ද්වතාවය

සෑම සංකල්පයකම, සෑම සංඛතයකම නියත වශයෙන්ම ද්වතාවයක්ද පවතී. ඇතිවීම, නැතිවීම මෙහි මුල වේ. ”ඇත නැත යනුද මෙයම අර්ථ දැක්වීමකි. සංඛතයක් යනු එකතු කර, සකස් කරගත් දෙයක් යන අදහසයි. සංකල්පනාවක් යනු කාලය පීරා, එකතු කර හිතින්ම සාදාගත් දෙයක් යන තේරුම වේ. අටලෝ දහමම සංඛතයක් වාගේම ද්වතාවයක් සහිත සංකල්ප හතරක අන්තයන් අටකි. මෙවන් ද්වතාවයක් බිහිවීමට මූලික හේතුව මීට පෙරද පෙන්වා දුන් පරිදිම ”මම” යන මධ්‍ය ලක්ෂ්‍යයක් ඇතිව, මමත්වයෙන් කටයුතු කිරීමයි. මම යන සංකල්පය මැද පිහිටුවා මැනීමෙන්, දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගනී, උපාදානය කර ගනී. එසේ නැතිනම් එක පැත්තක් මඟ හැර පැන දුවයි. සැප දුක, ලාභ අලාභ, රූපී අරූපී, මම වෙමි, මම නොවෙමි, අපි, අපේ නොවේ ආදී සියලූ සංකල්ප වලට හේතුව ද්වතාවයක් පැවතීමයි. මම මැද ඉන්නා තුරාවට ලෝක ව්‍යවහාරයේ පවතින හැම සංකල්පයකටම, සංඛතයකටම දෙපැත්තක් ඇත.

විඤ්ඤාණයෙන් කටයුතු කරන හැම සත්ත්වයෙක්ම, පුද්ගලයෙක්ම නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ මේ දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගැනීමටයි. එක පැත්තක් කරා නිරන්තරයෙන්ම ගමන් කිරීමටයි. නමුත් ලෝක ධර්මතාවය, ඒ කිසිම දෙයක් එකම ආකාරයට දිගටම නොපැවතීමයි. ඒ හැම දෙයක්ම අන්‍යතාභාවයට පත්වීම නියත ධර්ම ස්වභාවය බව වටහා ගත යුතුයි.

නිරන්තරයෙන්ම රිය ගමනක යෙදෙන මේ සංසාර පැවැත්මේ එකම ආකාරයක පවතින, වෙනස් නොවන, විපරිණාමයට පත්නොවන, ගෙවී විනාශ වී නොයන, කිසිම දෙයක්, කිසිම තැනක්, කිසිම කෙනෙක්, කවදාවත්, කාටවත්, දැක ගැනීමට නොහැකි හේතුවත් ඒ හැම දෙයක්ම චිත්ත ශක්තියෙන් හදාගත්, හිතින්ම එකතු කර හදාගත්, සංඛතයන් වන නිසයි. චිත්ත ශක්තිය ගෙවී යාමත් සමඟම ඒ සියල්ල ද ගෙවී යයි.

නිවන, නිවීම යන නිදහස පමණක් සංඛතයක් නොවන එකම අසංඛත ධර්මයක් වේ. සිතින්ම හදා ගත්, එකතු කරගත් සියල්ලෙන්ම මිදී නිදහස් වීම නිවනයි. නිවනේ අල්ලා ගැනීමට හෝ අත් හැරීමට හෝ කිසිවක් නැත. පැවතීමට, ප‍්‍රතිෂ්ඨාපනයට, පිහිටු වීමට බිමක්ද නැත. එසේ නම් නිවන යනු තම සිතින්ම, චිත්ත ශක්තියෙන්ම තමන්ම එකතු කර හදා ගත් සියලූ සංඛතයන්ගෙන් පූර්ණ ලෙස මිදී නිදහස් වීමයි.

මේ නිසා සියලූ සංඛතවලට උරුම වූ මූලික ලක්ෂණ කිහිපයක් පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා ගැනීම නිවන් අවබෝධයට ඉමහත් රැකුලක් වනු ඇත.

හැම සංඛතයකටම ද්වතාවයක් පවතී යන්න පළමුවැනි ලක්ෂණයයි. බොහෝ විට එක පැත්තක් පමණක් හැම තැනකදීම ප‍්‍රකාශ වේ, අනිත් පැත්තත් විමසා, සොයා දැන, තේරුම් ගැනීම ද්වතාවය පිළිබඳ යථාවබෝධයක් ලැබීමයි. අත්ථකිලමතානුයෝගයත්, කාමසුඛල්ලිකානුයෝගයත් අන්ත දෙකකි. මෙය සමස්ත පැවැත්මේ ද්වතාවය පිළිබඳව බුදුපියාණන් පැහැදිළි කර දුන් බුද්ධ භාෂිතයයි. මේ අන්ත දෙකේම නිවනක් නොපවතී.

නිවනට, නිවීමට, නිදහස් වීමට නම් ”මජ්ක්‍ධිමා පටිපදාව” අනුගමනය කළ යුතු යැයි බුදුපියාණන් පැහැදිළිවම පෙන්වා වදාළහ. නමුත් ද්වතාවය තේරුම් නොගෙන නම් කිසිම කෙනෙකුට, කිසිමදාක මජ්ක්‍ධිමා ප‍්‍රතිපදාව යනු කුමක්ද යන්නත් නිවැරදිව තේරුම් ගත නොහැකි වේ. අද බොහෝ අය මජ්ක්‍ධිමා ප‍්‍රතිපදාව අනුගමනය කිරීමෙන් යම් කිසි ප‍්‍රතිපත්තියක්, මැද ප‍්‍රතිපත්තියක් අල්ලා ගැනීමට කටයුතු කරති. ඒ අල්ලා ගත් මැදත් මධ්‍යම ප‍්‍රතිපත්තියකි. සංඛතයකි. එය ද්වතාවයක් ඇති සංඛතයක්ද නැද්ද යන්න ප‍්‍රඥාවෙන් දැක ගැනීම අවශ්‍ය වේ. එයද සකස් කරගත් දෙයක් නම්, කෙස් ගහක හෝ දෙයක් ලෝකය තුළින් අල්ලා ගත් මැදක් නම් එතනද නිවනක් නොවේ. ඒ නිසා මජ්ක්‍ධිමා ප‍්‍රතිපදා යනුවෙන් බුදුපියාණන්වහන්සේ ප‍්‍රකාශ කළ වචනවලින් අදහස් කළේ කුමක්ද යන්න නිවැරදිව තේරුම් ගැනීමට ද්වතාවය තේරුම් ගැනීම අවශ්‍ය වේ. කෙස් ගහක හෝ යමක් ලෝකය තුළින් අල්ලා ගෙන නම් එතැන ද්වතාවයක් පවතී. එය සංඛතයකි. එතැන නිවනක් නැත. නිවන යනු දෙපැත්තම සම්පූර්ණ ලෙසින් අත් හැර, මැදිනුත් මිදී නිදහස් වීමයි. මජ්ක්‍ධිමා ප‍්‍රතිපදාව යනු මෙයයි.

ජීවි අජීවි, රූපී අරූපී සෑම සංඛතයකම ද්වතාවයක් පවතී. මේ ද්වතාවය, පුද්ගලයෙකුගේ, සත්ත්වයෙකුගේ සිතකම පවතී. විඤ්ඤාණ තත්ත්වයෙන් සිත ක‍්‍රියාත්මක වන තුරාවට සෑම දෙයකම ප‍්‍රිය අප‍්‍රිය යන ද්වතාවය විද්‍යාමාන වේ.

මම යන සංකල්පය මැද ලක්ෂය කොට ලෝකය මනින්නේ දෙපැත්තක් දකින නිසයි. ඒ ඉන් එක් පැත්තක් අල්ලා ගැනීමටයි. එක පැත්තකට ගමන් කිරීමටයි. මම වෙමි, මම නොවෙමි යනුවෙන් දෙපැත්තෙන් එක පැත්තකට සීමා මායිම් පනවා ඉවත් කරන්නේත්, අනෙක් පැත්ත අල්ලා ගන්නේත් මේ ධර්මතාවය නිසයි. ලෝභ අලෝභ, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ යන සියල්ලම මම වෙමි, මම නොවෙමි යන ද්වතා සංකල්පයට අනුවම තේරුම් ගත යුතු අන්ත දෙකක්ම විග‍්‍රහ කළ හැකි ධර්මතාවයන්ය. ද්වතාවය තේරුම් නොගත් අය බොහෝමයක් දෙනා අද්වේෂ, අලෝභ, අමෝහ යනු නිවනට උපකාර වන සංඛාර ලෙස නොදැනීම නිසාම තේරුම් කරති. නිවනට හේතු වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය යන එකතු කරගත් දේ ඛය කර, සළා හැර සම්පූර්ණ කිරීමයි. ලෝභ, අලෝභ ආදී දෙකම ඛය කර, සළා හැර, නිදහස් වීම නිවනයි. ද්වතාවය තුළින්ම මෙය නිවැරදිව දැක ගත යුතුයි.

විඤ්ඤාණ තත්ත්වයෙන් සිතක් ක‍්‍රියාත්මක වන තුරුම ලෝභ, අලෝභ, අතරේ හිත දුවයි. මේ දෙපැත්තෙන්ම පූර්ණ ලෙසින්ම නිදහස් වීමට නම් විඤ්ඤාණ තත්ත්වයෙන් ද හිත නිදහස් කර ගත යුතු වේ. විඤ්ඤාණ තත්ත්වයෙන් හිත නිදහස් වූ පසුව මඤ්ඤතාවයෙන්ද, මානයෙන්ද, මැනීමෙන්ද, මමත්වයෙන්ද සිත නිදහස් වී පිරිසිදු චිත්ත තත්ත්වයට සිත පත් වේ.

විඤ්ඤාණය නිරන්තරයෙන්ම උත්සාහ ගන්නේ දෙපැත්තෙන් එක පැත්තක් අල්ලා ගැනීමටයි. ප‍්‍රිය අප‍්‍රිය යන දෙපැත්තක් දකින තුරාවට ප‍්‍රිය පැත්තම අල්ලා ගැනීමට උත්සාහ ගනී. ප‍්‍රිය දේ සොයමින්, අප‍්‍රිය දේ ඉවත් කර, අප‍්‍රිය දෙයින් පළා යෑමට විඤ්ඤාණය හැම විටම උත්සාහ දරයි. නමුත් කිසිම දිනක ප‍්‍රිය දේ දිගටම ප‍්‍රිය ලෙසින්ම පවත්වා ගත නොහැකියි. කැමැත්ත පරිදි ප‍්‍රිය ආකාරයට දිගටම පවතින ලෝකයක් හෝ ධර්මතාවයක් නැත. ඊට හේතුව එය සංඛතයක් නිසාත්, ද්වතාවයක් අතර ගමන් කරන නිසාත්ය.

ද්වතාවයත්, ද්වතාවය අතර නිරන්තරවම සිදුවන ගමනත් නිසා ප‍්‍රිය මනාප අන්තය අල්ලා ගැනීමට විඤ්ඤාණය දරණ උත්සාහය සංසාර ගමනයි. මේ සියලූ තත්ත්වයන්, ගති ලක්ෂණයන්, සත්ත්වයකුගේ, පුද්ගලයෙකුගේ හිතකම පහළ වෙන දේ මිස, මේ පැවැත්මේ වෙන තේරුම් ගත නොහැකි අරුමයක්ද නැත. සිතින්ම රෝද ගැසීමත්, සිතින්ම දෙකෙළවර අතරේ ගමන් කිරීමත් ඉන් එක් කෙළවරක් අල්ලා ගැනීමට උත්සාහ ගැනීමත් නිසා තණ්හා ඇති වී, තැනක හා වී, උපාදානය කර ගැනීමත් මේ ආකාරයට සිතින්ම සිදු කරනු ලබයි.

සෑම සංඛතයකම ද්වතාවයක් පැවතීමත්, විඤ්ඤාණය ප‍්‍රිය මනාප කෙළවර අල්ලා ගැනීමට දරණ උත්සාහයත් නිසාම සෑම පෘථග්ජන සිතකම නිරන්තවම බලාපොරොත්තු බිහිවේ. එකතු කරගැනීමට යම් දෙයකුත් දකී. මේ ආකාරයෙන් සිතින්ම සකස් කරගත් ද්වතාවය නිසාම මාන, දිට්ඨි, අවිද්‍යා යන ලක්ෂණයන් තුනම විඤ්ඤාණයේ පහළ වේ.

සෑම සංඛතයකම ද්වතාවයක් දකින නිසාම නිරන්තරයෙන්ම දෙකෙළවර අතරේ කරන ගමන නිසාම අන්‍යතාභාවයට පත්වීම සිතක පහළවන තවත් ලක්ෂණයකි. අන්‍යතාභාවය යනු පැවති තත්ත්වයෙන් වෙනත් තත්ත්වයකට පත්වීමේ ස්වභාවයයි. පවතින තත්ත්වය ”තථ” බව ලෙසත්, ඒ තත්ත්වය ඊට වෙනස් තත්ත්වයකට පත්වීම අන්‍යතාභාවයට පත්වීම ලෙසත් බුද්ධ භාෂිතයේ පෙන්වා දී ඇත. තථ අන්‍යතා යනුද ද්වතාවයක්ම වේ.

සෑම සංඛතයක්ම සිතෙන්ම එකතු කර (සං) හදාගත් දෙයක් වන නිසාත්, විඤ්ඤාණයේ නිරතුරුවම වෙනස් තත්ත්වයකට පත්වීමේ ගති ලක්ෂණය නිසාත්, එසේ සිතින් හදා ගත් සංඛතයක් ගෙවී, විපරිණාමයට පත්වී, වෙනස් වන නිසාත් අන්‍යතාභාවයට පත්වීම සිදු වේ. මෙම සිත හා සංඛතය එකම ආකාරයට සමාන්තරව, එකම රටාවකට අන්‍යතාභාවයට පත්වීමද සිදු නොවේ. මේ හේතුව නිසාම මෙතරම් මිනිසුන් ජීවත්වන ලෝකයේ හැම අතින්ම එක හා සමාන මිනිස්සු දෙදෙනෙක් හෝ, සොයා ගැනීමට නොහැකි වීමට හේතුව මෙම ධර්මතාවය බව වටහා ගත යුතුයි. අන්‍යතාභාවයත් සමඟම තවත් නියත ධර්මතාවයක් පවතී. එය අනියතභාවයයි. අනියත යනු ස්ථිර ලෙසම, නියත ලෙසම පවතින දෙයක් නැත යන අර්ථය වේ. ලොව බිහි වූ සියලූ ම දේ, සියලූම අය, සියලූම තැන් සංඛත ලෙස සිතින්ම එකතු කර සාදා ගත් දේ නිසා ඒවායේ නියත ලක්ෂණය සදාකාලිකව නොපැවතී, විනාශ වී යන ලක්ෂණයයි. එය අනියතභාවයයි. අනිත්‍ය යනු මේ අනියත ස්වභාවය වේ.

අනිච්චතාවය යනුද ධර්මතාවයකි. ශබ්ද ස්වරයෙන් නම් අනිච්ච යන පදය අනිත්‍ය භව, අන්‍යතාභාවය යන පද අසලින්ම යන පදයකි. නමුත් අනිච්චතාවය යන පදය මීට වඩා හාත්පසින්ම වෙනත් අර්ථයක් දෙන පදයකි. මේ පදවල ද්වතාවය ගැන සළකා බැලූවිට හැර වෙන කිසිම ආකාරයකින් මේ පදවල ධර්ම අර්ථයේ වෙනස්කම් දැක ගැනීමත් පහසු නොවේ.

තථ අන්‍යතා, නියත අනියත, ඉච්ච අනිච්ච යන පදවල තේරුම සහ ද්වතාවය නිවැරදිව තේරුම් ගැනීමෙන් මේවායින් ත‍්‍රිලක්ඛණයට අයිති වන පද වෙන්කර තේරුම් බේරුම් කරගැනීමත් පහසු වේ.

”ඉච්ච” යනු කැමැත්තයි, බුද්ධ භාෂිතයේ ඉච්ච යන වචනය විවිධ තැන්වල නිතර භාවිතා කර ඇති වචනයකි. අප්ප+ඉච්ච (අප්පිච්ච), උද්ධ+ඉච්ච (උද්ධච්ච), කුක්කු+ඉච්ච (කුක්කුච්ච), අභි+ඉච්ච (අභිජ්ජා), අනිච්ච මේ හැම තැනකම ඉච්ච යනු කැමැත්තයි. අනිච්ච යනු කැමති සේ පැවැත්විය නොහැකි, කැමති පරිදි සිදු නොවන යන තේරුමයි. කැමැත්තට විරුද්ධව සිදුවන සියල්ල අනිච්ච වේ. කැමැත්ත පරිදි, කැමැත්තට එකඟව සිදුවන සියල්ලම ඉච්ච වේ.

සෑම සංඛතයකම නියත ලක්ෂණය වූ අන්‍යතාභාවයට පත්වීම නිසාම හැම විටම කෙනෙකු උත්සාහ ගන්නේ සංඛතයක එක කෙළවරක් අල්ලා ගැනීමටයි. සංඛතයක නියත ගති ලක්ෂණය තේරුම් නොගෙන ඒවායේ එල්ලීමට, ඒවා උපාදානය කර ගැනීමට දරණ උත්සාහය එසේ නැතිනම් සංඛතයක් කැමති පරිදි පැවැත්වීමට දරණ උත්සාහය කිසිම දවසක, කිසිම කෙනෙකුට, කිසිම විධියකින් තම කැමැත්තට අනුව පවත්වා ගැනීමට හැකියාවක් නැත. ඊට හේතුව, ඒ සියල්ලම චිත්ත ශක්තියෙන් සදාගත්, අන්‍යතාභාවයට පත්වෙන, විපරිණාමයට පත්වෙන සංඛත වීමයි. මේ අන්‍යතාභාවයට පත්වෙන යම් සංඛතයක්, තම කැමැත්තට විරුද්ධව වෙනස් වේ නම් ඒ සියල්ලම අනිච්චතාවය ලෙසින් ද පෙන්නුම් කළ හැකිය. නමුත් අන්‍යතාභාවයට හෝ අනියතභාවයට පත්වෙන සියලූම දේ දුකට හේතුවන දේ නොවේ. අන්‍යතාභාවයට පත්වීම නිසාත්, අනියතභාවයට පත්වීම නිසාත්, ඇතිවන ප‍්‍රතිඵලය ලෙසින් දුක සැප දෙකම අත්විඳින්නට හැකිකම ඇත. නමුත් නිච්ච යන පදයේ විරුද්ධ පැත්ත වූ අනිච්ච යන තත්ත්වය නිතරම කැමැත්තට විරුද්ධ යන අර්ථය දෙන නිසා එතැනදී දුක නියත වශයෙන්ම උරුම වේ. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ”අනිච්ච” යනු කැමැත්ත පරිදි නොවන යන තේරුම වේ.

Share Button

සුව අසුව දහසක් ධර්මස්කන්ධය

බුදුපියාණන් දේශණාකර වදාළ බුද්ධ ධර්මය සහමුළින්ම ද්වතාවයක් පෙන්වා වදාළ දහමකි. මේ විශ්වය තුළ විද්‍යාමාන වන සියලූම සංඛාර හා සංකල්පනාවන් චිත්ත ශක්තියකින්, විඤ්ඤාණ ශක්තියකින් සාදා සකස්කරගත් දේ නිසා ඒ සියලූ දේවලම දෙපැත්තක්ම ඇති බව බුදුපියාණන් පැහැදිළිවම දේශණාකර පෙන්වා වදාළහ. ලෝකයේ පවතින්නේ හරි හෝ වැරදි, හොඳ හෝ නරක, සැප හෝ දුක් ආදී වශයෙන් ද්වතාවයෙන් යුතු ධර්මයෝමයි. එක පැත්තක් හරි නිසා අනික් පැත්ත වැරදිය. හරි පැත්තක් පෙන්වා දෙන්නට නොහැකි නම් වැරදි පැත්තක්ද නැත. දවාලක් නැතිනම් රැයක්ද නැත. සංසාර ගමනක් නැතිනම් නිවනක් ද නැත. මෙය ඉතා සරළ ධර්මතාවයකි. මේ ද්වතාවයයි.

වරද, වැරැද්ද, වරදක් ලෙස පෙන්වාදීමත් එය නිවැරදිකර නිවැරදි මඟ පෙන්වාදීමත් බුදුපියාණන්වහන්සේ දේශණාකර පෙන්වා වදාළ සමස්ත ධර්මස්කන්ධයේම හරයයි. ප‍්‍රිය අප‍්‍රිය යැයි සෑම දේකම දෙපැත්තක් ඇත. ප‍්‍රිය දේ සොයා යෑම පෘථග්ජන පුද්ගලයින්ගේ නියත ස්වභාවයයි. අප‍්‍රිය දේ ඉවත් කර ඉන් වෙන්වී නිදහස් වීමට උත්සාහ දැරීමද පෘථග්ජන ගතියකි. මේ ආකාරයෙන් විශ්වයේ ඇති සෑම දේකම දෙපැත්තක්ම ඇති නිසා බුදුපියාණන් දේශණාකර වදාළ ධර්මයේද නිතරම දෙපැත්තක් ම පෙන්වා වදාළහ. මේ දෙපැත්ත නම් ද්වතාවය නම් සුව දේ හා අසුව දේයි. සුව අසුව දහසක් දේ පෙන්වා දීම මුළු බුද්ධ ධර්මයේම හරය ලෙසින් කැටිකර පෙන්වා වදාළ සේක.

මේ සුව අසුව දහසක් දේ පෙන්වා වදාළ උතුම් බුද්ධ ධර්මයට යම් සීමාවක් පනවා මෙහි ඇත්තේ 84000ක් පමණ වූ ධර්මස්කන්ධය යැයි පෙන්වා දීම අටුවා ආචාරීන් දැරූ අසාර්ථක උත්සාහයකි. බුදුපියාණන් දේශණා කළ ධර්මය පන්සාළිස් වසරක් මුළුල්ලේ දේශණා කළ සියලූම ධර්මය සුව අසුව දහසක් ධර්මය බව නම් සහතික ඇත්තය. නමුත් එය 84000ක් නම් නොවේ. එය කෝටි ප‍්‍රකෝටි ගණනක් වූ වචනවලින් දේශණාකර වදාළ අසීමිත ධර්ම කණ්ඩයන්ගෙන් සමන්විතය. එය අසුහාර දහසකට සීමා කිරීම බුද්ධ ධර්මයට කළ අපහාසයකි.

තරමක් හෝ විමසිලිමත්ව ත‍්‍රිපිටක ධර්මයේ එන ඕනෑම ධර්ම විග‍්‍රහයක් කියවන විට ඇත්තේ අනුපුබ්බ ශික්ෂා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ පටිපදා යන තුන් කොටසකට අයත් දේ බවත් ඒ හැමතැනකදීම පෙන්වා දී ඇත්තේ සුව අසුව යන ද්වතාවය බවත් ඔබට තේරුම්ගත හැකි වෙනු ඇත. මෙලෙස දෙපැත්තක් විග‍්‍රහ නොකළ දෙපැත්තක් පෙන්වා නොදුන් සුව අසුව දෙපැත්තම විග‍්‍රහ නොකළ දෙයක් ඇත්නම් එය නිවන පමණි. එහි පෙන්වා දුන්නේ එක පැත්තක් පමණි. එය අසංඛත ධර්යක් වූ එකම තත්ත්වය නිසයි.

පසු කාලෙක එකතු කර ලියා පළකළ හෝ වෙනස් කරන ලද හෝ බුද්ධ භාෂිතය යම් කෙනෙකුට සත්‍යවශයෙන්ම බුද්ධ භාෂිතයක්ද, එසේ නැතිනම් එය වෙනස් කර පසුව ලියූ එකක්දැයි පරික්‍ෂාකළ යුතු නම් එහි සුව අසුව දෙපැත්තම පෙන්වා ඇද්දැයි පරීක්‍ෂාකර බැලීමෙන් පමණක්ම එය සහතික කර දැන ගත හැකිය. සුව අසුව දෙපැත්තම පෙන්වා ඇත්නම් එය බුද්ධ භාෂිතයකි. එසේ සුව අසුව දෙපැත්තක් විග‍්‍රහ කර නැතිනම් එය පසුව එක් කරගත් සම්මතයකි. බුද්ධ භාෂිතයක් නොවන දෙයකි.

බුද්ධඝෝෂ ආචාරීන් අකුරු වචන ගණන් බලා ත‍්‍රිපිටකයෙහි අඩංගුව ඇත්තේ අසුහාර දහසකැයි ප‍්‍රකාශ කළේ ඔහුගේ නොදැනුවත්කම නිසා මිස ”පදපරම” නම් වූ පෘථග්ජන තත්ත්වය නිසා මිස වෙනත් කිසිවක් නිසා නොවේ.

සෑම සූත‍්‍රයකම, හැම ධර්ම පාඨයකම, අභිධර්ම පිටකයේ, විනය පිටකයේ පවා මේ සුව හා අසුව යන දෙපැත්තම මනාලෙස විග‍්‍රහ කර ඇත. අනුගමනය කළ යුතු පිළිවෙළ සුව දේ සුව ධර්මය ලෙසත්, අතහැරිය යුතු දේ අසුව අධර්මය ලෙසත් සෑම තැනකම පෙන්වා දී ඇත. හොඳ නරක, කළු සුදු, චාරිත‍්‍ර වාරිත‍්‍ර, සිරිත් විරිත්, මණසිකාර අමණසිකාර, මිත්‍යාදෘෂ්ඨි සම්මා දෘෂ්ඨි, සංඛත අසංඛත, කරණීය අකරණීය, ද්වේෂ අද්වේෂ, මෝහ අමෝහ, ලෝභ අලෝභ, අස්ස පස්ස, ලෝක අලෝක, විද්‍යා අවිද්‍යා, සෝක අසෝක, මර අමර, නිච්ච අනිච්ච, නාථ අනාථ ආදී වශයෙන් දහසක් කාරණාවල (අනන්ත අප‍්‍රමාණදේ) සුව අසුව දෙපැත්තම පෙන්වා වදාළ ධර්මය සුව අසුව දහසක් ධර්මය ලෙසින් බුදුපියාණන් වහන්සේම නම් කළහ. නිවන් සුවය විමුක්ති සුවය අරමුණු කරගෙන දේශණා කරණ ලද උතුම් සුවාසු දහසක් ධර්මස්කන්ධය ආගමික සංකල්ප වලට හරවා උතුම් බුද්ධ ධර්මය බුද්ධ ඇදහිල්ලක් බවට පත්කරන්නට ලියූ සමන්තපාසාදිකාව, විශුද්ධි මාර්ගය ආදී පොත් පෙළ ගුරුකොට එයම ගුරුතැන්හිලා සළකා ඊට පසුකාලීනව ලියූ බොහෝ දේ බෞද්ධ සාහිත්‍යය, බෞද්ධ සංස්කෘතිය මිස උතුම් බුද්ධ ධර්මය නොවන බවත් කවුරුත් ගැඹුරින් සිතා බලා තේරුම් ගැනීමට උත්සාහ ගත යුතුය.

Share Button

විඤ්ඤාන සිත හා අරහත් චිත්තය

බුද්ධ ධර්මය යනු ප‍්‍රධාන කොටම සිත පිළිබඳව කළ විග‍්‍රහයකි. හැම කෙනෙක්ම තම තමාගේ සිත පිළිබඳව අධ්‍යයනය කර ධර්මය තේරුම් ගන්නට උත්සාහ කළ යුතුයි.

1. මුළින්ම නිරවුල් ලෙසත්, පැහැදිළි ලෙසත් බුද්ධ දේශණාවෙන් පෙන්වා වදාළ චිත්ත විග‍්‍රහය කියවා හෝ අසා තේරුම් ගත යුතුය. මොහොතක් හෝ එකම ආකාරයකින් එකම ඉලක්කය කරා පවත්වාගත නොහැකි, පෘථග්ජන සිත, විඤ්ඤාණය, මොහොතින් මොහොත විවිධත්වයට පත්වී, විෂම තත්ත්වයට පත්වී රාග, ද්වේෂ, මෝහ සිතුවිලි අතර ගමන් කිරීමට හේතුව සොයා දැනගත යුතුය.

විඤ්ඤාණය එකතු කර ගන්නා, එකතුකර ගබඩා කර ගන්නා චිත්තජ ශක්ති (ජාති) කර්ම බීජ (භව) ආහාර කොට ගෙනම විඤ්ඤාණය ජීවත්වන බවත්, ඒ කර්ම බීජ ආහාර ලෙස විඤ්ඤාණයේම භාවිතයට ගන්නා බවත් තේරුම්ගත යුතුය.

2. සිතෙහි මෙම ස්වභාවය තේරුම් ගත් පසු, සිතෙහි ක‍්‍රියාකාරීත්වය නිරවුල්ව දැකගත් පසු තමා සිතන ආකාරය, සිතන විධිය ක‍්‍රමානුකූලව සකස් කරගෙන සිත විඤ්ඤාණ තත්ත්වයෙන් මුදවා ගන්නට, නිදහස් කරගන්නට සිතම පදම් කර සකස් කරගත යුතු ආකාරයද දැන ගෙන තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.

3. අවිද්‍යාවෙන්, මෝහයෙන්, තණ්හාවෙන් ක‍්‍රියාත්මක වන විඤ්ඤාණයේ කිළිටි වූ කැමැත්තට වහල් වී කටයුතු කිරීම දැක, විචිකිච්ඡුාවෙන් මිදී නිදහස් වීමට දැනගත යුතු කරුණු කාරණා තේරුම් ගත යුතුය.

4. චිත්තසංථානය යනු කුමක්දැයි තේරුම් ගත යුතුයි. කර්මජ කෝෂයේ, කර්ම බීජ තැම්පත් කරන ස්ථානය, ”සං” තැම්පත් කරගන්නා ස්ථානය යනාදී විවිධ වචන වලින් චිත්තසංථානය නම්කර ඇත. චිත්තසංථානයේ තැමිපත් වන සෑම කර්ම බීජයක්ම පැළවෙන ශක්තියෙන් යුතු, චිත්ත ශක්තියක් උපදවා ගත හැකි, සංකල්පනා මතුකර ගත හැකි එකක් බවත් තේරුම් ගත යුතුයි.

5. පෘථග්ජන තත්ත්වයෙන් ක‍්‍රියාකරන හැම සත්ත්වයෙක්ම, මිනිසෙක්ම, දෙවියෙක්ම විඤ්ඤාණය මගින් උපදවා, එකතු කර (සං), ගබඩාකරන කර්මජ බීජ, කර්මජ කෝෂයේ තැන්පත් වී, ගබඩා වී පවතින තුරාවට මතු උපතක් ලැබීමටද නියත වශයෙන්ම ඒවාම භාවිතා කරයි. විඤ්ඤාණ තත්ත්වයක් සිතේ නොපවතී නම් හෝ විඤ්ඤාණයෙන් එකතුකරගත් පැළවෙන ශක්තියෙන් යුතු කර්මජ බීජ, කර්මජ කෝෂයේ ගැබ් වී නැත්නම් හෝ ඒ සත්ත්වයාට මතු උපතක් ලබන්නට කිසිම ආකාරයක හේතු ද නැත.

6. අරහතුන් වහන්සේගේ සිත ඉතා පිරිසිදුය. විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී නිදහස් කරගත් සිතකි. ”සං” එකතු නොකරන ”සං” එකතු කර ගබඩා නොකරන, පැළවෙන තත්ත්වයේ කර්මජ බීජ වලින්ද පූර්ණ වශයෙන්ම තොර කරගත්, හිස් කරගත් කර්මජ කෝෂයක් සහිත චිත්තසංථානයේ ඇති තත්ත්වයයි. අරහතුන් වහන්සේ ද මිනිසෙකු ලෙස උපත ලැබුවේ විඤ්ඤාණ තත්ත්වයේම පැවති සිතකිනි. ඒ විඤ්ඤාණ සිතම ප‍්‍රයෝජනයට ගෙන, උපකාර කරගෙන ඒ විඤ්ඤාණ චිත්තයේ එකතුකරගත් ගබඩා වී පවතින කුණු දැක, ඒ කුණු සළාහැර ශුද්ධ පවිත‍්‍ර වී, අලුතෙන් කුණු එකතු කිරීමද (සං) සහමුළින්ම නවතා දමා නිදහස් වීමෙන් අරහත් තත්ත්වයට පත්විය. මේ අනුව අරහත් තත්ත්වයට පත් වූයේ ක‍්‍රියාවෙන්මය. ලෝකය රහ බැලීමේ ක‍්‍රියාදාමයෙන් වෙන් වීමෙන්ය.

අරහත් තත්ත්වයට පත් වූ සිතක මොනයම් හෝ ආකාරයක ලෞකික බලාපොරොත්තු නොඋපදියි. එය පිරුණු සිතකි. ලෝකය මැනබලා අඩුපාඩු එකතු කරන්නට හෝ ලෝකය රස බලන්නට හෝ රස විඳින්නට හෝ කිසිම අවශ්‍යතාවයක්, කැමැත්තක් නැත. සහමුළින්ම විඤ්ඤාණ තත්ත්වයෙන් චිත්ත තත්ත්වයට සිත මුදා නිදහස් කරගෙන ඇති නිසා විඤ්ඤාණ ආහාර හෝ සංචේතනා ආහාර හෝ ස්පර්ශ ආහාර හෝ සෙවීමේ අවශ්‍යතාවයක්ද නැත. මානයෙන්, මමත්වයෙන් මිදී ඇති නිසා සතුටුවන්නට හෝ සොම්නසට පත්වන්නට මෙන්ම දුකට පත්වන්නට හෝ දොම්නසට පත්වන්නටද නොහැකිය. කම්පාවන්නට හෝ උද්දාමයට පත්වන්නේද නැත.

අරහත් තත්ත්වයට පත්වූ සිතක කිසිම ආකාරයක දෘෂ්ඨිගත වීමක් නැත. සියලුම දෘෂ්ඨින්ගෙන් මිදී නිදහස් වී ඇති නිසා තවත් කෙනෙකු සමඟ වාද විවාද කර දිනාගන්න, ජයගන්න දෘෂ්ඨියක්ද නැත. තමන් තුළ දෘෂ්ඨියක් ගත් කෙනෙකු වාද විවාද කර, අනිකාගේ දෘෂ්ඨිය පරදවන්නත්, තමන්ගේ දෘෂ්ඨිය ජය ගන්නත් ක‍්‍රියා කරනු ලබයි. ඒ නිසාම බුද්ධ ධර්මයත් අතක්කාවචර දහමක් සේ බුදුපියාණන් පෙන්වා වදාළහ. තර්ක කර, වාදකර සපථ කිරීමට හෝ සනාථ කිරීමට හෝ අනාථ කිරීමට හෝ දෙයක්, දෘෂ්ඨියක් අරහතුන්වහන්සේ තුළ නැත. යම් කෙනෙකු සමඟ වාද විවාද කරන්නේ තමන්ගේ දෘෂ්ඨිය දිනවීමටයි. නිවැරදි බව ඔප්පු කිරීමටයි. බුද්ධ ධර්මය යථා පරිදි තේරුම් ගත් රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර අරහතුන් වහන්සේට දිනීමක් හෝ පැරදීමක් අවශ්‍ය නොවේ. මේ නිසා කැළඹීමක්, භයට පත්වීමක්, කම්පනය වීමක්, කෝප වීමක්, අරහතුන් වහන්සේගේ සිතට ඇති නොවේ. මෙය ”අකුප්පා චේතෝ විමුක්තියයි.”

අරහතුන් වහන්සේගේ සිතෙහි ශ‍්‍රද්ධාවක් ඇත්තේද නැත. ඒ නිසාම ”අසද්දෝ” යනුවෙන් හඳුන්වයි. ශ‍්‍රද්ධාවක් ඇතිවිය යුත්තේ යම් විශ්වාසයක් පවත්වා ගැනීමටයි. අරහතුන් වහන්සේට විශ්වාසයෙන් පිළිගැනීමට දෙයක් නැහැ. ප‍්‍රඥාවෙන් ඇති තතු නිවැරදිව දුටු නිසා වෙනත් කෙනෙකු හෝ බුදුපියාණන් කියා දුන් දෙයක් හෝ විශ්වාසයෙන් පිළිගත යුතු තත්ත්වයක් නැහැ.

මමත්ත්වය, මානය, දෘෂ්ඨි, අවිද්‍යා යන ගති සියල්ලෙන්ම නිදහස් වූ අරහතුන් වහන්සේට මමත්ත්වයක් නැති නිසා දිනා ගන්න හෝ පරාජය කරන්න කෙනෙක්ද නැහැ. මම යනුවෙන් මිනුමක් පවතින තාක් කල් ජය, පරාජය යන අන්ත දෙකක් පවතී. මදයෙන් මිදුණු, මජ්ක්‍ධිමා තත්ත්වයට පත්වූ අරහතුන් වහන්සේට මමත්ත්වය මැන බලන්නට කෙනෙක්, තැනක්, ධර්මයක් හෝ අවස්ථාවක්ද නැති නිසා, හේතුඵල පරම්පරාවකට සම්බන්ධ වී කටයුතු කිරීමෙන්ද සම්පූර්ණයෙන්ම ඉවත්වී ඇත.

නිවන සුඤ්ඤතයි යනුවෙන්ද සඳහන් වේ. අරහත් තත්ත්වයට පත්වූ උත්තමයාට පෘථග්ජන ලෝකයා සිතන, පතන, දකින, විඳින සාරයක් වටිනාකමක් මේ ලෝකය තුළින් දැක ගන්න හෝ විඳගන්න නොහැකියි. ”සංසාරයි” යනු එකතු කරගත් දෙයකම සාරයක් දැකීමයි. නිවන යනු එකතු කරගත් සියලු දේවල ඇත්ත ඇති සැටියෙන් දැක, එහෙම නැතිනම් එකතු කරගත් සියලු දේ කුණු ගොඩක්, බරක් බවම දැක, ඒ බරෙන් කුණු ගොඩෙන් මිදී නිදහස් වූ තත්ත්වයයි. නිවනේ එකතු කරගත් කිසිම දෙයක් නැති නිසා එය සුඤ්ඤතයි.

නිවන අප්පණිහිතයි, අනුභූතයි. ප‍්‍රතිෂ්ඨාපනය කරන්න බිමක් හෝ බිහි කරන්න බීජයක් එතන නැහැ. යම් බීජයක් පැළ වෙන්න නම් බිමක් අවශ්‍යයයි. නිවනේ බිමක් හෝ පය ගහන්න තැනක් නැහැ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන සතර මහා භූතයින් එකතු කර කූඩු හදන්න අවශ්‍ය චිත්ත ශක්තියක් නිවනේ නැහැ. දස බිම්බර මාර සෙනඟම එතන නැහැ. නිවන යනු බිමට බරවී පැවතිය හැකි ආකාරයේ සියලුම කරුණු වලින් නිදහස් වූ තත්ත්වයයි.

අරහතුන් වහන්සේ කිසිම සංකල්පයකට යටත් නොවේ. සංකල්ප යනු අතීත කාල පරාසයේදී එකතු කරගත් කර්ම බීජයි. ලෝකය රස බැලීමෙන් ඉවත් වූ, රස බැලීම අවසන් කළ අරහතුන් වහන්සේ කිසිම දෙයක් එකතු නොකරන නිසා, එකතු කර ගබඩා නොකරන නිසා සංකල්පනා පවත්වන්නේ නැහැ. සංකල්පනා පවත්වන හැම කෙනෙක්ම කරන්නේ අතීතය පීරා බලා, රස විඳින්න යමක් එකතු කරගැනීමයි. අරහත් තත්ත්වයට පත්වූ උත්තමයා ලෝකය රහ බැලීම නිස්සාර දෙයක්, අර්ථයක්, වටිනාකමක් නැති දෙයක් බව ප‍්‍රත්‍යක්ෂ ලෙසම දුටු කෙනෙකි. ගෙයක් යනු සංකල්පයකි. එකතු කර හදාගත් දෙයකි. අරහතුන් වහන්සේ ගෙයකට යනවා යනු ගෙයි ලස්සන බලන්න, අඩුපාඩු බලන්න, සැප පහසුකම් විඳ ගන්න හෝ ඒක සංසන්දනය කරන්න යනවා නොවේ. හිතින් දැඩිව අල්ලා ගන්න, එකතු කර ගන්න, උපාදානය කර ගන්න කිසිම දෙයක් අරහතුන් වහන්සේ ගෙයක දකින්න නැහැ. ඒකේ තියෙන්නේ ආපෝ, තේජෝ, වායෝ, පඨවි, වර්ණ, ගන්ධ, රස, ඕජා යන ශුද්ධාෂ්ටක පමණයි. දුටු දේ දැකීම් මාත‍්‍රයක් පමණයි. අරහතුන් වහන්සේට භාවිතා කළ දේ, භාවිතා මාත‍්‍රයකට පමණක් සීමා කර සිතින් අත් හරී. පෘථග්ජන මිනිස්සු දැක්ක දේ භාවිතා කරන දේ, සිතින් දැඩිව අල්ලා ගෙන, රස විඳ, ඒ රසය නැවත නැවතත් විඳින්න කැමති වී ඒ සඳහාම දුක් විඳගෙන බොහෝ ක‍්‍රියාකාරකම් කරති. විඤ්ඤාණ තත්ත්වයෙන් මිදුණු සිතකට මේ කිසිවක් අල්ල ගන්න, එකතු කර ගන්න, උපාදානය කර ගන්න බැහැ. ඒ නිසා අරහතුන් වහන්සේත්් ගෙට ඇතුලු වෙනවා, ගෙයින් පිටවෙනවා. නමුත් ගේ කියන සම්මතයට, සංකල්පයට බැඳුනේ නැහැ.

මේ වාගේම ”මම” යන මේ ශරීර කූඩුවත් ගෙයකි. සංකල්පයකි. මම යනුවෙන් අල්ල ගත්ත, පනවා ගත්ත මේ සංකල්පනා පවතින තුරු පෘථග්ජනයා මම ගැන, මගේ දේවල් ගැන, මගේ අනාගතය ගැන, මගේ අය ගැන විවිධ ආකාර වූ සංකල්පනා පවත්වති. මේ වගේ කූඩු, ගෙවල් කෝටි ප‍්‍රකෝටි ගණනක් අතීතයේ දී හැම කෙනෙක්ම හැදුවත්, ඒ එකම කූඩුවක්වත් ඒ අයට කැමති සේ පවත්වන්නට හෝ විනාශය වළක්වා ගන්නට හෝ නොහැකිවිය. කූඩු හදන්න, අල්ලගන්න උත්සාහ දැරීම නිසාම අනාථ තත්ත්වයටම පත්විය. මේ කූඩුවේ ඇති තතු නියම ආකාරයෙන් දැක්කට පස්සේත් තවත් මේ වගේ කූඩු හද හදා අනාථ තත්ත්වයට පත්වීමට ක‍්‍රියා කිරීමේ හරයක් නැති බව දුටු උත්තමයා අරහත් තත්ත්වයට පත් වූ උත්තමයායි.

අරහත් තත්ත්වයට පත් වූ උත්තමයාගේ මූලික ලක්ෂණය ප‍්‍රඥාව පහළ වීමයි. ප‍්‍රඥාව යනු බුද්ධිමත් බව හෝ නුවණ හෝ දැනුම හෝ නොවේ. මේ ලෝකයේ ක‍්‍රියාත්මක වන හේතුඵල ධර්මතාවය පිළිබඳ වූ ධර්ම ස්වභාවය, හැසිරීම් රටාව, ඇති නැති වීම (චුති උපත) විනිවිද දකින්න හැකි අලෝක තත්ත්වයක් ප‍්‍රඥාව ලෙස අර්ථ දැක්විය හැකිය. එය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, ප‍්‍රභාස්වර වූ තත්ත්වයකි. සත්ත්ව, පුද්ගල දෘෂ්ඨියෙන් ගස්ගල් ලෙස පෘථග්ජනයා දකින කිසිම දෙයක් අරහතුන් වහන්සේ ඒ ආකාරයටම දකින්නෙ නැහැ. ඒ සියල්ල භාග කර, බෙදා බලා, මේ ගත හිත. එක් කර, වතක් හදාගත් ආකාරය දකී. එනම් සමුදය ධර්මතාවය නිවැරදිවම දකී. ”සං” උපත දකී.

දුක්, සැප සියල්ලම ඇති වෙන්නේ තමන්ම යමකට ප‍්‍රිය මනාප වීම නිසයි. ජාති, ජරා, මරණ, ශෝක, දුක්, පරිදේව, උපායාස ආදී සියලු දුක් කන්දරාවම බිහිවන්නේ මේ පංචස්කන්ධය කැමැත්තෙන්ම උපාදානය කරගත් නිසයි. සිතෙහි ප‍්‍රිය මනාප ස්වභාවයක්, කැමැත්තක් බිහිවෙන තුරා, පවතින තුරා, දුක් සැප දෙකම නියත වශයෙන් උරුම වේ. සැප විඳින්න, ප‍්‍රිය මනාප දේ අල්ල ගන්න, උපාදානය කරගන්න, ඒවාට සම්බන්ධ වෙන්න කටයුතු නොකළේ නම්, ඒ කිසිවක් දුක් දීමට, දුක් උරුම කරදීමට සමත් නොවේ. අරහතුන් වහන්සේ සැප විඳීමට, ප‍්‍රිය මධුර දේ අල්ලා උපාදානය කරගන්නට, ඒ ප‍්‍රිය මධුර දේ සමඟ සම්බන්ධ වන්නට කටයුතු නොකරන නිසා, අනිච්ච, දුක්ඛ, අනත්ථ ත‍්‍රිලක්ඛණය මැනවින් යථාවබෝධ කරගත් නිසා සැප විඳින්නේ නැහැ. දුක් විඳින්නේත් නැහැ. ඒ දෙකම උපේක්ඛාවෙන් ඉවසයි. ඒවායේ පටළැවෙන්නේ නැහැ.

”දිට්ඨෙව දිට්ඨ මත්තං භවිස්සති, සුතේව සුත මත්තං භවිස්සති, මුතේ මුත මත්තං භවිස්සති, විඤ්ඤාතේ විඤ්ඤාත මත්තං භවිස්සති, නෙව ඉධ නහුරං න උභයමන්තරේ ඒසෝවන්තෝ දුක්ඛක්ඛන්ධස්ස”, භාහිය ධාරුවීරිය තුමාට බුදුපියාණන් වහන්සේ මේ ආකාරයෙන් පැහැදිළි කළේ, අරහතුන්වහන්සේගේ නියත ලක්ෂණ සමූහයයි. සියලු දුක් කන්දරාවම අන්තයට පත් කිරීමට, අතහැරීමට ඇති එකම ක‍්‍රමය මෙයයි. නිවන අජරයි, අමරයි, අශෝකං යනුවෙන් ඔබ හැම කෙනෙක්ම අසා ඇති. අජරා යනු ජරාවට පත් නොවන, නොදිරණ, පීර්ණ නොවන යන තත්ත්වයයි. අමර, මරණයට පත් නොවන, මරුට ණය නොගෙවන යන අර්ථයයි. අශෝකං, ශෝක නොවන බවයිි. අපෝ, තේජෝ, වායෝ, පඨවි යන කොටස් එකතු කර හදා ගත් යම් දෙයක් එකතු කරන්නට හේතු වූ ශක්තිය, ශක්ති ප‍්‍රභවය ගෙවී යත්ම, විපරිණාමයට පත්වෙලා, දිරල, ජරාවට පත්වේ. නිවන යනු එකතු කර හදාගත් සියල්ලෙන්ම මිදී නිදහස් වී, එකතු කිරීම නවත්වා, එකතු කිරීම අවසන් කර සම්මා තත්ත්වයට පත්වීමයි. එතන දිරන්න, මැරෙන්න දෙයක් නැහැ.

මේ පැවැත්මේ මිනිස් බව, දෙව් බව, බ‍්‍රහ්ම බව ආදී සියලු සුගති ලෝකයන් පවා ජරාවට, මරණයට පත්වන සුළුයි. අජර, අමර, හෝ අශෝකං තත්ත්වයට පත්වන්නට කිසිම දෙවියෙකුට, බ‍්‍රහ්මයෙකුට, මිනිහෙකුට නොහැකියි. භව නිරෝධය මගින් ජාති නිරෝධ කළ අරහත් උත්තමයෙකුට පමණක් අජර, අමර තත්ත්වයට පත්විය හැකියි.

”නිවන් දකිනවා, නිවන් අවබෝධ කරගන්නවා” යනු මේ සංසාර ගමනේදී මෙතුවක් කලක් යම් රටාවකට බැඳී, යමක් එකතුකර, එහි සාරය දැක ගිය ගමන් මඟ පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකීම, මනාසේ තතුසේ දැක ගැනීම නිසා ලෝකය රහ නොබලන තත්ත්වයට නිදහස් වීමයි. ලෝකය රහ බලන්නට හදාගත් හේතුඵල පරම්පරාවෙන් නිදහස් වීමයි. ”විසංයුතෝ තං න වේදති” යනු මෙම තත්ත්වයයි. මෙය ”සංඥා වේදයිත නිරෝධ සමාපත්තිය” ලෙසද හැඳින්වේ. එකතු කරගත් යම් දැනීමක්, සංඥාවක් නිසා වේදනාවක් ලබයි නම් එතැන ”සංයුත්තෝ තං වේදති” යන රෝද කිරීම පවතී. දැනීමක් සංඥාවක් එකතු කරගනු බලන්නේ ඉන්ද්‍රිය හයෙන්ම පමණි. ”විසංයුත්තෝ” යනු එකතු කිරීමෙන් වෙන්වීම වැළකීමයි. ඒ නිසා ඉන්ද්‍රියයන් හයෙන්ම ලබාගන්නා සංඥා නිරෝධ කිරීමෙන් ලබන සමාපත්තිය නිවනයි.

අරහතුන් වහන්සේගේ ලක්ෂණ විස්තර කිරීමට යොදාගත් තවත් පද කිහිපයක් දැන ගැනීම වැදගත් වේ. ”ආවුසෝ, අනුපායෝ, අනපායෝ, අනිස්සිතෝ, අප්පටි බද්ධෝ, විප්පමුත්තෝ, විසංයුත්තෝ, විමරියාදිකතේන.

”අනුපායෝ”    –    රාගයෙන් තොර, රාග විරාග කළ.
”අනපායෝ”    –    මෙත් සිත පැතිර වූ, ද්වේෂයෙන් තොර.
”අනිස්සිතෝ”    –    තණ්හා මාන, දිට්ඨි වශයෙන් තැනක නොඇලුනු.
”අප්පටිබද්ධෝ”    –    බද්ධ වූ, බැඳුනු සියලු පටි ලෙහා ගළවා නිදහස් වූ.
”විසංයුත්තෝ”    –    සං එකතු කිරීමේ ක‍්‍රියාවෙන් වෙන් වූ, එකතුකරගන්නා අතීත ”සං” භාවිතයෙන්ද වෙන් වූ.
”විමරියාදිකතේන”   –       මානයෙන් තොර, සීමා මායිම් පැනවීමෙන් මැන බලා කටයුතු කිරීමෙන් තොරවූ.

මේ සියලු ආකාරවූ ගති ලක්ෂණ අරහතුන් වහන්සේලා සතු උතුම් ගුණාංගයෝය.

Share Button

විඤ්ඤානය හා සංසාර සම්බන්ධතාවය

පෘථග්ජන පුද්ගලයෙකුගේ චිත්තසංථානයේ බිහිවන සියලුම සංඛාර, බලාපොරොත්තු ලෙසින් විඤ්ඤාණයෙහි උපදියි. සමස්ත පැවැත්මම මේ බලාපොරොත්තු පැවැත්වීමයි. අකුසලයක් කරන කෙනෙකු එම අකුසලය කරන්නේ එයින් යම් වින්දනයක්, තෘප්තියක් බලාපොරොත්තු වන නිසාමය. මේ තෘප්තිය යනු ඉන්ද්‍රිය පිනවීමකි. ඒ ඉන්ද්‍රිය පිනවීම සඳහා කළ දේ අකුසලයක් නම්, තමා ලබන තෘප්තිය නිසා තමන්ට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පොදුවේ ස්වභාව ධර්මයම හෝ යම් පීඩාවකට පත්වෙයි. මෝහය නිසා මේ කිසිවක් තමන්ට නොපෙනෙයි. දස අකුසලයෙහිම හැසිරීම මෙවැනි අධර්මයෙහි හැසිරීමයි. එනම් ධර්මයට නොගැළපෙන ධර්මතාවන්ට විරුද්ධ වූ සිතිවිල්ලක්, කථාවක්, හෝ ක‍්‍රියාවක්මය. රාග, ද්වේෂ, මෝහ නිසාම ඇති වූ අවිද්‍යා සහගත සංඛාරයකි.

විඤ්ඤාණස්කන්ධය යනු අතීත, අනාගත, වර්තමාන යන තුන්කලටම අයත් සියලු බලාපොරොත්තුයි. හැම විඤ්ඤාණස්කන්ධයක්ම, අතීතයත් සමඟ සම්බන්ධ වූ අනාගත බලාපොරොත්තු ඇති, වර්තමාන මොහොතක් පවත්වන සත්ත්වයෙකුගේ බලාපොරොත්තුවකි. මේ අතීත, අනාගත, වර්තමාන සම්බන්ධයට හේතුව අවිද්‍යාව හා තණ්හාවයි. සියලු ධර්මයෝ විඤ්ඤාණයට අරමුණු කළ හැකි නිසා ඒවා විඤ්ඤාණයෙහි ආහාර වෙයි. ඒ ධර්මතාවය හැම කෙනෙකුටම පොදුය. ඒ ධර්මතාවය අපට දුක් නොදෙයි. ඒ ධර්මයට අපි බැඳුණොත්, ඵල විපාක ලෙස අපි දුක් විඳිමු. බලාපොරොත්තු නැති කර ගතහොත් නොබැඳෙයි. විඳීමකට, වේදනාවකට හිමිකමක් කියනතාක්, එම වේදනාව විඳීමට කැමති වන තාක්, ඒ වේදනාවට අයිතියක් පවතින තාක්, ඒ දුක ද උරුමයෙන් ලැබෙයි.

ධර්මය අවබෝධ නොවීම, ධර්මය නොදැනීම, අසා දැනගත් ධර්මය නොපිළිපැදීම, ධර්මය නොසළකා හැරීම, හෝ ධර්මයෙහි නොහැසිරීම දස අකුසලයටම හේතුවයි. මෙතැන ධර්මය යනු හේතුඵල දහම පිළිබඳ අවබෝධයයි. හේතුඵල දහම කි‍්‍රයාත්මක වන ආකාරය එහි සත්‍යය ස්වභාවය දැකීම ධර්මය දැකීමයි. මෝහයෙන් මිදීමයි. මම සිතන සිතුවිල්ල නිසා, කරන කථාව නිසා, කරන ක‍්‍රියාව නිසා බිහිවන යම් ඵලයක් මගේම නිවන් මඟට බාධා කරයි ද, නිවන් මඟ වසා තබයිද වෙනත් කෙනෙකුගේ නිවන් මඟට බාධා කරයිද, නිවන් මඟ වසා තබයි ද, එසේ නම් එම සිතුවිල්ලෙන්, කථාවෙන්, ක‍්‍රියාවෙන් වැළකී, එය අතහැර මිදී යාම ධර්මය දැක සතියෙහි පිහිටීමයි. සත්‍යය දැක සිහි නුවණින් ක‍්‍රියා කිරීමයි. එමෙන්ම මා සිතන, කරන, කියන දේ නිසා යම් කෙනෙකුගේ හෝ මගේම හෝ නිවන් මඟට උපකාරයක් වෙයිද, නිවන් මගෙහි බාධා මඟහැර විවෘත කර දෙයි ද, ඒ සිතුවිල්ල, ක‍්‍රියාව, කථාව නිතර ඇසුරු කිරීමත්, බහුලව භාවිතා කිරීමත් ධර්මය දැක සතියෙහි පිහිටා කටයුතු කිරීමයි.

ලෝකය අල්ලාගන්නේ ඇස, කන, නාසය, දිව, කය, මනස ආදී ඉන්ද්‍රියයන් හයෙන්මය. වෙන කිසිදු ආකාරයකින් අල්ලාගත් බිහිකර පවත්වන ලෝකයක් කිසිඳු සත්ත්වයෙකුට නැත. ඇසින් හා කනෙන් රූප ලෝකය උරා බොයි. නාසයෙන්, දිවෙන්, කයෙන් කාම ලෝකය උරා බොයි. මනසින් (සිතින්) අරූප ලෝකය උරාබොයි. මෙලෙස තම ඉන්ද්‍රියන්ගෙන් ලෝකය උරාබොන නිසාම, පානය, කරන නිසාම සියලු සත්ත්වයින්ට ප‍්‍රාණීන් යැයි නම් කරති. පණ ඇති කෙනෙකු යනු, ලෝකය උරා බී පානය කරන තත්ත්වයක සිටීමයි.

මම යැයි මගේ යැයි මේ ඉන්ද්‍රියයන් ගෙන් අල්ලා ගන්නා ලෝකය සාදා සකස් කර ගන්නේ, භුක්ති විඳින්නේ විඤ්ඤාණයෙනි. ඒ විඤ්ඤාණයේ ආහාරයයි. ඒ ආහාර නිසාම ආහාර සඳහාම විඤ්ඤාණය ජීවත්වෙයි.

මෙසේ අල්ලාගෙන පවත්වන්නට උත්සාහ දරන ලෝකය, පංචස්කන්ධය ලෙසින්, අටළොස් ධාතු ලෙසින්, ඉන්ද්‍රියයන් ලෙසින්, ආයතන ලෙසින් (”සං” එකතු කරන තැන් ලෙසින්) දැක ගැනීමට උත්සාහ ගත යුතුය. මේ කොයි ආකාරයට හෝ බෙදා වෙන් කර දැක බලා ගත්තොත්, ලෝකය තේරුම් ගැනීමට පහසු වෙයි. මේ සංසාර පැවැත්ම යනු හේතුඵල දහමේ නොනවතින ක‍්‍රියාත්මක වීමක් මිස, ශුද්ධාෂ්ටක එකතු කිරීම හා සකස් කිරීම මෙන්ම නැවතත් වෙන් කර විනාශ වීමක් මිස, වෙන කිසිඳු හරයක් මෙහි නැති බව දැකගත හැකිය. මෙය තරමක් ගැඹුරු තේරුම් ගැනීමට පහසු නොවන නමුත් සත්‍ය ප‍්‍රකාශයකි. විද්‍යාත්මක සත්‍යයයකි.

උපාදානය කරගත් පංචස්කන්ධයෝ, ලෝකය නම් මේ ලෝකය හට ගැනීමට හේතුව කුමක් ද? කාගේ උවමනාවකට මේ ලෝකය හදා ගත්තේ ද? කාගේ උවමනාවකට මේ ලෝකය පවත්වන්නට වෙර දරන්නේ ද? මේ ලෝකය නැවැත්මක් නැතිවම මතු මතුත් බිහිවන්නේ ඇයි? සියලු දුක් විඳින්නේ මේ පංචස්කන්ධය උපාදානය කරගැනීම නිසාම නේද? මේ පංචස්කන්ධය බිහිවීම නැවැත්විය හැකිද? එය නැවැත්විය හැක්කේ කාටද? කෙසේද? මේ ආදී ප‍්‍රශ්න රාශියක් පෘථග්ජන සිතක නිරන්තරවම මතුවනු ඇත. තමන්ගේ උත්සාහයෙන්ම තමන්ගේ මනසින්ම කල්පනා කර, භාවනා කර හෝ වෙනත් ආකාරයකින් මේ ප‍්‍රශ්න වලට නිසි උත්තර සපයා ගත නොහැකිය. කරුණු අවබෝධ කරගත් යථාවබෝධය ලැබූ උත්තමයෙකුගෙන්ම මෙවැනි ප‍්‍රශ්න වලට නිසි පිළිතුරු අසා දැනගත යුතුය. මෙය සිරි සද්ධර්මය ශ‍්‍රවණය කිරීමයි. පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමයි. ඒ අසා දැනගත් කරුණු එකින් එක විපස්සනා කර, මනසින් මෙනෙහි කර, ප‍්‍රත්‍යක්ෂ කර ගැනීම ”දස්සනේන පහාතබ්බං” යනුවෙන් බුදුපියාණන් දේශණා කර පෙන්වූ සත්‍යය දැක ගැනීමයි.

අසා දැනගත් පසුව තම මනසින් තමන්ම තනිවම ඉතිරි ටික කරගත යුතුය. වෙනකාට හෝ අවබෝධ වූ සත්‍යයක් වචන වලට නඟා හෝ අකුරින් ලියා හෝ ඉදිරිපත් කළ නොහැකිය. වෙන කවුරු හෝ අවබෝධ කරගත් සත්‍යය ඔබ අවබෝධ කරගත් එකක් ද නොවේ. අසා දැනගත් දේ ආශ‍්‍රය කොට, උපනිශ‍්‍රය කොට සත්‍ය අවබෝධ කර ගැනීම තමාම කළ යුතුය. බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන් අවබෝධ කරගත් හේතුඵල දහම, චතුරාර්ය සත්‍යය ලෝකයාට පැහැදිළි කරදෙනු ලැබුවත්, ඒ ධර්මය අපට අවබෝධ වන්නේ අපද ඒ සත්‍යය සමඟ සම්බන්ධ වීමෙන්ම පමණිි. සත්‍යය අත්දැක ගැනීමෙන් ම පමණිි. මිනිසෙකුට එය පහසුවෙන්ම කරගත හැකිය.

කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන් උතුම් සිරි සද්ධර්මය ශ‍්‍රවණය කර ලබාගන්නා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය අනුසාරයෙන් ලබන යථාවබෝධය, සක්කාය දිට්ඨිය දුරුකර ගැනීමටත්, විච්කිච්චාව දුරුකර ගැනීමටත්, සීලබ්බත පරාමාසයෙන් මිදීමටත් උපකාර වේ. මෙම සංයෝජන (බැඳීම්) තුන දුරුකර ගැනීමෙන් සෝතාපන්න තත්ත්වයට පත්වේ. අරිය තත්ත්වයට පත්වේ.

අසාදැන ගත් ධර්මය මෙනෙහි කිරීමෙන්, විපස්සනා නුවණින් සළකා බැලීමෙන් ලෝකය පිළිබඳව සම්මතයන් හාරා අවුස්සා පරමාර්ථ සත්‍යය දැක ගැනීම, සක්කාය දිට්ඨියෙන් මිදීමට උපකාර වේ. සක්කාය දිට්ඨිය නැති කිරීම යනු මමත්වය නැති කිරීම නොවේ. අස්මිමානය නැති කිරීමද නොවේ. තමන්ගේම කය (පංචස්කන්ධය) පිළිබඳව සත්‍යය දැකීමයි. ‘‘ස්ව’’ කය පිළිබඳ සත්‍යය අවබෝධ වී මෙය මගේ දෙයක් නොවන බව දැකීමයි.

කුමන හේතුවක ඵලයක් ලෙස මේ කය බිහිවී ද? මේ කය උපන්දා පටන්ම මරණය තෙක්ම වෙනස් වී, විපරිණාමයට පත්වී විනාශ වී යන්නේ ඇයි? මේ තත්ත්වය වෙනස්කර ගන්නට නොහැකි ඇයි? මෙවැනි ප‍්‍රශ්න දැන් තමාගෙන්ම අසා විමසා දැනගත හැකිය. කාගෙන් හෝ අසාදැන ගත් ධර්මය එලෙසින්ම ගැනීම අන්ධානුකරණයෙන් විශ්වාස කිරීම, බුදුපියාණන් හෝ අරහතුන් වහන්සේ දේශණා කළ නිසා පිළිගැනීම බුදු මඟ නොවේ. අසා දැනගත් දේ කොතරම් දුරට සත්‍යය දැයි තම මනසින්ම, ප‍්‍රඥාවෙන් විග‍්‍රහ කර යථාවබෝධය ලැබීම බුද්ධියෙන් දැරීමයි. විමුක්තියට මඟයි.

මම, මගේ, මාගේ ආත්මයැයි ගෙන කටයුතු කිරීම අස්මිමානයයි. මමත්වයයි. මමත්වය නැති කරගත හැක්කේ අරහත් තත්ත්වයට පත් වීමෙන්මයි. ඒ මානය හා අවිද්‍යාව යන සංයෝජන වලින් මිදීමෙනි. අරහත් තත්ත්වයට පත්වන තුරුම යම් බලාපොරොත්තුවක් (විඤ්ඤාණයක්) මතුවන නිසා ”මම” යන සංකල්පයෙන් පූර්ණ ලෙස මිදී ගිය නොහැක. සෝවාන් ඵලයට පත්වීමෙන් නැති වන්නේ සක්කාය දිට්ඨියයි. මාගේ කය යැයි අල්ලාගෙන සිටින මේ පංචස්කන්ධය පිළිබඳව සත්‍යය දැකීමයි.

රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයත්, ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාස, විඤ්ඤාණ යන ධාතු පිළිබඳවත් ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් පිළිබඳවත් අගමුල සොයා දැන ගත හැකි වන්නේ, යම් තරමක සත්‍යය අවබෝධයක් ලැබෙන්නේ සක්කාය දිට්ඨියෙන් මිදීමත් සමඟමය.

සත්ත්වයෙකු, භූතයෙකු, ප‍්‍රාණියෙකු ලෙස අප හඳුන්වන බිහි වූ සියලුම දෙනාට විඤ්ඤාණයක් ඇත. විඤ්ඤාණයක් නැති තත්ත්වයක් යටතේ විඤ්ඤාණය රහිතව කිසි සත්ත්වයෙකුට ඉපැදීමක් යැයි අප ප‍්‍රකාශ කරන හේතුඵල ක‍්‍රියාවලියට සම්බන්ධ විය නොහැකිය. විඤ්ඤාණයෙන් උපදවන චිත්තජ ශක්තීන් චිත්තජ රූප ලෙසින් ඒ ඒ සත්ත්වයාගේ කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. ඒ ක‍්‍රියාවලිය හිතාමතා හෝ දැන හැඳින කරන දෙයක් නොවේ. ලොව පැවැත්මට උපකාර වන ධර්මතාවයෙන්ම මේ ක‍්‍රියාවලිය සිදුවෙයි. එසේ බිහිකර ගත් චිත්තජ ශක්තීන් කර්මජ කෝෂවල තැන්පත් වූ පසුව කල්යල් බලා බීජ නියාමය හා ඍතු නියාමය ආදී නියාමයන්ට අනුව තම තමන් වෙතම ඵල විපාක ලෙසින් ඒවා ආපසු ලැබෙයි. චිත්තජ රූප වල ශක්ති ප‍්‍රමාණය අනුව ඒ ඒ කර්මජ රූප වල ඵල විපාක හේතුව මෙන් කිහිප ගුණයකින් වැඩි හෝ අඩු විය හැකිය. ඒ කර්මජ රූප ඵල විපාක දෙන්නට නම් ඉන්ද්‍රියයන් බිහි වී තිබිය යුතුමය. ඉන්ද්‍රියයන් ප‍්‍රයෝජනයට ගන්නේ විඤ්ඤාණයමය. විඤ්ඤාණය තම පැවැත්ම සඳහා කූඩුවක්, ගුහාවක්, කයක් සකස් කරගෙන, ඉන්ද්‍රියයන් ද ඇති ව එහි ලැඟුම් ගනී. මේ කූඩුවෙහි අයිතිකරු විඤ්ඤාණයයි. විඤ්ඤාණයට ඕනෑ ලෙසකින් මේ ඉන්ද්‍රියයන් මෙහෙයවනු මිස වෙන කිසිවක් මෙහි සිදු නොවේ. හේතුඵල ධර්මය අවබෝධ කර ගෙන පෘථග්ජන තත්ත්වයෙන් මිදී යාමෙන්ම මේ සත්‍යය දැක ගත හැකිය. එය සෝතාපන්න වීමයි.

සම්මත වචන වලින් ”සිත” ලෙසින් අප හඳුන්වන මේ විඤ්ඤාණය ”චිත්ත” යන වචනයෙන් ධර්මයේ පෙන්වා දුන් තත්ත්වයම නොවේ. චිත්ත යන තත්ත්වයද සිතෙහිම එක්තරා අවස්ථාවකි. චිත්ත අවස්ථාව ඉතා පිරිසිදු, නිසල, ශාන්ත, නොකිළිිටි තත්ත්වයයි. රාග, ද්වේෂ, මෝහ වැනි කිළිිටි, කෙළෙස් සහිත බලාපොරොත්තු නිසාම සිත පිරිසිදු චිත්ත තත්ත්වයේ නොපැවැතීී විඤ්ඤාණ තත්ත්වයට පත්වෙයි. චිත්ත යන පිරිසිදු තත්ත්වය යටතේ කිසිඳු බලාපොරොත්තුවක් එහි නොඋපදියි.

මේ ආත්මයේ දී බිහිකරගත් චිත්තජ රූප (පසුව කර්මජ රූප) පමණක් නොව අනන්ත අප‍්‍රමාණ සංසාර ගමනේ දී උපදවා එකතුකර ගත් කර්මජ රූප, තම තමන්ගේ කර්මජ කෝෂවල තැන්පත් වී පවතී. බොහෝ කර්මජ රූප ඵල විපාක දීමට අවස්ථාවක් නොලැබ අහෝසි වී යයි. බලවත් කර්මජ රූප පින්, පව්, අකුසල් සියල්ල කවදා හෝ අවස්ථාව ලැබෙන තුරු ඵල විපාක ලබා දීමට පෙළ ගැසී සිටී. අටුවේ තැන්පත් කළ බිත්තර වී මෙන් තැන්පත්ව පවතින මේ කර්මජ රූප සුදුසු පරිසරය හා පසුබිම සකස් වූ වහාම බිත්තර වී පැළ වෙන්නා සේ ඵල විපාක ලබා දෙයි.

මේ ආත්මයේ අප උපාදානය කරගෙන සිටින මේ පංචස්කන්ධයේ කිසිදු කොටසක් මතු උපතකදී ලැබෙන පංචස්කන්ධයට ගෙන යන්නේ නැත. චිත්තජ ශක්තීන් උපදවන විඤ්ඤාණයද මරණයත් සමඟ විනාශ වී යයි. නමුත් විඤ්ඤාණය බිහි කළ ශක්තීන් දැන් කර්මජ රූප ලෙසින් කර්ම කෝෂ වල තැන්පත් ව ඇති නිසා, ඒ ශක්තියෙන් නව විඤ්ඤාණයක් හා විඤ්ඤාණයට නවාතැන් ගැනීමට කූඩුවක් සකස්කර ගනී. සංසාරයේ උපන් හැම ජාතියකම විඤ්ඤාණයෙන් උපදවා තැන්පත් කළ කර්මජ රූප, තම තමන්ගේ උරුමය ලෙස තම කර්මජ කෝෂයේම තැන්පත්ව පවතින නිසා, උරුමයෙන්ම අලුතින් සකස් වූ විඤ්ඤාණයට ද ඒවායෙහි හිමිකම ලැබෙයි. උපන් හැම සත්ත්වයෙකුගේම කර්මජ කෝෂවල මෙලෙස අනන්ත අප‍්‍රමාණ සංසාරයේ තමන්ම කළ පින් පව්, කුසල් අකුසල් වලට අනුරූප වූ කර්මජ රූප එකතු වී, තැන්පත් වී පවතී. මේවා පෘථග්ජනයන්ට නොපෙනේ. අපට ඕනෑ ලෙසින් ඕනෑ වූ විටකදී මේවා පාවිච්චි කිරීමටද නොහැකිය. ධර්මතාවය අනුවම ධර්ම නියාමයන්ට අනුව ම අප කරා ඵල විපාක ලෙසින් ලැබෙයි. සංසාර ගමන පවතින තාක් නිවන් දකිනා ජාති දක්වාම විඤ්ඤාණ ශක්තිය ක‍්‍රියාත්මකව පවතින්නේ ධර්මතාවයෙන්ම මේවා ඵල විපාක ලෙසින් ලබා දීමටය. විඤ්ඤාණය ක‍්‍රියාත්මක වන හැම මොහොතකම අලුතින් ශක්තිය නිපදවා අලුත් කර්මජ රූප එකතු කරයි. ඵල විපාක දෙන හැම මොහොතකම තැන්පත් වී තිබූ කර්මජ රූප ගෙවී විනාශ වී යයි. හේතුඵල ක‍්‍රියාවලිය ලෙසින් හඳුන්වන්නේ මෙම ක‍්‍රියාදාමයයි. යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් සත්ත්වයා සංසාර ගමනට බැඳ තබන බැමිය. හේතුඵල ධර්මතාවයට අනුව මෙවන් යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් ආදී බැඳීම් තමන් ම බැඳගත්, අල්ලාගත්, අල්ලාගෙන පවත්වන්නට උත්සාහ දරණ සංසාර සම්බන්ධතාවයන් හේතුකොටගෙන ඇති කර ගත් බැදීම්ය. ”සං” එකතු කර අන්ධ ලෙසින් බවට ඈඳෙන බව, බැඳෙන බව පෘථග්ජන පුද්ගලයෙකුට තේරුම් ගැනීම තරමක් අපහසු දෙයකි. විඤ්ඤාණය සත්‍යය වසංකර ඔබව මුළාකර ඇති නිසා මෙවැනි බලාපොරොත්තු යුතුකම්, වගකීම් අයිතිවාසිකම් ආදී දේ ඉතාම වැදගත් අනිවාර්යයෙන්ම ඉටු කළ යුතු දේ හැටියට සිහිපත් කරයි. සියලු පෘථග්ජන මිනිසුන් මේ හේතුව නිසාම තම මුළු ජීවිත කාලයම, වටිනා මිනිස් ජීවිතයම, තමාට සම්බන්ධ වූ අයට, සම්බන්ධ වූ දේ වලට යුතුකම් ඉටුකිරිමටත්, වගකීම් ඉටුකිරීමටත්, අයිතිවාසිකම් ලබා ගැනීමටත් වැය කරයි. පොදි බැඳගත් මෙවන් බලාපොරොත්තු රාශියක් නිසාම මතු මතුත් සංසාර ගමනට යළි යළිත් බැඳෙයි.

මෙවැනි දැඩි බලාපොරොත්තු ලෙහෙසියෙන් අතහැර ඒවායෙන් මිදී නිදහස් වීම කළ නොහැකිය. බොහෝ අය ජීවත්වන්නේම යුතුකම් හා වගකීම් ඉටුකර දීම සඳහාමය. තවත් බොහෝ අය මුළු ජීවිත කාලයම අපතේ යවන්නේ තම අයිතිවාසිකම් ලබා ගැනීමටය. මිනිසා සියලු ආකාර දුක් විඳින්නේ මේ යුතුකම් අයිතිවාසිකම් සම්බන්ධතා නිසා බව කිසිවිටකත් නොසිතයි. මේ අයිතිවාසිකම් අතහැර, යුතුකම් වගකීම් වලින් මිදී නිදහස ලබාගත් දිනකදී පමණක් නිවන් දැකිය හැකි බව සියලු දෙනාම සිහිපත් කළ යුතුයි.

මේ සියල්ලම සම්බන්ධතාවයන්ය. සම්බන්ධතා යනු ”සං” නිසා ”බවට” අන්ධ ලෙස ඈඳීම බව සිහිපත් කළ යුතුය. සියලු ආකාර වූ යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් සංයෝජන බව, සංසාර බැමි බව දැක, ඒ බැමි වලින් නිදහස් විය යුතු යැයි නිගමනය කර, ඒවායින් මිදී නිදහස් වන මාර්ගය අසා දැන, ඒ අසා දැනගත් මඟ අනුගමනය කළහොත්, ප‍්‍රතිපත්ති පුරුදු පුහුණු කළ හොත් මේ සියලු සම්බන්ධකම් වලින් නිදහස් වී නිවන් දැකිය හැකි වෙයි. ඒවා අතහැර ඒවායෙහි නොඇලී, ඒවායෙන් මිදී නිදහස් වීම නිවන බව දැක කටයුතු කළ යුතුය. ”සං” ශක්තිය එකතු කරන තාක් ”බවට” බැඳෙන බව, ඈඳෙන බව යථාවබෝධයෙන්ම දැක, සත්‍ය වටහා ගෙනම කටයුතු කළ හැක්කේ හේතුඵල ධර්මතාවය තේරුම් ගැනීමෙනි. විඤ්ඤාණයට වහල්වී මෝහයෙන් කටයුතු කිරීම මෝඩකමයි. පෘථග්ජන පුද්ගලයෙකුගේ සිතට මේ සියලු බලාපොරොත්තු ඇතුලු කරගෙන හොඳයි, යහපත්, සුවයි යන නිගමනයට බසින්නේ විඤ්ඤාණයම මිස මනසින් නොවේ.

මේ හේතුඵල ක‍්‍රියාවලිය එසේත් නැත්නම් සම්බන්ධකම් පැවැත්වීම යනු ගණුදෙනුවකි. සංසාර ගමනට උපකාර වෙන ගණුදෙනුවකි. ගණු ඇත්නම් දෙනු බිහි වේ. දෙනු ඇත්නම් ගණු බලාපොරොත්තු වේ. යමක් ගත්තොත් එය දෙන්නම සිදුවේ. ණය ගෙවන්නම සිදුවේ. බලාපොරොත්තුවක් ඇතිව යමක් දුන්නොත් එය ආපසු ගන්නත් බලාපොරොත්තු වේ. මුළු විශ්වයේම අපට නොපෙනෙන හේතුඵල ධර්මතාවයේ ක‍්‍රියාත්මක වීම මේ ගණුදෙනුවයි. හොඳ – නරක, දුක- සැප, යහපත්- අයහපත්, ලාභ- අලාභ, කීර්ති- ප‍්‍රසංසා, අපකීර්ති- අවමාන ආදී අටලෝදහමට අයත් මොනයම් අංගයක් ගත්තත් මේ ගණුදෙනුව මිස වෙන කිසිම හරයක්, අර්ථයක් වටිනාකමක් මේ හේතුඵල ක‍්‍රියාවලිය තුළින් දැක ගත නොහැකියි. යථාවබෝධයක් ලැබ මෙහි සත්‍යතාවය තේරුම් ගැනීම ධර්මාවබෝධය ලැබීමයි.

බැමි වලින් තදින්ම බැඳී ඒවා සුවයි, සැපයි, ප‍්‍රියයි, මනාපයි යනුවෙන් නිගමනය කර ඒවායේ හිරවී සිටින පෘථග්ජනයාට මේ පිළිබඳව සිතීමටවත් නොහැකිය. ඒ බැඳුම් අතහරිනවා, සම්බන්ධකම් අතහරිනවා යනු තනිවෙනවා, පාළුවක් දැනෙනවා, අතරමං වෙනවා වැනි තත්ත්වයක් ලෙස පෘථග්ජන සිත් වලට දැනේ.

මේ සංසාරය පුරාම මෙතෙක් කර ඇත්තේද තවදුරටත් කරන්නේද මාගේ යැයි කියාගෙන අපේ යැයි කියාගෙන යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් යන බැමි වලින් බැඳී, ඒ මතම බිහිකරගත් බලාපොරොත්තු පොදි බැඳගෙන, ඒවා ඉටුකිරීමට හා ඉටු කරවා ගැනීමට දරණ නොනිමෙන උත්සාහයක් පමණයි. මෙය අවිද්‍යා සහගත දෘෂ්ඨියක් පමණි. මේ දෘෂ්ඨිය ඇති තාක් සංසාර ගමන නිමාකර ගත නොහැකිය. මෙවන් අවිද්‍යා සහගත බලාපොරොත්තු යුතුකම්, වගකීම්, අයිතිවාසිකම් ආදිය පටලවා ගත හොත් ඒවායෙහි අවසානයක්, කෙළවරක්, නිමාවක් නම් දැකිය නොහැකි නිසාම සංසාර ගමනෙහිද කෙළවරක් දකිනු තබා කෙළවර කිරීමට සිතීමද කළ නොහැකිය.

ඒවා පසුපසම ඒවා බලාපොරොත්තුවෙන්ම, තෘප්තියක් නැතිව, විමුක්තියක් නැතිව දිවයාම අසහනය, ගින්න, දාහය, දුක උපදවන හේතුවයි. මේ තත්ත්වයෙන් මිදී නිදහසක්, විමුක්තියක් ලබා ගැනීමට නම්, කෙළවරක් දැක ගැනීමට නම්, මිනිසෙකු ලෙස උපන් මේ ජීවිතයේදී මනස මෙහෙයවා කල්පනාකර හේතුඵල ධර්මතාවය දැක, අවිද්‍යා සහගත බැඳීම් තෝරාබේරා ගෙන, ඊට මුල් වූ හේතුව නැති කිරීමට පියවර ගත යුතුයි. ඵලය දැන් නැති කළ නොහැකි බව, වෙනස් කළ නොහැකි බව යථාවබෝධයෙන්ම සිහිපත් කළ යුතුය. මෝහය නිසා සියලු මිනිසුන් උත්සාහ ගන්නේම වද වේදනා විඳින්නේම, ඵලය වෙනස් කර ගැනීම සඳහාමය. එහි ප‍්‍රතිඵලය තව තවත් දාහයට, දුකට පත්වීමයි. ඵලය ගැන නොසිතා හේතුව සොයා, මින්මතු එවැනි හේතු වලින් වැළකී, හේතුව අතහැර නිදහස් වීම පමණක් සැනසීමට මඟ බව දැන කටයුතු කිරීම නිවන් දැකීමයි. හේතුව කරන්නේ තමන්මය.

තමා සංසාරයේ අතරමංවී සියලු දුක් වේදනා විඳින්නේ්, මතු මතුත් උපදින්නේ, අසහනයෙන්, ගින්නෙන් දැවෙන්නේ තමා තමාටම කරගත යුතු යුතුකම් හා වගකීම් කොටස අමතක කර දමා අනුන්ගේ දේ ගැනම කල්පනා කිරීමෙන් කටයුතු කිරීම නිසාය. මම, මාගේ නිදහස විමුක්තිය සඳහා කළයුතු කොටස නිවැරදිව අවබෝධ කර ගැනීම මුළින්ම කළ යුතුය. මෙය සම්මා දිට්ඨිය පිළිබඳ ලබා ගන්නා දැනුමයි. අවබෝධයයි.

ලෞකික යනු ලෝකයේ පැවැත්ම සඳහාම උපකාර වන දේ විස්තර කිරීමකි. ලෝකෝත්තර යනු ලෝකයෙන් එතෙර වී නිදහස ලබන මාර්ගය පැහැදිළි කිරීමයි. අවිද්‍යා සහගත සියලු දේ අවිද්‍යා මූලයෙන් බිහිවූ සියලු සංඛාර, හොඳ හෝ නරක වුවත් පින් හෝ පව් වුවත් සියල්ලම ලෞකිකය. ලෝකයේ පැවැත්ම යහපත් හෝ අයහපත් කරන්නටම පමණක් ඒවා උපකාරකය. කුසල මූලයෙන් අරමුණු කළ සංඛාර සියල්ල ලෞකිකත්වයෙන් බැහැර වීමට, ලෝකෝත්තර තත්ත්වයට පත්වීමට උපකාර වන දේවල්ය. ඒ නිසා හැම අවස්ථාවකදීම කුසල මූල සංඛාර වලින් බිහිකර ගත් අරමුණු, සිතුවිලි, සතියෙන් දැක, දියුණු කරගෙන භාවිතා කිරීම නිවනට මඟ පෙන්වීමකි. කුසල මූල යනු ලෝභක්ඛය කරන ,මෝහක්ඛය කරන, ද්වේෂක්ඛය කරන ක‍්‍රියා, වදන් හා සිතුවිලිය.

යුතුකම්, අයිතිවාසිකම්, වගකීම් වලද දෙපැත්තක්ම ඇත. අවිද්‍යා සහගත සංඛාර කොටසට අයත් සියලු සම්බන්ධතා තෝරා බේරා ගෙන, දැන හැඳින අත්හැරිය යුතුය. කුසල මූල අරමුණක් වන ලෝභක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කරන අයිතිවාසිකම්, යුතුකම්, හා වගකීම් දැන හඳුනා, එවැනි ක‍්‍රියා, වදන්, සිතුවිලි පවත්වා ගෙන යාම ආශ‍්‍රය කිරීම, භාවිතා කිරීම, නිතරම නිවන් දැකීමට උපකාරකය. හේතුඵල ධර්මයට බහා බැලීමෙන්ම මේවා හඳුනාගත යුතුයි. දැන ගත යුතුයි.

පින් – පව් සළකා, යහපත – අයහපත සළකා, යුතුකම් – වගකීම් සළකා කටයුතු කිරීම ලෞකික මිස ලෝකෝත්තර නොවේ. හේතුඵල දහම දැක යම් ඵල විපාකයක් ලැබීමට මුල් වූ හේතුව යම් ආකාරයක චිත්ත ශක්තියක් බිහිකරයි නම්, ”සං” එකතු කරයි නම්, එය අතහැර ඉන් මිදී හේතුව නිරෝධ කිරීම පමණක් ම ”සං” එකතු නොකිරීමට (‘‘සං’’ සිඳීමට ) උපකාර වන බව සත්‍යාවබෝධයෙන්ම දැන කටයුතු කිරීම නිවනට උපකාර වන ක‍්‍රියාමාර්ගයයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගන්නේ සියලු යුතුකම්, වගකීම් හා අයිතිවාසිකම් අතහැරීමක් කිසි ලෙසකින් බුද්ධ දේශණාවෙහි සඳහන් නොවන අතර, සම්බන්ධයක් ඇති කරන, බවට බැඳ තබන, බලාපොරොත්තුවක් බිහිකරන සියලු අයිතිවාසිකම් යුතුකම් හා වගකීම් පමණක් අත්හැර මිදී නිදහස් විය යුතු බවයි. බලාපොරොත්තුවක් සම්බන්ධයක් බිහිකරයි නම්, ඒ අවිද්‍යාව හේතුකොට ගෙනම ඇති වූවකි. බලාපොරොත්තුවක්, සම්බන්ධතාවයක් ඇති නොකරයි නම් එය කුසල මූලයෙන් බිහි වූවකි. හේතුඵල දහම ගැන, චිත්ත ශක්තිය ගැන ”සං” එකතු කිරීම ගැන, යථාවබෝධයක් ලැබීමෙන් ම කුසල මූල හා අවිද්‍යා මූල සංඛාර තෝරා බේරා ගැනීමට හැකියාව ලැබෙයි. විපස්සනා කළ යුත්තේ මේ දෙක තෝරා බේරා ගෙන කටයුතු කිරීමටයි. පුරුදු පුහුණු විය යුත්තේ මේ වෙන්කොට දැකීම සඳහාමය. ලෝකයට, ලෝකයාට, මගේ අයට, අපේ අයට, අපේ දේවලට, අපේ තැන් වලට මම සම්බන්ධ වී, ඒවාට බැඳී ඒවාම අල්ලාගෙන, ඒවා මගේ කරගන්නට, අපේ කරගන්නට දරණ උත්සාහය නිසා මම ම නේද මේ සම්බන්ධය ඇති කර ගන්නෙත් යන සත්‍යය දැක ගන්නට උත්සාහ ගත යුතුයි. මම ම කල්පනා කර මේවායින් මිදිය යුතුය යන සිතුවිල්ල පහළ කරගත යුතුයි. මෙය යථාවබෝධයෙන් දැක ගතහොත් එය සම්මා දිට්ඨිය ලැබීමයි. ”සං” වලින් පූර්ණ ලෙස මිදීමට අවශ්‍ය බව දැකීමයි.

යම් කෙනෙකු තමා තමාටම ඉටුකරගත යුතු යුතුකම් හා වගකීම් සම්පූර්ණ කරගත් පසුව, කළ්‍යාණ මිත‍්‍රයෙකු ලෙස පොදුවේ ලෝක සත්ත්වයාටම ඉටු කළයුතු යුතුකම් හා වගකීම් කොටසක් ඇති බව දැක, ඉතිරි මුළු ජීවිත කාලයම ඒ වෙනුවෙන් ගත කිරීම අරිය උත්තමයින්ගේ සිරිතය. මෙය අරිය විහරණයෙහි යෙදීම යනුවෙන් හඳුන්වයි.

මිනිසෙකුට තමා උපන්දා සිට මේ මොහොත දක්වා අතීතය සිහිපත් කර මෙනෙහි කළ හැකිය. මේ අතීතය මියගිය එකක් නිසා කෙස්ගහක ප‍්‍රමාණයකින් හෝ දැන් වෙනස් කළ නොහැකිය. ඒ මුළු අතීතයම හොඳ හෝ නරක හෝ නැවත නැවතත් මතුකර, සිහිපත් කර දුක් විඳීමද නොකළ යුත්තකි. මිනිසෙකු විඳින සියලු දුක් විඳින්නේ මේ මියගිය අතීතය අල්ලාගෙන, ඒ අතීත සම්බන්ධකම් සිහිපත් කර, ඒ මත්තේම සිත මෙහෙයවීමෙනි. අනාගතයක් පිළිබඳ සිහින මවන්නේද අතීතයක් පැවැති නිසාමය. අතීතය පූර්ණ ලෙස අමතක කර, නිදහස් වීම නිවන් දැකීමට මාර්ගයයි. අතීතය යනු මේ ජීවිතයේ අතීතය පමණක් නොවේ. කල්ප ගණනක් මේ සංසාර සම්බන්ධතා පැවැත්වීම නිසාම ගණුදෙනු බිහිවිය. අපි දැන හෝ නොදැන හෝ කරන සියලු දේ සිතන සියලු දේ එසේ කරන්නේ, කියන්නේ, සිතන්නේ අතීත සම්බන්ධතා මුල් කරගෙන, අනාගත සම්බන්ධතා ගොඩනඟා ගැනීම සඳහාමය. ඒ නිසා අනාගත සම්බන්ධතා කෙළවරක් කර නිදහස් වීමට නම්, අතීත සම්බන්ධතා වලින් පූර්ණ ලෙස මිදී නිදහස් විය යුතුයි. මේ සඳහා ගන්නා උත්සාහය සම්මා වායාමයයි. ”සං” එකතු කිරීමෙන් පූර්ණ ලෙස මිදී නිදහස් වීමට දරණ උත්සාහයයි.

මේ සියලු සම්බන්ධකම් වලින් මිදී නිදහස් විය යුත්තේ තමාමය. තම සිතෙන්මය. අතීත මතක සටහන් වලින්මය. මෙවන් සම්බන්ධකමක් පවතින අනෙක් පාර්ශවයක් දකී නම්, ඒ පාර්ශවයට පින් පැමිණවීමෙන්, පින් ලබා දීමෙන්, මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා සහගතව මෙත් වැඞීමෙන් හා ඒ පාර්ශවයෙන් සමාව ගැනීමෙන්, මේ සම්බන්ධතාවලින් මිදී නිදහස් විය හැකිය. ඒ සියලු සත්ත්වයන්ටද, මෙවන් සියලු අවිද්‍යා සහගත සම්බන්ධතාවලින් මිදී නිදහස් වීමට හැකිවේවා යන මෙත් සහගත පැතුම නිතර මෙනෙහි කළ යුතුය. මෙවන් සම්බන්ධතා වලින් මිදීම සඳහා ඊට සම්බන්ධ කිසි කෙනෙක්, කිසි දෙයක් අප විසින් නැති කළ යුතු නොවේ. අපට ඒ අය නැති කළ නොහැකිය. අප ඒ දේ හෝ ඒ අය නැති කිරීමෙන්, අපේ නිවන් මඟට කිසි උපකාරයක්ද ලබා ගත නොහැකිය. අපට වන ලාභයක් ප‍්‍රයෝජනයක් ද නැත. ඒ අයගේ පැවතීම හෝ ඒ අය අප හා සම්බන්ධතා පැවැත්වීමට හෝ ඒ සඳහා ඒ අය තැබූ බලාපොරොත්තු හෝ අපට බාධක නොවේ. අප ඒවාට පැටලුනොත්, ඒවා අපේ කරගන්නට උත්සාහ ගත්තොත් එයම සම්බන්ධවීමක් නිසා නිවන් මඟ වැසී යයි. සසර ගමන දික්වෙයි. මාගේ නිවන් මඟට ඇතිවිය හැකි එකම බාධකය මගේම සිත ඒ සම්බන්ධතා වල එල්ලී, ඒවා සමඟ බැඳී ඒවා මත්තෙහිම සිත මෙහෙයවීමයි.

මම සියලු දුක් විඳන්නේ උපන් නිසාමය. මගේ උපතට හේතු වූයේ මම, ”බවට” සම්බන්ධ වීමයි. සම්බන්ධතා පැවැත්වීමට කැමැත්ත තිබූ නිසාම ලෝකයාට බැඳුණි. විඤ්ඤාණය තම පැවැත්ම දිගටම පවත්වාගෙන යාම සඳහාම මේ සියල්ල කරන බව අවබෝධ කරගත යුතුය. දැන් සත්‍යය අවබෝධ වූ පසුව, විඤ්ඤාණයේ පාලනයට ගෙන පැවැති සියලු ඉන්ද්‍රියන්ගේ පාලනය, මනසට බුද්ධියට පවරා ගෙන ඒවා නිදහස් කර ගත යුතුය.

මේ හේතුඵල ක‍්‍රියාවලිය පිළිබඳව අගමුල දැන යථාවබෝධය ලැබීමෙන් පසුව මේ ක‍්‍රියාවලියෙහි වෙනසක් කරගත හැකි එකම සත්ත්වයා මිනිසා පමණි. මේ පැවැත්මට උපකාර වන ශක්තිය උපදවන ශක්ති ප‍්‍රභවය චිත්ත ශක්තිය බව මනසින් කල්පනා කර දැක ගත හැකිය. චිත්තජ රූප උපදවන උල්පත, සමුදය නැතිනම් ‘‘සං’’ උපදවන තැන විඤ්ඤාණයයි. විඤ්ඤාණය ක‍්‍රියාත්මකව පවතින තුරු ‘‘සං’’ උපත ලබයි. ‘‘සං’’ උපත ලබන්නේ මෝහය නිසාමය. රාග, ද්වේෂ, නිසාමය. මෝහය නිසා තම තමන්ම කරන, කියන, හිතන දේම මේ සියල්ලටම මුල බව දැන් අවබෝධ කරගත හැකි විය යුතුය.

චිත්තයේ කිළිටි බව, අපිරිසිදු බව උපදින්නේ දස අකුසලය නිසාමය. දස අකුසලයෙන් මිදී කුසල පුරා ගැනීම පිරිසිදු චිත්ත තත්ත්වයට පත්වීමයි. විඤ්ඤාණයේ උපදින සියලුම අවිද්‍යා සහගත බලාපොරොත්තු නිරෝධ කර, උල්පත් සිඳවීම නිවනට මඟයි. ඒ සඳහා කළයුතු, ඉන්ද්‍රියයන් හයම සංවර කර ඉන්ද්‍රියයන් පිනවීම නතර කිරීමයි.

විඤ්ඤාණය ඉතා බලවත් එකකි. තම පැවැත්ම පවත්වා ගැනීම සඳහා විඤ්ඤාණය හැම වෙර වීරියක්ම දරණු ඇත. අපව මෝහයෙන් මුලාකර, ප‍්‍රිය, මධුර දේ මවා පෙන්වා, ගින්න දාහය උපද්දවා බලාපොරොත්තු ඇති කර, ඉන්ද්‍රියයන් සංතර්පණය කරන්නේ විඤ්ඤාණයේ පැවැත්ම කරගෙන යාම සඳහාමය. මේ බොළඳ ක‍්‍රියා නිසා මුලා වූ වසඟයට පත් වූ සත්ත්වයාට මේ මුලාවෙන් බේරී යථාර්ථය දැක ලෙහෙසියෙන් නිදහස් වී යාමට ඉඩ නොදෙන්නේ විඤ්ඤාණයමය.

විශ්වය, ලෝකය යයි අප දන්නා අපට පෙනෙන මේ පැවැත්ම තුළම නොපෙනෙන සත්ත්වයින්ගේ ප‍්‍රමාණය, පෙනෙන සත්ත්වයින්ගේ ප‍්‍රමාණය මෙන්ම කිහිප ගුණයකි. දේව, බ‍්‍රහ්ම, අමනුස්ස, පේ‍්‍රත, භූත, අපාගත, ගන්ධබ්බ ආදී කිසිඳු සත්ත්ව කොටසක් මසැසින් අපට දැක ගත නොහැකිය. මනස දියුණු කරගත් උත්තමයෙකුට මේ සියලු සත්ත්වයින් දැක ගත හැකිය. ඔවුන් විඳින දුක් කන්දරාව දැක ගත හැකිය. මේ බොහෝමයක් සත්ත්වයෝ අප ආශ‍්‍රයෙන්ම ජීවත් වෙති. ස්වභාව ධර්මය යැයි අප සම්මතයෙන් අදහස් කරන සියලු දේ අපට වාගේම ඒ නොපෙනෙන සියලු සත්ත්වයින්ටද තම තමන්ගේ පැවැත්ම ගෙන යාම සඳහා උපකාර වෙයි. අපේ පැවැත්මට වාගේම ඒ නොපෙනෙන සත්ත්ව කොට්ඨාශ වල පැවැත්මට ඔවුන්, ඔවුන් විසින්ම තම චිත්තජ ශක්තියෙන් උපදවා, බිහිකර ගත් පරිසරය අපි ස්වභාව ධර්මය ලෙසින් හඳුන්වමු. ස්වභාව ධර්මයට විනාශයක්, හානියක් කරන හැම අවස්ථාවකම අපි ඒ නොපෙනෙන අනන්ත අප‍්‍රමාණ සත්ත්වයින්ගේ අයිතීන් විනාශ කරන්නෙමු.

සාදා බිහිකර නොගත් සංඛතයක් නොවන කිසිම දෙයක් මේ මිහිපිට නොමැත. එසේ සාදාගත් බිහිකරගත් සියලු දේ හැම මොහොතකම ගෙවී විනාශ වී යන අතර හැම මොහොතකම අලුතින් කොටසක් උපදවා එකතු කර ගනී. තම තමන් දැන් නිපදවා එකතු කරන දේ මතු දිනක තම තමාටම ආපසු ලැබෙයි. එය ධර්මතාවයයි. හේතුඵල ධර්මය අවබෝධ කර ගැනීමෙන්ම මේ තත්ත්වය දැක ගත හැකිය.

අද සත්ත්වයෙකු ජීවත්වනවා යැයි කරන්නේ මේ උපන් ජීවිත කාලය ගෙවීමට වඩා මතු උපතක් සඳහා වූ පරිසරය සකස් කර ගැනීමෙහි ක‍්‍රියාවලියක යෙදී සිටීමයි. අප නොදැනුවත්වම එය කරන්නේ විඤ්ඤාණය විසිනි. මතු පැවැත්මක අවශ්‍යතාවය ඇත්තේ විඤ්ඤාණයට මිස කයට හෝ මනසට නොවේ. අප හේතුඵල දහම යැයි ප‍්‍රකාශ කර, විස්තර කරන්නේ මේ විඤ්ඤාණයේ හැසීරීම විනා වෙන කිසිවක් නොවේ.

හොඳින් කල්පනා කර බැලුවොත් මේ කිසිඳු හේතුවක් ඉබේ බිහිවී නැත. අපේ කැමැත්තෙන්ම අප බලාපොරොත්තු ඇති කර ගෙනම බිහිකරගත් දේවල්ය. මෙතැන මම, අපි කියා ප‍්‍රකාශ කළත් මනසට අවබෝධ කරගත හැකි එකම ශක්තිය, බලය තමාගේම විඤ්ඤාණයම පමණි.

පටිච්චසමුප්පාද දේශණාව යනු, මේ හේතුඵල දහම විස්තර ලෙස පැහැදිළි කර දුන් දේශණාවයි. පටිච්ච සමුප්පාද දේශණාවේ සංඛාර මුළිින්ම සඳහන් කර විඤ්ඤාණය ඊළගට පෙන්වා දී ඇත. ඒ නිසා මේ හේතුඵල ක‍්‍රියාවලියෙහි මුල සංඛාර වලින් ආරම්භ වේ දැයි කෙනෙකුට සිතන්නට ඉඩ ඇත. නමුත් සංඛාරයක්, ශක්තියක් බිහිකරන තත්ත්වයට පත්වන්නේ එය බලාපොරොත්තුවක් ලෙස එළිි දැකීමෙනි. එය විඤ්ඤාණයේම නිර්මාණයකි. මනෝ සංඛාර, වචී සංඛාර, කාය සංඛාර තුනම විඤ්ඤාණයේ ස්පර්ශ වීමෙන්ම බලාපොරොත්තුවක් නිර්මාණය වී චිත්ත ශක්තියක් නිපදවයි. මේ ශක්තිය නිපදවීමේදී විඤ්ඤාණයට උපකාර වන අවස්ථා නවයක්ම ”ආදීනව” ලෙසින් පටිච්චසමුප්පාද දේශණාවෙහි පෙන්වා දී ඇත. මේ අවස්ථා නමයම කරුණු දාසයකින් එකින් එකට සම්බන්ධ වන අතර, චිත්ත ශක්තියක් බිහිවීමට (ජාති වීමට) නම් අවස්ථා නමයම (ආදී නවයම) පසුකළ යුතුය.

යම් සංඛාරයක් ජාති බවට පත්වීම පිළිබඳ ක‍්‍රියාවලිය 96 ආකාරයකින් හේතුඵල දහම ලෙස විස්තර කරදුන් ධර්මයයි. අද පටිච්ච සමුප්පාද ධර්මය යැයි හඳුන්වන්නේ, භාවිතා වන්නේ මෙයින් දෙකක් පමණි. නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන කුසල මූල පටිච්චසමුප්පාද ධර්ම විග‍්‍රහය, සම්පූර්ණයෙන්ම අද යටපත්ව ඇත. පට්ඨාන දේශණාව යැයි අද ගිරවුන් මෙන් කියවන මේ පටිච්චසමුප්පාද දේශණාවෙහි එන කරුණු පිළිබඳව තේරුම් ගැනීමම නිවන් අවබෝධ කර ගැනීමට මහත් උපකාරයක් වනු ඇත.

ජාති බවට පත් වීම නැතහොත් උපතක් ලැබීමට (චිත්ත ශක්තියක් බිහිවීමට) පෙර හැම සංඛාරයක්ම අවස්ථා නවයක්, ආදී නව අවස්ථාවක් පසු කළ යුතුමය. මේ හැසිරීම විස්තර කිරීම සඳහා 96 ආකාරයකින් පටිච්චසමුප්පාද දහම මගින් කළ විස්තරය පිටු දහසකින් හෝ විස්තර කියා නිම කළ නොහැකි දහමකි. අද මේ දහම යටපත්ව ගොස් ඇති බව කිව යුතුය.

අපේ කැමැත්ත අනුවම කැමැත්ත පරිදිම සංඛාරය කළ නිසා, ඉන් බිහිවන ශක්තියට (ජාති) උරුම වූ ඵලය නිතැතින්ම ලැබේ. ඒ නිසාම අවිද්‍යා මූලිකව හටගත් හැම සංඛාරකින්ම ජාති බිහිවන අතර ජරා, මරණ, ශෝක, පරිදේව, දුක්ඛ, දෝමනස්ස, උපායාස එහි විපාකයන් වෙයි. මෙහිදී හේතුව කර අවසන් වීමත් සමඟම, ඊට නියමිත ඵලයද ධර්මතාවයෙන්ම උරුම වී ඇත. මෝහය නිසා ඒ තත්ත්වය අපට නොපෙනේ. අපි කැමති ඵල විපාකයක් හෝ අප පැතූ ඵල විපාකයක් හෝ අපට නොලැබේ. හේතුවට ධර්මතාවයෙන් නියම වූ ඵලයම විපාකයම ලැබේ. හේතුව සිදුකර අවසන් වූ පසුව ඵලය වෙනස් කිරීමේ ශක්තියක් අපට නැත. ඵලයට අපි කැමති නැත. ඒ ඵලය එපා කියා අත් හැරීමේ හැකියාවක්ද නැත.

මිනිසෙකු ලෙස උපන් කෙනෙකුට මේ තත්ත්වය මනසින් සිතා සිහියෙන් යුතුව කටයුතු කිරීමෙන්ම පමණක් හේතුවක් (සංඛාරයක්) කරන්නට පෙර එහි ඵල විපාකය, ධර්මතාවයෙන් ලැබෙන උරුමය දැන, එය තමන්ට ගැළපේද, සුදුසු ද යන්න සිතා කටයුතු කිරීමේ හැකියාවක් ලැබී තිබේ. බුද්ධියෙන් දැක, ධාරණය කර, මනසින් විපස්සනා කර තමන් හිතන, කියන, කරන සියලු දේ තමන්ට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පොදුවේ ස්වභාව ධර්මයට හෝ කොයි ලෙසකින් බලපායිද? ඉන් අකුසලයක්, අවැඩක්, අසාධාරණයක් සිදුවේ නම් එය නොකිරීමත් එය තමන්ට හෝ වෙනත් සත්ත්වයෙකුට හෝ පොදුවේ ස්වභාව ධර්මයට හෝ යහපතක් සෙතක් සරණක් වේ නම් එය කිරීමත් සතියෙන් කටයුතු කිරීමයි. සතර සතිපට්ඨානය වැඞීමයි. මුළු බුද්ධ ධර්මයේම පදනම මෙයයි.

රාග, ද්වේෂ, මෝහ යන කිළිටි දහම් වලට ප‍්‍රිය මනාප කරන, ඇලුම් කරන අවිද්‍යා සහගත විඤ්ඤාණයට, හිතුමතේ කටයුතු කරන්නට ඉඩ හැර ඉන්ද්‍රියයන් පිනවීම බුද්ධිමත් ක‍්‍රියාවක් නොවේ. මෝඩයෙකුගේ හැසිරීමයි. මෝහය නිසාම කරන දේවල්ය. මිනිසුන් ලෙස කරන සියලුම සංඛාර ප‍්‍රධාන කොටස් 2කට බෙදා පෙන්විය හැක.

1. අවිද්‍යා මූලිකව කරන සංඛාර
2. කුසල මූලිකව කරන සංඛාර

ලෝභ , ද්වේෂ, මෝහ මෙන්ම අලෝභ, අද්වේෂ, අමෝහ යන කොටස් හයම අයත් සියලු සංඛාර අවිද්‍යා මූලිකවම කරයි. එහි ඵල විපාක හොඳ හෝ නරක විය හැකිය. පින් හෝ පව් විය හැකිය. ඒ කුමන ආකාරයක ඵලයක්, විපාකයක් වුවත් සංසාර ගමන දික්කරන හේතුමය.

කුසල මූලයෙන් කරන සංඛාර වන්නේ ලෝභක්ඛය, ද්වේෂක්ඛය හා මෝහක්ඛය කිරීම යන විසංඛාරයෝය. මේ සංඛාර තුනම මතු ඵල විපාක නොදෙන, අතහැර මිදී නිදහස් වීමට උපකාර වන ඒවාය. කුසල මූල යනු කුණු, පහත් දේ සළා හැර නිදහස් වීම යන තේරුමයි. මේ කුසල මූල සංඛාර වැඩිමෙන්ම චිත්ත පාරිශුද්ධිය ලබා විමුක්තිය අත්කර ගත හැකිය. කුසල මූල පටිච්ච සමුප්පාද ධර්මය අද භාවිතයෙන් ඉවත්ව යටපත් වීම නිවන් මඟ වැසී යටපත් වීමට හේතු විය.

අවිද්‍යාව මුල්කර උපදින සියලුම සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති ලෙසට පත් වී ජරා, මරණ, දුක්, දොම්නස්, ශෝක, පරිදේව, උපායාස ආදී සියලු ඵල විපාක දෙවන හෙයින් අවිද්‍යාවෙන් උපන් සංඛාර නිරෝධ කළ යුතුය. එය අවස්ථා නමය පසුකර ජාති බවට පත්වන්නට පෙර නිරෝධ කිරීමෙන්ම චිත්ත ශක්තියක්, උපතක් නොලැබෙන තත්ත්වයට පත්කර ගත හැකිය.

කුසල මූලයෙන් හටගන්නා සියලු සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, පසාදෝ, අධිමොක්ඛෝ, බව, ජාති බවට පත්වේ. ඒවා නිරෝධ කළ යුතු නොවේ. ඒවා ආශ‍්‍රය කිරීම මගින් චිත්ත පාරිශුද්ධියට පත් වී බුද්ධ ජාතියට පත්වේ. එහි ප‍්‍රතිඵලය ”ඒව මේ තේසං ධම්මානං සමුදයෝ හෝති” යනුවෙන් විභංගප්ප‍්‍රකරණයේ ඉතා පැහැදිළි ලෙස පෙන්වා දී ඇත.

යමක් අතහැර, නොඇලී, නොබැඳී, මිදී යාම ඵල විපාක වලින්ද නිදහස් වීමයි. යමක් ඇති විටකම ඵලයක් විපාකයක් ලැබෙනු මිස, නැති තැනකදී ඵල විපාක ලැබීමක් සිදු නොවේ. එය නිදහස් වීමක්ම පමණි. නිවන යනු සියල්ල අතහැර මිදී නිදහස් වීමයි. නිවන කිසි විටක ඵලයක් හෝ විපාකයක් නොවේ. සංඛතයක් ද නොවේ. මේ හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය මැනවින් තේරුම් ගෙන ගැඹුරින් විපස්සනාකර අවිද්‍යා මූලයන් නිරෝධ කිරීමෙනුත්, කුසල මූලයන් ආශ‍්‍රය කිරීමෙනුත් භාවනාවක් ලෙස භාවිතා කිරීම නිවන් දැකීමට උපකාර වේ.

සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ආදිය සාමාන්‍ය මිනිසුන් දකින්නේ මිනිසුන්, සතුන්, ගස් ආදී සම්මත ස්වභාවයෙනි. ඒ තමාට ඇති අවබෝධය හා දැනුම අනුවම දකින ආකාරයයි. ඒ පෘථග්ජන තත්ත්වයෙන් මිදී, අරිය බවට පත්වූ පසුව, මේ සම්මතය මෙන්ම සම්මතය තුළින් දැකිය හැකි පරම සත්‍යය ගැනද වැටහීමක් ලැබෙයි. සක්කාය දිට්ඨියෙන් මිදීම යනු මෙයයි.

සම්මතයෙහි, හොඳයි, යහපත්, නිවැරදියි යන දේ පමණක් සිතමින්, කියමින්, කරමින් සිටීම කිසිසේත් නිවන් දැකීමට ප‍්‍රමාණවත් නොවේ. සම්මතය ලෝකය පැවැත්වීමකි. ඒ ලෝකය තුළ කොපමණ හොඳ දේ වුවත්, නිවැරදි දේ වුවත් ලෞකිකත්වය තුළම හිරවීමකි. නිවන් දැකීම යනු මේ අයිති කරගෙන සිටින, අල්ලාගෙන සිටින, හොඳ කරන්නට හදන ලෝකයෙනුත් මිදී යාමයි. කෙස් ගහක් තරම් හෝ සම්මත ලෝකයේ යමක් අල්ලාගෙන සිටියේ නම් ඒ විඤ්ඤාණයෙහි ආහාරයකි. නිවනට බාධාවකි.

ළදරුවෙකු ලෙසින් ලොවට බිහිවූ කෙනෙකු කල්යත්ම ලොකු මහත්වී, මිනිසකු වී මහලු වෙයි. අන්තිමේ මිය යයි. දරුවා තරුණයෙකු බවට පත්වූ පසුව ඒ තරුණ තත්ත්වයෙන්ම හැමදාම පවත්වා ගැනීම අපි හැම කෙනෙකුගේම කැමැත්තයි. අපි කොයි ආකාරයෙන් කැමති වුවත් අපේ කැමැත්තට අනුව මේ ලොව බිහිවූ පවතින කිසිම දෙයක් පැවැත්විය නොහැකිය. ලබාගත නොහැකිය. සිදුනොවෙයි. එය ”අනිච්ච” නැමති ධර්මතාවයයි. ”අනිච්ච” මිස ”අනිත්‍ය” නොවේ.

හොඳයි, සුවයි, යහපත්, ප‍්‍රියයි, මධුරයි යනුවෙන් හිතන, පතන කිසිම දෙයක්, කිසිම කෙනෙක්, කිසිම තැනක් කොපමණ ළංකර ගත්තත්, ආරක්ෂාකර ගත්තත් ඒ සියල්ල සම්මතයන් නිසා වෙනස් වී, විපරිණාමයට පත්වී, විනාශයට පත්වීම සිදු වෙයි. ඉතිහාසයේ අප අසා ඇති හැමදේම, හැම කෙනෙකුම නැතිවිය. දැන් අප දකින සෑම දේම, හැම කෙනෙකුම අපේ ඇස් පනා පිටම වෙනස් වී, නැති වී, විනාශ වී යන්නේය. මතු බිහිවන සියලු දේද මේ ඉරණමටම ගොදුරු වන බව ඒකාන්තය. මේ ධර්මතාවය සදාකාලිකව ලොව පවතින ධර්මතාවයයි. එසේ නැතිව විනාශ වී යන ලෝකයකින් ස්ථිර බවක්, වින්දනයක් සුවයක් බලාපොරොත්තු වීම මේ දුකට හේතුවයි. අප එවැනි සුවයක්, වින්දනයක්, ප‍්‍රිය මධුර බවක් බලාපොරොත්තු නොවී ඒවා අපේ කරගන්නට උත්සාහ නොකළේ නම්, ඒ කැඞී, බිඳී, විනාශ වී යන දේ නැති වී, විනාශ වීම ඒවායෙහි ස්වභාවයම බව අවබෝධ කරගත්තේ නම් අපට වේදනාවක්, අසහනයක් ඇති නොවේ. අර්ථයක් නැති, හරයක් නැති, වටිනාකමක් නැති දේවල් අපේ කරගන්නට අයිතිකරගන්නට යාමම අපව අනාථ තත්ත්වයට පත් කරයි. මෙය ”අනත්ථ” ධර්මතාවයයි. ”සබ්බේ ධම්මා අනත්ථාති” යනු මෙයයි. මෙය අනාත්ම යන අදහස නොවේ.

”අනිච්ච, දුක්ඛ, අනත්ථ” යන ත‍්‍රිලක්ඛණය යම් තරමකට හෝ අවබෝධ කර ගැනීම ”දුක” පිළිබඳ චතුුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමට උපකාර වෙයි. මේ අනිච්ච ලෝකයෙහි අනාථ තත්ත්වයට පත්වීම දුක උරුම වීමට එකම හේතුවයි. මෝහයෙන් මුළා වී, අවිද්‍යාවෙන් අතරමං කරන මේ සියලු සංඛාර, විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම කරන දේ බව තේරුම් ගත යුතුය. මේ දැඩිව අල්ලාගෙන අන්ධ බවින් භවයට බැඳී සිටින සියලු බැමි වලින් මිදී, ඒවා අතහැර, නිදහස් වීම මොන තරම් සුවයක් විය හැකි දැයි සිතන්නට පවා හැකි වන්නේ ඒ නිදහස අත්විඳගත් කෙනෙකුටමය.

ලෝකයේ පවතින, ජීවත්වන කිසි කෙනෙකු, කිසි වස්තුවක්, කිසි තැනක් අපට බාධා නොකරයි. ඒවා කිසිවක් අපට නැති කළ නොහැකිය. නැති කිරීම අවශ්‍ය ද නොවේ. නැති කිරීමෙන් අප ලබන ලාභයක් හෝ පාඩුවක්ද නැත. ඒවා අපේ ගමන නිමා කර නිවන් දැකීමට කිසි ලෙසකින් උපකාර නොවන අතර බාධකද නොවේ. අප ඒවාට අන්ධ බවින් ඈඳීම පමණක් බාධක වෙයි. ඒ බාහිර පුද්ගලයින්ට, වස්තුවලට අපිම අපේ සිතින්ම සම්බන්ධ වී, ඇලී බැඳී අපේ කරගන්නට යාමම භවට ඈඳීම බව දැන සතියෙන් ඒවා අතහැර නිදහස් වීම නිවනයි.

මේ ජීවිතයේදී අප දැන් ලබා සිටින කය පිළිබඳව නිවැරදි අවබෝධයක් ඇතිකර ගත යුතුය. පසුගිය උපතේදී අපි මියයන්නට පෙර තවදුරටත් ජීවත්වීමේ දැඩි බලාපොරොත්තුවක්, ආශාවක් තිබූ නිසාම ඒ චිත්තජ ශක්තීන්ගේ බලයෙන්ම යළි කයක් ලබා ඉපදුනි. මේ කය මේ ජීවිතයේදී හදාගත් දෙයක් හෝ ලබා ගත් දෙයක් හෝ නොවේ. දැන් අපේ කැමැත්ත, පැතුම, බලාපොරොත්තුව කුමක් වුවත් ලැබූ ඵලය වෙනස් කළ නොහැකිය. ලබා උපන් ආයුෂ අවසන් වෙන තුරු කොපමණ උත්සාහ කළත් අපට මරණය සිදුකර ගත නොහැකිය. මේ ලැබූ ආයුෂ බලයෙන් ගෙවා අවසන් කළ හැකි එකක්ද නොවේ.

මේ තත්ත්වය පිළිබඳව නිවැරදි අවබෝධයක් ලබා උපතේදී ලැබූ හිත, ගත පවත්වා ගන්නට අවශ්‍ය අවම අවශ්‍යතා එය පවතින තුරුම ඉටුකළ යුතුය. මේ කයට දැඩිව නොබැඳී, නොඇලී, ඉන්ද්‍රිය සංතර්පණයෙන්, ඉන්ද්‍රියන් පිනවීමෙන් වැළකී සිටිය යුතුවා වාගේම කයට දැඩි දුක් පීඩා, වද වේදනා දීමෙන්ද වැළකී සිටිය යුතුය. මේ ගත හිත දෙකම සංසාර පුරුදුය. දැන් මේ පුරුදු භාවනාවෙන්, දර්ශනයෙන් හෝ සංවරත්වයෙන්ද පූර්ණ ලෙසින් නැති කර දැමිය නොහැකිය. නිවන් දුටු අරහතුන් වහන්සේටද සිවු පසයම අවශ්‍ය වන්නේ මේ හේතුවෙනි. අටලෝ දහමම ඉවසා දරා සිටීම, එයින් උද්දාම නොවීම, කම්පා නොවීම නියම සංවරත්වයයි. මෙවන් සියලු කරුණු පිළිබඳව යථාවබෝධයක් ලැබූ පසු, හේතුඵල ධර්මතාවය පිළිබඳව සත්‍යය දැක්ක පසු, කළ යුතු එකම දේ මතු මතුත් මෙවන් දුක් දෙන, වේදනා ගෙන දෙන, රෝග බිය උපදවන, අසහනය දාහය ලබාදෙන, පංචස්කන්ධයක් උපාදානය කරගන්නට විඤ්ඤාණය දරණ උත්සාහය පරදවා, අවිද්‍යා සහගත සියලු විඤ්ඤාණ ශක්තීන් නිපැදවීම නතර කර, විඤ්ඤාණයේ ආහාර නතර කිරීමයි. හේතුඵල දහමෙහි එන ”හේතු නැති තැනකම ඵල නැතිවේ” යන ධර්මතාවය අවබෝධ කර දැරීම බුද්ධ ධර්මයයි. විමුක්ති මාර්ගයයි.

Share Button

විඤ්ඤානය හා ගති ලක්‍ෂණ එකතු කිරීම

විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතකින් කටයුතු කරන හැම පුද්ගලයෙකුම  ”මම”  නැමැති  සංකල්පයක්,  ඒකකයක්  තම  සිතෙන්ම  සකස්කරගෙන ජීවත්වෙයි. මෙය මඤ්ඤතාවය ලෙසින් ද බුදු දහමේ පෙන්වා දී ඇත. මෙය දෘෂ්ඨියකට බැඳීමකි. සංසාරයි කියා, සංඛාර කරමින් ලෝකයට සම්බන්ධ වී එකතුකරන සියලු දේ එකතු කරන්නේ ”මම” යනුවෙන් ගත් දෘෂ්ඨිය නිසාමය.

මේ අනුව විඤ්ඤාණයෙන් උපන් සත්ත්වයෙකු විඤ්ඤාණ තත්ත්වයෙන් සිත ක‍්‍රියාත්මක වන තුරාවට, උපන් මොහොතේ පටන් මියැදෙන තුරාවටම, අරහත් තත්ත්වයට පත් නොවූයේ නම් රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ යන ගති ලක්ෂණ එකතුකර, ඒ ගති ලක්ෂණ හයට අදාළ චිත්තජ ශක්තීන් (ජාති) උපදවා එකතුකරගෙන චිත්තසංථානයේ ගබඩාකර ගනී. ඒවාම ඉන්ධන ලෙස භාවිතයට ගනිමින් සංසාර ගමන යයි.

මිනිසෙකු  ලෙස  උපන්  කෙනෙකු  ගැන  සළකා  බැලුවහොත්,  තම  මුළු  ජීවිත කාලයක් තුළදී කරන, කියන, හිතන සියලු සංඛාර කරන්නේ යම් යම් දේ එකතුකර ගැනීමටය. මෙසේ එකතු කරගන්නා සියලු දේ ප‍්‍රධාන කොටස් තුනකට බෙදා වෙන්කර පෙන්විය හැකිය.

01) උපන් මෙහොතේ පටන්ම දෙමව්පියන්, නෑදෑයින්, අඹුදරුවන්, සහෝදර සහෝදරයින් යාලු මිත‍්‍රයින්, සේවක ස්වාමින් ආදීන් එකතු කර ගනී. කල්යත්ම සතුරන් ද එකතුකර ගනී. තමන්ට හිමි නැති දේ සොරාගෙන බලෙන් අල්ලා ගෙන,  එකතු  කරගෙන,  පරිහරණයට  ගෙන  ලෝකයට  ණයකාරයෙකුද  වෙයි. මෙයද  එකතුකර  ගැනීමකි.  මිල  මුදල්,  ගේ  දොර,  වතුපිටි,  පොත්පත්  ආදී දහසකුත් භෞතික දේ ද එකතු කරගනී.මේ ලෙසින් එකතුකර ගත් කිසිවකු හෝ කිසිවක් හෝ තම අතින් අල්ලාගෙන නැත. සියලු  ආකාර  වූ  අය,  දේ,  තැන්  එකතුකරගෙන  උපාදානය  කරගෙන,  සීමා  මායිම් පනවාගෙන, පවත්වාගෙන යන්නේ තම සිතෙන්ම පමණි. සම්මත ව්‍යවහාරික ලෝකයක මිස සත්‍ය ලෝකයක මේ කිසිම සීමාවක්, අයිතියක් පැනවිය නොහැක.

02) උපදින මොහොතේ අඟල් ගණනකට සීමා වූ කිලෝ දෙක තුනක් බරට සිටි මේ  පංචස්කන්ධය  රූප,  වේදනා,  සංඥා,  සංඛාර,  විඤ්ඤාණ  යන  කොටස් පහකින්  යුතු  වත,  අද  වන  විට  විවිධ  ආහාර  පාන  ලබා  දී,  කවා  පොවා පෝෂණය කර, ලොකු මහත් කර හදා වඩා ගෙන, අද පවතින මේ තත්ත්වයට ගෙනාවේ යම් යම් දේ එකතුකර ගත් නිසාමය. මම යැයි, මගේ යැයි, මගේ ආත්මය යැයි ගෙන මේ පංචස්කන්ධයද සිතින්ම උපාදානය කරගත්, පංචඋපාදානස්කන්ධයකි. මෙය ද එකතුකර ගත් තවත් මූලික කොටසකි.

03) උපන් හැම මිනිසෙකුම තම ජීවිත කාලය තුළදී විඤ්ඤාණයේ ක‍්‍රියාකාරීත්වය සඳහාත්,  විඤ්ඤාණයේ  මතු  පැවැත්ම  සඳහාත්  උපකාර  වන  ගතිගුණ, ගති ලක්ෂණ, හුරු පුරුදු, චර්යා රටා, ඇබ්බැහිකම් ද එකතුකර ගනී. මෙසේ එකතුකරගත්  ගති  ලක්ෂණ  සියල්ලම  ”භව”  යන  පදයෙන්  පටිච්ච  සමුප්පාද ධර්මයේ පෙන්වා දුන්, ඒ ඒ භවට පත්වීමට උපකාර වන ගති ලක්ෂණයෝය. ඒ සියල්ල ද එකතුකරගෙන චිත්තසංථානයේ ගබඩා කර ගනී.

හැම මිනිසෙකුම උපන් මොහොතේ පටන් මියැදෙන මොහොත දක්වාම සංඛාර කරමින් තම කැමැත්තෙන්ම එකතුකර ගන්නා මේ කොටස් තුනටම අදාළ සියලු දෑ මතු මේ ජීවිතය පවත්වාගෙන යාමට මෙන්ම, මතු මතුත් උපතක් සකස් කර ගැනීම සඳහාත් ගබඩා කර  පවත්වා ගන්නා චිත්තජ ශක්තීන්ය.

මෙලෙස ජීවිත කාලයක් තුළ දුක්විඳ මහන්සි වී, වෙර වීරිය යොදා හරිහම්බ කර රැක  බලා  ගත්  සබ්බ  සකළමනාවත්,  සියලු  නෑදෑයින්,  හිතමිතුරන්,  දුවා  දරුවනුත්, ආදරයෙන් මගේ යැයි කියා කවා පොවා පෝෂණය කළ, රැුක බලාගත් මේ පංචස්කන්ධයත්, මරණ මොහොතේ දී අතහැර දමා යන්නට වීම නියතය. මෙසේ ජීවිත කාලයක් තුළ එකතුකර ගත් භෞතික, නාමික, කිසිම දෙයක්, කෙස්ගහකවත් දෙයක් මතු උප්පත්තියක් ලබන තැනකට කිසිම කෙනෙකුට ගෙන යා නොහැකිය. මෙහි පළමුවන හා දෙවන කොටස් වලට අයත් සියලු දේ හා අය කොතරම් උපාදානය කර මගේ යැයි දැඩිව අල්ලාගෙන සිටියත්, මරණ මොහොතේ ඒ සියල්ල අතහැර හිස් අතින්ම යා යුතුය.

මෙහි සඳහන් කළ තුන්වැනි කොටසට අයත් ජීවිත කාලයක් පුරා එකතු කරගත්, උපාදානය කරගත් ගබඩා කරගත්, ගති ලක්ෂණ (භව) චිත්තසංථානයේ චිත්තජ ශක්තීන් ලෙස තැන්පත් වී කර්මජ කෝෂයේ ද කර්මජ රූප ලෙසින් ගබඩා වී පවතින නිසා, ඒ ගති ලක්ෂණ කෙස්ගහකවත් දෙයක් අත නොහැර ඒ සියල්ලම මතු උපතක් ලැබීමේ දී, ඒ මතු උපත ලැබූ විඤ්ඤාණයට ද උරුමයෙන්ම හිමිවෙයි. සංසාර රිය ගමන නොකඩවා ගෙන යාමට උපකාර වන්නේ මේ ගති ලක්ෂණයන්ය. පංචස්කන්ධයේ මරණයත් සමඟ විනාශ නොවන මෙවන් ගති ලක්ෂණයන්, චිත්තජ රූප ලෙස (ජාති) ක‍්‍රියාත්මක වී, ඒ චිත්තජ රූපවල ශක්තියෙන්ම අලුතින් විඤ්ඤාණයක් ද උපදවාගෙන නැවතත් එකතු කරන්නට පටන් ගනී. මෙසේ අනන්ත සංසාරය තුළ තමාම එකතුකරගත් චිත්තජ ශක්තීන්, ගති ලක්ෂණ, හුරු පුරුදුකම්, මරණ මොහොතේ දී එපා කියා ප‍්‍රතික්ෂේප කිරීමේ හැකියාවක් ද කිසිවෙකුට නැත.

මිනිසෙකු ලෙස ජීවත්වන මේ ජීවිත කාලය තුළ දී එවැනි නරක ගතිගුණ, ගති ලක්ෂණ අතහැර, සළාහැර චිත්ත පාරිශුද්ධත්වයට පත් වන්නටත් හැම මිනිසෙකුටම හැකියාවක්ද තිබේ. හේතුඵල දහම අසා, එකතු කරන කෙළෙස් දැක (සං දැක) සංවර වීමෙන්, සංසිඳුවීමෙන්, සං නිරෝධ කිරීමෙන් හා සම්මා වීමෙන් එය කරගත යුතුය. මේ මහඟු  අවස්ථාවෙන්  නිසි  ඵල  ප‍්‍රයෝජන  ලබා  නොගත්තේ  නම්  ධර්මතාවයෙන්ම එකතුකරගත් දේවල්වල උරුමය සංසාර ගමන පුරාම තමාටම කර ගසන්නට ද සිදුවෙයි. මෙසේ සත්ත්වයෙකු, පුද්ගලයෙකු එකතු කර ගන්නා (සං) ගති ලක්ෂණයන් (භව) බුද්ධ ධර්ම විග‍්‍රහයේ මූලික කොටස් හයකට බෙදා විග‍්‍රහ කර පෙන්වා දී ඇත. ඒ මූලික කොටස් හය නම් ලෝභ බව, ද්වේෂ බව, මෝහ බව, අලෝභ බව, අද්වේෂ බව, අමෝහ බව යනුයි. සියලුම ආකාර වූ සංඛාර කිරීමෙන්ම එකතු කර ගන්නා ගති ලක්ෂණ මේ කොටස් හයට බෙදා විග‍්‍රහ කර දැක්විය හැකිය.

මේ ගති ලක්ෂණ හයට (භව) අදාළ චිත්තජ රූප, චිත්තජ ශක්තීන්, (ජාති) ලෙසින් තම කර්මජ කෝෂයෙහිම තැන්පත් වන නිසා මතු උපතකදී භාවිතා කරන්නට හැකි ඉන්ධන වශයෙන් ද මේවා පෙන්වා දිය හැකිය. මෙසේ ඉන්ධන එකතුකර, ගබඩාකර, තැන්පත් කළේ තම විඤ්ඤාණය විසින්මය. මිනිසෙකු ජීවත්වන කාලය තුළදී ද සිතින්, ක‍්‍රියාවෙන්, කථාවෙන්, කරන සංඛාර නිසාම මේ ඉන්ධන එකතුකර ගනී.

මේ කරුණු අනුසාරයෙන් මනස මෙහෙයවා තේරුම් ගත යුතු එක්තරා විශේෂ කාරණයක් මෙහිදී පෙන්වා දිය යුතුය. එනම් යම් පුද්ගලයෙකු, සත්ත්වයෙකු උපතක් ලබා ජීවත්වන මේ වර්තමාන ජීවිත කාලය තුළ (සංකල්පය තුළ) විඤ්ඤාණයෙන් කරන, කියන, හිතන බොහෝ දේ, බොහෝ සංඛාර කරන්නේ මතු ජාතියක උපතක් සහතික කර ගැනීම සඳහා අවශ්‍ය බීජ නිපදවා ගබඩා කර ගැනීමට කරන ක‍්‍රියාවලියකි. වෙනත් වචනවලින් ප‍්‍රකාශ කළොත් මේ ජීවිත කාලය තුළ සංඛාර කර චිත්තජ ශක්තීන් එකතුකර, ගබඩාකර, බිත්තර වී අටුවේ තැන්පත් කරන්නාක් මෙන් නිරතුරුවම කරන මෙම ක‍්‍රියාවලිය, මේ ජීවිතයේ පැවැත්මට වඩා මතු ජීවිත උපතක් සහතික කර ගන්නට විඤ්ඤාණය විසින්ම ක‍්‍රියාත්මක වීමකි. ඒ අනුව තමන්ගේම විඤ්ඤාණය සියලු වෙර වීරිය දරා, සත්ත්වයා මුළාකර, ප‍්‍රිය, මධුර දේ මවා පෙන්වා ”සං” එකතු කරන්නේ, විඤ්ඤාණයේම මතු පැවැත්ම සහතික  කර  ගැනීමට  අවශ්‍ය  බීජ  එකතුකර  ගබඩා  කිරීමේ  ක‍්‍රියාවලියක  යෙදීම  බව පැහැදිළිවම අවබෝධ කරගත යුතුය.

මිනිසෙකු ලෙස උපතලත් ඔබට මේ කරුණු කාරණා හොඳින් අසා තේරුම් ගෙන, මනසින් කල්පනා කර, හේතුඵල දහම දැක, මේ සංසාර ගමනට මුල් වූ සියලු හේතු ද තේරුම් ගත හැකි විය යුතුය. මේ ලෝකයද ඔබේම විඤ්ඤාණය විසින්ම විඤ්ඤාණයේ පැවැත්ම සඳහාම සකස්කරගෙන, පවත්වාගෙන යන එකක් පමණි. ඔබේම විඤ්ඤාණය මේ ආකාරයට එකතු කරගන්නා කුණු දැක කිළිටි, අඳුරු ගති ලක්ෂණ දැක, ඒවා කෙළෙස් බව දැක, ඒ සියලු කුණු සළාහැර, එවන් බීජ නිපදවීම නවත්වා, තැන්පත් කර ගබඩා වී ඇති බීජද සළාහැර, කුණු මල්ල ශුද්ධ පවිත‍්‍ර කර ගැනීම හෝ තව තවත් කුණු එකතු කර මල්ල පුරවා ඒ බර කරට ගෙන සංසාර ගමන යාම හෝ තෝරා ගැනීම ද ඔබටම අයිති කාර්යයකි.

මීට පෙර ජාතියේදී එකතුකර ගත්, ගබඩා කරගත් ගති ලක්ෂණ හෝ මේ ජීවිතයේදී මෙතුවක් කල් එකතුකර ගත් ගති ලක්ෂණවල හෝ ඵල විපාක විනා පූර්ව සම්බන්ධතාවයකින් තොරව හේතුවක් නැතිව, අහම්බෙන් කිසිවක් සිදුවන ධර්මතාවයක් ලොව නොපවතී. මෙම ධර්මතාවය පැහැදිළිවත්, සරළ ලෙසත් විග‍්‍රහ කළ බුද්ධ ධර්මය, හේතුඵල ධර්මයයි.

ජීවත්වීම, ජීවිතය පැවැත්වීම යනුවෙන් විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන තම සිතම මේ සියලු ගති ලක්ෂණ එකතු  කර ගන්නා බවත්, එකතුකර ගබඩා කර ගන්නා බවත් විඤ්ඤාණයම තම මතු පැවැත්ම සඳහා ඒවා භාවිතා කරන බවත් පැහැදිළි විය යුතුය. පුද්ගලයෙකු, සත්ත්වයෙකු, මිනිසෙකු, දෙවියෙකු, බ‍්‍රහ්මයෙකු හෝ වෙන මොනයම් බලවතෙකු වුවත් මීට වඩා හරයක්, අර්ථයක්, වටිනාකමක් ඇති ක‍්‍රියාකාරකමක් මේ සංසාර ගමනේ දී කරන්නේ නැත. කම් සැප, රජ සැප, දෙව් සැප, බ‍්‍රහ්ම සැප ආදී මොනයම් සැප හෝ බලාපොරොත්තුවකට පමණක් හෝ සීමාවූවක් මිස, විඤ්ඤාණයේම අවශ්‍යතාවයක් මිස වෙනත් හරයක් අර්ථයක් මෙහි නැත. මිනිසෙකු ලෙස උපතක් ලැබූ මේ ජීවිතයේදී, මිනිස්කමටම පමණක් උරුමයෙන් ලැබුණු මනස මෙහෙයවා, මනස පිරිසිදු කරගෙන, ධර්මය අසා මේ පැවැත්මෙහි සත්‍යය ස්වරූපය දැක, තේරුම් ගෙන සංසාර ගමන දිගින් දිගටම දුක් විඳිමින් පවත්වා ගන්නට උපකාර වන රාග, ද්වේෂ, මෝහ, අලෝභ අද්වේෂ, අමෝහ තව තවත් එකතු කර ගන්නවා ද, සංසාර ගමන නිස්සාර බව දැක ඉන් සදහටම මිදී දුකින් නිදහස් වෙනවාද යන්න නිගමනය කර, ඒ සඳහා අවශ්‍ය ප‍්‍රතිපත්ති සම්පූර්ණ කර ගැනීමට හැම මිනිසෙකුටම හැකියාව ඇත.

එකතුකර ගන්නා සියලු ගති ලක්ෂණ හොඳ හෝ නරක මෙන්ම පින් හෝ පව් විය හැක. මොනවා වුණත් මේ ගති සංසාර ගමන දිගින් දිගටම සුගතියට හෝ දුගතියට පත්කරවන්නටම උපකාර වන බව දැන, මේ කුණු කද පැත්තකට දමා බරෙන් නිදහස් වී, චිත්ත පාරිශුද්ධතාවයට පත් කරගෙන කටයුතු කරන්නට මිනිසාට උරුම වූ මනස බලවත් අවියකි.  මේ  අවිය  උපකාර  කරගෙනම  විඤ්ඤාණය  විසින්  එකතු  කරන  කුණු  දැක, විඤ්ඤාණය ආහාර සඳහා ගබඩා කරගත් කුණු කන්දරාවද දැක, ඒ කිළිටි, කහට, අඳුරු කුණු  කන්දරාව  එකින්  එක  මැන  තෝරා  බේරා  සළා  හැරීම  සඳහා  කළ  යුත්තේ, බුදුපියාණන් පෙන්වා වදාළ ලෝකෝත්තර කුසලය පූර්ණ කර ගැනීමයි. සංසුන්වීම, සංයමයට පත්වීම, සංවරවීම, සංසිඳුවීම, සං නිරෝධ කිරීම, සම්මා බවට පත්වීම මේ ක‍්‍රියාවලියයි.

තමන්ම සංසාරය පුරා සාරයි කියා එකතුකර ගත් ගති ලක්ෂණ (කුණු) සළාහැර පිරිසිදු වෙනු මිසක වෙනයම් හාස්කමක් මෙහි ඇත්තේ නැත. මෝහයෙන් මිදී ප‍්‍රඥාලෝකය උපදවා පහදා ගැනීම යනු විඤ්ඤාණයම එකතුකර ගත් කුණු තට්ටු වලින් වැසී, අඳුරු වී පවතින චිත්තය ඒ කුණු තට්ටු ඉවත්කර පිරිසිදු කර ගැනීමයි. මෝහය යනු චිත්තය කුණු වලින් වැසීී, මුවා වී පැවතීමයි. මේ සංසාර ගමනේ ජීවත්වීම නම්, පැවැත්මේ සත්‍යය ස්වරූපය කෙනෙකුට පහසුවෙන් දැක ගන්නට නොහැකි වී මංමුළා වන්නේ මේ මෝහ ගති ලක්ෂණයන් සිතක පවතින නිසාමය. එසේ චිත්තය මුවහ කර, වැසී නොතිබුණේ නම්, විඤ්ඤාණයට පැවැත්මක් ද නැත. මෙයම තවත් ආකාරයකින් විස්තර කළොත් ”සං” නැමැති ඉන්ධන එකතුකරන ක‍්‍රියාවලිය පවතින තුරාවට විඤ්ඤාණය ද ක‍්‍රියාත්මක වෙයි. විඤ්ඤාණය ඒවාම ආහාර ලෙසින් පරිහරණය කර තමන්ගේම මතු පරිභෝජනයට ද ඒවාම ආහාර ලෙස එකතුකර, ගබඩා කරගනී.

පිරිසිදු චිත්ත තත්ත්වයෙන් පවතින සිතකින් චිත්ත ශක්තීන් (ජාති) හෝ ගති ලක්ෂණ (භව) නිපදවා එකතුකර ගත නොහැකිය. සංඛාර පැවැත්වීම, එනම් මේ ”සං” එකතු කිරීමේ ක‍්‍රියාවලියෙහි පිරිසිදු චිත්තය යෙදෙන්නේ ද නැත. පිරිසිදු චිත්තයකට මතු භාවිතයට ගත හැකි ඉන්ධන (බීජ) ගබඩා කර ගැනීමේ ශක්තියක්ද, අවශ්‍යතාවයක් ද නැත. ලෝකය උරා රස බැලීමෙහි ක‍්‍රියාවලියෙන් ද සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇත. අරහත් තත්ත්වයට පත්වීම යනු විඤ්ඤාණ තත්ත්වයේ පවතින කිළිටි සිත පිරිසිදු කර, චිත්ත තත්ත්වයට පත්කර ගැනීම මිස වෙනත් කිසිවක් නොවේ. අරහත් යනු ලෝකය උරා බී, ලෝකය රහ බලන්නට මෙතෙක් තිබූ පළපුරුද්දෙන් ඉවත් වී, ලෝකය රස බැලීම අතහැර අරහත්  තත්ත්වයට  පත්වීමයි.  එය  කළ  හැක්කේ  ද  කරගත  යුත්තේ  ද  විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින මේ හිතම උපකාර කරගෙන බවද අමතක කළ යුතු නොවේ. ඒ සඳහා වෙනත් හිතක් ද නැත.

මෙලෙස විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන සිතකින් එකතුකර ගන්නා සියලු ගති ලක්ෂණයන් සම්මත ව්‍යවහාර භාෂාවෙන් ලෝකයා, ගතිගුණ, ගති ලක්ෂණ, චර්යා රටා, හුරු පුරුදු, ඇබ්බැහිකම් ආදී විවිධ වචන වලින් හඳුන්වති. මේ මොන වචනවලින්  හෝ හඳුන්වන ගති ලක්ෂණ සියල්ලම බුද්ධ භාෂිතයෙහි ”භව” යන පදයෙන් හැඳින්වීය. රාග බව, ද්වේෂ බව, මෝහ බව, අලෝභ බව, අදේවේෂ බව, අමෝහ බව ආදී විවිධ ”බවට” විඤ්ඤාණය පත්වන්නේ, තම තමන්ම එකතුකර ගත් ගති ලක්ෂණ නිසාමය. පටිච්ච  සමුප්පාද  දේශණාවේ  බුදුපියාණන්  විග‍්‍රහ  කර,  පැහැදිළි  කර  දුන්නේ,  ඒ  ඒ පුද්ගලයාම සංඛාර පැවැත්වීමෙන් එකතුකර ගන්නා ගති ලක්ෂණ (භවට පත්වීම) නිසා, ඒ බවට අදාළ චිත්තජ ශක්තීන් (ජාති) උපදවා ගබඩා කර ගන්නා ආකාරයයි. එය හේතුඵල ධර්මයයි.

මේ ගති ලක්ෂණ (භව) හයම නැවතත් කොටස් තිස් එකකට බෙදා ධර්ම විග‍්‍රහයේ පෙන්වා දී ඇත. තම තමන්ම එකතුකර ගබඩා කර ගත් ගති ලක්ෂණයන්ට අනුව, තම තමන්ට මතු උරුම වන ”ජාති” (උපත්) පෙන්වූ ආකාරය මෙයයි. මේ ගති ලක්ෂණ 31 ට අදාළව සත්ත්ව ලෝකයද භව 31 කට බෙදා පෙන්වා ඇත. නරකයේ පටන් මිනිස් ලොව, දෙව් ලොව ඇතුලු කාම භව 11 ක් ද, මනෝමය ආත්ම ප‍්‍රතිලාභය ලබන රූපාවචර බ‍්‍රහ්ම ලෝක 16 ක් ද, අරූපාවචර ලෝක 4 ක් ද ලෙස මේ භව 31 කට බෙදා පෙන්වා දී ඇත.

මේ හැම ජාතියකම ප‍්‍රතිසන්ධිය, උපත ලැබීමට හේතුව එකම විඤ්ඤාණය විවිධ තත්ත්වයන්ට, ගති ලක්ෂණවලට (භවට) තමන්ම පත්කර ගැනීමයි. මේ ගති ලක්ෂණයන් හැර තේරුම් ගන්නට බැරි ආශ්චර්යයක් හෝ විශ්ව කර්ම දෙයක් මෙහි නැත. මහා බ‍්‍රහ්මයා, සක් දෙව් රජ, ආදී සියලුම දෙනාත් මේ සත්ත්ව කොටසටම අයත් ඒ ඒ ගති ලක්ෂණයන්ට පත් වූ විඤ්ඤාණයෙන්ම ජීවත් වන අයයි. ඒ ඒ අය පුරුදු පුහුණු කරගත් ගති ලක්ෂණවලට අදාළවම බලය, ශක්තිය ද උරුම වෙයි.

මේ කාරණයෙන් නියත ලෙස ගම්‍ය වන, තේරුම් ගත යුතු සත්‍යය නම් අද ජීවත්වන, මේ උපතේදී බහුල ලෙස හුරු පුරුදු කරගත් ගති ලක්ෂණවලට අදාළවම මතු උපත ලබන ”ජාතිය ද” තීරණය වන ආකාරයයි.

Share Button