මජ්ඣිමා පටිපදාව හා මැද මාවත

සමාජ දුක සංසාර දුක යනු කුමක්දැයි තේරුම් නොගෙන, තේරුම් ගන්නට අපොහොසත් වී, අනන්ත අප‍්‍රමාණ ආකාරයෙන් දුක් විඳීමන් අතරමං වූ ලෝක සත්ත්වයාට පරක් තෙරක් නෙපෙනෙන සංසාර දුක් සාගරයෙන් මිදී නිදහස් වන්නට මඟ පෙන්වාදීම කළ්‍යාණ මිත‍්‍රයෙකුගේ පරම අභිලාෂයයි. පරම උත්සාහයයි. මෙවන් දුකකින් මිදී නිදහස් වන්නට උපකාර කරගත හැකි අනුගමනය කළ හැකි ධර්ම මාර්ගයක්, ප‍්‍රතිපත්ති සමුදායක් තම තමන්ටම අනුගමනය කළ හැකි බව මිනිසුන්ට පෙන්වාදීම, පැහැදිළි කරදීම කළ්‍යාණ මිත‍්‍රයෙකුගේම ක‍්‍රියාවකි. කළ්‍යාණ මිත‍්‍රයෙකු සේ ලොව්තුරා බුදුපියාණන්වහන්සේලා ලෝකයාට පෙන්වා දෙන දේශණාකර විග‍්‍රහකර දෙන නිවන් මාර්ගය නම් ”මජ්ඣිමා පටිපදා භගවතේන අභිසම්බුද්ධා” යනුවෙන් ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ පෙන්වා වදාළ නිවැරදි ප‍්‍රතිපත්ති මාර්ගයයි.

”මජ්ඣිමා” යන පද දෙකෙහි නිවැරදි ධර්ම අර්ථය, නිරුක්ති අර්ථය පළමු කොටම තේරුම් ගන්නට උත්සාහ කළ යුතුය, ”මා” යනු එක පදයකි. ”මජ්ක්‍ධි” යනු තවත් පදයකි. ”මා” යන පදය බුද්ධ භාෂිතයේ මාගධී ශබ්ද සංඥාවල නිතර නිතර භාවිතා කළ වැදගත්ම පදයකි.”මා” යන පදයේ නිවැරදි ධර්ම අර්ථය අද පවතින පාරිභාෂික පාලි භාෂාවේ ශබ්ද මාලාවෙන් ගිලිහී ගොස් ඇත. මජ්ඣිමාගම සූත‍්‍ර ධර්ම මාලාවේ පළමු වැනි සූත‍්‍රය වන මූලපරියාය සූත‍්‍රයේ තරම් වෙනත් කිසිම තැනක ත‍්‍රිපිටකයේ ”මා” විස්තර කර නැති බව පෙන්වා දිය හැකියි. ”මඤ්ඤති” හෙවත් මමත්වය ”මා මඤ්ඤති” යන තත්ත්වයට පත්කර ගෙන ”න” මඤ්ඤති තත්ත්වයටම නිදහස් කර ගැනීමේ ප‍්‍රතිපත්ති මාලාව විග‍්‍රහ කිරීමක් මූලපරියාය සූත‍්‍රයේදී පෙන්වා දෙයි. මෙහි ”මා” යන පදයෙන් අදහස් කළේ විග‍්‍රහ කළේ මමත්වයෙන්, මානයෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. අංගුත්තර නිකායේ ඉතාමත් වැදගත් සූත‍්‍ර ධර්මයක් සේ සළකන ”කාලාමා සූත‍්‍රයේත්” හැම තැනක බුදුපියාණන් යොදාගත් පදයක් වූයේ ”මා” යන පදයයි. ‘‘මා අනුස්සවේන, මා පරම්පරාය, මා ඉතිකිරාය, මා පිටකසම්පදානේන’’ ආදී වශයෙන් කාලාමයන්ට දේශණාකර පෙන්වා වදාළේ ”මා” යන පදය නැවත නැවතත් අවධාරණයෙන්ම යොදා ගැනීමෙනි. කාලාමයෙනි යමක් අයහපත් අනරිය නොගැළපෙන දෙයක්යැයි තොපටම වැටහුනොත් එය සම්පූර්ණයෙන්ම අතහැර, ඉන් මිදී නිදහස් විය යුතුය. එය පරම්පරාවෙන් හෝ උගතුන් විසින් හෝ ගුරු පරපුරෙන් හෝ පිටක සම්ප‍්‍රදායෙන් හෝ ගෙන ආවාට පමණක් එය පිළිනොගත යුතුය. ඒ නිසා මෙතැනද ”මා” යන මාගධී ශබ්ද සංඥාවෙහි ධර්ම අර්ථය අතහැර මිදී නිදහස් විය යුතුය යන්නයි. ”ඉමිනා පුඤ්ඤකම්මේන මා මේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති” යනුවෙන් නිතර නිතර දිනපතා ගායනා කරනු ලබන ගාථාවෙහිද ”මා” යන පදයෙන් අදහස් කරන්නේ බාල සමාගමෙන් මිදී නිදහස් වීම යන අර්ථයයි. මේ ආකාරයෙන් ත‍්‍රිපිටක ධර්මයේ තවත් බොහෝ ස්ථානවලත් ”මා” යන පදය යොදාගෙන විස්තර කළේත් අර්ථ ගැන්වූයේත් අතහැර මිදී නිදහස් වීම ” යන්නයි.

”මජ්ඣිමා” ”සම්මා” යනුවෙන් බුද්ධ දේශණාවේ අෂ්ටාංගික මාර්ගයේ එන පදවැල් වලද ”මා” යන පදය යොදාගෙන ඇත්තේ ”මිදී නිදහස් වීම” යන අර්ථයෙන්මය. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ කරන යමෙකු, මේ පදවල එන ධර්ම අර්ථයම නිවැරදිවම තේරුම් ගත යුතුය. ”මජ්ඣිමා” හා ”මජ්ක්‍ධි” යන පදවල ධර්ම අර්ථය තේරුම් ගන්නට උත්සාහ ගත යුතුය. මජ්ඣිමා යනු මදය, මත්වීම යන අර්ථය දෙන්නකි. මෙතැන මජ්ක්‍ධි යනු තමන්ම එකතුකර සාදා සකස් කරගත් මදය, මත යන තේරුම ඇතිව භාවිතා කළ පදයකි. ”සුරාමේරය මජ්ක්‍ධිපමා දට්ඨානා වේරමණී” යනුවෙන් පන්සිල් වල එන තැනද ”මජ්ක්‍ධි” යනු ”මදය”, මත් යන අර්ථය ඇතිවම යොදාගෙන ඇත.

”මජ්ඣිමා” පටිපදා යනුවෙන් පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති මාර්ගයෙහි අතහැර මිදී නිදහස් විය යුතු මදයන් ලෙස රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, විචිකිච්චා මදය, මාන මදය, අවිද්‍යා මදය හා සීලබ්බතපරාමාස මදය යන මදයන් හතම ඇතුළත්ය. මේ මද හතම සංසාර ගමනට නියත වශයෙන්ම උපකාරවන, දුකට මුල්වන ගති ලක්ෂණයන්ය. අත්ථකිලමතානුයෝගය, කාමසුඛල්ලිකාණුයෝගය යන අන්ත දෙක අතර ඇති හැම මැදක්ම සෑදී, සකස් වී ඇත්තේ මේ මදයන්ගේ සංකලනයෙනි. පෘථග්ජන ලෝකයා නිරතුරුවම මේ මැද සුවසේ, සැප සේ, ප‍්‍රියමනාප සේ දකින නිසාම සාරවත් යැයි නිගමනය කරගෙනම ඒවාට බැඳී සංසාර ගමන යයි. මෙසේ තමන්ම එකතු කර ගත් දේ නිසා මදයෙන් මත් වූ පෘථග්ජන ලෝකයාට තමන් මත් වූ බවක් පවා තේරුම් ගත නොහැකිය. ඒ මත් වූ ස්වභාවය සැපයක් සේම, සුවයක් සේම දකින නිසා නැවත නැවතත් එවන් සැප හඹා ගොස් සංසාරයේ අතරමං වෙති. සංසාරයට බැඳෙති.

මේ අන්ත දෙකම අල්ලා නොගෙන ඒ අතර මැදද අල්ලා නොගෙන පූර්ණ වශයෙන්ම මදයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධය බව පෙන්වා වදාළ තවත් බොහෝ තැන් ත‍්‍රිපිටකයේ ඇත. භාහිය දාරුවිරිය සූත‍්‍රයේ එන,

”තතෝ ත්වං භාහිය, න තත්ව, යථෝ ත්වං භාහිය න තත්ව, තථෝ ත්වං භාහිය නෙවිධ, නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛස්ස”

යනුවෙන් පෙන්වා වදාළ තැන ”නෙවිධ, නහුරං න උභයමන්තරේ” යනු ඒ අන්තයත් මේ අන්තයත් නිවන නොවන බවත්, මේ අන්ත දෙක අතර මැද (න උභය ම අන්තරේ) කොතැනකවත් නිවන නොවන බවත් පැහැදිළිවම පෙන්වා දී ඇත. දුක් අවසන් කර නිවන් අවබෝධ කර ගැනීම නිදහස ලැබීම ඒ අන්තයේත් නැත. මේ අන්තයේත් නැත. මේ අන්ත දෙක අතර මැද කොතැනකවත් නැත. අන්ත දෙකෙන් මෙන්ම අන්ත දෙක අතර මැදින් පූර්ණ ලෙස මිදී නිදහස් වීම නිවන බව මෙතැනදී පැහැදිළිවම දේශණා කර වදාරා ඇත. ”මා” යන පදයේ තේරුම අතහැර මිදී නිදහස්වීම බව මීට පෙරදී පෙන්වා දී ඇත. ”මජ්ඣිමා” යනුවෙන් දේශණා කළ ප‍්‍රතිපදාව විස්තර කර දුන්නේද ”සම්මා අංග අටකින් ” මීදී නිදහස් වීම ලෙසයි. (සං+මා – සම්මා) ”සං” එකතු කරගත් ගති ලක්ෂණයයි. ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ ගති ලක්ෂණ වලින් මිදී ඒවා අත්හැර නිදහස් වීම (සං+මා) යන පදයෙන් විස්තර කර දුන් සේක. මෙතැනද අන්ත දෙකම තේරුම් ගත යුතුය. ලෝභ, අලෝභ අන්ත දෙකකි. ද්වේෂ, අද්වේෂ අන්ත දෙකකි. මෝහ, අමෝහ අන්ත දෙකකි. ද්වේෂය අත්හැර අද්වේෂය අත් නොහැරියේ නම් එතැනදී වන්නේද ලෝකය අල්ලා ගැනීමකි. මේ දෙකෙළවරම අතහැර අතර මැද තත්ත්වයන් සියල්ලමද අතහැරීම නිවන් අවබෝධ කර ගැනීමයි. ”සං+මා” මජ්ඣිමා පටිපදාවයි.

සංයුක්ත නිකායේ මහාවග්ග සංයුක්තයේ මග්ග සංයුක්තය, බොජ්ඣංග සංයුක්තය ආදී වශයෙන් ”සං” විග‍්‍රහ කර පෙන්වා වදාළේ මත් වීමෙන් මිදී ‘‘සං’’ වලින් මිදී නිදහස් වීමට අනුගමනය කළයුතු නිවැරදි මඟ පෙන්වා දීමයි. ”සං” යනු කුමක්ද? ”සං” වලින් මිදී නිදහස් වන්නේ කෙසේද? යන්න සංදේශණාවක් අසා නිවැරදිවම තේරුම්ගත් කෙනෙකුට පමණක් නිවන් මඟද විවෘත වෙනු ඇත. මැදට වී, මදයෙන් මත්වී, මදයම රස විඳිමින් සිටින තාක්කල් සංසාර ගමනක් යනු මිස නිවනක් නම් නැත.

මජ්ඣිමා සම්මා ආදී වචනවලින් බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් මාර්ගය නිවැරදිවම තේරුම් ගන්නට නම් මජ්ඣිමාගම සූත‍්‍ර ධර්මයක් වන ”මහාචත්තාරිස” සූත‍්‍රය කියවා එහි එන ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. සම්මා අංග අටක් වන අෂ්ටාංගික මාර්ගයේද තිපරිවට්ටයක් ඇත. මේ තිපරිවට්ටයම නිවැරදිව තේරුම් ගැනීම නිවන් අවබෝධය ලැබීමයි. ඒ තිපරිවට්ටය නම්,

1. ම්ච්ඡදිට්ඨිං මිච්ඡදිට්ඨිති පජානාති
2. සම්මා දිට්ඨිං සම්මා දිට්ඨිති පජානාති
3. සම්මා දිට්ඨිම්පහං භික්ඛවේ ද්වයං වදාමි

i. අත්ථි භික්ඛවේ සම්මා දිට්ඨි සාසවා පුඤ්ඤභාගියා උපධිවිපක්කා
ii. අත්ථි භික්ඛවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා

මිත්‍යා දෘෂ්ඨිය, මිත්‍යා දිෂ්ඨිය ලෙසින් පිරිසිඳ දැන ගත යුතුය. සම්මා දෘෂ්ඨියෙහි කොටස් දෙකම එනම් ලෞකික සම්මා දිට්ඨිය හා ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවැරදිවම තෝරා බේරාගෙන පිරිසිඳ දැනගත යුතුයි.

උතුම් බුද්ධ ධර්මයේ විග‍්‍රහ කර පෙන්වා වදාළ පටිච්චසමුප්පාද ධර්මයේ එන තිපරිවට්ටය තේරුම් ගැනීමට නොහැකි ලෙසම අද ධර්මය විකෘති වී ගොස් ඇති නිසා ”සං” උපදින සමුදය ධර්මය පිළිබඳව හෝ සංදේශණාව හෝ අද ශ‍්‍රවණය කරන්නට නොලැබෙන හෙයින් ලෞකික හා ලෝකෝත්තර සම්මා අංගවල ඇති වෙනස්කම්ද
මිනිසෙකුට තේරුම් ගැනීම කිසිසේත්ම පහසු නොවේ.

”ද්වතාවය” නම් උතුම් බුද්ධ ධර්මයද අද සහමුළින්ම යටපත්ව අභාවයට ගොස් ඇත. ද්වතාවය ධර්මය යැයි බුද්ධ ධර්මයේ දේශණා කර පෙන්වා වදාළ ධර්මයක් ඇති බව හෝ අසා ඇති දන්නා අයද අද ඉතාම විරළය. ද්වතාවය, දෙපැත්ත නොදැන විපස්සනා, අනුපස්සනා කරනු නොහැකිය. විපස්සනා, අනුපස්සනා නොකර සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැකගනු නොහැකිය.

අද ව්‍යවහාරික අර්ථයෙන් සම්මා දිට්ඨිය යනුවෙන් හඳුන්වා දෙන්නේ හොඳ යහපත් නිවැරදි දැක්මකි. එය ආගම් සංකල්පයකි. ආගම් සංකල්පයකින් දකින්නේ ලෞකිකත්වය තුළින්ම දැකගත් හොඳ යහපත් නිවැරදි දෙයක් මිස ඒ ලෞකිකත්වය අභිබවා ගිය ලෝකෝත්තර නිවන ඉලක්ක කරගත් නිවන සඳහා මඟ පෙන්වා දෙන අතහැර මිදී නිදහස් වීමේ සම්මා මාර්ගය පෙන්වාදීම නොවේ. ඒ නිවන් මඟ නිවැරදිවම ඇත්තේ බුද්ධ ධර්මයෙහිම පමණකි. ආගම්වල එය දක්නට නැත.

උතුම් බුද්ධ ධර්මය අසා දැන තේරුම් ගෙන අනුගමනය කර අත්විඳගත යුතු අර්ථාන්විත ප‍්‍රතිපත්ති මාර්ගයකි. මිනිසෙකුටම තේරුම් ගතහැකි සරළ, සුගම, පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අද සංකීර්ණ වී තේරුම් ගත නොහැකි වී අනුගමනය කර අත්විඳ ගන්නට නොහැකි තත්ත්වයටම පත්වීම නිවන් මඟ වැසී යාමයි. නිවැරදි බුද්ධ ධර්මය අසාදැන, අනුගමනය කළොත් ප‍්‍රතිපත්ති පූරණය කිරීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික, අභ්‍යන්තර නිවීමක්, සුවයක්, නිදහස් වීමක්, සංසිඳීමක් තම තමන්ටම අත්විඳගත හැකිවෙයි. ඒ ධර්ම රසය අත්විඳ ගැනීමයි.

බුද්ධ ධර්ම මාර්ගයේ පෙන්වා වදාළ ප‍්‍රතිපත්ති පිරීමත් සමඟම ලබන නිරාමිස, අනාසව සුවය අත්විඳගත් කෙනෙකුට ධර්ම මාර්ගය අනුගමනය කිරීම තරම් සුවයක්, සැපයක් වෙනත් කිසිම ලෞකික දෙයක් උපාදානය කරගැනීමෙන් ලබා ගත නොහැකි බව ප‍්‍රත්‍යක්ෂ කර දැනගනී. මෙය යථාභූත ඥාණ දර්ශනය ලැබීමයි.

”සම්මා දිට්ඨිය”, දැකීම යනු ධම්මෝ සංදිට්ඨිකෝ වීමයි. ඒ නිසා සම්මා දිට්ඨියම පුබ්බංගමය, මූලිකය, පළමු කොටම දැකගත යුතු දේය. දිටිඨිය යනු දැනීම මුල්කර ගත් දැකීමයි. මිච්ඡ දිට්ඨිය යනු අනර්ථකර, අහිතකර, කුණු එකතු කරන ක‍්‍රියාවට කැමැත්තෙන්ම බැඳෙන දැකීමයි. ලෞකික සම්මා දිට්ඨිය යනු හිතකර, යහපත් හොඳ දේ එකතු කරන ක‍්‍රියාවලට කැමැත්තෙන්ම බැඳීමයි. ලෝකෝත්තර සම්මා දිට්ඨිය යනු එකතු කරගත් හොඳ, නරක, හිතකර, අහිතකර සියල්ලම කැමැති සේ පැවැත්විය නොහැකි බවත්, ඒවා ලෞකිකත්වය තුළම ඇති මායාවන්, මිත්‍යාවන් බවත් තේරුම් ගෙන මේ දෙකෙන්ම මිදී නිදහස් වීමයි. අෂ්ටාංගික මාර්ගයේ එන මේ තිපරිවට්ටයම පිරිසිඳ දැනගත් කෙනෙකුට මිස වෙනත් කිසි කෙනෙකුට චතුරාර්ය සත්‍යයයන් අවබෝධ වන්නේද නැත.

බුද්ධ ධර්මයේ ”සුනාථ” යනු අසාගෙන සිට ශබ්ද රසය විඳීම පමණක්ම නොවේ. මනස යොමුකර සාවධානව අසාගෙන, ශබ්ද රසය මෙන්ම අර්ථ රසයත්, ධර්ම රසයත් විඳීමයි. ඊළඟ පියවර වූ ”ධාරේථ” යන තත්ත්වයට පත්වන්නට නම් මෙහි ධර්ම රසයම මෙනෙහි කළ යුතුමය. ධර්මය අනුගමනය කර අත්විඳගන්නට හැකි වන්නේ මෙය නිවැරදිවම දැනගෙන ක‍්‍රියා කළහොත් පමණි.

අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන අසා දැන, බුද්ධ ධර්මය තේරුම් ගෙන එය අනුගමනය කරන්නට වීමත් සමඟම පුදුම ආකාරයේ ආධ්‍යාත්මික සුවයක්, නිවීමක්, නිදහසක්, සංසිඳීමක් තමා තුළින්ම තමාටම අත්විඳගන්නට හැකියාව ලැබෙනු ඇත. මෙය ඉවසීමෙන් අත්හදා බලා ඔබම මේ සුවය අත් විඳගන්න.

අද බුද්ධාගමේ උගත් ගිහි පැවිදි දෙපක්ෂයම බහුලවම විග‍්‍රහ කරණු ලබන සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය දක්වා එන සම්මා අංග අටම නිවන් මඟ නොවන අතර එය යහපත් නිවැරදි සංසාර පැවැත්මක් දිගින් දිගටම පවත්වා ගෙන සංසාර ගමන යාමට නම් උපකාර වන බව හැම බෞද්ධයෙකුම නිවැරදිවම තේරුම් ගත යුතුය. ලෞකික සම්මා දිට්ඨිය වැදගත් නැතැයි කිසිසේත්ම මෙයින් අදහස් නොකෙරේ. ලෞකික සම්මා දිටිඨියට පැමිණ එහි අතරමං වූවොත් හෝ ඉන් ඔබ්බට ගොස් ලෝකෝත්තර සම්මා දිට්ඨියේ පටන් ඇති සම්මා අංගයන් සම්පූර්ණ කර නොගත්තේ නම් හෝ නිවනක් නැති බව නම් අවධාරණයෙන්ම නැවතත් ප‍්‍රකාශ කරමි.

Share Button

සෝතාපන්න ඵලයට පත්වීමට අවශ්‍ය මූලික කරුණු විග්‍රහය

”චත්තාරෝ මේ භික්ඛවේ ධම්මා වඞ්ඩංති, සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති කතමේ චත්තාරෝ ධම්මා”
1. සප්පුරිස සංසේවෝ
2. සද්ධම්ම සවණං
3. යෝනිසෝමණසිකාරෝ
4. ධම්මානු ධම්ම පටිපත්ති
ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ ධම්මා වඞ්ඩති සෝතාපත්ති අංගේ පරිපූරෙන්ති, තින්නං සංයෝජනානං පහීයන්ති, සෝතාපත්ති ඵලං සචිජිංකරෝති”

මෙහි සඳහන් කරන ලද්දේ සෝතාපත්ති ඵලයට පත්වීමට නම් යමෙකු විසින් සම්පූර්ණ කරගත යුතු සෝතාපත්ති අංග හතර පිළිබඳවයි. මේ ඉහත සඳහන් කරන ලද සෝතාපත්ති අංග හතරම සම්පූර්ණ කර ගැනීමෙන් මිස වෙනත් කිසිම ආකාරයකින් සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ කරගෙන සෝතාපත්ති ඵලයට පත්විය නොහැකිය.

සක්කාය දිට්ඨි, විචිකිච්චිතා, සීලබ්බත පරාමාස යන සංයෝජන තුන ප‍්‍රහාණය කිරීමද දිට්ඨි අනුසය, විචිකිච්චා අනුසය ප‍්‍රහාණය කිරීමද, දිට්ඨාසව ප‍්‍රහාණය කිරීමද, දස්සනේන සම්පන්න තත්ත්වයට පත්වීමද සිදුවන්නේ මේ සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කර ගැනීමෙනි.

සෝතාපත්ති අංගයන් අතරින් පළමුවැන්න වන සප්පුරිස සංසේවනය, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා ගත හැකි වන්නේ අරිය උත්තමයෙකුගෙන්ම පමණි. ඒ අරිය ධර්මය අසා දැනගැනීමෙන් පරතෝඝෝෂක ප‍්‍රත්‍යයය ලබා ගැනීමෙනි.

අරිය උත්තමයෙකු දේශණා කරනු ලබන අරිය ධර්මය ශ‍්‍රවණය කිරීමෙන් දෙවන පියවරද සම්පූර්ණ වෙයි. අරිය උත්තමයෙකු දේශණා කරන පටිච්චසමුප්පාද ධර්මය අසා දැන ගෙන ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණය” ලැබීමෙන්ම මෙම සෝතාපත්ති අංගයද සම්පූර්ණ වෙයි.

සෝතාපත්ති ඵලයට පත්වීමේදී වඩාත්ම වැදගත් හා මූලිකම අවශ්‍යතාවය වන්නේ යෝනිසෝමනසිකරණීය ශක්තියයි. මෙය බාහිර පුද්ගලයෙකුගෙන් ලබාගත හැකි ආකාරයේ එකක් නොවේ. තමා තුළින්ම තමන්ම උපද්දවා ලබාගත යුතු තමන්ටම ලබාගත හැකි ශක්තියකි. කොතරම් බණ ඇසුුවත් කොතරම් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබුණත් තමන් යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට නොදන්නේ නම් සෝතාපත්ති අංගයන් කිසිවක්ම සම්පූර්ණ නොවන බවද මතක තබාගත යුතුය. මිනිසෙකු ලෙසින් උපත ලබා මිනිස් ගුණධර්ම දියුණු කර ගැනීමම යෝනිසෝමනසිකරණ ශක්තිය වඩා වර්ධනය කර ගැනීමයි. මෙය ඉෂ්ඨ සිද්ධ කරගත හැකි වන්නේද මනුස්ස ප‍්‍රතිලාභයක් ලද මේ අවස්ථාවේදීමය. ඒ යෝනිසෝමනසිකාරයෙන් ම ක‍්‍රියා කිරීමෙනි. හතරවැනි අංගය වූ ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදීමට නම් කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් අසා දැනගත් සද්ධර්ම මාර්ගය යෝනිසෝමනසිකාරයෙන් යුක්තවම අනුගමනය කළ යුතුය. යෝනිසෝමනසිකාරය නැති කෙනෙකුට ධම්මානු ධම්ම පටිපදාව අනුගමනය කිරීමද කළ නොහැකිය. මේ නිසා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම සෝතාපත්ති අංග හතර අතරින් ඉතාමත්ම වැදගත් අංගයද වන්නේය.

ලොව්තුරා බුදුවරයෙකු ලොව පහළවන්නේද බුද්ධත්වයට පත්වී බුද්ධ ධර්මය ලෝකයාට දේශණා කරන්නේද දෙව් මිනිසුන්ට යෝනිසෝමණසිකරණය පිළිබඳව කරුණු පහදා මනසීකරණ ශක්තිය දියුණු කරගන්නට මඟ කියාදීම සඳහාමය. යෝනිසෝමනසිකාරය නොදන්නා මිනිසුන්ට යෝනිසෝමනසිකරණයෙන් යුක්තව ක‍්‍රියාකිරීමෙන් තමා තුළින්ම ලබාගත හැකි යහපත් ප‍්‍රතිඵල, ආදීනව ආනිසංස පෙන්වාදී ඔවුන් යහපත් මාර්ගයට යොමු කරවන්නටමය. අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකිරීමේ අයහපත් ඵලවිපාක පෙන්වා දී යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකිරීමෙන් ලබන යහපත් ඵල විපාක මිනිසුන්ට පෙන්වා දීමටය.

මේ අනුව බුදුන්වහන්සේ කෙනෙකුන් බුද්ධත්වයට පත්වීමෙන් පෘථග්ජන බොහෝ මිනිසුන්ටද යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන්නට අවශ්‍ය දැනුම හා නිවැරදි පිරිසිදු මාර්ගය අසා දැන තේරුම් ගන්නටත්, ඒ මාර්ගය අනුගමනය කර ධම්මානු ධම්ම පටිපදාව සම්පූර්ණ කරගන්නටත් සෝතාපන්න ඵලයට පත් වී පෘථග්ජන තත්ත්වයෙන් මිදෙන්නටත් හැකිවන්නේය. මේ අනුව බුද්ධ ධර්මය අවශ්‍ය වන්නේත් අසාදැන ගත යුතුවන්නේත්, තෙරුම් ගෙන අනුගමනය කිරීම කළයුතු වන්නේත් අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකිරීම අත්හැර යෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියාකරන්නට පුරුදු පුහුණු වන්නටමය.

යෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියා නොකරන්නා අයෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියාකරන්නෙකි. මේ අනුව අයෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියා කිරීම හෙවත් අමනසිකාරය යන්නෙහි අර්ථයද විග‍්‍රහ කර දැනගැනීම ඉතාමත්ම වැදගත්ය. අසතියෙන් කටයුතු කිරීම අමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම අභාවිත සිතකින් ක‍්‍රියා කිරීමද අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන කෙනෙකුගේ ලක්ෂණයන්මය. තම චිත්තසංථානයේ කෙළෙස් ගති, කිළිටි ගති, අඥාණ ගති ගබඩා වී පවතින කෙනෙකුට අයෝනිසෝමනසිකරණයෙන් මිස යෝනිසෝමනසිකරණයෙන් ක‍්‍රියාකළ නොහැකිය. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය තම සිත තුළ මුල් බැසගෙන පවතින නිසාම කෙළෙස්, ආසව, අනුසය සිත තුළින්ම ක‍්‍රියාත්මක වී මනස මුවහ වී චිත්තසංථානය කිළිිටි වීම නිසාම මනසීකරණ ශක්තියද වැසී මුවහ වී යයි. ආගන්තුක වශයෙන් බාහිර ලෝකයෙන් චිත්තසංථානය ඇතුළට වද්ද ගන්නා කෙළෙස් ගති නිතර නිතර පරිහරණය කරන්නට පුරුදු වූ කෙනෙකුට යෝනිසෝමනසීකරණ ශක්තියද නැති වී යයි. පව්කම්, දස අකුසලයන් ආදී ළාමක ධර්ම යම්කිසි කෙනෙක් අතින් ක‍්‍රියාත්මක වන්නේම හිතට වහල් වී, හැඟීමට වහල් වී අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමෙන්ය.

මෙම සංසාර රිය ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට අවශ්‍ය සියලුම කරුණු තමන්ම සාදා සකස් කර ගන්නා හා අතීතයේදී සකස් කරගත් ඒවාමය. සංසාර ගැටළුව පිළිබඳව යථාපරිදි තේරුම් නොගත් පෘථග්ජන පුද්ගලයින්, අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන විට සංසාර ගැටළුවට තාවකාලිකව පිළියම් කරන්නේද, සංසාර ගැටළුව තුළින්ම තාවකාලික වෙනසක් ඇති කර ගැනීමෙනි.

දෙවි දේවතා පිහිට පැතීම, පුද පූජා පැවැත්වීම, බලි බිලි දීම, ශාන්ති කර්ම කිරීම, ආශිර්වාද පූජා පැවැත්වීම මෙන්ම යාග හෝම, යන්ත‍්‍ර මන්ත‍්‍ර කටයුතු කිරීම කරන්නේද මේ ලෞකිකත්වය තුළින්ම යම් කිසි වෙනසක්, සහනයක්, සුවයක් තාවකාලිකව ලබා ගැනීමේ ඒකායන අපේක්ෂාවෙනි. මේ ලබන ලෞකික සුවය තාවකාලික බවත්, ඒ තාවකාලික සුවය ලැබූ පසුව යළි යළිත් ඊටත් වඩා බලවත් සංසාර ගැටළුවකට තමන්ම මැදිවන බවත් තේරුම් නොගැනීම අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමකි. අවිද්‍යාව හා තණ්හාව යන ගති දෙකම යමෙකු තුළ පවතින්නේද යළි යළිත් ඒ ගතිම සිත තුළ උපත ලබන්නේද, යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට නොදන්නා නිසාමය.

සංසාර ගැටළුව නිර්මාණය කරගන්නේත්, සංසාර රිය ගමන ඉදිරියටත් දිගින් දිගටම පවත්වා ගෙන යන්නෙත් තමන්ම අවිද්‍යා සංඛාර ක‍්‍රියාත්මක කරන නිසාමය. අවිද්‍යා සංඛාර කිරීම හේතු කොටගෙන ලෝකය තුළ තමාම අතරමං වෙයි. මංමුළා වෙයි. නිවනට මඟ වැසී යයි. අවිද්‍යා සංඛාර කිරීමේ නියත ප‍්‍රතිඵලය තම සිත තුළ සමුදය බිහිවීමට සුගති ලෝකයක උපත ලබන්නට හේතුවන පුණ්‍යාභි සංඛාර හෝ නිරයේ, දුගතියේ උපත ලබන්නට උපකාර වන අපුණ්‍යාභි සංඛාර හෝ අසඤ්ඤ තලයන්හි උපත ලබන්නට හේතුවන, උපකාර වන අනෙජ්ඣාභි සංඛාර හෝ යන සංඛාර තුන් කොටසම අවිද්‍යා මූල සංඛාර ලෙසින් ධර්මයේ විග‍්‍රහ කර පෙන්වා දෙයි.

කාම ලෝක, දිව්‍ය ලෝක, මිනිස් ලෝකය යනාදී සියලු සුගති ලෝක වලද ජාති, ජරා, ව්‍යාධි, මරණ යන සියලුම දුක් පවතී. දුගතියේ, අපායේ ඇති දුක ගැන කිව යුතු නොවේ. අසඤ්ඤ තලයන්හිදී ඇත්තේද තාවකාලික සුවයකි. නැවත අපාගත වීමේ අවදානම, භය මේ සියලුම තලයන්හි පවතී. අපාගත වීමේ අවදානමෙන් සතර අපා බියෙන් සදහටම මිදෙන්නේ සෝතාපත්ති ඵලයට පත්වී මෙන්ම පමණි.

”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූ පුද්ගලයාම සංසාර භය දකී. සංසාර ගැටළුවද දකී. ”සං”උපත ලබන ආකාරය දැක නොගත්, ”සං” යන්න යථාපරිදි තේරුම් නොගත්, ”සං” නිසා තම චිත්තසංථානය කිළිටි වන බව නොදත් පුද්ගලයා ”ධම්මෝ සංදිට්ඨිකෝ” නොවූ අසංදිඨික, අසම්පඤ්ඤ, අමනසිකාරී, අසම්පජානකාරී, මොට්ටස්ස පුද්ගලයෙකි. එසේනම් ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට සමත් පුද්ගලයෙකි.

පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය අරිය උත්තමයෙකුගෙන්ම අසා දැන පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මය තමා තුළින්ම යෝනිසෝමනසිකරණීය ශක්තියෙන්ම අවබෝධ කරගෙන, එයම අනුගමනය කිරීම ධම්මානු ධම්ම පටිපදාවෙහි හැසිරීමයි. ඇස, කන, නාසය, දිව, කය, මනස යන තමාගේම ඉන්ද්‍රියයන් රූප, ශබ්ද, ගඳ සුවඳ, රසය, සුව පහස හා ධම්ම යන බාහිර දේට පටිච්ච වීමේ නියත ප‍්‍රතිඵලය වන්නේ සමුදය ධර්ම බිහිවී (සංභව) විඤ්ඤාණ ශක්තියක් බිහිවී සංසාර රිය ගමන යන්නට අවශ්‍ය ශක්තිය දිගටම උත්පාදනය කර දීමයි. හැම පුද්ගලයෙක්ම පෘථග්ජනයෙකු යැයි කියන්නේ හිතට වහල් වී, හැඟීමට වහල් වී, ඇස, කන, නාසය, දිව, කය, මන ආදී තමන්ගේම ඉන්ද්‍රියයන් පිනවීමේ කැමැත්තෙන්, ආශාවෙන්, තණ්හාවෙන් කටයුතු කිරීමේ පුරුද්දක් ඇතිකරගත් හෙයිනි. මෙසේ සිතට වහල්වී, හැඟීීමට වහල් වී ඉන්ද්‍රියයන් පිනවීමේ ක‍්‍රියාව නිසා තමන්ගේම චිත්තසංථානය කිළිිටි වී මනස මොට්ට වී මෝහයෙන් මුළා වී අමනසිකරණයෙන් ක‍්‍රියාත්මක වන්නෙකු බවට තමන්ම පත්වෙන බව නොදන්නාකම අවිද්‍යාවයි. ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයාම එසේ පත්වීමෙන්ම සමුදය උපත ලැබීමෙන් තම මනස මොට්ට වී, මුවහ වී, අමනසිකරණ තත්ත්වයට තමන්ම පත්වන බවද තේරුම්ගත යුතුය.

ආමිස සුවයක්, සැපතක් සඳහා ඇස, කන, නාසය, දිව, කය, මන, යන තමන්ගේම ඉන්ද්‍රියයන් පිනවීමේ නොතිත් ආශාවෙන් ක‍්‍රියා කරන පුද්ගලයා සංසාර දෘෂ්ඨියෙන්ම ක‍්‍රියා කරන්නෙකි. ඔහු සම්මා දිට්ඨිය යනු කුමක්දැයි නොදන්නා කෙනෙකි. ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වය අවබෝධ කර නොගත් සං දැක නොගත් කෙනෙකි.

”අනිච්ච දේ නිච්ච”සේ දැකීම අයෝනිසෝමනසිකාරය නිසාම සිදුවෙයි. දුක්ඛ දේ, දුක බව නොදැක සුඛ සේ සැප සේ දකින්නේද අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නාය. අනත්ථ දේ අනත්ථ ලෙස දැක ගැනීමට නොහැකිව අත්ථ සේ දැක ගන්නේද අයෝනිසෝ මනසිිකරණයෙන් ක‍්‍රියා කරන්නාමය. මේ සංසාර ගැටළුව යළි යළිත් තමන්ම ප‍්‍රතිනිර්මාණය කර ගන්නේම යථා පරිදි ත‍්‍රිලක්ඛණය අවබෝධ කර නොගැනීමෙනි. අද නිවන් මඟ සොයමින් භාවනා කරන ගිහි පැවිදි බොහෝමයක් දෙනා ත‍්‍රිලක්ඛණය භාවනා කරන්නේ යථා අවබෝධයකින් තොරවය. ධර්මය නොදැනය. මෙයද අයෝනිසෝමනසිකරණය නිසාම සිදුවන විශාල හානියකි.

පෘථග්ජන පුද්ගලයා නිරතුරුවම ප‍්‍රිය මනාප දේ සමඟ ඇලෙයි. අප‍්‍රිය, අමනාප දේ් සමඟ ගැටෙයි. ප‍්‍රිය යැයි මනාප යැයි තමන් තීරණය කළ දේ අල්ලා උපාදානය කරගනී. අප‍්‍රිය, අමනාප යැයි තීරණය කළදේ සමඟ වෛර කරයි. ක්‍රෝධ කරයි. මෙසේ ප‍්‍රිය දේට ඇලෙන්නේ හා අප‍්‍රිය දේවල් සමඟ ගැටෙන්නේ තමන්ම හුරු පුරුදු කරගත් ගති නිසා බව ඔහු නොදනී. අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන එවන් පුද්ගලයා සිතන්නේම මේ පි‍්‍රය මනාප බව (ගතිය) ඇත්තේ බාහිර ලෝකයේ බවයි. අප‍්‍රිය, අමනාප, තරහා, වෛර ගති ඇත්තේද බාහිර පුද්ගලයන් ලඟ බවයි. තමන් ලඟ තමන් තුළ ඇති මේ කෙළෙස් ගති යථාපරිදි දැකගන්නට අසමත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකි. ඔහු සිතන්නේම මේ ගති ඇත්තේ බාහිර ලෝකයේම බවයි. තමා ලඟ නොවන බවයි.

ප‍්‍රිය දේ සමඟ බැඳෙන, සම්බන්ධ වන හැම අවස්ථාවකදීමත් අප‍්‍රිය අමනාප දේ සමඟ ගැටෙන, වෛර කරන හැම අවස්ථාවකදීමත් ඒ පුද්ගලයාම සංසාරයට බැඳෙන බැම්මක් යළි තමන්ම සකස් කරගන්නා බව ඔහු නොදනී. මේ අවිද්‍යාව, මෝහය, නොදන්නාකම නිසාම තමන් තමන්ටම කරගන්නා හානියකි. මේ ප‍්‍රිය මනාප දේ කොතරම් ප‍්‍රිය මනාප දෙයක් වුවද, මේ ප‍්‍රිය මනාප ගති ස්වභාවය මතු වූයේ තමන්ගේම සිතේ බවත්, මේ ප‍්‍රිය මනාප ගති ස්වභාවය බාහිර ලෝකයේ පවතින දෙයක් නොවන බවත් යථාපරිදි දැක ගැනීමට නොහැකි පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකර, ප‍්‍රිය මනාප දේ උපාදානය කරගෙන සංසාර බැම්මට බැඳෙයි. ඒවාගේම අප‍්‍රිය අමිහිරි දේ සමඟ ගැටී අමනාප වන පුද්ගලයා සිතන්නේම මේ අප‍්‍රිය අමනාප ස්වභාවය ඇත්තේ තමාගේ සිත තුළ නොව බාහිර පුද්ගලයා සත්ත්වයා හෝ ධර්මතාවය තුළ බවයි. තම සිතේම හටගත් මේ වෛරී ස්වභාවය දැක ගැනීමට නොහැකි වූ අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාද සංසාර බැම්මට යළි යළිත් බැඳෙයි.

මෙවන් කෙළෙස් ගති පවතින්නේත් උපත ලබන්නේත් තම චිත්තසංථානයේම බව යථාපරිදි තේරුම් ගැනීමට නොහැකි වූ මෙවන් කෙළෙස් ගති වල ”අනිච්ච බව, දුක්ඛ බව අනත්ථ බව” යථාපරිදි තේරුම්ගෙන ඒ ගති තම සිතින්ම ප‍්‍රහාණය කර දමන්නට නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකි. ඔහු සංසාර ගැටළුව නොකඩවාම යළි යළිත් තමන්ම නිර්මාණය කර ගන්නා කෙනෙකි. ”යායං තණ්හා පොනොභවිකා” යනුවෙන් ධම්මචක්කපවත්වන සූත‍්‍රයේ දේශණා කර පෙන්වූ ධර්මතාවය මෙයයි.

එසේ නම් දස සංයෝජනයන්ම සකස් කරගෙන සංසාර ගමනට නිරන්තරවම බැඳෙන්නේ, තමන්ගේම නොදැනුවත්කම (අවිද්‍යාව) හා තණ්හාව නිසාම බව තේරුම් ගත යුතුය. මේ අවිද්‍යාව හා තණ්හාව යන ගති මෙන්ම මානය, මිත්‍යා දෘෂ්්ඨිය යන ගතිද ඇත්තේ තමන්ගේම චිත්තසංථානයේ බව සිතන්නට හෝ මෙනෙහි කරන්නට හෝ නොදත් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන්නා ලෙසින් ධර්මයේ හඳුන්වා දෙයි.

චතු අරිය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට හැකිවන්නේද යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කිරීමෙනි. චතු අරිය සත්‍යයන් අවබෝධ කර නොගත්, අස්සුතවත් පෘථග්ජන පුද්ගලයා දුප්පඤ්ඤස්ස, අඥාණ පුද්ගලයෙකි. මෙහි අදහස එවන් පුද්ගලයා යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීම යනු කුමක් දැයි පවා නොසිතන, නොදන්නා කෙනෙකු වීමයි.

සතියෙහි පිහිටා, සතියෙන් යුතුව කටයුතු කරන පුද්ගලයා හේතුඵල දහමට බහා ගළපා බලා ක‍්‍රියා කරන කෙනෙකි. විනයට සසඳා බලා ක‍්‍රියා කරන්නෙකි. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයාට මෙවන් ගතිගුණ දක්ෂතා ඇත. අරිය පර්යේෂණයන් කරන පුද්ගලයා නිතරම හේතුඵල බහා ගළපා බලා කරන කියන, හිතන සියලු දේ කරයි. කියයි. හිතයි, ඔහු අරිය මාර්ගය දනී. අනරිය මාර්ගයද දනී. අරිය මාර්ගය අනුගමනය කරයි. අනරිය මාර්ගය අත්හරියි.

මෙනෙහි කළ යුතු දේ යථාපරිදි දැන මෙනෙහි කරයි. මෙනෙහි නොකළ යුතු දේ යථා පරිදි දැන මෙනෙහි නොකරයි. මෙවන් පුද්ගලයා ”ද්වතා අනුස්සතියෙන්” යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන මග්ගේමග්ග ඥාණ දර්ශනය ලැබූ පුද්ගලයෙකි.

අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයා කාම විතක්ක විචාර වලට ඇලෙයි, බැඳෙයි, ඒවාට මුළාවෙයි. ව්‍යාපාද විතක්ක වලට ගැටෙයි. ඒවා නිසා තරහ, වෛරය තම සිත තුළම බිහි කර ගනී. විහිංසා විතක්ක විචාර පවත්වා තමන් පිළිබඳවම මානයක් ඇති කර ගනී. මෙසේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර පවත්වන්නට පුරුදු වූ, පුහුණු වූ පුද්ගලයාගේ සිතෙහි පවතින්නේ අකුසල් සිතිවිලිමය. ඔහු අතින් සිදු වන්නේම පාප කර්මයන්මය. මේ අනුව චිත්තසංථානය කිළිටි කරගෙන, මනස මොට්ට කරගෙන යළි යළිත් අයෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකු බවට පත්වෙයි. මෙය ගති පුරුද්දක් බවටද පත්වෙයි. ඔහු අතින් සීලය නොරැකෙයි.

යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන සුතවත් අරිය ශ‍්‍රාවකයා මීට හාත්පසින්ම වෙනස්ය. තම සිතට අරමුණු වන සියලුම අරමුණු කෙරෙහි මනා අවධානයෙන් සිට (”පරිමුඛං සතිං උපට්ඨපෙත්වා”) සිතා බලා හේතුඵල ධර්මයට බහා ගළපා බලා අයහපත් කාම විතර්ක, ව්‍යාපාද විතර්ක, විහිංසා විතර්ක වෙන්කොට තෝරා බේරාගෙන, ඒවා සිතින් ප‍්‍රහාණය කර, ඉවත් කර දමන්නටත් (සතෝව පස්ස සති) ඒවාගේම යහපත් අරමුණු වීතරාගී, වීතද්වේෂී, වීතමෝහී අරමුණු භාවිතා කරන්නටත් (සතෝව අස්ස සති) දන්නා පුද්ගලයෙකි. මේ ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ මුල්ම පියවරයි. මේ ආකාරයට ක‍්‍රියා කරන ඔහුගේ සිතෙහි කෙළෙස් ප‍්‍රහාණය වී සිත පිරිසිදු වෙයි. මනසීකරණ ශක්තිය වැඩි දියුණු වෙයි.

යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට දැනගත් මෙවන් අරිය ශ‍්‍රාවකයා ”සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වූවෙකි. ”සං” දැනගත් කෙනෙකි. සංදිට්ඨිකෝ තත්ත්වයට පත් වූ පුද්ගලයා හිතට වහල් වී, හැඟීමට වහල් වී කටයුතු කිරීමෙන් ඉවත් වෙයි. ඒ නිසා ”සම්මා දිට්ඨියට ”පත් වුවෙක් ද වෙයි.

මේ අනුව තමන් අතින් සියලු පව්කම් හා අකුසල කර්මයන් සිදුවන්නේ යෝනිසෝ මනසිකාරයෙන් තොරව ක‍්‍රියා කිරීම නිසා බව ඔහු තේරුම් ගනී. මෙම දැක්ම සම්මා දිට්ඨියයි. කෙළෙස් වලින් අකුසලයෙන් මිදී නිදහස් විය යුතුය යන පිරිසිදු දැක්මයි.

යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන අරිය ශ‍්‍රාවකයා ස්වාර්ථය මෙන්ම පරාර්ථයද සළකා බලා ක‍්‍රියා කරයි. තමා කරන කියන, හිතන දෙයෙහි ඵලවිපාක ලෙසින් තමාට සිදුවන යහපත හෝ අයහපත වාගේම අනුන්ට සිදුවන යහපත හෝ අයහපත ගැනද සළකා බලයි. තමන්ම සංසාරයේ අතරමං වන, මංමුළා වන අපාගත වන ක‍්‍රියා කිරීමෙන් වැළකී සිටින ඔහු අනුන්ව සංසාරයේ අතරමං කරවන, මංමුළා කරවන, අපාගත කරවන ක‍්‍රියාකරකම් වලින් ද තමටන්ටත්, අනුන්ටත් සංසාර බැමි වලින් මිදී නිදහස් විය හැකි දේම ක‍්‍රියාත්මක කරයි. තමනුත් මිදී අනෙකාවත් මුදවාලයි. දේව ආගම් සංකල්පවලට අනුව පුද පූජා පවත්වමින්, ආශිර්වාද පූජා පවත්වමින් මේ පැවැත්ම, ලෞකික ජිවිතය, තාවකාලිකව සුවපත් කරන්නට, යහපත් කරන්නට, ලෞකික සැප සම්පත් උපාදානය කරගන්නට මිනිසුන් පොළඹවන ආකාරයේ ආගමික සංකල්පවලට මිනිසුන්ව බැඳ තබන්නට උපදෙස් දී මිනිසුන්ව සංසාරයේ අතරමං කරන්නාද අයෝනිසෝ මනසිකාරයෙන්ම ක‍්‍රියා කරන්නෙකි. මිනිසුන්ට තමන්ගේම මනස මෙහෙයවා මේ පැවැත්ම, ජීවත්වීම පිළිබඳව සත්‍යය ස්වභාවය හෙළි කරදී ඇති තතු යථා පරිදි අවබෝධ කරගන්නට සත්‍යය කියාදීම අරිය උත්තමයෙකුගේ වගකීමයි. මේ ලෞකික පැවැත්ම මොනයම් ආකාරයෙන් හෝ යහපත් එකක් ලෙසින් දිගටම පවත්වා ගන්නට දරණ සියලු උත්සාහයන් ”අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව” පෙන්වා දීම, යෝනිසෝ මනසිකාරයෙන් ක‍්‍රියාකරන බුද්ධ ශ‍්‍රාවකයෙකුගේ යුතුකමයි.

යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා කුසලය, කුසලය ලෙසින් යථාපරිදි දැන හඳුනාගත් කෙනෙකි. අකුසලය, අකුසලය ලෙසින්ද යථාපරිදි හඳුනාගත් ඔහු කුසල හා අකුසලය අතර ඇති වෙනස මෙන්ම කුසලය හා පින අතර ඇති වෙනසත් හඳුනා ගනී. යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා නොකරන පුද්ගලයා පින්කමක් කරගැනීමේදී එයද සංසාර ගමන දික් කරගන්නා ආකාරයේ අකුසලයක් ලෙසින්ම උපාදානය කරගන්නටම ක‍්‍රියා කරයි. දෙව්, මිනිස් සැප සම්පත් පතමින් කැමැත්තෙන්ම කාම ලෝක වල අතරමං වන්නට පින්කම් කරන බොහෝ පින්වතුන් අදටත් අප අතරම දැක ගත හැකිය. ඒ අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමකි. යළි යළිත් සසර දුක්ම උරුම කර ගැනීම එහි නියත ප‍්‍රතිඵලය බව ඔහු කල්පනා නොකරයි.

තමන්ගේම මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන නුවණින් මෙනෙහි කර සිතට අරමුණු වන සියලු අරමුණු මැන බලා, පෙරා බලා පිරිසිදු කර, තෝරා බේරාගෙන, යහපත් අරමුණු පමණක්ම භාවිතා කිරීමත් අයහපත් කෙළෙස් සහිත අරමුණු භාවිතයට නොගෙන බැහැර කර, ප‍්‍රහාණය කිරීමත් (අස්ස පස්ස) යන දෙයාකාර වූ ක‍්‍රියාවලිය ක‍්‍රියාත්මක කරන්නට පුරුදු වූ පුද්ගලයා සතර සතිපට්ඨානයෙන්ම ක‍්‍රියාකරන පුද්ගලයෙකි. මෙම ද්වතා අනුස්සතිය තෝරා බේරා ගන්නට නොහැකිව ප‍්‍රාණ යාම යෝගී ක‍්‍රම අනුගමනය කරන්නාද අයෝනිසෝමනසිකාරයෙන්ම භාවනාවන්හි යෙදෙන්නෙකි. මේ අනුව භාවනාවද දෙයාකාරයකි. යෝනිසෝමනසිකාරයෙන් කරන අරිය භාවනාව හා අයෝනිසෝමනසිකාරයෙන් කරන අනරිය භාවනාව යනුවෙනි.

යෝනිසෝමනසිකාරය යන්න සාපේක්ෂ වශයෙන් ද සළකා බැලිය යුතුය. පෘථග්ජන පුද්ගලයෙක් හොඳ, යහපත්, නිවැරදි දිවිපෙවෙතක් පවත්වා ගැනීමට අවශ්‍ය සම්මතයෙන් යහපත් සමාජ සුචරිතයෙහි යෙදෙන්නේද යම් කිසි ආකාරයිකින් යෝනිසෝමනසිකාරයෙන්ම ක‍්‍රියා කිරීම නිසාමය. එය ලෞකික පැවැත්ම යහපත් දේ දිගින් දිගටම පවත්වාගෙන යාමටත් අපායෙන් බේරී සුගතියට පවත්වන්නටත් උපකාරවන යෝනිසෝමනසිකරණය ශක්තියයි.

මාර්ග ඵලයන් ලබාගෙන නිවන් අවබෝධ කරගෙන ලෞකිකත්වයෙන් සදහටම මිදී ඉන් එතෙරවන්නට උපකාර වන්නා වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකාරය මීට
වෙනස් එකකි. මෙහිදී කෙළෙස් මුල් සමුජ්චේදප්ප‍්‍රහාණයෙන්ම ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය පිරිසිදු කර ගන්නට උපකාරවන ලෝකෝත්තර මනසිකාරය වඩාත් බලවත් එකකි. මෙහිදී යෝනිසෝමනසිකාරය යන්න ”සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා” යන දෙයාකාරයෙන්ම තේරුම් ගෙන කරණීය ධර්ම, අකරණීය ධර්ම යන දෙකම ක‍්‍රියාත්මක කරන්නටත් උපකාරවන්නකි. සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ම සම්පූර්ණ කරගත හැකි වන්නේත් මෙවන් වූ ලෝකෝත්තර යෝනිසෝමනසිකරණ ශක්තියකින් ක‍්‍රියා කිරීමෙනි. සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවම සම්පූර්ණ වන්නේත් ලෝකෝත්තර යෝනිසෝමනසිකාරයෙන් යුතුව ක‍්‍රියා කරන්නෙකු තුළ පමණි.

අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා තුළ ලෝභ, ද්වේෂ, මෝහ ගති මෙන්ම මාන, දිට්ඨි, අවිද්‍යා යන ප‍්‍රපංච ධර්මයන්ද ක‍්‍රියාත්මක වන නිසා එවන් පුද්ගලයා ලෞකික දුකෙන් මිදී නිදහස් වන්නට තාවකාලිකව ක‍්‍රියාත්මක කරන බොහෝ කි‍්‍රයාකාරකම් වලින්ද සිදුවන්නේ තව තවත් පංචස්කන්ධයම උපාදානය කරගෙන සංසාරයට තව තවත් බැඳී ණය වී මාරයාට නැවත නැවත ණය වීමයි.

ලෞකිකත්වය තුළින්ම තාවකාලික සහනයක්, සුවයක්, විමුක්තියක් සොයන මෙවන් පෘථග්ජන පුද්ගලයා පුණ්‍යාභි සංඛාර කරමින් එයද උපාදානය කරගෙන කාම ලෝකවල අතරමං වෙයි. තවත් බොහෝ අය අනරිය භාවනාවන් වල යෙදීමෙන් අනෙජ්ඣාභි සංඛාර කරමින්, අනරිය ධ්‍යානයන් ලබාගෙන අසඤ්ඤ තලයන්හි අතරමං වෙයි. මේ කොටස් දෙකම අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයන්ය. ඔවුන් සත්‍යය දැනගෙන ක‍්‍රියාකරන්නන් යයි සිතාගෙන ක‍්‍රියාකරන නමුත් තම තමන්ගේම නොදැනුවත් බව නොදන්නා අය වෙති. එවන් අය තම නොදැනුවත් කම නිසා තමන් සංසාරයේ අතරමං වීමට අමතරව තවත් බොහෝමයක් අනුගාමිකයින්වද සංසාරයේ කල්ප කාලාන්තරයක් අතරමං කරවීමට ක‍්‍රියා කරති. මෙයද අයෝනිසෝමනිසිකාරයෙන් ක‍්‍රියා කිරීමේ ප‍්‍රතිඵලයන්මය.

පුණ්‍යාභි සංඛාර, අපුණ්‍යාභි සංඛාර හා අනෙජ්ඣාභි සංඛාර යන අවිද්‍යා මූල සංඛාරයන් මෙන්ම කුසලාභි සංඛාරයන් ගැනද දැන තේරුම් ගත් පුද්ගලයා කළයුතු දේ හා නොකළ යුතු දේ ගැනද තේරුම් ගත් කෙනෙකි. ඔහු නිතරම කුසලාභි සංඛාර කරමින් සසර ගමන නිමා කරන්නට උත්සාහ දරණ යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන්නෙකි. එවන් උත්තමයාම බාහිර ලෝකයාටද කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා දෙන්නටත් පරතෝඝෝෂක ප‍්‍රත්‍ය ලබාදෙන්නටත් සමත් කෙනෙකුම වෙයි.

කෙළෙස් නසා දමා මාර්ගඵල ලබාගත යුතු බව දේශණා කර පෙන්වා දුන්නත් ප‍්‍රායෝගිකවම කුසලාභි සංඛාරයන් පැවැත්වීම මගින් කෙළෙස් ප‍්‍රහාණය කරන ප‍්‍රායෝගික වැඩපිළිවෙළ ලෝකයාට ආදර්ශවත් ලෙසින්ම පෙන්වා දෙන්නට අසමත් නම් එතැනද යෝනිසෝමනසිකාරයෙන් යුක්තව ධර්මයෙහි හැසිරීමක් (චරේථ ධම්මෝ) නැත.

ලෞකිකත්වය තුළම තමන්ද අතරමං වන බාහිර ලෝකයාවද අතරමං කරවන පින්කම් කරන්නටම පමණක් ලෝකයාට උපදෙස් දීම පවිත‍්‍ර බුද්ධ ධර්මය නම් නොවේ. ලෞකිකත්වයෙන් එතෙරවන්නට උපකාරවන කෙළෙස් මුල් ගළවා දමන්නට උපකාර වන බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කර පහදා දිය යුතුයි. එය පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයයි.

මේ අනුව සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කරන්නට නම් ධම්මානු ධම්ම පටිපදාවෙහි යෙදී ක‍්‍රියාකරන්නට නම් යෝනිසෝමනසිකාරයෙන්ම කටයුතු කරන්නෙකු වීම අනිවාර්යම සාධකයකි.

සම්මස්සන ඥාණයන්, සතර සම්මප්පධානයන්, සතර ඍද්ධිපාදයන් සම්පූර්ණ කරගෙන සතර සතිපට්ඨානයෙහි යෙදී සතර මඟ සතර ඵලයන් ලබා ගත හැකි වන්නේ යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන මිනිසෙකු බවට පත්වීමෙන්ම පමණි.

තමන් කොතරම් දුරට යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයෙක්ද? එසේ නැති නම් තමන් කටයුතු කරන්නේ අයෝනිසෝමනසිකාරයෙන්ද යන්න දැන් ඔබටම තීරණය කර ගන්නට මෙහි සඳහන් කරන ලද කරුණු සාවධානව සළකා සිතා බලන්න. දැන් ඔබේම යහපත සඳහා ඔබ ගැනම ඔබ කල්පනා කර මේ කරුණු එකින් එක සළකා බලා තීරණයක් ගත යුතුයි.

උපන් හැම සත්ත්වයාම සසර දුක් විඳීමට හා සංසාර දුක නිර්මාණය කරගන්නට මුලිකම හේතුව ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට පුරුදු වීමයි.

මිනිසෙකු ලෙසින් උපත ලැබූ ඔබට යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකර මනස පාවිච්චිකර සසර දුකෙන් සඳහටම මිදී නිදහස් වන්නට උතුම් අවස්ථාවක් අද උදාවී ඇති බව සිතන්න. වෙන කාටවත්ම ඔබේ චිත්තසංථානය හෝ මනස කිළිටි කර කෙළෙස් වලින් පුරවා නිවන ආවරණය කරන්නට නොහැකිය. ඔබේ චිත්තසංථානය කිළිටි කර ගන්නේද, මනස මොට්ට කරගන්නේද ඔබමය. ඔබේ චිත්තසංථානය පිරිසිදු කරගෙන, මනස මුවහත් කරගෙන, කෙළෙස් බැමි කපා දමන්නට හැකි වන්නේද ඔබටමය.

මිනිසෙකු ලෙසින් මනුස්සයෙකු ලෙසින් උපත ලැබූ ඔබට දැන් ලැබී තිබෙන උරුමයෙන්ම ලැබුණු උසස්ම දේ මනීන්ද්‍රියයි. ඔබේ මනීන්ද්‍රිය පිරිසිදු කරගෙන මානසික ශක්තිය යෝනිසෝමනසීකරණ ශක්තිය බවට උපදවා ගත හැකි උතුම්ම ශක්තියයි. එය බුද්ධ ශක්තිය ලබන්නට උපකාර වන එකම ධර්මතාවයයි.

ඒ නිසා පිරිසිදු බුද්ධ ධර්මයම අසා දැන ධර්මයෙහි හැසිරෙන්න. සංසාරයේ අතරමං වන බොහෝමයක් දේව ආගමික සංකල්ප වලින් බැහැර වන්න. එවිට ඔබටත් යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන්නට සුදුසු වාතාවරණයද සකස් කර ගත හැකි වෙනු ඇත.

”අයෝනිසෝ භික්ඛවේ, මනසිකරෝතෝ අනුප්පන්නා චේච ආසවා උප්පජ්ජති, උප්පන්නාච ආසවා පවඞ්ඩන්ති යෝනිසෝ ඛෝ භික්ඛවේ මනසිකරෝතෝ අනුප්පන්නා  චේච ආසවා න උප්පජ්ජති, උප්පන්නාච ආසවා පහීයන්තී”

මේ සබ්බාසව සංවර පරියාය සඳහා කළ දේශණාවයි.

Share Button

කරණීය ධර්ම හා අකරණීය ධර්ම

”බුද්ධ ධර්මය තේරුම් ගන්න බැහැ. ධර්මය අවබෝධ කර ගන්න බැහැ. මේ ධර්මය හරිම ගැඹුරුයි. අපට මේව ගැළපෙන්නෙ නැහැ” ආදී වශයෙන් යම් කෙනෙකු හිතනවා නම්, ප‍්‍රකාශ කරනවා නම් එතැනදී බුද්ධ ධර්මය යථා පරිදි අවබෝධ කරගැනීමට තරම් තමන්ගේම මනස පිරිසිදු නැති බව අවබෝධ කරගත යුතුයි. තමන්ගේ මානසිකත්වය අපිරිසිදුයි යන්න තමන්ම දැන ගත යුතුයි. තමන්ගේම මනස මෝහයෙන්, මිච්ජා දෘෂ්ඨිවලින් උපාදානය කරගත් ප‍්‍රිය අප‍්‍රිය දේ වලින් වසාගෙන මුවහ කරගෙන සංසාර දෘෂ්ඨියකින්, ලාභ දෘෂ්ඨියකින්, ආස්වාද දෘෂ්ඨියකින් කටයුතු කරන්නට පුරුදු වූ පුහුණු වූ කෙනෙකුගේ කිළිටි සිතකින් බුද්ධ ධර්මය වැනි පිරිසිදු උතුම් ධර්මයක් අවබෝධ කරගන්නට තරම් සුදුසු තත්ත්වයක් සිතේ නොපවතී. ඒ අනුව උතුම් බුද්ධ ධර්මය තේරුම් ගන්නට, අවබෝධ කර ගැනීමට නොහැකි වීම වෙනත් කාගේවත්ම වරදක් නොවේ. තමන්ගේම වරද බවත්, තමන්ගේ මානසිකත්වය, යෝනිසෝමනසීකරණ ශක්තිය දුර්වලයි යන බවත්් මිනිසකු ලෙස තම තමන්ම තේරුම්ගත යුතුයි.

තවත් බොහෝම අය ප‍්‍රකාශ කරන්නේ ”මට අහගත්තු ධර්මය මතකයේ තියාගන්න බැහැ. සියල්ලම ටික වෙලාවකින්ම අමතක වෙලා යනවා” යනුවෙනි. එසේ නම් ඒ පුද්ගලයාත් දැනගත යුතු වන්නේ ඒ පුද්ගලයාගේම චිත්තසංථානය අනවශ්‍ය කුණු වලින්, කෙළෙස් වලින් පුරවාගෙන ඇති නිසා චිත්තසංථානය අපිරිසිදු නිසාම උතුම් ධර්මය යහපත් දේ මතක තබා ගැනීමට තමන්ට නොහැකි බවයි. චිත්තසංථානය අපිරිසිදු වීමට හේතුව ප‍්‍රිය දේට ඇලීම යන රාගයෙන් මත්වීම නිසාත්, අප‍්‍රිය දේට ගැටීම යන ද්වේෂය, වෛරය සිතේ පැවතීම නිසාත්ය. සිත අසහනයට, කම්පනයට පත් වූ විට චිත්තසංථාන තුළට ගතයුතු දේ හා නොගත යුතු දේ තීරණය කර ගැනීමට නොහැකි වීම අමතක වීම ලෙස හැඳින්වේ.

චිත්තසංථානය අපිරිසිදු වීමෙන් මනස මුවහ වේ. මනසේ සෛලයන් වැසී, මුවහ වී මනසීකරණ ශක්තිය දුර්වල වේ. අසා දැනගත් ධර්මය ආශ‍්‍රයෙන්ම දැකගතයුතු යථා තත්ත්වය යථාභුත ඥාණ දර්ශනය දැක ගැනීමටත් නොහැකි වීමට හේතුව තම තමන්ගේම මනසීකරණ ශක්තිය දුර්වල වීමයි.

බොහෝමයක්ම පෘථග්ජන පුද්ගලයින් ප‍්‍රිය අප‍්‍රිය අරමුණු නිසා රාගයෙන් ඇලී බැඳී කටයුතු කරති. ද්වේෂයෙන්, වෛරයෙන් ගැටෙති. චිත්තසංථානය තමන්ම අපිරිසිදු කර ගනී. ලේ ධාතුව කිළිටි වී, මනසත් මෝහයෙන් මුවහ කරගනී. යම් කිසි ආකාරයකින් මේ උතුම් බුද්ධ ධර්මය අහගන්නට ලැබුණොත්, ඒ පුද්ගලයා හේතුඵල ධර්මතාවය යම් තරමකින් හෝ තේරුම් ගත්තොත්, සතියෙහි පිහිටා සතියෙන් කටයුතු කරන්නට සිත පුරුදු කර ගත්තොත් ඒ පුද්ගලයාට තමන්ගේම සිත පිරිසිදු කරගන්නට ලේ ධාතුව පිරිසිදු කරගන්නට මනස පිරිසිදු කරගෙන මනසීකරණ ශක්තිය භාවිතා කරන්නට ශක්තියක් ලැබේ. මනසීකරණ ශක්තිය තමා තුළම දියුණු වූ විට කරණීය ධර්ම හා අකරණීය ධර්ම යන දෙපැත්ත වෙන්කොට තෝරා බේරා ගත හැකි වේ. සතර සතිපට්ඨානයෙහිම පිහිටා කටයුතු කරන්නටත් තමාම පුරුදු වේ. ඒ අනුව නිරෝධගාමී මාර්ගයත් සම්පූර්ණ වේ. රාග, ද්වේෂ, මෝහ ගති තමන් තුළම පවතින්නෙත් එවන් කිළිටි ගති තමාම පරිහරණය කරමින්, භාවිතා කරමින්, අකුසල් සිතකින් කටයුතු කරන්නෙත් තමන්ගේම මනස මෝහයෙන්, අවිද්‍යාවෙන් මුවහ වී පවතින නිසයි. මේ කිළිටි ගති තමන්ම එකතු කර ගත් දේවල් වේ. කැමැත්තෙන්ම එකතු කර ගත් දේවල්ය. ඒ නිසාම ඒවාට ”ගති” ලෙස හඳුන්වයි. තමන්ම එකතු කරගත් තමන්ගේම චිත්තසංථානයේ තැන්පත් වූ මුල් බැසගත් මෙවැනි ”ගති” බාහිර කාටවත් දැකිය නොහැකියි. වෙන බාහිර පුද්ගලයෙකුට ඒ ගති අස් කර, අයින් කර, ප‍්‍රහාණය කර ඉවත් කළ නොහැකියි. සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ෂාවම තමන්ම පිළිපැදිය යුතු තමන්ම අනුගමනය කළයුතු ප‍්‍රතිපදාවන් සමුහයකි. මේ ප‍්‍රතිපදාවන් තුළ ප‍්‍රායෝගිකවම භාවිතා කළයුතු හා භාවිතා නොකළ යුතු ලෙස තෝරා බේරා ගතයුතු දෙපැත්තක්ම ඇත.

”සබ්බ පාපස්ස අකරණං” යනු භාවිතා නොකළ යුතු අකරණීය ධර්මයන් කොටසයි. ”කුසලස්ස උපසම්පදා” භාවිතා කළයුතු කරණීය ධර්මයන් කොටසයි. ”සේවිතබ්බා” යනුද භාවිතා කළයුතු, සේවනය කළයුතු ධර්මයෝයි. ”අසේවිතබ්බා” යනු සේවනය නොකළ යුතු, ආශ‍්‍රය නොකළ යුතු බැහැර කළයුතු අධර්මයන් කොටසටයි. ”අස්ස” ‘‘ආන’’ යන පදවලින් බොහෝ තැන්වල පෙන්වා දුන්නේද ආශ‍්‍රය කළයුතු, ඇතුළට ගතයුතු යහපත් ධර්මයන් යන අදහස අර්ථය ඇතිවයි. ”පස්ස” ”පාන” යන පදවලින් පෙන්වා දුන්නේ සහමුළින්ම ගළවා ප‍්‍රහාණය කළ යුතු බැහැර කළයුතු අයහපත් අධර්මයන් යන අර්ථයෙනුයි.

ආශ‍්‍රය කළයුතු වන්නේ, සුදු ධර්මයන්ය. චිත්තසංථානය හා මනස යන දෙකම පිරිසිදු කරන, පවිත‍්‍ර කරවන, කුණු සළා හැර, අස් කර දමන්නට උපකාර වන ක‍්‍රියාකාරකම් ආශ‍්‍රය කළ යුතුයි. ප‍්‍රහාණය කර අස්කර දැමිය යුත්තේ කළු ධර්මයන්ය. චිත්තසංථානය කිළිටි කරන, මනස මුවහ කර, මෝහය මතු කරන කෙළෙස් ධර්මයන් සිතින්ම ගළවා සහමුළින්ම ඉවත්කර දැමිය යුතුය.

මේ කළු, සුදු යන ධර්මයන් දෙකම ඇතුළට ගැනීමටත්, පිට කිරීමටත් උපකාර කරගතහැකි දොරවල් හයක්ම හැම කෙනෙකුටම උපතින්ම ලැබී ඇත. මේ දොරවල් හයකින්ම ඇතුළට ගැනීමේ ක‍්‍රියාවත් පිටතට බැහැර කිරීමේ ක‍්‍රියාවත් යන දෙකම හැම පුද්ගලයෙකුටම පාලනය කළ හැකිය. ඇතුළට ගත යුතුදේ මොනවාද බැහැර කළයුතු දේ මොනවාද යන්න තීරණය කිරීම හා ඒ තීරණයන් ක‍්‍රියාත්මක කිරීම නම් හැම මිනිහෙකුටම එක හා සමානවම ක‍්‍රියාත්මක කළ නොහැකිය. තමාට ප‍්‍රිය දේ ඇතුළට ගැනීමත්, අප‍්‍රිය දේ බැහැර කිරීමත් පෘථග්ජන පුද්ගලයෙකුගේ සංසාර පුරුද්දයි.

කළු ධර්ම කෙළෙස් බැහැර කිරීමත්, සුදු ධර්ම චිත්තසංථානය හා මනස පිරිසිදු කරන වීතරාගී, වීතද්වේෂී, විතමෝහී ක‍්‍රියා ආශ‍්‍රයට ගැනීමත්, භාවිතයට ගැනීමත්, ධර්මාවබෝධය ලැබූ ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන පුද්ගලයෙකුගේ ප‍්‍රතිපදාවයි.

මෙය අරිය විනයෙහි, බුද්ධ භාෂිතයෙහි පෙන්වා වදාළ ආනාපාන සති භාවනාවයි. සතර සතිපට්ඨානයෙහි පිහිටා කටයුතු කළ හැකි වන්නේ මේ ආකාරයට ආනාපාන සතියෙහි පිහිටා ක‍්‍රියා කරන්නට පුරුදු පුහුණු වීමෙනි.

”ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ,
සත්තානං විශුද්ධියා,
සෝකපරිද්දවා නං සමතික්කමාය,
දුක්ඛ දෝමනස්සානං අත්ථංගමාය ඥායස්ස අධිගමාය,
නිබ්බානස්ස සච්ජිකිරියාය යදිදං චත්තාරෝ සතිපට්ඨානා”

සතර සතිපට්ඨාන භාවනාව බුද්ධ භාෂිතයට අනුකූලව නිවැරදි ආකාරයට භාවිතා කරන ඕනෑම පුද්ගලයෙකුට මෙහි ඉහත සඳහන් වන ආනිසංස යහපත් ප‍්‍රතිඵල සියල්ලමත් නොවරදවාම ලබාගත හැකි වීම නියත වේ. මේ ඉහත සඳහන් ආනිසංස පහෙන්මත් විග‍්‍රහ වන්නේ නිවනම වේ.

”සත්තානං විශුද්ධියා” – චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් යන දෙකම සම්පූර්ණ කර ගැනීමෙන්ම ලබා ගත යුතු ශුද්ධ පවිත‍්‍ර වීමක් චිත්ත පාරිශුද්ධියක් යෝනිසෝ මනසීකරණ ශක්තියෙන්ම ලබාගත යුතු ප‍්‍රඥා ශක්තියත් යන දෙකමත් ලබා ගැනීමට නොවරදින මාර්ගය නම් සතර සතිපට්ඨානයෙහි යෙදීමයි.

මතු නැවත නැවතත් උපත ලබයි නම් ”උප්පජ්ජති” යන තත්ත්වයට මතු මතුත් පත් වේ නම් ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්, දොම්නස්, උපායාස නියත වශයෙන්ම තමන්ටම උරුම වේ. කුමන ආකාර වූ සුගති ලෝකයකදීත් මේ සියල්ලමත් උරුම වේ. හිමි වේ. උතුම් බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කළයුතු වන්නේ මෙවන් ප‍්‍රශ්න වලට තාවකාලිකව පැලැස්තර දමා ලෞකිකත්වය යහපත් කරගැනීමට නම් නොවේ. කුමන හෝ ලෝකයක ජීවත් වුවද එතන ජීවත් වෙන්නේ ප‍්‍රශ්න රාශියක්ම උරුම කරගෙනම වේ. කවදා හෝ මරණය උරුම වේ. ජී+වත යනු දිරාපත් වන, ගෙවී විනාශ වී මරණය කරාම ගමන් කිරීම යන අර්ථයයි. මෙසේ ජරා ජීර්ණ තත්ත්වයට පත් වීමටත් මරණයෙන්ම කෙළවර වීමටත් හේතුව කෙළෙස් වලින් හිත දූෂණය වී මනස මුවහ වී කළු ධර්ම භාවිතයෙන් තව තවත් චිත්තසංථානය කිළිටි කර ගැනීමමයි. සියලු දුක්, සියලු ප‍්‍රශ්න නැති කිරීමේ ඒකායන මාර්ගය ”ඤාණස්ස අධිගමාය – නිබ්බානස්ස සච්ඡුිකිරියාය” යන පදවලින් ධර්මයේ පෙන්වා වදාළ රාගය, ද්වේෂය, මෝහය යන කිළිටි ගති සහමුළිින්ම චිත්තසංථානයෙන් උදුරා ගළවා දමා ඉවත් කිරීමයි. බුද්ධ බවට පත්වීමද එයමයි. මෙහි ප‍්‍රායෝගික මාර්ග ප‍්‍රතිපදාව සතර සතිපට්ඨානයෙහි සිත පවත්වාගෙන කටයුතු කිරීමයි. තමා තමාවම තේරුම් ගෙන භාවිතා කළයුතු, අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගය සතර සතිපට්ඨාන භාවනාවයි.

Share Button

කළ්‍යාණ, කළණ හා කාලේන යනු කෙලෙස් නැසීමයි

මිනිසෙකු ලෙසින් උපතක් ලැබූ කෙනෙකු ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදී ක‍්‍රියා කරනවාය, ධම්මානුධම්ම පිළිවෙතින් පෙළගැසෙනවාය යන්නෙන් අදහස් කරන්නේ, උතුම් බුද්ධ ධර්මය අසා දැන අවබෝධ කරගෙන එ ධර්ම මාර්ගය භාවිතයට ගැනීමයි. ”සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ” යනුවෙන් පෙන්වා වදාළ පරිදි බුද්ධ ධර්මය යනු, භාවිතයට ගතයුතු ප‍්‍රායෝගිකවම අනුගමනය කර අත්විඳ ගත යුතු ප‍්‍රතිපදාවක් මිස අසා දැන උගතෙකු වන්නට පමණක් දේශණා කළ ධර්මයක් නොවේ. අද බොහෝ අය ධර්මය උගත් උගතුන් වෙතත් භාවිතයට ගන්නේ නැත. බුද්ධ ධර්මය දැනගත් පමණින් එ් දැනුම නිවනට හේතු නොවේ. එ් ධර්මය තුළින් සත්‍යය දැකගත යුතුය. ‘‘ජානතෝ, පස්සතෝ’’ යැයි ප‍්‍රකාශ කළේ එයයි.

බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ නව ලෝකෝත්තර සිරි සද්ධර්මය උපකාර වන්නේත් උපකාර කරගතයුතු වන්නේත් රාගය, ද්වේෂය, මෝහය යන කෙළෙස් ගති සහමුළින්ම සිතින් ඉවත්කර දමා චිත්තසංතානයේ මුල් බැස ගෙන පවතින කෙළෙස් මුල් කපා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම තම චිත්තසංථානය හා මනස පිරිසිදු කරගැනීමටය. එ් මිසක ලෞකිකත්වය තුළින් ලබාගත හැකි කාම සම්පත් උපාදානය කරගනිමින්, සුගති ලෝක වල යළි යළිත් උපදිමින්, දෙව් මිනිස් සැප සම්පත් ලබන්නට නම් නොවේ. ලෝකයෙන් එතෙර වන්නට ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට මිස ලෝකය තුළ අතරමං වන්නට මේ ධර්මය දේශණා කළා නොවේ. මෙයට බුද්ධ ධර්මය යැයි නම් කළේ රාග, ද්වේෂ, මෝහ ගති උදුරා දමා, භව උදුරා දමන්නට බිහි කිරීමේ ශක්තිය උදුරා දමන්නට උපකාර කරගත යුතු ධර්මයක් නිසාමය. සංසාර ගමන, මතු උපත් බිහි කරන්නේම රාග, ද්වේෂ, මෝහ ගති මනෝමය කය තුළ ගබඩා වී, උපාදානය කරගෙන පවතින නිසයි. චිත්තසංථානයක් තුළින් ”රාග, ද්වේෂ, මෝහ ගති” යළි යළිත් බිහි වන්නේ මේ කෙළෙස් ගති මුල් බැසගෙන තමා තුළම පවතින නිසයි.

එසේ නම් මුළු බුද්ධ දේශණාවෙන්ම පෙන්වා දුන් ධම්මානු ධම්ම පරියාය, නිබ්බේදික පරියාය, වේදිතබ්බෝ ධම්ම පරියාය මඟින් විග‍්‍රහ කර පෙන්වා වදාළේ ප‍්‍රායෝගිකවම කෙළෙස් ප‍්‍රහාණය කරදමා කෙළෙස් මුල් සිඳ දමන්නට මාර්ගයයි. ආසවක්ඛ්‍යා ඥාණය අවබෝධ කරගැනීම යනු කෙළෙස් මුල් ගළවා දමා නැවත කෙළෙස් නොඋපදින ලෙසින්ම සම්මා විමුක්තියට පත් වීමයි.

කළ්‍යාණ, කළණ, කාලේන, කාලාමා, කාලෝ යනාදී මාගධී පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ් කෙළෙස් නැසීම, කෙළෙස් සහමුළින්ම ඉවත් කිරීම, කෙළෙස් වලින් මිදී නිදහස් වීම, කෙළෙස් මුල් ගළවා දැමීම යන අදහසයි. කළ්‍යාණ ධර්ම සූත‍්‍රය, කළ්‍යාණ මිත‍්‍ර සූත‍්‍ර 5ක් හා කළ්‍යාණ සීල සූත‍්‍රයේත්, කුසල සූත‍්‍ර 4 කත්, කාල සූත‍්‍ර දෙකකත්, කාලාමා සූත‍්‍රයේත්, ඵග්ගුණ සූත‍්‍රයේත් තවත් සූත‍්‍ර ධර්ම විශාල ගණනකමත් කාලෙණ, කළ්‍යාණ, කළන යන පද විග‍්‍රහ වී ඇත.

කළ්‍යාණ – යන පදයෙන් විග‍්‍රහ කළේ කෙළෙස් නසන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන යන අර්ථයයි.
කළණ – යන පදයෙන් විග‍්‍රහ කළේද කෙළෙස් ප‍්‍රහාණය කරදමා, කෙළෙස් නසා දමන්නට උපකාර වන යන අර්ථයයි.
කාලේන – යනු කෙළෙස් නසන, නැති කරන යන අර්ථයයි.
කාලාමා – යනු කෙළෙස්, කළු ධර්ම සහමුළින්ම උදුරා දමා, මිදී නිදහස් වීම යන අර්ථයයි.
කාලෝ – යනු කෙළෙස් තවන, කෙළෙස් දවන, යන අර්ථයයි.

අංගුත්තර නිකායේ චතුත්ථක නිපාතයේ එන කාල සූත‍්‍ර හා දුතිය කාල සූත‍්‍රයේත් අංගුත්තර නිකායේම ඡක්ක (6) නිපාතයේ එන ඵග්ගුණ සූත‍්‍රයේත් ”කාලේන” යන මාගධී පදය බහුලවම භාවිතා කර ඇත (කාල+න). දුතිය කාල සූත‍්‍රයේ එන මේ මාගධී පදවැල් හොඳින් විමර්ශණය කරන්න.

”කාලේන ධම්ම සවණං, කාලේන ධම්ම සාකච්ඡ, කාලේන සමථෝ, කාලේන විපස්සනා, ඉමේ ඛෝ භික්ඛවේ චත්තාරෝ කාලා සම්මා භාවියමානෝ, සම්මා අනුපරිවත්තිය මානා, අනුපුබ්බේන ආසවානං ඛ්‍යයං පාපෙන්ති”

මෙතන කාලේන යන මාගධී පදයෙන් විග‍්‍රහ කළේ (කාලේ+න) කෙළෙස් නැසීම යන අර්ථයයි. හතර අවස්ථාවේදීම කාලේන යන පද කෙළෙස් නසන යන අර්ථයෙන්ම භාවිතා කර ඇත. නමුත් ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී ”කාලේන” යන්න ”නිසි කාලය, සුදුසු කාලය” යන ”පද+පරම” අර්ථයෙන් වැරදියට පරිවර්තනය කර ඇති බව පැහැදිළිවම දැකිය හැකිය. ”සම්මා භාවියමානෝ සම්මා අනුපරිවත්තිය මානෝ ආසවානං ඛ්‍යයා” යනුවෙන් පෙන්වා දුන්නේ කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි. සංමා කිරීම යන අර්ථයෙනි. ”කාලේන සමථෝ” යනු සමථ භාවනාවෙන්ද තාවකාලිකව කෙළෙස් දුරලා කෙළෙස් ප‍්‍රහාණය කරගත හැකි බව පෙන්වා දීමයි. ”කාලේන විපස්සනා” යනු කෙළෙස් සහමුළින්ම නසා දමන්නට විපස්සනා භාවනාව උපකාර කරගත යුතු බවයි. ”කාලේන ධම්ම සවනං” කීවේ උතුම් බුද්ධ ධර්මය ශ‍්‍රවණය කළ යුත්තේ කෙළෙස් නැසීම සඳහාය යන්නයි. ධර්මය සාකච්ඡුා කළ යුත්තේද කෙළෙස් දැන හඳුනා, කෙළෙස් ප‍්‍රහාණය කිරීම සඳහාය යන්න මේ සූත‍්‍රයේදී ඉතාම පිරිසිදුව, පැහැදිළිව දේශණා කර ඇත. ධර්මය අවශ්‍ය වන්නේ කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නටමය යන්න මෙයින් ඔප්පු වෙයි.

මේ අනුව කාල, කාලේ යනු කෙළෙස්ය. කාලේ+න යනු කෙළෙස් නැසීමය. උතුම් බුද්ධ ධර්මය අසා දැනගත යුතු වන්නේත් ධර්මය සාකච්ජා කළයුතු වන්නේත් සමථ විපස්සනාදී ධම්මානු ධම්ම ප‍්‍රතිපදාවන්හි යෙදී භාවනා කළයුතු වන්නේත් ආසව කපා දැමීමට කෙළෙස් මුල් කපා ගළවා දැමීමට සම්මා තත්ත්වයට පත්වීමට බව මෙහිදී පැහැදිළිවම තේරුම් ගත යුතුය.

බුද්ධ ධර්මය දේශණා කරන්නට බුද්ධ ධර්මය සාකච්ඡ කරන්නට හෝ සමථ විපස්සනා භාවනා කරන්නට හෝ නුසුදුසු හෝ අනිසි කාලයක් හෝ නැත. සුදුසු හෝ නිසි විශේෂ කාලයක්ද නැත. දවසේ පැය විසිහතර පුරාම මුළු ජීවිත කාලය පුරාම ලැබුණු හැම අවස්ථාවකදීම මේ සඳහා සුදුසුය. එ් නිසා මෙහි නිසි කාලයක් පෙන්වා දී නැත. බුද්ධ ධර්මයේ පෙන්වා වදාළේ ”අප්පමාදේන සම්පාදේත” යනුවෙනි.

”බුද්ධ ධර්මය” යන පදවලම ඇති පරම අර්ථය නම් ”කෙළෙස් ප‍්‍රහාණය කරන්නට කෙළෙස් උදුරා දමන්නට උපකාර වන දරාගත යුතු දේ” යන්නයි. කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර නොවන යම් දේශණාවක් වේ නම් එය බුද්ධ ධර්මයද නොවේ. එය ”කාලේන ධම්ම” කොටසට අයත් නොවේ.

මහා මංගල සූත‍්‍රයේදීත් ඔබ නිතර කියවා පුරුදු ”කාලේන ධම්ම සවනං කාලේන ධම්ම සාකච්ජා” යනු කෙළෙස් නැසීමට කෙළෙස් ප‍්‍රහාණය කර දැමීමට බුද්ධ ධර්මය භාවිතා කළ යුතු බව මිස නිසි හෝ සුදුසු කාලයට යන අර්ථයක් මෙහි නැත. නිවන වසා සිටින, නිවනට ප‍්‍රතිපක්‍ෂ වූ, කෙළෙස් ප‍්‍රහාණය කර දැමීම කෙළෙස් නසා දැමීම බුද්ධ ධර්මය භාවිතා කිරීමේ ඒකායන පරමාර්ථයයි.

”කාලි” යනු කෙළෙස්ය. රාග, ද්වේෂ, මෝහ ගති ගුණයන්ය. කාලි මැණියෝ, භද්‍රකාලී දේවිය යනුවෙන් කෙළෙස් වලට අධිපති දේව සංකල්පයක් දේව ආගම්වල ඇත. රාගයට, ද්වේෂයට, මෝහයට අධිපති දේවතාවිය කාලි මෑණියන්ය. පළිගහන්නට, වෛරය පිරිමහන්නට, රාගයෙන් බැමි තද කරගන්නට, මෝහයෙන් යදින්නට, බොහෝ අය ”කාලි” පිහිට පතන බව බෞද්ධයින් නිවැරදිව තේරුම් ගත යුතුය. කුසලයක් කරගන්නට හෝ පින්කමක් කරගන්නට හෝ කාලි මෑණියන් ළඟදී හැකියාවක් නැත. එහිදී පාපයක්, අකුසලයක්ම සිද්ධ කරගත හැකි වෙයි. ”ධම්මස්සවණ කාලෝ අයං භදන්තා” යනුවෙන් හැම ධර්ම දේශකයින්වහන්සේ කෙනකුම ධර්ම දේශණාව ආරම්භයේදී ආරාධනා පාඨයක් ලෙසින් ප‍්‍රකාශ කරතත් මෙහි නිවැරදි අර්ථය දැන භාවිතා කරන බවක් නොපෙනේ. ”මේ ධර්මය අසා දැන කෙළෙස් තවන්නට, කෙළෙස් දවන්නට, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට අවධානය යොමු කරන්න” යනු මේ පාඨයේ අර්ථයයි. එසේ නැතිව ධර්මය දේශණා කරන කාලයක් මෙහිදී අර්ථ දක්වා නැත. ධර්ම දේශණාවකට සවන් දෙන්නට පැමිණි දේව, මනුස්ස දෙකොටසටම තවත් වරක් එ් බව ප‍්‍රකාශ කළ යුතු වන්නේ නැත. මේ ධර්ම දේශණාවෙන් ප‍්‍රකාශ කරන දේ අසා දැන, කෙළෙස් ප‍්‍රහාණය කරගෙන, සිත ඒකාග්ගතාවයටත්, චේතෝ විමුක්තියටත් පත්කර ගැනීම සඳහා මීට කන් යොමු කරන්න යන අර්ථය මෙහි ඇත.

වස්සාන සමයෙහි ”අයං වස්සාන කාලෝ” යනුවෙන් බොහෝ විහාරස්ථාන වලත්, ආරඤ්ඤ සේනාසන වලත් ලියා දක්වා ප‍්‍රදර්ශනය කරනු ලැබේ. මෙහි අර්ථය කෙළෙස් තවමින්, කෙළෙස් දවමින් ධම්මානු ධම්ම පතිපදාවෙන් වෙසෙන බව දැන්වීම මිසක ”මම වැසි කාලය ගතකරමි” යන වැරදි අර්ථයක් මෙහි නොවේ. එදා ගෝතම බුදුපියාණන් ජීවමානව වැඩ සිටි යුගයේ බොහෝ නවක භික්ඛුන් කර්මස්ථාන ගෙන නිදහස් තැනකට ගොස් ධම්මානුධම්ම ප‍්‍රතිපදාවෙහි යෙදී කෙළෙස් දවාහැර, මඟඵල ලබාගත්තේ මේ වස්සාන සමයේදීය. මේ අනුව ”අයං වස්සාන කාලෝ” යන්න නිවැරදිව දැන භාවිතා කරන්නේ නම් වස් සමය කෙළෙස් තැවීම සඳහාම වෙන් කරගත යුතුය. වස් අධිශ්ඨානය යනුද කෙළෙස් තැවීමට යම් වේලාවක් සිතින් වෙන්කර ගැනීමයි. අද මේ පදවැල් සම්මත කරගත් දේ මිස නිවන් මඟඵල පිණිස භාවිතා කරන කෙළෙස් තවන්නට උපකාර කරගන්නාදේ ලෙසින් භාවිතා නොවේ. ඊට හේතුව මේ පදවැල් වල ධර්ම අර්ථය යටපත්ව ගොස් සම්මත පදපරම අර්ථය ඉස්මතු වී භාවිතයට ගැනීමයි.

මාගධී බුද්ධ භාෂිතයේ කළු, කාල, කාලි, කාලේන, කාලාමා, කාලෝ, කාලං, කණ්හ ආදී සියලුම පද භාවිතා කළේත් මේ පදවලින් අර්ථ දැක්වූයේත් කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය පිළිබඳවමය.

මාගධී භාෂාවේ වේලාව, කාලය දක්වන්නට යොදාගත් පදයන් කිහිපයක්ම ඇත. ”යාමය, සමය, යුගය, කප්පය” යන පදයන් කාලය, වේලාව, අවස්ථාව දැක්වීමට යොදාගෙන ඇත. කෙටි කාලයක් දක්වන්නට සමය, යාමය යන පදද දිගු කාලයක් දක්වන්නට යුගය, කප්පය (කල්පය) යන පදයන්ද භාවිතා කර ඇත.

මේ අනුවම බුද්ධ භාෂිතයේ, බුද්ධ ධර්මයේ ගුණ විග‍්‍රහ කරන ධර්මය වන්දනා කරන ගාථා පාඨයක ”අකාලිකෝ” යන පදය සඳහන් වේ. ”අ”=යන්නෙන් අත්හැරීම, අත්මිදීම, අභාවිතය යන අර්ථය ලබා දෙයි. බුද්ධ භාෂිතයේ අත්හැරීම, ප‍්‍රහාණය කිරීම, අස්කිරීම, පෙන්වා දීමට නිතරම ”අ” යන්න යොදාගෙන ඇත. නිවන විග‍්‍රහ කළ පද 21 කම ”අ” යන්නෙන් අත්මිදීම විග‍්‍රහ කර ඇත. ”අජාතං, අමතං, අශෝකං, අභූතං, අසංකතං, අජරං, අමරං, අනුපායෝ, අනපායෝ, අසද්ධෝ, අකතඤ්ක්‍දුතේ, අනිච්චං, අනත්ථං, අප්පටිබද්ධෝ, අනනිස්සිතෝ, අරහං” මේ හැම පදයකම ”අ” යන්නෙන් අත්හැර දැමීම, අස්කර දැමීම, අභාවිතය විග‍්‍රහ කර ඇත. නිබ්බාන යනු බාන ලෙහා, බාන අත්හැර දැමීමයි. මේ අනුව ”අකාලිකෝ” යන පදයේ ධර්ම අර්ථය කෙළෙස් අත්හැර, කෙළෙස් වලින් මිදී, කෙළෙස් ප‍්‍රහාණය කරන්නට උපකාර වන දේ බුද්ධ ධර්මය බව මෙහිදී පෙන්වාදී ඇත. මෙය කාලයකට, යුගයකට සම්බන්ධ කළ නොහැකිය.

”සංදිට්ඨිකෝ” ගුණයට පසුවම ”අකාලිකෝ” ගුණය දැක්වූයේ ”සං” (සමුදය) දැකගත් කෙනෙකුටම මිස කෙළෙස් අත්හැර, කෙළෙස් ප‍්‍රහාණය කර දමන්නට කි‍්‍රයා කරන්නට නොහැකි නිසා ”සං” නොදුටු කෙනෙකුට අකාලිකෝ වන්නට ද නොහැකි හෙයිනි. මේ අනුව ‘‘සංදිට්ඨිකෝ, අකාලිකෝ, ඒහිපස්සිකෝ, ඕපනයිකෝ, පච්චත්තං වේදිතබ්බෝ විඤ්ඤූහීති’’ යන ධර්මයේ සියලු ගුණයන්ගෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළේ කෙළෙස් සොයා දැන කෙළෙස් ප‍්‍රහාණය කර කෙළෙස් අත්හැර කෙළෙස් උපත ලබන කෙළෙස් මුල් ගළවා දමා සව් කෙළෙස් නසා මඟඵල ලබන්නට අනුගමනය කළ යුතු අනුපූරක වූ නිබ්බාන මාර්ගය විග‍්‍රහ කිරීම බව තේරුම් ගත යුතුය. බුද්ධ ගුණ හෝ සංඝ ගුණ හෝ යම් පුද්ගලයෙකු තුළ ප‍්‍රත්‍යක්ෂ ලෙසින් පිහිටන්නේත් ලෝකෝත්තර නිවන් සුවයට පත්වන්නේත් ධර්මයේ ගුණයන් හයම තමා තුළින්ම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදීමෙන්ම සම්පූර්ණ කරගැනීමෙනි. ධර්ම ගුණයන් අවබෝධ කර නොගත් පුද්ගලයා බුද්ධ වන්නේද නැත. සංඝ වන්නේද නැත. මේ හේතුව නිසාම බුදුපියාණන්වහන්සේද ධර්මයම ගුරුතන්හි ලා ගෞරව කළ සේක. බුද්ධ ධර්මයම ලෝකයාට දේශණා කළ සේක. ධර්මයේ පිහිටා කටයුතු කරන ලෙසින්ම ලෝකයාටද අනුශාසනා කළ සේක.

මානසික ආතතිය, මෝහය, මොට්ටකම, රාගයෙන් ඇලීම, ද්වේෂයෙන් ගැටීම ආදී සියලු ළාමක ගති ගුණ මිනිසෙකු තුළින් ක‍්‍රියාත්මක වන්නේ චිත්තසංථානය කෙළෙස් වලින් කළු ධර්ම වලින් පිරී පවතින නිසාමය. තමන්ම උපාදානය කරගෙන, ගබඩා කරගෙන, තමන්ගේම චිත්තසංථානයේ පොදි ගසාගෙන පවතින මේ කෙළෙස් පොදිය දැක එ් කෙළෙස් පොදිය සිතින් අත්හැර අලුතින් කෙළෙස් උපදවීමද සහමුළින්ම නවතා දමා කෙළෙස් වලින් නිදහස් වූ තත්ත්වයට පත්වීම නිබ්බාන සච්ඡුිකිරියා තත්ත්වයයි.

”කාල කිරියා (කාල ක‍්‍රියා) කාලං කරෝති” යනුවෙන්ද මාගධී බුද්ධ භාෂාවේ බහුලවම ”කාල” පදය භාවිතා කර ඇත. කාල යනු මෙතැනද කෙළෙස් පොදිය යන්න අදහස් කෙරේ. කෙළෙස් පොදිය කරගහගෙන ගමන් කිරීම ක‍්‍රියා කිරීම කාල කිරියා, කාලං කරෝති යන්නෙහි අදහසයි. යමෙකු මරණයට පත්වන විට කෙළෙස් පොදියද කරගහගෙන මරණයට පත්වූයේ නම් ඔහු කරන්නේ මනෝමය කයෙහි තැන්පත් කරගෙන ඇති කෙළෙස් පොදියද සමගම වෙනත් ජාතියක උපත ලැබීමයි. කෙළෙස් පොදිය සහමුළින් ප‍්‍රහාණය කර සියලු කෙළෙස් බහා තැබූ අරහතුන්වහන්සේට ‘‘කාලං කරෝති’’ යන්න භාවිතා කරන්නේ නැත. ‘‘අරහතුන්වහන්සේ අපවත් වූහ’’යනුවෙන් අපි භාවිතා කරමු. උන්වහන්සේ පවැත්ම අවසන් කර, පැවැත්ම අත්හැර, අපවැත්ම යන තත්ත්වයට නිදහස් වූ කෙනෙකි.

කෙළෙස් පොදිය බහා තබන්නට නොදන්නා අසමත් පුද්ගලයා, කෙළෙස් පොදියද කරගසාගෙන සංසාරයේ අතරමංවී, මංමුළාවී සැරිසරණ බව ප‍්‍රකාශ කළේ ”කාලං කරෝති, කාලකිරියා” යන මාගධී පද වලිනි. ”කාලං කරෝති” යන පදයෙහි තවත් අර්ථයක් ඇත. මතුවට තව තවත් කෙළෙස් එකතු කරමින් කෙළෙස් පොදිය තව දුරටත් තර කරගන්නට ක‍්‍රියා කිරීම යන අර්ථයද ”කාලං කරෝති” යන පදයේ ඇත. උතුම් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ මාගධී පදවැල් වල මෙවැනි ඉතාම වැදගත් අර්ථ, ධර්ම ගැබ්වී ඇතත්, අද මේ පදවැල් පදපරම ලෙසින් අර්ථ ගන්වා ධර්මය විකෘති කර ඇත.

කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය යනු කෙළෙස් නසන්නට උපකාර වන කෙළෙස් නසන්නට මාර්ගය කියා දෙන අරිය උත්තමයාගේ ආශ‍්‍රය යන්නයි. එ් මිසක් අද සම්මතයෙන් හඳුන්වන යාළුවා, මිත‍්‍රයා හෝ නෑයා යන අර්ථයක් මෙහි නැත. ලෝකයෙන් එතෙර වීමට කෙළෙස් බර පහා තබන්නට සංසාර බැමි ගළවා දමන්නට උපකාර වන ආකාරයෙන් කළු නසන්නට උපකාර වන පුද්ගලයාම කළ්‍යාණ මිත‍්‍රයාම වෙයි. අතීත අනුරාධපුර යුගයේදී පවා ”කළු” යන්න කෙළෙස් නසන අර්ථයෙන් භාවිතා කළ බව පෙන්වා දෙන්නට හොඳ උදාහරණයක් ඇත.

කළු බුද්ධරක්ඛිත හිමි කළුවර රැයෙක, කළුදිය පොකුණ ළඟ, කළු තිඹිරිගහ යටදී, කාලේන ධර්ම දේශණාවක් කර, කළු නැසූ බව සඳහන් කථාව ඔබද අසන්නට ඇත. කළුදිය පොකුණ යනු කෙළෙස් පොදියක් සහිත වූ චිත්තසංථානය උපමා කොට පෙන්වීමකි. කාලේන ධර්ම දේශණාවක් කර, කෙළෙස් බිහිකිරීම උදුරා දැමූ නිසා, බුද්ධ (බු+උද්ධ) නම් විය. මෙහි සඳහන් සියලු තැන්වල ”කළු” යනු කෙළෙස් යන අර්ථයයි. කාලේන යනු කෙළෙස් ප‍්‍රහාණය කිරීමයි.

බුද්ධ දේශණාවේ නිතර භාවිතා කර ඇති කාල, කාලි, කළු, කාලාමා, කළ්‍යාණ, කළණ, කාලේන යන පද කෙළෙස් හා කෙළෙස් ප‍්‍රහාණය කිරීම සම්බන්ධව විස්තර කිරීමට යොදාගත් පද බව නිවැරදිව තේරුම් කර ගැනීමට නොහැකි වීම නිසා අද බොහෝමයක් දෙනා පින්කම් හා කුසල් යන පද දෙකද පටලවා ගෙන ධර්මාවබෝධයෙන් තොරව සංසාර සාගරයේ අතරමංවී ඇති බවත් පැහැදිළිවම පෙන්වා දිය යුතුය.

Share Button

කෙළෙස්, කළු ධර්ම හා කුණු

ආසව, අනුසය ධර්ම, අකුසල්, සමුදය ධර්මය, කළු ධර්ම, පාප කර්ම, කුණු යනාදී විවිධ පදවලින් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළේ කෙළෙස් පිළිබඳවමයි. චිත්ත සංථානය කිළිටි වන්නේ ආගන්තුකව එකතු කරගන්නා උපක්ලේශයන් නිසාමය. මනස මුවහ වී, මොට්ට වන්නේද මේ කෙළෙස් ගති නිසාමය. ”කම්මං කණ්හං කණ්හ විපාකං” ”කම්මං සුක්ඛං සුක්ඛ විපාකං” යනුවෙන් පෙන්වා වදාළ කම්ම කොටස් දෙකම හේතුකොට ගෙන සිතක කෙළෙස් උපදවයි. කළු ධර්ම යනුවෙන්ද කුණු ලෙසින්ද මේ කෙළෙස් නම් කර ඇත.

මාගධී භාෂා ව්‍යවහාරයේ කණ්හ, කාල, කාලං, කාලි, කාලා, ක්ලේසා, කළු යන විවිධ පදවලින් විවිධ තැන්වල කෙළෙස් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සත්ත්වයාගේ චිත්තසංථානය කිළිටි වන්නටත්, මිනිසාගේ මනස මොට්ටකර මෝහයෙන් මුවහ කරන්නටත් එකම හේතුව කෙළෙස්, චිත්තසංථානයේ ගති ලෙසින් ක‍්‍රියාත්මක වී පැවැතීමයි. සත්ත්වයාගේ මතු උපතට, පැවැත්මට, දුකට හා ජරා මරණයට හේතුවත් කෙළෙස් සහිත වූ සිතක් ක‍්‍රියාත්මකව පැවැතීමයි.

සුව අසුව දහසක් බුද්ධ ධර්මය දේශණා කරමින් සියලුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලා ලෝකයාට පෙන්වා වදාළේ මේ කෙළෙස්, කළු ධර්ම චිත්තසංථානයෙන් බැහැර කර, ඉවත් කර, අස්කර දමන්නට මාර්ගය කියා දීමත් මනස වැසී, මුවහ වී පවතින කෙළෙස් සහමුළින්ම උදුරා දමා නැවත කෙළෙස් මතු නොඋපදින ලෙසින්ම කෙළෙස් මුල් ගළවා දමන්නටත් අනුගමනය කළ යුතු නොවරදින මාර්ගය කියා දීමයි.

සතියෙහි පිහිටා, සතියෙන් යුතුව ක‍්‍රියාකරන යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන පුද්ගලයාය අසතියෙන් ක‍්‍රියාකරන, අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කරන දුප්පඤ්ඤස්ස පුද්ගලයාය යැයි කොටස් දෙකකට බුද්ධ දේශණාවේදී මිනිසුන්ව බෙදා වෙන් කර දක්වයි. අයෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන පුද්ගලයා කෙළෙස්, කෙළෙස් යැයි නොදනී. කෙළෙස් මුල් පිළිබඳවද නොදනී. මෙනෙහි කළ යුතු දේ සහ මෙනෙහි නොකළ යුතු දේ පිළිබඳවද නොදනී.

එවන් පුද්ගලයා අනිච්ච දේ නිච්ච සේම දකී. අනිච්ච ස්වභාවයද නොදනී. දුක්ඛ ස්වභාවයෙන් යුතු දේ සුඛ සේ සැප සේම දකී. අනත්ථ ස්වභාවයෙන් යුතු දේ අත්ථ සේ දකී. අස්මිමානයෙන්, මඤ්ඤතාවයෙන් ක‍්‍රියා කරමින් පංචස්කන්ධයම උපාදානය කරගනී. අසුබ දේ, සුබසේ, සුන්දර සේ දැක උපාදානය කරගනී. නිරන්තරවම යළි යළිත් කෙළෙස් එකතු කරගෙන චිත්තසංථානයද කිළිටි කරගනී.

එවන් පුද්ගලයා අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන කෙනෙකි. අසතියෙන් ක‍්‍රියා කරන්නෙකි. දුප්පඤ්ඤස්ස පුද්ගලයෙකි. කළ යුතු දේ සහ නොකළ යුතුදේ තෝරාබේරා ගන්නට නොදන්නා, මඟ හා නොමඟ නොදත් පෘථග්ජන කෙනෙකි.

යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන පුද්ගලයා කෙළෙස් කෙළෙස් ලෙස නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් මුල් ද නිවැරදිවම හඳුනා ගනී. කෙළෙස් යනු ප‍්‍රහාණය කළයුතු, වහාම සිතින් ඉවත් කරදමා නිදහස් විය යුතු දෙයක් සේම දකී. කෙළෙස් ප‍්‍රහාණය නොකර භාවිත කිරීමේ ආදීනව හා ආනිසංසද දකී. සම්මා දිට්ඨියට පත්වන්නටත්, යථාභූත ඥාණ දර්ශනය ලබන්නටත්, චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගන්නටත් ඔහුට අවස්ථාව ලැබෙයි.

අනිච්ච දේ අනිච්ච බව යථාපරිදි දැනගනී, දැකගනී. ” නිච්ච” සංඥාව සිතින් ඉවත් කරගනී. දුක, දුක සේ යථාපරිදි දැනගනී. දැක ගනී. සුඛ සංඥාව සිතින් ප‍්‍රහාණය කර ගන්නටද හැකිවෙයි. අනත්ථ දේ අනත්ථ බව යථාපරිදි වටහා ගනී. අත්ථ සංඥාව අස්මිමානය, මමත්වය, අත්හරී. අසුබ දේ අසුබ බව දකී. සුබ සංඥාව අත්හරී.

මෙනෙහි කළ යුතු දේ මෙනෙහි කරන්නට දන්නා ඔහු මෙනෙහි නොකළ යුතු දේ සිතින් අතහැර ප‍්‍රහාණය කර නිදහස් වන්නටද දැනගනී. අනුගමනය කළයුතු ප‍්‍රතිපදාව ධම්මානුධම්ම ප‍්‍රතිපදාව තේරුම්ගත් ඔහු මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලබයි. සම්මා දෘෂ්ඨියටද පත්වෙයි. නොබෝ කලකින්ම චතු අරිය සත්‍යයන් අවබෝධ කරගත් අරිය පුද්ගලයෙකු බවටද පත්වෙයි.

මග්ගාමග්ග (මඟ හා අමඟ) ඥාණ දර්ශනයක් නොලැබූ පුද්ගලයා අරිය පර්යේෂණයන් ගැන හෝ අනරිය පර්යේෂණයන් ගැන හෝ වෙන්කොට දැකගන්නට හැකියාවක් නැති කෙනෙකි. කුසල හා අකුසල ගැනද නොදන්නා ඔහු පින් පව් ගැනද යථාවබෝධයකින් ක‍්‍රියා නොකරන්නෙකි. කුසල මූලයන් ගැන හෝ අකුසල මූලයන් ගැන හෝ කිසිසේත්ම යථාවබෝධයක් නැති නිසා කෙළෙස් පිලිබඳ නිසි අවබෝධයක් නැත. බොහෝ විටම කෙළෙස්ද වටිනා දේ ලෙසින් දකී. පින්කම් කිරීමේදී පවා අකුසලයක්ම කරගනී. සංසාර ගැටළුව ගැන කිසිම තේරුමක් ඇත්තේම නැත. තේරුම් ගන්නටද උත්සාහ නොකරයි. මේ ගැටළුව සකස් කරගත්තේ තමන්ම බවවත් ඔහු නොදනී. කෙළෙස් සහිත වූ සිතකින් කටයුතු කරන හැම මොහොතක් පාසාම මේ සංසාර ගැටළුවට යළි යළිිත් තමන් පැටළැවෙන බවක් පවා ඔහු නොදනී. කෙළෙස් තමාගේ සිත තුළම මුල් බැස ගෙන පවතී නම් කිළිටි වන්නේ තමන්ගේම චිත්තසංථානයම බවවත් ඔහු නොදනී. මේ කෙළෙස් නිසා තමාගේ මනස මුවහ වී මොට්ටයකු මෝඩයකු බවට පත්වන්නේද තමන්ම බවවත් ඔහුට නොපෙනෙයි. තමන් අවිද්‍යාවෙන්, තණ්හාවෙන් ක‍්‍රියාකරන පෘථග්ජන පුද්ගලයෙකු බවට පත් වූයේ මේ කෙළෙස් (කුණු) තමාගේ චිත්තසංථානය තුළම ගබඩා වී ඇති නිසා බවද නොදනී. දුක්ඛේ අඥාණං, දුක්ඛ සමුදයේ අඥාණං යනු මෙහි අර්ථයයි.

මෙවන් කෙළෙස් ගති ඇති පුද්ගලයා තමා අපායට යන මාර්ගයේ, දුගතියට යන මාර්ගයේ ගමන් කරන බව නොදනී. අපායට යන මාර්ගය හා සුගතිට යන මාර්ගය වෙන්කොට තෝරා බේරා ගන්නට නොදත් ඔහු සංසාර ගැටළුවෙන් මිදී නිදහස් වන්නට කිසිසේත්ම නොදන්නා කෙනෙකි. දුගතිය වූ අපායත්, සුගතිය වූ කාමලෝකයත් යන දෙකම ඇත්තේ මේ ලෞකික පැවැත්ම තුළම බවත් ලෝකෝත්තර නිවන (නිබ්බාන) යනු මේ සසරට බැඳ තබන බැමි වලින්, කෙළෙස් වලින් මිදී නිදහස්වීම බවවත් ඔහුට තේරුම් ගන්නට නොහැකි වෙයි. ඒ සඳහා සිතන්නට සුදුසු ගැළපෙන මනසීකරණ ශක්තියක් ද ඔහුට නැත.

මිනිසෙකු ලෙසින් අද උපත ලබා ජීවත්වන ඔබ මේ දෙකොටසෙන් කුමන කොටසට අයිති වන්නේද? ඔබ තුළ ඇත්තේ මේ ලක්ෂණ වලින් කුමන කොටසට අයත් ගති ලක්ෂණද? දැන් එකින් එක කාරණයක් කෙරෙහිම ආවර්ජනය කර තමා තුළින්ම තමා ගැනම තමන්ම සළකා බලා තීරණයක් ගන්නට තරම් ඔබ සමත් වේ නම් මේ මිනිසත් බවට පත්වීමේ නිසි ඵල ප‍්‍රයෝජනයක්ද ඔබ ලබා ගත්තා වන්නේය.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් අරිය උත්තමයෙකුගෙන් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයම අසා දැන තේරුම් ගැනීම මේ සඳහා පළමුවන අවශ්‍යතාවයයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍ය ලැබෙන්නේ ඒ මාර්ගයෙනි. හේතුඵල දහමට බහා ගළපා ක‍්‍රියා කරන්නටත් ඔබට ඒ අනුව පුරුදු විය හැකිය. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නෙකු බවට පත්වීම නිසා සම්මා දාෂ්ඨියට පත් වූවෙකු බවටද පත්වෙයි. එවිට මග්ගේ මග්ග ඥාණ දර්ශනයද ලැබෙයි. දැන් අපායට යන මඟත් දැනගනී. අපායෙන් මිදෙන මඟත් දැනගනී. කාමා ලෝකයත් දැනගනී. නිවනත් දැනගනී. නිවනට යන මඟත් දැක ගනී. චතු අරිය සත්‍යයන්ද අවබෝධ කරගනී.

”අවිද්‍යා පච්චයා සංඛාරා, සංඛාර පච්චයා විඤ්ඤාණ” ආදී වශයෙන් විග‍්‍රහ කරන ලද සංසාර දුකට මුල්වන අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහය යථා පරිදි දැන් තේරුම් ගනී. විද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේදී විග‍්‍රහ කර පෙන්වා දෙන්නේ නිවන නොවන බවත් ඉන් පෙන්වා දෙන්නේ නිවන වසා සිටින නිවනට ප‍්‍රතිපක්ෂ වූ අවිද්‍යාව නිසා සසර බැම්මට බැඳෙන ආකාරයත් බව මනාව දැන් තේරුම් ගනී. අවිද්‍යා නිරෝධ පටිච්චසමුප්පාද විග‍්‍රහයත් තේරුම් ගනී. සංඛාර නිරෝධ කරමින් විඤ්ඤාණ නිරෝධ කරමින්, භව නිරෝධය තෙක්ම නිරෝධ ගාමිණී මාර්ගයම අනුගමනය කළ යුතු බවත් දැන් යථාපරිදි තේරුම් ගනී.

තෙවනුව කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයත් තේරුම් ගනී. කුණු මුල් ගළවා සිතින් චිත්තසංථානයේ කෙළෙස් අස්කර දමන තුරාවට ”සං” උත්පාදනය වන බවත් දැක කෙළෙස් මුල් ගළවා දමන්නට අනුගමනය කළ යුතු නිවැරදි මාර්ගයම කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් නිවැරදිව අසා දැන ඒ මාර්ගයම අනුගමනය කර සම්මා විමුක්තියටම පත්විය යුතු බවද තේරුම් ගනී.

මේ අනුව අයෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීම සත්ත්වයාගේ සංසාර දුකට මුල් වු පළමුවැනි හේතුවයි. අවිද්‍යාව, තණ්හාව, නොදන්නා කම, මෝහය ආදී සියලු ලාමක ගති සිතක දිගින් දිගටම පවතින්නේ අයෝනිසෝමනසිකාරයෙන් දිවි පැවැත්ම පවත්වාගෙන යාම නිසයි.

ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කිරීමෙන්ම යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියාකරන මග්ගේ මග්ග ඥාණයෙන් ක‍්‍රියාකරන සම්මා දිට්ඨියටද පත් වූවෙක් බවට පත්විය හැකි එවන් පුද්ගලයා ධම්මචාරී වෙයි. අධම්මචාරී නොවෙයි. සමචාරී පුද්ගලයකු වෙයි. විෂමාචාරී, අසමචාරී ගතිවලින් ඉවත් වෙයි. අකුසල කිරියා වලින් ඉවත් වී, කුසල කිරියාවන්හි යෙදෙන්නෙකු වෙයි. පාප කිරියා වලින් ඉවත් වී, පුණ්‍ය කිරියා කරන්නෙකුද වෙයි. මිච්ජා දෘෂ්ඨියෙන් ඉවත් වූ සම්මා දෘෂ්ඨියට පත් වූ කෙනෙකුද වෙයි

Share Button