසේ තේරුම් ගෙන හැකි පමණ ඉක්මනින් සියලු කෙළෙස් සතුරන් තම සිතින් ම ඉවත් කර දමා පිරිසිදු ගති තම සිත තුළම වගාකර ගන්නටත් මනා අවබෝධයක් ඇතිව කටයුතු කිරීම භාවනා කිරීමයි.

සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙක් ”ලෝකය” යනුවෙන් අදහස් කරන්නේත් හා ලෝකය යැයි අවබෝධ කර ගන්නේත් තමන්ගේ ම ඉන්ද්‍රියයන්ට ගෝචර වන පදපරම දැනුමට හා උගත්කමට අනුව තේරුම් ගත් බාහිර ලෝකයටයි. බුද්ධ දේශණාවේ ”ලෝකය” ලෙසින් පෙන්වා දුන් පරමාර්ථ ධර්මයන් පිළිබඳව නිවැරදි හා පිරිසිදු දැක්මක් ලබා ගන්නට නම් තම ඇස, කන, මනස ආදී ඉන්ද්‍රියයන් අනුසාරයෙන් ලබාගන්නා දැනුමට වැඩි දැක්මක් ලෝකය පිළිබඳව ම ලබාගත යුතුය. ඉන්දියයන් අනුසාරයෙන් ලෝකය පිළිබඳව ලබන මේ දැනුම අසම්පූර්ණය. එය අනුමාන ඥාණයක් පමණක් නොව තම තමන්ගේම දෘෂ්ඨිය නිසා තමන්ම සිතින් මවාගත් ඌනතා සහිත අන්‍යතාභාවයට නිතර පත්වන්නට හැකි, පුද්ගලයාගෙන් පුද්ගලයාටම වෙනස් වන දැනුමකි. පුද්ගලයාගේ මනසේ ශක්තිය හා පිරිසදුකම අනුව ”ලෝකය” මනින මිම්ම ද වෙනස් වෙයි. මේ මිම්ම, ”මානය” අස්මි මානය ලෙසින්ද බුද්ධ දේශණාවෙහි පෙන්වා දෙයි. මම, මාගේ, මගේ ආත්මය යන වැරදි මිනුම – අස්මිමානය – ආත්ම දෘෂ්ඨිය වැරදි එකකි. මම නොවේ, මාගේ නොවේ, මාගේ ආත්මය නොවේ යන්නද අනාත්ම වාදයක් මිස උච්ෙඡ්දවාදයක් මිස බුද්ධ දේශණාවට ගැළපෙන ධර්මයක් නොවේ.

හේතුඵල පරම්පරාවක් – පටිච්චසමුප්පන්න ධර්මතාවයක් පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත් පසුව මෙතෙක් කල් ලෝකය ගැන තිබු වැරදි අවබෝධය වැරදි නිගමනය වෙනස් වෙයි. ”මම යැයි ගැනීමට, මාගේ යැයි ගැනීමට, මාගේ ආත්මය’’ යැයි ගැනීමට සුදුසු කිසිවක්ම මෙහි නොවන්නේ ම ය, යන්න හේතුඵල ධර්මතාවය තුළින්ම තේරුම් ගත යුතුය. මම මාගේ යනු එක අන්තයකි. මම නොවේ, මාගේ නොවේ, යනු තවත් අන්තයකි. දිට්ඨ, සුත, මුත, විඤ්ඤත යන සංසාර ගති පුරුදු නිසාත්, පංචස්කන්ධය ම උපාදානය කර ගන්නට ඇති සංසාර පුරුද්ද නිසාත් මෝහය හා අවිද්‍යාවෙන් අතෘප්තිමත්ව ලෝකයට බැඳෙන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා සිතක ක‍්‍රියාත්මකව පවතින නිසාමය.

බුදු දහමෙහි පෙන්වා වදාළ අතීන්ද්‍රිය ඥාණයන්, එනම් බුද්ධ ඥාණයන් ලබා ගත හැකි වන්නේද මිනිසෙකුට ම ය. තමන්ගේම චිත්තසංථානය හා මනස කිළිටි වී, මුවහ වී, මුල් බැස ගෙන පවතින කෙළෙස් ගති සහමුළින්ම උදුරා දමන්නට දක්ෂයෙකු වීමෙන්ම, යළි යළිිත් සිතේ කෙළෙස් ගති උපත ලබන ක‍්‍රම වේදය ආයතනික රටාව සහමුළින් ම උදුරා දැමීම ද කළ හැකිය. මේ බුද්ධ ශක්තියයි . බුද්ධ ඥාණයි. මෙවන් වු බුද්ධ ශක්තියක්, බුද්ධ ඥාණයන් ලබා ගැනීමද ක‍්‍රමානුකූලව අනුපුරක වූ ක‍්‍රියාමාර්ගයකින් ම ලබා ගත යුතුය. ජානතෝ—පස්සතෝ—අරහතෝ—සම්මා–සම්බුද්ධස්ස යනුවෙන් විග‍්‍රහ කළේ මේ අනුපූරක පිළිවෙතයි. බුදු දහමෙහි පෙන්වා වදාළ මෙම බුද්ධ ඥාණයන්, අතීන්‍ද්‍රිය ඥාණයන් – බුද්ධ ශක්තීන් වෙනත් ආගම් සංකල්ප වලින් හෝ දේව ආගම් වලින් හෝ පෙන්වා දුන් ගූඪ අනුභූතියක් හෝ ඊශ්වර නිර්මාණයක් හෝ විශ්ව කර්මයෙකුගේ ක‍්‍රියාවක් හෝ ආශ්චර්යවත්, අභව්‍යය, අද්භූත බලයකින් ලබා ගන්නා දෙයක් හෝ නොවේ. මෙය යම් කිසි සංකල්පයක් ද නොවේ. මිනිසෙකුටම තම මනසම මෙහෙයවා යෝනිසෝ මනසිකාරයෙන් ක‍්‍රියාකර ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවෙහි හැසිරීමෙන්ම ලබා ගත හැකි සම්මා විමුක්තියයි. පිළිවෙතින් පෙළගැසිය යුත්තේ සම්මා විමුක්තිය ලබා ගැනීම සඳහාමය. මේ නිසාම මුල් බුදු දහමෙහි අභිඥා හෝ ධ්‍යානයන් හෝ ඉර්ධි ප‍්‍රතිහාර්යන් පෑම හෝ අගය කොට වර්ණනා කර නැත.

මුල් බුදු දහමෙහි ප‍්‍රඥා විමුක්තියම අෂ්ටාංගික මාර්ගයම අගය කර සංදේශණාව තුළින් ”සං” විග‍්‍රහ කරදී සංසාර ගැටළුව අවබෝධ කර ගැනීමේ පිරිසිදු හා සරළ මෙන්ම නොවරදින මාර්ගයක් පෙන්වා වදාරා ඇති නමුත් බුද්ධඝෝෂ හාමුදුරුවෝ පාලි අටුවාවන් ඉදිරිපත් කිරීමත් සමඟ ඒ උතුම් බුද්ධ ධර්මය යටපත් වී අභිඥා, ධ්‍යාන, ඍද්ධි ප‍්‍රතිහාර්යයන් අගය කරන ලෞකිකත්වය තුළින්ම ලබා ගන්නට උත්සාහ කළ, දෙව්, මිනිස් සැප විඳ කෙළවර නිවන් ලබන්නට ප‍්‍රාර්ථනා කිරීමේ සිරිතක් බෞද්ධ ලෝකයා තුළද ප‍්‍රචලිත විය. අද දෙව් මිනිස් සැප පතන බෞද්ධයින් මිස නිවන් දකින්නට ක‍්‍රියා කරන්නන් නැත.

සන්ථාන ගත වූ කෙළෙස්, එනම් චිත්තසංථානයේ තැන්පත් වූ රාග ගති හා ද්වේෂ ගති තාවකාලික වශයෙන් සිතින් යටපත් කර, චේතෝ විමුක්තියට පත්වීමේ ක‍්‍රමය බොහෝ පෙරදිග ආගම් සංකල්ප වලින්ද ප‍්‍රායෝගිකවම පෙන්වා දෙති. නමුත් මනස මුවහ වී පවතින මෝහ ගති සහමුළින්ම උදුරා දමා රාගය, ද්වේෂය, මෝහය යළි සිතේ නොඋපදවන ලෙසින්ම පිරිසිදු කරගන්නට අනුත්පාද නිරෝධගාමී මාර්ගයක් ඇති බව පෙන්වා වදාළේ බුද්ධ ධර්මයේම පමණි. මේ සඳහා උපකාරවන්නේ ආසවක්ඛ්‍යා ඥාණය ලබා ගැනීම මිස ඒ සඳහා වෙනත් කිසිම ක‍්‍රමයක් ද නැත. බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ මේ උතුම් විමුක්ති මාර්ගය යළිත් ලෝකයාට මතුකර පෙන්වා දී නිවන් අවබෝධ කරගන්නට තරම් පින් පිරූ මිනිසුන්ව නිවැරදිම නිබ්බානගාමී මාර්ගයට යොමු කරවීමේ ඒකායන පරමාර්ථයෙන් ම, මේ උතුම් බුද්ධ ධර්මය ලෝකයාට දේශණා කරන්නටත්, ලියා ප‍්‍රකාශයට පත් කරන්නටත් තීරණය කළෙමි.

මෙය තම තමන් ම ධර්මය අසා දැන, සුතමයේ ඥාණය ලබාගෙන, අනුගමනය කළ යුතු අනුපූරක නිවන් මාර්ගයයි.

Share Button

භාවනාව භාවිත කල යුත්තේ කුමකටද?

කෙළෙස්වලින් සිත කිළිටි වී, මනස මොට්ට වී, තණ්හාවෙන් හා අවිද්‍යාවෙන් ක‍්‍රියා කරන පෘථග්ජන පුද්ගලයෙකුට තම සිත හා මනස ශුද්ධ පවිත‍්‍ර කර, පිරිසිදු කර ගන්නට මාර්ගයක් හෝ ක‍්‍රමවේදයක් හෝ නවීන තාක්ෂණයෙන් හෝ නවීන විද්‍යාව තුළින් හෝ සොයා දැන ගත නොහැකිය. එවැන්නක් මුදලකට මිල දී ගැනීමට ද නොහැකිය. බුද්ධ දේශණාවේ දේශණාකර වදාළ බුද්ධ ධර්ම මාර්ගයම නිවැරදිව අසා දැන ඒ මාර්ගය ම නිවැරදිව ම අනුගමනය කිරීමෙන් ම මිනිස් සිත හා මනස යන දෙකම පිරිසිදු කරගන්නට මිනිසෙකුව උපත ලත් හැම කෙනෙකුටම අවස්ථාවක් ද ලැබෙයි. බොහෝ මිනිස්සු මේ උතුම් අගනා අවස්ථාවෙන් නිසි ඵල ප‍්‍රයෝජන ගන්නට නොදනිති. උගත්කමෙන් හා බුද්ධිමත්කමෙන් මත් වූවන්ට ද මේ අවස්ථාව ලබා ගන්නට ඒ ඒ පුද්ගලයන්ගේම උගත්කම හා බුද්ධිමත්කම ම බාධාවක් ලෙසින් ද හේතු වෙයි.

සිත හා මනස පිරිසිදු කරගෙන ප‍්‍රඥා විමුක්තියට පත් වන්නටත් අකුප්පා චේතෝ විමුක්තියට පත් වන්නටත් නම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ සීල, සමාධි, පඤ්ඤා යන ධම්මානුධම්ම ප‍්‍රතිපදාවම අනුගමනය කළ යුතුය. ”භාවනා කළ යුතු වන්නේ සිල් රැකිය යුතු වන්නේ සිත දියුණු කර ගන්නටය” යන වැරදි මතයක්, වැරදි අදහසක් අද බොහෝ දෙනා තුළ ඇත. බෞද්ධයා තුළට ද මේ වැරදි මතයම කාවද්දා ඇත. බොහෝමයක් ගිහි පැවිදි බෞද්ධ උගතුන් හා සමාජයේ පිළිගත් දේශකයින්වහන්සේලා පවා මේ වැරදි මතයේම පිහිටා වැරදි මතයම ලෝකයාටත් දේශණා කරන බවද පෙනෙන්නට ඇත. මේ වැරදි මතය පළමුවෙන්ම නිවැරදි කර ගත යුතුය. භාවනා කළයුතු වන්නේ සිත දියුණු කරගන්නට හෝ සිත සංවර්ධනය කර ගන්නට හෝ නොව සිත තුල මුල් බැස ගෙන පවතින හා සිත තුළිින්ම මතු වී එන කෙළෙස් ගති, කිළිටි ගති ප‍්‍රහාණය කර දමා, ඒ කිළිටි ගති සහමුළින්ම උදුරා ඉවත් කර දමා, සිත හා මනස යන දෙකම පිරිසිදු කර ගැනීමටය. ධනාත්මක චින්තනය, සංවර්ධනය, දියුණුව යන සම්මත පද වලින් අදහස් කරන්නේ ලෞකික හා භෞතික අතින් යම් කිසි දැනුම් සම්භාරයක් උපාදානය කර ගැනීමකි. කෙළෙස් වලින් පිරී පවතින කිළිටි සිතක් ක‍්‍රියාත්මක වන ආකාරය නිවැරදිව දැක ගැනීමට ඒ ඒ පුද්ගලයාටම බාධකයක් වන්නේත් ඒ ඒ පුද්ගලයාගේම සිතින් උපාදානය කරගත් මේ ලෞකික දැනුම් සම්භාරය ම විය හැකිය.

සිත කිළිටි වී, මනස මුවහ වී, මනස මොට්ට වී මෙවන් කෙළෙස් ගති තමා තුළ ම මුල් බැස ගෙන ක‍්‍රියාත්මක වන බව මහන්තත්වයෙන් මත් වූ, උද්ධච්චයෙන් විස්සෝප වූ පුද්ගලයෙකුට තේරුම් ගත නොහැකි වෙයි. මේ අනුව තමාගේම මනෝමය කය තුළම, කල්ප කාලාන්තරයක් පුරාවටම මුල්බැසගෙන ක‍්‍රියාත්මක වූ දැනටත් කි‍්‍රයාත්මකව පවතින ලෝභ, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති තමන් තුළින්ම දැන දැක හඳුනා ගත යුතුය. මේ කෙළෙස් ගති පවතින තුරාවට යළි යළිත් පුන පුනාම ඒ කෙළෙස් ගතීන්ම සිතේ උපදින බවත් (පුනබ්බවෝති යායං තන්හා) අවබෝධ කරගෙන මේ කෙළෙස් ගති සහමුළින්ම තම චිත්තසංථානයෙන් උදුරා ඉවත්කර දමන්නටත් නැවත ඒ කෙළෙස් ගති නොඋපදින ලෙසින් අනුත්පාද නිරෝධයෙන්ම ප‍්‍රහාණය කරන්නටත් සිත හා මනස යන දෙතැනම ශුද්ධ පවිත‍්‍ර කර ගන්නටත් සීල, සමාධි, පඤ්ඤා යන තුන් ශික්ෂාවම සම්පුර්ණ කර ගන්නටත් භාවනාව යන භාවිතයම පුරුදු කරගත යුතුය. සමථ, විපස්සනා යන යුගනද්ධ භාවනාවම මේ සඳහා භාවිතා කළ යුතුය.

මේ අනුව භාවනා කළයුතු වන්නේ සිත හා මනස යන දෙතැනම පිරිසිදු කර ගන්නටය. ගත, සිත දෙකම සැහැල්ලු කර ගන්නටය. කෙළෙස් බර බහා තබන්නටය. මෙතුවක් කලක් සසරට බැඳ තිබූ කෙළෙස් බැමි කපා දමා බැම්මෙන් මිදී නිබ්බාන තත්ත්වයට පත් වන්නටය. සිතේ මතු වන භය, කම්පනය, චලනය, වේදනාව, විස්සෝපවීම නැතිකර දමා සිත ඒකාග‍්‍රතාවයකට පත් කර ගන්නටත් සිතේ මතු වන මේ ඒකාග‍්‍රතාවය දිගින් දිගට ම සිත තුළ පවත්වා ගෙන යන්නටත් ඒ අනුව සිතේ මතු වන අරමුණු සියල්ලම පැහැදිළිව හා පිරිසිදුව දැක තේරුම් ගන්නටත් හැකි ශක්තියක් ලබා ගැනීමටත් භාවනාවෙන් හැකිවෙයි. මේ අනුව සිතේ මතු වූ අරමුණට අදාළ වූ චේතනාව පිරිසිදු යහපත් එකක්ද, අපිරිසිදු කෙළෙස් උපද්දවන එකක්දැයි නිගමනය කරන්නට ශක්තියක් එවැනි භාවිත සිතකට ලැබෙයි. ඒ එවන් සිතක් ක‍්‍රියා කරන්නේ යෝනිසෝ මනිසිකාරයෙන් යුතුවමය. භාවිතා කළයුතු යහපත් චේතනා සහිත අරමුණු භාවිතා කරන්නටත්, භාවිතා නොකළයුතු අපිරිසිදු චේතනා සහිත අරමුණු භාවිතයෙන් ඉවත් කර ප‍්‍රහාණය කර දමා සිත ශුද්ධ පවිත‍්‍ර කර ගන්නටත් එවන් යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක‍්‍රියා කරන්නා දක්ෂයෙකුද වෙයි. සක්කෝ, උජුච, සුජූච, සුවචෝචස්ස, මුදු අනිතිමානී යනාදී වශයෙන් කරණීයමත්ත සූත‍්‍රයේ පෙන්වූයේ මේ දක්ෂකමයි.

මෙම පරීක්ෂණය, නිරීක්ෂණය හා නිගමනය නිරන්තරයෙන් ම භාවිතා කරන්නට සිත හා මනස යන දෙකම පුහුණු කර, පුරුදු කර සිත පදම්කර ගැනීම ආසේවිතාය භාවිතාය, බහුලීකතාය යනුවෙන් ද භාවනා යන අර්ථයෙන්ද විග‍්‍රහ කර දී ඇත. තමන්ගේ සිතට අරමුණු වන මෙවන් යම් වැරදි චේතනාවකට අනුව තමන් ක‍්‍රියා කළහොත් ඒ ක‍්‍රියාවේ, කථාවේ, සිතුවිල්ලේ ප‍්‍රතිඵලයක් ලෙසින් තමාටම හෝ බාහිර ලෝකයාට හෝ ස්වභාව ධර්මයට හෝ යම් අයහපතක්, අවැඩක්, අසාධාරණයක්, විනාශයක්, අතරමං වීමක් මෙන්ම සංසාර ගැටළුවක් නිර්මාණය වීමක් ද සිදු වන්නේ නම් හෝ නිවනට බාධක වූ නිවන ප‍්‍රමාද කරවන ආකාරයේ යම් ප‍්‍රතිඵලයක් උරුමකර දෙන්නේ නම් හෝ ඒ සිතුවිලි වෙනස් කරගෙන, ඒ ක‍්‍රියාව නවතා දමා ඊට ප‍්‍රතිපක්ෂ වූ අනතිවත්තන අරමුණක් කරා සිත මෙහෙය වන්නට දක්ෂයෙකු වීම භාවනා කිරීමයි. ඒ වාගේ ම තම සිතෙහි මතු වූ මෙම කෙළෙස් ගති සහිත වූ වැරදි චේතනාව තම සිතේ මතු වන්නට මුල් වූ ගතිය තමා තුළම මුල්බැසගෙන තම චිත්තසංථානයේ ම පවතින වැරදි ගතියක් බව දැන හඳුනාගෙන යථා පරිදි අවබෝධකර ගෙන මේ කෙළෙස් ගතිය තම චිත්තසංථානයෙන් සහමුළින්ම උපුටා උදුරා දමන්නට, සිත ඉන් නිදහස් කර ගන්නට, විපස්සනා අනුපස්සනා භාවනාවක් කරන්නටත් දැනුමක් හා අවබෝධයක් මෙන් ම පුරුද්දක් ද ඇති කර ගත යුතුය.

කාම චිතක්ක විචාර, ව්‍යාපාද චිතක්ක විචාර, විහිංසා චිතක්ක විචාර තම චිත්ත සංථානය තුළම මතුවනු දැක ඒවා මතු වන අවස්ථාවේ දී ම හැකි පමණ ඉක්මණින් ම දැන හඳුනාගෙන, තම සිතින් ඒවා ඉවත්කර දමන්නටත්, ඒ සිතුවිලි දිගේ සිතින් රවුම් ගැසීම නවතා දමා, ඊට ප‍්‍රතිපක්ෂ වූ සවිතක්ක සවිචාර පවත්වන්නටත් පුරුදු විය යුතුය. ඒ සමඟ ම මෙවැනි කෙළෙස් ගති යළි යළිත් සිත තුළින්ම මතුවන්නේ නම් මේ ගති සිත තුළම මුල් බැසගෙන පවතින නිසා බව තේරුම් ගෙන කෙළෙස් ගති මුලින් ම උදුරා දමන්නට, මරණානුස්සතිය, බුද්ධානුස්සතිය භාවනා කරන්නටත් පුරුදු පුහුණු විය යුතුය. මේ ආකාර වූ ධම්මානුධම්ම ප‍්‍රතිපදාව ධ්‍යාන ලැබීම හෙවත් කෙළෙස් තාවකාලිකව දවා හැර යටපත් කරදමා ලබන ලෞකික ධ්‍යාන සුවයකට වඩා කෙළෙස් මුල් ගළවා දමා නිදහස් වීමක් බවද වෙන් කොට දැනගත යුතුය.

Share Button

බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ භාවනාව යනු කුමක්ද?

”භාවනා” යන මාගධී පදයෙන් බුද්ධ භාෂිතයෙහි අර්ථ දැක්වූ ක‍්‍රියාකාරකම සහ පෙරදිග ආගම්වල අන්‍යාගමිකයින් භාවනා යනුවෙන් අදහස් කළ ක‍්‍රියාකාරකම් යන දෙක අතර ප‍්‍රායෝගික වශයෙන් මෙන්ම න්‍යායාත්මකවද බොහෝ වෙනස්කම් දක්නට ඇත. ලංකාවේ බෞද්ධයින් මෙන්ම පෙරදිග බොහෝ රටවල ද අපරදිග සමහර රටවල ද අද භාවනා කිරීම විලාසිතාවක් බවට පත්කරගෙන ඇති බව පෙනේ. ඒ ඒ ආගම්වල මෙන්ම, ඒ ඒ රටවලදීත් භාවනා කිරීමෙන් අත්පත් කරගන්නට, ඉෂ්ට සිද්ධ කර ගන්නට බලාපොරොත්තු වන පරමාර්ථයන් ද, බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ භාවනා කිරීමෙන් ඉටු කර ගත යුතු පරමාර්ථය ද එකිනෙකට හාත්පසින් ම වෙනස් ය. භාවනාවක් කිරීමේ දී භාවිතා කරන කර්මස්ථානයන් ද මේ ආකාරයෙන්ම අද වන විට විවිධාකාර තත්ත්වයන්ට පත් වී ඇත. මේ සියල්ලටමත් වඩා භාවනාව පිළිබඳව මිනිසුන් අතරේ අද පවතින අනවබෝධය ද එතරම්ම විෂමාකාර ය.

ගෝතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වන්නට පෙරත් අබුද්ධෝත්පාද යුගයේදීත් පෙරදිග බොහෝ රටවල භාවනා කිරීමේ සම්මතයක් හා සම්ප‍්‍රදායක් පැවතිණි. භාවනා කිරීම මඟින් ධ්‍යාන ලබා ගත් ධ්‍යානලාභීන් මෙන්ම, අභිඥාලාභීන් ද එදා මිනිසුන් අතරම වාසය කළ බව ඉතිහාසයේ සඳහන්ව ඇත. බෞද්ධ සාහිත්‍ය පොත්පත්වල දක්වන පරිදි බෝසත් සිද්ධාර්ථ කුමාරයාත් වසර හයක්ම එවකට ප‍්‍රසිද්ධව සිටි විවිධ ගුරුවරුන් කරා ගොස් භාවනා ඉගෙන ගෙන භාවනා කරමින් සියලුම ධ්‍යානයන් ලබා ගත් බව අරිය පරියේෂණ සූත‍්‍රයෙහිත් පෙන්වා දී ඇත.

මුල්ම බුද්ධ දේශණාවල සඳහන් වන පරිදි නම් ගෝතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ පසුව දේශණා කර වදාළ නිවන් මඟ හෙළි කළ නිවැරදි බුද්ධ ධර්මයට අනුව නම්, භාවනා යනුවෙන් එදා ලෝකයා සම්මත කරගෙන අර්ථ දැක්වූ සම්මත භාවනා කිරීම ධ්‍යාන ලැබීම, අභිඥා ලැබීම යනාදියටත් බුදුපියාණන් නව අර්ථකථනයක් ලබා දුන් බව පෙනෙන්නට ඇත. එදා දේව සංකල්ප වලට යටත් වු අන්‍යාගමිකයෝ, දේවත්වයට පත් වන්නට, බ‍්‍රහ්මත්වයට පත් වන්නට, අරූපී බ‍්‍රහ්්ම ලෝකයන්හි උපත ලබන්නට බලාපොරොත්තුවෙන් භාවනානුයෝගී වූහ. මේ ආකාරයෙන් බ‍්‍රහ්මත්වයට පත් වීමෙන් සදාකාලික විමුක්තියක් ලබාගත හැකි බව එදා බොහෝ ආගම් අදහන්නන්ගේ විශ්වාසය විය.

බුද්ධ භාෂිතයේ පෙන්වා දුන් පරිදි භාවනා කිරීම නැමති ක‍්‍රියාකාරකම ප‍්‍රායෝගිකවම යම් කිසි පරමාර්ථයක් ඉටු කරගන්නට උපකාර වන ඉලක්කයක් කරා යොමුවන්නට මඟ පෙන්වා දුන් මාර්ගයකි. භාවනා කිරීම නම් වූ මෙම ක‍්‍රියාකාරකම, ප‍්‍රතිපදාව යම් තරමක හෝ ධර්මාවබෝධයක් ලබා ගත් කෙනෙකුට තම දෛනික වූ දිවි පැවැත්මේ හැකි හැම අවස්ථාවකදීමත් ප‍්‍රායෝගිකවත් භාවිතයට ගතයුතු භාවිතා කර හුරු පුරුදු කර ගතයුතු පුහුණු කරගත යුතු ප‍්‍රතිපදාවකි.

ගිහියාට මෙන්ම පැවිද්දාට ද එදිනෙදා තම ජීවිත පැවැත්මේ දී නිරතුරුවම භාවනාවක් භාවිතයට ගැනීමෙන් සිතේ මතුවන, පවතින, කෙළෙස් ගති සිතින් ඉවත් කර දමන්නටත් ඒ වෙනුවට ඊට ප‍්‍රතිපක්ෂ වූ සිතේ යහපත් චේතනාවන් සිත තුළ වගා කර ගන්නටත් ඒ අනුව සිත පිරිසිදු කරගන්නටත් භාවනාව උපකාර කර ගතයුතුයි. මේ අනුව තමන්ටත් පෞද්ගලිකවම යහපතක්, සහනයක්, සැනසීමක් ලබා දෙන ඒ වගේම බාහිර ලෝකයාටත්, සමස්ත සමාජයටත් යහපතක්, සහනයක්, සාමයක් උදාකර වන්නා වූ පිරිසිදු හා යහපත් චේතනා හා අරමුණු සිත තුළ පවත්වා ගන්නට භාවනා කළ යුතුය. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවටම අයත් ශික්ෂණය, සංවරත්වය, හා සම්මා තත්ත්වයට පත් වීම, භාවනා යන ක‍්‍රියාව තුළින් අර්ථ දක්වන ලද බව බුද්ධ දේශණාවෙහි නම් පෙන්වා දෙයි. සීලයෙන් තොර වූ භාවනාවක් ගැන හෝ සමාධියක් ගැන හෝ සීලයෙන් තොරව ලබා ගත හැකි ප‍්‍රඥාවක් ගැන හෝ ධම්මානු ධම්ම පටිපදාවෙහි නම් දකින්නට නැත. මේ අනුව සීලයෙහි පිහිටා සංවර වීමටත්, සමාධියෙන් කෙළෙස් සංසිඳුවීමටත්, ප‍්‍රඥාවෙන් සම්මා දිට්ඨියට පත් වීමටත්, සම්මා දිට්ඨියෙන් ප‍්‍රඥා විමුක්තියට පත් වීමටත් යන සියලු ක‍්‍රියාවන්ට භාවනා කිරීම යන ක‍්‍රියාකාරකම භාවිතා කළ යුතුය යන්න බුද්ධ දේශණාවයි. මේ අනුව උතුම් බුද්ධ දේශණාවට අනුකූලව නම් භාවනා කිරීම යනු ගල් පිළිමයක් සේ නොසෙල් වී, එක තැනකට වී, සමාජයෙන් වෙන් වී, සමාජයෙන් කොන් වී, වනාන්තරයකට වී, ගසක් මුලකට වී හෝ මිනිසුන් රහිත ශූන්‍යාගාරයකට වී කාලය ගත කිරීම හෝ කාලය ගෙවා දැමීම අනරිය ධ්‍යානයන් ලබන්නට ක‍්‍රියා කිරීම මිස, භාවනා කිරීම නොවේ.

අද භාවනා කරනවා යැයි බහුතරයක් ලෝකයා කය (ශරිරය) භාවනාවට හුරු පුරුදු කිරීමේ ක‍්‍රමය බුද්ධ භාවනාවක් වන්නේ නම් නැත. සතියෙහි පිහිටා, මනස මෙහෙයවා, යෝනිසෝමනිසිකාරයෙන් ක‍්‍රියාකරන්නට පුරුදු වී සිත හා මනස යන දෙක ම හික්මවා ගෙන ඒ අනුව ඉන්ද්‍රියයන් හයම සංවර කර ගන්නටත්, සංවර ලෙසින් ඉන්ද්‍රියයන් හයම භාවිතයට ගන්නටත් පුරුදු පුහුණු වීම බුද්ධ දේශණාවට අනුකූලව භාවනා කිරීමයි.

බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාව භාවනා කිරීම ද ”ආනා පාන” පිළිවෙතකි. ”ආනා පාන” පිළිවෙතක් අනුගමනය කිරීමේ අවශ්‍යතාවය බුද්ධ දේශණාවේ හැම තැනකදීම අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර, අනුදැන වදාරා නිර්දේශ කර ඇත. මේ ආනාපාන පිළිවෙත සමථ, විපස්සනා, අනුපස්සනා ආදී සියලුම භාවනා අංගයන්හි දී ද පැහැදිළිවම හඳුනාගෙන භාවිතා කළ යුතුය. මහා සතර සතිපට්ඨානය සූත‍්‍රයේ පෙන්වා වදාළ පබ්බයන් 21 හිදී ම මෙම ආන පාන පිළිවෙත අස්ස පස්ස ලෙසින් පෙන්වා දී ඇත. අස්ස යනු ආශ‍්‍රය කිරීම යන අර්ථයයි. පස්ස යනු ප‍්‍රහාණය කිරීම, බැහැර කිරීම යන අර්ථයයි. ආන යනු ආනයන යන අර්ථයෙන් ඇතුළට ගැනීම යන්නත් ආපාන යනු අපනයන යන අර්ථයෙන් පිට කිරීම, බැහැර කිරීම යන්නත් අර්ථ දක්වයි.

බඹයක් පමණ වූ මේ ශරීර කූඩුව තුළට යමක් එකතු කර ගන්නට දොරවල් හයක් ඇති බවත්, ඇතුළට ගත් දේ පිට කරන්නටත් දොරවල් හයක්ම ඇති බවත් බුද්ධ දේශණාවේ පෙන්වා දී ඇත. මේ දොරවල් හයෙන්ම ඇතුළට ගන්නා කිළිටි දේවල් නිසා, කෙළෙස් ගති නිසා, චිත්තසංථානය හා මනස යන දෙකම අඳුරු වෙයි. කිළිටි වෙයි. කෙළෙස් ගති බැහැර කර දැමීම මගින් චිත්තසංථානය හා මනස යන දෙක ම පිරිසිදු වෙයි. ආගන්තුක වශයෙන් ඇතුළට ගන්නා උපක්ලේශයන් නිසා චිත්තසංථානය ද, ආධ්‍යාත්මිකව මතුවන කෙළෙස් නිසා චිත්තසංථානය හා මනස ද යන දෙක ම කිළිටි වෙයි. මේ අනුව ආනපාන භාවනාව පිළිබඳව බුද්ධ දේශණාවේ විග‍්‍රහ කළ තැන් ගැඹුරින් අධ්‍යයනය නොකර පදපරම ලෙසින් අශ්වාස ප‍්‍රශ්වාස කිරීම යැයි අර්ථ දැක්වීමෙන් අද වන විට සිදු කරගත් හානිය විනාශය අති මහත් ය. මේ ආකාරයෙන් වැරදියට බුද්ධ භාෂිතය පදපරම ලෙසින් අර්ථ දක්වා ප‍්‍රායෝගිකවම ඒ ප‍්‍රාණයාම භාවනාවන් මතු කරමින් අනරිය ධ්‍යානයන් ලබා ගෙන අතීතයේදී අසඤ්ඤ තලයන්හි අතරමං වූ මිනිසුන් ගණන අතිවිශාලය. ඒ උතුම් බුද්ධ ධර්මයෙහි පෙන්වා දුන් ආන පාන සති භාවනාව වැරදි ලෙසින් තේරුම් ගැනීම නිසාම සිදු වූ, සිදු කර ගත් මහා විනාශයේ ප‍්‍රතිඵලයන් ය.

තමන්ගේ සිත නිවෙන, තමන්ගේ සිත පිරිසිදු වන, තමන්ට ම යහපත් ප‍්‍රතිඵල උරුම කර දෙන, උදා කරවන, විතරාගී, වීත ද්වේෂී, වීත මෝහි, අරමුණු භාවිතා කරන්නට පුරුදු විය යුතුයි. ඒවාගේම බාහිර ලෝකයාටත්, ස්වභාව ධර්මයටත් යහපතක් ගෙන දෙන, සාමය, සමාදානය, උදාකරවන දේ කරන්නට සිත, කය, චවනය යන තුනමත් පුරුදු පුහුණු කළ යුතුයි. ඒවාගේම තමන්ගේ සිත කිළිටි වන, අයහපත් ප‍්‍රතිඵල (අපල) තමන්ටම උරුම කර දෙන, සිතේ හා මනසේ පිරිසිදු බවට හානි කරවන, සියලුම අරමුණු, සිතුවිලි තෝරා බේරා ඒවා නොකරන්නට, ඒවා අත්හැර ඉන් මිදී නිදහස් වන්නට සිත, කය, වචනය යන තුනමත් පුරුදු කරගත යුතුයි.

එවාගේම බාහිර ලෝකයාට අයහපත් දේ, ලෝක සත්ත්වයාට අහිතකර දේ, සංසාර ගැටළු නිර්මාණය කරන ආකාරයේ අයහපත් සිතුවිලි, කථා හා ක‍්‍රියාවන් කිරීමෙන් වැළකී, එවැනි දේ අත්හැර, ඉන් මිදී නිදහස් වන්නටත් වගබලාගත යුතුයි. ශ‍්‍රැතවත් අරිය ශ‍්‍රාවකයෙකු මෙසේ පිළිවෙතින් පෙළ ගැසීම ආනාපාන සති භාවනාවයි. මේ මඟින් තමන් නිවුණු, නිදහස්වුණු, මිදුණු, විමුක්තියට පත් වූ පුද්ගලයෙකු බව දැන නිරාමිස ප‍්‍රීතියට පත් වන්නටත්, ඒවාගේ ම තමාගෙන් බාහිර ලෝකයාට හෝ ස්වභාව ධර්මයාට හෝ අහිතක්, අයහපතක්, අවැඩක්, අසාධාරණයක් නොවන ලෙසින් හැම විටම උපේක්ඛා සිතින් ක‍්‍රියා කරන්නෙකු බවට පත්වීමෙන් ඉන් නිරාමිස සුවයක් ලබන්නටත් හැකිවෙයි. මෙවැනි යහපත් පිළිවෙතක් දෛනිකව අනුගමනය කරන්නට අවබෝධයක් ඇති කර ගැනීම ධර්මාවබෝධය ලැබීමයි. බුද්ධ ධර්මයෙහි පෙන්වා වදාළ ”ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවයි”. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ෂාවමත්, සමථ විපස්සනා භාවනාත්, චේතෝ විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය යන උභතෝභාග විමුක්තියත්, ලෞකික, ලෝකෝත්තර උභයාර්ථ සාධනයත් සතර මඟ, සතර ඵලයනුත් සම්මා අංගයන් දහයමත් සම්පූර්ණ වන්නට මේ මාර්ගයම අනුගමනය කළ යුතුම ය. ඒ සඳහා මේ මාර්ගය හැර වෙනත් මාර්ගයක්ද නැත.

ලෝභ, ද්වේෂ, මෝහ යන කිළිටි, කෙළෙස් ගති තමන් තුළම ක‍්‍රියාත්මක වේදැයි සිතා සොයා බලා දැක ගෙන අලෝභ අද්වේෂ, අමෝහ වශයෙන් මේ ගති අත්හැර දමන්නටත් ලෝභක්ඛ්‍යය, ද්වේෂක්ඛ්‍යය, මෝහක්ඛ්‍යය වශයෙන් මේ කෙළෙස් ගති යළි සිත තුළ නොඋපදින්නට ම සිත හා මනස යන දෙකම පිරිසිදු කරගන්නටත් මේ භාවනා ක‍්‍රමයන් හතරම මිනිසෙකුට ඉමහත් සේ උපකාරකය. මෙතෙක් සාරයි කියා සංඛාර කරමින් එකතු කරගත් ”සංසාර” ගති දැක ඒ ගති තමා තුළින් ඉවත් කරන්නට ක‍්‍රියාකර, ”අසං” තත්ත්වයට පත් වී ඒ ගති සහමුළින්ම සිතින් කපා ඉවත්කර දැමීම ”සංඛ්‍යය” යනුවෙන් ද ධර්මයයේ පෙන්වා දී ඇත. සාර අසංඛ්‍යය යන පදවල තිපරිවට්ටය හා අර්ථය මේ අනුව හොඳින්ම තේරුම් ගන්නට ද උත්සාහ කළ යුතුය.

භාවනා කර නිවන් අවබෝධ කර ගැනීම යනු මෙතෙක් කාලයක් සාරයි කියා එකතු කර ගත් ”සං” (සමුදය දැක) සං අත්හැර, ”අසං” කරන්නටත්, යළි ‘‘සං’’ නොඋපදින ලෙසින්ම කෙළෙස් කපා, මුල් හැර දමා ”සං” ”ඛය” කර දමන්නටත් ක‍්‍රියා කරන කාල පරාසයයි. එය ”කල්පය” ලෙසින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාරා ඇත.

මාන, දිට්ඨි, අවිජ්ජා යන ප‍්‍රපංච ධර්මයන් සිතක ක‍්‍රියාත්මක වීම නිසා උද්ධච්ච බව, උදහස් වීමේ ගතිය, අස්මි මානය, මමත්ත්වය, මඤ්ඤතාවය මෙන්ම ආත්මාර්ථකාමී බව, කපටි බව වැනි ළාමක ගති ගුණයන්ද මිනිසෙකුගේම සිතක් තුළ රැඳී පවතින්නේ චිත්තසංථානය හා මනස යන දෙතැනම කෙළෙස්වලින් අපිරිසිදු වී, මෝහයෙන් මුවහ වී පවතින නිසාමය. තරහා යන ගතිය, වෛර කරන ගතිය, ක්‍රෝධය, ද්වේෂය, ඊර්ෂ්‍යාව හා පටිඝය වැනි නරක ගතිගුණ පුද්ගලයෙකුගේ චිත්තසංතානය හා මනස යන දෙකමත් කිළිටි කර ලේ ධාතුව හා හදවත නිරන්තරවම කිළිටි කරවන රෝග කාරක මූල බීජයන් ද උපද්දවනවා වාගේ ම තමන්ව ම අපා ගත කරවන ගතිගුණයන් බව ද තේරුම් ගන්නට නම් මිනිසෙකු විසින් යම් කිසි ධර්මාවබෝධයකුත් ලබාගත යුතු ම ය.

ආසව, අනුසය ලෙසින් තම සිත තුළ පවතින මේ ගති ක‍්‍රියාත්මක වී තමන්ට ම සතුරන් ලෙසින් අපල උපද්‍රව උරුම කර දෙන්නේ තමා තුළම ඇති මේ ගති නිසාම මිස වෙනත් බාහිර බලවේග නිසා නොවන බවද තේරුම් ගන්නට මිනිසෙකු දක්ෂයකු විය යුතුය. දස සංයෝජන වලින් ම තමන් සසරට බැඳ තබන්නේ දුකට පත් කරවන්නේ තමා තුළම මුල් බැස ගෙන ක‍්‍රියාත්මකව පවතින මේ කෙළෙස් ගතිමය. යළි යළිත් සිතේ කෙළෙස් උපත ලබන්නේ ද, සමුදය බිහි වන්නේ ද, ඒ කෙළෙස් ගති සිතේ මුල් බැස ගෙන පවතින නිසාමය. ධර්මාවබෝධයක් ලබාගෙන, සුතමය ඥාණයෙන් යුතුව ක‍්‍රියා කර, තමන්ගේ ම සිත හා මනස යහපත් සේ භාවිතා කරන්නට පුරුදු පුහුණු වීම භාවනා යනුවෙන් අර්ථ ගැන්වූ ක‍්‍රියාවයි. මේ අනුව භාවනා කිරීමෙන් කරගත යුතු වන්නේ තම සිත තුළම මුල් බැස ගෙන පැවති හා පවතින ලෝභ, ද්වේෂ, මෝහ යන කෙළෙස් ගති සහමුළින් ම කපා හැර, සිඳ දමා ඒවායින් නිදහස් වීම යි. සිත හා මනස පිරිසිදු කර ගැනීම යි.

Share Button