ශ‍්‍රද්ධාව හා භක්තිය

ශ‍්‍රද්ධාව හා භක්තිය යන වචන දෙකෙන් ප‍්‍රකාශ කරන දේ එකක්ම නොවේ. භක්තිය යනු පෘථග්ජන සිතක බිහිවන මෝහ සහ ලෝභ සහගත චිත්ත ශක්තියයි. තම ලෞකික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමේ බලාපොරොත්තුව නිසාම සිතක ශක්තියක් උපදී. තමාට පිහිටක්, උපකාරයක්, අනුකම්පාවක් ලබා ගැනීමේ චේතනාව, භක්තියත් සමඟම එකටම උපදී. එය ලෞකික දෙයකි. තම ලෝකය සුඛිත මුදිත කර දෙන ලෙස තවත් කෙනෙකුගෙන් ඉල්ලා යදින්නේ බලාපොරොත්තු සහගත භක්තියෙනි. එය ඉතාම තාවකාලික අවශ්‍යතාවයක් ඉටුකර ගැනීමට උපකාර සෙවීමකි.

ශ‍්‍රද්ධාව මෙයට වඩා හාත්පසින්ම වෙනස්ය. එය යථාවබෝධයෙන්ම ලැබිය යුතු නුවණකි. පින් හා කුසල් කිරීමෙන්ම ලබන පුණ්‍ය ශක්තියත් සමඟ ශ‍්‍රද්ධාව උපදී. අනන්ත අප‍්‍රමාණ දුක් විඳින ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කිරීමෙන්, සතර බ‍්‍රහ්ම විහරණයෙහි යෙදීමෙන් බුදුපියාණන්වහන්සේලා මෙන්ම මහා සංඝරත්නය ද ලෝකයාට නිවන් මඟට උපනිශ‍්‍රය ලබා දීම පිළිබඳව මෙනෙහි කරන විට ශ‍්‍රද්ධාව සිතක උපදී. බුදුපියාණන්වහන්සේලා මේ ධර්මය උත්සාහයෙන්, මහන්සියෙන් සොයා දැන අවබෝධ කරගෙන දේශණා කළේ, දුක් විඳින අනන්ත අප‍්‍රමාණ සත්ත්වයින් දුකින් මුදවා ගැනීම සඳහාම බව අවබෝධ කරගෙන, එවැනි යහපත් සිතිවිල්ලක් සිතක මතුවී, සිත පහන්කර ගැනීම, පැහැදීම ශ‍්‍රද්ධාවයි. ශ‍්‍රද්ධාවද එක්තරා ආකාරයක විශ්වාසයකි. ඒ බුදුපියාණන්වහන්සේලා  දේශණා  කර  පෙන්වා  වදාළ  සත්‍යය  අවබෝධ  කර  ගැනීම,තමාවත් දුකින් මිදීමට උපකාර වන බව, සරණ වන බව දැක ඒ ධර්මය ගැන ඇති වන විශ්වාසයයි. පෙන්වා දුන් ධර්ම මාර්ගය ගැන ඇතිවන විශ්වාසයයි. උන්වහන්සේලා අනන්ත අප‍්‍රමාණ සංසාරයේ පෙරුම් පුරා, උත්සාහ ගෙන මේ සියල්ල කළේ දුක්විඳින සත්ත්වයා  වෙනුවෙන්ම  නේද?  යන  ගෞරවාන්විත  සිතුවිල්ල  ශ‍්‍රද්ධාවයි.  මේ  නිසාම ශ‍්‍රද්ධාව යනු ගෞරව සම්ප‍්‍රයුක්ත විශ්වාසයකි. සත්‍යය අවබෝධ වීමකි. භක්තියද විශ්වාසයක් මතම ගොඩනැඟුනු එකකි. තමන්ටම දුකක්, අපහසුවක්, මදිපාඩුවක් ඇති වූ විට එය නැති කර ගැනීමට තාවකාලික ප‍්‍රතිකර්මයක් කර ගැනීමේ අවශ්‍යතාවය  සපුරාගත  හැකි  වේය  යන  විශ්වාසයයි.  ”මට  මේ  කරදරයෙන්  මිදීමට දෙවියන්, බුදුන්, ධර්මය, පිහිට වේ, පිළිසරණ වේ” යන විශ්වාසය, භක්තිය නිසාම හට ගත් එකකි.

ශ‍්‍රද්ධාවෙන් ඇතිවන විශ්වාසය මීට වඩා දහස් ගුණයකින් බලවත්ය. බුදුපියාණන් වහන්සේගේ රූපකාය දැකීමෙන්, අරහතුන්වහන්සේලාගේ රූපකාය දැකීමෙන්, මනසට දැනෙන තෘප්තිය, භක්තියකි. උන්වහන්සේලා දේශණා කරන ලද ධර්මයෙහි ධර්ම රසය තුළින් සත්‍ය අවබෝධ වීමෙන් සිත ආලෝකමත් වීම, සසර අඳුරින් මිදීමට මඟ දැකීම ශ‍්‍රද්ධාවයි. දහම් රසය විඳිය හැක්කේ ශ‍්‍රද්ධාවෙන්මය. භක්තියෙන් දහම් රසය විඳිය නොහැකිය.

ශ‍්‍රද්ධාව නිසා ආත්ම ශක්තියත් ආත්ම විශ්වාසයත් ගොඩනැගේ. තමන්ට උපකාර කර ගත හැකි, සරණකර ගත හැකි ශක්තියක් තමන් තුළම ගොඩනගා ගැනීම, උපද්දවා ගැනීම ශ‍්‍රද්ධාවයි. තමාට තමාම පිහිට වන බව දැකීම එහි අර්ථයයි. භක්තිය නිසා ආත්ම ශක්තියක් ඇති නොවේ. වෙනත් බාහිර බලවේගයක්, දෙවි කෙනෙකු, විශ්මකර්මයෙකු, බුදුපියාණන්වහන්සේ හෝ නොපෙනෙන බලවේගයක් කෙරෙහි විශ්වාසය තබා, ඒ බලවේගයට පුද පූජා පැවැත්වීමෙන් සියල්ලම ලැබේ, ඒ බලවේගය අපට සියල්ල ලබාදේ, යන අන්ධ විශ්වාසය භක්තියයි. මෙහිදී තම ආත්ම ශක්තිය, චිත්ත ශක්තිය බලවේගයකට පාවා දෙයි. තමන් මොනවා කළත් මොනවා නොකළත් අර නොපෙනෙන බලවේගය සියල්ල තීරණය කරනු ඇත, යන දැඩි විශ්වාසය නිසා සත්‍යය මෝහයෙන් වැසී යයි. මේ නිසාම පෙනෙන හෝ නොපෙනෙන බලවේගයන් විශ්වාස කර පැතුම් පැතීම, පුද පූජා කිරීම, යැදීම තමන් කළ යුතුය යන නිගමනයට බැසීම භක්තියයි. මේ අනුව භක්තිය නිසා පින් සිදු කර ගැනීමට හැකිය. නමුත් භක්තියෙන් කුසල් සිදුකර ගැනීමට නොහැකිය. කුසල් සිදු කරගත හැක්කේ ශ‍්‍රද්ධාවෙන් පමණි.

අභ්‍යන්තර චිත්ත පාරිශුද්ධතාවය තමා තුළ ඇති වන්නේ ශ‍්‍රද්ධාව මුල්කොට ගෙනමය. යථාවබෝධය ලැබීම, සත්‍ය සමඟ සම්බන්ධ වීම භක්තියෙන් කළ නොහැකිය. ලෝකයේ පවතින සියලුම ආගම් වල, මිනිසාට ඉහළින් පවතින යම් කිසි බලවේගයකින් මිනිසා පාලනය කරන බව අදහස් කරන නිසා, ඒ සියලු ආගම් භක්තියෙන්ම ඇදහිය යුතු ආගම්ය. යම් හෙයකින් මේ බලවේගය පිළිබඳව ඇති විශ්වාසය පළුදු වුවහොත්, භක්තියද නැති වෙයි. බුදුපියාණන්වහන්සේ දේශණා කළ සිරි සද්ධර්මය පෙන්වා දුන්නේ කිසිම බාහිර බලවේගයක් හෝ බාහිර පුද්ගලයෙකු පිළිබඳව හෝ නොවේ. තමා, තමා ගැනම විශ්වාස කිරීමයි. සියලු සත්ත්වයින් සම තත්ත්වයක ලා සැළකූ නිසා කිසි දෙවියෙකු, බ‍්‍රහ්මයෙකු හෝ බුදුපියාණන්වහන්සේ කෙනෙකු වුවද තවත් කෙනෙකුට විමුක්තිය ලබා දීමට හෝ නිවන් දැක්කවීමට හෝ සමත් නොවේ. තමාම ඒ කටයුත්ත කර ගත යුතුය. බුදු දහම යනු ඇත්ත වශයෙන්ම මේ අනුව බලන කළ ආගමක් නොවේ. භක්තියෙන් පුද පූජා පැවැත්වීමෙන්, බලවේගයක් ඇදහීමෙන්, අදෘශ්‍යමාන ශක්තියක් කෙරෙහි විශ්වාසය තැබීමෙන්, නිවන් දැකිය හැකි බවක් බුදුපියාණන්වහන්සේ දේශණා කළ ධර්මයෙහි කිසි
තැනක සඳහන්ව නැත. හේතුඵල ධර්මතාවය බුදු දහමේ උගන්වන මූළිකම කරුණයි. එය ශ‍්‍රද්ධාවෙන්, ප‍්‍රඥාවෙන් යථාවබෝධයක් ලැබිය යුතු, තමන්ම භාවිතා කළ යුතු ධර්මයකි. ලොව පවතින එකම ශක්ති ප‍්‍රභවය චිත්ත ශක්තියයි. තමාගේම චිත්ත ශක්තියයි. ඒ පිළිබඳව සත්‍යාවබෝධය ලැබීම ශ‍්‍රද්ධාව පහළ වීමයි. භක්තිය යනු බැඳීමකි. යම් බලාපොරොත්තුවකට, විශ්වාසයකට බැඳීමකි. බැමි වලින්  නිදහස්  වී  ලබන  විමුක්තිය  ශ‍්‍රද්ධාවයි.  බෞද්ධයෙකුට  නිවන්  දැකීමට  ”ඛණ සම්පත්තිය” ලැබීමට උපකාර වන්නේ ශ‍්‍රද්ධාවයි. මල් පූජා කිරීමෙන්, පහන් දැල්වීමෙන්, සුවඳකූරු දැල්වීමෙන්, තෙරුවන් නැමැදීමෙන් වැනි පුද පූජා ක‍්‍රම වලින් බුදුපියාණන්වහන්සේ බලාපොරොත්තු වූයේ අනිච්ච, දුක්ඛ, අනත්ථ තත්ත්වය අවබෝධ කර ගැනීම මිස, භක්තිය වඩා ගැනීමට මල්පූජා කළ යුතු බවක් කොතනක හෝ පෙන්වා දී නැත. පයට පෑගෙන්නට මල් දැමිය යුතු බව මිසක, මල් කරේ පැළඳ වීමක්, හිසේ පැළදවීමක් හෝ හිස සැරසීම සඳහා හෝ පාචිච්චි කළ යුතු බවක් බුද්ධ භාෂිතයෙහි කොතනකවත් සඳහන් කර නැත. මල් යනු මැරෙන දේ යන තේරුමයි. ඒ මැරෙන දේ පයට පෑගෙන්නට දමා, එහි අනිච්ච බව දැකිය යුතුය. අද මල් පූජා කරන්නේ භක්තියෙන් මිස ශ‍්‍රද්ධාවෙන් නොවේ. හින්දු හා ශිව වැනි ආගම් වල බලපෑම් නිසා, භක්තිය ඉස්මතු වී ශ‍්‍රද්ධාව යටපත්ව නිවන් මඟ වැසී ඇත. මේ නිසා ශ‍්‍රද්ධාව හා භක්තිය නිවැරදිව වෙන් කොට හඳුනාගැනීම නිවන් දැකීමට උපකාර වේ.

Share Button

නිවන් දැකීම යනු යථාවබෝධයයි

මුළු බුද්ධ දේශණාවම, පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම දේශණා කළේ ලෝකයාට නිවන් අවබෝධ කර ගැනීමට මඟ පෙන්වන එකම පරමාර්ථයෙනි. “නිවන” යන අකුරු තුනෙහි නිවනක් නැත. නිවන් දකිත්වා යැයි ලක්‍ෂ වාරයක් කීවද එහිද නිවනක් නැත. “මම නිවන් දකිම්වා, සියල්ලෝ නිවන් දකිත්වා” යන පදවල ද නිවනක් නැත.

මේ පවතින ලෝකය තුළද ලෞකිකත්වය මිස නිවනක් නැත. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර කර ගත හැකි එකම තැනත් මේ මිනිස් ලෝකයමයි. ලෝකයෙහි මිනිසෙකු ලෙස ජීවත් වන කාලය තුළදීම මේ සඳහා සියලු වීර්යය, ධෛර්යය කළ යුතුය. මේ  ලෝකය  ප‍්‍රයෝජනයට  ගෙන,  ලෝකය  තේරුම්  ගෙන,  ඒ  උපකාර  කර  ගත් ලෝකයෙන්ද මිදී නිදහස් වීම නිවන් දැකීමයි. මරණයෙන් පසු නිවන් දැකීමට කිසිවෙකු සිතතොත් එය ලොකුම මෝහයයි.

නිවන්  අවබෝධ  කර  ගැනීම  යනු  මෝහයෙන්  මිදී  යථාවබෝධය  ලැබීමයි. යථාවබෝධයක් ලබා ගත යුත්තේ, උපතට මරණයට නියත ලෙසම හේතු පාදක වන හේතුඵල පරම්පරාවේ ක‍්‍රියාත්මක වීම පිළිබඳව සත්‍යය අවබෝධ කර ගැනීමටයි. මේ ධර්මතාවය පිළිබඳව සත්‍යය වටහා ගත් පසු ධර්මාවබෝධයක් ලැබූ මිනිසෙකුට, තමා සිතන, කරන, කියන සෑම දෙයක්ම ධර්මයට බහා බලා කටයුතු කිරීමේ ශක්තියක් ලැබෙයි. මෙය පුරුදු පුහුණු කරගත් කළ තමා හිතන, කරන, කියන දේ තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ සසර ගමන දික් කිරීමට, නිවන ප‍්‍රමාද කිරීමට හේතු වේ නම්, එය ප‍්‍රහාණය කර,  ඒ  සිතිවිල්ල,  ක‍්‍රියාව,  කථාව,  අතහැර,  ඉන්  මිදී  නිදහස්  විය  හැක.  එවැනි  යම් සිතුවිල්ලක්, ක‍්‍රියාවක්, කථාවක් තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වේ නම්, නිවන් මඟ විවෘත කර දෙයි නම්, නිවන් මඟට ඇති බාධක, කෙළෙස් දවා හැර මඟ ශුද්ධ කර දෙයි නම්, එවැනි දේ සිතීම, කථා කිරීම වැඩි වැඩියෙන් පුහුණු කළ යුතුය. මේ සතර සතිපට්ඨානය වැඞීමයි.

යම් සිතුවිල්ලක්, කථාවක්, ක‍්‍රියාවක් නිසා සංසාරයට බැඳීම, ලෝකයාට සම්බන්ධ වීම, ලෝකය කෙරේ වූ බලාපොරොත්තු ඇති කිරීම වර්ධනය කරන එකක් බව දැක්කොත්, එය නිවනට බාධා බව දැක, ඉන් මිදී නිදහස් වීමට හැකි වන්නේ හේතුඵල දහම දැකීමෙන්ම පමණි.

පහකළ යුතු දේ ප‍්‍රහාණය කිරීමත්, ආශ‍්‍රය කළ යුතු දේ ආශ‍්‍රය කිරීමත් කළ යුත්තේ තම සිතින් තමාමය. වෙන කවුරු හෝ අම්මා, තාත්තා හෝ බුදුපියාණන් හෝ මහා සංඝරත්නය හෝ ඔබ වෙනුවෙන් මෙය කර දීමට ඉදිරිපත් විය නොහැකි බව සහතික කොට වටහා ගත යුතුය.

තමා ඉපදුනේ වෙන කාගේවත් වරදකින් හෝ වෙන කාටවත් අවශ්‍ය නිසා හෝ නොවේ. මරණ මොහොතේත් නොතිත් ආශා බලාපොරොත්තු සිත තුළ පැවති නිසා, තව කලක් මතුත් ජීවත් වන්නට කැමැත්තක් තිබූ නිසාම තමා නැවත උපතක් ලබා ගති. තැනක හා විය.

එවන් සියලු බලාපොරොත්තු අතහැර නිදහස් වීම නිවනයි. සිතෙහි උපදින සියලු කෙළෙස්, කුණු පහකර ශුද්ධ පවිත‍්‍ර කර ගත යුතුවාක් මෙන්ම, මතු පළදිය හැකි යහපත් පින් කුසල් ආදී සියලු දේමත් අතහැර, ඒවායින් ද නිදහස් විය යුතුය. කර්මජ කෝෂය හොඳ නරක, පින් පව් සියල්ලෙන් හිස් විය යුතුය. එවිට ඵල විපාක දීමට යමක් එහි ඉතිරිව නැති නිසා මතු උපතක් සිදු නොවේ. මේ අනුව නිවන් අවබෝධ කර ගන්නවා, නිවන් දකිනවා යනු කුමක් දැයි බුද්ධිගෝචරව දැන, ඒ සඳහා ක‍්‍රියා කළ යුතු ආකාරය, මඟ පෙන්වීම ලබා දීම, ධර්ම දේශකයින්ගේ හා පොත පතෙහි ධර්මය ලියා පළ කරන්නන්ගේ වගකීමයි. යුතුකමයි. මිනිසත් බවක් ලැබ උපත ලැබූ මේ අවස්ථාවේදීම, තමාම මේ කටයුත්ත කර ගත යුතු බව නැවත මතක් කරමි.

Share Button

මනුස්සත්ථ පටිලාභෝ පරම දුල්ලභෝ

Featured

මේ පොත කියවන ඔබත්, මමත් අප සියලු දෙනාමත් අද මිනිසුන් ලෙස උපත ලබා ඇත. මිනිසෙකු ලෙස උපතක් ලැබීමේ වටිනාකම, එහි උතුම් බව තේරුම් ගත හැක්කේ ද මනසින් මෙනෙහි කර මැන බලා සසඳා දැනගත හැක්කේ ද මිනිසෙකුට ම පමණි. විශ්වයෙහි ජීවත්වන මිනිසුන් ප‍්‍රමාණය මෙන් කෝටි ප‍්‍රකෝටි ගුණයකින් වැඩි අනෙකුත් සත්ත්වයින්, භූතයින්, ප‍්‍රාණීන් දියුණු කර ගත හැකි තත්ත්වයේ මනසක් තම උපතේදී නොලබයි. අද අප දකින, අපට පෙනෙන අනන්ත අප‍්‍රමාණ තිරිසන් සතුන් යැයි අප හඳුන්වන සියලූම සත්ව කොට්ඨාශ වලට ලැබී ඇත්තේ ඉවක් පමණි. එය ඥාණ විශේෂයකි. අපට නොපෙනෙන සියලුම දේව, බ‍්‍රහ්ම, අමනුස්ස කොට්ඨාශ වලටද යම්කිසි ඉවක්, ඥාණ සම්භාරයක් ලැබී තිබුණත් මිනිසාට මෙන් මනසක් ලැබී නැත. මනස යනු සකස් කර, පුහුණු කර, පිරිසිදු කර, දියුණු කර ගත හැකි ඥාණ විශේෂයකි. මනුස්ස යනු මන උස්සා ගත හැකි, මනස උසස් බවට පත්කරගත හැකි ශක්තියයි.

රංකුඹලා, වඩුකුරුල්ලා වැනි ගෙවල් සදාගෙන ජීවත්වන සතුන් පරම්පරා ගණනක් පුරාම තම ගේ සාදාගන්නේ එකම සැලැස්මකට අනුවය. ඒ ඉවෙන් ලැබූ දැනුම අනුවය. නමුත් මිනිසා මනස මෙහෙයවා නිරතුරු තම ගේ සාදාගන්නා සැලැස්ම මනසින් කල්පනා කර වෙනස් කරගනී. ඒ නිසා මනස යනු ඉව හෝ ඥාණය නොවන බව පැහැදිළිය.

මෙහිදී ඉතාමත් වැදගත් දෙයක් පැහැදිළි කරගත යුතුයි. අපට පෙනෙන නොපෙනෙන සියලූම සත්ත්වයින්, දෙවියන්, අමනුස්සයින් ආදී සියල්ලන්ම අනන්ත අප‍්‍රමාණ පෙර අතීත ආත්මවල මිනිසුන් ලෙස උපත ලබා කල් ගෙවා ඇතත්, තම මනස දියුණු  කර  නොගැනීමේ  ඵල  විපාක  අද  අත්විඳ  ගන්නට  ලැබී  ඇත.  මිනිසත්  බව කෙළෙසීමේ ඵල විපාක මේ ආකාරය.

මිනිසෙකු ලෙසින් උපත ලබා බුදු බවට පත් වූ බුදුපියාණන් වහන්සේ තම මනස දියුණු කර ගැනීමෙන්ම බුද්ධිය, ප‍්‍රඥාව උපරිම මට්ටමට දියුණු කරගත් නිසාම, බුද්ධ තත්ත්වයට පත්වූ සේක. සියලූම අරිහතුන් වහන්සේලාද මිනිසුන් ලෙසම ඉපදී මනස දියුණු කරගෙන බුද්ධ තත්ත්වයට පත් වූ සේක. ලොව බිහිවුණු සියලූම ආගම්වල ආගමික නායකයින්ද මිනිසුන් ලෙස උපත ලබා යම් ආකාරයකින් මනස දියුණු කරගත් නිසාම ඔවුහු ආගමික නායකයින් බවට පත් වූහ.

මිනිසෙකු ලෙස උපත ලබන සෑම කෙනෙකුම ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන සම්පත් ලැබ උපන් නිසා තම මනස දියුණුකර, සකස්කර, පිරිසිදු කර බුද්ධිය වඩා ගැනීමටත්, බුද්ධ තත්ත්වයට පත්වීමටත් අවශ්‍ය උතුම් ශක්තියත්, අවස්ථාවත් උරුමයෙන්ම ලබා ගෙන ඇත. මේ බව තම තමන්ම තමා තුළින්ම අවබෝධ කරගත හොත්, සොයා අසා දැන ගෙන ක‍්‍රියා කළ හොත් පමණක් මේ උතුම් අවස්ථාවෙන් නිසි ඵල නෙළා ගත හැකිය. කාගේවත් වරමකින්, පිහිටකින්, උපකාරයෙන් මෙය ලබාගත නොහැකිය. දෙවියෙකුට, බුදුපියාණන්ට, ආගමික නායකයෙකුට හෝ විශ්වකර්මයෙකුට වගකීම පවරා තමන්ට මින් නිදහස් විය නොහැකිය.

මිනිසෙකු ලෙස උපත ලැබීම පරම දුර්ලභ අවස්ථාවක් වන අතර මේ ලැබූ උපත නිසාම තවත් පරම දුර්ලභ අවස්ථා හිමිකර ගත හැකි බව බුදුපියාණන් වහන්සේ බුද්ධ දේශණාවෙන් පෙන්වා දුන් සේක. බුද්ධෝත්පාද කාලයක මිනිසකු ලෙස උපත ලැබීම අති දුර්ලභ දෙයකි. පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය ශ‍්‍රවණය කරන්නට ලැබීම මිනිසෙකුට ලැබෙන අති දුර්ලභ අවස්ථාවකි. ”ඛණ සම්පත්තිය” ලැබීමට අවස්ථාව හිමිවීම මිනිසෙකුට ලැබෙන දුර්ලභ දෙයකි. කල්‍යාණ මිත‍්‍ර සම්පත්තිය සඳහා අවස්ථාව ලැබීම මිනිසෙකු ලබන තවත් දුර්ලභ දෙයකි. බුද්ධ ශ‍්‍රාවකයෙකු (පබ්බජ්ජා) වීමට ලැබීම මිනිසෙකු සංසාර ගමනේදී ලබන උතුම්ම තත්ත්‍වයකි. මනසක් ලැබීම නිසා මේ කරුණු අසා දැන ගන්නටත්, තේරුම් බේරුම් කර ගන්නටත්, මිනිසත් බව උතුම් වන්නේ මන්දැයි අවබෝධ කර ගන්නටත් හැකියාවක් මිනිසාට ලැබී ඇත.

මිනිස් කයක් (ශරීරයක්) ලබා මිනිසෙකු ලෙස උපතක් ලැබීම එකකි. මිනිසත් බවට පත්වීම තවත් එකකි. මිනිසෙකු ලෙස මිනිස් කයකින් උපත ලැබුයේ පෙර ආත්මයක කළ පිං නිසාමයි. ඒ පිං බලයෙන්මය. මිනිසෙකු බවට පත්වන්නේ, මිනිසත් බව ලබන්නේ, එය ආරක්‍ෂාකර දියුණු කරගන්නේ අද අද කරන, කියන, හිතන යහපත් දේ අනුවමය. මෙය තේරුම් ගත යුතු අවබෝධ කරගත යුතු ඉතාමත් වැදගත් සත්‍යයකි.

මිනිස් කයක් ලැබූ බොහෝ දෙනෙක් මිනිසත් බවට නොගැළපෙන, මිනිසත් බව කෙළෙසන පහත්, කිළිටි වැඩ කරති. එවැනි මිනිස්සු මිනිස් කයෙන්ම ජිවත්වෙමින්තිරිසන් බවට, පේ‍්‍රත බවට, යක්‍ෂ බවට, අමනුෂ්‍ය බවට පත්ව සිටිති. කලාතුරකින් කෙනෙකු මිනිස් කයෙන්ම දෙව් බවටද පත්ව ඇත. මිනිසෙකු ලෙස ඉපිද, මිනිසත් බවට පත්වී, මිනිසත් බව ආරක්‍ෂා කර ගැනීම මේ සියල්ලටම වඩා උතුම්ය. ශ්‍රේෂ්ඨය.

මිනිසත් බවට පත්වීම යනු තම ගතිගුණ, ගතිහඬ, ගතිරුව, ගති බල, ගතිබව මිනිසත් බවට සුදුසු ලෙස, ගැළපෙන ලෙස පවත්වාගෙන යාමයි. සිතින්, වචනයෙන්, ක‍්‍රියාවෙන් කරන සියලූ ක‍්‍රියාවන් ගතිගුණ, ගතිහඬ, ගතිරුව අනුවම සකස් කරගත් ඒවාය. කිළිටි, පහත් තත්ත්‍වයේ ගතිගුණ පැවැත්වීමෙන් මිනිස් බව කෙළෙසෙයි. මිනිස් කයකින් පෙනී සිටියත් තිරිසනකු, පේ‍්‍රතයෙකු, යක්ෂයෙකු, අමනුස්සයෙකුගේ ගතිගුණ, ගතිහඬ, ගතිරුව විදහාපායි. මිනිස් ආත්මයක උපත ලබා මිනිස් බවට නොගැළපෙන ගතිගුණ පුරුදු කිරීම, පුහුණු කිරීම මිනිසත් බව කෙළෙසීමක් වන අතර පුරුදු කළ, පුහුණු කළ ගතිගුණ අනුව සංඛාර අනුව මේ ආත්මයෙහිම මිනිසත් බවෙන් තුරන් වන අතර මතු කල්ප කාලාන්තරයකට මිනිසෙකු ලෙසින් නැවත උපත ලැබීමේ අවස්ථාව ද තමන්ම අහිමි කරගනී.

අනෙකුත් සත්ත්‍වයින් මෙන් නොව මිනිසා තමන් හිතන, කරන, කියන බොහෝ දේ කරන්නේ තම කැමැත්තෙන්මය. යම් සුවයක්, ප‍්‍රිය මධුර බවක් ආස්වාදයක් ලැබීමට ඉන්‍ද්‍රියයන්  පිනවීමේ  බලාපොරොත්තුවක්  ඇතිවමය.  මේ  කරන,  කියන,  හිතන  දේ කරන්නේ, කියන්නේ, හිතන්නේ රාගයෙන්, ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නිසාම බව  මනසින්  දැක  ගැනීමට,  කල්පනාකර  බැලීමට  හැකියාවක්,  ශක්තියක්  මිනිසාට උරුමයෙන්ම ලැබී තිබේ. එයින් ප‍්‍රයෝජන නොගත්තේ නම් කරුමය උරුමවීම ද කාටවත් වැළැක්විය නොහැකිමය.

පිං පව් වලට වඩා හේතුඵල දහම මතු ජාතිය සකස්කර ගැනීමට උපකාර වන බව බුද්ධ දේශණාවයි. හේතු ඵල ධර්මතාවය පිළිබඳව අසා දැන යම් අවබෝධයක් ලබා මිනිස් කමට ගැළපෙන, මිනිස් බව රැකෙන ගති ලක්ෂණ පුරුදු කිරීම, පුහුණු කිරීම, පවත්වාගෙන යාම මතු සුගතියක උපත ලැබීමටත්, නිවන් දැක දුකින් මිදීමටත් හේතුවේ. මනසින් මැන සිතා බලා නිගමනය කිරීමත්, කල්පනා කර තීරණයක් ගැනීමත්, මිනිසාට උරුම වූ ගති ලක්‍ෂණයකි. ශක්තියකි. තමන්වම හෝ වෙනත් සත්ත්‍වයෙකු හෝ වැනසීමට, පීඩාවට පත්කිරීමට, පහත් කොට සැළකීමට, අවමානයට පත් කිරීමට, වෛර කිරීමට හේතුවන කිසිම සිතුවිල්ලක්, කථාවක්, ක‍්‍රියාවක් මිනිස් බවට නොගැළපෙයි. පෙර කළ පිං බලයෙන් අද මිනිස් කයක් දැරුවත්, බල්ලෙකුගේ ගතිගුණ ප‍්‍රදර්ශනය කළොත්, පුරුදු පුහුණු කළොත් ඔහු මිනිස් කයෙන්ම සිට බලූ බවට පත් වූවෙකි. එනිසාම සමහර විට ”බල්ලෙක් වාගේ වැඩ කරන්නට එපා” යනුවෙන් මිනිසුන් මිනිසුන්ටම කථා කරනු ඔබ අසන්නට ඇත. එවැනි  පහත්  ගතිගුණ  පුරුදු  කිරීමේ,  ප‍්‍රදර්ශනය  කිරීමේ  ප‍්‍රතිඵලය  මේ  ආත්මයේදීම ලැබෙන බවට එය හොඳම උදාහරණයකි. ඒ ගතියට ගැළපෙන ගතිහඬ ලැබීමයි. බල්ලන්, හරකුන්, කුරුල්ලන්, කොටි වැනි ලොකු සතුන්ද, කුහුඹියන්, වේයන්, ශුද්‍ර ජීවින් වැනි කුඩා සතුන් ද ලෙස උපත ලබන්නේ තම තමන් සංසාරයේ පුරුදු පුහුණු කළ ගතිගුණ, ඵල විපාක ලෙස තමන්ටම උරුම වීමෙනි. මෙය හේතුඵල දහමයි. හේතුඵල දහම ලොව පැවැත්මට, විපරිණාමයට, වෙනස් වීමට, බිහිකිරීමට මෙන්ම විනාශයටද බලපාන එකම ශක්තියයි යන්න කවදාවත් කාටවත් වෙනස්කළ නොහැකි සිද්ධාන්තයකි. මේ ධම්ම නියාමයයි. මේ බව තේරුම් ගෙන මිනිසෙකුව උපත ලත් මේ ආත්මයේදී හැම කෙනෙකුම කල්පනා කළ යුත්තේ, මනස මෙහෙයවා නිගමනය කළ යුත්තේ, ලැබූ මිනිසත් බවට ගැළපෙන ගුණධම_, ගති ලක්ෂණ, සුචරිතය, සංවරත්වය පුරුදු පුහුණු කර, මතු මතුත් මෙවන් උතුම් මිනිසත් බවක් හෝ ලැබීමට සුදුසු සිතුවිලි, ක‍්‍රියා, වදන් ප‍්‍රගුණ කළ යුතු බවයි. මිනිසත් බව කෙළෙසන, මිනිසත් බවට නොගැළපෙන පහත් සංඛාර (ක‍්‍රියා, වදන්, සිතුවිලි* පුරුදු පුහුණු කිරීමේ ඵල විපාකය, ඒ පුරුදු පුහුණු කළ දෙයට උරුම වූ පහත්තත්ත්වයට තමන්ම වැටීමයි. නැවත සුගතියක ඉපැදීම කල්ප කාලාන්තරයකට වැසීයන්නේ, හේතුඵල දහමම ක‍්‍රියාත්මක වීම නිසාය. සුචරිතයෙහි යෙදී පිං කළ හොත් දෙව් බවට පත්වී සැප විඳිය හැකිය. දුෂ්චරිතයෙහි යෙදී පිං කළ හොත් බලූ බවට පත්වී සැප විඳිය හැකිය. නගරයේ ලොකු ගෙවල් වල බල්ලන් සැප විඳින්නේ ඒ නිසාමය.

මිනිසෙකුව උපන් හැම කෙනෙකුටම යම් පමණකට ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන සම්පත් ලැබී ඇත. මිනිසුන් දෙදෙනෙකුට පවා මේ සම්පත් එකම තත්ත්වයෙන් නොලැබෙයි. ඒ නිසාම මිනිසුන් දෙදෙනෙකු එක හා සමාන නොවේ. වෙන කිසිම සත්ත්‍වයෙකු, දෙවියෙකු මේ සියලූ සම්පත් ලබා උපත නොලබයි. ඒ සියලූ සම්පත් ලැබුණේ ධර්මතාවයෙනි. මේවා කවුරුත් දුන් දෙයක් හෝ කාගෙන්වත් ඉල්ලා ප‍්‍රාර්ථනා කර ලබාගත හැකි දෙයක්ද නොවේ. ධර්මතාවයෙන් ලැබූ සම්පත් ධර්මයෙහි හැසිරීමෙන් ම මනසින් කල්පනා කර, යථාවබෝධයෙන්ම දියුණු කර පවත්වාගත යුතුය. අධර්මයෙහි හැසිරීම නිසා ඊට උරුම ධර්මතාවයෙන්ම මේ සියලූ සම්පත් තම තමන්ම අහිමි කර ගනියි. මෙය හේතු ඵල දහමයි.

බුද්ධ ධර්මය යනු භව උදුරා දමන්නට උපකාරක වන දහමයි. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දැමීම නිවනයි. පිං පව් නිසාම සියල්ල සිදුවේ, කර්මය නිසාම සියල්ල සිදුවේ යන මතවාද වලින් බැහැරව, හේතු ඵල දහම අනුව සියල්ල තීරණය වේ යන දර්ශනයෙහි පිහිටා කටයුතු කළහොත් ඔහු බෞද්ධයෙකි. උපතින් පරම්පරාවෙන් ලැබූ බෞද්ධකම, බුද්ධියෙන් අවබෝධ කරගත් බෞද්ධකම නොවේ. පිං පව් දෙකම නිවනට බාධාවෝය. බුද්ධියෙන්, මනසින් කල්පනා කර බැලූවොත් මේ කොතරම් දුරට සත්‍යයක්දැයි තේරුම් ගත හැකිය. හේතුවක් නැති තැනක ඵලයක් තිබිය නොහැකිය. හේතුවක් ඇති තැනක ඊට උරුම ඵලයක්ද ලැබීම කාට හෝ නැතිකළ නොහැක. ඒ නිසා ඵල ලැබීමට හෝ ඵල වෙනස් කිරීමට හෝ ඵල නොලැබීමට හෝ කළ යුතු එකම දේ හේතු බිහි නොකිරීම හෝ හේතු වෙනස් කිරීමය. උතුම් වූ මිනිස් බවට පත්ව, උතුම් මිනිස් ගති ලක්ෂණ  පුරුදු  පුහුණු  කරන,  පවත්වන  උත්තමයා  සියලූ  දෙවියන්ට,  බ‍්‍රහ්මයින්ට, අමනුස්සයින්ට වඩා උසස්ය. ශ්‍රේෂ්ඨය. මේ උතුම් බව, ශ්‍රේෂ්ඨ බව විදහා දක්වන හොඳම උදාහරණය, එවැනි උත්තමයෙකු තමන් මෙන්ම සකල ලෝකවාසී සියලූ සත්ත්‍වයින්ගේද යහපත  පතාම,  ඔවුන්වද  දුකින්  මිදවීමේ  පරම  අභිලාෂයෙන්ම  අවංක  පරාර්ථකාමී අදහසින්ම තම සිතුවිලි, ක‍්‍රියා, වදන්, පවත්වන උතුම් ගතියයි. එසේ කරන්නේ යම් ලාභයක්, කීර්තියක්, ප‍්‍රශංසාවක් හෝ වෙනයම් ප‍්‍රතිලාභයක් හෝ බලාපොරොත්තුවෙන් නොවේ. හුදෙක් කරුණා, මෛත‍්‍රී සහගත සිතින්මය. අනෙකාවද දුකින් මිදවීමේ එකම අභිලාෂයෙනි.

පිං පව්, කුසල් අකුසල් වෙන් කොට දැන හඳුනාගත හැක්කේ, අසා දැන අවබෝධ කරගත හැක්කේ මිනිසෙකුට පමණි. ලෞකික, ලෝකෝත්තර දෙකෙහි වෙනස අවබෝධ කරගත හැක්කේද මිනිසෙකුටමය. එමෙන්ම සම්මතය හා පරමාර්ථ ධර්ම අතර වෙනස, භක්තිය හා ශ‍්‍රද්ධාව අතර ඇති වෙනස්කම්ද දැන හඳුනාගත හැකි වන්නේ මිනිසෙකුටමය. පෘථග්ජන පුද්ගලයා සහ ආර්ය උත්තමයා, ආර්ය- අනාර්ය වෙනස්කම් මෙන්ම ධ්‍යාන හා මාර්ග ඵල ආදී උසස් උතුම් කරුණු අවබෝධ කොට දැකගත හැක්කේ මිනිසෙකුටමය. මේවා පිළිබඳව  වෙනස්කම්  දැන  ගැනීම,  අසා  හෝ  කියවා  අවබෝධ  කර  ගැනීම ධර්මවබෝධය ලැබීමයි. දහම් රසය විඳීමට හැකිවන්නේ මේවා මෙනෙහි කිරීමෙන්ම වෙනස පැහැදිළි කර ගැනීමෙන්ය.

උත්තමයෙකු දේශණා කරන ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් හෝ පොත පතක ලියැවී ඇති  ධර්මය  තෝරා  බේරාගෙන  සත්‍යය  අවබෝධ  කරගැනීමට  හෝ  හැකි  වන්නේ, විපස්සනා අනුපස්සනා කර ප‍්‍රඥාව වඩාගත හැකි වන්නේ, ඇසූ ධර්මය ධාරණය කර සත්‍යය සමඟ සම්බන්ධ විය හැකි වන්නේ, චිත්ත පාරිශුද්ධිය ලබා ධ්‍යාන උපදවා ගත හැකි වන්නේ යථාවබෝධයෙන් මඟඵල ලබාගත හැකි වන්නේ මිනිසෙකුටම පමණි.

බුදුබව ප‍්‍රාර්ථනා කිරීම, බුද්ධත්වයට පත්වීම, පසේ බුදු බවට පත්වීම, මහ අරහතුන් වහන්සේලා වීම මෙන්ම අරිය තත්ත්‍වයට පත්වීම මිනිසෙකුට පමණක් කළ හැකි දේවල්ය. එවැනි උතුම් තත්ත්‍වයට පත්වූ මිනිසුන් ආදියෙහි විසූ බවත්, මතුවටත් මිනිසුන් අතරින්ම බිහිවන බවටත් කාට හෝ තර්කයකින්, විද්‍යාවකින් බොරුකළ හැකි නොවේ. සම්මතය අතින් බැලූවත් අහසින් යාමට, මහ සයුර තරණය කිරීමට, ගුවන් යානා නැව් සැදුවේ මිනිසා මනස මෙහෙයවා කටයුතු කිරීමෙනි. මිනිසුන් විනාශ කිරීමට යුද්ධායුධ, බෝම්බ තැනුයේත් මනස මෙහෙයවීමෙන්ය. තමන්ට හෝ වෙනත් සත්ත්‍වයෙකුට හෝ යහපත මෙන්ම අයහපත දෙකටම කටයුතු කළ හැකි එකම සත්ත්‍වයා මිනිසාය. බඩගින්න, නින්ද, මෛථුනය, භය අනිත් සියලූ සත්ත්‍වයින්ට පොදු අවශ්‍යතාවයෝය. මේ කාරණා සතර සඳහාම සියලූ සත්ත්‍වයෝ සියලූ සංඛාර පවත්වති. මිනිසා පමණක් මේවාට වෙනස්ව කටයුතු කළ හැකි ශක්තියක් ලබා ඉපැදී ඇත. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ‍්‍රහ්ම විහරණයන් පැවැත්විය හැකි මිනිසෙකුටම පමණි.

අප උපත ලැබූ මේ වාසනාවන්ත කාලය බුද්ධෝත්පාද කාලයකි. බුදුපියාණන් වහන්සේ කෙනෙකු පහළ වී අනන්ත අප‍්‍රමාණ මහඅරහතුන් වහන්සේලා පහළ වී යහපත් චිත්ත කිරණ ශක්තීන් ලොවට පතුරුවා විශ්වය බලගැන්වූ ශක්තියක් පවතින කාලයකි. මිනිසෙකු ලෙස උපත ලබා, පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයද ශ‍්‍රවණය කරන්නට ලැබී, මනස මෙහෙයවා, එය අවබෝධ කර, ප‍්‍රඥාව, සත්‍යාවබෝධය ලැබීමෙන් බුද්ධත්වයට පත්විය හැකි කාලයකි මේ. එය ”ඛණ සම්පත්තිය” ලැබීමයි. විමුක්තිය ලැබීමයි. නිවන් දැකීමයි. දුකින් මිදීමයි. මේ සියල්ල තම තමන් තම මනසින්ම දැන, දැක ලබාගත යුතු තත්ත්‍වයන්ය. අම්මා, තාත්තා හෝ දෙවියන් බ‍්‍රහ්මයින් හෝ බුදුපියාණන්, මහා සංඝරත්නය හෝ වෙනත් විශ්වකර්මයෙකු හෝ ඔබ වෙනුවෙන් මේ කිසිවක් කරදීමට සමත් නොවෙති.

මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා යන සතර බ‍්‍රහ්ම විහරණයෙහි යෙදෙමින් අප‍්‍රමාණ වූ ලෝක සත්ත්‍වයා වෙත අප‍්‍රමාණ ලෙසින් සම මෙත පැතිරවිය හැකි වන්නේ මිනිසෙකුට පමණි. අනන්ත දුක් විඳින ලෝක සත්ත්‍වයා වෙත මනුස්ස, අමනුස්ස, දේව, බ‍්‍රහ්ම යන සතර කොට්ඨාශයටම අයත් සත්ත්‍වයා වෙත ”සරණ” විය හැක්කේ මිනිසෙකුට පමණි.

”සරණ” වීම යනු තේරුම් කරගත යුතු වචනයකි. ”බුදුන් සරණ යමි, දහම් සරණ යමි, සඟුන් සරණ යමි” යැයි උදේ හවස කීවත් මෙහි තේරුම බොහෝ අය අවබෝධ කරගෙන නැත. සරණ යනු පද දෙකකි. සර, චර ගමන් කරන, පැවැත්ම යන තේරුමයි. ”ණ” යනු නතර කිරීම, නැවැත්ම, අවසන් කිරීම යන තේරුමයි. මේ අනුව සරණ යනු අප කවුරුත් නොනවත්වාම කරන මේ සංසාර ගමන නැවැත්වීමට, එය නවත්වා, විඳින දුක් කන්දරාවෙන් මුදවා ගැනීමට උපකාර වීමයි. උපනිශ‍්‍රය වීමයි. බුද්ධ, ධම්ම, සංඝ යන ත‍්‍රිවිධ රත්නයේ සරණ යෑම යනු මේ උපනිශ‍්‍රය ලබා ගැනීමයි. සත්‍යය අවබෝධ කරගත් සියලූම උත්තමයින් දුක් විඳින අනන්ත අප‍්‍රමාණ සත්ත්‍වයින්ගේ අනාථ බව දැක, ඒ දුකින් ඒ සත්ත්‍වයා මුදවා ගැනීමේ පරම ආධ්‍යාසයෙන්ම මෙසේ ”සරණ” වූ සේක. ඒ සරණ ලබාදීමට ධර්මය දේශණා කළ සේක.

මිනිසෙකුට මිස වෙනත් කිසිඳු සත්ත්‍වයෙකුට, දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට, අමනුස්සයෙකුට හෝ විශ්වකර්මයෙකුට ”සරණ” ලබා දිය නොහැකිය. පිහිටක්, උපකාරයක් නම් ලබා දිය හැකිය. පිහිට හෝ උපකාරය යනු ”සරණ” වීම නොවේ. පිහිට වීම, උපකාර කිරීම ඉතාම තාවකාලික ලෞකික දෙයකි. සාගින්නේ සිටින කෙනෙකුට බත් මුලක් ලබාදීම මගින් බඩගින්නෙන් මිදවීම උපකාරයකි. පිහිටකි. තව පැය හතරකින් පහකින් ඔහුට ඒ බඩගින්නම නැවත මතුවෙයි.

”සරණ” වීම මෙයට වඩා අති උතුම් ශ්‍රේෂ්ඨ දෙයකි. සංසාර සාගරයේ අනාථ වී සදහටම දුක් විඳින සත්ත්‍වයා ඒ දුකින් මිදවීමට උපනිශ‍්‍රය ලබා දීමකි. මඟ පෙන්වීමකි. ඒ නිසාම  බුදුපියාණන්වහන්සේට  ”අනාථ-නාථ”  යැයි  නමක්ද  ලැබුණි.  අනාථ  ලෝක සත්ත්වයා නාථ තත්ත්‍වයට පත්කරවීමට මඟ පෙන්වා, ”සරණ” විය යන තේරුමෙනි.

අවංකව, පිරිසිදුව, පහන් සිතින්ම සම මෙත පතුරා මා මෙන්ම, සියලූ ලෝක , සියලූ සත්ත්‍වයෝ නිදුක් වෙත්වා, නීරෝගි වෙත්වා, සුවපත් වෙත්වා, දුකින් මිදෙත්වා, නිවන් දකිත්වා යැයි කරන පැතුම සියලූ සත්ත්‍වයාට සරණ වීමකි.

චිත්ත ශක්තිය ලොව පවතින එකම ශක්ති ප‍්‍රභවයයි. බලවත්ම ශක්තියයි. පිරිසිදු චිත්ත ශක්තියෙහි අනන්ත, අප‍්‍රමාණ අසීමිත බලයක් ගැබ්ව ඇත. එවැනි උත්තමයෙකු කරන මෙවැනි මෙත්තා සහගත, කරුණා සහගත, මෘදු ගුණයෙන් යුතු, උපේක්‍ඛා සහගත පැතුමෙන් විශ්වයට නිකුත් කරන චිත්ත ශක්තීන්, චිත්ත කිරණ සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයින් ලක්‍ෂයක් කෝටියක් නිකුත් කරන පැතුමකට වඩා ශක්තිමත්ය. බලවත්ය. ඒ යථාවබෝධයෙන්ම, අවංකවම, පිරිසිදු  සිතින්ම කරන පැතුමක් නිසාය. මෙලෙස බුදුපියාණන්වහන්සේලා, මහඅරහතුන් වහන්සේලා, ආර්ය උත්තමයින් වහන්සේලා ලෝකයාට විශ්වයට නිකුත් කරන ලද අප‍්‍රමාණ චිත්ත කිරණ නිසා බිහිවූ බලවත් ශක්තියක් ලොව පවතින්නේය. ඒ චිත්ත කිරණ ශක්තින් නිසාම ඒවායේ බලය, ශක්තිය, ශාන්තිය නිසාම මේ ලෝකය, විශ්වය, සමස්ත සත්ත්‍ව වග_යාටම වාසය කිරීමට, ජීවත්වීමට සුදුසු සෞම්‍ය පරිසරයක් සහිත ස්ථානයක් බවට පත්වී ඇත.

මෙත් වැඞීමෙන් ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය, ව්‍යාපාදය පහව යයි. කළ වරදට අනෙකාට නිතරම සමාව දෙයි. අනෙකෙකු වරදක් කළත් ඒ පෘථග්ජන පුද්ගලයෙකුගේ නොදැනුවත්කම නිසාම සිදුකළ දෙයක් බව අවබෝධ කරගෙන, ”කවදා හෝ ඔහුටත් මෙය වරදක් බව අවබෝධ වේවා, ඒ වරදින් කවදා හෝ ඔහුටද මිදීමට හැකිවේවා” යන සිතුවිල්ල ඇති වෙයි. එයින් පිරිසිදු වන්නේ තමාගේම සිතයි. නිවනට උපකාරක ලෝකෝත්තර කුසලය එයින් වැඩෙයි.

මේ ආත්මයේ අපි අද විඳින සැප දුක් සියල්ල පෙර කළ පිං පව්, කුසල් අකුසල් වල ඵල විපාකයෝය. ඒවා දැන් අපට සහමුළින්ම වෙනස් කළ නොහැකිය. ඒවායින් සිත කම්පා කරගෙන සිතින් දුක් විඳීම නොකළ යුතුය. ඒවා සිතින් අමතක කර දමා, ලද දෙයින් සතුටු වී, මතු මතුත් දුකින් මිදීමට උපකාර වන කුසල් පිරීම කළ යුතුය.

මිනිස් ජීවිතය ඉතා කෙටි ආයුෂයක් ඇති වර්ෂ ගණනකට සිමා වූවකි. මේ කෙටි ආයු කාලයෙන් ද ළදරු කාලය, ළමා කාළය මෙන්ම අවසානයේ කිසිවක් කර කියා ගත නොහැකි මහලූ කාලය ද අත්හැර දැමූ විට ඉතිරි වන්නේ වසර කිහිපයක් පමණි. මේ සීමිත ජීව කාලය රටක් හැදීමට, සමාජයක් හැදීමට, අනුන් හැදීමට තම වටිනා කාලය අපතේ යැවීම තමා තමාටම කර ගන්නා මහා අපරාධයකි. ලෝකය හැදීම කවම කවදාවත් කිසිම කෙනෙකුට කළ නොහැකි දෙයකි. කළ හැකි එකම දේ තමා තමාම හැදීම පමණි. තමන් හොඳ වුවොත්, තමන් හැදුනොත්, ලෝකය හදන්නට අවශ්‍ය නොවේ. ඒ ආදර්ශයට ගෙන ඒ මඟ ගොස් හැදෙන අයට හැදෙන්නට ආදර්ශවත් වීම, කළ හැකි හොඳම ක‍්‍රියාවයි. හැදෙන කෙනෙකුට මඟ පෙන්වීම, ධර්මනුකූලව උපදෙස් දීම, ධම_ය සොයන කෙනෙකුට ධර්ම මාර්ගය පැහැදිළි කර පෙන්වාදීම කළ හැකි එකම සත් ක‍්‍රියාවයි.

කෙනෙකුගේ වරදක්, දෝෂයක් දැක ද්වේෂයෙන් කතා කිරීම වැරදිය. ඒ නිසාම බුදු පියාණන් කිසි විටකත් තර්ක විතර්ක කිරීම අනුදැන වදාළේ නැත. කරුණු පැහැදිළි කර නොමඟ යන්නාට නිසි මඟ පෙන්වීම පමණක් අනුමත කළ සේක.

බුදුපියාණන් වැඩිම කාලයක් වැඩ සිටි ජේතවනාරාමය නම් ස්ථානයේ අල්ලපු වැටේ චුන්ද සූකර නම් ඌරු කොටුවක් පවත්වා ගෙන ගිය කෙනෙකු වාසය කළ බව සඳහන් වේ. චුන්ද සූකර හදන්නට හෝ ඌරන් මැරීම වළක්වන්නට හෝ බුදුපියාණන් කිසි විටකත් උනන්දු වී නැත. උත්සාහ ගත්තේ ද නැත. නමුත් බුදුපියාණන් සමඟ වාදයට ආ සච්චක බමුණාට කරුණු පැහැදිළි කර නිවන් මඟට යොමු කළහ.

උපකාර කිරීම, උදව් කිරීම, කෙනෙකුට පිහිටවීම මිනිස් ගුණ ධර්මයෝය. තමන්ට පිහිට වූ මඟ පෙන්වූ මව්පියන්ට, ගුරුවරුන්ට, වැඩිහිටියන්ට, අඹුදරුවන්ට ප‍්‍රතිඋපකාර කළ යුතුමය. නමුත් මේ සංසාර සම්බන්ධය ගැන මිනිසෙකුව උපන් හැම කෙනෙකුම මීට වඩා ගැඹුරින් කල්පනා කළ හැකි විය යුතුය. මේ සංසාර ගමන තනිව යන ගමනක් හෝ
තනිව ආ ගමනක් හෝ නොවේ. තමන් ළඟ ඉපදුණු, ජීවත්වෙන, ආශ‍්‍රය කිරීමට ලැබෙන මිනිසුන්, තිරිසන් සතුන්, නොපෙනෙන අමනුෂ්‍යයින් සියලූම දෙනා තමන් ළඟම ඉපදී සිටින්නේ ඇයි? අපි ඒ සියලූ දෙනා ළඟ ඉපදුනේ ඇයි?

තමන්ගේ ගෙදර කුහුඹියන් බෝවුනේ ඇයි? මේ සියල්ල හේතුවක් ඇතිවම සංසාර සම්බන්ධයක් නිසාම සිදුවන දේවල්ය. කුහුඹුවන් අප ගෙනා කෑම කෑවේ ඇයි? මේ සංසාර සම්බන්ධය ගණුදෙනුව නිසාම සිදුවන්නකි. අද අප කරන, කියන, හිතන බොහෝ දේවල් අපට ලැබුණු සියලූ නෑදෑයින්, අඹුදරුවන්, මිත‍්‍රයින්, තිරිසන් සතුන් පවා පෙර ජාතිවල අප සමඟ තිබූ සම්බන්ධය නිසාම අදත් අප ළඟම සිටී. ඒ කිසිකෙනෙකුගේ වරදක් දැකිය යුතු නොවේ. ඒ සියල්ල ඉවසා වරදින් පාපයෙන් මමම මිදෙමියි සිතා, මෙත්තා, කරුණා පෙරදැරිව  කටයුතු  කිරීමෙන්  ඔවුන්ගේ  සම්බන්ධයෙන්  මිදිය  හැකිය.  ඔවුන්ට  වෛර කිරීමෙන් කිසිදාක සම්බන්ධයෙන් මිදිය නොහැකිය.

පිං ලබා දීමෙන්, පිං පැමිණවීමෙන්, ප‍්‍රතිඋපකාර කිරීමෙන්, මෙත් වැඞීමෙන්, වන්දි ගෙවීමෙන් හා සමාව ගැනීමෙන් ඒ සියලූ ආකාර වූ සත්ත්‍වයින් සමඟ පවතින සංසාර සම්බන්ධතා වලින් මිදී නිදහස් වෙනතුරා නිවන් දැකිය නොහැකිය. නිදහස් විය යුත්තේ මෙවැනි සංසාර සම්බන්ධතා වලිනුත්, සියලූ ආකාරයේ බලාපොරොත්තු වලිනුත් බව සියලූ දෙනා අවබෝධ කර ගත යුතුය.

මේ සියලූ කරුණු ගෙනහැර දැක්වූයේ මිනිසකු ලෙස ඔබ ලැබූ මේ ආත්මභව ඉතාම දුර්ලභ, ඉතාම උතුම් අවස්ථාවක් බව පෙන්වා දීමටයි. නැවත මිනිසෙකු ලෙස කවදා උපත ලබාවි දැයි කිසි කෙනෙකුට කිසි ලෙසකින් සහතික විය නොහැකියි. මේ ලැබූ ආයුෂ ඉතා කෙටිය. ලැබූ අවස්ථාවෙන් අද අදම උපරිම ඵල ලැබීමට කටයුතු කිරීමෙන්ම විමුක්තිය අත්කර ගත යුතුය.

”සියල්ලන්ම යථාවබෝධයෙන් යුතුව ධර්මයෙහි හැසිරෙත්වා.”

Share Button

බුද්ධාගම සහ උතුම් බුද්ධ ධර්මය

Featured

නිවන්  අවබෝධ  කර  ගැනීමට  උපකාර  වන  එකම  ධර්මය  පරම  පවිත‍්‍ර  බුද්ධ ධර්මයයි. බුද්ධ ධර්මය ඉතාම සරළ ලෙසින් පැහැදිළිව, නිරවුල්ව, පිරිසිදුව ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ සොයා දැන දේශණා කළ ධර්මයයි. මිනිසෙකු ලෙස උපත ලබන  ඕනෑම කෙනෙකුට එසේත් නැත්නම් මුළු මහත් මිනිස් වර්ගයාටම අසා දැන තේරුම් ගත හැකි, තේරුම් ගෙන අනුගමනය කළ හැකි, අනුගමනය කර අත්විඳ ගත හැකි එකම උතුම් ධර්ම මාර්ගයයි. මිනිසෙකුට පමණක්ම මනස මෙහෙයවා  යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගෙන අනුගමනය කිරීමෙන් පමණක්ම මහඟු ප‍්‍රතිඵල අත්කරගත හැකි උතුම් ධර්මයකි.

ජාති කුල භේද, ආගම් භේද, උගත් නූගත් කම්, උස් පහත් කම්, පොහොසත් දුප්පත් කම්, සුදු කළු භේද හෝ ගිහි පැවිදි වෙනස් කම් පවිත‍්‍ර බුද්ධ ධර්මයට නැත. බුද්ධ ධර්මය එක රටකට, එක ප‍්‍රදේශයකට හෝ එක කාලයක උපතලත් මිනිසුන් කොටසකට හෝ සීමාවූ දහමක් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයේම ජීවත්වන මිනිසුන් සඳහාම සුදුසු, සියලූ මිනිසුන්ට යහපත, විමුක්තිය ළඟාකර ගන්නට උපකාර කරගත හැකි ධර්ම මාර්ගයකි.

බුද්ධ ධර්මයෙහි එකම විශේෂත්වය වන්නේ, මේ ධර්මය තම තමන්ම මනස මෙහෙයවා ස්වභාව ධර්මයේ පැවැත්ම පිළිබඳව විද්‍යාත්මක සත්‍යය ප‍්‍රඥාවෙන්්ම තේරුම් ගතයුතු වීමයි. ඒ විශේෂත්වය නිසාම ප‍්‍රඥාවෙන්්ම දැරිය යුතු විද්‍යාත්මක වූ නිසාම මේ උතුම් ධර්මයට බුද්ධ ධර්මය යන නම ලැබුණි.

පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයෙහි හරය, යථාර්ථය තේරුම් ගැනීමට නම් ජාති, කුල මල, ආගම් සංකල්ප, බටහිර, පෙරදිග මතිමතාන්තර, උගත් නූගත් කම් මෙන්ම ගිහි පැවිදි වෙනස්කම් වලින්ද නිදහස්ව, මේ ධර්මයෙන් ගෙනහැර දැක්වූ විද්‍යාත්මකවූත්, ස්වභාවිකවූත් සත්‍යයම ප‍්‍රඥාවෙන්් වටහා ගන්නට උත්සාහ ගත යුතුය.

පාට කණ්නාඩියක් පැළඳ යම් දෙයක් දෙස බලන කෙනෙකුට එය දකින්නට ලැබෙන්නේ,  ඒ  කණ්නාඩියේ  පාටට  අනුරූප  වූ  විකෘති  ස්වභාවයකිනි.  එය  සත්‍යය දර්ශනයක් නොවේ. මායා දර්ශනයකි. එය මිත්‍යාදෘෂ්ඨියකි. සියලූ දෘෂ්ඨි අතහැර, සියලූ ආගම් සංකල්ප අතහැර, මිනිසෙකු ලෙසින් තම මනස මෙහෙයවා මේ උතුම් විද්‍යාත්මක සත්‍යයෙන් ගෙනහැර දක්වන ලද ධර්මය, තම තමාගේම විමුක්තිය සඳහාම උපකාර කරගතහැකි ආකාරය ගැන විමසිලිමත්ව සොයා බැලිය යුතුය.

බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක්ම නොවේ. මේ දෙකෙහි වෙනස නිවැරදි ලෙසත් බුද්ධියෙන් යුතුවත් වටහා ගැනීම නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වේ. උපතින්ම බෞද්ධයෙකු ලෙස බුද්ධාගම උරුමයෙන් අදහන කෙනෙකුට මේ දෙකෙහි වෙනසක් ඇති බවක් තේරුම් ගැනීමද තරමක් අපහසු දෙයකි. උපතින්ම උරුම වූ ආගමික සංකල්ප, ඇදහිලි, පුද පූජා ක‍්‍රම, වත් පිළිවෙත් වලට තදින්ම පුරුදු පුහුණු වූ භක්තිමත් බෞද්ධයකුට මේ කියන කථාවත් සංවේගයට හේතුවන්නට ද බැරි නැත. අනෙකුත් සියලූම ආගම්වල මෙන්ම බුද්ධාගමෙහිත්, පොදුජන පහන් සංවේගය සඳහා, භක්තිය හා ජනප‍්‍රසාදය ඇති කර ගැනීම සඳහා කලින් කලට එකතු කරගත් විවිධ ආගම් සංකල්ප වලින් ගහන බව කාටත් දැකගත හැකි සත්‍යයකි. බුද්ධාගම 2600ක කාලයක් අද පවතින තත්ත්වයෙන් ජනප‍්‍රිය ආගමක් සේ පවත්වා ගෙන එන්නට ඒවා උපකාර වූ බව ද සත්‍යයකි.

පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය මීට වඩා බෙහෙවින් ගාම්භීර වූ, උතුම් වූ, පිරිසිදු වූ ධර්මයකි. මිනිසෙකු විසින් බුද්ධියෙන්ම තේරුම් ගෙන, බුද්ධියෙන්ම අනුගමනය කර, බුද්ධියෙන්ම අත්විඳිය යුතු සදාකාලික වූ විද්‍යා සිද්ධාන්තයකි. ඒ උතුම් ධර්මයෙන් පෙන්වා වදාළ විද්‍යා සිද්ධාන්ත, කාලය අනුව වෙනස් නොවන, වෙනස් කළ නොහැකි, දේශයෙන් දේශයට වෙනස් නොවන, මිනිසුන් වූ කාටත් බුද්ධියෙන් තේරුම් ගත හැකි ස්වභාවික ධර්මතාවයන් ක‍්‍රියාත්මක වන ආකාරය විග‍්‍රහ කර පෙන්වා දුන් පරම සත්‍යය එළි දැක්වීමකි.

බුද්ධාගමද ඒ උතුම් ධර්මයම පදනම් කොට ගෙන කලින් කලට ජනප‍්‍රිය වූ ආගම් සංකල්පයන්ද එකතු කරගෙන, පොදු ජනයාගේ සිත් ගන්නා ලෙසින්, ගරු බුහුමන් ලබන්නට හැකිවන පරිදි, භක්තියෙන් අදහන්නට සුදුසු පරිදි සකස් කරගත් ආගමකි. එවැනි වූ බුද්ධාගම මිහිඳු හිමියන් ලංකාවට ගෙන ආ දින පටන් අද දක්වාම විවිධ වෙනස්කම් වලට භාජනය විය. බෙදීම් වලට හා විපරිණාමය වීම් වලටද ලක්විය. ඒ අනුවම අද පවතින බුද්ධාගමද තව නොබෝ කලකින්ම වෙනස් වී, විපරිණාමයට පත්වීම කාටවත් නැවැත්විය නොහැකි දෙයකි.

පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය කිසිම ආකාරයකින් කිසිම දවසක එවැනි වෙනස්කම් වලට විපරිණාම  වලට  භාජනය  වන  එකක්  නොවේ.  ඊට  අලූතින්  යමක්  එකතුකර  ගත නොහැකිය. පවිත‍්‍ර බුද්ධ ධර්මය තාවකාලිකව භාවිතයෙන් යටපත්ව ගිය හැකිය. නමුත් ධර්මය විනාශ කර දැමිය නොහැකිය. යටපත්ව ගිය බුද්ධ ධර්මය බුද්ධියෙන්, හේතුඵල දහම තේරුම් කරගන්නට හැකි වූ උත්තමයෙකුට නැවත මතුකර, භාවිතයට ගත හැකි උතුම් ධර්මයක් නිසාම එය බුද්ධ ධර්මය විය.

සත්ත්‍ව, පුද්ගල, උපත, පැවැත්ම, විපරිණාමයට පත්වීම, ජරාවට පත්වීම, මරණය, දුක් විඳීම ආදී ඇතිවීම හා නැතිවීම සම්බන්ධ වූ නොනවතින ක‍්‍රියාවලියට පාදක වූ හේතු මෙන්ම, මේ ක‍්‍රියාවලිය නොනවත්වාම, උත්සාහයක් නැතිවම, ස්වභාවිකවම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට හේතු පාදක වූ ශක්ති ප‍්‍රභවය ද විග‍්‍රහ කර, විස්තර කර වදාළ එකම ධර්මය, බුද්ධ ධර්මයයි. උපත, මරණය, දුක් විඳීම වැනි දේ බෞද්ධයින්ට පමණක් සීමා වූ දේවල් නොවේ. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයෙහිම උපදින සියලූ සත්ත්වයින්ට පොදු විද්‍යාත්මක සත්‍යයන්ය. ඒ නිසා බුද්ධ ධර්මය බුද්ධාගමට වඩා බොහෝ සෙයින් ගාම්භීර වූ එකකි.

සම්මත  බුද්ධාගමෙහි  අද  භාවිතා  කරන  බොහෝමයක්  අංගයන්  විවිධ  ආගම් සංකල්ප සංකලනය කරගැනීමෙන් සකස්කර ගත් ඒවාය. පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයේ විද්‍යාත්මක සිද්ධාන්ත යටපත්ව, ආගමික සංකල්ප මතුවීමද ධර්ම ස්වභාවයෙන්ම සිදු වූ දෙයකි. එය කාට හෝ වරදක් පැටවිය යුතු, ඇඟිල්ල දිගුකළ හැකි දෙයක්ද නොවේ. හේතුඵල දහම යථාපරිදි තේරුම් ගත් කෙනෙකුට පමණක් මේ ධර්ම ස්වභාවයද මොනවට තේරුම් ගත හැකි වනු ඇත.

ගෝතම සාක්‍යමුනීන්ද්‍රයාණන් වහන්සේ කිසිම භේදයකින් තොරව මුළු මහත් මිනිස් වර්ගයා සඳහාම දේශණාකර වදාළ බුද්ධ ධර්මය පර්යාප්ති, පටිපත්ති, පටිවේද සාසනය ලෙසින්ද නම් කරන්නට යෙදුනේ මේ නිසාමය. ”සුනේථ, ධාරේථ, චරේථ” යනුද බුද්ධ ධර්මයම විස්තර කරන්නට භාවිතා කළ පද වැලකි. මේ සියලූ ආකාර පද වලින් විස්තර කරන්නට යෙදුනේ බුද්ධ ධර්මය අසා දැන, බුද්ධියෙන් තේරුම් ගෙන, තේරුම් ගත් හේතුඵල ධර්මයට අනුව ක‍්‍රියාකර, බුද්ධියෙන්ම අනුගමනය කර, අත්විඳ ගත යුතු එකක් වන බවයි.

මේ නිසාම මේ උතුම් ධර්මයට, බුද්ධ ධර්මය යන නම ලැබුණි. කිසියම් ආගමික නායකයෙකුගේ නමින් මේ නම ලැබුණා නොවේ. ගෝතම සාක්‍යමුණීන්‍ද්‍රයන් වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම, බුද්ධියෙන්ම සොයා මතු කර පෙන්වූ ධර්මය, බුද්ධිය මෙහෙයවා තේරුම් ගෙන, බුද්ධියෙන් දැරිය යුතු නිසාම ”ධාරේථ” යැයි ප‍්‍රකාශ කළ සේක.

බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වී කලක් ගතවන තුරු මේ උතුම් ධර්මය ”විභජ්ජ වාදය” ලෙසින් හැඳින්වූ බව පැහැදිළිය. ඉන් පසු මේ ධර්මයට ”බුද්ධවාදය” යන නමද භාවිතා කළහ. බුදුපියාණන්වහන්සේ පෙන්වා දුන් විද්‍යා සිද්ධාන්ත ප‍්‍රඥාවෙන් දැරිය යුතු වන නිසාම පසුව එය බුද්ධ ධර්මය ලෙස නම් කෙරිණි. බුද්ධාගම ලෙස එය සකස් කර භක්තියෙන් අදහන්නට වූයේ, බුද්ධ පරිනිර්වාණයෙන් වසර එකසිය පනහක්, දෙසියක් තරම් පසු කාලයකදීය. බුදුපියාණන් මේ උතුම් විද්‍යා සිද්ධාන්ත මතුකර දේශණා කළ යුගය වනවිට ජන්බුද්වීපය ප‍්‍රදේශයේ පමණක් විවිධ ආගම් හැට හතරක් ප‍්‍රචලිතව, ජනප‍්‍රියව පැවතුන බව ඉතාමත් ප‍්‍රසිද්ධය. ඒ ආගම් සියල්ලම සත්ත්‍ව පුද්ගල දෘෂ්ඨිය, ආත්ම අනාත්ම සංකල්ප, පුනරුත්පත්තිය, මතු ආත්ම භවයන් ආදී සංකල්ප පදනම් කර ගෙන විවිධ ඇදහිලි වත්පිළිවෙත්, පුදපූජා ක‍්‍රම අනුගමනය කළ ඇදහිය යුතු ආගම් විය. ඒ කිසිඳු ආගමකින් මිනිසෙකු ලෙස උපත ලත් කිසිම කෙනෙකුට පූර්ණ විමුක්ති සුවයක්, නිවනක් ලබා ගත නොහැකි බව පැහැදිළිවම තේරුම් ගත් බුදුපියාණන්වහන්සේ, ඒ සියලූ ආගම් ප‍්‍රතික්‍ෂෙප කර බැහැර ලා, විභජ්ජවාදය නැමැති මේ උතුම් බුද්ධ ධර්මය ඉදිරිපත් කළ සේක. ඒ යුගයේ හැටියට මෙය කාටවත් සිතාගන්නටවත් නොහැකි තරමේ මහා පෙරළියක්, විප්ලවයක්ම විය. සියලූ ආගම් යටපත්ව කෝටි ප‍්‍රකෝටි ගණනින් මිනිසුන් බුද්ධ ධර්මය අනුගමනය කරන්නට විය.

උතුම් බුද්ධ ධර්මය හුදු න්‍යායයක් හෝ දර්ශනයක් හෝ පමණක්ම ලෙසින් සැළකීම සුදුසු නොවේ. බුදුපියාණන්වහන්සේම දේශණාකර පෙන්වා වදාළ පරිදි මෙය පර්යාප්ති ධර්මයකි. එනම් නිවැරදි විමුක්ති මාර්ගයකි. ඒ විමුක්ති මාර්ගය අනුගමනය කළ, අත්දුටු, අත්විඳගත්  බුදුපියාණන්වහන්සේලා  මෙන්ම  අනන්ත  අරහතුන්  වහන්සේලාටද  මාර්ග ඵලයන්ට පත් වූ තවත් එවැනිම විශාල කොටසකටද  සදහටම සංසාර දුකෙන් මිදී නිදහස් වීමට  උපකාරී  වූ  නිවැරදි  ධර්ම  මාර්ගය  විග‍්‍රහ  කිරීමකි.  මේ  විමුක්ති  මාර්ගය   ඕනෑම මිනිසෙකුට  තේරුම්ගෙන,  අනුගමනය  කර  අත්විඳගත  හැකි  නිසා  මෙය  ප‍්‍රතිපත්ති මාර්ගයක් ලෙසද පෙන්වා වදාළහ. මෙය එක ජාතියකට, ආගමකට, රටකට, කුලයකට හෝ එක කාලයකට සීමා වූ ධර්ම මාර්ගයක්ද නොවේ. කොයි කාලයකදී හෝ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත්තේ නම්, එය චතුරාර්ය සත්‍යයන්ම අවබෝධකර ගන්නට උපකාර වන නිවැරදි මඟ පෙන්වන දහමකි. මෙහි එකම විශේෂත්වය වන්නේ ඒ ඒ පුද්ගලයාම පෞද්ගලිකවම ප‍්‍රතිපත්තීන් පුරා මාර්ගය සම්පූර්ණ කරගත යුතු වීමයි.

විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලබන, ජීවත්වන, හැම කෙනෙක්ම තම මනසේ ශක්තීන්ම දියුණු කරගෙන, විඤ්ඤාණ ශක්තියම, පිරිසිදු චිත්ත ශක්තියක් බවටද ශුද්ධ පවිත‍්‍ර කරගැනීම මේ ප‍්‍රතිපත්ති මාර්ගයයි. එය තමන් විසින්ම තමා සඳහාම අනුගමනය කළ යුතුය.

මේ උතුම් ධර්මයට හිමිකරුවකු හෝ අයිතිකරුවෙකු හෝ නැත. සියලූම ලොව්තුරු බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම මතුකර තමන්ම සොයා දැනගත් මේ උතුම් ධම_යටම ගුරු තනතුරින්ද පිදුම් කළ සේක. ඒ නිසා මේ ධර්මයේ අයිතිය කියාපාන්නට කිසිම අරහතුන් වහන්සේ කෙනෙකුට හෝ ස්වාමීන් වහන්සේ කෙනෙකුට හෝ නොහැකිය. සියලූම ශ‍්‍රාවකයින්, අනුගාමිකයින් හා භික්ෂුන්ගේ වගකීම වන්නේ, නිවැරදි මඟ සොයා දැන බුදුපියාණන් මතුකර පෙන්වා වදාළ මඟ අනුගමනය කර, එය තමාගේම පෞද්ගලික අත්දැකීමක් බවට පත්කරගෙන, නිවන අත්විඳ ගැනීමයි. මේ නිසා මෙය ආගමක්,  න්‍යාය  ධර්මයක්  හෝ  දර්ශනවාදයක්  හෝ  පමණක්ම  නොවන  බවත්  සෑම කෙනෙකුම තේරුම් ගත යුතුය. උතුම් බුද්ධ ධර්මය ආගම් සංකල්පයක් හෝ ඇදහිලි මාර්ගයක්ද නොවේ. යම්කිසි කෙනෙකුට භක්තියෙන්, අවිචාරවත් ශ‍්‍රද්ධාවෙන් වැඳුම් පිදුම් පමණක් කර, ප‍්‍රාර්ථනා කරමින් පැතීමෙන්ම පමණක් ඉෂ්ඨ සිද්ධ කරගත හැකි දෙයක්ද නොවේ. සුනේථ, ධාරේථ, චරේථ යන පියවරයන් තුනෙහිිිම වැඳුම්, පිදුම්, යැදුම්, පැතුම් මාර්ගයක් පෙන්වා දී නැත. පර්යාප්ති සාසනය, ප‍්‍රතිපත්ති සාසනය, ප‍්‍රතිවේධ සාසනයෙහිද එවැනි කිසිම වැඳුම් පිදුම් මාර්ගයක් පෙන්වා දී නැත. යාඥා කර, පූජකයෙකුට පිරිකරක් පූජාකර, කන්නලව්වකින් කරගත හැකි දෙයක් ද මෙහි නැත. කිසිම ආකාරයක මතිමතාන්තර හෝ දෘෂ්ඨිගත වීමේ ක‍්‍රමයක් ද මෙහි නොවේ. බුද්ධියෙන් තර්කයෙන් ගොඩනගාගත් සම්මතයන්ද මෙහි නැත. තවත් කෙනෙකුගෙන් ඉගෙනගෙන, උකහා ගෙන, බුද්ධියට ගෝචර කරගත හැකි දෙයක්ද නොවේ. තමන්ම තමා තුළින්ම දැහැමි ප‍්‍රතිපදාවක් අනුගමනය කර අවංක වීමෙන්, පිරිසිදු වීමෙන්,  පිවිතුරු  වීමෙන්,  ප‍්‍රභාශ්වර  තත්ත්වයටද  පත්විය  හැකි  තමාගේම  සිතෙහිම ඇතිවන ආධ්‍යාත්මික චිත්ත පාරිශුද්ධතාවයකි. රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර පිරිසිදු සිතක් තමා තුළින්ම මතුකරගෙන, තමන්ම අත්විඳ ගන්නා ආධ්‍යාත්මික වූත්, අභ්‍යන්තර වූත් සුවය අත්විඳීම නිවනයි. විමුක්තියයි.

මේ විමුක්ති මාර්ගය, විද්‍යාත්මක සත්‍යය සොයාදැන, යථාපරිදි මතුකර, පැහැදිළිව විග‍්‍රහ කර, ලෝකයාට දේශණා කරන්නට යෙදුනේද, ඒ ඒ පුද්ගලයාට තම තමන්ගේම බුද්ධිය දියුණු කර, තම විමුක්ති මාර්ගය තමන්ටම සකස් කර ගන්නට උපකාර වන ආකාරයටය. නිවන් අවබෝධ කරගැනීමට උපකාර කිරීම, විමුක්ති මාර්ගය පෙන්වා දීම මේ ධර්මය දේශණා කිරීමේ එකම අරමුණ හා පරමාර්ථය විය. වෙනත් කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයක් හෝ අරමුණක් ඇතිව මේ ධර්මය දේශණා කළා නොවේ.

විශ්වය පිළිබඳව අග මුල සෙවීම හෝ මිනිසාගේ, සත්ත්වයාගේ උපතේ අග මුල සෙවීම හෝ මතු ආත්ම භවයන්, පෙර ආත්ම භවයන් ගැන පෙන්වා දීමට හෝ ලෞකික සැප සම්පත් දියුණු කර සංවර්ධනය කර ගන්නා ආකාරය පෙන්වා දීමට හෝ දේශණා කළ ධර්මයක් නොවේ. රටක්, ලෝකයක්, සමාජයක් හදන්නට හෝ මෙහි කී නොකී කිසිම ආකාරයක ලෞකික පරමාර්ථයකින් හෝ අරමුණකින් බුදුපියාණන්වහන්සේ බුද්ධ ධර්මය දේශණා කළා නොවේ.

ලෝකෝත්තර නිවන් සුවය අත්කර ගන්නට මිනිසුන්ට බුද්ධියෙන් දරාගත හැකි, දරාගත යුතු ධර්ම මාර්ගය පෙන්වා දී, එය අනුගමනය කර, තම තමන්ටම අත්විඳ ගන්නට හැකි  මඟක්  පෙන්වීම  කළා  පමණි.  මේ  නිසා  මේ  උතුම්  බුද්ධ  ධර්මය  කිසිසේත්ම බෞද්ධයාට පමණක් සීමා වූ එකක් නොවේ. බුදුපියාණන්වහන්සේ මේ ධර්මය සොයා දේශණා කළ යුගය වන විට එකද සම්මත බෞද්ධයෙකුවත් සිටියේ ද නැත.

මෙයින් පැහැදිළිවම තේරුම් ගත යුතු කරුණ වන්නේ, බුද්ධ ධර්මය දේශණා කිරීමේ ඒකායන අරමුණ වූයේ, පරමාර්ථය වූයේ, අනන්ත අප‍්‍රමාණ කාලයක පටන් සංසාර සාගරයේ අතරමං වී දුක් විඳවන ලෝක සත්ත්වයා දුකින් මුදවා ගෙන, විමුක්තිය ළඟාකර ගත හැකි පැහැදිළි මඟක් සොයා පෙන්වා දීම පමණක්ම බවයි. බුද්ධ ධර්මයෙන් පෙන්වා දුන් මේ පිරිසිදු පැහැදිළි නිවන් මඟ පෙන්වා දීමට කිසිම ආගමකට අතීතයේදී නොහැකි වූවා මෙන්ම මතු අනාගතයේදී ද කිසිම ආගමකට හැකි කමක් නැති බවද සහතික කොට ප‍්‍රකාශ කළ හැකිය. නිවන් අවබෝධ කර ගැනීමට, විමුක්තිය ළඟාකර ගැනීමට නම් ”පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම” සොයා දැන භාවිතා කළ යුතුය. බුදුපියාණන්වහන්සේට, උතුම් සිරි සද්ධර්මයට ගරු කරන සියලූම මිනිසුන් මේ සත්‍යය මැනවින් තේරුම් ගෙන කටයුතු කළ යුතුය.

Share Button

නිවන් දැකීම යනු කුමක්ද?

Featured

නිවන් අවබෝධ කරගැනීම යනුවෙන් අදහස් කරන්නේ කුමක්දැයි පැහැදිළි ලෙසම,
සරළ ලෙසම විග‍්‍රහ කර ඇති බුද්ධ දේශණාව වන්නේ,

“රාගක්ඛයෝ නිබ්බානං , ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං”

යන බුද්ධ දේශණාවයි.

යම්  කෙනෙකු  රාගය,  ද්වේෂය,  මෝහය  යන  ලාමක  ගති  ලක්ෂණයන්  තම චිත්තසංථානයෙන් පුර්ණ වශයෙන්ම ඛය කර දමන්නට, අතහැර දමන්නට, සදහටම එවැනි ගති ලක්ෂණ වලින් මිදී නිදහස් වන්නට හැකියාව ලැබුණොත්, ඒ උත්තමයා නිවන් අවබෝධ කර ගනී.

රාගය, චන්දරාගය යනුවෙන් විග‍්‍රහ කරන ලද මේ පළමුවන ගති ලක්ක්‍ෂණය පුද්ගලයකුගේ,  සත්ත්වයෙකුගේ  චින්තසංථානයේ  පහළවන  ගතියකි.  ප‍්‍රියයි,  මධුරයි, මිහිරියි, සුවයි, සැපයි යනුවෙන් යමක් කෙරෙහි ගන්නා වූ දෘෂ්ඨිය අනුවම, ඒ නිසාම යමකට බැඳීමක්, එකතු වීමක්, ඇලීමක් ඇතිකර ගැනීම මේ ගති ලක්‍ෂණයයි. රාග යනු මත්වීමෙන්, මත් වූ සිතෙන් යමකට එකතු වීමේ, ගෑවී සිටීමේ, සම්බන්ධ වීමේ කැමැත්තයි. තණ්හාව, ලෝභකම, ආශාව, උපාදානය ආදී විවිධ නම් වලින්ද ප‍්‍රකාශ කරන්නේ, මේ රාග ගති ලක්ෂණයම තවදුරටත් මෝරා වැඩි දියුණු වූ අවස්ථාවන්මයි. පටිච්ච වීම සිදුවන්නේ මේ අවස්ථාවේදීය.

රාග නැමැති ගති ලක්ෂණය සෑම පෘථග්ජන සිතකම මොහොතින් මොහොත පහළ වෙන, මතුවන, මොහොතින් මොහොත ගෙවී විනාශ වී යන, නැවත නැවතත් මතුවන විනාශවන ගතියකි. පෘථග්ජන කෙනෙකුගේ සිතක් නිතරම, ස්වභාවයෙන්ම කිළිිටි වූ, කහට ගැන්වුණ, කෙළෙස් සහිත තත්ත්වයෙන්ම පවතින නිසා මෙවන් රාග සහගත සිතුවිලි නිරන්තරවම මතුවීම ස්වාභාවිකයි. ”තණ්හාව” නැත්නම් ”තෘෂ්ණාව” යන සංස්කෘත වචනයෙන් විග‍්‍රහ කර පෙන් වූ මෙම ගති ලක්ෂණය, රාගය නිසාම හටගත්, රාගයෙහිම මෝරා වැඩි දියුණු වූ අවස්ථාවකි. රාගයෙන්  සිත  මත්වීම  නිසා  ප‍්‍රිය  මනාප  වූ  දෙයට  ගෑවීමේ,  එය  සමඟ  එකතුවීමේ සම්බන්ධවීමේ අවශ්‍යතාවය, කැමැත්ත නිසාම සිත තැනක හා වේ. යම් තැනකට, යම් දෙයකට, යම් කෙනෙකුට, යම් අවස්ථාවකට හා වීම, තණ්හාව යනුවෙන් විග‍්‍රහ වේ. යමක් කෙරෙහි ප‍්‍රිය බවක්, මනාප බවක් ඇතිවීම නිසා සිත රාගයෙන් මත්වීමේ නියත ප‍්‍රතිඵලය එතනට එකතුවීම, එය ”තණ්හා” වීමයි.

සාමාන්‍ය පුද්ගලයකුගේ සිතක මෙවැනි රාගයක්, තණ්හාවක් ඇතිවීමට මුල්වන මූලිකම හේතුවක් ඇත. මෝහය, මුලාව, අවිද්‍යාව, නොදන්නාකම ආදී විවිධ වචන 23කින්ම විභංගප‍්‍රකරණයේ විස්තර කළේ් මෙයයි. සත්‍යය නොදැනීම, සත්‍යය නොදැකීම, මේ හේතුවයි. කුමක්ද මේ මෝහය නැත්නම් නොදන්නා කම? යමක යථාස්වභාවය, ඇත්ත ස්වභාවය, ඇතිවීම නැතිවීම හා විපරිණාමය නැමැති හේතුඵල ක‍්‍රියාකාරීත්වය පිළිබඳ  සත්‍යය  තත්ත්වය  නොපෙනීම  මෝහයයි.  එහෙම  නැතිනම්  ”අනිච්ච,  දුක්ඛ, අනත්ථ” යන ත‍්‍රිලක්ඛණය නොදැනීම මෝහයයි. ද්වේෂය යන නමින් හැඳින් වූ දෙවැනි ගති ලක්‍ෂණය රාගය, තණ්හාව, ලෝභකම ආශ‍්‍රයෙන්ම සිතක බිහිවන ගති ලක්ෂණයකි. කැමැත්තෙන්ම, ආශාවෙන්ම සිත මත් වී යමකට එකතු වීමේ, සම්බන්ධ වීමේ අවශ්‍යතාවය චන්දරාගයයි. මේ ආශා කළ දේ, කැමතිවූ දේ, කැමති වූ පරිදිම, රිසිසේම, තම මනාපය පරිදිම නොලැබෙයි නම් එතැන ගැටීමක් ඇතිවේ. අර මුලින් බිහිවූ රාග ගති ලක්ෂණයම දැන්  දෙවනි වේශය, ද්වේෂය ලෙසින් හැඳින්වේ. රාගයක්, තණ්හාවක්, කැමැත්තක් සිතක මුලින්ම පහළ නොවේ නම්, ද්වේෂයක් ඇතිවීමට කිසිම හැකියාවක් නැහැ. තරහ, වෛර, ක්‍රෝධ, ඊර්ෂ්‍යා, පටිඝ, ව්‍යාපාද වැනි විවිධ නම් වලින් විග‍්‍රහ කරන ද්වේෂය, රාගයේ, තණ්හාවේම දෙවැනි වේෂයක්ම පමණි.

රාගය,  තණ්හාව  මෙන්ම  ද්වේෂයද  සිතක  එක  දිගටම  පවතින  ස්ථිර  ගති ලක්ෂණයන්  නොවේ.  චිත්තක්‍ෂණයක්,  චිත්තක්‍ෂණයක්  පාසාම  බිහිවෙන,  නැතිවෙන, වෙනස්වන ගති ලක්‍ෂණයන්ය. රාගය සිතක බිහිවීමට හේතුව වූ නොදන්නාකම, අවිද්‍යාව, සත්‍ය නොවැටහීමම සිතක ද්වේෂය ඇතිවීමටත් එකම හේතුවයි. රාගය හා මෝහය එකතු වී ක‍්‍රියාත්මක වේ. ද්වේෂය හා මෝහය එකතු වී ක‍්‍රියාත්මක වේ.

මෝහය යනු සත්‍ය නොදන්නා කමයි. මෝහය යනු මුවහ කර තැබීම, වසා තැබීම යන තේරුමයි. මෙසේ මුවහකර වසා ඇත්තේ කුමක්ද? තමාගේම මනසයි. හේතුඵල ක‍්‍රියාත්මක වන ධර්මතාවයේ යථා ස්වභාවය, සත්‍ය ස්වභාවය මනසට දැකගන්නට නොහැකි ලෙස මුවා කර වසා ඇති බවයි. සාමාන්‍ය පෘතග්ජන පුද්ගලයකුගේ සිතට මේ හේතුඵල ක‍්‍රියාකාරිත්වයේ ධර්මතාවය යථාපරිදි නොපෙනෙයි. ඒ නොපෙනෙන්නේ රාග, ද්වේෂ වැනි කිළිටි අඳුරු ගති වලින්, ප‍්‍රිය මනාප මධුර දේ වලින් මත් වී පැවැත්මේ සත්‍ය වැසී ඇති හෙයිනි.

ඒ නිසාම ”මෝහය” යන වචනය තනි වචනයක් ලෙසින් භාවිතා කිරීමෙහිද කිසිම තේරුමක් නැත. නිතරම යම් දෙයක් සම්බන්ධව කරන ප‍්‍රකාශයකදීම පමණක් භාවිතා කළ හැකි වචනයකි. මේ ආකාරයෙන්ම ”සත්‍යය” යන වචනයද අර්ථයක් ඇති තේරුමක් ඇති ප‍්‍රකාශයක් සේ භාවිතා කළ හැක්කේ, යමක් සම්බන්ධ කර කරණු ලබන ප‍්‍රකාශයකදීම පමණි.

සියලූ ලෝක සත්ත්වයා දිගින් දිගටම යළි යළිත්් උපතක් ලැබීමට, ජීවත්වීමට, දුක් විඳීමට, මරණයට පත් වීමට එකම හේතුව යමක යථා ස්වභාවය, සත්‍යය නොදන්නා කමයි. එය මෝහයයි. මෝහය නිසාම රාගයෙන්, තණ්හාවෙන්, චන්දරාගයෙන් මත්වී යමකට එකතුවෙයි, සම්බන්ධවෙයි. මෝහය නිසා, නොදන්නාකම නිසා තැනකට හාවී හේතු උත්පාදනය කරයි. ඵල විපාක උරුම කරගනී.

මුළු  බුද්ධ  ධර්මයේම  විග‍්‍රහ  කර,  විවරණය  කර  පෙන්වා  දෙන්නට  උත්සාහ කරන්නේ, මේ පැවැත්ම ලෙසින් ගෙනහැර දැක් වූ හේතුඵල පරම්පරාවන් උපත ලබන ආකාරය පිළිබඳව සත්‍යය ධර්මතාවය පෙන්වීමයි. රාගයෙන්, තණ්හාවෙන් මිදී මෝහයෙන් වෙන්විය හැක්කේ, හේතුඵල ක‍්‍රියාත්මක වීමේ සත්‍ය ධර්මතාවය මනා ලෙස වටහා ගැනීමෙන් ම පමණි. බුද්ධ ධර්මය යනු භව උදුරා දැමීමයි. බුද්ධ යනු මේ හේතුඵල ධර්මතාවය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ පුර්ණ සත්‍යය විද්‍යාත්මක ලෙසින් ගෙනහැර දැක්වූ භව උදුරා දැමූ උත්තමයායි. චතුරාර්ය සත්‍යය සොයා දැන විග‍්‍රහකර ඉදිරිපත් කිරීම බුදුපියාණන්වහන්සේ කළ වැදගත්ම හේතුඵල විග‍්‍රහයයි. එය පටිච්ච සමුප්පාද ධර්මයයි.

Share Button