නිරෝධ ”නිරුද්ධ” යන බුද්ධ භාෂිතයෙහි සඳහන් වචනයට සිංහල පදයක් සොයා ගැනීමට නොහැකි වූ බොහෝ ආචාර්යවරු තම පොත්වල ”නැති” කිරීම ලෙස මෙය සිංහලයට පරිවර්තනය කර ඇත.
මේ නිසාම ”නිරෝධ කිරීම” යන්නෙහි තේරුම කුමක්දැයි සැක හැර දැන ගැනීම නිවන් මඟ සොයන කෙනෙකුට බෙහෙවින් උපකාර වනු ඇත. බුදුපියාණන්වහන්සේ මෙන්ම අරහත් තත්ත්වයට පත් වූ සියලුම උත්තමයින්ද සංඛාර නිරෝධ කළ බව, විඤ්ඤාණ නිරෝධ කළ බව, සළායතන නිරෝධ කළ බව ප්රකාශිතය. සළායතන යනු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්රියයන් හය එකතු කරන තැන් බවට පත්කර ගැනීමයි. ආයතන බවට පත්කර ගන්නා මෙම ඉන්ද්රියයන් කිසිවක් අරහතුන්වහන්සේ නමක් නැති කළේ නැත. නිරෝධ කිරීමක් පමණක් සිදු කරන ලදී.
ඇසින් රූපයක් දුටු විට ඒ රූපය පිළිබඳව යම් රාගයක්, කැමැත්තක් හට ගනී නම් චක්ඛු විඤ්ඤාණයක් හට ගනී. විඤ්ඤාණය ඒ රූපය දැකීම නිසා සංඛාර කරමින් සිතෙන් ප්‍රිය රූපය වටේ රවුම් ගසයි. විවිධ ආකාරයේ සිතුවිලි මවමින්, දහසක් අරමුණු සිතින් මවා ගනී. කටින් වචන පිට කිරීමට හෝ කයෙන් ක්‍රියා කිරීමට හෝ පෙර සිතින් කරන මේ රවුම් ගැසීම මේ රූපය ප්‍රියයි, මනාපයි, හැඩයි යනුවෙන් එය සිතින් අල්ලා ගැනීමට නැවත නැවතත් දැකීමට සිතුවිළි පහළ කිරීම මේ රවුම් ගැසීමයි. මෙය රෝද ගැසීමකි. සිතින් රෝද කිරීමකි. කර්මජ බීජ උපත ලබන්නේ මේ අනුවය. පෘථග්ජන සිතක සාමාන්‍ය හැසිරීම ප්‍රියයි, මනාපයි, සුවයි වැනි ”සං” බිහිකරන සිතුවිල්ලක් වටා දහසක් මතක සටහන් බිහිකර, සිතින් රවුම් ගසා ඒ වටාම කැරකීමයි. ”සං” නැමති ජවයක් බිහි කිරීමයි. ඒ දුටු රූපය දෙස නැවත බලන්නේ ඒ ගැන විපරම් කරන්නේ කාගේ කවුදැයි සොයන්නේ ඒ නිසාමය.
යම් සත්‍යාවබෝධයක් ලබාගෙන සිතින් රවුම් ගැසීම, රෝද කිරීම නවතා දැමිය හැකි නම්, එය නිරෝධ කිරීමකි. මේ නිරෝධ කිරීම සඳහා ”සං” දැකිය යුතුය. එහි ධර්මතාවය දැකිය යුතුය. ඒ නිසාම ඒ පිළිබඳ සත්‍යය ධර්මය දැකීම ”සංදිට්ඨිකෝ” නම් වෙයි.
මේ නිරෝධ කිරීමේදී ඇස නැති කළේ නැත. ඇසෙහි ක්‍රියාකාරීත්වය නැති කළේ නැත. දුටු රූපය නැති කළේ් නැත. ඒ රූපය දුටු සිත නැති කළේ නැත. නැති කළ එකම දෙය ඒ රූපය දැකීමෙන් සිතෙහි හටගත් මනෝ විඤ්ඤාණය ඔස්සේ රෝද කිරීම, රවුම් ගැසීම නිසා එකතු කරන ”සං” නැමති ජවය එකතු කිරීම නැවැත්වීම පමණි. එය නිර් උදා කිරීමයි.
ඇසින්, කනින්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින්් මෙවැනි අරමුණු සිතට ඇතුලු වී විඤ්ඤාණයෝ උපදිති. මේ සියලු විඤ්ඤාණයෝ එකතු කර, රවුම් ගසන්නේ සිතින්මය. ඒ නිසා නිරෝධ කළ යුත්තේ සිතින් රවුම් ගැසීමය. එය සිත නිරෝධ කිරීමය.
ඇස, කන, නාසය, දිව, කය, මනස යන මේවා ඉන්ද්රියයන්ය. මේවා ආයතන ලෙසද හඳුන්වන්නේ ඒවායෙහි යමක් එකතු කිරීමේ ශක්තියක් ඇති නිසාය. ආයතනයක් යනු යමක් (අය කරන තැන) එකතු කරන තැන, යන අර්ථයෙනි. මේ ඉන්ද්රියයෝ විඤ්ඤාණය ශක්ති ගැන්වීමට, බලගැන්වීමට, කහට ගැන්වීමට ආහාර එකතු කරයි. එසේත් නැතිනම් ”සං”එකතු කරයි. එකතු කරන ස්ථාන යන අර්ථයෙන්ම මේ ඉන්ද්රියයන් හයම ආයතන ලෙස හඳුන්වයි.
ආයතනයෝ නිරෝධ කරනු මිස ඉන්ද්රියයෝ නිරෝධ කළ නොහැකිය. නිරෝධ කිරීම මගින් සිදුවන්නේ ඉන්ද්රියයන් මාර්ගයෙන් ”සං”එකතු වීම නැවැත්වීමයි. සියලු පෘථග්ජන සත්ත්වයින්ගේ ඉන්ද්රියයන් ආයතන බවට පත් වී ක්‍රියාත්මක වෙති. ”සං” දැක, ”සං දිට්ඨිකෝ ” වී, ඒ රෝද ගැළවීම නිරෝධ කිරීමයි. සිත නිරෝධ කිරීමෙන් කර්ම බීජ වල උපත ලැබීම නවතා නිර්උදා වීම සිදුවෙයි.