මිනිසාගේ සිත පාලනය කර ගන්නට තාක්ෂණය, නවීන විද්‍යාව හෝ වෙනත් කිසිම නවීන උපකරණයක්, මෙවලමක් කිසිසේත්ම යොදාගත නොහැකියි. මිනිසාගේ සිත පාලනය කර ගතහැකි එකම ක්‍රමය සිත සුද්ධ පවිත්‍ර කරගැනීම පමණි. සිත කෙළෙස් වලින් කිළිටු වූ විට, අඳුරු වූ විට, දුප්පඤ්ඤස්ස වූ විට, අඥාණ වූ විට සිත පාලනය කර ගැනීමට නොහැකි වීම නිසා සිත විසිරේ. කම්පනයට, භයට, වේදනාවට, චලනයට, විස්සෝපයට පත්වේ. මානසික රෝග මතුවේ. සිතේ ඇති කෙළෙස් ගති අස්කර, ඉවත් කර සිත පිරිසිදු කර ගැනීමට නම් මනසේ හැකියාව මනීන්ද්‍රිය, යෝනිසෝමනිසීකරණ ශක්තිය භාවිතා කළ යුතු වේ. සිත ශික්ෂණය කර හිත පාලනය කර හිතට වහල් නොවී කටයුතු කළ හැක්කේ මනීන්ද්රියට පමණි. හිතට වහල් වීමෙන් මනස අවුල් වේ.
මනීන්ද්‍රිය භාවිතා කිරීමට පුරුදු වීම භාවනා කිරීම යනුවෙන් හඳුන්වනු ලබයි. දැන් මනීන්ද්‍රිය භාවිතා කරන කෙනෙක් හිතට වහල් වීමෙන් පි‍්‍රය දේ හඹායෑම නතර කරයි. අප්‍රිය දේවල් සමඟින් නොගැටේ. ඒ නිසා මෝහයෙන් මුළා වීමක් නොකරයි. උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක්රියාකරන්නටත් පුරුදු වේ. භාවනා කිරීමට පුරුදු වීම යන ක්‍රියාකාරකමෙහි හරය ඉවසා විමසා හේතු ඵල දහමට ගළපා බලා විනයට සසඳා බලා උපේක්ඛා සිතින් කි‍්‍රයා කිරීමට පුරද්දක් පුහුණුවක් ලබා ගැනීම වේ.
භාවනාවෙන් නැගිට සාමාන්‍ය සමාජ පරිසරයට එදිනෙදා කටයුතු වලට අනුගත වීමත් සමඟම තමන්ගේ සංසාර ගති පුරුදු ඉස්මතු වී නැවතත් පි්රයදේට ඇලීමටත්, අප්‍රිය දේ සමඟ ගැටීමටත් සිදුවන්නේ මනීන්ද්‍රිය භාවිතා කිරීමට පුරුද්දක් පුහුණුවක් ඇති කර නොගෙන හිතටම වහල් වී තවමත් ක්‍රියා කිරීම නිසයි.
මනීන්ද්‍රිය භාවිතා කිරීමට පුරුදු වීම පුහුණු වීම යනු හිතට අරමුණු වන සියලුම අරමුණු මනසින් තෝරා බේරා, මැන බලා භාවිතා කළ යුතු අරමුණු භාවිතා කිරීමටත් භාවිතා නොකළ යුතු අරමුණු භාවිතා නොකර බැහැර කිරීමටත් පුරුදු පුහුණු වීමයි.
භාවිතා කළ යුතු අරමුණු කරණීය ධර්ම ලෙසත් භාවිතා නොකළ යුතු දේ අකරණීය ධර්ම ලෙසත් බුද්ධ ධර්මයේ විග්රහ වේ. මේ දෙපැත්තට බෙදීම ද්වතා අනුස්සතිය ලෙසින් බුද්ධ භාෂිතයේදී හඳුන්වා දී ඇත.
චිත්තසංථානය කිළිටි වන කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර භාවිතා නොකළ යුතු දේ ලෙසත් තම චිත්තසංථානය පිරිසිදු වන නෙක්ඛම්ම සවිතක්ක සවිචාර, මෙත් සිත වඩවන සවිතක්ක සවිචාර හා අවිහිංසා සවිතක්ක සවිචාර මෙන්ම වීතරාගී, වීතදේෂී, වීතමෝහි සවිතක්ක සවිචාර භාවිතා කිරීමට කළ යුතු දේ කරණීය ධර්ම ලෙසත් පිරිසිදුවම දැක ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි.
ඇස, කන, නාසය, දිව, කය හා මන පිනවා තාවකාලිකව ලබන ආමිස වින්දනයක් සුවයක් ලැබීමට පෘථග්ජන පුද්ගලයින් ලෙස මෙතෙක් දීර්ඝ කාලයක් සංසාරයේ පුරුදු වී පුහුණු වී කටයුතු කළත් දැන් ඒ ගති පුරුද්දෙන් ඉවත් වී නිරාමිස සුවයක්, නිරාමිස ප්‍රීතියක් ලැබිය හැකි ක්‍රියාකාරකම් වලම යෙදෙන්නටත් පුරුදු පුහුණු විය යුතුයි.
හිතට අරමුණු වන සංඥාවන් පිරිසිදුව දැක ගෙන වෙන්කර තෝරා බේරා ගැනීමට යම් කිසි පුරුදු වීමක් පුහුණු වීමක් නම් අවශ්‍යම වේ. මේ පුරුදුවීම පුහුණුවීම මනීන්ද්‍රිය භාවිතා කර යෝනිසෝමනිසිකාරයෙන් කටයුතු කිරීම යනුවෙන් බුද්ධ භාෂිතයේ විග්රහ කරන ලද ක්‍රියාවලියයි. මනස භාවිතා කර ඉවසා විමසා පරික්ෂා කර නිරීක්ෂනය කර නිගමනයටකට බැස ගැනීම යෝනිසෝමනසිකාරයෙන් ක්රියාකරන්නෙකුගේ නියත හැසිරීම් රටාව වේ. මෙතනදී අයෝනිසෝමනසිකාරයෙන් ක්‍රියා කිරිම නවතී. හිතට වහල් වී, හැඟීම් වලට ඉඩ දී කටයුතු කිරීමෙන් වෙන් වී මනස භාවිතා කිරීමටත්, කරණීය ධර්ම හා අකරණීය ධර්ම වෙන් කොට හඳුනා ගැනීමටත් පුරුදු වේ. කරණීය ධර්ම භාවිතා කළ යුතුයි. අකරණීය ධර්මයන් භාවිතයෙන් බැහැර කළ යුතුයි. ”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යනු මේ දෙපැත්තමයි. මේ සඳහන් කළ ක්‍රියාකාරකම් දෙකමත් කළ යුතුම වේ. එකක් පමණක් ක්‍රියාවට නංවා අනෙක් ක්‍රියාකාරකම නොකර සිටීම නිසා ”සචිත්ත පරියෝ දපනං”යන තත්ත්වයට හිත පත්වීම සිදුනොවේ. ඒ් නිසාම මේ ක්‍රමය භාවිතයට ගැනීම ආනාපානසති භාවනාව යනුවෙන් බුද්ධ දේශණාවේ නම් කර ඇත. ”ආන” යනු ආශ්‍රය කළ යුතු භාවිතා කළ යුතු කරණීය ධර්ම ආශ්‍රයට භාවිතයට ගැනීම, නිතර නිතර භාවිතා කිරීමයි. ”පාන” යනු ආශ්රයෙන් බැහැර කළ යුතු ප්රහාණය කර අස්කර ආශ්රයෙන් ඉවත් කළ යුතු දේ බැහැර කරන්නට පුරුදු වීමයි. මේ සඳහා පහසුම හා සරළම භාවනා ක්‍රමය ”චතුරා රක්ඛා” නැමති සතර කමටහන් වැඞීමයි.
චතුරා රක්ඛා – සතර කමටහන්
”බුද්ධානුස්සති මෙත්තාච – අසුභං, මරණස්සති, ඉති ඉමා චතුරා රක්ඛා භික්ඛු භාවෙය්ය සීලවා” යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ සතර කමටහන් වන්නේ,
1. අසුභානුස්සතිය
2. මෙත්තානුස්සතිය
3. මරණානුස්සතිය හා
4. බුද්ධානුස්සතිය වැඞීමයි.
දස අනුස්සති අතරින් ඉතාමත් වැදගත් මේ අනුස්සති සතරම එකටම යුගනද්ධ ලෙසින් භාවිතා කරන්නට පුරුදු වීම මගින් සතර සතිපට්ඨානයමත් සම්පූර්ණ වේ. සමථ, විපස්සනා දෙකමත් සම්පූර්ණ වේ. චේතෝ විමුක්තිය හා ප්‍රඥා විමුක්තිය යන උභතෝ භාග විමුක්තියමත් පරිපූර්ණ වේ.
මේ චතුරා රක්ඛා නැමති සතර කමටහන් පූර්ව කෘත්‍යයක් සේ එහෙමත් නැතිනම් භාවනා කිරීමට පෙර කරගත යුතු ආරක්ෂාවක් ලෙසින් අද වන විට වරදවා තේරුම් ගෙන පදපරම ලෙසින් භාවිතා කරන බවද පැහැදිළි කර දිය යුතුයි. මේ සතර කමටහන් යන හොඳින් කට පාඩම් කර උදේ, සවස කියවමින් හෝ සජ්ඣායනා කිරීමට හෝ අනු දැන වදාළ දෙයක් නම් නොවේ. මේ සතර කමටහන් වලින් පෙන්වා දුන්නේ ප්රායෝගිකවම දවසේ නිදා ගන්නා වේලාව හැර අනෙක් හැම අවස්ථාවකදීම භාවිතා කළ යුතු ආනපාන සති භාවනාවකි.
මේ සතර කමටහන් භාවිතා කිරීම යනු ආරක්ෂක ආයුධ හතරක් භාවිතයට ගැනීමකි. මේ ආයුධ හතරම දැන නිසි කලට වේලාවට නිසි ආයුධයම තෝරාගෙන භාවිතා කරමින් සිතෙහි මතු වන කෙළෙස් ගති කපා දමන්නටම භාවිතා කරන්නට පුරුදු වීම පුහුණුවීම මන් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වන්නේය.
මෙම සතර කමටහන් පිළිබඳව පළමු කොටම යථාපරිදි මනා අවබෝධයක් ලබා ගෙන අරිය මාර්ගය සම්පුර්ණ කරන්නකුට සීල, සමාධි, පඤ්ඤා යන ත්‍රිවිධ ශික්ඛාවම සම්පූර්ණ වී පරතෝඝෝෂක ප්‍රත්‍ය හා සම්මා දිට්ඨියටද පත්වීමෙන් මාර්ග ඵල ලබා ගන්නටත් මේ කමටහන් හොඳටම ප්‍රමාණවත් වේ.
රාගක්ඛයෝ නිබ්බානං, ද්වේෂක්ඛයෝ නිබ්බානං, මෝහක්ඛයෝ නිබ්බානං යනුවෙන් බුද්ධ දේශණාවෙහි සඳහන් වන පරිදි රාගය, ද්වේශය හා මෝහය සහ මුළින්ම උදුරා දමා සිත නිදහස් කර ගැනීම සඳහා මේ සතර කමටහන් තරම් උපකාර වන වෙනත් දෙයක් නැත්තේය. පුද්ගලයා, සත්ත්වයා සංසාර ගැටළුවට බැඳ තබන බැමි තුනම කපා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි හා පහසුම ප්‍රතිපදාව මේ සතර කමටහන් භාවිතා කිරීමය.
මම නිදුක් වෙම්වා, මම නිරෝගී වෙම්වා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා යනාදී වශයෙන් සම්මතයෙන් තමාටම මෙත් වැඞීමට කියවන පාඨයන් කියවීම මෙත්තානුස්සතිය වැඞීමක් නම් නොවේ.
”ඉතිපි සෝ භගවා අරහං අරහතෝ සම්මා සම්බුද්ධස්ස” ආදී වශයෙන් බුදුගුණ ගායනා කිරීමද බුද්ධානුස්සතිය ප්‍රගුණ කිරීමක් නොවේ.
”ජීවිතං අනියතං මරණං නියතං” ආදී වශයෙන් මරණය සිහිපත් කරන පදවැල් ගායනා කිරීම ද මරණානුස්සතිය වැඞීමද නොවේ.
පිළිකුල් භාවනාවක් කිරීම අසුභානුස්සතිය භාවනා කිරීමක් නොවේ. මේ අනුව නිවන්මඟ සම්පූර්ණ වීමට නම් මේ සතර කමටහන් පිලිබඳව යථාවබෝධයක් ලබා ගෙන එයින් කරගත යුතු කරණීය ධර්මය හා එමගින් අස්කර ගතයුතු අකරණීය ධර්මයන් නිවැරදිවම අවබෝධයෙන් යුතුවම භාවිතා කිරීමට පුරුදු විය යුතුය.
ධර්මාවබෝධයක් නැති සම්මතයෙහිම පිහිටා ක්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු මෙත්තානුස්සතිය වැඞීම, අසුභානුස්සතිය වැඞීම, මරණානුස්සතිය වැඞීම හා බුද්ධානුස්සතිය වැඞීම යනුවෙන් කරනු ලබන මෙනෙහි කිරීම හෝ ගායනා කිරීමද හරයක් නැති දෙයක් පමණි.
සතර කමහන් භාවිතය පිළිබඳව පළමුකොටම පැහැදිලි ධර්මාවබෝධයක් ලබා ගත යුතුයි. සංසාර ගැටළුවට තමන්ම බැඳ තබන බැමි දැක,”සං දැක” මෙවන් බැමි තම තමන්ගේම චිත්තසන්ථානයේම දෛනිකව සකස් වන ආකාරයද දැක ගන්නට තරම් ධර්මාවබෝධයක් පළමුවෙන්ම ලබා ගත යුතුයි. මෙය සුතමයේ ඥාණයයි.
පංචස්කන්ධයන්ම උපාදානය කරගන්නා ආකාරයත් පංචස්කන්ධයන්ම උපාදානය කරගන්නට හේතුව වන සමුදය සිතෙහි බිහිවන ආකාරයත් යළි යළිත් ඉපදී ඉපදී මැරි මැරී මේ සංසාර ගමන දිගටම පවත්වන්නට හේතුවත් (පුනබ්භවෝති) දැක ගත්් විට ඔහු ධර්මාවබෝධයක් ලැබූ සතර කමටහන් භාවිතා කිරීමට සුදුසු වූ කෙනෙක් බවට ද පත්වෙයි.
මේ සංසාර රිය ගමන උත්සාහයක් නැතිවම අනායාසයෙන්ම, නොනවත්වාම, අඛණ්ඩවම ඉදිරියට ගලා යන්නට හේතු භූත වූ කාරණය චිත්තසංථානය කෙළෙස් වලින් පිරී කිළිටි වී පැවතීමයි. සංසාර රිය ගමන දිගින් දිගටම ඉදිරියටම පවත්වා ගෙන යන්නට නම් විශේෂ ඥාණයක් ධර්මාවබෝධයක් හෝ අධ්‍යාපනයක් පර්යේෂණයක් වැනි දෙයක් හෝ කළ යුතු නොවේ. විඤ්ඤාණය නිරන්තරයෙන්ම තමන්ට අවශ්‍ය ආහාර සොයා, සපයා ගන්නටත් මතු පැවැත්ම සහතික කරගන්නටත් හැකි හැම උත්සාහයක්ම දරනු ඇත. සත්ත්වයා මුළාවේ දමා සත්‍ය වසන්කර විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම සංවට්ටය සකස් කර ගැනීම සඳහාම නිරන්තරයෙන්ම සිත ක්‍රියා කරනු ඇත.
බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ චතුරාරක්ඛා යනු ආරක්ෂක ආයුධ හතරකිි. රාග, ද්වේෂ, මෝහ නැමති කෙළෙස් සතුරන් සිඳ දමන ආරක්ෂක ආයුධ හතරකි. සාමාන්‍ය පෘථග්ජන පුද්ගලයෙකු රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් ක්‍රියාකරන විට මේ ආයුධ හතර මොට්ටවන නිසා කෙළෙස් සතුරන් කපා ඉවත් කරන්නට තරම් ආයුධ මුවහත් නොවන නිසා මෝහයෙන් ක්‍රියාකරන්නෙකු බවටම පත්වෙයි. මෝහය යනු මොට්ට කමයි. මෝහයෙන් මොට්ට වන්නේ තමන්ගේම මනස මුවහකර ගැනීමෙනි.
මෙත්තානුස්සතිය ප්‍රගුණ කර ගැනීම
මෙත්තානුස්සතිය වැඞීම යනු මෙත් වැඞීමයි. පරම මෙත්තාවම ප්‍රගුණ කිරීමයි. අරිය මෙත් වැඞීම යනුද මෙයටම නමකි. සමස්ත ලෝක සත්ත්වයා කෙරෙහිම එක සමාන වූ මෙත් සිතක් අප්‍රමාණ වූ මෙත් සිතක් තමා තුළ පවත්වා ගැනීම මෙත්තානුස්සතිය වැඞීම යන්නෙහි නියත පරම අර්ථයයි. මෙත් සිතක් මතු වූ විට පවතින විට තමන්ගේ සිතෙහි, ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව වැනි කිළිටි ගති සියල්ලම මෙත් සිත මඟින් යටපත්ව යනු ඇත. මේ කිළිටි ගති, නරක ගති යටපත්ව නොගියේ නම් නැවත නැවතත් වෛරී ගතියම මතු වන්නේ නම් තමන් මෙත් සිතක් භාවිතා කරන්නට තවමත් පුරුදු පුහුණු වී නැති බවත් වටහා ගත යුතුයි.
අද බෞද්ධ ලෝකයා මෙත්තානුස්සතිය වඩනවා යනුවෙන් කරනු ලබන්නේ, ”මම නිදුක් වෙම්මා, මම නීරෝගි වෙම්මා, මම සුවපත් වෙම්වා, මම දුකින් මිදෙම්වා, මම නිවන් දකිම්වා” මගේ අම්මා, තාත්තා, මාගේ ඥාතීන්, මගේ මිතුරන් ආදීන් සිහිපත් කරමින් කරනු ලබන ”මට, මම, මගේ ” වශයෙන් ආත්මීය වශයෙන් වූ මෙත් භාවනාවකි. තමන් තමන්ටම කරගන්නා මෙම ආත්මීය භාවනාව භාවිතයට ගෙන ප්‍රගුණ කර ගැනීමෙන් මෙත්තානුස්සතිය වැඞීමෙන් ලබා ගත හැකි ලබා ගත යුතු නිවැරදි අරමුණු හා ප්‍රතිඵල කොතරම් දුරට ඉටුවන්නේද යන්න අවංකවම සිතා බැලිය යුතුයි.
තමන්ගේ සිතෙහි ගබඩා වී, මුල් බැස ගෙන පවතින ද්වේෂය, වෛරය වැනි කෙළෙස් ගති ඉවත් වීමක් නොවන්නේ නම් හෝ සමස්ත ලෝක සත්ත්වයා වෙතම සම මෙත පැතිර වීමක් නොවන්නේ නම් හෝ මේ වැරදි පාඨයන් භාවනාවක් ලෙසින් භාවිතා කිරීමෙන් පරමාර්ථය ඉටු නොවන බවද පැහැදිළිවම දැක ගත යුතුය. තමන් තමන්ටම මෙසේ මෙත් වැඞීම කර ගන්නේ ”මම” යන ආත්ම දෘෂ්ඨියෙනි. ”මම” යැයි දකින්නේ තාවකාලිකව මෙසේ අටවා ගත් මේ ශරීර කූුඩුවයි. මේ ශරීර කූඩුවට කොපමණ මෙත් වැඞීම කළත් මෙහි වයසට යාම, මරණයට පත්වී විනාශවී යාම, ලෙඩ දුකට පත්වීම හා දිරාගොස් ජරාවට පත්වීම නැවැත්විය නොහැකිය. ඒ බව මනා ලෙසින් අවබෝධ කරගෙන මෙත්තානුස්සතිය වැඞීම යනුවෙන් පෙන්වා දුන් අරිය මෙත් භාවනාවම භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. පරම මෛත්‍රී භාවනාව කළ යුත්තේ, ඒ පිළිබඳව ලබා ගත් යථා අවබෝධයක් ඇතිවමය. මමත්වයට, ආත්ම සංකල්පයන්ට, ලෞකිකත්වයට බැදෙන භාවනාවකින් සිතෙහි මුල් බැස ගෙන පවතින, ද්වේෂ ආදී කෙළෙස් ගති, ප්රහාණය කර නිදහස් විය නොහැකිය.
මේ සඳහා පරම මෛත්‍රියම සිත තුළ වර්ධනය වන, සිතෙහි පවතින කෙළෙස් ගති ප්රහාණය කර දමන්නටද සමත්වන,අප්‍රමාණ චේතෝවිමුක්තිය ලබන, මෛත්‍රී කර්මස්ථානයක්ම භාවනා කරන්නට,භාවිතයට ගන්නට පුරුදු විය යුතුය . පරම මෛත්‍රිය වැඩෙන භාවනා කර්මස්ථාන රාශියක් ඇති අතර, ඉන් පහසු එකක් මෙහි සටහන් කර තබමි.
මමද, සියලු ලෝක සියළු සත්ත්වයෝ
සෝවාන් ඵලයෙන් නිදුක් වෙත්වා
සකෘදාගාමි ඵලයෙන් නිරෝගි වෙත්වා
අනාගාමි ඵලයෙන් සුවපත් වෙත්වා
අරහත් ඵලයෙන් දුකින් මිදෙත්වා
නිවන් සුවයෙන් සුවපත් වෙත්වා ///
මම, මාගේ, මගේ ආත්මය යන පටුවූ සංකල්පයන්ගෙන් මිදිි සමස්ථ ලෝක සත්ත්වයා කෙරෙහිම සමසේ පරම මෛත්‍රිය පතුරවන්නට තම සිත සකස් කර ගැනීම, ආර්යය මෛත්‍රිය පුරුදු කර ගැනීමයි. ද්වේෂය, වෛරය, ක්‍රෝධය තම සිතින් සහමුළුන්ම ඉවත්වීමටද මෙය උපකාර වෙයි.
මේ ආකාරයට තම සිත තුලම මෙත් සිතක් ඇති කර ගන්නටත්, සිතේ පැවති වෛරී ගති සහමුළුන්ම ඉවත් කර ගන්නටත් උපකාර වන මෛත්‍රී භාවනාවක් පුරුදු කර පුහුණු කර ගෙන, අතවශ්‍ය අවස්ථාවකදී එය භාවිතයට ගැනීම පලමුවන ආයුධය සකස් කර ගැනීමයි. මෙය කෙළෙස් කපන්නට ආයුධයක් පණ පොවා, පණතියා ගැනීමයි. අවශ්‍ය වන ඕනෑම අවස්ථාවක භාවිතයට ගැනීමට සුදුසු වන සේ මෙත්තානුස්සතිය නැමති ආයුධය මුවහත් කර තබාගැනීම පළමු වන ආයුධයයි.
අසුභානුස්සතිය ප්‍රගුණ කර ගැනීම
පෘතග්ජන ලෝකයාගේ නියත පුරුද්ද වන්නේ ආස්වාදයක් ලබන සුබ දේවල් වලට, ඇලෙන, බැඳෙන, පි‍්‍රය මධුර දේ හඹා යන ගති පුරුද්දයි. ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් පිනවීමට, හැම පෘතග්ජන පුද්ගලයෙකුම දැඩි ආශාවෙන් ක්‍රියා කරයි. ඉන්ද්‍රියන්ට අරමුණ වන රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව පහස, ආදී දේ උපාදනය කර ගැනීමෙන් පෘතග්ජන ලෝකයා නිරතුරුවම සතුටට පත්වෙති. අභිනන්දනයට පත්වෙති. එහි ආදීනව- ආනිසංස දකින්නට නොහැකි තාක් කල්, මෙසේ ප්‍රියදේ උපාදානය කර ගැනීම සුවයක්, සතුටක් ලෙසින්ම සිතා, කටයුතු කරති. ඇස, කණ,නාසය, දිව, කය, ආදී ඉන්ද්රියයන් පිනවනන්නට ක්‍රියාකරන හැම විටකම, පංචස්කන්ධයම උපාදානය කරගන්නටමත් පුද්ගලයා ක්‍රියාකරයි. මේ ආකාරයට ඉන්ද්රියයන් පිනවීමේ හා ආස්වාදයක් ලැබීමේ අවශ්‍යතාවය ඇත්තේ, විඤ්ඤාණයටයි. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා තම ආහාර සපයා ගන්නේ, ආස්වාදයන් විඳ වීමෙන් ඉන්ද්රියයන් පිනවීමෙනි. සංසාර ගැටළුවට සංසාර දුකට මුල්වන පළමුවන හේතුව වන්නේ, මේ ආකාරයට ඉන්ද්රියයන් පිනවීමට පංචස්කන්ධයම උපාදානය කර ගැනීමයි.
මෙහොතකට ඇස, කණ, ආදී ඉන්ද්රියයන් පිනවා ලබන සුවය ආමිස සුවයකි. ආමිස සුවය යනු පසුවට අනිසි ප්‍රතිවිපාක ලබා දෙන ක්රියාවන්ය. හිතට වහල් වී, හැඟීමට වහල් වී කරනු ලබන මෙවන් ක්‍රියාකාරකම් පසුව තමන්ටම බරක් වීම, බයට හේතුවක් වීම, බැම්මකට බැඳීම යන අනිසි ප්‍රතිවිපාක, දුක් ලෙසින් තමන්ටම මතු උරුම වෙනු නියතය. ”අසුබ” යන පදයේ විරුද්ධ පදය ”සුභ” යන පදයයි. අසුභානුස්සතිය වැඞීමෙන්, ප්‍රගුණ කිරීමෙන්, බලාපොරොත්තු විය යුතු වන්නෙත්, සුඛ සංඥාව සිතින් අස්කර ගැනීමයි. සුභ යනු ”සුන්දර බව” යන අර්ථයයි. සුන්දර යන්න නිතරම ආස්වාදයක් ලබා දෙන ඇස, කණ, ආදී ඉන්ද්‍රියන් මත්කරවන ගතියයි. ඇස, කණ ආදී ඉන්ද්‍රියන් අසීමිත ලෙසින් අන්තගාමී ලෙසින් පිනවන්නට යාම, කාමච්ඡන්දයෙන් මත්වීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමෙන් සිදුවන්නේ්, සුන්දර බවට මත් වීම නවතා දමා සුන්දර දෙයට නොඇලී, නොබැඳී ක්රියාකරන්නට පුරුදු පුහුණු වීමයි. සුබ දේ සුබ ලෙසින් සුව ලෙසින් දැක ගත්විට, පෘතග්ජන ලෝකයා ඒ සුබ දේට ඇලෙයි. ඒ උපාදානය කර ගනී. පෘතග්ජන ලෝකයාගේ සංසාර පැවැත්ම දිගින් දිගටම පවත්වා ගෙන යන්නට උපකාර වන සමුදය බිහිවන්නේම මේ සුභ දේට ඇලීමෙනි. සුබ දේ අල්ලා උපාදනය කර ගැනීමෙනි. ලෝකයාගේ පෘතග්ජන ස්වභාවය පවතින තුරාවටම සුන්දර, ප්‍රිය මධුර දේට ඇලෙයි, බැඳෙයි, කාමච්ඡන්දයෙන් මුලා වෙයි, මත්වෙයි, සමස්ථ සංසාර ගැටළුවම නිර්මාණය කර ගන්නේ, මේ ආකාරයෙන් ප්‍රිය, මධුර, සුබ දේට ඇලීමෙනි, මෙහි ආදීනව යථා පරිදි නොදැනීම, දුක පිලිබඳව නොදැනීමයි. ”දුක්ඛේ අඥාණං” යන තත්ත්වයයි. සිතට ප්‍රිය වූ යම් දෙයක්, ප්‍රිය මධුර මිහිරි දෙයක් සේ දැක අල්ලා උපාදානය කර ගෙන, ඒ ආකාරයෙන්ම දිගටම පවත්වා ගන්නට, නවත්වා ගන්නට, උත්සාහ දරන්නේ, මේ පැවත්ම පිලිබඳව යථා තත්ත්වය නොදැනීමයි. මේ තත්ත්වය යථා පරිදි අවබෝධ කර ගත් පසුව ”දුක්ඛේ ඥාණං” යන තත්ත්වයටම පත්වේ.
ඉන්ද්‍රියන් හයටම අරමුණු වන දේ සුබ, සුව, සුචිසේ දකින්නේ, වැරදි දැක්මක් වැරදි දෘෂ්ඨියක් සිතෙහි පවතින නිසාමය. මේ වැරදි දැක්ම, වැරදි දෘෂ්ඨිය මිච්ඡ දෘෂ්ඨියයි. මේ ප්‍රිය මධුර දේ පිළිබඳව සිතෙහි හටගත් වැරදි දෘෂ්ඨියයි. මේවායේ ඇති ප්‍රිය බව, මධුර බව, විපරිණාමයට පත්වී ආදීනව ලෙසින් තමා කරාම අයහපත් ඵල විපාක ලෙසින් ලබා දෙන බව දැකීම, නිවැරදි දැක්මයි. සම්මා දිට්ඨියට මුල් වු ”ධම්මෝ සංදිට්ඨික” තත්ත්වයට පත්වීමයි. සංසාර ගැටළුවට, සංසාර දුකට හේතුව සුන්දර දේවලින් අන්තවාදී ලෙසින් ආස්වාදයන් ලබන්නට යාම බව දැන ගත් පසුව, සුබ යැයි, සුන්දර යැයි, දුටු දෙහිම අසුබය දැක, සුන්දර බව අත්හැරීමට ක්‍රියාකර, දුකින් මිදී නිදහස් විය හැකි බවද දැක ගත හැකි වෙයි. අසුභානුස්සතිය වැඞීම යනු, පිළිකුල් භාවනාවක් නොවේ. යමක් කෙරෙහි සිතේ පිළිකුලක් ඇති වීම යනු, බුද්ධ භාෂිතයට අනුව නම් ද්වේෂයක් ඇතිවීමයි. සුභ දේ, සුන්දර දේ කෙරෙහි ද්වේෂයක් හෝ පිළිකුලක් ඇති කර ගැනීම මගින් අසුභානුස්සතිය වැඞීමේ ක්‍රමයක් බුද්ධ භාවනාවේ නම් නැත. යමක් කෙරේ පිළිකුලෙන් බලන්නා තුල ද්වේෂයක්ම හට ගනී. නමුත් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ අසුභානුස්සතිය වැඞීමෙන්, ප්‍රියදේ මෙන්ම අප්‍රිය දේද උපේක්ඛා සිතින් ඉවසා, විමසා බලා දැක ගෙන, එහි යථා ස්වභාවයම අවබෝධ කර ගත යුතුය.
මේ අනුව අසුභානුස්සතිය වැඞීමෙන්, අසුභානුස්සතිය පුරුදු පුහුණු කරගැනීමෙන් කර ගත යුත්තේ සිතෙහි, මතුවන ආස්වාදයන් වීදීමේ කෑදර ගතිය, කැමැත්ත අතහැර, එහි යථා ස්වභාවය අවබෝධ කර ගැනීමය. මේ අනුව ප්‍රිය, මධුර, ඉෂ්ඨ, කාන්ත රූප, ශබ්ද,ගඳ සුවඳ, රස, සුව පහස හා ධම්ම යන මේවාට ඇලෙන්නට, බැඳෙන්නට, පටලැවෙන්නට යනවා නම්, ඒ බව තේරුම් ගෙන, එහි ආදීනව, ආනිසංස දැක ගෙන, එවැනි ආස්වාදයන් විදීමේ කැමැත්ත අතහැර ඉන් මිදි නිදහස් වන්නට කටයුතු කිරීම අසුභානුස්සතිය වැඞීමයි. අසුභානුස්සතිය භාවනා කිරීමයි.
අසුභානුස්සතිය වැඞීමේදී භාවනා කළ හැකි කර්මස්ථානද බොහෝ ඇත. මේ අතරින් පහසුවෙන්ම වැඩිය හැකි සරළ කර්මස්ථානයක් මෙහි සටහන් කර තබමි. අරමුණ අත් හැරීම නාථයි. අරමුණෙහි නොඇල්ම නාථයි අරමුණෙන් මිදීම නාථයි අරමුණෙන් මිදී නිදහස් වීම නාථයි අරමුණ- අත්හැරීම වෙත්වා එහි නොඇල්ම වෙත්වා ඉන් මිදීම වෙත්වා මිදී නිදහස් වෙත්වා.
මෙහිදී අසුභානුස්සතිය භාවනා කිරීම යනු සිතෙහි හට ගත් සුන්දර අරමුණ, ආස්වාදයක් ලැබීමේ අරමුණ, අතහැර දමන්නට කරනු ලබන භාවනාවකි. සුභ දෙය, සුන්දර දෙය කෙරෙහි සිතෙහි ඇති වූ කාමච්ජන්දය, සිතෙන් ඉවත් කර දමන්නට කටයුතු කිරීමයි. මෙවැනි අසුභානුස්සතියක් වැඞීමද, මනාසේ පුරුදු පුහුණු විය යුතු දෙයකි. සිතේ මතුවන කෙළෙස් කපා දමන්නට, කෙළෙස්වලින් මිදී නිදහස්වන්නට උපකාර වන සේ අසුභානුස්සතියද ආයුධයක්සේ මුවහත් කර තබාගෙන, භාවිතයට නිසි අවස්ථාවේදී එය ගත යුතුය.
මරණානුස්සතිය ප්‍රගුණ කර ගැනීම
මරණානුස්සතිය වැඞීම, මරණානුස්සතියෙහි පිහිටා ක්‍රියා කිරීම යන්නෙන් අදහස් කරන්නේ,” ජීවිතං අනියතං මරණං නියතං” යනාදී පදවැල් කියවා, කියවා සිටීම නම් නොවේ. කොයි මොහොතේ හෝ තමන් මැරෙන බව නොදන්නා කෙනෙකුන් නැත. කොයි මොහොතේ හෝ මැරෙන්නට සිටින පුද්ගලයා මාරයාට ණය වී මැරෙන බව යථා පරිදි අවබෝධ කරගෙන, මාරයාගේ දේ ණයට නොගෙන, මාරයාගෙන් නිදහස් වීමට භාවනා කිරීම, මරණානුස්සතියයි. උපාදානය කර ගන්නා පංචස්කංධයම මාරයාට අයත් දේවල්ය.
මේ මිහිතලය මත අපට පරිහරණය කරන්නට ඇති, භාවිතා කරන්නට ඇති සියළුම දේවල් පංචස්කන්ධය ලෙසින් ධර්මයේ පෙන්වා දෙයි. එනම් රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංකාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධයයි. මේ කිසිම කොටසක් අපට සදාකලික අයිතියට ලබා ගත නොහැකිය. ඒවා කාටත් පොදුවේ පරිහරණනය කරන්නට, භාවිතා කරන්නට ධර්මතාවයෙන්ම ලැබී ඇති දේවල්ය. මේ බව නොදන්නා පෘතග්ජන ලෝකයා, මෙවන් වූ පංචස්කන්ධය මගේ, මම, මට අයිති, මගේ ආත්මය වශයෙන් උපාදානය කරගෙන, දිගටම තමා සන්තකයේ පවත්වන්නටත් උත්සාහ දරයි. තමන් කැමති සේ, රිසිසේ, නිචිච වශයෙන් දිගටම පවත්වා ගන්නට නොහැකි මෙවන් වූ පංචස්කන්ධයන් අල්ලා උපාදානය කර ගන්නේද තමන්ගේම සිතිනි. ඒ රාග, ද්වේශ, මෝහ ගති වලින් කිළිටු වූ සිතෙනි.
උපන් උපන් සියළු සත්ත්වයන්ට පොදුවේ පරිහරණය කරන්නට, භාවිතා කරන්නට හිමිකම ඇති මේ පංචස්කන්ධයන් මම, මගේ, මගේ ආත්මය යැයි තමන් සන්තකයේ පවත්වා ගන්නට, උපාදානය කරගන්නට දරණ වැරදි උත්සාහය,මාරයාට ණය වීමට එකම හේතුවයි. මේ ආකාරයට වැරදී අවබෝධයකින් තමාගේ යැයි උපාදනය කර ගත් පංචස්කනන්ධය තමාට අයිති නැති බව පසක් කොට අවබෝධ කරගෙන, එහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව යථා පරිදි අවබෝධ කරගෙන, මාරයාට අයිති දේවල් සිතින් අත්හැර, මාරයාට ණයවීමෙන්ද නිදහස් වීම, මරණානුස්සතිය වැඞීමයි.
තමන් මරණයට පත්වන මොහොතේදීත්, යමකු විසින් පංචස්කනන්ධයම උපාදානය කරගෙන, තදින්ම මම, මගේ, මට අයිතිදේ යැයි සිතින් අල්ලා බදාගෙන, මරණයට පත්වූයේ නම්, ඔහු මරණයට පත්වූයේ මාරයාට ණය වීමෙන්ය. ඒ මාරයාට අයිති දේ තම සිතින් අල්ලා උපාදානය කර ගත් නිසාය. මරණයට පත්වීම යන්නෙහි අර්ථය මෙසේ මාරයාට ණය වී මියැදීමයි. අරහත් තත්ත්වයට පත්වූ ආර්යය උත්තමයෙක්, මාරයාට අයිති සියළු දේ ගැන යථා පරිදි දැක, පංචස්කන්ධය ලෙසින් උපාදානය කර ගත් සියළුදේ සහමුලින්ම අතහැර, උපාදානය කර ගැනීමේ ක්රියාවලින්යෙන්ද සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වූ කෙනෙකු බවට පත්වීම අපවත්වීමයි.
එනම් පැවැත්මේ ඇති සියළු දේ අනිච්ච බව – කැමති සේ නොපවතින බව – දුක්ඛ බව – දෙවන වේෂයකට පත්වන බව විපරිණාමයට පත්වන බව – අනත්ථ බව – විපරිණාමයට පත්වී, විනාශ වන දේ අල්ලා ගැනීමෙන් අනාථ තත්ත්වයටම පත්වන බව යථා පරිදි දැක, අවබෝධ කරගෙන, ඒ සියල්ලම පිලිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක එහි නොබැදේ. එවැනි දේ අල්ලා ගෙන, ආස්වාදයක් විඳිය නොහැකි බව යථා පරිදිම දකියි. ඒ නිසා ”නිබ්බින්දති” යන්න අවබෝධ කරගෙන එහි නොබැඳෙයි. ”නන්දති” යන්නෙන් මිදී නිදහස් වෙයි. අභිනන්දනයට පත්වීමෙන් වැළකේ. මේ මරණානුස්සතිය වැඞීමයි. මෙහිදි ති‍්‍රලක්ඛණය වැඞීම අත්‍යාවශ්‍යමයි. මාරයාට අයිති පංචස්කන්ධයන් ”මම කියා, මගේ කියා මගේ ආත්මයට අයිතියි කියා” අල්ලා, උපාදානය කරගෙන තමන් කැමති සේ තමන් සන්තකයේ දිගටම පවත්වා ගත නොහැකි නිශ්චිත දේවල් නොවන බවත් දැකගත යුතුය.
”අනිස්සිතෝච විහරති න ච කිංචි ලොකේ උපාදියති” යන්න යථා පරිදි අවබෝධ කරගත් පුද්ගලයා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, යථා පරිදි අවබෝධ කරගෙන, නිච්ච සංඥව, සුඛ සංඥාව, අත්ථ සංඥාව සිතින් බැහැර කර දමයි. මෙසේ ත්රිලක්ඛණය වැඞීමෙන් ජීවිත පැවැත්මේ ඇති යථා ස්වභාවය, යථා ස්වරූපය දැකීමෙන් මරණානුස්සතිය වැඬේ.
රූපං අනිච්චා නො නිචිචා
රුපං දුක්ඛා නො සුඛා
රූපං අනත්ථා නො අත්ථා
වේදනා අනිච්චා නො නිච්චා
වේදනා දුක්ඛා නො සුඛා
වේදනා අනත්ථා නො අත්ථා
මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංකාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස හා ධම්ම වශයෙන් ඇස, කණ ආදී ඉන්ද්‍රියන්ට අරමුණ වන සියළු අවස්ථාවන්හි එහි ඇලීමක් වේ නම්, ඇලීමෙන් මිදී නිදහස් වන්නටත්, ගැටීමක් වේ නම්, ගැටීමෙන් මිදී නිදහස් වන්නටත්, අරමුණ කෙරෙහි උපේක්ඛා සිතක් ඇති කර ගන්නටත් ත්රිලක්ඛණය භාවනා කිරීමෙන් මරණානුස්සතිය වැඩෙයි. පංචස්කන්ධයන් උපාදානය කර ගැනීමෙන් වැළකීම නිසා මාරයාට ණය වීමෙන්ද නිදහස් වේ. මෙම භාවනාව මනා කොට ප්‍රගුණ කොට, යථා අවබෝධයෙන් යුතුව අවශ්‍ය අවස්ථාවෙහිදී භාවිතයට ගැනීමට සුදුසු සේ, පුරුදු පුහුණු වීම මරණානුස්සතිය වැඞීම යන ආරක්ෂක ආයුධයයි.
බුද්ධානුස්සතිය ප්‍රගුණ කර ගැනීම
ඉතිපි සෝ භගවා ආදී බුදුගුණ ගායනා කිරීම අද බුද්ධානුස්සතිය වැඞීම ලෙසින් වැරදියට භාවිතා කරති. බුද්ධානුස්සතිය වැඞීම යන්නෙහි නිවැරදි, නියම අර්ථය, මේ ගාථාවේ සඳහන් වන බුද්ධ ගුණයන් අතරින් එකක් හෝ තමන් තුලද ඇති කර ගන්නට අවශ්‍ය වන්නාවූ නිසි ක්‍රියා මාර්ගයන් අනුගමනය කිරීමයි. මෙය යම් ප්‍රති පදාවක් අනුගමනය කිරීමක් මිස, ගායනා කිරීමක් නොවේ. මේ සඳහා ”බුද්ධ ගුණයන්” යන්නෙහි නිවැරදි අර්ථයම, ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. බු උද්ධ යනු භව උදුරා දැමීමයි. (භව නිරෝධයයි) ”පුනබ්බවෝති” යනුවෙන් විග්රහ කරන ලද, යළි යළිත් සංසාර දුක නිර්මාණය කර ගනු ලබන්නා වූ, සංසාර දුකම බිහි කරන්නට හේතු වූ, කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා (රාග, ද්වේශ, මෝහ) තම සිතින්ම උදුරා දමා, අස්කර දමා සමුදය උත්පාදනය වීම, නැවැත්වීම සඳහා නිර්උදා තත්ත්වයට පත්කිරීම සඳහා අනුත්පාද තත්ත්වයට පත්කිරීම පිණිසම බුද්ධානුස්සතිය වැඞීමයි.
මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම නොකඩවාම නිර්මාණය කර ගනිමින්, යළි යළිත් උපදිමින්, මැරෙමින් දිගටම සංසාර ගමනක් ගෙන යන්නේ, සමුදය ධර්ම බිහිකරගන්නා හෙයිනි. සමුදය ධර්ම සිතක බිහිවන්නේ කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා(රාග, ද්වේශ, මෝහ) සිතෙහි පවතින නිසාමය. අවිද්‍යාව හා තණ්හාව යන ගති මේ ජීවිත පැවැත්ම දිගටම, යළි යළිත් බිහි කරමින්, නොකඩවාම පැවැත්ම ඉදිරියටම ගෙනයන්නට ක්‍රියාකරති. දිගින් දිගටම කූඩු හදන වඩුවා, අවිද්‍යාව හා තණ්හාවයි. අවිද්‍යාව හා තණ්හාව සිතින්ම උදුරා, අස්කර දැමීමට නම්, බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුමය. එනම් රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් ගති සිත තුලින් උදුරා, අස්කර දැමීමට ක්‍රියාකළ යුතුය. යළිත් එවන් කෙළෙස් ගති සිත තුළ ක්‍රියාත්මක නොවන්නටම, ඒ ගති මුලින්ම උදුරා, අස්කර දැමිය යුතුයි. එනම් සියළු කෙළෙස් උදුරා දමා, සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි. සමුච්චේදප්ප්රහාණයයි.
රාග, ද්වේශ, මෝහ යන කෙළෙස් ගති සහමුළුන්ම උදුරා දමා, සමුච්ඡේද වශයෙන් ප්රහාණය කර දමන්නටත්, ඒ ගති නැවත සිතේ නොඋපදින ලෙසින් පටිපස්සදි වශයෙන්ම ප්රහාණය කර දමන්නටත්, බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුමය. භගවතෝ, අරහතෝ, සම්මා සම්බුද්ධස්ස ආදී බුදු ගුණයන්, නව අරහාදී ගුණයන්, තමා තුළද පිහිටන්නේ රාග, ද්වේෂ, මෝහ ආදී කෙළෙස් ගති සහමුළුන්ම සිතින් ඉවත් කර, උදුරා දැමීමෙන්ම පමණි. නව අරහාදී බුදුගුණයන් තමා තුළ ඇති කරගන්නට නම්, බුද්ධානුස්සතිය වැඞීම ප්‍රතිපදාවක් ලෙසින්ම ප්රායෝගිකවම පුරුදු කර ගත යුතුය. නව අරහාදි බුදු ගුණ ගායනා කරමින් සිටීම කිසිසේත්ම බුද්ධානුස්සතිය වැඞීමක් නම් නොවන්නේය. වෙද මහත්තයා ලියා දුන් බෙහෙත් සීට්ටුව කටපාඩම් කර ගත්තාට ලෙඩ සනීපවීම සිදු නොවන්නාක් මෙනි.
තමන්ටත් මේ සංසාර දුකින් මිදී නිදහස් වන්නට අවශ්‍ය නම්, දුක බිහි කරන, දුක නිර්මාණය කරන ලෝභ, ද්වේෂ, මෝහ, කෙළෙස් ගති තම සිත තුලින්ම උදුරා, ඉවත් කර දැමීමට බුද්ධානුස්සතිය වැඞීම කළ යුතුය. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා, යනුවෙන් පෙන්වා දුන් ලෝභ, ද්වේෂ, මෝහ ගති තමන් තුලම පැවතීම, මේ ජීවිත පැවැත්ම දිගින් දිගටම යලි යලිත් බිහි කරගෙන පවත්වා ගෙන යාමේ එකම හේතුවයි. ලෝභ, ද්වේශ, මෝහ ගති සිතින් උදුරා දමා ලෝභක්ඛ්යය, ද්වේෂක්ඛය, මෝහක්ඛ්‍යය කිරීම නිබ්බානං ලෙසින් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළහ. බුද්ධ තත්ත්වයට පත්වීම, යනුවෙන් අදහස් කරන්නේ, මේ කෙළෙස් ගති සිතින් සහමුළුන්ම උදුරා දැමීමයි. මේ ගති සිතක පවතිනා තුරාවට යළි යළිත් ඒ ගතිම බිහි කිරිම ජීවිතයක් පැවිත්වීමයි.
1. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඥාවක් සිතේ මතුවීම, පැවතීම හා එයම ස්ථිර කර ගැනීම දුකට හේතුවයි. අනිච්ච අනුපස්සනා කරමින් යථා ලෙසින්ම අනිස්සිත බව අවබෝධ කරගනිමින්ම සිතේ ඇති වූ නිච්ච බව ප්රහාණය කළ යුතුයි.
2. රූපාදී යම් අරමුණක් පිළිබඳව නිච්ච සංඥාවක් පැවැත්වෙන තුරාවට, සුව වීදීමේ සුඛ සංඥාවක්ද මතුවේ. ඒ නිසා සැප හඹා යයි. නමුත් සැප කියා දෙයක් දිගටම පවත්වා ගෙන යාමට බැරිවීම නිසා තමන්ම දුක නිර්මාණය කර ගනී. මේ අනුව දුක නිර්මාණය වන හැටි දැක සුඛ සංඥාව, සැප බලාපොරොත්තුව සිතින් ඉවත් කර ගන්නට දුක්ඛ අනුපස්සනාව කළ යුතුයි.
3. දුක උරුම වන හැම තැනකදීම තමන් අනාථ තත්ත්වයට පත්වීම නියතය. සැප
යැයි කියා යමක් උපාධානය කරගෙන එය මම, මගේ, මම සැප විඳිමි යන අත්ථ සංඥාව නිසා අස්මිමානය බිහි වෙයි. මේ අස්මිමානය දුරලන්නට, අත්ථ සංඥාව ප්රහාණය කරන්නට, අනත්ථ අනුපස්සනා කළ යුතුමයි.
4. රූපාදී යම් අරමුණක් අල්ලා ගෙන සැප වීඳීමේ සුඛ සංඥාවක් සිතෙහි මතු වී, ඒ අනුව අස්මිමානයක්, අත්ථ සංඥාවක්, ඇති වීම නිසා, යම් අභිනන්දනයක් ලැබීමේ අවශ්‍යතාවයක් ද සිතක මතුවේ. මේ අභිනන්දනය යනු ආස්වාදයක් විඳීමේ කැමැත්තයි. ප්‍රිය වස්තුන්ට ඇලෙන්නේ, මේ අභිනන්දනය විඳ ගැනීම සඳහායි. මේ අනුව අභිනන්දනයෙන් මිදීමට, නිබ්බිදානුපස්සනාව සම්පූර්ණ කර ගත යුතුයි. නිබිබිදා යනු නොබැඳීමයි. නිර්වේදයයි. බැඳීමට හේතුව, වින්දනයයි.
5. රාගයක් සිතක හටගන්නේ නන්දි සංඥාවෙන් මත් වීමෙනි. රාගය සිතින් ඉවත් කරන්නට විරාගානුපස්සනාව වැඩිය යුතුයි. රාගී බවෙන් වෙන් වීම, ආස්වාදයට නොබැඳීම, නො ඇලීම, මත් නොවීම, විරාගානුපස්සනාවයි.
6. රාගය නිසා ඇලීමෙන්, ද්වේශය නිසා ගැටීමෙන්, සමුදය සිතක උපත ලබයි. සමුදය නොඋපද වීම, නිර් උදා කිරීම, අනුත්පාද කිරීම යනු නිරෝධයයි. මේ නිසා නිරෝධානුපස්සනාව වැඞීමෙන් සමුදය ප්රහාණය වෙයි.
7. ඉහත සඳහන් පියවරයන් හයම සම්පූර්ණ වීමෙන් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගතීන්ගේ උපාදානය පටිනිස්සග්ග තත්ත්වයට පත්වේ. පටිනිස්සග්ග වීම යනු, මෙතෙක් සසරට බැඳ තිබූ බැමි කපා ඉවත් කිරීමයි. මෙතෙක් සංසාරයට බැඳ තිබුනේ රාගයෙන්, ද්වේෂයෙන් හා මෝහයෙන් යන කෙළෙස් බැමි තුනකිනි. මේ බැමි තුනම නිස්සග්ග වීම යනු නිබ්බාන වීමයි. සබ්බුපදි පටිනිස්සග්ග වීමයි. මේ අනුව බුද්ධානුස්සතිය වැඞීම යනු රාග, ද්වේෂ, මෝහ ගති තුනම තම සිතින්ම ඉවත් කර දමා, සිත නික්ලේසි තත්ත්වයට පත්කර ගැනීමයි. මේ සඳහා ත්රිලක්ඛණයම නිවැරදිව භාවනා කළ යුතුයි.
මේ ආකාරයෙන් මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය යන සතර කමටහන් නිවැරදිව තේරුම්ගෙන වඩන්නට, භාවිතා කරන්නට පුරුදු පුහුණු විය යුතුයි. මේවා ආරක්ෂක ආයුධ හතරක් හැටියටම භාවිතා කළ යුතුයි .මේ ආයුධ හතරම අවශ්‍ය වන නිසි අවස්ථාවට නිසි පරිදි භාවිතා කරන්නටද පුරුදු වීමත් පුහුණු වීමත් අවශ්‍යමය. මේ අනුව කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ තැනැත්තා, යෝනිසෝමනසිකාරයෙන් ක්‍රියාකරන පුද්ගලයකු බවටද පත්වේ.
මූලික වශයෙන්ම පුද්ගලයෙකුගේ, සත්ත්වයකුගේ සිතකට අරමුණු වන ආරම්මණයන් හයක් ඇත.
1. ඇසට අරමුණු වන රූපාරම්මණය
2. කණට අරමුණු වන ශබ්ධාරම්මණය
3. නාසයට අරමුණු වන ගන්ධාරම්මණය
4. දිවට අරමුණු වන රසාරම්මණය
5. කයට අරමුණුවන පොට්ඨබ්බාරම්මණය
6. මනසට අරමුණු වන ධම්මාරම්මණයයි
මේ අරමුණු හයට අමතරව කිසිදු අරමුණක් පුද්ගලයෙකුට, සත්ත්වයෙකුට හෝ දෙවියෙකුට වත් ඇති වන්නේ නැත. මේ අරමුණු හයම යළි කොටස් දෙකකට බෙදා වෙන් කර ගත යුතුයි.
i. ආශ්‍රය කළ යුතු යහපත් කරණීය ධර්ම කොටසට අයත්වන අරමුණු(ආන අරමුණු)-අස්ස සති
ii. ආශ්‍රය නොකළ යුතු කෙලෙස් ගති සහිත අකරණීය කොටසට අයත් වන සිතින් ඉවත්කළ යුතු අරමුණු (පාන අරමුණු) – පස්ස සති
පරිමුඛං සතිං උපට්ඨපෙත්වා – සතෝව අස්සසති- සතෝව පස්සසති යන පාඨ වලින් මහා සතර සතිපට්ඨාන සූත්‍රයේ කොටස් දෙකකට බෙදා වෙන් කර පෙන්වා දුන්නේ (අස්සසති ) අශ්‍රය කළ යුතු දේ හා (පස්සසති) ප්රහාණය කළ යුතු යන දෙකොටසටයි. ආශ්‍රය කළ යුතු යහපත් අරමුණු නම්, මෙත්තා, කරුණා, මුදිතා උපේක්ඛා සහ සිතින් කරන වීත රාගී, වීත දේශී, වීත මෝහී, යහපත් අරමුණුය. ප්රහාණය කළ යුතු, සිතින් බැහැර කළ යුතු වන්නේ රාග, ද්වේශ, මෝහ, යන කෙළෙස් අරමුණුය.
කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්නාව, ධම්මානුපස්සනාව යන සතර සතිපට්ඨාන භාවනාවෙහිම යෙදෙන්නට නම්, සිතින් ඉවත් කර ගත යුතු කෙළෙස් ගති වෙන් කර තෝරා බේරා ගන්නට අවශ්‍ය වන යෝනිසෝමනිසිකාරයෙන් ක්‍රියාකිරිම අත්‍යාවශ්‍ය වන්නේය. මෙනෙහි කළ යුතු යහපත් දේ හා මෙනෙහි නොකර, ප්රහාණය කර සිතින් බැහැර කළ යුතු යැයි අරමුණු කොටස් දෙකකට බෙදා ගත යුතුමය.
අනාර්ය සමථ භාවනාවකදී නම් මෙසේ භාවිතා කළ යුතු හා භාවිතා නොකළ යුතු යැයි අරමුණු කොටස් දෙකකට බෙදා බලන්නට දැනුමක් නැත. සිතට එන සියළුම අරමුණු ප්රහාණය කිරීම, අනාර්ය භාවනාවක් වැඞීමේදී සිදුවෙයි.
නිවනට බාධක ධර්මයන්, නිවන වසා සිටින නීවරණ ධර්මයන්, දැන හඳුනාගෙන ඒවා ප්රහාණය කළ යුතුය. ඒවා ආශ්‍රය නොකළ යුතුය. ඒවා කෙළෙස්බව, කුණු බව දැන යථා පරිදි ඒවා සිතින් අස්කර දමන්නට, කෙළෙස් මුලින් උගුල්ලා දමන්නට, මෙම ආයුධ හතරම නිසි පරිදි නිසි වේලාවට භාවිතා කළ යුතුය.
රාග, ද්වේශ,මෝහ යන කෙළෙස් සහිත අරමුණු, සිතෙහි මතුවනවාත් සමඟම ඒවා මොනතරම් ප්‍රිය අරමුණු වුවද, ආස්වාද ජනක දේ වුවද, ඉන්ද්රියයන් පිනවන දේ වුවද, ඒවා නිවනට ප්රතිපක්ෂ බව දැක, ඒවා නිවනට බාධක බව දැක, ඒවා නිසා නිවන ප්‍රමාද කරන බව යථා පරිදි තේරුම් ගෙන, එවැනි කෙළෙස් ධර්ම, කළු ධර්ම, සිතෙහි මතු වන මෙහොතේදීම, ඒවා දිගේ සිතින් රෝද ගැසීම නවත්වා, ඒ අරමුණු වෙනස් කර, ඊට ප්රතිපක්ෂ අරමුණක සිත යොදවා, අවසානයේදී ඒ කිළිටි ගතිය සිතින් අස්කර දමන්නටම ක්‍රියාකළ යුතුය. මේ පියවර තුනම අනුගමනය කළ හැකි වන්නේ, මේ ආරක්ෂක ආයුධ හතරම භාවිතා කිරීමෙනි. ධම්මානුධම්ම ප්‍රතිපදාවෙහි යෙදෙන්නට පුහුණුවක් ලැබූ, ඒ පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන ආර්යය ශ්‍රාවකයකුට, දැන් ආයුධ හතරම භාවිතයට ගෙන, පළමුව තම සිත සමථයකට පත්කර ගෙන කෙළෙස් තුනීකර ගැනීමටත්, දෙවනුව ඊට සමගාමීවම කෙළෙස් සහමුළුන්ම කපා, උගුල්ලා දැමීමටත් දැනුමක් හා ශක්තියක් ද ලැබෙන්නේය.
මෙවන් ආර්ය ශ්රාවකයා දැන ගත යුතු දේ යථා පරිදි දැන ගනී. දැන ගෙනම ආශ්‍රය කළ යුතු දේ ආශ්‍රය කරයි. ප්රහාණය කළ යුතු දේ, ප්රහාණය කරන්නේද යථා අවබෝධයකින්මය. මෙය හුස්ම පිට කිරීම හා ඇතුළු කිරීමට වඩා බොහෝ වෙනස්ය. පෙර සඳහන් කර පෙන්වූ යහපත් අරමුණු හයම හය දොරකින්ම ආශ්‍රය කර ඇතුළට ගන්නටත්, ආශ‍්‍රනොකර දොරවල් වසා බැහැර කළයුතු දේ බැහැර කර තබන්නටත් හැකි බව මෙවන් ආර්ය ශ්රාවකයා දැන ගනී. මෙය බුද්ධ භාෂිතයේ පෙන්වූ අනාපානාසතියෙහි පිහිටා ක්‍රියා කිරීමයි. ඉන්පසුව ඕනෑම ඉරියවුවකින්ද ආනාපානාසතියෙහි පිහිටා කටයුතු කරන්නටද හැකි ශක්තියක් ලබා ගනී. සක්මන් කිරීමේදීත් ඉඳගෙන සිටිමේදීත්, සිටගෙන සිටීමේදීත්, නිදාගෙන සිටිමේදීත්, චිත්ත සන්ථානය ඇතුලට ගත යුතු දේත්, සිතින් බැහැර කළ යුතු දේත්, තීරණය කරන්නට හැකි ශක්තියෙන් ක්‍රියාකරන පුද්ගලයා, නිසි පරිදි ඉරියාපථ පබ්බයෙන්ද ආනා පානා සතිය ක්‍රියාත්මක කරන්නට දැන ගනී. දවසේ පැය 24 පුරාමත් (නිදියගත් අවස්ථාවේ හැර)ආශ්‍රය කළ යුතු දේ දැන ආශ්‍රය කරයි. ආශ්රයෙන් බැහැර කර ප්රහාණය කළයුතු දේ තෝරා බේරා ප්රහාණය කරන්නටද දනී.
දැන් මේ ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේ, සිතින්ම ප්රහාණය කළ යුතු කෙළෙස් මුලින්ම කපා, උගුල්ලා දමන්නටමය. ඒ නිසා මේ ආයුධ හතර එනම්, මරණානුස්සසතිය, මෙත්තානුස්සතිය, අසුභානුස්සතිය, හා බුද්ධානුස්සතිය ප්රායෝගිකවම භාවිතා කළ යුතු ආකාරය සොයා බලමු.
සිත කිළිටිවන, සිත අඳුරු වන මනස අඥාණ බවට පත්කරවන අරමුණු 3ක් ඇත.
1. රාග සහිත ආරම්මණයන්
2. ද්වේෂ සහිත ආරම්මණයන්
3. මෝහ සහිත ආරම්මණයන්
මේ අරමුණු තුනම උපත ලබන්නේ තමාගේම සිත තුළමය. තමන්ට හොරෙන්, තමන්ට නොදැනී මේ අරමුණු මතුවන්නට නොහැකිය. ඒ නිසා, මේ අරමුණු මතු වන විටම, ඒවා කෙරෙහි අවධානයෙන් පසු වී, නිසි පරිදි නිසි ආයුධය භාවිතා කර, කෙළෙස් කපා අස්කර දැමීමට ක්‍රියාකළ යුතුය.
1. ඇස, කණ, නාසය, දිව, කය වැනි යම් ඉන්ද්රියයකින් රූප, ශබ්ද, ගඳ සුවඳ, රස, සුව පහස වැනි මොනයම් ප්‍රිය දෙයක් ස්පර්ශ වුනේ නම්, එය ප්‍රිය යයි නිගමනය කළේනම්, සිත රාගයෙන් කිළිටි වෙයි. අදුරු වෙයි. එය අප්‍රිය යැයි, අමනාප යැයි නිගමනය කළේ නම්, ද්වේශයෙන් සිත කිළටි වෙයි, අඳුරු වෙයි.
මෙවන් වැරදි අරමුණක් සිතට ලැබුණ විට, ඒ අරමුණ දිගේම සිතින් රෝද ගසා, ඉන්ද්රියයන් පිනවීම පෘතග්ජන පුද්ගලයාගේ පුරුද්දයි. එය ගති පුරුද්දකි. එය සංසාර පුරුද්දයි.
මේ අරමුණ දිගේ දිගින් දිගටම සිතින් රෝද ගැසීම නවතා දමන්නට සුතවත් ආර්ය ශ්රාවකයා පළමුවම ක්‍රියාකළ යුතුය. ඉවසා, විමසා ඊට සුදුසු පියවරක් ගැනීම නියත වශයෙන්ම කළ යුතුය.
මේ අකුසල විතර්කය තුලින් සිත මුදවා ගන්නටත් ඉවසා, විමසා කටයුතු කරන්නටත්, එකේ සිට දහය දක්වා ඉහළට ගැන නැවත දහයේ සිට එක දක්වා පහළට ගැනීම බොහෝ විටම ප්‍රමාණවත් විය හැකිය. මෙය ”විතක්ක සංඨාන සූත්‍රයේ” පෙන්වා වදාළ අඤ්ක්දනිමිත්ත පබ්බයයි.
අකුසල විතර්කය දිගේම සිතින් රෝද ගසා සිත කිළිටි වීම යම් ආකාරයකින් නවතා දමා, වෙනත් අරමුණකට සිත මෙහෙය වීම මගින් ඉවසා විමසා කටයුතු කරන්නට දක්ෂ වූ පුද්ගලයා දැන් ආරක්ෂක ආයුධ හතරම භාවිතා කළ යුතු වන්නේය.
මේ අකුසල විතර්කය රාග අරමුණක් නම්, සිත සමථකයකට පත් කර ගත් වහාම අසුභානුස්සතිය භාවනා කරමින්, ප්‍රිය මධුර දේ කෙරෙහි අලෙන්නට – ප්‍රිය මධුර දේ උපාදානය කර ගන්නට කි‍්‍රයාත්මක වන්නට ගිය සිත, සමථයට පත්කර ගත යුතුයි. මේ නිසා ඇස, කණ, නාසය, දිව, කය, මන යන ආදී මොනයම් ඉන්ද්‍රියක් හෝ ප්‍රිය මධුර සුභ අරමුණක් සමඟින් පටිච්ච වන්නට යන්නේ නම්, එයින් සිත කිළිටිවන බව දැක, රාගයෙන් මත්වන බව දැක, මෙය උගුලක් බවදැක, ඉන් මිදී නිදහස් වීමට ඒ ප්‍රිය මනාප අරමුණට මුල් වූ රූපයෙහි අසුභය මෙනෙහි කර, ඒ පි‍්‍රය බව සිතින් ඉවත් කර ගත යුතුයි. ඒ පි‍්‍රය මනාප වූ දෙය පිළිබඳවම උපේක්ඛා සිතින් බලන්නට පුරුදු විය යුතුය. එහි ඇති ආදීනව දැක, එහි විපරිණාමය දැක, එය අල්ලා ගැනීමෙන් අනාථ තත්ත්වයට පත්වෙනවා දැක, සිත සමථයකට පත් කර ගැනීම සඳහා පළමු ආයුධය වූ අසුභානුස්සතිය භාවිතා කළ යුතුය.
මෙසේ සිත සමථයකට පත් වු වහාම මේ රාග ගතිය – ප්‍රිය මනාප දෙයට ඇලෙන බැඳෙන ගතිය පුරුද්ද – තමා තුළම ඇති දෙයක් බව තේරුම් ගෙන මේ ගති පුරුද්ද තම සිතින් සහමුළුන්ම ඉවත්කර ගලවා දමා ගැනීමට ඒ සමඟම ක්‍රියාකළ යුතුය.
මේ ගති පුරුද්ද මුළුන්ම ගලවා දමන්නට නම් මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය යන කර්මස්ථාන දෙකම භාවනා කර, මේ ගතිය තමා තුළ නිච්ච වීමට උත්සාහ දරණ බවද තේරුම් ගෙන, මෙහි ඇති අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව, තේරුම් ගෙන නිච්ච, සුඛ, අත්ථ යන අකුසල සංඥා කපා හැර දමා, සිත පිරිසිදු කර ගත යුතුය. මෙය රාගක්ඛ්‍යය කිරීමයි. ආසවඛ්‍යා ඥාණයයි. කම්මක්ඛ්ය කිරීමයි.
ඒ සුන්දර, පි‍්‍රය මනාප අරමුණු සිතින් අත්හැරීම සඳහාත්, සිත සමථයකට පත්කර ගැනීම සඳහාත්, ඒ අරමුණු අත්හැරීම නාථයි. එයින් මිදීම නාථයි. එය නො ඇල්ම නාථයි,
ඉන් මිදී නිදහස් වීම නාථයි. අත්හැරීම වෙත්වා, මිදීම වෙත්වා, නොඇල්ම වෙත්වා, නිදහස් වෙත්වා, යන අසුභානුස්සතිය වැඩිය යුතුයි.
ඒ හා සමඟම දෙවන හා තුන්වන ආයුධයන් වන මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය ද ඒ සමඟම භාවිතයට ගත යුතුයි.
නිචිච සංඥා පජහති – අනිච්චානුපස්සී විහරති
සුඛ සංඥා පජහති- දුක්ඛානු පස්සී විහරති
අත්ථ සංඥා පජහති- අනත්තානු පස්සී විහරති
නන්දි සංඥා පජහති- නිබිබිදානු පස්සී විහරති
රාග සංඥා පජහති – විරාගානුපස්සී විහරති
සමුදයං පජහති- නිරෝධානු පස්සී විහරති
සබ්බු පදිං පජහති- පටිනිස්සග්ගානු පස්සී විහරති
යන භාවනාව භාවිතා කරන්නට පුරුදු විය යුතුය.
2. ද්වේශ සහගත අකුසලාරම්මණයක් සිතට ඇතුළු විය හැක්කේද ඇස, කණ, නාසය, දිව, කය මන යන ආදී ඉන්ද්‍රියන් ආශ්රයෙන්ම අප්‍රිය, අමිහිරි, අමනාප දෙයක් සිතට පටිච්ච වීමෙන්මය. මෙවැනි අප්‍රිය ආරම්මණයක් දිගේම සිතින් රෝද ගසයි නම්, ඒ ආරම්මණය දිගේම සිතුවිලි පවත්වයි නම් සිත ද්වේශයෙන් කිළිටිවන බව දැක, යම් පිළිවෙතකින් පළමු කොටම මේ ද්වේෂාරම්මණයෙන් සිත වෙන අතකට හරවා ගත යුතුය. මෙතැනදීද පළමු අවස්්ථාවේදී මෙන්ම එකේ සිට දහය දක්වා ඉහළට ගැන දහයේ සිට එක දක්වා පහළට ගැනීම මගින් අරමුණ වෙනතකට හරවා ගත හැකිය.
සිත වෙන අරමුණකට හරවා නිදහස්කර ගත් වහාම, ඉවසා විමසා බලා මෛත්‍රී සිතක් පහළ කර ගන්නට මෙත්තානුස්සති භාවනාව භාවිතා කළ යුතුය. මෙත්තානුස්සතිය වැඞීමෙන් ඒ තමාට අප්‍රිය වූ අමනාප වූ අරමුණු කෙරෙහි පැවති අපි‍්‍රය බව අමනාප බව සමථයට පත්කරගෙන, ඒ පුද්ගලයා හෝ සත්ත්වයා හෝ ඒ අවස්ථාව හෝ කෙරෙහි උපේක්ඛා සිතින් මැදිහත්ව බලන්නටද හැකිවෙයි. දැන් සිතෙහි මතු වන්නට ආ වෛරී ගතිය තාවකාලිකව යටපත් වෙයි. සිත සමථයට පත්වීමත් සමගම පෙර පරිදිම මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය මෙනෙහි කර, තම සිත තුළම මුල් බැස ගෙන පවතින මේ ද්වේෂ ගතිය මුළුන්ම උදුරා යළි බිහි නොවන, ආකාරයටම, උදුරා දමන්නට ක්‍රියාකිරීම නිබිබාන ගාමී මාර්ගය අනුගමනය කිරීමයි.
මෙත්තනානුස්සතිය හා මරණානුස්සතිය මෙන්ම බුද්ධානුස්සතියද මෙනෙහි කර, ප්‍රගුණ කර තමාගේම සිත තුළම මුල බැස ගෙන පවතින කෙළෙස් සහිත වූ ද්වේෂ ගතිය මුළුන්ම උදුර දැමීම, බුද්ධ තත්ත්වයට පත්වීමටම උපකාර වේ.මේ කෙළෙස් ගතිය තමා තුලම පවතින එකක් බව යථා පරිදි දැක, තම කැමැත්තෙන්ම මේ කෙළෙස් ගතිය සිතින් උදුරා දමන්නට හැකි වීම නිබ්බාන වීමයි.
”අනිස්සතෝච විහරති -නච කිංචි ලෝකේ උපාදියති”
යන්න යථා පරිදි අවබෝධ කරගත් පසුව, රාගය, ද්වේශය හා මෝහය යන කෙළෙස් ගති තුනමත්, තම කැමැත්තෙන්ම සිතින් උදුරා දමා, සිත පිරිසිදු කර ගත හැකි වෙයි.
3. සිතෙහි මතුවන කෙළෙස් සහිත වූ තුන්වන අවස්්ථාව මෝහයයි, මානයයි. විහින්සා විතක්ක විචාර සිතෙහි මතුවන අවස්ථාවයි. මෙහිදී මතුවන්නේ අස්මිමානය මුල් කොට ගත් මානයන් සමුහයකි. අස්මිමානය යන කෙළෙස් ගතිය, තම සිතේම මතුවීම තෝරා බේරාගන්නට ඉතාමත් අපහසුය.
තමන් මානයෙන් ක්‍රියාකරන බවක් පවා නොදන්නාකම මෙහි විශේෂ ලක්ෂණයකි. තමන් නොදන්නා බව තමන්ටම නොදැනේ. ජය ගන්නට යමක් තමන්ට ඇති බව, පරාජය කරන්නට යමක් තමන්ට ඇති බව සිතීමද අස්මිමානයේම ලක්ෂණයන්ය. සංසන්දයනය කිරීමද, අස්මිමානය නිසාම සිදු වන්නකි.
මෙම අස්මිමානයෙන් මිදෙන්නට නම් මෙත්තානුස්සතිය හෝ අසුභානුස්සතිය හෝ එවැනි සමථ භාවනා කර්මස්ථානයක් හෝ කිසිවක්ම හෝ උපකාර වන්නේ නැත.
මරණානුස්සතිය හා බුද්ධානුස්සතිය නිවැරදිව හා යථා පරිදි දැන, නිවැරදි ආකාරයටම භාවිතා කරමින් මානය උදුරා දමා, සිත පාරිශුද්ධ තත්ත්වයටම පත්කර ගන්නට කටයුතු කළ යුතුය. මානයෙන්, අස්මිමානයෙන් මිදී නිදහස් වීමත් සමඟම රූප රාග, අරූප රාග, උද්ධච්ච කුක්කුච්ච, අවිජ්ජා යන සංයෝජන පහෙන්මත් මිදී සිත සහමුළුන්ම කෙළෙස් වලින් තොර, පිරිසිදු එකක් බවට පත්වෙයි.
අනිච්චානු පස්සී විහරති – නිච්ච සංඥා පජහති ආදි වශයෙන් ඉහත පෙන්වූ පියවරයන් හතම භාවිතා කරමින් ”අනිස්සිතෝච විහරති – නච කිංචි ලොකේ උපාදියති”
යන ධර්මතාවය යථා පරිදි තේරුම් ගැනීමත් සමඟම මෙතෙක් පැවැත්වූ අස්මි මානය නැමති වැරදි මිමිම -වැරදි මැනීම සිතින් ඉවත් වී, උපේක්ඛා සිත සම්පූර්ණ වේ. මේ අනුව මෙම සතර කමටහන් ම නිවැරදි ලෙසින් අවබෝධ කරගෙන, කෙළෙස් කපා දමා සිත පිරිසිදු කර ගන්නට භාවිතා කළ හැක. මේ මගින් සතර සතිපට්ඨානයම සම්පූර්ණ වශයෙන් වැඩෙයි. සීල, සමාධි, ප්‍රඥා යන ත්‍රී ශික්ෂාවම සම්පූර්ණ වේ. දස අනුස්සතින්ම සම්පූර්ණ වී, මඟ ඵල ලබා ගන්නටම මෙය උපකාරී වේ.
මේ අනුව සතර කමටහන් භාවිතා කිරීම චතුරා රක්ඛා භාවිතා කිරීම, නියත වශයෙන්ම කෙළෙස් මුල් කපා දමා, නිවන් මඟ හෙළි පෙහෙළි කර ගන්නට උපකාර කර ගත හැකි ධමිමානුධමිම ප්‍රතිපදාවයි.