අසවක්ඛ්‍යා ඥාණය – නව ආකාර කෙළෙස් ප්‍රහාණය

නිවන්  මාර්ගය  සම්පූර්ණ  කර  ගැනිම  සඳහා  අනුගමනය  කළ  යුතු  මාර්ගය බුදුපියාණන් වහන්සේ විවිධ තැන්වල විවිධ ආකාරයෙන් පෙන්වා වදාරා ඇත. සබ්බාසව සූත‍්‍රයෙන් මෙය ආසව පහාතබ්බා හැටියටත් අංගුත්තර නිකායේ (3.6) මෙය ප‍්‍රහාණය කිරීමක් හැටියටත් පෙන්වා දී ඇත. ඉතාම සරළ ලෙසින් අංගුත්තර නිකායේ පෙන්වා දුන් මෙම ක‍්‍රියාමාර්ගය යථා පරිදි දැන, නිවැරදිව අනුගමනය කිරීමෙන් කෙටිකාලයක් තුළ නිවන් මඟ, අෂ්ටාංගික මාර්ගය සම්පූර්ණ කරගත හැකිවෙයි. මෙහිදී පියවර නවයක් ලෙසින් පෙන්වා වදාළ අතහැර මිදී නිදහස් වීමේ ප‍්‍රායෝගික ක‍්‍රියාමාර්ගය තුළින් අනිමිත්ත සමාධියටත්, අප්පණිහිත සමාධියටත්, සුඤ්ඤත සමාධියටත් පත් වීමෙන් සංඥා වේදයිත නිරෝධ සමාපත්තියට පත් වී ප‍්‍රඥා විමුක්තියටත්, අකුප්පා චේතෝ විමුක්තියත් ලබා නිවන පූර්ණ කරගත හැකිවෙයි.

ඒ  ඒ  සත්ත්වයා  තුළ  මුල්  බැසගෙන  ඇති  රාගය,  ද්වේෂය,  මෝහය  නිසාම මානයෙන් අවිද්‍යාවෙන් කටයුතු කරයි. මෙවන් රාග, ලෝභ, තණ්හා, ද්වේෂ, ක්‍රෝධ, වෛරී ගති ලක්ෂණයන් මෙන්ම මානය, අවිද්‍යාව, මෝහය හා දිට්ඨිගත වීම වැනි සියලූම ලක්ෂණයන් ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම සංසාරයේ කවදා හෝ තම තමන්ම එකතු කරගත් ගති ලක්ෂණයන්මය. විඤ්ඤාණයට සංසාර ගමන දිගින් දිගටම නොකඩවා පවත්වා ගෙන යන්නට උපකාරීවන ශක්ති ප‍්‍රභවය, එසේත් නැතිනම් කර්ම බීජ සපයා දෙන්නේ මේ ගති ලක්ෂණයෝය. තම තමන් තුළම පවතින මෙවැනි ගති ලක්ෂණයන් එකින් එක දැන හැඳින මේ ගති ලක්ෂණයන් නිසාම ප‍්‍රිය බව, සුව බව, මධුර බව සිතෙහි උපත ලබන බව යථා පරිදි තේරුම් ගෙන සංසාර ගමන යාමට මුල් වූ සමුදයම මේ ගති ලක්ෂණ සහමුළින්ම තම සිත තුළින් කර්මානුකූලව ඉවත් කර පිරිසිදු වන්නට ක‍්‍රියාකිරීම නිවන් අවබෝධ කර ගැනිමයි. බුදුපියාණන්වහන්සේ ඒ ඒ පුද්ගලයාගේ, සත්ත්වයාගේ චිත්ත පාරිශුද්ධතාවයට මඟ පෙන්වා දෙමින් මේ ලෙස අනුගමනය කළ යුතු ක‍්‍රියාමාර්ගය අවස්ථාවන් නවයක් ලෙසින් පෙන්වා වදාළහ.

1. පරිඤ්ඤෙයිය      2.පරික්ඛෙයිය        3.ප්‍රහාණය
4. ඛ්‍යාය                 5.ව්‍යාය                6.විරාගය
7. නිරෝධය            8.චාගය               9.පටිනිස්සග්ගාය

මේ අවස්ථා නවය පිළිබඳවම යථාපරිදි  මුලින්ම තේරුම් ගත යුතුය.

 01. පරිඤ්ඤෙයිය

පිරිසිඳ දැන ගැනීමයි. තමාගේම සිත මනා ලෙස හදාරා තම සිත තුළම පහළවන අරමුණු පිළිබඳව පූර්ණ අධීක්ෂණයක් කිරීමයි. රාග අරමුණු, ද්වේෂ අරමුණු, මෝහ අරමුණු නිසාම රාග ගතිය, ලෝභ ගතිය, තණ්හා වීමේ ගතිය ප‍්‍රිය බව, මධුර බව සිතෙහි හටගනී. ද්වේෂ ගතිය, ක්‍රෝධ ගතිය, වෛර ගතිය, විරෝධ ගතිය, ප‍්‍රකෝප ගතිය, සිතෙහි හටගනී. මානය හා අවිද්‍යාව නිසාම මමත්ත්්වය, තම්මතාවය, මඤ්ඤතාවය, අස්මිමානය සිතෙහි හටගනී. මෙවන් ගතිගුණ තමාගේම සිත තුළ ඇති වන බව පිරිසිඳ දැනගත යුතුයි.

තමන්ගේම ක‍්‍රියාව, කථාව, සිතුවිල්ල කරන්නේ, කියන්නේ්, සිතන්නේ මෙවන් ගති ගුණ නිසාම කිළිටි වූ, කහට ගැන් වුණු කෙළෙස් සහිත වූ සිතක් නිසාම බවද නිවැරදිව තේරුම් ගත යුතුයි. කෙළෙස් සහිත අරමුණු, සිතුවිලි තමාගේ සිත අඳුරු කරන බවද මුවහා කරන බවද දැක තේරුම් ගත යුතුයි. මේ ගති ගුණ තමාගේ චිත්තසංථානය තුළට ඇතුලූ වූයේ කෙසේද? මේවා සිත තුළට කිඳා බැස ස්ථිර ගතිගුණ ලෙස ස්ථාපිත වූයේ කෙසේද? කාගේ අවශ්‍යතාවයකට මේවා සිත තුළ පැළපදියම් කර ගත්තේද?

මෙවන් ගතිගුණ, ගති ලක්ෂණ තමා තුළම පවතින තාක් කල්ම කාමාසව, භවාසව, අවිද්‍යාව සිතෙහි පවතින බවත් ඒ ගති ලක්ෂණ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, පාපාවිතක්ක ලෙසින් තම සිතටම අරමුණු වන බවත් තේරුම් ගත යුතුය. තම සිත ගැනම මනාකොට අධ්‍යයනය කර සිතෙහි ගති ලක්ෂණයන්, හැසිරීම් රටාව, සිතෙහි අරමුණු මතුවන ආකාරය දෙස නිහඬව බලා සිටිය යුතුය. සිතෙහි මතුවන කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක, පාප විතක්ක තෝරා බේරා වෙන්කර ගන්නට සමත් විය යුතුය. ඒවා සිත අඳුරු කරන, කහට ගන්වන, කිළිටි කරන මෝහය හා මානය වැනි දේ උපදවන රාග,ද්වේෂ, මෝහ චිත්තජ රූපයන් බව  දැක ඒ චිත්තජ ශක්තීන් නිරුත්සාහයෙන්ම   උපදවන්නේ විඤ්ඤාණය  බවද   දැක මේ පිළිබඳව පූර්ණ විශ්ලේෂණයක් කර පිරිසිඳ දැන ගැනීම පරිඤ්ඤයිය යන තත්ත්වයයි.

 02. පරික්ඛෙයිය

තමාගේ සිත තුළ අඳුරු කෙළෙස්, කහට ගති ලක්ෂණයන් ඇති බවත් සංසාර ගමනට, දුක් විඳීමට, උපතට හේතුව තමා තුළම ඇති මේ ගති ලක්ෂණ බවත් පිරිසිඳ දැන ඒ ගති ලක්ෂණයන් සහමුළින් ඉවත් කළ යුතු බව තීරණය කිරීම පරික්ඛෙයිය යනුයි. ආශාව පහකර, ලෝභය ඛය කර, ද්වේෂය ඛය කර, මෝහය ඛය කර සිත ප‍්‍රභාස්වර තත්ත්වයට පත්කර ගත යුතු ක‍්‍රමය නිවැරදිව දැන ඒ සඳහා අනුගමනය කළ යුතු ප‍්‍රතිපත්ති පිළිබඳව යථාවබෝධය ලැබීම මෙයින් අදහස් කෙරේ. පරිඤ්ඤෙයිය, පරික්ඛෙයිය යන අවස්ථා දෙකම යථාවබෝධයෙන්ම තේරුම් ගත යුතු පියවරයන් දෙකක් මිස තවම ක‍්‍රියාත්මක වන්නට පටන්ගත් දෙයක් නොවේ. දැනගත යුතු දේ නිවැරදිවත්, සම්පූර්ණයෙනුත් දැන පරීක්‍ෂණය, නිරීක්‍ෂණය කර නිගමනයට බැසීම පමණි. මෙයින් පසුව විස්තර කරන පියවරයන්ගෙන් කළයුතු දේ කළහැකි වන්නේ මේ නිවැරදි දැක්ම මත පමණි.

03.  ප‍්‍රහාණය

ඉවත්  කිරීම,  මඟහැරීම,  පළවා  හැරීම  වැනි  දේ  මෙහිදි  කළ  යුතුය. රාගයට, ලෝභයට, තණ්හාවට මුල්වන ගතිගුණයන් තම සිත තුළ මතුවෙනවාත් සමඟම ඒවා ප‍්‍රහාණය කළ යුතුයි. අතහැර නිදහස්විය යුතුය. ඉවසීමෙන් යුතුව තම සිත දෙසම බලාසිට, විමසිල්ලෙන් හොඳ නරක, හේතුඵල සළකා බලා ඉවත් කළ යුතු, ප‍්‍රහාණය කළ යුතු දේ හා ආශ‍්‍රය කළයුතු, භාවිතා කළයුතු දේ වෙන්කොට දැන් හඳුනා කටයුතු කිරීම මෙහිදී ඉතාමත් වැදගත්ය. හේතුඵල ධර්මයට බහා ගළපා බලා කටයුතු කරන්නට පුරුදු පුහුණු වන්නේ මේ අවස්ථාවේදීය. තමා යම් ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් කළොත් එහි ඵලය කාට කිනම් ලෙස බලපායිද එය තමාගේ නිවන් මඟට බාධාවන ක‍්‍රියාවක්, කථාවක්, සිතුවිල්ලක් ද එසේ නම් එය වහාම ප‍්‍රහාණය කර නිදහස් විය යුතුය.

04. ඛ්‍යාය

ඛ්‍යා යනු ඛය කර දැමීමයි. එක්වරම අතහැර මිදී නිදහස් විය නොහැකි බොහෝ දේ ක‍්‍රමයෙන් ඛය කර දමා ශුද්ධ පවිත‍්‍ර කර ගත යුතුය. තරහ, ද්වේෂය, වෛරය වැනි ගති ලක්ෂණයන් එක මොහොතකින් අතහැර දමා පූර්ණ ලෙසට නිදහස් විය නොහැකිය. මේ සඳහා ක‍්‍රම ක‍්‍රමයෙන් ඉවසීමෙන් ක‍්‍රියාකර මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ගුණයන් දියුණු කර නරක ගති ඛය කර දැමිය යුතුය.

05. ව්‍යාය

ව්‍යාය යනු වැයකර, ගෙවා දමා නිදහස් වීමයි. අතීත සංසාරයේ තමා කෙනකුට යම් ආකාරයකින් ණය වී ඇත්නම් ඒ ණය ගෙවා දමා, භෞතික හෝ ද්‍රව්‍යමය වශයෙන්ම ණය ගෙවා දමා නිදහස් විය යුතුය. වත්කම්, දේපල ආදිය තම දරුවන්ට පවරා සහමුළින්ම අයිතිය අතහැර වැයකර දැමිය යුතුය. ඉන් නිදහස් විය හැකි වන්නේ ඉන් පසුව පමණි. ඒ පිළිබඳව සිතින්ද අයිතිය ඉවත්කර පාලනයෙන් ඉවත්වීම ව්‍යාය යන තේරුමයි.

06. විරාගය

විරාග යනු රාගයෙන් වෙන් වීමයි. රාග යනු චන්දරාගයමයි. කැමැත්තෙන්ම හිතට වහල්වී කාම රාග, රූප රාග, අරූප රාග වලට තණ්හා ඇතිකර ගත්තොත් ඒ කාම රාග, රූප රාග, අරූප රාග උපාදානය කරගත් ඒවාට බැඳීම, සම්බන්ධවීම නිසා ඒ ගතියටද පත්වෙයි.  මෙය  කර්ම  භවට  පත්වීමයි.  මේ  නිසා  රාගය  විරාග  කර  චන්දරාගයෙන් කාමච්ඡන්දයෙන් වෙන් වී නිදහස් විය යුතුය. ජීවත්වන සත්ත්වයෙකුට හැම ප‍්‍රශ්ණයකටම මුහුණ දෙන්නට වන්නේ හැම දුකක්ම විඳින්නට වන්නේ, අනාථ තත්ත්වයට පත්වන්නේ, කාමච්ඡන්දයෙන් මුළාවී ක‍්‍රියා කිරීමෙනි. ඒ නිසා රාගයෙන් වෙන් වී විරාග තත්ත්වයට පත්වීම මේ සියලූ දුක්වලින් නිදහස් වීමට නොවරදින පහසුම මඟයි. විරාග තත්ත්වයට පත්කර ගත යුතු වන්නේ තමාගේම සිතයි.

 07. නිරෝධාය

නිරෝධ කිරීම යනු තම සිතුවිලිම නිරෝධ කිරීමයි. රාගයෙන් ප‍්‍රිය බවෙන් සිත යම් දෙයකට, යම් කෙනෙකුට, යම් අවස්ථාවක බැඳුණු පසු ඒ ප‍්‍රණීත සිතුවිල්ල, ප‍්‍රිය මධුර සිතුවිල්ල  දිගේ  කල්පනා  කර  දහ  අතේ  සිතුවිලි  පතුරුවා  ඒ  ප‍්‍රිය  දෙය  කෙරෙහි තණ්හාවෙන් එය උපාදානය කරගනී. මේ තැනක හාවීමට යමක් උපාදානය කර ගන්නට  ඒ ගතියට, භවට පත් වන්නට හේතුවූයේ ඒ අරමුණ දිගේ සිතුවිලි පැවැත්වීමයි. මෙය සිතින් රෝද කිරීමයි. මේ සිතුවිලි ආරම්භක අවස්ථාවේම තේරුම් ගෙන එවන් ප‍්‍රිය මනාප අරමුණකට බැඳී, සිතින් රෝද කිරීම නවතා දමන්නේ නම් එය සිත නිරෝධ කිරීමයි. මේ නිසා නිරෝධ කිරීම යනු යමක් නැති කිරීම නොවන බව තේරුම් ගත යුතුය. යම් අරමුණක්, සංඥාවක් දිගේ සිතින් රෝද කිරීම නැවැත්වීම නිරෝධ කිරීමයි. මෙතැනදීද සිදුවන්නේ අතහැර මිදී නිදහස් වීමකි.

08. චාගාය

චාග යනු සහමුළින්ම අතහැර මිදී නිදහස් වීමයි. චාග යනු දානය, ත්‍යාගය, දීමනාව යන අර්ථයෙන්ද තේරුම් කළත් මෙහිදී ත්‍යාගය, දානය යන අර්ථයට වඩා බලවත් අත්හැරීමේ ක‍්‍රියාවක් සිදුවේ. යම් දෙයක් දානයක්, ත්‍යාගයක් ලෙසින් තවත් කෙනෙකුට දෙන්නේ යමක් බලාපොරොත්තුවෙනි. අඩුම වශයෙන් පින් රැුස්කර ගැනීම සඳහාය. ඒ දීමනාව දානය සංසාර ගමන දිගින් දිගටම යහපත් ලෙසින් පවත්වා ගන්නට උපකාර වන පිනකි. චාග යනු සම්පූර්ණ අත්හැර මිදී නිදහස් වීමයි. පිනක් හෝ වෙනත් මොනයම්ම ආකාරයක හෝ ප‍්‍රතිලාභයක් බලාපොරොත්තු වේ නම් එතැන චාග යන අර්ථය සම්පූර්ණ නොවේ. යම් කෙනෙකු ගිහිගෙය අතහැර, දේපල අත්හැර, පැවිදි බවට පත්වූවත් ඒ ඒ වත්කම් දේපල තවමත් අල්ලාගෙන සිතින් හෝ උපාදානය කරගෙන සිටී නම් එතැන චාග යන තේරුම දෙන දානයක්, ත්‍යාගයක් සිදුවී නැත. ඒ නිසා චාග යනු මුළු සිතින්ම අතහැර මිදී නිදහස් වීමයි. නිවනට නිදහසට උපකාරවන්නේ තම සිතම නිදහස්කර ගැනීමයි.

9. පටිනිස්සග්ගෝ

හැම පෘථග්ජන පුද්ගලයෙකුම ගිහි හෝ පැවිදි හෝ වුවත් සංයෝජන දහයකින් බැඳී සංසාර ගමනට එකතු වී එය කැමැත්තෙන්ම යන ගමනක් බවට පත්කර ගෙන ඇත. මේ සංයෝජනය ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළේ පටි දහයකි. පටි යනු සුවදායක, ආරක්ෂා සහිත, සුරක්ෂිත බැඳීමකි. ඒ බැඳීම විඤ්ඤාණයේ සංසාර බැඳීමයි. පටි වලින් සංසාර ගමනට බැඳී සිටිනා තුරාවට විඤ්ඤාණයේ මතු උපතද සුරක්ෂිතය. සහතිකය. මේ සංසාර ගමනට සත්ත්වයා, පුද්ගලයා බැඳී පටිසංසග්ග වී සිටින ආකාරය තේරුම් ගෙන පටි ලෙහා, නිස්සග්ග තත්ත්වයට පත්වීම නිවන් අවබෝධයට අත්‍යාවශ්‍යයෙන්ම උපකාර වෙයි. ”වොස්සග්ග පරිණාමී” යනුද පටිලෙහා, ගළවා සහමුළින්ම නිදහස් වීමයි. මේ ආකාරයෙන් විග‍්‍රහ කර බලන විට නිවන් අවබෝධය යනු තම තමන්ම සංසාර ගමනට බැඳී සම්බන්ධ වී සිටින රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණයන් ශේෂයක් වත් ඉතිරි නොවන ලෙස අතහැර මිදී නිදහස් වීමයි. කෙස් ගහක් පමණවත් දෙයක් ප‍්‍රිය යැයි සුවයැයි, මධුර යැයි, වටිනවා යැයි, සාරවත් යැයි අල්ලාගෙන, උපාදානය කරගෙන සිටිනතාක් සංසාර ගමනට එයම උපකාරවෙයි. භෞතික, ලෞකික, සංඛතයන්ගෙන් මිදී නිදහස් විය හැකිවන්නේ සිතෙහි පහළවන සංකල්පනාවලින් සංඛාර වලින් මිදී නිදහස් වී, සංඥා නිසා උපදින සමුදය නිරෝධකර ගැනීමෙනි. ”යං කිංචි සමුදය ධම්මං, සබ්බත්තං නිරෝධ ධම්මං” යනුවෙන් ප‍්‍රකාශ කළේ මෙයයි.

Share Button

ආසව හා ආසවක්ඛය කිරීමේ ඥානය

පුද්ගලයෙකු, සත්ත්වයෙකු තමාගේම ඉන්ද්‍රියයන් හයම ආයතන ලෙස භාවිතා කරමින් එකතු කර ගන්නා ගති ලක්ෂණයන් රාග, ලෝභ- අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ- අමෝහ යන මූලික ගති ලක්ෂණයන්ය. කෙළෙස් 1500ක් ඇතැයි සමහර පොත්වල සඳහන් වන්නේ මේ ගති ලක්ෂණයන්ය. ඔබ දන්නා පරිදි කලින් විග‍්‍රහ කර පෙන්වා දී ඇති පරිදි මේ කෙළෙස් 1500 ම එකම මූලයකින් සමුදය වූ ”සං” නිසා උපත ලත් කිළිටි වූ කෙළෙස්මය. කුණුගොඩක්මය. මේ කෙළෙස් 1500 ම එකම මූලයකින් උපත ලබා ඇති බව හොඳාකාරවම තේරුම් ගත් පසුව ඒ මූලය නිවැරදිව (සමුදය) සොයා දැනගත හොත් මේ කෙළෙස් 1500ම ඒ එකම මූලය නිරෝධ කිරීමෙන් ප‍්‍රහාණය කර අලූතෙන් කුණු එකතු කිරීමෙන්ද වැළකී සිටිය හැක. අතීතයේ එකතු කළ දේ භාවිතා කිරීමෙන්ද වැළකී සිටිය හැක. අතීතයේ එකතු කරගත් යළි යළිත් චිත්තසංථානයේ මතුවන කෙළෙස් 1500ම සංසිඳවා, සම්මා තත්ත්වයට පත්වීමද තමන්ටම සිදුකරගත හැකිය.

ඉන්ද්‍රියයන් හයම උපකාරයෙන් එකතුකර ගන්නා දැනුම ගොඩනැගී ඇත්තේ ලෝක නිරුක්ති, ලෝක සම්මත, ලෝක පඤ්ඤපති හා ලෝක ව්‍යවහාර මත්තේය. මෙතනදී අල්ලා ගන්නා, එකතුකර ගන්නා, දෙයක් හෝ තැනක් කෙනෙක් හෝ ධර්මතාවයක් ඇතිවා වාගෙම අල්ලා ගන්නා කෙනෙක්ද සිටී. එනම් කර්තෘ කෙනෙක් හා කර්මයක් යන දෙකක්ම පවතී. නියත වශයෙන්ම සළකා බැලූ විට මේ ද්වතාවය පවතින නිසා හැම කෙනෙක්ම හිතින් රෝද ගසයි. රිය ගමනක් යයි. දුටුව බව දකී. දුටුව කෙනෙක්, දෙයක් පවතී. එහෙම ද්වතාවයක් දැක්කේ නැති නම් එකතු කර ගන්න හැකියාවක්ද නොපවතී.

ලෝභ, ද්වේෂ, මෝහ ලෙසින් අපි අපේම ඉන්ද්‍රියයන් හරහා මෙසේ එකතු කරගත් මේ ගතිගුණ, ගති ලක්ෂණ අපේම චිත්තසංථානයේ තැන්පත් වේ. මේවා ලෝභ, ද්වේෂ, මෝහ ලෙස එකතු කරගත්තත් චිත්තසංථානය, කර්මජ කෝෂය තුළදී මෝරා, පැසී, පාක වී, ආසව අරිෂ්ඨ බවට පත් වේ. ඒවා චිත්තසංථානයට ඇතුලූ කරගත් ආකාරයට වඩා දහස්

ගුණයෙන් බලවත් ස්වරූපයෙන් ඵල විපාක ලබා දෙයි. ඒ නිසාම ඒවා ආසව ලෙසද හඳුන්වයි. මේ ලෙසින් කෙළෙස් 1500කට බෙදා පෙන්වූයේ කාමාසව, භවාසව, අවිද්‍යාසව යන කොටස් තුනට අයත් ගති ලක්ෂණයම සමුදය ධර්මයන් ලෙසින් චිත්තසංථානයේ විවිධාකාරයෙන් මතුවී ක‍්‍රියාත්මක වීමයි.

යම් කෙනෙකුට මේ සමුදය ධර්මය පිළිබඳව තේරුම් ගෙන ”කාමසව” මතුවීමට, උපත ලැබීමට මුල් වූ කරුණු කාරණා සහමුළින්ම නැතිකර කටයුතු කළ හැකි නම් මේ කෙලෙස් 1500න් 1000ක්ම පමණ අත්හැර මිදී නිදහස් කර ගත හැකියි. කාමච්ඡන්දය දුරු කරන අනිච්ච, අනත්ථ බව පසක්කර ගන්නට හැකි දුකට මුල් වූ හේතුව සොයා දැන ගන්නට උපකාර වන කර්මස්ථාන භාවනා කිරීමෙන්ද ”සම්මා” තත්ත්වයට පත්වීමෙන්ද මෙය කරගත යුතු වේ.

එසේම භවාසව, අවිද්‍යාව දෙකම ඇති වීමට හේතුව වන ලෝභ, ද්වේෂ යන ලක්ෂණ  දෙක  ගතිගුණ  දෙක  බව  නිවැරදිවම  තේරුම්  ගෙන  හැම  සත්ත්වයෙකුටම භූතයෙකුටම, දෙවියෙකුටම සම මෙත පතුරවන පරම මෙත් වැඞීම පුරුදු පුහුණු කර ගතහොත් කෙළෙස් 1500 ඉතිරි කොටසද අත්හැර සිත නිදහස් කර ගැනීමටද හැකියාව ලැබේ.

මේ අනුව ආසව, ආසව ලෙසින් නිවැරදිව දැන ගැනීමත් ආසව සමුදය, උපත ලබන ආකාරය නිවැරදිව තේරුම් ගැනීමත් ආසව නිරෝධ කරන්නට කළ යුතු දේ පිළිබඳව නිවැරදිව  තේරුම්  ගැනීමත්  ආසව  සිතේ  ක‍්‍රියාත්මක  වීම  අවසන්  වනතුරු  ආසව නිරෝධගාමී මාර්ගයේ යමින් ප‍්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමත් ආසවඛ්‍යා ඥාණය උපදවා ගැනීමයි.

මෙය ආසවඛ්‍යා ඥාණය උපදවා ගෙන චතුරාර්ය සත්‍යයන් අවබෝධ කර ගැනීමයි. ආසවඛ්‍යා ඥාණය නොලබා, ආසව ඛය කරන්නට නිවැරදිවම මඟ නොදැන, කිසිවෙකුටත් නිවන් අවබෝධ කරගනු නොහැකිය. අෂ්ට සමාපත්තියට පත්වී අටවැනි ධ්‍යානයට පත් වූවත් ආසවඛ්‍යා ඥාණය පහළ නොවූයේ නම් මෝහයේ මුල් සිඳනැති නිසා අළුයට ගිනි පුපුරු මෙන් ආසව පවතී. කවදා හෝ යළි ගින්න ඇවිළෙන්න ආසවම හේතුවයි. අරිය පරියේෂණ සූත‍්‍රයේත්, තවත් සූත‍්‍ර ධර්මයන් ගණනාවකමත් පිරිසිදු ලෙසම පෙන්වා වදාළ පරිදි නිවන් අවබෝධකර ගැනීම යනු ආසවඛ්‍යා ඥාණය ලැබ ”ඛීණාසව” තත්ත්වයට පත්වීමයි. ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම නිවනයි යනුවෙන් දේශණා කළේද මේ අර්ථයෙන්මය.

 ධ්‍යාන වැඞීමෙන් කරන්නේද ලෝභ, ද්වේෂ, මෝහ යන ආසව කොටසක් දවා හැරීමයි. ධ්‍යානයක් ලබා ගැනීමෙන් සිදුවන්නේ අලූතින් ආසව එකතු කිරීම නැවැත්වීමත්, තාවකාලිකව ආසව භාවිතයෙන් ඉවත්වීමත්ය. නමුත් අතීතයේ එකතු කර, ගබඩා කරගත් ආසව මුල් චිත්තසංථානයේ, කර්මජකෝෂයේ ගබඩා වී තැන්පත් වී ඇති බව දකින්නට තරම් ශක්තියක් ධ්‍යාන්‍යවලට නැත. එසේ අතීතයේ කවදා හෝ චිත්තසංථානයේ තැන්පත් කළ මතු භාවිතට ගැනීමට විඤ්ඤාණය විසින්ම ගබඩා කර ඇති ආසව කොටස් දැක ඒවා සහමුළින්ම ඛය කර, ප‍්‍රහාණය කර චිත්තසංථානය ආසව වලින් තොර තැනක් බවට පත්කර ගත හැකිවන්නේ ආසවක්ඛ්‍යා ඥාණය පහළ කර ඒ මගින් ආසව නිරෝධගාමී මාර්ග ප‍්‍රතිපදාව සම්පූර්ණ කර ගැනීමෙන්ම පමණි. එයම   විපස්සනා නුවණ පහළ වීමද වේ.

”සං” යන පදයෙන් විග‍්‍රහ කර එකතු කිරීම මගින් පෙන්වා දුන්නේද ආසව එකතු කිරීමයි. මේ අනුව ”තේසං පහීනා” යනුවෙන් පෙන්වා දුන් ”සන්නිට්ඨති, සංනිසීදති, සමාධියති” යන පදවලින් විග‍්‍රහ කළේද ආසවක්ඛ්‍යා ඥාණය උපදවාගෙන සංවර වී, සංසිඳුවාගෙන, සම්මා සමාධියට පත්වීමටයි. ආසවක්ඛ්‍යා ඥාණය පහළ නොවී සම්මා සමාධියෙහි පිහිටා කටයුතු කළ නොහැකිය. ”සංමා ” යන පදයෙන් පෙන්වා දුන්නේ අතීතයේ එකතු කළ (සං) සියලූ ආකාර වූ ආසව සහමුළින්ම අතහැර, ඒවායින් මිදී නිදහස් වීමයි. (විතක්ක සංඨාන සූත‍්‍රය)  ”සංඝාරව සූත‍්‍රයේත්, සංසුධෝතක සූත‍්‍රයේත්”මේ  ක‍්‍රියාපිළිවෙත් තවදුරටත් පැහැදිළි කර, විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සංඝාරව සූත‍්‍රයෙන් පෙන්වා දෙන්නේ ”සං” බිඳ දමා ආසව ඛය කරගන්නට බුදුපියාණන් පෙන්වා වදාළ මාර්ගයයි. සංයුධෝතක සූත‍්‍රයෙහි පෙන්වා වදාළේ එකතු කරගත් (සං), ආසව ප‍්‍රහාණය කර ශුද්ධ පවිත‍්‍ර කරගෙන කර්මජ කෝෂය,  චිත්තසංථානය  ආසව  වලින්  තොර  තැනක්  බීණාසව  තත්ත්වයට  පත්කර ගැනිමට මඟ පෙන්වීමයි.

කුසල  මූල  පටිච්චසමුප්පාද  ධර්මය  නිවැරදිව  තේරුම්  ගත්  කෙනෙකුට  ඉතා පහසුවෙන්, ඉතාම සරළ ලෙසින් ආසව ඛය කර ඛීණාසව තත්ත්වයට පත්වීමේ ශක්තියද වාසනාවද ලැබේ. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය බුදුපියාණන් පෙන්වා වදාළේ අතීතයේ මහා කල්ප ගණනක් පටන් චිත්තසංථානයේ එකතුකර (”සං” ඛාර) ගබඩාකර ගෙන  ඇති  ආසව  ප‍්‍රහාණය  කර  ඛය  කර  ගන්නට  මඟ  දැකගන්නට  උපකාර  වන ලෙසින්මය. මේවා ලෝකෝත්තර කුණුය. සංසාරයේ කවදා හෝ තමාම එකතුකර, ගබඩා කරගත් කුණුය. මේ කුණු සළාහැර ලෝකෝත්තර කුසලය පුරා ගැනීමට වෙනත් කිසිම ක‍්‍රමයක් ද නැත. මේ නිසා ආසවඛ්‍යා ඥාණය පහළ වීම යනු කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව තේරුම් ගෙන ඒ අනුව විපස්සනා කිරීම පුරුදු පුහුණු වීමයි.

 ලෝකෝත්තර කුණු ලෙසින් පෙන්වා දුන් කාමාසව, භවාසව, අවිද්‍යාසව සංවර සීලයෙන්  හෝ  ධ්‍යානයන්  ලබා  සංසිඳවීමෙන්  හෝ  සහමුළින්ම  ඉවත්කර  ඛීණාසව තත්ත්වයට සිත පත්කර ගත නොහැකිය. මේ සඳහා ලෝකෝත්තර කුසලයම පුරාගත යුතුය. එනම් ලෝක තත්ත්වයෙන් එතෙර වීමට සළාහැර ඉවත්කළ යුතු කුණු සොය සොයා මතුකර, ප‍්‍රහාණය කර සිත පිරිසිදු කරගත යුතුය. සිතක කාම විතක්ක මතුවීමට හේතුව  වන්නේ  කාමාසව  චිත්තසංථානයේ  ගැබ්වී  පැවතීමයි.  සිතක  ද්වේෂ,  වෛර බිහිවීමට හේතුව ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවීමයි. ඒ අවිද්‍යාසව හා භාවාසය මුල්කරගෙනම සිතෙහි බිහිවන ගතිගුණයන්ය. කාම විතක්ක ප‍්‍රහාණය කර පළවා හැර යටපත් කිරීමෙන් හෝ ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පළවා හැර යටපත් කිරීමෙන් හෝ ලෝකෝත්තර කුණු සළාහැරීමක් සිදු නොවේ. ඒ සඳහා කාමඡුන්දය දුරුකරන කුසලමූල සංඛාර භාවිතා කර කාමයේ ආදීනව හා ආනිසංස මනා ලෙස දැකගෙන කාමච්ඡන්දය මුල් සිඳ දමන්නටම අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණ භාවනා කිරීම හෝ ඡුන්දරාගයෙන් වෙන්වීමට සුදුසු කුසලමූල කර්මස්ථානයක්ම භාවිතා කළ යුතුය.

වෛරයෙන්, ක්‍රෝධයෙන්, ව්‍යාපාදයෙන්, විහිංසාවෙන් සහමළින්ම මිදී නිදහස් වන්නට නම් සම මෙත පතුරුවන මෙත්තා කර්මස්ථානයක් වඩා ලෝකෝත්තර කුණු සළාහැරීම  කරගත  යුතුය.  කාමරාග  හා  ව්‍යාපාද,  ද්වේෂය  සහමුළින්ම  ප‍්‍රහාණය  කර දැමීමෙන් මෝහයෙන් ද මිදී නිදහස් විය හැකිය. මෝහයෙන් මිදී නිදහස් වීම යනුද කාමරාග, පටිඝ, ව්‍යාපාද යන ගති ලක්ෂණවලින් මිදී නිදහස් වීම නිසා චිත්ත පාරිශුද්ධියට පත්වීමයි. මානය නැමති ලක්ෂණයත් අවිද්‍යාවත් සිතක් තුළ පවතින්නේ ආසව ක‍්‍රියාත්මක වීම නිසාමය. ආසව ඛය කර දමා ඛීණාසව තත්ත්වයට පත්වූ චිත්තයකින් අස්මි මානය, රූපරාග, අරූප රාග, උද්ධච්ච කුක්කුච්ච අවිද්‍යා යන සංයෝජන වලින් බැඳී කටයුතු කිරීමෙන්ද වැළකී නිදහස් වෙයි. මේ අනුව උද්ධම්භාගිය සංයෝජන වලින් සහමුළින්ම නිදහස් අරහත් තත්ත්වයට පත්වීමට උපකාර වන්නේ ආසව පිළිබඳ ඥාණයත් පහළ කරගෙන  ආසව සමුදය තේරුම්ගෙන ආසව නිරෝධ කිරිමට ක‍්‍රමය දැන ආසව නිරෝධගාමී මාර්ගය අනුගමනය කිරීමය. මේ ආකාරයෙන්ම ආසව අනිච්ච බව, දුක්ඛ බව, ආසව අනත්ථ බවද තේරුම් ගත යුතුයි. මේ ආසව පිළිබඳව වූ ති‍්‍රලක්ඛණය, ඥාණයන් ලෙසින් මතුවීමයි. කැමති සේ පැවැත්විය හැකි නැවැත්විය හැකි කිසිම ආසව කොටසක් නැති  බවත්  එසේ  කැමති  සේ,  ප‍්‍රිය  මනාප  සේ  පැවැත්විය  නොහැකි  සියලූ  ආසව, චිත්තසංථානයේ පැවතීම දුක ඇතිවීමට මුල්ම හේතුව බව දැක ගැනීමත් කැමති සේ පැවැත්විය නොහැකි දුකම උරුම කර දෙන ආසව, හේතුඵල ලෙසින් භාවිතා කරන තුරාවට තමාට අනාථ තත්ත්වයක් නියත ලෙසම උරුම වන බවත් යථාවබෝධයෙන් තේරුම් ගැනිීම ආසව පිළිබඳ වූ ත‍්‍රිලක්ඛණය අවබෝධ වීමයි.

ආසවඛ්‍යා ඥාණය පහළවීම යනු කොටස් හතකින් සම්පූර්ණ වූ ඥාණ හතක් පහළ වීමයි.

01. ආසව ලෙසින් දැන ගැනීමේ ඥාණය
02. ආසව සමුදය (සං උපත) දැන ගැනීමේ ඥාණය
03. ආසව නිරෝධ කිරීමේ ක‍්‍රියාවලිය පිළිබඳ ඥාණය
04. ආසව නිරෝධගාමී මාර්ගය ප‍්‍රතිපදාව අවසානය තෙක් අනුගමනය කිරීමේ ඥාණය
05. ආසව අනිච්ච බව දැක ගැනීමේ ඥාණය
06. ආසව දුක්ඛ බව දැනගැනීමේ ඥාණය
07. ආසව අනත්ථ (අනාථ) බව දැනගැනීමේ ඥාණය

මේ ඥාණ හත පහළ වීමත් සමඟම චතුරාර්ය සත්‍යයද සම්පූර්ණයෙන් අවබෝධ වී දුක්ඛෙ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධ ගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යාවබෝධයද සම්පූර්ණ වෙයි.

ආසව ඛය කර ගැනීමේ ඥාණය පහළ කර ගන්නට පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳ යම් දැනීමක්, තේරුමක් ඇති කර ගත යුතුය. ආසව චිත්තසංථානයේ පවතින තුරාවට සෑම පුද්ගලයෙකුම අවිද්‍යාවෙන් කටයුතු කරයි. අවිද්‍යා නාමරූප බිහිවීම, ඉන්ද්‍රියයන් අවිද්‍යා ක‍්‍රියාවලට  සම්බන්ධ  වීමට  හේතුවයි.  ඉන්ද්‍රියයන්  ආයතන  බවට  පත්වන්නේ  අවිද්‍යා සහගතව යමක් එකතු කරන නිසාමය. අවිද්‍යාවෙන් එකතු කරමින් රූප, ශබ්ද, ගන්ධ, රස, පහස හා සංකල්පනා විඤ්ඤාණයේ ස්පර්ෂ වීම නිසා අවිද්‍යා සහගත වේදනා ඉපදීමත් සමඟම විඤ්ඤාණය තැනකට හාවීම සිදුවෙයි. අවිද්‍යාවෙන් තැනක යාවූ සිත එතැනම උපාදානය කරගෙන එතැන අල්ලා බදා ගනී. එයින් නොනැවතුණු සිත උපාදානය කරගත් අවිද්‍යා ගතිගුණයට භවට පත්වෙයි. මේ ජාති උපතයි.

 මේ අනුව  සළකා බලන  විට ආසව චිත්තසංථානයේ පවතින තුරාවට නිරන්තරයෙන්ම, නිරුත්සාහයෙන්ම අවිද්‍යා සහගත කර්ම බීජ උපදවා කර්මජ කෝෂයේ සටහන් කර ගැනීම විඤ්ඤාණයේ ආහාර සොයා යන ගමන් මඟට උපකාර වන හේතුඵල ක‍්‍රියාදාමයක්, හේතුඵල පරම්පරාවක් පැවැත්වීමයි. හේතුඵල පරම්පරාවක් සිතක් තුළ ක‍්‍රියාත්මක වන ආකාරය නිවැරදි ලෙසම තේරුම් ගත් පුද්ගලයෙකුට ඊට මුල් වූ පළමුවන හේතුව ආසව බවත් තේරුම් ගත හැකි වේ. ආසව ඛය කරගැනීමේ ඛීණාසව තත්ත්වයට සිත පත්කර ගැනීමෙන්ම හේතුඵල පරම්පරාවෙන්ද නිදහස් වී, මතු උපතක් ලැබීමෙන්ද ගැළවීමට ක‍්‍රියාකළ යුතු නිවැරදි ආකාරය ද කෙනෙකුට පහසුවෙන්ම තේරුම් ගත හැකි වනු ඇත.

හේතුඵල  පරම්පරාවක්  ක‍්‍රියාත්මක  වන්නේ  භව  චක‍්‍රයකට  අනුව  යැයි  පටිච්ච සමුප්පාද විවරණයක් ඉදිරිපත් කරමින් බොහෝ පොත්පත්වල වැරදි ආකාරයෙන් එය විග‍්‍රහ කර ඇත. ඒ සියලූ වැරදි විග‍්‍රහයන්ට මුල් වූයේ විශුද්ධි මාර්ගය පෙන්වා දුන් වැරදි මඟ ගුරු කොට ගෙන එයම අනුගමනය කර ඒ පොත් ලියූ නිසයි. හේතුඵල පරම්පරාවක් ක‍්‍රියාත්මක වන්නේ චක‍්‍රාකාරව රවුමට නොව ගඟක් ගලන්නාසේ ඉදිරියට යාමෙනි. කිසිසේත්ම එය චක‍්‍රාකාර නොවේ. අතීතයට ගිය හේතු ඵලයක් නැවත කිසිම දවසක ඒ ආකාරයෙන්ම  ආපසු  යළි  යළිත්  සිතක  මතු  නොවේ.  යම්  ආකාරයකින්  හේතුඵල පරම්පරාවක් වක‍්‍රාකාරයෙන් ක‍්‍රියාත්මක වේ යැයි කෙනෙකු නිගමනය කළහොත් කවම කවදාකවක් හේතුඵල පරම්පරාවෙන් ඉවත් වී නිවන් අවබෝධ කර ගැනීමක්ද සිදුකරගත නොහැකිය. හේතුවක් හෝ හේතු රාශියක් නිසා ඵලයකුත්, ඵලයම හේතුව කොට නැවත ඵලයකුත් ආදී වශයෙන් හේතුඵල පරම්පරාවක් එක දිගටම සිතේ ක‍්‍රියාත්මක වෙයි. අතීතයට ගිය හේතුව හෝ ඵලය මතු කිසිම ආකාරයකින් ඒ අයුරින්ම ඒ සිත තුල යළිත් මතු නොවේ.

ආසව  සිත  තුළ  ගබඩා  වී  පැවතීම  නිසා  සිදුවන්නේ  අලූත්  අලූත්  හේතුඵල පරම්පරාවක් නිරතුරුවම බිහිවීමයි. කෙනෙකු නිවැරදි ලෙසම තේරුම් ගත යුතු වන්නේ අතීත හේතුඵල පරම්පරාවක සම්බන්ධතාවයක් නොතිබුණේ නම් වර්තමානයක් හෝ අනාගතයක්ද ඇති වන්නට ඉඩ නැති බවයි. පටිච්චසමුප්පාද විග‍්‍රහයෙන් පෙන්වා වදාළ අංග එකොළහ අතරින් (ආසව, අවිද්‍යා, සංඛාර, විඤ්ඤාණ, නාමරූප, සළායතන, ස්පර්ශ, වේදනා, තණ්හා, උපාදාන, භව) මොනයම් අංගයක් හෝ පිළිබඳව නිවැරදි ලෙස තේරුම් ගෙන ඊට අදාළ ඥාණ හතම තේරුම් ගත්තේ නම් ඒ සමඟම ආසවඛ්‍යයා ඥාණයද, චතුරාර්ය සත්‍යයන්ද පහළ වන්නේමය.

උදාහරණයක් ලෙස වේදනාව ගත්තොත් වේදනාව පිළිබඳ

1.        වේදනාව තතු පරිදි දැන ගැනීමේ ඥාණය
2.        වේදනාව සමුදය පිළිබඳ ඥාණය
3.        වේදනා නිරෝධ කිරීම පිළිබඳ ඥාණය
4.        වේදනා නිරෝධගාමී පටිපදාව පිළිබඳ ඥාණය
5.        වේදනා අනිච්ච බව දැකගතහැකි ඥාණය
6.        වේදනා දුක්ඛ බව දැකගත හැකි ඥාණය
7.        වේදනා අනත්ථ (අනාථ) බව දැකගත හැකි ඥාණය

යන වේදනා පිළිබඳව වූ මේ ඥාණ හත ලැබීම මගින් දුක්ඛෙ ඥාණං, දුක්ඛ සමුදයේ ඥාණං, දුක්ඛ නිරෝධ ඥාණං, දුක්ඛ නිරෝධගාමිණී පටිපදා ඥාණං යන චතුරාර්ය සත්‍යයද ලබන්නේය. වේදනාව පිළිබඳ මේ සඳහන් කළ ඥාණ හත ලැබීමට හේතුව ආසවඛ්‍යා ඥාණය පහළ වීමයි. වේදනාවට මුල්ම හේතුව ආසව සිතෙහි මතුවීම බව නිවැරදිවම තේරුම් ගැනීමයි. හේතුඵල පරම්පරාවට බැඳී වේදනා විඳින්නට හේතුව විඤ්ඤාණය ආසව මතු කරමින් විඤ්ඤාණය ආහාර සොයාගැනීමට දරණ උත්සාහය බව නිවැරදිව දැක ගැනීමයි.

මේ ආකාරයෙන් පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ අංග එකොළහට අදාළ ඥාණ 77ක්ම පහළ වන්නේ ආසවඛ්‍යා ඥාණය පහළ වීමත් සමඟම බව තේරුම් ගත යුතුය. පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගැනීමෙන් අවිද්‍යාමූල පටිච්චසමුප්පාද විග‍්‍රහයේ පෙන්වූ සංඛාර  නිරෝධයෙනුත්,  කුසලමූල  පටිච්චසමුප්පාද  විග‍්‍රහයේ  පෙන්වූ  පරිදි  කුණුසළා හැරීමට කටයුතු කිරීමෙනුත් පමණක් සහමුළින්ම ආසව ඛය කර දමා නිදහස නිවන, විමුක්තිය ලබාගත හැකි බව දැන් පැහැදිළිි ඇතැයි සිතමි.

බුදුපියාණන්වහන්සේ සබ්බාසව සූත‍්‍රය නමින් සූත‍්‍රයක් මූල පරියාය වග්ගයෙහි, මූලපරියාය සූත‍්‍රයට පසුව දෙවැනිව ඉදිරිපත් කළේ මෙම ආසව ප‍්‍රහාණය කිරීමම නිවන් මඟට උපකාරවන එකම ක‍්‍රියාවලිය බවද පෙන්වා දීමටයි. මූලපරියාය වග්ගයෙහි ඉදිරිපත් කළ සබ්බාසව සූත‍්‍රය සියලූ ආසව ප‍්‍රහාණය කර පහාතබ්බා කරගත යුතු බව පෙන්වා දුන් පසුවත් සූත‍්‍ර පිටකයේ විවිධ තැන්වල තවත් සුත‍්‍ර ධර්ම 30 කට වැඩි ගණනකම සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ කරුණුම විස්තර ලෙසින් විග‍්‍රහකර එකින් එක පැහැදිළි කර දුන්නේ ආසව ඛයකර ගැනීමේ ඥාණය, දැනුම, අවබෝධය නිවන් මඟට අත්‍යාවශය දෙයක් බව දුටු නිසාමය.

සබ්බාසව සූත‍්‍රයට අමතරව මූලපරියාය වග්ගයේම සල්ලේඛ සූත‍්‍රය යැයි ඉතා වැදගත් සූත‍්‍ර දේශණාවක් ඉදිරිපත් කරමින් ආසව නැවතත් වෙනත් ආකාරයකින් බෙදා විග‍්‍රහ කළහ.

1.        සල්ලේඛ පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
2.        චිත්තුපාද පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
3.        පරිකම්මත පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
4.        උපරිභාව පර්යායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව
5.        පරිනිබ්බාණ පරියායෙන් ප‍්‍රහාණය කළ යුතු ආසව

යැයි කොටස් පහකට බෙදා, විග‍්‍රහ කර පෙන්වා වදාළහ. කෙළෙස් 1500ක් යැයි බෙදා වෙන්කර පොත්වල පසුකාලයෙහි ලියා දැක්වූයේ මෙම සල්ලේඛ සූත‍්‍ර දේශණාවෙන් පෙන්වා වදාළ කෙළෙස් දස දහස් ගණනක් 1500කට ගොනු කිරීමෙනි. සල්ලේඛ සූත‍්‍ර දේශණාවෙන් කරන ලද ආසව විග‍්‍රහය මහසයුර මෙන් ගැඹුරු බවත්, පරක් තෙරක් නොපෙනෙන බවත් එහිම පෙන්වා වදාරා ඇත.

ධර්මය පිළිබඳව ගැඹුරින් තේරුම්ගත් කෙනෙකුට මජ්ක්‍ධිම නිකායේ මූලපරියාය වග්ගයෙහි එන සූත‍්‍ර ධර්ම දහයෙන්ම විවිධ පැතිකෝණ වලින් දැකගත හැකි වන්නේ ආසව ඛය කර ගන්නට ඒ සූත‍්‍රධර්ම හැම එකකින්ම සෘජු ලෙසම මඟ පෙන්වා දී ඇති බවයි. ඉන් ඉදිරියට මුළු සූත‍්‍ර පිටකයෙහි ඉදිරිපත් කර ඇති සෑම සුූත‍්‍ර‍්‍ර ධර්මයක්ම විග‍්‍රහ කර, විස්තර කර ඉදිරිපත්  කර  ඇත්තේ  මූළිකව  ගෙනහැර  දැක්වූ  මූළික  කරුණු  සාක්ෂාත්  කරගන්නට උපකාර කරගත හැකි විවිධ ධර්ම කාරණාවෝමය.

සියලූ ආකාර වූ ධර්ම කාරණාවෝ අසා, කියවා යම් කෙනෙකු තේරුම්ගත යුතු වන්නේ තමා ගැනම, තම පැවැත්මට මුල් වූ, හේතු වූ (සමුදය) කරුණු ගැනමය. තමාට දුක උරුම වූයේ තමා දුක්විඳින්නේ සංසාර ගමන දිගින් දිගටම පවත්වන්නට හේතුව කුමක්ද යන්න තේරුම් ගැනීමයි. විඤ්ඤාණය තම ආහාර සඳහා ”ආසව” එකතු කිරීම, ආසව ගබඩා  කිරීම,  ආසව  භාවිතා  කිරීම,  ආසව  පරිභෝග  කිරීම  හැර  වෙනත්  හරයක්, වටිනාකමක්, අර්ථයක් ඇති කිසිවක් මේ ජීවත් වීමේ නැත. මේ නිවැරදි දර්ශනය දැකගත හොත් දස්සනේන සම්පන්න වුවහොත් පමණක්ම ආසව ප‍්‍රහාණය කර, අසාව සළාහැර, ඛීණාසව තත්ත්වයට සිත පිරිසිදු කරගතහොත් විඤ්ඤාණයට ආහාර හිඟවී, ආහාර නැතිවී විඤ්ඤාණය මියැදී යනු ඇත.

පුද්ගලයෙකුට ආහාර පාන නැතිව ජීවත් විය හැකි වන්නේ උපරිම දින හතකි. මේ  ආකාරයෙන්ම විඤ්ඤාණයට ආහාර පාන දෙකම ලබාදීම සහමුළින්ම නවතා දමා දින හතක් විඤ්ඤාණය  නිරාහාරව තබන්නට හැකි ශක්තිය, උත්සාහය ලැබුණොත් විඤ්ඤාණය මියැදී, යළි කවදා හෝ උපතක් ලබන්නට නොහැකි තත්ත්වයක් නැති වී අක‍්‍රීය වී යනු ඇත. විඤ්ඤාණය මියැදුණු පසු චිත්ත තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වන චිත්තය ලෝකය තනන්නට කටයුතු නොකරන නිසා නිවන, විමුක්තිය අත් කර ගන්නේය.

                          සියල්ලන්ටම ආසවඛ්‍යා ඥාණයම පහළවේවා!

Share Button

සබ්බාසව සූත්‍රය

සතර මඟ සතර ඵලයන්ට පත්වීමෙන් නිවන් අවබෝධ කර ගැනීම යනු මෙතෙක් කලක් විඤ්ඤාණ තත්ත්වයෙන් ක‍්‍රියාත්මක වූ තම සිතින්ම පූර්ණ ලෙස මිදී නිදහස්වී චිත්ත පාරිශුද්ධත්වයට පත්වීමයි. අනන්ත අප‍්‍රමාණ වූ කාලයක් විඤ්ඤාණ තත්ත්වයෙන්ම ක‍්‍රියාත්මක වූ තමාගේ සිත පිළිබඳව මනා ලෙස තේරුම්ගෙන විඤ්ඤාණය හැසිරෙන ආකාරය පිළිබඳ යථා පරිදි දැන හඳුනාගෙන විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින තමන්ගේම සිත උපකාර කරගෙන ඒ විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධයයි. මේ  සඳහා  වෙනත්  සිතක්  පහළ  වන්නේ  ද  නැත.  මිනිසකු  ලෙස  උපත  ලැබූ  මේ ආත්මභාවයේදීම මනස මෙහෙයවා, මනසින් කල්පනා කර,උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් යථා පරිදි සම්පූර්ණ කරගෙන තමාම තමාගෙන් මිදී නිදහස් වීම නිවන් අවබෝධ කර ගැනීමයි.

මම, මගේ ආත්මය යැයි දැඩිව ගත් සත්ත්ව, පුද්ගල දෘෂ්ඨියකට පත්වීමෙන් ඇතිවන, නැතිවන, එකතු කරන, එකතු කළ දේ ගෙවී යන නියත හැසිරීම් රටාවකට එකම හේතුව කිළිටි වූ සිතින් නිරතුරු චිත්තජ ශක්තීන්, විඤ්ඤාණ ශක්තීන් (බීජ) එකතු කර ගබඩා කිරීමයි. මේවාට අපි කර්ම බීජ යැයි ද නම් කරමු. මේ ආකාරයෙන් විඤ්ඤාණ එකතු කරන විඤ්ඤාණ ශක්තීන් (බීජ) හොඳ, යහපත් හෝ නරක, අයහපත් ආකාරයේ ඒවා විය හැකිය. ඒවා අපි පින් පව් අකුසල් යැයි නම් කරමු. ඒවා කිනම් ආකාරයක හෝ චිත්තජ ශක්තීන් වුවත් මෙම බීජ සංසාර ගමන දිගින් දිගටම පවත්වාගෙන යාමට පමණක් නියත වශයෙන්ම හේතු කාරක වෙයි.

හොඳ, නරක, පින්, පව්, අකුසල් යැයි අප නම් කරන ලෝභ, අලෝභ, ද්වේෂ, අද්වේෂ, මෝහ, අමෝහ යන ගති ලක්ෂණයන් මිස වෙනත් කිසිම ආකාරයක චිත්තජ ශක්තියක්,  කර්මජ බීජයක්  කිසිම සත්ත්වයෙකුට,මිනිසෙකුට,දෙවියෙකුට හෝ ප‍්‍රාණියෙකුට තම විඤ්ඤාණයෙන් නිපදවීම එකතු කර ගැනීම කළ නොහැකිය. සංඛාර කරමින් ”සං” එකතු කර, චිත්තසංථානයේ තැන්පත් කර ගැනීමේ ක‍්‍රියාවලිය මේ ඉහත දැක්වූ  ගතිගුණ  එකතු  කිරීමයි.  ජීවත්වන  හැම  සත්ත්වයෙකුගේම,  ප‍්‍රාණියෙකුගේම, භූතයෙකුගේම,  දෙවියෙකුගේම  විඤ්ඤාණයේ  එකම  රාජකාරිය  නිරතුරුවම  මෙවන් චිත්ත ශක්තීන් (බීජ) එකතු කරමින් ඒවා චිත්තසංථානයේ ගබඩාකර, භාවිතයට ගතහැකි ලෙස පවත්වාගෙන යාමයි. මෙලෙස එකතුකළ ගබඩා කළ චිත්තජ ශක්තීන් (බීජ) ඵල විපාක දීමෙන් මතු මතුත් උපතක් බිහිවෙයි. කර්මජ බීජ චිත්තසංථානයේ පවතින තුරාවට මතු උපතක්ද නියත ලෙසින්ම අනිවාර්යයෙන්ම ඇතිවෙයි.යම් මිනිසෙකු චිත්තසංථානයේ    ගබඩා  වී  පවතින  චිත්තජ  ශක්තීන්, කර්මජ බීජ සළාහැර යම් ක‍්‍රියාමාර්ගයකින්  අවසන්  කරගත  හොත්  ඒ  මිනිසාට  මතු  උපතක්  ලැබීමට  කිසිම ආකාරයකින් හේතුවක් ද නැත. චිත්තජ ශක්තීන් අලූතින් එකතු කිරීමද නවත්වා අතීතයේ එකතුකර ගබඩාකර ගත් කර්මජ බීජ ද සම්පූර්ණයෙන්ම සළාහැර ශුද්ධ පවිත‍්‍රවීමෙන් ම මතු උත්පත්තිවලින් ද නියත වශයෙන්ම වැළකිය හැකිවෙයි. එයම නිවන් අවබෝධයයි.

බුද්ධ ධර්මයේ කෙළෙස් ලෙස කුණු ලෙස පෙන්වා වදාළ මෙම කර්මජ බීජ,චිත්තජ ශක්තීන්, පින් හෝ පව් යන කුමන ආකාරයේ ඒවා වුවත්, නියත වශයෙන්ම ඒවා සංසාර ගමන දික්කරන සංසාර සාගරයේ සත්ත්වයා අතරමං කරන විඤ්ඤාණයේම ආහාර ලෙස භාවිතා කල හැකි දේවල්ය.

හැම පෘථග්ජන පුද්ගලයෙකුම විඤ්ඤාණයෙන් කටයුතු කරනතාක් කල් මෙසේ තමන්ම එකතුකර, ගබඩාකර ගත් කර්මජ ශක්තීන් නිසා සංයෝජන දහයකින්ම සංසාරයට බැඳී සංසාර ගමන යයි. ඒ බැඳුනු බැමිවල යම්කිසි සාරවත් බවක්, වටිනාකමක්, සුරක්‍ෂිත බවක් දකිනා නිසාම තව තවත් ඒ බැමි දහයම තදකර ගැනීමට, සියලූ ආකාර වූ ලෞකික ක‍්‍රියාකාරකම් ද කරති. මේ බැමි දහයම ඒ ඒ සත්ත්වයාම, පුද්ගලයාම, තම තමන්ගේ කැමැත්තෙන්ම, චන්දරාගයෙන්ම එකතුකරගත්, බැඳගත් බැමිය. පෘථග්ජන පුද්ගලයෙකු උපන්දා පටන් මරණ මොහොත දක්වාම හැම උත්සාහයක්, වීර්යයක්ම ගන්නේත්, හැම දුකක්ම විඳින්නේත්, පව්කම්, පින්කම් කරන්නේත් මේ බැමි දහයම තව තවත් තරකර, මතු උපතක් ලැබීම සහතික කර, විඤ්ඤාණ පැවැත්ම සුරක්‍ෂිත කර ගැනීමේ එකම බලාපොරොත්තුවෙනි. එවැනි බලාපොරොත්තු පැවැත්වීම විඤ්ඤාණයේ නියත ගති ලක්ෂණයයි. එයම අවිද්‍යාවයි, තණ්හාවයි.

මේ සංයෝජන දහයම, බැමි දහයම බැඳී ඇත්තේ ඒ ඒ සත්ත්වයාගේ, පුද්ගලයාගේ සිත තුළමය. විඤ්ඤාණ තත්ත්වයේ පවතින සිතෙහිමය. මේ අනුව මේ සංයෝජන දහයෙන් මිදීම මිදී බැමි දහයම ගළවා ලෙහා දමා නිදහස් විය යුත්තේද තම සිතෙන්මය. එසේ නිදහස් විය හැකි වන්නේත් ඒ ඒ සත්ත්වයාටමය. මිනිසෙකු ලෙස මනසක් ලැබ උපත ලත් මේ ආත්මභවයේ දී මේ පිළිබඳව අසා දැන තේරුම් ගෙන ලබාගත් යථාවබෝධයෙන්ම ක‍්‍රියාකල හොත් නිවන් අවබෝධ කර ගැනීම යනු පැතුමකට සීමා කර, කල් දැමිය යුතු දෙයක් නොව අද තමා තමාටම අත්විඳ ගතහැකි සත්‍යයකි. මිනිසෙකුට හැර වෙනත් කිසිම ප‍්‍රාණියෙකුට, සත්ත්වයෙකුට මේ උතුම් ධර්මය අසා දැන තේරුම් ගෙන ඒ අනුව ප‍්‍රතිපත්ති පුරා කටයුතු කරන්නට හැකි ආකාර වූ මනසක් ලබා ඔවුන් උපත ලබා නැත. මේ අනුව මිනිසත් බවටම උරුම වූ ශක්තිය මේ හැකියාව ප‍්‍රායෝජනයට ගෙන උත්තරීතර මනුෂ්‍ය ධර්මයන් අප‍්‍රමාදව අසා දැන තේරුම් ගන්නටම මිනිසත් බවෙහි ජීවත් වන සුළු කාල පාරාසේදී උපරිම ලෙස උත්සාහ කළ යුතුය.

හැම මිනිසෙකුටම මනසින් කල්පනා කර, මනස මෙහෙයවා, තේරුම්ගත හැකි ආකාරයෙන් බුදුපියාණන් දේශණා කර වදාළ නිවන් මාර්ගය අනුපුබ්බංගම වූ මාර්ගයකි. එනම්  ක‍්‍රමානුකූලව  අනුගමනය  කළයුතු  අනුපූරක  මාර්ගයකි. අද  බොහෝ  දෙනෙකු විශේෂයෙන්ම බෞද්ධයින් යැයි කියා ගන්නා අය මේ අනුපුබ්බංගම නිවන් මාර්ගයේ මුල, මැද, අග නිවැරදිව තේරුම් ගෙන කටයුතු කරන බවක් නම් පෙනෙන්නට නැත. කුමක් හෝ කරන්නන් වාලේ කරනු මිස බුදුපියාණන් දේශණාකර වදාළ නිවැරදි නිවන් මඟ අනුගමනය නොකරන හේතුව නිසාම සංසාරයේ අතරමං වීමට කටයුතු කරති. උතුම් මිනිසත් බව ලබා උපන් මේ අවස්ථාවෙන් නිසි ඵල ප‍්‍රයෝජන ලබාගන්නට දැනුමක් තේරුමක් නැතිවම කාලය අපතේ යවති. මේ නිසාම නිවන් දැකීම යනු අද බෞද්ධයින්ගේ පැතුමකට පමණක්ම සීමා වූ දෙයකි.

නිවන් දැක ගන්නට, නිවන් අවබෝධ කර ගන්නට මේ මිනිස් ආත්මභාවයේදීම යම් මිනිසුන් පිරිසක් අවංකවම කටයුතු කරයි නම් ඒ අයගේ දැන ගැනීම සඳහා ඒ අයට මඟ අනුගමනය කර, නිවන නිදහස අත්විඳ ගැනීම සඳහා මඟ පෙන්වීමක් කිරීමට බුදුපියාණන් සූත‍්‍ර ධර්ම කිහිපයකම දේශණාකර වදාළ අනුපුබ්බංගම නිවන් මාර්ගය නිවැරදිව පැහැදිළි කර දීම අපේ යුතුකමක් සේ සළකමු.

සබ්බාසව සූත‍්‍රය කවුරුත් අසා ඇති ඉතාමත් සරළ ලෙස නිවන් මඟ පියවරෙන් පියවර විස්තර කළ මජ්ක්‍ධිම නිකායේ මුළින්ම ඉදිරිපත් කල සූත‍්‍රයකි.

සබ්බාසව සූත‍්‍රයට අනුව, අංග හතක් අනුපිළිවෙලින් සම්පූර්ණ කරගත යුතුයි.

01.      ආසවා දස්සනා පහාතබ්බා
02.      ආසවා සංවරා පහාතබ්බා
03.      ආසවා පටිසේවනා පහාතබ්බා
04.      ආසවා අධිවාසනා පහාතබ්බා
05.      ආසවා පරිවජ්ජනා පහාතබ්බා
06.      ආසවා විනෝදනා පහාතබ්බා
07.      ආසවා භාවනා පහාතබ්බා යන

මේ අනුපූරක නිවන් මාර්ගයයි.

මේ අනුපූරක නිවන් මාර්ගය තවත් තැනක සංයෝජන දහයකින් මිදීමේ මාර්ගයක් ලෙසද පෙන්වා වදාරා ඇත.

01.      සක්කාය දිට්ඨියෙන් මිදී නිදහස් වීම.
02.      විචිකිච්චාවෙන් මිදී නිදහස් වීම.
03.      සීලබ්බතපරාමාසයෙන් මිදී නිදහස් වීම.
04.      කාම රාගයෙන් මිදී නිදහස් වීම.
05.      ව්‍යාපාද පටිඝයෙන් මිදී නිදහස් වීම.
06.      රූප රාගයෙන් මිදී නිදහස් වීම.
07.      අරූප රාගයෙන් මිදී නිදහස් වීම.
08.      මානයෙන්, මඤ්ඤතාවෙන් මිදී නිදහස් වීම.
09.      උද්ධච්චයෙන්, කුක්කුච්චයෙන් මිදී නිදහස් වීම.
10.      අවිද්‍යාවෙන් මිදී නිදහස් වීම.

යනුවෙන් දේශණාකර වදාළේ ද, දස සංයෝජනවලින් ද අනුපිළිවෙළටම නිදහස් විය යුතු බව පෙන්වා දීමටයි. තවත් සූත‍්‍ර දේශාණවකදී සුනේථ, ධාරේථ, චරාථ යනුවෙන් පියවර තුනක් පෙන්වා වදාරා ඇත.

සංච්ච විභංග සූත‍්‍රයේත්, මහා චත්තාරෝ සූත‍්‍රයෙත්, ධම්මචක්කපවත්වන සූත‍්‍රයේත් දේශණා කර පෙන්වා වදාළ පරිදි චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම ද අනුපිළිවෙලටම අනුපුබ්බංගම  නිවන්  මාර්ගය  ක‍්‍රමානුකූලව  අනුගමනය  කිරීමෙන්  පමණක්  සම්පූර්ණ කරගත යුතු බව පැහැදිළිවම පෙන්වා වදාරා ඇත.

මේ ලෙසින් ප‍්‍රකාශ කර පෙන්වා දුන් අනුපුබ්බංගම නිවන් මාර්ගය අද බොහෝ ගිහි පැවිදි අය දන්නවා යැයි සිතා සිටියත් ඒ අය ක‍්‍රියාකරන ආකාරයෙන් නම් පෙනෙන්නේ පළමු පියවර අතහැර, දෙවන තුන්වන පියවරයන් හෝ අගටම පෙන් වූ පියවර හෝ අනුගමනය කරනු මිස පළමු පියවර ගැන සිතා බලන්නටවත් ශක්තියක් ලැබී නැති බවයි.

හැම සූත‍්‍ර දේශාණවකදීම පැහැදිළිව පෙන්වා දුන් ආකාරයට මුල්ම පියවර වන්නේ දස්සනේන සංපන්න වී, දස්සනේන පහාතබ්බා කිරීමයි. මෙයම සුනේථ අසා දැනගත යුතුදේ ලෙසින් ද, ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් ධර්මානුකූලව ”සං” දැක ගැනීම ලෙසින් ද, ”සම්මා දිට්ඨි” ලෙසින් ”සං” වලින් සම්පූර්ණ ලෙස මිදෙනා ආකාරය අසා

දැනගත යුතු බවද ඉතා පැහැදිළිවම දේශණාකර ඇත.

”යෙ ධම්මා හේතුප්පබවා
තේ සං හේතුං තථාගතෝ ආහ තේසං චයෝ නිරෝධෝ
ඒවා වාදී මහා සමණෝ”

හේතුඵල ධර්මය ”පටිච්චසමුප්පාද ධර්මය” ඉදපච්චයතාවය යන නම් වලින් බුද්ධ භාෂිතයේ  පෙන්වා  වදාළ  ”සං”  (එකතුකිරීමේ)  ක‍්‍රියාවලියට  මුල්  වූ  හේතුඵල  ධර්මය පිළිබඳව තේරුම් ගෙන ”සං” නිරෝධ කිරීම ඒ භගවත් ශ‍්‍රමණයන් වහන්සේගේ දේශණාව වන බව මෙයින් මනා ලෙස ප‍්‍රකාශ වෙයි. ඒ අනුව ”දස්සනේන පහාතබ්බා” යන පළමුවන පියවර සම්පූර්ණ කර ගැනීම සඳහා,

01. හේතුඵල ධර්මය,පටිච්චසමුප්පාද ධර්මය නිවැරදිව අසා තේරුම් ගැනීම.

02. ද්වතාවය-සංඛතයකම  –  හැම  සංකල්පනාවකම  ඇති  අන්ත දෙක, දෙපැත්ත දැක ගැනීමේ ශක්තිය ලැබීම.

03. අනිච්ච, දුක්ඛ,  අනත්ථ යනුවෙන් දේශණාකර  වදාළ  ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගැනීම.

යන පියවර තුන පළමුකොට සම්පූර්ණ කරගැනීමෙන් චතුරාර්ය සත්‍යය අවබෝධය සඳහා පදනම දමා ගැනීමයි. මේ කරුණු ගැන අසා දැන මනා අවබෝධයක් ලැබීමෙන් ම, සක්කාය දිට්ඨීයෙන් මිදී, විචිකිච්ඡාවෙන් මිදී, සිලබ්බත පරාමාසයෙන් ද වෙන් වී සෝවාන් මාර්ග ඵලයට පත්වීම සිදුවෙයි.

හේතුඵල ධර්මතාව අසා දැන තේරුම් නොගෙන ද්වතාවය නැමති පැවැත්මෙහි ඇති නැතිවෙන අන්ත දෙක තේරුම් නොගෙන මේ සංසාර ගමන නැමති රිය ගමන ගැන හෝ මෙහි නියත ස්වභාවය වූ අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය ගැන හෝ නිවැරදිව තේරුම් ගත නොහැකිය. මේ කරුණු තුන පිළිබඳව යම්කිසි යථාවබෝධයක් ලැබීමෙන් ම පමණක් චතුරාර්ය සත්‍යයේ මූලික අංගයන් ද එනම් දුක්ඛ සත්‍යයද අවබෝධ කරගත හැකිවෙයි.

ජීවිත කාලයක් තුළම සිල් රැකීම හෝ සිල් වතක් සමාදන් වීම හෝ ධූතාංගයන් රැකීම මෙන්ම මුළු ජීවිත කාලයම භාවනා කිරීමෙන් කාලය ගෙවා දැමීමත්, ‘‘දස්සනේ පහාතබ්බා’’ යන මුල් පියවර සම්පූර්ණ කර ගැනීමක්් නම් සිදු නොවේ. පළමු පියවර ලෙසින් පෙන්වා වදාළ දස්සනේන පහාතබ්බා සම්පූර්ණ කරනොගෙන නිවන් අවබෝධයද සිදු නොවන බව හැම බෞද්ධයෙකුම නිවැරදිව තේරුම් ගත යුතුය. සීල, සමාධි, ප‍්‍රඥා යනු නිවන් මගේ ප‍්‍රධාන අංගයෝයි. සංවරවීම, සංසිඳුවීම, සම්මාවීම යනු ද මේ ප‍්‍රධාන අංගයෝ තුනම වෙන වචනවලින් සම්පූර්ණ කිරීමකි. මේ අංග තුනම සම්පූර්ණ කරගත හැකි වන්නේ ”සං” දැකගත හැකි වුවහොත් පමණි. ”දස්සනේන සංපන්නෝ”යනුවෙන් ද ”ධම්මෝ සංදිට්ඨිකෝ” යනුවෙන් ද ”සම්මා දිට්ඨිය” යනුවෙන් ද ”සුනේථ”යනුවෙන් ද බුද්ධ භාෂිතයේ ප‍්‍රකාශකර පෙන්වා වදාළේ ”සං” දැක ”සං” තේරුම් ගැනීම ”සං” එකතුකර ගන්නා ආකාරය නිවැරදිව දැක ගැනීමෙන් ම සංවර වී, සංසිඳවා, සම්මා වී නිවන් අවබෝධය කරගත හැකි බව පෙන්වා දීමටයි.

පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම ඇසා දැන ”සෝතාවධානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යන තත්ත්වයට පත්වී, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමටත්, සෝතාපන්න මාර්ග ඵලයට පත්වීමටත් මිනිසෙකුට උපකාරවන දස්සනේන පහාතබ්බා වීම පළමුවන පියවරයි.

 ත‍්‍රිපිටකය හෝ වෙනත් බෞද්ධ ඉතිහාසය පොත් පත් හෝ කියවා ඇති හැම මිනිසෙකුම තේරුම්ගත යුතු වැදගත්ම දෙයක් නම් එදා බුදුපියාණන් වැඩසිටි කාලයේත්, අරහතුන්  වහන්සේලා  වැඩසිටි  යුගයේත්  බුදුපියාණන්  හමුවට  ආ  දස  දහස්  ගණන් විවිධාකාර මිනිසුන්ට බුදුපියාණන් මුලින්ම පන්සිල් සමාදන් කරවීමක් හෝ තිසරණයෙහි පිහිටුවීමක් හෝ නොකළ බවයි. මිනිස්සු බුදුපියාණන් ඉදිරියේ වැඳ නමස්කාර කර, එකත්පසව ඉඳගෙන, පරම පවිත‍්‍ර ධර්මයම ශ‍්‍රවණය කළහ. පැයක් දෙකක් ධර්මය ශ‍්‍රවණය කළ බොහෝ මිනිසුන් එතනින් නැගිට්ටේ සෝවාන් මාර්ගඵලයට ද පත්වීමෙන්ය. මේ මාර්ගඵලයට පත්වීම සිදු වූයේ දස්සනේන සම්පන්නෝ වීම නිසාම මිස සිල් රැකීමෙන් හෝ භාවනා කිරීමෙන් කර්මස්ථාන වැඞීමෙන් නම් නොවේ. බුදුපියාණන් මිනිසුන්ට දේශණා කර වදාළේ හේතුඵල ධර්මය, ද්වතාවය හා ත‍්‍රිලක්ඛණයයි. මේ මූලික කරුණු තුන පැහැදිළි කර දුන් පසුව ලැබූ ධර්මාවබෝධය නිසාම සෝවාන් මාර්ගඵලයට පත්වීම සිදුවිය. උපමා කතා, උපහැරණ කතා, චරිත කතා මෙන්ම විවිධ පරිවාර කතාද ගෙනහැර දැක්වූයේ හේතුඵල ධර්මය, ද්වතාවය, ත‍්‍රිලක්ඛණය විග‍්‍රහකර විවරණය කරදීම සඳහාමය.

හේතුඵල ධර්මය දේශණා කිරීමෙන් ද, ද්වතාවය පෙන්වා පැහැදිළි කර දීමෙන් ද, අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ත‍්‍රිලක්ඛණය පැහැදිළි කරදීමෙන් ද බුදුපියාණන් පෙන්වා වදාළේ  මේ  ලෞකික  පැවැත්මෙහි,  ජීවත්වීමෙහි  ඇත්ත  ස්වරූපය,  සත්‍ය  ස්වභාවය, යථාභූතඥාණයෙන් මූලික කරුණු පහදා දීමයි. මේ පැවැත්ම තුළ, ජීවත්වීම තුළ, අතරමංවී, මංමුළාවී, සැප ප‍්‍රිය මධුර දේම සොයායමින්, දුකම උරුම කරගන්නා දුක්ම විඳිමින්, සංසාර රිය ගමනක් යනවා මිස වෙනත් අර්ථයක්, වටිනාකමක් ඇති යමක් නොකරන බව පෙන්වා පැහැදිළි කරදීමට ම ධර්මය දේශණා කළ සේක.

මේ සංසාර ගමන, රිය ගමනට හේතුකාරක වූ තමන්ගේම හැසිරීම් රටාව නිවැරදිව තේරුම්ගත් මොහොතේ පටන්ම තමන්ම සාරයි කියා මෙතුවක් කල් තම කැමැත්තෙන්ම එකතු කළ ඒ හේතුන්ගේම චිත්ත ශක්තීන් නිපදවීමෙන්ම කර්මජ බීජ රැස්කිරීමෙන් ම නිදහස් වීමට  ඕනෑකමක්, ශක්තියක්, හැකියාවක් අවබෝධයක් ලැබීම අරිය මාර්ගයට සම්ප‍්‍රාප්ත වීමයි.

නිවන් අවබෝධ කරගන්නට උපකාර වන උතුම් පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය නිවැරදිව අසා දැනගත හැකි වන්නේ කළ්‍යාණ මිත‍්‍රයෙකුගෙන්ම පමණි. කළ්‍යාණ මිත‍්‍රයා යනු කෙළෙස් කුණු සළාහැර, කළු නසන්නට මඟ කියා පැහැදිළි කරදෙන උත්තමයායි. කුණු සළාහැර, කෙළෙස් නසා හැර, කුණු එකතු කිරීමෙන් ද, කුණු භාවිතා කිරීමෙන් ද වැළකී, පාරිශුද්ධතාවයට පත්වන්නට තවත් මිනිසෙකුට නිවැරදිව මඟ කියා පැහැදිළි කර විග‍්‍රහ කරදිය හැකි වන්නේ කළ්‍යාණ මිත‍්‍රයෙකුටම පමණි. අප‍්‍රමාණ දුක්විඳින ලෝක සත්ත්වයා කෙරෙහි හටගත් අනුකම්පාවෙන්ම ඒ ලෝක සත්ත්වයා විඳින දුක් දැක ඒ දුකෙන් ඔවුන්වත් නිදහස් කිරීමේ එකම බලාපොරොත්තුවෙන් නිවන් මඟ කියා පැහැදිළි කරදිය හැකි වන්නේ  ඒ  මඟ  අත්විඳ  ගත්,  මඟනැණ  පහළ  වූ,  පූර්වභාග  නුවණ  පහළ  වූ  අරිය උත්තමයෙකුට ම පමණි.

මේ සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැකගත් රිය අරිය කළ අරිය උත්තමයෙකුටම පමණක් අනෙකුත් පෘථග්ජන මිනිසුන්ටත් කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබාදීමටත් පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබාදීමටත් පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය කියා පැහැදිළි කර නිවැරදිව තේරුම් කර දෙන්නටත් ශක්තිය හා හැකියාව ඇත. එවන් උත්තමයෙකු ලෞකිකත්වයේ ඇති නිසරු බව, නොවටිනා බව, අනාථ බව, අනිච්ච බව, නිවැරිදිවම තේරුම්ගෙන ඇති නිසා ලෞකිකත්වය සංවර්ධනය කිරීම සඳහා හෝ වෙනත් ලෞකික යහපතක් පිණිස හෝ යමක් දේශණා නොකරති.

කළ්‍යාණ මිත‍්‍රයෙකු ලෙසින් අනිකුත් ලෝක සත්ත්වයාට ධර්මය දේශණා කරන්නේ කිසියම්  ආකාරයකින්  තමන්ට  ආපසු  යම්  ප‍්‍රතිලාභයක්  බලාපොරොත්තුවෙන්  හෝ වචනයකින්වත්  කිර්තියක්,  ප‍්‍රශංසාවක්,  ප‍්‍රසිද්ධියක්,  බලාපොරොත්තුවෙන්  හෝ  රජ සිටුවරු සතුටු කිරීම පිණිස හෝ වෙනත් ලෞකික, භෞතික වශයෙන් ලැබිය හැකි කිසියම් ප‍්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවේ. චතුරාර්ය සත්‍යය අවබෝධකරගත් එවැනි අරිය උත්තමයෙකු උතුම් බුද්ධ ධර්මය දේශණාකර ලෝකයාට පැහැදිළි කර දෙන්නේ තමන් අවබෝධකරගත් සත්‍යයන් පින්වත් දෙව් මිනිසුන්ට ද අවබෝධ කර දී නිවන් මඟ හෙළි පෙහෙළි කරදීමේ පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබාදීමේ එකම බලාපොරොත්තුවෙනි.

පොතපත කියවාගත් උගත්කමෙන් හෝ තවත් කෙනෙකුගෙන් අසා දැන කියාගත් දේ අනුව හෝ පෘථග්ජන පුද්ගලයෙකු කරනු ලබන දේශණාවකින් තවත් පෘථග්ජන පුද්ගලයෙකුට කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තියක් නොලැබෙයි.පරතෝඝෝෂක ප‍්‍රත්‍යයද නොලැබෙයි. පොත පත කියවා හෝ උගතුන්ගෙන් අසා දැනගත් දේ අනුව හෝ කරනුලබන දේශණා අනුමානයෙන්ම කරන දේශණා මිස ප‍්‍රකාශ මිස තමන්ම අත්විඳගත්, අත්දැකගත් සත්‍යයයන් ප‍්‍රකාශ කිරීම නොවේ. මේ ලෞකිකත්වය තුළම යම්කිසි වෙනස්කමක් ඇති කරගන්නට   සුගතියට පත්වන්නට ඒවා  උපකාර වුවත්, ලෞකිකත්වයෙන් මිදී ලෝකෝත්තර තත්ත්වයට පත්වන්නට නම් ඒවා උපකාර නොවේ.

බාහිර පෙනුමෙන්, හැසිරීමෙන් හෝ ගිහි පැවිදිකම නිසා හෝ අරිය උත්තමයෙකු හා පෘථග්ජන පුද්ගලයෙකු අතර ඇති වෙනස බාහිර ලෝකයට පහසුවෙන් තේරුම් ගන්නටද අපහසුය. නිවන් අවබෝධ කර ගන්නට අවංකවම උත්සාහ දරණ නිවන් මඟ සොයන කෙනෙකුට අරිය උත්තමයෙකු තෝරා බේරා හඳුනාගත හැකි වන්නේ ඔහු දේශණා  කරන  ධර්මය  ඇසුරෙන්ම  පමණි.  නිවන්  අවබෝධ  කරගන්නට  අවංකවම උත්සාහ  නොකරන  ඒ  පිළිබඳ  විශ්වාස  නොකරන  ලෞකිකත්වයෙන්  සුවයම  පතන බොහෝ මිනිසුන්ට අරිය උත්තමයෙකුගේ වටිනාකම හෝ ඒ දේශණා කරන උතුම් ධර්මය තේරුම් ගන්නට ශක්තියක් නැත. එවන් මිනිසුන් පරම පවිත‍්‍ර ධර්මයද දකින්නේ සැප සම්පත් විනාශකරන, පැවැත්මට විරුද්ධ වූ විනාශකාරී දෙයක් ලෙසින් පමණි.

සංවරත්තේන සීලං (ආසවා සංවරා පහාතබ්බා)

අනුපුබ්බංගම  නිවන්  මාර්ගයේ  දෙවන  පියවර  වන්නේ  සංවරේන  පහාතබ්බා යනුවෙන් දේශණා කළ සංවරත්වයට පත්වීමෙන් සීලයේ පිහිටීමයි. තම ක‍්‍රියා, වදන්, සිතිවිලි යන තුන්දොරම පාලනය කරගත හැකි වන්නේ තමන්ගේම ඉන්ද්‍රියයන් හයම සංවර  කරගැනීමෙනි.  විඤ්ඤාණය  හැම  විටම  උත්සාහ  දරන්නේ  ඉන්ද්‍රියයන්  හයම උපකාරයෙන් ලෝභ-අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ-අමෝහ ගති ලක්ෂණ එකතුකර විඤ්ඤාණයේ ආහාර සඳහා ඒවා ගබඩා කර ගැනීමටයි. මේ එකතු කරන ආහාර එකතු කිරීමෙන් වැළකී, එකතු කිරීමෙන් වෙන්වී, වාරණය කිරීම සංවරත්වයට පත්වීමයි. මෙහිදී කළ යුතු දේ නිවැරදිව තේරුම් නොගත්තොත් ඉන්ද්‍රියයන් සංවර කරගත නොහැකිය. අපි ඉන්ද්‍රියයන් හයම ආයතන හයක් ලෙසද නම් කරන්නේ මේ ආයතන හයෙහිම එකම රාජකාරිය එකතු කිරීම නිසයි. ආයතන යනු එකතු කරන – අයකරන තැන් යන තේරුමයි.

අද සම්මත භාෂාවෙන් ”සංවර” යන පදයෙන් අදහස් කරන ”සංවර” වීමත්, බුද්ධ භාෂිතයේ ”සංවරේන පහාතබ්බා” යනුවෙන් වදාළ ”සංවර” වීමත් යන ක‍්‍රියාමාර්ග දෙක අතර විශාල වෙනසක් ඇත. ඉන්ද්‍රියයන් හය හරහාම විඤ්ඤාණය එකතු කරන ගතිගුණ, ගති ලක්ෂණ දැකගත්තේ නැතිනම් ” සංදිට්ඨිකෝ් නොවුයේ නම් සංවර විය නොහැකිය. මේ  නිසා  මුල්  පියවර  නිවැරදිව  තේරුම්  නොගෙන  ”ධම්මෝ  සංදිට්ඨිකෝ”  නොවී, දස්සනේන  සම්පන්නෝ  නොවී,  සං  දැකනොගෙන  ”සංවර”  වීමක්  ගැන  සිතීමටවත් නොහැකිය. සංවරත්වයට පත්විය හැකි වන්නේ හේතුඵල දහමට බහා ගළපා ඉන්ද්‍රියයන් හරහා එකතු කරගන්නා ගති ලක්ෂණයන් වල ආදීනව හා ආනිසංස නිවැරදිව දැක ගැනීමෙන් ම පමණි.

 භාවනා කිරීමට, විපස්සනා අනුපස්සනා   කිරීමට, සමාධි ගත වීමට පෙර සංවරත්වයට පත්ව, සීලයේ පිහිටා කටයුතු කළයුතු යැයි බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළේ මේ ආකාරයෙන් සංවරත්වයට පත්වීමයි. ”සංවර” එකතු කිරීමෙන් වැළකී, සංවරත්වය තුළින්ම පිහිටන සීලයේ පිහිටා කටයුතු නොකළ හොත් සමාධියක පිහිටා, එකදිගටම සමාධිගත වී සමාපත්තියක පිහිටීමටද නොහැකිය. මේ අනුව ඵල සමාපත්තියට පත්වීම සඳහා සංවරත්වය තුළින්ම පිහිටන සීලය මිස සිල්වතක් සමාදන් වී, සිල් රැකීමෙන් ලබන ලෞකික ශික්ෂණය ප‍්‍රමාණවත් නොවේ.

නිවන් අවබෝධ කර ගන්නට අවංකවම උත්සාහ දරණ සෑම කෙනෙක්ම ”සංවර සීලය”  නැමති  බුද්ධ  භාෂිතයේ  පෙන්වා  වදාළ  වදන්වල  ධර්ම  අර්ථයම  නිවැරදිවත්, යථාපරිදිත් තේරුම් ගැනීම ඉතාම වැදගත්ය. විපස්සනා නුවණ පහළ කර ගැනීමටත්, සමාපත්තියට පත්වීමටත්, සම්මා අංගයන් නිවැරදිව තේරුම් ගෙන, ”සං” වලින් පූර්ණ ලෙස මීදි නිදහස්ව නිවන් අවබෝධ කරගන්නටත් මිනිසෙකුට හැකියාව ලැබෙන්නේ යථාවබෝධයෙන්ම පිහිටන සංවර සීලයේ පිහිටා කටයුතු කිරීමෙන් පමණි. ජීවිතයක් පැවැත්වීම සඳහා විඤ්ඤාණය එකතුකරගන්නා ආහාර, ලෝභ-අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ-අමෝහ සියල්ලම එකතු කිරීම, ”සං” යන පදයෙන් බුද්ධ භාෂිතයෙහි ගෙන හැර දැක්වීය. මේ ලෙස ඉන්ද්‍රියයන් හරහා එකතු කර ගන්නා ”සං” එකතු කිරීමෙන් වැළකී, ”සංවර” වීම සඳහා ”සං” නිවැරදිව දැක ගත යුතුය. නිවැරදිව ”සං” දැකගත හැක්කේ හේතුඵල දහමට බහා ගළපා බලා සත්‍යය දැක ගැනීමෙන්ම පමණි. ”සම්මා” යනු මෙසේ ඉන්ද්‍රියයන් හරහා එකතු කරගන්නා ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ එකතු කිරීමෙන් ද, ගබඩා කිරීමෙන්ද, භාවිතා කිරීමෙන්ද වැළකී මිදී නිදහස් වීමයි. කර්ම බීජ ලෙසින් පෙන්වා වදාළ මෙම චිත්ත ශක්තීන් එකතු කිරීම නවත්වා අතීතයේ එකතුකර, ගබඩාකර පවතින සියලූ කර්ම බීජද සළාහැර, ප‍්‍රහාණය කර ඒවා භාවිතයෙන් ද වැළකී, මිදී නිදහස් වීම නිවන් අවබෝධ කර ගැනීමයි.

බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ ”සංවර සීලය” යනු යම් කිසි සිල් වතක් සමාදන්වීම හෝ සිල්වතක් රැකීම හෝ ධූතාංගයක් රැකීම හෝ කරමින් කල්ප ගණනක් කාලය ගත කළත්  සම්පූර්ණ  කර  ගත  හැකි  සංවර  සීලයක්  නොවේ.  ඉන්ද්‍රියයන්  හරහා  එකතු කරගන්නා ගති ලක්ෂණයන් පිළිබඳව යථාභූත ඥාණයෙන්, යෝනිසෝමනසිකාරයෙන් නොදැක,  ”සං”  නොදැක,  සිල්වතක්  සමාදන්  වීමෙන්  හෝ  සිල්වතක්  රැකීමෙන්  හෝ ධූතාංගයක් සමාදන් වීමෙන් හෝ නිවනට උපකාරවන සංවර සීලයේ නොපිහිටන බව නිවැරදිවම තේරුම් ගැනීම ඉතාම වැදගත්ය.

 “යං සමාදානං තං වතං – සංවරත්තේන සීලං”

යන  පදයේ  බුදුපියාණන්  වතක්  සමාදන්  වීමෙහිත්  සංවර  වී  සීලයේ  පිහිටා  කටයුතු කිරීමෙහිත්, වෙනස්කම් ඉතාම පැහැදිළිව ප‍්‍රකාශ කර වදාළ සේක. මේ අනුව සමාදන් වී රකින සිල්වතක් ”සං” දැක, සංවර වී, සංවරත්වය තුළින් පිහිටන සීලයත් යන දෙක එකක්ම නොව දෙයාකාර දෙවිධියක ක‍්‍රියා දෙකක් බව තේරුම් ගත යුතුය. එකක් සමාදන් වී තාවකාලික වෙන්වීමකි. අනික පූර්ණ යථාවබෝධයෙන් සම්පූර්ණයෙන් ම වැළකී, වෙන් වී නිදහස් වීමකි.

 එදා බුදුපියාණන් වැඩසිටි යුගයේ ජන්බුද්වීපයේ පැවති ආගම් හැට ගණනකම මූලික හරය වූයේ යම් සිල්වතක්, ධූතාංගයක් සමාදන් වී ඒ වත, ඒ සීලය රැකීම පරම ආහාරය කොට එයම පරම විමුක්තියට පත්වීමේ එකම මඟ ලෙසින් තේරුම්ගෙන ක‍්‍රියා කිරීමයි. නිගණ්ඨ වත ගැන නිගණ්ඨයින් කල්පනා කළේ විමුක්තිය සඳහා වූ එකම සිල්වත එයම ලෙසයි. බුදුපියාණන් වසර හයක්ම එදා ජන්බුද්වීපයේ පැවති සියලූ ආගම්වල විවිධ ආකාර වූ සිල්වත්, ධූතාංග, ප‍්‍රායෝගිකවම අත්හදා බලා ඒ කිසිම වතකින් හෝ සිල්වතක් රැකීමෙන් හෝ ධූතාංගයකින් හෝ නිවන, ප‍්‍රඥා විමුක්තිය නොලැබෙන බව අධ්‍යයනය කර, පර්යේෂණ කර යථාවබෝධය ලබාගත් බව බ‍්‍රහ්මජාල සූත‍්‍රයේ පෙන්වාදුන් කරුණු වලින්ම මනා ලෙස ඔප්පුවෙයි. මේ කිසිඳු ආගමක, කිසිඳු සිල්වතක, ”සංවර” වීමෙන් ලබන සංවරත්වයෙන් පිහිටන ඉන්ද්‍රිය සංවර සීලය පිළිබඳ දැනුමක් හෝ ඉගැන්වීමක් හෝ නොතිබූ බව දුටු බුදුපියාණන් සංවර සීලයේ පිහිටුවා ක‍්‍රියාකිරීම ම පමණක් නිවනට, පූර්ණ විමුක්තියට මඟ බව නිවැරදිවම පෙන්වා වදාළහ. බුදුපියාණන් වැඩසිටි එකල ඇදහූ සියලූ ආගම්වල හරය වූ සිල්වතක් රැකීම, ධූතාංගයක් රැකීම මෙන්ම විවිධ ආකාර වූ වතක පිහිටා කටයුතු කිරීම හෝ වතක් සමාදන් වීම මේ ලෞකිකත්වය තුළම අතරමං වෙන, සංවරත්වයට බාධාවන් වන වතක් රැකීමක්ම පමණක් බව දැක සීලබ්බත පරාමාසයෙන් ද වෙන්වී, මිදී නිදහස්වීම නිවන් දැකීමට අත්‍යාවශ්‍ය වූ සංයෝජනයකින් මිදීමක් බවද ප‍්‍රකාශ කර වදාළ සේක. සිල්වතකම එල්ලී, සිල්වත්කම පරම ආහාරය කොට, එකම විමුක්ති මාර්ගය  කොට,  දැඩි  දෘෂ්ඨියකට  පත්වීම  දෘෂ්ඨිගතවී  කටයුතු  කිරීම,  යම්  බැඳීමක් සංයෝජනයක් මිස සංවරත්වයට පත්වීමක් නොවන බවද දේශණා කළ සේක. සියලූ දෘෂ්ඨි වලින් මිදී, සියලූ වත් වලින් මිදී නිදහස් වීමම නිවන ලෙස ද දේශණා කළ සේක. සම්මා (සං+මා) දෘෂ්ඨියෙහි පිහිටීම යනු එකතු කරගත් සියලූ ගති ලක්ෂණ වලින් පූර්ණ ලෙස මිදී නිදහස් වීමයි.

මේ ප‍්‍රකාශය ගැන කලබල නොවී, ඉවසීමෙන් විමසා බලා, කිහිප වරක් කල්පනා කර මනස මෙහෙයවා තේරුම් ගත යුතුය. මජ්ක්‍ධිම නිකායේ එන නිවාපම සූත‍්‍රයෙත්, චුල්ලහත්ථිපදෝපම සුත‍්‍රයේත් තවත් සූත‍්‍ර දේශණා රාශියකමත් ඉතාම සරළ ලෙසත්, ඉතාම පැහැදිළි ලෙසත් බුදුපියාණන් පෙන්වා වදාළේ යථාවබෝධයෙන් පිහිටන සංවර සීලය පිළිබඳවයි. මෙය සමාදන් වීමෙන් හෝ සමාදන් කරවීමෙන් හෝ පිහිටිය හැකි සීලයක් නොවේ. ලැබූ ධර්මාවබෝධය නිසාම සංවර වී පිහිටන සීලය ”පටිවිරතෝ හෝති ” නැතහොත් වෙන්වී, වාරණය කිරීම බව එහිදී ප‍්‍රකාශ කර ඇත.

පානාතිපාතං පහාය පානාතිපාතා පටිවිරතෝහෝති
අදින්නාදානං පහාය අදින්නාදානා පටිවිරතෝහෝති
අබ‍්‍රහ්මචරියා පහාය බ‍්‍රහ්මචාරි හෝති
මුසාවාදං පහාය මුසාවාද පටිවිරතෝහෝති
පිසුනාවාචා පහාය පිසුනාවාචා පටිවිරතෝහෝති
පරුෂාවාචා පහාය පරුෂාවාචා පටිවිරතෝහෝති
සම්ඵප්ප‍්‍රලාපං පහාය සම්ඵප්ප‍්‍රලාපා පටිවිරතෝහෝති

යනු සංවරත්වයෙන් සීලයේ පිහිටීමයි.

 මෙතැන පටිවිරතෝ හෝති යනු යම් සමාදන්වීමක් පමණක්ම නොවේ. සීලයක් රැක අත්කරගත හැකි දෙයක් නොවේ. සංදිට්ඨික තත්ත්වයට පත්වී ”සං” දැක, එකතු කිරීමේ ආදීනව හා ආනිසංස තේරුම් ගෙන සම්බන්ධයෙන් මිදී, නොබැඳී, නොඇලී රති- විරති කර, පටි ගළවා සංවර වීමයි. ධම්මෝ සංදිට්ඨිකෝ වී, දස්සනේන සම්පන්නෝ වී, සම්මා දිට්ඨිය තේරුම් ගැනීමෙන් ම පමණක් පටිවරතෝ හෝති යන තත්ත්්වයට ද පත්විය හැක. සිල් රැකීමෙන් හෝ වතක් සමාදන් වීමෙන් හෝ පටිවිරතෝ හෝති යන තත්ත්වය පූර්ණ කරගත නොහැකිය. විශුද්ධි මාර්ගය ගුරු කොට ගැනීම නිසා එදා සිට අද දක්වාම හැම බෞද්ධයෙකුම ”සික්ඛාපදං සමාදියාමි” යැයි වතක් සමාදන් වී සංවර වීමට උත්සාහ දැරුවත් ”සං” නොදැක, සංවරත්වයට පත්වීමක් නම් සිදුනොවේ.

බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ වූ ”ආසවා සංවරා පහාතබ්බා” යන්න  අද  හෝ  යම්  බෞද්ධයෙකුට  නිවැරදිව  තේරුම්  ගන්නට  හැකියාව,  ශක්තිය ලැබුණහොත් සීලබ්බත පරාමාස නැමති සංයෝජනයෙන් ද මිදී, සංවරත්වයෙන් සීලයෙහි ද පිහිටා නිවන නිදහස සඳහා ප‍්‍රතිපත්ති පුරාගත හැකිවෙයි.

”සුත්වාන සංවරේ පඤ්ඤා සීලමයේ ඥාණං” යනුවෙන් බුද්ධ වචනයෙන්ම විස්තර කළේ සංවරත්වයට පත්වී, සීලයේ පිහිටිමක් මිස සීලයෙන් සංවර වීමක් ගැන නොවන බවද ඉතාම පැහැදිළිය.

පන්සිල්, අටසිල්, දසසිල්, සාමණේර සිල්වැනි සිල්වතක් රැකීම, සීලයක් සමාදන් වී යහපත් ජීවිතයක් ගත කිරීම මිනිසෙකු වූ හැම කෙනෙකුටම ප‍්‍රයෝජනවත් සමාජයට සුවදායක ක‍්‍රියාවකි. සිල්වතක් රැකීම, සීලයක් සමාදන් වී කටයුතු කිරීම වැළැක්වීමේ හෝ එය නරක, නුසුදුසු දෙයක් යැයි පෙන්වා දීමට හෝ කරන උත්සාහයක් මේ ප‍්‍රකාශවල නැත. යහ පැවැත්මක් සඳහා සුචරිත සමාජයක් සඳහා ලෞකික සමාජ සම්මත සැප විඳීම සඳහා සිල්වත් රැකීම බොහෝ සේ උපකාර වෙයි. බුදුපියාණන් නිවන් මඟ සොයා පැහැදිළි  කර  දෙන්නට  පෙර  අනන්ත  අප‍්‍රමාණ  කාලයක  පටන්  මිනිස්  ඉතිහාසයේ පෙහෙවස් සමාදන් වීම කරගෙන ආ බව ඉතාම පැහැදිළිය. දස රාජ ධර්මයෙන් රජකළ සියලූම රජවරුන්ගේ ලෞකික සැපත සඳහා පන්සිල්, අටසිල් රැකීමද අනිවාර්යය අංගයක් විය. මහාමායා දේවියද සිද්ධාර්ථ උප්පත්තිය සිදුවන අවස්ථාවේ පවා අටසිල් සමාදන්ව සිටි  බව  බුද්ධ  ඉතිහාසයේ  පෙන්වා  දී  ඇත.  බෞද්ධයින්ට  පමණක්  නොව  හැම මිනිසෙකුටම පන්සිල්, අටසිල් වැනි සීලයක් රැකීම ලෞකික පැවැත්ම යහපත් කරගැනීම සඳහා මහෝපකාරී වේ. ඒ නිසා සිල් රැකීම, සිල්වතක් සමාදන් වීම වැරදි ක‍්‍රියාවක් හෝ නුසුදුසු ක‍්‍රියාවක් යැයි පෙන්වා දීමේ උත්සාහයක් කිසිසේත්ම මෙහි නැත.

බුදුපියාණන් සොයා දැන, පෙන්වා වදාළ උතුම් නිවන් අවබෝධකර ගැනීමේ එකම බලාපොරොත්තුවෙන්  ක‍්‍රියා  කරන  ලෞකිකත්වයෙන්  සඳහටම  මිදෙන්නට  තීරණය කරගත් මිනිසෙකුට නම් සීල්වතක් රැකීමේ, සීලයක් සමාදන්වීමේ සම්මත ක‍්‍රියාවෙන් ඉදිරියට ගොස් සංවරත්වයෙන් සීලයේ පිහිටා කටයුතු කිරීමේ ක‍්‍රියාමාර්ගයන් තේරුම් ගෙන ඒ අනුගමනය කළ යුතු බව අවධාරණයෙන් ප‍්‍රකාශ කිරීම මෙහි එකම උත්සාහයයි. ඒ නිසා සිල්වතක් රැකීම හා සංවරත්වයෙන් සීලයේ පිහිටීම යන ක‍්‍රියාමාර්ග දෙකෙහි වෙනස නිවැරදිව දැන හඳුනා, ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමෙන්ම පමණක් සීලයේ පිහිටා කටයුතු කිරීම නිවන් අවබෝධ වීමට උපකාර වන එකම මඟ බවද දැකිය යුතුයි. මෙම ප‍්‍රකාශය බුද්ධාගමෙහි පෙන්වා දෙන සිල් රැකීම, සිල් සමාදන්වීම වෙනස් කිරීමට හෝ ඊට විරුද්ධ වීමට හෝ කරන ප‍්‍රකාශයක් හෝ උත්සාහයක් නොවන බව තේරුම් ගෙන සංවරත්වයෙන් සීලයේ පිහිටා කටයුතු කිරීමේ නිවැරදි මඟට පිවිස නිවන් මඟ හෙළි පෙහෙළි  කරගැනීමට  අතරමං  වී  යන  සංසාර  ගමනෙන්  සඳහටම  අත්මිදෙන්නට ක‍්‍රියාකරන අතළොස්සකට හෝ නිවැරදි මඟ පෙන්වා පැහැදිළි කරදීමේ එකම අරමුණෙන් කරන සත්‍ය ප‍්‍රකාශයක් පමණක් බවද සළකත්වා.

සාසන ළදරුවන් පළමු කොට පන්සිල්, අටසිල්, දසසිල් ආදී සීල සමාදන් වී, සිල් රැක ඒ තුළින් යම් ශික්ෂණයක් ලබා දෙවනුව පරම පවිත‍්‍ර බුද්ධ ධර්මයම අසා ”සුත්වාන සංවරේ පඤ්ඤා සීලමෙයේ ඥාණං” යන උතුම්  තත්ත්වයට   ද පත්විය යුතුමය. සම්මතයෙහි ඇලී කටයුතු කරනවාට වඩා යථාභූතඥාණයෙන් මේ ගැන කිහිපවරක් සිතා ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගෙන කටයුතු කරන්නට හැම මිනිසෙකුටම සත්‍යාවබෝධය ලැබේවා.

එදා බුදුපියාණන් වැඩි සිටි යුගයේ ධර්මය ශ‍්‍රවණය කරන්නට බුදුපියාණන් ඉදිරියේ වාඩි වූ කිසිවෙකුටත් පළමු කොටම බුදුපියාණන් පන්සිල්, අටසිල් හෝ වෙනත් කිසිම සීලයක් සමාදන් නොකරවූ බවත්, තිසරණයෙහි නොපිහිට වූ බවත් ඉතාම පැහැදිළිය. නමුත් ධර්ම දේශණාව ශ‍්‍රවණය කිරීමෙන් පසුව වාඩි වී සිටි තැනින් නැගිට්ටේ සංවරත්වයේ, සීලයේ පිහිටා, තිසරණ සරණ ගිය මඟඵලලාභී උත්තමයකු ලෙසින්ය. ත‍්‍රිපිටකයේ හැම තැනකම පෙන්වා ඇති මේ සත්‍යය හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. මිනිසුන් කිහිපදෙනෙකු නොව නිවන් අවබෝධ කරගත් මඟඵල ලැබූ කෝටි ගණනක් මිනිසුන්ට එදා මේ මඟ මිස වෙනත් මඟක් ඒ සඳහා සරණ නොවීය. කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලබා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා පරම පවිත‍්‍ර සිරි සද්ධර්මයද ශ‍්‍රවණය කිරීමෙන්ම මාර්ග ඵල අවබෝධයට අත්‍යාවශ්‍ය වන අංගයක් සම්පූර්ණ කරගන්නවා මිස සිල්වතක් රැකීම ඒ සඳහා අවශ්‍ය අංගයක් ලෙස  ත‍්‍රිපිටකයේ නම්  කොතැනකවත්  පෙන්වා  වදාරා  නැත.  නොපැකිළ නොබියව මේ අදහස් ලෝකයා වෙත පැහැදිළි කරදිය යුතුවන්නේ පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසා දැන, පිරිසිදු නිවන් මඟ අත්විඳින්නට පින්් ඇති මිනිසුන්ට ද සිතා බලන්නට අවස්ථාව උදාකර දීම සඳහාමය. මං මුළා වූ අතරමං වූ මිනිසුන්ට ද සිතා බලා කටයුතු කරන්නට නිවැරදි මඟ පෙන්වා දීම සඳහාමය.

 අනුපුබ්බංගම නිවන් මඟෙහි ඉදිරි පියවරයන්

සබ්බාසව සූත‍්‍රයේ පෙන්වා වදාළ පරිදි මෙම නිවන් මාර්ගය අනුපුබ්බංගම නිවන් මාර්ගයකි. එහි පළමුවන පියවර පළමුකොටම තේරුම් නොගෙන දෙවන හෝ තුන්වන පියවරකින් පටන් ගැනීමෙන් නිවන් මඟ පූර්ණ කරගත නොහැකිය. සෝතාපන්න මඟ ඵලයට  පත්වීම  සඳහා  මිනිසෙකුට  උපකාර  වන  දස්සනේන  පහාතබ්බා  යන  පළමු පියවරත්, සංවරේන පහාතබ්බා යන සංවර සීලයේ පිහිටා කටයුතු කරන්නට උපකාර වන දෙවන  පියවරත්  නිවැරදිව  තේරුම්  ගත්  කෙනෙකුට  ඊළඟ  පියවරයන්  අනුගමනය කරන්නට බාහිර කාගේ හෝ උපදෙස් හෝ මඟ පෙන්වීමද අවශ්‍ය නොවේ. ඒ සඳහා විර්යය,  උත්සාහය  ගැනීමද  අවශ්‍ය  නොවේ.  ලැබූ  යථාවබෝධය  නිසාම  ධර්මයෝ ධර්මයෝ පවත්වති යන න්‍යායට අනුව ගඟක් මුහුද කරාම ගලාගෙන යන්න සේ ඒ පුද්ගලයා නිවන කරාද ගමන් කරයි.

කෙසේ වෙතත් ඊළග පියවරයන් පිළිබඳවත් දැනගෙන සිටීම ඉතාම වැදගත්ය. මේ හැම පියවරකින්ම සිදුවන්නේ මෙතෙක් සිත අඳුරු කර, සිත වසා සිටි ආසව තට්ටු ප‍්‍රහාණය කර, කුණු සළාහැර, චිත්තපාරිශුද්ධියට පත්වීමට අවශ්‍ය කටයුතු සම්පූර්ණ කර ගැනීමයි. හැම පෘථග්ජන පුද්ගලයෙකුගේම සිතෙහි ඇති ආසව කොටස් තුනකට බෙදා බුදුපියාණන් පෙන්වා වදාළ සේක.

01.      කාමාසව       02.      භවාසව        03.      අවිද්‍යාසව

යනු මේ කොටස් තුනයි. මෙ ආසව තට්ටුවලින් සිත මුවහ කර, වසා සිටින තුරාවට කිසිම පෘථග්ජන පුද්ගලයෙකුට මේ පැවැත්ම ජීවත්වීම යන හේතුඵල පරම්පරාවෙහි සත්‍යම වූ ස්වරූපය ඇත්ත ඇති සැටියෙන් දැකගත නොහැකිය. ඒ ආසව තට්ටු පහකර දමා කුණු සළාහැර ආසව තට්ටුවලින් සිත මුදවා ගත්තොත් එතැනදී ප‍්‍රඥාව උදාවෙයි. පැවැත්මෙහි ඇත්ත, ඇති සැටියෙන් යථාභූතඥාණයෙන් දැක ගන්නට ලැබෙයි. පැවැත්මේ නිසරු බව, නොවටිනා බව දැකගත් පසුව දුක අවබෝධ වෙයි. ඒ මොහොතේ පටන් හැකි ඉක්මනින් මේ කුණු කන්දරාවම පහකර දමා නිදහස්වීම එකම අරමුණ කරගනී. ගමන නවතා දමා රිය අරිය කිරීම එතැන් පටන් සිතෙහි පවත්වන එකම අපේක්ෂාවයි. පළමුවන හා දෙවන පියවරයන්  අවබෝධ  කරගත්  පුද්ගලයා  අරිය  උත්තමයෙකි.  දෙවන  පියවරේදී  ලැබූ යථාවබෝධය නිසාම ඉන්ද්‍රියයන් හයෙන්ම මේ තාක් එකතු කරමින් සිටි විඤ්ඤාණ ආහාර එකතු කිරීම නවත්වා ඉන්ද්‍රියයන් හයම සංවර කරගෙන ඇත. ඒ ඉන්ද්‍රියයන් සංවර කරගත  යුත්තේ  ලැබූ  යථාවබෝධය  නිසාමය.  සංවරත්වයට  පත්වීමත්  සමඟම  ලැබූ සත්‍යාවබෝධය  නිසා  තුන්වැනි  පියවර  වන  පටිසේවනා  පහාතබ්බා  සිට  විනෝදනා පහාතබ්බා  යන  හයවන  පියවර  දක්වාම  ක‍්‍රමානුකූලව  ආසව  ප‍්‍රහාරණය  කර  චිත්ත පාරිශුද්ධතාවයට පත්වීමට අවශ්‍ය පියවරයන් සම්පූර්ණ කරගත හැකිවෙයි.

පටිසේවනා පහාතබ්බා යනු පටිසංඛා යෝනිසෝමනසිකාරයෙන් යුතුව කටයුතු කිරීමයි. පැවිද්දෙකු නම් දායකයින්ගෙන්, අනුගාමිකයින්ගෙන්, අනුග‍්‍රාහකයන්ගෙන් ලබාගන්නා සිවු පසයට නොබැඳී, වහල් නොවී, ඊට නොඇලී දානය දෙන පුද්ගලයාට නොබැඳී ප‍්‍රත්‍යවේක්‍ෂා නුවණින් යුතුව සිවුපසය පරිභෝග කිරීමයි. රස තෘෂ්ණාවෙන්, ප‍්‍රිය මධුරතාවය පතා යමක් උපාදානය කර ගන්නට සම්බන්ධවන්නට හෝ ඒ මත්තේම යැපෙන්නට හෝ කටයුතු කිරීමෙන් වැළකී චතුරාර්ය සත්‍යාවබෝධය පූර්ණ කර ගැනීමේ එකම අරමුණෙන් සිවුපසය පරිභෝග කිරීමට පුරුදුවීම, පුහුණුවීම පටිසේවනා පහාතබ්බා යන්නෙහි තේරුමයි. දෙවන පියවරේ දී සංවරා පහාතබ්බා සම්පූර්ණ කරගත් කෙනෙකු ඉන්ද්‍රිය හයම සංවර කරගෙන ඇති නිසා ඉන්ද්‍රියයන් පිනවන්නට, රස තණ්හාවෙන් රස බලන්නට, රස විඳින්නට කටයුතු කිරීමෙන් වැළකී නිදහස ්වෙයි. ධර්ම මාර්ගයේ හැසිරී චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන නිවන නිදහස පූර්ණ කර ගැනීමේ එකම අරමුණ ඇතිව මේ කය පවත්වාගෙන යනු මිස සැප සුව පතා යමක් ඉල්ලා ලබාගෙන, පරිභෝග කිරීමෙන්ද වැළකෙයි.

අධිවාසනා පහාතබ්බා යනු ඉවසීමෙන් කටයුතු කර සැනසීම අත්කර ගැනීමයි. සීතල, උෂ්ණ, මැසි මදුරු, සර්පයින් ආදී බාහිර කරදර, උපද්‍රව ඉවසා දරා ගැනීමත්, ඒවා මඟහැර ඒවාට නොපැටළවී අතහැර, නිදහස් වීමත්, සැර පරුෂ වචන භාවිතා කරන්නන් මෙන්ම සංදර්ශන, සන්නිවේදන, සංචාරයන්ගෙන් ද වෙන් වී ඒවා බැහැර කොට, ඒවාට නොඇලී කටයුතු කිරීමත් අධිවාසනා පහාතබ්බා යනුයි.

පරිවප්ජනා පහාතබ්බා යනුවෙන් පෙන්වා වදාළ ඊළග අවස්ථාව ඇති විය හැකි බාහිර බාධක, උපද්‍රව මඟහැර ඒවායින් මිදී නිදහස් වීමයි. නපුරු මිනිසුන්, අඳ බාල මිනිසුන් මෙන්ම නපුරු රුදුරු තිරිසන් සතුන්ගේ ආශ‍්‍රයෙන් ද ඉවත් වී, ඔවුන් මඟහැර තමාම ඉවත් වීමයි. නුසුදුසු වාසස්ථාන වලින් මිදී නිදහස් වීමද නිවන් මඟට බාධක ඇති සුව පහසු යාන වාහන, නිදියහන්, මන්දිර මෙන්ම ප‍්‍රත්‍යන්ත ප‍්‍රදේශ වලින් ද ඉවත් වී, වෙන්වී යාම පරිවජ්ජනා පහාතබ්බා යන කොටසට අයත්ය. යෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කර මෙවැනි දේවල හේතුඵල ධර්මතාවයම තේරුම්ගෙන හේතුන්ම අතහැර, මඟහැර, හේතුවෙන්ම මිදී, පරම්පරාවෙන් ද මිදී නිදහස් වීමයි. අන්තරායකාරී දේ ආශ‍්‍රය කිරීම මෙන්ම ප‍්‍රිය මනාප දේවලට ඇලීමද නිවනට බලවත් බාධක ලෙසින්ම දැක ඒවා මඟහැර යා යුතුයි.

විනෝදනා පහාතබ්බා යනු ඊළග අවස්ථාවයි. මේ පියවර නිවන් මාර්ගයේ ඉතාම වැදගත් අවස්ථාවකි. තම සිත තුළින්ම උපත ලබන කාම විතක්ක, විහිංසා විතක්ක දැන හඳුනාගෙන ඒවා සියල්ලම ලෝභ- අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ – අමෝහ ගති ලක්ෂණයන් නිසාම උපත ලබන සමුදය ධර්මයන් බව තේරුම් ගෙන ඒවා ප‍්‍රහාරණය කර, නිදහස් වීම, විනෝදනා පහාතබ්බා යනුයි. මිනිසෙකුගේ සිතක මතුවන සියලූම අවිද්‍යා සංඛාර මතු වෙන්නේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක හෝ විහිංසා විතක්ක ලෙසින්ම පමණි. අතීත සම්බන්ධතා පවතින තුරාවට මෙවැනි විතක්ක මතුවී විචාර පැවැත්වීම ද ස්වභාවික දෙයකි. හේතුඵල දහම ගැන මනා වැටහීමක් ලැබුවෙකු මෙවැනි විතක්ක විචාර සිතෙහි අරමුණු වෙනවාත් සමඟම ඒවා දැක, දැන හඳුනා ඒවායින් ඉවත්වීමට පුරුදු විය යුතුය. මෙම විතක්ක විචාර අතහැර ඒවායින් නිදහස්වීම සඳහා නෙක්ඛම්ම සවිතක්ක සවිචාර පැවැත්වීම අව්‍යාපාද සවිත්තක සවිචාර පැවැත්වීම අවිහිංසා සවිත්තක සවිචාර පැවැත්වීමට ද පුරුදු පුහුණු කරගත යුතුයි.

කාමවිතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක සිතෙහි අරමුණු වීම සහමුළින්ම නැතිකර ගැනීම සඳහා පරම මෙත්තා භාවනාවක් පුරුදු පුහුණු කර ගැනීම සියලූ ලෝක සත්ත්වයා වෙත සම මෙත පැතිරවීමට පුරුදු පුහුණුවීම හැම කෙනෙකුම අනිවාර්යයෙන්ම කළ යුතු දෙයකි. සංසාරයේ අනන්ත අප‍්‍රමාණ කාලයක සිට එකතු කරගත් ද්වේෂ – අද්වේෂ ගති ලක්ෂණයන්ගෙන් සඳහටම මිදී නිදහස්විය හැකි වන්නේ පරම මෙත් පැතිර වීමෙන්ම පමණි.

හේතුඵල දහම දැක ත‍්‍රිලක්ඛණය අවබෝධ කරගත් පසුව ලෝක සත්ත්වයා කෙරෙහි උපන් අවංක අනුකම්පාවෙන් ඔවුන් කෙරෙහි සම මෙත පැතිරවීමට ශක්තියක් හැකියාවක් ලැබුණු පසුව සිතක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක මතුවූවත් ඒවා දිගේ දිගින් දිගටම සිතා රෝද ගසා කටයුතු කිරීමෙන් වැළකී ඒවා නිරෝධ කර සිත සමනය කර ගනී. මේ අවස්ථාව වන විට ලැබූ ධර්මාවබෝධය සත්‍යාවබෝධය නිසා සතියෙහි පිහිටා සියලූ කටයුතු කරන්නටද පුහුණුව ලැබෙයි. එය සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීමයි.

අනුපුබ්බංගම නිවන් මාර්ගයේ අවසාන පියවර වන්නේ භාවනා පහාතබ්බා යන අංගයයි. වෙනකිසි ආකාරයකින් ක‍්‍රියාමාර්ගයකින් ප‍්‍රහාණය කරගත නොහැකි බලවත් අවිද්‍යාසව කොටසක් රූප රාග, අරූපරාග, මාන, දිට්ඨි, අවිද්‍යා ලෙසින් තවමත් සිතෙහි රැඳී පවතී.

දැන් මේ අවස්ථාව වන විට ලැබූ යථාවබෝධය නිසාම දස්සනයෙන් පහකළ යුතු ආසව කොටස් පහකර, කුණු සළාහැර, ඉන්ද්‍රියයන් හයම සංවරත්වයට පත්කර, සීලයෙහි පිහිටා, අලූතින් ආසව එකතු කිරීමද නතර කර, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක පහකර, විපස්සනා අනුපස්සනා නුවණ මතුකරගන්නට තරම් යථාවබෝධය ශක්තිමත් වී ඇත. භාවනාවෙන් පහකර ගත යුතු ආසව කොටස් ප‍්‍රහාණය කරන්නට විපස්සනා අනුපස්සනා නුවණම උපකාර කර ගත යුතුය. ඒ නිසා බුද්ධ භාෂිතයේ ගෙනහැර දැක්වූ විපස්සනා අනුපස්සනා භාවනාව වෙනත් කිසිදු ආගමික දර්ශනයක පෙන් වූ එකක් නොවේ.

මහා කල්ප 91ක පටන් එකතු කරගත් ගතිගුණ, ගති ලක්ෂණ, කාමාසව, භවාසව හා අවිද්‍යාසව ලෙසින් තම චිත්තසංථානය තුළම ගබඩා වී පවතී. මෙවන් බලවත් ආසව තට්ටු සළාහැර, ප‍්‍රහාණය කර චිත්තපාරිශුද්ධතාවයට පත්විය හැකි වන්නේ විපස්සනා අනුපස්සනා භාවනාවකින් පමණි. මෙතැනදී කළයුතු වන්නේත් සිදුවන්නේත් මහා කල්ප ගණනක් තුළ චිත්තසංථානය තුළ ක‍්‍රියාත්මක වෙමින් පැවති කර්මජ බීජ, ආසව ක‍්‍රමයෙන් ප‍්‍රහාණය  කර  දැමීම  නිසා  ලෝකෝත්තර  කුණු  සළාහැර,  ශුද්ධ  පවිත‍්‍ර  වීම  නිසා, සත්තසම්බොජ්ජංග සම්පූර්ණ වීමයි. සත්තසම්බොජ්ජංග යනු බුද්ධියේ අංග හතයි. හැම පෘථග්ජන මිනිසෙකුගේම සිතෙහි මේ අංග හතම රැදී පැවතුනත් ලෝභ- අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ- අමෝහ යන කෙළෙස් නිසා ඒවා වැසී ආවරණය වී පවතී. කුණු සළාහැර ඉවත්කරත්ම කෙළෙස් ප‍්‍රහාණය කරත්ම බුද්ධියේ අංග හතම නිරාවරණය වී ප‍්‍රඥාව මතුවෙයි. ප‍්‍රඥාව යනු ප‍්‍රකෘති ඥාණයයි. ඥාණයේ පරම තත්ත්වයයි. ප‍්‍රඥාව යනු නැවත කවදාවත් කෙළෙස් නිසා කුණු නිසා, කිළිටි කළ නොහැකි, අඳුරු කළ නොහැකි, වසා මුවහ කර තැබිය නොහැකි පිරිසිදු තත්ත්වයකි. ප‍්‍රඥාලෝකය උදාවීමත් සමඟම මෙතෙක් සිතින් මවාගෙන සිටි ලෝකය අලෝක වෙයි. විඤ්ඤාණ තත්ත්වයෙන් තොර චිත්තය, ඉතාම පිරිසිදු, ශාන්ත වූ කම්පා නොවන, විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී තත්ත්වයකි.

සිත මේ පිරිසිදු තත්ත්වයට පත්වීම යනු අලූතින් සිතක් හෝ ප‍්‍රඥාවක් හෝ බුද්ධියක් හෝ වර්ධනයක් කර ලබා ගන්නා එකක් නොවේ. මෙතෙක් සිත අඳුරු කර, මුවහකර වසා සිටි සිත විකෘති කළ, විෂම තත්ත්වයට පත් කළ කුණු සළාහැර විඤ්ඤාණ තත්ත්වයෙන් මිදී පරම පවිත‍්‍ර තත්ත්වයට පත් කරගැනීමයි.

සිතින් එකතු කරගත් කර්මජ බීජම භාවිතා කරමින් මෙතෙක් කලක් ”සං” සාරය කියා ”සං” එකතුකරගෙන ගිය සංසාර රිය ගමන පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැක, අවිද්‍යාවෙන්, තණ්හාවෙන් සාරයි කියා නිගමනය කර ගිය ගමන නිමාකොට ”සං” එකතු කිරීමට මෙතෙක් කලක් රෝද කළ සිත රෝද – නිරෝධ කර, රාග – විරාග කර, රිය – අරිය කර, භූත අභූත කර, ජාත – අජාත කර, සංඛත – අසංඛත තත්ත්වයට පත්කර ගැනීම ලෝකය රහබැලීම සම්පූර්ණයෙන්ම අත්හැර ලෝක – අලෝක කර, ලෝකය රහබැලීම අවසන් කිරීම අරහත් තත්ත්වයට පත්වීමයි.

 භාවනේය පහාතබ්බා විපස්සනා අනුපස්සනා භාවනා ක‍්‍රමය

බුදුපියාණන්  පෙන්වා  වදාළ  අරිය  භාවනා  ක‍්‍රමය  එනම්  විපස්සනා  භාවනාව, වෙනත් කිසිම ආගමක හෝ දර්ශනයක හෝ නැති බුද්ධ භාෂිතයේම පමණක් පෙන්වා දුන් කර්මස්ථාන භාවනා ක‍්‍රමයකි. බුදුපියාණන් පෙන්වා අනුදැන වදාළ කර්මස්ථානයෝම භාවනා කිරීමෙන් පමණක් චන්දරාගය දුරලා ව්‍යාපාදයෙන්, ද්වේෂයෙන්, විහිංසාවෙන් වෙන් වී මෝහයෙන් මිදී, ලෝකෝත්තර කුණු සළාහැර නිවන් අවබෝධ කරගන්නටම උපකාර වන එකම මඟ විපස්සනා භාවනා මාර්ගයයි.

සිතකට අරමුණු වන සංඛාර බොහෝ විටම අවිද්‍යා මූලික සංඛාරයෝය. කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක් හෝ විහිංසා විතක්කයක් දිගේම සිතින් රවුම් ගැහුවොත්, ආදීනව අවස්ථාවන්ම පසුකර, එම විතක්කයට අදාළ වූ විත්තජ ශක්තියක් බිහිවෙයි. එය කර්මජ බීජයක් ලෙස චිත්තසංථානයේ තැන්පත්වීමද ඒ සමඟම සිදුවෙයි. විපස්සනා නුවණ මෙහෙයවා යමෙක් කරගතයුතු වන්නේ සිතෙහි මතුවන මෙවන් අරමුණු කාම විතක්කයක්, ව්‍යාපාද විතක්කයක් හෝ විහිංසා විතක්කයක් වැනි අවිද්‍යා සංඛාරයක් අරමුණු කරගත්තේ නම් එම විතක්කය සිතෙහි මතු වෙනු දැක ඒ වහාම අරමුණු ප‍්‍රහාණය කර ඉන් මිදී නිදහස් වීමයි.

නිතර නිතර සිතෙහි මෙවන් අවිද්‍යා සහගත විතක්ක විචාර මතුවන්නේ නම් ඒ චිතක්ක විචාර යටපත් කිරීමට සවිතක්ක සවිචාර මෙනෙහි කිරීම පුරුදු පුහුණු කළ යුතුය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා වැනි සම මෙත පතුරවන සවිතක්ක සවිචාර නිතර භාවනා කිරීමෙන් චන්දරාගය දුරලා වෛරය, ද්වේෂය, ව්‍යාපාදය දුරලා එවන් චිත්තජ ශක්තීන් නිපදවීමෙන් වැළකී නිදහස්විය හැකිවෙයි.

කෙටි කාලයක් මෙවන් මෙත්තා කර්මස්ථානයක් භාවනා කරන්නට පුරුදු වූ විට, සිත සමථයකට පත්වීම ද සිදුවෙයි. දැන් සිතෙහි මතුවන්නේ ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතා වැනි යහපත් අරමුණුය.    විතක්ක විචාර මෙන්ම සවිතක්ක සවිචාර ද අත්හැරී        ක‍්‍රමයෙන් සිත නිදහස් වෙයි. ක‍්‍රමයෙන් සමාධිගත වීමත් සමඟම සිතද සමථ තත්ත්වයට පත්වී, ප‍්‍රීතිය හා සුඛය  යන  තත්ත්වයන්ද  සිතට  බරක්  සේ  දැනී,  ඒවාද  ටිකෙන්  ටික  අත්හැරී  ගොස්, ඒකාග්ගතාව පමණක් සිතේ පවතී. අරිය ධ්‍යානයකදී ලබන ඒකාග්ගතාවය යනු එකම උතුම් අරමුණ වූ නිවන – නිදහස්වීම කෙරෙහි සිත පවත්වා ගැනිීමයි. නමුත් අනරිය ධ්‍යානයකදී ඒකාග්ගතාවය යනු යම් ලෞකික සුවයක් විඳීමට ඇති කැමැත්තයි. ඒකාග්ගතා යනු එකම අග‍්‍ර වූ තත්ත්වය යන තේරුමයි. අරිය තත්ත්වයට පත් වූ යථාවබෝධය ලැබූ දස්සනේන සම්පන්න වූ පුද්ගලයෙකු තමා ලැබූ යථාවබෝධයෙන්ම අරිය ධ්‍යානයකටම පත්වනු  මිස  අනරිය  ධ්‍යානයකට  පත්වන්නේ  ද  නැත.  ඒ  නිසා  අරිය  ධ්‍යානයකට පත්වන්නා නිවන එකම අග‍්‍ර තත්ත්වය කොට ඒ අරමුණෙහිම සිත පිහිටුවා ගනී.

අරිය ධ්‍යානයකට පත්වීමෙන් මෙන්ම අනරිය ධ්‍යානයකට පත්වීමෙන් ද සිදුවන්නේ කෙළෙස් දවා හැරීමයි. කුණු සළා හැරීමයි. අරිය ධ්‍යානයකට පත්වන්නා කුණු සළාහැර කෙළෙස් දවා හරිනවා යනු රිය ගමනට උපකාර වන චිත්තජ ශක්තීන් එකතු කිරීමේ ක‍්‍රියාවලියෙන් මිදීමට විපස්සනා නුවණ මෙහෙයවීමයි. අනරිය ධ්‍යානයකට පත්වන්නා කුණු සළාහරින්නේ මේ ලෞකිකත්වය තුළින්ම ලැබිය හැකි යම් සුවයක් වින්දනයක්

ලැබීම සඳහාය. එක් කෙනෙකු මඟ දැක යායුතු ගමන යයි. අනෙකා මඟ නොදැක මත්වී, ධ්‍යානයෙහි ඇලී අතරමං වෙයි. මේ දෙදෙනාම දවා හරින්නේ තම තමන්ගේම සාරයි කියා එකතු කරගත් (සං) කෙළෙස්ය.   එක්කෙනෙකු යථාවබෝධයෙන් කුණු   සළාහැර නිදහස්වීමේ  අරමුණු  ඇතිව  කෙළෙස්  දවාහරී.  අනෙකා  කෙළෙස්  දවා  හැර,  බර අඩුකරගෙන ඒ සුවය විඳීම සඳහා කෙළෙස් දවාහරී. අරිය ධ්‍යානයකට පත්වන පුද්ගලයා සංයෝජන ගැන අසා දැනගෙන හේතුඵල ධර්මය අසා තේරුම්ගෙන ද්වතාවය අවබෝධ කරගෙන ත‍්‍රිලක්ඛණය වටහා ගෙන දුක පිළිබඳව සත්‍යය අවබෝධ කරගත් කෙනෙකි. අනරිය ධ්‍යානයකට පත්වන පුද්ගලයා මේ කිසිවක අගක් මුලක් නොදැන, කවුරුන් හෝ කියූ  නිසා,  කරන්නන්  වාලේ  යම්  සුවයක්,  වින්දනයක්  පතා  භාවනා  කරයි.  යම් ආකාරයකින් සිත මත් වී, සුවයකට පත් වී, ඒ සුවයෙහිම ඇලී, එය විමුක්තිය සේ තේරුම් ගෙන කටයුතු කිරීම අනරිය ධ්‍යාන ලැබීමයි. අනරිය ධ්‍යානලාභීන්ටද පංච අභිඥා පවා ලබාගත හැකිවෙයි. නමුත් මෝහයේ මුල් සිඳ දමා නිදහස්වී නැත. ඒ නිසා මතු කවදා හෝ සතර අපායෙහි ද උපත ලැබීම ද සිදුවෙයි. අරිය ධ්‍යානලාභියා කෙළෙස් දවා හරින්නේ, කුණු සළාහරින්නේ ලැබූ යථාවබෝධයෙන්මය. හේතුඵල දහම දැකීමෙන්මය. ඒ නිසා කවදාවත්  සතර  අපායකට යන ක‍්‍රියා, වදන්,   සිතුවිලි වලට නොපැටළැවෙයි. ධර්මතාවයෙන්ම ඒවායින් මිදී නිදහස්වෙයි.

අරිය  ධ්‍යානයකදී  වුවත්  අනරිය  ධ්‍යානයකදී  වුවත්  දවා  හරින්නේ  වර්තමාන මොහොතේ සිතට අරමුණු වන අවිද්‍යා සංඛාරයෝය. අතීතයේ එකතුකරගත් කර්මජ බීජ ලෙසින් චිත්තසංථානයේ ගබඩා වී පවතින කාමාසව, භවාසව හා අවිද්‍යාසව යන බලවත් කෙළෙස් දවා හරින්නට හැකියාව ධ්‍යානකයට ඇත්තේ නැත. මෙවන් බලවත් ආසව කොටස් දවා හැරීමට හැකියාව ඇත්තේ අරිය ධ්‍යානයකට සමවැදී විපස්සනා නුවණින්, ආසවඛ්‍යා නුවණ පහළ කර ගැනීමෙන් පමණි. අනරිය ධ්‍යානයකදී ආසවඛ්‍යා ඥාණය පහළ වන්නේ ද නැත.

පළමුවන, දෙවන, තුන්වන හා හතරවන ධ්‍යානයන් රූපී ධ්‍යාන ලෙසටත් එතැන් පටන් ලබන ආකාසානඤ්චායතන, ආකිඤ්චඤ්ඤායතන, විඤ්ඤානඤ්චායතන, නේවසංඤ්ඤානාසඤ්ඤායතන ආදී ධ්‍යානයන් අරූපී ධ්‍යානයන් ලෙසත් නම්කර ඇත. අරූපී ධ්‍යානයකට පත් වී, විපස්සනා භාවනාවක් කිරීමටද හැකියාවක් නැත. ඒ නිසා, අරිය ධ්‍යානයකට පත්වී දෙවන තුන්වන හෝ හතරවැනි ධ්‍යානයකට සමවැදීමෙන්ම විපස්සනා භාවනාවක් ප‍්‍රගුණ කරගතහැකි වෙයි. මේ අනුව රූපී ධ්‍යානයන් අතරින් ද තුන්වැනි අරිය ධ්‍යානයට සමවැදී ආසවඛ්‍යා ඥාණය පහළ කරගෙන විපස්සනා කිරීම නිවන් අවබෝධ කරගන්නට පහසුම හා සුදුසුම මාර්ගයයි. මේ අනුව තුන්වන අරිය ධ්‍යානයේ පිහිටා සිට විපස්සනා නුවණින් හේතුඵල දහම මෙනෙහි කරන්නට හැකි ශක්තිය ලබාගත් උත්තමයා නොබෝ කලකින්ම සියලූ ආසව ඛයකර දමා කෙළෙසුන් නසා ප‍්‍රඥා විමුක්තියත්, අකුප්පා චේතෝ විමුක්තියත් සම්පූර්ණ කරගෙන නිවනද අත්විඳ ගන්නේය.

පංච අභිඥා ලැබීම හෝ අෂ්ට සමාපත්තියට පත්වීම හෝ අරමුණු කරගත් එවන් බලාපොරොත්තු ඇතිව භාවනා කරන යම් කෙනෙකුට ආසව ඛයකර ගැනීමේ ඥාණය පහළ වන්නේ නැත. යථාවබෝධයෙන්ම නිවන නිදහස යනු කුමක්දැයි තේරුම් ගෙන සංසාර ගමනට මුල් වූ සමුදය නිරෝධය කිරීමේ අරමුණෙන්ම විපස්සනා කිරීමෙන්ම පමණක් මෝහ මුල් සිඳ තමාම සංසාරයේ කවදා හෝ එකතු කර ගබඩාකරගත් කර්මජ බීජද (ආසව) සළාහැර බැඳගත් පටි ගළවා දමා තමාම මිදී නිදහස් විය යුතුය. වෙනත් කිසිම ආකාරයක ලෞකික සුවයක්, සැප සුව මධුර තත්ත්වයක් අරමුණු කරගෙන භාවනා කිරීමද විපස්සනා භාවනාවක් නොවේ.  විපස්සනා භාවනාවක තවත් නියත ලක්ෂණයක් වන්නේ සතියෙහි පිහිටා විපස්සනා භාවනාව කළයුතු වීමයි. සතිය යනු හොඳ සිහිය ලෙසින් වැරදියට විග‍්‍රහ කරන්නට වීම නිසා අද භාවනා කරන බොහෝ මිනිසුන්ට සතියෙහි පිහිටා විපස්සනා කිරීමද කළ නොහැකිය. සතියෙහි පිහිටා කටයුතු කිරීම යනු සත්‍යය දැක සත්‍යයට අනුරූපව යෝනිසෝමනසිකාරයෙන් කටයුතු කිරීමයි. සත්‍යය දැකගත හැකිවන්නේ හේතුඵල දහමට බහා ගළපා බලන්නට පුරුදු පුහුණු වීමෙන්ය. හේතුඵල දහමට බහා ගළපා බැලීම පටිච්චසමුප්පාද දේශණාවට අනුව විපස්සනා කිරීම මිනිසෙකුට තේරුම්ගත හැකි ඉතාමත් සරළ දෙයකි. තමන් කරන, කියන, හිතන සෑම දෙයක්ම ආදීනව හා ආනිසංස දැක ගැනීමයි. තමන් කරන, කියන, හිතන දෙයක් නිසා එහි ඵල විපාක ලෙස තමන්ට හෝ වෙනත්  ලෝක සත්ත්වයෙකුට හෝ උරුම විය හැකි ඵල විපාක දැනගෙන කටයුතු කිරීමයි. ඒ ඵල විපාක තමන්ගේ නිවන් මඟ වසා දමන නිවන් මඟ ප‍්‍රමාද කරවන නිවන් මඟට බාධා පමුණුවන එකක් නම් ඒ සිතුවිල්ල, ක‍්‍රියාව, කථාව වහාම අත්හැර ඉන් මිදී ප‍්‍රහාණය කර අත්හැර දැමීම කළ යුතුය. ඒ ආකාරයෙන්ම තමන් සිතන, කියන, කරන දේ නිසා වෙනත් කෙනෙකුගේ වෙනත් සත්ත්වයෙකුගේ නිවන් මඟ වසා දමන්නේ නම් නිවන් මඟ ප‍්‍රමාද කරන්නේ නම් නිවන් මාර්ගය අසුරා බාධා කරන්නේ නම් ඒ සිතුවිල්ල, ක‍්‍රියාව, කථාව අතහැර, ඉන්මිදී එයද ප‍්‍රහාණය කළ යුතුය.

ඒ ආකාරයෙන්ම තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ   වෙනත් සත්ත්වයෙකුගේ හෝ නිවනට උපකාර වන නිවනට ඇති බාධක ඉවත් කරන නිවනට උපනිශ‍්‍රය වන සිතුවිල්ලක් නම් කථාවක් නම් ක‍්‍රියාවක් නම් එය දිගටම කිරීම කළයුතු වන්නේය. මෙය හේතුඵල ධර්මතාවය දැක කටයුතු කිරීමයි. අවිද්‍යා සංඛාර දැක, ඒවා අතහැරීමත්, කුසල මූල අරමුණු දැක, ඒවා භාවිතා කිරීමත් සතියෙහි පිහිටා කටයුතු කිරීම විපස්සනා භාවනාවයි.

මේ අනුව කෙනෙකු තේරුම් ගතයුතු වැදගත්ම කරුණ නම් සතියෙහි පිහිටා කරන සති භාවනාවකින් මිස වෙනත් කිසිම අනාර්ය භාවනාවකින් සත්‍යය දැක  සත්‍යයේ පිහිටා චිත්තසංථානය  ශුද්ධ  පවිත‍්‍ර  කරගත  නොහැකි  බවයි.  නිවන්  අවබෝධ  කරගැනීමට අවංකවම උත්සාහ කරන හැම මිනිසෙකුම බුදුපියාණන් පෙන්වා වදාළ නිවැරදි මඟ පෙන්වන  ”සති”  භාවනාවක්ම,  කර්මස්ථානයක්  ලෙසින්  ගෙන  භාවනා  කරණු  මිස පසුකාලෙක හඳුන්වා දුන් අනරිය භාවනා ක‍්‍රම භාවිතා කර සංසාරයේ අතරමං වීමට ක‍්‍රියා කිරීම සුදුසු නැත. සති භාවනාවක් භාවනා කිරීමට පටන්ගත් පසු නොබෝ කලකින්ම සිත නිවී මානසික හා කායික සුවයද ලබා චිත්ත සාමය හා චිත්ත ශාන්තිය ද ලැබී සමථයට පත්වීම මුළින්ම සිදුවේ.

ඉන්පසුව  ක‍්‍රමානුකූලව  තමාගේම  සිත  පිළිබඳව  තම  සිතෙහිම  හැසිරීම්  රටාව පිළිබඳව විපස්සනා නුවණින් ප‍්‍රත්‍යාවේක්ෂා කර හේතුඵල ධර්මයට අනුකූලවම තමාගේම සිතෙහි මෙතෙක් කලක් ක‍්‍රියාත්මක වූ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක පැවැත්වීමේ රටාවෙන් ද වෙන් වී විඤ්ඤාණයේ කැමැත්තට ඉඩනොදී මනස මෙහෙයවා කුණු සළාහැර ප‍්‍රඥාව උපදවා පහදා ගත යුතුය. මෙතෙක් කල් තමාගේම විඤ්ඤාණය තමාව මෙහෙය වූ ආකාරය දැක තමාගේම සිතට වහල් වී සිතේ කැමැත්තට ඉඩ දී ඉන්ද්‍රියයන් පිනවීමේ එකම අභිලාෂයෙන් මෙතෙක් කල් තමා නොමඟ ගිය බව දැක ඊට හේතු කාරක වූ කරුණු කාරණාවන්ද තමා තුළින්ම දැක ඒ අවිද්‍යා සංඛාර ප‍්‍රහාණය කිරීමට, විපස්සනා භාවනාවම භාවිතා කළ යුතුය. තමා සංසාරයට බැදුණේ සැප සොයමින්, සැප ලූහු බැඳ මේ සංසාර රිය ගමන් ගියේ දුක යනු කුමක්දැයි තේරුම් නොගත් නිසාම බව දැන් ප‍්‍රත්‍යක්ෂ ලෙසින්ම අවබෝධ වෙයි. විඤ්ඤාණයේ නියම ස්වරූපය දැන හඳුනාගෙන, විඤ්ඤාණයේ කිළිටි වූ කැමැත්තට ඉඩ නොදී, අයාලේ නොගොස්, මනස මෙහෙයවා කරන, කියන හිතන සියලූ කටයුතු කරන්නට පුරුදු වීමෙන්, මෙතෙක් කුණු ගබඩාකර, කුණුම ආහාරයට ගෙන ජීවත් වූ විඤ්ඤාණයෙන්ද පූර්ණ වශයෙන්ද මිදී නිදහස් වීම ප‍්‍රඥා විමුක්තියට පත්වීමයි. ”කරණීයමත්ථ කුසලේන” යනුවෙන් කුණු සළාහැරීමට ක‍්‍රමානුකූලව අනුගමනය කළයුතු මඟ බුදුපියාණන්ම ”කරණීයමත්ථ සූත‍්‍රයෙන්” දේශණා කර පෙන්වා දී ඇත.

සතියෙහි පිහිටා, හේතුඵල පරම්පරාව ක‍්‍රියාත්මක වන සත්‍යයම වූ ස්වරූපය දැකගත නොහැකි නම් රාග, ද්වේෂ, මෝහ සළාහැර චිත්ත පාරිශුද්ධියට පත්විය නොහැකිය. ජීවත්වීමේ ඇති නැති වීමේ යථා ස්වරූපය තේරුම්ගන්නට උපකාර නොවන කිසිම කසින භාවනාවක් හෝ අනරිය භාවනාවක් හෝ විපස්සනා භාවනාවක් නම් නොවේ. බොහෝ අනරිය භාවනා ක‍්‍රමද කසින භාවනා ක‍්‍රමද ධ්‍යානයක් ලබාදීමට නම් සමත්ය. ඒ අනරිය ධ්‍යානයෝ නිවන් අවබෝධ කර ගැනීමට නම් කිසිසේත් උපකාර නොවේ.

බුද්ධ භාෂිතයෙහි පෙන්වා අනුදැන වදාළ සියලූම ”සති” භාවනා ක‍්‍රම, දස්සේන සම්පන්න  වූ  පසුව  පූර්වභාග  නුවණ  පහළ  වූ  පසුව  පමණක්  භාවිතා  කළ  හැකි කර්මස්ථානයෝය. ධර්මය අසා, ධර්මය ශ‍්‍රවණය කර ලබාගත් ධර්මාවබෝධයෙන් යුතුවම භාවනා කළ යුතුය. යථාවබෝධය ලැබූ තරමට සත්‍යය තේරුම් ගත් තරමට හේතුඵල දහමට බහා ගළපා බලන්නට පුරුදු වූ තරමට  විපස්සනා භාවනාව ද ප‍්‍රතිඵල දායක වෙයි.

මුලින්ම ධර්මය අසා දැනගත් නිවන, නිදහස්වීම තමාට අත්දැක, අත්විඳ ගන්නට  විපස්සනා භාවනාව මිස වෙනත් ක‍්‍රමයක් ද නැත.

යම්කිසි  ආකාරයක  ලෞකික  සුවයක්  හෝ  වින්දනයක්  බලාපොරොත්තුවෙන් යම්කිසි බලයක්, පංච අභිඥා හෝ ඍද්ධි ප‍්‍රතිහාර්යය පෑමේ බලාපොරොත්තුවෙන් හිත කය නැතිකර ගැනීමේ හෝ යම් එළියක්, අලෝකයක්, බුදුරැස්, බුදුරුව දැක ගැනීමේ අදහස් හෝ වෙනත් යම්කිසි තත්ත්වයකට පත්වීමේ ලෞකික බලාපොරොත්තුවකින් හෝ කරන භාවනාවක් විපස්සනා භාවනාවක් නොවේ. මේ සියලූ ආකාරවූ ලෞකික සුවයන්ගෙන්, වින්දනයන්ගෙන් නිදහස් වීමට, සියලූ ලෞකික සම්බන්ධතා වලින් නිදහස්වන්නට කරන භාවනා විපස්සනා භාවනාවෝය. ලෝකය පිළිබඳව ලෞකිකත්වය පිළිබඳව සුළු වශයෙන් හෝ සිතෙහි යම් අරමුණක් මතුවන්නේ නම් එයද විඤ්ඤාණයෙන්ම බිහිකරගත්  කාම විතක්කයක් බව ද තේරුම් ගත යුතුය.

බෞද්ධයෙකු ලෙස නිවන් අවබෝධ කර ගැනීමේ ඒකායන අරමුණෙන් කටයුතු කරන්නේ නම්  විපස්සනා භාවනාවක් කළ යුත්තේ මේ කය නැති කර ගැනීමට නාම රූප නැතිකර ගැනීමට හෝ කායික මානසික වින්දනයක් සුවයක් පතාද නොවේ. කය නැතිකර ගන්නට කය නොපෙනී යන්නට අරූපී ධ්‍යානයක් ලබන්නට දරණ මෙවැනි උත්සාහයක්ද නිවනට උපකාර වනවාට වඩා නිවනට බාධකයෝමය.

මේ ශරිර කූඩුව වත යනු ගත සිත එකතු කර සාදා සකස්කරගත් සංඛතයකි. විඤ්ඤාණයට ලගින්නට විඤ්ඤාණයම සාදාගත් තාවකාලික කූඩුවකි. මේ වත ඔබට කැමැති පරිදි එක මොහොතක් හෝ පවත්වන්නට, නවත්වන්නට හෝ නොහැකිය. මේ වත, තමන් කැමති පරිදි එකම විධියක පවත්වන්නට හෝ වෙනස් වී විපරිණාමයට පත්වීම නවත්වන්නට හෝ දරණ සියලූ උත්සාහයන් අවිද්‍යාවෙන්, මෝහයෙන්ම කරන දේවල්ම පමණි. ඒ නිසා විඤ්ඤාණය සාදාගත් මේ කූඩුව සුවපත් කරන්නට, ප‍්‍රිය මධුර දේ ලබා දී පිනවන්නට හෝ ධූතාංග, වත් රැක දුක් දෙවන්නට, දුක් විඳවන්නට හෝ කටයුතු කිරීම අන්තයක් අල්ලාගෙන කටයුතු කිරීමක්ම පමණි. මේ අන්ත දෙකම හෝ අන්ත දෙක අතර මැද ඇති මොනයම් තත්ත්වයක් හෝ අල්ලා ගැනීම සංසාර රිය ගමන දිගටම ගෙන යාමට හේතුවක් වෙනවා මිස රිය ගමන නවත්වා අරිය වීමට නම් උපකාර නොවේ.

බුදුපියාණන් දේශණා කර වදාළ විපස්සනා භාවනාවක නියත ලක්ෂණයන් වන්නේ සිතක මතුවන අවිද්‍යා සංඛාර සහිත අරමුණු ලෝභ – අලෝභ, ද්වේෂ – අද්වේෂ, මෝහ – අමෝහ අරමුණු දිගේ සිතින් රෝද ගැසීම නවතා නිරෝධ කිරීමයි. සිත නිරෝධ කිරීමත් සමඟම රාග-විරාග වෙයි. රිය ගමන නැවතී අරිය තත්ත්වයට පත්වෙයි. සිතට අරමුණු වන සියළු අවිද්‍යා සංඛාර අතහැර, ඒවාට නොබැඳී, ඒවායින් මිදී, ඒවාට යළි නොඇලී නිදහස් වීම නිවනයි. ”චගෝ පටිනිසග්ගෝ මුත්ති අනාලයෝ අසේස විරාග නිරෝධා” යනුවෙන් බුද්ධ දේශණාවේ පෙන්වා වදාළේ මෙම දුක්ඛ නිරෝධ අරිය සත්‍යයයි. භාවනාවක් කළ යුතු වන්නේ සිත දියුණුකර ගැනීමට යැයි බොහෝ දෙනෙකු තුළ වැරදි මතයක් ඇත. සිත යනුවෙන් අදහස් කරන්නේ ප‍්‍රකාශ කරන්නේ කිළිටි වූ විඤ්ඤාණයම මිස වෙන කිසිවක් නොවේ. මෙසේ තමන්ම එකතු කරගත් කුණු කන්දරාවක් නිසා කිළිටි වූ සිත පිරිසිදු කර ගන්නවා මිස මෙය දියුණු කරගත හැකි එකක් නොවේ. දියුණු කර ගැනීම සංවර්ධනය කර ගැනීම යනු තව තවත් ”සං”  එකතු කර ගැනීමක් ම පමණි.  ඒ නිසා භාවනා කළ යුත්තේ රාග ගති, ලෝභ ගති, ද්වේෂ ගති, මෝහ ගති සිත තුළින් සළාහැර, ශුද්ධ පවිත‍්‍ර කර ගැනීමටයි. විඤ්ඤාණ තත්ත්වයෙන් පවතින සිත සම්පූර්ණයෙන්ම කර්මබීජ වලින් තොර, චිත්තජ ශක්තීන් ගෙන් තොර තත්ත්වයට පත්කර ගැනීමට නම් පළමුව ලෝභ, ද්වේෂ, මෝහ සළාහැර, දෙවනුව අලෝභ, අද්වේෂ, අමෝහ ද සළාහැර පූර්ණ වශයෙන් ”සං” වලින් තොරවූ සම්මා තත්ත්වයට පත්කර ගත යුතුය. ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ යන අන්තයන් දෙක අතර මැද ඇති මොනයම් තත්ත්වයක් හෝ අල්ලා ගත්තත් එය සංසාරයට සම්බන්ධ වීමකි. භව තත්ත්වයක් උපදවා දීමට හේතුවන බැඳීමකි. ඒ අනුව සියලූ කෙළෙස් නසා, කුණු සළාහැර, චිත්ත පාරිශුද්ධිතාවයට පත්විය හැකි වන්නේ අන්ත දෙකෙන් මෙන්ම අන්ත දෙක අතර මැදින් ද සම්පූර්ණයෙන්ම මිදී නිදහස් වීමෙනි. ”මා මඤ්ඤති” යනුවෙන් බුදුපියාණන් පෙන්වා වදාළේ මැදින් මිදී නිදහස් වීමයි. මානය, මමත්වය බිහිවන්නේ මැදින් අල්ලා ගැනීමෙනි.

පෘථග්ජන පුද්ගලයා යනු කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මයන්ගෙන්ම චිත්තය ආවරණය කර, වසාගෙන සිටින  පුද්ගලයායි.  සිත  ආවරණය  කර  ගන්නේ  අඳුරු  කරගන්නේ  තමාමය.  තම කැමැත්තෙන්මය. චිත්තය ආවරණය වීම යනු අඳුරු පටලයක්, ආසව තට්ටු කිහිපයක් නිසා කුණු කෙළෙස් කන්දරාවකින් චිත්තය වැසී මුවහ වී, ඇත්ත ඇති සැටියෙන් දැක, කෙළෙස් දැක ගන්නට නොහැකි ලෙසින් සත්‍ය වසං වීමයි. මෙයම දෘෂ්ඨිගත වීමක් ලෙසද පෙන්වා දිය හැකිය. පාට කණ්නාඩි කිහිපයක් පැළඳ සිටින කෙනෙකුට යමක් දෙස බලා එහි නියම ස්වරූපය දැක ගත නොහැකිවාක් වැනි දෙයකි. මේ දෘෂ්ඨිගත වීමයි.

ශුද්ධාව,  වීර්යය,  අධිෂ්ඨානය,  උත්සාහය,  බුද්ධිය,  ප‍්‍රීතිය,  සුඛය,  උපේක්ඛාව, සතියෙහි පිහිටීම ආදී ගුණාංග මිනිසෙකුට අවශ්‍යවන්නේ අවසාන අරමුණ වූ නිවන් අවබෝධකර ගැනීම සඳහා පමණි. මෙකී ගුණාංග කිසිවක් හෝ නිවන නොවේ. ගිනිගොඩ නිවාදමන්නට රිය ගමනෙන් නිදහස් වී, සංසාර ගමන නිමා කරන්නට උපකාර කරගත යුතු, භාවිතා කළ යුතු මෙවලම් සමූහයක් පමණි. ඒ නිසා මෙවැනි යමක් අල්ලා ගත්තත්, උපාදානය කරගත්තත් එයද නිවනට බාධකය.

සංවරත්වයේ සීලයේ පිහිටා සංසිඳුවීමෙන් සමාධියට පත්වී සම්මා අංග සම්පූර්ණ කරගැනීමෙන් පුර්ණ ලෙස ”පහාතබ්බා” යන තත්ත්වයට පත්වීමකි. මේ නිසා සංවර, සංසිඳුවීම, සම්මා යන බුද්ධ භාෂිතයේ එන පදවල අර්ථය නිවැරදිව තේරුම් නොගෙන, කළයුතු දේ නිවැරදිව අනුගමනය නොකර නිවන් අවබෝධ කරගත නොහැකිය.

”සං” යනු එකතු කිරීමයි. වටිනවා යැයි, සාරවත් යැයි සිතා එකතුකරගත් දේ ”සංසාර” ගමනට එකම හේතුවයි. මේ එකතු කරගත් දේ කර්මජ බීජ නමින් හැඳින්වේ. බොහෝ උත්සාහයෙන්, මහන්සියෙන්, දුක්විඳ, හරිහම්බකර, ආදරයෙන් රැස්කරගත් මේ කර්මජ  බීජ  පැළවීමේ  ශක්තියෙන්  ද  යුක්තය.  මතු  උපතටද  නියත  වශයෙන්  ම හේතුකාරකය. මෙය හරියට ගොවියෙකු උත්සාහයෙන්, මහන්සියෙන් වපුරා, හදා, වේලා, සකස් කරගත් බිත්තර වී අටුවේ තැන්පත් කළා වැනි ක‍්‍රියාවකි. මතු උපතකට එකම හේතුව, මේ කර්මජ බීජ නිපදවීමත්, ඒවා ගබඩා කර රැස්කිරීමත්ය. ”තේ ඛීණ බීජා අවිරුල්හි චංදෝ” යැයි බුදුපියාණන්ම පෙන්වා වදාළේ ද මේ ”සං” නැමති එකතුකරගත් බීජ, සීලයෙන්, සමාධියෙන්, ප‍්‍රඥාවෙන්් ප‍්‍රහාණය කල යුතු බවයි.

මේ අනුව නිවන් අවබෝධ කරගන්නවා යනු,

01. වර්තමානයේ මොහොතක්  මොහොතක්  පාසා  එකතු  කර ගන්නා, ලෝභ අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ ගති ලක්ෂණයන් එකතු කිරීමෙන් වැළකී ඉන්ද්‍රියයන් හයම සංවර කර ගැනීමත්,

02. අතීතයේ  තමන්  එකතුකරගත්,  ගබඩාකරගත්  මෙම  ගති  ලක්ෂණ  නිසා  බිහිවූ කාමාසව, භවාසව හා අවිද්‍යාසව සංසිඳුවා, සළාහැරීමත්,

03. ඒ  ආසව  සියල්ල  සහමුළින්ම  ඉවත්කිරීමට  සම්මා  අංග  අටම  සම්පුර්ණ  කර ගෙන,  පූර්ණ  චිත්තපාරිශුද්ධියට,  සම්මා  සමාධියට  පත්වීමත්  යන  පියවරයන් තුනම සම්පූර්ණ කර ගැනීමයි.

මේ අනුව ඉතාම සරළ ලෙස පැහැදිළි කර ගත යුතු වන්නේ තමාම කවදා හෝ සංසාරයේ දී වටිනවා යැයි, සාරයයි, එකතු කරගත් ගතිගුණ වලින් තමාම මිදී නිදහස් වෙනු මිස වෙනත් කිසිම තේරුම් ගත නොහැකි ආශ්චර්යයක් හෝ ප‍්‍රාතිහාර්යයක් හෝ මෙම නිවන් දැකීම යන්නෙහි අර්ථය නොවන බවය.

ධ්‍යානයන්  ලබා  හෝ  ධ්‍යානයන්  නොලබාම  හෝ  අරහත්  බුද්ධ  තත්ත්වයට පත්වන්නට පින් ඇති, ශක්තිය ඇති වාසනාවන්ත මිනිස්සු අද කාලයේ ද උපත ලබා, අප අතරම ජීවත් වෙති. නිවැරදි අනුපුබ්බංගම නිවන් මඟ පැහැදිළි කර, විග‍්‍රහ කර කියා දෙන්නේ එවැනි මිනිසුන්ට තේරුම්ගෙන අනුගමනය කර නිවන අත්විඳ ගැනීම සඳහාමය.

සතර සතිපට්ඨාන භාවනා ක‍්‍රමය බුදුපියාණන් අනුදැන වදාළ පහසුම හා සරළම නිවැරදි අරිය භාවනා ක‍්‍රමයයි. ”සති” යන පදය මෙහි ඇති වැදගත්ම පදයයි. සතියෙහි පිහිටා  කටයුතු  කිරීමෙන්ම  සිත  ගත  දෙකම  ශික්ෂණය  කර,  හික්මවා,  සංවර  කර, චිත්තසංථානයේ ගබඩා වී පවතින කර්මජ බීජද සංසිඳුවා, සම්මා අංග යන සියල්ලද සම්පූර්ණ කර ගත හැක.

බුද්ධ භාෂිතයේ ගෙනහැර දක්වා වදාළ ”සති” සූත‍්‍ර දේශණා සියල්ලම සෘජුවම නිවන් මඟ පෙන්වන කර්මස්ථාන ලෙසින් සෑම මිනිසෙකුටම භාවිතාකල හැකි දේශණාවන්ය.

1. සතර සතිපට්ඨාන සූත‍්‍රය
2. ආනාපානසති සූත‍්‍රය
3. බුද්ධානුස්සති සූත‍්‍රය
4. ධම්මානුස්සති සූත‍්‍රය
5. සංඝානුස්සති සූත‍්‍රය
6. මරණානුස්සති සූත‍්‍රය
7. අසුභානුස්සති සූත‍්‍රය
8. කායාගතාසති දේශණාව
9. චාගානුස්සති දේශණාව
10. මෙත්තානුස්සති දේශණාව

යන ”සති” දේශණා දහයම බුද්ධ භාෂිතයයි.

මේ කොයියම් ”සති” භාවනාවක් භාවිතා කළත් අවසානයේ සතර සතිපට්ඨානය සම්පූර්ණ කර ගැනීමෙන්ම සිත කය සංවර වී, ඉන්ද්‍රියයන් හයම සංවර වී, ත‍්‍රිවිධ සුචරිතයද පූර්ණ  වෙයි.  පටිවිරතෝහෝති  යනුවෙන්  පෙන්වා  වදාළ  ශික්ෂණයට,  සංවරත්වයට පත්විය හැකිවන්නේ සතියෙහි පිහිටීමෙන්ම පමණි.

හේතුඵල පරම්පරාවක් ඇති නැතිවීමේ ක‍්‍රියාවලිය, උපතට මරණයට මුල් වූ චිත්තජ ශක්තීන් නිපදවා තැන්පත් කිරීමේ ක‍්‍රියාවලිය නිවැරදිව දැක ගත්තේ නැතිනම් ඒ පිළිබඳව සත්‍යය තේරුම් නොගත්තේ නම් කිසිම මිනිසෙකුට සති භාවනාවද නිවන් දැකීමට උපකාර වන ලෙසින්  විපස්සනා කළ නොහැකිය. ඒ නිසා බුදුපියාණන් අනුදැන වදාළ සියලූම සති භාවනා නිවැරදිව භාවිතා කර නිසි ඵල ලබාගත හැකි වන්නේ ”සං” දැක, ධම්මෝ සංදිට්ඨික වී, දස්සනේන සම්පන්නෝ තත්ත්වයට පත්වීමෙන්ම පමණි.

සති යන වචනයේ සම්මත ලෝක ව්‍යවහාර අර්ථය හොඳ සිහිය යන්නයි. එහි බුද්ධ භාෂිතයේ ධර්ම අර්ථය සත්‍යය දැක, ඒ අනුව ක‍්‍රියා කිරීම යන්නයි. ඇත්ත ඇති සැටියෙන් දැක, ඊට අනුරූපව සිහිය, ක‍්‍රියාව, කථාව පැවැත්වීම සතියයි.

පිරිසිදු බුද්ධ දේශණාවට අනුකූලවත්, යථාවබෝධයෙනුත් විපස්සනා භාවනාවක යෙදීම කළ හැකි වන්නේ සතියෙහි පිහිටා කටයුතු කිරීමට පුරුදු පුහුණු වීමෙන්ම පමණි. සතියෙහි පිහිටීමෙන්ම පමණක් මිනිසෙකු ශික්ෂණ වන බවත් සංවර වන බවත්, ඒ අනුවම ඉන්දියයන් හයම සංවර වී, සතර ඉරියව්වේදීම කරන, කියන, සිතන සියලූ ආකාර වූ, ඇවතුම්, පැවතුම් ක‍්‍රියාකාරකම්, සිතුවිලි තමාගේ නිදහසට, නිවනට උපකාර වන ලෙස පැවැත්වීම සතියෙහි පිහිටීමයි.

තමා සිතන සිතුවිල්ලක්, කරන ක‍්‍රියාවක්, කථාවක්, හේතු කොට ගෙන ඉන් බිහිවන ඵලවිපාක  තමාටම  උරුම  වන  ආකාරය  දැක  කටයුතු  කරන්නට  පුරුදු  වීම  සතර සතිපට්ඨානයේ පිහිටා කටයුතු කිරීමයි. ඒ සඳහා ”ආදී නව” අවස්ථා දකින්නට සමත්විය යුතුය. විපස්සනා කිරීම යනු ද මෙයයි. මේ අනුව විපස්සනා භාවනාවකින් සිදුවන්නේ

තමන් සිතන සිතුවිල්ලක්, කරන කථාවක්, කරන ක‍්‍රියාවක් කරන්නට, සිතන්නට පෙර හේතුඵල දහමට බහා ගළපා බලා එය තමාගේම නිවනට බාධක වේ නම් එය අත්හැර ප‍්‍රහාණය කර නිදහස් වීමත් එය වෙනත් කෙනෙකුගේ නිවනට බාධක වේ නම් නිවන ප‍්‍රමාද කරයි නම් එය වහාම අත්හැර, මිදී නිදහස් වීමට කටයුතු කිරීමත්ය. එම සිතුවිල්ල,

තමාගේ හෝ වෙනත් කෙනෙකුගේ හෝ නිවනට උපකාර වන නිවනට මඟ පෙන්වන, නිවන් බාධක ඉවත්කරන ආකාරයක එකක් නම් ඒ සිතුවිල්ල කථාව, ක‍්‍රියාව දිගටම භාවිතා කිරීමත්, සතර සතිපට්ඨානයෙන් කටයුතු කිරීමයි. මේ අනුව සෑම ”සති” භාවනාවක්ම නිවනට උපකාරවන නිවැරදි ලෙසින් විපස්සනා කිරීමට හේතුඵල දහමට බහා ගළපා බලා කටයුතු කිරීමේ දැනුම, ශක්තිය, හැකියාව, පුරුද්ද ලබාගත යුතුමය. හේතුඵල නොදැන, හේතුඵල නොදැක, කටයුතු කිරීම ”අමනසී කරෝති” යනුවෙන් බුදුපියාණන්ම සබ්බාසව සූත‍්‍රයේ දේශණා කර ඇත. තමන්ම යථාපරිදි තමා සිතන, කරන, කියන දේ පිළිබඳව තේරුම් ගැනීමත්, ඒ අනුව කටයුතු කිරීමත් ”යෙ ධම්මා මණසිකරණිය” යනුවෙන් පෙන්වා වදාළහ.

විපස්සනා භාවනාවක යෙදීමෙන් ප‍්‍රායෝගිකව කළ යුතු වන්නේ නිවනට බාධක, නිවන් මඟ වසා අසුරා සිටින ලෝභ – අලෝභ, ද්වේෂ- අද්වේෂ, මෝහ – අමෝහ යන පංචකාමනීවරණ ධර්මවලින් ඉවත්වී ඒවා අතහැර චිත්ත පාරිශුද්ධතාවයට පත්වීමයි. ඒ සඳහා හේතුඵල දහම දැක ඒ අනුව කටයුතු කළ යුතු බව නැවත නැවතත් සිතිය යුතුය. හුස්ම ඉහළ පහළ දැමීම කෙරෙහිම පමණක් සිත යොමු කර අනෙකුත් සිතුවිලි සියල්ලම අමතක කර කාලය ගත කිරීම හෝ අවිද්‍යාමූල සංඛාර හා කුසල අරමුණු වෙන්කොට දැන හඳුනා නොගෙන අසිහියෙන් කටයුතු කිරීම හෝ විපස්සනාවක් නොවන බව පැහැදිලිවම තේරුම් ගත යුතුය. එයද භාවනාවකි. එය අනරිය වූත් ලෞකික වූත් වායෝ කසින භාවනාවයි. එයින් ද ධ්‍යානයන් ලබා ගත හැකිය. ඒවා අනරිය ධ්‍යානයෝය

අත්හැර  මිදී  නිදහස්විය  යුතු  දේත්,  ආශ‍්‍රය  කර,  භාවිතා  කළයුතු  දේත්  යැයි ආනාපානා සති විග‍්‍රහයේදී බුදුපියාණන් සියලූ සංඛාර කොටස් දෙකකට බෙදා පෙන්වා වදාළහ. ”සතෝච අස්ස සති””සතෝව පස්ස සති” යනුු මේ දෙකොටසටමයි. අස්ස යනු ආශ‍්‍රය කිරීමයි. පස්ස යනු ප‍්‍රහාණය කර, පහකර දැමීමයි. මේ අස්ස යන වචනයත්, පස්ස යන වචනයත් බුද්ධ භාෂිතයේ පෙන්වා දුන් ධර්මය තේරුම් ගන්නට අසමත් වූ අය පසු කාලයේ දී අස්සාස (ආශ්වාස) පස්සාස (ප‍්‍රාශ්වාස) යන පද දෙක සමඟ පටළවා ගත්හ. ඒ අනුවම ආනාපාන ”සති” නැමති උතුම් බුද්ධ භාවනාව ද වායෝ කසින භාවනාව නැමති අනරිය භාවනාව සමඟ එකතුකර අලූත් භාවනාවක් ද සකස් කරගත්හ. අද බොහෝ අය භාවිතා කරන්නේ මේ කසින  භාවනාවයි.

ආනාපානසති භාවනාවෙන් මෙන්ම සතර සතිපට්ඨාන භාවනාවෙන්ද අනෙකුත් ”සති” භාවනාවලින් ද බුදුපියාණන් පෙන්වා වදාළ කායානුපස්සනා, වේදනානුපස්සනා චිත්තානුපස්සනා  හා ධම්මානුපස්සනා යන සතර අංගයම තමා තුළින්ම විපස්සනා කර දැකගනු මිස බාහිර ලෝකයෙන් දැකගත නොහැකිය. කථාවෙන්, ක‍්‍රියාවෙන් කරන සියලූ ක‍්‍රියාකාරකම් වලටද මුල් වන්නේ සිතයි. කිසිම කථාවක්, ක‍්‍රියාවක්, සිතුවිල්ලකින් තොරව කළ නොහැකිය. මේ නිසා චිත්ත සංඛාර, මනෝ සංඛාර යන පද තේරුම් කර ගත යුතුය. ”සං” යනු එකතු කිරීමයි. කාර යනු ක‍්‍රියාකාරකමයි. යමක් එකතු කිරීම සඳහා කරන හැම ක‍්‍රියාකාරකමක්ම සංඛාරයකි. මෙසේ තමන් එකතු කර ගන්නා හැම දෙයක්ම තමාට උරුම වෙයි. මේ ලෞකිකත්වය තුළින් කිනම් ආකාරයක දෙයක් එකතු කර ගත්තත්, එය බරක් කුණු ගොඩක් බව නිවැරදිව දැක ඒ සියලූ දෙයින් නිදහස් වීම ලෞකිකත්වයෙන් මිදීම හෙවත් ලෝකෝත්තර තත්ත්වයට පත්වීම බවද තේරුම් ගත යුතුය.

සිතකට අරමුණු වන සියලූ සිතුවිලි අතහැර දමා අසංඥ තත්ත්වයට පත්වෙන ක‍්‍රියාදාමයක් කිසිවිටකත් බුදු දහමෙහි අනුමත කළේ නැත. කළයුතු දේත්, නොකළ යුතු දේත්, ආශ‍්‍රය කළයුතු දේත්, අත්හැර මිදී නිදහස්විය යුතු දේත් යනුවෙන් දෙකොටසක්, ද්වතාවයක්  බුදු  දහමේ  නිතරම  පෙන්වා  දී  ඇත.  එය  පටිච්චසමුප්පාද  ධර්මයෙන් මනාකොට විග‍්‍රහ කර දී ඇත.

එදා ජන්බුද්වීපයේ ආගම්වල හා දර්ශන වල ධ්‍යාන ලබා ගැනීමට, පංච අභිඥා ලබා ගැනීමට,  සිත  සමාධිගත  කිරීමට  උපකාරවන  බොහෝ  භාවනා  ක‍්‍රම  ප‍්‍රගුණ  කළහ. බුදුපියාණන්වහන්සේ ද බුදුවන්නට පෙර මේ සියලූ දේ අධ්‍යයනය කර, පර්යේෂණ කර, අත්විඳ ගත්සේක. මේ බොහෝ ආගම් වල භාවිතා කරනු ලබන භාවනා ක‍්‍රම වලින් ද කරන්නේ රාග, ද්වේෂ, මෝහ වැනි කෙළෙසුන් එකතු කිරීම නවතා දමා කෙළෙසුන් භාවිතා කිරීමද තාවකාලික නවතා දැමීමයි. එසේ කෙළෙසුන් භාවිතා කිරීම නවතා දැමු පසු සිත සමාධිගත වෙයි. අරූපී ධ්‍යානයකට පත්වීමෙන් ලබන සුවය මේ ලෞකිකත්වය තුළදී ලබා ගත හැකි උපරිම සුවයයි. නමුත් මෝහයේ මුල්සිඳ, කෙළෙස් උපදින්නට හේතු කාරක වන  ආසව  ප‍්‍රහාණය  කර,  චිත්තපාරිශුද්ධියට  පත්වන්නට  ඒ  ධ්‍යානයෝ  ප‍්‍රමාණවත් නොවේ. මෙවන් රූපී, අරූපී අනරිය ධ්‍යානයන් උපදවාගෙන ප‍්‍රකෘති ලෞකික ජිවිතයෙන් තාවකාලිකව මිදී, වෙන්වී මේ ලෞකිකත්වය තුළම වෙනත් තලයක මානසික අනුභූතීන් ලැබීම සිදුවෙයි. එය මනසින් ලබාගත හැකි උපරිම සුවයකි. ඉන්ද්‍රියයන් සංතර්පනය කර ලෝකයා ලබන සංඥා වේදයිත සුවයකට වඩා ආශ්වාද කර, අති ප‍්‍රණීත සුඛ වින්දනයක් මෙහිදී ලැබෙයි. මේ ලෞකික සුවය බුදුපියාණන් පෙන්වා වදාළ ”සංඥා වේදයිත නිරෝධ සුවය” නොවේ. භව නිරෝධය, ජාති නිරෝධය නිසාම ලැබිය හැකි සංඥා චේදයිත නිරෝධ සුවය නිවන් සුවයයි. එය නැවතත් කවදාවත් වෙනස් නොවන වෙනස් කරගත නොහැකි සුවයකි. ඒ නිසා සංසාර දුක සඳහටම නිමාකර උතුම් නිවන් අවබෝධ කර ගන්නට උපකාර වන එකම ධ්‍යානය සංඥා වේදයිත නිරෝධ තත්ත්වයට පත්වීමයි. සීල, සමාධි, ප‍්‍රඥා යන අංග තුන පිළිබඳව නිවැරදිව තේරුම් ගෙන සංවරත්වයට පත්වී, සංසිඳුවාගෙන, සම්මා අංග  සම්පූර්ණ කරගත හැකි වන්නේ සතර සතිපට්ඨාන භාවනාවෙහි  යෙදීමෙනි.  හේතුඵල  දහම  තේරුම්  ගෙන  ද්වතාවය  ද  අවබෝධ  කර ගැනීමෙන් පමණක් ත‍්‍රිලක්ඛණය ද වටහා ගත හැකි වෙයි. මේ පංචස්කන්ධය පිළිබඳව ඇති සැටියෙන් තේරුම් ගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නට නිවැරදි මඟ එයයි.

Share Button

පින් පව් – කුසල් අකුසල් (ලෞකික හා ලෝකෝත්තර වශයෙන්)

පින් පව්, කුසල් අකුසල් යනුවෙන් හඳුන්වන සියලුම දේ, ඒ ඒ සත්ත්වයා තම තමන්ම මොහොතක් මොහොතක් ගානේ සිතන, කරන, කියන සංඛාර අනුව, ඒ සංඛාර ආශ‍්‍රයෙන් තමාම උපදවා එකතු කර ගන්නා චිත්තජ ශක්තින්ය. එවන් චිත්තජ රූප ආශ‍්‍රයෙන් බිහිවන සියලුම කර්මජ ශක්තීන් අකුසල්, පව් හා පින් ලෙස හඳුන්වයි. චිත්තජ ශක්තීන් ආශ‍්‍රයෙන් එකතු කර ගන්නා චිත්තජ රූප පහ කර, ප‍්‍රහාණය කර සළා හැරීම කුසලයයි. තමාම එකතු කරගත් කුණු, කෙළෙස් ගති තම සිතින්ම සළා හැරීම කුසලයයි.

අකුසල් හා පව්කම්

අකුසල් හා පව්කම් ලෙස හඳුන්වන සියලු දේ ධර්මයට නොගැළපෙන, දුෂ්චරිතයන් ලෙස පෙන්වා දිය හැකි ගති ලක්‍ෂණයන්ය. දස අකුසල්, දස පාප ක‍්‍රියා, දස දුෂ්චරිත ආදී විවිධ නම් වලින් පෙන්වා දුන් සියල්ල පුද්ගලයෙකුගේ, සත්ත්වයෙකුගේ චිත්තසංථානයේ පහළවෙන වැරදි ගති ලක්ෂණයන්ය. මෙවන් සියලු දේ ඵල විපාක ලබා දෙන චිත්තජ ශක්තීන් බිහි කරන නිසා, කර්මජ රූප ලෙසින් කර්මජ කෝෂයේ තැන්පත් වෙයි. ඒ කර්මජ කෝෂයේ තැන්පත් වූ සියලු කර්මජ ශක්තීන්හි ඵල විපාකයන්ද පව, අකුසලය කරන ලද අය වෙතම අනිවාර්යයෙන් ම විපාක දෙයි. එය ධර්මතාවයෙන්ම සිදුවන දෙයකි. කරන ලද පාපයෙහි හෝ අකුසලයේ හෝ ප‍්‍රමාණය අනුව, බිහි කළ චිත්ත ආවේගයේ ශක්ති ප‍්‍රමාණය අනුව එහි විපාකය ද ප‍්‍රබල හෝ දුබල වෙයි. චිත්ත ආවේගය බලවත් නම් ගුණාකාරයෙන් වර්ධනය වී, සිය දහස් ගුණයෙන් ඵල විපාක වැඩි වෙයි. එක වරදක් වෙනුවෙන් සිය දහස් වරක් විපාක විඳින්නට ද සිදු වෙයි.

කෙනෙකු කළ පාපයක්, අකුසලයක් වෙනත් කෙනෙකුට පවරන්නට හෝ වෙනත් කෙනෙකුට ඵල විපාක ගෙන දෙන්නට හෝ කිසිසේත්ම සමත් නැත. ඒ නිසා තමන් කරගත් දේ තමන්ට ම අනිවාර්යයෙන්ම ඵල විපාක දීමටත්, දුගතියට පත් වීමටත්, දුක උරුම වීමටත් හේතු වනවා මිස, වෙනත් කෙනෙකු මතින් යැවිය නොහැකිය.

පව්කම්,  අකුසලයන්,  අධර්මයේ  හැසිරීම්  සියල්ලම  ඒවා  කරන  පුද්ගලයාගේම චිත්තය අඳුරු කරන, කිළිටි කරන, සිතට කුණු ගති එකතු කරන ශක්තීන්මය. ඒ නිසා ඒවා පොදුවේ සමාජයට, ස්වභාව ධර්මයට හා වෙනත් සත්ත්වයින්ට ද අහිතකර ලෙස ම බලපායි.

පින්කම් ද ප‍්‍රධාන කොටම ලෞකික පින්කම් හා ලෝකෝත්තර පින්කම් යැයි දෙකොටසකට බෙදා දැක්විය හැක. මේ දෙකෙහි වෙනස දැන හඳුනා ගැනීම, තෝරා බේරා ගැනීම හා ඒ අනුව ක‍්‍රියා කිරීම බුද්ධිය වඩා මෝහයෙන් මිදීමට උපකාර වේ.

ලෞකික පින්කම් බෞද්ධ අබෞද්ධ කාටත් පොදුවේ කරගත හැකි දෙයකි. මෙවන් පින්කම් කිරීමට බෞද්ධ රටක ඉපදීම හෝ බුද්ධෝත්පාද කාලයක ඉපැදීම හෝ අවශ්‍ය නොවේ. පන්සල්, වෙහෙර විහාර, ආගම් ඇතත් නැතත් මිනිසාට මෙවැනි පින්කම් කර ගත හැකිය. සිත පිනා යන, සිත පහන් වන සියලු පුණ්‍ය ක‍්‍රියා ලෞකික පින්කම් කොටසට අයත්ය. අබෞද්ධ බටහිර රටවල හා තෙල් සම්පත් ඇති රටවල මිනිසුන්, සැප සම්පත් යැයි පෘථග්ජන ලෝකයා සිතන, ධන ධාන්‍ය, මිල මුදල් හා පහසුකම්වලින් පරිපූර්ණ වන්නේ, ඔවුන් කරන ලද ලෞකික පින්කම්වල ඵල විපාක උරුම වීමයි.

නගරයේ මහ මන්දිරවල අතට පයට වැඩකාරයින් (මිනිසුන්) ඇතිව සියලු සැප සම්පත් විඳින බල්ලන් ද, ඒ සැප සම්පත් විඳින්නේ, පෙර ආත්මවල කරන ලද ලෞකික පින්කම්වල ඵල විපාක උරුම වීමෙනි. ලෞකික පින්කම් කිරීමත් සමඟම, දුසිරිතෙහි හැසිරීම ද සිදු කළ නිසා බලු බවට පත්විය. බහ ඉවතලා කටයුතු කිරීම බහලු බවට පත්වීමයි. අධර්මයේ හැසිරීම, බහ ඉවතලා කටයුතු කිරීමයි. පටිච්ච සමුප්පාද ධර්මයේ එන හේතුඵල ධර්මතාවය තේරුම් ගන්නට හැකි වූ කෙනෙකුට මේ ආකාරයෙන් බලු බව උරුම වූ ආකාරය පහසුවෙන්ම තේරුම් ගත හැකි ය.

මේ අනුව තේරුම් ගත යුත්තේ ලෞකික පින්කම්, සැප සම්පත්, ධන ධාන්‍ය ආදිය ලැබීමට හේතුවන බවයි. නමුත් මෙවැනි පින්කම්වල ඵල විපාක නිසාම රාග, ද්වේෂ, මෝහ වඩවන, අකුසලයටම හිත තල්ලු කර හරින, සම්බන්ධකම් ඇති කරවන ගතියක් ඇත. මෙවන් පින්කම් සසර ගමන දිගින් දිගටම පවත්වා ගෙන යාමට හේතු වන බවත්, නිවනට බාධක වන බවත්, කෙළෙස් සහගත චිත්ත ශක්තීන් උපදවන සංඛාර පැවැත්වීමට උපකාර වන බවත් ප‍්‍රකාශ කළ යුතුය. රාගය හා මෝහය නිසාම සත්‍යාවබෝධය ලැබීම ප‍්‍රමාද කර, නිවන් මඟ වැසෙයි. සිත අඳුරු වීම, කිළිටි වීම හා කෙළෙස් සහිත වීම නිසා ක‍්‍රමයෙන් අගතියට, දුගතියටම යනු මිස මෙවන් ලෞකික පින්කම් සුගතියට යාමට උපකාර නොවේ.

ලෝකෝත්තර පින්කම්

ලෝකෝත්තර පින්කම් යනු මෙයට වඩා වෙනස් දේවල්ය. මහණ උතුමන්ට, සිල්වතුන්ට සිවුපසයෙන් සංග‍්‍රහ කිරීම, සිල් රැකීම, ධර්ම දානය, ධර්මයේ හැසිරීම වැනි සම්බන්ධකම්වලට, එකතු කිරීම්වලට උපකාර නොවන පින්කම්, ලෝකෝත්තර පින්කම් ලෙස පෙන්වා දිය හැක. ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන පස් ආකාර වූ සැප සම්පත්

ලැබීමට මෙවන් පින්කම් හේතු වේ. සිහි නුවණ මෙහෙයවා කටයුතු කිරීමේ හැකියාව, හොඳ නරක තේරුම් ගැනීමේ හැකියාව හා විශේෂයෙන් හේතුඵල ධර්මතාවයේ සත්‍යය වටහා ගැනීමේ ශක්තිය ලැබෙන්නේ මෙවන් පින්කම්වල ඵල විපාක ලෙසින්ය. ධර්මය අසා ධර්මය තේරුම් බේරුම් කරගන්නට, සම්මතයෙන් පරම සත්‍යය වෙන්කර දකින්නට, ඒවායේ වෙනස්කම් වටහා ගන්නට හැකි ශක්තිය ලැබෙන්නේ, ලෝකෝත්තර පින්කම්වල ඵල විපාක ලෙසිනි. ලෞකික පින්කම් නිවන් අවබෝධය සඳහා උපකාර නොවන අතර, ලෝකෝත්තර පින්කම්ද නිවන් අවබෝධයට සෘජුවම හේතු නොවේ. නමුත් ලෝකෝත්තර පින්කම් කිරීමෙන්ම ඒ පින්වල ඵල විපාක ලෙසින්ම, නිවන් අවබෝධ කර ගන්නට අවශ්‍ය කරන ධර්මාවබෝධය, බුද්ධිය හා ප‍්‍රඥාව දියුණු කරගත හැකිය. මිනිස් ජාතියක මතු මතුත් උපත ලබන්නටද හේතු වන්නේ මෙවන් පින්කම්ය.

විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක වන්නේ මෝහය පවතිනා නිසාමය. මෝහය යනු අඳුරු වී, කිළිටි වී කෙළෙස් වලින් චිත්තය වැසී යාමයි. මෙය කුණු කන්දරාවකින් චිත්තය වැසී  යාමකි.  ඒ  කුණු  ඉවත්  කර,  සළා  හැර,  ශුද්ධ  පවිත‍්‍ර  කර  ගත  හැකි  වන්නේ, ලෝකෝත්තර පින්කම් කර, කුසල් කර – ආයු, සැප, බල, වර්ණ, ප‍්‍රඥා යන සම්පත් ලබා ගැනීමෙන්ම පමණි.

ලෞකික වුවත් ලෝකෝත්තර වුවත් තමන් කරන පින්කම්වල සියලු ඵල විපාක උරුම වන්නේ තමාටමය. සුගතියක උපත ලැබීමට, දුගතියෙන් නිදහස් වීමට හා දුකෙන් නිදස් වීමට මඟ දැක ගැනීමට නැණ නුවණ පහළ වන්නේද මෙවැනි පින්කම් කිරීමෙහි ඵල විපාක ලෙසිනි.

මෙයට අමතරව ලෞකික හා ලෝකෝත්තර පින්කම් කිරීමෙන් තමන් උපයා ගන්නා පින, කිරණ ශක්තියක් ලෙසින් තව කෙනෙකුට පැවරීමට, පින් පැමිණ වීමට, පින් අනුමෝදනා කිරීමට, පින් ලබා දීමටද උපකාර වෙයි. සංසාරයේ ගමන් කළ දීර්ඝ කාලය තුළද, මේ ආත්මයේ උපන් දා සිට අද තෙක්, තමාට උදවු උපකාර කළ දෙමවුපියන්, වැඩිහිටියන්, සහෝදර සහෝදරියන්, නෑදෑයින්, සේවක ස්වාමි පක්‍ෂයත්, හරකුන්, බල්ලන් වැනි සතුන්ට පවා තමන් විශාල වශයෙන් ණයගැති බව සිතා ගත හැකිය. මෙවන් සියලු ණයෙන් නිදහස් විය හැකි එකම ක‍්‍රමය, උපයාගත් පින්කම් ඒ ඒ අයට පැවරීමෙන්, පින් ලබා දීමෙන් ණය ගෙවීම හා වන්දි ගෙවීමෙනි. තමන් කළ සියලු පින්කම් එවැනි අයට පවරා ණයෙන් වන්දියෙන් නිදහස් වීම, නිවන් දකින්නට අවශ්‍යයෙන්ම කරගත යුතු දෙයකි.

කුසල් යනු, කුණු සළා හැර ශුද්ධ පවිත‍්‍ර වීමයි. පින්කම් කිරීමේ දී මෙන් කිසිවක් එකතු කර ගැනීමක් කුසලය පිරීමේදී සිදු නොවේ. රාග, ද්වේෂ, මෝහ හෝ අලෝභ, අද්වේෂ, අමෝහ නිසා හෝ සත්ත්වයා තම තමන්ම එකතු කර ගත්, එකතු කර ගන්නා සියලු  කෙළෙස්  ගති,  චිත්තය  අඳුරු  කරන,  කිළිටි  කරන,  අපිරිසිදු  බවට  පත්  කරන දේවල්මය. වැරදි, ඇද, වංක, අපිරිසිදු ආදී පහත් ගති ලක්ෂණ පහ කර දමා, ඒවා සළා හැර, චිත්ත පාරිශුද්ධියට පත් කර ගැනීම කුසල් පිරීමයි. වැරදි චරියාවෙන්, දුෂ්චරිතයෙන් වැළකී, වැරදි අතහැර, අනාචාරය අතහැර, වංචාව අතහැර, ඇද නැතිව, පිරිසිදුව, පිවිතුරු වීම කුණු සළා හැරීමයි. එය කුසලය පිරීමයි. සංවර වීම, සංසිඳුවීම ඒ සඳහා උපකාර කරගත හැකි ක‍්‍රියාකාරකම් ය.

ලෞකික කුසලය

ලෞකික කුසල යනු දස අකුසලයෙන්, දස පාප ක‍්‍රියාවන්ගෙන්, දස දුෂ්චරිතවලින් වැළකී සිටීමයි. එවන් නුසුදුසු දේ අතහැර නිදහස් වීම ලෞකික කුසලයයි. ”වේරමණී සික්ඛා  පදං  සමාදියාමි”  යයි  සීලයක්  සමාදන්  වීමෙන්  උත්සාහ  දරන්නේද  මෙවන් අකුසලයෙන්  මිදීම,  නැති  නම්  මේ  ලෞකික  කුසලය  පිරීමයි.  මෙය  අධර්මයෙහි හැසිරීමෙන්  වැළකී  සිටීමයි.  පස්  පවින්,  දස  අකුසලෙන්  වැළකී  සිටීමයි.  පෘථග්ජන පුද්ගලයින් සිල් රකිනවා යනුවෙන් කරන්නේද මෙම ලෞකික කුසලය පුරා ගැනීමයි. මෙය වේරමණී සීලයෙහි කොටසක් පිරීමකි. පංච සීලයට අයත් චේතනා සීලය, සංවර සීලය, ප‍්‍රහාණ සීලය හා අවිතික්කම සීලය පුරා ගත හැකි වන්නේ, ලෝකෝත්තර කුසලය පිරීමෙනි. නැතිනම් ලෝකෝත්තර කුසලය පිරීමෙන් ඒ සඳහන් කළ පංච සීලයේ කොටස් පූර්ණ වෙයි.

බුදුපියාණන් නිවන මඟ සොයා ලෝකයාට අරිය සීලය දේශණා කරන්නට පෙරද පන්සිල් සමාදන් වීමත්, විවිධ ආකාර වූ වත් රැුකීමත්, පෙහෙවස් සමාදන් වීමත්, ආගම් ගණනාවක මූලික ලක්ෂණ ලෙස පැවතුණි. එසේ නම් ලෞකික කුසලය හෙවත්, අකුසලය පහ කර නිදහස් වීම බුදුපියාණන් නිවන් මඟ සොයා ගන්නට පෙර පටන්ම පැවති එකකි.

අකුසල්  කිරීම,  පව්කම්  කිරීම  යනු  අයුතු  අසාධාරණ,  නොකටයුතු  දේ කිරීමයි. මෙවන් නොකටයුතු, නොකළයුතු දේ නොකර වැළකී සිටීම, පින්කමක් හෝ කුසලයක් විය නොහැකි බවද දැන් අවබෝධ කර ගත හැකි විය යුතුය. නමුත් මෙය ලෞකික කුසලයකි. වෙනත් විදියකින් කීවොත් අයුතු, අසාධාරණ, නොකටයුතුවලින් එවන් පාපකාරී ක‍්‍රියා, වදන්, සිතුවිලිවලින් ඉවත් වී, ඒවා සළාහැර, සිත පවිත‍්‍ර කර ගැනීම ලෞකික කුසලය පිරීමයි. පෘතග්ජන පුද්ගලයෙකු, සත්ත්වයෙකු සංසාරය පුරාම කර ගන්නේ, අහක යන කුණු එකතු කර ගෙන තම මල්ල පුරවා ගැනීමයි. එකතු කර ගත්, පුරවා ගත් කුණුවල බර තමන්ම ඇද්ද යුතුය.

අකුසලයෙන් මිදී වැළකී සිටීමට නම්, යම් කෙනෙකු හේතුඵල දහම ක‍්‍රියාත්මක වන ආකාරය පිළිබඳව සත්‍යය යම් තරමකින්වත් දැනගත යුතුය. හොඳ – නරක, යහපත – අයහපත, ලාභ – අලාභ ලෙස මසැසට පෙනෙන දේ සත්‍යය විය හැකි නොවේ. නැති නම් හැම විටම පරම සත්‍යය නොවේ. ඒ නිසා ධර්මයට බහා බැලීමෙන්ම, හේතුඵල ධර්මයට බහා බැලීමෙන්ම ඒවායේ පරම සත්‍යය ස්වරූපය යථාවබෝධයෙන් දැකගත යුතුය.

එකතුකර ගත් බලවත් කුණු කන්දරාව නිසාම, කෙළෙස් නිසාම, සිතෙහි අඳුරු බව නැති  නම්  මෝහ  පටලයෙන්  සත්‍යය  වැසී  යාම  නිසාම,  හේතු  ඵල  දහමේ  සත්‍යය ස්වභාවය, ධර්මතාවය දැක ගත නොහැකි වෙයි. දැඩි මෝහයෙන්, අවිද්‍යාවෙන් වැසී අඳුරු වූ සිතක් සහිත සත්ත්වයෙකුයට, හේතු ඵල ධර්මය ගැන සිතන්නටවත් නොහැකිය. එවන්

තත්ත්වයක් යටතේ පව්කම් කිරීම, අකුසල් කිරීම තරම් සතුටක්, වින්දනයක්, ප‍්‍රියමනාප දෙයක්, වටිනා දෙයක්, ඒ සත්ත්වයාට තවත් නැත. එවැනි පව්කම් කෙරෙහි ගිජු බවක් ඒ සත්ත්වයාගේ සිතෙහි පහළ වෙයි. එය අවිද්‍යාවේ නොදන්නාකමේ උග‍්‍රම තත්ත්වයයි. සෑම පව්කමක්ම, අකුසලයක්ම කරන කලට ඒවා ප‍්‍රියජනක, සැප සුව වින්දනයන් ලෙසම දකින්නේ, තමන් කරන, කියන, හිතන එවැනි දෙයෙහි එල විපාක කොයි ආකාරයකින් තමාටම ආපසු ලැබේදැයි, යාන්තමින්වත් සිතා ගන්නට නොහැකි වීම නිසාමය. එය මෝහයයි. වෙන කෙනෙකුට වන අසාධාරණය හෝ අවැඩ, ස්වභාවධර්මයට වන අවැඩ හෝ අසාධාරණය, සමාජයට වන අවැඩ හෝ අසාධාරණය ගැනවත් කිසිම තැකීමක්, දැනීමක් නැති වන්නේ, ඒ අවස්ථාවේ ලබන තෘප්තිය, ප‍්‍රියමනාප බව මතම පමණක් තීරණය කර, නිගමනය කර කටයුතු කිරීම නිසයි. එය මෝහයයි.

ධර්මාවබෝධය යනු, තමා කරන, කියන, හිතන මෙවන් දේවල් නිසා හේතුඵල දහමට අනුව තමන්ටම ආපසු ලැබෙන ඵල විපාකවල සත්‍යය දැකීමයි. ඒ සඳහා නුවණ, ප‍්‍රඥාව  තරමක්  දුරට  හෝ  තිබිය  යුතුය.  මසැසට  පෙනෙන  දේ  මෝහයෙන්  යුතු විඤ්ඤාණයට දැනෙන දැනීම, සත්‍යයෙන් තොර මායා දෘෂ්ඨියක් බවත්, මෙහි පරම ප‍්‍රකෘති තත්ත්වය දැකීමට, ප‍්‍රඥාව උපකාර කර ගත යුතු බවත්, හේතුඵල ධර්මතාවයට බහා බැලීමට පුරුදු පුහුණු කරගත යුතු බවත් අවබෝධ කරගත යුතුය.

ප‍්‍රඥාව හා මෝහය කාසියක දෙපැත්ත මෙනි. මේ දෙකම එක සිතක එකවර පහළ විය නොහැකිය. ලෝකෝත්තර කුුසල් පිරීම යනු මෝහයෙන් මිදී නිදහස් වීම, කිළිටි, අඳුරු, කුණු සළා හැර නිදහස් වීමයි. ප‍්‍රඥාව උදාකර ගත හැකි වන්නේ, මෙවන් කාලයක් තිස්සේ එකතු කරගත්, මුල් බැසගත් කෙළෙස් ගති උදුරා දමා, මුල් බැසගත් කුණු තට්ටු ශුද්ධ කර ගැනීමෙන් පමණි.

ලෝකෝත්තර කුසලය

ලෝකෝත්තර කුසලය පිරීම යනු කුමක්දැයි තේරුම් ගෙන, ලෝකෝත්තර කුසල පිරීමට ප‍්‍රායෝගිකව කළ යුතු දේ දැන ගෙන, යථාවබෝධයෙන් කටයුතු කිරීම මෝහයෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමයි. ලෝකෝත්තර කුසල් පිරීම යනු, කිසියම් දෙයක් එකතු කර ගැනීමක් නොවේ. එකතු කර ගත් කෙළෙස් ගති සළා හැර, ප‍්‍රහාණය කිරීමකි. ඒ නිසා ලෝකෝත්තර කුසලය, කිසිවිටකත් ඵල විපාක දෙන එකක් නොවේ. අතහැර මිදී නිදහස් වීම ඵල විපාක ද අත්හැර මිදී නිදහස් වීමකි.

සීලයෙහි  සිත  පිහිටුවීමෙන්  ළය  සිසිල්  වූ  විට  සමාධිය,  ශ‍්‍රද්ධාව,  බුද්ධ  ඥාණ ක‍්‍රමයෙන් වැඩෙන නිසා, ප‍්‍රඥා විමුක්තිය ළඟා කර ගැනීමට අනුගමනය කළ යුතු ධම්මානු ධම්ම ප‍්‍රතිපත්තිය බුද්ධියට වැටහෙයි. ඒ සඳහා බාහිර ගුරුවරයෙකුගේ උපදෙස්, මඟ පෙන්වීමේ අවශ්‍යතාවයක් ඉන් පසු අවශ්‍ය නොවන බව බුද්ධියට වැටහෙයි.

කර්මජ කෝෂවල මෙතෙක් කලක් තිස්සේ එකතු කර ගෙන පවත්වාගෙන ආ රාග,ද්වේෂ, මෝහ සහිත චිත්තජ ශක්තීන්, මතක සටහන් ලෙස එකතු වී රැඳී පවතී. ඒවා ඛය කර දමා, ප‍්‍රහාණය කර දමා, දවා හැර, ක‍්‍රමයෙන් කර්මජ කෝෂය ශුද්ධ කර ගත යුතුය. එය ලෝභක්ඛය කිරීම, ද්වේෂක්ඛය කිරීම, මෝහක්ඛය කිරීම ලෙස පෙන්වා දුන් ක‍්‍රියාවලියයි. පිරිසිදු චිත්ත තත්ත්වය මතු කර ගත හැක්කේ, විඤ්ඤාණ තත්ත්වයේ දී සිතෙහි පැවති කෙළෙස් ගති, සියලු කුණු දැක, ඒවා සළා හැරීමෙනි. මෙය ලෝකෝත්තර කුණු සළා හැරීම, ලෝකෝත්තර කුසලය පිරීමයි. මේ සඳහා අනුගමනය කළ යුතු ක‍්‍රියා මාර්ගය පෙන්වා  දුන්නේ්,  අරිය  අෂ්ටාංගික  මාර්ගය  පිරීම  ලෙසයි.  අරිය  අෂ්ටාංගික  මාර්ගය අනුගමනය කිරීම, නිරෝධ ගාමිණී පටිපදාව පිරීම යනු, ලෝකෝත්තර කුසලය පිරීමම මිස වෙන එකක් නොවේ. මේ සඳහා ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට ඇති සම්මා අංග අට පූර්ණ කළ යුතු යි.

අෂ්ටාංගික මාර්ගය පිරීම යනු සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි නමින් එන පද වැල්වල වචන කියවීම නොවේ. ඒ වචන කියවීම භාවනාවක් ද නොවේ. මේ වචන කියවීමෙන් මෙතෙක් සංසාරයේ එකතු කර ගත් කුණු සළා හැරීමක් ද සිදු නොවේ.

ලෝකෝත්තර සම්මා දිට්ඨියේ සිට සම්මා සමාධිය තෙක් ඇති අංගවල සම්මා යන වචනයේ තේරුම නිවැරදිව තේරුම් ගෙන, ප‍්‍රඥාවෙන් දැන, කළ යුතු කි‍්‍රයාවලිය අවබෝධ කරගෙන  ප‍්‍රායෝගිකවම  ඒ  කිරීමෙන්ම  ප‍්‍රඥා  විමුක්තිය  ලබගත  හැක.  ”සංවරේන පහාතබ්බා” යනුවෙන් බුදුපියාණන් දේශණා කර වදාළේ මෙයයි. ”සං” වලින් මිදී නිදහස් වීම සම්මා වීමයි. සංවර වීම, සංසිඳ වීම, ”සංමා” වීම යනු එකතු කරගත් කුණු සළා හැර ශුද්ධ වීමමයි.

සම්මා දිට්ඨියේ සම්මා දිට්ඨිය දැක ගත යුතුයි. එය නම් ”සං” එකතුවන බවත් ”සං” උපදින ආකාරයත් දැක ගැනීමයි. ”සං” වරා පිරිසුදුව ශුද්ධ කර ගත හැකි  බවත් දැකිය යුතුයි. එය සම්මා දිට්ඨියේ සම්මා සතියෙහි පිහිටීමයි. දැකීමයි. සම්මා දිට්ඨියේ සම්මා වායාම පිරීම ඊළඟට කරගත යුතු දෙයයි. එනම් දැක ගත් ”සං” වලින් මිදී නිදහස් වීමට වායාමයක්, උත්සාහයක් දැරීමයි.

සම්මා සංකප්ප යනු ”සං” වලින් මිදෙන්නට ගත යුතු පියවර ගන්නට ”සං” උපද වන කාල පරාසය දැකිය යුතුයි යන්නයි. නෙක්ඛම්ම, අවිහිංසා, අව්‍යාපාද යන තත්ත්වයට පත් විය හැක්කේ, කුණු සළා හැර ”සං” එකතු කිරීම නැවැත්වීමෙන් පසුව බව දැක, සම්මා සංකප්පයේ සම්මා දිට්ඨියත්, සම්මා සංකප්පයේ සම්මා සතියෙහි පිහිටීමත් සිදු වූ පසු, සම්මා සංකප්පයේ සම්මා වායාමය පිරිය යුතුය.

සම්මා වාචා සඳහා ද ”සං” එකතු කිරීම නවත්වන කුණු සළා හරින වචන, සම්මා වාචාහි සම්මා දිට්ඨියෙන් දැක, සම්මා වාචා සඳහා සම්මා සතියෙහි පිහිටා, සම්මා වාචා පවත්වා ගෙන යාමට සම්මා වාචාහි, සම්මා වායාමය පිරිය යුතුයි.

සම්මා කම්මන්තයෙහි ද සම්මා දිට්ඨිය දැක, සම්මා කම්මන්තයෙහි සම්මා සතියෙහි පිහිටා, සම්මා කම්මන්තයෙහි සම්මා වායාමය පිිරීමෙන්, කුණු සහිත සියලු ක‍්‍රියාවන් සළා හැර ශුද්ධ විය හැකිය.

සම්මා ආජීවය යනු දිරණ, ජරාවතක් පැවැත්වීම සඳහා උපකාර වන දේ දැක, සම්මා ආජීවයේ සම්මා දිට්ඨිය අවබෝධ කර ගෙන, සම්මා ආජීවයේ සම්මා සතියෙහි පිහිටා, සම්මා ආජීවයේ සම්මා වායාමයෙහි යෙදිය යුතුය.

මේ ආකාරයෙන් සම්මා වායාමය හා සම්මා සතියද සම්පූර්ණ කරගත් පසු සම්මා සමාධියෙහි පිහිටීම ඉබේ ම සිදුවන දෙයකි. අනිකුත් අංග පූර්ණ කර සියලු ”සං” වලින් මිදී, කුණු සළා හැර නිදහස් ව පිරිසිදු වූ කළ එය සම්මා සමාධියට පත් වීමයි.

සම්මා සමාධියට පත් වීමෙන් සම්මා ඥාණ ලැබෙයි. මෝහයෙන් තොර ප‍්‍රඥාව උදා වෙයි. සම්මා ඥාණ නිසා සම්මා විමුක්තිය ලැබෙයි. මෙය චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය දෙකම පූර්ණ වීම යි. නිවන් දැකීම යි.

පින් පැමිණවීම හා මෙත් වැඩීම

පුද්ගලයෙකු, සත්ත්වයෙකු තම චිත්තසංථානයේ උපදින සංඛාරවලින් චිත්තජ ශක්තීන් උපදවා ගනී. අවස්ථා නවයම, ආදී නවය පසු කර චිත්තජ රූප ලෙස බිහි වී කර්මජ  රූප  ලෙසින්  ඒ  ඒ  සත්ත්වයාගේම  කර්මජ  කෝෂයේ  තැන්පත්  වෙයි. සෑම සත්ත්වයෙකුටම මතු ඵල විපාක ලැබීමට උරුම වන මේ කර්මජ රූප, පින් – පව්, අකුසල් ආදී ලෙස බෙදා වෙන් කළ හැකි බව මුලින් ද පෙන්වා දුනි. මෙසේ තැන්පත් වී පවතින කර්මජ රූපයන්, කර්මජ ශක්තීන්, අවස්ථාවක් ලද වහාම ඵල විපාක ලබා දෙයි. අපි පින් – පව්, අකුසල් ලෙස හඳුන්වන්නේ ඒ ඒ සත්ත්වයාම, තම තමන් විසින්ම දැන හෝ නොදැන රැස් කර ගත් දේවල් ය. තම තමන්ම නිපැද වූ කර්මජ රූප, කර්මජ කෝෂයේ පවතිනා තුරාවට, ඒවා වල විපාක ලැබීම ද නිරතුරුවම උරුමයෙන්ම ලැබෙයි. නැතිනම් කර්මජ රූප ගෙවා නිම කර දැමීම සඳහාම නැවත නැවතත් උපතක් ලබයි.

ඒ ඒ සත්ත්වයා තමා විසින්ම උපදවා තැන්පත් කර ගන්නා කර්මජ රූපවලට අමතරව ඵල විපාක ලැබිය හැකි බාහිරයෙන් ලැබෙන චිත්තජ ශක්තීන් කොටසක් ද තිබේ.

පහන් සිතින් පින්කමක් කර ගත් කෙනෙකුට ඒ පින් තවත් කෙනෙකුට පැවරිය හැකිය. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්‍ඛා ගුණ පතුරුවා මෙත් වැඩිය හැකිය. එමෙන්ම වෛරී සිත උපදවා ශාප කළ හැකියි. මේ සියල්ල චිත්ත ශක්තීන් ය.

මේවාද චිත්ත ශක්තියෙන්ම ගොඩනඟා ගත් කර්මජ රූප නිසා ඒවායෙහි ද යම් කිසි බලපෑමක් තිබේ. තමාට මෙන්ම බාහිර ලෝකයට ද මේ බලපෑම ඇත.

පින්කමක් කර තම ඥාතියෙකුට, මිත‍්‍රයෙකුට හෝ පොදුවේ සියලු ලෝක සත්ත්වයාට ම ඒ පින පැවරිය හැකිය. ලබාදිය හැකිය. පින්කමක් කර ඉන් උපදවා ලත් පින් තවත් කෙනෙකුට පැවරූ නිසාම, පින්කම කළ පුද්ගලයාටත් පින් පැවැරෙන සත්ත්වයාටත් දෙදෙනාට ම එහි ඵල විපාක ලැබෙයි. පින් දීම නිසා, පින් පැවරීම නිසා, පින්කම කළ පුද්ගලයාගේ කර්මජ කෝෂයේ තැන්පත් වන කර්මජ ශක්තිය,ගුණාකාරයෙන් බලවත් වෙයි. පිනෙහි ඵල විපාක බලවත් වෙයි. ඥාතියෙකු මිය ගිය පසු දන් පින්කම් කර පින් පවරන්නේ, පින් අනුමෝදන් කරන්නේ මේ පරමාර්ථය ඇතිවය. මෙහි ඵල විපාක සොයා බැලුවොත් පින් පැමිණ වීම ද, පැතිර වීම ද, පින් පිහිටු වීම ද චිත්ත ශක්තියකින් ම කළ යුතුය. දුන් දානමානාදියෙහි භෞතික ලොකු කුඩා කම් අනුව නොව, චිත්ත ශක්තියෙන් පැතිරූ චිත්ත කිරණවල ප‍්‍රමාණයෙන්, චිත්ත ශක්තියේ ශක්ති ප‍්‍රමාණය අනුවම පින් පැවැරුණු පුද්ගලයාට පින් පිහිට වෙයි. මෙහිදී ද වචී සංඛාර, කාය සංඛාර, මනෝ සංඛාර ක‍්‍රියාත්මක වී, චිත්තජ රූප බිහි වී, කර්මජ රූප බවට පත් වී ඵල විපාක ලබාදෙයි.

එසේ පවරන පින්, පින් පැවරෙන පුද්ගලයාට හෝ සත්ත්වයාට හෝ  උපකාර වන, පිහිට වන ආකාරය ද සළකා බැලිය හැකිය. පින් ලබා ගැනීමට සුදුසු පරිසරයක, සුදුසු උප්පත්තියක් ලබා සිටින කෙනෙකුට ද මේ පින් පහසුවෙන්ම ලැබෙයි. පින් බලාපොරොත්තුව සිටිනා කෙනෙකුටද මේ පින් ලබා ගත හැකිය. එවන් ඥාතියෙකුට, මළගිය කෙනෙකුට පින් පැවරූ මොහොතේ පටන්ම පින් ඵල දී, අගතියෙන්, දුකින් මිදී යාමට ඒ පින් උපකාර කර ගත හැකිය. දුගතියෙන් මිදීමට යහපත් තැනක උපත ලැබීමට මෙවන් පින්කම් උපකාර වේ. පින් ලබා ගැනීමට නොහැකි සතර අපායක වැනි තැනක උපත ලබා ඇත්නම්, එවැනි පින් පැවරුවත්, ඒ පින්කම්වල ශක්තිය ඒ දුකින් මිදවීමට ප‍්‍රමාණවත් නොවේ. නමුත් එවැනි පැවැරූ පින්කම් ඒ මළගිය ප‍්‍රාණකාරයාගේ පුණ්‍ය කෝෂවල තැන්පත් වී, අවස්ථාවක් ලැබුණු අවස්ථාවක දී ඵල විපාක ගෙන දිය හැකිය. කාලයකට පසු අහෝසි වීමට ද ඉඩ තිබේ.

සතර අපායක උපන් සත්ත්වයෙකුට තමාම කර ගත් පව්කම් වල ශක්තිය බොහෝ බලවත් නිසා ඒවා ඵල දී අවසාන වනතුරු මෙසේ වෙනත් කෙනෙකු පැවැරූ සුළු පිනක් පවා ඵලදීමට අවස්ථාව නොලැබෙන්නට ඉඩ තිබේ. අනුන් පැවරූ පින තමන් කර ගත් පාපය අභිබවා යන්නට සමත් නොවේ. කෙසේ වුවත් එවැනි ඥාතියෙකුට, සත්ත්වයෙකුට සතර අපායේ දී කිසිම පින්කමක් කර ගන්නට ඉඩක් නැති නිසා, පව් පළ දී අවසාන වුවත්, සුගතියකට පත් වන්නට නම් තම ඥාතීන්ගෙන්, මිත‍්‍රයන්ගෙන් පින් ලැබෙන තුරු බලා සිටිය යුතුය. ඒ නිසා මිනිසුන් වූ අප සියලු සත්ත්වයන්ට පින පැවරීම, ඒ ඒ සත්ත්වයාට කවදා හෝ උපකාර වන නිසා යහපත් ක‍්‍රියාවකි.

ඒ නිසා මියගිය සත්ත්වයෙකු, ඥාතියෙකු පින් ගත්තත්, නොගත්තත් පින් පැවැරීම අපතේ යන දෙයක් නොවේ. ඒ නිසා දිනපතාම තමන් කරන පින්කම්වලින් කොටසක් සියලු ලෝක සත්ත්වයා වෙත පැවරීම, පිහිටුවීම, හැම මිනිසෙකුම කළ යුතු යුතුකමකි. ඊට හේතුව පින්කම් කර ගත හැක්කේ පින් පැවරීම කළ හැක්කේ මිනිසෙකුට ම පමණක් නිසාය.

මේ පින් පැවරීම යනු තමා එකතු කර ගන්නා කුණු සළා හැරීමක් ද වන බව ප‍්‍රඥාවෙන් කල්පනා කර හේතුඵල දහමට ගළපා බලන කෙනෙකුට පැහැදිළි විය යුතුය. ”තිරෝකුඞ්ඩ සූත‍්‍රය” යනු පසුව එකතු කර ගත් ලෞකික පර්මාර්ථයෙන් ලියූ එකක් යැයි විනයවර්ධනධාරීන් පවසන්නේ මේ යථාර්ථය නොදැනය.

සත්ත්වයාට සුගතියට පත් වීමටත්, දුගතියෙන් මිදීමටත්, දුකින් මිදී ලෞකික සැප සම්පත් ලැබීමටත් මේ පින් පැමිණ වීම, පින් ලබාදීම උපකාර වුවත්, නිවන් දැකීමට මෙවැනි පින්කම් කිසි ලෙසකින් උපකාර නොවන බව හැම කෙනෙකුටම හොඳින් සිහිපත් කරගත යුතු ය. නිවන් දැකීමට උපකාර වන්නේ කුසලයම පමණි. එය අනුන්නට කළ හැකි දෙයක් නොවන බව දැන් වැටහී ඇත. පින්කම් කර පින් පවරනු ලබන්නාට ද මෙම පින්කමේ යහපත් ඵල විපාක ගුණාකාරයෙන් වැඞී වර්ධනය වී ආපසු ලැබෙයි. පින් පැමිණවීමේ දී නිතරම මෙත් සිතක් ද, කරුණා සහගත සිතක් ද, උපේක්‍ඛා සහගත සිතක් ද පතුරන  නිසා,  මෙයින්  උපදින  චිත්ත  ශක්තිය,  පැවරූ  පින්කමෙන්  ලැබෙන  බලයට ශක්තියට  වඩා  විශාල  වශයෙන්  පින්  පවරනු  ලබන්නා  වෙතම  ආපසු  ලැබේ.  එය ලෝකෝත්තර කුසලයක් ද වෙයි.

පින් පවරනු ලබන්නා හැම විමට ආපසු යමක් බලාපොරොත්තු නොවී, පිනක් හෝ බලාපොරොත්තු නොවී, අත්හැරීමේ බලාපොරොත්තුව ඇතිවම මේ පින් පැවරීම කළේ නම්, එය ලෝකෝත්තර කුසලයක් ද වේ. ඒ පින් පවරා ඉන් නිදහස් වීමත්, මතු ඵල විපාක දීමට ඇති කුණු සළා හැර ශුද්ධ වීමත් නිදහස් වීමක්ම වන නිසාය. තමා කරගත් පව්කම් සේම, පින්කම් ද තම පුණ්‍ය කෝෂවල, කර්මජ කෝෂයේ උපාදානය කරගෙන ඉතිරි වී පවතී නම්, ඒවා ඵල විපාක දීමට ද නැවත නැවතත් උපතක් ලැබිය යුතුමය. ඒ නිසා කිළිටි දේ, කුණු සහිත දේ පහකර ශුද්ධ වන්නා සේම මෙවැනි පින්කම්වලින් රැුස්කර ගත් සියලු චිත්තජ රූප ද, කර්මජ ශක්තීන් ලෙස චිත්තසංථානයේ තැන්පත් වී තිබේ නම්, ඒවා ද සළා හැරීම කුණු සළා හැරීමෙහි එක් කොටසකි. දිනපතා අනුන්ට පින් පවරා පරණ ණය ගෙවා, වන්දි ගෙවා, ලෝක සත්ත්වයා වෙත අනුකම්පාවෙන් පින් පමුණුවා, ඒවායින් ද නිදහස් වීම නිවන් දැකීමට අවශ්‍යම දෙයකි. එයද ලෝකෝත්තර කුසල් වැඞීමයි.

සිල්වතෙකුට, අරිය උත්තමයෙකුට පින් පැමිණ වීම සාමාන්‍ය ලෝක සත්ත්වයාට පින් පැමිණ වීමට වඩා ඉතා බලවත්ය. ඒ උත්තමයින් පින් බලාපොරොත්තු නැති නිසා, පින් භාර නොගන්නා නිසා එවැනි පින්කම් කිහිප ගුණයකින් බලවත් වී ආපසු පින් පැමිණවීම කළ අය වෙතම ලැබෙයි. මෙවැනි ආපසු ලැබෙන පින් ලෝකෝත්තර පින්කම් වන නිසා ඒවායේ ඵල විපාක ලෙසින් නැණ නුවණ පහළ වී කුසල් පුරා ගැනීමටත්, නිවන් මඟ අවබෝධ කර ගැනීමටත් උපකාර වෙයි.

මෙහි අනික් පැත්ත ද මෙතැන දී සළකා බැලීම වටී. සිල්වත් මහණ උතුමෙකුට, අරිය උත්තමයෙකුට, මහඅරහතුන්වහන්සේ කෙනෙකුට ආදී උත්තමයින්ටත්, බුදු, පසේ බුදුන් වහන්සේලාටත් යමෙකු අපවාද, අවමාන, හිංගි, හිංසා, වැරැුදි පාප ක‍්‍රියා කිරීම සිතෙන්, කි‍්‍රයාවෙන්, කථාවෙන් යන කුමන ආකාරයකින් හෝ කළත් එය පෘතග්ජන පුද්ගලයෙකුට  සංසාරයේ  විඳවන්නට,  ගෙවා  නිම  කරන්නට  නොහැකි  තරමේ  මහා පාපයක් වේ. ”ආර්යෝපවාදයන්” යනු මේවාය. එයට හේතුව එවැනි උත්තමයින් ඒ සියලු දේ අංශු මාත‍්‍රයකින්වත් භාර නොගන්නා නිසා, උපේක්‍ඛාවෙන් සළකා බැහැර කරන නිසා, ඒ පාප කර්මය කළ අය වෙතම ආපසු පාරා වළල්ලක් සේ දහස් ගුණයෙන් ශක්තිමත් වී ආපසු ලැබෙන නිසාය.

සියලුම මඟඵල ලාභී අරිය උත්තමයන් මේ තත්ත්වය හොඳින්ම වටහා ගෙන තමන් වරදින් පාපයෙන් මිදෙන්නා සේම, අනුන්ට ද වරදක් පාපයක් කර ගැනීමෙන් මුදවාලන්නට හැම විටම සිතා මතා ක‍්‍රියා කරති. අරිය උත්තමයන් තමන් ලබා ගත් මඟඵල පිළිබඳව පෘථග්ජන පුද්ගලයින්ට ප‍්‍රකාශ නොකරන්නේ ද මේ හේතුවෙන්මය. මඟඵල ප‍්‍රකාශ කිරීමෙන් වන සීමිත යහපතට වඩා, මඟඵල ප‍්‍රකාශ කිරීමෙන් පෘථග්ජනයා කර ගන්නා අසීමිත ආර්යෝපවාදයන්ගෙන් ඔවුන් වළකා ගැනීම සඳහා ම එසේ ප‍්‍රකාශ කිරීමෙන් වැළකී සිටී.

මෙත් වැඞීම, මෙත් සිත පැතිර වීම පින් පැමිණ වීමට වඩා දහස් ගුණයෙන් බලවත් යහපත් දෙයකි. නමුත් ඒ සඳහා අද භාවිත කරන ලෞකික මෙත් වැඞීම නොව පරම මෙත් භාවනාවක්ම භාවිතා කිරීමෙන් එකම උත්සාහයෙන්, ලෞකික කුසලයක් හා ලෝකෝත්තර කුසලයක්ද වඩා ගත හැකිය. අද භාවිතා කරන ”මම නිදුක් වෙම්වා, නිරෝගී වෙම්වා, සුවපත් වෙම්වා, දුකින් මිදෙම්වා, නිවන් දකිම්වා” වැනි ලෞකික භාවනා කිසිසේත්ම ලෞකික හෝ ලෝකෝත්තර කුණු සළා හැර කුසල් පිරීමට තරම් හැකියාවක් නැති මමත්වය වඩවන එකක් පමණක් බව දැන, දැක පරම මෙත් භාවනාවක් යනු කුමක්දැයි යථාවබෝධයෙන් ම දැන, එය කරන්නේ නම් මහඟු ප‍්‍රතිඵල ලැබිය හැකිය.

පරම මෙත් වැඞීම යනු කුමක්දැයි අසා දැන එහි තේරුම හා හරය වටහා ගෙන, සියලු ලෝක සත්ත්වයාට සම මෙත පැතිර වීම, පින් පැමිණ වීම මෙන් දහස් ගුණයකින් බලවත් ලෙස ඵල විපාක දෙන කුසල කර්මයකි. කායික, මානසික සුවයක් මෙන්ම ලෞකික, ලෝකෝත්තර කුසලයක් ද මෙත් සිත වඩවන්නාට ඉන් අයිති වෙයි.

මෙත් සිතින් සමස්ත ලෝක සත්ත්වයා වෙත සම මෙත පැතිර වීම යහපත් ප‍්‍රතිඵල දෙන ක‍්‍රියාවකි. සිතුවිල්ලකි. මෙහිද විරුද්ධ පැත්තක් ඇත. එය නම් වෛරී, ක්‍රෝධ සිතින් ලෝක සත්ත්වයා වෙත ශාප කිරීම, පළි ගැසීම, යැදීම, යාඥා කිරීම හෝ කන්නලව් කිරීම වැනි නොහොබිනා ක‍්‍රියාවෝය.

මෙවැනි නොහොබිනා සිතුවිල්ලක්, ක‍්‍රියාවක්, කථාවක් කරන පුද්ගලයා වෙතම අනිවාර්යයෙන්ම එහි ඵල විපාක ලැබෙයි. තමා කළ දේ බිහි කළ ශක්තිය අනුන් වෙත යනවාට වඩා වැඩි වේගයකින්, වැඩි ප‍්‍රමාණයකින් තමා වෙත ආපසු එයි. ”ඒකට හෙණ හතක් වදින්න  ඕනෙ,” “නයා කාල මැරෙන්න  ඕනෙ”, ”හතරට පැලෙන්න  ඕනෑ” ආදී වෛරී වචන පිට කරන විටම තමා චිත්තජ ශක්තියක් බිහි කර, තම කර්මජ කෝෂයේ එය තැන්පත් කර ගනී. එය තමාට මතු කවදා හෝ ඵල විපාක දෙන දෙයකි. තමා ද්වේෂයෙන්, ක්‍රෝධයෙන් කළ ක‍්‍රියාව නිසා තම චිත්තසංථානය අපිරිසිදු වීම, කිළිටි වීම ඒ මොහොතේම සිදු විය. මෝහය නිසා තමන් කළ ක‍්‍රියාවේ, කළ කතාවේ ඵල විපාක තමන්ටම ආපසු ලැබෙන බව, තම සිතම කිළිටි වූ බව දැක ගත නොහැකි වෙයි. නමුත් ඵල විපාක නම් අනිවාර්යයෙන් තමන්ටම උරුම වෙයි.

ඒ ශාපය හෝ කතාව එල්ල කළ පුද්ගලයාට හෝ සත්ත්වයාට එය ඵල විපාක දෙන්නේ ඒ පුද්ගලයා හෝ සත්ත්වයා එය භාර ගතහොත් පමණි. කෝපයෙන්, වෛරයෙන්  එකෙක්  කළ  කතාව,  ක‍්‍රියාව  බාර  ගත්තේ  නම්,  බාරගත්  පුද්ගලයාට  ද එවෙලේම ඵල විපාක විඳිය හැක. ඒ තම සිත ද කිළිටි තත්ත්වයට පත් වී, වෛරී චිත්තජ ශක්තියක් බිහිකර, එවන් කර්මජ ශක්තියක් තම කර්ම කෝෂයේ ද තැන්පත් කර ගත් හෙයිනි.

නමුත් එවැනි ශාප, වෛරී ක‍්‍රියා භාර නොගෙන බැහැර කරන, උපේක්‍ඛාවෙන් ඉවසා වදාරණ කෙනෙකුට එහි ඵල විපාක කිසිවක් බලනොපායි. අරිය උත්තමයෙකු, මඟ ඵල ලාභියෙකු කිසි විටකත් මෙවැනි දේ කිසි ලෙසකින් භාර නොගන්නා නිසා, එවැනි උත්තමයෙකුට වෛරී සිතින්, ක්‍රෝධයෙන් යමක් කීවොත්, කළොත් පමණක් නොව එවැනි සිතුවිල්ලක් සිතූ පමණින්ම, එය ඒ උත්තමයා අංශු මාත‍්‍රයකින් හෝ ඒ භාර නොගන්නා නිසා, ඒ ක‍්‍රියාව කළ තැනැත්තා වෙතම ආපසු පාරා වළල්ලක් සේ ඵල විපාක ලැබෙයි. ඒ නිසා නිතරම එවැනි නොහොබිනා ක‍්‍රියාවලින්, සිතුවිලිවලින් වැළකී, ඒවා භාර නොගෙන සිටීම යහපත්ය.

දහසක් පින්කම් කරනවාට වඩා කුණු එකතු කර ගන්නා අකුසල්වලින් වැළකී සිටීම සුදුසුය. බලවත් පාප කර්ම නිතරම දිගුකාලීනව ඵල විපාක දීමට හේතු වන බැවින් සුළු පින්කම් හෝ අනුන් පවරන පිනෙන් හෝ ඒවා යටපත් කළ නොහැකිය.

පින්කම්  කිරීම,  කුසල්  වැඞීම  හා  මෙත්  සිත  පැතිර  වීම  යනාදියෙහි  තේරුම නිවැරදිව වටහා ගෙන, තෝරා බේරා භාවිතා කිරීමෙන්, චේතෝ විමුක්තියත්, ප‍්‍රඥා විමුක්තියත් ලබා නිවන් අවබෝධ කර ගැනීමට හැම මිනිසෙකුටම උපකාර වේ.

මෙහි සඳහන් කරන්නට යෙදුණු කරුණු කාරණා කිසිවෙකුගේ හිත රිදවන්නට හෝ කාට හෝ දෝෂාරෝපණයක් කරන්නට හෝ කාගේ හෝ සම්පත් අහිමි කරන්නට හෝ ජනප‍්‍රියත්වය නැති කරන්නට හෝ එවන් කිසිදු බලාපොරොත්තුවකින් ලියූ දේ නොවේ. නිවන් අවබෝධ කර ගන්නට, විමුක්තිය ලබා ගන්නට ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා ඉදිරිපත් කළ පරම පවිත‍්‍ර සිරි සද්ධර්මය මිනිසෙකුට මනස මෙහෙයවා අදද අවබෝධ කරගත හැකි තත්ත්වයක පවතින බව පැහැදිළි කර දෙන්නට ගත් උත්සාහයක් පමණි. ලෝකය පුරා සිටින බුද්ධ ධර්මය සොයා යන පින්වත් පිරිසට ධර්මය කුමක්ද, අධර්මය කුමක් දැයි තෝරා බේරා ගැනීමට යම් පිටිවහලක් ලැබෙයි නම්, ඒ ප‍්‍රතිඵලය සෑහීමට පත් විය හැකි එකකි. බුද්ධියෙන් සිතා බලා නිවැරදි දේ ගෙන, වැරැුදි දේ අතහැර කටයුතු කිරීම විමුක්තියයි. ඒ සඳහා මිනිසුන් පුහුණු කිරීම බුද්ධ ධර්මයයි.

Share Button

සම්මත හා පරමාර්ථ ධර්මයන්

බුද්ධ  ධර්මය  ලියැවී  ඇති  පොත්පත්  වල  මෙන්ම  බොහෝ  ධර්ම  දේශකයින් වහන්සේලාද සම්මතය හා පරමාර්ථ ධර්ම පිළිබඳව කථා කරති. සාමාන්‍ය බෞද්ධයාට පමණක් නොව උගත් ගිහි පැවිදි දෙපක්‍ෂයටම මේ දෙකෙහි වෙනස පිළිබඳව නිවැරදි වැටහීමක් නැත. සම්මතය, වචන වලින් උදාහරණ වලින් විස්තර කර ප‍්‍රකාශ කළ හැකි වුවත්, පරමාර්ථ ධර්ම විස්තර කළ නොහැකි නමුත් තමන්ම අවබෝධ කරගත යුතු දෙයකි. සම්මතය තේරුම් ගැනීමට එතරම් අපහසු නොවුනත්, පරමාර්ථ ධර්ම වචනයෙන් කරන විස්තරයකින් ලියා හෝ කියා තේරුම් කළ නොහැකිය. ඒ නිසා මේ මම දරණ උත්සාහයද කොතරම් දුරට සාර්ථක වේ දැයි අනුමානයෙන් වත් සිතා ගත නොහැකිය.

අප ජීවත්වන ලෝකයෙහි භාවිතා කරන එදිනෙදා කරන, කියන, හිතන සියලුම දේ සම්මතයන් අනුවම  කරති.  ලෝකයා සමඟ සහයෝගිතාවයන්, සම්බන්ධතාවයන් පවත්වන සෑම විටකම, මේ සම්මතයන් අනුවම කටයුතු කරති. මිනිස් වර්ගයා බිහි වූ දා පටන්ම එකිනෙකා සමඟ එක්ව කටයුතු කිරීමේදී සම්මත ලෙසින් පනවාගෙන, පිහිටුවාගෙන ඒවායෙහි පිහිටා කටයුතු කරති. මහා සම්මත රජ කෙනෙකු පත්කරගත් කථාවත් මේ සම්මතයන්හි පිහිටීමේම වැදගත් අවස්ථාවකි.

මනස මෙහෙයවා මනසින් මැන කටයුතු කිරීමේදී, මිනිසාට මේ පැවැත්ම අවුලකින් තොරව යම් රටාවකට පවත්වා ගන්නට නම් සම්මත උපකාර වෙයි. සම්මත වල පිහිටා කටයුතු නොකළ හොත් පිස්සෙකු, උන්මන්තකයෙකු ලෙස සමාජය සළකනු ඇත. සම්මත

වලට ගරු කිරීම සුචරිතය ලෙසද, යහපත් සමාජ චාරිත‍්‍ර වාරිත‍්‍ර ලෙසද හඳුන්වා දෙති. නමුත් කිසිම සම්මතයක් නිවන් දැකීමට උපකාර නොවේ. එය රාග, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ,  අමෝහ,  සංඛාර  ප‍්‍රකාශ  කිරීමට  හෝ  විස්තර  කිරීමට  උපකාර  කර  ගන්නා මාධ්‍යයක් පමණි. ”සං” ”මත” යන පද දෙක එකතු වී ”සම්මත” යන වචනය සෑදී ඇත. ”සං” යනු ඔබ දන්නා පරිදි රාග, ද්වේෂ, මෝහ පැවැත්වීම සඳහා එකතු කරන දේ යන තේරුමයි. ”මත” යනු යම් ආකාරයක මත් වීමකි. බුදිමත , නිදිමත, සුරාමත වැනි මතකි. “සං” නිසා මත් වූ යන තේරුම මෙහි ඇත. සංසාර පැවැත්ම පැවැත්වීම දිගින් දිගටම ගෙනයාමට උපකාර කරගත හැකි, ලෞකිකත්වය අවුලකින් තොරව පැවැත්වීමට උපකාර වන පොදු නිගමන, සම්මත ලෙස පෙන්විය හැකිය. රාග, ද්වේෂ, මෝහ වලින් මත් වූ මිනිසුන් යම් පාලනයකින් යුතුව පොදු රීතීින්ට අනුව පැවැත්වීමට සම්මත උපකාර වේ. එසේ නම් ලෞකිකත්වය සාධාරණ ලෙසින් පවත්වන්නේ සම්මත නිසාය. සම්මත මෙන්ම අසම්මතද රාග, ද්වේෂ, මෝහ මුල් කර ගෙනම උපත ලබන නිසා මෙහි වෙනසක් නැත. ඒ අරිය උත්තමයෙකුටය.

මේ කිසිඳු සම්මතයක එල්ලී කටයුතු කිරීම නිවන් මඟට උපකාර නොවේ. නිවන් දැකීමට උපකාර වන පරමාර්ථ ධර්මය ඇත්තේද සම්මතය තුළමය. බුද්ධියෙන්, ප‍්‍රඥාවෙන් කල්පනා කර යමක ධර්මතාවය දැක්කොත් (සං දිට්ඨිකෝ) එතැන සම්මතය තුළ ගැබ් වී ඇති පරමාර්ථ ධර්මය දැකිය හැකිය. ඒ සඳහා හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මයම උපකාර කරගත යුතුය. ඒ සම්මතය, ධර්මයට බහා බැලිය යුතුය. සම්මතයක් නොවන දෙයක් තුළින් පරමාර්ථ ධර්මයක් දැකිය නොහැකිය. ඒ නිසා සම්මතයේ නැති දෙයකින්, සම්මතයක් නොවන අවස්ථාවක කිසි ලෙසකින් පරමාර්ථ ධර්මයක් දැකිය නොහැකිමය. ඒ නිසාම සම්මතයන් කිසිසේත් අතහැර දැමිය යුතු දෙයක් නොවේ. සම්මතය තුළින්ම පරමාර්ථය අවබෝධ කර ගැනීම නිවන් දැකීමයි.

මේ පිළිබඳ උදාහරණයක් ගෙන බැලුවොත්, ගෙඩියක පොත්ත හා මදය යැයි දෙකක් ඇත. ඇසට පෙනෙන්නේ විවිධ වූ, විෂම වූ පිට පොත්තය. ඒ පොත්ත තුළ මදයක් ඇති බව බාහිරින් බලන කෙනෙකුට නොපෙනේ. අපට වැදගත් වන්නේ මදය මිස පොත්ත නොවේ. පොත්ත නැති තැනක අපට අවශ්‍ය මදයක් පැවතිය නොහැකිය. පිට පොත්ත සම්මතය නම් මදය පරමාර්ථයයි. පිට පොත්ත අතගා එහි ලක්‍ෂණ බලා සිටියාට මදය දැක ගත නොහැකිය. ඒ පිට පොත්ත විද, හාරා, පසාරු කර, ඇතුළට කිඳා බැසීමෙන්ම මදය දැක ගත හැකිය. එලෙසම විපස්සනා නුවණින් සම්මතය හාරා අවුස්සා, බෙදා වෙන්කර, එහි ඇති ධර්මතාවය අවබෝධ කර ගැනීම පරමාර්ථ සත්‍යය දැකීමයි. කට්ට කකා සිටීම හෝ පොත්ත අතගගා සිටීම පෘථග්ජනයාගේ හැසිරීමයි. කට්ට විද, පොත්ත පසාරු කර, මදය හරය දැකීම අරිය උත්තමයාගේ හැසීරීමයි.

සම්මත කිසිවිටකත් දිගටම එකසේ පවතින ඒවා නොවේ. එසේම සියලු සම්මත අනිච්ච ධර්මයෝය. කැමතිසේ නොපවතියි. සෑම මොහොතකම වෙනස්වන, විපරිණාමයට පත්වන, විනාශ වන අනාථ දහම්ය. ඒවාට උරුම නියත ධර්මතාවය උපන් මොහොතේ පටන් විනාශය කරා, මරණය කරා ගමන් කිරීමය. සංඛාර වල ගැබ්වූ සියලු ලක්ෂණ සම්මත වලද පිහිටා ඇත.

දරුවෙකු ඉපැදුණු මොහොතේම උපතින්ම මරණයද උරුම වී ඇත. වසරකින් වයස ගියා යනු වසරකින් මරණය කරා ළංවීමයි. එහිදී සිදුවූයේ ලබා උපන් ශක්තිය වසරකින් ගෙවා දැමීමකි. තව වසර කිහිපයකින් දරුවා ළමයෙකු විය. සම්මතය වෙනස් විය. තව කලකින් වැඩිහිටියෙකු බවටත් මහලු බවටත් පත්ව මිය යයි. මේ නිසා සම්මතය එක මොහොතකුදු එකසේ නොපවතී. විපරිණාමයට පත් වී, විනාශ වී යයි. ඒ සම්මත වල ස්වභාවයයි. සම්මත භංගූරත්වය යනු එයයි. එය  ඕනෑම පුද්ගලයෙකුට තේරුම් ගත හැකිය. එය ශ‍්‍රාවක ගෝචර දහමකි.

මෙහි යටින් ඇති පරමාර්ථ සත්‍යය මීට හාත්පසින්ම වෙනස්ය. බිහිකළ ශක්තියක් ක්ෂණයක් ක්ෂණයක් පාසා ගෙවී ගොස් බිහිකළ ශක්තියේ බලය අවසන් වීම නිසා බිහිවූ දෙය විනාශ වී යාමක් සිදුවිය. හැම මොහොතකම ක‍්‍රියාත්මක වන හේතු ඵල දහමට අනුව, හේතුවක් නිසා බිහිවී හේතුවක් නිසාම විපරිණාමයට පත් වී, හේතුවක් නිසාම විනාශ වන නියත  ධර්මතාවය  මිස  වෙන  කිසි  අර්ථයක්,  හරයක්,  වටිනාකමක්  මෙහි  නැති  බව විපස්සනා නුවණ මෙහෙයවා බැලුවහොත් දැකිය හැකිවෙයි.

මම, මට, මගේ යනු සම්මත ප‍්‍රකාශයෝය. ඇත, නැත යනු සම්මත ප‍්‍රකාශයන්ය. මේ ඇත, නැත යන සංඛාර ක‍්‍රියාත්මක වන, හේතුඵල දහමින් මතුවන, ඇති වන නැති වන ක‍්‍රියාකාරකම්ය. ඒ මිස සත්‍ය දෙයක් පරමාර්ථ සත්‍යයක් එහි නැත. දෘෂ්ඨියක්, මායාවක් පමණක්ම එහි ඇත. මිනිසෙකු මැරුණු පසු කවුරුන් මැරුණාදැයි යන ප‍්‍රශ්ණය සම්මතයයි. එම මරණයට අදාළ පරමාර්ථ ධර්මය දැකීමට නම්, මරණයට හේතු වූ දේ දැකිය යුතුය. මැරෙන්නටම ආ කෙනෙක්, මරණය උරුම වූ කෙනෙක් මැරණා මිස ආයුෂ අවසන් වීමෙන් විනාශ වූවා මිස, නොමැරෙන්නට ආ කෙනෙකු මැරුණා නොවේ. එය හේතුඵල දහමේ සම්බන්ධය දැකීමයි.

ලෝකය තුළ බිහිවී පවතින සියලුම සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය, වස්තු ප‍්‍රභේද වලට අපි සම්මත පනවා ගෙන, ඒවා මිනිසුන්, සතුන්, ගස්, ගල්, ලෙසින් හඳුන්වමු. නමුත් පරමාර්ථ ධර්ම ලෙසින් මේ සියල්ල ආපෝ, තේජෝ, වායෝ, පඨවි ධාතු වල එකතු වීමක් පමණි. විඤ්ඤාණයෙන් මේ සියල්ල එකතු කර, සකස් කර බලගන්වා ඇත. රාග, ද්වේෂ, මෝහ ගති විඤ්ඤාණයට ශක්තිය ලබාදෙන උල්පතයි. එසේ නම් සම්මතයෙහි ඇති සියලු දේ විඤ්ඤාණ ශක්තියෙන් (සිතේ ශක්තියෙන්) ශුද්ධාෂ්ටක එකතු කර, සකස්කර පවත්වා ගෙන යාමට දරණ උත්සාහයක්, ක‍්‍රියාදාමයක් පමණි. සමස්ත පැවැත්මෙහි පරමාර්ථ සත්‍යය හෙවත් ප‍්‍රඥප්තිය දැක ගැනීමට නම්, ශුද්ධාෂ්ටක ලෙසින් පෙන්වූ ගති අටත්, විඤ්ඤාණ ශක්තිය ලෙසින් පෙන්වූ ලෝභ, ද්වේෂ, මෝහ, අලෝභ, අද්වේෂ, අමෝහ සංඛාර හයත් මිස, වෙන කිසිදු බලවේගයක් දෙවියෙක් හෝ විශ්වකර්මයෙකු මෙහි නැති බව යථාපරිදි අවබෝධ කර ගැනීමයි. ශුද්ධාෂ්ටක (වර්ණ, ගන්ධ, රස,  ඕජා, ආපෝ, තේජෝ, වායෝ, පඨවි) වල එකතු වීම, වෙන්වීම, සංකලනය වී, විපරිණාමයට පත්වීම වැනි ක‍්‍රියාවලියන් අපි මේ පැවැත්ම ලෙස සත්ත්ව, පුද්ගල, ද්‍රව්‍ය වස්තු ලෙසින් සම්මතයේ හඳුන්වමු. විඤ්ඤාණයෙන් ශක්තියක් නිපදවන තුරුම මේ එකතු කිරීම, වෙන් කිරීම, විපරිණාමය, විනාශය නොනවත්වාම ක‍්‍රියාත්මක වනු ඇත.

විඤ්ඤාණයේ බලාපොරොත්තු හටගැනීම නිසා බිහිකළ චිත්ත ශක්තිය (ජාති) ඒ ඒ සත්ත්වයා තම කැමැත්තෙන්ම උපදවා ගත් ඒවාය. හේතුව කැමැත්තෙන්ම සිදු කළත්, ලැබෙන ඵලයට අකමැති විය හැකිය. ඊට හේතුව, ඵලය කැමැත්ත පරිදි හෝ පැතුම පරිදි හෝ නොලැබෙන නිසාය. ඵලය නිතරම ධර්මතාවයෙන් උරුම වූ දෙයක්ම මිස අපට අවශ්‍ය දෙයක්ම නොවිය හැකිය.

ඕනෑම කෙනෙකුට  ඕනෑම ක‍්‍රියාවක් කළ හැකිය. තමන් කළ ක‍්‍රියාවට ධර්මතාවයෙන් උරුම වූ ඵලයද ලැබීමට සූදානම් වී සිටිය යුතුය. මිනිසෙකු ලෙස උපත ලැබූ හැම කෙනෙකුටම මේ ගැන අවබෝධ කර ගත හැකිය. සම්මත හා පරමාර්ථ ධර්ම ගැන දැනීමක් ලබා ගත යුතු වන්නේ, මිනිසෙකු ලෙස මනසින් කල්පනා කර, මේ සම්මත හේතු වෙනස් කිරීමෙන් පමණක් හා සම්මත හේතුවලින් නිදහස් වීමෙන් පමණක්, ඵලයද වෙනස් කර ගැනීමට ඇති හැකියාව අවබෝධ කර ගැනීමෙනි.

වෙනත්  දෙවියෙකුට,  බ‍්‍රහ්මයෙකුට  හෝ  සත්ත්යෙකුට  හෝ  විශ්වකර්මයෙකුට මිනිසාට උපතින්ම ලැබී ඇති මේ ශක්තිය, මනසින් මැන බැලීමේ ශක්තිය ලැබී නැත. සම්මතය තුළින් පරමාර්ථය අවබෝධ කර ගැනීම ඒ ශක්තියයි. ලාභ – පාඩු, යස – අයස, නින්දා – ප‍්‍රසංසා, දුක – සැප ආදී අටලෝ දහමම සම්මතයන්ට අයත්ය. මේවා ඇත, නැත යන ධර්මතාවයන්ය. නමුත් මේ අටලෝ දහමෙහිම පරමාර්ථය අවබෝධ කරගතහොත්, මේ කිසි දෙයක හොඳක්, නරකක්, ලාභයක්, පාඩුවක් හෝ ඇත, නැත යන කිසිවක් නොවන බව දැකිය හැක. ලාභයක් යනු මේ සංසාර සම්බන්ධතාවය පවත්වා ගන්නට මේ මොහොතේ මම ලබාගත් සම්මත ලැබීමකි. මේ ලාභය ලැබීම තව කෙනෙකුට පාඩුවක් කිරීමකි. අපි අනුන්ගේ කොටසක්, අයිතියක් අයුතු ලෙස පරිහරණය කිරීමකි. අද අදම මේ ලාභය භුක්ති වින්දත් සංසාර ගණුදෙණුවේදී මතුවට මේ සුළු ලාභය දස දහස් ගුණයෙන් ආපසු ගෙවන්නට සිදුවෙයි.

යථාවබෝධයෙන් යුතුව ඒ අවස්ථාවෙහිම ලාභය අතහැර දැම්මේ නම් ගණුදෙනුවෙන් මිදුණි. ලාභය ඒ අවස්ථාවේ ලැබූ සුළු සැපයකි. තෘප්තියකි. මතු කිහිප ගුණයකින් ගෙවන්නට වීම ඒ ලැබූ සැපයට වන්දි ගෙවීමකි. අටලෝ දහම මෙවැනි හේතුඵල දහම ක‍්‍රියාත්මක වන ක‍්‍රියාවලියකි. සම්මතය හා පරමාර්ථයන් අතර වෙනස දැකගත යුතු වන්නේ, දහම ක‍්‍රියාත්මක වන ආකාරය දැක, අටලෝ දහමින්ම මිදී නිදහස් වීමටය.

සම්මත මෙන්ම අසම්මත ද සියල්ල සංඛාරයෝය. පුද්ගලයාගෙන් පුද්ගලයාට, රටින් රටට, කාලයෙන් කාලයට, විවිධ වූ, විෂම වූ සම්මතයන් සත්‍ය ධර්මතාවය පෙන්නුම් නොකරයි. පරමාර්ථ සත්‍යය එසේ වෙනස් විය නොහැකිය. ඒ නිසාම කාලාන්තරයකට පෙර බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළ පරමාර්ථ ධර්ම ලොව පවතින තුරු සත්‍ය ධර්මයෝය.

එකම සංඛාරයක සම්මත දහස් ගණනක් සාදා ගත හැකිය. නමුත් පරමාර්ථ ධර්මය නැතිනම් සත්‍යයන් එකක් පමණක්ම ඇත. දුක නැමැති සංඛාරය, සම්මතයේදී විවිධ අයට බඩගින්න, පිපාසය, ලෙඩ රෝග, වේදනාව, මුදල් නැති කම, ගෙවල් නැතිකම ආදී දහසකුත් ලෞකික අඩුපාඩු ලෙසින් දැකිය හැකිය. උපන් කිසිම සත්ත්වයෙකුට ෙහෙසියෙන්  දුකින්  මිදී  යා  නොහැකිව  ඇත්තේ,  දුක  නැමති  සම්මතයෙහි  එල්ලී තාවකාලිකව දුක නැති කර ගැනීමට විවිධ පිළියම් කරන හෙයිනි. මේ හැම පිළියමක්ම දුක් ගින්න වැඩි කරන්නකි. දුක පිළිබඳව යථාර්ථය, පරම සත්‍යය තේරුම් ගැනීම පමණක් දුකින් මිදී යාමට උපකාර වෙයි. එය චතුරාර්ය සත්‍ය දැකීමයි. දුක පිළිබඳව හේතුඵල දහම යථාවබෝධයෙන් දැක, සමුදය නිරෝධ කිරීම නිවනයි. සම්මතයෙන් දුක යැයි නිගමනය කර ගෙන සිටින බඩගින්න, ලෙඩරෝග, සම්පත් හිඟකම සිතින්ම සාදාගත් සිත සිතා කරන විඳවීමකි. මෙය සම්මතය නැමති කට්ට කකා සිටීමකි. එලෙස සම්මතයන් තුළම විඳවීම, හිරවී දුක් විඳීම කිසිවිටකත් දුකින් මිදී යාමට හේතුවක් නොවේ. දුකට හේතුවම සම්මතයට යටින් ඇති පරමාර්ථ ධර්මයම දැක අවබෝධ කරගත හොත්, කෙනෙකු දුකින් මිදෙන මාර්ගය දකියි. එය ”අනිච්ච” බව, ”අනත්ථ” බව දැකීම ලෙස බුදුපියාණන් දේශණා කළ සේක. කැමැත්ත පරිදි නොලැබීම, කැමැත්ත සිදු නොවීම, අනිච්ච ධර්මතාවයයි. එයම දුකට  හේතුවය.  එවැනි  තත්ත්වයක්  අනිවාර්යයෙන්  අනාථ  තත්ත්වයකි.  නොවටිනා, අර්ථයක් හරයක් නැති අනාථ තත්ත්වයකි. මෝහයෙන්, තණ්හාවෙන්, බලාපොරොත්තු ඇතිකර ගත්තත්, මේ බලාපොරොත්තු කැමති පරිදි සිදුනොවේ නම්, කිසිවිටකත් සිදු කර ගත නොහැකි නම් එය දුකම උරුම කරදෙන අනාථ තත්ත්වයකි. දුක පිළිබඳව මේ හේතු ඵල දහම අවබෝධ කරගැනීම, දුක පිළිබඳව පරමාර්ථ සත්‍යය දැකීමයි. එය ”අනිච්චයි, දුක්ඛයි,  අනත්ථයි”  අවබෝධ  කර  ගැනීමයි.  සැප  පිළිබඳව  පැවති  නිච්ච,  සුභ,  සුඛ, අත්ථ සංඥාවන් අත් හැරීමයි.

මේ විස්තරයෙන් පැහැදිළි කරදීමට උත්සාහ කළේ, පරමාර්ථ සත්‍යය වචනයෙන් ලියා හෝ කටින් කියා හෝ විස්තර කරදීමට හැකි දෙයක් නොවන බවයි. එය තම තමන්ම අවබෝධ කරගත යුතු ධර්මතාවයකි. සම්මතය යනු, එය ප‍්‍රකාශ කර විස්තර කරදීම සඳහා උපයෝගි කර ගන්නා මාධ්‍යයයි.

Share Button