ඉච්ච හා පටිච්ච

ඒ ඒ පුද්ගලයා, සත්ත්වයා තනි තනිවත්, සාමූහිකවත් විඤ්ඤාණ ශක්තියෙන්ම, කිළිටි වූ කැමැත්තෙන්ම බැඳී ක‍්‍රියා කරන තුරාවට ”සං” උත්පාදනය වන බවත් සමුදය ධර්මතාවය උපදින බවත් පෙන්වා වදාළ ධර්ම නියාමය පටිච්චසමුප්පාද ධර්මයයි. ප‍්‍රිය යැයි මනාප යැයි නිගමනය කර ප‍්‍රිය සංඥාවලට කැමැත්තෙන්ම බැඳෙන තුරාවට අවිද්‍යාව මුල්වී සිතින්ම සංඛාර කරයි. අවිද්‍යා සංඛාරයකට බැඳීමෙන් සමුදය ධර්මතාවය බිහිවෙයි. සංඥාවට බැඳී සංඛාර කරන තුරාවට සමුදය ධර්මතාවයට බැඳීමෙන් සංසාර ගමනද සිදුවෙයි. හේතුඵල පරම්පාවක්ද බිහිවෙයි.

”පටිඉච්ච වීම” යනු ප‍්‍රිය සංඥාවකට කැමැත්තෙන්ම බැඳීමයි. මේ නිසා ”ඉච්ච” යන පදයේ ධර්ම අර්ථය නිවැරදිවම තේරුම් ගන්නා තාක් කෙනෙකුට නිවන් දකින්නට උපකාර වන උතුම් බුද්ධ ධර්මයද තේරුම් ගත නොහැකිය. බුද්ධ භාෂිතයේ නිතර නිතර විවිධ ආකාරයෙන් භාවිතා වන ”ඉච්ච” යන පදයේ තේරුම ධර්ම අර්ථය ”කැමැත්ත” යන්නයි. සිතක පහළවන කැමැත්ත පිළිබඳවම විවිධ ආකාරයෙන් බුද්ධ ධර්මයේම භාවිතා වන තැන් කිහිපයක් ගෙන එහි අර්ථ, ධර්ම, නිරුක්ති සොයා බැලීම වැදගත්ය.

01. ඉච්ච – සිතක පහළවන කැමැත්තයි.
02. නඉච්ච – නොකැමත්තයි.
03. අනිච්ච – අනිච්ච යනු සිතේ ඇති වූ කැමැත්ත කැමති පරිදි පැවැත්වීමට නොහැකි යන අදහසයි.
04. පටිච්ච – යනු සිතක පහළවන කැමැත්තට බැඳීමයි.
05. අභිච්ච – අභිජඣා යනු ලෝභය, දැඩි කැමැත්ත, දැඩි ආශාවයි.
06. අප්පඉච්ච – අල්පේච්ච යනු අල්ප වූ කැමැත්තයි
07. විචිකිච්ච – වි+චි+කි+ඉච්ච යනු විඤ්ඤාණ චිත්තයෙහි කිළිටි වූ කැමැත්තට බැඳීමයි. හිතට වහල්වීම – අරමණුට ගැති වීමයි.
08. උද්ධච්ච – උද්ධ+ඉච්ච උදහස් වූ සිතක පහළවන අභිමානයයි. එසේත් නැතිනම් උදහස් වූ කැමැත්තයි.
09. කුක්කුච්ච – පහත් වූ සිතක පහළවන හීනමානයයි. කුණු රසයන් විඳීමේ, කුණු රස බැලීමේ කැමැත්තයි.
10. මරිච්ච – මසුරුකම සඳහා ඇතිවන කැමැත්තයි.

හැම පෘථග්ජන මිනිසෙකුගේම සිතක් තුළ නිරුතුරුවම මේ සියලු ආකාරවූ කැමති පහළ වේ. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට නොහැකි වූ කළ පටිඉච්ච වීම නියත ධර්ම නියාමයකි. යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කරන්නට පුරුදු පුහුණුවීමත් සමඟම හැම මිනිසෙකුටම තමාගේම සිතතුළ පහළවන කැමැත්තෙහි ස්වභාවය ස්වරූපය මැනබලා ගන්නටත් හැකියාවද ලැබෙයි. මේ ආකාරයෙන් සිතෙහිම පහළවන කැමැත්තට බැඳීමෙන්,

I. චන්දරාගයක්, කාමච්ඡන්දයක් බවට පත්වීමක් ද, චන්දරාගයෙන් බැඳීමක් ද,
II. ද්වේෂය, වෛරය නිසා පහළවන්නා වූ කැමැත්තේම දෙවෙනි වේෂයද,
III. මෝහය, අවිද්‍යාව නිසා පහළ වන මුළා වූ කැමැත්තක් ද,

යන කරුණු විපස්සනා නුවණින්, යෝනිසෝමනසිකාරයෙන් නිවැරදි ආකාරයටම තෝරා බේරා යථා පරිදි දැකගන්නටත් ශක්තියද මනසටම ඇතිවෙයි. මෙවන් ප‍්‍රිය මධුර දෙයකට කැමැත්තෙන්ම බැඳුනොත් ඒ කැමති වූ දේ, ඒ ආකාරයෙන්ම දිගින් දිගටම පවත්වාගන්ට නොහැකි ලක්ෂණය වූ ”අනිච්ච ධර්මතාවයද” දැකගත හැකිවෙයි. දුක යනුවෙන් අප අදහස් කරන වේදනාව ඇතිවන්නේ අපි කැමති වූ, ප‍්‍රිය මනාප වූ යම් දෙයක්, යම් කෙනෙක්, යම් තැනක් ඒ ආකාරයන්ම දිගටම නොපැවතී දෙවැනි ආකාරයකට දෙවැනි වේෂයකට පත්වීමේ නියත ධර්මතාවය නිසා බවද දැන් තේරුම් ගත හැකිය.

බුද්ධ භාෂිතයේ ”දුක” යන පදයෙන් විග‍්‍රහ කළේ දෙවැනි පැත්ත යන්නයි. දෙක යන අර්ථයයි. අංගුත්තර නිකායේ ”එක නිපාතයෙන්” අංග එකක් සහිත කරුණු විග‍්‍රහ කර ඊළගට අංග දෙකක් සහිත කරුණු විග‍්‍රහ කරන්නේ ”දුක නිපාතයෙනි”. මේ අනුව දුක යනු සැප නමැති සංකල්පයේම දෙවැනි පැත්තයි. කිසිම කෙනෙකු දුක කැමැත්තෙන්ම අල්ලා උපාදානය කරගන්නේ නැත. සැප හඹා ගොස් සැප අල්ලා ගන්නට සැප උපාදානය කරගන්නට උත්සාහ දරණ හැම අවස්ථාවකදීම උරුම කර ගන්නේ එහි දෙවැනි පැත්ත වූ දුකයි. මේ නිසාම පළමුවන අරිය සත්‍යය වූ දුක්ඛ අරිය සත්‍යය තේරුම් ගන්නට නම් මේ ප‍්‍රිය මධුර දේට බැඳෙන ස්වභාවය ”පටිඉච්ච” ධර්මතාවයම නිවැරදිවම තේරුම් ගත යුතුයි. පෘථග්ජන පුද්ගලයෙකු පංචස්කන්ධයම උපාදානය කරගන්නේ දැඩිව අල්ලාගන්නේ මම, මගේ කියා වෙන්කර ගන්නේ ඒ පංචස්කන්ධයේ යම් කොටසක් ප‍්‍රිය මනාප සේ දකින මායා දෘෂ්ඨියට බැඳීමෙනි. ප‍්‍රිය මනාප දේට කැමැත්තෙන්ම බැඳීම ”පටිඉච්ච” ධර්මතාවයයි. ”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” යයි ධර්මයේ පළමුවන අරිය සත්‍යය ලෙසින් ප‍්‍රකාශ කළ දේ දැන් නිවැරදිවම තේරුම් ගැනීමට ඔබ සමත් වී නම් පළමුවන අරිය සත්‍යයද ඔබට අවබෝධ වෙනු ඇත. ”පටිඉච්ච” තේරුම් නොගැනීම නිසාම හැම පෘථග්ජන මිනිසාම, කැමැත්තට දැඩිව බැඳී සංසාර දුකම උරුම කරගනී. මේ අනුව ලෞකික සැප විඳින්නට ලෞකික සැප සොයා හඹායන්නට උත්සාහ දරණ හැම අවස්ථාවකම නියත වශයෙන්ම දුක උරුම වන බවද තේරුම් ගත යුතුය. උපදානය කරගත් පංචඋපාදානස්කන්ධයම තමන්ට බරක් වන බව, බැම්මකට තමන්ම බැඳෙන බව සියලු භය උපදවන්නට උපාදානය කරගත් දේවල්ම හේතුවන බව සෑම මිනිසෙකුටම තේරුම් ගත හැකිය. නමුත් හැම පෘථග්ජන මිනිසාම මේ පංචස්කන්ධයන් කොතරම් උපාදානය කරගත්තත් සෑහීමකට පත්වන්නේ ද නැත. ඊට හේතුව ධර්මයේ පෙන්වා වදාළ නියත සත්‍යයන් වන ත‍්‍රිලක්ඛණය තේරුම් නොගත් නිසයි.

මේ අනුව සිතකට අරමුණු වන ප‍්‍රිය සංඥා වලට කිළිටි වූ කැමැත්තෙන්ම විචිකිච්චාවෙන්ම බැඳී සිතටම වහල් වී කටයුතු කරන තාක් ”පටිඉච්ච” වීමත් අවිද්‍යා, තණ්හා, උද්ධච්ච, කුක්කුච්ච ආදී කිළිිටි ගති සිත තුළම පහළ වීමත් නිසා සං උපතක් සමුදය ධර්මයක් සිත තුළම පහළ වන බවත් නිවැරදිවම හැම මිනිසෙකුටම යෝනිසෝමනසිකාරයෙන් තේරුම් ගත හැකිය. පටිඉච්ච හේතුවයි. සං උත්පාද වීම, සමුදය වීම ඵලයයි.

Share Button

හේතුඵල ධර්මතාවය

හේතුඵල ධර්මතාවය යනු කුමක්ද? එය ක‍්‍රියාත්මක වන ධර්ම ස්වරූපය කෙබඳුද? යන කරුණු ගැන පැහැදිළි වැටහීමක් ලබන්නට පහත සඳහන් කරුණු ද තේරුම් ගත යුතුය.

01. සත්ත්වයෙකු පුද්ගලයකු අත්විඳින හැම ඵල විපාකයටම මුල්වූ හේතුවක්ද අනිවාර්යයෙන්ම තිබිය යුතුය.
02. ඒ හැම හේතුවක්ම සංඛාරයකි. චිත්ත සංඛාරයක්, වචී සංඛාරයක් හෝ කාය සංඛාරයකි.
03. හැම සංඛාරයක්ම කිරීමෙන්, සිතීමෙන් චිත්ත ශක්තියක් බිහිකර ගැනීමද සිදු වෙයි.
04. පුද්ගලයෙකු, සත්ත්වයෙකු එකතු කර ගත් චිත්ත ශක්තිය එකතු කර ගත් අය වෙතම ඵල විපාක දීමට ද සමත් වෙයි.
05. මේ හේතු හා ඵල විපාකයන් අතර විද්‍යාත්මක සම්බන්ධයක්ද ඇත. නියාම ධර්මයන්ට අනුකූල ලෙසින් හැම ඵල විපාකයක්ම විග‍්‍රහ කර විස්තර කර පෙන්විය හැකිය. නියාම ධර්මයකින් විස්තර කළ නොහැකි විග‍්‍රහ කළ නොහැකි කිසිම සංඛාරයක් නැත.
06. එවන් වූ නියාම ධර්මයන්ට අනුරූපිවම, අනුකූලවම යහපත් හේතුවක් යහපත් ඵල විපාකයක් ලබා දීමටත්, අයහපත් හේතුවක් අයහපත් ඵල විපාකයක් ලබාදීමටත් සමත්වේ. යහපත් හේතුවකින් අයහපත් ඵල විපාකයක් කිසිදා බලාපොරොත්තු විය නොහැකිය. මේ නියත ලක්ෂණය නියාම ධර්ම නම් විය.
07. කෙනෙකු වර්තමානයේ අත් විඳින හා අතීතයේ අත්විඳි සියලු ඵල විපාක දුක සැප, ලාභ අලාභ, කීර්ති ප‍්‍රශංසා, අපකීර්ති අවමාන ආදී අටලෝ දහමට අයත් හැම අංගයක්ම තමන්ට අත් විඳින්නට සිදුවූයේ මේ මොහොතට පෙර තමන්ම එකතු කර ගන්නා ලද හෝ අල්ලා ගන්නා ලද චිත්ත ශක්තියක් හේතු කොට ගෙනමය. ඒ සියල්ල තමන්ගේම අතීත උරුමයන්ය.
08. හේතු ලෙස පෙන්විය හැකි සියලු දේ ක‍්‍රියා, වදන්, සිතුවිලි තම සිතින්ම සිතා ක‍්‍රියාවෙන් හෝ කථාවෙන් කරන ලද ඒවාය. වෙන කවුරුන් හෝ කරන ලද, කියන ලද, සිතන ලද දෙයක් තමන් අල්ලා නොගත්තොත් තමන්ට ඒවා ඵල විපාක ලෙස උරුම නොවේ. අහක යන කුණු ගොඩවල් තමන් බලෙන්ම අල්ලා නොගත්තොත් ඒවා කාටවත් බලෙන්ම තමා වෙත පැටවිය නොහැකිය. එවැනි කුණු ගොඩවල් බලෙන්ම තවත් පුද්ගලයෙකුට හෝ සත්ත්වයෙකුට පැවරිය හැකි ශක්තියක් වෙනත් කිසිම කෙනෙකුට ද නැත.
09. තමන් යම් ක‍්‍රියාවක් හෝ කථාවක් කරන්නට පෙර තම සිතුවිලි මෙහෙයවා කල්පනා කර ඒ ගති ලක්ෂණයට, චරිත ලක්ෂණයට (භව) අදාළව චිත්ත ශක්තියක් නිපදවා, චිත්ත ශක්තියේ බලය මතම ක‍්‍රියාව හෝ කථාව කරන බවත් දැක ගත යුතුය. ඒ උපදවා ගත් ගති ගුණයට, චරිත ලක්ෂණයට අදාළ ගති රුව, ගති හඬ, ගති බව, ගති බල තමන් තුළින්ම විද්‍යාමාන වන බවද දැක ගත යුතුය.
10. තම සිතට යම් සංඛාරයක් අරමුණ වූ පසුව යම් ගති ලක්ෂණයකට පත්වී, ක‍්‍රියා කළහොත්, කථා කළහොත් එහි ඵල විපාකවල ස්වරූපය මනසින් මැන බුද්ධියෙන් අනුමාන කර දකින්නට මිනිසෙකුට ශක්තිය ඇති බවද දැක ගත යුතුය.
11. සිතට අරමුණ වූ යම් හේතුවක් තමාට නොගැළපේ නම් තම අයහපතට හේතුවේ නම් කුණු එකතුකර ගැනීමක් වේ නම් එවැනි සිතුවිල්ලක් උත්සාහයෙන්, වීර්යයෙන් සිතින් අතහැර, සිතුවිලි පරම්පරාවට නොබැඳී, සිත නිරෝධ කර ඉන් නිදහස් විය හැකි බවද දැන ගත හැකිය.
12. ඵල විපාක උරුම වීමෙන් නිදහස්වීමට නම් ඵල විපාක අත්හැරීමට නම් හේතුවට අදාළ ගති ලක්ෂණ ගතිගුණ බිහි කිරීමෙන් වැළකී සිතුවිලි නිරෝධ කිරීම කළ යුතු බවත් දැන ගත යුතුය.
13. අහිත කර අයහපත් ඵල විපාක දෙන සියලු සිතුවිලි, සියලු අරමුණු දැන එවැනි සිතුවිලි සිතෙහි මතු වූ මොහොතේම උත්සාහයෙන් ඒවා නිරෝධ කර ඉන් නිදහස් විය හැකි බවද දැක ගතයුතුය.
14. වෙනත් ලෝක සත්ත්වයකුට අයහපතක්, අවැඩක්, අසාධාරණයක්, තමා අතින්, සිතින් සිදුවන්නේ නම් එයද තමාටත් ඵල විපාක උරුම වන දෙයක් බවද දැකිය යුතුය. කවදා හෝ මෙවැනි අයුතු අසාධාරණකම් වලට තමන්ටත් වන්දි ගෙවන්නට ණය ගෙවන්නට දුක් විඳින්නට සිදුවන බවද දැකගත යුතුය. වෙනත් ලෝක සත්ත්වයකුට යහපතක් හොඳක් කළොත් එහිදී යහපත් ඵල විපාක තමාටත් අත්විඳින්නට සිදුවන බවත් දැකගත යුතුය.
15. අද තමා අත් විඳින හා අතීතයේ අත් විඳි සියලු අහිතකර ඵලවිපාක මෙන්ම හිතකර යහපත් ඵල විපාක ද තමාම පෙර දිනක කළ හේතුවල ඵලවිපාක ලෙසින්ම ලැබී ඇති බවද දැකිය යුතුය.
16. තමන්ට අත් විඳින්නට සිදුවන සිදුවුන සියලු අයහපත් හා යහපත් ඵල විපාකයන් සම්බන්ධයෙන් වෙනත් කිසිදු පුද්ගලයකුට වෙනත් කිසිදු සත්ත්වයෙකුට හෝ ස්වභාවධර්මයා කෙරෙහි කිසිම ආකාරයක අහිතක්, ද්වේෂයක්, වෛරයක් ඇති කර ගැනීමෙන් වැළකී සිටිය යුතුය. එසේ වෛරයක්, ද්වේෂයක් ඇති කරගන්නේ නම් තමන් අත් විඳින ඵලවිපාක නැවත නැවතත් එවැනිම ඵල විපාක ලබන්නට මතු මත්තෙත් හේතුවක් බවට පත් කරගන්නා බවද දැකිය යුතුය. සැප ලැබීම නිසා උඩඟු වීම, උද්ධාමයට පත්වීම, දැඩි සතුටට පත්වීම නිසා අනිවාර්යයෙන්ම සිත ¥ෂණය වී කිළිිටි වන බවද දැකගත යුතුය.
17. අටලෝ දහමට අයත් සියලුම දේ මේ ආකාරයට ඉවසා දරා ගන්නට පුරුදු පුහුණු වීමෙන් පමණක් නිවන ද, නිදහස ද ලබාගත හැකිය. අටලෝ දහමට අයත් කුමන හෝ කෙළවරක් අල්ලාගත හොත් එය මතු ඵල විපාක ලැබිය හැකි නිවනට බාධක හේතු බවද දැක ගත යුතුය.
18. යහපත්, හොඳ, නිවැරදි යැයි සම්මතයෙන් පිළිගත් දේ බොහෝ ක‍්‍රියා, වදන්, සිතුවිලි නිසා තමන්ටම උරුම විය හැකි ඵල විපාක සොයා බලා ඒවා කෙබඳු ඵල විපාක දැයි දැන කටයුතු කළ යුතුය. එවැනි දේ තමාගේ සසර ගමන දික් කරන නිවන් මඟ පමා කරන හෝ නිවන් මඟ වසා දමන සසරට බැඳ තබන හේතු නම් ඒවා කොතරම් සම්මතයෙන් හොඳ යැයි පිළිගත්තත් ඒවායින් වැළකී සිටිය යුතුය. එවැනි ක‍්‍රියා, වදන්, සිතුවිලි සම්මතයෙන් කොපමණ හොඳ වුවත් වෙනත් සත්ත්වයකුගේ, පුද්ගලයෙකුගේ නිවන් මඟට බාධා පමුණුවන, නිවන ප‍්‍රමාද කරන, සසරට බැඳ තබන ආකාරයේ දේ් නම්, ඒවායින් ද ඉවත්ව නිදහස් විය යුතුය.
19. මතු දෙව් මිනිස් සැප ප‍්‍රාර්ථනා කර එවැනි චිත්තජ රූප නිපදවා එවැනි බලාපොරොත්තු ඇති කිරීම අද සම්මතයෙන් ඉහළම පින්කම් ලෙස හුවා දක්වති. මේවායෙහි ඵල විපාක ලෙස තමන්ම සංසාරයේ අතරමං වන බවත්, ලෞකික සැප ප‍්‍රිය මනාප දේ නිසා දෙව් මිනිස් සැප ගැන තැබූ බලාපොරොත්තු නිසා රාග, මෝහ වැඞී තම නිවන් මඟ වැසී යන බවත් දැන ගත යුතුය. මෙහි හේතු ඵල ගැනම සළකා බලා කටයුතු කළ යුතුය.
20. හැම මොහොතකම නිවන් මඟට නිදහස් වීමට උපකාර වන ක‍්‍රියා, වදන්, සිතුවිලි සතියෙහි පිහිටා දැක ගැනීමටත්, දැක ඒවා අනුගමනය කිරීමටත් පුරුදු විය යුතුය. රාග, ද්වේෂ, මෝහ ගති ගුණ ගති ලක්ෂණ දියුණු කරන ක‍්‍රියා, වදන්, සිතුවිලි වලින් නිතරම ඉවත් විය යුතුය.
21. හේතුඵල ධර්මයේ මූලික සිද්ධාන්තය තේරුම් ගත් පසුව මොහොතක්, මොහොතක් පාසා චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසා තමන්ම බිහිකර, එකතුකර ගන්නා චිත්ත ශක්තීන් ගති ලක්‍ෂණ චරිත ලක්‍ෂණ එකතු කර ගන්නා ආකාරය දැක ගත හැකි විය යුතුය. මීට පෙර එසේ එකතු කරගත් චිත්ත ශක්තීන් ඵල විපාක ලෙසින් තමන්ටම අත් විඳින්නට වීමත් දැකගත හැකිය. පැවැත්මේ ඇතිවීම, නැතිවීම මෙය බවද මීට අමතරව මේ පැවැත්ම යැයි කියන ඇතිවීම නැතිවීම තුළ කිසියම් ආකාරයක හරයක් අර්ථයක් වටිනාකමක් නැති බවද දැක ගත හැකි විය යුතුය.
22. හැම හේතුවක් නිසා ඵල විපාකයක් උරුමවන්නා සේම හැම හේතුවක්ම අතීත ඵල විපාක සම්බන්ධතාවයක් නිසාම සිදුවන බවත් දැක ගත හැකි වනු ඇත. හේතු නිසා ඵල විපාකත් ඵල විපාක නිසාම හේතුත් ලෙසින් මතු මතුත් සම්බන්ධතාවයන් ඇතිවන බවත් දැකගත යුතුය. හේතු අත්හැරීම මගින්ම බලාපොරොත්තු අතහැර හේතු ඵල දෙකෙන්ම මිදී නිදහස් වන්නට හැකි බවද දැකගත යුතුය.
23. යම් හේතුවක් නිසා බිහිවන කිසිම ඵල විපාකයක් එක මොහොතක් හෝ එකලෙස පවත්වා ගත නොහැකි බවද දැකගත යුතුය. නිපදවූ චිත්ත ශක්තිය හෙවත් ඵලවිපාක ලෙස බිහි වූ දුක සැප ආදී කොයි ආකාර වූ ඵලවිපාක හෝ විපරිණාමයට පත්වී ගෙවී විනාශය කරාම යන බවද දැක ගත යුතුය.
24. හැම ඵල විපාකයකම නියත ලක්ෂණයක් වූ ගෙවී විපරිණාමයට පත් වී විනාශ වන ලක්ෂණය ධර්මතාවයක් බවද දැකගත හැකි විය යුතුය. ඒ නියත ධර්ම ස්වභාවය නිසා බිහි වූ කිසිම ඵල විපාකයක් තමන් කැමති සේ එක මොහොතකට වඩා නොපවතින බවත් දැන ගත යුතුය. කැමති සේ පැවැත්විය නොහැකි බව, කැමති සේ නොපවතින බව, කැමති සේ දිගටම නොලැබෙන බව, හැම සංඛාරයටම පොදු හැම සත්ත්වයෙකුටම පොදු නියත ලක්ෂණයක් බවද දැකගත යුතුය.
25. හැම සත්ත්වයකුම හැම පුද්ගලයකුම තම මුළු ජීවිත කාලය තුළම කරන්නේ එවන් ගෙවී යන ඵල විපාක අතීත සිදුවීම් තමන්ට කැමති සේ පවත්වා ගන්නට දරණ උත්සාහයක් බවද දැකිය යුතුය. ප‍්‍රිය මනාප ලෙසින්ම පවත්වා ගන්නට අප‍්‍රිය අමනාප දේ ප‍්‍රිය මනාප තත්ත්වයට වෙනස් කර ගන්නට දරණ උත්සාහයන්ම පමණක් බවද දැක ගත යුතුය. ඒවායේ නියත ස්වභාවය වෙනස් වීම ගෙවී යාම විනාශ වීම බව මොහොතකට වත් කල්පනා නොකරන නිසාම සියලු දුක් විඳවයි. හේතුඵල දහම දැක ධර්ම ස්වභාවය දැක සතියෙන් කළ යුත්තේ මේ තත්ත්වයෙන් ගැළවීමටයි. බිහි වූ හැම ඵලයක්ම, විපාකයක්ම කාලයත් සමඟම ගෙවී යයි. මේ ගෙවී යන ස්වභාවය ගමන් කරන ස්වභාවය ධර්මතාවය යමක් කැමති සේ පවත්වා ගන්නට නොහැකි වීමට මූලික හේතුව බවද දැකගත යුතුය.
26. මේ ධර්මතාවය මේ ධර්ම ස්වභාවය ගමන් කිරීමකි. මේ රිය ස්වභාවයට ශක්තිය උපදවා බිහි කර ගත්තේ තමන්මය. මෙහිදී සිදු වන්නේ තමන්ම උපදවා ගත් චිත්ත ශක්තිය ගෙවී යාමකි. ගමන යාමට නැවත නැවතත් ශක්තිය බිහි කර ගැනීමකි. මුළු ජීවිත කාලය තුළම කරන්නේ දැනුවත්ව හෝ නොදැනුවත්ව චිත්ත ශක්ති අලුතෙන් බිහි කර ගැනීමත් බිහිකළ චිත්ත ශක්ති ගෙවා දැමීමත් පමණි.

මෙවන් රිය ස්වභාවය ගමන් කරන ධර්මතාවය ස්වභාවික විද්‍යා සිද්ධාන්තයකි. කිසිවක් කැමති සේ පවත්වන්නට නවත්වන්නට නොහැකි ධර්ම ස්වභාවයයි. මේ ධර්ම ස්වභාවයේ සත්‍යය නොදන්නාකම මෝහයයි, අවිද්‍යාවයි. එහි විද්‍යාත්මක සත්‍යය නොදැනීම නිසාම හැම මිනිසෙකුම හැම පෘථග්ජන පුද්ගලයකුම යම් යම් අය හා සම්බන්ධ වන්නට යම් යම් තැන් වලට බැඳෙන්නට හා යම් යම් බලාපොරොත්තු ඇති කරගන්නට දරණ උත්සාහය තණ්හාවයි. මේ නොදැනීම හා තණ්හාව නිසා හැම පෘථග්ජන පුද්ගලයකුම නියත වශයෙන්ම අනාථ තත්ත්වයට පත්වෙයි. හේතුඵල දහම දැක ඒවායේ නියත ස්වභාවය දැක, නියම තත්ත්වය තේරුම් ගත්තේ නම් අනාථ තත්ත්වයෙන් මිදිය හැකිය.

27. හේතුඵල ධර්මතාවය ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳ යථාවබෝධයක් යථාභූත ඥාණයක් ලැබූවෙකුට තමන් විසින් අත් විඳිනු ලබන සියලු දුක් වලට හේතුව තමන්ම උපදවාගත් චිත්ත ශක්තීන් පමණක් බවද දැකගත හැකිය. එය ප‍්‍රඥාව පහළ වීමයි. අඳුරින් අනාථ බවෙන් මිදීමට මාර්ගය දැකීමයි. හේතුඵල දහමට බහා ගළපා හැම දෙයක් ගැනම පරම සත්‍යය තේරුම් ගැනීමට හැකි බවද දැකගත හැකිය. තම බුද්ධියෙන් ලැබූ යථාවබෝධය නියම මඟ පෙන්වන්නා බවට පත් කරගත හැකි බවද දකී.
28. මේ රිය ගමනට හේතුව තමන් විසින්ම කරන, කියන, හිතන දේ නිසා තමන්ම වගා කර ගන්නා ගති ලක්ෂණ, චරිත ලක්ෂණ හා චිත්ත ශක්තිය බවද දැන් පැහැදිළිය. තමන් මෙතෙක් කල් සිතූ සියල්ල කළේ දුකෙන් බේරීමට, දුකෙන් නිදහස් වීමට, දුක වෙනස් කර ගැනීමට, දුක වෙනුවට සැප සොයා ගන්නට, ප‍්‍රිය මනාප දේ අයිති කරගන්නට අත්විඳ ගන්නටමය. දුකින් ඉවත් වීමට දරණ උත්සාහය සැප ප‍්‍රිය මධුර දේ ලුහු බැඳ ඒ පසුපස දුවන ස්වභාවය සංසාර රිය ගමනකි. දුක පිළිබඳ පරම සත්‍යය නොදන්නා නිසා කරන රිය ගමනකි.
29. දුක රිය තත්ත්වයක් බව නොදැනීම නිසාම යන මේ ගමනේ විද්‍යාත්මක සත්‍යය දැකීම ”දුක්ඛ අරිය සත්‍යය” අවබෝධ වීමයි. සත්‍යය තේරුම් නොගත් නිසා හේතුඵල දහම සත්‍ය ලෙස තේරුම් නොගත් නිසා මෙතෙක් කල් දුක මේ රිය ගමනට හේතුව කරගත් බවත් දැන් දුක පිළිබඳව සත්‍යාවබෝධ වීම නිසා ගමන නවත්වා රිය අරිය කිරීමට හැකි බවත් දැක ගත හැකි වෙයි. යම් ප‍්‍රියමනාප දෙයක් කැමති සේ නොලැබෙයි නම් ඊට ප‍්‍රියමනාප බවක් පවතින තුරාම ඒ ගති ලක්ෂණයම ඒ ගති ස්වභාවයම දුකටද හේතු වෙයි. මේ ගමනටද හේතු වෙයි. මෙහි හේතුඵල දහම දැක ගැනීම විද්‍යාත්මක සත්‍යය දැකීම දුක්ඛ අරිය සත්‍යය අවබෝධ වීමයි. සත්‍යය දැක ප‍්‍රිය මනාප බව යනු මායාවක්, කැමති සේ පැවැත්විය නොහැකි දෙයක්ය යන්න යථා පරිදි අවබෝධ කරගත් විට මේ ප‍්‍රිය මනාප දේ පසුපස හඹායාම නවතී. රිය ගමන නවතී. සියලු සංඛාර කැමති සේ පැවැත්විය නොහැකි බව (සබ්බේ සංඛාරා අනිච්චාතී) නියත ධර්ම ස්වභාවයක් බව දැක ඒවා පසු පස ලුහු බැඳීම නවතා දැමීම කල් හැක්කේ මේ යථාවබෝධයෙනි.
30. හැම සත්ත්වයකුම, පුද්ගලයකුම සාරයි, වටිනවා යැයි අල්ලා ගන්නට උපාදානය කර ගන්නට පවත්වන්නට උත්සාහ දරණ වෙර වීරීය දරණ මේ පංචස්කන්ධය පිළිබඳව යථාස්වභාවය දැක ගත හැක්කේ එය පිළිබඳව හේතු ඵල දහම දැකීමෙනි. මේ පංචස්කන්ධය හැම සත්ත්වයකුගේම පුද්ගලයකුගේම ලෝකයයි. මේ ලෝකය ප‍්‍රියමනාප සේ පවත්වා ගන්නට පංචස්කන්ධය දුකින් මුදවා ගන්නට දුක් නැති කර සැප අත්කර ගන්නට හැම මොහොතකම ගන්නා උත්සාහය මේ ගමන යාමයි. රිය ගමන යාමයි. මේ රිය ගමන අරිය කළ හැකි වන්නේ පංචස්කන්ධය පිලිබඳ හේතුඵල දහම දැකීමෙනුත්, පංචස්කන්ධය අල්ලාගෙන විඳවන දුක පිළිබඳව හේතු ඵල දැකීමෙනුත් පමණි.

ඉන්ද්‍රියයන් හරහා අරමුණක් සිතට ලැබෙන විටම මෙය හේතුවක්ද ඵලයක් ද කියා තෝරා බේරා ගන්නට, පුරුදු පුහුණු විය යුතුය. මෙහිදී පරීක්ෂණය, නිරීක්ෂණය, නිගමනය යන තිපරිවට්ටය උපකාර කර ගත යුතුය. හේතුවක් නම් ඊට සම්බන්ධ වූ ඵල විපාකද දැක ගත යුතුය. ඒ හේතුව කිරීමෙන් එහි ඵල විපාකයන් ලෙස අත්විඳින්නට ලැබෙන ආනිසංස ගැනද දැක ගත යුතුය. මෙලෙස සිතට අරමුණු වන හැම සිතුවිල්ලකම හේතුඵල දහම විපස්සනා කර දැක ගන්නට පුරුදු විය යුතුය.

ඵල විපාක කිනම් අයුරකින් තමාටම උරුමවේද යන්න හැම විටම සිතා බලා නිගමනය කරන්නට පුරුදු පුහුණු විය යුතුය. තම සිත කිළිටි කරන චිත්ත ශක්තියක් උපදවන, ”සං” එකතු කරන රාග, ද්වේෂ, මෝහ සංඛාර මෙන්ම අලෝභ, අද්වේෂ, අමෝහ සංඛාර වුවත් ”සං” එකතු කරන, සංඛාරයෝ නම් ඒවා පැහැදිළිව හඳුනාගන්නට පුරුදු පුහුණු විය යුතුය. එහි ඵල විපාක ලෙසින් තම සංසාර ගමන දික් කරයි නම් එවැනි ගති ලක්ෂණයක්, චරිත ලක්ෂණයක් වඩවයි නම් එය කුණු බව දැක, කිළිිටි දේ බව දැක, ඒවා අවිද්‍යාමූල සංඛාර බව දැක වහාම එවැනි දේ ප‍්‍රහාණය කර නිදහස් විය යුතුය.

ලෝභ, ද්වේෂ, මෝහ ඛය කරන චිත්ත ශක්ති හෝ ගති ලක්ෂණ එකතු නොකරන ඒ වෙනුවට එවැනි ගති ලක්ෂණ බැහැර කරන කුසල මූල සංඛාරයක් නම් ඒ කුණු සළාහැරීම අවසාන වනතුරු එවන් සංඛාර ආශ‍්‍රය කර භාවිතාකර සම්පූර්ණයෙන් ඒ ගති ලක්ෂණයෙන් චරිත ලක්ෂණයෙන් මිදී නිදහස් විය යුතුය.මෙලෙස තම චිත්ත පාරිශුද්ධතාවයත්, මෝහයෙන් මිදීමත් නොකඩවාම පුරුදු පුහුණු කරගත යුතුය.

මේ අතරම තම චිත්තසංථානයෙහි පහළ වන යම් අරමුණක් නිසා එය හේතු කොට ගෙන වෙනත් සත්ත්වයෙකුගේ නිවන් මඟට යම් බාධාවක් අවහිරයක් වේ නම් නිවන ප‍්‍රමාද කරවන ක‍්‍රියාවක් නම් එයින් ද හැකි පමණ ඉක්මනින් ඉවත් වී සිතුවිලි ප‍්‍රහාණය කර ඉන් නිදහස් විය යුතුය. වෙනත් කෙනෙකුගේ නිවන් ප‍්‍රමාද කරන්නට නිවන් මඟට බාධා කරන්නට තමන් කරන, කියන, සිතන දෙයක් හේතුවෙයි නම් එය තමාටද ඍජුවම බලපෑමක් කරන දෙයක් බව දැක, ඉන් ඉවත් වී එයින් ද නිදහස් විය යුතුය.

තමන් කරන, කියන, හිතන ක‍්‍රියාවක ඵල විපාක ලෙසින් තවත් කෙනකුගේ නිවන් මඟ හෙළි කර දෙයි නම් නිවන් මඟට ඇති බාධක ඉවත් කර දෙයි නම් මෝහයෙන් මිදී බුද්ධිය දියුණු කර ගත හැකි නම් එය කුසල මූල සංඛාරයක් බව දැක ඒ ක‍්‍රියාව කිරීම දිගටම කරගෙන යා යුතුය. එය තමන්ගේ නිවන් මඟටද උපකාර වන බව දැන ගත යුතුය.

සංඛාරයක් කර අවසාන වීමෙන් පසුව තවදුරටත් ඒ ගැනම සිතා කම්පාවීම හෝ උද්දාම වීම කළ යුතු දෙයක් නොවේ. ඵල විපාක කොයි ආකාර වුවත් දැන් එය සිදු වී අවසානය. දැන් ඵලය වෙනස් කරන්නට කුමන ආකාරයකින් හෝ නොහැකිය. අතීත සිදුවීම නිසා දුක් විඳීම කිසිසේත්ම කළයුතු නොවේ. එය කිසිම අර්ථයක් තේරුමක් ඇති දෙයක් නොවේ. කළයුතු එකම දේ ලැබූ ඵල විපාක මතු තවත් ඵල විපාක දෙන හේතුවක් ලෙස භාවිතා කිරීමට කටයුතු කිරීමෙන් වැළකී සිටීමයි.

තමා අතින් දැන හෝ නොදැන යම් වරදක් පාපයක් අසාධාරණයක් සිදු වී නම් දැන් එය සිදුවී අවසානය. එහි ප‍්‍රතිඵලය දැක මින් මතු එවන් වරදක් පාපයක් අසාධාරණයක් නොකරන්නට, එවැනි දෙයින් මිදෙන්නට පමණක් කටයුතු කළ යුතුයි. එවන් වරදක්, පාපයක් නිසා වෙනත් සත්ත්වයෙකුට, පුද්ගලයකුට අසාධාරණයක් අවැඩක් සිදු වී ඇත්නම් ඒ සඳහා ප‍්‍රතිකර්ම කර, සමාව ගෙන, වන්දිගෙවා, ණය ගෙවා, පින් පවරා, මෙත්තා, කරුණා සිත පතුරුවා සිත නිදහස් කරගත යුතුය. හේතු ඵල දැකීමට නොහැකි පෘථග්ජන අය, තම මුළු ජීවිතකාලය තුළම කරන්නේ සිතන්නේ අතීතයට ගිය මෙවන් දේ ගැන සිතා තැවී දැවී දුක් විඳීම පමණි. සිතින් දුක් විඳ නැවත නැවතත් ඒ ඵල විපාකයන්ම හේතු ලෙස අල්ලා ගෙන ඊට සම්බන්ධවී නැවත නැවතත් හේතු ඵල බිහිකර ගැනීම මගින් මුළු ජීවිත කාලයම අපතේ යවයි. ඵල විපාක දුක් නම් ඒවා වෙනස් කර ගන්නට උත්සාහ දැරීමත් ඵල විපාක සැප නම් ඒවා පවත්වා ගන්නට උත්සාහ දැරීමත් මිස වෙනත් හරයක් අර්ථයක්, තේරුමක් ඇති දෙයක් මුළු ජීවිත කාලය තුළම නොකරන බව යථාභූත ඥාණයෙන් හේතු ඵල තේරුම් ගත හැකි කෙනෙකුට දැක ගත හැකිය.

ඵල විපාක දුක් හෝ සැප හෝ අතරමැදි හෝ විය හැකිය. ඒ මත්තේම වෙහෙස වී දාහය, ගින්න බිහිකර ගැනීම මතු දුකට මුලයි. රිය ගමන මෙයයි. කැමති සේ වෙනස් කර ගන්නට කැමති සේ පවත්වා ගන්නට උත්සාහ දරණ හැම පෘතග්ජන පුද්ගලයෙකුම තම මුළු ජීවිත කාලයම තේරුමක් අර්ථයක් නැති උත්සාහයක යෙදෙන බව දැකීමෙන් පමණක් මේ තත්ත්වයෙන් මිදී අර්ථයක් ඇති විමුක්තියක් නිවනක් සඳහා කටයුතු කළ හැකිය.

සාරයි කියා නොනවත්වාම බලාපොරොත්තු තබාගෙන යන මේ ගමන දුවවන්නට උපකාර වන එකම සංඛාරය ”දුක” බව විද්‍යාත්මක ලෙසින් තමන්ටම දැකගත හැකි වන්නේ දුක පිළිබඳ හේතු ඵල ධර්මය දැකීමෙනි. දුක රියක් බවට පත් කරගෙන මේ ගමන යන්නේ නොදැනුවත් කම නිසාමය. දුක යනු කුමක්දැයි නොදන්නේ එහි විද්‍යාත්මක වූ, පරම සත්‍යය නොදැනීමයි. දුක තමන්ම සිතින් බිහිකරගත් එකක් බව නොදැනීමයි. දුක පිළිබඳව මේ සත්‍යය ස්වරූපය දැක තමන්ම සිතින් සාදා ගත් එකක් බව දැක ගන්නට ලැබුනු විට දුක පිළිබඳ සත්‍යය දැන ගත හැකි වෙයි. එවිට ”දුක්ඛ අරිය සත්‍යය” අවබෝධ වෙයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගන්නේ දුක පිළිබඳ වතුරාර්ය සත්‍යය ප‍්‍රත්‍යක්ෂ ලෙසින් අවබෝධ කරගත හැකි වන්නේ දුක පිළිබඳ පටිච්ච සමුප්පාද ධර්මය, හේතුඵල ධර්මය පූර්ණ ලෙස අවබෝධ කර ගැනීමෙන්ම පමණක් බවයි. හේතුඵල අවබෝධයෙන් තොරව දුක නමැති ඵලයට විපාකයට පාදක වූ සත්‍යයම හේතුව දැක ගත නොහැකිය. මේ නිසා නිවන් දකින්නට සැබෑ අවංක උත්සාහයක් ඇති සෑම මිනිසෙකුම උත්සාහ ගත යුතු වන්නේ ”දුක” යන සංඛාරය පිළිබඳ විද්‍යාත්මක හේතුවම සොයා හේතුවෙන්ම ඉවත් වන්නටයි. හේතුවම නැති කර ගන්නටයි. ”සබ්බේ සංඛාර දුක්ඛාතී යදා පඤ්ඤාය පස්සති අතනිබ් බිංදති දුක්ඛේ, ඒස මග්ගෝ විශුද්ධියා” යනුවෙන් බුදුපියාණන් දේශණා කළේ මේ සත්‍යයයි. මිනිසෙකුට නිවන් දකින්නට උපකාර වන, උපකාර කරගත යුතු බුද්ධ ධර්මය පටිච්ච සමුප්පාද ධර්මයයි.

ලොව්තුරා බුදුපියාණන්වහන්සේ උතුම් බුද්ධ බවට පත්වීමේදී, පූර්ණ ලෙසින් සත්‍යාවබෝධ කරගත්, ස්වයංභූ ඥාණයෙන්ම මතුකර සොයා දැන ගත් එකම විද්‍යාව මෝහය නැත්නම් නොදන්නාකම නැමැති රෝගයෙන් මිදී ප‍්‍රඥාව උදාකර ගත හැකි ක‍්‍රමයයි. මේ විද්‍යාත්මක සත්‍යය ගෙන හැර දක්වා බුදුපියාණන්වහන්සේ දුක් විඳින ලෝක සත්ත්වයාට, රෝගීන්ට, මෝහයෙන් මිදෙන්නට ලබාදුන් බෙහෙත පටිච්ච සමුප්පාදය ධර්මයයි. පටිච්චසමුප්පාදය ධර්මයෙන් විග‍්‍රහ කළ නොහැකි සංඛාරයක්, සමුදය ධර්මයක් මේ මිහිපිට නැත. අභ්‍යන්තර වේවා, බාහිර වේවා, සියුම් වේවා, ඝන වේවා, දුර වේවා, ළඟ වේවා, හීන වේවා, ප‍්‍රණීත වේවා, අතීත වේවා, අනාගත වේවා සියලුම ධර්මයෝ පටිච්ච සමුප්පාද ධර්මයෙන් විස්තර කර විග‍්‍රහ කර දිය හැකිය. චිත්ත, චෛතසික, රූප, නිබ්බාන යන සියල්ල විග‍්‍රහ කර විස්තර කර දුන්නේද පටිච්චසමුප්පාද ධර්මයෙනි. ඒ නිසා බුද්ධ ධර්මය නම් පටිච්ච සමුප්පාද ධර්මයයි.

බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත්වන්නටත් පෙර අතීතයේ පටන්ම භාවිතයේ පැවති විවිධ දර්ශනවාද වලටද යම් ආකාරයකින් හෝ හේතුඵල සම්බන්ධයක් ගෑවී තිබුණ නමුත් ඒ සියලු මතවාද අසම්පූර්ණ ඒවා විය. අනුමානයෙන් පදනම් රහිතව ඇතිකරගත් මත පමණක්ම විය. පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය නමින් විභංගප‍්‍රකරණයේත් මහාවග්ග පාලියේත්, සංයුක්ත නිකායේත් අනිකුත් සූත‍්‍ර ධර්මවලත් එන බුදුපියාණන් ඉදිරිපත් කළ හේතුඵල විග‍්‍රහය සර්ව සම්පූර්ණ වූත් කාටත් පිළිගත හැකිවූත් නිවනට නිවැරදිවම මඟ පෙන්වන්නා වූත් ධර්ම මාර්ගයයි. අද ඒ උතුම් ධර්ම විග‍්‍රහය බෞද්ධයා අතරේ භාවිතා වන්නේ නැත. මේ උතුම් පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙන් ඉතාමත්ම සුළු කොටසක් අද භාවිතා කළත් එහිද අර්ථ, ධර්ම, නිරුක්ති නැති නිසා නොදන්නා නිසා එයද වැරදි අර්ථයෙන්ම භාවිතා කරති. විභංගප‍්‍රකරණයේ පච්චයා විභංගයෙහි එන විවිධාකාර පටිච්චසමුප්පාද විග‍්‍රහයන් විවිධාකාරයෙන් බෙදා දක්වා ඇති අතර අදටත් ඒ සියල්ලම කාටත් කියවා දැනගත හැකිය. පසු කාලීනව ලියාපළ කරන ලද අටුවා, ටීකා, ටිප්පනි වලින් මේ උතුම් ධර්මය විකෘති කරන ලද නිසා අද භාවිතයේ පවතින පටිච්චසමුප්පාද විවරණයන් නිවන් මඟට උපකාර නොවන ආත්මවාදී ලෞකික දේවල් පමණි.

ජීවී අජීවි ලෝකයේ අපට පෙනෙන නොපෙනෙන මේ පැවැත්ම තුළ බිහිවන හැම සංඛතයක්ම බිහිවන්නට හේතුවත් බිහිවූ හැම සංඛතයක්ම යම් කාලයක් පැවති නියත වශයෙන්ම ගෙවී විපරිණාමයට පත්වී විනාශ වී යන්නටත් හේතු විග‍්‍රහ කර පෙන්වා වදාළේ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. ඒවාගේම එකම අසංඛත ධර්මය වූ නිවන් අවබෝධකර ගන්නට මඟ පෙන්වා වදාළේද කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. නිවන යනු පැවැත්මේ නැවැත්මයි. පැවැත්මට මුල්වූ හේතුව දැන සොයා එවන් හේතු නිරෝධ කිරීමෙන්ම, සමුදය නිරෝධ කර නිවන් අවබෝධ කරගත හැකි බවද පෙන්වා දුන්නේ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. මේ සඳහා අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයකුත් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ කිරීමකුත් ඊට අමතරව කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මයකුත් යැයි තුන් ආකාරවූ ධර්ම විග‍්‍රහයක්ම බුද්ධ දේශණාවේ අඩංගුය. අද කුසලමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයේ පෙන්වූ ප‍්‍රතිපත්ති ක‍්‍රමයන් ප‍්‍රායෝගිකව භාවිතා කරන්නට දන්නා අයනම් බෞද්ධයින් අතර ඉතාමත් විරලය.

මේ අනුව යම් කෙනෙක් නිවන් අවබෝධ කරගන්නට අවංකවම උත්සහ දරණවා නම් කල්පනා කරනවා නම් ක‍්‍රියා කරනවා නම් ප‍්‍රතිපත්ති පුරණවා නම් පළමුකොටම කළයුතු වන්නේ පටිච්ච සමුප්පාද ධර්මය පිළිබඳව යම් පමණකට හෝ දැනුමක් ලබාගැනීමයි. බුදුපියාණන්වහන්සේම මේ බව ඉතාමත් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ”යෝ පටිච්චසමුප්පාදං පස්සති සෝ ධම්මං පස්සති යෝ ධම්මං පස්සති සෝ මං පස්සති” මෙහි තේරුම, යමෙක් පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට පසක් කොට දනීද, තේරුම් ගනීද, ඔහු ඒ තරමටම බුද්ධ ධර්මයද දනී. ධර්මාවබෝධය ලැබුවෙකුද වෙයි. පටිච්චසමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගනීද, ඔහු එපමණටම තමන් පිළිබඳවද තේරුම් ගනී. බුද්ධ ධර්මය හා බුදුපියාණන් යනු කවුදැයි ඔහු තේරුම් ගනී යනු මෙහි අදහසයි.

මෙයින්ම ගම්‍ය වන අනෙක් යථාර්ථය නම් යම් කෙනෙකු පටිච්චසමුප්පාද ධර්මය තේරුම් නොගත්තේ නම් ඒ පුද්ගලයා තමන් කවුදැයි තේරුම් ගත් කෙනෙකු නොවේ. ඒවාගේම බුදුපියාණන් කවුදැයි කෙබඳු උත්තමයෙකුදැයි තේරුම් ගත් කෙනෙකුද නොවේ. බුද්ධ ධර්මය යනු කුමක්දැයි තේරුම් ගත් කෙනෙකුද නොවේ. ”භව” උදුරා දමා බුද්ධත්වයට පත්වී නිවන් දකිනවා යනු කුමක්දැයි තේරුම් ගත් කෙනෙකුද නොවන්නේය.

මෙැතනදී හැම කෙනෙකුම තේරුම් ගතයුතු වැදගත්ම දෙයක් ඇත. බුදුපියාණන් අවබෝධ කරගත් දැනගත් අනන්ත අප‍්‍රමාණ ආකාරවූ සියලුම පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයන් තවත් බුදු කෙනෙකුන්ටම හැර වෙනත් මිනිසෙකුට, දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට ඒ ආකාරයෙන්ම තේරුම් ගත නොහැකි බවයි. තවත් කෙනෙකුට වචනයෙන් කියා පැහැදිළි කරදිය නොහැකි බවයි. සැරියුත්, මුගලන් ආදී අග‍්‍ර ශ‍්‍රාවකයින් වහන්සේලා හෝ ධර්ම භාණ්ඩාගාරික වූ ආනන්ද හාමුදුරුවන් හෝ දැන ගත්තේ තේරුම් ගත්තේ බුදුපියාණන් දේශණා කර වදාළ පටිච්ච සමුප්පාද විග‍්‍රහයෙන් ඉතාමත් සුළු කොටසකි. නිවන් අවබෝධ කරගන්නට නම් අනිවාර්යයෙන්ම පටිච්චසමුප්පාද ධර්මයේ මූලික කොටස් තුන තේරුම් ගත යුතුමය. චතුරාර්ය සත්‍යය ධර්මයන් නිවැරදිවත් පූර්ණ වශයෙනුත් අවබෝධ කරගන්නට නම් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයත්, අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධයත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මයත් යථාභූත ඥාණයෙන් තේරුම් ගැනීම හොඳටම ප‍්‍රමාණවත්ය.

අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්මයෙන් පැහැදිළි කර දෙන්නේ ”සං” උපත ලබන, සමුදය ධර්මයන් සිතක හටගන්නා ආකාරයයි. ”සංඥා” ”සංඛාර” ”සමුදය” ”සංඛත” ‘‘සම්බන්ධ’’ සංසාර ගමනට උපකාර වන ආකාරයයි. අවිද්‍යාමූල සංඛාරයක් ක‍්‍රියාත්මක වී ”භව”තත්ත්වයටත් ජාති තත්ත්වයටත් සිත තුළදීම පත්වන ක‍්‍රියාවලිය පෙන්වා දුන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයෙනි. සිතෙහි මතු වූ යම් සංඛාරයක් අවිද්‍යාමූලයෙන් හටගත් එකක් බව දැන තේරුම් ගෙන එය නිරෝධ කර සිත තුළින්ම ඉවත්කර දමා නිදහස්වන්නට මඟ පෙන්වා දුන්නේ අවිද්‍යාමූල පටිච්චසමුප්පාද නිරෝධ මාර්ගයෙනි. කුසලමූල පටිච්ච සමුප්පාද ධර්මය යනු මීට හාත්පසින්ම වෙනස් එකකි. අතීතයේ කවදා හෝ යම් කිසි සාරවත් බවක් දැක එකතුකර ගත් යම් ගති ලක්ෂණයක් සිත තුළ මුල්බැස ගබඩා වී පවතී. එය අවිද්‍යාවෙන් හා තණ්හාවෙන්ම එකතුකරගත් රාග මූලික, ද්වේෂ මූලික හෝ මෝහ මූලික ගති ලක්ෂණයක් බව දැක එය සිත කිළිටි කරන කුණු ගොඩක් බවද තේරුම් ගෙන මුලින් උදුරා දමා සළාහැර අස්කර ගන්නට අනුගමනය කළයුතු ක‍්‍රියාමාර්ගය කුසලස්ස යනුවෙන් පෙන්වා වදාළ කුසළ මූල පටිච්චසමුප්පාද ධර්ම මාර්ගයයි. සංසාර ගමනට උපකාර වන තම චිත්තසංථානයේ ගබඩා කරගෙන මුල්බැසගෙන පවතින රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් කුණු කන්දරාවක් බව යථාභූත ඥාණයෙන්ම තේරුම්ගත් කෙනෙකුට පමණක් එවැනි කුණු සළාහැර ඒ ගති ලක්ෂණ මුළින් උපුටාදමා, ආධ්‍යාත්මික පාරිශුද්ධත්වයට ප‍්‍රභාශ්වර තත්ත්වයට පත්විය හැකිය. එය ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමේ ක‍්‍රමයයි.

”අවිද්‍යා පච්චයා සංඛාරා – සංඛාර පච්චයා විඤ්ඤාණං” ආදී කොට කියවන වචනවල පදවැල්වල පටිච්චසමුප්පාද ධර්මයක් නැත. ඒ පදවැල් වලින් කියැවෙන අර්ථය ධර්මතාවය තමා තුළින්ම තමාම දැකගත යුතුය. යථාවබෝධයක් ලැබ තමාම කරන, කියන, හිතන සංඛාර පිළිබඳව යථාභූත ඥාණ දර්ශනයක් ඇතිකර ගැනීමම පටිච්චසමුප්පාද ධර්මය තුළින් ලබන ධර්මාවබෝධයයි.

Share Button

පරම ගාම්භීර බුද්ධ දේශණාව – පටිච්ච සමුප්පාද ධර්ම විග්‍රහය

ලොව්තුරා බුද්ධත්වයට පත්වන සියලුම බුදුපියාණන්වහන්සේලා ස්වයංභූ ඥාණයෙන්ම සොයාදැන මතුකර ලෝකයට දේශණාකර වදාරනු ලබන පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය නම් උතුම් පටිච්ච සමුප්පාද ධර්මයයි. කිනම් කාලයකදී හෝ අවංකවම නිවන් අවබෝධකර ගැනීමට උත්සාහ දරණ යම් කෙනෙකු විසින් තේරුම් ගත යුතු වන්නේ ද පටිච්චසමුප්පාද ධර්මය යනු කුමක්ද යන්න වේ. යම් කෙනෙකු පටිච්ච සමුප්පාද ධර්මය යම් පමණකට තේරුම් ගත්තේ ද ඔහු එපමණටම නිවන් අවබෝධ කරගත්තා ද වෙයි.

අප ජීවත්වන සජීවී ලෝකයේ මෙන්ම අප අවට ඇති අජීවි ලෝකයේ ද විවිධාකාර වූ ක‍්‍රියාකාරීත්වයන් ක‍්‍රියාත්මක වීමට මුල් වූ හේතුව කුමක්ද? මේ විවිධ ක‍්‍රියාකාරීත්වයන්ගේ උපතට හේතු වූ මූලික ශක්ති ප‍්‍රභවය කුමක්ද? යම් ශක්තියකින් හටගත් දෙයක් සදාකාලිකවම නොපවතින්නටත් නිරන්තරයෙන්ම ගෙවී ගෙවී විපරිණාමයට පත්වී වැනසී යාමටත් හේතුව කුමක්ද? මේ නියත ධර්ම ස්වභාවයට නියාම ධර්මයන්ට මුල් වූ හේතුව කුමක් ද?

අනන්ත අප‍්‍රමාණ කාලයක පටන්ම මිනිසා උත්සාහ දරණ ලද්දේ මෙවන් මූලික ප‍්‍රශ්ණ වලට කාටත් පිළිගත හැකි ආකාරයේ නිවැරදි පිළිතුරක් සොයා දැන ඉදිරිපත් කිරීමටය. ගෝතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වීමටත් පෙර අතීතයේ පටන්ම විවිධ විද්වතුන්, දාර්ශනිකයින්, ඉසිවරුන් හා උගතුන් මෙවන් ප‍්‍රශ්න වලට ඉදිරිපත් කළ විවිධ පිළිතුරු හා මතවාද නිසාම බොහෝමයක් ආගම් සංකල්ප හා දර්ශනවාදයන් ද බිහිවිය. නියතිවාදය, සාපේක්ෂතා වාදය, කාලවාදය, ස්වයංකථ වාදය, පරංකථ වාදය, සත්කාර්ය වාදය ආදී දර්ශන වාදයන් මෙන්ම ආත්ම වාදය, අනාත්ම වාදය, උච්ෙඡ්ද වාදය, සාස්වත වාදය, ඊශ්වර වාදය, කර්ම වාදය, අධිච්ච සමුප්පන්න වාදය, වේද ආගම, උපනිශද් ආගම ආදී විවිධ ආගමික සංකල්පයන් ද කලින් කලට ලොව ප‍්‍රචලිත විය.

ගෝතම බුදුපියාණන්වහන්සේ ද එවකට ජම්බුද්වීපයේ ප‍්‍රචලිතව භාවිතයේ පැවති සියලු ආගම් සංකල්ප මෙන්ම දර්ශන වාදයන්ද ගැඹුරින් හදාරා ඒවායේ පැවති අඩුපාඩුකම් දුර්වලතා මැනවින් තේරුම් ගෙන ඒවා තුළ ගැබ්ව තිබූ ලෞකික, භෞතික අන්තවාදී මති මතාන්තර බැහැර කර දොස් කපාහැර, කාටත් පිළිගතහැකි විද්‍යාත්මක වූත්, සර්ව සාධාරණ වූත් කාලය හා දේශය අනුව වෙනස් නොවන්නා වූත් ලෝකෝත්තර හා ලෞකික යන උභය අර්ථ සාධනය සඳහාම උපකාර කරගත හැකි වූත් පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය නම් මේ උතුම් බුද්ධ ධර්මය ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණාකර වදාළ සේක.

විභජ්ජා වාදය ඉදප්පච්චයතාවය යන නම් වලින්ද එකලදී හැඳින්වූ ”පටිච්චසමුප්පාද” යන වචනවල නිරුක්ති අර්ථය පටිලෙහා, ගැටලෙහා ධර්මානුකූලවම සොයා බලන කෙනෙකුට මිස මේ උතුම් ධර්මයේ ගාම්භීර බවද තේරුම් ගත නොහැකිමය. පටිඉච්ච සංඋත්පාද යන පද හතරක්ම මෙහි ගැබ්වී ඇත. මේ වචන හතරම විග‍්‍රහකර තේරුම් කර ගැනීම ධර්මාවබෝධය ලබාගැනීමට ඉමහත් පිටිවහළක් වෙනු ඇත.

පටි :- යනු බැඳීමයි. සම්බන්ධ වීමයි. පටියකින් බැඳීම හා ලණුුවකින් බැඳීම යන දෙක, එකම ආකාරයේ බැඳීමක්ද නොවේ. හිතට ගැළපෙන සුව පහසු ලෙසින් බැඳීම පටියකින් බැඳීමයි.

ඉච්ච :- යනු කැමැත්තයි. විඤ්ඤාණ චිත්තයේ මතුවන කැමැත්ත ”ඉච්ච” යනුවෙන් හඳුන්වයි. මේ අනුව, ”පටිඉච්ච” යනු සිතෙහි මතුවන ප‍්‍රිය මනාප වූ, ඉෂ්ට කාන්ත වූ කැමැත්තට බැඳීමයි. නිරන්තරයෙන් ම ඉන්ද්‍රියයන් හයටම හමුවන මුණගැසෙන ප‍්‍රිය සංඥාවන්ට කැමැත්තෙන්ම බැඳීම පටිඉච්ච වීමයි. ඇසට ලැබෙන රූප සංඥා, කනට ඇසෙන ශබ්ද සංඥා, නාසයට දැනෙන ගඳ සුවඳ සංඥා, දිවට දැනෙන රස සංඥා, ගතට දැනෙන සුව පහසු සංඥා හා මනසෙහි මතුවන මනෝ සංඥා ප‍්‍රිය ආකාරයේ ඒවා නම් මධුර ඒවා නම් ඒ ආකාර වූ ප‍්‍රිය සංඥාවලට බැඳීම ”පටි ඉච්චවීම” ලෙසින් පෙන්වා දිය හැකිය.

සං උත්පාද :- යනු සමුදය වීමයි. සංඥාවකට බැඳීම නිසා ”සං” උපතක් ලබයි. සංඛතයක් ද උපත ලබයි. සංකල්පනාද උපත ලබයි. ඒ අනුව සිතෙහි සංඛාරයක් බිහිවෙයි. රූප ආදී යම් සංඥාවකට කැමැත්තෙන්ම බැඳුනු පසු ඊට අනුරූප වූ ”සං” උත්පාදයක් සිදුවීම (සමුදය වීම) ධර්ම නියාමයයි. ප‍්‍රිය මනාප සංඥාවක් සමඟ ගැටෙන ඉන්ද්‍රියයන් නිසා විඤ්ඤාණ චිත්තයේ නිතරම යම්කිසි බලාපොරොත්තුවක් බිහිවෙයි. ඒ අරමුණට, නිමිත්තට, සිතුවිල්ලට, සිතින්ම ඒ ප‍්‍රිය මනාප දේ සමග එකතු වී එයම උපාදනය කර ගැනීමට කරනු ලබන සියලු උත්සාහයන් ”සං උපත” ලෙසින් (සමුදය) හැඳින්විය හැකිය. පටිඉච්ච – කැමැත්තෙන් බැඳීම හේතුව ලෙසත්, සමුදය – සං උත්පාදනය ඵලය ලෙසත් පෙන්වා දෙන නිසා මේ ධර්මතාවයට හේතුඵල දහම ලෙසින් ද සිංහල භාෂා ව්‍යවහාරයේදී නම්කර ඇත.

බුදුපියාණන්වහන්සේ දේශණාකර වදාළ සුව අසුව දහසක් ධර්මයෝම මේ පටිච්චසමුප්පාද ධර්මය විග‍්‍රහ කරන්නටම දේශණාකර වදාළ, පටිච්චසමුප්පාද ධර්මයම පදනම් කොට ගෙනම දේශණා කළ දහමකි. බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා මතුකර පෙන්වා වදාළ සෑම ධර්ම විග‍්‍රහයකටම සෑම ධර්ම නියාමයකටම සෑම ධර්ම දේශණාවකටම මූලික පදනම වූයේත් එහි මූලික හරය වූයේත් මේ උදාර චින්තනයයි. ඒ නිසාම මෙය ඉතාමත් ගාම්භීර ධර්මයක් සරළ ලෙසින් මතුකර පෙන්වීමක් ලෙසින්ද සඳහන් කළ හැකිය.

හේතුවක් හා ඵලයක් අතර යම්කිසි ආකාරයක නියත සම්බන්ධයක් ඇති බව බොහෝ දාර්ශනිකයන් ද තේරුම් ගත් නමුත් මේ හේතුඵල සම්බන්ධතාවය ඇතිවන ආකාරය නිවැරදිවත් පැහැදිළිවත් විග‍්‍රහකර පෙන්වා දී මෙහි අඩංගු විද්‍යාත්මක සත්‍යයන් මතුකර පෙන්වා දීමට සමත්වන්නේ ලොව්තුරා බුදු කෙනෙකුන්ම පමණි. එකල ප‍්‍රචලිතව පැවති ආත්මවාදයන් අනාත්ම වාදයන් හා ඊශ්වර වාදයන් සෑම එකක්ම යම්කිසි දෘෂ්ඨියකට දෘෂ්ඨිගතවීම නිසාම උපත පැවැත්ම හා නිස්සරණය මෙන්ම විපරිණාමය වැනි මූලික ප‍්‍රශ්ණ පවා විසඳා ගැනීමට හැකියාවක් ඒවායේ තොතිබුණි. නැවත නැවතත් කෙනෙකු උපදින්නටත්, උපදින හැම වාරයක් පාසාම මිය යන්නටත්, උපදින හැම කෙනෙකුම නියත වශයෙන්ම දුක් විඳින්නටත් පදනම් වූ හේතූන් පැහැදිළි කරගන්නට තරම් ඒ දර්ශනවාද සමත් නොවීය. මේ නිසාම මහා බ‍්‍රහ්මයා, ඊශ්වර වැනි සර්වබලධාරී දෙවියෙකුට හෝ කර්මවාදය ආත්මවාදය වැනි දෘෂ්ඨියකට හෝ කැමති පරිදි මේ සියල්ල සිදුවේ යැයි ගොඩින්ම ප‍්‍රශ්ණයට පිළිතුරු සපයා ගත්හ. හේතුව හා ඵලය අතර ඒකත්වයක් දැක්විය නොහැකි බව පෙන්වා දුන් බුදුපියාණන්වහන්සේ පටිඉච්චසමුප්පාද ධර්මතාවය විග‍්‍රහ කර පෙන්වා වදාළහ. සිතක ඇතිවන පටිඉච්ච බව කැමැත්තකට බැඳීම ප‍්‍රත්‍යය කොටගෙන හේතුව කොටගෙන නිදානය කොටගෙන සමුදය කොටගෙන ”සං” උපත ලබන බව පෙන්වා වදාළ සේක. මේ නිසා සත්ත්වයෙකුගේ පුද්ගලයෙකුගේ සිතෙහි පහළවන කැමැත්ත සංසාර ගමනට මුල්වන බවද පෙන්වා වදාළහ.

”ආරම්මණ විජාණන ලක්ඛණං චිත්තං” යනුවෙන් ධර්මයේ දේශණාකර පෙන්වා වදාළ පරිදි සිතක නියත ලක්‍ෂණය වන්නේ නිරතුරුවම විවිධ අරමුණු මතුවීමයි. ජනිත වීමයි. මේ අරමුණු අතුරෙන් සමහරක් අරමුණු නිමිති, සිතුවිලි ප‍්‍රිය ඒවා වෙයි. ප‍්‍රිය ඒවාට කැමැත්තෙන්ම බැඳීම පටිඉච්ච ධර්මතාවයයි. විඤ්ඤාණ ශක්තියක් සිතක බිහිවන්නේම මෙවන් ප‍්‍රිය මනාප අරමුණු වලට සංඥාවලට බැඳී සිතේ බලාපොරොත්තුවක් ඇති වීමෙනි. ”සංඥා”, ”සංඛාර”, ”විඤ්ඤාණ” සිතක පහළවන්නේම කැමැත්තට බැඳීමෙනි. ඒ පටිඉච්ච ධර්මතාවයයි. සිතෙහි පහළ වූ අරමුණකට, ආරම්මණයකට, නිමිත්තකට, කැමැත්තෙන්ම බැඳුණු පසු ඒ කැමැත්තට අනුකූලවම, ඊට සමානුරූපවම, ධර්ම නියාමයට අදාළවම, ”සං” උපතක්, සමුදයවීමක් සිදුවන ධර්ම නියාමය පෙන්වා වදාළ ධර්මය පටිච්චසමුප්පාද ධර්මයයි.

හේතුව එකකි, ඵලය තවත් ආකාරයේ එකකි. හේතුවක් නැතිව යම් ඵලයක් බිහිවීම සිදුනොවේ. හේතුව හා ඵලය සම්බන්ධ කරවන යම් බලවේගයක් ද ශක්තියක් ද ඇත. හේතුව හා ඵලය වෙන්කරන, ගෙවා, විපරිණාමයට පත්කරවන ශක්තියක් ද ඇත. හේතු රාශියක් නිසා එක ඵලයකුත් එක හේතුවක් නිසා ඵල රාශියකුත් ආදී වශයෙන් විවිධ ආකාර වූ සිදුවීම් සිදුවීම නියාම ධර්මයන් පහටම අනුගතව සිදුවෙයි. නියත වශයෙන්ම ලොව පවතින නියාම ධර්මයන් වෙනස් කරන්නට කිසිවෙකුටත් නොහැකිය. හේතු නොකරන තාක් කිසිවෙකු නියාම ධර්මයන්ට යටත් වන්නේද නැත. මේ අනුව හේතුඵල ධර්මය හා නියාම ධර්මයන් ලොව සාදාකාලිකවම පවතී.

පොල් ගෙඩියක් සිටුවා කෙනෙකුට අඹ පැලයක් අඹ ගසක් ලබාගත නොහැකිය. පොල් ගසක් ලබාගන්නනට නම් පොල් ගෙඩියක්ම සිටුවිය යුතුය. පොල් ගෙඩියක් සිටවූ පමණින්ම පොල් ගසක් බලාපොරොත්තු විය නොහැකිය. තවත් බොහෝ හේතු ඊට උපකාරක විය යුතුය. අනික් සියලු උපකාරක හේතු තිබුණත් පොල් ගෙඩිය පැළ නොවන තත්ත්වයේ එකක් නම් එතැන පොල් ගසක් ලබන්නටද නොහැකිය. මේ ආකාරයටම හේතුඵල ධර්මය හා කර්ම වාදයද තේරුම් ගත යුතුය. කර්මය යනු ක‍්‍රියාවයි. ක‍්‍රියාව වෙනස් කර ගැනීමෙන්ම ඵලයද කර්මය ඵලයද වෙනස් කරගත හැකිවෙයි. මේ අනුවම බුදු දහමෙහි හරය වූ, ප‍්‍රතිෂ්ඨාව වූ, හේතුඵල ධර්මය හා කර්මවාදය යනු එකක්ම නොවේ. බුද්ධ ධර්මයට අනුව කර්මය ප‍්‍රතිකර්මය කිරීමෙන් හා උපක‍්‍රම (උපකර්ම) වලින්ද සම්‍යක් ප‍්‍රයෝග වලින්ද වෙනස් කරගත හැකිය. හේතුඵල ධර්මයට අනුව හේතුවම වෙනස්කර ගැනීමෙන් හෝ හේතුව අත්හැර නිදහස් වීමෙන් හෝ ඵලය විපාකයද වළකා ගත හැකිය. කර්මයද වෙනස්කර ගත හැකිය.

Share Button

නාමරූප විග්‍රහය

සෑම පුද්ගලයෙකු තුළම ඔහු විසින්ම සාදාගත් නාමරූප ලෝකයක් ක‍්‍රියාත්මකව පවතී. මේ තමන්ම සාදාගත් නාමරූප ලෝකය තමන්ට කැමති සේ, ප‍්‍රිය මනාප සේ පවත්වා ගැනීමට හැමවිටම උත්සාහ දරයි. ධර්ම විග‍්‍රහයට අනුව රූප යනු සතර මහා භූතයන් ගෙන් සැදුම්ලත් දෙයකි. ”චතුන්නංච මහා භූතානං – උපාදාය රූපං” ලෙස රූප කොටස ”රූප නිර්වචනය” කර ඇත. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යනු රූප කොටසයි. එසේම නාම කොටස නිර්වචනය වන්නේ ”වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර” යන පද වලිනි.

නාම යනු යම් කෙනෙකුගේ සිතක් තුළම ඇතිවන දැනීමකි. සංඥාවක් හා හැඳිනීමකි. යම්කිසි රූපයක් මුල් නොවී සිතක සංඥාවක් උත්පාදනය නොවේ. එනම් මේ නාම රූප යන කොටස් දෙක වෙන් වෙන් වශයෙන් උපාදානය කරගත හැකි දේ නොවේ. රූපයකින් තොර නාමයක් හෝ නාමයකින් තොර රූපයක් ද නොපවතී. හොඳින් තේරුම් ගතයුතු දැනගත යුතු දෙය වන්නේ මේ ”නාම” කොටසට ”සංඛාර හෝ විඤ්ඤාණ” යන පංචස්කන්ධ අංගයන් දෙකම අයත් නොවන බව හොඳින් වටහා ගත යුතු වේ. සංඛාර යනු නාමරූප කොටස් දෙකම ඇතුළත් වන යමක් (සංඛතයක්) උපාදානය කරගැනීමට කරනු ලබන ක‍්‍රියාකාරකමකි. විඤ්ඤාණය යනු සංඛාරයක් කිරීමෙන් සිතින් ම උපද්දවා ගන්නා සමුදය (සං+උදය) ශක්තිය වේ.

සිතෙහි මතුවන උපදින ක‍්‍රියාත්මක වන වේගයක්, ශක්තියක්, ගින්නක් ලෙස විඤ්ඤාණ ශක්තිය හැඳින්විය හැකියි. රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් කරන, කියන, හිතන සංඛාර වලින්ම පමණක් විඤ්ඤාණ ශක්තියක් සිතකම උත්පාදනය වේ. මේ වෙනස තේරුම් ගත් කෙනෙකුට පමණක් විඤ්ඤාණ ශක්තිය ප‍්‍රහාණය කර සිත පිරිසිදු කිරීමෙන් තමන්ගේම සිතින් උපාදානය කරගන්නා නාම – රූප දෙකම උපාදානය කර ගැනීමෙන්ද තොරව නමුත් නාමරූප භාවිතයට ගැනීමෙන් හා පරිහරණය කිරීමෙන් පමණක්ම තෘප්තිමත් වීමටත් තම හිතම පුරුදු පුහුණු කරගත හැකි වේ. නිවන් අවබෝධ කරගත් අරහතුන්වහන්සේටත් නාම රූප ඇත. නාම රූප පරිහරණය කරයි. පිරිණිවන් පාන තුරාවටම නාම රූප සිතෙහි මතු වේ. නමුත් ඒ එකම නාම රූපයක් හෝ මම, මගේ, මගේ ආත්මය යනුවෙන් අල්ලා, බදාගෙන උපදානය කර නොගනී. අරහතුන්වහන්සේ තමන්ගේම චිත්තසංථානයේ තමන්ම සකස් කර තිබූ අතීත නාම රූප ලෝකය තමන්ගේ සිතින්ම එතෙක් කල් උපාදානය කර සිටි සිතේම පවත්වාගෙන ආ නාම රූප ලෝකයම ”අනිච්චයි – දුක්ඛයි – අනත්ථයි” යනුවෙන් යථා පරිදි, එහි අනිච්ච ස්වභාවය අවබෝධ කොට යනුවෙන්, ඒ සියල්ලම සිතින් ප‍්‍රහාණය කර, අත්හැර නිදහස් වූ උත්තමයෙකි. සෑම පෘථග්ජන පුද්ගලයා සත්ත්වයාම උරා බී රස බලන්නේ මේ නාම රූප ලෝකයම වේ.

විඤ්ඤාණ ශක්තිය දිගින් දිගටම උපද්දවා සංසාර ගමන ක‍්‍රියාත්මකව පවත්වාගෙන යෑමට නම් මේ නාම රූප ලෝකය උරාබී, රහ බැලීමේ ක‍්‍රියාව දිගටම ක‍්‍රියාත්මක කර විඤ්ඤාණයට ආහාර සපයා ගත යුතුයි. අරහතුන්වහන්සේ තමන් ලබාගත් යථාවබෝධයෙන්ම නාම – රූප ලෝකය උරාබී, රහ බැලීම විඤ්ඤාණ ආහාර එකතු කිරීම සහමුළින්ම අත්හැර දමා ඇත. ඒ නිසාම ”අරහත්” යන විශේෂණ නාම පදයෙන් උන්වහන්සේ හඳුන්වනු ලබයි. ඒ නිසා සියලුම පෘථග්ජන ලෝකයා ලෝක සත්ත්වයින් තමන්ම හදාගත් උපාදානය කරගත් නාම රූප ලෝකය ඇස, කන ආදී ආයතන හයෙන්ම උරාබී, රහ බලා, විඤ්ඤාණ ආහාර උපයා, සපයා ගනී. ජීවත්වීම යනු මේ ක‍්‍රියාවලියයි.

සෑම පුද්ගලයෙකුම, සත්ත්වයකුම, ප‍්‍රාණියෙකුම පෞද්ගලිකවම ඔවුන් සාදාගත් පවත්වගෙන යන ඔවුනටම ආවේණික වූ නාම රූප ලෝකයක් ඇත. තම තමන්ටම මිස වෙනත් කිසිවෙකුට මේ තමන්ගේ නාම රූප ලෝකය දැක ගත නොහැකි වේ. මේ ආකාරයට තමන් හදාගත් තමන්ම පවත්වාගෙන යන මේ නාම රූප ලෝකය ලුජ්ජති, පලුජ්ජති එනම් නිරතුරුවම කැඩෙන, බිඳෙන, පළුදුවන ලෝකයකි. එය තමන්ට කැමති ආකාරයට ප‍්‍රිය මනාප ආකාරයට දිගටම පවත්වාගෙන යෑමටත් නොහැකියි. නාම රූප ලෝකය ප‍්‍රිය ආකාරයට මනාප ආකාරයට තමන්ට කැමති ආකාරයට පවත්වාගෙන යෑමට සෑම පෘථග්ජන ප‍්‍රද්ගලයාම සැපයක්, සුවයක් ලෙස තීරණය කරයි. එසේ සැප, සුව යනුවෙන් තීරණය කරන ලද තමන්ම සාදාගත් නාම රූප ලෝකයම වෙනස්වීම, විපරිණාමයට පත්වීම, විනාශවීම දුකක් ලෙසද දකී. එසේ නම් පෘථග්ජන ලෝකයාගේ වැරදි දෘෂ්ඨිය නිසාම තමන්ම සාදාගත් දේ ලෙස දුක සැප දෙකමත්, ප‍්‍රිය අප‍්‍රිය යන ගති දෙකමත් හැඳින්විය හැකියි.

”සබ්බේ මේ පියේහි මනාපේහි නානාභාවෝ විනාභාවෝ” යන ධර්මාවබෝධය යථාභූත ඥාණය ලබාගත් පුද්ගලයා නාම රූප ලෝකයම උපාදානය කරගැනීමෙන් ද වළකී. ”සබ්බූපදි පටිනිස්සග්ගෝ” යන තත්ත්වයටම පත් වේ.

සෑම පෘථග්ජන පුද්ගලයෙකුම ජීවත් වෙනවාය යනු යම් කිසි සැපයක්, සුවයක් අපේක්ෂාවෙන්ම නාම රූප ලෝකයක් සාදා ඒ නාම රූප ලෝකයම උපාදානය කරගැනීමයි. තමන්ම සාදාගත් තමන්ගේම නාම රූප ලෝකය ”නිච්ච සේ, සුඛ සේ, අත්ථ සේ” දිගටම පවත්වා ගැනීම හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම සත්ත්්්වයෙකුගේම ඒකායන උත්සාහයයි. යමකු සියලු ආකාර වූ දුක් විඳින්නෙත් දුක් උරුම කරගන්නෙත් තමන්ම සාදාගත් නාම රූප ලෝකය තමන්ට ගැළපෙන සේ, මනාප සේ, දිගටම පවත්වා ගැනීමට කරන, කියන, හිතන ක‍්‍රියාකාරකම් නිසාත් එවන් බලාපොරොත්තු ”නිච්ච” ආකාරයෙන්ම ඉටු නොවන නිසාමත්ය.

මේ තමන්ම සාදාගත් තමන්ම පවත්වා ගැනීමට උත්හාස ගන්නා නාම රූප ලෝකය ‘‘අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි, මේක මායා ලෝකයක්, මේ නාම රූප ලෝකය විපරිණාමයට පත්වීම, විනාශවීම සිදුවන්නෙත්, මේ වෙනස්වීම් දකින්නේත්, තමන්ගේම සිතින්මයි’’ යනුවෙන් යම් දවසක යම් අවස්ථාවකදී මේ පුද්ගලයාටම අවබෝධ වුව හොත් එවිට තමන්ගේම සිතින් උපාදානය කර තමන්ම පවත්වාගෙන යෑමට උත්සාහ කළ ”නිච්ච සුඛ අත්ථ” සේ තමන්ම තීරණය කර සිටි නාම රූප ලෝකයම ”අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි” යන යථාවබෝධය සත්‍යාවබෝධය යම් අවස්ථාවකදී ලබාගත් යථා පරිදි චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගත් අරිය තත්ත්වයට පත් වූ පුද්ගලයෙකු බවට පත් වේ. එසේ නම් යම් කෙනෙක් තමන්ම සාදාගත් තමන්ගේම නාම රූප ලෝකය තුළින් යම් කිසි නිච්ච බවක්, සුඛ බවක් හෝ යම් අත්ථ බවක් අපේක්‍ෂා කරයි නම් බලාපොරොත්තු වේ නම් දුක උපදින තැනද එතනම බව වටහා ගතයුතු වේ. අඥාණ බව යනු දුප්පඤ්ඤස්ස බව යනු මේ තමන්ම සාදාගත් නාම රූප ලෝකයෙහි ”අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව” යථා පරිදි දැන ගැනීමට දැක ගැනීමට තරම් සිත පිරිසිදු නොමැති වීමයි.

පරමාර්ථ ලෝකයේ දුක හෝ සැප ලෙස වෙනසක් දැකිය හැකි නොවේ. එසේ වෙනසක් දැකගැනීමට හැකි වෙන්නේ සම්මත නාම රූප ලෝකයේදීම පමණිි. එසේ නම් මේ නාම රූප ලෝකයම තම සිතින්ම සාදාගත් මනඃකල්පිත ලෝකයක් මිස සත්‍ය වශයෙන්ම පවතින්නක්ද නොවේ.

සියලු ආකාර වූ කෙළෙස් උත්පාදනය වන්නේ තමන්ගේම ආධ්‍යාත්මික වූ මනඃකල්පිත නාම රූප ලෝකය තුළමයි. කෙළෙස් පරිහරණය කරමින් කෙළෙස් භාවිතා කරමින් පව්කම් කරනවාය අකුසල් කරනවාය යනුවෙන් සම්මතයෙන් ප‍්‍රකාශ කරනු ලබන්නේ රාග ගතියෙන්, ද්වේෂ ගතියෙන් හා මෝහ ගතියෙන් නාම රූප ලෝකයක් උපාදානය කර ගැනීමයි.

පෘථග්ජන ලෝකයා සැපයි, හොඳයි, ප‍්‍රියයි, මනාපයි ලෙස යමක් පිළිබඳව නිගමනය කරන්නේ තමන්ගේම ඉන්ද්‍රියයන් හයම පිනවන යම් ක‍්‍රියාවකටයි. ඉන්ද්‍රියයන් පිනවීමට නම් කෙළෙස් පරිහරණය කළ යුතුම වේ. තම ඉන්ද්‍රියයන් පිනවීම සඳහා කෙළෙස් පරිහරණය කිරීමට වීම නිසා තම චිත්තසංථානයම කිළිටි වේ. මනසත් මුවහ වී මනසීකරණ ශක්තියත් දුර්වල වේ. තමන්ගේම සිතෙහි මතු වන නාම රූප පරම්පරාව තමන්ගේම මනසින් වෙන් කර තෝරා බේරා, දැන හඳුනාගෙන චිත්තසංථානය කිළිටි වන නාම රූප බැහැර කිරීමත් චිත්තසංථානය පිරිසිදු කිරීමට උපකාර වන නාම රූප භාවිතා කිරීමත් පුරුදු වීම සති භාවනාවක් පුරුදු කර ගැනීම වේ. මෙසේ යහපත් හා අයහපත් යන කොටස් දෙකකට වෙන් නොකර සිතට වහල් වී සිතට අරමුණු වන සෑම ප‍්‍රිය දේම භාවිතා කිරීමෙන් ඉන්ද්‍රියයන් පිනවීමට ක‍්‍රියා කිරීම පෘථග්ජන පුරුද්දයි. සතියෙහි පිහිටා කටයුතු නොකිරීමයි.

උපාදානීය ධර්මයෝ යනු එක දෙයකි. උපාදානය කර ගැනීම යනු වෙනත් දෙයකි. රූපය උපාදානීය ධර්මයකි. රූපය කෙරේ ඇති චන්දරාගය ආශාව, තණ්හාව නිසාම රූපය උපාදානය කර ගැනීමත් සිදු වෙයි. රූපය නමැති උපාදානීය ධර්මයක් නොමැති විටක වේදනාවක් තණ්හාවක් හෝ උපාදානයක් ද සිදු වීමට නොහැකිය. රූපය කෙරෙහි චන්දරාගයක් නැති විටක දී ද රූප උපාදානයක් සිදු නොවේ.

යම් කෙනෙකුට තමන්ගේම චිත්තසංථානය තුළම උපදින බිහිවන රූප පරම්පරාව,

01. අනිච්ච වශයෙන් – අනිච්චතෝ
02. දුක්ඛ වශයෙන් –     දුක්ඛතෝ
03. රෝගතෝ – රෝග වශයෙන්
04. ගණ්ඩතෝ – ගඩු වශයෙන්
05. සල්ලතෝ – ඇනෙන උල් වශයෙන්
06. අඝතෝ, ආබාධතෝ – පලිබෝධ වශයෙන්, ආබාධ වශයෙන්
07. පරතෝ, පලෝකථෝ – අනුන් වැනසීම් වශයෙන්
08. සුඤ්ඤතෝ – කිසිම හරයක් නැති සුන්‍ය දේ වශයෙන්
09. අනත්ථ තෝ – තමන්ම අනාථ අසරණ තත්ත්වයට පත් කරවන දේ වශයෙන්

දැක ගත හැකි නම් ඒ පුද්ගලයා රූපයන් උපාදානය කර නොගනී. රූප කෙරේ තණ්හාවක් චන්දරාගයක් ඇති කර ගන්නේ ද නොවේ. රූපය උපාදානය කර ගැනීමට කරන ”සංඛාර” සිත් පැවැත්වීම ද නවතා දමයි. ඒ අනුවම නාම රූප කොටස් දෙකම උපාදානය කර ගැනීමෙන්ද වැළකී පංචස්කන්ධයමත් උපාදානය කරගැනීමෙන් ද වැළකෙයි.

නාම රූප ලෝකය හා පංචස්කන්ධ ලෝකය අතර ඇති වෙනස්කම්ද යථා පරිදිම තේරුම් ගත යුතුය. නාම රූප ලෝකය ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන උපාදාය රූපයන්ගෙන් හා වේදනා, සංඥා, චේතනා, පස්ස, මනසිකාර යන නාම කොටස් වලින්ද සමන්විත වේ. පංචස්කන්ධ ලෝකය රූප, වේදනා සංඥා, සංඛාර හා විඤ්ඤාණ යන උපාදාය කොටස් පහකි.

නාම රූප ලෝකයක් නිසාම පංචස්කන්ධ ලෝකයක ද සිතින් ම සාදා සකස් කර ගනී. නාම රූප ලෝකය උපාදානය කර ගැනීමට හැකි ආකාරයකින් සකස් කරගන්නේ ”සංඛාර හා විඤ්ඤාණ” යන ක‍්‍රියාකාරකම් නිසාය. නාමරූප ලෝකය කෙරෙහි යම් චන්දරාගයක් ප‍්‍රිය මධුර බවක් පවතීද ඒ අනුව ”සංඛාර” සිත් පවත්වා විඤ්ඤාණ ශක්තියද උපද්දවා පංචස්කන්ධ ලෝකයම අල්ලා බදා ගැනීමෙන් උපාදානය කර ගැනීම සිදු වෙයි.

පෙර දැක් වූ පරිදි නව ආකාර වශයෙන් රූප කෙරෙහි එහි යථා තත්ත්වය කෙරෙහි මෙනෙහි කිරීමට විමර්ශණය කිරීමට විපස්සනා කිරීමට පුරුදු වූ හැකි වූ පුද්ගලයාට රූප උපාදානයෙහි ආදීනව, ආනිසංස යථා පරිදි දැකගැනීමටත් ලැබෙයි. ඒ අනුව ”රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා” යන සත්‍යය පසක් කොට දැකගත් විට ඒවා උපාදානය කර ගැනීමෙන් ද වැළකෙයි. මේ අනුව නාම රූප හෝ පංචස්කන්ධයන් හෝ සිතක් කිළිටි කරන මනස මුවහ කරන දේ නොවේ. පංචස්කන්ධය උපාදානය කරගැනීමම සිත කිළිටි කරන මනස මෝහයෙන් මුවහ කරන මූලිකම හේතුවයි.

පංචස්කන්ධයම උපාදානය කර මම, මගේ යනුවෙන් වෙන් කර තමන්ම අල්ලා බදාගත් සියලු දේ වෙනස් වී, වැනසී, විනාශ වී, විපරිණාමයට පත් වීමෙන් දුක් උපදවන හේතුව බවටද පත් වේ. තමන් අල්ලා උපාදානය කර නොගත් යමක් වැනසී විනාශ වී යාම නිසා තමන්ට කිසිම දුකක් ඇති නොවේ. තමන් අල්ලා, උපාදානය කරගත් හා උපාදානය කර නොගත් යන සියලු දේම වැනසී, විනාශ වන නියත ධර්මතාවයට යටත් වන බව යථා පරිදි දැනගත් තේරුම් ගත් පුද්ගලයා ”පංචස්කන්ධය” උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියම දුකට හේතුවන වන බවත් යථා පරිදිම තේරුම් ගනී. ”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” යනුවෙන් ප‍්‍රකාශ කළේ මේ අර්ථයෙනි.

මේ අනුව,

01. සතර මහා භූතයෝ (ආපෝ, තේජෝ, වායෝ, පඨවි) හේතුකොට, ප‍්‍රත්‍යය කොට, නිධාන කොට රූපස්කන්ධයමත් සිතකම බිහි වේ.
02. වේදනා ස්කන්ධයම ස්පර්ශය හේතුව කොට, ප‍්‍රත්‍යය කොට, නිධානය කොට, සිතකම මතු වේ.
03. සංඥා ස්කන්ධයමත් ස්පර්ශය (පස්ස) හේතුව කොට, ප‍්‍රත්‍යය කොට, නිධාන කොට සිතකම මතු වේ.
04. සංඛාර ස්කන්ධයමත් ස්පර්ශය හේතුකොට, ස්පර්ශය ප‍්‍රත්‍යය කොට, ස්පර්ශයම නිධාන කොට, සිතකම ඇති වේ. බිහි වේ.
05. විඤ්ඤාණ ස්කන්ධයම නාම රූප හේතුව කොට, නාම රූප ප‍්‍රත්‍යය කොට, නාම රූප නිධානය කොට සිතකම ඇති වේ. බිහි වේ.

සක්කාය දිටිඨිය නමැති ”වැරදි දැක්මක්” පෘථග්ජන පුද්ගලයෙකු තුළ ඇති වන්නේ ම මේ සතර මහාභූත උපාදානය කර ගැනීමෙන්ම විඤ්ඤාණය සාදා සකස් කරගත් කූඩුව, ශරීර රූපය ”රූපය මමයි, මගේ රූපයයි, රූපය මගේ ආත්මයයි, මම රූපය තුළ ඇත, රූපයෙන් තොර මමෙක් නැත.” යන හැඟීම අදහස සිතේ ඇති කරගත් නිසයි. මේ ආකාරයෙන්ම වේදනාව, සංඥාව, සංඛාර හා විඤ්ඤාණ යන පංචස්කන්ධයම පිළිබඳව දකින්නා වූ වැරදි දෘෂ්ඨිය, සක්කාය දෘෂ්ඨියයි. පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය තමා තුළින්ම තමන්ගේම මනසින්ම වෙන් කොට තෝරා බේරා දැක ගැනීමට හැකි නම් එය සක්කාය දිට්ඨියෙන්ද මිදී චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කර ගැනීමට ද බලවත්ම උපකාරයක් ද වන්නේය. පංචස්කන්ධය හා පංචඋපාදානස්කන්ධය යන දෙක අතර වෙනස යථා පරිදි තේරුම් නොගත් සියලුම මිනිස්සු පෘතග්ජන ලෝකයටම අයත් වෙති. උපාදානය කරගත් සියල්ලම පංචස්කන්ධයම (සබ්බූපදි) පටිලෙහා, ගැටලෙහා, අත්හැර දමා නිදහස් වීම (පටිනිස්සග්ගෝ) කරගත හැකි වන්නේ ද උපාදානය පිළිබඳව යථාවබෝධය ලැබූ පමණටමය. සත්තබොජ්ජංග සම්පූර්ණ වීම යනු මෙතෙක් සිතින්ම උපාදානය කර සිටි ”සබ්බූපදි පටිනිස්සග්ග” කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීම සත්ත සම්බොජ්ජංග සම්පූර්ණ කරගැනීමේ ප‍්‍රායෝගික ක‍්‍රියා පටිපාටිය වේ.

Share Button

බුද්ධ භාෂිතයේ “සං” දේශණාව

සංඛත වාදය මෙන්ම අසංඛත වාදයත් සිද්ධාර්ථ ගෝතම බෝසතාණන් උපත ලැබූ ජම්බුද්වීපයේ එදා ප‍්‍රචලිතව පැවති මතවාද දෙකකි. විශ්වයේ හා සත්ත්වයාගේ හට ගැනීම, පැවැත්ම හා විනාශය විග‍්‍රහ කර පෙන්වා දීමට සංඛත වාදය, අසංඛත වාදය උපයෝගී කරගත් යුගයක, බුදුපියාණන් වහන්සේ ඒ වාද දෙකම බැහැර කර ඒ සඳහා ”සං” උපත ලබන ”සං” ක‍්‍රියාත්මකව පවතින හා ”සං” විසංඛාර වන ආකාරය විග‍්‍රහ කර පෙන්වා දීමට පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය නිවැරදි ලෙසත්, පරිපූර්ණ ලෙසත් ලෝකයාට දේශණා කර වදාළහ.

ඒ ඒ සත්ත්වයාගේ චිත්තසංථානය තුළම බිහිවන කැමැත්තට බැඳීම, ප‍්‍රියතාවට බැඳීම පටිඉච්ච වීම නිසාම සමුදය ධර්මයන් උපත ලබන බවත් මෙහිදී පැහැදිළිව විග‍්‍රහ කර පෙන්වා වදාළහ. රූප, ශබ්ද ආදී සංඥා මගින් ලබන දැනුම නිසා ඒවාට ප‍්‍රිය වූ ලෝක සත්ත්වයා සංඛාර පවත්වන බවත්, සංඛාර පැවැත්වීමෙන් සමුදය බිහිවන බවත්, සමුදය ධර්ම බිහිවීමත් සමඟම සංසාර සම්බන්ධතා ඇති වන බවත්, සංසාරයට බැඳීම නිසා ”සංකිළිට්ඨේන” තත්ත්වයෙන් පෘථග්ජන සිතක් ක‍්‍රියාත්මක වන බවත් පෙන්වා වදාළහ.

ගෝතම බුදුපියාණන්වහන්සේ පමණක් නොව, අතීතයේ ලොව්තුරා බුද්ධත්වයට පත් වූ හැම බුදුපියාණන්වහන්සේ කෙනෙක්ම සොයා දැන දේශණා කර, ලෝකයාට ප‍්‍රකාශ කළ ධර්මය පටිච්චසමුප්පාද ධර්මයයි. මේ උතුම් පටිච්චසමුප්පාද යන වචන දෙක ඇතුළතම ”සමුදය” වචනයත් ”පටි ඉචිච” යන වචනයත් ගැබි වී ඇත. ”සමුදය” යනු ”සං උත්පාද” වන ආකාරයයි. ”සං උදය” වන ආකාරයයි. සමහර කෙනෙක් මෙය ”සම+ උත්පාද” ලෙස විග‍්‍රහ කරන නමුත්, මෙහි අඩංගු වන්නේ ”සං+උත්පාද” යන තේරුමයි. ”සං” යන පදයේ ධර්ම අර්ථය තේරුම් ගැනීමත් සමඟම මේ ගැටළුවද නිරාකරණය කරගත හැකියි. ”සමුදය” යනු ”සං” උපත බව දැන ගත හැකියි.

මේ ”සං උපත” ලබන්නට හේතුවන කරුණු තේරුම් ගත්තේ නැතිනම්, තම තමන් තුළම තමන්ම ”සං” උපදවා ගන්නා ආකාරය තේරුම් ගත්තේ නැති නම්, තමන් තුළම ”සං” ක‍්‍රියාත්මක වන ආකාරය තේරුම් ගත්තේ නැතිනම්, තමන්ම එකතු කර ගන්නා, සමුදය කර ගන්නා, ”සං” තැම්පත් කරන, ගබඩා කරන ස්ථානය දැන ගත්තේ නැතිනම්, මේ ”සං” යන එකතු කිරීම පිළිබඳ තේරුම් ගත නොහැකියි.

”සංදේශණාව” ගෝතම බුදුපියාණන් එදා විවිධ අවස්ථාවන් වලදී දේශණා කර වදාළ උතුම් බුද්ධ දේශණාවකි. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය මුළුමණින්ම සංදේශණාවකි. මජ්ක්‍ධිම නිකායේ එන රථ විනීත සූත‍්‍රය, රට්ඨපාල සූත‍්‍රය, ධම්මචේතීය සූත‍්‍රය, සේල සූත‍්‍රය හා සංයුක්ත නිකායේ එන විශාඛ සූත‍්‍රයත් ”සං” දේශණාව ඉතාමත් පැහැදිළිව දේශණාකර වදාළ තැන් ලෙසින් පෙන්වා දිය හැකියි.

චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේ සඳහන් ”සංදෙස්සේති, සංමාදපේති, සංමුත්තේජේති, සංපහංසේති” යන ඥාණ පද හතර, ඇතෙකුගේ පාද හතරට උපමා කර, ඇතාගේ කඳ, ධර්මස්කන්ධයට සමාන කර උපමාවක් ගෙන පෙන්වා වදාරා ඇත. ඇතාගේ විශාල කඳක බර, ශරීර පාද හතරකින් දරන්නා සේ මෙම ”සං” පද හතරින්, ඥාණ පද හතරෙන් මුළු ධර්මස්කන්ධයම දරා සිටින ආකාරය විග‍්‍රහ කර පෙන්වා දිය හැකි බව උපමාවකින් චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රය තුළින් පෙන්වා දී ඇත.

”සංදෙස්සේති” පළමු වැනි ඥාණ පදයයි. ”සං” යන එකතු කිරීම, රැස් කිරීම, උපාදානය කර ගැනීම විග‍්‍රහ කර, විස්තර කර පැහැදිළි කිරීම මෙහිදී දේශණා කර තිබේ.

”සංමාදපේති” යනු එකතු කරගත් ”සං” වලින් මිදී නිදහස් වී, සම්මා තත්ත්වයට පත්වන ක‍්‍රියා මාර්ගය පැහැදිළි කර දී පෙන්වා දීමයි.

”සංමුත්තේජේති” යනු එකතු කිරීමේ ක‍්‍රියාවට මුල් වූ පටිච්ච වීම සහමුළින් උදුරා දමා, ”සං” මුල ගළවා දැමුවා යන ක‍්‍රියාවලිය විස්තර කර දීමයි. එකතු කළ සියලු දේ අස්කර, නිදහස් වුණා යන අදහසයි.

”සංපහංසේති” යනුවෙන් විස්තර වන්නේ, ”සං” ප‍්‍රහාණය කර ”සං” වලින් සදහටම මිදී නිදහස් වන්නට මඟ පෙන්නා දී, නිවන් සුවයට නිවැරදි මඟ පෙන්නා දුන්නා යන තේරුමයි.

ත්‍රිපිටක පරිවර්ථනයේදී සිදුවී ඇති දෝෂ

ත්‍රිපිටක පරිවර්ථනයේදී සිදුවී ඇති දෝෂ

චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේ එන පරිදි පිලෝතිකා පරිබ‍්‍රාජකයා මේ පද හතර කෙටියෙන් ප‍්‍රකාශ කළ විට ජානුස්සෝනි බ‍්‍රාහ්මණයා මේ පද හතරෙන් විස්තර වන ”සංදේශණාව” විස්තර වශයෙන් ගෝතම බුදුපියාණන්ගෙන් ම අසා දැන ගත්්හ. මේ අනුව මුළු චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේම එන සීල, සමාධි, ප‍්‍රඥා යන අංගයන්ද සම්පූර්ණ කරගෙන ”සංපහංසේති” යන තත්ත්වයට පත්වන්නට මාර්ගය අසා දැන ගත් බව ඉතාම පැහැදිළිව විස්තර වේ.

මජ්ක්‍ධිම නිකායේත් විශේෂයෙන්ම සංයුක්ත නිකායේත්, අංගුත්තර නිකායේත් බොහෝමයක් සූත‍්‍ර ධර්ම වලත් මේ ”සංදේශණාව” විවිධ ආකාරයෙන් විග‍්‍රහ කර ඇත. නිවන් දකින බුද්ධ ධර්මය තේරුම් ගැනීමට නම් සංදේශණාවක් අසා ”සං” තේරුම් ගත යුතුයි. බුද්ධ භාෂිතයේ, ත‍්‍රිපිටක ධර්මයේ ”තේ සං” වාගේ තැන් වලදී නිතරම ”සං” භාවිතා කර තියෙන්නෙ තවත් වචන සමඟ සන්ධි වීමෙනි. ත‍්‍රිපිටකයේ එන හැම ධර්ම කාණ්ඩයකම ”සං” යන පදය යොදා ඇත. ප‍්‍රධාන වශයෙන් ”සං” යොදා ගෙන තියෙන ආකාරය උදාහරණ කිහිපයක් ගෙන පෙන්වා දිය හැකියි.

සංසාර : එකතු කරගත් දෙයෙහි, රැස් කරගත් දෙයෙහි සාරවත් බව දැකීම
සංඛාර :  එකතු කරන්නට කරනු ලබන ක‍්‍රියාකාරකම්
වචී සංඛාර :   වචන භාවිතා කර යමක් එකතු කරන්නට කරන ක‍්‍රියාව
කාය සංඛාර :  කය පාවිචිචි කර යමක් එකතු කරන්නට කරන ක‍්‍රියාව
මනෝ සංඛාර : මනස භාවිතා කර යමක් එකතු කරන්නට, රැස් කර ගන්නට කරන     සිතිවිලි පැවැත්වීම
සංඛත :  වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර කර එකතු කර හදා ගත්ත දේ, හැදුණු දේ සංඛත යනුවෙන් හඳුන්වයි. මේ ලෝකයේ පවතින සියලුම දේ සංඛතමයි. සංඛාරයක් කර හදාගත් සංඛතයන්ම වේ.
සංතෝස: එකතු කර ගත්ත දෙයක් නිසා ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන සතුට, ප‍්‍රීතීය සංතෝසයයි. එකතු කර ගත්ත දෙයක් නැතිනම් ලෞකිකත්වය තුළ සතුටක් ලැබිය නොහැකියි.
සංතාප: එකතු කරගත් දෙයක් බරක් වීම නිසා කායික හෝ මානසික වශයෙන් ලබන තැවීම, තාපනය සංතාපයයි.
සංවේග: එකතු කරගත් යමක් නිසා කායික හෝ මානසික වශයෙන් ඇති වන දැවීම, තැවීම නිසා ඇති වන ධාවනකාරී වේගය, සිතේ වේගයක් ඇති වෙන්නෙ එකතු කර ගත් දේ නිසයි.
සම්බන්ධ: එකතු කරගත්, රැස්කර ගත්, උපාදානය කරගත් පුද්ගලයින්ට, ද්‍රව්‍යවලට, වස්තූන්වලට, තැන්වලට, ධර්මතාවලට, අන්ධ ලෙසින් බැඳීම. (සං+බ+අන්ධ)
සම්බාධක: එකතු කර සකස් කළ බාධක, ගොනු කළ බාධක.
සංනිවේදන: යමක් එකතු කරන්නට කරන දැන්වීම – නිවේදනය, වෙළඳ       සංනිවේදනය යනු ලාභ එකතු කරන්නට කරන දැන්වීමකි.
සංථානය: එකතුකරගත් ගති, ”සං” තැන්පත් කරන ස්ථානය, චිත්තසංථානය.
සම්මත:  (සං+මත) ඒ ඒ අය තම තමාගේ අදහස් එකතු කර ඉදිරිපත් කරන ලද මත,     මත එකතුවක් සම්මත වේ.
සංකර: පිටින් එකතු කරගත් සිරිත් විරිත් සංකර ගති ලෙස සංකර සිරිත් විරිත් ලෙස හඳුන්වයි.
සංසිඳීම: එකතු කරගත් දේ අතර ඇති අයහපත් දේ සිඳ හැර බරෙන් මිදී නිදහස් වීම – පස්සදිය
සංවර: එකතු කරගන්නා කෙළෙස් සහිත දේ, එකතු කිරීමෙන් වැළකී සිටීම, එකතු කිරීම වාරණය කිරීම, එකතු කිරීමෙන් වෙන් වී සිටීම සංවර වීමයි.
සංඛ්‍යා: සිංහල හා පාලි භාෂාවන් දෙකේ්ම ඉලක්කම් එකතු කිරීම හා අඩු කිරීම සඳහා යොදා ගත් පදය,” සං” යනු එකතු කිරීම, ”ඛය” යනු අඩු කිරීමයි.
සංකල්පනා: කාලය පීරා සං එකතු කර ගැනීම. පනාවෙන් කරන්නේ පීරීමකි. අතීත කාල පරාසය පීරා ගති ලක්ෂණ එකතු කිරීම සංකල්පනා වේ.

මේ ආකාරයට සිංහල භාෂාවේත්, මාගධී භාෂාවේත් බෙහෝ තැන්වල සං, සම්, සන්, ස, සමා, සමු ආදී වශයෙන් විවිධ ආකාරයෙන් පද අර්ථ ගැන්වීමට ”සං” යන ශබ්ද සංඥාව යොදාගෙන ඇත. මෙතැනදී අප අමතක නොකළ යුතු ඉතාමත් වැදගත් කාරණයක් නම් මාගධී භාෂාව යනු ලිඛිත භාෂාවක් නොවන බවයි. මුළු බුද්ධ භාෂිතයම කටපාඩම් කරගෙන, වන පොත් කරගෙන භාවිතයට ගත් වසර හාරසිය ගණනක්ම මුඛ පරම්පරාවෙන් පමණක්ම ගෙනා ශබ්ද සංඥා සමූහයකි. මේ ශබ්ද සංඥා පසු කාලයක අකුරෙන් ලියන අවස්ථාවේ, ඒ අකුරු ලියූ අය ”සං” යන පදය විවිධ අකුරු කොටස් යොදා ලියා තැබූහ. ඒ අනුව මේ අකුරුවල විවිධත්වයක් දකින්නට ලැබේ.

එදා බුදුපියාණන්වහන්සේ ”සං” යන පදයෙන් අර්ථ ගැන්වූයේ, එකතු කිරීම, එකතු කරගත්තා, රැස් කිරීම, රැස්කර ගත්තා, උපාදානය කිරීම, උපාදානය කර ගත්තා, අල්ලා බදා ගත්තා යන අර්ථයෙනුයි. මේ සියලු පදවල ”ගන්නවා” ”ගත්තා” යන තේරුමක් ඇත. ඒ ගත්ත දේ ”ගති” ලෙසින් හඳුන්වයි. අප ගත ලෙසින් නම් කරන්නේත් එකතු කර ගත් දෙයක්මයි. ඒ වාගේ ම අස් කිරීම, හිස් කිරීම යන අර්ථයෙනුත් ”සං” භාවිත කර තිබේ. (විසංඛාර)

හැම පෘථග්ජන පුද්ගලයෙක්ම, සත්ත්වයෙක්ම, හැම අමනුස්සයෙක්ම, හැම දෙවියෙක්ම නිරතුරුවම කටයුතු කරන්නේ, ජීවත් වෙන්නේ මොනවා හෝ යමක් එකතු කර ගැනීමටයි. විඤ්ඤාණයෙන්ම උපත ලබා විඤ්ඤාණ ශක්තියක් පවත්වා ගෙන යන්නට නම් හැම ප‍්‍රාණියෙක්ම ආහාර රැස් කර ගත යුතුමයි. කබලිංකාර ආහාර, සංචේතනා ආහාර, ස්පර්ශ ආහාර, විඤ්ඤාණ ආහාර යන ආහාර කොටස් හතරම එකතු කර ගැනීමට, රැස් කර ගැනීමට, චිත්තසංථානයේ තැන්පත් කර ගැනීමට කරන, කියන, හිතන සියලුම ක‍්‍රියා සංඛාර ලෙසින් පොදු නමකින් බුද්ධ භාෂිතයේ පෙන්වා දී ඇත.

සංඛාර නොකර, යම් යම් දේ එකතු කර ගැනීමට ක‍්‍රියා නොකර කිසිම පෘථග්ජන සත්ත්වයකුට, පුද්ගලයකුට මේ පැවැත්ම ගෙන යාමට හැකියාවක් නැත්තේමය. උපන් හැම සත්ත්වයෙක්ම, පුද්ගලයෙක්ම, ප‍්‍රාණියෙක්ම තම මුළු ජිවිත කාලය පුරාම කරන්නේ මේ එකතු කිරීමේ, එකතු කර රැස් කර ගැනීමේ ක‍්‍රියාවයි. එසේ එකතු කරගත්, රැස් කර ගත් දෙයක් මිස වෙනත් කිසිම දෙයක් ආහාරයට ගැනීමටත් නොහැකිය. මේ ජීවිතයට පෙර අතීත ආත්මවලදීත් කළේ මේ එකතු කිරීමේ ක‍්‍රියාවලියමයි. ඉදිරියේදී යම් මතු උපතක් ලැබුවොත් එදාට කරන්නේත් මේ එකතු කිරීමේ, සංඛත සකස් කිරීමේ ක‍්‍රියාවලියමයි. විඤ්ඤාණය, මේ එකතු කිරීමේ ක‍්‍රියාවලියේ මැදිහත්කරුවායි. විඤ්ඤාණයට අවශ්‍ය වන්නේ දිගින් දිගටම මේ සංසාර ගමන සුරක්‍ෂිතව පවත්වාගෙන යෑමයි. ඒ සඳහා කළ හැකි හැම එකතු කිරීමක්ම, රැස් කිරීමක්ම, උපාදානය කිරීමක්ම කිරීමට නිතරම විඤ්ඤාණය වග බලා ගනී. ධර්මය – අධර්මය, කුසලය – අකුසලය, පින් පව් වැනි දේ වල වෙනසක් දැක ගැනීමට විඤ්ඤාණයට නොහැකියි. ඒ ශක්තිය පවතින්නේ මනසට පමණයි.

සම්මතයේ, ලෞකිකත්වය තුළ පවතින හොඳ නරක දෙකම විඤ්ඤාණයට ආහාර වේ. ඒ සියල්ලම සාරයි ලෙස දකින්නේ, දැනගන්නේ විඤ්ඤාණ ශක්තියෙනි. ඒ නිසා ”සං” බිහි කිරීමේ හැකියාව ඇත්තේ් විඤ්ඤාණයටයි. ”සං” වටින්නේ විඤ්ඤාණයටයි. ”සංඛාර පච්චයා විඤ්ඤාණං, විඤ්ඤාණ හේතු සංඛාරං” කීවේ ඒ නිසයි. මේ අනුව එකතු කර ගත්ත, රැස් කර ගත්ත, අල්ලා බදාගෙන උපාදානය කර ගත්ත දේ වල සාරයක්, වටිනාකමක් දැකීම, සංසාර ක‍්‍රියාවලියයි. මතු මතුත්, තව තවත් එකතු කිරීමට, රැස් කිරීමට, අල්ලා ගැනීමට යන මේ ගමන, සංසාර ගමනයි.

මෙසේ තම තමන් එකතු කර, රැස්කර, උපාදානය කරගත් දේ සාරයි යනුවෙන් දකිනා තාක් කල්ම, කෙනෙක් මේ සංසාර ගමනේ යෙදේ. මේ ආකාරයට එකතු කර, රැස්කර, උපාදානය කර ගන්නා දේ පිළිබඳව සත්‍යය, ඇත්ත ඇති සැටියෙන් දකින්නට හැකි ශක්තියක් කෙනෙකුට ලැබුණොත්, අසා දැනගත්තොත්, මෙනෙහි කර දැක ගත්තොත්, මේ එකතු කරන දේ, රැස් කර ගන්නා දේ, උපාදානය කර ගන්නා දේ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක ගනී. එය චතුරාර්ය සත්‍යයන් අවබෝධ වීමයි.

මුළු සත්ත්ව, පුද්ගල සංහතියේම දුකට මුල්වන එකම හේතුව මේ එකතු කරගත්, උපාදානය කරගත්, පංචඋපාදානස්කන්ධයම මිස වෙන කිසිම දෙයක් නොවේ. ”සංඛිත්තේන පංචඋපාදානස්කන්ධා දුක්ඛා” ලෙස දුක්ඛ අරිය සත්‍යය පැහැදිළි කෙළේ මේ සඳහායි.

හැම කෙනෙක්ම කරන, කියන කර්ම වලට අනුරූපවම, ඒ අයට ධර්ම නියාමයෙන් උරුම වන ඵලයක්, විපාකයක් ද අයිති වේ. එක එක සත්ත්වයින්ට, පුද්ගලයින්ට එක එක ආකාරයේ ශරීර කූඩු මහා බ‍්‍රහ්මයා මවා දුන්නා නොවේ. බලයෙන් පැටවූ දේවල්ද නොවේ. මොන ආකාරයේ ශරීර කූඩුවක් ලැබුණත් විඤ්ඤාණය ඒක සතුටින් ම භාර ගනී. සංසාර ගමන යන්නට උපකාරී වන යම් යම් දේ, පංචස්කන්ධය එකතු කර උපාදානය කරගන්නට හැකි නම් විඤ්ඤාණයට මේ එකතු කිරීම ඉතාමත් වටී.

මේ අනුව ”සං” යන පදයේ අර්ථය හොඳන් අසා තේරුම් නොගත්තොත්, සංසාර ගති, සංසාර බව යනු කුමක්ද? සංසාර පුරුදු යනු මොනවාද? යනුවෙන් තේරුම් ගන්නත් නොහැකියි. හැම පුද්ගලයෙක්ම දැන හෝ නොදැන තම තමන් ම අතීතයේ එකතු කරගත්, රැස්කර ගත්, උපාදානය කරගත්, සංසාර ගති, සංසාර පුරුදු හේතුඵල පරම්පරාවක් ලෙස දිගින් දිගටම ක‍්‍රියාත්මක කරමින් තමන් සංසාර ගමනක් යන බව නිවැරදිවම තේරුම් ගත යුතුයි. අතීතයේ එකතු කර ගත්ත දෙයක් නැතිනම්, වර්තමානයේ කිසිවක් එකතු කරන්නේ නැතිනම්, අනාගතය සඳහා කිසිවක්ම එකතු නොකරන්නේ නම් සංසාර ගමනකුත් නැත.

උපන් හැම කෙනෙක්ම නිරතුරවම නොයෙකුත් ආකාරයට සංඥාවන් ලබාගනී. සංඥාවක් නොලැබුණොත් සංඛාරයක් ක‍්‍රියාත්මක කළ නොහැකියි. ”සං+ඥා” යනු දැනීමක් එකතු කිරීමයි. ”ඥා” යනු දැනීමයි. ”සං” යනු එකතු කිරීමයි. අප අප ගැනම සළකා බැලුවොත්, ඇසෙන් රූප සංඥා ලබා ගනී. රූප දකිනවාය යනු රූප සංඥාවකි. කනෙන් ශබ්ද සංඥා ලබා ගනී. ඇහෙනවා යනු ශබ්ද සංඥාවකි. නාසයෙන් ගඳ සුවඳ සංඥා ලබා ගනී. දිවෙන් රස සංඥා ලබා ගනී. කයට සුව පහසු, සීතල, උෂ්ණ වැනි සංඥා ලැබේ. මනසට අතීතයේ එකතු කරගත් මතක සටහන් ආශ‍්‍රයෙන් ම මනෝ සංඥා ලැබේ. මේ ආකාරයට ඉන්ද්‍රියයන් හයටම නිරතුරුවම සංඥා ලැබුණත්, මේ හැම සංඥාවකටම කෙනෙක් නොබැඳේ. සංඥාවකින් ලබන, එකතු කර ගන්නා දැනුම නිසා විඤ්ඤාණය මත් කරවයි නම් ප‍්‍රිය, මනාප, ඉෂ්ඨකාන්ත, මධුර සංඥාවක් නම් එතැන කැමැත්තෙන්ම සිත බැඳේ. මේ බැඳීමට, ඇලීමට හේතුව පි‍්‍රය ගති ලක්ෂණයයි. ප‍්‍රිය රූපයක් නිසා ඇස වින්දනයකින් මත්වේ. රාගය, චන්දරාගය, කාමච්ඡංදය යනු මේ මත් කිරීමේ ලක්ෂණයයි. මත් වූ සිත ප‍්‍රිය වස්තුවෙහි ඇලේ. ”පටි ඉච්ච” වීම යනු මේ ගති ලක්ෂණයයි.

ඉන්ද්‍රියයන් හයෙන්ම යම් ප‍්‍රිය, මධුර වස්තුවක් දැකීමෙන්, රස විඳීමෙන්, සිතීමෙන් මොහොතකින් පසු ඉන්ද්‍රියයන් හයම ආයතන බවටත් පරිවර්තනය වේ. ආයතන ක‍්‍රියාත්මක වීමත් සමඟම එකතු කිරීමට කරන ක‍්‍රියාවන් කිරීම සංඛාර කිරීම වේ. පටිච්චසමුප්පාද ධර්මය විග‍්‍රහ කර බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළේ ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හයත්, රූප, ශබ්ද, ගඳ, සුවඳ, රස, සුව, පහස, මතක සටහන් යන බාහිර ලෝකයත් සමඟ ස්පර්ශ වී සමුදය ධර්මය උපදවාගෙන සංසාරයට බැඳෙන, ”බව” තත්ත්වයට පත්වන ආකාරය පෙන්වා දීමයි. ”පටි ඉච්ච” යනු කැමැත්තට, පි‍්‍රයතාවයට බැඳීමයි.

”සං” උත්පාද වීමත් සමඟම ගතියක් ද බිහිවේ. ගතියකට බැඳේ. රාග ගතිය, ද්්වේෂ ගතිය, මෝහ ගතිය, නපුරු ගතිය, ලෝභ ගතිය, මසුරු ගතිය යමෙකු තුළ පහළ වන්නේ අයහපත් ගති එකතු කිරීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. විඤ්ඤාණය ඒවා එකතු කළත්, විඤ්ඤාණයට ඒවා ගබඩා කර තබා ගත නොහැකියි. විඤ්ඤාණය ඒවා එකතු කර, චිත්තසංථානයේ ගබඩා කිරීමට භාර දීම සිදු කරයි.

චිත්තසංථානය යනු ”සං” තැන්පත් කර ගබඩා කර ගන්නා ස්ථානයයි. මේ චිත්තසංථානයේ ගබඩා කළ ගතියක්, ගති බවට පත්වේ. අපි ඒ ගති ලක්ෂණයම ”බව” ලෙස හඳුන්වමු. රාග ගතිය – රාග බව, ද්වේෂ ගතිය – ද්වේෂ බව, නපුරු ගතිය – නපුරු බව, මෝහ ගතිය – මෝඩ බව, උද්ධච්ච ගතිය – උද්ධච්ච බව ආදී වශයෙන් අපි මේ ගති ලක්ෂණ වලටම, භව යනුවෙන් නම් කරමු. පටිච්චසමුප්පාද ධර්මය විග‍්‍රහයේදී ”උපාදාන පච්චයා භව” යනුවෙන් විස්තර කළේ මේ ගති ලක්ෂණ එකතු කිරීමයි. (එකතු කර ගත් දේ ගති ලක්ෂණයි) චිත්තසංථානයේ ගබඩා කර ගත් නිසා, ඒවා ”භව” ලෙස හඳුන්වයි. මේ ”භව” යනු කර්ම බීජයි, උත්පත්ති බීජයි. මේ ”භව” යන ගති ලක්ෂණ චිත්තසංථානයේ ගබඩා වී, මනෝකායට සම්බන්ධ වී පවතින නිසා මේ ගති වලටම ධර්ම විග‍්‍රහයේ කර්ම බීජ ලෙසද හඳුන්වයි. කර්ම බීජ ගබඩාව කර්මජ කෝෂය වේ.

පුද්ගලයෙක්, සත්ත්වයෙක් විඤ්ඤාණ ශක්තියෙන් එකතු කරගත් කර්ම බීජ තම කර්මජ කයේම ගබඩාකර ගැනීමත් සමඟම ඒ ගති සංසාර ගති බවට පත්වේ. එ් ආකාරයෙන් එකතු කර, ගබඩා කරගත් (භව) ගති ලක්ෂණ සමාධියෙන්, විපස්සනාවෙන්, ප‍්‍රඥාවෙන් නිරෝධ කළේ නැතිනම්, ඒ ගති ලක්ෂණ සංසාරය පුරාවට ම දිගින් දිගටම ගෙන යයි. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම කෙනෙකුගේ මරණයේදී විනාශ වී තමන්ට අහිමි වී ගියත්, මේ කර්මජ කෝෂයේ තැන්පත් කර ගත් කර්ම බීජ, ”භව” නැතිනම් ගති ලක්ෂණ සම්මත මරණයත් සමඟ විනාශ කළ නොහැකියි. විනාශ වීමකුත් සිදු නොවේ. ඒ ගති ඵලවිපාක විඳ හෝ ගෙවා දැමිය යුතුයි. නැතිනම් සමාධියෙන්, සංසිඳවීමෙන්, සම්මා අංග සම්පූර්ණ කිරීමෙන්ම ඛය (කපා දමා) කර අවසන් කිරීමට සිදුවේ. බුදුපියාණන් පෙන්වා වදාළ කුසල මූල පටිච්චසමුප්පාද ධර්ම මාර්ගය භාවිතයෙන්ම හැර වෙන කිසිම ආකාරයකින් මේ භව නිරෝධ කර ගති සහමුළින්ම ඉවත්කර, සමුත්තේජේති යන සම්මා තත්ත්වයට පත් විය නොහැකියි. මේ සඳහා යථාභූතඥාණ දර්ශනය අත්‍යාවශ්‍යයි. විපස්සනා භාවනාවම අවශ්‍ය වේ.

මෙතැනදී පැහැදිළි කර දිය යුතු වැදගත්ම දේ නම්, විඤ්ඤාණය අවිද්‍යාවෙන්, තණ්හාවෙන් එකතු කරන්නේම සංසාර ගමනට උපකාර වන රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන්මයි. මේ අවිද්‍යාවෙන් එකතු කරන රාග, ද්වේෂ, මෝහ ගති හා භව එකතු කිරීමට අවිද්‍යා මූල සංඛාර පවත්වයි. අවිද්‍යා මූලයෙන් එකතු කරන ගති හා භව නිසා කෙනෙකුගේ ලේ ධාතුව, ජීවිතේන්ද්‍රිය කිළිිටි වේ. කළු වේ. අඳුරු වේ. මේ කෙළෙස් නිසා ලේ ධාතුව කිළිටි වී, මනස වැසී, මෝහය යන ගති ලක්ෂණය තමා තුළම ඇති කරයි. තම මනස වසා මෝහය මතු කරන, ලේ ධාතුව කිළිිටි කරන, සියලුම ගති ලක්ෂණයන් කුණු ගති ලක්ෂණ ලෙසින් බුද්ධ භාෂිතයේදී පෙන්වා වදාළහ. කෙළෙස් ගති යනු මේවායි.

කුණු, කිළිටි, කෙළෙස් ගති අස්කර, චිත්තසංථානය පිරිසිදු කරගන්නටත් සරළ ක‍්‍රම වේදයක් බුදුපියාණන්වහන්සේම පෙන්වා දුන්හ. මේ නිවැරදි ක‍්‍රමය විභංගප‍්‍රකරණයේ පච්චයා විභංගයේහි ඉදිරිපත් කරන ලද කුසල මූල නිද්දේසයයි. මේ කුසල මූල නිද්දේසය, කුසල මූල පටිච්චසමුප්පාද පරියාය ලෙසින් අපි අද හඳුන්වා දෙමු. මේ ක‍්‍රමවේදය, කුසල මූල නිද්දේසය, අද බුද්ධාගමේ පරිහරණය කරන දෙයක් නොවේ. එය ආගමකට ගැළපෙන සුදුසු දෙයක්ද නොවේ. මේ ක‍්‍රමවේදය, කුසල මූල පටිච්චසමුප්පාද පරියාය ඇත්තේ උතුම් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයෙහිම පමණි. එයම පූර්ණ නිවන් මාර්ගයයි.

කුසලමූල පටිච්චසමුප්පාද පරියායෙහිදිත් සංඛාර පැවැත්වීමක් කළ යුතුයි. අවිද්‍යාමූල පටිච්චසමුප්පාද පරියායෙහිදී විග‍්‍රහ කළ සංඛාර පැවැත්වීම මගින් කුණු කෙළෙස්, කිළිටිදේ, රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ එකතු කරගන්නා ආකාරය විග‍්‍රහ කළත් මෙතැනදී කරන කුසල මූල සංඛාර මගින් කරන්නේ ඊට හාත්පසින්ම වෙනස් ආකාරයක සංඛාර පැවැත්වීමකි. මෙතැනදී සිදුවන්නේ මෙතෙක් අතීත සංසාරයේදී කවදා හෝ සාරයි යනුවෙන් එකතු කර, ගබඩාකරගත් සියලු ගති (කුණු) සොළවා, මතු කර,
අස්කර, ඉවත්කර දැමීමට උපකාර වන සංඛාර පැවැත්වීමයි. මේ නිසාම කුසලස්ස උපසම්පදා යන පදය මෙහි දී භාවිතා වේ. මේ සංඛාර කුසල මූල සංඛාර ලෙසින් බුද්ධ භාෂිතයේ හඳුන්වයි. කුසල මූල සංඛාර පැවැත්වීම සඳහා යථාභූතඥාණ දර්ශනයත්, සතියෙහි පිහිටා කි‍්‍රියා කිරීමේ ශක්තියත් තමා තුළම තමාම මතු කර ගත යුතුයි. ඇති කර ගත යුතුයි. මේ ශක්තිය, සති සංපජානකාරී ශක්තිය ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා දී ඇත.

”සං” පිළිබඳව ලැබූ දැනුමත්, පටිච්චසමුප්පාද ධර්මාවබෝධයත් එනම් ”සං” උපත ලබන උල්පතත් දැක්කොත්, තම චිත්තසංථානයේම මුල් බැස ගෙන පවතින ”සං” දැක ”ධම්මෝ සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත් වීමෙන් සතිසංපජානකාරී විය හැකිය. ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනු පටිච්චසමුප්පාද ධර්මයට අනුවම තමා තුළින් සමුදය බිහි වන ආකාරය තමන්ම දැක ගැනීමයි.

”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත්වූ මෙම පුද්ගලයාට ”සම්මා දිට්ඨියට” පත්වන්නටත් ශක්තිය, හැකියාව ලැබේ. මෙතැන සම්මා දිට්ඨිය යනු ලෞකික වශයෙන් හොඳ, යහපත් නිවැරදි දැක්මක් ලබා ගැනීම පමණක්ම නොවේ .”සං” වලින් මිදී සහමුළින් ම ”සං” උපත ලබන මුල් උදුරා දමා නිදහස් වීමට මාර්ගය දැකීම, සම්මා දිට්ඨිය යන්නෙහි ලෝකෝත්තර අර්ථයයි. ආර්යය අෂ්ටාංගික මාර්ගයේ මුල්ම හා පළමුවැනිම අංගය වන සම්මා දිට්ඨිය පිළිබඳව දැනුමක් තේරුමක් පවා ලබා ගත හැකි වන්නේ, සංදේශණාවක් අසා ”සංමාදපේති” යන්න පිළිබඳව තේරුම් ගත් කෙනෙකුට පමණි.

ලෞකික සම්මා දිට්ඨියද බුද්ධාගමෙහි භාවිතයෙහි පවතී. මිථ්‍යා අෂ්ටාංගික මාර්ගයෙන් ඉවත් වී, ලෞකික සම්මා අෂ්ටාංගික මාර්ගයට පත්වීම ඒ ලෞකික සම්මා අෂ්ටාංගික මාර්ගයයි. එහිදී සිදු වන්නේ ”සං” වලින් මිදී යහපත් ලෞකික මාර්ගයට පත් වීමයි. ”සං” උපත ලබන, සමුදය බිහිවන ධර්ම පරියාය තේරුම් නොගත් කෙනෙකුට, ලෝකෝත්තර සම්මා අංගයන් තේරුම් ගැනීමක් කළ නොහැකි වේ. කෙනෙක් උත්පත්තියේ පටන් මැරෙන මොහොත දක්වාම, ජීවත්වන මුළු කාලය තුළම කරන්නේ ”සං” උපත ලබන ක‍්‍රියාදාමයක් කරමින්, සමුදය බිහිකර ගනිමින්, විශ්වයෙන් යමක් අල්ලා එකතු කර ගැනීමයි. රැස්කර උපාදානය කර ගැනීමයි. රැස් කරගත් දේ (සංඛත) ආහාර කොට ගෙන ජීවත්වීමයි. එකතු කර ගත් දේ චිත්තසංථානයේ ගබඩා කර ගත් තරමටම, විඤ්ඤාණයත් සතුටට පත් වේ. මෙතැනදී විඤ්ඤාණය පුදුමාකාර වැඩක් කරනු ලබයි. ඒ මායාකාරී ක‍්‍රියාව නම් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් පිනවීම සඳහාම ක‍්‍රියාත්මක වීමයි. වැඩ කාරයින් හය දෙනාවම මායාවෙන් මුළා කර වැඩ ගනී. වංචාවෙන් රවට්ටවා වැඩ ගනී.

මේ එකතු කිරීමේ, රැස් කිරීමේ, උපාදානය කර ගැනීමේ ප‍්‍රායෝගික පැත්තකුත් සළකා බැලිය හැකිය. ඔබ, ඔබ ගැනම මේ ටික සිතන්න. ඔබ උපත ලැබූ මොහොතේ, එනම් මේ ලොවට ජනිත වූ මොහොතේ, නූල් පොටකවත් දෙයක් මොළොවට නොගෙනාව ඔබ, අද වන විට එකතු කර ගෙන ඇති දේවල් ගැන මදකට සිතන්න. ඔබ ජීවත් වූ මේ වසර තිහ හතළිහ හෝ පනහක හැටක කාලයක් තුළ, ඔබට හිතා ගැනීමටවත් නොහැකි තරම් පෙනෙන නොපෙනෙන දේ ඔබම එකතු කරගෙන ඇත. ඒවා බොහෝමයක් ගෙවී වැය වී විනාශ වී ඇත. තවත් යම් ප‍්‍රමාණයකුත් ඉතිරි වී පවතී. මෙසේ එකතු කරගත් හැම දෙයක්ම එකතු කර ගන්නට මුල් වූයේ අවිද්‍යා සංඛාර පැවැත්වීමයි. සියලු සංඛත බිහිකර ගත්තේ සංඥාවක් මුල් වීමෙන් සමුදය බිහිකර ගැනීමෙන්මයි.

අම්මා, තාත්තා, සහෝදර සහෝදරියන්, අඹු දරුවන්, යාළුවන්, මිත‍්‍රයින්, අසල්වැසියන්, සේවක, ස්වාමි පක්ෂය වාගේම සතුරන්, ණයකාරයින්, වෛරක්කාරයිනුත් ඔබම එකතු කරගත් එක්තරා කොටසකි, ඔබ ඒ අයට සම්බන්ධ විය. ඒ අය ඔබට සම්බන්ධ විය. ”සං” නොතිබුණේ නම්, සංඛාර නොකළේ නම් මෙවන් සම්බන්ධයක් ඇති නොවේ.

එසේම ඔබ අද පාවිච්චි කරන ඇඳුම් ආයිත්තම්, මිල මුදල්, රන් ආභරණ, යාන වාහන, ගේ දොර, ඉඩ කඩම් ආදී දහසක් දේ කිසිවක් උපතින්ම ඔබ ගෙන ආවේ නැත. ඒවා එකතු කර ගත්තේ සංඛාර පැවැත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසයි. ඒවා හොඳයි, ප‍්‍රියයි ලෙස රූප සංඥාවක් ඇති වී, ඒ සංඥාවට බැඳී සංඛාරයක් පැවැත්වීමේ ප‍්‍රතිඵලය ඒවාට සම්බන්ධ වීමයි.

අද ඔබ සතු සියලු වත්කම්, පොහොසත්කම්, බලවත්කම් ඔබම එකතු කර, රැස් කර, ගබඩා කර ගත්, උපාදානය කර ගත් දේ ය. එසේ නොවේ නම් ඒවාට ඔබට සම්බන්ධ විය නොහැකිය. ඒවා ඔබේ බවට පත් කරගත නොහැකිය. ඔබේම දේවල්, එනම් මේ ”භව” පවතින්නේ එසේ උපාදානය කරගත් දේ නිසයි.

මේ ආකාරයට එකතු කරගන්නා දේ අතරින් බලවත්ම කොටස ගතිගුණයි. හිතා ගැනීමටවත් නොහැකි තරම් විශාල ගතිගුණ කොටසකුත් තමන් ම එකතු කර තම චිත්තසංථානය තුළම තැන්පත් කර ගනී. මේ එකතු කර, රැස් කර ගන්නා ගති ගුණවලට අපි ”ගති” ලෙස හඳුන්වමු. මේ ”ගති” පිළිබඳව බොහෝ දේ කාටවත්ම හිතා ගැනීමටත් නොහැකියි. මෙවැනි ”ගති” කොටසකුත් අපම සංසාරෙදි සාරයි යනුවෙන් අල්ලා එකතු කර ගෙන, තම තමන්ගේම චිත්තසංථානයේ ගබඩා කරගෙන පවතිනවා යන්න කාටවත්ම ධර්මය අසා දැනගන්නා තුරාවටම හිතා ගැනීමටත් නොහැකියි. තම තමන්ම සාරයි යනුවෙන් එකතු කර ගත් ”ගතියක්” හැර, තමන් එකතු කර නොගත්තු දෙයක් තමා තුළ මුල් බැසගෙන පවතින ”ගතියක් ”හෝ ”ගති” ලක්ෂණයක් හෝ විය නොහැකියි. මේ එකතු කර ගත් ගති නිසා ගතිගුණ, ගති රුව, ගති හඬ මෙන්ම ගති බවත් (භව) තමා තුළින්ම මතු වේ. ”ගතිය” යනු ඒක වචනයයි. ”ගති” යන්න බහු වචනයයි. ‘‘ගන්නවා’’ වර්තමාන කාල පදයයි. ඒ පදයේම අතීත කාල පදය ” ගත්තා” යනුයි. මේ ආකාරයෙන් තම තමන්ම එකතු කර රැස් කර ගත් ”ගති” පසු කාලයක දී හුරු පුරුදු, චර්යා රටාවන්, අබ්බැහිකම් වැනි විවිධ වචනවලින් ව්‍යවහාරයේ දී හඳුන්වයි. මතක සටහන්, සංකල්පනා යනුද එකතු කර චිත්තසංථානයේම තැන්පත් කරගත් ගතිම යි. ගතියක් මතු කර සිතෙන්ම සංඛාර ලෙස ක‍්‍රියාත්මක කිරීම, සංකල්පනා පැවැත්වීමයි.

අප අතීත කාල පරාසයක දී එකතු කර, රැස් කර ගත්, චිත්තසංථානයේ තැන්පත් කර ගත් දෙයක්ම, පීරා හොයා බලා මතුකර ගැනීමට කරන සංඛාර පැවැත්වීම, සංකල්පනා ලෙස හඳුන්වයි. පනාවෙන් සිදු කරන්නේ පීරීමයි. මෙතැනත් කල්පනා යනු කාලය පීරීමකි. කාලය පීරා එකතු කිරීම, සංකල්පනාවයි. පුරුදු යනු අපම දවසෙන් දවස එකතු කර ගත් ”ගති” එකින් එක පුරුද්දා හදාගත් පුරුද්දකි. අතීතයේ යම් ගතියක් එකින් එක එකතු කර පුරුද්දා ගත්තේ නැතිනම් අප තුළ හුරු පුරුදු නොපවතී. මහා කල්ප 91 ක් තුළම එකතු කරගත්, හුරු පුරුදු කරගත් ගති ලක්ෂණ හැම කෙනෙකුගේම චිත්තසංථානය තුළ ගැබ් වී පවතී. අතීතයේ එකතු කරගත්, පුරුදු කරගත් ගතියට නැවත නැවතත් එකතු වන ගති ලක්ෂණයක් හැම පුද්ගලයකු තුළම මුල් බැස ගෙන පවතී. එසේ අතීතයේ දී එකතු කරගත් ”ගති” නැතිනම් අනාගතයතුත් හිතා ගත නොහැකියි.

අනාගතය යනු තමන්ම අතීතයේ එකතු කර, ගබඩා කර ගත් ”ගති” එකට අනාගෙන හදාගත් හිතින්ම මවා ගත් දෙයක් පමණයි. ඒ නිසා අනාගතය යනු අතීතයේ දී එකතු කර, අල්ලා ගත් ගති වලින්ම හදා ගත්, මවා ගත් දෙයකි. සංකල්පනා පවත්වා අතීතයේ එකතු කර ගත් ගති මතු කර, සංඛාර වශයෙන් පැවැත්වීමට නොහැකි නම් කාටවත්ම අනාගතයක් ඇති නොවේ. මෙතැනදී, නිවන් අවබෝධයට උපකාර වන මූල ධර්මය මතු වේ. අතීතයේ එකතු කර, අල්ලා, රැස් කර, උපාදානය කර ගෙන පවතින ”ගති” අපට අද අස් කරගත හැකි නම්, එසේ අස් කර, ගති වලින් තොර තැනක් බවට චිත්තසංථානය හිස් කර ගත හැකි නම්, මෙතෙක් චිත්තසංථානය තුළ ගැබ් වී පැවති, සංසාර ගමන යෑමට උපකාර වූ රාග, ද්වේෂ, මෝහ ගති අස් කර, ඒ වෙනුවට වීතරාගී, නෙක්ඛම්ම, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගති ඇතුළට ගැනීමට හුරු පුරුදු කර ගත හැකි නම් එයම නිවන් මාර්ගයයි. නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව යනු මෙයයි.

රාග, ද්වේෂ, මෝහ යන කිළිටි ගති පමණක්ම විඤ්ඤාණයට ආහාර සපයන ගති වේ. වීතරාගී, නෙක්ඛම්ම, අනාසව, අරිය චිත්තයකින් විඤ්ඤාණයට ආහාර සපයා ගත නොහැකියි. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගති කිසිවක් ම විඤ්ඤාණයට ආහාර සපයන ගති නොවේ. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා, නෙක්ඛම්ම, නිරාසව, වීතරාගී, අනාසව යන කිසිම සුදු ගති ගුණයකින් අවිද්‍යාවෙන්, තණ්හාවෙන් යමක් අලුතින් එකතු නොවේ. අතීතයේ එකතු කරන ලද දැන් චිත්තසංථානයේ ගැබී වී පවතින කුණු අස් කර, ප‍්‍රහාණය කර, චිත්තසංථානය පිරිසිදු කිරීම පමණක් මේ ගති නිසා සිදුවන එකම ක‍්‍රියාවලියයි. මේ නිසාම මේවාට කුසල මූල සංඛාර ලෙස නම් කෙරේ.

මෙසේ පෙර නොඇසූ විරූ ධර්මයක් අසා දැන් කෙනෙකුට තම තමන්ගේ ම මනස යොමු කර තම තමා දෙස ම, තම ආධ්‍යාත්මය දෙසම බැලිය හැකියි. තමන් නේද මේ ගති සියල්ලම එකතු කරගෙන, රැස් කරගෙන, උපාදානය කරගත්තේ? සාරයි, වටිනවා යනුවෙන් එකතු කර ගත් මේ දේවල් නිසාම නේද තමන් සංසාරයට සම්බන්ධ වුණේ? එසේ එකතු කර, අල්ලා ගත් දේ නේද සංකල්පනා ලෙස තමන්ගේම සිතේ දැන් මතුවන්නේ? බුදුපියාණන් පෙන්වා වදාළ අරිය මාර්ගය අනුගමනය කළොත්, නිවැරදිව ම ධර්මය තේරුම් ගෙන අනුපුබ්බංගම ක‍්‍රියා මාර්ගයක් අනුගමනය කළොත්, අපට මේ සංසාර ගමන පිළිබඳව යථාර්ථය වැටහෙන්නට පටන් ගන්නව නේද?” යනුවෙන් තමන් තමා පිළිබඳව වටහා ගත යුතුයි. තමන්ම සාරයි, ප‍්‍රියයි යනුවෙන් එකතු කරගන්නා ගතියක් නිසා ඉන්ද්‍රියයන් පිනවීමට සිදුවේ නම් ඇස, කන ආදී ඉන්ද්‍රියයන් සතුටු කරවිය හැකි නම් එය අපි සංතෝෂයක් ලෙස හඳුන්වමු. එකතු කරගත් ප‍්‍රිය දෙයක්ම නිතරම මෙවැනි සංතෝෂයකට හේතුවේ. අවිද්‍යාව නිසා එකතු කරගත් ප‍්‍රිය දෙයකින් ඉන්ද්‍රියයන් හයම පිනවීම සන්තෝෂයයි. කුසල මූල සංඛාරයක් පවත්වා අතීතයේ එකතු කරගත් කුණු, කෙළෙස් සළා හැර ලබන නිදහස් වීමේ සතුටකුත් ඇත. එය ”සංතුට්ඨි” ලෙස ධර්මයේ පැහැදිළි වේ. සංතෝෂය යනු කාමය නිසා, කය රමණය කිරීමෙන් ලද සංතෝෂයයි. සන්තුට්ඨි නෙක්ඛම්ම නිසා එනම්, කාමයෙන් තොරවීම, වෙන් වීම නිසා ලබන සංතුට්ඨියයි. මෙතැනදී සිදු වන්නේ අතීතයේ එකතු කරගත් ”සං” තුනී වී තුරන් වී යෑමයි. ”සංතුට්ඨි පරමං ධනං” යනු අත්හැරීමෙන්, නොඇලීමෙන්, මිදී නිදහස් වීමෙන් ලබන සදාකාලික සුවයයි. අතීතයේ එකතුකරගත් කුණු සළා හැර, චිත්තසංථානයේ බර තුනී කර, අඩු කර ගැනීම සංතුට්ඨියයි.

පෘථග්ජන පුද්ගලයෙක් නිතරම තණ්හාවෙන් එකතු කර, රැස් කරගත් විවිධ දේ නිසාම සතුටු වේ. එය සංතෝෂ වීමයි. මේ ආකාරයට යමක් තණ්හාවෙන් එකතු කර, රැස් කර සංතෝෂ වෙන හැම කෙනෙකුටම ඊළඟට මුහුණ දීමට සිදු වන්නේ සංතාපයට, සංවේගයට, සංවේදිතාවට පත්වීමටයි. ඊට හේතුව එකතු කර, ගබඩා කර ගත්, චිත්තසංථානයේ රැස් වී පවතින දේ තමන්ටම නොදැනී වෙනස් වී විපරිණාමයට පත් වී, ගෙවී, විනාශ වී යෑමයි. එකතු කරගත් දේ තමන්ට රිසි සේ, මනාප සේ, කැමැති සේ පවත්වා ගැනීමට නොහැකි වීමත් සමඟම මේ එකතු කරගත් ගතියම සංතාපයට, සංවේගයට, සංවේදනාවකටත් මුල් වේ.

පෘථග්ජන පුද්ගලයෙක් නිතරම කැමැත්තෙන්ම යමක් එකතු කර ගන්නේ තමාගේම ඉන්ද්‍රියයන් පිනවා, සතුටු කරවීමටයි. සතුටු විය හැකි ප‍්‍රිය අය, ප‍්‍රිය දේ, ප‍්‍රිය තැන් හා ප‍්‍රිය ධර්මතාවන් මෙසේ එකතු කරයි. මේ ආකාරයට යමක් එකතු කිරීමට කරන සංඛාර නිසා කැමත්තට බැඳීම නිසා කෙනෙකු තුළම පටිසංවේදී යන තත්ත්වය ඇති වේ. පටි+සං+වේදී (පටිසංවේදී) යන වචන තුනෙන් අදහස්වන්නේ, වේදනාවක් විඳගැනීමට කැමැත්තෙන්ම එකතු කරගත් දෙයකට බැඳීමය යන අදහසයි. පෘථග්ජන පුද්ගලයෙක්, සත්ත්වයෙක් කරන, කියන, හිතන සියලු සංඛාර කරන්නෙ පටිසංවේදී බවට අනුගත වීමෙනුයි. පටිච්ච වීම යනුද මෙයයි.

”සබ්බ කාය පටිසංවේදී” යනුවෙන් ආනාපාන සති සූත‍්‍ර දේශණාවේදීත් පෙන්වා වදාළේ මේ ධර්මතාවයයි. මෙතැන කාය යනු ක‍්‍රියාවයි. රූප කාය, චක්ඛු කාය, විඤ්ඤාණ කාය ආදී වශයෙන් දක්වන සියලුම ක‍්‍රියා ඇසෙන්, කනෙන්, නාසයෙන්, දිවෙන්, කයෙන්, මනසින් යමක් එකතු කරගන්න කරන ක‍්‍රියාවක්මයි. කෙනෙක් ඉන්ද්‍රියයන් පිනවීම සඳහා තණ්හාවෙන් එකතු කර ගන්නා ගතියක් නිසාම සංතෝෂ වන බවත්, ඒ එකතු කරගත් දේම පසුවට බරක් වන අවස්ථාවේ දී එයම සංතාපයට, සංවේගයට, සංවේදනාවට හා පටිසංවේදී වීමටත් මුල් වන බවත් දැන් පැහැදිළි විය යුතුයි.

චිත්තසංථානයේ කළු, කිළිටි ධර්මතාවයක් තැන්පත් වීමෙන්ම, මේ සියලු ගති මතු වේ. කළු ධර්මයන්, කෙළෙස්, කුණු චිත්තසංථානයේ නැතිනම්, සංතාප වීමට හෝ සංවේගයට පත් වන්නට හෝ පටිසංවේදී වන්නට හෝ මුල්වන හේතුවක් මතු නොවේ. එසේම චිත්තසංථානයේ ගබඩා වී, උපාදානය කරගෙන පවතින කළු ධර්මයන් සළා හැර (කුණු සළාහැර) ”සං” තුනී කර ගැනීමත් සමඟ ”සංතුට්ඨි” යන තත්ත්වයට පත්වේ. මෙයද ප‍්‍රීතියකි. සුවයකි. නමුත් මේ සුවය එකතු කරගත් දෙයක් නිසා ලබන ආමිස ප‍්‍රීතියක් හෝ සුවයක් හෝ නොවේ. අතහැර මිදී නිදහස් වීමේ ප‍්‍රීතියයි, සුවයයි. නෙක්ඛම්ම ප‍්‍රීතියක්, නිරාසව ප‍්‍රීතියක්, අනාසව ප‍්‍රීතියක්, සුවයක් යනු නිදහස් වීමේ සුවයයි, පී‍්‍රතියයි.

මෙතෙක් කරන ලද ”සං” විග‍්‍රහය අනුව හැම පුද්ගලයෙකුම සාරයි යනුවෙන් මෙසේ එකතු කර ගන්නා ”සං” මේ සංසාර ගමනට එකම හේතුව බව දැන් තේරුම් ගත හැකිවනු ඇති. එයම සංසාර ගමනක් යෑම ලෙසද නම් කළ හැක. එකතු කර ගන්නා, එකතු කර ගත් දේ නිසාම ලෝකයට සම්බන්ධ වීමෙන්, ලෝකයක් තමන්ම හදාගෙන, තව තවත් දේ එකතු කර ගැනීමට නොනවත්වාම යන මේ අතෘප්තිකර ගමන සංසාර රිය ගමනයි.

එසේ නම්, යම් කිසි කෙනෙක් ”සං” පිළිබඳව ඥාණ පද හතරම අසා දැන නිවැරදිව තේරුම් ගත්තොත් ”සං” යනු කුමක්ද? සංසාර ගමන යනු කුමක්ද? යන්නත් හරියාකාරවම දැන ”සං” දැක ගැනීමටත් හැකි වේ. එසේ නිවැරදිවම අසා දැනගත්, දැකගත් කෙනෙකුට පමණක්ම සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වන්නටත් උපකාර වන ”සංදිට්ඨිකෝ” යන තත්ත්වයට පත්වන්නටත් හැකියාව ලැබේ. එසේ නැතිව ධර්මය වඳින ගාථාව සිය දහස් වරක් නොව ලක්ෂ වාරයක් කියවා කියවා හිටියත් ”සං” දැක ගැනීමට නොහැකි බවත් ”ධම්මෝ සංදිට්ඨිකෝ” තත්ත්වයට පත් වීමට නොහැකි බවත් කවුරුත් නිවැරදිව තේරුම් ගත යුතුයි.

පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් ඉදිරිපත් කරනු ලබන්නේ, ”සං” උපත ලබන්නට, සමුදය බිහිවන්නට හේතුවන, ප‍්‍රත්‍ය වන, නිධානය වන කරුණු සිතක් තුළම ක‍්‍රියාත්මක වන විවිධ ආකාරයන් විග‍්‍රහ කර පෙන්වා දීමයි. ”සං” උපත ලබන්නට හේතුව ”පටිඉච්ච” වීමයි. ”පටිඉච්ච වීම” හේතුකොට, ඵලය විපාකය ලෙසින් ”සං” උපතක්, සමුදය ධර්මයක් බිහි වීමක් නියත වශයෙන් සිදුවේ. ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං.”

අපේ හිතේ කැමැත්තක්, තණ්හාවක් ඇති නොවේ නම්, චන්දරාගයක් ඇති නොවේ නම්, අපි යමකට සම්බන්ධ නොවන බව කාටත් තේරුම් ගත හැකියි. යමකට කැමැත්තක් නැතිනම්, ප‍්‍රිය බවක් නැතිනම් එය ඉවත් කිරීමට ක‍්‍රියාකරනවා මිස, එය වැළඳ ගැනීමට ක‍්‍රියා නොකරයි. උපාදානය කර නොගත්තේ නම් ”සං”නූපදී, ”සං” භව සිතේ හට නොගනී. බව නැතිනම් ජාතිත් ඇති නොවේ.

බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණා කර වදාළ පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය එතෙක් ලෝකයේ ක‍්‍රියාත්මක වූ, මිනිසුන් අතරේ භාවිතා වූ, මිනිසුන් දැන සිටි දහමක් නොවේ. බුදුපියාණන්වහන්සේම විසින් තමන්ගේ ම ස්වයංභූූ ඥාණයෙන් ම මතුකර, සොයා දැන, ඉදිරිපත් කරන ලද ධර්මය ”පුබ්බේ
අනනුස්සුතේසු ධම්මෝ” ලෙස හැඳින්වූ දහමයි. පෙර අසා නුපුරුදු, අසන්නට නොතිබුණු ”සං” දේශණාවක් ”සං” උපත පිළිබඳ ඉදිරිපත් කරන ලද විග‍්‍රහයකි. මේ නිසා පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් තොර සංදේශණාවක් හෝ සංදේශණාවකින් තොර පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහයක් හෝ ඇත්තේ නැත.

ඔබ හැම කෙනෙක්ම ”ස්වාක්ඛාතෝ භගවතා ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් නිතර නිතර කියවන ධර්මයට වඳින ගාථාවෙන් පෙන්වූ ධර්මයේ ගුණ හයම නිවැරදිව තේරුම් ගැනීමට නම් ”සං” දැක ගත යුතුමයි. ”සං” නිවැරදිව දැක නොගත්තේ නම්, ”සංදිට්ඨිකෝ” නොවී නම් එතැන සඳහන් වන අනෙක් ගුණයන් පහමත් තේරුම් ගත නොහැකි වේ.

ඔබ මෙතෙක් අතීත සංසාර ගමනේදී කරන ලද, අද කරන, මතුවට ඔබට කරන්නට සිදු වන ක‍්‍රියාවන් ”සං” යන පදයෙන් ධර්මයේ විග‍්‍රහ කර පෙන්වා දී ඇත. මෙසේ අතීතයේ එකතු කරගත් දේ, අද එකතු කර ගන්නා දේ හා මතුවට එකතු කරන්නට සැළසුම් කර ඇති යන දේ හේතුඵල පරම්පරාවක් පැවැත්වීම ලෙස හැඳින්වේ. මේ යථාර්ථය තේරුම් ගත් පුද්ගලයා ”සම්මා දිට්ඨියට” පත් වූ ”සං” පිළිබඳව නිවැරදි දැක්මක් ඇති කරගත් කෙනෙකු බවටත් පත් වේ. මෙතෙක් කලක් ”සං”සාරයි ලෙස දුටු පුද්ගලයා දැන් ”සං” පිළිබඳව යථාභූතඥාණ දර්ශනයක් ලබා ගැනීමෙන් තමා තමන් තුළම අලුත් පරිවර්තනයක් ඇති කර ගැනීමටත්් ක‍්‍රියා කරයි. මෙය අරිය සත්‍යයන් අවබෝධ වීමයි.

මේ නව දැක්ම නිසා පරිවර්තනය නිසා සිදු වන්නේ සංසාරයෙන් මිදී නිදහස් වීමේ ක‍්‍රියා මාර්ගයට යොමු වීමයි. මේ නිවැරදි මඟ දැකීම ”දස්සනේන සම්පන්නෝ” ලෙස, කරණීයමෙත්ත සූත‍්‍රයේත්, සබ්බාසව සූත‍්‍රයේත් ඉතාම පැහැදිළිවම ප‍්‍රකාශ කර වදාළ ”සං” දැක ගැනීමයි. ”සං” වලින් මිදී නිදහස් වන මාර්ගය දැකීමයි. ”සම්පන්නෝ’’ යනු ”සං” ප‍්‍රහාණය කරන මඟට පැමිණීමයි. මඟට පත්වීමයි. බුදුපියාණන්වහන්සේ් පිරිණිවන් පෑමට පෙර අවසාන වශයෙන් භික්ෂූන්ට දුන් අවවාදයත් ”අප්පමාදේන සම්පාදේත” යන උපදේශයයි. මෙහි ”සම්පාදේත” යනු ”සං” ප‍්‍රහාණය කරන මඟ අසා දැන, ”සං”ප‍්‍රහාණය කරන මාර්ගයට පත්වී, නිවන් සුවයට පත් වීමයි. නිවන සඳහා එකම නිවැරදි මඟ ”සං” දැන ”සං” දැක ”සං” ප‍්‍රහාණය කර සම්මා වීම මිස වෙනත් කිසිවක් නොවන බව අවධාරණයෙන්ම බුදුපියාණන් මෙහි දී ප‍්‍රකාශ කර වදාළහ.

මේ ආකාරයට ”සං” පිළිබඳව දේශණා කර වදාළ බුදුපියාණන් වහන්සේ ”සංපාදේත” යන තත්ත්වයට පත්වීම සඳහා පියවර තුනක්ම සම්පූර්ණ කරගත යුතු බව පෙන්වා වදාළහ. මේ පියවර තුන ත‍්‍රිශික්ඛා ලෙස හැඳින්වේ. අධි සීල, අධි චිත්ත, අධි පඤ්ඤා යනුද මේ පියවර තුනයි. ”සංවර, සංසිඳවීම, සම්මා” මේ පියවර තුනයි.

”සං” තේරුම් ගත් කෙනෙකුටම මිස සංවර සීලයේ පිහිටා කටයුතු කළ නොහැකියි. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේ බුදුපියාණන්වහන්සේම ජානුස්සෝනි බ‍්‍රහ්මණයාට පෙන්වා වදාළේ පළමු ඥාණ පදය වන සංවර සීලයේ පිහිටීමට උපකාර වන කරුණුයි. ”වේරමණි සීලය” යනු එකකි, ”සංවර සීලය” යනු ඊට වඩා බොහෝම බලවත්, නිවනට උපකාර වන නිවැරදි මාර්ගයයි. සංවර සීලයේ පිහිටා කටයුතු කරන විට, චේතනා සීලය, ප‍්‍රහාණ සීලය, සංවර සීලය, වේරමණී සීලය හා අවිතික්කම යන පංච සීලයම කෙනකු තුළ පිහිටයි. වේරමණී සීලයෙන් සිදු වන්නේ වෙන්වීම පමණි.

සීලයෙන් සංවර වීම යනු තම තමන්ගේම ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හයෙන් ඇතුළට එකතු කරගන්නා රාග, ද්වේෂ, මෝහ ගති එකතු කිරීමේ ක‍්‍රියාවලියෙන් වැළකී සිටීමයි. එකතු කිරීම වාරණය කිරීමයි. එකතු කිරීමේ ක‍්‍රියාවලියෙන් වෙන්වීමයි. රාග, ද්වේෂ, මෝහ ගති එකතු කරන හැම කෙනෙක්ම ඒ ගති එකතු කරන්නේ, ඒ ගතිවල යම් වටිනාකමක්, යම් සාරවත් බවක් ඇති යැයි දකින දැක්ම නිසාමයි. ඒ නිසා නිවැරදිවම ”සං” පිළිබඳව යථා තත්ත්වය, ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගත් කෙනෙකුට සංවර සීලයේ පිහිටා කටයුතු කර රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත ධම්මානුධම්ම ප‍්‍රතිපදාව අනුගමනය කළ නොහැකියි. මේ ගැන නිවැරදි දැනීමක් හා දැකීමක් ඇත්තේද නැත.

මේ අනුව සංවර සීලය නිවන් මාර්ගයේ පළමු වැනි හා වැදගත්ම පියවරයි. සංවර සීලය හා වේරමණි සීලය යනු එකම සීලයක් නොවේ. සීලයක් සමාදන් වීම හා සීලයේ පිහිටා ක‍්‍රියා කිරීමත් දෙයාකාර, දෙවිධියක ක‍්‍රියා මාර්ගයන් දෙකකි. ”යං සමාදානං තං වතං, සංවරට්ඨේ්න සීලං” යනුවෙන් බුදුපියාණන්වහන්සේම මේ දෙකෙහි වෙනස්කම් පැහැදිළි කර වදාළහ. යම් කිසි සමාදන් වීමක් සීලබ්බත පරාමාසයට මඟ පෙන්වන බවත්, තමන්ම සංවරත්වයට පත් වීමෙන් ”සීලබ්බත පරාමාස දෘෂ්ඨියෙන්” ද වෙන්වී සංවර බවට පත්වන බවත් මෙයින් පැහැදිළිවම පෙන්වා දී තිබේ.

”සං” යනු එකතු කිරීම හා රැස් කිරීමයි. සංවරත්වයට පත්වීම, සංවර සීලයේ පිහිටීම යනු”සං” එකතු කිරීම නවත්වා දැමීමයි. මෙසේ එකතු කිරීම නවත්වන්නේ, වාරණය කරන්නේ රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්මයන් එකතු කිරීමෙන් වැළකීමට යි. බුදුපියාණන්වහන්සේ ලෝකයාට මේ ආකාරයට අලුතෙන්ම හඳුන්වා දුන් සීල ප‍්‍රතිපදාව, එතෙක් කාලයක් භාවිතයේ පැවැති වේරමණී සීලයට වඩා බලවත් එකකි. එය සංවර සීලය, දහසක් සංවර සීලය, ප‍්‍රත්‍ය ”සං” නිශි‍්‍රත සීලය, උපසම්පදා සීලය, කෝටියක් සංවර සීලය, අරිය කාන්ත සීලය යන උතුම් සීලයයි.

සීලය යනු ළය සිසිල් වීම යන අර්ථයයි. සංවර සීලය මිස එකොළොස් ගින්නකින් දැවෙන, තැවෙන ළය සිසිල් කිරීමට, ගින්න නිවා දැමීමට වෙනත් ක‍්‍රමයක් නැත. විඤ්ඤාණයේ අවශ්‍යතාව ගිනි ගන්නා දර ඇතුළට ගෙන, මේ ගිනි මැළය අවුළුවා ගෙන, ඒ දැවීමෙන්, තැවීමෙන් මතු කර ගන්නා ශක්තියෙන්, සංවේගයක් උපදවා ගෙන සංසාර ගමන යෑමයි. විඤ්ඤාණය නිතර සුන්දර දේම එකතු කරයි. මේ සුන්දර සියලු දේ නිසාම ගින්දර මතු වේ. රාගයෙන් ඇලෙන සියලු දේ සුන්දර දෙයක්ම වේ. ඒ නිසාම විඤ්ඤාණයට ආහාර ලැබෙන්නේ ගින්දර ඇවිළෙන තාක් කාලයක් පමණි. ළය සිසිල් වීමත් සමඟම අලුතින් දර දැමීම නතර වී ගිනි මැළය බාල වේ. රාග, ද්වේෂ, මෝහ තුනම ගිනි මැළය අවුළුවන දරයි. ඒවාට සුන්+දර දේ යනුවෙන් හඳුන්වන්නේ ඒ හේතුවෙනි. සංවර වීමත් සමඟම කෙනෙක් සං + සුන් වේ. සංසුන් වීමට නම් කෙනෙක් සංවර විය යුතුමයි. සුන්දර දේ එකතු කර, රැස් කිරීම නතර කළවිට සංවර වන බව වැටහේ. හදවතේ ගිනිි ඇවිළීමට, දැවීමට මූලිකම හේතුව එකතු කර ගත් සුන්දර දේවල දර ඇවිළී, සුන් වී ”සං” බිහි වීමයි. දැන් පළමුවන පියවර වූ සංවරත්වයේ පිහිටා ක‍්‍රියාකරන විට ළය සිසිල් වී, ගිනිගොඬේ ඇවිළෙන වේගය අඩාල වේ.

සංවර සීලයෙන් හෝ කෝටියක් සංවර සීලයෙන් හෝ කෙනෙකුට කරගත හැකි වන්නේ අලුතෙන් ”සං” එකතු කිරීමෙන් වැළකී සිටීම පමණි. සංවර වූ මොහොතට පසුව මතුවන රාග, ද්වේෂ, මෝහ එකතු කිරීමෙන් වැළකී සිටීමයි. නමුත් අතීතයේ කවදා හෝ එකතු කර, රැස් කර දැනටමත් චිත්තසංථානයේ තැන්පත් කරගත්, ගබඩා වී අදටත් ක‍්‍රියාත්මකව පවතින ”සං” ඉවත් කිරීමේ, ප‍්‍රහාණය කිරීමේ ශක්තියක්, හැකියාවක් සංවර සීලයට පමණක්ම නොහැක. ඒ සඳහා දෙවන පියවරක් ක‍්‍රියාත්මක කළ යුතුයි. ඒ දෙවන පියවර සංසිඳවීමයි. සංවර නොවූයේ නම්, සංසිඳවීමක් කළ නොහැකියි. අලුතින් ගිනි ගොඩට දර එකතු කිරීම නැවැත්වීමෙන් පසුව, අතීතයේ එකතු කරගත්, දැනටත් ඇවිළෙමින් පවතින දර කොට ඉවත් කිරීමට හැකියාවක් ලැබේ. මේ අනුව සංසිඳවීම යනු අතීතයේ එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් චිත්තසංථානයෙන් ඉවත් කර ඒ ගති සිඳ දැමීමයි.

චිත්තසංථානයේ ගබඩා වී පවතින ”සං” අතර යහපත්, හොඳ ගති ලක්ෂණද තැන්පත් වී ඇත. ඒ හොඳ ගති නිවන් දකිනා මොහොත තෙක්ම උපකාර කරගත හැකි ඒවා වේ. සංසිඳවීමේදී සිදුවන්නේ් රාග, ද්වේෂ, මෝහ වැනි විඤ්ඤාණයට ආහාර සපයන සංසාර ගමනට ඉන්ධන සපයන කෙළෙස් ගති තෝරා, බේරා, පෙරා, මැන ඉවත් කර දැමීමත්, යහපත් ගති තෝරා, බේරා, ඉතිරි කර ගැනීමත් යන ක‍්‍රියාවලියක යෙදීමයි. එසේ නැතිව චිත්තසංථානයේ ගබඩා වී පවතින සියලුම හොඳ හා නරක ගති ගුණ සියල්ලම ප‍්‍රහාණය කර, අස්කර දමා ඉවත් කිරීම නොවේ. මේ සංසිඳීමේ ක‍්‍රියාවලියත් නිවැරදිවම තේරුම් ගෙන යථාවබෝධයෙන්ම කළයුතු ක‍්‍රියාවලියකි.

කළයුතු දේ හා නොකළ යුතු දේ යන ක‍්‍රියාවන් දෙකෙහි වෙනස්කම් තේරුම් නොගෙන, යහපත් හා අයහපත් යන ගති දෙකම ඉවත් කර, ප‍්‍රහාණය කර දැමීමෙන්, අසංඥ යන තත්ත්වයට පත්වන බවත් තේරුම් ගත යුතුයි. මේ නිවැරදි සංසිඳවීමේ ක‍්‍රමය විග‍්‍රහ වන්නේ අරිය භාවනා ක‍්‍රමයකම පමණිි. අනාර්ය භාවනා වලදී සිදු වන්නේ හොඳ, නරක දෙකම ඉවත් කර අසංඥ තත්ත්වයට පත්වීමයි. අනාර්ය, අරූපී ධ්‍යානවලට පත්වීම යනු මේ අසංඥ තත්ත්වයට පත්වීමයි. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයේදීත් මේ අරිය ධාන්‍යයන් පිළිබඳවත් පෙන්වා දී තිබේ.

සංසිඳවීම නැතිනම් පස්සදී යන ක‍්‍රියාව තේරුම් ගැනීමට උපමාවකින් පැහැදිළි කළ හැකියි. අපි තෙල් සිඳීම පිළිබඳව දනිමු. පෙර විසූ අපේ මව්වරු පොල් ගා, මිරිකා පොල් කිරි ලිපේ තබා පස්සයි. මෙතැනදී පොල් කිරිවල ඇති ජලය වාෂ්ප වී තවත් කොටසක් කල්ක ලෙස අඩියට මිදේ. තෙල් වූ කොටස පමණක් වෙන් කර, බේරාගෙන ප‍්‍රයෝජනයට ගනී. මේ අනුව තෙල් සිඳීම යනු ප‍්‍රයෝජනයට ගත නොහැකි කොටස් ඉවත් කර ප‍්‍රහාණය
කර හොඳ කොටස පමණක් ඉතිරි කර ප‍්‍රයෝජනයට ගැනීමයි. ඒ අයුරින්ම සංසිඳවීමෙන් සිදු වන්නේද අතීත කාලයක් තුළදී තමන්ම එකතු කර තම චිත්තසංථානයේම තැන්පත් කර තිබූ ගති වලින් රාග, ද්වේෂ, මෝහ යන අපිරිසිදු කළු ධර්ම කොටස් සිඳ, ඉවත් කර, අලෝභ, අදෝස, අමෝහ යන හොඳ කොටස් ඉතිරි කර ගැනීමයි.

සංදේශණාව පිළිබඳව ධර්මාවබෝධයක් ලබා ගත් ඔබට සංවර වීමටත් හැකියාවක්, ශක්තියක් ලැබී ඇත. ධර්මය අසා, ධර්මය මෙනෙහි කර, විපස්සනා නුවණ පහළ කර ගැනීමෙන්, පියවර දෙකක් ම සම්පූර්ණ කර ගැනීමත් සමඟම සංවර වී, සංසිඳී, සංසුන් වී, සංයමයට පත්වීම නිසා සම්මා දිට්ඨියේ පටන් සම්මා සමාධිය තෙක් ඇති සම්මා අංගයන් අටමත් සම්පූර්ණ කර ගැනීමටත් හැකියාව ලැබේ.

සංසිඳීමත් සමඟම කායේ කායානුපස්සනාවත්, වේදනා වේදනානුපස්සනාවත්, චිත්තේ චිත්තානුපස්සනාවත් සම්පූර්ණ වේ. සංසිඳීමේ ප‍්‍රතිඵලයක් ලෙස පස්සදියට පත් වේ. පටිසංවේදී බව නැති වීමත් සමඟම කාය සංඛාර, චිත්ත සංඛාර වලින් මෙතෙක් බැඳ තිබුණු ඉන්ද්‍රියයන් පිනවීමේ ක‍්‍රියාවලියෙන්ද ඉවත් වී, චිත්ත ප‍්‍රසාදයට, ප‍්‍රමෝදයට, විමෝචයට, මිදී නිදහස් වීමට සංසිඳීමට උපකාර වේ.

සංවර වීම, සංසිඳවීම කරගත් පසුව, දැන් චිත්තසංථානයේ අනාදිමත් කාලයක පටන් මුල් බැස ගෙන තිබූ සමහර ගතිවලට අදාළ ගති මුල් පමණක් ඉතිරිව පවතී. මේ රාග, ද්වේෂ, මෝහ ගති මුල් චිත්තසංථානයෙන් උදුරා නොදැම්මොත්, කවදා හෝ රාග, ද්වේෂ, මෝහ ගති යළිත් එකතු කර සංසාර ගමනට එකතු වීමට විඤ්ඤාණයට ශක්ති මූලයක් ඉතිරි වේ. ඒ නිසා රාග මුල – රාග භව උදුරා දමා, චිත්තසංථානය සහමුළින්ම ශුද්ධ පවිත‍්‍ර කර, නැවත කවම කවදාවත් මේ ගති මතු නොවන්නට, ”නිර් උදා” කරන්නට ක‍්‍රියා කළ හැකි වන්නේ අරිය සම්මා අංගයන් සම්පූර්ණ කර ගැනීමෙන්ම පමණි. මෙය ”නිරෝධගාමී පටිපදාව” සම්පූර්ණ කිරීමයි.

මෙතැන දී ”සම්මා” යනුවෙන් අදහස් කෙළේ අද භාවිතයේ පවතින හොඳ, යහපත්, නිවැරදි තත්ත්වයකට පත්වීම සඳහා ක‍්‍රියා කිරීම පමණක්ම නොවේ. රාග, ද්වේෂ, මෝහ ගති මුල් ඉවත් කිරීමත් සමඟම, හොඳ, යහපත්, නිවැරදි, ලෞකික සම්මා අංගවලටත් පත් විය හැකිය. නමුත් තමන්ම එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ ගති වලින්ම මිදී නිදහස් වන්නට නම්, ඒ ගති මුලින්ම උදුරා දමා සහමුළින්ම නිදහස් විය යුතුයි. එය අරිය අෂ්ටාංගික මාර්ගය වූ ලෝකෝත්තර සම්මා අංග අටයි. ලෝකෝත්තර සම්මා අංගයන් අටත්, සම්මා ඥාණ, සම්මා විමුක්ති, යන අංග දෙකත් සම්පූර්ණ කර ගැනීමට නම් කුණු මුල් ගළවා ඉවත් කිරීම සඳහා තමන්ම ක‍්‍රියාකළ යුතුයි. ”සං” දැක ගත් කෙනෙකුට ලෝකෝත්තර සම්මා දිට්ඨිය නිවැරදිවම අවබෝධ කරගත් කෙනෙකුට මෙය පහසුවෙන්ම කරගත හැකි වේ. අතීතයේ එකතු කරගත් ”සං” ගති වලින් සම්පූර්ණයෙන්ම මිදී නිදහස් විය යුතු බව දැකීම, අරිය සම්මා දට්ඨියයි.

මෙතැනදී ද සරළ උදාහරණයකින් මෙම ක‍්‍රියාවලිය විග‍්‍රහ කර පෙන්වා දිය යුතුයි. රාග, ද්වේෂ, මෝහ නැමති දර එකතු කර, අවුළුවා, පවත්වාගෙන යන එකොළොස් ගින්නකින් යුත් සංසාර ගමන ගැනම සිතන්න. ගින්න නිවීමේ පළමු පියවර වන්නේ සංවර වී ඉන්ද්‍රියයන් හයමත් සංවර කර, අලුතින් දර එකතු කිරීමත් නවතා දමා ගිනි ගොඩ මෙල්ල කරගැනීමයි. දෙවනුව අතීතයේ එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ ගති ඉතිරි කොටසක්ද සංසිඳවීමෙන් ඉවත් කර දමා, ගිනි ගොඩ සහමුළින්ම නිවා ගැනීමයි. ගිනිගොඩ නිවී ගියද අළු තට්ටුව යට තවමත් ගිනි අඟුරු ඉතිරි වී පවතී. මේ ගිනි අඟුරු බාහිර වශයෙන් දැක ගැනීමත් පහසු කාර්යයක් නොවේ. එමෙන්ම රාග, ද්වේෂ, මෝහ යටපත් වුවද මෝහ මුල් තවමත් චිත්තසංථානයේ ජීවමානවම පවතී.

ගිනි ගොඬේ අළුයට නොනිවී පවතින ගිනි අඟුරු මතු කර, නිවා දමන්නාක් මෙන්, චිත්තසංථානයේ ගබඩා වී පවතින, මෝහ ගතියෙහි මුල් ද ඉවත් කර, ප‍්‍රහාණය කර දැමිය යුතුම වේ. මෝහ මුල් චිත්තසංථානයේ ඉතිරිව පවත්නා තාක් කල් නැවතත් රාග, ද්වේෂ ගතිගුණ එකතු වී, නැවතත් එකතු කිරීමේ සංසාර ගතියට, ක‍්‍රියාවලියට, හේතුඵල පරම්පරාවට බැඳීමත් සිදු වේ. මෙය ගිනි ගොඬේ ගිනි අඟුරු ඉතිරිව පවතින තාක් කල් නැවතත් දර එකතු කර, ගිනි ගොඩ අවුළුවා ගැනීමට හැකි වීම හා සමාන වේ.

මෙහිදී පෙන්වූ උදාහරණයේ කී පරිදි මතුපිටින් දකින්නට නැති, නොපෙනෙන, අළු යට සැඟවී ඇති ගිනි අඟුරු නිවා දැමීම පහසුවෙන් කළ නොහැකිවාක් මෙන්ම, චිත්තසංථානයේ ගබඩා වී ඇති මෝහ මුල් සීලයෙන් හෝ සමාධියෙන් හෝ ප‍්‍රහාණය කර අස්කර දමා නිදහස් විය නොහැකියි. ඒ නිසා සංවර වීම හෝ සංසිඳවීම හෝ යන ක‍්‍රියා දෙක මගින් මෝහ මුල් ගලවා, භව උදුරා දමා, බු-උද්ධ තත්ත්වයට පත්වීමට නම් ලෝකෝත්තර සම්මා අංගයන්ම යථා පරිදි දැන, තේරුම් ගෙන භාවිතා කළ යුතුම වේ.

සම්මා යන පදයෙන් විග‍්‍රහ කර, මතු කර පෙන්වා දුන් ධර්ම අර්ථය නම් ”සං” වලින් පූර්ණ ලෙස මිදී නිදහස් වීමය යන අදහසයි. ගෝතම බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන ලෝකයාට දේශණා කර වදාළ මේ ධර්ම අර්ථය එතෙක් ලෝකයා අසා දැන සිටි එකක් ද නොවේ. ”මා” යන පදයේ තේරුම මිදී නිදහස් වීම යන අදහස වේ. ”සං” යනු එකතු කර, රැස් කරගත් ගති යන අදහසයි. රාග ගතිය, ද්වේෂ ගතිය, මෝහ ගතිය ”සං” ලෙස විග‍්‍රහ වේ. ඒවා එකතු කරගත් ගති වේ. ඒ ගති මුල් උදුරා දැමීම සම්මා යන පදයේ ලෝකෝත්තර අර්ථයයි.

ලොව්තුරා බුදුපියාණන්වහන්සේ කෙනෙක් ලෝකයේ පහළ වී බුද්ධත්වයට පත්වීමෙන් පසුවම පමණක් මේ තිපරිවට්ටයම දේශණා කර, පැහැදිළි කර ලෝකයට ප‍්‍රකාශ කිරීම සිදු කරනු ලබයි. අනික් කාලවලදී තිපරිවට්ටය භාවිතයෙන් ඉවත් වී, අභාවයට යයි. ගෝතම බුදුපියාණන්වහන්සේ එදා තමන්ම සොයා දැන, ලෝකයාට දේශණා කර වදාළ පටිච්චසමුප්පාද ධර්මයේත් තිපරිවට්ටයක් ඇත. අරිය අෂ්ටාංගික මාර්ගයේත් සීල, සමාධි, ප‍්‍රඥා යන ත‍්‍රිශික්ෂාවටමත් අදාළවත් තිපරිවට්ටයක්ම දේශණා කළහ. පසුගිය වසර දහසක් පමණ වූ කාලයක් තුළ තිපරිවට්ටය යටපත් වී, අභාවයට ගොස් නිවන් මඟ වැසී ගිය බව කවුරුත් සිහිපත් කරගත යුතුයි. අද නැවතත් සියලුම ධර්ම කරුණු වලට අදාළව බුද්ධ දේශණාවේ එන තිපරිවට්ටයම විග‍්‍රහ කර ලෝකයාට පැහැදිළි කර දීමට හැකියාව හා ශක්තිය ඇති උත්තමයින් ජීවත් වන නිසා නිවන් මාර්ගයද, අරිය මාර්ගයද දැන් ලෝකයාට විවෘත වී පවතී.

සංවට්ට, පරිවට්ට, විවට්ට යනු එම වට්ට තුනයි. සීලයේ තිපරිවට්ටයත් ඉතාම කෙටියෙන් පැහැදිළි කර ගත යුතු වේ.

1. පාණාති පාතා හෝති, අදින්නා දානා හෝති, කාමේසු ම්චිඡචාරා හෝති, මුසාවාදා හෝති, සුරා මේරය මජ්ජපමාදට්ඨායි හෝති යනු මිච්ඡ සීලයයි.

2. පණාතිපාතාවේරමණී, අදින්නාදානාවේරමණි, කාමේසු මිච්ඡුාචාරාවේරමණී, සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී යනු ලෞකික සීලයයි.

3. පණාති පාතං පහාය පාණාතිපාතා පටිවිරතෝ හෝති අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝ හෝති අබ‍්‍රහ්මචරියං පහාය බ‍්‍රහ්මචාරී හෝති සුරාමේරය මජ්ජපමා දට්ඨානං පහාය මජ්ජපමා දට්ඨානං පටිවිරතෝ හෝති.

මේ අරිය සංවර සීලයයි. ප‍්‍රත්‍ය සංනිශ‍්‍රිත සීලයයි.

සමාධියේ තිපරිවට්ටයද මෙසේ ම පෙන්වා දිය හැකි වේ.

1. මිච්ඡ සමාධි
2. ලෞකික සමාධි – අනරිය සමාධි
3. ලෝකෝත්තර සමාධි – අරිය සමාධි

අරිය අෂ්ටාංගික මාර්ගයේත් තිපරිවට්ටයක්ම විග‍්‍රහ වේ.

1. මිථ්‍යා අෂ්ටාංගික මාර්ගය
2. ලෞකික අෂ්ටාංගික මාර්ගය
3. ලෝකෝත්තර අෂ්ටාංගික මාර්ගය

මේ හැම අවස්ථාවකදීම තිපරිවට්ටයම යථා පරිදි අවබෝධ කරගැනීමට උපකාර වන්නේ, ”සං” දේශණාවෙන් විග‍්‍රහ කර පෙන්වා වදාළ ”සං” පිළිබඳව යථා පරිදි ඥාණ පද හතරම පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබාගත් කෙනෙකුටම පමණි, වෙන කෙනෙකුට නිවන පිළිබඳව අවබෝධය ලැබීමක් ගැන අද සිතන්නටවත් නොහැකි වේ. ඒ සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිවිධ ශික්ෂාවෙහි තිපරිවට්ටය භාවිතයෙන් යටපත් වී යාමයි.

සමාධියත්, ධ්‍යානයත්, සමාපත්තියත් යනු අවස්ථා තුනකි. යම් අරමුණක් කෙරෙහි හිත එකඟ කර කෙනෙකුට මොහොතකට හෝ සමාධි ගත විය හැකියි. හැම කෙනෙකුටම මෙවන් සමාධියකට පත් වී, සුළු කාලයක් සිත එකඟ කර, සිත තැන්පත් කරගත හැකිය. නමුත් සමාපත්තිය යනු ”සං” වලින් මිදුණු, කෙළෙස් එකතු කිරීමෙන් තොරව, සිත ”සං” වලින් මිදී නිදහස් වූ තත්ත්වයෙන්ම යම් කාලයක් තුළ එක දිගට ම පවත්වා ගැනීමේ ශක්තියයි. සමාපත්තියකට පත්වීමට හැකියාව ඇත්තේ අරිය උත්තමයකුට පමණි. සෝවාන් මාර්ග ඵලයට පත් වූ අරිය උත්තමයාට සෝවාන් ඵල සමාපත්තියට සමවැදී සුළු කාලයක් ගත කළ හැකි වේ. මඟඵල සමාපත්තිය, අරහත් ඵල සමාපත්තිය, ආනන්තරික ඵල සමාපත්තිය, සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය, මහා කරුණා සමාපත්තිය, වැනි සියලුම සමාපත්තීන්ට සම වැදීමට හැකියාව, ශක්තිය ඇත්තේ ”සං” තේරුම්ගත් අරිය උත්තමයින්ට පමණි.

ධ්‍යාන යනු මීට වඩා වෙනස් එකකි. රාග, ද්වේෂ, මෝහ ගති තාවකාලිකව දවා හැර, කෙළෙස් යටපත් කර, ඒ ගති තාවකාලිකව අත්හැරීම ධ්‍යානය ලැබීමයි. සමාධි ගතවීමෙන් පසුව ලබාගත් ධ්‍යානයකටද සම වැදී, ධ්‍යාන සුවය විඳීමේ හැකියාවක් තිබේ. ධ්‍යාන සුවය යනු ලෞකිකත්වය තුළින්ම ලබාගත හැකි අති බලවත් සුවයක් මිස ලෝකෝත්තර නිවන් සුවය නම් නොවේ.

බුදුපියාණන් විසින් දේශණා කර වදාරණ ලද පවිත‍්‍ර බුද්ධ ධර්මයේ සෑම තැනකම ”සං” යන පදය විවිධාකාරයෙන් භාවිතා කර ඇත. ඒ යුගයේදී ධර්මය පිළිබඳව තේරුමක් ඇති කාටත් ”සං”යනු කුමක්ද කුමන අර්ථයකින්ද යොදා ගත්තාද යන්න පහසුවෙන් ම වැටහුණු බව එදා භාවිත කළ බොහෝමයක් ධර්ම පාඨ වලින් අදටත් අපට විග‍්‍රහ කර පෙන්වා දිය හැකිය. එදා අස්සජී මහඅරහතුන්වහන්සේ උපතිස්ස පිරිවැජියාට, පසුව (සැරියුත් මහඅරහතුන්ට) දේශණා කර පෙන්වා දුන්නේ ”සං” පිළිබඳවම පමණි. එදා පැවැත් වූ දේශණාව සංදේශණාවකි. ”යේ ධම්මා හේතු පභවා තේ සං හේතු තථාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ ඒවං වාදී මහා සමනෝ”

පද හතරකට සාරාංශ කර පෙළ දහමේ මේ ආකාරයෙන් සටහන් කර තිබුණත් අස්සජී මහඅරහතුන්වහන්සේ උපතිස්ස පිරිවැජියාට කෙටියෙන් හෝ එදා සංදේශණාවක් පවත්වා තිබේ. හේතුඵල ධර්මයට අනුව ”සං” උපදින ආකාරය විස්තර කර දී, චිත්තසංථානයේ ගැබ්වෙන ”සං” නිරෝධ කරගැනීමට නිවැරදි මාර්ගය ද පෙන්නා දී, විස්තර කරන ලද්දේ, ඒ මහා ශ‍්‍රමණයන් වහන්සේ දේශණා කර පෙන්වා වදාරණ මුළු ධම්ම පරියායම ”සං” පිළිබඳව හා ”සං” නිරෝධ කිරීම පිළිබඳව විග‍්‍රහ කරන දේශණාවක් බවයි. මේ සංදේශණාව ශ‍්‍රවණය කිරීමෙන්ම උපතිස්ස පරිබ‍්‍රාජක තුමා එදා සෝවාන් මාර්ග ඵලයට පත් වෙන්නේත් ”තේ සං හේතුං තථාගතෝ ආහ තේ සං චයෝ නිරෝධෝ”

යන මේ ”සං” විග‍්‍රහය තේරුම් ගැනීම මුළු බුද්ධ ධර්මයත් තේරුම් ගැනීම හා සමාන වේ. අදටත් ප‍්‍රඥාවන්ත කෙනෙකුට මාර්ග ඵලයකට පත් වීමට ”සං” දේශණාව නියත වශයෙන්ම උපකාර වේ.

අද අර්ථ ධර්ම යටපත් වී යෑම නිසා ”සං” උත්පාද වන ආකාරය පෙන්වා වදාළ පටිච්චසමුප්පාද ධර්මයද යටපත් වී ඇත. අද පටිච්චසමුප්පාද ධර්මය යනු පදවැල් කිහිපයක් පමණි. එදා පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගත නොහැකිව එහි ඇතුළත් අර්ථ, ධර්ම, නිරුක්ති විග‍්‍රහ කර ගත නොහැකිව තිපරිවට්ටයම පෙන්වා දිය නොහැකි වූ බුද්ධඝෝෂ හාමුදුරුවෝ පටිච්චසමුප්පාද ධර්මය තේරුම් කිරීමට උත්සාහ ගෙන අවසානයේ, බොහෝම වෙහෙසට පත් වී අසාර්ථක වූ බව ප‍්‍රකාශ කර ඇත. ”මේ පටිච්චසමුප්පාද ධර්මය නම් පරක් තෙරක් නැති මහ මුහුදක් වාගේයි, මම මේක තේරුම් කරගන්න ගිහිල්ල මහ මුහුදේ අතරමං වූ කෙනෙකු බවට ම පත් වුණා” යන්න බුද්ධඝෝෂ හාමුදුරුවෝ ම පවසා ඇත.

“අනේක ජාති සංසාරං සංදා,
විස්සං අනිබ්බි සං
ගහකාරකං ගවේ සං තෝ
දුක්ඛා ජාති පුනප්පුනං
ගහකාරක දිට්ඨෝසී
පුනගේ හං නකාහසී
සබ්බා තේ ඵාසුකා භග්ගා
ගහ කූටං විසං ඛිතං
විසංකාර ගතං චිත්තං
තණ්හානං ඛය මජ්ක්‍ධිගා”

අපේ ගෝතම බුදුපියාණන්වහන්සේ බුද්ධත්වයට පත් වී ප‍්‍රකාශ කර වදාළ උදාන පාඨයක් වශයෙන් මේ ප‍්‍රකාශය අද කවුරුත් හඳුන්වයි. මේ ගාථාවේ ”සං” යන පදය හත් අවස්ථාවකම භාවිතා වී තිබේ. මුල්ම පේළියේ විස්තර වන්නේ ‘‘එකතු කිරීම සාරයි යනුවෙන් නිගමනය කර අනේක විධ වූ ජාති, අනන්ත අප‍්‍රමාණ දේ් එකතු කර, හදාගත් මේ හේතුඵල පරම්පරාව සාරයි යනුවෙන් නිගමනය කර මේ ගමන යෑමයි. සංසාර මඟ යනු මෙයයි. ”සං” පිළිබඳව නිවැරදි ලෙසින් අසා තේරුම් ගෙන, ”සං” දැන ගැනීමෙන්් (සංදා) මේ එකතු කිරීමේ නියත ක‍්‍රියා කලාපය අවබෝධ කරගත් පසු ”සං” උපදවා ගැනීමෙන් වෙන් වී, (විස්සං) වැළකී, සංවර වී, සංසිඳවා, අලුතින් ”සං” බිහි කිරීමට උපකාර වූ මුල් ගළවා දමා (නිබ්බිසං), මේ (ගත) ගේ සාදන අයිතිකරුවා පිළිබඳවත් නිවැරදි අවබෝධයක් ලබා ගත් පසු, නැවත නැවතත් දුකට පත් වීමට මුල් වූ හේතුව (ජාති) උපත බවම තේරුම් ගෙන චතුරාර්ය සත්‍යයන්ම අවබෝධ කරගැනීමෙන් සියලු ආකාර වූ සංඛාර පැවැත්වීමෙන් තොර වී, (විසංඛාර ගතං චිත්තං), පංචස්කන්ධය එකතු කරමින් ගෙයක් නිර්මාණය කිරීමේ ක‍්‍රියාවලියෙන්ද වෙන් වී (ගහකූටං විසං ඛිතං) ඛීණා ජාති යන උතුම් අරහත් තත්ත්වයට පත්වන්නට උපකාර වූ තණ්හාවෙන් හා මදයෙන් මිදී නිදහස් වුණෙමි’’ යන්න ඉහත ගාථාවල අර්ථය වේ. මෙහිදීද සංදේශණාව විග‍්‍රහ කර ඇත.

මේ අනුව ”සං” දේශණාව තේරුම් ගත් කෙනෙකුට මේ ගාථාවෙන් නිවන් දැකීමට උපකාර වූ නිවැරදි මඟ පෙන්වා දීමක් කර ඇති බවත් තේරුම් ගත හැකියි. ”සං” තේරුම් නොගත් කෙනෙක් සංසාරේ අතරමං වීම හැර වෙනත් මඟක් හෝ ගැළවීමක් හෝ නොදකී. මේ හේතුව නිසා අතීත සංසාරයක් අර්ථ දක්වා ඇත. තිරිසං සතුන් යනුවෙන් අපි සත්ත්ව කොට්ඨාශයක් නම් කරමු. තිරිසං යන්නෙහි ”සං” කොටස් තුනම එනම් රාග, ද්වේෂ, මෝහ කොටස් තුනම ක‍්‍රියාත්මක වේ. එවැනි උපතක් බුද්ධ භාෂිතයේ තිරිසං ලෙස නම් කර විග‍්‍රහ කර ඇත. ද්වේෂය යන දෙවන කොටසෙන් වෙන් වූ අය දෙවියන් ලෙස සැළකේ. (ද්+වි) ”ද්” යනු ද්වේෂය, ”වි” යනු වෙන්වූ යන අර්ථයයි. දෙවියන්ට රාගය හා මෝහය කොටස් දෙක පමණක් ඇත. ද්වේෂයෙන් වෙන් වූ නිසා දෙවි බවට පත් විය. බ‍්‍රහ්මයින් රාග, ද්වේෂ කොටස් දෙකෙන්ම වෙන් වූ අයයි. නමුත් මෝහයේ මුල් තවමත් පවතී. රාග, ද්වේෂ, මෝහ සහමුළින්ම සිඳ දැමූ, මුල් ගළවා දැමූ උත්තමයා භව උදුරා දැමූ (භව – උද්ධ) බුද්ධ තත්ත්වයට පත් වූ මුණිවරයායි.

ත‍්‍රිපිටක ධර්මයේ සඳහන් බොහෝමයක් වැදගත් සූත‍්‍ර ධර්මයන් සියල්ලෙහිම සංදේශණාව සම්පූර්ණයෙන්ම හෝ ”සං” විග‍්‍රහයට අදාළ වූ කොටස් හෝ දේශණා කළ දේශණාවෝයි. මුළු සංයුක්ත නිකායේම විග‍්‍රහ වන්නේ ”සං” උක්ත වන ආකාරයයි. එනම් හේතුඵල පරම්පරාවක් දිගින් දිගටම පවත්වා ගෙන යෑමට උපකාර වන එකතු කිරීමේ, රැස් කිරීමේ, උපාදානය කර ගැනීමේ ක‍්‍රියාවලියත්, සංවර වී, සංසිඳවා, සම්මා තත්ත්වයට පත් වීමට උපකාර කරගත හැකි උපදේශය එනම්, ”සං” උක්තවීම පිළිබඳවත්ය.

මෙතෙක් කාලයක් තුළ ”සං” යන පදයේ අර්ථ, ධර්ම, නිරුක්ති හා පටිභාන ධර්මයන් යටපත් වී වැසී තිබුණද අද වන විට මේ සියලුම ධර්ම කරුණු පිළිබඳව යථා පරිදි දේශණා කර සංදේශණාවක් කිරීමට හැකි වීම ”පුබ්බේ අනනුස්සුතේසු ධම්මේ ” යනුවෙන් බුදුපියාණන් දේශණා කර පෙන් වූ ධර්මතාවය ම නැවතත් මතුවීමකි.

මේ අනුව සෑම කෙනෙක්ම සංසාරය යනු කුමක්ද? සංඛාර කිරීම යනු කුමක්ද? සංතෝෂ වීම, සම්බන්ධ වීම ලෙස අප කරන ක‍්‍රියාවල තේරුම කුමක්ද? සංතාපයට, සංවේගයට, සංවේදනාවට දුකට හේතුව කුමක්ද? යන මූලික කරුණු තේරුම් ගැනීමෙන් අප අපම එකතු කර ගත්, රැස් කර ගත්, උපාදානය කර ගත්ත දේ මිස වෙන අර්ථයක්, හරයක් ඇති දෙයක් ජීවත් වීමෙහි නැති බව තේරුම් ගත හැකි වේ.

කවුරුනුත් අසා ඇති ”සං” යන පදය බහුල වශයෙන් ඇතුළත් ගාථා තුනක් පහත දැක්වේ.

”සං සාර සාරෝඝ විනීත නී සං
සං නීත සාතං සුචිසාර ධී සං
සං ධීර කං සොණ්ණ තනූපලා සං
සං ලාප දේසීං පණ මෙභිසා සං

සං සාභිගං කේවල මොහ නා සං
සං නාහකං මාර රණෙ විසේ සං
සං සේවිතං දාසි මුදාර හා සං
සං හාර ධම්මං පණ මෙ සදා සං

සං දාසගං නා සිත පාප නා සං
සං නාප ධංසිං හතඝොර පා සං
සං පාර ගාමිං සුචිසාර වා සං
සං වාර සංඝං පණ මෙ රසා සං”

දුටුගැමුණු මහ රජතුමා එදා ස්වර්ණමාලී මහ සෑ රඳුන් ගොඩ නඟන අවස්ථාවේ, මෙහි සඳහන් ගාථා තුන රන්පතක ලියා චෛත්‍යරාජයාගේ ගර්භයෙහි නිදන් කළ බව ප‍්‍රකට කරුණකි. ඒසේම දළදා සමිඳුන් අතීතයේ වැඩ සිටි සෑම දළදා මාලිගාවකමත් මෙම ගාථා තුන සටහන් කර ලියා තිබූ බවද පෙනේ. අදද මහනුවර දළදා මාළිගාවේ මේ ගාථාතුන ම ලියා දක්වා ඇත.

නිවන් දැකීමට උපකාර වන නිවැරදි බුද්ධ ධර්මය භාවිතා කළ මුල්ම අනුරාධපුර යුගයේදී, සංදේශණාව හා ”සං” විග‍්‍රහය කාටත් තේරුම් ගත හැකි පරිදි, සරළ බසින් ගාථා වලට නඟා කටපාඩම් කරගත් බවත්, එහි තේරුම දැන නිවනට උපකාර කරගත් බවත් මේ ගාථාවලින් පැහැදිළි වේ. චුල්ලහත්ථිපදෝපම සූත‍්‍රයෙන් බුදුපියාණන් දේශණා කර පෙන්වා වදාළ ”සං” ඥාණ පද හතර පදනම් කරගත් ”සං” දේශණාවම එදා මිහිඳු හිමියන්ද අනුරපුරවාසීන්ට මුළින්ම දේශණා කළේ, මෙහි ඇති වැදගත්කම නිසාමය. සංදේශණාවෙහි පෙන්වා වදාළ ”සංදෙස්සේති, සම්මාදපේති, සමුත්තේජේති, සංපහංසේති” යන ඥාණ පද හතර ආශ‍්‍රයෙන් ම කාටත් තේරුම්ගත හැකි පරිදි සකස් කරන ලද මෙම ගාථා තුනෙන්ද සංදේශණාවක් ම ඉදිරිපත් කර ඇත. මෙම ගාථා වල ”සං” යන පදය මල්මාලයකට අමුණා, පෙළ ගසා, සකස් කරන්නාක් මෙන් ”සං” යන පදය විසි හතර අවස්ථාවකදීම අර්ථ විසි හතරකින්ම භාවිතා කර ඇත. ”සං” යන පදයේ අර්ථය එකතු කිරීම, එකතු කර ගත් දේ, රැස් කිරීම, රැස් කරගත් දේ, උපාදානය කරගැනීම, උපාදානය කර ගත් දේ, අස් කිරීම මෙන්ම අස් කිරීමේ කි‍්‍රයාවලිය හා හිස් කිරීම, හිස් කිරීමෙන් ලබන නිවන් සුවයද පෙන්වා වදාළ ධර්ම විග‍්‍රහයකි. මෙම ගාථාවල එන ගැඹුරු අර්ථය පදපරම පුද්ගලයෙකුට පහසුවෙන් තේරුම් ගත නොහැකිය.

අදත් විවිධ සන්නිවේදන මාධ්‍යයන්ගෙන්, ගුවන් විදුලියෙන් දිනපතාම මෙම ගාථා ගායනයෙන් ඇසෙන ශබ්ද රසයක් විඳ ගන්නා නමුත්, එහි ඇති ධර්ම රසය, අර්ථ රසය හෝ නිරුක්තීන් දැන ඒවා ගායනා කරනවා යැයි කිව නොහැකියි. මේ ගාථා තුන නිවන් මඟට නිවැරදිවම පණ පිහිටුවා වදාළ උතුම් ”සං” දේශණාවකි.

මේ ගාථා තුනෙන් විග‍්‍රහ කර පෙන්වා දක්වා ඇත්තේ පිරිසිදු නිවන් මඟයි. නිවන් මඟට පණ පිහිටුවීමකි. කම්මල්කරුවකු ආයුධයක් පණ පොවා, මුවහත් කරන්නාක් මෙන් නිවන් මඟ පෙන්වා දීමක් මෙහි විස්තර කර ඇත. ඒ නිසාම මෙම ගාථා තුනෙන් ම අග පේළිවල දැක් වූ ”පණ” යනුවෙන් සටහන් කළ පදය කෙරේ අවධානය යොමු කළ යුතු වේ.

1. ”පණ” මේ භි සා සං
2. ”පණ” මේ සදා සං
3. ”පණ” මේ රසා සං

ධම්මචක්කපවත්වන දේශණාවේ සඳහන් ”පණ” පිහිටුවීමත් සමඟම මේ ”පණ” පිහිටු වීමත් සසඳා බැලිය යුතුයි.

1. ඉදං ඛෝ ”පණ” භික්ඛවේ දුක්ඛං අරිය සච්චං
2. ඉදං ඛෝ ”පණ” භික්ඛවේ දුක්ඛ සමුදයං අරිය සච්චං
3. ඉදං ඛෝ ”පණ” භික්ඛවේ දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා අරිය සච්චං

ආදී වශයෙන් එහිදී කරන ලද නිවන් මඟ පණ පිහිටු වීම එදා මෙන්ම අදටත් තේරුම් ගෙන ”සං” දේශණාව තුළින් ම නිවන් අවබෝධ කරගත හැකි බව කාටත් තේරුම් ගත හැකියි. මෙම ගාථා තුනෙහි සාරාංශය වශයෙන් ගත් කළ පළමු ගාථාවෙන් ප‍්‍රකාශ වන්නේ, භව උදුරා දමන්නට උපකාර වන ”පණ මේභි සා සං” යන බුද්ධ ගුණයත්, දෙවන ගාථාවෙන් ”සංසාර ධම්මං” යන පටිච්චසමුප්පාද ධර්මයේ ධම්ම ගුණය ප‍්‍රකාශ කිරීමත්, තුන්වන ගාථාවෙන් ”සං” ගසා බිඳ හැර, සංඝ තත්ත්වයට පණ පිහිටුවා, අරහත් තත්ත්වයට පත්වන්නට උපකාර වන සංවර ගුණයත් පෙන්වා දීමකි. මේ අනුව ”සං” දැන, ”සං” දැක සංවර වී, සංසිඳුවා, සම්මා තත්ත්වයට පත් වන්නට සියලු දෙනාම උත්සාහ ගත යුතුයි.

කුමන හෝ තත්ත්වයෙන් පෘථග්ජන සිතක් ක‍්‍රියාත්මක වන තුරාවට චිත්තසංථානයේ කර්ම බීජ රැස්වී පවත්නා නිසා සංසාර ගමනද නියතයි. ඒ ඒ පුද්ගලයා ම තම කැමැත්තෙන් යන මේ සංසාර ගමන නිමා කිරීමට බුදුපියාණන් සංදේශණාව ඉදිරිපත් කර වදාළහ. අද යටපත් වී ඇති සංදේස්සේති, සම්මාදපේති, සමුත්තේජේති සංපහන්සේති යන සංදේශණාවේ ඇතුළත් ඥාණ පද හතරම තේරුම් ගත් කෙනෙකුට බුද්ධ දේශණාවේ වදාළ ”සංවර, සංසිඳීම, සම්මා” යන ත‍්‍රිවිධ ශික්ෂාව දැන අනුගමනය කර, නිවන් සාක්ෂාත් කර ගත හැකි වේ. ඒ වෙනුවෙන් බුද්ධ දේශණාවෙන් ම කරුණු ගෙන හැර පාමින් කළ මේ ධර්ම විග‍්‍රහයේ ”සං” දේශණාව මෙයින් විග‍්‍රහ කෙරේ.

Share Button