බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් බුද්ධත්වයට පත් වුයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතලිස් පහක් තරම් දීර්ඝ කාලයක් තුළම බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේ ම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීපය)  “බුදුන් ජන්මය ලබන දීපය”  යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. මෙම මාගධී පදයේ අර්ථයට අනුව ම මේ මිහි තලය මත යම් උත්තමයකු බුද්ධත්වය නම් වූ ඒ අති උතුම් තත්වයට පත් වන්නට හේතු වාසනා ලබන්නේ මෙම ජන්බුද්වීපයේදීම පමණි. අතීතයේ ලොව්තුරා බුද්ධ බවට පත් වූ සියලුම බුදුවරයන් වහන්සේලා මෙන් ම අනාගතයේ මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලුම බුදුවරයින් වහන්සේලාට ද ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මෙම දීපයේදී ම පමණි. ජන්බුද්වීපය යන නම යම් කිසි රටක හෝ ප්‍රදේශයක හෝ නාමයක් නොවේ. බුදුකෙනෙකුගේ උපතක් සිදුවන්නට සුදුසු වූ විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ මෙවැනි ස්ථාන එකකට වැඩි ගණනක් මේ මිහි තලය මත ඇත්තේද නැත. එවන් විශ්ව ශක්තියක් කේන්ද්‍ර ගතවූ ස්ථාන ඇත්තේ එකක් ම පමණි. එවන් වූ ස්ථානය ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යන නමින් හැඳින්වෙයි. ඒ අති ශ්‍රේෂ්ඨ මිනිසා, ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයා,  ගුරු උපදේශ රහිතව ම, ස්වයංභූ ඤාණයෙන් ම ඒ උතුම් තත්වයට පත් වීමට නම් නියත වශයෙන් ම ජන්බුද්වීපයේ ම උපත ලබා එහි මධ්‍ය මංඩලයේ පිහිටි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ එක ම නිශ්චිත ස්ථානයක දී නියත බෝධි මූලයක දී ම, මේ උතුම් සිදුවීම සිදු විය යුතුය. මේ අනුව ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ධර්ම නියාමයට අනුව ම සිදුවන නියත සිදු වීමකි.

දීපංකර බුදු පියාණන්ගේ පටන් මේ මහා බද්ධ කල්පය තුල මේ මිහි තලය මත, අතීතයේ බුද්ධත්වයට පත්වූ සියලුම බුදු පියාණන් වහන්සේලාට එම උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නට උපකාර වූ නිජ බිම නම් ජන්බුද්වීපයයි. මේ පදයෙහි පදගත අර්ථය අනුව ම මෙය දීපයකි. දිවයිනකි. එය අර්ධද්වීපයක් හෝ මහාද්වීපයක් හෝ විය නොහැකිය. එයට හේතුව අර්ධද්වීපයක හෝ මහාද්වීපයක හෝ මධ්‍ය මංඩලය යැයි නිශ්චිත තැනක් ලකුණු කර පෙන්වා දිය නොහැකි හෙයිනි. එවැනි මධ්‍ය මංඩලයක් නොවන තැනක විශ්ව ශක්තියක් ද කේන්ද්‍ර ගත නොවන හෙයිනි.

මේ අනුව මිහිතලය මත එකම විශේෂිත ස්ථානයක් හැර වෙනත් කිසිම ස්ථානයක නියත වශයෙන් ම ධර්ම නියාමයට අනුව ම ලොව්තුරා බුදුවරයෙකුට බුද්ධත්වයට පත් වන්නට උපකාර වන,  උපකාර කරගත හැකි, විශේෂ විශ්ව ශක්තියක් සහිත වූ තවත් ස්ථානයක් ඇත්තේද නැත. සමතිස් පාරමිතා පිරීමෙන් සිදු වන්නේ මෙම විශ්ව ශක්තිය සමග සම්බන්ධ වීමට අනන්ත අප්‍රමාණ කාල පරාසයක් තුළ තමා තුළින් ම විශ්ව ශක්තියක් ගොඩනඟා ගැනීමයි. එසේ තමා ම ගොඩ නඟා ගත් , බිහි කර ගත් විශ්ව ශක්තිය අතීත බුදුවරයින් වහන්සේලා බිහි කළ විශ්ව ශක්තිය සමග ද අනුගත වී එක්තැන් වී ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලයට කේන්ද්‍රගත වන්නේය. විවරණ ගැනීම යනු මේ ක්‍රියා දාමය පරිපූරණයවීමයි.

ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යනුවෙන් අප සම්මත බස් වහරෙහි හදුන්වා දෙන, මේ මිහිතලය මත පවතින, යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ,  අනන්ත බුදු වරයින්ට සෙවන දුන්, මේ නිශ්චිත රමණීය ස්ථානය උතුම් ධර්ම ද්වීපයක ම හරි මැද පිහිටා ඇති බව පෙන්වා දිය යුතුය. මෙවන් යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතවූ මධ්‍ය මංඩලයක් මේ මිහිතලය මත පවතිනවා වාගේ ම අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ මකර කටක් ද ඊට සමානුපාතව ම එහි අනික් අන්තයේ පිහිටයි. බර්මියුඩා ත්‍රිකෝණය නමින් අද බටහිර ලෝකයා හඳුන්වන මෙවන් අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ ස්ථානයක් ද මේ මිහි තලය මත ම ඇත. මේ දෙක පිහිටියේ අන්ත දෙකකය. මේ අනුව ධර්ම මාර්ගයේ යන අයට ස්වභාව ධර්මයෙන් ම ඊට උපකාර කරන ස්වභාවයකුත් අධර්ම මාර්ගයේ යන අය ස්වභාව ධර්මයේ ශක්තියෙන් ම විනාශ කරන ධර්ම තාවයකුත් මෙහි පවතී. මේ අනුව විශ්ව ශක්තියේ ද යහපත් හා අයහපත් යන අන්ත දෙකක්, ද්වතාවයක් පවතින බවත් පෙන්වා දිය යුතුය.

බුද්ධ බලය, බුද්ධ ධර්මය, බුද්ධ ශක්තිය, බුද්ධ ඥාණ, බුද්ධානුස්සතිය, බුද්ධ මාර්ගය, ආදී විවිධ පද වලින් සම්මතයේ භාවිතා කරන හා අදහස් කරන, විවිධාකාරයෙන් අද අර්ථ ප්‍රකාශ කරන “බුද්ධ” යන පදයේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන මේ කරුණු යථා පරිදි අවබෝධ කරගත් කෙනෙකුට “ජන්බුද්වීපය” යන පද වලද අර්ථය පැහැදිලි වනු නො අනුමානය.

මේ මිහිතලය මත බිහි වන , උත්පාදනය වන සියලු සංඛත, සියලු සංකාර, බිහි වන්නට (සබ්බේ ධම්මා) උත්පාදනය වන්නට හේතු වූ නිධාන වූ එකම ශක්ති විශේෂය “විඤ්ඤාණ ශක්තියයි”. හැම සත්වයාම මෙම විඤ්ඤාණ ශක්තිය නොනවත්වාම නොකඩවාම (පුනබ්බවෝති) උත්පාදනය කරගැනීමේ ක්‍රියාවලියක ම නිරත වෙයි. බු+උද්ද=බුද්ධ යනු මේ බිහි කිරීමේ -උත්පාදනය කිරීමේ-පුනබ්බවෝති-යනුවෙන් පෙන්වා දුන් ශක්ති විශේෂය වූ විඤ්ඤාණ ශක්තිය උත්පාදන කිරීමේ ක්‍රියාවලිය සහමුලින් ම උදුරා ඉවත් කර දැමීමයි. විඤ්ඤාණ ශක්තිය උපදවන සමුදය ක්‍රියාවලිය සහමුලින් ම උදුරා දැමූ පසුව ප්‍රඥා ශක්තිය සිතක පූර්ණ වශයෙන් ම මතු වේ. එය අනුප්පාදෝ යනුවෙන් හඳුන්වන ප්‍රඥා ශක්තියයි. “අනුප්පාදෝ නිබ්බානං” යැයි ප්‍රකාශ කළේ මේ ධර්මතාවයට අනුවයි.

පැවැත්ම,  ජීවත් වීම යනු මොහොතක් මොහොතක් පාසාම විඤාඤාණ ශක්තියෙන් ම රාග, ද්වේශ, මෝහ ගති තම තම චිත්ත සංථානයේම උත්පාදනය වීමයි. රාග, ද්වේශ, මෝහ ගති උත්පාදනය කිරීමේ ශක්ති මූලය (භව) සංභව ශක්තිය උදුරා දැමීම බු+උද්ද යන පදයෙන් අර්ථ ගැන්වේ. මේ සමුදය ශක්තිය, උත්පාදන ශක්තිය සිතක ම මිස වෙනත් කිසි තැනක බිහි නොවේ. යථා භූත ඤාණ දර්ශණය යනු මේ බිහි කිරීමේ ශක්තිය උදුරා දැමිය යුතු බව යථා පරිදි දැකීමයි. රාග,  ද්වේශ, මෝහ ශක්ති උත්පාදනය කර ගනිමින් නිරතුරුවම දුක් විඳින සත්වයාට නියත වූත්, ස්ථිර වූත් සුවයක් නිදහසක්, නිවනක් ලබා ගත හැකි වන්නේ මෙවන් කෙළෙස් ගති බිහි කිරීමේ ශක්තිය (භව)  සහමුලින්ම උදුරා දැමීමෙනි. ස්වයංභූ ඥාණයෙන් ම මේ ප්‍රතිපදාව සොයා දැන ලෝකයාට ධර්මය දේශනා කරන උත්තමයා සම්මා සම්බුද්ධ යන නමින් ජන්බුද්වීපයේ දීම මේ උතුම් තත්වයට පත් වීමද සිදු වන්නේ මය.

මේ අනුව ලොව්තුරා බුදු කෙනෙකුන් උපත ලබන්නේත්, ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරනු ලබන්නේත්,  බුද්ධ ධර්මය යළි යළිත් මතු වී ධම්මානුධම්ම පටිපදාව ක්‍රියාත්මක වන්නේත් ජම්බුද්වීපය නමැති එකම මධ්‍ය මංඩලයක් කේන්ද්‍ර කරගත් දීපයකදී ම ය. මේ සත්‍ය ධර්මතාවය ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ මෙන්ම එදා ලියූ හෙළ මහාවංශ කථාවේ ද ඉතාමත් ම පැහැදිලිව ම සටහන් කර ඇත. දැන් අපට විසඳා ගත යුතු මූලික ම ප්‍රශ්නය වන්නේමේ “ජන්බුද්වීපය”  යනුවෙන් එදා අනුරාධපුර යුගයටත් පෙර, එනම් බුද්ධ යුගයේදී හැඳින්වූයේත් භාවිතා කළේත් කුමන දීපයකට ද යන්න සොයා ගැනීමයි.

මාගධී ප්‍රාකෘත භාෂා ව්‍යවහාරයේ එදා භාවිතා කළ “ජන්බුද්වීපය” යන පද තුන ඇතුළත් නාමය පසු කාලයකදී කවුරුන් හෝ නොදැනුවත් කමෙන් පදපරම දැනුමෙන් අවිද්‍යාව නිසා ම දඹදිව දඹ ගස් සහිත දීපය යනුවෙන් ද සිංහලට පරිවර්තනය කරගෙන අද වැරදි ලෙසම භාවිතා කරනු ලබයි. ජන්බුද්වීපය හෝ දඹදිව හෝ යන මේ නම් වලින් ඉන්දියාව භාරතය හෝ භාරතයේ කිසිම තැනක් හෝ කිසිම කොටසක් හෝ ඉතිහාසයේ කිසිම දවසක නම්කර භාවිතයේ නොතිබූ බවත් ඉන්දීය ඉතිහාසයේ කිසිම කාලයක මේ නමින් හැඳින්වූ තැනක් භාවිතයේ නොවූ බවත් සහතික කර ප්‍රකාශ කළ යුතුය. බුද්ධ කාලයට වසර 600 කට පමණ පසුව ලංකාවේ ම අනුරාධපුර රාජධානියේදී පොත්පත් ලියූ ඉන්දියාවෙන්ම මෙරටට පැමිණි සමහර ගත් කතුවරු පමණක් ජන්බුද්වීපය යන නම ඉන්දියාවට අනුමානයෙන් භාවිතා කරන්නට පටන් ගත්හ. මහාවංශ පෙල අ‍ටුවාව ලියූ මහානාම හිමියන් ද ඉන්දීය ජාතිකයෙකි. මුල් ම මහාවංශය හෙළ බසින් ලියා තිබිණි. මහානාම හිමියන් කළේ මේ හෙළ මහා වංශය පාලි බසට පරිවර්තනය කිරීමයි. මහානාම හිමියන් ජන්බුද්වීපය යන නම ම කිහිප තැනකදී ම පාලි මහා වංශ අ‍ටුවාවේ භාවිතා කර ඇති බව පෙනේ. එම භාවිතය නිවැරදිය. මෙහිදී මහානාම හිමියන්ද ජන්බුද්වීපය යනුවෙන් අර්ථ දැක්වූයේ බුදුන් උපන් දීපයටයි. බුදුන් උපන් දීපය ජන්බුද්වීපය යනුවෙන් ව්‍යවහාරයේ භාවිතා වූ බව ඉන් පැහැදිලි වෙයි.

“ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අ‍ටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්‍රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව විදේහය යනුවෙන් සතර දිවයින් ලෙස නම් කර තිබූ බව ලියා දක්වා ඇත. එමෙන් ම එදා ලංකාපුර (ලකමන්දාව)  යනුවෙන් භාවිතා කළේත්, හැඳින්වූයේත් යක්ඛ හෙළයේ අග නුවරටයි. ලංකා පුරය යනුවෙන් එදා යක්ඛ හෙළයේ අගනුවරට භාවිතා කළ බව විජය රජුගේ කථා පුවතෙහි ද සඳහන් කර ඇත. කුවේණිය විසින් විජය රජු ලවා යක්ඛ නායකයින් අසූ දෙනෙකු ඝාතනය කරවූයේ ද ලංකා පුරයේදීය. ලංකා පුර රාජධානිය ම පසු කලකදී අනුරාධ පුර රාජධානිය ලෙසින් ද අලුතින් නම් කර සකස් කර ගති. ලංකාපුර හා ජන්බුද්වීපය යන නම් වලින් එදා පාලි මහාවංශ අ‍ටුවාවෙහි භාවිතා කළ නම් වැරදි ආකාරයෙන් ම ප්‍රයෝජනයට ගත් පසුකාලීන ගත් කතුවරු මෙන්ම අ‍ටුවා ටීකා ටිප්පනි ලියූ බොහෝ අයද ජන්බුද්වීපය යනු කොතැනකට භාවිතා කළ නමක් ද යන්න පිලිබඳව පැහැදිලි දැනුමක් හෝ තේරුමක් නැතිවම එය ඉන්දියාවේ පිහිටි තැනකැයි අනුමානයෙන් ලියා තැබූහ. අනුරාධපුර මුල් යුගයේදී නිවැරදි ආකාරයෙන් හෙළ බසින් ලියා තිබූ මුල් ම හෙළ මහාවංශය අද දක්නට නැත. ඒවෙනුවට අද ඇත්තේ ඒ හෙළ මහාවංශයට පාලියෙන් ලියූ අ‍ටුවාවක් ම පමණි. ඒ අ‍ටුවාව ලියා ඇත්තේ මුල් හෙළ මහා වංශය ලියා වසර 500 කට පමණ පසුවය. එනම්, බුද්ධෝත්පත්තියෙන් වසර 850 කට පමණ පසුවය. මේ යුගය වන විට බුදුන් උපන් දේව හෙළය (ජන්බුද්වීපය)  වන ගත වී ආරඤ්ඤ සේනාසන හා වෙහෙර විහාර ටිකක් පමණක් ඉතිරි වූ ධර්ම මාර්ගයේ ගමන් ගත් දුකසේ කල් ගෙවූ භික්ඛූන් පිරිසකගෙන් පමණක්ම සමන්විත වූ වනගත ප්‍රදේශයක් බවටද පත් විය. අනුරාධපුර යුගයේදී නිවන් දකින්නට උපකාර වූ පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී බුද්ධාගම නමින් ආගමක් ප්‍රචලිත වී රජ ගෙදර ආශ්‍රය කොටගත්, රජ ගෙදරින් ම දන් වැලඳූ, සත් මහල් ප්‍රාසාද වල සුවසේ වැඩ සිටි, විශාල පෘථග්ජන භික්ෂු පිරිසක් ද මේ රටේ බිහි වූහ. ඔවුන් අනුගමනය කළේ පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය නොව පසුව සකස් කර ගත් , සම්මත කරගත්,  බුද්ධාගමේ ඇදහිලි හා ලෞකික වත්පිළිවෙත්ය. නිකාය භේද, අභයගිරි-මහාවිහාර අර්බුදය, රාජ පාක්ෂික හා රාජ විරෝධී යැයි දෙපක්ෂයකට භික්ෂූන් බෙදීම, දේව ආගම් සංකල්ප ආදී සියලු දේ බුද්ධාගමේ ලක්ෂණ මිස පිරිසිදු බුද්ධ ධර්මයේ ලක්ෂණ නම් නොවේ. පොළොන්නරු යුගය වන විට මේ තත්වය තවත් දරුණු විය. උතුම් බුද්ධ ධර්මය සහමුලින් ම වෙනස් කරගත් පෘතග්ජන භික්ෂූන් දේව ආගම් සංකල්ප හිස් මුදුනින් ම පිළිගෙන ක්‍රියා කළ බවත් පෙනේ. මේ අතරම නැගෙනහිර පළාතේත්, දකුණේ සිතුල්පව්ව, කුඩුම්බිගල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ වලත් සබරගමු පළාතේත්, කෑගල්ල ආදී ප්‍රදේශවලත් මේ යුගය වන විටත් ආරඤ්ඤ වාසී, වනවාසී පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය ‍රැකගත් ආර්යයන් වහන්සේලා පිරිසිදු නිවන් මඟ අනුගමනය කරමින් මඟපල ලබාගත් බවද පැහැදිලිය.

මේ අනුව මුල්ම හෙළ මහාවංශ කතුතුමා විසින් එදා ලියා තබන ලද නිවැරදි කථා පුවත වසර 500 ක් පමණ කාලයකට පසුව “ජන්බුද්වීපය” යන පදයන්ට වෙනත් අර්ථයකින් වැරදි අර්ථකථනයක් ලබා දීමෙන් අ‍ටුවා ලියා පළ කර මුළු හෙළ ඉතිහාසය ම විකෘති කර වෙනස් කරගත් බව ඉඳුරා ම පෙන්වා දිය යුතුය.

බුද්ධ චරිතය,  බුද්ධ ධර්මය, ත්‍රිපිටකය, ධම්මපදය, ජාතකපොත මෙන් ම ඒ හා සම්බන්ධ අනෙකුත් බොහොමයක් පොත්පත් එදා ලියුවේ ද මේ හෙළ දිවයිනේ දී ම ය. ඒ හෙළ බසින් හෝ මාගධී ප්‍රාකෘත බසින් ම ය. මාගධී බසින් ලියූ ලිඛිත මුල් ම කෘතීන් දක්නට ලැබෙන්නේ වළගම්බා යුගයේ දී නමුත් හෙළ බසින් ලියූ හෙළ අ‍ටුවා, කුරුන්දි අ‍ටුවා, බුදුකැලි අ‍ටුවා, මහා අට්ඨකථා, සීහළට්ඨ කථා වැනි පොත් අනුරාධපුර යුගයටත් පෙර දේව හෙළයේ පවා භාවිතා කළ බව ද පෙනෙන්නට ඇත. එදා මිහිඳු හිමියන් හෙළදිව අම්පාරේ පිහිටි රජගහ නුවර (අද රජගල)  සිට අනුරාධපුරයට ආ ගමනේ දී හෙළ බසින් ලියූ බුදුකැලි අ‍ටුවාව ගෙනා බව මහාවංශයේම ඉතිහාසයේ ම සඳහන්ය. රජගහ නුවර යනු එදා දේව හෙළයේ පිහිටි මගධ රාජ්‍යයේ අගනුවරයි. මාගධී බසින් ලියූ බොහෝ පොත්පත් ද ලියූවේ මේ හෙළ දිවයිනේ දී ම ය. පාලි භාෂාව, පාලි සාහිත්‍ය, පාලි ව්‍යාකරණ ආදී වශයෙන් පසුව සකස් කර ගත්තේ ද මාගධී බසින් ලියූ පෙළ දහමය. එසේ පාලි භාෂාවක් ලෙස සකස් කර ගත්තේ අනුරාධපුර යුගයේ අන්තිම කාලයේදී ය. පොළොන්නරු යුගය වන විට එදා බුද්ධඝෝෂ හිමියන් ලියූ පාලි අ‍ටුවා පොත් බහුල ලෙසින් ම භාවිතා වන්නට ද, පටන් ගැනිණි. පාලි යනුවෙන් බස් වහරක් ලොව කිසි ම රටක කිසි ම දිනක භාවිතා කළේනැත. එය මළ භාෂාවක් ද නොවේ. එය කෘතිම ලෙස සදා සකස් කරගත් භාෂාවකි. මාගධී ප්‍රාකෘත හා පාලි යනු එකම භාෂාවක් ද නොවේ.

මාගධී ප්‍රාකෘත බස් වහරෙන්ගෞතම බුදු පියාණන් එදා දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය කට පාඩම් කරගෙන වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන ඒම සඳහා පේළි ලෙසින් සකස් කර පෙළ ගස්වා තිබිණි. මේ ආකාරයෙන් පේළි ගස්වා තිබූ බුද්ධ ධර්මය පෙළ දහම ලෙසින් පසු කලෙක ප්‍රචලිත විය. මේ පෙළ දහමට ම පසු කාලයක දී ව්‍යවහාර අර්ථයෙන් අර්ථ ලියා සකස් කරගත් භාෂාව පාලි භාෂාව නම් විය. මේ සියල්ල ම සිදු වූයේත්, විපරිනාමයට පත් වූයේත් මේ හෙළ දිවයින තුලදීමය. ඉන්දියාවේ කිසිම තැනක, කිසිම කාලයක මාගධී ප්‍රාකෘත නමින් භාෂාවක් භාවිතා කළේ නැත. පරිහරණය කළේ නැත. අනුරාධපුර යුගයේ දෙවැනි භාගයේදී ලංකාවෙන් බොහෝ පාලි පොත්පත් ඉන්දියාවට ගෙන ගොස් සංස්කෘත භාෂාවට ඒවා පරිවර්තනය කර ඉන්දියාවේ ද භාවිතා කළ අතර ලංකාවේ පාලි උගතුන් ඉන්දීය විශ්ව විද්‍යාල වල (අජන්තා වෙල්ලෝරා) පාලි භාෂාව ඉගැන්වූ බව ද සඳහන් වෙයි. සමහර ඉන්දියානු ජාතිකයන් ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේදී ද පාලි භාෂාව ඉගෙන ගෙන හෙළ බසින් ලියා තිබූ පොත්පත් පාලි භාෂාවට පරිවර්තනය කළ බවද පෙනේ. බුද්ධඝෝෂ ආචාරීන් මෙන් ම විනය අ‍ටුවාව ලියූ මහානාම හිමි ද මේ අතර ම වූහ. මේ අය පාලි මෙන් ම හෙළ බස ද ඉගෙන ගත්තේ මේ හෙළ දිවෙහි ම වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ම ය. මේ අනුව ගෞතම බුදුන් මාගධී බසින් එදා බුද්ධ ධර්මය දේශනා කළේ මේ රටේ ම කොටසක් වූ දේව හෙළය, ජන්බුද්වීපය නමින් හැඳින්වූ ප්‍රදේශයේ දී ම ය. ලංකා පුරය නමින් ප්‍රසිද්ධ වූයේ උතුරු කුරු දීපයේ එනම් යක්ඛ හෙළයේ අගනුවරයි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

පෙරවදන – “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” පළමුවන ග්‍රන්ථය

මෙහි ලියා දක්වන කථාව ආශ්චර්යවත් කථාවකි.මෙයට පෙර අසන්නට නොලැබුණු, මෙතෙක් ඔබ නොසිතූ පුවතකි.නමුත් මෙය පරම සත්‍යයකි.මෙය ගෙතූ කථාවක් නොවේ. අනුමානයෙන් කරන ප්‍රකාශයක් ද නොවේ. මනඃකල්පිතයක් හෝ පදනම්ක් නැති මවා පෑමක් ද නොවේ. ඉඳුරා ම පැහැදිලිව ම ප්‍රකාශ කරන පරම සත්‍යයකි.

මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලු ම බුදුවරයින් වහන්සේලා උපත ලබන එකම දීපය වු ජන්බුද්වීපයේ මේ සත්‍යයම වු  කථාව කියවන ඔබත්, අද උපත ලබා ජීවත් වන බව දැන ගන්නට, තේරුම් ගන්නට ලැබුණු විට ඔබටත් බලවත් චිත්තප්‍රසාදයක්, ප්‍රමෝදයක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙනු නො අනුමානය. නියම ශ්‍රද්ධාව යනු එයයි. මෙවන් උතුම් දීපයක, විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවු මධ්‍ය මංඩලයක, උපත ලබා පරම පවිත්‍ර බුද්ධ ධර්මය ද මතු කර දේශනා කරන මෙවන් යුගයක, ධර්ම මාර්ගයේ යන සියලු දෙනා ම මේ සත්‍ය කථාව ද කියවා දැන ගත යුතුමය.

පසුගිය වසර 1500ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම මෙම පරම සත්‍යය ද යටපත් වී, බුද්ධ ධර්මයද විකෘති වී, නිවන් මග වැසී තිබුණු බව බොහෝ අය දන්නා කරුණකි. දැන් නැවතත් සත්‍යය එළිකර දැක්වීමටත්, පවිත්‍ර බුද්ධ ධර්මය පිංවත් ලෝකයාට දේශනා කරන්නටත්, නිවන් මඟ විවෘත කර පෙන්වා දෙන්නටත් සුදුසු පරිසරය හැම අතින් ම සකස් වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය. පරම සත්‍යය කවදාවත් ම බොරුවෙන් මුළාවෙන් මනඃකල්පිත වලින් හෝ සම්මත වලින් යටපත් කර දිගින් දිගටම සඟවා වසා තැබිය නොහැකිය. නියම අවස්ථාව පැමිණි විට පරම සත්‍යය කා අතින් හෝ එළිදැක්වෙන බව ධර්ම නියාමයට ම අනුකූලය.

පරම සතය්‍ය පවා පිළි නොගන්නා පිරිසක් ද මේ අප අතරම සිටින බවත් අප නිතරම කල්පනා කල යුතු දෙයකි. රාගයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් අන්තවාදී ලෙස දෘෂ්ටි ගත වු බොහෝ දෙනෙකුට සත්‍යය කිසිසේත් ම දැක ගත නොහැකිය.සත්‍යය ඔවුන්ට නොගැලපෙන දෙයකි. අප එවැනි අය කෙරෙහිද අනුකම්පා කල යුතුය.

මේ සත්‍ය ම වු කථාව අසන කියවන එවැනි අය ඉවසීමේ සීමා මායිම් ඉක්මවා, සත්‍යයටද එරෙහි වනු ඇත.එයද ධර්ම තාවයකි. ගෞතම බුදුපියාණන් ලොව පහළ වු යුගයේත් මෙවැනි දේ ම සිදු විය.අප ඔවුන්ට වෛර කළ යුතු නොවේ. ඔවුන් සමග උරණ විය යුතු නොවේ. ඔවුන්ටද කවදා හෝ සත්‍යය අවබෝධ වේවා යන්න අපේ අවංක ම පැතුම විය යුතුය.

මෙම පරම සත්‍යය එළි දැක්වු විට ලාභයෙන් දෘෂ්ටි ගත වු, ආස්වාදයෙන් දෘෂ්ටි ගතවු, උගත් කමෙන්, බුද්ධිමත් කමෙන් මත්වු,තානාන්තර වලින් නිල තල වලින් බලවත්වු බොහෝ දෙනෙකුට මෙය නොගැලපෙන දෙයක්ම වන්නටත් පුලුවන. සමහර විට එවන් අය ඇත්ත නැත්ත කිරීමට ම තව තවත් වෙර දරනු ඇත. තම බලය පෙන්වීමට ජන මාධ්‍යයන් මුදලට ගන්නටත් උත්සාහ දරණු ඇත. පරම සත්‍යයට විරුද්ධ වන ඔවුන් විරුද්ධ වන්නේ බුදු පියාණන් වහන්සේටමය. ඔවුන් ආර්යෝපවාදයක්ම කර ගන්නා බවත් තේරුම් ගත යුතුය.

මේ යුගය කල්ප විනාශයකට ඉතාමත් ම ආසන්න කාල පරාසයක් බව කවුරුත් දන්නා කරුණකි. කල්ප විනාශයකදී විනාශ වන අංශ අතර සංකල්ප විනාශය ද මූලික ම අංගයකි. සම්මත කරගෙන අදහන බොහෝ මිත්‍යා ආගම් සංකල්ප මෙහිදී විනාශ වී යෑම නියතයෙන් ම සිදු වනු ඇත. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමත් සමඟ එදා සංකල්ප විනාශයක් ද සිදු විය. ඒ ආගම් හැට දෙකක් ම යටපත් වී යෑමත් පරම පවිත්‍ර බුද්ධ ධර්මය මතු වීමත් සමගම සිදු වු දෙයකි. මෙය අතීත ඉතිහාසයේ සිදු වූවා මෙන්ම මතුවටත් නැවත නැවතත් සිදු වන නියත සිදු වීමකි. පුනරාගමනයකි. කල්පවිනාශය සමගම මිත්‍යා ආගම් සංකල්ප විනාශ වී යාමද කාටවත්ම මොනම නවීන විද්‍යාවකින් හෝ  වළක්වා ලිය නොහැකිය. මනසක් ඇති මිනිසුන්ට තමන් ගැන  ම සිතා පරමාර්ථ සත්‍යය තේරුම් ගෙන ආගම් සංකල්ප අතහැර පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගයට අවතීර්ණ විය යුතු කාලය දැන් උදාවී ඇති බව පැවසීමට මේ පරම සත්‍යය මතු කර දෙනු ලැබේ. ධර්ම මාර්ගයට ඉඩ සලසා දෙනු සදසා අධර්මයේ හැසිරෙන අය ධර්මතාවයෙන් ම විනාශ වී යෑම දැන් සිදු වෙමින් පවතී. මේ අනුව අන්තගාමී සංකල්ප විනාශ වෙන්නටත් සත්‍යය ලොව රජ වෙන්නටත් දැන් කාලය එළඹ තිබේ.

මේ පොතෙහි සඳහන් කරුණු ලබන්නාවු කාරණා වලින් එළි දක්වන සත්‍යයන් මෙසේ එළි දක්වන්නේ කාට හෝ පහර ගැසීමට, කාව හෝ අවමානයකට පත් කිරීමට, අපහසුවකට පත් කිරීමට හෝ යමෙකුට අසාධාරණයක් කිරීමේ හෝ කිසිම ප‍ටු බලාපොරොත්තුවකින් නොවේ. ඒ වාගේම මේ සත්‍යය හෙළි කිරීමෙන් කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් ලැබීමේ හෝ ප්‍රචාරයක්, ප්‍රශංසාවක් ප්‍රසිද්ධියක් ලැබීමේ හෝ බලාපොරොත්තුවක් ද නැත. පොතක් ලියා විකුණා මුදල් ‍රැස් කිරීමේ කිසිම බලාපොරොත්තුවක් ද මෙහි නැත. මෙය නියත වශයෙන්ම ඉ‍ටු කල යුතු යුග මෙහෙවරකි.

මේ හෙළදිව බුද්ධ රාජ්‍යයයි. ධර්ම දීපයයි. අද ඒ බුද්ධ රාජ්‍යය, ධර්ම දීපය සියලු ආකාරයෙන් ම ශුද්ධ පවිත්‍ර වී, පිරිසිදු වී, සියලු බාධක හා බැඳීම් දුරු වී ක්‍රමානුකූලව සමස්ත ලෝක වාසී ජනතාවටම දහම් දිය බෙදා දෙන ධර්ම මධ්‍යස්ථානය බවට නැවතත් පත් වන්නට අවශ්‍ය සියලු කරුණු ද සම්පූර්ණ වෙමින් පවතී. මේ සියලු කරුණු සත්‍යයේ නාමයෙන්, ධර්මතාවයේ බලයෙන්, මතු වී එළි දැකීමත් සමග ම ධර්ම මාර්ගයේ අවංකවම ගමන් කරන්නන්ට ද නිවන නිදහස ළඟාකර ගත හැකි වනු ඇත.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
පරම නිබ්බාන ධර්මායතනය,
වටරැක,
පාදුක්ක.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

“අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි (II)” – නිගමනය හා සමාප්තිය

ගෞතම බුදුන් උපත ලැබූ එමෙන්ම සියලුම බුදුවරුන්ට උපත ලබන්නට තරම් වාසනාවන්ත වූ මේ ජන්බුද්දීපයේ මේ හෙළබිම සත්‍යම වූ ඉතිහාසය වසං කර දමන්නට – සහමුලින්ම යටපත් කර දමන්නට- කාටවත්ම නොහැකිය. බුද්ධ ධර්මය පිරිසිදු ලෙසින් යළි මතු වීමත් සමගම නිවන් අවබෝධ කරගන්නට උපකාර වන චතුරාර්ය සත්‍යය ධර්මය අවබෝධ කරගත් උතුමන්ගේ බිහිවීමත් සමගම ඊට සමගාමීවම, මගඵල ලබන්නට උපනිශ‍්‍රය වන්නා වූ ආකාරයටම බුද්ධෝත්පත්තියට, බුද්ධත්වයට හා පළමුවන ධම්මචක්ක පවත්වන ධර්ම දේශනාව පැවැත්වීමට අදාළ ස්ථානයන් හා බුදුන්ගේ පිරිනිවීමට අදාළ වූ බුද්ධ ශක්තිය ගැබ් වූ ස්ථානයන්, නම් ගම් වශයෙන් පමණක් නොව ඇසින් දැක බලාගත හැකි අයුරින්ම ස්ථානයන් වශයෙන්ම මේ හෙළබිමෙන්ම දැන් හඳුනාගෙන තිබේ.

මේ ස්ථානයන් ගැන කරණ ලබන මේ ප‍්‍රකාශයන් අනුමානයෙන් ප‍්‍රකාශ කරන දේ නම් නොවේ. මේ පරම සත්‍යයන් දැකගත් නිසාම ලෝකයටද හෙළි කරනු ලබන පරම සත්‍යයන්ය. මෙවන් සත්‍යයන් ලෝකයාට හෙළි කරන්නට මුල් වූ හේතුවද මෙහිදී පැහැදිලි කළ යුතුව ඇත.

2005 සිට 2008 දක්වා කාලය තුළදී නිවන් දකින්නට උපකාර වන පරම පවිත‍්‍ර ශ්‍රී සද්ධර්මය නන් අයුරින් සොයා දැන මතුකර ලෝකයාට දේශනා කළත්, ලියා ප‍්‍රකාශ කළත්, සෝතාපත්ති ඵලයට හෝ පත්වන්නට බාධයක් වන තවත් එක් හේතුවක් යටපත්ව තිබෙන බව ධර්මතාවයෙන්ම පෙන්නුම් කර දෙන ලදි.

මේ බාධකය මග හැරවීමට ගත යුතු ධම්මානුධම්ම ප‍්‍රතිපදාව සොයාගෙන යද්දී ඵල සමාපත්තියෙන්ම පෙන්වු, ඵල සමාපත්තියෙන්ම දැකගත් දැක හඳුනාගත්, ඒ අනුව සමාපත්තියෙන්ම මතුකරගත් මේ උතුම් පූජනීය ස්ථාන හතරම එක් දිනක එක් මොහොතක පෙන්නුම් කළ අතර ඒ සමගම ඊට නිධාන වූ කථාවද පෙන්නුම් කර දෙන ලදි.

ඒ නිධාන කථාව නම් මහාපරිනිබ්බාන සුත‍්‍රයේ එන පරිදි ගෞතම බුදුපියාණන් පිරිනිවන් පාන්නට විනාඩි පහක් පමණ කාලයක් ඉතිරිව තිබියදී අග‍්‍ර උපස්ථායක ආනන්ද හාමුදුරුවන් ගෞතම බුදුපියාණන් ගෙන් ප‍්‍රශ්නයක් විචාළේය. ඒ ප‍්‍රශ්නය නම් ”භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේ වසර හතළිස් පහක් මුළුල්ලේම දෙවි මිනිසුන්ට බුදු බණ දේශනා කරමින් බුදු කට හඬ ලබා දෙමින් බුදුරුව දැකගනිමින් බුද්ධ ශක්තියට අනුගත වෙන්නට අවශ්‍ය පරතෝඝෝෂක ප‍්‍රත්‍යය දෙවි මිනිසුන්ට ලබාදුන්හ. දැන් ඔබ වහන්සේගේ පිරිනිවීමෙන් පසුව ඉදිරි කාලයේදී දෙවි මිනිසුන්ට බුදුරුව, බුදු කට හඬ, බුද්ධ ශක්තිය ලබා ගන්නට ක‍්‍රමයක් නැතිව ලෝකයාට පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලබා ගන්නට බැරිවීම නිසා සෝතාපන්න ඵලයට හෝ පත් වන්නට ක‍්‍රමයක්ද නැති වෙනවා නේද?” යන ප‍්‍රශ්නයයි.

බුද්ධ ශක්තියට අනුගත නොවී, පරතෝඝෝෂක ප‍්‍රත්‍යය නොලබා සම්මා දිට්ඨියට පත් නොවී ස්වයං ශක්තියෙන්ම සෝතාපන්න ඵලයට හෝ පත් වන්නට පෘථග්ජන මිනිසෙකුට නොහැකිය. චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්නටත්, සම්මා දිට්ඨියට පත් වන්නටත් නම් යමෙකු සෝතාපත්ති අංගයන් හතරම සම්පූර්ණ කරගත යුතුමය. මෙයින් ”සප්පුරිස සංසේවෝ” යනුවෙන් පෙන්වා වදාළ පළමුවන අංගය සම්පුර්ණ වන්නේ ස්වයංභූ ඥාණයෙන්ම චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගෙන අරහත් මගඵලයට පත් වූ ලොව්තුරා බුදුපියාණන් ජීවමානවම දැකීම සහ බුදුපියාණන්ගෙන් බණ ඇසීම හෝ මග ඵලයකට පත් වූ බුද්ධ ශ‍්‍රාවකයෙකුගෙන් බුද්ධ ධර්මය ශ‍්‍රවණය කිරීම යන කරුණු සම්පුර්ණ කර ගැනීමෙන් ලබාගත හැකි පරතෝඝෝෂක ප‍්‍රත්‍යය ලැබීමෙනි.

මහාපරිනිබ්බාන සූත‍්‍රයේ දේශනා කරන ලද පරිදි ”සද්ධස්ස කුලපුත්තස්ස – දස්සනීයානං සංවේජනීයානං” චත්තාරෝ ඨානා යන්නෙහි අර්ථය ගෞතම බුදුන් පිරිනිවන් පා වදාළ පසුවත් මගඵල ලාභී බුද්ධ පුත‍්‍රයෙකුගෙන් පිරිසිදු ධර්මය අසා සද්ධස්ස කුලපුත්තස්ස තත්වයට පත් වු යමෙකුට එනම් සෝතාපන්න මාර්ගයේ ගමන් කරන කෙනෙකුට ”දස්සනීයානං – සංවේජනීයානං” යනුවෙන් ප‍්‍රකාශ කළ සෝතාපන්න ඵලයට (දස්සනේන සංපන්න වීමට) පත් වීමට නම් බුද්ධත්වයට සම්බන්ධ වූ මේ උතුම් ස්ථාන හතරින් එකක් හෝ දැකබලා වැඳපුදා හිත පහදා ගත යුතුය යන්නයි. බුද්ධ ශක්තියට අනුගත විය හැක්කේ ඒ අයුරිනි. මේ නිසා පරතෝඝෝෂක ප‍්‍රත්‍යය හා සම්මා දිට්ඨියට පත් වීමට මෙන්ම සෝතාපත්ති අංගයන් සම්පූර්ණ කර ගන්නටත් මේ ස්ථානයන් අතරින් එකක් හෝ දැක බලා ගත යුතුය.

පිරිසිදු පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය විකෘති වී යටපත්ව ගිය පසුගිය යුගයක සංදේශනාව අසන්නට නොලැබු අතීත යුගයක ආර්ය ධර්මයක් අසා චතුරාර්ය සත්‍යයන් අවබෝධ කරගන්නට අවශ්‍ය පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ශ‍්‍රවණය කරන්නට නොලැබුණු යුගයක, ධර්මතාවයෙන්ම මේ උතුම් බුද්ධ ශක්තිය පවතින ඊට අනුගත වූ උතුම් ස්ථානයන්ද මහ වනයෙන් වැසී යටපත්වීම ද ධර්මතාවයෙන්ම සිදු වූ දෙයකි. එසේ එම ස්ථානයන් ධර්මතාවයෙන්ම වැසී තාවකාලිකව යටපත් නොවුයේ නම් එදා පෘථග්ජන ලෝකයා විසින් පෙරදිග හා බටහිර ආක‍්‍රමණිකයින් විසින් මේ උතුම් ස්ථානයන්ද කඩා බිඳ දමා විනාශ කර දමන්නට තිබිණි.

ආනන්ද හමුදුරුවන් ඇසු මේ වැදගත් ප‍්‍රශ්නයට ගෞතම බුදු පියාණන් ලබා දුන් පිළිතුර ඔස්සේ අතීතය අවලෝකනය කර සමවතින් මේ ස්ථානයන් හතරම එකවර සොයා දැන නිවැරදි ලෙසින් ප‍්‍රකාශ කරන්නටත් මේ උතුම් ස්ථානයන් පිහිටි තැන් පෙන්වා දෙන්නටත් යෙදුණේ මගඵල ලබාගන්නට සමත් ධර්මාවබෝධයක් ලැබූ විශාල පිරිසක් මේ හෙළබිම තුළ අද වන විටත් උපත ලබා ධර්ම මාර්ගයේද යමින් සොතාපන්න මාර්ගයට පත් වී සිටින හෙයිනි. එවන් සද්ධස්ස කුලපුත‍්‍රයින්ට සෝතාපත්ති ඵලයට පත්වන්නට උපකාරවත් වන ආකාරයට මේවා මතුකර පෙන්වා දුන් බවද ප‍්‍රකාශ කළ යුතුය.

2009 පොසොන් පෝදා මේ ස්ථාන හතර ලෝකයාට විවෘත කර පෙන්වා දීමෙන් පසුව මේ මාස 15ක පමණ සුළු කාලය තුළදී විශාල ජනතාවක් මේ උතුම් පුදබිම් දැකබලා වැඳපුදා ගත්තා පමණක් නොව නිහඬවම මගඵල ලබාගත් බවද දැන් සහතික කොට ප‍්‍රකාශ කළ හැකිය. මේ අනුව යළිත් බුද්ධ ධර්මය පණ පිහිටුවා බුද්ධ ශක්තිය ලෝකයාට විදහා පෙන්වන්නට දැන් නියම කාලයද උදාවී ඇත. ධර්මයට ඉඩ දී අධර්මය විනාශ වී යන ස්වභාවයේ යුගයක් දැන් හැම අතින්ම දැකගන්නට ඇත. දැන් දැන් සිදුවන සිද්ධීන් අනුව මේ ධර්මතාවය දැකගත හැකි බව යෝනිසෝ මනසිකාරයෙන් සිතන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම දැන් සිතාගත හැකිය. පව්කාරයාට, අසෝනිසෝ මනසිකාරයෙන් කටයුතු කරන්නාට මේ ධර්මතාවයන් දැන ගන්නට හෝ දැක ගන්නට හෝ ලැබෙන්නේද නැත.

මේ පරම සත්‍යයන් මතුකර ප‍්‍රකාශ කර, ලෝකයාට හෙළිකර මා කළේ වරදක් යැයි සිතන සමහර පෘථග්ජන පුද්ගලයෝද අද සමාජයේත් අප අතරම වාසය කරති. මගඵල ලබාගන්නට නොහැකි අයුරින් බෞද්ධ ලෝකයාට නිවන් මාර්ගය වසා අහුරා දමා තිබු යුගය දැන් අවසානය. සියලුම බාධක දැන් ඉවත්කර මග පිරිසිදු ලෙසින්ම විවෘත කර ඇති බව ප‍්‍රකාශ කරන්නේ සද්ධාවන්ත කුලපුත‍්‍රයින්ට මිස නිවන් දකින්නට තරම් පෙර පිං නොකළ එවන් අඥාන පුද්ගලයින්ට නම් නොවේ.

මේ ධර්මය අඥාන දුප්පඤ්ඤස්ස පුද්ගලයාට නම් නොවේ, ප‍්‍රඥාවන්තයාට පමණක්ම යැයි බුදු පියාණන් එදා දේශනා කර වදාළ උතුම් පාඨය යළිත් සිහිපත් කරවමින් මේ පොත කියවා අවබෝධයක් ලබාගත නොහැකි නම් ඔබ තවමත් සංසාර ගැටළුවට මැදී වී සංසාර සාගරයේ අතරමං වී මිරිඟුවක් පසුපස දුවන ලාභයෙන් පිපාසිත පුද්ගලයෙකු ලෙසින් කි‍්‍රයා කරන අතෘප්ත කර මිනිසෙකු බවත් සිහිපත් කරගන්නා ලෙසින් මේ උතුම් ධර්ම ප‍්‍රකාශයන්ට විරුද්ධ වන කොයි කාටත් මෛති‍්‍රයෙන් හා කරුණාවෙන් මතක් කර දීමට කැමැත්තෙමි.

– නිමි –

Share Button

දේව හෙළය හා දේව සංකල්පය

අනුරාධපුර යුගයට පෙර මේ හෙළදිව දීප හතරකට බෙදා උතුරුකුරු දීපය, ජන්බුද්දීපය, අපරගෝයානය හා පූර්ව විදේහය යන නම් වලින් මේ රටේම ජනයා සිවු හෙළය ලෙසින් භාවිතා කළ අතර ජන්බුද්දීපයේ දඹදිව වාසය කළේ දේව ගෝත‍්‍රික ජනතාවය. මොවුන් ආර්යයන් ලෙසින් ලෝකයා එවකටත් පිළිගෙන තිබිණි. බ‍්‍රාහ්මණ, ක්ෂති‍්‍රය, ඛත්තිය (කැත්කුලය) හා ශුද්‍ර නමින් කුල හතරකටම අයත් මිනිසුන් එදා වාසය කළේ දේව හෙළයේ ජන්බුද්දීපයේය. යක්ෂ හෙළයේ එවන් කුළ බෙදීමක් නොතිබිණි. යක්ෂ හෙළයේ තද බල ලෙසින් කුලගොත් අනුව මිනිසුන් බෙදා වෙන් කළ සමාජයක් නොවීය. නාග හෙළයේද යක්ෂ හෙළයේද රජ පෙළපත් වලට අයත් රජවරු රාජ්‍යය පාලනය කළහ.

ආර්යයන් විසින් පාලනය කරන ලද දේව හෙළය යාපනයේ සිට මාතර දක්වාම රට දෙකට මැදින් බෙදූ  කළ නැගෙනහිර අර්ධයට අයත් ප‍්‍රදේශවල ව්‍යාප්තව තිබිණි. නමුත් නාග ගෝත‍්‍රයට අයත් ජනතාව රට හැම තැනම වාගේ වෙළඳාම, ප‍්‍රවාහණය වත්කම් පාලනය කරමින් නගරවල වාසය කළ බවක් පෙනේ.

නා+ගර යනු නාග ගෝත‍්‍රිකයින් ගෘහයන් හදාගෙන ජීවත්වූ ප‍්‍රදේශයි. න+ගර නමින්ද, පසුව නගර බවට ද එ් ප‍්‍රදේශ පත්විය. දේව ගෝත‍්‍රිකයින්ගේ වාසස්ථාන නුවර හෝ පුරයන් විය. කපිලවස්තු පුරය, ශ‍්‍රාවස්ති පුරය, වරානාසි පුරය ආදී වශයෙනි. විශාලා මහ නුවර, රජගහ නුවර, සැවැත් නුවර ආදී වශයෙන් නුවරවල් තිබුණේද දේව හෙළයේය. ආටානාටා, පුරනාටා, කුසිනාටා ආදී වශයෙන් නාටා නමින් නගර පිහිටා තිබුනේ යක්‍ෂ හෙළයේය. (ආටානාටා සූත‍්‍රයේ 23 ගාථාව බලන්න)

දේව හෙළයේ රජකම් කළ බලවත් ප‍්‍රාදේශිය රජුන්ට, නායකයින්ට ”දේවයන් වහන්සේ” යන නමින් පොදු ජනයා දේවත්වයෙන් ආමන්ත‍්‍රණය කිරීමේ සිරිතක් පුරුද්දක් එදා තිබිණි. මේ අනුව බුද්ධ දේශනාවට අනුවද අංගුත්තර නිකායේ තික නිපාතයේ පෙන්වා දෙන ආකාරයට එවකට ජනුබුද්වීපයේම දේව කොට්ඨාසයන් තුනක් ගැනම සඳහන් වෙයි. එ්

I විශුද්ධි දේව
II උත්පත්ති දේව
III සම්මත දේව

යන දේව කොටස් තුනයි. එදා විශුද්ධි දේව යන නාමය භාවිතා වූයේ ද්වේශයෙන් තොර වු අරහතුන් වහන්සේලාටය. ද්වේශයෙන් වෙන් වු නිසා ”දෙවි” යන නම භාවිතා කළබව ත‍්‍රිපිටකයේම සඳහන් වෙයි. උත්පත්ති දේව යනු අප අද විශ්වාස කරණ දෙව්ලොව යනුවෙන් සළකන සදෙව් ලෝකයේ උපදින ඕපපාතික දේව කොට්ඨාසයන්ටය. ඔවුහු උපතින්ම දේව ලෙසින් හඳුන්වනු ලැබූහ.

සම්මත දේව යනුවෙන් හැඳින්වූයේ දේව ගෝත‍්‍රය යැයි සම්මතයෙන් පිළිගත්, ”දේවයන් වහන්සේ” යන සම්මත පදයෙන් එදා පොදු ජනයා හැඳින්වූ රජවරුන්ටය. ද්වේශයෙන් තොරව, මහජනයා කෙරෙහි මෛත‍්‍රියෙන් කරුණාවෙන් රටපාලනය කල බොහෝ රජවරුන් එදා සම්මතයෙන්ද දේවයන් වහන්සේ යන ගෞරව නාමයෙන්ද අමතනු ලැබූහ. එවැනි උතුම් රජවරු පසුව දේව නාමයෙන්ම පොදු ජනතාවගේ පුද පූජාවලටද වන්දනා මාන වලටද පාත‍්‍රවූහ.

එදා රුහුණේ කාචරගාම ප‍්‍රදේශයේ රජකම් කළ මහාසේන නමැති දේව ගෝත‍්‍රික රජතුමාට පොදු මහජනයා දේව සංකල්පයක් ආරූඪ කළහ. රජුගේ මරණයෙන් පසුවද අද වන තෙක්ම මහාසේන රජු දේවත්වයෙන් මහජනයා අතර පිළිගැනීමක් ඇත. කතරගම කිරිවෙහෙර ඉදිකළේද මහාසේන රජතුමාය. එම කිරිවෙහෙර භූමියේම මහාසේන රජතුමාගේ පිළිමයක් අදටත් දකින්නට ඇත. පසු කලෙක මහාසේන රජු මහාසේන දෙවියන් බවටත් ඊට පසු කලක කතරගම දෙවියන් ලෙසටත් හෙළ මහජනයා අතර ප‍්‍රසිද්ධ විය. ඒ අනුවම වැඳුම් පිදුම් කරන්නටද විය. දෙමළ හා හින්දු භක්තිකයෝ ස්කන්ධ පුරාණයේ සඳහන් ස්කන්ධ දෙවියන්, කතරගම දෙවියන් ලෙසින් අදත් අදහති.

එදා කුරුවිට හා ශ්‍රී පාද අඩවිය අයත් වූ කුරු රට රජකම් කළ ”සමන” රජතුමා ගෞතම බුදුපියාණන්ටද නෑදෑකම් ඇති රජ කෙනෙකි. ජනප‍්‍රවාදයට අනුව සුද්ධෝදන රජුගේ බාල සොහොයුරිය සරණ පාවා ගත්තේ සමන මහරජතුමාය. ගෞතම බුදුපියාණන්ගේ වාසයට සුදුසු පරිදි දිවා ගුහාව සකස් කර එක් වසක් එහි වැඩ හිඳුවා ගෙන ඇප උපස්ථාන කළේද සමන මහ රජුය. ගෞතම බුදුපියාණන්ගේ බුදු සිරිපතුල තම රාජ්‍යයට අයත් උසම ස්ථානයේ කොටවා එයට ගෞතම බුදුපියානන්ගේ බුදු පා පහසද ලබාගෙන හුදී ජනතාවට වැඳුම් පිදුම් කරන්නට ස්ථානයක් සකස් කර දුන්නේද ”සමන” මහ රජතුමාය. ගෞතම බුදුපියාණන්ගේ කේස ධාතූන් මිටක් ලබා ගෙන මහියංගනයේ දාගැබක් කරවා වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේද සමන මහරජතුමාය. ගෞතම බුදුපියාණන්ගෙන් ධර්මය අසා සෝවාන් මාර්ග ඵලයට පත් වු සමන මහ රජතුමාට එතුමාගේ අභාවයෙන් පසුව මේ රටේ වැසියන් දේවත්වයෙන්ම වැඳුම් පිදුම් කරන්නටද පටන් ගත්හ. අද දක්වාම සමන් දෙවියන්, සුමන සමන් දෙවියන්, යනුවෙන් දේවාල ගොඩ නංවා, දේව පිළිම තැන්පත් කර වැඳුම් පිදුම් කරන්නේ එදා සමන රජ නමින් කුරුරට රජකම් කළ හෙළදිව රජකම් කළ රජතුමාටය. එදා කුරුරට වෙළඳාම සඳහා පැමිණි අරාබි වෙළදුන් පවා සමන් දෙවියන්ට මෙන්ම බුදු සිරිපතුලටද වන්දනා මාන කරගත් බව ඉතිහාසයෙන් පැහැදිලි වෙයි.

ගෞතම බුදුපියාණන් සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වාසය කළ යුගයේ රුහුණේ රජකම් කළේ උත්පලවන්නා නම් රජ කෙනෙකි. උපුල්වන් දෙවියන් ලෙසින් පසු කලෙක දෙවිනුවර දේවාලයක් කර වැඳුම් පිදුම් කරන්නට පටන් ගත්තේ මේ රජතුමාටය. පසුව විශ්ණු පුරාණය ලියා එළි දැක්වු පසුව විෂ්ණු දෙවියන් යැයි දේවාල සකස් කර වැඳුම් පිදුම් කරන්නේද මේ රජතුමාගේ නාමයටය. මේ අනුව උපුල්වන් දෙවියන් විෂ්ණු දෙවියන් බවට පත්විය.

විභීසන දෙවියන්, අයියනායක දෙවියන්, ගලේ බංඩාර දෙවියන්, මින්නේරිය දෙවියන්, රංවල දෙවියන්, පත්තිනි මෑණියන් ආදී වශයෙන් හෙළබිම පොදු මහජනයා අතරේ අදත් දේවත්වයෙන් සලකා ගෞරවයෙන් වැඳුම් පිදුම් කරන්නේ එදා දේව හෙළයේ ජීවත් වූ සාමාන්‍ය පුද්ගලයෙකුට වඩා වැඩිමනත් විශේෂ බලයකින් කටයුතු කළ මිනිසෙකුගේම නාමයටය. මෙවන් දෙවියන්ගෙන් මිනිසුන් උදව් උපකාර ඉල්ලා සිටීමද පැතීමද පැරණි හෙළ ජනතාවගේද පුරුද්දක් විය. මේ ආකාරයෙන් දේවාලයන් තනා දෙවියන්ට පුද පූජා පවත්වා භාරහාර වී සිත සනසවා ගන්නට හෙළබිම වැසියෝ අතිතයේ පටන්ම පුරුදුවූහ. මෙවන් දේව ඇදැහිලි හා පුදපූජා කාටවත්ම වරදක් හෝ පාපයක් හෝ නොවන නිසා අහිංසක කි‍්‍රයා සේ සලකා බුද්ධාගමටද මේවා ඇතුළු කරගත් බවද පෙනෙන්නට ඇත. ඉන්දියාවේ අතීතයේ පටන්ම දේව ඇදහිලි, පුද පූජා පැවති අතර ඉන්දියාවේ බලපෑම නිසාද ලංකාවේ බුද්ධාගමටද දේව ඇදැහිල්ල පසු කලෙක තදින්ම ඇතුළු විය.

උතුරුකුරු දිවයින, යක්ෂ හෙළය යන නම් වලින් එදා අතීතයේ හැඳින්වුයේ යාපනයේ පුනරින් සිට අලව්ව ගිරිඋල්ල දක්වාම වූ මහනෙරු නම් විශාල කඳුවැටියෙන් ඔබ්බෙන් වූ වනගත ප‍්‍රදේශයයි. මහනුවර හා මාතලේ දිස්ති‍්‍රක්ක වල සමහර ප‍්‍රදේශයන්ද යක්ෂ හෙළයේම පාලකයින් විසින් පාලනය කරන ලදි. ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වී ටික කාලයකින්ම ගෞතම බුදුන් මහියංගනයට වැඩම කළේ එහි වාසය කළ යක්ෂ ගෝති‍්‍රක මිනිසුන් ගෙන් බුද්ධ ශ‍්‍රාවකයින්ට කරදර වූ නිසා යක්ෂ ගෝති‍්‍රකයින්ට කරුණු කියා යකුන් දමනය කර ඔවුන් මෙල්ල කරන්නටය. ගෞතම බුදු පියාණන් මහියංගනයට වැඩම කළේ අම්පාරේ රජගල වාසය කරණ යුගයේදීය.

රාවණා පරපුරෙන්ම පැවත එන යක්ෂ ගෝති‍්‍රක රජවරුන් අතුරෙන් වෙස්සවන මහ රජතුමා ඉතාම බලවත් සියලුම යක්ෂ ගෝති‍්‍රක රජවරුන්ගේද නායක රජු ලෙසින් එදා කටයුතු කළ බවද ආටානාට සූත‍්‍රයේත්, මහා සමය සුත‍්‍රයේත් පැහැදිලිවම සඳහන් වෙයි. මේ අනුව පසු කලෙක වෙසමුණි රජතුමාටද, දේවත්වයක් ආරූඪ කර සතර වරම් දෙවියන් යන නාමය පටබැඳ අදවනවිට දේවත්වයෙන් සලකන්නට වන්නියේ ඇත්තෝ කි‍්‍රයා කරති.

යක්ෂ ගෝති‍්‍රකයින් කුම්භාණ්ඩ ගෝති‍්‍රකයන් හා සමහර නාග ගෝති‍්‍රකයින්ද එදා වෙසමුණි රජු තමන්ගේ මහ රජු ලෙසින් සලකා කි‍්‍රයා කළ බවද ති‍්‍රපිටකයේ ම සඳහන් වෙයි. එදා බුදුපියාණන් ජීවමානවම මේ හෙළ බිමේ වැඩවසන යුගයෙහි දේවත්වය සම්මතයෙන් ලබා ගත්, පොදු ජනයා දේවත්වයෙන්ම සැළකූ තවත් දේව කොටසක් මේ රටේම සමහර තැන් වල විසුහ. විශේෂයෙන්ම උඩරට මහනුවර ප‍්‍රදේශයේ එදා විසු ඒ ප‍්‍රදේශයන්හි අධිපති කම් කළ මේ රජුන් මේ රටේ අතීතයේ විසු රාවණා චක‍්‍රවර්ති රජ පරපුරෙන් පැවත එන පාරම්පරික නමින් පමණක් සක්විති රජවරුන්ය.

හෙළබිම විසු, හෙළබිමේම රජකම් කළ, රාවණා පරම්පරාවට අයත් වූ සක්විති රජවරුන් හත් දෙනාගෙන් පසුව සක්විති බලය නොලැබූ චක‍්‍රරත්නයේ බලය අහිමි වී ගිය එසේ නමුත් ඒ රජ පරපුරේම පසුකාලීනව පාරම්පරිකව පැවත එන්නන්ද මේ සක්විති නාමයම භාවිතා කළ බව පෙනේ. ”සමන” රජු මෙන්ම වෙස්සවන රජුද මේ සක්විති රජ පරම්පරාවටම නෑදැකම් කියු රජවරුන්ය. නමුත් ඔවුන් සක්විති නම භාවිතා කළේ නැත.

ති‍්‍රපිටකයේ සඳහන් වන පරිදි එදා ගෞතම බුදුපියාණන්ගෙන් ධර්මය අසන්නට පැමිණි සක්කස්ස දේවා නමින්ද, සක්කස්ස පනිත ආදී රජවරුන් මෙම සක්විති රජ පරම්පරාවට අයත් දේව නම ගත් රජවරුන්ය. අපි අද ”සක්දෙව් රජු” ”සක‍්‍රදේවේන්ද්‍රයා” ආදී පද වලින් මනඃකල්පිතව අදහන මේ නාමය යෙදුවේ භාවිත කළේ එදා මේ රටේම වාසය කළ ගෞතම බුදුන්ගෙන් බණ ඇසූ ”දේවානමින්ද” නම් සක්විති පරපුරේ රජුටය. ඊට හේතුව ඔහු සම්මත දේව කොටසේ නායකයා වීමයි. සක්කස්ස දේවානමින්ද යනු බුදුන්ගෙන් බණ ඇසු එදා මේ හෙළබිම ජීවත් වූ මිනිසෙකි.

මේ අනුව ඉන්දියාවේ ඇදහු දේව ආගම් සංකල්ප වලට වෙනස් දේව සංකල්පයන් මේ හෙළ බිමේ එදා ජීවත් වූ ජනතාව අතරේ පැතිරී තිබුණු බව පෙනේ. මේ රටේ අදත්, වැඳුම් පිදුම් කරණ සියලුම දෙවියන් සක්දෙවියන්ද ඇතුළුව එදා මේ හෙළ බිමේම වාසය කළ සාමාන්‍ය මිනිසුන්ට වඩා යම් විශේෂ වූ මානසික හෝ කායික ශක්තියක් ලබාගෙන මහජනතාවට යම් විශේෂ සේවයක් කළ මේ රටේම අතීතයේ වාසය කළ මිනිසුන්මය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

මහාවංශය – ත්‍රිපිටකය හා බුද්ධ භාෂිතය

ගෞතම බුදුපියාණන් මාගධී බස් වහරෙන් වසර හතළිස් පහක් පුරාවටම මේ හෙළ බිමේදී ලෝකයාට දේශනා කර වදාළ බුද්ධ ධර්මය පේළි වශයෙන් පෙළ ගස්වා කටවහරෙන් වන පොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වාගෙන යන්නට සුදුසු ලෙසින් සකස් කරන ලද්දේ උන්වහන්සේ ජීවමානවම වැඩ සිටි යුගයේදීමය. අසුමහ ශ‍්‍රාවකයින් වහන්සේලා අතරින්ම ඒ වෙනුවෙන්ම කි‍්‍රයා කළ මහා කස්සප මහ රහතන් වහන්සේ, ආනන්ද රහතන් වහන්සේ ආදී පිරිසක් එදා මේ දහම් පෙළ ගස්වා පවත්වාගෙන ආවෝය.

පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීමේ ඓතිහාසික පුවත ලෝකයාට හෙළි දක්වන්නේත් මේ ලංකාවේදීම ලියු මහා වංශයේ තුන්වන පරිච්ඡේදයෙනි. මහා වංශය ලංකාවේදීම ලියු පොතක් බවත් සහතික නම්, එහි ලියා තැබුවේ ලංකාවේම ඉතිහාසය බවත් සහතික නම්, මහාවංශයේ ලියා දක්වන මේ පළමුවන ධර්ම සංගායනාව රජගහනුවරදී පැවැත්වීමේ කථා පුවතින් දක්වන්නේත් මහාවංශයේම නම්, මෙය මේ හෙළ බිමේදී, හෙළබිම (රජගල) රජගහනුරවදී සිද්ධ වුවක් බව ඕනෑම කෙනෙකුට තීරණය කළ හැකිය. මෙවන් සංගායනාවක් භාරත දේශයේ දී එදා පැවැත්වී නම් ඒ බව භාරතයේදී සමකාලිනව ලියු පොත් පත් වලද සඳහන් විය යුතුවම තිබිණි. නමුත් එසේ සඳහන් වී නැත. මෙම ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා වැඩම කළ උගත් වියත් 500 ක් වු මහා අරහතුන් වහන්සේලා වැඩම කර වදාළේ රජගහනුවර රජගල ආශි‍්‍රතව එවකට පිහිටා තිබු විහාර ආරාම 28 කින් හා රුහුණේ සිතුල්පව්ව, මාලිගාවිල, දීඝවාපිය, කුඩිම්බිගල ආදී නම් වලින් අද ප‍්‍රචලිතව ඇති ආරඤ්ඤ සේනාසන වලින්ය. ඉන්දියාවේදී මෙවන් ධර්ම සංගායනාවක් පැවැත් වූ බව ප‍්‍රකාශ කිරීම මහා මුළාවකි.

කුසිනාරා නුවරදී (අද බුදුගලදී) ගෞතම බුදුපියාණන්ගේ පිරිනිවන් පෑම සිදු වී මාස තුනකින් පසුව රජගහ නුවරදී, අම්පාරේ රජගලදී පළමුවන ධර්ම සංගායනාව පැවැත්වූ බව අලුලෙනේදී ලේඛන ගත කළ ති‍්‍රපිටකයේද සඳහන් වේ. මේ අනුව ලංකාවේදීම ලියු මහාවංශය හා ති‍්‍රපිටකය යන පොත් දෙකකම සඳහන් වන මේ පළමුවන ධර්ම සංගායනාව පැවැත්වීමේ සිද්ධිය හෙළ බිමේදී සිදු වූ ඓතිහාසික සිද්ධියක් මිස ඉන්දියාවේ හෝ භාරතයේදී සිදු වූ දෙයක් ලෙස ප‍්‍රකාශ කිරීම අමනෝඥ කි‍්‍රයාවක් බවත් පෙන්වා දීමට කැමැත්තෙමි.

එවකට මගධ දේශයේ පාලකව සිටි අජාසත්ත රජ විසින් පළමු ධර්ම සංගායනාව පැවැත්වීම සඳහා සකස් කර දුන් සප්තපර්ණි ගුහාව හා පරිවාර ගුහාපෙළ මෙන්ම අරහතුන් වහන්සේලා 500 නමකට අවශ්‍ය අනෙකුත් සියලු පහසුකම් සලසා දුන් ආකාරය අදටත් අම්පාරේ රජගලට යන ඕනෑම කෙනෙකුටත් දැක ගත හැකිය.

ධර්ම සංගායනාවකට සුදුසු සේ විශාල ගල් කුඩයක හැඩයට සකස්කර ගත් වටේටම වාඩි වී සැප පහසුවට අරහතුන් වහන්සේලාට වැඩ සිටිය හැකි සේ සකස් කළ මේ සප්තපර්ණී ගුහාව මේ හෙළබිම අදටත් දැකගන්නට හැකි විස්ම කර්ම නිර්මාණයකි. මෙය අදටත් දැක බලා ගත හැකි ආකාරයෙන්ම රජගල රැකී ආරක්ෂා වී පවතී.

මහාවංශය හා ති‍්‍රපිටකය ලිවීමෙන් වසර 800 කට පමණ පසුව ලියු බෝධිවංශය, ථූපවංශය, ධාතූවංශය මෙන්ම පොළොන්නරු යුගයේ ලියූ බොහොමයක්ම බෞද්ධ සාහිත්‍ය ග‍්‍රන්ථ වලද මේ සියලු දේ පිළිබඳවම අනුමාන වැරදි මත ප‍්‍රකාශ කර, මේ සියල්ලම ඉන්දියාවට පිටමං කිරීම කර ඇත්තේද අපේම රටේදී පොත් ලියු මධ්‍යකාලීන ගත්කතුවරුන් විසිනි. ඒ පෘථග්ජන පද පරම සත්‍යය නොදන්නා ගතියයි. පොළොන්නරු යුගයේ, දඹදෙණි යුගයේ, ගම්පල යුගයේ සිංහල හා පාලි පොත් ලියු හැම කතුවරයෙකුටම ඉන්දීය බලපෑම් මෙන්ම, මහායාන බුද්ධාගමේ බලපෑම්ද ඇතිවීම නිසා බුද්ධාගම හා බුද්ධ ධර්මය වෙන්කොට අවබෝධ කරගන්නට තරම් ඔවුන්ට ධර්මාවබෝධයක් නොවූ බවත්, එම යුගයේදී ලියු සුංගාරාත්මක වර්ණනාත්මක ලෞකික බෞද්ධ සාහිත්‍යය පොත් පත් වලින් මනාව පැහැදිලි වෙයි.

උතුම් බුද්ධ ධර්මය උපත ලැබුවේත්, එදා ජීවමානවම පැවතුණේත්, අද පවතින්නේත්, මතුවට පවතින්නේත් මේ උතුම් හෙළ බිමේම පමණක් බව මම නැවතත් අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර සිටිමි.

බමුණු මත දරන, බුද්ධාගම් ලේබලය ගසාගත් බොහෝ පදපරම පුද්ගලයින් උතුම් බුද්ධ ධර්මයේ පෙන්වා වදාළ පරම සත්‍යයන් යටපත් කරන්නට, වසා තබන්නට අදත් බලවත් සේම උත්සාහයක යෙදෙන බවද අවංකවම පෙන්වා දෙනු කැමැත්තෙමි. ඉදිරියටත් ඔවුන් මේ දේම කිරීමට ඉදිරිපත් වීමද පුදුමයට කරුණක්ද නොවේ. නමුත් සත්‍යය ජය ගැනීමටත් සියල්ල හෙළදරව් කරපෙන්වා දීමටත් අවස්ථාව හා කාලය දැන් එළඹි ඇත.

ගෞතම බුදුපියාණන් පිරිනිවන් පා වදාළ කාලයට පසුව වලගම්බා රජු දවස අලුලෙනේදී මේ උතුම් බුද්ධ ධර්මය ලේඛන ගත කිරීම දක්වාම වසර 400 කටත් වැඩි කාලයක් මේ ති‍්‍රපිටකය කට වහරෙන් වන පොත් කරගෙන කටින් කට පවත්වාගෙන එන ලද්දේ රජගල, සිතුල්පව්ව, කුඩුම්බිගල, දීඝවාපිය, බුදුගල හා හබුරුගල, මුල්කිරිගල ආදී රුහුණේ හා නැගෙනහිර මෙන්ම රටමැද පිහිටා තිබු හෙළ බිමේ ආරඤ්ඤ සේනාසන වල ජීවත් වු මගඵල ලාභි හෙළබිම භික්ෂු පරපුරක් විසිනි. භාරතයේදී මේ එකද ධර්ම වචනයක් වත් මේ අතීත යුගයේදී කටපාඩම් කරගෙන පවත්වාගෙන නොආවා පමණක් නොව අසා දැන ගෙනවත් සිටි කෙනෙකුන්ද නොසිටි බවත් අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර සිටිමි.

අනුරාධපුර මහා විහාරයේ පොත්ගුල් වල එදා තැන්පත් කර තිබු බෞද්ධ හෙළ හා පාලි පොත් පත් සියල්ලම ගිනිබත් කර පිරිසිදු බුද්ධ ධර්මය ලියා තිබු පොත් විනාශ කර දැමු පසුව හෙළබිම බෞද්ධයාට කියවන්නට පරිශීලනය කරන්නට ඉතිරි වුයේ මහායානික අභයගිරියේ ගබඩා කර ආරක්ෂා කරගත් බුද්ධඝෝෂ හිමියන් විසින් ලියු පොත් 17 ක් පමණි. අභයගිරි විහාරයේ ජීවත් වූ මහායානයට පක්ෂ වූ භික්ෂුන් වහන්සේලාත්, මහාවිහාරය විනාශ කළ එවකට රටේ රාජ්‍යය පාලනය කළ අභයගිරියට පක්ෂ වූ සිංහල රජුත් යන දෙකොටසම මහායානිකයන්ය. මේ හෙළ අටුවා පොත්පෙළ විනාශ කිරීමෙන් පසුව ආ යුගයේ දී හෙළබිමේ බෞද්ධ භික්ෂුන් හා රජදරුවන් බොහෝ දෙනෙකුමත් අගය කොට සැලකුවේත් බුද්ධ ධර්මය ලෙසින් සැලකුවේත් මේ මහායානික මත සහිත පොත්පත්ය. ති‍්‍රපිටකය ලියා තැන්පත් කර තිබුණේ අලුලෙනේය. අනුරාධපුරයේද එහි පිටපත් තැන්පත් කර තිබුණා නම් ඒවාද මහාවිහාරය ගිනි තැබීමේදී පිළිස්සී යන්නට ඇත. නමුත් අපේ වාසනාවට අලුලෙනේ තැන්පත් කර තිබු ති‍්‍රපිටකයේ මුල් පිටපත් සතුරන් අතට පත් වුයේ නැත. ඒවා ගිනිබත් නොවී දිගටම අලුතෙන් යළි යළිත් ලිය ලියා අද දක්වාම පවත්වාගෙන ඒමද සිදු වෙයි.

පසු කලෙක ති‍්‍රපිටකය සිංහලයට පරිවර්තනය කළ අපේ බොහෝ උගතුන් ති‍්‍රපිටකයේ සඳහන් මාගධී වචන වලට පදවලට අර්ථ දැක්වීමේදී උපකාර කරගත්තේ බුද්ධඝෝෂ හිමියන්ගේ ලෞකික ආගම් සංකල්ප සහිත වූ අර්ථ කථා පරිවර්තන වල එන අදහස් හෝ ඒ අර්ථ කථාවලටම පසු කාලයකදී ලියු ටීකා, ටිප්පනි සම්මත ආදී විග‍්‍රහයන්ය. මේ හේතුන් නිසා බුද්ධ ජයන්ති ති‍්‍රපිටක සම්පාදක මණ්ඩලයේ කටයුතු කළ උගත් භික්ෂුන් වහන්සේලාටත් බහුල ලෙසින්ම විශුද්ධි මාර්ගය ඇතුළු පොත් 17 ක පෙන්වා දුන් පතංජලී වාදයට යට වී සිංහලයට ති‍්‍රපිටක පොත් පරිවර්තනය කරන්නට සිදු වූ බවද පෙන්වා දිය යුතුය. මේ අතරම එදා ති‍්‍රපිටකය පරිවර්තනය කළ අපේ උගත් ස්වාමීන් වහන්සේලා සංස්කෘත භාෂා විශාරදයින් වීම හේතු කොට ගෙන මාගධී භාෂාව සිංහලයට පරිවර්තනය කිරීමේදී වචන සියයට 50කට වැඩියෙන් භාවිතා කර ඇත්තේ සංස්කෘත භාෂාවේ පදයන්ය. මේ විකෘති වීම් නිසා සිංහලයාට පිරිසිදු ති‍්‍රපිටක ධර්මය අවබෝධ කරගන්නට අද වන විට ඉමහත් අපහසු තත්ත්වයක් උද්ගත වී ඇති බවත් කනගාටුවෙන් වුවද ප‍්‍රකාශ කළ යුතුව තිබේ.

මාගධී භාෂාවෙන් කියවා, මාගධී භාෂාවෙන් ම ධර්මය සිතන්නට හැකි, ධර්මාවබෝධයක් ලැබූ උත්තමයා නියත වශයෙන්ම ආර්ය උත්තමයෙකු වන්නේය.

මේ අනුව අදින් වසර 2100 කට පමණ පෙර අතීත යුගයකදී, වලගම්බා රාජ්‍යය පාලන සමයේදී, හෙළබිමේ වැඩවිසු උගත්, වියත්, ධර්මධර මගඵල ලාභී භික්ෂුන් වහන්සේලා විසින් ති‍්‍රපිටක ග‍්‍රන්ථයන් ලෙසින් ලේඛන ගත කර එදා ලියා තැබු ධර්ම කාරණා අතරින් අපේ හෙළ ඉතිහාසයට අයත් බොහෝ නම් ගම් හා තොරතුරු මෙන්ම එදා මේ රටේ ජීවන රටාවද විවෘත කර, වෙන් කර සොයා දැනගන්නට, තේරුම් ගන්නට හැකි වන දිනය හා පිළිගන්නට සිදු වන දිනයද දැන් එළඹ තිබේ. ති‍්‍රපිටක ග‍්‍රන්ථ වල එන සියලුම නම් ගම්, රාජ්‍යයන්, රජවරුන්, සිටුවරුන්, මගඵල ලාභීන්, අරහතුන් වහන්සේලා මෙන්ම අතීත අනාගත වර්තමාන සිද්ධීන්ද මේ සිවු හෙළයටම සම්බන්ධ වූ දේවල් මිස ඉන්දියාවට හෝ මහා භාරතයට හෝ සම්බන්ධ වූ දේවල් නොවන බව අවධාරණයෙන්ම ප‍්‍රකාශ කර සිටිමි.

ගෞතම බුදුපියාණන් ජීවත්ව සිටි යුගය යැයි අපි අද සම්මතයෙන් පිළිගන්නා රාජ්‍ය වර්ෂ වලින් කි‍්‍ර.පු. 589-543 අතර කාලයේදී හෝ ඒ ආසන්නම කාලයකදී හෝ භාරතයේ දේශපාලනය මහා අවුල් වියවුල් සහිත ග‍්‍රීක හා පර්ෂියන් ආක‍්‍රමණ වලින් රට අවුලට පත් වූ බුදු කෙනෙකුට උපත ලබන්නට කිසි සේත්ම සුදුසු නොවු සාමයෙන් තොර වූ තත්ත්වයක භාරතය පැවති බව බෂාම් තුමාද තම ඉතිහාස පොතේ සඳහන් කරයි. බුද්ධ පරිනිර්වාණයෙන් වසර 283 කට පමණ පසුව කාලයකදී අශෝක අධිරාජයා භාරත දේශය එක්සේසත් කරන තුරුම එහි මහා අවුල් වියවුල් සහිත අරාජික යුගයක් පැවතිණි. ඒ යුගයේ භාරතයේ දේශපාලනය ගැන කිසිම පොතක පතක හෝ ලියැවිල්ලක ලියැවී නොතිබීමෙන්ම මේ බව මනාව පැහැදිලි වෙයි.

රිස් ඩෙවිස්, ජෝර්ජ් ටර්නර් ජේම්ස් පි‍්‍රන්සස්, එච්.සී.පී.බෙල් හා කොඩිරිංග්ටන් වැනි සුදු මහතුන් කළේ ලංකාවේ ලියා තිබු මහාවංශය, දීපවංශය, ති‍්‍රපිටකය වැනි පොත්වලින්ද පසු කාලීනව පොළොන්නරු දඹදෙණි යුගවල ලියු පොත් පත්වලින් ද කරුණු කියවා දැන ලබාගත් පටු හා වැරදි අවබෝධයකින් ඉතිහාසය ලිවීමයි. මෙසේ අනුමානයෙන් ලියූ ඉන්දීය ඉතිහාසයක් අද ඉන්දීය ඉතිහාස පොත්පත් වලද, ලියැවී ඇත. මේ අනුව මෙම හෙළබිමේ ඉතිහාසයට විජයගේ යුගයෙන් තිත තබා ඊට පෙර සියල්ලම ඉන්දීය ඉතිහාසයට පවරාදී භාර කරන ලද්දේ ඒ ඒ යුගවල වැරදියට ඉතිහාසය ලියු පෘථග්ජන මිනිසුන් විසින්මය. මේ වරද කරන්නට දැන් කාලය එළඹී ඇත.

අපේ මේ හෙළ බිමේදීම ඒවා යුගයන්දීම ලියු පිරිසිදු ඓතිහාසික සාක්ෂි අපට අදටත් ඉතිරි වී ඇතත් අද අපේ ඉතිහාසඥයින්, පුරාවිද්‍යාඥයින් හා ආගම් සංකල්ප දරන ගිහි පැවිදි උගතුන්ද ඒවා පිළිගන්නට මැළිවන්නේ ඔවුන් ඉංගි‍්‍රසියෙන් සිතන බටහිරට ගැති අය හෝ භාරතයට ගැතිව සිතන්නන් හෝ වීම නිසායි. තම පෞද්ගලික ලාභ ප‍්‍රයෝජන තකා ජාතික ඉතිහාසය යටපත් කරන්නට උත්සාහ දැරීමයි.

එදා අපේ ඉතිහාසය ලියු ජේමිස් පි‍්‍රන්සස්, ජෝර්ජ් ටර්නර්, ස්ට්‍රොංග්, රිස් ඬේවිස්, කොඩිරිංග්ටන්, එච්.සී.පී. බෙල්, විල්හෙල්ම් ගයිගර් වැනි සුදු මහතුන් කළ සේවයද අප යම් තරමකට හෝ අගය කරන අතරම, ඔවුන්ගේ නොදැනුම නිසා අපට සිදු වූ මහත් හානියද අපම කල්පනා කළ යුතුය. එය දැන්වත් නිවැරදි කරගත යුතුය. එය දැන්වත් නිවැරදි කර ගත යුතුය.

ලෝකෝපකාරය නමින් වූ පොතක් රණස්ගල්ලේ හිමියන් විසින් පසු කලෙක ලියා පළ කරන ලදී. මේ ලෝකෝපකාරයේ 189 වැනි කවියේ සඳහන් වන සතර දිවයින් පිහිටා තිබුණේ මේ හෙළබිම තුළමය. කරදිය වලල්ලෙන් වට වූ සතර දිවයින් ලෙස එදා ලෝකෝපකාරයේ දැක්වුයේ මේවාය.

I. උතුරු කුරු දිවයින
II. ජන්බුද්දීපය (දඹදිව)
III. පුර්වවිදේහය
IV. අපර ගෝයානය

අනුරපුර යුගයටත් පෙර අතීතයේ එනම් බුද්ධ කාලයේ මේ රට මෙවන් කොටස් හතරකට බෙදා සම්මතයෙන් නම්කර ගෙන භාවිතා කළ මේ සතර දිවයින් (ප‍්‍රදේශ) ලෙසින් දැක්වුයේ සිවු හෙළයයි. ඒ ඒ හෙළයන්හි වාසය කළ ගෝති‍්‍රක රජවරුන්ගේ ගෝත‍්‍ර අනුව පසුව ජන්බුද්වීපය දේව හෙළය ලෙසින් ද, උතුරුකුරු දිවයින් යක්ෂ හෙළය ලෙසින්ද, අපරගෝයානය නාග හෙළය ලෙසින්ද පූර්ව විදේහය ගාන්ධර්ව හෙළය ලෙසින්ද නම් කෙරිණි.

ආටානාට සූත‍්‍රයේත්, මහාසමය සූත‍්‍රයේත් පැහැදිලිවම නම්කර පෙන්නුම් කරන චත්තාරෝ මහාරජවරුන් රජකම් කළේද මේ සිවු හෙළයට අදාළ ප‍්‍රදේශවලමය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වුයේ ජන්බුද්දීපය (දඹදිව) නම් දේව හෙළයට අයත් ප‍්‍රදේශයකදීය. මේ අනුව ජන්බුද්දීපය දඹදිව යන නම් මේ හෙළ බිමේම කොටසකට ඉතා ඈත යුගයන්හිදීද භාවිතා කරන ලද නාමයකි. එයට ජන්බුද්දීපය යන නම ලැබුණේ සියලුම බුදුන් වහන්සේලා ජන්මය ලබන දීපය යන අර්ථයෙනි. දඹදිව යන නම ලැබුණේ ධර්ම දීපය යන අර්ථයෙනි.

ලෝකෝපකාරයේ එදා ලියා පෙන්වූ සතර දිවයින්ම කරදිය වලල්ලෙන් වට වූ බව පවසා තිබීම නිසා මේ සතර දිවයින්ම මේ හෙළ බිමේම එදා පිහිටා තිබු බවත් සහතික කර ප‍්‍රකාශ කළ හැකිය.

කි‍්‍ර.පූ. යුගයේදී භාරතයේ ලියු පොත් පත් දෙස බලන විට ඒ හැම සාහිත්‍ය කෘතියකම දැක්වෙන්නේ ලෞකික උපදේශනයන් ගෙන් හා සුංගාර රසය උපදවන පෘථග්ජන ලෝකයාට ගැළපෙන ආකාරයේ ලෞකික කරුණු කාරණාවෝය. ඍග්වේද ග‍්‍රන්ථයන්, විෂ්ණු පුරාණය, ස්කන්ධ පුරාණය හා තවත් බොහෝ පුරාණ ග‍්‍රන්ථ, බ‍්‍රාහ්මණ හා උපනිසද් ග‍්‍රන්ථ මෙන්ම භගවත් ගීතාව නම් විශේෂ ග‍්‍රන්ථයද ලෞකික දියුණුව සඳහා උපදෙස්දීමට ලියු ඒවාය. මේවා ලෝකයක් හදන්නට උපකාර වන විධියේ සාහිත්‍යය ග‍්‍රන්ථ හෝ උපදේශාත්මක ග‍්‍රන්ථයන්ය. නමුත් මේවාට සමකාලීන වූ යුගයේදී හෙළ බිමේදී ලියු ති‍්‍රපිටක ග‍්‍රන්ථ හා හෙළ අට්ඨ කථා සියල්ලම ලියුවේ ලෝකයෙන් එතෙර වන ලෝකෝත්තර මාර්ගය පෙන්වා දෙන්නටය. සදහටම දුකෙන් මිදෙන්නට අනුගමනය කළ යුතු ධම්මානුධම්ම පටිපදාව පහදා දෙන්නටය. මේ අරමුණු දෙක දෙයාකාර වූ දෙවිධියක අරමුණු දෙකකි. ඉන්දියාවේ හෝ භාරතයේ හෝ උතුම් බුද්ධ ධර්මය එදා ව්‍යාප්ත වී තිබුණේ නම් එහි ඒ යුගයේ ලියු මේ පොත්පත් වලද යාන්තමින් හෝ මේ ලෝකෝත්තර ධර්මය ගැනද සටහන් වන්නට ඉඩ තිබිණි. නමුත් ඉන්දියාවේ ලියු පොත් වල එසේ සඳහන් වී නැත.

භාරතයේ ලියු පැරණි සාහිත්‍යයේ අරමුණ ජීවත්වීමට අවශ්‍ය උපදේශනය ලබා දීම බව භගවත් ගීතාව කියවන ඕනෑම කෙනෙකුට පහසුවෙන්ම අවබෝධ වනු ඇත. භගවත් ගීතාවේ එන සුංගාරාත්මක, උපදේශාත්මක රසවත් කවි කටපාඩම් කරගෙන භජන් ගී ලෙසින් ඒවා සජ්ඣායනා කිරීම අදටත් ඉන්දීයයන්ගේ චාරිත‍්‍රයකි. සිරිතකි. නමුත් ති‍්‍රපිටකයේ සඳහන් වූ උතුම් ධර්මය අසාදැන, ධාරණය කරගෙන, අත්විඳගත යුතු යථාවාදී තථාකාරී, යථාකාරී තථාවාදී ධර්මතාවයකි. මේ අනුව බුදු දහම දුක අවබෝධ කරගෙන දුකට නිධාන හේතුවම සොයාදැන, හේතුවම නිරුද්ධ කරන්නට ම`ග කියා දුන් දහමකි. එසේත් නැති නම් හේතුඵල දහමට බහා බලා ගලපා අනුගමනය කර අත් විඳගත යුතු දහමකි. භාරතීය දේව සංකල්ප වලට අනුව තාවකාලිකව ඵලය වෙනස් කර ගත්තෙ හේතුව වෙනස් කර ගැනීමෙනි. මේ නිසා එදා ලියූ භාරත සාහිත්‍යය උපදේශාත්මක සාහිත්‍යයක්ම පමණක්ම වීය.

බුදු දහමින් දේශනා කලේ මිනිසාට තම මනස මෙහෙයවා කි‍්‍රයාකර යෝනිසෝ මනසිකාරයෙන් කි‍්‍රයාකරන්නෙකු බවට පත් වී විමුක්තිය සොයාගන්නට මගපාදා දෙනු සඳහාය. භාරත ආගම් වල විමුක්තිය සොයන ලද්දේ ලෝකය තුළම ඇති දේ වෙනස් කර දුක තාවකාලිකව යටපත් කිරීමෙනි. ලෝකයෙන් එතෙර වන්නට උපකාරවන ආකාරයේ ලෝකෝත්තර දහමක් ඒ වායේ නොවීය.

බුද්ධඝෝෂ හිමියන් පරිවර්තනය කළ පාලි අර්ථ කථා වලත් ඊට පසුව ආයුගයේදී අනුරාධපුරයේදී ලියු පොත පතේත් විශේෂයෙන්ම පොළොන්නරු යුගයේ හා දඹදෙණි යුගයේදී ලියු බොහෝ සිංහල පොත්පත්වලත් දක්නට ඇත්තේ බුදු දහමේ පෙන්වා දුන් හේතුඵල දහමට බහා ගලපා කි‍්‍රයා කරන්නට, විනයට සසඳා බලා කටයුතු කරන්නට උපකාර වන විධියේ පරමාර්ථ ධර්මයක් නොව ලෝකය හදන්නට, භව වෘද්ධිය සඳහාම උපකාර වන විධියේ සම්මත ධර්මයකි. ඒ එවකට භාරත දේශයේ ප‍්‍රචලිතව තිබු ලෞකික ආගම් සංකල්ප වල හා උපදේශක කාව්‍යයන්හි බලපෑම් තදින්ම හෙළ බිමටද දැනුණු යුගයයි.

මේ අනුව අද අපට ඉතිරි වී ඇති මධ්‍යකාලීන ඓතිහාසික බෞද්ධ සාහිත්‍යය ග‍්‍රන්ථ, අටුවා කථා හා වෙනත් සාහිත්‍ය පොත් පත් බොහොමයක්ම වාගේ භාරතයේ බලපෑම් නිසා පසු කාලීනව බිහි වු ඒවා මිස උතුම් බුද්ධ ධර්මයේ හෝ ති‍්‍රපිටකයේ හෝ පෙන්වු ආකාරයෙන් නිවන් මගට උපකාරක වන පරමාර්ථ ධර්ම විග‍්‍රහ කළ පොත් පත් නම් නොවේ. පසු කලක දඹදෙණියේදී ලියැවුණ ජාතක කථා සාහිත්‍යයද හුදී ජන පහන් සංවේගය සඳහාම ලියැවුණු ඒවා මිස මිනිසාගේ මනස මෙහෙයවා හේතුඵල දහමට බහා ගලපා බලා කි‍්‍රයාකරන්නට උපකාර වන ඒවා නොවන බවත් පෙන්වා දිය යුතුය. ඒවාද උපදේශාත්මක කොටසටම අයත් වන බව නම් පැහැදිලිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button