පංචස්කන්ධය හා පංචඋපාදානාස්කන්ධය

පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යනු සංකල්ප දෙකකි. මේවායින් ප‍්‍රකාශ කරන විග‍්‍රහ කරන දේ එකක්ම නොවේ. මේ දෙක අතර විශාල වෙනසක් ඇති අතර මේ වෙනස්කම් නිවැරදිවම අවබෝධ කර ගැනීම නිවන් අවබෝධකර ගැනීමට බොහෝ සේ උපකාර වෙයි. අද අපි සාමාන්‍ය ව්‍යවහාරයේදීත් බොහෝ ධර්ම දේශකයිනුත් පංචස්කන්ධය යැයි ප‍්‍රකාශ කරන්නේ ගත – සිත වශයෙන් අපි හඳුන්වන අපේම වතටයි. එයද පංචස්කන්ධයකි. නමුත් බුද්ධ දේශණාවේ විභංගප‍්‍රකරණයේ විග‍්‍රහකර ඇති පංචස්කන්ධයෝ ඊට බොහෝ වෙනස්ය.

1. රූප ස්කන්ධය   
2. වේදනා ස්කන්ධය   
3. සංඥා ස්කන්ධය
4. සංඛාර ස්කන්ධය   
5. විඤ්ඤාණ ස්කන්ධය

යනු පංචස්කන්ධයයි. එක් එක් ස්කන්ධය විස්තර කිරීමේදී එය නැවතත් කොටස් 11කට බෙදා ඇත. රූප ස්කන්ධය යනු රූප ගොඩක් යන්නයි. මේ රූප ගොඩට

1. දුර රූප
2. ළඟ රූප
3. සියුම් රූප
4 .ඝණ රූප
5. හීන රූප
6. ප‍්‍රණීත රූප
7. බාහිර රූප
8. අභ්‍යන්තර රූප
9. අතීත රූප
10. වර්තමාන රූප
11. අනාගත රූප

යනාදී වශයෙන් යම් කෙනෙකුට මෙනෙහි කරගත හැකි රූප සමුහයක්ම පංචස්කන්ධයට අයිති වෙයි.

මේ ආකාරයෙන්ම වේදනා ස්කන්ධයද, සංඥා ස්කන්ධයද, සංඛාර ස්කන්ධයද, විඤ්ඤාණ ස්කන්ධයද එකළොස් ආකාර වේ. මෙලෙස මිනිසෙකුට කෙනෙකුගේ රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධය පනස්පස් ආකාරයකට බෙදා මෙනෙහි කළ හැකිවෙයි. මේ පනස්පස් වූ කොටස්වලට පරිබාහිර වශයෙන් කිසි මිනිසෙකුට, දෙවියෙකුට මේ විශ්වය තුළින් වෙනත් අතිරේක යමක් මෙනෙහි කරගන්නටද නොහැකිය. මේ අනුව බුද්ධ දේශණාවේ එන පංචස්කන්ධය කෙනෙකුට සිතාගත නොහැකි තරම් විශාල වූ මේ මුළු සක්වලම පිළිබඳව කළ විග‍්‍රහයකි.

පංචඋපාදානස්කන්ධය යනුවෙන් පෙන්වාදෙන දෙවන කොටස මිනිසෙකුට, සත්ත්වයෙකුට, දෙවියෙකුට, උපාදානය කරගත හැකි ඉතාම සුළු කොටසකි. පංචඋපාදානස්කන්්ධයේද පෙරකී පරිදිම කොටස් එකොළහ බැගින් බෙදා විග‍්‍රහ කළ

1.  රූප උපාදානස්කන්ධය   
2.  වේදනා උපාදානස්කන්ධය
3.  සංඥා උපාදානස්කන්ධය   
4.  සංඛාර උපාදානස්කන්ධය
5.  විඤ්ඤාණ උපාදානස්කන්ධය  

යැයි කොටස් පහක්ම ඇත. මේ අනුව පංචඋපාදානස්කන්ධයද පනස් පස් ආකාරයකින් බෙදා දැක්වෙයි. ඉහත පෙන්වා දුන් රූපස්කන්ධයෙන් යම් කෙනෙකුට උපාදානය කර ගත හැකි වන්නේ ඉතාම සුළු රූප කොටසක් පමණි. දකින, පෙනෙන සිතාගත හැකි රූප අනන්ත අප‍්‍රමාණය. නමුත් ඉතාම සුළු කොටසක් පමණක් උපාදානය කරගනී. මෙලෙසම වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය අතරින්ද උපාදානය කර ගන්නා ඉතාම සුළු කොටසක් පංචඋපාදානස්කන්ධයට අයිති වේ. ඉහත දැක් වූ අසීමිත පංචස්කන්ධයන් අතරින් ප‍්‍රිය රූප, ප‍්‍රිය වේදනා, ප‍්‍රිය සංඥා, ප‍්‍රිය සංඛාර, ප‍්‍රිය විඤ්ඤාණ පමණක් කෙනෙකු උපාදානය කර ගන්නා අතර අප‍්‍රිය දේ උපාදානය කර නොගනී. එසේනම් යම් කෙනෙකුට තම සිතින් මෙනෙහි කළ හැකි එකළොස් ආකාර වූ රූප ස්කන්ධය අතරින් ඉතාම සුළු ප‍්‍රිය රූප කොටසක් පමණක් උපාදානය කරගනී. අනන්ත අප‍්‍රමාණ වූ අනිකුත් රූප උපාදානය කර නොගනී. ඒ නිසා ප‍්‍රිය බවක්, සුව සැප බවක්, යහපත් බවක් දකින රූප පමණක් රූප උපාදානස්කන්ධයට ඇතුළත් වෙයි. උපාදානයේ නියත ලක්ෂණය ප‍්‍රිය බවයි. පංචඋපාදානස්කන්ධයම ප‍්‍රිය බව නිසා උපාදානය කරගත් කොටසකි.

උපාදානය කරගත් යම් කොටසක ප‍්‍රිය බව පහව ගියේ නම්, ප‍්‍රිය බව අප‍්‍රිය බවට පත්වූයේ නම්, ඒ කොටස ක‍්‍රමයෙන් උපාදානය කරගත් කොටසෙන් ප‍්‍රහාණය කර ඉවත් කරයි. අලුතින් යම් දෙයක් කෙරෙහි ප‍්‍රිය මධුර බවක් ඇතිවූයේ නම්, ඒ කොටසද උපාදානය කරගනී. මේ අනුව උපාදානස්කන්ධයට අයත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන කොටස් පහම නිතිපතා වෙනස් වන නිරතුරුවම අලුත්වන, වෙනස්වන, ඉවත් කරන ස්වභාවයෙන් යුක්තය. යම් කෙනෙකුට මේ පංචඋපාදානස්කන්ධයේ ඇතිවන නිරන්තර වෙනස්වීම දැකගත හැකි වුවොත්, එම පුද්ගලයාට චුති – උපත යන දෙකද නිවැරදිව තේරුම් ගත හැකි වෙයි.

එකම ආකාරයක එකම පංචඋපාදානස්කන්ධයක් කිසිම පුද්ගලයෙකුට දිගටම පවත්වාගෙන යා හැකි නොවේ. රූපස්කන්ධය ගතහොත් සමස්ත රූපස්කන්ධයමත් නිරන්තරවම වෙනස් වන අතර උපාදානය කරගත් රූපස්කන්ධය හෙවත් රූප උපාදානස්කන්ධයද නිරතුරුවම විපරිණාමයට පත්වේ. වැයවේ. විනාශ වේ. පුද්ගලයාගෙන් පුද්ගලයාටද පංචඋපාදානස්කන්ධයද කාලයත් සමඟම හැම මොහොතකම වෙනස් වෙයි. මේ ධර්මතාවය නිවැරදිව යමෙකුට තේරුම් ගත හැකි වූවොත්, චුතූපපාත ඥාණය පහළවීමටද එයම උපකාර වෙයි.

පංචස්කන්ධය යනුවෙන් අප කලින් සඳහන් කළ දේවල් කිසිම මිනිසෙකුට සත්ත්වයෙකුට දුක හෝ සැප හෝ උරුම කර දෙන්නට සමත් එකක් ද නොවේ. පංච උපාදානස්කන්ධයම සියලු ආකාර වූ දුක සැප උරුමකර දෙන්නටද හේතුව වෙයි. මිනිසුන්, සත්ත්වයින් සැප යැයි සළකන්නේ පංචඋපාදානස්කන්ධයේ ප‍්‍රිය කොටසටයි. ඒ උපාදානය කරගත් යම්කිසි ප‍්‍රිය කොටසක් අප‍්‍රිය බවට පත්වී නම් එතැනදී මිනිසුන් එයම දුකක් ලෙසින්ද සළකති. සියලු මිනිසුන්, සත්ත්වයින්, දෙවියන් සැප යැයි සළකන්නේ ප‍්‍රිය බවක්, මධුර බවක් තමන් තමාගේම සිතෙන්ම ඇති කරගත් මායාවක් මුළාවක් මිස සත්‍යයක්ද නොවේ. යම්කිසි දෙයක් පිළිබඳව ප‍්‍රිය මධුර බවක් තම සිත තුළම හටගත්තේ නම් එවැනි රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ තමන් උපාදානය කරගනී. තමා තම සිතෙන්ම අල්ලා උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධය එක දිගටම තමන්ට කැමති සේ පවත්වන්නට, කැමති ආකාරයෙන් නවත්වාගන්නට නොහැකිව විපරිණාමයට, වෙනසට භාජනය වූ විට එතැනදී දුක, ශෝක, පරිදේව, දොම්නස්, උපායාස ආදී සියලු ලක්ෂණද පහළවෙයි. මෙයට මුල් වූයේ ”අනිච්ච” ධර්මතාවයයි. කැමති සේ පැවැත්විය නොහැකි බවයි. මේ අනුව දුක යනු යම් ප‍්‍රිය දෙයක් උපාදානය කර අල්ලා ගැනීමත් සමඟම එහි නියත ලක්ෂණය වූ නිච්ච ධර්මතාවය නිසා නියත වශයෙන්ම උරුම වන ඵලයයි. විපාකයයි. දුක්ඛ අරිය සත්‍යය නිවැරදිව තේරුම් ගන්නට නම් මේ උපාදානස්කන්ධය පිළිබඳව නිවැරදිව තේරුම් ගත යුතුයි. යම් යම් දේ පිළිබඳව, පුද්ගලයින් පිළිබඳව, වස්තූන් පිළිබඳ ප‍්‍රිය බවක් ඇති වීමත්, එවැනි ප‍්‍රිය වූ දෙයක් අප‍්‍රිය බවට පත්වීමත් දුකට හේතුවයි. එවැනි ප‍්‍රිය දෙයක් උපාදානය කර නොගත්තේ නම් දුකක් හෝ සැපක් ඇතිවන්නේද නැත.

මේ නිසා රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචඋපාදානස්කන්ධයේම යථාස්වභාවය නිවැරදිව තේරුම් ගැනීමත්, අපේම සිතෙහි හටගන්නා ප‍්‍රිය බව හා අප‍්‍රිය බව නිවැරදිව තේරුම් ගැනීමත්, චතුරාර්ය සත්‍යය නිවැරදිව අවබෝධ කර ගන්නටද උපකාරවන මූල ධර්මයයි. සැප පතා, සුව පතා, ප‍්‍රිය මධුර දේ කෙරෙහි ඇලුනේ නම්, එවැනි දේ උපාදානය කරගත්තේ නම්, එය සංසාර ගමනට එකම හේතුවද වෙයි. ලෝකයේ යම් සත්ත්වයෙකු, භූතයෙකු, මිනිසෙකු, දෙවියෙකු උපත ලබන්නේද, දුක් විඳින්නේද, දුක හටගන්නේද ඊට එකම හේතුව, ප‍්‍රිය මධුර වස්තූන් කෙරෙහි ඇති වූ ඇල්ම, උපාදානය, බැඳීම නම් වූ පංචඋපාදානස්කන්ධය නිසයි. ප‍්‍රිය, මධුර වස්තූන් ලොව පැවතීම හෝ එවැනි ප‍්‍රිය මධුර වස්තූන් විනාශ කර තුරන් කිරීම හෝ කාටවත් කවදාකවත් කළ හැකි දෙයක් නොවේ. ඒ ඒ සත්ත්වයා යම් දිනක ප‍්‍රිය, මධුර වස්තුන් කෙරෙහි ඇති කරගන්නා පංචඋපාදානස්කන්ධය ඉවත් කරන්නට සිතින් තුරන් කරන්නට සමත් වුවහොත් දුකද එයින්ම කෙළවර වෙයි. අරහතුන්වහන්සේ කිසිම ආකාරයකින් පංචඋපාදානස්කන්ධයකට බැඳී නැත. පංචස්කන්ධය අරහතුන් වහන්සේටත් පොදු දෙයකි. ඒ අනුව පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යන දෙක නිවැරදිවම තේරුම් ගෙන, නිවන් අවබෝධ කරගන්නට උපකාර වන ධර්මයම තේරුම් ගත යුතුය.

දසබිම්බර මාර සෙනඟ වශයෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළේද මේ පංචඋපාදානස්කන්ධයමයි. අභ්‍යන්තර හා බාහිර වශයෙන් රූප උපාදානස්කන්ධය දෙයාකාරය. වේදනා උපාදානස්කන්ධයද දෙයාකාරය. සංඥා, සංඛාර, විඤ්ඤාණය යන පංචඋපාදානස්කන්ධයෝම නිසා දස ආකාරයකින් කෙනෙකු බිමට බර වෙයි. බිම අල්ලාගනී. බිමක පිහිටා සිටියි. ප‍්‍රතිෂ්ඨාපිත වෙයි. මේ නිසා දසබ්ම්බර මාර සෙනඟ වන්නේ අභ්‍යන්තර හා බාහිර පංචඋපාදානස්කන්ධ කොටස් දහයයි.

ලෝභ, ද්වේෂ, මෝහ නිසා සිතක තණ්හාව රතිය හා රඟපෑමේ අවශ්‍යතාවයද මතුවෙයි. උපාදානස්කන්ධ නිසාම තණ්හා, රතී, රඟා යන මාර¥තියෝද ක‍්‍රියාත්මක වෙති. පංචඋපාදානස්කන්ධයක් අල්ලාගෙන සිටිනා තුරාවට යම් කෙනෙකු මාරයාටද ණය ගෙවිය යුතුය. මරුට ණය ගෙවීමෙන් වැළකෙන්නට නම්, අල්ලාගෙන උපාදානය කරගෙන සිටින පංචඋපාදානස්කන්ධයම අතහැර නිදහස් විය යුතුයි. රූපය මම, රූපය මගේ, රූපය මගේ ආත්මය, වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය ආදී වශයෙන් සංඥාව, සංඛාර හා විඤ්ඤාණයද මමත්වයෙන්, මඤ්ඤතිතාවයෙන් අල්ලා ගෙන, පංචස්කන්ධ කොටස් අල්ලාගෙන සිටිනා තුරාවට හේතුඵල පරම්පරාවකටද බැඳෙයි. සම්බන්ධවෙයි.

මේ පංච උපාදානස්කන්ධයම මම යැයි ගැනීමට, මගේ යැයි ගැනීමට, මගේ ආත්මය යැයි ගැනීමට සුදුසු නොවන බව යම් කෙනෙකු ප‍්‍රත්‍යක්ෂ කර සත්‍යාවබෝධ කරගත හොත් ඒ පුද්ගලයා පංචඋපාදානස්කන්ධයම උපාදානය කර ගැනීමෙන් වැළකෙයි. එයම අතහැර නිවන් අවබෝධ කර ගනී.

Share Button

ත්‍රිජ කය

විඤ්ඤාණ ශක්තියෙන් කර්මජ රූප නිපදවා උපතක් ලබන සෑම ප‍්‍රාණියෙකුටම, භූතයෙකුටම, සත්ත්වයෙකුටම කයවල් තුනක් ඇත. අපට පෙනුණත්, නොපෙණුනත් එවැනි හැම සත්ත්වයෙකුටම කරජ කය (සෘතුජ කය), කර්මජ කය හා චිත්තජ කය යැයි මේ කයෙහි කොටස් තුනක් ම පවතී.

කරජ කය(සෘතුජ කය)

වා, පිත්, සෙම් සහිත, මස් ලේ සහිත උපන්දා පටන් වෙනස්කම්වලට, විපරිණාමයට පත්වන කය කරජ කයයි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඤ්ඤාණ යන නාම රූප එකතුවෙන් සකස් කර ගත් අපට විද්‍යමානව දැක ගත හැකි කය, කරජ කයයි. ආහාර අවශ්‍ය වන්නේ ජරාවට මරණයට පත්වන්නේ ඒ කයයි. සෘතු විපර්යාස වලට භාජනය වන්නේ, උපන්දා සිට ලොකු මහත් වී වයසට ගොස් මිය යන්නේ, ඒ කරජ කයයි.

කර්මජ කය

කර්මජ කය යනු විඤ්ඤාණය සහිත කරජ කයෙන් නිපදවූ චිත්ත ශක්තීන් ආහාර කොට පවත්වා ගෙන යන කයයි. චිත්තජ රූප වලින් චිත්තජ ශක්තීන්ගෙන් උපදවන සියලුම ශක්තීන් හොඳ- නරක, පින් – පව්, කුසල් – අකුසල් සියල්ල තැන්පත්ව පවතින කර්මජ කෝෂයට කර්මජ කය යැයි නම් කරමු. සත්ත්වයාට මතු උපත ලබන්නට අවශ්‍ය ශක්තිය දෙන්නේ කර්මජ කයෙනි. කර්මජ කෝෂවල ශක්තීන් ගැබ්ව පවතින තුරාවටම, කර්මජ රූපවල විපාක ලබා දෙන නිසා ඒවා ගැබ් කර ගෙන සිටීමට කර්මජ කයක් පවත්වාගෙන යායුතුයි.

උපතක් ලබන්නේ කර්මජ ශක්තීන්ගේ උපකාරයෙන්මය. ඒ උපත ලැබීමට මුල් වූ කර්මජ ශක්තිය ඵල විපාක දී අවසාන වන තුරු කරජ කය පවතින්නේ කර්මජ ශක්තිය බිහි කළ බලවේගය නිසාය. උපතින් ලබා දුන් ශක්තිය පවතිනා තුරු ජීවත් වී ශක්තිය ගෙවී යාමත් සමඟම වැනසී, විනාශ වී යන්නේ කරජ කයයි. කර්මජ කෝෂවල ඵල විපාක දීමට සමත් කර්මජ රූපයන් පවතින තුරු කර්මජ කය පවතී. නිවන් දුටු අරහතුන් වහන්සේටද කරජ කය යටපත් කර ගත්තත්, කර්මජ කය යටපත්කර ගැනීමට ශක්තියක් නැත. කර්මජ රූප ඵල විපාක දී අවසන් වී, ගෙවී ගොස් නිමා කළ පසු නිවන පූර්ණ වීම, පිරිනිවීම සිදුවීමත් සමඟම කර්මජ කයද අවසන් වේ. බුදුපියාණන් වහන්සේගේද සියලු කර්ම ශක්තීන් ඵල විපාක දී අවසන් වන තුරු කර්මජ කය පැවතුණු නිසාම බුදු බවට පත්වීමෙන් පසුවද කර්ම දාහතරක් (14) ඵල දුන් බව සඳහන්ය. ඵල දෙන්නට කර්ම ඉතිරිව නැති නම්, අලුතින් කර්මජ ශක්තීන් නොඋපදවයි නම්, කර්මජ කයට ආහාර නැතිවීම නිසා මතු පැවැතීමක් ද නැති වෙයි. අපවත්වීම සිදු වන්නේ එවිටය.

චිත්තජ කය

චිත්තජ කය මේ දෙකම නොවේ. නමුත් චිත්තජ කයක් නොතිබුණේ නම් කර්මජ හෝ කරජ කයකට රැුඳී සිටීමට එකක් ද නැත. චිත්ත යනු රාග, ද්වේෂ, මෝහ වලින් තොර පිරිසිදු පවිත‍්‍ර තත්ත්වයයි. එවැනි චිත්තය රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන සංඛාරවලින් කිළිටි කර, අපිරිසිදු කරන්නේ විඤ්ඤාණයයි. ඒ විඤ්ඤාණයට තම පැවැත්ම සඳහා කරජ කයක් හා කර්මජ කයක් පවත්වා ගැනීම සඳහාම පමණි. සෘතුජ කය හා කර්මජ කය දෙකම දරා සිටින්නේ චිත්තජ කය යටපත් කිරීමෙනි. චිත්තජ කය කවදාවත්, කාටවත් නැති කළ හැකි, අහෝසි කළ හැකි එකක් ද නොවේ. නමුත් කරජ කයෙන් හා කර්මජ කයෙන් නිදහස් වූ චිත්තජ කයට කිසිදු බලාපොරොත්තුවක්, අල්ලා ගැනීමක් හෝ සම්බන්ධයක් අවශ්‍ය නොවන නිසා නැවත උපතක්, පැවැත්මක්ද අවශ්‍ය නොවේ. හිස් අවකාශයේ අන්තර්දහනය වී අක‍්‍රිය වී යයි. ඒ නිසා නිවන් දුටු පසුත්, නිවනින් පසුත් චිත්තජ කය අහෝසි නොවී පවතී. නමුත් කිසිම බලයක් උපද වීමක්, එකතු කිරීමක්, අල්ලා ගැනීමක් නැති විට ක‍්‍රියාත්මක බවින් නිදහස් වී හිස් අහසේ අතුරුදහන් වී යයි. නැවත කිසි දිනක ඒ චිත්තජ කයට කිසි ලෙසකින් ක‍්‍රියාත්මක තත්ත්වයට පත්විය නොහැකිමය.

චිත්තජ කය යටපත් කර ගෙන කර්මජ කය හා කරජ කය ක‍්‍රියාත්මක වනතුරු ජිවත්වීම, පැවැත්ම, උපත, මරණය ආදී නම් වලින් අප හඳුන්වන හේතුඵල පරම්පරාවක ක‍්‍රියාකාරකම් සිදුවෙයි. චිත්තජ රූප නිපදවන්නේ විඤ්ඤාණය සහිත වූ කරජ කයෙනි. කර්මජ කය කරන්නේ විඤ්ඤාණය නිපද වූ චිත්තජ රූප එක් රැුස් කර පෙළ ගස්වා, ශක්තියක් ලබා දී මතු උපතකට ඒවා තැන්පත් කර තබා ගැනීම හා අවශ්‍ය විටක ඒවා ඵල විපාක දීමට ශක්ති ගැන්වීම යි. අලුතින් චිත්තජ රූප එකතු කිරීම නැවැත්වීමත්, කර්මජ කෝෂවල තැන්පත් වී ඇති අතීත කර්මජ ශක්තීන් දවා හැර හෝ සළා හැර, කුණු ශුද්ධ කර ගැනීමත්, විමුක්තිය නැති නම් නිවන් දැකීම ලෙස විස්තර කළ චිත්තජ කය නිදහස් කර ගැනීමයි. චිත්තජ කය පූර්ණ ලෙස කරජ කයෙන් හා කර්මජ කයෙන් නිදහස් කර ගත් පසු, එය නිවන් පූර්ණ කර ගැනීමයි. ඒ සඳහා කළ යුතු එකම දෙය ආසවඛය කිරීමයි.

Share Button

සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා

සියලුම සත්ත්වයින් ආහාර නිසාම ජීවිතය රැුක ගනී. සමහර සත්ත්වයින් ජීවත්වීමට ආහාර සොයා ගනී. තවත් බොහෝ සත්ත්වයින් ජීවත්වන්නේ ආහාර සොයාගැනීම සඳහාය. බුදුපියාණන් දේශණා කළ ආහාර පිළිබඳ විග‍්‍රහයට අනුව සත්ත්වයෙකු, පුද්ගලයෙකු පරිභෝග කරන ආහාර මූලික කොටස් හතරකට බෙදා වෙන් කර පෙන්වීය.

1.    කබලිංකාර ආහාර    
2.    සංචේතනා ආහාර
3.    ස්පර්ශ ආහාර    
4.    විඤ්ඤාණ ආහාර

මේ සතර වර්ගයේම ආහාර භාවිතයට ගැනීම, ලෝක සත්ත්වයා ලෝකය උරා බීම ලෙසින්ද විග‍්‍රහ කර ඇත. ලෝකය උරා බී, ලෝකය රහ බලන්නටම ජීවත් වන සියලු පෘථග්ජන සත්ත්වයින් මේ ආහාර සතර වර්ගය සඳහාම ජීවත් වෙති. මේ ආහාර නිසාම ජීවත්වෙති. සතර ආකාර වූ සියලු ආහාරයන්හි රස බැලීම පූර්ණ ලෙසින්ම අතහැර, ලෝකය රහ බැලීම අවසන් කරන උත්තමයා අරහත් යන නමින් හැඳින්විය. මෙහි සත්‍ය දැක ගැනීමට ආහාර වර්ග හතර පිළිබඳව සොයා බලා නිවැරදිව තේරුම් ගත යුතු වෙයි.

1. කබලිංකාර ආහාර(ක+බලිං+ආකාර) කබලිංකාර යන පදය කය බලියක ආකාරයට පත් කරන ආහාර යන තේරුම් ඇති පදයකි. කය බලියක් ආකාරයට පත්කරන්නට උපකාර වන සියලුම ආකාරයේ ආහාර මේ කොටසට අයත්ය. කැබලිකර කන ආහාර යන තේරුමක් මෙහි නැත. කටින් ගන්නා සෑම ආහාරයක්ම, පානයක්ම මේ කොටසට අයත්ය. ඊට අමතරව කය බලියක් සේ හැඩ ගන්වන ඇඳුම් පැළඳුම්, මාලා, ගන්ධ විලේපන, කය සැරසීම්, හිස සැරසීම්, පා සැරසීම්, ආදී සියලු ආකාර වූ දේද මෙම කොටසට අයත්ය. රන් රිදී භාවිතයද මීට අයත්ය. රස තණ්හාව නිසා කටින් රස බලන්නට ගන්නා සියලු ආහාර වලින් කයේ ස්වරූපය බලියක හැඩයක් ගන්නා නිසා ඒ සියල්ලද කබලිංකාර ආහාර කොටසටම අයත් වේ.

අරහත් තත්ත්වයට පත්වීම යනු මේ සියලු ආකාර වූ ආහාර රස බැලීම අත්හැරීමයි. ආහාර ගැනීම අත්හැරියා නොවේ. සිවුපසය ගැනීම අත්හැරියා නොවේ. රස බැලීම සඳහා රස තණ්හාව සඳහා ආහාර පරිභෝග කිරීම සම්පූර්ණයෙන්ම අත්හැරීම මෙහිදී සිදු වෙයි. කන බොන ආහාර වළදින්නේ දිවි රැුක ගන්නට මිස, රස විඳින්නට රස බලන්නට නොවේ. සිවුරු පළදින්නේ සීතයෙන්, ඌෂ්ණයෙන් බේරී විළි වසා ගන්නට මිස කය සරසවන්නට නොවේ. කය සතප්පවන්නේ කයට සුවයක්, ප‍්‍රිය මනාප බවක් ලබා දෙන්නට නොවේ. වෙහෙස නිවා ගන්නට පමණි. මේ අනුව කබලිංකාර ආහාරයෙන් වැළකීම යනු කය බලියක් බවට පත්කරවන සියලු ආහාර වලින් වැළකී අත්හැර නිදහස් වීමයි.

2. සංචේතනා ආහාර ”සං” යනු එකතු කිරීමයි. සිතුවිලි, අරමුණු දිගේ රවුම් ගසා යම් ආකාරයක ගති ලක්ෂණ වලට පත්වීම සඳහා සංකල්පනා පැවැත්වීම සංචේතනා ආහාර එකතු කිරීම සඳහා කරන ක‍්‍රියා කිරීමකි. රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන ගති හයටම පත් වීමට උපකාර වන සිතුවිලි පැවැත්වීම, සංචේතනා ආහාර ලෙසින් පෙන්වා දිය හැකිය. චිත්තසංථානයේ ගබඩා කර ගන්නට එකතු කරන සියලු ආහාර සංචේතනා ආහාර වේ.

3. ස්පර්ශ ආහාර ඇසට ස්පර්ශ වන රූප, කනට ස්පර්ශ වන ශබ්ද, නාසයට ස්පර්ශ වන ගන්ධ, දිවට ස්පර්ශ වන රස, කයට ස්පර්ශ වන පොට්ඨබ්බ, මනසට ස්පර්ශ වන ධම්ම යන හය ආකාර වූ අභ්‍යන්තර, බාහිර ස්පර්ශයන්ගෙන් හට ගන්නා සියලු මනෝ විඤ්ඤාණයන් ස්පර්ශ ආහාර ලෙසින් සැළකිය හැකිය. රස පහස විඳීම සඳහා කරන සියලු දිට්ඨ, සුත, මුත, විඤ්ඤාත යන ක‍්‍රියාකාරකම් වලින් ස්පර්ශ ආහාර ද උපදවා ගනී. ඒ නිසා ”දිට්ඨේ දිට්ඨ මත්තං, සුතේ සුත මත්තං, මුතේ මුත මත්තං, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති” යන තත්ත්වයට පත්වී හැම ස්පර්ශයක්ම ස්පර්ශ මාත‍්‍රයකට පමණක් සීමා කරගෙන, ආහාරයට නොගෙන, අතහැරීම ලෝකය රහ බැලීම අත්හැරීමයි.

4. විඤ්ඤාන ආහාර ඉහත සඳහන් කළ මුල් තුන් ආකාරයෙන් එකතු කර ගන්නා ආහාරද විඤ්ඤාණය පරිභෝග කරයි. ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ ගති ලක්ෂණ හයම නිසා පිරිසිදු චිත්තය වැසී මුවහ වී පවත්වා ගැනීම විඤ්ඤාණය ආහාර ගැනීම යනුවෙන් අදහස් කළ දෙයයි. මේ ගති ලක්ෂණ සහමුළින්ම නැති වුවහොත් විඤ්ඤාණයට පැවැත්මක්ද නැත. විඤ්ඤාණය පවතින්නේ, ජීවත්වන්නේ යට කී ගති ලක්ෂණයන් හය චිත්තසංථානයේ පවතින තාක් කල් පමණි.

අරහත් තත්ත්වයට පත්වීම යනු මේ ආහාර හතර වර්ගයම රස බැලීමෙන් වෙන්වී, රස බැලීම අතහැර දැමීමයි. ඒ අනුව සියලු රස තණ්හාවලින් ද නිදහස් වේ. හැම පෘථග්ජන මිනිසෙකුටම ලෝකයක් අවශ්‍ය වන්නේ මේ ආකාර වූ රස තණ්හාවක් විඤ්ඤාණයෙහි පවතින නිසාමය. අතෘප්තිකර රස තණ්හාවක් පවතින තුරාවට ලෝකයේ ඌණතාවයක්ද ඇත. එකතු කර ගන්නට දෙයක්ද ඇත. රස බලන්නට කැමැත්තක්ද ඇත.

අරහතුන්වහන්සේ සියලු රස තණ්හාවලින් මිදී ගිය නිසා රස බලන්නට, එකතු කරගන්නට තරම් වටිනා කිසිවක් ලෝකය තුළින් නොදකී. ඇසින් බලා, කනින් අසා, නාසයෙන් ආග‍්‍රහණය කර, කටින් රස බලා, කයෙන් ස්පර්ශයක් ලබා, මනසින් අල්ලා ගන්නට තරම් වටිනා කිසිවක් මේ ලෝකය තුළින් නොදකී. ඒ අනුව අලෝක බවට පත්වීම අරහත් තත්ත්වයට පත්වීමත් සමඟ සිදුවෙයි.

Share Button

තිපරිවට්ටය

විද්‍යා විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය උදාකර ගැනීමට දරණු ලබන්නා වූ මේ උත්සාහයේ දී තිපරිවට්ටය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගැනීම ඉතාමත්ම වැදගත් වේ. තිපරිවට්ටය යනු කුමක්ද යන්න පළමු කොටම තේරුම් ගත යුතුව ඇත.විවිධාකාර වූ තිපරිවට්ටයන් බුද්ධ දේශණාව තුළමත් දේශණා කර තිබේ.නිවන් අවබෝධ කරගැනීමට උපකාර වන වට්ට තුනක් පිළිබඳව සළකා බලමු.
1. සංවට්ට
2. පරිවට්ට (ආවට්ට ලෙසද සමහර තැනක සඳහන් වේ) සහ
3. විවට්ට

1. සංවට්ට යනු, තම තමන්ම එකතු කර සාදාගත්, සාදාගෙන වටකර ගත්, ලෞකිකත්වයට සම්බන්ධ වන, සංසාරයට බැඳීමට හේතු වන කාරණා සමූහයක් උපදවා, එකතු කර උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියකි. (සං යනු එකතුවකි)

2. පරිවට්ට – ආවට්ට යනු තමන්ම එකතු කර සාදා ගත් ලෝකය පරිහණය කරමින් ජිවත් වීමයිි. උපාදානය කරගත් පංචස්කන්ධයන්ම පරිහරණය කරමින්, මේ සාදාගත් ලෝකයෙන් මිදීමට නොහැකි වී, දැනීමක් නොමැතිවම ලෝකය තුළම හිර වී දුක් විඳීමයි. සිටි තැනටම ආපසු කරකැවී නැවත නැවතත් පැමිණීම ආවට්ටයයි.

3. විවට්ට යනු තමන්ම අතීතයේ දී එකතු කර, සාදාගත් සංයෝජන (බැමි) සියල්ලෙන්ම සඳහටම මිදී නිදහස් වී, ලෞකිකත්වයෙන් ඉවත්ව, ලෝකෝත්තර තත්ත්වයට පත්වීමයි. ”විවටති විරෝචති” යනු විවෘත වීම යන අදහසයි. මෙහිදීද තමන් ම සාදාගත් වටයෙන් වෙන්වීම, මිදීම, මිදී නිදහස් වීම ”විවට්ට” වීමයි.

මීට අමතරව බුද්ධ දේශණාවේ ම පෙන්වා වදාළ තවත් විවිධ ආකාර තිපරිවට්ටයන් කිහිපයක් පහත දැක්වේ.

1.කම්ම වට්ට 2.කෙළේස වට්ට 3.විපාක වට්ට යනු තිපරිවට්ටකි

1.පරික්‍ෂණ 2.නිරීක්ෂණ 3. නිගමන තිපරිවට්ටයක් වේ. (සත්‍ය ඥාණ, කෘත ඥාණ, කතෘ ඥාණ)

1. සුනේථ 2. ධාරේථ 3. චරේථ යනු තවත් තිපරිවට්ටයකි

1.උප්පාද 2. තිථි 3. භංග තිපරිවට්ටයකි

මේ සෑම තිපරිවට්ටයක්ම නිවන් දැකීමේ අවසාන පරමාර්ථය සඳහාත් උපකාර වේ.

නමුත් තම තමන්ම එකතු කර සාදා ගන්නා මේ ලෝකය, වටය සාදාගන්නා ආකාරය තමන්ටම තේරුම් ගැනීමට ලැබෙන්නේ, දැකගැනීමට ලැබෙන්නේ ”සංවට්ටය” පිළිබඳව නිවැරදිව කරුණු තේරුම් ගැනීමෙන්ම පමණි. එසේම මේ සාදාගත් ලෝකය තුළ තමන්ම හිර වී, මංමුළා වී නොනවතින සංසාර ගමනක යෙදෙන්නේ කුමන හේතුන් නිසාද යන්නත් තමන්ම තේරුම් ගත යුතු වේ. වඩාත් වැදගත් වන්නේ තමන් සැප විඳිනවාය, දුක් විඳිනවාය, ජීවත් වෙනවාය යනුවෙන් කරන, කියන, හිතන සියලූ දේ නිසාම හැම මොහොතකම මේ සදා ගත් වටය තව තවත් නවීකරණය කර ගනිමින්, අලූත් වැඩියා කරමින් ඒ වට්ටය තවත් ශක්තිමත් කර ගැනීමට උත්සාහ දැරීම බව තේරුම් ගැනීමයි. පෘථග්ජන පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකි වන්නේද මේ පරිවට්ට ආවට්ට යන තත්ත්වයයි. පරිවට්ටය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා නොගත් කෙනෙකුට විවට්ට යන තත්ත්වය කෙසේවත් තේරුම් ගත නොහැකි වේ. තමන් ම අතීතයේ උපදවා ගොඩනඟා ගත් ශක්තියෙන් නිර්මාණය කරගත් ”සංවට්ටය” දෛනිකව අලූත් වැඩියා කරමින් දිගටම පවත්වා ගෙන යෑමට උපකාර වන්නේද තමන්ගේම සිතේ මතු වන සංඛාර මිස වෙනත් කිසිම බාහිර සාධකයක් නොවන බවත් මේ තිපරිවට්ටය පිළිබඳවම ධර්මතාවය අසා තේ්රුම් ගත් කෙනෙකුට නිවැරදීම දැක ගත හැකි වේවි.

මේ අකාරයට තමන්ම අතීතයේ සාදාගත් සංවට්ටය තේරුම් ගෙන ජීවත් වන හැම මොහොතකම එය පරිහණය කරමින් ජීවත් වී මතු පැවැත්ම සඳහා අවශ්‍ය වන පරිද්දෙන් මේ පරිවට්ටයන් පවත්වා ගන්නා බවත් තේරුම් ගෙන මේ වට්ටයෙන් සඳහටම මිදී නිදහස් වන්නට අනුගමනය කළයුතු නිවැරදි ක‍්‍රියාමාර්ගය පිළිවෙත් පැහැදිළිව දැන ගත යුතුයි. සීල, සමාධි, පඤ්ඤා යන මූලික පිළිවෙත් පැහැදිළිව දැනගත යුතුයි. මේ නිසා අපි සීලයේ තිපරිවට්ටයත්, සමාධියේ තිපරිවට්ටයත්, පඤ්ඤාවේ තිපරිවට්ටයත් මෙතැනදී විශේෂයෙන්ම පැහැදිළි කර ගත යුතු වේ.

තවද බුද්ධ දේශණාවෙන් ඉදිරිපත් කළ සියලූම ධර්ම කරුණු වලට අදාළවත් තිපරිවට්ටයක්ම දේශණා කර පෙන්වා දිය හැකි බව හැම කෙනෙකුම අවබෝධ කරගත යුතුයි. මජ්ක්‍ධිම නිකායේ පළමු වැනි සූත‍්‍ර දේශණාව වන මූලපරියාය සූත‍්‍රය, සම්පූර්ණයෙන්ම තිපරිවට්ටය පිළිබඳව දේශණා කරන ලද මූලධර්ම විග‍්‍රහයකි. මේ සූත‍්‍රයේ දී පෙන්වා වදාළ තිපරිවට්ටය,

1. මඤ්ඤති 2. මා මඤ්ඤති 3. න මඤ්ඤති

1. මඤ්ඤතාවය, මමත්වය, අස්මි මානය, මම යන තත්ත්වයට පත් වන්නට මුල් වන කරුණු, සංවට්ටය එනම්, මඤ්ඤතාවයයි.

2. මමත්වයෙන් මිදී නිදහස් වීමට අනුගමනය කළයුතු ක‍්‍රියා පිළිවෙත එනම්, අතහැර මිදී, නොඇලී නිදහස් වීම එය පරිවට්ටය, ආවට්ටය ලෙසත් පෙන්වා දිය හැකියි. එතැනදී ”මා මඤ්ඤති” යනු පරිවට්ටයෙන් මිදීමේදී අනුගමනය කළයුතු වැඩ පිළිවෙල විස්තර කර පෙන්වා දීමයි.

3. නමඤ්ඤති” යනු විවට්ට තත්ත්වයට පත් වූ, වටයෙන් මිදී නිදහස් වූ අරහතුන් වහන්සේගේ තත්ත්වය පිළිබඳව විස්තර කර පෙන්වා දීමයි.

සීලයේ තිපරිවට්ටය

සීලයේ තිපරිවට්ටය පිළිබඳව අපි දැන් විස්තර සහිතව සොයා බලමු.
1. ම්ච්ජා සීලය
2. ලෞකික සීලය (වේරමණී සීලය)
3. අරිය කාන්ත ලෝකෝත්තර සීලය

සීලය යනු ළය සිසිල් වීමයි. තම තමන්ම එකතු කරගත් සුන්දර දේ නිසා තමා තුළම ගින්දර ඇවිළී එකොළොස් ගින්නක් තම හද තුළම ඇවිළීම නිසා තමන්ටම විඤ්ඤාණ ශක්තියක් උරුම වේ. සංවට්ට යනු මේ දර එකතු කර සාදා ගත් ගිනි ගොඩයි. ම්ච්ජා සීලයෙන් සිදු වන්නේ කෙළෙස් නැමති දර රාග, ද්වේෂ, මෝහ එකතු කර ගිනිගොඩ ඇවිළීමෙන් එකොළොස් ගින්නක් තම හද තුළම අවුළුවා ගැනීමයි. අතීත සංසාරයේ කවදා හෝ ම්ච්ජා සීලයෙහි නොයෙදීම නිසාත් තමා එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ ගති තමා තුළම ගබඩා වී නොපැවතීම නිසාත් මේ සංසාර ගමන දිගටම යෑමට අවශ්‍ය වෙන්නා වූ ඉන්ධන ශක්තිය නොලැබී යයි. ඒ නිසා සංවට්ටය තමන්ම ම්ච්ජා සීලයේ යෙදීමේ ඵල විපාකයක් ලෙසින් සකස් කරගත් හදාගත් වටයකි.

ම්ච්ජා සීලය තමාම අපායගාමී වීමට හේතුවන බව, මූලික වන බව අසා දැනගත් කෙනෙකු අපායෙන් බේරී සුගතිගාමී වීමට අදහස් කිරීම නිසා ම්ච්ජා සීලයෙන් වෙන්වීම සඳහා (වේරමණී සීලයක්) ලෞකික සීලයක් සමාදන් වේ.

1. ”පාණාතිපාතා හෝති” යනු පණ ඇති සතෙකුගේ පණ නැසීම යන ම්ච්ජා සීලයයි.

2. ”පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාජි” යනු ”පණ ඇති සතෙකුගේ ප‍්‍රාණයට හානියක් කිරීමෙන් වෙන් වී වැළකී සිටීම” යන සමාදන් වීමයි. එය ලෞකික සීලයයි.

3. ”පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති” යනු අරිය කාන්ත සීලයයි.

ලෝකෝත්තර සීලයයි. මෙතැනදී මනසින් සිතා බලා කටයුතු කරන කෙනෙකු ලෙස ඔබ ලෞකික සීලය එනම් වේරමණී සීලය හා පටිවිරතෝ හෝති යන අරිය කාන්ත සීලය යන දෙකම පිළිබඳව වෙනස මනා කොට තමා තුළින්ම දැන දැක ගත යුතුයි. ලෞකික සීලය හා අරිය කාන්ත සීලය යනු දෙකක් බව පළමුවෙන් ම දැකගත යුතුයි.

බොහෝමයක් පෘථග්ජන ලෝකයා ප‍්‍රාණ ඝාතයක් කිරීමෙන් වැළකී සිටින්නේ, පර පණ නැසීමෙන් තමාට ද අපා දුක් විඳීමට සිදු වන බව අසා දැන ඇති නිසා අපායෙන් වෙන් වී සිටීමේ චේතනාවෙන් අපාදුක් විඳීමට ඇති භය නිසාම පාපයෙන් වැළකී කටයුතු කරති. තවත් බොහෝමයක් දෙනා පර පණ නැසීමෙන් වැළකී සිටින්නේ සුගතියක ඉපදීමට, දිව්‍ය ලෝකවල බ‍්‍රහ්ම ලෝකවල, මිනිස් ලෝකයේ ඉපදීමට හැකි වෙතැයි සැපයට ආශා වී සිල් රකී. මේ අනුව වේරමණී සීලය සමාදන් වීමෙන් බලාපොරොත්තු වන්නේ මෙම ලෞකිකත්වය තුළම යම් කිසි යහපත් තැනකට පත්වීමකි. එනම් අපායෙන් මිදීමත්, සුගතියට පත් වීමත් යන ලෞකික බලාපොරොත්තු යන අන්ත දෙක මිස, නිවනට උපකාර වන අරිය සීලයක් මෙම ලෞකික සීල සමාදානයේ නැති බව පැහැදිළි විය යුතුයි. එය යහපත් සංසාර ගමනක් දිගට ම පවත්වා ගෙන යෑමට නම් උපකාර වේ. මෙහිදී කුසලයක් සිදු නොවේ. පාපයෙන් වෙන්වීම කුසලයම නොවේ. පාපයෙන් වෙන්වීම පින්කමක් ද නොවේ. නමුත් එය ද ලෞකික සීලයකි.

බුදුපියාණන් දේශණා කර වදාළ අරිය සීලය යනු මෙම ලෞකික සීලය නොවේ. බුදුපියාණන් උපත ලැබූ යුගය වන විටත් සම්මතයෙන් සමාදන් වූ සීල සමාදානයක් එදා භාවිතයේ පැවතුණු බව කවුරුත් දන්නා කරුණකි. මහාමායා දේවිය බෝසත් කුමරා ගැබ්ගත් අවස්ථාවේ පටන් අෂ්ටාංගික උපෝසථ සීලය සමාදන් වී සිටි බවත් ප‍්‍රකට කරුණකි. මහා සම්මත රජුගේ කාලයේ පටන්ම දස රාජ ධර්මයේ අඩංගු සිල් පදවලින් පද පහක් අද දක්වාත් පන්සිල් පද ලෙසින් සමාදන් වේ. මේ ලෞකික සීලයයි.

බුදුවරයෙකු ලොව පහළ වන්නේම පෙර නොඇසූ විරූ ”පුබ්බේ අනනුස්සුතේසු ධම්මේ” යන නවතම ධර්ම අර්ථ විග‍්‍රහයක් කිරීමටයි. මේ ආකාරයෙන්ම ගෝතම බුදුපියාණන්ද බුද්ධත්වයට පත් වී සීලය නමින් එදා සම්මත කරගෙන තිබූ යහපත් සිල් රැුකීමේ ප‍්‍රතිපදාවටත් අලූත්ම අර්ථ කථනයක් ලබා දී අලූත්ම ආකාරයේ ලෝකෝත්තර සීලයක් ලෝකයාට හඳුන්වා දුන්හ. මේ සීලය එතෙක් භාවිතයේ පැවති ලෞකික සීලයේ එන පදවැල්වලටම නව අර්ථ කථනයක් ධර්ම අර්ථයක් ලබා දීමකි. අපායෙන් මිදී නිදහස් වීම හෝ දෙව් මිනිස් සැප ලබා ගැනීම හෝ මෙම සීලයේ පරමාර්ථය හෝ බලාපොරොත්තුව හෝ නොවේ. මෙම අරිය සීලයෙන් බලාපොරොත්තු වූයේ ලෝකෝත්තර නිවනයි. ලෝකයෙන් එතෙර වීමට ලෞකිකත්වයෙන් මිදී නිදහස් වීමට උපකාර වන ආකාරයේ අධ්‍යාත්මික නිවීමක් ළය සිසිල් වීමක් මේ අරිය කාන්ත සීලයේ පවතී. ලෞකික සීලයෙන් සිදුවන්නේ ශික්ෂණයකිි. එය තාවකාලික හික්මීමකි. නමුත් ලෝකෝත්තර අරිය කාන්ත සීලයෙන් බලාපොරොත්තු වන්නේ හික්මීම තුළින්ම බිහිවන ලබා ගත හැකි සංවරත්වයට ද පත් වීමකි.

අරිය සීලය එකකි. පෘථග්ජන පුද්ගලයාගේ සීලය තව එකකි. අරිය උත්තමයෙකු සීලයෙහි පිහිටන්නේ යථාවබෝධයෙන්මය. ඒ බණ අසා කරුණු අවබෝධ කරගෙන ගිනි උපදින තැන් දැන, ගින්නට හේතු දැක ප‍්‍රඥාවෙන්ම ඒ ගිනි නිවා සිසිල් කර ගැනීමට උපකාර වන දහම ධර්ම මාර්ගය කුමක්දැයි ලැබූ යථාවබෝධයෙන්ම සීලයෙහි පිහිටයි. එය හේතුඵල දහම අවබෝධයෙන්ම ලැබූ සීලයකි. අරිය සීලය කුසල සීලය ලෙසද හඳුන්වනු ලැබේ.

අරිය උත්තමයෙකු සීලයෙහි පිහිටනවා මිස කවුරුන් හෝ සීලයෙහි පිහිටවනවා නොවේ. කාගේන්වත් ගත් සීලයක පිහිටනවාද නොවේ. කවුරුන් හෝ දුන් සීලයක් ගන්නවාද නොවේ. ලෝක අපවාදයෙන් බේරීමට ලෝකයාට ප‍්‍රදර්ශනය කිරීමට සිල්වතෙකු බව කියා පෑමට රකින සීලයක් ද නොවේ. යම්කිසි ලාභයක්, ප‍්‍රයෝජනයක්, කීර්තියක්, ප‍්‍රසංශාවක් ලබා ගැනීමේ අරමුණින් රකින සීලයක්ද නොවේ. ගුරු හාමුදුරුවන්ගෙන් සිල් ලබා ගත් නිසා ගුරු කුලයේ සම්මතයෙන් සියලූ අය සිල් වත රකින නිසා රකින සීලයක්ද නොවේ. දායක, ශ‍්‍රාවකකාරක ආදීන්ගෙන් සිව් පසය ලබා ගැනීම සඳහා රකින සීලයක්ද නොවේ. හේතුඵල දහම දැක ඒ පිළිබඳ ලැබූ යථාවබෝධයෙන්ම මෙතෙක් කල් විඤ්ඤාණයෙහි උපත ලත් ලෝභ, ද්වේෂ, මෝහ නැමති කුණු සළා හැරීමෙන්ම ගිනි නිවා දැමීමෙන්ම ලැබූ සිසිලකි, සීලයකි. ඒ නිසාම ආර්ය සීලය කුසල සීලය ප‍්‍රඥාව මුල් කොට ගෙනම සීලයේ පිහිටීමකි.

කුණු සළා හැරීමෙන් චිත්තය අධිප‍්‍රතිසාරයට පත්වෙයි. අධිප‍්‍රතිසාරයට පත්වීමෙන් ප‍්‍රමෝදය ඇතිවේ. ප‍්‍රමෝදයෙන් ප‍්‍රීතිය හට ගනී. ප‍්‍රීතියෙන් ප‍්‍රසබ්දිය (සංසිඳීම) ඇතිවේ. සංසිඳීම නිසා සුවය ලැබේ. සුවය සමාධියට පත්වේ. සමාධියට පත්වීමෙන් යථාභූත ඥාණ දර්ශනය (අලෝකය) ලැබේ. විරාගය නිරෝධය, විමුක්තිය ඉන් පසුව ක‍්‍රමයෙන් ධර්මානුකූලවම ලැබේ. මෙය අරිය සීලය වැඩෙන ගමන් මඟයි. එය බලෙන් වඩා ගත හැකි දෙයක් නොවේ.

අරිය උත්තමයෙකුට උත්සාහයෙන් සිල් රැුකීමක් හෝ පොරොන්දු වීමක් ලෙස සිල් ගැනීමක් හෝ කෙනෙකුගෙන් ගත් සිල් වතක පිහිටීමක් හෝ අවශ්‍ය නොවේ. අරිය තත්ත්වයට පත්වීමත් සමඟම ලැබූ යථාවබෝධය නිසා සීලයෙහි පිහිටයි. ඒ සීලය ප‍්‍රඥාවෙන්ම රකී. සෝවාන් තත්ත්වයට පත් වීමත් සමඟම අරිය උත්තමයා යම් සීලයක් හෝ වතක් පරම ආහාර කොට පැවැත්වීමෙන් මිදෙන්නේ මේ නිසාමය. ඒ සංයෝජනයෙන් මිදුණු නිසාය.

සීල, සමාධි, ප‍්‍රඥා එකම රෝදයක ගරාදි තුනක් බඳුය. මේ ගරාදි තුනම නොමැතිව රෝදය කැරකැවිය නොහැකිය. එමෙන්ම ප‍්‍රඥාව අරිය සීලයෙහි මුල් ගරාදියයි. ප‍්‍රඥාව නිසා සීලයෙහි පිහිටන අතර සීලය නිසා සමාධිය වැඬේ. සමාධිය නිසා ප‍්‍රඥාව වැඬේ. ප‍්‍රඥාව වැඩෙත්ම සීලය බලවත් වේ. නැවත සමාධිය බලවත් වේ. නැවත නැවත ද ප‍්‍රඥාව බලවත් වෙයි. මෙය ගුණාකාරයෙන් වර්ධනය වීමක් සිදුවෙයි.

පෘථග්ජන පුද්ගලයාට සීලය යනු ආරක්ෂක වැටක් පමණි. රාග, ද්වේෂ, මෝහ නිසා කරන අකුසල් වලින් වෙන් වී බේරී සිටීමට ඉදිකරගත් වැටකි. ඒ වැට සකස් කර ප‍්‍රඥාව නැමති බීජය වපුරා නොගත්තේනම් අස්වැන්නක් ලබා ගත නොහැක. එනම් ප‍්‍රඥාව නොවැඬේ. අරිය උත්තමයාට සීලය වැටක් නොවේ. ප‍්‍රඥාව නැමති භෝගය වැඞී උස් මහත් වී ඇති නිසා රාග, ද්වේෂ, මෝහ නැමැති වල් සතුන්ට ඒ භෝග පාළු කර දැමිය නොහැකිය.

මේ අනුව බුදුපියාණන්වහන්සේ එදා අලූතින්ම ලෝකයාට දේශණා කර වදාළේ එතෙක් ලෝකයේ භාවිතා වෙමින් පැවති ලෞකික පංච සීලයම නොවේ.

බුදුපියාණන්වහන්සේ ලෝකයාට අලූතින් එදා දේශණා කර වදාළ ලෝකෝත්තර පංච සීලය වන්නේ,

1.සංවර සීලය 2.චේතනා සීලය 3.වේරමණී සීලය 4.ප‍්‍රහාණ සීලය 5.අවිතික්කම සීලය

යන අංග පහකින් සමන්විත වූ අරිය කාන්ත සීලයයි. ඒ වාගේම මේ පංච සීලය ම තවත් ආකාරයකි විග‍්‍රහ වේ.
1. පරියන්ත පාරිශුද්ධ සීලං
2. අපරියන්ති පාරිශු්ධ සිලං
3. පරිපුණ්ණ පාරිශුද්ධ සීලං
4. අපරාමට්ඨ පාරිශුද්ධ සීලං
5. පටිපස්සදී පාරිශුද්ධ සීලං ලෙසත් පටිසම්භිදාමග්ග දේශණා වෙන්ම සීලය විග‍්‍රහ කර තිබේ.

1. ”සංදේශණාවක් අසා සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වී, සංවර වීමට පෙර ”සංවරේන පහාතබ්බා” යන තත්ත්වයට පත් වීමට පෙර රකින සීලය අනුපසම්පන්න ”පරියන්ත පාරිශුද්ධ සීලය” ලෙසත්,

2. සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වී, දස්සනේන සම්පන්න වී, සංවරත්වය තේරුම් ගත් පසුව සංවරේන පහාතබ්බා කිරීම සඳහාම රකින සීලය උපසම්පන්න සීලය ලෙසත්,

3. කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් ලැබී, කුණු සළාහැරීම සඳහා, මඟඵල සඳහාම රකින ”සේඛ සීලය” පරිපුණ්ණ පාරිශුද්ධ සීලය ලෙසත්,

4. මඟඵල ලාභිව අරහත් තත්ත්වයට පත්වීමේ බලාපොරොත්තුවෙන් රකින සීලය අපරාමට්ඨ පාරිශුද්ධ සීලය ලෙසත්,

5. බුද්ධ තත්ත්වයට පත්වූ ලොව්තුරා බුද්ධ, පච්චේක, බුද්ධ, අරහත් බුද්ධ යන අසේඛ අරියන්වහන්සේලාගේ සීලය ”පටිපස්සදී පාරිශුද්ධ” සීලය ලෙසත්, ගෝතම බුදුපියාණන් පිරිසිදුවම වෙන් වශයෙන් දේශණා කර පෙන්වා වදාළහ.

අරියකාන්ත ලෝකෝත්තර සීලයේ වැදගත්ම අංගයක් වන්නේ එය සංවර සීලයක් බව ප‍්‍රකාශ කිරීමයි. තමන්ගේම ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමෙන්ම මෙම සීලයේ පිහිටිය යුතු වේ.

”කායේන සංවරෝ සාධු වාචාය සංවරෝ සාධු මනසා සංවරෝ සාධු සාධු සබ්බත්ථ සංවරෝ”

යන තත්ත්වයට පත් වූ පුද්ගලයාට නිවන් මඟඵල පූර්ණ කර ගැනීමට නියත වශයෙන් ම තමන් තුළම පිහිටි සංවර සීලය උපකාර වේ. දහසක් සංවර සීලය, කෝටියක් සංවර සීලය, ප‍්‍රත්‍යසංනිස්සිත සීලය ආදී පදවලින් විග‍්‍රහ කර පෙන් වූ සීලයේ පිහිටීම සීලයේ තිපරිවට්ටයේ තුන්වන පියවර වූ විවට්ටයයි.

මේ අනුව ම්ච්ජා සීලයෙන් වෙන් වීම සඳහා සමාදන් වන ලෞකික සීලය අදත් එදත් සම්මතයෙන් භාවිතයේ පවත්වාගෙන ආ යහපත්, හොඳ, ලෞකික පැවැත්වීමක් සඳහාම උපකාර වන සීලයක් මිස බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ අරිය කාන්ත සංවර සීලයම නොවන බව හැම බෞද්ධයකුම තේරුම් ගත යුතුව තිබේ. මුලින් ම සම්මත ලෞකික සීලයේ පිහිටීමත්, පසුව ලෝකෝත්තර සීලයේ පිහිටා සංවර වීමත් නිවන් අවබෝධ කර ගැනීමට බෙහෙවින්ම උපකාර වේ.

එදා සම්මතයෙන් ලෝකයා භාවිතා කරගෙන ආ සිල් පදයන්හි වචන මුල්කර ගෙන ම ඒ පදවලටම නව අර්ථ කථනයක් සහිත වූත් ධර්ම පරියායක් ප‍්‍රතිපත්තියක් සහිත වූත් සිල්පද රාශියක්ම බුදුපියාණන්වහන්සේ ම ලෝකයාට දේශණා කර වදාළ බව චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේත්, දීඝ නිකායේ සාමඤ්ඤපල සූත‍්‍රයේත්, තවත් සූත‍්‍ර ධර්ම ඉතා විශාල ගණනකත් දේශණා කර පෙන්වා වදාළහ.

පාණාතිපාතා වේරමණී සික්ඛා පදං සමාදියාමි
අදින්නාදානා වේරමණී සික්ඛා පදං සමාදියාමි
කාමේසුමිච්ඡචාරා වේරමණී සික්ඛා පදං සමාදියාමි
මුසාවාදා වේරමණී සික්ඛා පදං සමාදියාමි
සුරාමේරය මජ්ඣපමා දට්ඨානා වේරමණී සික්ඛා පදං සමාදියාමි.

යනුවෙන් භාවිතයේ පැවති ලෞකික සම්මත සිල් පද වෙනුවට බුදුපියාණන්වහන්සේ තම ශ‍්‍රාවකයින්ට එදා හඳුන්වා දුන්නේ,

පාණාතිපාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති
අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති
අබ‍්‍රහ්ම චරියං පහාය බ‍්‍රහ්මචරියා හෝති
මුසාවාදාං පහාය මුසාවාදා පටිවිරතෝ හෝති
පරුසාවාචං පහාය පරුෂාවාචා පටිවිරතෝ හෝති
පිසුනාවාචාං පහාය පිසුනාවාචා පටිවිරතෝ හෝති
සම්පප්ඵලං පහාය සම්පප්ඵලාපාං පටිවිරතෝ හෝති
සුරාමේරය මජ්ජපමා දට්ඨානං පහාය සුරාමේරය මජ්ජපමා දට්ඨානා පටිවිරතෝ හෝති.

ආදී වශයෙන් ත‍්‍රිපිටකයේ සඳහන් ලෝකෝත්තර සිල් පද රැකිය යුතු සිල් මිස සමාදන් විය යුතු ඒවා නොවේ.

බුදුපියාණන්වහන්සේ අලූතින් ලෝකයාට දේශණා කර වදාළ සීලය තම තමන්ම අවබෝධ කර තම තමන්ම සීලයෙහි පිහිටා ක‍්‍රියාකළ යුතු ප‍්‍රතිපත්ති මාර්ගයක් වේ. නමුත් පසුව අදවන විට නැවතත් සීල සමාදානයක් සම්මත කර ගත් බවත් පැහැදිළිවම පෙනේ. නිවනට උපකාර වන සීලය සංවර සීලයම මුල්කොට ගත් තමන්ගේම ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමෙන්ම යම්කිසි ප‍්‍රත්‍යක්ෂ අවබෝධයකින් ප‍්‍රතිපත්ති රැුකීමකි. අපායට යෑමට භයෙන් හෝ දෙව්ලොව යෑමේ ආශාවෙන් හෝ සමාදන් වන ලෞකික සීලයකට වඩා මෙය උතුම් සීලයකි. ලෞකික සීලයේ පරමාර්ථයත් ලෞකිකයි.

චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේ සඳහන් සීල පදයන්හි ”පටිවිරතෝ හෝති” යනු ”රත්තෝ පරත්ත විරතෝ පටිවිරතෝ වේරමණියා” යන සියලූ ම අංගයන් ද ඇතුළත්ව විග‍්‍රහ කරන ලද සීලයයි. කාම ඕඝ, භව ඕඝ, අවිජ්ජා ඕඝ නිසා නිරතුරුවම කය රමණය කිරීමක් සිදු වේ. එසේ නැත්නම් රාගයෙන් මෝහයෙන් ඉන්ද්‍රියයන් පින වීමක් කරයි. ඉන්ද්‍රියයන් පින වීමට ක‍්‍රියා කිරීම නිසා තමාගේම ඉන්ද්‍රියයන් අසංවර වේ. පාපධර්ම, අකුසල ධර්ම සිදු වේ. ඊට පසු සංයෝජන නැමැති පටිවලින් තමන්ම සංසාරයට බැඳේ. මේ පටිවලින් ගැළවීමට නම් ”පටිවිරති” කළ යුතුම වේ. පටි ගළවා සංයෝජන ලෙහා ගළවා දැමිය යුතු වේ.

බුද්ධ දේශණාවේ උතුම් බුද්ධ ධර්මයේ පමණක් සීලයේ තිපරිවට්ටයක් ඇති බව හෝ සඳහන් වේ. වෙනත් කිසිම ආගමක හෝ ලෞකික දර්ශනයක හෝ නිවන් දකින ලෝකෝත්තර සීලයක් පිළිබඳව ඉගැන්වීමක් නොකරයි. බොහෝ ආගම් වල උපදෙස් දෙන්නේ හොඳ, යහපත්, නිවැරදි සමාජයක් ලෞකික පැවැත්මක් දිගටම පවත්වාගෙන යෑමට උපකාර වන ආකාරයේ ප‍්‍රතිපත්ති මිනිසුන්ට පෙන්වා දී හොඳ සමාජයක් බිහි කිරීම සඳහා යි. නමුත් උතුම් බුද්ධ ධර්මයෙන් පෙන්වා වදාළේ සංසාර දුකෙන් ලෝක සත්ත්වයා සඳහට ම මුදවා ගෙන නිදහස් කරගැනීමට මඟ පෙන්වා දීමකි.

එසේ නම් බුද්ධ ධර්මයේ පෙන්වා වදාළ ”විවට්ට” තත්ත්වයට පත් වීමට නම්, ම්ච්ජා සීලයෙන් වෙන් වී, පළමුව වේරමණී සීලයෙහි පිහිටා, එයිනුත් ඉදිරියට ගොස් දෙවනුව ලෝකෝත්තර අරිය කාන්ත සීලයේම පිහිටා ප‍්‍රතිපත්ති රැකිය යුතු බව මෙයින් පැහැදිළි වේ. අවංකවම නිවන් දැකීම සඳහා ප‍්‍රතිපත්ති පුරන බෞද්ධයෙකුට සංවර සීලය, චේතනා සීලය, ප‍්‍රහාණ සීලය, වේරමණී සීලය හා අවිතික්කම සීලය යන පංච සීලයම තේරුම් ගෙන සංවර සීලයේ පිහිටා කටයුතු කිරීමෙන් පමණක්ම අධි සීල යන අරිය තත්ත්වයටද පත්වී නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන්නා වූ ධර්ම මාර්ගයේ පළමු පියවර සම්පූර්ණ කර ගැනීමටත් හැකි වේ. සෑම කෙනෙකුම පළමුව සීලයේ තිපරිවට්ටය ම තේරුම් ගැනීමට උත්සාහ ගත යුතු වේ.

සමාධියේ තිපරිවට්ටය

සීලයේ සේම සමාධියේත් ප‍්‍රායෝගිකවම තිපරිවට්ටයක් පෙන්වා දී තිබේ.
1. ම්ච්ජා සමාධි
2. ලෞකික සමාධි (අනරිය සමාධි) හා
3. ලෝකෝත්තර අරිය සමාධි යනු මේ තිපරිවට්ටයයි.

1. ම්ච්ජා සමාධි යනු පව්කමක් කිරීම සඳහා සිත එක අරමුණකට යොමු කර පාප කර්මයක් කිරීමේ ක‍්‍රියාවලියයි. බළළෙක්, කොටියෙක් තවත් පණ ඇති සතකු ගොදුරක් කර අල්ලා ගැනීම සඳහා සිත එකඟ කර අනිකුත් ඉන්ද්‍රියයන් නිසළ කර එකම එල්ලයකට සිත පත් කර ක‍්‍රියා කිරීම මිච්ජා සමාධියකි. වෙඩික්කාරයෙක් සතකු මැරීමට සතුරකුට වෙඩි තැබීම වැනි නොයෙකුත් බාල ක‍්‍රියා වලදීත් ම්ච්ජා සමාධියකම පිහිටා ක‍්‍රියා කරයි. සතුන් සේම මිනිසුන්ද මේ ආකාරයට ක‍්‍රියා කරති. උපායශීලි කපටි වැඩ කරන බොහෝ අය ඒ සඳහා ම්ච්ජා සමාධියක පිහිටා ක‍්‍රියා කරති. එතැනදී රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක‍්‍රියාකර පාප කර්මයක් කිරීමක් සිදු වේ. එය අපායගාමී ම්ච්ජා සමාධියකි.

2. ලෞකික අනරිය සමාධියක් යනු ම්ච්ජා සමාධියෙන් වෙන් වී හොඳ යහපත්, නිවැරදි ලෞකිකත්වයක් සඳහා සමාධිගත වීමයි. ලෞකික සමාධියත් යහපත් එකක්ම වේ. ම්ච්ජා සමාධියෙන් වෙන්වීමම යහපත් සමාධියකි. නමුත් එය නිවන් අවබෝධයට ප‍්‍රමාණවත් වන උපකාර වන ලෝකෝත්තර සමාධියක් නම් නොවේ. එසේ වුවද ලෞකික අනරිය සමාධියද හොඳ යහපත් දෙයකි. එතැනදී සිදුවන්නේ රාග, ද්වේෂ යන නරක ගති දෙක යටපත් වීමයි. එසේ නැතිනම් රාග, ද්වේෂ යන කෙළෙස් ධර්මයන් තාවකාලිකව දැවී, යටපත් වී යෑමයි. මේ යටපත් වීම තාවකාලික වේ. ඒ වාගේම මෝහය සහමුළින්ම දුරු වීමෙන් ලබන්නා වූ විද්‍යා විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය මේ අනරිය ධ්‍යානයකදී නොලැබේ. කෙසේ වුවද අද භාවිතයේ පවතින භාවනා ක‍්‍රම බොහෝමයක් ම මගින් භාවනා මධ්‍යස්ථාන වලදී සිදු කරනු ලබන්නේ දැන හෝ නොදැන හෝ මේ ලෞකික අනරිය ධ්‍යානයන් වැඞීමයි. පුරුදු කිරීමයි. මෙවන් භාවනා මධ්‍යස්ථානයකින් සමථ භාවනාවක් වැඞීම සඳහා අවශ්‍ය වන මූලික කරුණු දැන ඉගෙන ගැනීමත් යහපත් දෙයක්ම වේ. නමුත් ලෞකිකත්වය තුළින්ම සිදු වන සිතක මත් වීම නිසා අරූපී අනරිය ධ්‍යානයකට පත්වී නොවැළැක්විය හැකි වේ. අනරිය, අරූපී ධ්‍යානයකට පත් වූ පුද්ගලයකුට මේ ලෝකය තුළදීම ලබාගත හැකි අත්විඳ ගත හැකි උපරිම ලෞකික සුවයකට පත් වේ. ඒ පමණක් නොව ඒ ලෞකික සුවයෙන් ඔහු මත් වේ. අසංඥ තලයක මතු උපත ලබන්නට ද මේ අනරිය අරූපී ධ්‍යානයන් ම හේතු වේ.

බුදුපියාණන් දේශණා කර වදාළ පෙන්වා වදාළ චිත්ත සමාධි මේ අනරිය වූත්,ලෞකික වූත් සමාධි සමඟ සැසඳිය හැකි ආකාරයේ ඒවා නොවේ. බුදුපියාණන් සොයා දැන වදාළ භාවනා ක‍්‍රමය එතෙක් ලෝකයේ භාවිතා කරමින් සිටි රාග, ද්වේෂ ගති යටපත් කර ලබන්නා වූ තාවකාලික ලෞකික සුවයක් හෝ මේ ලෝකයේදීම විඳීම ලැබීමේ අනරිය ක‍්‍රමයක් හෝ නොවේ. අරිය භාවනාව රාග, ද්වේෂ, මෝහ ගති සහමුළින්ම ඉවත් කර සමුච්ජේදනය කර මෝහයේ මුල් ගළවා දමා නැවත කිසිම දිනක කිසිම ආකාරයකින් මෝහය මතු නොවන ලෙසින්ම චිත්ත පාරිශු්ධිය ලබාගත හැකි ආකාරයේ අරිය සමාධියකි. බුදු මෙඟහි පෙන්වූ අරිය සීලය සේම අරිය සමාධිය, වෙනත් කිසිම ආගමක, දර්ශනයක භාවිතා නොවන ආකාරයේ ගාම්භීර සමාධියකි. මේ අරිය සීලය අරිය සමාධිය මෙන්ම අරිය අෂ්ටාංගික මාර්ගය ද උතුම් පරම පවිත‍්‍ර බුද්ධ ධර්ම මාර්ගයේම මිස වෙනත් කිසිම ආගමක භාවිතා විය හැකි දෙයක් නොවේ. මෙවැනි අරිය ධර්මයක්, අරිය විනයක්, අරිය සමාධියක්, අරිය සීලයක්, අරිය අෂ්ටාංගික මාර්ගයක් ලෝකෝත්තර නිවන සඳහාම මඟ පෙන්වන උතුම් ධර්මයක් පවතින්නේ බුද්ධ ධර්මය තුළම පමණි. එවන් බුද්ධ ධර්මය රැුකගෙන පවත්වාගෙන දිගින් දිගටම රැගෙන යන බලවේගය බුද්ධාගමයි. ඒ නිසා අද පවතින බුද්ධාගමේ භාවිතා වන්නේ අදට ගැළපෙන ලෙසින් සාදා සකස් කරගත් සීල, සාමාධි, ප‍්‍රඥා යන ලෞකික සම්මත ධර්මයන් කොටසකි. මේ සම්මතය තුළම ඇති පරමාර්ථ ධර්මයන් තේරුම්ගත් කෙනෙකුට පමණක් නිවන් දැකීමට උපකාර වන්නා වූ තිපරිවට්ටය ම අදටත් දැක ගැනීමට හැකියාව ලැබේ.

මේ අනුව අරිය සමාධියක් තුළින් ලබන්නා වූ ”අකුප්පා චේතෝ විමුක්තියත්” ලෞකික සමාධියකින් ලබාගත හැකි චේතෝ විමුක්තියත් යනු එකම ආකාරයේ විමුක්තියක් නොවේ. පළමුවන ධ්‍යානයේ සිට නේවසඤ්ඤා නාසඤ්ඤා යන අට වැනි ධ්‍යානයන් දක්වාම අනරිය සමාධි මෙන්ම අරිය සමාධි යන දෙකොටසක්ම පවතින බව පැහැදිළිවම තේරුම් ගත යුතුයි.

බුදුපියාණන්වහන්සේ බෝසත් සිද්ධාර්ථයන් ලෙස බුදුවීමට පෙර හය වසරක් පුරාම නොවිඳිනා දුක් විඳ සියල්ල අත්හරිමින් සම්පූර්ණ කර ගත්තේ ද අරිය නොවන අනරිය ධ්‍යානයන්ම වේ. උද්දකරාම පුත‍්‍ර, ආලාර කාලාම වැනි එවකට චිර ප‍්‍රසිද්ධව සිටි ඉසිවරුන් වෙතට ගොස් ඔවුන්ගේ උපදෙස් අනුව දුෂ්කර ක‍්‍රියා කරමින් ධූතාංග රැුක අනරිය වූ අට වැනි ධ්‍යානය නේවසඤ්ඤා නාසඤ්ඤා ධ්‍යානයද තෙක්ම බෝසත් තවුසන්වහන්සේත් ධ්‍යානයන් ලබා ගත්හ. නමුත් උන්වහන්සේ සොයන්නේ ලෞකික ධ්‍යාන සුවයක් නොවන බවත් තමන් සොයන ලෝකොත්තර නිවන මේ අනරිය ලෞකික ධ්‍යානවල නොමැතිි බවත් ඒවා තාවකාලික බවත් ඒ්වායේ විද්‍යා විමුක්තිය, ප‍්‍රඥා විමුක්තිය නෙමැති බවත් දැනෙන විට අතීත බුදුපියාණන්වහන්සේලාගෙන් අසා දැන තිබූ අරිය ආනාපාන සතිය සිතේ මතු විය. මේ අතීත බුදුපියාණන් වහන්සේලාගෙන් අසා දැන අරිය ආනාපානා සතිය තමන්වහන්සේ මීට පෙර කිසිම දිනක ප‍්‍රායෝගිකව භාවනා කර ”පස්සති” යන දැකීම ලබා නොතිබුණි. ”ජානතෝ” යන දැනීම ඥාණය පමණක් ලබා තිබුණි. ඒ නිසා සති කිහිපයකින්ම ජානතෝ යන අතීතයේ ලැබූ ඥාණය තුළින්ම ”පස්සතෝ ” යන ප‍්‍රඥාව (කුණු සළාහැර ශුද්ධ පවිත‍්‍ර වීම* උපදවා පහදා ගත්හ. එසේම පටිච්චසමුප්පාද ධර්මාවබෝධයද ලැබ ධම්මෝ සංදිට්ඨිකෝ වී පටිච්චසමුප්පාද ධර්මයේ
තිපරිවට්ටයම පූර්ණ ලෙසින් ම අවබෝධ කරගත් පසුව අරහත් තත්ත්වයටම පත්වී සම්මා සම්බුද්ධ යන උතුම් තත්ත්වයට පත් වූහ. මේ අනුව ‘‘ජානතෝ, පස්සතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස” යන පියවරයන් පිළිබඳව යථා පරිදි දැක දේශණා කර වදාළහ.

මෝහයේ මුල් සමුච්ජේද වශයෙන්ම සිඳලීමට උපකාර වන්නා වූ කුුසල මූල පටිච්චසමුප්පාද ධර්මයම තේරුම් ගෙන පසක්කර දැක, එය භාවිතා කරමින් අරහත් සම්මා සම්බුද්ධ තත්ත්වයට ම පත්වීම මෙහිදී විස්තර වේ. ඒ නිසාම

බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළේ,

‘‘යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” යනුවෙනි.

මේ ප‍්‍රකාශයෙන් පැහැදිළි වන්නේ අරිය ධ්‍යානයක් ලබා ගැනීමටත්් නිවැරදිවම උපකාර වන්නේ ”පටිඉච්ච සං උප්පාද” යන බුද්ධ ධර්මය තේරුම් ගැනීම බවයි. පටිඉච්ච සමුප්පාද ධර්ම විග‍්‍රහයෙත් තිපරිවට්ටයක්ම ඇත. එය පසුවට මෙහි විග‍්‍රහ කර තිබේ.

ම්ච්ජා සමාධි, ම්ච්ජා සමාධි බවත්, ඒවා අපායගාමී, දුගතියට පත් වන, පාපකාරී ඒවා බවත්, ඒ ම්ච්ජා සමාධිවලින් වෙන් වී, යහපත් ලෞකික සමාධි ලබාගැනීම සුගතගාමී බවත් සුගතියට පත්වීමට උපකාර වන බවත් පැහැදිළි විය යුතුයි. නමුත් බුද්ධ ධර්මය නම් උතුම් නවලෝකෝත්තර සිරි සද්ධර්මයෙන් බුදුපියාණන් ලෝකයට පැහැදිළි කර දීමට අදහස් කළේ ම්ච්ජා සමාධියෙන් වෙන් වී ලෞකික සමාධියට පත්වීමේ අනරිය ක‍්‍රමයක් නොවේ. එවන් අනරිය සමාධි එවකටත් ලෝකයේ බහුල ලෙසින්ම බොහෝ ආගම්වලත් දර්ශනවලත් භාවිතා වෙමින් පැවතුණි. ඒ නිසා ”පුබ්බේ අනනුස්සුතේසු ධම්මේ” යනුවෙන් බුදුපියාණන් එදා ලෝකයාට අලූතෙන්ම හඳුන්වා දුන්නා වූ අරිය සමාධි, අරිය ධ්‍යානයන් මිස වෙනත් කිසිම අනරිය ධ්‍යානයක් ප‍්‍රඥා විමුක්තිය ලබා නිවන් අවබෝධය ලැබීම සඳහා උපකාර නොවන බව පැහැදිළිවම තේරුම් ගත යුතුයි. සමාධියේ, ධ්‍යානවල තිපරිවට්ටයක් ම ඇති බවත් අද වන විට අරිය සමාධි, අරිය ධ්‍යානයන් භාවිතයෙන් ඉවත් වී යටපත්ව ලෞකික සමාධි, ලෞකික ධ්‍යානයන් පමණක් භාවිතයේ ඇති බවත් පිරිසිදුවම තේරුම් ගත යුතු දෙයකි. අරිය ධ්‍යානයන් ලැබීම සඳහා අරිය ආනාපානා සතියම තේරුම් ගෙන බුද්ධ භාවනාවක් ලෙසින් ප‍්‍රගුණ කළ යුතුයි.

මෙම අරිය ධ්‍යානයන් යටපත් වී අනරිය ලෞකික භාවනා ක‍්‍රමයන් ලෝකයා අතරේ ප‍්‍රචලිත වීමට මුල් වූ හේතුව බුද්ධඝෝෂ හාමුදුරුවෝ බුද්ධ භාවනා අතරට අනරිය භාවනා ක‍්‍රමයන්ද හඳුන්වා දී සම සතළිස් භාවනා ක‍්‍රමයක් ලෙසින් හඳුන්වා දීමයි. සෑම බුද්ධ භාවනාවක්ම සතර සතිපට්ඨානය කරාම කෙනෙකුන් යොමු වන ”සති” භාවනාවකි. බුද්ධඝෝෂ හාමුදුරුවෝ ”සති” භාවනා ක‍්‍රම දහය අතරට තවත් භාවනා ක‍්‍රම, සමථ භාවනා
තිහක් ද එකතු කර තමා ලියූ පොත්වලින් ලියා එළි දැක් වූ පසුව අද දක්වාම ලෝකයා භාවිතා කරන්නේ බුද්ධ භාවනා ක‍්‍රමයන් නොව විශුද්ධි මාර්ගයේ පෙන් වූ සමථ භාවනා ක‍්‍රමයන් පමණි. ඒ නිසා අද සිය දහස් ගණන් භාවනානුයෝගීන් භාවනා ප‍්‍රගුණ කරන භාවනා මධ්‍යස්ථාන වලදී ඒ අයට ලබාදෙන කර්මස්ථාන විපස්සනා භාවනාවක් ලෙසින් හෝ අනුපස්සනා භාවනාවක් ලෙසින් හෝ භාවනා කළ හැකි යැයි අනුමානයෙන්වත් සිතා ගත නොහැකියි. ඊට හේතුව විපස්සනා භාවනාවක් කිරීමට හා අනුපස්සනා භාවනාවක් කිරීමට නම් ද්වතාවය, තිපරිවට්ටය හා ත‍්‍රිලක්ඛණය යන ධර්ම නිවැරදිවම දැනගත යුතු වීමයි. නිවැරදිව අසා දැනගත් ධර්මය තමා තුළින් ම අත්දැක ගැනීමට (පස්සති* නම් ද්වතාවය හා ත‍්‍රිලක්ඛණයත්, තිපරිවට්ටයත් මනසින්ම දැකගත යුතුමයි. මේවා වෙන්කර දැකගන්නා තුරු සළාහැර ඉවත් කළ යුතු කුණු කෙළෙස් කළු ධර්ම තමාම තුළම ඇති බව දැක ගත නොහැකියි. මේ කළු ධර්ම කුණු තමාම කවදා හෝ අතීතයේදී එකතු කර ගත් ඒවා බව තමන්ම දැක ගත් පසුව පමණක් ඒවා තමාටම සළාහැර දමා පිරිසිදු විය හැකි බවත් දැක ගත හැකි වේ. මේ දැකීම”සංදිට්ඨිකෝ” යනුවෙන් පෙන්වා වදාළ ”දස්සනේන සම්පන්නෝ” වීමයි. ”සම්මා දිට්ඨියට” පත් වීමයි.

අරිය තත්ත්වයට පත් වීමයි. මේ අනුව අරිය මාර්ගයේ පෙන්වා වදාළ අරිය ධ්‍යානයන් හා ඊට පෙර පටන්ම භාවිතයේ පැවති අදටත් භාවිතා වන අනරිය ධ්‍යානයන් වෙන් කොට තේරුම් ගෙන සමාධියේ තිපරිවට්ටයම දැක ගත හොත් නිවන ද එතැන ම බව තේරුම් ගත යුතුයි.

ප්‍රඥාව හා එහි තිපරිවට්ටය

ප‍්‍රඥාව යනු ඥාණයේ ප‍්‍රකෘති තත්ත්වයයි. මාගධී බසින් මේ සඳහා භාවිතා කළේ ”පඤ්ඤා” යන පදයයි. පඤ්ඤා යන මාගධී පදයේ පස්සති, පජහති, පහානාති යනාදී ක‍්‍රියාකාරකම් සියල්ලම ක‍්‍රියාත්මක කිරීමේ ශක්තිය මිනිසෙකුට ලැබෙන්නේ ජානති, පරිජානාති යන පදවලින් මාගධී බසින්ම පෙන්වා වදාළ ඥාණයන්, දැනුම් සම්භාරයක් නිසාමයි. එසේ නම් ඥාණය, නුවණ, දැනුම ආදී පදවලින් අර්ථ ගැන්වූ දැනීම හා පඤ්ඤා යන පදයෙන් අර්ථ ගැන්වූ දැකීම යන පද දෙකෙන් බුද්ධ භාෂිතයේ අදහස් කරන ලද අර්ථයන්, ධර්මයන් එකක් නොව දෙකක්ම වේ. ”ජානතෝ- පස්සතෝ” යනු අවස්ථා දෙකකි. ඥාණය යනු බාහිර කෙනෙකුගෙන් අසා දැන, පොත පත කියවා, විශ්ව විද්‍යාලයකින්, ටියුෂන් පංතියකින් පවා ලබා ගත හැකි දෙයකි. ඥාණය දිනෙන් දිනම වෙනස් වන දෙයකි. විෂයානුබද්ධ දැනුමකි. මේ ඥාණයන් තම තමාගේ ම දැනීමේ ප‍්‍රමාණයට සීමා වේ. නවීකරණය වේ. පරණ මතිමතාන්තරයන් බිඳ වැටේ. මේ නිසා ඥාණයන් ලෞකික සංඛත ධර්මයන්ම වේ. පටිච්චසම්මුප්පන්න වේ.

නමුත් ප‍්‍රඥාව යනුවෙන් අදහස් කළ දැකීම තමන්ම තම ඥාණයේ ප‍්‍රමාණයට ලබන දැකීමයි. ඥාණය පදනම් කර ලබාගත් ප‍්‍රඥාව වෙනස් වන ස්වරූපයේ දෙයක් නොවේ. එය කාගෙන්වත් බාහිර පුද්ගලයෙකුගෙන් ලබා ගත හැකි දෙයක්ද නොවේ. තමා ලැබූ දැනුමේ ප‍්‍රමාණයට දැක ගත්තා වූ සත්‍යවබෝධයයි. එය අවබෝධයක් හෝ බුද්ධිමත්භාවයක් හෝ නොවේ. ප‍්‍රඥාව යනුවෙන් අදහස් කරන සච්ජිකිරියා තත්ත්වය කෙනෙකුට ලබාගත හැකි වන්නේ තමන් ධර්මය අසා ලබාගත් දැනුම විපස්සනා නුවණින් භාවිතා කර කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර දැක ගැනීම පළමු පියවර ලෙසත්, විපස්සනා නුවණින් කළු ධර්මයන් ප‍්‍රහාණය කර චිත්ත පාරිශුද්ධිය විමුක්ති ඥාණ දර්ශණය දෙවන පියවර ලෙසත් ලබා ගැනීමෙනුත් පමණි. එසේ නම් ”ප‍්‍රඥාව” යන පදයෙන් අදහස් කරන ලද දැකීම ලබා ගත හැකි වන්නේ රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්මයන් තම චිත්තසංථානයෙන් ඉවත් කර ප‍්‍රහාණය කර බැහැර කර පිරිසිදු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසින්ම තම මනස ප‍්‍රකෘති තත්ත්වයට පත් කිරීමෙනි. ඒ නිසාම ප‍්‍රඥාව ලබා ගැනීමට සම්මා දිට්ඨි, සම්මා සංකප්ප ආදී වශයෙන් ප‍්‍රකාශ කරන ලද අරිය අෂ්ටාංගික මාර්ගයම පූර්ණ කර ගැනීම අනිවාර්යය වේ.

මේ ආකාරයෙන් ප‍්‍රඥාව ලෙසින් ප‍්‍රකාශ කරන ලද සම්මා අෂ්ටාංගික මාර්ගයේ ද තිපරිවට්ටයක්ම විග‍්‍රහ වේ.
1. මිච්ජා අෂ්ටාංගික මාර්ගය
2. ලෞකික අෂ්ටාංගික මාර්ගය (සම්මා අංග ලෞකික වශයෙන්)
3. අරිය අෂ්ටාංගික මාර්ගය (සම්මා වශයෙන්)

1.ම්ච්ජා දිට්ඨි 2.ම්ච්ජා සංකප්ප 3.ම්ච්ජා වාචා 4.ම්ච්ජා කම්මන්ත 5.ම්ච්ජා ආජීව 6.ම්ච්ජා සති 7.ම්ච්ජා වායාම 8.ම්ච්ජා සමාධි

යනුවෙන් පෙන්වූයේ ම්ච්ජා අෂ්ටාංගික මාර්ගයයි. මේ ම්ච්ජා අෂ්ටාංගික මාර්ගය අනුගමනය කරන පුද්ගලයා අපායගාමී පුද්ගලයෙකි. ඔහු පින් පව්, කුසල් අකුසල් විශ්වාස නොකරයි. මව්පියන් පිළිබඳව විශ්වාස නොකරයි. පරලොවක් පිළිබඳව විශ්වාස නොකරයි. කර්ම විපාක ගැන විශ්වාස නොකරයි. බුද්ධ, ධර්ම යන රත්න දෙක මෙන්ම මහණ බමුණන් උතුමන් හෝ සංඝ යන අරහතුන් වහන්සේලා ගැන හෝ විශ්වාස නොකරයි. ඔහු ම්ච්ජා දිටිඨිකයෙකි.

මේ ම්ච්ජා දිට්ඨි, ම්ච්ජා සංකප්ප ආදී ම්ච්ජා අංග අටෙන්ම වෙන් වූ පුද්ගලයා ලෞකික සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සමාධි සමාධි යන ලෞකික සම්මා අංගයන් දැන ලෞකික අංගයන්ට පත් වූ අයෙකි. මෙවන් පුද්ගලයා ම්ච්ජා අංගවලින් වෙන් වූ ලෞකික සම්මා අංගයන් අනුගමනය කරන්නෙකි. ඔහු සුගතිගාමියෙකි. අපායගාමී ක‍්‍රියාවලින් තාවකාලිකව මිදුණු කෙනෙකි. හොඳ, යහපත්, නිවැරදි ලෞකික දිවි පෙවෙතක් සඳහා කටයුතු කරන යහපත් පුද්ගලයෙකි. මේ ලෞකික සම්මා අංගයන් සුගතිගාමී සංසාර ගමනකට ම පමණක් මිස නිවනට නම් ප‍්‍රමාණවත් නොවේ.

නිවනට නිවැරදිම මාර්ගය සම්පූර්ණ කර ගත හැකි වන්නේ ලෝකෝත්තර සම්මා අංගයන් අට වූ අරිය අෂ්ටාංගික මාර්ගයම දැක එය සම්පූර්ණ කර ගැනීමෙන් පමණි. අරිය අෂ්ටාංගික මාර්ගය හා ලෞකික සම්මා අංගයන් අට එකක් ලෙසින් ම බොහෝමයක් බෞද්ධයින්, දේශකයින් වහන්සේලා මෙන් ම උගතුන් පවා අද වැරදි ලෙසින්ම ලෝකයාට විග‍්‍රහකර පෙන්වා දෙති. ඒ අය අෂ්ටාංගික මාර්ගයේ තිපරිවට්ටය පිළිබඳව යථාවබෝධයකින් තොරව මෙවැනි වැරදි චිත‍්‍රයක් අනුමානයෙන් ලෝකයාට මවා පෙන්වති. බුද්ධ ධර්මය පිළිබඳව නිවැරදි අවබෝධයක් නොමැති බොහෝ බෞද්ධයින් ද, උගතුන් ද හොඳ, යහපත්, නිවැරදි ලෞකික සම්මා අංගයන් අටක් ගැන මිස, අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා වදාළ ලෝකෝත්තර අරිය මාර්ගය වූ සම්මා අංග අටක් පිළිබඳව අසා දැන ගෙන පවා නොමැත. මේ නිසා හැම කෙනෙකුම හොඳ සිහියෙන් යුතුව තේරුම් ගත යුතු වන්නේ මෙම අෂ්ටාංගික මාර්ගයේද තිපරිවට්ටයක්ම ඇති බව හා තිපරිවට්ටයම තේරුම් නොගත් කෙනෙකුට නිවනක් ගැන කල්පනා කළ නොහැකි බවයි.

ම්ච්ජා අංගවලින් මිදී ඉන් වැළකී ලෞකික සම්මා අංග කරා පළමු කොටම පැමිණිය යුතුයි. ඒ ආකාරයෙන් ම්ච්ජා අංගයන් ගෙන් මිදී ඉන් වැළකී ලෞකික සම්මා අංගයන් අනුගමනය කිරීම නිසා අපායගාමී ක‍්‍රියා මාර්ගයෙන් වෙන් වී සුගති ලෝකයන් කරා යෑම නම් සිදු වේ. නිවන යනු සුගති දුගති යන අන්ත දෙකෙන් ම සහමුළින්ම මිදී සංසාර ගමනෙන් සඳහටම මිදී නිදහස් වීමකි. නිවන සඳහා ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගයම අනුගමනය කළ යුතු වේ.

අෂ්ටාංගික මාර්ගයේ පළමු වැනි අංගය වූ සම්මා දිට්ඨි යන්නෙහි තිපරිවට්ටයක්ම ඇත.
1. ම්ච්ජා දිට්ඨි
2. සම්මා දිට්ඨි
3. අරිය සම්මා දිට්ඨි

යනු මේ තිපරිවට්ටය යි. ම්ච්ජා දිට්ඨි යනු වැරදි දැකීමයි. වැරදි දැකීමෙන් වෙන් වී, ඉන් මිදී, යහපත් දැකීම ලෞකික සම්මා දිට්ඨිය යි. ලෞකිකත්වයෙන් සහමුළින් ම මිදී නිදහස්ව ලෝකෝත්තර අරිය මාර්ගයට අවශ්‍ය සම්මා වීම නිවනට මඟයි. ධර්මය අසා, හේතුඵල දහමට බහා ගළපා බලා ”සං” උපදින අයුරු තේරුම් ගෙන ”සං” නිරෝධ කර සමුදය නිරෝධ කරගත හැකි බව දැකගත් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ පුද්ගලයෙකි. එසේ සං දැකගත්, සං නිරෝධ කරගත හැකි බව දැනගත් ඒ සඳහා නිවැරදි ආකාරයෙන් කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය භාවිතය තුළින්ම ”සං” සමුච්ජේදනය කර උදුරා දමා ඉවත් කළ හැකි බව දැකගත් පුද්ගලයා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වූ අරිය උතුමෙකි. ඔහු සම්මා දිට්ඨියේ තිපරිවට්ටය මෙන්ම, අරිය අෂ්ටාංගික මාර්ගයේම තිපරිවට්ටය ද යථා පරිදි අවබෝධ කරගත් නිවන් මාර්ගය පුරණ පුද්ගලයකු බවට ම පත් වේ.

මේ අනුව අද භාවිතාවන බුද්ධාගමේ සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධි දක්වාම ලෝකයාට පෙන්වා දෙනු ලබන්නා වූ සම්මා අංග අටම ලෞකික සම්මා අංගයන් බව තේරුම් ගත යුතුයි. මේ ලෞකික සම්මා අංගයන් හොඳ, යහපත්, නිවැරදි ජීවිතයක් දෙව් මිනිස් සැප සම්පත් ලැබීමේ ක‍්‍රම වේදයක් විනා සංසාර දුකෙන් මිදී සදහටම දුකෙන් මිදී යන ලෝකෝත්තර නිවන් දැකීමේ ක‍්‍රමයක් නොවේ. ඒ අරිය සම්මා දිට්ඨිය දැකගත හැකි වන්නේ ”සං” දේශණාවක් අසා ”ධම්මෝ සංදිට්ඨිකෝ” වීමෙන්ම පමණක් බව හැම කෙනෙකුම නිවැරදිවම තේරුම් ගත යුතුයි. ”සං” නොදුටු පුද්ගලයා අරිය සම්මා දිට්ඨිය ද නොදකියි.

මේ ආකාරයට සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය තෙක්ම ඇති සම්මා අංග අට සඳහාම තිපරිවට්ටයක් දේශණා කර වදාරා ඇත. මේ පිළිබඳව විග‍්‍රහ කළ බුද්ධ දේශණාව වන්නේ මහා චත්තාරිස සූත‍්‍රයයි. මහාචත්තාරිස සූත‍්‍රයේ ම්ච්ජා මාර්ගය, ම්ච්ජා අංගයන් ලෙසත්, ලෞකික සම්මා අංගයන්, ලෞකික සම්මා අංගයන් ලෙසත් ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගය නිවන් මඟ ලෙසත් ඉතාම පිරිසිදුවත් පැහැදිළිවත් මාගධී පාඨවලින් දේශණා කර වදාරා ඇත. නමුත් සිංහල පරිවර්තනය ඉතාමත්ම අපැහැදිළි වේ. මිනිසකුට, සිංහල උගතකුට පවා තේරුම් ගැනීමට නොහැකි තරමටම සිංහල පරිවර්තනයේ අර්ථ,ධර්ම , නිරුක්ති විකෘති වී ඇති නිසා නිවන් මඟ පහසුවෙන් කෙනකුට කියවා දැන ගැනීමට නොහැකි ලෙසින් ම වැසී යටපත් වී ඇත.

බොහෝමයක්ම දෙනා කල්පනා කරන්නේ දේශණා කරන්නේ පළමුවෙන්ම ලෞකිකත්වය යහපත් තත්ත්වයට පත්කර දෙවනුව නිවනට මඟ සළසා ගත යුතු බවයි. එසේ සිිතූ නිසාම අද දහදුක් විඳිමින් ඔබ හැම දෙනාම මේ ආකාරයෙන් සංසාරේ අතරමං වී දුක් විඳිති. මේ බුද්ධෝත්පාද කාලයකි. උතුම් බුද්ධ ධර්මය නිවැරදිවම අනුගමනය කිරීමෙන්් ලෝකෝත්තර නිවනට මඟ පෑදෙනවාත් සමඟම ඊට සමගාමීව නියත වශයෙන්ම අනිවාර්යයෙන්ම යහපත් ලෞකික දිවි පැවැත්මක් ඉබේම පිහිටන බවත් කවුරුත් තේරුම් ගත යුතුයි. මුලින් ලෞකික සැප සම්පත් විඳ ඊට පසු දෙවනුව නිවන් සැපයක් ගැන කල්පනා කිරීම වැරදි දෘෂ්ඨියක් පමණි.

දෙව් මිනිස් සැප කෙළවර නිවන් දැකීමට සෑම කෙනෙක්ම පතන්නේ පතන්නම පුරුදු වී ඇත්තේ මේ නොදැනුවත් කම හේතුවෙනි.

පටිච්ච සමුප්පාද ධර්මයේ තිපරිවට්ටය

නිවන් දැක ගැනීමට කෙනෙකුට නිවැරදිවම උපකාර වන උතුම් බුද්ධ දේශණාව පටිච්චසමුප්පාද දේශණාවයි. පට්ච්චසමුප්පාද දේශණාව යන ධර්මය නිවන් දැක ගැනීමට උපකාර කරගත හැකි උපකාර වන උතුම් පරියාය බව දන්නා උගත් බෞද්ධයන් අද ඉතාමත්ම විරලයි. පටිච්චසමුප්පාද දේශණාවෙන් විග‍්‍රහ කර පැහැදිළි කර පෙන්වා දිය නොහැකි කිසිම දෙයක් කිසිම සංඛත ධර්මයක් මේ පැවැත්ම තුළ නොපවතී. ඒ සියල්ලම සමුදය ධර්මයන් වේ. නිවන නැමති එකම අසංඛත ධර්මය පවා පැහැදිළිව විග‍්‍රහ කර පෙන්වා වදාළේ පටිච්චසමුප්පාද ධර්මයේම තිපරිවට්ට විග‍්‍රහයෙනිි. මේ නිසා පටිච්චසමුප්පාද ධර්මයේම සඳහන් තිපරිවට්ටයම පිළිබඳවත් කෙටියෙන් හෝ දැන ගත යුතුම වේ.

1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය
2. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමේ ධර්ම විග‍්‍රහය
3. කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය

මේ අංග තුනම අඩංගු උතුම් බුද්ධ ධර්මය විභංගප්ප‍්‍රකරණය නැමැති ත‍්‍රිපිටක ග‍්‍රන්ථයේ ඉතාම පැහැදිළිව විස්තර සහිතවම දේශණා කර පෙන්වා දී ඇත. නමුත් අද වන විට කුසලමූල පටිච්චසමුප්පාද නිස්දේසය යන වැදගත්ම කොටස විග‍්‍රහ කර ලෝකයාට පැහැදිළි කර දීමට තරම් ධර්ම ඥාණයක් ඇති උගතුන් ලෝකයේ විරල වීමම, ලෝකෝත්තර නිවන් මඟ වැසී යටපත් වීමට මූලිකම හේතුව බවට පත් වී ඇත. කුසලමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන්ම ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගයේ ඇතුළත් සියලූම පිළිවෙත් සම්පූර්ණ කර ගැනීමේ ප‍්‍රායෝගික ක‍්‍රියා මාර්ගය පැහැදිළි කර දේශණා කර පෙන්වා දී ඇත. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය අද වැසී යටපත් වීමත් සමඟම ”කුසල” යන පදයෙන් බුද්ධ භාෂිතයේ අදහස් කළ ධර්ම අර්ථයත්, නිරුක්ති අර්ථයත් දෙකමත් යටපත් වී ”පින්කම්” කිරීමටම පමණක් ම මිනිසුන් යොමු වුණු බවත් අද නිවැරදිවම තේරුම් ගත යුතුයි. අද කුසලය හා පින පටලවා භාවිතා කරනු පෙනේ. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද දේශණාවෙන් බුදුපියාණන් දේශණා කර ලෝකයාට පැහැදිළි කර වදාළේ අවිද්‍යාවෙන් නොදන්නා කමෙන් ලෝකයා තණ්හාවෙන් තම කැමැත්තට බැදී පටි ඉච්ච වී තමන්ගේම හිතට වහල් වී සංසාරයට බැඳී දිගින් දිගටම අතරමං වී සංසාර ගමනක යෙදෙන ආකාරය පෙන්වා දීමයි. එසේ නැතිව අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ නිවන් මඟක් පෙන්වා දී නැත. එහිදී පැහැදිළි කර ඇත්තේ නිවන වැසී ලෝකයා තමන්ගේ සංසාර ගමන නොනවත්වාම යමින් දුක් විදීමට මුල් වූ හේතු කාරණා සමූහයක් පෙන්වා දීම පමණි.

එසේම අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධගාමී මාර්ගයෙන් පෙන්වා වදාළේ ඒ අවිද්‍යාමූල ක‍්‍රියා පිළිවෙතින් ඉවත් වී සමුදය නිරෝධ කිරීමේ ක‍්‍රියා මාර්ගයයි. නිවන් අවබෝධය සඳහා මේ පියවර දෙකම දැන ගත්තද කුසල මූල පටිච්චසමුප්පාද විග‍්‍රහය නිර්දේශය නොදන්නා කෙනකුට ප‍්‍රායෝගිකවම එය අනුගමනය කිිරීමට නොදන්නා කෙනෙකුට මෝහයේ මුල් ගළවා දමා කුණු සළාහැර සමුච්ජේද වශයෙන් චිත්තසංථානය පාරිශුද්ධ තත්ත්වයට පත්කර නිවන පූර්ණය කර ගැනීමට හැකියාවක්, දැනීමක් නොමැත්තේය. තම චිත්තසංතානයේ අනන්ත අප‍්‍රමාණ කාලයක සිට ගබඩා කර මුල් බැසගෙන පවතින්නා වූ රාග බව- රාග මුල්, ද්වේෂ බව- ද්වේෂ මුල්, මෝහ බව – මෝහ මුල් මුළින් උපුටා දමා චිත්තසංථානය පාරිශුද්ධ තත්ත්වයට පත්කර සියලූ විඤ්ඤාණ බීජ ප‍්‍රහාණය කර දමා චිත්තසංථානය කෙළෙස්වලින් හිස් කරගත හැකි වන්නේ මිනිසකුට පටිච්චසමුප්පාද දේශණාවෙන් පෙන්වා වදාළ තිපරිවට්ටයමත් නිවැරදිව තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් ම පමණක් බව සියල්ලන්ම තේරුම් ගත යුතු වේ. මේ සඳහා කුණු මුල් ගළවා දැමිය යුතුයි.

අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වූ ලෝකෝත්තර අරිය මාර්ගය නිවැරදිවම තේරුම් ගෙන තමාගේම චිත්තසංථානයේ කාලයක් මුළුල්ලේම තැන්පත් වී, ගබඩා වී පැවති අදටත් පවතින රාග, ද්වේෂ, මෝහ ”භව” සහමුළින්ම උදුරා දමා පටි+ඉච්ච තත්ත්වයෙන් නිදහස් වීමට නම් පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ පෙන්වා වදාළ තිපරිවට්ටයම තරමක් දුරට හෝ තේරුම් ගත යුතුයි. මේ පටිච්චසමුප්පාද ධර්මය යනු ඕනෑම මිනිහකුට තේරුම් ගත හැකි ඉතාමත් සරළ ධර්මයකි.

මෙත්තා භාවනාව

කවුරුත් අද බහුල ලෙසින්ම දෛනිකව භාවනා කරනු ලබන්නා වූ මෙත්තා කර්මස්ථානවල ද තිපරිවට්ටයක් ම ඇති බව නිවැරදිවම තේරුම් ගත යුතු වේ.

1. අපායගාමී වන ද්වේෂ සහගත යැදීම්, පළි ගැසීම්, ශාප කිරීම්
2. සුගතිගාමී ලෞකික මෙත්තාව.
3. ලෝකෝත්තර අප‍්‍රමාණ මෙත්තා, අරිය මෙත්තා භාවනාව

1. සිතින් චිත්ත ශක්තියක් මතුකර සිතින් හෝ පදවැල් ලෙස හෝ වචන ලෙස හඬ නඟා හෝ ප‍්‍රකාශ කරන බොහෝ දේ චිත්ත සංඛාර ලෙසින්ද තමා තුළම ක‍්‍රියාත්මක වේ. ද්වේෂයෙන්, වෛරයෙන් තවත් කෙනෙකුට ශාප කිරීම, පළි ගැසීම, යාඥා කිරීම, කන්නලව් කිරීම වැනි දේ සිතින්ම කරන ක‍්‍රියාවන් වේ. මේ ක‍්‍රියාවන් කිරීමේ ප‍්‍රතිඵලය වන්නේ පළමු කොටම තමාගේම සිත ද්වේෂයෙන්, වෛරයෙන්, මෝහයෙන් කිළිටි වීමයි. ඒ කිළිටි සිතින් කරනු ලබන ශාප කිරීම නිසා තවත් බාහිර කෙනෙකුගේ පාපයක් ඵල දීමට ඇති නම් එම ශාපය ඒ බාහිර අය කරා යා හැකියි. එවැනි බාහිර කෙනෙකු එම ශාපය භාර නොගත්තොත් බාහිර අය මෙත් සිතින්ම ඒවා බැහැර කළොත් ශාප කළ තමන් කරාම නැවත ආපසු එය පැමිණීමට හැකිය. ඒ නිසා මෙවැනි වෛරී සිතකින් ශාප කිරීමේ නියත ප‍්‍රතිවිපාකය වන්නේ ශාප කළ පුද්ගලයාගේ ම සිත කිළිටි වී මෝහය වැඩි දියුණු වී අපායගාමී බවට පත් වීමයි.

2. ලෞකික වශයෙන් මෙත් කිරීම, මෙත්තා භාවනාවක් වැඞීමේ ක‍්‍රමයක් ද අද බහුල ලෙසින්ම බොහෝමයක්ම බෞද්ධයින් අතරත් ක‍්‍රියාත්මක වේ. ”මම නිදුක් වෙම්වා, මම නිරෝගි වෙම්වා, මම සුවපත් වෙම්වා, මම නිවන් දකිම්වා, මගේ ගෙදර අයට, මගේ ගමේ අයට, මගේ සතුරන්, මිතුරන්’’ ආදී මට සම්බන්ධ සියලූ අයට මෙත් කිරීමේ මෙම ක‍්‍රමය ලෞකික වේ. මෙතැනදී මෙත් වඩන්නේ අනවබෝධයෙන්ම යි. මේ මම, මගේ යන ශරීර කූඩුව විඤ්ඤාණයට පදිංචි වීමට තාවකාලිකව සාදා ගත් කූඩුවකි. එවැනි කූඩුවකට මෙත් වැඞීමේ ඇති ඵලය කිසිවෙකුට සිතා ගත නොහැකි නිසා අද මේ ආකාරයට මෙත්තා භාවනාවක් වඩයි. මේ කූඩුව කෙතරම් නිරෝගී වේවා, නිදුක් වේවා, සුවපත් වේවා යනුවෙන් කූඩුවට දින පතාම මෙත් වැඩුවත්, මරණය කරා යන නියත ගමනක යෙදී සිටින විපරිණාමයට පත්වන මැරී විනාශවන සංඛතයකි. ඒ ආකාර වූ කූඩුවලට මෙත් වැඞීමෙන් ඇති වන ප‍්‍රතිඵලය නිවනකට හේතු නොවේ. කූඩුවට තව තවත් ඇලීමට බැදීමටම එය හේතු පාදක වේ.

මේ ආකාරයට මට, මගේ අයට, අපේ අයට කරන මෙත් වැඞීම කිසිවිටකත් අප‍්‍රමාණ මෙත් වැඞීමක් නම් නොවේ. ඒ නිසා මෙත්තා භාවනාවකත් තිපරිවට්ටයක්ම ඇති බව දැන අප‍්‍රමාණ මෙත් වැඞීම සඳහා පරම මෙත්තා, අරිය මෙත්තාව තම සිත තුළින්ම මතුවන ලෙසට මෙත්තා භාවනා කර්මස්ථානයක් නිතර නිතර භාවනා කිරීමට පුරුදු පුහුණු විය යුතුයි.

මම ද සියලූ ලෝක, සියලූ සත්ත්වයෝ, සතර අපා දුක තෙක් ඇති සියලූ දුකින් මිදී සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා!
කාම රාග පටිඝ ආදී රෝගයන්ට මුල් වන සියලූ කරුණු වලින් මිදී සකෘදාගාමී ඵලයෙන් නීරෝගි වෙත්වා!
නිරාමිස සුවයෙන් අනාගාමී ඵලයට පත් වී අනාගාමී සුවයෙන් සුවපත් වෙත්වා!
සදහටම සංසාර දුකින් මිදී නිදහස් වන අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා!
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා!

යන මෙම අරිය මෙත්තා කර්මස්ථානයෙන් තමා ද අනෙකුත් සියලූ සත්ත්වයෝ ද සියලූ ලෝකද සම තත්ත්වයක ලා සළකන නිසා අප‍්‍රමාණ මෙත්තාව සිතේ වැඩෙයි. ලෝකෝත්තර නිවනම අරමුණු කර මෙත් වැඞීම නිසා, මම, මගේ ආදී සීමාවන්ට, සම්බන්ධතා වලට බැඳීමක්ද සිදු නොවේ. ඒ නිසා එය ශරීර කූඩුවකට කරන මෙත්් වැඞීමක් නොව, අනන්ත අප‍්‍රමාණ ලෝක සත්ත්වයා කෙරෙහි පතුරු වන සම මෙත පැතිරීමකි. පරම මෙත් වැඞීමකි.

මෙවන් මෙත් කර්මස්ථානයක් වැඞීමෙන්ම ප‍්‍රගුණ කිරීමෙන් ම පමණක් තම සිතෙහි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන සතර බ‍්‍රහ්ම විහරණයම වැඩෙන නිසා මෙතෙක් සංසාරයේ කවදා හෝ අතීතයක එකතු කර ගත් ද්වේෂ ගති, වෛර ගති, සහමුළින්ම ගැළ වී ගොස් සමුච්ෙඡ්ද වශයෙන්ම ද්වේෂ බව ප‍්‍රහාණය වී චිත්තසංථානය පිරිසිදු වේ. සිත මෘදු වේ.

මෙවන් මෙත් භාවනාවක් දින කිහිපයක් භාවිතා කරමින් භාවනා කරන විට තමන් නොදැනුවත්වම තම සිත තුළම උපේක්ඛා ගුණය දියුණු වේ. උපේක්ඛා ගුණය සිත තුළ දියුණු වීමත් සමඟම සතුරෙක්, මිතුරෙක්, මගේ කෙනෙක්, මගේ නොවන කෙනෙක් යන පක්ෂග‍්‍රාහී ලෙසින් හෝ පක්ෂපාතී ලෙසින් හෝ කෙනෙකුට විශේෂ සැළකීමක් හෝ වෙනසක් ඇති නොවේ. ඒ නිසා රාගයෙන් ඇලෙන ගති ලක්‍ෂණයෙන් ද තමන් මිදී නිදහස් වේ. මගේ කමට, යාළු කමට, අපේ කමට, හිතවත් කමට, නෑදෑ කමට මෙත් වැඞීම පරම මෙත් වැඞීමක් නොවේ. ඒ නිසා තමන්ට මෙන්ම සියලූ සත්ත්ව සමූහයාටත්, සියලූ ලෝක සත්ත්වයාටත් එක සමාන මෙත් සිත පැතිරවීමට හැකි තත්ත්වයට තමාගේම සිත මුදිතා තත්ත්වයට පත් කරගත හැකි වේ.

මේ අනුව පරම මෙත් වැඞීමම, සමස්ත ලෝක සත්ත්වයාටම වැඩිය හැකි වන්නේ මෙත් වැඞීමේ තිපරිවට්ටයම තේරුම් ගෙන මෙත්තා කර්මස්ථානයක් වැඞීමෙන්ම පමණක් බව තේරුම් ගත යුතුයි.

සීල, සමාධි, ප‍්‍රඥා භාවනා හා පටිච්චසමුප්පාද ධර්ම පරියායේ තිපරිවට්ටයම තේරුම් ගත් කෙනෙකුට වඩාත්ම වැදගත් වන ආකාරයේ චතුරාර්ය සත්‍යයෙහි ද අඩංගු
තිපරිවට්ටයම අවබෝධ කරගැනීමට හැකි වේ. ධම්මචක්කපවත්වන සූත‍්‍රයේ සඳහන් ‘‘තිපරිවට්ටං ද්වාදස ආකාරං” යන මෙම තිපරිවට්ටය දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධගාමී මාර්ගය යන කරුණු සතරක් පිළිබඳවත් තිපරිවට්ටයක් ම ඇති බව ප‍්‍රකාශ කරන ලද තැනකි.

දුක්ඛ අරිය සත්‍යය පිළිබඳව පරීක්‍ෂණය, නිරීක්‍ෂණය, නිගමනය යන තිපරිවට්ටය ද යථාභූත ඥාණයෙන් ම දැක ගත යුතුයි.

1. සැපයක් යනු සිතේ මතු වූ කැමැත්තට බැඳීමයි- පටිඉච්ච වීමයි
2. කැමැති දේ කැමැත්ත පරිදි එක දිගටම නොපවතියි (අනිච්චයි)
3. යමක් තමා කැමති පරිදි නොපැවතීම, සිදු නොවීම දුකයි. (සැපයි සිතා සිටි දේ ඒ ආකාරයෙන් ම නොපවතින ස්වභාවය දුකයි)

මේ ආකාරයෙන් සිතේ කැමැත්තක් ඇති වීමත් රූපය, ඇස, චක්ඛු විඤ්ඤාණය එකට ස්පර්ෂ වී, වේදනාවක් බිහි වීමත් වේදනාව සුව නම්, ඒ සුව බව, සැප බව තවත් මොහොතකින් වෙනස් වී, විපරිණාමයට පත් වී, කැමැත්තට විරුද්ධ වූ තත්ත්වයකටම පත් වන බවත් දැක ගත හැකි වේ නම් දුක්ඛ අරිය සත්‍යයේ තිපරිවට්ටයම කෙනෙකුට දැක ගත හැකි වේ. මේ යථා තත්ත්වය පරික්‍ෂණය කර දැනගෙන, නිරීක්‍ෂණය කර දැකගෙන, නිගමනය කර තීරණය කිරීම දුක්ඛ අරිය සත්‍යය අවබෝධ වීමයි.

දුක්ඛ සමුදය සත්‍යයත් දුක්ඛ අරිය සත්‍යය ආශ‍්‍රයෙන් ම පරීක්‍ෂණය, නිරීක්‍ෂණය, නිගමනය යන තිපරිවට්ටයම තේරුම් ගෙන අවබෝධ කරගත යුතුයි. පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත් කෙනෙකුට ”සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වූ කෙනෙකුට තමන්ගේ ම හිතට අරමුණු වූ සිතුවිල්ලක් දිගේ සංඛාර කරමින් ”සංපස්සජා වේදනා” තත්ත්වයට සිතින් ම පත් වී බිහි කරගන්නා ”සමුදය” පිළිබඳව සත්‍යය යථා පරිදි දැකගැනීමටත් ලැබේ. පටිඉච්ච – සංඋප්පන්න ධර්මතාවය නිවැරදිව ම දැක ගැනීම මෙහිදී සමුදය අරිය සත්‍යය දැක ගැනීම ලෙස හැඳින්වේ. එනම් තමාගේ සිතම ක‍්‍රියාත්මක වී සමුදය ධර්මයක් බිහිකර ගන්නා ආකාරය පිළිබඳව සත්‍යය දැකීමයි . හේතුඵල දැකීමත් මේ සත්‍යය ම දැකීම වේ.

දුක්ඛ නිරෝධ අරිය සත්‍යයේත් තිපරිවට්ටයක්ම ඇත. දුක්ඛ සත්‍යය, දුක්ඛ සමුදය සත්‍යය දැකගත් කෙනකුට ඊළඟට මේ දුක නිරෝධ කළ හැකි බව සමුදය නිරෝධ කළ හැකි බව (නිර්උදා) පරීක්‍ෂා කර දැනගත හැකියි. සංඛාර නිරෝධයේ සිට භව නිරෝධය දක්වා නව අවස්ථාවේදී ම නිරික්‍ෂණය කර අරමුණ අත්හැර, අරමුණට නොබැඳී, පටිඉච්ච නොවී, මිදී නිදහස් විය හැකි බව තීරණය කර නිගමනය කිරීම මෙතැන තිපරිවට්ටයයි.

දුක්ඛ නිරෝධ ගාමිණී මාර්ගය මඟ වැඞීම යන අරිය සත්‍යයන් කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය භාවනා කිරීමෙන්ම භාවිතා කිරීමෙන්ම බහුලව භාවිතා කිරීමෙන්ම අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කර ”සම්මා” තත්ත්වයට පත්වීම බව පරීක්‍ෂණයෙන්, නිරීක්‍ෂණයෙන් නිගමනය කර ප‍්‍රායෝගිකව ම සම්පූර්ණ කරගත යුතු දෙයක් බවත් අවබෝධ විය යුතුයි. මේ අරිය ඥාණයන් ගැන කථා කරන විට මේවා සත්‍ය ඥාණ, කෘත ඥාණ, කෘත්‍ය ඥාණ ලෙසත් සමහර තැනක පෙන්වා දී ඇත.

තවත් වැදගත් කාරණයක් සම්බන්ධයෙන් අවධාරණයෙන් පැහැදිළි කර දිය යුතු වේ. දැනගන්නවාය යනු එකකි. දැනීමය යනු දැනගත්තාය යනු ඥාණයයි. දැකීමය යනු දැක ගත්තා යනු ප‍්‍රඥාවයි. ”බුද්ධ දේශණාවේ ජානතෝ” යන පදයෙන් ප‍්‍රකාශ කර වදාළේ ඥාණය, දැනීම යන අර්ථයයි. පස්සතෝ යනු දැකීමයි. එසේ නැත්නම් ප‍්‍රඥාව යන අර්ථයයි. අරිය ශ‍්‍රාවකයෙක් වනුයේ යම් කෙනෙක් දැනුම ලබා ඒ දැනුම තුළින්ම දැකීමක් ලබාගත් අවස්ථාවේදීයි. ඥාණය නැත්නම් දැනුම ලබා ගත් පමණින්ම ධර්මය තුළින්ම දැක ගත හැකි ”යථාවාදී තථාකාරී” බව ”තථාවාදි යථාකාරී” බව දැකිය නොහැකියි.

මෙතෙක් ”සංසාරයි” යනුවෙන් ඇති කර ගෙන තමා තුළම මුල් බැස ගෙන චිත්ත සංථානයේ ගබඩා වී පැවති දෘෂ්ඨිගත වීම් සියල්ලෙන්ම මිදී, දිට්ඨි ඕඝ වලින්ද මිදී සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස යන දෘෂ්ඨි තුනෙන් ම මිදී නිදහස් වූ කෙනෙකු ධර්මය දැකගත් පුද්ගලයෙක් බවට පත්වේ. දහම් ඇස ”ධම්ම චක්ඛුං උදපාදි” වූ පුද්ගලයෙක් බවට පත් වේ. මේ නිසා ධර්මය අසා, ධර්මය දැන ගෙන, ඥාණය උපදවා ගත්ත ද ඒ ධර්මය අනුගමනය කර, කුණු සළාහැර ”පඤ්ඤා උදපාදී” යන තත්ත්වයට පත් නොවූ කෙනෙකු, තවම ධර්මය තුළින් දැකගත යුතු, දැකගත හැකි අරිය සත්‍යයන් දැකගෙන නොමැත.

මේ අනුව ධර්මය දැක ගැනීම (පස්සතෝ) යනු අරිය තත්ත්වයටම පත් වීමයි. සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බතපරාමාස යන දෘෂ්ඨින් තුනෙන්ම මිදුණු පසුව දිට්ඨි ඕඝ වලින්, දිට්ඨාසව වලින්, දිට්ඨි අනුසය වලින්ද මිදී නිදහස් වීම ”පස්සතෝ” යන ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමයි. මේ පැවැත්මේදී සංඛාර පැවැත්වීමෙන්, සංඛත හදමින්, සමුදය ධර්මයන් බිහිකර ගනිමින්, අතරමං වී, මංමුළා වී යන මේ සංසාර ගමන පිළිබඳව යථා තත්ත්වය දැක ගැනීම ප‍්‍රඥාව උපදවා, පහදා ගැනීම යන තත්ත්වයට පත්වීමයි.

මේ අනුව යම් කිසි කෙනෙකු පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය අසා සුතමයේ ඥාණයද ලබා සෝතාවදානේ පඤ්ඤා යන උතුම් තත්ත්වයට පත් වීමට නම් මේ ආකාරයෙන් බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ සීල, සමාධි, අෂ්ටාංගික මාර්ග හා පටිච්චසමුප්පාද ධර්මයෙහිත් තිපරිවට්ටයම දැන, දැනගත් මඟ අනුගමනය කර, කුණු සළාහැර, ප‍්‍රඥාව උපදවා පහදා ගත යුතුයි. කුණු සළාහැර කෙළෙස් ප‍්‍රහාණය කර චිත්තසංථානය පිරිසිදු කර ගත් පමණට ම මනසේ ක‍්‍රියාකාරීත්වයන් දියුණු වී ප‍්‍රඥාව උපදී. ප‍්‍රඥාව යනු චිත්තසංථානයේ පිරිසිදු බව ඇති වූ තරමට ලැබිය හැකි යථාභූත විමුක්ති ඥාණ දර්ශනයයි. ලෝකය නිවැරදිව දැකගත හැකි ශක්තියයි.

බුදුපියාණන්වහන්සේ පන්සාළිස් වසක් පුරාම ලෝකයාට දේශණා කර වදාළ උතුම් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය දේශණා කළේ සැප සම්පත්වලින් පිරි ලෝකයක් එවැනි සුගති ලෝකයක් හෝ තිර පැවැත්මක් දෙව් මිනිසුන්ට පෙන්වා දී එවැනි සැප සම්පත් පරිහරණය කිරීමට මඟ කියා දීමේ ක‍්‍රමවේදයක් ලෝකයාට පෙන්වා දීමට නම් නොවේ. දෙව් මිනිස් සැප කෙළවර නිවන් දැකීමක් බුදුපියාණන් කිසිම විටෙකත් අනු දැන වදාර නැත. මෙළොව මෙන්ම මතු උපදින පරලොවක් ද සැප සම්පතින් පිරි තැනක් බවට සුඛිත මුදිත තැනක් බවට පත් කර ගැනීමේ ලෞකික අදහසක් ළාමක පරමාර්ථයක් කිසි විටකත් බුදුපියාණන් අනුදැන වදාළේ නැත. කුමන ආකාරයක හෝ සුගතියක දෙව් මිනිස් සැප ලබන තැනක උපත ලැබුණ ද නියත වශයෙන්ම ඒ උපතත් සමඟම සියලූ ආකාර වූ දුකක් ද උරුම වන බව ලෝකයාට පෙන්වා දී උපත සමඟ ම සංසාර දුක සමාජ දුක හා පැවැත්මේ දුකද උරුම වන බවත් පෙන්වා දී මතු උපතකින් බේරී නිදහස් වීමේ මාර්ගයම ලෝකෝත්තර ධර්මයම, ලෝකයාට දේශණා කර වදාළ සේක. යම් කිසිවෙක් යම් ආකාරයක සැපයක් මේ ලෞකිකත්වය තුළින් හෝ පරලෝකයක දී හෝ බලාපොරොත්තු වී කටයුතු කරයි නම්, පින් දහම් කරයි නම්, ඔහු නියත වශයෙන්ම ධර්මය දැක නොගත්, දුක උරුම කර ගැනීමටම කටයුතු කරන කෙනෙක් වේ. ධර්මය දැක නොගත් ඔහු සැපයට ලෝභ වී, අවිද්‍යාවෙන්ම ක‍්‍රියා කරන කෙනෙක් වේ. බුදුපියාණන් දේශණා කළ වදාළ උතුම් බුද්ධ ධර්මයේ තිපරිවට්ටය තේරුම් නොගත් කෙනෙක් වේ.

අද භාවිතයේ පවතින බොහෝමයක් ම ආගම්වල එකම උත්සාහය මෙළොව යහපත් තැනක් බවට පත් කිරීමට මිනිසුන්ට මඟ පෙන්වා දීම හෝ මතු උපදින තැන යහපත් සුරලොවක් බවට පත්කර ගැනීමට මඟ පෙන්වා දීමයි. සියලූ වත් පිළිවෙත් රකින්නේ, සිල් රකින්නේ, භාවනා කරන්නේ, පිංකම් කරන්නේ මේ ලෞකිකත්වය තුළින්ම යම් සැපයක්, සුවයක් ලබා ගැනීමට හෝ මතු උපත ලබන තැනකදී එවැනි සැප සම්පත් ලබා ගැනීමේ හෝ ඒකායන අරමුණකිනි. මෙවැනි ළාමක අදහසක් බලාපොරොත්තුවක් ලෝකයා තුළ ඇති වීමට මූලිකම හේතුව තිපරිවට්ටය පිළිබඳව දැනුමක් නොමැති වීමයි. උතුම් බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ තිපරිවට්ටයම නිවැරදිව තේරුම් ගෙන ලෞකික සැප සම්පත් යනු මායාවක්, මුළා දර්ශනයක්, විඤ්ඤාණයේ ක‍්‍රියාත්මක වන සිතක උපදින ප‍්‍රිය මධුර අරමුණු සමූහයක් පමණක්ම බව සත්‍ය ලෙසින් තේරුම් ගෙන ප‍්‍රඥාවෙන් මේ සත්‍යය දැක ගැනීමෙන් ලෞකික තත්ත්වයෙන් මිදී නිදහස් වී ලෝකෝත්තර නිවනටම පත් විය හැකි වේ.

ඇත්ත ඇති සැටියෙන් දැන, නොඇලී, නොගැටී, නොබැඳී, මුළා නොවී අවංකවම විමුක්තිය සඳහා කටයුතු කරන මිනිසෙකු බවට පත්වීමෙන්ම එහි නියත අතුරු ප‍්‍රතිඵලයක් ලෙසින්ම ඔහුට මෙලොව යහපත් තැනක් බවට පත් කරගත හැකි වීම නියත ස්වභාවයයි. එලොව යහපත් තැනක්, නිදහස් තැනක් බවට පත් වීම ද එහි ම නියත ප‍්‍රතිඵලයකි. මේ අනුව නිබ්බානගාමී ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීම හැම මිනිසකුගේම එලොව, මෙලොව දොලොවෙහිම නිරාමිස සුවයට හේතු වනු ඇති.

නමුත් අද ලෝකයේ ක‍්‍රියාත්මක වන සෑම ආගමකම මේ පරම සත්‍යය කණපිට පරළා, පළමු කොටම ලෞකිකත්වය සුවපත් කර, සැප සම්පත් විඳ ඒ සැප සම්පත් හරහාම නිවන් දැකීමටත් උත්සාහ දරණ ළාමක ක‍්‍රියාමාර්ගයක්ම අනුගමනය

කරන බව පෙනේ. ලෝකයාටත් දේශණා කරනු ලබයි. අද බොහෝමයක්ම බෞද්ධයින් ද නිවන් ප‍්‍රාර්ථනා කරමින් මේ උගුලට අසුවී, අතරමං වී සංසාර දුක උරුම කර ගැනීමේ ඒකායන මාර්ගයම ගමන් කරන බව යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන ඕනෑම මිනිසකුට දැක ගත හැකි සත්‍යයකි.

ඥාණය හා ප්‍රඥාව

අවසාන වශයෙන් නිවන් අවබෝධ කර ගැනීමට නියත වශයෙන්ම උපකාර වන ඥාණය හා ප‍්‍රඥාව පිළිබඳව තිපරිවට්ටය පැහැදිළි කර දිය යුතු වේ.

1. අඥාණ චරියා (විඤ්ඤාණ චරියා)
2. ඥාණ චරියා
3. චරියා වවත්ථේන පඤ්ඤා

1. ධර්මය නොඅසා, ධර්මය නොදැන ඉන්ද්‍රියයන් පිනවීම සඳහාම කරනු ලබන රූපයට ඇලීම, රූපයට බැඳීම, අප‍්‍රිය රූප සමඟ ගැටීම, ප‍්‍රිය රූප වලට මුළා වීම, ප‍්‍රිය වේදනාවට, සංඥාවලට, සංඛාර වලට, විඤ්ඤාණයට ඇලීම, බැඳීම හා ගැටීම මුළා වීම අඥාණ චරියාවයි. අනුවණ හැසිරීමයි. මේ අනුවණකම් නිසාම කරනු ලබන්නා වූ අපායගාමී ක‍්‍රියාවලියකි. ඒ නිසා අඥාණ චරියාවෙහි යෙදෙන පුද්ගලයා නියත වශයෙන්ම අපායගාමී වේ. ඔහු යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමට නොදන්නා පුද්ගලයෙකි. ඔහු අයෝනිසෝමනසිකාරයෙන් අඥාණ ක‍්‍රියාවල යෙදී අපායගාමී වේ. මේ සංවට්ට අවස්ථාවයි.

2. ඥාණයන් හා ප‍්‍රඥාව අතර ද වෙනස්කම් රාශියක් ඇත. ප‍්‍රඥාව මුල්කොට ගෙනම නිවන් දැකීමට උපකාර වන ඥාණයන් උපදවා ගත හැකියි. ඒ නිසා බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ සියලූම ඥාණයන්, ප‍්‍රඥාවත් සමඟම සම්බන්ධ කර පෙන්වා තිබේ. ”සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යනු බුද්ධ ඥාණ වල පළමු වැන්නයි. ශ‍්‍රවණය කළ ධර්මය කෙරේ අවධානය යොමු කරමින් යෝනිසෝමනසිකාරයෙන් ශ‍්‍රවණය කර, මනස මෙහෙයවා, පෙරාබලා පිරිසිදු කර නොගත්තේ නම් ඒ ඇසූ දෙය සුතමයේ ඥාණයක් නොවේ.

මේ අනුවම,
1.පරිඤ්ඤාට්ඨේ පඤ්ඤා – දුක්ඛේ ඥාණං
2.පහානට්ඨේ පඤ්ඤා – සමුදයේ ඥාණං
3.සච්ජිකිරියට්ඨේ පඤ්ඤා – නිරෝධ ඥාණං
4. භාවනට්ඨේ පඤ්ඤා – මග්ගේ ඥාණං

යන මෙයින් පැහැදිළි වන්නේ දුක්ඛ, සමුදය, නිරෝධය හා නිරෝධ මාර්ගය ලෙසින් පැහැදිළි කරන ලද චතුරාර්ය සත්‍යයන් යථා පරිදි අවබෝධ කර ගැනීමේ දී ඥාණයන් හතරක් ලබා ගැනීමට ප‍්‍රඥාව භාවිතයෙන් හතර අවස්ථාවකදීම පිරිසිඳ දැක පරිඤ්ඤෙයිය ස්වභාවයට පිරිසිදු විය යුතු බවයි. මෙහිදී පිරිසිඳ දැක ගැනීම, පරිඤ්ඤෙයිය යන වචන වලින් පෙන්වා වදාළේ කෙළෙස් ප‍්‍රහාණය කර, චිත්ත පාරිශුද්ධ තත්ත්වයට පත් කරගත යුතු බවයි. මෙය සරළ බසින් ප‍්‍රකාශ කරනවා නම්, කෙළෙස් පිරුණු සිතක් මෝහයෙන් ක‍්‍රියාකරන තත්ත්වයක් මිස මනසින් ක‍්‍රියා කරන යෝනිසෝමනසීකරණය කිරීමට සමත් වූ සිතක් නොවන බවයි. රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කර කුණු සළාහැර අස්කර දැමීමෙන්ම (කුසලස්ස) මනස පිරිසිදු වේ. මෙසේ මනස පිරිසිදු කර ගැනීමේ ක‍්‍රියාවලිය ”පඤ්ඤා” යනුවෙන් භාවිතා කළ ප‍්‍රඥාව උපදවා පහදා ගැනීම යන අදහසයි. මේ නිසා ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමට නම් මෝහය ඉවත් කර කෙළෙස් ප‍්‍රහාණය කර දමා චිත්තසංථානය පාරිශුද්ධ තත්ත්වයටම පත් කර ගත යුතුයි.

පඤ්ඤා ( ප‍්‍රඥාව ) යනු පිරිසිඳ දැකීමයි ඥාණං ( නුවණ ) යනු නිවැරදි දැනීමයි.

අපට පොතක් කියවා ධර්ම දේශණයක් ශ‍්‍රවණය කර හෝ වෙනත් මාධ්‍යයකින් හෝ ලබාගත හැක්කේ ශුද්ධ පවිත‍්‍ර නොකළ දැනුමකි. ඒ දැනුම මුදලට, ටියුෂන් පංතියකින්, විශ්ව විද්‍යාලයකින් හෝ වෙනත් මාර්ගයකින් ද බාහිර ලෝකයෙන්ම ලබා ගත හැකියි. එය යහපත් හෝ අයහපත් හෝ දිවි පෙවෙතක් ගත කිරීම සඳහා උපයෝගි කර ගත හැකි ආකාරයේ රළු දැනුමකි. පොතක් කියවන, ධර්ම දේශණාවක් ශ‍්‍රවණය කරන සෑම පුද්ගලයකුටම ඒ අසා සිටින ධර්මය නිසා යම්කිසි දැනුමක් ද ලැබේ. නමුත් මේ ලබා ගත් දැනුම සිය දෙනෙකු පිළිබඳව සළකා බැලූ විට සිය ආකාරයකි. ඒ තමන් ලැබූ දැනුම එසේ නැත්නම් ඥාණය තමා තුළම ඇති වෙනත් ආධ්‍යාත්මික සාධකයක් මත ප‍්‍රමාණාත්මක වශයෙන් හා ගුණාත්මක වශයෙන්ද වෙනස් වන නිසයි. තම තමන් තුළම පවතින ආධ්‍යාත්මික සාධකය වූ ප‍්‍රඥා ශක්තිය අනුවම මේ ලබා ගන්නා, එකතු කර ගන්නා දැනුමේ ඥාණයේ ප‍්‍රමාණය හා ගුණය (Quality) තීරණය වේ.

මේ නිසා දැකීම හෙවත් ප‍්‍රඥාව (පඤ්ඤා) යන පදයෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ ධර්මතාවයත් දැනීම, ඥාණය හෙවත් නුවණ, උගත්කම යන පදවලින් පෙන් වූ ධර්මතාවයත් එකක් ම නොවේ. දෙයාකාර වූ අර්ථ දෙකකි.

පොත් පත් කියවා, වෙනත් මාධ්‍ය වලින් හෝ වෙනත් කෙනෙකුගෙන් බාහිර වශයෙන් හෝ ලබා ගන්නා දැනුම තමාට යහපත් හෝ අයහපත් හෝ ප‍්‍රතිවිපාක ගෙන දීමට සමත් විය හැකිය. වෙනත් වචන වලින් කියතොත් ප‍්‍රඥාවෙන් තොර වූ ඥාණය, දැනුම බොහෝ විටම තමාවම අපායගාමී මාර්ගයට පත් කරන ආකාරයේ දැනුමක් විය හැකියි. සියලූම ආකාරයේ කපටි වැඩ, උපායශීලි ක‍්‍රියා, විනාශකාරී ක‍්‍රියා කරනු ලබන්නේ ද ප‍්‍රඥාවෙන් තොර වූ නමුත් දැනුමක් ඥාණයක් පමණක් ලැබූ පුද්ගලයින් විසින්මයි.

ඥාණයක්, දැනුමක් නොමැති තැනක ප‍්‍රඥාව නැමැති ශක්තිය ද උපදවා ගත නොහැකියි. මේ අනුව බුද්ධ භාෂිතයේ ප‍්‍රඥාව යනුවෙන් අදහස් කළ ධර්ම අර්ථය පිරිසිඳීමකි. පිරිසිඳ දැකීමකි. පරිඤ්ඤයියං, පහානාති, තං පජානාති යන සියලූම මාගධී පදවලින් අර්ථ ගැන්වූයේ ප‍්‍රඥාවයි.

පස්සති (පිරිසිඳ දැකීම) යනුවෙන් ධර්ම විග‍්‍රහයේ භාවිතා කරන ලද පදය හැම විටම භාවිතා කළේ යම් කිසි කෙළෙස් කොටසක් තම චිත්තසංථානය තුළින් ඉවත් කර ප‍්‍රහාණය කර බැහැර කර දැමීමේ ක‍්‍රියාකාරකමක් පෙන්වීමටයි. මේ බැහැර කළ යුතු ඉවත් කළ යුතු ප‍්‍රහාණය කළ යුතු සියලූම කෙළෙස් තම විඤ්ඤාණය විසින්ම කවදා හෝ අතීතයේ දී එකතු කර ගබඩා කරගත් තම දැනුම් සංභාරයටම අයිති ගතිගුණ නමින් අප ව්‍යවහාර භාෂාවේ හඳුන්වන කිළිටි ශක්තියකි.

මේ අනුව අසා දැනගත් දේ උගත් දේ, එකතු කරගත් දැනුම් සම්භාරයක් හැම විටම නිවන් අවබෝධය සඳහා උපකාර නොවේ. බොහෝ විටම විඤ්ඤාණය විසින් එකතු කරගත් දැනුම් සම්භාරය නිවන වසා මුවහ කරන නීවරණ ධර්මයන් ම විය හැකියි. මහාචාර්යවරයකු, නවීන විද්‍යාඥයකු, උගතකු විසින් එකතු කරගනු ලැබූ දැනුම විෂයානු බද්ධයි. ඒ දැනුම, ඥාණය දිනපතා ම අලූත් කර ගත හැකි දියුණු කර ගත හැකි සංවර්ධනය කර ගත හැකි දැනුමකි. එය තමාගේ මෙන්ම ලෝක සත්ත්වයාගේ පොදු යහපතට මෙන්ම පොදුවේ අයහපතට ද හේතු කාරක විය හැකියි. විනාශකාරී යුද්ධායුධයක්, උපක‍්‍රමයක් සොයා දැන ලෝකයාට භාවිතය සඳහා ලබාදෙන කෙනෙක් එම විෂය පිළිබඳව දැනුමක් ලැබූ ඥාණවන්තයෙකි. ඔහුගේ මරණයෙන් පසුවත් වසර සිය දහස් ගණනක් යනතුරු ඔහු නිර්මාණය කර දුන් මේ විනාශකාරී ආයුධය ලෝකයාගේ විනාශය සඳහාම හේතු වේ. ඔහු එවැනි දැනුමක්, ඥාණයක් ලැබූවත්, ඔහුට ප‍්‍රඥාවක් නොතිබුණි. ඔහු කළ විනාශය ඔහුට දැක ගත නොහැකි විය.

යම් කෙනෙකුට ප‍්‍රඥාව (පිරිසිඳ දැකීම) උපදවා ගැනීමට නම් ඔහු හේතුඵල ධර්මතාවය පිළිබඳව ද යම්කිසි දැනීමක් ලබාගත යුතුමයි. මේ නිසාම බුද්ධ භාෂිතයේ ගෙන හැර දැක් වූ මේ ධර්ම පාඨය හොඳින් කියවා තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුයි.

”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති”

”පස්සති” යනු පිරිසිඳ දැකීමයි. ප‍්‍රඥාවයි. පිරිසිඳ දැකීම යනුවෙන් සිංහල භාෂා ව්‍යවහාරයේ සඳහන් වචන සඳහා මාගධී භාෂාවේ භාවිතා කළ පදය, ”පස්සති” යන පදයයි. පිරි+සිඳ දැකීම යනු අන්තවාදී බවෙන් මිදී, ප‍්‍රිය බවට (පිරියට) නොඇලී, නොබැඳී, අප‍්‍රිය බවට නොගැටී, මුළා නොවී උපේක්ඛාවෙන් ක‍්‍රියා කිරීමේ ශක්තියයි. හේතුඵල දහමට බහා ගළපා බැලීම මගින් ම පමණක් මේ පිරිසිඳ දැකීම සිදු වන බව සහතික කර දැක ගත හැකියි. පටි+ඉච්ච+සං+උත්පාද යන පදවලින් පෙන්වා වදාළ ප‍්‍රිය බව, කැමැත්ත සංසාර ගමනට මුලයි. සමුදය ධර්මයන් (සං+උපත) උපත ලබන්නේම ප‍්‍රියතාවයට බැඳීමෙනි. ප‍්‍රියතාවයට බැඳීම යනු පටි+ඉච්ච වීමයි. ඒ නිසා පිරිසිඳීම යනු ප‍්‍රිය අප‍්‍රිය යන අන්ත දෙකට ම නොබැඳී, නොඇලී, නොගැටී යමක් දැකීමයි.

පිරිසිඳ දැක ගන්නා කෙනකු තමා කරන, කියන, හිතන දේ නිසා බාහිර ලෝකයාට මෙන්ම තමාට ද උරුම වන්නා වූ ඵල විපාක දැක ගනී. පටිච්චසමුප්පාද ධර්මයට බහා බලා කටයුතු කිරීමේ ශක්තියක් නැති පුද්ගලයෙකුට ප‍්‍රඥාව ද නැති බව දැන් මනාව වැටහෙනු ඇති. මේ අනුව ප‍්‍රඥාව යනු අසා දැනගත් නුවණ, ඥාණය පිරිසිඳ දැකීමයි.

මේ අනුව දැනීම, ඥාණය, උගත්කම මෙන්ම බුද්ධිමත්කම ආදී සියලූ පද වලින් හඳුන්වන ලක්ෂණයන් ලෞකික දෙයක්ම වේ. එය අපායට යෑම මෙන්ම නිවනට යෑමටත් උපකාර වන හේතුවන දෙයකි. මේ උගත්කම, බුද්ධිය නිසාම යමෙක් මත්විය හැකියි. මානයෙන්, අස්මිමානයෙන්, මමත්ත්වයෙන් මත්වන ස්වභාවය මාන මදයයි. උතුම් බුද්ධ ධර්මය අසා පටිච්චසමුප්පාද ධර්මයට බහා ගළපා පිරිසිඳ දැක ගැනීමට (පස්සති) හැකිවන පුද්ගලයෙකුට, තමන් ලැබූ ඥාණය පිරිසිදු කර නිවනට මඟ පාදා ගැනීමටත් උපකාර කරගත හැකියි. මේ නිසා පිරිසිඳ දැක ගැනීමේ ශක්තිය නමින් පෙන්වා දුන් ප‍්‍රඥාව යන්න ඥාණය යනුවෙන් පෙන්වා දුන් දැනුමට වඩා හාත්පසින් ම වෙනස් වූ දෙයකි. ශක්තියකි. ප‍්‍රඥාවෙන් තොර ඥාණය නිවනට උපකාර නොවේ.

ප‍්‍රඥාව නැමැති ශක්තියද සෑම මිනිසෙකුටම තමාටම උපදවා පහදා ගත හැකි ශක්තියකි. මේ සඳහා කළයුතු හා කළ හැකි එකම ක‍්‍රියාමාර්ගය, තමාගේම ආධ්‍යාත්මය තුළ චිත්තසංථානය තුළ දිර්ඝ කාලයකම පටන් ගබඩා කර භාවිතා කරමින් සිටින කිළිටි ගති, රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය ප‍්‍රහාණය කර ඉවත් කර දමා චිත්තසංථානය පිරිසිදු කර ගැනීමයි. ආසවක්ඛය කිරීම ලෙසද බුද්ධ ධර්මයේ ඉතාම සරළ ලෙසත් පෙන්වා වදාළේ ද රාග බව, ද්වේෂ බව, මෝහ බව යන කෙළෙස් ගති ඉවත්කර ප‍්‍රහාණය කර අස්කර දැමීමයි. මේ ගති චිත්තසංථානය තුළ පවතින තුරු ප‍්‍රඥාවද මතු නොවේ.

මේ ආකාරයෙන් තමන්ම අතීතයේ කවදා හෝ කැමැත්තෙන්ම එකතු කර තමන්ගේම චිත්තසංථානයේ ගබඩා කර අදටත් භාවිතා කරන මේ කෙළෙස් ගති තමන් තුළම පවතින බව අසා දැනගැනීම ඥාණයකි. එසේ අසා දැනගත් පසුව ඒ කිළිටි ගත කෙළෙස් ගති ප‍්‍රහාණය කර දැමීමට ක‍්‍රියා කිරීම ප‍්‍රඥාවයි. ”පස්සති” යන වචනයෙන් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ප‍්‍රහාණය කිරීමේ හැකියාව ශක්තිය ප‍්‍රඥාවයි. මේ කෙළෙස් තමන්ටම හා ලෝකයාටත් අහිතකර ආකාරයෙන්ම ඵලවිපාක ලබාදෙන බව නොදැනීම අඥාණකමයි. තමන්ව දුගතියට පත් වන්නට අපා ගත වන්නට හේතුව මේ අඥාණකමයි. මේ අඥාණකම තම තමන්ම සාදාගත් දෙයකි.

ධර්මය අසා ඥාණය පහදා ගැනීම යනු අපායගත වීමට හේතුවන කරුණුත් නිවනට පත් වීමට හේතු වන කරුණුත් යන කාරණා දෙක කාගෙන් හෝ අසා දැන ගැනීම යි. මේ අපාගත වීමට හේතුවන කරුණු (කෙළෙස්) තමා තුළම පවතින බව දැන ගැනීම ඥාණයයි. මේ කරුණු අසා දැන ගත් පමණින්ම කෙනෙකු අපායෙන් මිදීම හෝ නිවනට පත් වීම හෝ සිදු නොවේ. අසා දැනගත් කරුණු කාරණා ආශ‍්‍රයෙන්ම තමා තුළ ම ගබඩා වී ඇති කෙළෙස් ආසව ප‍්‍රහාණය කර බැහැර කර, (පස්සදී) තම චිත්තසංථානය කෙළෙස්වලින් තොර තැනක් බවට පත්කර ගැනීමේ ශක්තිය හැකියාව ප‍්‍රඥාවයි. මේ අනුව ඥාණය පරිවට්ටයකි. ප‍්‍රඥාව විවට්ටයකි. ප‍්‍රඥාවෙන් ශුද්ධ පවිත‍්‍ර කරගත් පසුව ඥාණය ද විවට්ට ඥාණ බවට පත් වේ.

එවිට ඒ ඥාණය බුද්ධ ඥාණයකි.

මේ නිසාම බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ නිවන් මඟ ප‍්‍රඥා වෙන්ම කළයුතු විවට්ට ඥාණ පහදා ගැනීමක් ලෙසින් ද පෙන්වා දිය හැකියි.

1. අධිපතත්තා පඤ්ඤා සඤ්ඤා විවට්ටේ ඥාණං
2. නානත්තේ පඤ්ඤා චේතෝ විවට්ටේ ඥාණං
3. අධිට්ඨානේ පඤ්ඤා චිත්ත විවට්ටේ ඥාණං
4. සුඤ්ඤතේ පඤ්ඤා ඤාණං විවට්ටේ ඥාණං
5. වොස්සග්ගේ පඤ්ඤා විමොක්ඛ විවට්ටේ ඥාණං
6. තථට්ඨේ පඤ්ඤා සච්ච විවට්ටේ ඥාණං

මේ පියවර හයෙහි දීම ප‍්‍රඥාව යන ශක්තියෙන් අරමුණු පෙරා බලා මැන ශුද්ධ පවිත‍්‍ර කිරීමේ ආයුධයක් ලෙස ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වේ. මේ අවස්ථා හයේදීම ”විවට්ට” යන අස් කිරීම, ප‍්‍රහාණය කිරීම ක‍්‍රියාත්මක කිරීමෙන්ම ඥාණයන් පිරිසිදු කරගත හැකිය.

1. ප‍්‍රඥාවේ ආධිපත්‍යය නැත්නම් සංඥා පිරිසිදු කර, පෙරා බලා, කෙළෙස් වලින් තොර වූ ඥාණයක් ඇති කරගත නොහැකියි. නිවනට බාධක වන රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, පහස, මතක සටහන් යන සියලූ රාග සංඥා රාගයෙන් තොරවූ ”විවට්ට” සංඥා බවට පත්වීමට ප‍්‍රඥාව උපකාර කරගත යුතුයි.

2. සිතේ මතුවන චිතක්ක විචාර වල නානත්වය, ද්වතාවය, තිපරිවට්ටය හා අවිද්‍යා මූල සංඛාර, කුසලමූල සංඛාර ආදියේ නානත්වය දැක චේතෝ විමුක්තිය සඳහා බැහැර කළයුතු දේ පිරිසිඳ දැකීමේ ශක්තිය චේතෝ විවට්ටේ ඥාණයයි.

3. චිත්ත පාරිශුද්ධිය ලැබීම සඳහා බැහැර කළයුතු කෙළෙස් බැහැර කිරීමේ අධිෂ්ඨානය ද පඤ්ඤාවකි. ප‍්‍රඥා ශක්තියකි.

4. කෙළෙස් වලින් හිස් වූ සුඤ්ඤත තත්ත්වයට පත් වූ පසුව සිතක සියලූ ඥාණයන් පූර්ණ වශයෙන් ක‍්‍රියාත්මක වේ. පිරිසිඳ ගනී.

5. විමුක්ති ඥාණය, චේතෝ විමුක්තිය, පඤ්ඤා විමුක්තිය මිනිසකුගේ සිත තුළම මතු වන්නේ සියලූ සංයෝජනයන්ගෙන් බැහැර වී වොස්සග්ග පරිණාමී තත්ත්වයට සිත පත්කර ගැනීමේ ප‍්‍රඥාව නිසාමයි. විමුක්ති ඥාණ දර්ශනය මතු වීම නිසයි.

6. චතුරාර්ය සත්‍යයන් නියත වශයෙන් ම පූර්ණ වන්නේ ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමේ ප‍්‍රඥාව උපදවා පහදා ගත් නිසාමයි. මෙය ”යථාවාදී තථාකාරී තථාවාදී යථාකාරී” යන තථාගත ගුණය තථට්ඨෙ පඤ්ඤා ගුණයයි.

මේ අනුව ලෝකය යනුවෙන් අපම සාදාගත් අපම භාවිතා කරන මේ සංසාර පැවැත්ම සංසාර ගමන නිමා කිරීමට නම් අපම එකතු කර ගත් වට කර සාදා ගත් වටය (සංවට්ට) අපම ඉවත් කර අස්කර විවට්ට කර ගත යුතු වේ. ”මේ අස් කිරීම, ශුද්ධ කිරීම, විවට්ට කිරීම’’ තම තමන්ට ම කරගත හැකි වන්නේ ප‍්‍රඥාව යන ශක්තිය තමා තුළම ඇති කර ගැනීමෙන්ම පමණයි. නුවණ, ඥාණය, උගත්කම යනු ප‍්‍රඥාව නොවේ. නුවණ, ඥාණය යනු එකතු කර සාදාගත යුතු දෙයකි. නමුත් ප‍්‍රඥාව යනු අස්කර, ශුද්ධ පවිත‍්‍ර කර, පිරිසිදු, පවිත‍්‍ර, ප‍්‍රභාශ්වර තත්ත්වයට සිත පත් කර ගැනීමයි.

ප‍්‍රඥාව නිසා උපදවා ගත් ඥාණයන් හා දැනුම නිවනටම උපකාර වේ. ප‍්‍රඥාවෙන් තොර ඥාණය නිවනට උපකාර නොවේ.

විඤ්ඤාණය මඟින් එකතු කරගනු ලැබූ ඥාණය දැනුම ලෞකිකත්වය සඳහාම උපකාර වන්නකි. එය අපායගාමී හෝ සුගතිගාමී යන දෙකොටසකට ම අයත් විය හැකියි.

ඥාණයක්, දැනීමක් නැති තැනක නැති කෙනෙකු තුළ ප‍්‍රඥාවක් නොඋපදී. ඒ නිසා ධර්ම ඥාණයම ප‍්‍රඥාව උපදවා පහදාගත හැකි එකම උල්පතයි. ප‍්‍රඥාව උපදවා පහදා ගත නොහැකි කෙනෙකුට ධර්ම ඥාණයෙන් ද ඵලක් නොවේ. ඔහු උගතකු පමණි. බුද්ධියෙන් මත් වූවෙකි.

ප‍්‍රඥාව නොමැති කෙනෙකු එකතු කරගත් ඥාණය නිසා ඔහු තව කෙනෙකු සමඟ තර්ක විතර්ක කර අනෙකා පැරද වීමට තමාගේ මතයම ජයග‍්‍රහණය කිරීමට මානයෙන් සිත උදුම්මා ගැනීමට ක‍්‍රියා කරයි.

තර්ක විතර්ක කිරීම අනෙකා යටපත් කිරීම අස්මි මානය, අභිමානය, සදිසි මානය ආදි සියලූ ලක්ෂණ කෙනෙකු තුළ ඇති වීමට හේතුව ප‍්‍රඥාවෙන් තොර වූ ඥාණයක්, දැනුමක් එකතු කර ගැනීමේ ඵලවිපාක ලෙසින්ම යි.

ප‍්‍රඥාව ඇති කෙනෙකු තම දැනුම ඥාණය කිසිම අවස්ථාවක අයහපත් දෙයක් සඳහා යොදා නොගනී. තමා මෙන්ම අනෙකා ගැනද යහපත් අදහසින්ම අනෙකාට ද යහපතක් කිරීමේ ඒකායන අරමුණකින් ම නිතරම ක‍්‍රියා කරයි.

උපාදානය කර අල්ලාගෙන සිටි සියලූම පංචඋපාදානස්කන්ධයන්ම පටිනිස්සග්ග කර අත්හැර මිදී නිදහස් වීමට උපකාර වන්නේ ප‍්‍රඥාවයි.

පුද්ගලයෙකු තුළ යම් කිසි මිච්ජා දෘෂ්ඨියක්, ආස්සාද දෘෂ්ඨියක්, අත්ථානු දිට්ඨියක් පවතින්නේ ප‍්‍රඥාව නොමැති වීමෙනි. ඔහු තුළ යම් කිසි ඥාණයක්, නුවණක් පැවතිය හැකියි. මේ අනුව සියලූ දිට්ඨිවලින් මිදී සෝතාපන්න ඵලයට පත්වීමට නම් ඒ සඳහා අවශ්‍ය වන ප‍්‍රඥාව පිරිසිඳ දැකීමේ ශක්තිය ඇතිකර ගත යුතුමයි.

සම්මා දිට්ඨියට පත්වීම සඳහා ප‍්‍රඥාව අත්‍යාවශ්‍යම අංගයකි. එසේම ධර්ම ඥාණයක් ද ඒ සඳහා අත්‍යාවශ්‍යම වේ. ධර්මය අසා දැන නුවණ දියුණු කරගත් පුද්ගලයා තුළ ප‍්‍රඥාව නැතිනම් ඔහු ලෞකික සම්මා දිට්ඨියට මිස ලෝකෝත්තර අරිය සම්මා දිට්ඨියට පත් නොවේ.

සම්මා දිට්ඨියට පත් නොවූ නමුත් ධර්මය කියවා ත‍්‍රිපිටකය කට පාඩම් කර ඒ පිළිබඳව උගත්කමක් ලැබූ යම් ලෞකික ඥාණයක් එකතු කරගත් කෙනෙකු නිතරම ඒ දැනුම ඥාණය අනෙකාට ප‍්‍රදර්ශනය කිරීමට තමා ප‍්‍රසිද්ධ වීමට ප‍්‍රචාරයට ලෝකයාට පෙන්වීමට මෙන්ම ඒ දැනුම තුළින් යම් යම් ප‍්‍රතිලාභ ලබාගැනීමටත් කටයුතු කරන කෙනෙකු බවට පත් වේ.

නමුත් ධර්ම ඥාණයත් සමඟම ප‍්‍රඥාවද උපදවා පහදා ගත් සම්මා දිට්ඨියට පත් වූ උත්තමයකු කිසි විටකත් තම දැනුම අනෙකා පැරදවීමට අනෙකාට ප‍්‍රදර්ශනය කිරීමට තමාගේ ප‍්‍රසිද්ධියට ප‍්‍රණාමයට හෝ යම් ආකාරයක ප‍්‍රතිලාභයක් ලබා ගැනීමේ චේතනාව ඇතිව හෝ ක‍්‍රියා කිරීමට කටයුතු නොකරයි. ඔහු අවංකවම නිස්සරණ ආධ්‍යාශයෙන්ම ලෝක සත්ත්වයාට ධර්මාවබෝධය ලබාදී ලෝක සත්ත්වයාවද දුකෙන් මිදවීමේ ඒකායන අරමුණෙන් ක‍්‍රියා කරන කෙනෙකි.

ත‍්‍රිපිටක ධර්මයේ ප‍්‍රඥාව හා ඥාණය යන අංග දෙකෙන් ම සමන්විත වූ බහුශ‍්‍රැත පුද්ගලයෙකුගේ ලක්ෂණයන් පහත සඳහන් ධර්ම පාඨයෙන් හොඳින් විග‍්‍රහ කර තිබේ.

”සුතධරෝ, සුතසන්නිචයෝ, යේ තේ ධම්මා ආදී කල්‍යාණංවා, මජ්ෙඣ කළ්‍යාණංවා පරියෝසා කළ්‍යාණංවා, සාත්ථං, සව්‍යංජනං, කේවලපරිපුන්නං, පරිශුද්ධං, බ‍්‍රහ්මචරියං, අභිවන්දන්ති, තථාරූපස්ස ධම්මා බහුස්සුතාහොන්ති, ධතා, වචසා, පරිචිතා, මනසානු පෙක්ඛිතා, දිට්ඨි සුප්පටිවිද්ධා.”

මෙහි සඳහන් පද කිහිපයක් පිළිවෙලින් පැහැදිළි කර ගත යුතුයි.

1. සුතා (බහුස්සුතා* ධර්මය අසා, කියවා දැන, අවධානයෙන් ධර්ම ඥාණයක් ලබා ගැනීම.
2. ධතා- ධර්මය පිළිබඳව දැනුම, නුවණ දියුණු කර ගැනීම.
3. වචසා – විචක්ෂණයෙන්, විමර්ෂණයෙන් විපස්සනා නුවණ ලබා ගැනීම.
4. පරිචිතා – දැනගත් දේ ආශ‍්‍රයෙන් ම, විපස්සනා ඥාණය මතු කර, පිරිසිඳ දැක ගැනීමට අවශ්‍ය කෙළෙස් ප‍්‍රහාණය කිරීම.
5. මනසානු පෙක්ඛිතා- යෝනිසෝ මනසිකාරයෙන් යුක්තව, හේතුඵල දහමට ගළපා බලා පිරිසිඳ දැකීමේ ශක්තිය ලැබීම. ප‍්‍රඥාව යනු මේ අවස්ථාවයි.
6. දිටිඨි සුප්පටිවිද්ධා- සියලූ දෘෂ්ඨිවලින් ඉවත් වී, සම්මා දිට්ඨියට පත්වීම.

මේ අනුව බුද්ධ භාෂිතයේ ගෙන හැරපා දේශණා කර වදාළ උතුම් තිපරිවට්ටයම දැන දැක ක‍්‍රියා කරන ඕනෑම මිනිසකුට මේ අනුව සංසාර වට්ටයෙන් මිදී විවට්ට තත්ත්වයට පත් වී නිවන් අවබෝධ කර ගැනීමටම වාසනාව ඇති බව හැම කෙනෙකුට ම අවබෝධ වේවා.

Share Button

ත‍්‍රිලක්ඛණය

බුද්ධ භාෂිතයෙහි සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන පද ත‍්‍රිලක්ඛණයට අයත් වේ. බොහෝමයක් දෙනා නොදැනීම නිසාම තේරුම් ගැනීමට නොහැකිවීම නිසාම, මේ අනිච්ච යන බුද්ධ භාෂියේ එන පදය අනිත්‍යභාවය සමඟත් අනියතභාවය සමඟත් වැරදීමකින් පටලවාගෙන දිගින් දිගටම වැරදි ලෙසින්ම භාවිතා කරති.

අන්‍යතාභාවයට පත්වීමේදීත්, අනියතභාවයට පත්වීමේදීත් යන අවස්ථා දෙකේදීම කෙනෙකුට සැප මෙන්ම දුක යන දෙකටම පත්වීමට, අත්විඳීමට හැකියාව ඇත. හිසරදයක් සෑදුන කෙනෙකුට අන්‍යතාභාවයට පත්වීම යනු එය සනීප වීමයි. මෙහිදී අනියතභාවයට පත්වීම යනු පැවති හිසරදය ස්ථිර එකක්, නියත එකක් නොවන නිසා ඒ තත්ත්වය අවසන් වීමයි. එතැනදී ඒ පුද්ගලයාට අන්‍යතාභාවයට පත්වීමත්, අනියතභාවයට පත්වීමත් යන දෙකම දුක අවසන් වීමක් නිසා සැපට හේතු වේ. නමුත් අනිච්චතාවය යනු හැම විටම කැමැත්තට විරුද්ධව සිදුවේ යන අර්ථයයි. කැමැත්තට විරුද්ධව සිදුවන කිසිවකින් සැපක් බලාපොරොත්තු විය නොහැකියි. ලෝක ධර්මතාවය ”සබ්බේ සංඛාරා අනිච්චාති”, එකතු කර හදාගත් සියලූ දේ කැමැත්තට විරුද්ධවම ක‍්‍රියාත්මක වීමේ ධර්මතාවයයි. නිතරම දුකට හේතුවන්නේ අනිච්චතාවයි. ඒ බව නිවැරදි ලෙසත් පැහැදිළි ලෙසත් තේරුම් නොගතහොත් ත‍්‍රිලක්ඛණය යනු කුමක්ද යන්නත් වටහා ගත නොහැකි වේ.

ද්වතාවය ලොව පවතින තුරු කෙනෙකුට හොඳ දේ තව කෙනෙකුට හොඳ නැත. කලකට හොඳ දේ තව කලකට නරක වේ. තැනකට හොඳ දේ තව තැනකට හොඳ නොවේ. මේ ගති ලක්ෂණ අන්‍යතාභාවය හා අනියතබව යන දෙකටම පොදුයි. නමුත් අනිච්චතාවය මීට වෙනස් වේ. ඉච්චතාවය, කැමැත්ත මෙතැනදී මුල් වේ. කැමති සේ නොවන කැමති සේ නොලැබෙන යම් ධර්මතාවයක් වෙතොත් එය අනිච්චතාවයයි. එය නියත වශයෙන්ම දුකට මුල්වන ස්වභාවයකි. කැමති සේ සිදුනොවන කිසිවක් නිසා සැප බලාපොරොත්තු විය නොහැකියි. එයද නියත ධර්මතාවයකි.

මෙතැනදී බොහෝම ඉවසීමෙන් යුතුව විමසා බලා තේරුම් ගත යුතු ධර්ම ස්වභාවයක් ලෙස ”අනිච්ච” පිළිබඳව තේරුම් ගත යුතු වේ. දුකට පත්වීමත් අනිච්ච වේ. සැප අවසන් වීමත් අනිච්ච වේ. මෙම ධර්මතා දෙකම කැමැත්තට විරුද්ධ නිසා දුකට මුල් වේ. එසේනම් අනිච්චතාවය යනු කැමති වූ දෙය කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට නොහැකි වීමයි. ඉච්ච අනිච්ච යන ද්වතාවය තේරුම් නොගෙන ත‍්‍රිලක්ඛණය තේරුම් ගත නොහැකි වන්නේ මේ නිසාමයි. ඉච්ච සේ සිදුවන සෑමදේම නියත වශයෙන්ම සැපට හේතුවේ. නමුත් මේ ලෝකේ ධර්ම ස්වභාවය සියලූ දේ ඉච්ච සේ දිගටම පවත්වා ගැනීමට නොහැකි වීමයි. දුකට මුල්වන හේතුව එයයි.

”ජීවිතං අනියතං මරණං නියතං” යන පාලි පාඨයද නිතර මරණ දැන්වීම් වල භාවිතා කරන පද වැලකි. මෙහි ”අනියතං” ලෙස දැක් වූ පාලි පදයෙහි සිංහල තේරුම අනිත්‍ය බවයි. නියතං යනු එහි විරුද්ධ පදයයි. ”අනිච්ච” යන පදයේ විරුද්ධ පදය ”නිච්ච” යනුයි. මෙහි දැක්වූ ”අනිච්ච” යන පදයත් ”අනියතං” යන පදයත් පටලවාගෙන යොදා ගැනීම මේ වරදට මුලයි. අනිච්චය යනු කැමැත්ත මුල්කරගත් ධර්මතාවයකි.

අනියතං අනිත්‍යයි යනු ස්ථිර ලෙස නොපවතී යන තේරුම දෙයි. එයද සත්‍ය ධර්මතාවයකි. එහි තර්කයක් නැත. අනිත්‍ය නිසා ස්ථිරව නොපවතින දුක දැකීම, දුක ඇතිවීම හැම විටම සිදු නොවේ. දුක් අවබෝධ කර ගැනීමට එය උපකාර නොවේ. ස්ථිරව නොපවතින බොහෝ දේ අනිත්‍ය නිසාම දුක නැතිවේ. සැප බිහිවේ. පිළිකා රෝගයකින් හෝ තද හිසරදයෙන් හෝ පෙළෙන්නෙකු එය අනිත්‍ය නිසාම ස්ථිර නොවන නිසාම එහි වෙනසක් කරගෙන සුවපත් වේ. එය ස්ථිර වූයේ නම් පමණක් දුක සදාකාලිකය. ලෙඩ රෝග, සතුරු කරදර හා බඩගින්න පවා ස්ථිර නොවන නිසාම අනිත්‍ය නිසාම ඒවා අවසන් වී සැප ඇති වේ. දුක අවසන් වේ. ”අනිත්‍ය” යනු හැම විටම දුක දැකිය හැකි ප‍්‍රකාශයක් නොවේ. එය සැප දුක දෙකටම පොදු ප‍්‍රකාශයකි.

නමුත් ”අනිච්ච” යන ප‍්‍රකාශය කැමති සේ නොපැවතීම හැම විටම දුක උපදවයි. බිහි වූ සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම තමාගේ කැමැත්ත අනුවම පවත්වා ගැනීමට නොහැකි වීමම දුකට මුල් වේ. දුකට හේතු වේ. විපරිණාමය, වැහැරීම, විනාශ වීම සෑම සංකාරයකටම පොදු ධර්මතාවයකි. ලොව හටගත් බිහි වූ සියලූම සංඛාරයෝ නිපද වූ ශක්තිය ගෙවීයාමත් සමඟම සෑම මොහොතකම වෙනස් වී විනාශය කරාම යන ගමන නිසා කිසිවක් අප කැමති සේ පවත්වා ගත නොහැකිය. එයම දුක ඇති වීමට හේතුවයි. දුකට පත්වීමට, දුකක් ලැබීමට අපි කෙසේවත් කැමති නොවෙමු. එයද අප කැමති සේ පවතින්නක් නොවේ. එයද ”අනිච්ච” වේ. සැප අවසන් වී සැප වෙනස් වීම සේම, දුක ඇති වීමද අපේ කැමැත්ත නොවේ.

”සබ්බේ සංඛාරා අනිච්චාති”
”සබ්බේ සංඛාරා දුක්ඛාති”

යනුවෙන් දේශණා කළේ මේ තත්ත්වයයි. සියලූ සංඛාරයෝ කැමති සේ නොපැවතීම නිසාම සියලූ සංඛාරයෝ දුකම උපදවයි යනු මෙහි තේරුමයි.

ඒ නිසා අන්‍යතාභාවය හෝ අනියතභාවය ත‍්‍රිලක්ඛණයට අයත් නොවන බව සැක හැර දැන බුද්ධ භාෂිතයේ සඳහන් අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණයම නිවැරදි ලෙස භාවිතා කළ යුතුය. මේ පැවැත්ම පිළිබඳව දුක්විඳීම පිළිබඳව අරිය සත්‍යයන් පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමට නම් ප‍්‍රිය මනාප බව, කැමැති බව, ඉච්ච බව මෙන්ම අනිත් අන්තය වූ අප‍්‍රිය අමනාප බව, අකමැති බව හා අනිච්චතාවය ගැනද නිවැරදි ලෙසම තේරුම් ගත යුතුය. ලෝක සත්ත්වයා තමන් විසින්ම විඳවන හැම දුකකටම හේතුව මේ ලෝකයේ පවතින ධර්ම ස්වභාවය නිවැරදිව තේරුම් නොගෙන, ධර්ම ස්වභාවයට විරුද්ධව කටයුතු කිරීමට දරණ නිබඳ උත්සාහයයි. එනම් තම හිතෙන්ම සකස් කරගත් සංඛතයන් තම කැමැත්ත පරිදි දිගටම පවත්වා ගැනීමට දරණ නිබඳ උත්සාහයයි.

”සබ්බේහි මේ පියේහි මනාපේහි නානා භාවෝ විනා භාවෝ” යැයි බුදුපියාණන් මේ කැමැත්ත, ප‍්‍රිය බව පිළිබඳව ඉතාම පැහැදිළි ලෙසින් විග‍්‍රහ කර පෙන්වා වදාළහ. සියලූම ප‍්‍රිය වූ, මනාප වූ දේ නානාභාවයටත්, අනිත්‍යතාභාවයටත්, විපරිණාමය වීමටත් පත්වී විනාශ වී නැති වී යන්නේය. යනු ධර්මතාවයයි. මෙහි ප‍්‍රියේහි යනු ඉච්ච බව, කැමැති බව යන අදහසයි. අනිච්ච බව බිහිවන්නේද කැමැත්ත, ඉච්ච බව අල්ලා නවත්වා ගැනීමට දරණ උත්සාහය නිසාමයි. අන්‍යතාභාවයට පත් වී, අනිච්ච බවටත් පත්වන්නේ මේ කැමැත්තමයි. ගැඹුරින් සිතා ද්වතාවය තේරුම් ගෙන අවබෝධ කරගත යුතු ධර්මය මෙයයි.

සංසාර රිය ගමන ප‍්‍රිය මනාප දෙයක් ලෙස දකින තුරාවට මේ රිය ගමන යයි. ඊට හේතුව ත‍්‍රිලක්ඛණය නිවැරදිව අවබෝධ කර නොගැනීමයි. අවබෝධ නොවීමයි. ත‍්‍රිලක්ඛණය නිවැරදිව අවබෝධ කර ගැනීමෙන් මේ සංසාර ගමන පිළිබඳව යථාභූත ඥාණයෙන් නිවැරදි මිම්මකින් මැන දුක යන සංකල්පය පිළිබඳව සත්‍යාවබෝධයක් ලැබිය හැකි වේ. ප‍්‍රිය මනාප දේ සොයමින් දුක පළවාහැරීමට දුකෙන් පලායෑමට දරණ උත්සාහය සංසාර රිය ගමනක් බව එවිට නිවැරදිව තේරුම් ගත හැකි වනු ඇත. මේ සත්‍යය තේරුම් ගත් විට පමණක් දුක යනු තමන්ම හිතෙන්ම සාදාගත් ප‍්‍රිය මනාප දේ අල්ලා ගැනීමට ගන්නා උත්සාහයේම ද්වතාවය දුක බවත් තේරුම් ගත හැකි වේ.

”අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි” ලෙස අද වැරදියට මෙනෙහි කරන ත‍්‍රිලක්ඛණය මගින් කිසිදාක නිවැරදි ව දුක අවබෝධ කර ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත යුතුයි.

දුක, සැප යන දෙකම විඤ්ඤාණයෙන්ම සාදා ගත් මායාවල් පමණි. සත්‍යයක් එහි ඇත්තේම නැත. විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන හිතකට දුක සැප අතර කරන නිරතුරු ගමනින් ආහාර සොයා දේ. බලාපොරොත්තු හිතේ ඇති කරවයි. ප‍්‍රිය මනාප දේ යනු බිලී කොක්කක ඇමිණුව ඇමක් වැනිය. ප‍්‍රිය මනාප දේ සැප සුව දේ සොය සොයා ඒ පසුපස හඹායාම නිසා කොක්කටම ඇමිණී දුක උරුම කර ගැනීම සංසාර රිය ගමනයි.

”සබ්බේ ධම්මා අනත්ථා” යනුවෙන් දේශණා කර වදාළේ තුන්වැනි ලක්ෂණයයි. ”අනත්ථ” යන පාලි පදයේ සිංහල තේරුම අනාථ යනුයි. ”අසාරට්ඨේන අනත්ථා” යන දේශණාවේදී මේ අනාථ බව, අසාර බව පෙන්වයි. සියලූ සංඛාර දුකම උපදවයි නම් ඉන් බිහිවන ධර්මතාවය අනාථ තත්ත්වයකි. අනාථයි යනු පිහිට කර ගත නොහැකි අර්ථයක් නැති, වටිනාකමක් නැති, දෙයක් බව පැවසීමයි. මෙතැන ප‍්‍රිය මනාප බව, ප‍්‍රිය මනාපදේට ඇලීම දුකක් උපත ලබන්නට හේතුව බව පෙන්වා දී ඇත.

දුක්ඛිත තත්ත්වයට පත්වීට අනාථ බවට පත්වීමකි. ඒ නිසා බිහිකරන කිසිදු සංඛාරයක් කැමති සේ නොපැවතීම අනාථ තත්ත්වයට පත් වීමකි. හරයක්, අර්ථයක්, වටිනාකමක් නැති දෙයකි. මෙය දුක දැකීමෙහි සත්‍ය ස්වරූපයයි. පැවැත්මේ යථා ස්වරූපය දැකීමයි.

”අනත්ථ” යන පදය සිංහලයට පරිවර්තනය කිරීමේදී යොදාගත් ”අනාත්ම” යන පදය හින්දු ධර්මයේ භාවිතාවන පදයකි. ආත්ම අනාත්ම වාදය බුදු දහම ඉදිරිපත් කළේ නැත. මෙය අන්තයක් අල්ලා ගැනීමකි. ආත්ම අනාත්ම යනු අන්ත දෙකකි. බුදුපියාණන් ප‍්‍රතික්ෂේප කළ සංකල්පයකි.

ත‍්‍රිලක්ඛණය භාවනා කිරීමේදී බුදුපියාණන් පෙන්වා දුන් පරිදි පාලි වචන තුනම ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” භාවිතා කිරීම වඩාත්ම සුදුසු ක‍්‍රමයයි. මින් අදහස් කළ දේ තේරුම් ගෙන දුක දැකිය හැකි බව හොඳින් අවබෝධ කරගැනීමෙන් පසුව මෙය කර්මස්ථානයක් ලෙස භාවිතා කිරීම ඵලදායි වේ.

”බිහිවන සියලූ සංඛාරයෝ ප‍්‍රිය මනාප දේ අල්ලා ගැනීම නිසා බිහිවූවකි. ඒවා කැමති සේ නොපවතී”. දිගින් දිගටම කැමති ආකාරයෙන්ම පවත්වාගත නොහැකි ධර්මතාවය අනිච්ච ධර්මතාවයයි. ”කැමති සේ දිගටම නොපවතින සියලූ සංඛාර දුකයි”. දුකම උරුම කර දෙන තත්ත්වය අනාථ තත්ත්වයයි. අර්ථයක්, වටිනාකමක් නැති පැවැත්මකි. ජීවත්වීම යනු සංඛාර පැවැත්වීමයි. ප‍්‍රියයි, මධුරයි, සැපයි, සුවයි යනුවෙන් සංඛාර සිතන්නේ, කරන්නේ, කියන්නේ රාග,ද්වේෂ, මෝහ වලින් බැඳීම, ඇලීම නිසා සිතේ හට ගත් මුලාව නිසාමය. ප‍්‍රිය, මධුර යැයි නිගමනය කළ දේ කැමති සේ දිගටම නොපවතින මෙම පැවැත්මෙහි ඇලී, බැඳී ඉන් මුළා වී සිටීම මොනතරම් අනාථ තත්ත්වයක්ද? කැමති සේ නොපවතින, දුකම උරුම කර දෙන, අනාථ තත්ත්වයට පත් කරන දේ අතහැර, නොඇලී, නොබැඳී සිටීම දුකින් මිදීමට, අනාථ තත්ත්වයෙන් මිදීමට ඇති එකම මාර්ගයයි.

Share Button