චතු අරිය සච්චයන්

ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, අඩු වැඩි නැතිවම ලෝකයාට දේශණා කරනු ලබන අරිය සත්‍යයන් සතරකි.

කවුරුත් අසා ඇති පරිදි, දන්නා පරිදි මේ අරිය සත්‍යයන් හතර නම්,
1. දුක්ඛ අරිය සත්‍යය
2. දුක්ඛ සමුදය අරිය සත්‍යය
3. නිරෝධ අරිය සත්‍යය හා
4. නිරෝධගාමී මාර්ග අරිය සත්‍යය යනුවෙන් හඳුන්වයි.

මේ අරිය සත්‍යයන් හතර ම මීට වඩා සරළ සිංහල බසින් විග‍්‍රහ කරනවා නම්,
1. පැවැත්ම (රිය)
2. පැවැත්වීමට හේතුව (රිය ගමන) – දිගටම පවත්වාගෙන යාම
3. නැවැත්ම (අරිය) රිය ගමන අත්හැර අවසන් කිරීම
4. නැවැත්වීමේ මාර්ගය යනුවෙන් විග‍්‍රහ කළ හැකිය

1. පැවැත්ම යනු ”තථමේතං” යනුවෙන් විග‍්‍රහ කළ තුන් ලෝකයක පැවැත්මයි. කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයේ පැවැත්මයි. තම පැවැත්මට හේතු වූ, නිධාන වූ, ප‍්‍රත්‍ය වූ කිසියම් ක‍්‍රියාකාරකම් කොටසක් ඇති බව තමන්ට තේරුම් ගන්නට නොහැකි වන තාක් මේ ක‍්‍රියාකාරකම් සියල්ල තමන්ම කරන, කියන, හිතන දේ් බව තේරුම් නොගන්නා තාක් ”දුක්ඛ අරිය සත්‍යය” අවබෝධ නොවීමයි. තමන් තුළම පවතින තමන්ම හුරු පුරුදු කරගත් උපාදානය කරගැනීමේ ”ගති” පිරිසිඳ දැක ගැනීම, දුක පිළිබඳව අරිය සත්‍යයන් පිරිසිඳ දැක ගැනීමයි. (පරිඤ්ඤාතං – පරිඤ්ඤෙයියං) ප‍්‍රිය, අප‍්‍රිය ගති දෙකම සිඳ දමා උපේක්ඛා සිතක් පැවැත්වීමට පුරුදු වීම පංචස්කන්ධයම උපාදානය කරගැනීමෙන් නිදහස් වීමට මාර්ගයයි.

2. පවත්වාගෙන යාම යනු හේතුඵල පරම්පරාවක් එක දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන හේතුන් දිගින් දිගටම අඛණ්ඩවම බිහි කරගෙන යාමයි. සමුදය අරිය සත්‍යයද නිවැරදිවම අවබෝධ කරගන්න නම් සං+උපත ලබන්නේ තම චිත්තසංථානයේදීම බවත් තේරුම් ගෙන සං ප‍්‍රහාණය කර ඉවත් කළ හැකි බවත් ”සං” නිරෝධ කළ හැකි බවත් තේරුම් ගැනීමයි. සංසාර රිය ගමන නොකඩවාම දිගටම පවත්වාගෙන යන්නේ ”සමුදය” බිහිවන නිසාමය. මේ රිය ගමන අරිය කිරීමට නම් රිය ගමන නැවැත්වීමට නම් සමුදය ප‍්‍රහාණය කළයුතු බව දැන තේරුම් ගෙන ”පහාතබ්බංච පහීණං” කිරීම සමුදය අරිය සත්‍යය අවබෝධ වීමයි.

3. පැවැත්මේ නැවැත්ම නිරෝධ අරිය සත්‍යයයි. මේ පැවැත්ම දිගින් දිගටම නොකඩවාම රිය ගමනක් සේ පවත්වා ගෙන එන්නට උපකාර වූ සමුදයම නිරෝධ කර අනුත්පාද තත්ත්වයට පත්කර ගැනීම නිරෝධ අරිය සත්‍යාවබෝධයයි. මෙය ”සච්චිකිරියාච – සච්චිකරෝති” යනුවෙන් පෙන්වා වදාළ සාක්ෂාත් කරගත යුතු දෙයකි. එනම් අනුත්පාද නිරෝධය ප‍්‍රත්‍යක්ෂ වශයෙන් සාක්ෂාත් කර ගැනීම නිරෝධ අරිය සත්‍යාවබෝධයයි. ඒ සඳහා ”සං” දැක සං+උදය වීම දැක, ”සං” නිරෝධ කළ යුතුමය. ”යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං” බව දැකගත යුතුය.

4. නැවැත්වීම මාර්ග ප‍්‍රතිපදාවයි. සංසාර රිය ගමන අරිය තත්ත්වයට පත්කර මතු නැවත නූපදින ලෙසින්ම රිය ගමන නවතා දැමීම ඒ රිය ගමන පැවැත්වීම සඳහා උපකාර වූ හේතු සියල්ලමත් අනුත්පාද වශයෙන්ම සිඳ දැමිය යුතුය. පැවැත්ම සඳහා උපකාර වූ, රිය ගමනට හේතු වූ මූලික ගති වන රාග ගතිය, ද්වේෂ ගතිය සහ මෝහ ගතිය මුලින්ම සිඳදමා අරිය තත්ත්වයට පත්වන්නට නම් කිසි යම් නියත ප‍්‍රතිපදා මාර්ගයක් ක‍්‍රියාත්මක කළ යුතුය. මේ නිසා නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදා අරිය සත්‍යය භාවේතබ්බංච භාවිතං” යනුවෙන් පෙන්වා වදාළහ. මේ අනුව සතර වන අරිය සත්‍යය නිරතුරුවම භාවිතා කළ යුතු භාවිතයට හුරු පුරුදු කරගෙන පුහුණු කරගත යුතු ප‍්‍රතිපත්ති මාර්ගයකි.

1.    දුක්ඛං අරිය සච්චං    –    පරිඤ්ඤාතං පරිඤ්ඤෙයිය
2.    සමුදයං අරිය සච්චං    –    පහාතබ්බංච පහීණං
3.    නිරෝධ අරිය සච්චං    –    සච්ජිකා තබ්බංච සච්ජිංකරෝති
4.    නිරෝධගාමී මග්ග අරිය සච්චං    –    භාවේතබ්බංච භාවිතං

මේ අනුව මේ අවස්ථා හතරේම වෙන වෙනම දැන හඳුනාගත් ක‍්‍රියාකාරකම් හතරක් වෙන් කොට පැහැදිළිවම විග‍්‍රහකර ඇත.

1. සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වන්නට උපකාර වන හේතු පිරිසිඳ දැන අවබෝධ කර ගත යුතුයි. දුක යනු ”ඵලයකි” ”විපාකයකි.” ”දුක විඳවන්නකි” යන්නද තේරුම් ගත යුතුයි. මේ දුක විඳින්නට මුල්වන හේතුව පැවැත්ම බව, පිරිසිඳ දැක තේරුම් ගැනීම අවබෝධ කරගැනීම දුක්ඛ අරිය සත්‍යාවබෝධයයි. රිය අරිය තත්ත්වයට පත්කර ගන්නට උපකාර වන පළමුවන අරිය සත්‍යය දුක පිරිසිඳ දැන දුක දැක ගැනීමයි. එනම් ප‍්‍රිය, අප‍්‍රිය යන අන්තගාමී ගති තමන් ළඟම ක‍්‍රියාත්මකව පවතින තුරාවටම දුක උරුම වන බවත්, ප‍්‍රිය අප‍්‍රිය ගති සිතින් ඉවත් කර සිඳ දමා, උපේක්ඛා සිතින් සෑම දෙයක් දෙසම ඉවසා, විමසා බලන්නට, දකින්නට, හිතන්නට පුරුදු වීමෙන්ම, උපාදානය කරගත් සියල්ලෙන්මත් නිදහස් වී, රිය අරිය තත්ත්වයට පත්කරගත හැකි බවත් අවබෝධ කරගැනීම දුක්ඛ අරිය සත්‍යාවබෝධයයි.

2. මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම පවත්වා ගැනීමට උපකාර වන එකම සාධකය ශක්තිය සමුදය ශක්තියයි. සමුදය යනු සං+උදය වීමයි. සමුදය බිහි වන්නේම සිතක පවතින කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා නිසාමය. රාග, ද්වේෂ, මෝහ යන ගති තුනම මේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන්නෙහි අඩංගුය. තණ්හාව නිසාම අවිද්‍යාවද සිතක උපත ලබා මෝහයෙන් මනස විකෘති කර මිච්ඡ දෘෂ්ඨියට ද පුද්ගලයාව පත් කරවයි.

කාම තණ්හා යනු ඇස, කන, නාසය, දිව, කය, මන ආදී ඉන්ද්‍රියයන් පිනවීමට රමණය කිරීමට යම් තැනක හා වීමයි. කාම තණ්හාවෙන් කරන, කියන, හිතන සියලුම දේ නිසා සිදුවන්නේ ඉන්ද්‍රියන් පිනවීමයි. සතුටු කරවීමයි. සං උත්පාදනය කිරීමත් මෙයමයි.

භව තණ්හා යනු යම් ගතියක්, ගති බවට පත්වීමට තැනක හා වීම භව තණ්හාවයි. පෘථග්ජන පුද්ගලයකු තුළ භව තණ්හාව පවතින තුරාවට තුන් ලෝකයම උපාදානය කරගනී. පොහොසත් බව, ධනවත් බව, බලවත් බව, උගත් බව, බුද්ධිමත් බව, රූපවත් බව, නපුරු බව, වෛරී බව, රාග බව, ද්වේෂ බව, මෝහ බව ආදී සියලු ”ගති” භව තණ්හාව නිසා සිතකම උත්පාදනය වෙයි. යම් බවකට පත්වීමේ ආශාව, කැමැත්ත භව තණ්හාවයි. මේ බවට පත්වීම නිසාද සං උපත ලබයි.

විභව තණ්හා යනු යම් තත්ත්වයකට, බවකට පත් වූ පසුව ඒ බව, ඒ තත්ත්වය, දිගින් දිගටම පවත්වාගෙන යාම සඳහා කරන කියන හිතන ක‍්‍රියාකාරකම් කිරීමයි. විභව තණ්හාව බොහෝ විටම ද්වේෂය, වෛරය, ව්‍යාපාදය ආදී ගති ලක්ෂණයන් නිසාම සිතක ඇති කරවයි. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා යන තුනම පුද්ගලයාගේ සිතක ඉතා කෙටි කාලයක් තුළදී පවා ඇති වන ගති තුනකි. මෙය උදාහරණයකින් පැහැදිළි කරගත යුතුයි.

පුද්ගලයෙකු තමන්ගේ පැවැත්ම සඳහා කය රමණය කිරීමට, ඉන්ද්‍රියයන් පිනවීමට කරන, කියන, හිතන දේ, කාම තණ්හා කොටසට අයත්ය. ඒ පුද්ගලයාම රජ බවට පත් වන්නට සිතා, ඒ සඳහා කරන, කියන, හිතන සියලුම දේ ”භව” තණ්හාව නිසාම රජ බවට පත් වීමට තණ්හාවෙන්ම කරන ක‍්‍රියාවන්ය. එසේ රජු බවට පත් වූ පුද්ගලයා තමා උපාදානය කරගත් තණ්හාවෙන් අල්ලාගත් ”රජබව” දිගටම දිවි ඇති තෙක්ම පවත්වා ගෙන යන්නට කරන, කියන, හිතන බොහෝමයක් දේ විභව තණ්හාවෙන්ම කරන දේවල්ය. විභව යනු පත් වූ තත්ත්වයෙන් වෙන් වීමට, අල්ලාගත් දේ අතහැරීමට ඇති අකැමැත්ත, භය නිසා කරන කියන දේය. රජ යුද්ධ කරන්නේ, මිනිසුන් මරන්නේ, නීති පනවන්නේ, හිරගෙයි, දඟගෙයි, මිනිසුන් දමන්නේ, රජ අණට මිනිසුන් අවනත නොවීම නිසාය. රජ බව අහිමි වේය, තම බලය නැති වේය යන භයෙන් ද්වේෂයෙන් කරන, කියන, හිතන මෙවන් සියලු දේ විභව තණ්හාව නිසාම සිදු කරයි. මේ විභව තණ්හාව රජට පමණක් නොව හැම පෘථග්ජන පුද්ගලයා තුළම පවතී. තමන් ලබා උපන් මිනිස් ජීවිතය නැති වී, මරණයට පත්වේය යන මරණ භය, දුක ඇති වන්නේ විභව තණ්හාව නිසාමය. මරණයෙන් බේරෙන්නට කරන සියලු දේ විභව තණ්හාව නිසාම කරයි.

මේ අනුව බොහෝ අට්ඨකථාකරුවන් තම පොත්වල ලියා පෙන්වා දී ඇති පරිදි විභව තණ්හා යනු දේව, බ‍්‍රහ්ම ආදී අරූපී තලවල උපදින්නට ඇති ආශාව, තණ්හාව පමණක් නම් නොවේ. මේ ජීවත්වන මොහොතේදීම ඇති වන තණ්හාවකි. පවත්වාගෙන යන ජීවිතයෙන් වෙන්වීමට ඇති අකැමැත්ත ”විභව” තණ්හාවයි.

රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන්, කාම තණ්හාවෙන්, භව තණ්හාවෙන් හා විභව තණ්හාවෙන් උපාදානය කර අල්ලා, සිතින්ම සාදා සකස් කරගෙන, පවත්වා ගෙන යන තුන් ලෝකයම සාරවත්ය, වටිනවාය, මිහිරිය, ප‍්‍රියය යනුවෙන් සිතින්ම ඇති කරගත් මුළා දෘෂ්ඨිය, මිච්ඡුා දෘෂ්ඨියයි. වැරදි දැක්මයි. මේ ”සංසාර රිය ගමනට හේතුව, මේ මුළා දැක්මයි. සියලු දුක් විඳින්නට හේතුවද මේ මුළා දැක්මෙන් තණ්හාවෙන්ම කටයුතු කිිරීමයි. ”සං” පිළිබඳව හෝ ”සං” උපදින ආකාරය හෝ නොදැකීමයි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” නොවීමයි.

3. සමුදය නිරෝධ කළ හැකි බව, සමුදය නිරෝධ කළ යුතු බව, ඊට ක‍්‍රමවේදයක් ඇති බව, තේරුම් ගතහැකි වන්නේ අරිය තත්ත්වයට පත් වීමෙන්මය. ”සං” දැක නොගත් පුද්ගලයෙකුට සමුදය වීම, තම චිත්තසංථානය තුළින්ම බිහිවන, උත්පාදනය වන දෙයක් බව නොදන්නා කෙනෙකුට සමුදය නිරෝධ කිරීම කළ නොහැකිය. සමුදය දැක සමුදය නිරෝධ කළ හැක්කේ ”සම්මා දිට්ඨියට” පත් වූ කෙනෙකුටම පමණි. එනම් ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් පෙන් වූ අරිය ධර්මය යථාපරිදි අවබෝධ කරගත් ”සං” වලින් මිදී නිදහස් වීමේ ශාන්තිය, නිරාමිස සුවය දැකගත්, සම්මා දිටිඨියට පත් වු කෙනෙකුටමය. මේ අනුව නිරෝධ අරිය සත්‍යය සාක්ෂාත් කරගත යුතු ශාන්ත බවට, ප‍්‍රණීත බවට පත්වන්නට උපකාර වන ධර්මයයි. ”නිරෝධ” යනුවෙන් අදහස් කළේ නැති කිරීමක් නොවේ. ”නිර්උදා” යන්නයි. ”නිර් උදා” යනු අනුත්පාද යන අර්ථයයි. සමුදය අනුත්පාද වශයෙන් නිරෝධ කිරීම මඟින් මිස වෙනත් ක‍්‍රමයකින් සංසාර පැවැත්ම නැවැත්මක් බවට පත් කර ගත නොහැකිය. පැවැත්ම දිගින් දිගටම පවත්වාගෙන යාම සංසාර රිය ගමනයි. පැවැත්ම නම් වූ රිය, දිගින් දිගටම ගමන් කරවීමට උපකාර වන්නේ සමුදය ශක්තියයි. මේ රිය ගමන නැවැත්වීමට නොවරදින හා එකම ප‍්‍රතිකර්මය නම් බිහිවන සමුදය ශක්තිය අනුත්පාද වශයෙන්ම නිරෝධ කිරීමයි. එනම් සමුදය උපත ලබන මුල් සිඳ දැමීමයි. රාග මුල, ද්වේෂ මුල, මෝහ මුල යන සමුදය උත්පාදනය වන මුල් සිඳ දමා මුළින්ම උගුල්ලා දැමීම අවසාන සත්‍යය වූ නිරෝධගාමී මාර්ග අරිය සත්‍යයි.

4. ”යං කිංචි සමුදය ධම්මං සබ්බත්තං නිරෝධ ධම්මං” යන මාගධී පදවලින් මේ අදහස මොනවට පැහැදිළි කරයි. චිත්තසංථානයේ උපදින යම් සමුදය ධර්මයක් ඇද්ද ඒ සියල්ලම අනුත්පාද ලෙසින්ම නිරෝධ කළ යුතු, නිරෝධ කළ හැකි, ධර්මයෝය. ඒ සඳහා ”සම්මා දිට්ඨියටම” පත් වී ඊළඟට අනෙක් ”සම්මා” අංගයන් ද සම්පූර්ණ කරගත යුතුය. මේ සඳහා පහසුම, සරළම නොවරදින එකම මාර්ගය සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමයයි. සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමයේ පෙන්වාදුන් අවස්ථා හතරම එනම් කායේ කායානුපස්සනාව, වේදනා වේදනානුපස්සනාව, චිත්තේ චිත්තානුපස්සනාව හා ධම්මේ ධම්මානුපස්සනාව අනුපූරක ලෙසින් භාවිතාකර ඒ ඒ අරමුණු සිතට ලැබෙන හැම මොහොතේම අනාපාන ක‍්‍රමවේදය භාවිතා කළ යුතුයි. සතියෙහි පිහිටා කටයුතු කරන්නට සිත පදම් කර ගැනීම ”භාවේතබ්බංච භාවිතං” යනුවෙන්ද පෙන්වා දුන් අරිය මාර්ග ප‍්‍රතිපදාවයි. මේ අනුව සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන පුද්ගලයෙකු නිතරම අරිය මාර්ගයේ යන, අරිය ධර්මය අවබෝධ කරගත් අරිය ප‍්‍රතිපදාවම අනුගමනය කරන්නෙකි. මේ නිසාම අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරහතුන් වහන්සේ කෙනෙකු බවටද පත්වෙන්නේමය.

අද සිංහල බෞද්ධයා පොතපතින් කියවා අසා දැන, කටට හුරුකරගත් පදයක් වන්නේ ”ආර්ය” යන සංස්කෘත පදයයි. ”ආර්ය සත්‍යයන් හතර, චතුරාර්ය සත්‍යය, ආර්යන් වහන්සේ, ආර්ය සීලය, ආර්ය සමාධිය” ආදී වශයෙන් හැම කෙනෙකුම අසා දැන, කටට හුරු වූ ”ආර්ය” කියන පදය, බුද්ධ භාෂිත මාගධී (පාලි) පදයක් නොවේ. එය සිංහල වචනයක් ද නොවේ. එය සංස්කෘත භාෂාවේ එන පදයකි. මේ සංස්කෘත පදයන්ට අර්ථ, ධර්ම, නිරුක්ති හෝ පටිභාන පටිසම්භිදා විග‍්‍රහයන් ඉදිරිපත් කරන්නටද නොහැකිය.

මේ ලෙසින් බෞද්ධ ලෝකයා අද වැරදි ආකාරයට භාවිතා කරන නමුත්, කටට හුරු ”ආර්ය” යන වැරදි පදය මාගධී බුද්ධ භාෂිතයේ වදාළ ”අරිය” යන උතුම් අර්ථයෙන් ගෙනහැර දක්වන පදයේ අර්ථය, ධර්මය මතුකර දෙන්නේ නැත. ”අරිය” යන මාගධී පදයේ අර්ථය රිය අත්හැරීම, (අ+රිය) රිය ගමන අවසන් කිරීම යන අර්ථයයි. රිය යනු ගමන් කරන්නට උපකාර වන දෙයයි. ”අනරිය” යන්නද රිය ගමන අත් හරින්නට නොහැකිව ගමන දිගටම පවත්වා ගැනීමයි. (අ+න+රිය) ඒ අනුව අනරිය (රිය) අරිය තත්ත්වයට පත්කර ගැනීමෙන් සංසාර ගමන නිමාකොට පැවැත්ම අවසන් කරගෙන අපැවැත්මක් බවට පත්කරගත හැකි වන්නේ අරිය ධර්මය අවබෝධ කරගැනීමෙන් පමණි. ”ආර්ය” යන සංස්කෘත පදයෙන් මෙය සම්මතයක් ලෙසින් භාවිතයේ පවත්වාගෙන ආවත් එය ”පදපරම” අදහසක් මිස ඉන් පරමාර්ථ ධර්මයක් ඉස්මතු වන්නේ නැත. මේ නිසා හැම බෞද්ධයෙකුම ”අරිය” යන මාගධී පදයේ අර්ථය හා ධර්මය තේරුම් ගෙන අරිය සත්‍යයන් හතර තේරුම් ගත යුතුය.

මේ සඳහාම උපකාර වන මීටම සම්බන්ධ තවත් පදයක් ද මාගධී බුද්ධ භාෂිතයේ ඇත. එනම් ”විරිය” යන පදයයි. ”වි” යන්නෙන් අදහස් කළේ වෙන් කිරීමයි. කැමැත්තෙන්, අවබෝධයෙන් යමකින් වෙන්වීම, වෙන් කිරීම යන අර්ථයයි, ”විරිය” යන පදයේ රිය, අරිය තත්ත්වයට පත්කර ගන්නට උපකාර වන අත්හැර ප‍්‍රහාණය කර දමා, වෙන්වීම විරිය අර්ථ ගන්වා පෙන්වයි. මේ අනුව ”අනරිය (රිය) විරිය, අරිය” යන්න මෙහි තිපරිවට්ටයයි. රිය තත්ත්වයෙන් අරිය තත්ත්වයට පත් වෙන්නට නම් ”විරිය” අත්‍යවශ්‍යයෙන්ම පවත්වාගත යුතු ගුණයකි. විරිය ඉන්ද්‍රියය, විරිය සම්බොජ්ජංගය, සම්මා විරිය (සම්මා වායාම) ආදී හැම තැනකදීම මාගධී බුද්ධ භාෂිතයේ එන මේ පදය, ”විරිය” මිස වීරිය හෝ වීර්යය යන පදය නොවේ. අද මේ පදයද ව්‍යවහාරයේ භාවිතයේ ඇති පරිදි එහි අර්ථය වීර්යයක් උත්සාහ කිරීමක් සේ වැරදි ලෙසින් අර්ථ ගන්වයි. නමුත් මෙහිදී වෙන් කිරීම, වෙන්වීම, ප‍්‍රහාණය, පහතබ්බා, පහාණති යන පදවලින් ද මාගධී භාෂාවේ පෙන්වා දුන් රිය, විරිය අරිය යන පද වලින් ද අර්ථ ගැන්වූවකි.

මේ අනුව ”ආර්ය, වීර්යය” යනාදිය සංස්කෘත භාෂාවේ එන පද මිස බුද්ධ භාෂිතයේ එන පද නොවේ. බුද්ධ ධර්මය ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කළ පරිවර්තකයින් විසින් යොදාගත් වැරදි සංකර පද සමූහයකි. මේවා උතුම් මාගධී බසත්, හෙළ බසත් විකෘති කරමින් සංස්කෘත භාෂාවේ එන බොහෝ වචන අද වන විට සිංහල භාෂාවට ඇතුලු කරගෙන ධර්ම අර්ථයන් විකෘති කළේ ත‍්‍රිපිටකය සිංහලයට පර්වර්තනය කිරීමේදීය. මාගධී භාෂාවෙන් දේශණා කළ උතුම් නිවන් මාර්ගය, බුද්ධ භාෂිතය අද වන විට සිංහල බෞද්ධයාට ප‍්‍රායෝගිකවම තේරුම් ගන්නට, අනුගමනය කරන්නට නොහැකි වන තත්ත්වයට පත් කර ඇත්තේ ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේ දී යොදාගත් මෙවැනි සංස්කෘත පදයන් නිසාමය. සංස්කෘත භාෂාව සුන්දර භාෂාවකි. නමුත් මාගධී භාෂාව පර්මාර්ථ ධර්මය දේශණා කිරීම සඳහාම සකස් වූ බුද්ධ භාෂිතයකි. උතුම් බුද්ධ භාෂිතය ඉදිරිපත් කිරීමට සියලුම බුදුවරයින්වහන්සේලාම භාවිත කළේ මාගධී ශබ්ද සංඥාවන්ය. මේ මාගධී භාෂාවේ එන පදවලට වෙනත් කිසිම භාෂාවක නැති අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන වශයෙන් අර්ථ නානත්වයක් ඉදිරිපත් කළ හැකිය. එනම් ”සිව්පිළිසිඹියා” ශක්තියක් ලබාගත යුත්තේ ලබාගත හැක්කේ පවිත‍්‍ර මාගධී පද තුළින්ම පමණි. වෙනත් කිසිම භාෂාවක පදවලට මේ ආකාරයේ අර්ථ නානත්වයක්, ධර්ම නානත්වයක්, නිරුක්ති නානත්වයක්, පටිසම්භිදා නානත්වයක් විග‍්‍රහ කර පෙන්වා දිය නොහැකිය. සිව්පිළිසිඹියා දේශණාවක් කරන්නට නම් මාගධී භාෂාවම උපයෝගී කරගත යුතුය. උතුම් බුද්ධ භාෂිතය ශුද්ධ මාගධී පදවලින් යුක්තය.

දුක්ඛ අරිය සත්‍යවබෝධය යනු ”දුක” නැමැති ඵලය උරුම වන්නට, උරුම කරගන්නට නිධාන වූ, මුල් වූ, ප‍්‍රත්‍ය වූ කරුණු නිවැරදිවම අවබෝධ කරගැනීමයි. මෙයම ”සංසාර ගැටළුව” පිළිබඳ යථාවබෝධයක් ලැබීමයි. සාරයි, හොඳයි, යහපත්, ප‍්‍රියයි, මනාපයි” යනුවෙන් පෘථග්ජන ලෝකයා පංචස්කන්ධයම උපාදානය කර ගැනීම ”සංසාර” ගැටළුවට එකම හේතුවයි. මෙසේ උපාදානය කර ගන්නා පංචස්කන්ධයම තමන්ට අයිති දේවල් නොවේ. ඒවා ස්වභාවධර්මයටම අයිති ”ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික සතර මහා ධාතු කොටස්ය. මේ සතර මහා භූතයන් පරිහරණය කිරීමේ හා භාවිතා කිරීමේ අයිතියක් හා හිමිකමක් උපන් හැම සත්ත්වයෙකුටම උරුමයෙන්ම, උපතින්ම ලැබෙයි. නමුත් ඒවා උපාදානය කරගෙන මගේ, මම, මට අයිති වශයෙන් තනි අයිතියට, භුක්තියට වෙන් කර ගැනීමේ හැකියාවක්, බලයක් කාටවත්ම නැත. තමන්ට අයිති නැති, හිමිකරගත නොහැකි මේ සතර මහාභූත උපාදානය කරගන්නා හැම විටකදීම ඒ සත්ත්වයාම, පුද්ගලයාම දෙවියාම, මාරයාටද ණය වෙයි. ණය ගණුදෙනුවකටද පටලැවෙයි. ණයකරුවෙකු බවටම පත්වෙයි. මේ ණය ගණුදෙනුවෙන් සහමුළින්ම මිදී නිදහස් වන්නට නම් උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම අතහැර ”සබ්බූපදී පටිනිස්සග්ග” යන තත්ත්වයටම පත්විය යුතුයි. එනම් උපාදානය කරගන්නටම හුරු පුරුදු වී, සකස් වී පවතින පටි ලෙහා ගළවා දමා බැඳීමෙන්මද නිදහස් විය යුතුය. ”සංයෝජන’’ යනු ප‍්‍රියයි මනාපයි” කියා පෘථග්ජන ලෝකයා පංචස්කන්ධයම උපාදානය කර ගැනීම ”සංසාර” ගැටළුවට එකම හේතුවයි. මෙසේ උපාදානය කර ගන්නා පංචස්කන්ධයම තමන්ට අයිති දේවල් නොවේ. ඒවා ස්වභාව ධර්මයටම අයිති ”ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන මූලික සතර මහා ධාතු කොටස්ය. මේ සතර මහා භූතයන් පරිහරණය කිරීමේ හා භාවිතා කිරීමේ අයිතියක් හා හිමිකමක් උපන් හැම සත්ත්වයෙකුටම උරුමයෙන්ම උපතින්ම ලැබෙයි. නමුත් ඒවා උපාදානය කරගෙන, මගේ, මම, මට අයිති වශයෙන් තනි අයිතියට, භුක්තියට වෙන් කර ගැනීමේ හැකියාවක් බලයක් කාටවත්ම නැත. තමන්ට අයිති නැති, හිමිකරගත නොහැකි මේ සතර මහාභූත උපදානය කරගන්නා හැම විටකදීම ඒ සත්ත්වයාම, පුද්ගලයාම, දෙවියාම මාරයාටද ණය වෙයි. ණය ගණුදෙනුවකටද පටලැවෙයි. ණයකරුවෙකු බවටම පත්වෙයි. මේ ණය ගණුදෙනුවෙන් සහමුළින්ම මිදී නිදහස් වන්නට නම් උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම අතහැර ”සබ්බූපදී පටිනිස්සග්ග” යන තත්ත්වයටම පත්විය යුතුයි. එනම් උපාදානය කරගන්නටම හුරු පුරුදු වී සකස් වී පවතින පටි ලෙහා ගළවා දමා බැඳීමෙන්මද නිදහස් විය යුතුය. ”සංයෝජන” යනු පටි දහයකි. මේ පටි දහයම නිසා රිය ගමන යන්නට ”මම” කියා කෙනෙකු නැවත නැවතත් නිරන්තරයෙන්ම සකස් කරගනී. පෘථග්ජන පුද්ගලයෙකු ජීවත්වන හැම මොහොතකම කරන්නේ මේ පටි (සංයෝජන) දහයම අලුත්වැඩියා කරගැනීමට, ප‍්‍රතිසංස්කරණය කරගැනීමට අවශ්‍ය වන සමුදය (සං+උදය) ශක්තිය බිහිකර පටි නැවත නැවතත් සකස් කර ගැනීමයි. සංයෝජනය තද කරගැනීමයි. මෙය ”සංවට්ට” ක‍්‍රියාවලියයි.

”යායං තණ්හා පොනොභවිකා” යනුවෙන් ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ ප‍්‍රකාශ කර වදාළේ මෙයයි. පොනොභවිකා යනු පුන පුනා, නැවත නැවතත්, නොනවත්වාම, සමුදය බිහි කිරීම යන්නයි. ”යායං” යනු එක යායටම, එක දිගටම මේ සමුදය ශක්තිය බිහිකරන ක‍්‍රමවේදය පෙන්වා දීමයි. රාගයෙන් යමකට ඇලෙන, මත්වන හැම විටම, ”සං” උපදී. ද්වේෂයෙන් යමකට ගැටෙන, රත්වෙන, ගිනි ගන්නා හැම විටකම ”සං” උපදී. මානයෙන්, මෝහයෙන්, මමත්වයෙන් මුළාවන හැම විටකදීම ”සං” උපදී. සං උපත යනු සමුදයයි. මේ අනුව මේ සංසාර රිය ගමන නොනවත්වාම, දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වෙන එකම ශක්තිය සමුදය ශක්තියයි. රාගයෙන් ද්වේෂයෙන්, මෝහයෙන් කටයුතු කරන තාක්කල් සමුදය බිහිවන නිසා රිය ගමනද දිගටම සිදුවෙයි. සමුදය බිහි වන්නට උපකාරක වූ, නිදාන වූ හේතුවම සොයා දැන සමුදය බිහිවෙන මුල් (සං+උදය+උච්ෙඡ්දනය) සමුච්ෙඡ්දනය වශයෙන්ම ප‍්‍රහාණය කිරීමම අරිය තත්ත්වයට පත්වීමයි. එනම්, ”සං” උපදින මුල් සිඳ දමා රාග මුල ගළවා දමා, ද්වේෂ මුල ගළවා දමා, මෝහ මුල ගළවා දමා ”සං” උපත ලැබීමේ සියලු මාර්ග වසා දැමීම නිවනයි. එය සමුදය නිරෝධයයි.

මේ අනුව සමුදය අනුත්පාද නිරෝධයම නිවනයි. රිය ගමන අරිය තත්ත්වයට පත්කර ගන්නට නම් සමුදය අනුත්පාද ලෙසම නිරෝධය කර, රිය ගමනට මෙතෙක් කල් සැපයූ ඉන්ධන සහමුළින්ම කපා දැමිය යුතුයි. මෙය සමුච්ඡ්දනප්ප‍්‍රහාණයයි.

හේතුව හා ඵලය යන දෙකම දැක හේතුවම නොකිරීමෙන් ඵලය නොලබන, ඵලය උරුම කර නොගන්නා තත්ත්වයටම පත්වීම නිවනයි. ”අනරිය තත්ත්වයෙන් මිදෙන්නට නම් බුද්ධ තත්ත්වයට පත් වන්නට බලාපොරොත්තු වන හැම කෙනෙකුම ”අරිය” පර්යේෂණයක් කළ යුතුමයි. ලොව්තුරා බුද්ධත්වයට පත්වන, පසේ බුද්ධත්වයට පත්වන අරහත් බුද්ධත්වයට පත්වන හැම කෙනෙකුම ”අරිය පර්යේෂණයක්” කිරීමෙන්ම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගත යුතුය. ලොව්තුරා බුද්ධත්වයට පත්වන බුදුපියාණන් වහන්සේ කාගේවත් උපකාරයක් නැතිවම ස්වයංභූ ඥාණයෙන්ම, ස්වඋත්සාහයෙන්ම මේ ”අරිය” පර්යේෂණ සිදුකර උතුම් ”අරිය” සත්‍යයන් හතරම අවබෝධ කරගනිති. නමුත් අරහත් බුද්ධත්වයට පත්වන සියලුම බුද්ධ ශ‍්‍රාවකයින්ට අරිය පර්යේෂණ කළයුතු නිවැරදි ආකාරය බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාරා ඇත. උතුම් බුද්ධ දේශණාවෙහි ”පණ”, ජීවය පවතිනා තුරු, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන සංසාර රිය ගමන නැවත්වීමට, නිවන් අවබෝධ කරගන්නට මිනිසුන්ට හැකියාව ඇත.

ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛං අරිය සච්චං ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්චං ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛ සමුදය නිරෝධ අරිය සච්චං ඉදංඛෝ පණ භික්ඛවේ දුක්ඛ සමුදය නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං යනුවෙන් ප‍්‍රකාශ කළ පාඨයන්හි ”පණ” පිහිටුවීම මැනවින්ම ප‍්‍රකාශ කර වදාරා ඇත. ”පණ” පිහිටුවීම යනු රිය, අරිය තත්ත්වයට පත් කිරීමයි.

මේ අනුව සදාකාලික වූ, අකාලික වූ චතුඅරිය සත්‍යයන් ලොව හැමදාමත්ම පවතී. ලොව්තුරා බුදුපියාණන්වහන්සේ කෙනෙකුන් විසින් කරන්නේ මේ අරිය සත්‍යයන් ”පණ” පිහිටුවීමයි. ලෝකයාගේ භාවිතයට සුදුසු සේ අරිය සත්‍යයන් ”පණ” පිහිටුවා දේශණා කර, මතුකර විග‍්‍රහ කරදීමයි. අරහතුන්වහන්සේ කෙනකුට හෝ පසේ බුදු කෙනෙකුට පවා මේ අරිය සත්‍යයන් ”පණ” පිහිටුවීම කළ නොහැකිය. අබුද්ධෝත්පාද කාලය යනු මෙසේ ”පණ” පිහිට වූ අරිය සත්‍යයන් භාවිතයෙන් ඉවත් වී අභාවිත තත්ත්වයට පත්වීමයි.

මෙසේ සියලුම ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා විසින් ”පණ පිහිටුවා” දේශණාකර වදාරණු ලබන බුද්ධ ධර්මය නම් දුක් බිහි කිරීමට (පුනබ්භවෝ) හේතුවන මූලික හේතුවම සොයාදැන ”සමුදය” උදුරා දමන ක‍්‍රමවේදය පෙන්වා දීමයි. බු + උද්ද යනු දුක් බිහි කරන්නට උපකාර වන හේතුව සහමුළින්ම උදුරා දැමීම යන අදහසයි. පැවැත්ම, බිහිකිරීම යනු සමුදය යනු, රාග බව, ද්වේෂ බව, මෝහ බව නිසාම සිදුවන්නකි. මේ අනුව රාග මුල උදුරා දමා, ද්වේෂ මුල උදුරා දමා, මෝහ මුල උදුරා දමා නිදහස්වීම ”බුද්ධ” යන පදයේ ධර්මාර්ථයයි. පැවැත්ම සඳහා උපකාර වන ”සං” බිහිකිරීම උදුරා දමා නිදහස්වීම පෙන් වූ ධර්මය බුද්ධ ධර්මයයි.

දුක යනු ඵලයකි. විපාකයකි. දුක යන්න අවිද්‍යාව නිසාම, නොදන්නාකම නිසාම සත්ත්වයා උරුම කරගන්නා ඵල විපාකයකි. දුක ඇත්තේම ලෝකය තුළමය. ලෝකය යන්න තමාම, තම සිතින්ම සදා සකස් කරගත්, අල්ලා උපාදානය කරගත්, උපාදානය කරගෙන පරිහරණය කරනු ලබන්නකි. මෙසේ අල්ලා උපාදානය කරගෙන, පරිහරණය සඳහා සකස් කරගත් ලෝකය තමා කැමති සේ නොපැවතීම, කැමති සේ දිගටම පවත්වා ගන්නට නොහැකිවීම දුකයි. එවන් ලෝකයක් උපාදානය කර නොගත්තේ නම් දුකක් ද උරුම නොවේ.

සංසාර රිය ගමන යනු පි‍්‍රය මනාප සේ, කැමති සේ නිච්ච සේ, තමන් හදාගත් ලෝකය දිගින් දිගටම පවත්වාගෙන යන්නටම හිතන ඒ සඳහාම කරන, කියන, සකළවිධ වූ ක‍්‍රියාකාරකම් සමූහයකි. සෑම පෘථග්ජන සත්ත්වයෙකුම, පුද්ගලයෙකුම දැන හෝ නොදැන හෝ කරන සකළවිධ ලෞකික ක‍්‍රියාකාරකම් කරන්නේ හිතන්නේ තමන්ම හදාගත් තමාගේම ලෝකය, දිගටම ප‍්‍රිය මනාප සේ පවත්වොගෙන යන්නට ඇති වූ බලවත් කැමැත්ත නිසාමය. මෙසේ තමන්ම හදාගත් ලෝකය තමන්ට කැමති සේ ”නිච්ච” සේ, පවත්වාගන්නට දරණ උත්සාහයද දුකකි. එසේ කැමති සේ, නිච්ච සේ පවත්වාගන්නට, නවත්වා ගන්නට නොහැකි වීමද දුකකි. පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන්ම මේ දුක උරුම වෙයි.

මේ සත්‍යයන් යථා පරිදි දැකගන්නට හැකි වී නම් එයම දුක්ඛ අරිය සත්‍යය පිරිසිඳ දැකීමයි. මේ පැවැත්මේ ”අරිය” සත්‍යය පිරිසිඳ දැකගන්නට නොහැකි වන තාක් කල් සැප හඹා ගොස් රිය ගමනකම යෙදී ලෝකයක්ම උපාදානය කරගෙන දුකම උරුම කරගනී. සැප විඳින්නට, තමන් කැමති සේ ලෝකය දිගටම පවත්වාගෙන යන්නට මෙසේ උපාදානය කරගත් පංච උපාදානස්කන්ධයම ගෙවී විනාශ වී යනවා මිස වෙනත් කිසිවක් ගෙවී, විපරිණාමයට පත්වී, විනාශ වී යාම කාටවත්ම දුකක් ඇති කරවන්නට හේතු වන්නේ ද නැත. මෙසේ ලෝකයක් තනන්නට, උපාදානය කරගත් පංචඋපාදානස්කන්ධයම උපාදානය කරගන්නෙත්, පවත්වාගෙන යන්නෙත් සිතින්මය. අතින් අල්ලාගත් දෙයක් ලෝකයක් නැත. උපාදානය කරගත් සියල්ලෙහි බර දැනෙන්නේද සිතටමය. භය දැනෙන්නේද සිතටමය. බැඳීමක් ඇති වන්නේද සිතටමය. මේ අනුව දුක යනු සිතින්ම මවාගත් විඳවන දෙයකි. මේ අනුසාරයෙන් පංචඋපාදානස්කන්ධයම පිලිබඳව කරුණු යථාපරිදි තේරුම්ගෙන, අවබෝධ කරගැනීමම දුක්ඛ අරිය සත්‍යාවබෝධය ලැබීමයි.

තුන් ලෝකයම පවතින්නේ මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව තුළය. තුන් ලෝකයෙන් මොනයම් ලෝකයක් හෝ පවත්වන්නට උත්සාහ දරන්නේ නම් එයම දුක උරුම කර දෙන ක‍්‍රියාවකි.

අප ගෝතම සම්මා සම්බුදුපියාණන්වහන්සේ චතුඅරිය සත්‍යයන් අවබෝධ කරගත් හෙයින් බුද්ධ තත්ත්වයට පත්වූහ. අවශේෂ ලෝකයාටත් තමන් වහන්සේ අවබෝධ කරගත් අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට මාර්ගය පහදා දුන් හෙයින්ම බුද්ධ විය. මේ උතුම් චතු අරිය සත්‍ය ධර්මය ගැඹුරුය. පෙර පින් පිරූ, නුවණ ඇත්තන්ටම අවබෝධ කරගත හැකිය. දුක සේ හෝ අවබෝධ කරගැනීම අතිමහත් සේ වටින්නේමය. අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම සත් පුරුෂයෙකුගෙන්ම අසාදැනගත යුතුය. අනුමානයෙන්, උගත්කමෙන් ප‍්‍රකාශ කරන බොහෝ දේ අරිය සත්‍යයන් අවබෝධ කරගන්නට නම් උපකාර නොවේ. නිරෝධ, නිර්උදා, අනුත්පාද, නිරෝධය වැනි බුද්ධ භාෂිතයේ එන පදවල අර්ථය, ධර්මය, නිරුක්තිය පෘථග්ජන අනරිය පුද්ගලයින්ට කිසිම ආකාරයකින් අවබෝධ කරගත නොහැක්කේය. එසේ තමන්ම යථා පරිදි අවබෝධ කර නොගත් අරිය ධර්මයක් තවත් පුද්ගලයෙකුගේ නිවන සඳහා මඟ පෙන්වීමට උපකාර වනසේ දේශණා කර පෙන්වීමද කළ නොහැක්කේමය.

බුද්ධ භාෂිතයේ එන ”අරිය” සත්‍යයන් පිළිබඳව ධර්ම විභාගය, විවරණය විවිධ තැන්වලදී විවිධාකාරයෙන් විග‍්‍රහකර පෙන්වා දී ඇත.

01. මේ සතර අරිය සත්‍යයන්ම ආකාර, විභාග වශයෙන් දැක්විය හැකිය. දුක පිළිබඳව අරිය සත්‍යය, පීලනට්ඨෝ, සංඛතට්ඨෝ, සන්තාපට්ඨෝ, විපරිණාමට්ඨෝ යනුවෙන් සතර ආකාරයකින් විභාග වෙයි. පීලනට්ඨෝ යනු පෙළන, විඳවන අර්ථයයි. සංඛතට්ඨෝ යනු සංඛාර කරමින්, තමාම සකස් කරගන්න නිසා හේතු ප‍්‍රත්‍යයෙන්ම හටගත් දෙයක් බව දැනගැනීමයි.සන්තාපට්ඨෝ යනු ”සං” නිසා තැවෙන, එරෙන, සංතාපට, සංවේගයට, සංවේදී බවට පත්වීම යන අර්ථයෙන් තේරුම් ගැනීමයි. විපරිණාම අර්ථයෙන් වැය වී, වෙනස් වී අන්‍යතාභාවයට පත්වී, වැනසී, විනාශ වී යන අර්ථයෙන් තේරුම් ගැනීමයි.

02. ඒවාගේම සමුදය අරිය සත්‍යයද – ආයුහනට්ඨෝ, නිදානට්ඨෝ, සංයෝගට්ඨෝ, පලිබෝධට්ඨෝ යනුවෙන් සතර අකාර වූ විභාගයකින් පෙන්වයි.ආයුහනට්ඨෝ යනු කර්මබීජ සකස් කිරීම, ගති සකස් කිරීම යන අර්ථයෙන් දැකිය යුතුය. නිදාන අර්ථයෙන් සමස්ත ලෝක සත්ත්වයාටම දුක උරුම කර දෙන්නට නිදාන වූ හේතුව සමුදය ධර්ම බිහි කිරීම වශයෙන් දැකිය යුතුය. ඒවාගේම සංයෝග අර්ථය යනු යළි යළිත් නොකඩවාම සංයෝජනයන් දහයම ප‍්‍රතිසංස්කරණය කරන, අලුත්වැඩියා කර පවත්වාගෙන යන අර්ථයෙන් තේරුම් ගත යුතුය. පලිබෝධ අර්ථය නම් නිවනට යා නොදී, නිවනට ඇති මඟ වසා දමා, පලිබෝධයක් ලෙස මාර්ගය වසා මුවහ කරන අර්ථයෙන්ම දැකිය යුතුයි.

03. නිරෝධ අරිය සත්‍යයේ ද මෙවැනි ආකාර විභාග වශයෙන් කොටස් හතරක් ඇත. නිස්සරණට්ඨෝ, විවේකට්ඨෝ, අසංඛතට්ඨෝ, අමතට්ඨෝ යනු නිරෝධ අරිය සත්‍යයේ ආකාර විභාගයයි. නිස්සරණට්ඨ යනු සංසරණ නොකරන, රිය තත්ත්වයට උපකාර වන හේතුඵල පරම්පරාවක් දිගේ චරණය නොකරන තත්ත්වයට පත්වීම යන අර්ථයයි. විවේකට්ඨෝ යනු ක‍්‍රියාවන් හයක වේගය සංසිඳවා, ක‍්‍රියාවේ වේගයෙන් වෙන්වීම යන අර්ථයයි. ක‍්‍රියාවන් හයක වේගය පවතින තුරු මත්වීම, රත්වීම, ගින්න, දාහය තමා තුළම පවතී. ක‍්‍රියාවන් හයේම වේගය පාලනය කරගෙන, විවේක නිශ‍්‍රිත තත්ත්වයට පත්වීම විවේක අර්ථයෙන් සමුදය නිරෝධ කිරීමයි.

අසංඛතට්ඨෝ යන අර්ථය, සංඛාර කරමින් මෙතෙක් කලක් සංඛතයන් සකස් කළද එවැනි සංඛත වල නිස්සාරවත් කම දැක සංසාරයි කියා කටයුතු කළ ක‍්‍රමවේදය රිය ගමන සඳහාම උපකාර වූ බව දැන සංඛත සැකසීම අත්හැරීම, අසංඛත අර්ථයෙන් සමුදය නිරෝධ කිරීමයි.

අමතට්ඨෝ යනු අමර අර්ථයෙන්, මාරයාට ණය නොවන මතු මරණයට පත් නොවන තත්ත්වයට පැවැත්ම අවසන්කර, අපැවැත්මක් බවට පත්කර ගැනීමයි. මෙයද සමුදය නිරෝධ කිරීමෙන්ම සාක්ෂාත් කරගත හැකි බව දැකීම අමතට්ඨෝ යනුවෙන් විභාග කර පෙන්වීය.

04. නිරෝධගාමී මාර්ග පටිපදාවද මේ ආකාරයෙන්ම අර්ථ විභාග වශයෙන් සතර ආකාරය. ඒ සතර ආකාරය නම් සෝතාපන්න මාර්ගය හා ඵලය, සකෘදාගාමී මාර්ගය හා ඵලය, අනාගාමී මාර්ගය හා ඵලය, අරහත් මාර්ගය හා ඵලය භාවිතා වශයෙන්ම අවබෝධ කර ගැනීමයි. මෙයම අෂ්ටාංගික වූ අරිය මාර්ගය නම් වූ සම්මා අංග ලෙසිනුත් විග‍්‍රහ කෙරෙයි. සතර සතිපට්ඨානය භාවනා කිරීම යන්නද මෙහිම ප‍්‍රායෝගික පැත්තයි.

චතු අරිය සත්‍යයෙන්ම සෝවාන් මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය හා අරහත් මාර්ගය යන මාර්ග හතරේදීමත්

01. පිරිසිඳ දැක ගත යුතුය.
02. ප‍්‍රහාණය කළ යුතු සමුදය, ප‍්‍රහාණය කළ යුතුයි.
03. නිරෝධයෙන්ම සාක්ෂාත් කළ යුතු සත්‍යාවබෝධය, අනුත්පාද වශයෙන් සාක්ෂාත් කර ගත යුතුය.
04. අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් සියලු උපාදානයන් දැක, ත‍්‍රිලක්ඛණයට සිත පදම් කරගත යුතුය. ”සබ්බූපදි පටිනිස්සග්ග” කළ යුතුය.

මේ මාර්ග හතරේදීම එකම අරිය සත්‍යයන් හතරක් මිස වෙන වෙනම අරිය සත්‍යයන් හතරක් අවබෝධ කර ගැනීමක් සිදු නොවේ.

අරහත් මාර්ගය සම්පූර්ණ විමෙන් මෝහයේ මුල් සුන්ව, මුල් සිඳ විජ්ජාචරණ සම්පන්න බවට පත්වෙයි. එතෙක් කල්ම අවිජ්ජාචරණ අසංපන්න තත්ත්වයේ පසුවිය. අරහත් මාර්ග ඵලය සම්පූර්ණ කරගත් අරහතුන්වහන්සේට සිතූ සිතූ ඕනෑම මොහොතක, ඵලසමාපත්තියත්, ප‍්‍රත්‍යවේක්‍ෂාඥාණ වශයෙන් ලැබූ නිවනත් මෙනෙහි කර නිවන් සුවය විඳින්නටද හැකියාව ඇත. අරහතුන්වහන්සේ කෙනෙකු සමුදය නිරෝධය කර ඇති නිසාත්, ”සං” උත්පාදනය කරන මාර්ගයන් සියල්ලම මුල් සිඳ සමුච්ඡ්දප‍්‍රහාණයෙන්ම මෝහ මුල් සිඳ ඇති නිසාත් පටිපස්සදිප්ප‍්‍රහාණ වශයෙන්ම සංයෝජන ප‍්‍රහාණය කර ඇති නිසාත්, නිස්සරණප්ප‍්‍රහාණයෙන් නැවත සමුදය බිහි නොවන තත්ත්වයටම සිත පිරිසිදු නිසාත්, ප‍්‍රඥා විමුක්තියට පත් වී ඇති නිසාත් නැවත නැවතත් භාවනා කිරීමක් හෝ මාර්ගය වැඞීමක් හෝ යෝග කර්මයන්හි යෙදීමක් හෝ පින්කම් කිරීමක් හෝ කරන්නට අවශ්‍ය වන්නේ ද නැත. අරහතුන්වහන්සේට මල් පහන් පූජා කර, ගාථා සජ්ඣායනා කර හෝ වෙනත් ආකාරයක වතක් රැුක, පින්කම් කර, පින්රැුස් කරගැනීමේ අවශ්‍යතාවයක් ද නැත. චිත්තසංථානයේ හෝ මනසේ හෝ කෙළෙස් නැති නිසාත්, චිත්තසංථානය පාරිශුද්ධ නිසාත්, ප‍්‍රඥාවෙන් පිරිපුන් නිසාත්, කුසල් කිරීමේ අවශ්‍යතාවයක් ද දැන් ඇත්තේ නැත. ප‍්‍රහාණය කර, සළාහැර ශුද්ධ පවිත‍්‍ර කරගන්නට කෙළෙස් චිත්තසංථානයේ දැන් නැති කළ කුසල් කර්ම කිරීමක් ද අවශ්‍ය නොවේ. මේ අනුව අරහතුන් වහන්සේට පින්කම් හෝ කුසල් කි‍්‍රියා හෝ කිරීමේ අවශ්‍යතාවයක් ද නැත.

එසේ වන්නේ නමුත් අරහතුන් වහන්සේට ද සතර සතිපට්ඨානයෙන් වාසය කිරීම නම් අවශ්‍ය වන්නේමය. ඊට හේතුව සියලු කෙළෙස්් ප‍්‍රහාණය කළ අරහතුන් වහන්සේටද රූප ආදී සියලු සංඥා තව දුරටත් ලැබෙයි. ඵලසමාපත්තියෙන් නොසිටින හැම අවස්ථාවකදීම ලැබූ පුරුද්ද නිසා (සිත පදම් වී ඇති නිසා) සතර සතිපට්ඨානයෙන්ම කාලය ගත කිරීමෙන් ඇලීම, ගැටීම, මුළාව යන තුනෙන්ම මිදී නිදහස්ව නිවන් සුවය, නිරාමිස සුවය, නිබ්බිදා සුවය ලබා පිරිණිවන් පානා අවස්ථාව තෙක්ම නිස්සරණ සුවයෙන්ම කාලය ගත කළ හැකි වෙයි. ඒ සඳහා ඉදිරි ජීවිත කාලයම සතර සති පට්ඨානයෙන් යුතුවම වාසය කිරීම අරහතුන් වහන්සේටද අවශ්‍යම දෙයකි.

Share Button

මහා චත්තාරික සූත්‍ර දේශණාව

මහා චත්තාරිස සූත‍්‍රයේ පෙන්වා වදාළ පැහැදිළිවම ප‍්‍රකාශ කර වදාළ තවත් වැදගත්ම ලක්ෂණයක් වෙයි. එනම් ලෞකික සම්මා වාචා, ලෞකික සම්මා කම්මන්ත හා ලෞකික සම්මා ආජීව යන අංගයන් තුන සඳහා වේරමණී සීලයම පමණක් පෙන්වා වදාළ අතර ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්ත, ලෝකෝත්තර සම්මා ආජීව යන අංගයන් සම්පූර්ණ කර ගැනීමේදී වේරමණී සීලය ප‍්‍රමාණවත් නොවන බවත් වේරමණි සීලයද ඇතුලුව සංවර සීලය, ප‍්‍රහාණ සීලය, චේතනා සීලය හා අයිතික්කම සීලය යන අරියකාන්ත පංච සීලයම සම්පූර්ණ කර ගත යුතු බවත් පෙන්වා දීමයි. එහි පළමු කොටම මිච්ඡ වාචා පැහැදිළි කරයි.

1. ”කථමාච භික්ඛවේ මිච්ඡ වාචා”-: මුසාවාදෝ, පිසුනා වාචා, ඵරුසා වාචා, සංඵප්පලාපා, අයං භික්ඛවේ මිච්ඡ වාචා”
දෙවනුව සම්මා වාචා විස්තර කරයි.
2. ”කථමාච භික්ඛවේ සම්මා වාචා” : සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා, මුසාවාදා වේරමණී, පිසුනාය වාචාය වේරමණී, පරුසාය වාචාය වේරමණී, සංඵප්පලාපා වේරමණී අයං භික්ඛවේ සම්මා වාචා සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා”
තුන්වනුව ලෝකෝත්තර සම්මා වාචා විග‍්‍රහ කරයි
3. ”කථමාච භික්ඛවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා යා ඛෝ භික්ඛවේ, අරිය චිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ග සමංග්ගිනෝ අරිය මග්ගං භාවයතෝ චතුහිපි වචීදුච්චරිතේහි ආරති, විරති, පටිවිරති, වේරමණී, අයං භික්ඛවේ සම්මා වාචා අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. සෝ මිච්ඡ වාචාය පහානාය වායමති, සම්මා වාචාය උපසම්පදාය, ස්වාස්ස හෝති, සම්මා වායාමෝ, සෝසතෝ මිච්ඡ වාචං පජහති, සතෝ සම්මා වාචං උපසම්පජ්ජ විහරති. සාස්ස හෝති සම්මා සති, ඉතිස්සිමේ තයෝ ධම්මා සම්මා වාචාං අනුපරිධාවන්ති, අනුපරිවත්තංති, සෙය්‍යතිදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති”

මෙතැන දෙවැනි හා තුන්වැනි පාඨවලින් පෙන් වූ සම්මා දිටිඨි දෙක සසඳා බලන කළ අද බුද්ධාගමේ භාවිතා කරන්නේ ලෞකික සම්මා දිට්ඨිය පමණක්ම බවත් ඊට උචිත වේරමණී සීලය පමණක් සමාදන් වන බවත් ඉතාමත්ම පැහැදිළිය. මෙම වේරමණී සීලය, යහපත් හොඳ නිවැරදි දිවි පැවැත්මක් සඳහා භාවිතා කළයුතු එකක් පමණි. මෙය කිසිසේත්ම නිවන් අවබෝධයට නම් ප‍්‍රමාණවත් සීලයක් නොවන බව මෙයින් සක්සුදක් සේ පැහැදිළි වෙයි. මේ වේරමණී සීලය හෝ රැකීම නරක දෙයක් නම් නොවේ. නමුත් එහි නිවන නම් නැත.

තුන්වන පාඨයෙන් ඉතාම පිරිසිදුවත් ඉතාම පැහැදිළිවත් සම්මා වාචා අංගය යටතේ නිවනට උපකාරවන සීලය – ආරති, විරති, පටිවිරති, වේරමණී යන පදවලින් පෙන්වා විග‍්‍රහ කරදී ඇත. මෙතැන සංවර සීලය ප‍්‍රහාණ සීලය, චේතනා සීලය හා අයිතික්කම සීලයද ඇතුලුව වේරමණී සීලයද සම්පූර්ණ වී අරිය කාන්ත සීලයෙහි පිහිටන බව ප‍්‍රකාශ කර ඇත. ඒ නිසා නිවන් අවබෝධය සඳහා නම් උපකාරවන්නේ බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ මේ උතුම් පංච සීලය මිස ”වේරමණී සික්ඛාපදං සමාධියාමි” යන ලෙසින් අද සම්මතයෙන් සමාදන් වන සීලය පමණක් නොවේ. ආරති, විරති, පටිවිරති, වේරමණී යනු කිසිසේත්ම සමාදන් වූ පමණට පිහිටන සීලයක්ද නොවේ. මෙය කාගෙන්වත් ලබාගත හැකි සීලයක්ද නොවේ. මෙය කාටවත් දිය හැකි සීලයක්ද නොවේ. එය යථාවබෝධයෙන්ම තමන් සංවර වීමේ චේතනාවෙන්ම ප‍්‍රහාණය කර නිදහස් වීමේ චේතනාවෙන්ම වෙන් වී, විරමණය වීමෙන් ලබන සීලයක පිහිටා ක‍්‍රියා කිරීමයි. සංවරවී, සංසුන් වී, සංයමයට පත්වී, සංසිඳුවා, සම්මා වීමට උපකාර වන සේ පිහිටන මේ සීලය ”උපසම්පදා” යන උසස් තත්ත්වයට පත්වීමට බුද්ධ භාෂිතයේ පෙන්වා දුන් දහසක් සංවර සීලයයි. මෙය ප‍්‍රත්‍ය+සං+නිශ‍්‍රිත සීලයයි. බුද්ධ විනයේ එන නිවැරදි සංවර සීලයයි. සම්මා දිට්ඨියෙහි පිහිටා, සම්මා වායාමය සපුරාගෙන, සම්මා සතියෙන්ම මෙවන් උතුම් සම්මා වාචා අංගයන් සම්පූර්ණ කරගත හැකිවෙයි. මෙය සිල්පද සමාදන් වී ලබන ශික්ෂණය හෝ හික්මීම අභිබවා ගොස් සංවරත්වයටම පත්වීමක් බව ලෝකෝත්තර සම්මා අංගයන් පිළිබඳව ලියැවී ඇති බුද්ධ භාෂිතය කියවා තේරුම් ගත හැකි හැම මිනිසෙකුටම අවබෝධකර ගතහැකි වෙනු ඇත. සම්මා කම්මන්ත පැහැදිළි කිරීමේදීද මේ ආකාරයෙන්ම තුන් ආකාරයක් තිපරිවට්ටයක් පෙන්වා දී ඇත.

1. මිච්ඡ කම්මන්තය විස්තර කරමින්, ”කථමෝච භික්ඛවේ මිච්ඡුා කම්මන්තා, පානාති පාතෝ, අදින්නා දානා, කාමේසු මිච්ඡචාරෝ අයං භික්ඛවේ මිච්ඡ කම්මන්තෝ කථමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ සම්මා කම්මන්තං පහං භික්ඛවේ, ද්වයං වදාමි.” (දෙයාකාර යැයි වදාරමි)

2. ලෞකික සම්මා කම්මන්තය පෙන්වා දෙමින්, ”කථමෝච භික්ඛවේ සම්මා කම්මන්තෝ, සාසවා පුඤ්ඤභාගියා, උපධිවෙපක්ඛා, පානාතිපාති වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡුාචාරා වේරමණී, අයං භික්ඛවේ සම්මා කම්මන්තා සාසවෝ පුඤ්ඤභාගීයෝ උපධිවෙපක්ඛා”

3. ලෝකෝත්තර සම්මා කම්මන්තය පැහැදිළි කර දෙමින්,
”කථමෝච භික්ඛවේ, සම්මා කම්මන්තෝ අරියෝ, අනාසවෝ, ලෝකුත්තරෝ මග්ගංගෝ, යා ඛෝ භික්ඛවේ අරිය චිත්තස්ස, අනාසව චිත්තස්ස, අරිය මග්ග සම්මග්ගිනෝ, අරිය මග්ගං භාවයතෝ, තී හිපි කාය දුච්චරිතේහි ආරති, විරති, පටිවිරති, වේරමණී, අයං භික්ඛවේ සම්මා කම්මන්තෝ, අරියෝ, අනාසවෝ ලෝකුත්තර මග්ගංගෝ, සෝ මිච්ඡ කම්මන්තස්ස පහානාය වායමති, සම්මා කම්මන්තස්ස උපසම්පදාය ස්වාස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ජා කම්මන්තං පජහති. සතෝ සම්මා කම්මන්තං උපසම්පජ්ජ විහරති, සාස්ස හෝති සම්මා සති, ඉතිඉස්ස මේ තයෝ ධම්මා සම්මා කමිමන්තං අනුපරිධාවන්ති, අනුපරිවත්තංති, සෙය්‍යතිදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ සම්මා සති”

මෙතැනදී පැහැදිළිවම ප‍්‍රකාශ කර පෙන්වා දිය යුතු වන්නේ ලෝකයාට බුදු කෙනෙකුන් පහළවී උතුම් ධර්මය දේශණා කරන්නේ එතෙක් ලෝකයා භාවිතා කළ හොඳ, යහපත් නිවැරදි ලෝකයම තවදුරටත් අල්ලා ගෙන, සංසාර සැප විඳින්නට හොඳ මඟක් පෙන්වා දීම සඳහා කරන දේශණාවක් නොවන බවයි. මෙයට පෙර නොඇසූ, මෙයට පෙර භාවිතයේ නොතිබූ, දැන නොසිටි උතුම් ධර්මයක් (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේ) අලුත්ම, අර්ථ, ධර්ම, නිරුක්ති විග‍්‍රහයක් සහිතව දේශණා කර ලෝකයාට සංසාර දුකෙන් මිදී නිදහස් වීමේ නිවැරදි මාර්ගයම පෙන්වා දීමට ක‍්‍රියාකළ බවයි. මේ නිසා මහාමායා දේවිය පවා එදා සමාදන් වූ වේරමණී සීලය අභිබවා ආරති, විරති, පටිවිරති, වේරමණී යන පංච සීලය ලෝකයාට කියාදී, එම අරිය කාන්ත සීලයේ පිහිටා ක‍්‍රියාකරන්නට අරිය මාර්ගය පෙන්වාදීම ලොවුතුරා බුදුකෙනෙකුන් ලොව පහළවී කරුණු ලබන උතුම්ම ක‍්‍රියාවයි.

චුල්හත්ථිපදෝපම සූත‍්‍රයේදී මෙම අරිය කාන්ත සීලය නිවැරදි ලෙසින් සියලුම සිල් පදයන් සහිතව පෙන්වා දී ”උපසම්පදා නැමැති උසස් තත්ත්වයට පත්වන්නට අවශ්‍යවන අරිය කාන්ත සීලය, සංවර සීලය, චේතනා සීලය, වේරමණි සීලය, ප‍්‍රහාණ සීලය, හා අයිතික්කම සීලය යන පංච සීලයක් විස්තර සහිතව විග‍්‍රහකර පෙන්වා දී ඇත. අද මේ සූත‍්‍රයේ පෙන්වා දී ඇති උතුම් සීිල ප‍්‍රතිපදාවද භාවිතයේ නැත.

මේ අනුව පරම්පරා ගණනක් තුළ සම්මත කරගෙන වැරදි ලෙසින් පවත්වාගෙන ආ සීලය සමාදන් වීමක් පමණි අරිය තත්ත්වයට පත්වීමට උපකාර වන අරිය කාන්ත සීලයත් උපසම්පදා සීලයත් දෙයාකාරයක, දෙවිධියක සීල ප‍්‍රතිපදාවන් බව නිවැරදිවම තේරුම් ගැනීමට බුද්ධ භාෂිතය නිවැරදිවම හැදෑරිය යුතුබව පෙන්වා දිය යුතුය. හොඳ, යහපත්, නිවැරදි ලෞකිකත්වයට පමණක් උපකාරවන සංසාර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන ”සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්ඛා ” යනුවෙන් පෙන්වා දුන් ලෞකික සම්මා අංගවලට හිරවී අද සිල් රැුකීමද, භාවනා කිරීමද කරයි. සම්මා ආජිවයද මේ ආකාරයෙන්ම තුන් ආකාරයට පෙන්වා දුන්හ.

1. මිච්ඡ ආජීවය
2. ලෞකික සම්මා ආජීවය
3. ලෝකෝත්තර සම්මා ආජීවයයි

මෙතැනදී බුදුපියාණන් පෙන්වා වදාළේ ඉතාමත්ම ගැඹුරු ලෝකෝත්තර ධර්මයකි. සම්මා වාචා, සම්මා කම්මන්ත යන අංගයන් දෙකෙහි පෙන්වා වදාළ සිල් පදයන්ට අමතරව සියලු සිල්පද සංවරත්වයට උපකාර වන බවත් සංවරත්වයේ පිහිටා සීල සමාධි, ප‍්‍රඥා යන අංගයන් තුනම සම්පූර්ණ කර ගැනීමේදී ජීවත්වීම කුමක්ද යන්න පිළිබඳව යථාභූත ඥාණය අනුව ඇත්ත දැක ගැනීමට හැකි වී ඉන් මිදී නිදහස් වීමට ගතයුතු පියවරයන් පෙන්වා දීමත් මෙතැනදී සිදු විය.

මහාචත්තාරික සූත‍්‍රයේ පෙන්වා වදාළ මීළඟ පියවර වන්නේ අනාපානා සති භාවනාවට උපකාර වන ද්වතාවය විග‍්‍රහ කිරීමයි. එනම් සේවිතබ්බා, අසේවිතබ්බා යන කොටස් දෙකට අයත් ධර්මයන් විග‍්‍රහ කිරීමයි. සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධි තෙක් අංග අටේදීමත් ඊට පසුව සම්මා ඥාණ හා සම්මා විමුක්ති යන අංග දෙකද ඇතුලුව අංග දහයකදීමත් මේ දෙපැත්තම විග‍්‍රහ කරදී පෙන්වා වදාරා ඇත.

1. සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති, සම්මා දිට්ඨිස්ස භික්ඛවේ මිච්ඡුා දිට්ඨි නිප්ජින්නා හෝති, යේ ච මිච්ඡ දිට්ඨි පච්චයා අනෙකේ පාපකා අකුසලා ධම්මා සංභවන්තී. තේ චස්ස නිජ්ජින්නා හොන්ති. සම්මා දිට්ඨි පච්චයා ච අනෙකේ කුසලා ධම්මෝ භාවනා පරිපූරං ගච්ඡුන්ති.
2. යෙ ච මිච්ඡ සංකප්පා පචිචයා අනෙකේ පාපකා අකුසලා ධම්මා සංභවන්ති- තේ චස්ස නිජ්ජින්තා හොන්ති. සම්මා සංකප්ප පච්චවා ච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූරං ගච්ජන්ති.

මෙලෙස සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි යන අංග අටම විස්තර කර දුන්හ. ඊළඟට,

1. සම්මා ඥාණස්ස මිච්ඡ ඥාණං නිජ්ජින්නං හෝති. යෙ ච මිච්ඡ ඥාණං පච්චයා අනේකේ පාපකා අකුසලා ධම්මා සංභවන්ති. තේ චස්ස නිජ්ජින්තා හොන්ති. සම්මා ඥාණ පච්චයා ච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූරං ගච්ඡුන්ති.

2. සම්මා විමුත්තස්ස භික්ඛවේ මිච්ඡුා විමුක්ති නිජ්ජින්නා හොන්ති. යෙච මිච්ජා විමුක්ති පචිචයා අනෙකේ පාපකා අකුසලා ධම්මා සංභවන්ති තේ චස්ස නිර්ජින්නා හොන්ති. සම්මා විමුක්ති පච්චයා ච අනේකේ කුසලා ධම්මා භාවනා පරිපූරං ගච්ඡුන්ති”

”මෙහි සංභවන්ති” යැයි පදයක් දස අවස්ථාවෙහිම යොදාගෙන ඇත. ”සං” භවයක් හටගන්නා ආකාරය පෙන්වා දුන්නේ මෙතැනදීය. අවිද්‍යාමූූල පට්ච්චසමුප්පාද ධර්මයෙහි ”සංඛාර පච්චයා විඤ්ඤාණ ………… උපාදාන පච්චයා භව” යන අවිද්‍යා මූල පටිච්චසමුප්පාද පද වැලෙහි ”සං – භව” හටගන්නා ආකාරය මෙතැනදීද පෙන්වා දී ඇත. ”සං” වලින් මිදී නිදහස් වීමට නම් කුණු සළාහැර කෙළෙස් වලින් මිදී නිදහස් වීමේ ප‍්‍රතිපත්තියම භාවිතා කර ”භාවනා පරිපූරං” තත්ත්වයට පත්වීම මෙහිදීද පෙන්වා දී ඇත. මෙතන ”කුසලා” ධම්මා යැයි පෙන්වා දුන්නේ පින්කම් කිරීම නොවේ. රාග, ද්වේෂ, මෝහ ගති සියල්ලම සළාහැර ඉවත් කිරීමයි. ”පුඤ්ඤ පාප පහීනස්ස” යනුවෙන් ධර්මයේ පෙන්වා වදාළේ පින් පව් දෙකම සළාහැර මිදී නිදහස් විය යුතු නිසයි. අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා වදාළ මේ අවස්ථා අටෙහිදීම කළ යුත්තේ ලෝකෝත්තර අරිය මාර්ගය උපදවා ගැනීමට අවශ්‍ය කුණු, කෙළෙස් සළාහැර චිත්තසංථානය පිරිසිදු කර ගැනීමට නිවැරදි මාර්ගයම භාවිතා කිරීමයි. මෙතරම් පිරිසිදුවත්, පැහැදිළිවත් නිවන් මඟ පෙන්වා වදාළ වෙනත් තැනක් මුළු ත‍්‍රිපිටක ධර්මයේම නැතැයි කීවොත් එය සත්‍යයකි.

මහා චත්තාරිසක සූත‍්‍ර‍්‍ර දේශණාව කොතරම් ගැඹුරු සූත‍්‍ර දේශණාවක් ද කියතොත් ත‍්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ එන මෙම පාලි පාඨ සිංහලට පරිවර්තනය කිරීමේදී පරිවර්තකයින්ට මෙහි අර්ථය දැක ගන්නට නොහැකි වී වැරදි ලෙසින් පරිවර්තනය කිරීමෙන්ම මෙහි ගැඹුරු බව පැහැදිළිය. මහා චත්තාරික සූත‍්‍රයේ අවසානයේ දක්වා ඇති පාඨ කිහිපයක්ම නිවැරදි කර සිංහල බසින් පෙන්වා දිය යුතුය.

”යෝ හී කෝ චි භික්ඛවේ, සමණෝ වා බ‍්‍රාහ්මත්‍ණා්වා ඉමං මහාචත්තාරිසකං ධම්ම පරියායං ගරහිතබ්බං පටික්කෝසිතබ්බං මඤ්ඤෙය්‍ය, තස්ස දිට්ඨෙව ධම්මේ දස සහධම්මිකා වාදානුවදා ගාරයිහං ඨානං ආගච්ඡුන්ති”

මෙහි තේරුම, ”මහණෙනි, යම් මහණෙක්, ශ‍්‍රමණයෙක් හෝ බ‍්‍රාහ්මණයෙක් හෝ වෙනත් යම් කෙනෙක් හෝ මෙම මහා චත්තාරික ධර්ම ක‍්‍රමය ධර්ම පරියාය නිසි පරිදි තේරුම් නොගෙන මෙය ප‍්‍රතික්ෂේප කළයුතු, ගැරහිය යුතු, අත්හැරිය යුතු, තේරුමක් නැති ඵලක් නැති දෙයක් යැයි සිතා කටයුතු කරමින් ධර්මය විකෘති කරන්නේ නම් මෙළොවදීම ඒ තැනැත්තාට දස ආකාර වූ ගැරහුම් ලබන්නට හේතුවන පාප ධර්මයක් සිදු කරගත්තා වෙයි. එවන් කෙනෙකුට නිවන නොපිහිටන්නේමය”

ඊළඟට ගෙනහැර දක්වා ඇති පාඨය ඉතාම වැදගත්ය. නමුත් මේ පාඨයන් සියල්ලම සිංහල භාෂාවට පරිවර්තනය වීමේදී අර්ථය කණපිට පෙරළාගෙන මහා සාගරයක අතරමං වූවන් බවටම පත් වී අර්ථ දක්වා ඇති බව පෙනේ. ”සම්මා දිට්ඨිං චේ භවං ගරහති. යේ ච මිච්ඡුා දිට්ඨි සමණ බ‍්‍රාහ්මණා, තේ භෝතෝ පුජ්ජා තේ හෝතෝ පසංසා සම්මා සංකප්පං චේ භවං ගරහති. යේ ච මිච්ජා සංකප්පා සමණ බ‍්‍රාහ්මණා, තේ භෝතෝ පුජ්ජා, තේ භෝතෝ පසංසා”

මේ ආකාරයට අරිය අෂ්ටාංගික මාර්ගයේ අංග අටක් හා සම්මා ඥාණ, සම්මා විමුක්ති යන අංගයන් ගැනත් ප‍්‍රකාශ කර ඇත. මෙහි තේරුම යමෙක් ලෝකෝත්තර නිවන් මාර්ගය වූ උතුම් ලෝකෝත්තර සම්මා දිට්ඨිය බොරුයි කියා ගරහයි ද ඔහු මිත්‍යා දෘෂ්ඨිගත වූ ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෙකුම වෙයි. එවැනි ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයෙකුට පූජ්‍යත්වයෙන් සැළකීම හෝ ප‍්‍රසංසා කිරීම අභව්‍ය වේ. නොකළ යුතු වේ. ඒ ඔහු බුදුපියාණන් පෙන්වා වදාළ ලෝකෝත්තර නිවන් මඟ බොරුයැයි කියා පෙන්වා දෙන අභ්‍යව්‍ය යැයි පෙන්වා දෙන අනුන්ගේ නිවන් මඟද වසා, අසුරා දමන කෙනෙකු නිසයි.

සැළකිය යුතුයි :- ත‍්‍රිපිටකයේ මේ පාඨය සිංහලයට පරිවර්තනය කර දක්වා ඇත්තේ මෙසේය. ඉදින් භවත් සම්‍යක් දෘෂ්ඨිය ගරහා නම් මතු මිසදුටු ගත් මහණ බමුණු කෙනෙක් ඇත්ද, ඔහු භවතුන් විසින් පූජ්‍යයෝ වෙති. ඔහු භවතුන් විසින් පසැස්ස මනා වෙති යනුවෙනි.

මෙයින් කියැවෙන්නේ ”සම්මා දෘෂ්ඨිය ගරහයි නම්, ඔහු පූජ්‍යයෙකු වෙයි. ප‍්‍රසංසා කළ යුතු වෙයි”, යන්නයි. එසේ නම් මෙය කොතරම් මුසාවක්ද යන්න සළකා බැලිය යුතුය. මෙයට හේතුව ”භෝතෝ” යන මාගධී ශබ්ද සංඥාව නිවැරදිව පරිවර්තනය නොකිරීමයි. ”භේතෝ” යනු සත්‍යයෙන් තොර අභව්‍ය, නුසුදුසු, නොගැළපෙන යන අර්ථයයි. එවන් නොගැළපෙන, නුසුදුසු කෙනෙකු පිදීමට හෝ ප‍්‍රසංසා කිරීමට නොවටිනා බව මෙහි නිවැරදි අර්ථය වන්නේය.

මහා චත්තාරික සූත‍්‍රය අද ධර්ම දේසකයින් කවුරුවත් ධර්ම දේශණාවකදී භාවිතා නොකරයි. එයට හේතුව මෙම සූත‍්‍ර දේශණාවෙන් පෙන්වා වදාළ උතුම් ධර්මය තේරුම් ගන්නට නොහැකි ලෙසම යටපත් වී ඇති නිසයි. පටිච්චසමුප්පාද ධර්මය තුළ ඇති තිපරිවටිටයම – එනම්,
1. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයේ බැඳුනොත් අවිද්‍යාමූල ”සං” උපත ලබන්නට හේතුවන බවත්,
2. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම නිරෝධ කර සං උපත නිර් – උදා කළ හැකි බවත්,
3. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය භාවිත කර සං උපත ලබන කුණු මුල් ගළවා දමා චිත්තසංථානය පිරිසිදු කරගත හැකි බවත් තේරුම් නොගත් කෙනෙකුට මෙම චත්තාරික සූත‍්‍ර දේශණාවෙන් බුදුපියාණන් පෙන්වා වදාළ තිපරිවට්ටයම තේරුම් ගැනීමේ හැකියාවක්ද නැත. එනම්,

i. මිච්ඡ දිට්ඨිය, මිච්ඡුා දිට්ඨිය බවත්, සියලු ”සං” උපදවන්නේ මිච්ඡුා අංගයන් භාවිතා කිරීම නිසාම බවත්
ii. මිච්ඡ අංගවලින් වෙන් වී, නිදහස් වී ලෞකික සම්මා අංග භාවිතා කළහොත් සිදුවන්නේ අයහපත් පැවැත්මෙන් ඉවත් වී යහපත් පැවැත්මක් කරා පැමිණීම බවත් එයද නිවන නොවන බවත්, සසසග නිවනට උපකාර වන අරිය ධර්මය, අරිය සිතුවිල්ල, අරිය මාර්ගය වන්නේ යහපත්, අයහපත්, හොඳ, නරක, සියලුම ලෞකික තත්ත්වයන්ගෙන්ද මිදී නිදහස් වන අරිය සම්මා ප‍්‍රතිපදාව බවත් නිවැරදිවම තේරුම් ගැනීමෙනි.

ආගමක් භක්තියෙන් අදහන කෙනෙකුට මේ තිපරිවට්ටයම පහසුවෙන් තේරුම් ගත නොහැකියි. ”අදහනවා” යන්න මේ ලෞකිකත්වය තුළම ඇති යහපත්, නිවැරදි හොඳ දේ කෙරෙහි විශ්වාස තබා ඒවා ලබා ගැනීමේ බලාපොරොත්තුවෙන්ම කරන, කියන, හිතන සංඛාර පැවැත්වීමයි. නිවන යනු සියලු සංඛාරයන් ගෙන් තොරව කාර සිත් පමණක් කරන එනම් ක‍්‍රියා සිත් පමණක් පැවැත්වීමකි.

අරහතුන්වහන්සේ කිසිවක් එකතු නොකරයි. කිසිවක රස විඳීමක් නොකරයි. කිසිවකින් කය රමණය නොකරයි. ලාභ ලැබීමේ කිසිම පර්යේෂණයක් නොකරයි. එවන් සිතුවිල්ලක් නොපවත්වයි. රටක් අල්ලා ගැනීමේ බිමක් අල්ලා ගැනීමේ (සංභවං) ක‍්‍රියාවන් නොකරයි. කිසිම ආකාරයක රඟපෑමක් නොකරයි. මේ නිසා කිසිම සංඛාරයක් නොකරයි. සං+කාර යනු එකතු කරන්නට කරන ක‍්‍රියාකාරකම් යන තේරුමයි. ”සම්මා” යනු ඉහත දැක් වූ රම, රස, රඟ, රට, රජ, රති යන එකතු කිරීමේ ගති ලක්ෂණයන් හයෙන්ම මිදී නිදහස් වූ යන තේරුමයි. මේ ගති හය නිසාම ගති හයට අදාළ දේ එකතු කිරීම සඳහාම සියලු පෘථග්ජන සත්ත්වයා ජීවත් වෙති. එය සංසාර පැවැත්මයි. එයම සංසාර පුරුද්දයි.

මහා චත්තාරික සූත‍්‍ර ධර්මයෙන් විග‍්‍රහකර පෙන්වා වදාළ ධර්මයේ සාරාංශයක් මෙසේ ඉදිරිපත් කළ හැකිය.

අෂ්ටාංගික මාර්ගය තුන් ආකාර වූ තිපරිවට්ටයක් සහිතය.
1. මිච්ඡ අෂ්ටාංගික මාර්ගයයි.
2. ලෞකික අෂ්ටාංගික මාර්ගයයි
3. අරිය අෂ්ටාංගික මාර්ගයයි.

සග අපායට යන්නට, දුගතියට පත්වන්නට, දුක් විඳිමින් තිරස්චීන ගතිවලට පත්වන්නට හේතුවන මිච්ඡුා දිට්ඨියේ පටන් මිච්ඡ සමාධිය තෙක් විස්තර කරදුන් අංග අටයි. සසග අපායෙන් මිදී, සුගතියට පත්වන්නට ලෞකිකත්වය තුළින්ම විඳගත හැකි ලෞකික සැප සම්පත් ලබන්නට උපකාර වන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා අංගයන් අටයි. හොඳ, යහපත් නිවැරදි දැකීම ලෙසින් අද බුද්ධාගමේ අෂ්ටාංගික මාර්ගය ලෙසින් පෙන්වා දෙන්නේ මේ සම්මා අංගයන් අටයි. සසසග අරිය අෂ්ටාංගික මාර්ගය බුදුපියාණන් දේශණාකර වදාළ පෙන්වා වදාළ නිවන් මාර්ගයට උපකාර වන ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගයයි. මේ උතුම් අෂ්ටාංගික මාර්ගය නිවැරදිව පෙන්වා දිය හැකි නිවැරදිව විග‍්‍රහ කර මිනිසුන්ට පැහැදිළි කරදිය හැකි අය අද ඉතාම විරලය. අද මේ මාර්ගය සම්පුර්ණයෙන්ම වාගේ වැසී, යටපත් වී ගොස් ඇත.

බොහෝමයක් බෞද්ධ උගතුන් සිතා සිටින්නේ්ත් විග‍්‍රහකර පෙන්වා දෙන්නේත් අරිය අෂ්ටාංගික මාර්ගය යැයි වැරදියට අර්ථ දක්වන්නේත් ලෞකික අෂ්ටාංගික මාර්ගයයි. මෙහි දෙවැනි පියවර ලෙසින් සඳහන් කළ මේ ලෞකික අෂ්ටාංගික මාර්ගය දැන ගැනීම හෝ සම්පූර්ණ කර ගැනීම හෝ කිසිසේත්ම නිවන නොවේ. එය සංසාරයේ අතරමං වන, සැපයට මුලා වී, දුක් උරුම කර ගන්නා ස්වරූපයේ ලෞකික අෂ්ටාංගික මාර්ගයයි. මධ්‍යම ප‍්‍රතිපදාව යනුවෙන් අද අදහස් කරන මැද මාවතද මෙයටම ගැළපෙන ලෙසින් පසුව සාදා සකස් කරගත් එකකි. මේ බව බුදුපියාණන් දේශණා කර පැහැදිළිවම පෙන්වා වදාරා ඇත. අද භාවිතයේ පවතින බෞද්ධ උගතුන්, විද්වතුන් දන්නා අනුගමනය කරන්නට යැයි ලෝකයාට අනුදැන වදාරණ ඒ මැද මාවත, ලෞකික සම්මා අෂ්ටාංගික මාර්ගයට ගැළපෙන ලෙසම සීල, සමාධි යන අංග දෙකද වෙනස් කරගෙන අද භාවිතා කරයි.

මේ නිසා අද භාවිතාවන, භාවිතයේ පවතින බුද්ධාගමේ අරිය අෂ්ටාංගික මාර්ගයක් නැත. මජ්ක්‍ධිමා පටිපදාවක් ද නැත. අරිය කාන්ත සීලයක්ද නැත. අරිය සමාධියක්ද නැත. ඒ නිසා අරිය මාර්ගයක්ද නැත. මේවා භාවිතයේ නැති විටක අරිය උත්තමයෝ බිහිවන්නටද හේතුවක් නැත.

Share Button

ආර්ය අෂ්ඨාංගික මාර්ගය

නිවන පූර්ණ කරගැනීම සඳහා මිනිසෙකු විසින් අනුගමනය කළ යුතු නිවන් මඟ විස්තර කිරීමේදී ඉදිරිපත් කරන ලද සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන් අතුරින් අරිය අෂ්ටාංගික මාර්ගය ඉතාම වැදගත් අංගයයි. සංයුක්ත නිකායේ, මග්ග සංයුක්තයේ පෙන්වා වදාළේ මෙම අරිය අෂ්ටාංගික මාර්ගය පූරණය කර ගැනීමට උපකාරවන ප‍්‍රතිපදාවයි. මජ්ක්‍ධිම නිකායේ සම්මා දිට්ඨි සූත‍්‍රයේත්, අෂ්ටාංගික මාර්ගයේ මුල්ම අංගය වූ සම්මා දිට්ඨියට පත්විය හැකි නිවැරදි මාර්ගය චතුරාර්ය සත්‍යාවබෝධයම ලැබීම බව විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. මීට අමතරව ත‍්‍රිපිටකයේ එන සූත‍්‍ර ධර්ම 600ක පමණම විග‍්‍රහ කර වදාළේ අරිය අෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත් කමයි. මජ්ක්‍ධිම නිකායේ එන මහාචත්තාරික සූත‍්‍ර දේශණාවේ තරම් පිරිසිදුවත්, පැහැදිළිවත්, විස්තර සහිතවත් ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගය පෙන්වා වදාළ වෙනත් තැනක් මුළු ත‍්‍රිපිටකයේම නැත.

බුදුපියාණන්වහන්සේ දේශණාකර වදාළ අරිය අෂ්ටාංගික මාර්ගයේ සම්මා දිට්ඨිය නැමති පළමුවන අංගය නිවැරදි ලෙසත්, පූර්ණ ලෙසත් පිරිසිඳ දැනගත් පුද්ගලයා සම්මා දිට්ඨියේ, සම්මා දිට්ඨිය තේරුම් ගත් අරිය පුද්ගලයෙකු වන බව සංයුක්ත නිකායේ පැහැදිළිවම පෙන්වා දී ඇත. මේ අනුව කොපමණ වෙහෙස දරා හෝ මහන්සී වී හෝ කෙනෙකු උත්සාහ ගත යුත්තේ බුදුපියාණන් දේශණා කරන ලද අරිය සම්මා දිට්ඨිය නිවැරදි ලෙස දැක ගැනීමටය. අරිය සම්මා දිට්ඨිය අවබෝධ කරගන්නට නොහැකිවීමේ එකම හේතුව නිසාම පෘථග්ජන ලෝකයා සංසාර දෘෂ්ඨියට යටවී, සංසාර දෘෂ්ඨියෙන් මත්වී, දහදුක් විඳිමින් සංසාර ගමනක යෙදී සිටිති. මිනිසෙකු ලෙස උපත ලබා උරුමයෙන් ලැබූ මනස දියුණු කරගෙන, කල්පනා කර, මේ පැවැත්ම, ජිවත්වීම පිළිබඳව සත්‍යාවබෝධයක් ලබාගන්නා තෙක්ම මේ සංසාර ගමනෙහි යම්කිසි සාරවත් බවක්ම දකී.

”සං” යනු එකතු කිරීම, උපාදානය කරගැනීම, රැුස්කිරීම යන තේරුම දෙන පදයකි. කුරා කුහුඹියාගේ පටන් මහා බ‍්‍රහ්මයා දක්වාම ඇති සියලුම ප‍්‍රාණීන්, සත්ත්වයන් තම මුළු ජීවිත කාලය තුළදීම නිරත වන්නේ යමක් එකතු කර අල්ලා උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියකයි. මේ එකතු කිරීමේ ක‍්‍රියාවලියේ ඇතිවීමක් සීමාවක් තෘප්තිමත් වීමක්ද නැත. එසේ එකතු කරගන්නේද වටිනවා, සාරයි කියා නිගමනය කරන දේවල්මය. මේ එකතු කිරීමේ නියත රටාව, ක‍්‍රියාවලිය දැක ගත හැකි නම් ඒ පුද්ගලයා ”සං” දැකගත් ”සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වූ කෙනෙකි. මේ එකතු කරගත්, උපාදානය කරගත්, රැස්කර ගත් දේ සියල්ලම කුණු ගොඩක්, නිසරු දෙයක්, සංසාර බරක් බව නිවැරදිවම තේරුම් ගත් පුද්ගලයා සම්මා දිට්ඨියද තේරුම් ගත් කෙනෙකි. එකතු කරගත් දෙයින්, එකතු කරගත් කුණු ගොඩෙන් හැකි පමණ ඉක්මනින් බැහැර වී, කුණු ඉවත් කර, ඉන් මිදී නිදහස් විය යුතු බව දැන ගත්, තේරුම්ගත් තැනැත්තා, සම්මා දිට්ඨියේ අරිය සම්මා දිට්ඨියම තේරුම් ගත් කෙනෙකි.

මේ ආකාරයෙන් පංචස්කන්ධ කොටස් අතරින් ප‍්‍රිය මධුර කොටස් එකතු කිරීමත් එසේ එකතු කරගත් කොටස් උපාදානය කර රැස්කර ගැනීමත්, ඒවා ගබඩාකර තැන්පත් කර ගැනීමත්, ඒවා භාවිතයට ගෙන ආහාරයට ගෙන විඤ්ඤාණය ජීවත්වීමත් යන කරුණු පිළිබඳව දැන සංසාර දුකට හා සංසාර ගමනටද සමාජ දුකටද මුල්වන හේතුව මේ එකතු කිරීමම බවද යථා පරිදි දැන තේරුම් ගැනීිම ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීමයි. අලුතෙන් කුණු එකතු කිරීම නවත්වා, අතීතයේ එකතුකර මතු ප‍්‍රයෝජනය සඳහා ගබඩා කර තබාගත් කුණු සියල්ලද ප‍්‍රහාණය කර, අස් කර දමා ඉන් මිදී නිදහස් විය යුතු යැයි දැකීම සම්මා දිට්ඨියේ පිහිටීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු අතීත සංසාරයේදී එකතු කරගත් සියලු දෘෂ්ඨින්ගෙන්ද මිදී නිදහස් වීමයි.

චේතෝ විමුක්තිය, විද්‍යා විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය ලබන්නට නම් සියලුම දෘෂ්ඨින්ගෙන් මිදී නිදහස් වීම අවශ්‍යම දෙයකි. මහාචත්තාරිස සූත‍්‍ර දේශණාවේ සඳහන් කරුණු එකින් එක ගෙන විග‍්‍රහ කර බලා මිත්‍යා දෘෂ්ඨියෙන්ද මිදීමත් ලෞකික සම්මා දෘෂ්ඨියට පත්වීමත් ලෞකික සම්මා දිට්ඨියෙන්ද මිදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වීමත් සඳහා අනුගමනය කළයුතු මාර්ගය නිවැරදිවම තේරුම් ගත යුතුව ඇත.

”අරියං – වෝ භික්ඛවේ, සම්මා සමාධිං දෙසිස්සාමි සඋපනිසං සපරිකඛාරං තං සුනාථ, සාධුකං මනසිකරෝත, භාසිස්සාමිති. කථමෝච භික්ඛවේ, අරියෝ සම්මා සමාධි සඋපනිසෝ සපරික්ඛාරෝ සෙය්‍යඨිදං සම්මා දිට්ඨි, සම්මා සංකප්පෝ, සම්මා වාචා, සම්මා කම්මන්තෝ, සම්මා ආජීවෝ, සම්මා වායාමෝ, සම්මා සති යා ඛෝ භික්ඛවේ ඉමෙහි සත්තහංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්කතා. අයං උච්චති භික්ඛවේ අරියෝ සම්මා සමාධි සඋපනිසෝ ඉතිපි සපරික්ඛාරෝ ඉතිපි”

මෙහි තේරුම : ”මහණෙනි අරිය සම්මා සමාධිය යනු කවරක් දැයි දේශණා කරමි. උතුම් බුද්ධ සාසනයේ මඟඵල ලබා අරිය සම්මා සමාධිය පූර්ණ කරන්නට නම් යෝනිසෝමනසිකාරයෙන් යුතුව මේ ධර්මය අසා, පිරිසිඳ දැන මේ මඟ උපනිශ‍්‍රය කරගෙන තම තමන්ම මේ මඟ අත්විඳ ගන්නටම උත්සාහ කළ යුතුය. සම්මා සමාධිය ලබා ගැනීම පරමාර්ථය කොට ගෙනම සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා වායාම, සම්මා සති යන පූර්වාංග හතම තේරුම් ගෙන සිතෙහි ඒකාග්ගතාවය ඇති කර ගත යුතුයි. ඒකාග්ගතාවය යනු එකම අග‍්‍රවූ තත්ත්වය වන නිවන පූර්ණ කර ගැනීමයි”.

”තත‍්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති
කතඤ්ච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති
මිච්ජා දිට්ඨං මිච්ජාදිට්ඨති පජානාති, සම්මා දිට්ඨිං සම්මා
දිට්ඨිති පජානාති සස්ස හෝති පජානාති”

මහණෙනි, සම්මා දිට්ඨිය සියල්ලටම මූලිකය. සියල්ලටම පෙර ගමන්කරුය. සම්මා දිට්ඨියට පත්වීම පළමුවන පියවරයි. මෙහිදී සම්මා දිට්ඨියට පත්වන්නට නම් මිත්‍යා දෘෂ්ඨිය පිළිබඳව පූර්ණ ලෙසින්ම දැන මිත්‍යා දෘෂ්ඨියට පත්වන්නට හේතූන් දැනගත යුතුය. මිත්‍යා දෘෂ්ඨියෙන් මිදීමෙන්ම සම්මා දිට්ඨියට පත්වේ. මෙහිදී දෘෂ්ඨිය යනු දැකීමයි. මිත්‍යා දෘෂ්ඨිය යනු අවිද්‍යාවෙන්, තණ්හාවෙන් මානයෙන් වැසුනු රාග, ද්වේෂ, මෝහ සහිත සිතකින් ලෝකය දෙස බැලීමයි. රාගයෙන් ලොව දෙස බලන කෙනෙකුට ලෝකයට ඇලෙන්නට, ලෝකය අයිතිකර, උපාදානය කරගන්නට බලවත් තෘෂ්ණාවෙන්, අභිජ්ජාවෙන්ම ක‍්‍රියා කරයි. මේ නිසා සියලු ආකාර වූ වෛර, ද්වේෂ, පටිඝ ගති ගුණද ඒ පුද්ගලයා තුළම පහළ වෙයි. ඔහු ඵල විපාක ගැන නොදනී. ඵල විපාක ඇතැයි නොසිතයි. පරලොවක් ඇතැයි නොසිතයි. මවුපිය, වැඩිහිටියන් වැනි ගරුකළ යුතු, සැළකිය යුතු අයට ගරු කිරීම, සැළකීම අවශ්‍ය නැතැයි සිතයි. ඕපපාතික සත්ත්ව කොටස්, දෙවි දේවතාවන් වැන්නන් ඇතැයි නොසිතයි. මහණ ශ‍්‍රමණ උතුමන්ගේ කීම පිළිනොගනී. මෙවන් අය සමාජ සම්මතයටද සදාචාරයටද නොගැළපෙන ලෙසින් පව් පින් හෝ නොසළකා තම ප‍්‍රයෝජන තකා පමණක් කි‍්‍රයා කරති. මෙවැන්නන් මිත්‍යා දෘෂ්ඨිකයෝය.

මිත්‍යා දෘෂ්ඨිය පාපයක් බව, වරදක් බව, සමාජ සම්මත නොවන බව හා සංවරත්වයට නොගැළපෙන බව තේරුම්ගත් අසා දැනගත් පුද්ගලයා ලෞකික සම්මා දිට්ඨියෙහි පිහිටා කටයුතු කරන යහපත්, හොඳ, නිවැරදි පුද්ගලයෙකි. මිත්‍යා දෘෂ්ඨික වී, අපායට යන බව තේරුම්ගත් දුක් විඳින්නට, දුක් උරුමවන්නට එය හේතුවන බව දැක ඉන් මිදී දෙව්ලොව යන්නට, මිනිස් ලොව උපත ලබා සැප සම්පත් විඳින්නට පාපයෙන් වැළකී, වරදින් වැළකී සම්මතයේ පිහිටා ක‍්‍රියා කිරීම සත්පුරුෂයෙකුගේ ලක්ෂණ බව දැන ක‍්‍රියා කරයි. එය ලෞකික සම්මා දිට්ඨියේ පිහිටා කි‍්‍රියා කිරීමයි. සම්මා දිට්ඨිය යන්න මේ ආකාරයෙන් තේරුම් ගත් පුද්ගලයා අනෙකුත් සම්මා අංගයන්ද ඊට අනුරූපවම දැන ගන්නා නිසා ඊට වෙනස් ලෝකෝත්තර අරිය සම්මා දිට්ඨියකට පත්වීමක් පිළිබඳව නොදනී. ලෞකික සම්මා දිට්ඨි පුබ්බංගම නිසා ඊට අනුරූපව සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති යන අංගයන් ද සම්මා සමාධියෙහිද පිහිටයි. ඒ ලෞකික සමාධියකි. අරිය සමාධියක් නොවේ. මේ නිසා මිත්‍යා දෘෂ්ඨියෙන් මිදී, ලෞකික සම්මා දිට්ඨියට පත්වීම පළමුවන පියවරයි.

”කථමාච භික්ඛවේ සම්මා දිට්ඨි,
සම්මා දිට්ඨිම්පහං භික්ඛවේ,
ද්වයං වදාමි, අත්‍ථි භික්ඛවේ,
සම්මා දිට්ඨි, සාසවා පුඤ්ඤභාගියා උපධිවෙපක්කා,
අත්‍ථි භික්ඛවේ, සම්මා දිට්ඨි,
අරියා අනාසවා, ලෝකුත්තරා මග්ගා අංගා”

මහණෙනි, සම්මා දිට්ඨිය යනු ඉතාම පැහැදිළි ලෙසින් දෙයාකාර වේයැයි මම ප‍්‍රකාශ කරමි. එකක් ලෞකිකය, ආසව සහිතය. ආසව ප‍්‍රහාණය කිරීමක් එහි නැත. පුඤ්ඤභාගිය, යහපත් පින්කම් කර ඇති නිසා ඒ පින් ඵල විපාක ලබන්නට පින උරුම වී ඉතිරිව ඇත. ඒ පින් ඵලදීම සඳහා නැවත නැවතත් උපතක් ලැබිය යුතුය. උපධි විපාකයන් ලබන්නට ඉතිරි වී පවති. ඒ නිසා සසර නිමාකර නැත. යහපත් ලෞකිකත්වයක් තුළම උරුමකරගන්නා එය මතු සුගති උපත් ලබන තත්ත්වයකි. අරිය තත්ත්වයට පත්වී නැත. මෙය ලෞකික සම්මා දිට්ඨිය යැයි ප‍්‍රකාශ කර පෙන්වා දෙමි. එය හොඳ, යහපත්, නිවැරදි පැවැත්මක් පමණි. එහි නිවනක් නැත.

නියම ලෝකෝත්තර සම්මා දිට්ඨිය ලෞකික සම්මා දිටිඨිය ඉක්ම වූ අරිය තත්ත්වයකි. චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් කෙනෙකුටම ලබාගත හැකි සම්මා දිට්ඨියකි. මෙය ලෝකෝත්තර මාර්ගයේ අංගයන් යථාපරිදි දැන ගෙනම ලබාගත යුතු උතුම් අරිය තත්ත්වයකි. ආසව ඛයකර දමා, ආසව පහකර දමන්නටම දැනගත් ඒ සඳහාම ක‍්‍රියා කරන කෙනෙකුගේ සම්මා දැක්මයි. සංසාරයේ මෙතෙක් කාලයක් තුළ එකතු කරගත්, ගබඩාකරගත්, සියලු රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ ඛය කර දමා නිදහස් විය යුතු බව පසක් කොට දැනගත්, දැකගත් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වය තේරුම්ගත් උත්තමයෙකුගේ දැක්මයි. ”සං’’ දැක, ”සං” වලින් මිදී නිදහස් විය යුතු බව දැනගත්, දැකගත් කෙනෙකු, ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහිම පිහිටා ක‍්‍රියා කරයි. මෙය ලෞකික අනරිය සම්මා දිට්ඨයෙන් හාත්පසින්ම වෙනස්ය. ”සංදෙස්සේති, සංමාදපේති, සමුත්තේජේති සංපහංසේති” යන ලොව්තුරා බුදුපියාණන් ම දේශණාකර වදාළා වූ සංදේශණාවේ උතුම් ඥාණ පද හතරම නිවැරදිව අසා දැන අවබෝධ කරගත් කෙනෙක්ම, ලෝකෝත්තර මාර්ග අංගය වූ සම්මා දිට්ඨියෙහි පිහිටයි. සම්මාදපේති යන ඥාණ පදය තුළ ඇතුළත් ධර්ම අර්ථයම සම්මා වීමට මඟ පෙන්වා දෙති යන්නයි. සම්මා දිට්ඨියට පත්විය හැකි වන්නේ සංදෙස්සේති හා සම්මාදපේති යන ඥාණ පද දෙක නිවැරදිවම අසා දැන තේරුම් ගැනීමෙන්ම පමණි. ඒ උතුම් සංදේශණාව භාවිතයෙන් ඉවත්ව, යටපත් වීම නිසා අද කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු කුමක්දැයි සිතාගන්නට පවා නොහැකිව, ලෞකිකත්වය නැමැති මැදක් අල්ලා ගෙන, ඒ මැදම කකා ඒ මදයෙන් මත්වී සංසාර ගමනක් යන බව නිවැරදිවම තේරුම් ගත යුතුයි. පෘථග්ජන තත්ත්වයෙන් මිදී අරිය තත්ත්වයට පත්වන්නට පවා අද මිනිසෙකුට ශක්තිය නැත්තේ හැකියාව නැත්තේ බුද්ධ ධර්මය නොදන්නාකම මිස වෙනත් කිසිම අඩුපාඩුවක් නිසා නොවේ. ලෝකෝත්තර අරිය අෂ්ටාංගික මාර්ගය යනු කුමක්දැයි තේරුම් ගන්නට නොහැකි වූ කලක මිනිසෙකුට අරිය තත්ත්වයට පත්විය නොහැකිය.

මේ අනුව මහාචත්තාරික සූත‍්‍රය කිහිප වරක් හෝ කියවා ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර අරිය සම්මා දිට්ඨිය යන දෙක අතර ඇති වෙනස්කම් තේරුම් ගෙන බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මාර්ගයේ ගමන් කිරීමට ඔබද සුදුස්සෙකු වන්න. මේ අනුව ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් අරිය පුද්ගලයාගේ ගති ලක්ෂණ පිළිබඳව සරළ ලෙසින් තේරුම් ගත යුතුය.

1. ඔහු ”සං” දැක, ”සං” උපදින ආකාරයද දැකගත් කෙනෙකි. එනම් පටිඉච්ච සං උප්පන්න ධර්මතාවය පිළිබඳව යථාවබෝධය ලැබූ කෙනෙකි. තමා තමන් තුළින්ම සං උපදවා ගන්නා ආකාරය පැහැදිළිව දැකගත් කෙනෙකි.

2. තමා පටිච්චසමුප්පන්න ධර්මතාවයට බැඳීම නිසා උපදවා ගන්නා (සං) සමුදය ධර්මයන්ම ”අනිච්ච’’ බව දැකගත් කෙනෙකි. එනම් එසේ උපදවා ගන්නා සමුදය නිසා තමන් සංසාරයට බැඳෙන බවත් ඒ සංසාරයට බැඳීම තම කැමැත්ත පරිදි, රිසිසේ දිගින් දිගටම පවත්වා ගත හැකි එකක් නොවන බවත් දැකීමයි. වයසට යාම, දුකට පත්වීම, මරණයට පත්වීම, නියත වශයෙන්ම සිදුවන බව තේරුම් ගැනීම ”අනිච්ච” ධර්මතාවය තේරුම් ගැනීමයි. තමන්ට කැමති සේ, තම කැමැත්ත පරිදි පැවැත්විය හැකි දෙයක් නැති බව දැකීමයි.

3. මෙසේ පටිඉච්ච වීම නිසා තමන් උපදවා ගන්නා සමුදය ධර්මයන් උපදවීම නවතා ගැනීමට තමන්ටම ක‍්‍රමයක් ඇති බව අසා දැන ගැනීමයි. එනම් සමුදය නිරෝධ (නිර්-උදා) කිරීමෙන් නිදහස් විය හැකි බව දැකීමයි. අවිද්‍යා මූල සංඛාර නිරෝධ කිරීමෙන් ”භව” නිරෝධ කළ හැකි බව දැකීමයි.

4. සංවරා – සං එකතු කිරීමෙන් වැළකී සංසිඳවා – අතීතයේ එකතු කර, ගබඩා කරගත් සං සිඳවා දමා සම්මා තත්ත්වයට පත්වී, සහමුළින්ම ”සං” උපදවන ගති මුල් ගළවා දමා සං වලින් මිදී නිදහස් වී යාමට මඟක් ඇති බව දැනගත්, දැකගත් පුද්ගලයා ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වූ අරිය උත්තමයෙකි.

සංදේශණාවක් අසා මේ කරුණු තේරුම් ගෙන ඉහත දැක් වූ පියවර හතරම යථා පරිදි අවබෝධ කරගත් පුද්ගලයා ලෝකෝත්තර සම්මා දිට්ඨියෙහි පිහිටා ක‍්‍රියාකළ හැකි අරිය පුද්ගලයෙකි.

මහා චත්තාරිස සූත‍්‍රය සියවරක් කියවා කට පාඩම් කර ගත්තත් ”සං” යනු කුමක්දැයි තේරුම් නොගත් කෙනෙකුට එහි අර්ථ, ධර්ම, නිරුක්ති තේරුම් ගත නොහැකි නිසා එහි වෙනසක්ද දැකගත නොහැකිය.

”කථමා ච භික්ඛවේ, සම්මා දිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගඅංගා, යා ඛෝ භික්ඛවේ අරියචිත්තස්ස, අනාසවචිත්තස්ස, අරිය මග්ගසමංගිනෝ අරියමග්ගං භාවියතෝ, පඤ්ඤා, පඤ්ඤින්‍දියං පඤ්ඤාබලං ධම්මවිචයසංබොජ්ජංගෝ සම්මා දිට්ඨි මග්ගඅංගං අයංචුච්චති භික්ඛවේ සම්මා දිට්ඨි, අරියා අනාසවා ලෝකුත්තරා මග්ගාඅංගා සෝ මිච්ඡ දිට්ඨියා පහානාය වායාමති, සම්මා දිට්ඨියා උපසම්පදාය, ස්වාඅස්ස හෝති සම්මා වායාමෝ සෝ සතෝ මිච්ඡ දිට්ඨිං පජහති සතෝ සම්මා දිට්ඨිං උපසම්පජ්ජ විහරති සාස්ස හෝති සම්මා සති ඉතිඉස්සිමේ තයෝ සම්මා සම්මා දිට්ඨිං අනුපරිධාවන්ති අනුපරිවත්තන්ති සෙය්‍යතිදං සම්මා දිට්ඨි, සම්මා වායාමෝ සම්මා සති”

බුද්ධ දේශණාවෙන් පෙන්වා දෙන මෙම ධර්ම අර්ථය තරම් වටිනා එතරම් ගැඹුරු ධර්මයක් මුළු ත‍්‍රිපිටකයේම තවත් තැනක ඇතැයි දැකගත නොහැකි තරම්ය. මුළු අෂ්ටාංගික මාර්ගයම, අරිය ධර්මයම සත්තිස් බෝධි පාක්ෂික ධර්මයම පිරිසිඳ දැනගත හැකි ධර්ම සම්භාරයක් මේ ධර්ම පාඨයේ ගැබ්වී ඇත. පිටු දහසක තරම් වූ පොතකින් හෝ මෙය විස්තර කර, පෙන්වා දී, අවසන් කළ නොහැකි වුවත් මෙහි අර්ථය කෙටියෙන් පැහැදිළි කරන්නට උත්සාහ කරමි.

ප‍්‍රඥා බලය, ප‍්‍රඥා ඉන්ද්‍රිය, ප‍්‍රඥාව යන සියල්ල අවස්ථා කිහිපයකදී හෝ මතුකර උපදවා පහදා ගත හැකි වන්නේ රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ ක‍්‍රමයෙන් පහකර දමා, චිත්තසංථානයෙන් ඒ ගති ඉවත් කර ගැනීමෙනි. රාග, ද්වේෂ, මෝහ ගති වලින් සහමුළින්ම මිදී නිදහස් වීම ”සම්මා” වීමයි. ”සං” වලින් මිදී නිදහස් වීමයි. සම්මා දිට්ඨියට පත්වීම එකවරම කරගත නොහැකි නිසා මේ සඳහා මුලින්ම සම්මා විරිය, සම්මා වායාමය දැරිය යුතුය. එනම් සං වලින් මිදී නිදහස් වීම සඳහා යම් වීර්යයක් යම් උත්සාහයක්, යම් වායාමයක් භාවිතා කළ යුතු බවයි. සම්මා වායාමය පිරීමෙන්් නිසි ප‍්‍රතිඵල ලබාගත හැකි වන්නේ සම්මා සතියෙහිම පිහිටා ක‍්‍රියා කළහොත් පමණි. සම්මා සතිය යනුවෙන් පෙන්වා දුන්නේ හොඳ සිහිය යන අදහසට වඩා ඉතාම බලවත් අර්ථවත් එකකි. හේතුඵල ධර්මයට බහා ගළපා බලා, හේතුවම ඉවත් කිරීමෙන් – පටිඉච්ච ධර්මතාවයට නොබැඳී, නොගැටී, මිදී නිදහස් වීමෙන් සමුදය ධර්මයන් බිහි කිරීම නිර්උදා කර ගැනීමේ ශක්තිය සතියයි. සමුදය නිරෝධ කරගත හැකි වන්නේ සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමෙන් පමණි. මේ සඳහා තවත් වැදගත් බෝධි පාක්ෂික ධර්මයක්ද උපකාර වේ. එය නම් ධර්ම විචය සම්බොජ්ජංගයයි. ධම්ම විචය සම්බොජ්ජංගය යනුද හේතුඵල විග‍්‍රහයේම විවිධ විග‍්‍රහයන් තුළින් විග‍්‍රහ කරන ලද සමුදය නිරෝධ කරගන්නට උපකාර වන ද්වතාවය ධර්මයන් විචක්ෂණය කර විචාරය කර බැලීමේ හැකියාවයි. රාග, ද්වේෂ, මෝහ ප‍්‍රහාණය කර දැමීමත් සමඟම මිච්ඡුා දිට්ඨිය ප‍්‍රහාණය වී මිච්ඡුා දිට්ඨියෙන් ඉවත්වීමද සිදුවෙයි. මිච්ඡුා දිට්ඨියෙන් ඉවත් වූ පමණටම අරිය චිත්තයක්, අනාසව චිත්තයක් ඇති නොවේ. ඒ සඳහා සීල, සමාධි පඤ්ඤා යන කොටස් තුනම සම්පූර්ණ කර ගැනීම සඳහා සංවර, සංසිඳවීම හා සම්මා වීම යන පියවර තුනම උපකාරයෙන් ”සං” ඉවත් කරගත යුතුය. චිත්තසංථානය (සං තැන්පත් කර ගන්නා තැන) සහමුළින්ම පිරිසිදු කරගෙන, ”සං වලින්” තොර තැනක් බවටම සිත පත්කර ගැනීම ප‍්‍රභාශ්වර චිත්තයක් බවට පත්කර ගැනීමයි. අරිය තත්ත්වයට පත්වීමයි. මෙතැනදී සම්මා දිට්ඨිය ලෝකෝත්තර වශයෙන් පූර්ණ වීම යනු සම්මා වායාමයත්, සම්මා සතියත්, සම්මා දිට්ඨියත් යන ධර්මයන් තුනම එනම් මිදි නිදහස්වන්නට උපකාරවන පියවර තුනම එකවර පුර්ණ වීමයි. මේ ධර්මයන් තුන සම්පූර්ණ කර ගැනීම යනු යමක් එකතු කර ගැනීම, දියුණු කර ගැනීම, වර්ධනය කර ගැනීම හෝ පූරණය කරගැනීම යන අදහස් නොවේ. අතහැර මිදී නිදහස් වීම යන අර්ථයෙන්ම ”සම්මා” යන පදය භාවිතා කළ තැනකි. ලෞකික සම්මා දිට්ඨියේ පිහිටිම යනු යහපත් දේ එකතු කර ගැනීමකි. දියුණු කර ගැනීමකි. පූර්ණය කර ගැනීම හොඳ යහපත් පූණ්‍ය කර්ම රැස්කර ගැනීමත් එහිදී අදහස් කරයි. නමුත් මෙතැනදී පින්, පව්, හොඳ, නරක, සියලු රැස්කරගත්, ගබඩා කරගත් කර්ම බීජ, විඤ්ඤාණ බීජ, උත්පත්ති බීජ, ප‍්‍රහාණය කර දමා, අස්කර දමා, ගති ලක්ෂණයන් ඉවත් කරගත යුතු බව ප‍්‍රඥාවෙන්ම දැකීමයි. එය ලෝකෝත්තර මාර්ග අංගයන් පූර්ණකර ගත හැකි දැකීමයි. සම්මා දිටිඨියයි. සම්මා සංකප්පය විග‍්‍රහ කිරීමේදීත් මේ ආකාරයෙන්ම විස්තර කෙරේ. ”කථමෝච භික්ඛවේ සම්මා සංකප්පෝ, සම්මා සංකප්පම්පනං භික්ඛවේ ද්වයං වදාමි. අත්ථි භික්ඛවේ සම්මා සංකප්පෝ සාසවෝ පුඤ්ඤභාගියා උපධිවෙපක්කෝ, අත්ථි භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ”

”මහණෙනි, සම්මා සංකප්පය දෙයාකාර යැයි වදාරමි. එකක් ලෞකිකය. ආසව සහිතය. රැුස්කර ගත් පුඤ්ඤභාගයන්ගෙන් යුක්තය. ඵලවිපාක දෙන්නට සමත් උපාදානය කරගත් ගති වලින් යුක්තය. රාග, ද්වේෂ, මෝහ ගති සහිතය. අනික ලෝකෝත්තර සම්මා සංකප්පයයි. ආසව සහිත වූ, පුණ්‍යභාගිය වූ, උපධි විපාක ඇත්තා වූ, නෙක්ඛම්ම සංකප්පය, අව්‍යාපාද සංකප්පය, අවිහිංසා සංකප්පය යනු ලෞකික සංකප්පයයි. අද බුද්ධාගමේ ධර්මය දේශණා කරන කවුරුත් සම්මා සංකප්පය ලෙසින් විග‍්‍රහ කරන්නේ මෙය පමණකි. මෙය ලෞකික වූත්, හොඳ යහපත් වූත් නිවැරදි ජීවිතයක් ගෙවා දැමීම සඳහා උපකාර වෙයි. නිවන් අවබෝධ කරගැනීමට නම් මේ ලෞකික සංකප්පය ඉක්මවා ගිය ලෝකෝත්තර සම්මා සංකප්පයම කුමක්දැයි දැන, තේරුම් ගෙන එහිම පිහිටා ක‍්‍රියා කළ යුතුය.

එය මෙසේ විග‍්‍රහ කර පෙන්වා දෙයි.

”කථමෝච භික්ඛවේ, සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ, යෝ ඛෝ භික්ඛවේ අරියචිත්තස්ස අනාසව චිත්තස්ස අරිය මග්ගසමග්ගිනෝ, අරිය මග්ගංගං භාවයතෝ තක්කෝ, විතක්කෝ, සංකප්පෝ අප්පණා ව්‍යප්පණා චේතසෝ අභිනිරෝපණා වචීසංකාරෝ අයං භික්ඛවේ සම්මා සංකප්පෝ අරියෝ අනාසවෝ ලෝකුත්තරෝ මග්ගංගෝ.”

”සෝ මිච්ඡ සංකප්පස්ස පහාණාය වායමති, සම්මා සංකප්පස්ස උපසම්පදාය, ස්වාස්ස හෝතී, සම්මා වායාමෝ, සෝ සතෝ මිච්ඡ සංකප්පං පජහති. සතෝ මිච්ක්‍ා සංකප්පං පජහති. සතෝ සම්මා සංකප්පං උපසම්පජ්ජ විහරති. සාස්ස හෝති, සම්මා සති, ඉතිඉස්සිඉමේ තායෝ ධම්මා සම්මා සංකප්පං අනුපරිධාව්ති, අනුපරිවත්තන්ති, සෙය්‍යඨිදං, සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති”

මෙතැන විග‍්‍රහ කරන ලෝකෝත්තර සම්මා සංකප්පය පූර්ණ කරගත හැකි වන්නේ ”සං” දැක ගැනීමේ හැකියාව ඇති කරගත් කෙනෙකුට පමණි. සිතක කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා හා පාප විතර්ක මතුවන්නේ අතීතයේ එකතුකර, ගබඩා කරගත් ”සං” චිත්තසංථානයේ ගබඩාවී පවතින හෙයිනි. මේ ”සං” පහදා ඉවත්කර දමන්නට දරණ උත්සාහය සම්මා වායාමයයි. මේ ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය හේතුඵල ධර්මයට බහා ගළපා බලා දැක ගන්නට හැකි ශක්තිය සම්මා සතියයි. ”සං” පහදා, උපදවා, ඉවත්කර, අස්කර ගන්නට ඇප කැපවී ක‍්‍රියාකරන පුද්ගලයා ”උපසම්පදා” යන උසස් නාමයෙන් හැඳින්වූ පුද්ගලයායි. සම්මා දිට්ඨියේ, සම්මා දිට්ඨියට පත් නොවූ කෙනෙකු බුද්ධ භාෂිතයේ එන ”උපසම්පදා” යන උසස් ක‍්‍රියාව එනම් ”සං” උපදින තැන දැක, ”සං” පහදා දැන ”සං” ඉවත්කර, ඉන් මිදී නිදහස්වන්නට ඇප කැපවී ක‍්‍රියා කරන කෙනෙකුන් නොවේ. ලෝකෝත්තර සම්මා අංග අටම විග‍්‍රහ කර, විස්තර කිරීමේදී ”මිච්ඡ දිට්ඨි පහානාය – සම්මා දිට්ඨියා උපසම්පජ්ජති, මිච්ඡ වාචාය පහානාය සම්මා වාචාය උපසම්පදාය, මිච්ඡුා කම්මන්තස්ස පහානාය – සම්මා කම්මන්තස්ස උපසම්පදාය, මිච්ජා ආජීව පහානාය සම්මා ආජීව උපසම්පදාය” යනුවෙන් අවස්ථා පහකදීම ”සං” උපදින තැන දැක, ”සං” පහදා දැකගෙන ”සං” ඉවත්කර මිදී ”සං” වලින් තොර චිත්තසංථානයක් ඇති කර ගන්නට ඇප කැප වී ක‍්‍රියා කිරීම උපසම්පදා යනුවෙන් පෙන්වා දුන් ලෝකෝත්තර සම්මා අංගයන් සම්පූර්ණ කර ගැනීමයි. සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන සම්මා අංගයන් පහම පූරණය කරගන්නට සම්මා දිට්ඨිය පුබ්බංගම වෙයි. පෙර ගමන්කරු වෙයි. එනම් ”සං” උපදින තැන දැකීම අනිවාර්යය වෙයි. ”සං” දැකගත් පසුව ඉවත් කර අස්කර දැමිය යුතු ”සං” රාග, ද්වේෂ, මෝහ ගති පහදා ඉවත් කිරීමටද සම්මා වීර්යයක්, වායාමයක් උත්සාහයක් දැරිය යුතුය. ඒ සඳහා සත්‍යාවබෝධයක්ම තිබිය යුතුය. ඒ සම්මා සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමට ඇති සත්‍යාවබෝධයයි.

ලෝකෝත්තර සම්මා දිට්ඨිය, ලෝකෝත්තර සම්මා සංකප්පය, ලෝකෝත්තර සම්මා වාචා, ලෝකෝත්තර සම්මා කම්මන්තය හා ලෝකෝත්තර සම්මා ආජිවය යන අවස්ථා පහකදීම ”සං” ප‍්‍රහාණය කර ”සං” ඉවත් කර දමන්නට ක‍්‍රියා කිරීමේදී සම්මා දිට්ඨිය පුබ්බංගමය. එනම් ”සං” වලින් මිදී නිදහස් විය යුතු බව ප‍්‍රත්‍යක්ෂ කර දැකගත යුතුමය. ඉවත් කර, අස්කරගත යුතු කිළිිටි, කැත, කුණු, කෙළෙස් නිවැරදිවම තමා තුළම මුල්බැස ගෙන ඇති බව යථා පරිදි නොදුටු කෙනෙකුට අස්කර ඉවත්කරගත යුතු දේ කුමක්දැයි තේරුම් ගත නොහැකිය. එය නිවැරදිවම තේරුම් ගත් පසුව පමණක් එය ඉවත් කර, අස්කර දැමීමටද උත්සාහයක්, වීර්යයක් දැරිය හැකි වෙයි. අවසාන වශයෙන් ඒ කිළිිටි, කහට, කැත, කුණු කෙළෙස් චිත්තසංථානයෙන් ඉවත් කර දැමූ බව ප‍්‍රත්‍යක්ෂ කර දැන ගැනීම කළ හැක්කේද සම්මා සතියෙහි පිහිටා බැලීමෙනි.

මේ අනුව ලෞකික සම්මා දිට්ඨිය යනු මේ පැවැත්ම තුළම ඇති හොඳ, යහපත් නිවැරදි දැකීමකි. නමුත් ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු ඉවත් කර, අස්කර දැමිය යුතු රාග, ද්වේෂ, මෝහ ගති උපදින තැන දැක ගැනීමකි. ඒවායින් මිදී නිදහස් විය යුතු බව දැකීමකි. සම්මා සංකප්පය ලෞකික වශයෙන් හොඳ, නිවැරදි, යහපත් සංකල්පනා පැවැත්වීමයි. නමුත් ලෝකෝත්තර සම්මා සංකප්පය යනු කාම විතර්ක, ව්‍යාපාද, විහිංසා විතර්ක උපදින්නට හේතු වූ මූල් වූ නිදාන වූ ගති ලක්ෂණයන් දැක ඒවා සහමුළින්ම චිත්තසංථානයෙන් ඉවත් කර දැමීම සඳහා ක‍්‍රියා කිරීමයි. සම්මා වාචා යනු හොඳ, යහපත්, නිවැරදි වචන භාවිතා කිරීමයි. ලෝකෝත්තර සම්මා වාචා යනු අයහපත් වචන භාවිතා කිරීමට මුල් වූ හේතුව දැක ඊට මුල් වූ නිදානය දැක ඒ ගති ලක්ෂණයන් සිතින්ම ඉවත් කර චිත්ත පාරිශුද්ධිය ඇති කර ගැනීීමට ක‍්‍රියා කිරීමයි. සම්මා කම්මන්ත යනු යහපත් කර්මාන්ත, ක‍්‍රියාවන් කිරීමයි. ලෝකෝත්තර සම්මා කම්මන්ත යනු සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යන්නට උපකාර වන ”සං” උපදවන කර්ම බීජ උපදවන මුල් දැක ඒ මුල් ගළවා දමා නිර් උදා කර දැමීමයි. සම්මා ආජිව යනු යහපත්, හොඳ ජීවිතයක් පැවැත් වීමයි. ලෝකෝත්තර සම්මා ආජීව යනු ජරාවට පත්වන්නට, දිරායන්නට, ගෙවී යන්නට හේතුවන සියල්ලම අස්කර දමා ඉන් නිදහස් වීමයි. ආජීව යනු ජීවත් වීම අවසන් වීම යන්නයි. ජීවත් වීම යනු දිරාපත්වන, ජරාවට පත්වෙන, ගෙවී, විපරිණාමයට පත්වන වතක් පැවැත්වීමයි.

මහා චත්තාරික සූත‍්‍ර දේශණාවේදී මේ සියල්ලම විස්තර කර පෙන්වා දී, ඊළඟට මෙහි අනුපිළිවෙලද පෙන්වා දෙයි.

”තත‍්‍ර භික්ඛවේ, සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති, කථඤ්ච භික්ඛවේ,
සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති,
සම්මා දිට්ඨිස්ස භික්ඛවේ සම්මා සංකප්පෝ පහෝති,
සම්මා සංකප්පස්ස, සම්මා වාචා පහෝති,
සම්මා වාචස්ස සම්මා කම්මන්තෝ පහෝති,
සම්මා කම්මන්තස්ස සම්මා ආජිවෝ පහෝති,
සම්මා ආජිවස්ස සම්මා වායාමෝ පහෝති,
සම්මා වායාමස්ස, සම්මා සති පහෝති,
සම්මා සතිස්ස සම්මා සමාධි පහෝති,
සම්මා සමාධිස්ස සම්මා ඥාණං පහෝති,
සම්මා ඥාණස්ස සම්මා විමුක්ති පහෝති,
ඉති ඛෝ භික්ඛවේ අට්ඨංග සමන්නාගතෝ
සේඛෝ දසාංග සමන්නාගතෝ අරහා හෝති ”

මෙහි පෙන්වා දෙන පරිදි සම්මා දිට්ඨිය යන්න වැදගත්ම මූලිකම, ප‍්‍රධානතම අංගයයි. එනම් මෙතෙක් සංසාරයේ එකතු කරගත් තවදුරටත් එකතු කරන ”සං” පිළිබඳව යථාපරදි දැන සියලු දුකට හේතුව, මුල, නිදානය මේ ”සං” ගති බව දැක ඉන් මිදී නිදහස් විය යුතුය යන දෘෂ්ඨියට පත්වීමයි. එවන් ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත්වූ පුද්ගලයා සම්මා සතියෙහි පිහිටා, සම්මා වායාමයක් දරත්ම අෂ්ටාංගික මාර්ගයම සම්පූර්ණ වී, සේඛ (අරිය) තත්ත්වයටත්, සම්මා ඥාණ ”සං” වලින් මිදුණු ඥාණයන් ලැබගෙන සම්මා විමුක්තියට පත් වී, ප‍්‍රඥා විමුක්තියටත් පත්වීමෙන් අරහත් තත්ත්වයටම පත්වේ, යන්න මෙහි තේරුමයි. මේ අෂ්ටාංගික මාර්ගය අනුපූර්ව ප‍්‍රතිපදාවකි. එකක් මුල්කොට ගෙනම ඊළඟ අවස්ථාව සම්පූර්ණ වෙති යන්න අවධාරණය කර පෙන්වා දීමකි. ”පහෝති” යන පදය භාවිතා කළේ ඒ නිසයි. ”සං දැක” ”සං” වලින් මිදිය යුතු බව දැක ”සං” වලින් මිදී නිදහස් වන්නට අනුගමනය කළයුතු මඟ දැකීම සම්මා දිට්ඨියයි. සම්මා දිට්ඨියේ පිහිටීමත් සමඟ සම්මා වායාමය ද ඒ අනුව සම්මා සංකප්ප (සං වලින් මිදී නිදහස් විය යුතු බව දැකීම) සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන අවස්ථා වලින්ද මිදී නිදහස් වන්නටද ක‍්‍රියා කිරීම නිවන් මාර්ගයේ ගමන් කිරීමයි.

Share Button

මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

සමාජ දුක සංසාර දුක යනු කුමක්දැයි තේරුම් නොගෙන, තේරුම් ගන්නට අපොහොසත් වී, අනන්ත අප‍්‍රමාණ ආකාරයෙන් දුක් විඳීමන් අතරමං වූ ලෝක සත්ත්වයාට පරක් තෙරක් නෙපෙනෙන සංසාර දුක් සාගරයෙන් මිදී නිදහස් වන්නට මඟ පෙන්වාදීම කළ්‍යාණ මිත‍්‍රයෙකුගේ පරම අභිලාෂයයි. පරම උත්සාහයයි. මෙවන් දුකකින් මිදී නිදහස් වන්නට උපකාර කරගත හැකි අනුගමනය කළ හැකි ධර්ම මාර්ගයක්, ප‍්‍රතිපත්ති සමුදායක් තම තමන්ටම අනුගමනය කළ හැකි බව මිනිසුන්ට පෙන්වාදීම, පැහැදිළි කරදීම කළ්‍යාණ මිත‍්‍රයෙකුගේම ක‍්‍රියාවකි. කළ්‍යාණ මිත‍්‍රයෙකු සේ ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ලෝකයාට පෙන්වා දෙන දේශණාකර විග‍්‍රහකර දෙන නිවන් මාර්ගය නම් ”මජ්ඣිමා පටිපදා භගවතේන අභිසම්බුද්ධා” යනුවෙන් ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ පෙන්වා වදාළ නිවැරදි ප‍්‍රතිපත්ති මාර්ගයයි.

”මජ්ඣිමා” යන පද දෙකෙහි නිවැරදි ධර්ම අර්ථය, නිරුක්ති අර්ථය පළමු කොටම තේරුම් ගන්නට උත්සාහ කළ යුතුය, ”මා” යනු එක පදයකි. ”මජ්ක්‍ධි” යනු තවත් පදයකි. ”මා” යන පදය බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සංඥාවල නිතර නිතර භාවිතා කළ වැදගත්ම පදයකි.”මා” යන පදයේ නිවැරදි ධර්ම අර්ථය අද පවතින පාරිභාෂික පාලි භාෂාවේ ශබ්ද මාලාවෙන් ගිලිහී ගොස් ඇත. මජ්ඣිමාගම සූත‍්‍ර ධර්ම මාලාවේ පළමු වැනි සූත‍්‍රය වන මූලපරියාය සූත‍්‍රයේ තරම් වෙනත් කිසිම තැනක ත‍්‍රිපිටකයේ ”මා” විස්තර කර නැති බව පෙන්වා දිය හැකියි. ”මඤ්ඤති” හෙවත් මමත්වය ”මා මඤ්ඤති” යන තත්ත්වයට පත්කර ගෙන ”න” මඤ්ඤති තත්ත්වයටම නිදහස් කර ගැනීමේ ප‍්‍රතිපත්ති මාලාව විග‍්‍රහ කිරීමක් මූලපරියාය සූත‍්‍රයේදී පෙන්වා දෙයි. මෙහි ”මා” යන පදයෙන් අදහස් කළේ විග‍්‍රහ කළේ මමත්වයෙන්, මානයෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. අංගුත්තර නිකායේ ඉතාමත් වැදගත් සූත‍්‍ර ධර්මයක් සේ සළකන ”කාලාමා සූත‍්‍රයේත්” හැම තැනක බුදුපියාණන් යොදාගත් පදයක් වූයේ ”මා” යන පදයයි. ‘‘මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන’’ ආදී වශයෙන් කාලාමයන්ට දේශණාකර පෙන්වා වදාළේ ”මා” යන පදය නැවත නැවතත් අවධාරණයෙන්ම යොදා ගැනීමෙනි. කාලාමයෙනි යමක් අයහපත් අනරිය නොගැළපෙන දෙයක්යැයි තොපටම වැටහුනොත් එය සම්පූර්ණයෙන්ම අතහැර, ඉන් මිදී නිදහස් විය යුතුය. එය පරම්පරාවෙන් හෝ උගතුන් විසින් හෝ ගුරු පරපුරෙන් හෝ පිටක සම්ප‍්‍රදායෙන් හෝ ගෙන ආවාට පමණක් එය පිළිනොගත යුතුය. ඒ නිසා මෙතැනද ”මා” යන මාගධී ශබ්ද සංඥාවෙහි ධර්ම අර්ථය අතහැර මිදී නිදහස් විය යුතුය යන්නයි. ”ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති” යනුවෙන් නිතර නිතර දිනපතා ගායනා කරනු ලබන ගාථාවෙහිද ”මා” යන පදයෙන් අදහස් කරන්නේ බාල සමාගමෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. මේ ආකාරයෙන් ත‍්‍රිපිටක ධර්මයේ තවත් බොහෝ ස්ථානවලත් ”මා” යන පදය යොදාගෙන විස්තර කළේත් අර්ථ ගැන්වූයේත් අතහැර මිදී නිදහස් වීම ” යන්නයි.

”මජ්ඣිමා” ”සම්මා” යනුවෙන් බුද්ධ දේශණාවේ අෂ්ටාංගික මාර්ගයේ එන පදවැල් වලද ”මා” යන පදය යොදාගෙන ඇත්තේ ”මිදී නිදහස් වීම” යන අර්ථයෙන්මය. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන යමෙකු, මේ පදවල එන ධර්ම අර්ථයම නිවැරදිවම තේරුම් ගත යුතුය. ”මජ්ඣිමා” හා ”මජ්ක්‍ධි” යන පදවල ධර්ම අර්ථය තේරුම් ගන්නට උත්සාහ ගත යුතුය. මජ්ඣිමා යනු මදය, මත්වීම යන අර්ථය දෙන්නකි. මෙතැන මජ්ක්‍ධි යනු තමන්ම එකතුකර සාදා සකස් කරගත් මදය, මත යන තේරුම ඇතිව භාවිතා කළ පදයකි. ”සුරාමේරය මජ්ක්‍ධිපමා දට්ඨානා වේරමණී” යනුවෙන් පන්සිල් වල එන තැනද ”මජ්ක්‍ධි” යනු ”මදය”, මත් යන අර්ථය ඇතිවම යොදාගෙන ඇත.

”මජ්ඣිමා” පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති මාර්ගයෙහි අතහැර මිදී නිදහස් විය යුතු මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන මදයන් හතම ඇතුළත්ය. මේ මද හතම සංසාර ගමනට නියත වශයෙන්ම උපකාරවන, දුකට මුල්වන ගති ලක්ෂණයන්ය. අත්ථකිලමතානුයෝගය, කාමසුඛල්ලිකාණුයෝගය යන අන්ත දෙක අතර ඇති හැම මැදක්ම සෑදී, සකස් වී ඇත්තේ මේ මදයන්ගේ සංකලනයෙනි. පෘථග්ජන ලෝකයා නිරතුරුවම මේ මැද සුවසේ, සැප සේ, ප‍්‍රියමනාප සේ දකින නිසාම සාරවත් යැයි නිගමනය කරගෙනම ඒවාට බැඳී සංසාර ගමන යයි. මෙසේ තමන්ම එකතු කර ගත් දේ නිසා මදයෙන් මත් වූ පෘථග්ජන ලෝකයාට තමන් මත් වූ බවක් පවා තේරුම් ගත නොහැකිය. ඒ මත් වූ ස්වභාවය සැපයක් සේම, සුවයක් සේම දකින නිසා නැවත නැවතත් එවන් සැප හඹා ගොස් සංසාරයේ අතරමං වෙති. සංසාරයට බැඳෙති.

මේ අන්ත දෙකම අල්ලා නොගෙන ඒ අතර මැදද අල්ලා නොගෙන පූර්ණ වශයෙන්ම මදයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධය බව පෙන්වා වදාළ තවත් බොහෝ තැන් ත‍්‍රිපිටකයේ ඇත. භාහිය දාරුවිරිය සූත‍්‍රයේ එන,

”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස”

යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පැහැදිළිවම පෙන්වා දී ඇත. දුක් අවසන් කර නිවන් අවබෝධ කර ගැනීම නිදහස ලැබීම ඒ අන්තයේත් නැත. මේ අන්තයේත් නැත. මේ අන්ත දෙක අතර මැද කොතැනකවත් නැත. අන්ත දෙකෙන් මෙන්ම අන්ත දෙක අතර මැදින් පූර්ණ ලෙස මිදී නිදහස් වීම නිවන බව මෙතැනදී පැහැදිළිවම දේශණා කර වදාරා ඇත. ”මා” යන පදයේ තේරුම අතහැර මිදී නිදහස්වීම බව මීට පෙරදී පෙන්වා දී ඇත. ”මජ්ඣිමා” යනුවෙන් දේශණා කළ ප‍්‍රතිපදාව විස්තර කර දුන්නේද ”සම්මා අංග අටකින් ” මීදී නිදහස් වීම ලෙසයි. (සං+මා – සම්මා) ”සං” එකතු කරගත් ගති ලක්ෂණයයි. ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ ගති ලක්ෂණ වලින් මිදී ඒවා අත්හැර නිදහස් වීම (සං+මා) යන පදයෙන් විස්තර කර දුන් සේක. මෙතැනද අන්ත දෙකම තේරුම් ගත යුතුය. ලෝභ, අලෝභ අන්ත දෙකකි. ද්වේෂ, අද්වේෂ අන්ත දෙකකි. මෝහ, අමෝහ අන්ත දෙකකි. ද්වේෂය අත්හැර අද්වේෂය අත් නොහැරියේ නම් එතැනදී වන්නේද ලෝකය අල්ලා ගැනීමකි. මේ දෙකෙළවරම අතහැර අතර මැද තත්ත්වයන් සියල්ලමද අතහැරීම නිවන් අවබෝධ කර ගැනීමයි. ”සං+මා” මජ්ඣිමා පටිපදාවයි.

සංයුක්ත නිකායේ මහාවග්ග සංයුක්තයේ මග්ග සංයුක්තය, බොජ්ඣංග සංයුක්තය ආදී වශයෙන් ”සං” විග‍්‍රහ කර පෙන්වා වදාළේ මත් වීමෙන් මිදී ‘‘සං’’ වලින් මිදී නිදහස් වීමට අනුගමනය කළයුතු නිවැරදි මඟ පෙන්වා දීමයි. ”සං” යනු කුමක්ද? ”සං” වලින් මිදී නිදහස් වන්නේ කෙසේද? යන්න සංදේශණාවක් අසා නිවැරදිවම තේරුම්ගත් කෙනෙකුට පමණක් නිවන් මඟද විවෘත වෙනු ඇත. මැදට වී, මදයෙන් මත්වී, මදයම රස විඳිමින් සිටින තාක්කල් සංසාර ගමනක් යනු මිස නිවනක් නම් නැත.

මජ්ඣිමා සම්මා ආදී වචනවලින් බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මාර්ගය නිවැරදිවම තේරුම් ගන්නට නම් මජ්ඣිමාගම සූත‍්‍ර ධර්මයක් වන ”මහාචත්තාරිස” සූත‍්‍රය කියවා එහි එන ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. සම්මා අංග අටක් වන අෂ්ටාංගික මාර්ගයේද තිපරිවට්ටයක් ඇත. මේ තිපරිවට්ටයම නිවැරදිව තේරුම් ගැනීම නිවන් අවබෝධය ලැබීමයි. ඒ තිපරිවට්ටය නම්,

1. ම්ච්ඡදිට්ඨිං මිච්ඡදිට්ඨිති පජානාති
2. සම්මා දිට්ඨිං සම්මා දිට්ඨිති පජානාති
3. සම්මා දිට්ඨිම්පහං භික්ඛවේ ද්වයං වදාමි

i. අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවිපක්කා
ii. අත්ථි භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා

මිත්‍යා දෘෂ්ඨිය, මිත්‍යා දිෂ්ඨිය ලෙසින් පිරිසිඳ දැන ගත යුතුය. සම්මා දෘෂ්ඨියෙහි කොටස් දෙකම එනම් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවැරදිවම තෝරා බේරාගෙන පිරිසිඳ දැනගත යුතුයි.

උතුම් බුද්ධ ධර්මයේ විග‍්‍රහ කර පෙන්වා වදාළ පටිච්චසමුප්පාද ධර්මයේ එන තිපරිවට්ටය තේරුම් ගැනීමට නොහැකි ලෙසම අද ධර්මය විකෘති වී ගොස් ඇති නිසා ”සං” උපදින සමුදය ධර්මය පිළිබඳව හෝ සංදේශණාව හෝ අද ශ‍්‍රවණය කරන්නට නොලැබෙන හෙයින් ලෞකික හා ලෝකෝත්තර සම්මා අංගවල ඇති වෙනස්කම්ද
මිනිසෙකුට තේරුම් ගැනීම කිසිසේත්ම පහසු නොවේ.

”ද්වතාවය” නම් උතුම් බුද්ධ ධර්මයද අද සහමුළින්ම යටපත්ව අභාවයට ගොස් ඇත. ද්වතාවය ධර්මය යැයි බුද්ධ ධර්මයේ දේශණා කර පෙන්වා වදාළ ධර්මයක් ඇති බව හෝ අසා ඇති දන්නා අයද අද ඉතාම විරළය. ද්වතාවය, දෙපැත්ත නොදැන විපස්සනා, අනුපස්සනා කරනු නොහැකිය. විපස්සනා, අනුපස්සනා නොකර සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැකගනු නොහැකිය.

අද ව්‍යවහාරික අර්ථයෙන් සම්මා දිට්ඨිය යනුවෙන් හඳුන්වා දෙන්නේ හොඳ යහපත් නිවැරදි දැක්මකි. එය ආගම් සංකල්පයකි. ආගම් සංකල්පයකින් දකින්නේ ලෞකිකත්වය තුළින්ම දැකගත් හොඳ යහපත් නිවැරදි දෙයක් මිස ඒ ලෞකිකත්වය අභිබවා ගිය ලෝකෝත්තර නිවන ඉලක්ක කරගත් නිවන සඳහා මඟ පෙන්වා දෙන අතහැර මිදී නිදහස් වීමේ සම්මා මාර්ගය පෙන්වාදීම නොවේ. ඒ නිවන් මඟ නිවැරදිවම ඇත්තේ බුද්ධ ධර්මයෙහිම පමණකි. ආගම්වල එය දක්නට නැත.

උතුම් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන අනුගමනය කර අත්විඳගත යුතු අර්ථාන්විත ප‍්‍රතිපත්ති මාර්ගයකි. මිනිසෙකුටම තේරුම් ගතහැකි සරළ, සුගම, පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අද සංකීර්ණ වී තේරුම් ගත නොහැකි වී අනුගමනය කර අත්විඳ ගන්නට නොහැකි තත්ත්වයටම පත්වීම නිවන් මඟ වැසී යාමයි. නිවැරදි බුද්ධ ධර්මය අසාදැන, අනුගමනය කළොත් ප‍්‍රතිපත්ති පූරණය කිරීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික, අභ්‍යන්තර නිවීමක්, සුවයක්, නිදහස් වීමක්, සංසිඳීමක් තම තමන්ටම අත්විඳගත හැකිවෙයි. ඒ ධර්ම රසය අත්විඳ ගැනීමයි.

බුද්ධ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති පිරීමත් සමඟම ලබන නිරාමිස, අනාසව සුවය අත්විඳගත් කෙනෙකුට ධර්ම මාර්ගය අනුගමනය කිරීම තරම් සුවයක්, සැපයක් වෙනත් කිසිම ලෞකික දෙයක් උපාදානය කරගැනීමෙන් ලබා ගත නොහැකි බව ප‍්‍රත්‍යක්ෂ කර දැනගනී. මෙය යථාභූත ඥාණ දර්ශනය ලැබීමයි.

”සම්මා දිට්ඨිය”, දැකීම යනු ධම්මෝ සංදිට්ඨිකෝ වීමයි. ඒ නිසා සම්මා දිට්ඨියම පුබ්බංගමය, මූලිකය, පළමු කොටම දැකගත යුතු දේය. දිටිඨිය යනු දැනීම මුල්කර ගත් දැකීමයි. මිච්ඡ දිට්ඨිය යනු අනර්ථකර, අහිතකර, කුණු එකතු කරන ක‍්‍රියාවට කැමැත්තෙන්ම බැඳෙන දැකීමයි. ලෞකික සම්මා දිට්ඨිය යනු හිතකර, යහපත් හොඳ දේ එකතු කරන ක‍්‍රියාවලට කැමැත්තෙන්ම බැඳීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු එකතු කරගත් හොඳ, නරක, හිතකර, අහිතකර සියල්ලම කැමැති සේ පැවැත්විය නොහැකි බවත්, ඒවා ලෞකිකත්වය තුළම ඇති මායාවන්, මිත්‍යාවන් බවත් තේරුම් ගෙන මේ දෙකෙන්ම මිදී නිදහස් වීමයි. අෂ්ටාංගික මාර්ගයේ එන මේ තිපරිවට්ටයම පිරිසිඳ දැනගත් කෙනෙකුට මිස වෙනත් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍යයයන් අවබෝධ වන්නේද නැත.

බුද්ධ ධර්මයේ ”සුනාථ” යනු අසාගෙන සිට ශබ්ද රසය විඳීම පමණක්ම නොවේ. මනස යොමුකර සාවධානව අසාගෙන, ශබ්ද රසය මෙන්ම අර්ථ රසයත්, ධර්ම රසයත් විඳීමයි. ඊළඟ පියවර වූ ”ධාරේථ” යන තත්ත්වයට පත්වන්නට නම් මෙහි ධර්ම රසයම මෙනෙහි කළ යුතුමය. ධර්මය අනුගමනය කර අත්විඳගන්නට හැකි වන්නේ මෙය නිවැරදිවම දැනගෙන ක‍්‍රියා කළහොත් පමණි.

අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන අසා දැන, බුද්ධ ධර්මය තේරුම් ගෙන එය අනුගමනය කරන්නට වීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික සුවයක්, නිවීමක්, නිදහසක්, සංසිඳීමක් තමා තුළින්ම තමාටම අත්විඳගන්නට හැකියාව ලැබෙනු ඇත. මෙය ඉවසීමෙන් අත්හදා බලා ඔබම මේ සුවය අත් විඳගන්න.

අද බුද්ධාගමේ උගත් ගිහි පැවිදි දෙපක්ෂයම බහුලවම විග‍්‍රහ කරණු ලබන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා එන සම්මා අංග අටම නිවන් මඟ නොවන අතර එය යහපත් නිවැරදි සංසාර පැවැත්මක් දිගින් දිගටම පවත්වා ගෙන සංසාර ගමන යාමට නම් උපකාර වන බව හැම බෞද්ධයෙකුම නිවැරදිවම තේරුම් ගත යුතුය. ලෞකික සම්මා දිට්ඨිය වැදගත් නැතැයි කිසිසේත්ම මෙයින් අදහස් නොකෙරේ. ලෞකික සම්මා දිටිඨියට පැමිණ එහි අතරමං වූවොත් හෝ ඉන් ඔබ්බට ගොස් ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පටන් ඇති සම්මා අංගයන් සම්පූර්ණ කර නොගත්තේ නම් හෝ නිවනක් නැති බව නම් අවධාරණයෙන්ම නැවතත් ප‍්‍රකාශ කරමි.

Share Button