ධම්මානුධම්ම පටිපදාව ආනාපාන සති භාවනාව ඇසුරින්

මජ්ඣිම නිකායේ සඳහන් ආනාපානසති භාවනා ක්‍රමය

බුදුපියාණන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව දේශණා කිරීමට මුල් වූ පසුබිමේ සඳහන් නිදාන කථාවද අසා දැන තේරුම් ගැනීම බෞද්ධ අබෞද්ධ කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත. මජ්ක්‍ධිම නිකායේ අනුපද වර්ගයේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහිම ප‍්‍රකාශ කර දක්වන පරිදි එය මෙසේ සැකෙවින් විස්තර කර දෙමි.

එක්තරා පසළොස්වක පොහොය දිනක බුදුපියාණන් වැඩ සිටි මිගාර වනයට බුදුපියාණන් බැහැ දැකගනු පිණිස භික්ඛු සංඝයා වහන්සේලා විශාල වශයෙන් රැුස්වූහ. සැරියුත්, මුගලන් දෙඅග සව්වන් සමඟ මහා කප්පිතේන, මහා චුන්ද, අනුරුද්ධ, රේවත, ආනන්ද ආදීන් තම තමන්ගේ ශ‍්‍රාවක භික්ඛූන්ද සමඟ පැමිණ මිගාර වනයෙහි සමවත් සුවයෙන් කමටහන් භාවනා කළහ.

එහි සිටි නවක භික්ඛූන්, මඟඵලලාභීන් සහ මහඅරතුන්වහන්සේලාද දුටු බුදුපියාණන් විමසා සිටියේ ”ඔබලා කුමන කර්මස්ථානයක් භාවනා කරමින් සිටිත්ද යන්නයි.

”අපි සතර සතිපට්ඨානය වඩමින් සිටිමු. අපි සතර සම්මප්පදාන වඩමින් සිටිමු. අපි සතර ඍද්ධිපාද වඩමින් සිටිමු. අපි පංචබල භාවනාව වඩමින් සිටිමු. අපි සත්ත බෝජ්ජංග භාවනාව වඩමින් සිටිමු. අපි අෂ්ටාංගික මාර්ගය වඩමින් සිටිමුයි” බොහෝ අය පිළිතුරු දුන්හ.

තවත් කෙනෙක්, ”අපි මෙත්තා භාවනාව වඩමින් සිටිමු. අපි කරුණා භාවනාව වඩමින් සිටිමු. අපි උපේක්ඛා භාවනාව වඩමින් සිටිමු. අපි අසුභ භාවනාව වඩමින් සිටිමු. අපි අනිච්ච සංඥා භාවනාව වඩමින් සිටිමු.”යැයි පිළිතුරු දුන් සේක.

මේ සියල්ලම සාවධානව අසා සිටි බුදුපියාණන්වහන්සේ සියලු භික්ඛු සංඝයා වහන්සේලා රැුස්කර විශේෂ දේශණයක් කරමින් ආනාපාන සති සූත‍්‍ර දේශණාව වදාරා විග‍්‍රහ කර දුන් සේක. මෙසේ දේශණා කර විග‍්‍රහකර දුන් ආනාපාන සති සූත‍්‍ර දේශණාව මීට පෙර භාවිතයේ තිබූ අනරිය වූත්, ලෞකික වූත් ආනාපානසති භාවනා ක‍්‍රමයට හාත්පසින්ම වෙනස් එකකි. එය අර්ථ ගැන්වූයේ අරිය විනයට ගැළපෙන පරිදි අර්ථ, ධර්ම, නිරුක්ති සහිතවය.

”සන්ති භික්‍ඛවේ, භික්‍ඛු ඉමස්මිං භික්‍ඛු සංඝේ ආනාපානසති භාවනානුයෝගමනුයුත්තා විහරන්ති. ආනාපාන සති භික්‍ඛවේ භාවිතා බහුල කථා මහප්පලා හෝති මහානිසංසා, ආනාපානසති භික්‍ඛවේ භාවිතා බහුලී කථා චත්තාරෝ සතිපට්ඨානේ පරිපුරෙන්ති. චත්තාරෝ සතිපට්ඨානේ භාවිතා බහුලී කථා සත්ත බොජ්ජංගේ පරිපුරෙන්ති. සත්ත බොජ්ජංගේ භාවිතා බහුලීකා විජ්ජාවිමුක්තිං පරිපුරෙන්ති.”

මෙහි තේරුම :- ”මහණෙනි මම ඔබලාට ආනාපාන සති භාවනාව දේශණා කරමි. මෙය සියලු භාවනා ක‍්‍රම වලට වඩා පහසුවෙන් හා ඉක්මනින් සතර සතිපට්ඨානය සම්පූර්ණ කරගෙන සත්ත බොජ්ජංග සම්පූර්ණ කරගෙන විද්‍යා විමුක්තිය පූර්ණ කර ගතහැකි මහත්ඵල සහිත වූ මහානිසංස ඇති භාවනා ක‍්‍රමයකි. මෙයම වඩ වඩාත් භාවනා කරන්න. අනිකුත් සියලු භාවනා ක‍්‍රම වලින් ලබාගත හැකි ධ්‍යාන හා මාර්ගඵල මෙම ආනාපානසති භාවනාව තුළින් පහසුවෙන් හා ඉක්මණින් ලබාගත හැකිය. ඒ නිසා මේ අරිය භාවනා ක‍්‍රමය ඔබලාට නිර්දේශකර අනුදැන වදාරමි.”

බුදුපියාණන් බුද්ධත්වයට පත්වීමේදී ද උපකාර කරගත්තේත්, භාවිතා කළේත්, මෙම ආනාපානසති අරිය භාවනා ක‍්‍රමයයි. මෙසේ එදා දේශණා කර වදාළ ආනාපානසති භාවනාව අතීතයේ පටන් පැවත ආ සම්මත ලෞකික ආනාපානසති භාවනා ක‍්‍රමයම නොවේ. මෙය අරහත් බවට පත්වූ සමහර ශ‍්‍රාවකයින් වහන්සේලා පවා දැන නොසිටි නිසා සියලුම භික්ඛු සංඝයා වහන්සේලා වෙත මෙය දේශණා කර ධර්ම අර්ථය මතුකර පෙන්වා දුන් බවත් ඉතාම පැහැදිළිය.

සංයුක්ත නිකායේ ආනාපාන සංයුක්තයේ බොහෝමයක් සූත‍්‍ර ධර්ම වලද මෙම ආනාපාන සති සූත‍්‍රය වරින්වර නැවත නැවතත් දේශණා කර වදාරා ඇත. එහි දැක්වෙන පරිදි බුදුපියාණන්වහන්සේ පවා වරින් වර තම ශ‍්‍රාවකයින්ගෙන් වෙන්වී මාසයක් දෙකක් තනිවම ආනාපාන සති භාවනාවෙහි යෙදෙමින් ඉහාත්ම සුඛ විහරණය ලබා ගත්හ. මේ අනුව බලනවිට බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ පරිදි මෙම අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය අරහත් ඵල ලැබූ, මඟඵල ලැබූ සහ මඟඵල නොලැබූ, මඟඵල ලබන්නට උත්සාහ දරන යන තුන් කොටසටම සුදුසු වූ මහත්ඵල ලබාදෙන, මහානිසංස සහිත එකම භාවනා ක‍්‍රමයයි.

මෙම උතුම් භාවනා ක‍්‍රමයෙහි ධර්ම අර්ථයම අද නැවතත් සොයා මතුකර ගෙන අරිය භාවනාවක් ලෙසින් භාවිතයට ගන්නට මිනිසුන්ට මඟ කියාදිය හැකිනම් බොහෝ මිනිසුන්ට අද පවා නිවන් අවබෝධ කරගැනීමට නියත වශයෙන්ම වාසනාව ලැබෙනු ඇත. මේ අනුව ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි සඳහන් ධර්ම අර්ථයම මතුකර තේරුම් ගැනීමට උත්සාහ කළ යුතුය.

”කථං භාවිතාච භික්ඛවේ ආනාපාන සති කථං බහුලී කථා මහප්ඵලා හෝති මහානිසංසා, ඉධ භික්‍ඛවේ භික්‍ඛු ආරඤ්ඤගතෝවා, රුක්ඛමූලගතෝවා, සුඤ්ඤාගාර ගතෝවා නිසීදති පල්ලංඛං ආභූජිත්වා උජුං කායං පණිධාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝ පස්ස සති”

මෙම පාඨයෙන් පෙන්වා විග‍්‍රහකර ඇත්තේ ආනාපානසති භාවනාව වඩන්නට උත්සාහ දරණ කෙනෙකු විසින් සම්පූර්ණ කරගත යුතු පූර්ව කොන්දේසි කිහිපයකි. මේවා ඉතා ප‍්‍රවේශමෙන් කියවා මෙහිදී බුදුපියාණන් ගෙනහැර පා වදාළ ධර්ම අර්ථයම අවබෝධ කරගත යුතුය. යම් කෙනෙකු භාවනාව ආරම්භ කරන්නට පෙර

1. ආරඤ්ඤ ගත විය යුතුය.
2. රුක්ඛමූල ගත විය යුතුය.
3. සුඤ්ඤාගාර ගත විය යුතුය.

1. ආරඤ්ඤගතෝවා යන පදයේ ලෞකික වශයෙන් සම්මත කරගත් අද භාවිතයේ පවතින අර්ථය මහ කැලෑවකට, වනාන්තරයකට ගොස් භාවනා කිරීමයි. එසේත් නැතිනම් කැලෑ ප‍්‍රදේශවල පිහිටි ආරණ්‍ය සේනාසනයකට ගොස් භාවනා කිරීමයි.

ආරඤ්ඤගතෝවා යන පදයේ අරිය විනයේ එන ලෝකෝත්තර ධර්ම අර්ථය මීට හාත්පසින්ම වෙනස්ය. රඤ්ඤ යනු ”රණබිම, යුධබිම” යන අර්ථයයි. ආරඤ්ඤ යනු රණබිමෙන්, යුධබිමෙන් ඉවත් වූ යන අර්ථයයි. අද ගිහි ගෙදරක වාසය කරන හෝ පන්සලක වාසය කරන හැම කෙනෙකුම තමන් දැන හෝ නොදැන ජීවත්වන්නේ යුධබිමකය. රණබිමකය. තම සිත නිරන්තරයෙන්ම ගෙදර ප‍්‍රශ්න නිසා, අනෙක් ලෝකයාගේ ප‍්‍රශ්න නිසා, දේශපාලන ප‍්‍රශ්න නිසා යුධබිමක සිටින්නෙකුගේ තත්ත්වයට පත්වී අසහනයෙන්, ගින්නෙන් දැවි දැවී හැම මොහොතක්ම ගත කරයි. ගුවන් විදුලි යන්ත‍්‍ර, රූපවාහිනි යන්ත‍්‍ර, දුරකථන, පුවත්පත්, ඕපා¥ප ආදී සියල්ලම සිත ගිනි අවුළුවන සිත යුධබිමක සිටින්නෙකුගේ ස්වරූපයට පත්කරන මූලාශ‍්‍රයෝය. තමන් මේ යුධ තත්ත්වයෙන් වෙන්වී තම සිත රණ තත්ත්වයෙන් අරණ තත්ත්වයට වෙනස් කරගෙන තම නිවස තුළම හෝ ගෙවත්තේම හෝ නිදහස් තැනක තැන්පත්වීම ආරඤ්ඤගතෝවා යන වචනයේ ලෝකෝත්තර ධර්ම අර්ථයයි.

මහ කැළයකට හෝ වනයකට හෝ භාවනා මධස්ථානයකට හෝ ගියත් තම සිත තුළ පැසවන්නේ සිත ගිනි අවුළුවන සුළු රාග, ද්වේෂ, මෝහ අරමුණු නම්, සිතුවිලි නම් එතැන ආරඤ්ඤ ගතවීමක් නැත. එතැන ඇත්තේ රණබිමක ස්වරූපයයි. මේ නිසා භාවනාවට සැරසෙන කෙනෙකු පළමු පියවර ලෙසින් තම සිත රාගයෙන් ඇලීමෙන්, ද්වේෂයෙන් ගැටීමෙන්, මෝහයෙන් මුළාවීමෙන් නිදහස් කරගෙන භාවනාව ආරම්භ කිරීම අරිය විනයේ ආරඤ්ඤගතෝවා වීමයි.

2. රුක්ඛමූලගතෝවා යන පදයද ලෞකික හා ලෝකෝත්තර යන දෙයාකාරයෙන්ම තේරුම්ගත යුතුය. එහි අද භාවිතා කරන සම්මත ලෞකික අර්ථය කැළේ මහ ගසක් මුලට වී භාවනා කිරීමයි. නමුත් මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය ඊට හාත්පසින්ම වෙනස්ය. රුක්ඛ යනු ආරක්ෂා වීමයි. සිත රැක ගැනීමයි. විඤ්ඤාණයෙන් ක‍්‍රියාත්මක වන සිතක් නිතරම ඇලීමට, ගැටීමට, මුළාවීමට කැමතිය. තම විඤ්ඤාණය නිරතුරුවම විවිධ ආකාරයේ මායා සිතුවිලි මවාපා පිය මධුර දේ කෙරෙහි සිත අලවයි. නොසැලෙන, නොසෙල්වන චිත්ත ධෛර්යයකින් යුක්තව සිත රැුක ගැනීම රුක්ඛමූල ගතෝවා වීම යන්නයි. කාටවත් පළවා හරින්නට නොහැකි, කවුරුවත් බාධා නොකරන, වැස්සට, අව්වට ආරක්‍ෂා විය හැකි බාධා රහිත ස්ථානයක් භාවනාව සඳහා තෝරා ගැනීමද රුක්ඛමූලගතෝවා යන්නෙහිම ධර්ම අර්ථයයි.

3. සුඤ්ඤාගාරගතෝවා යන පදයේද ලෞකික සහ ලෝකෝත්තර අර්ථයන් දෙකක්ම ඇත. මේ අර්ථ දෙකම නිවැරදිව තේරුම් ගෙන ධර්ම අර්ථයෙන්ම සුඤ්ඤාගාරගතවීම භාවනාව කරගෙන යාමට උපකාර වෙයි. පාළු හිස් ගෙදරකට යාම හෝ මිනී කනත්තකට යාම, ගල් ගුහාවකට යාම, සුඤ්ඤාගාර ගතවීමක් ලෙස අද සම්මතයේ භාවිතා වෙයි. සුඤ්ඤාගාරගතෝවා යන්නෙහි ධර්ම අර්ථය තමාගේ සිත තුළම ඇති කරගත යුතු නිදහස් තත්ත්වයකට සිත පත්කර ගැනීමයි. රණබිමෙන් තොර වූ ආරඤ්ඤගත වීමෙන් පසුව රුක්ඛමූලගතවීමෙන් පසුව සිත චංචල නොවන, භාවනාවට සුදුසු නිදහස් තත්ත්වයකට සිත පත්කරගත හැකිවෙයි. අතීතයේ තමන්ම එකතුකරගත් රාග, ද්වේෂ, මෝහ මූලික කාම විතර්ක සිතුවිලි වලින් නිදහස්ව සිතට එවන් සිතුවිලි අරමුණු ගලා ඒම නවත්වා ගෙන භාවනා කිරීමට සුදුසු තත්ත්වයකට තම සිතම සුඤ්ඤාගාරයක තත්ත්වයට පත්කර ගැනීමයි. භාවනා කිරීමට ඉඳගත් මොහොතේ පටන්ම සිතෙහි මතුවන්නේ භෞතික, ලෞකික බලාපොරොත්තු නම් කාම විතර්ක නම් එතැන භාවනාවට සුදුසු සිතක් පවතින්නේ නැත. අතීතය අමතක කර ඉන්ද්‍රිය සංවරය තුළින් සිත තැන්පත් කර ගැනීම කර්මස්ථාන වැඞීමට සුදුසු පරිදි සිත සුඤ්ඤාගාරගත කර ගැනීම මෙහිදී බලාපොරොත්තු වන තත්ත්වයයි.

මේ පියවර තුනම නිවැරදිව තේරුම්ගත් කෙනෙකුට බුදුපියාණන් දේශණා කළ ආනාපානසති භාවනාවද නිවැරදිවම තේරුම්ගෙන භාවිතා කළහැකි වෙයි.

”නිසීදති පල්ලංකං ආභූජිත්වා” යනුවෙන් ප‍්‍රකාශ කළේ පළක් බැඳ පර්යංකයෙන් හිඳගැනීම ලෙස අද සම්මතයේ ලබාදෙන අර්ථ විග‍්‍රහයයි. නමුත් අරිය විනයේ ධර්ම අර්ථය වන්නේ මහන්තත්තකමෙන් ඉවත්වී, උද්ධච්චකමෙන් ඉවත්වී, අභිමානයෙන්, මමත්ත්වයෙන් තොරව තම සිත පහළම අංකයට ගෙනවිත්, මානයෙන් තොරවී අවංකව, පිරිසිදුව භාවනාවට ගැළපෙන ලෙසින් සිත සකස්කර ගැනීමයි. උච්චාසයන, මහාසයන තත්ත්වයෙන් සිත, කය නිදහස් කරගෙන බිමට බැස භාවනාවට ගැළපෙන සේ සිත ගත සකස්කර ගැනීමයි.

”උජුංකායං පණිදාය පරිමුඛං සතිං උප්පට්ඨපෙත්වා” යන පදයේ සම්මත තේරුම කය සෘජුව තබාගෙන හොඳ සිහියෙන් යුතුව ක‍්‍රියා කිරීම යන්නයි. මෙහි ලෝකෝත්තර ධර්ම අර්ථය හේතුඵල දහමට ගළපා බලා, සියලු වැරදි කායකර්ම වලින් වැළකී යහපත් කාය කර්ම සිහිපත් කිරීමයි. සතියෙහි පිහිටා උට්ඨාන වීර්යයෙන් ක‍්‍රියා කිරීමයි.

”සෝ සතෝව අස්සසති සතෝ පස්ස සති” ”සෝ” යනු හෙතෙම, ඔහු යනුයි.

මෙහි කලින් සඳහන් කළ පූර්ව කොන්දේසි සම්පූර්ණ කරගත් ඔහු සත්‍යාවබෝධයෙන්ම ලැබූ සත්‍ය ධර්මාවබෝධය නිසාම කුසල ධර්ම ආශ‍්‍රය කරයි. අකුසල ධර්ම ප‍්‍රහාණය කරයි. එසේත් නැතිනම් ආශ‍්‍රය කළයුතු දහමත් දනී. ප‍්‍රහාණය කළයුතු අධර්මයත් දනී. කුසලය ආශ‍්‍රය කළයුතු බවත් දනී. අකුසලය ප‍්‍රහාණය කළ යුතු බවත් දනී. ”ආනාපාන සති” යනු වචන තුනකි. ආන = අස්ස, පාන = පස්ස. ”අස්පස් කරනවා” යනුවෙන් අපේ පැරන්නන් අතර ගැමි වහරේ එන ව්‍යවහාර වචනයක් ඇත.” ගෙයක් අස්පස් කරනවා, කාමරයක් අස්පස් කරනවා” යනු ඒ කාමරයේ ඇති ප‍්‍රයෝජනයට ගතහැකි වටිනා දේ පිසදමා ශුද්ධ කර භාවිතයට ගතහැකි පරිදි අස් කිරීමත්, ප‍්‍රයෝජනයට ගත නොහැකි නොවටිනා කුණු කන්දල් පස් කිරීමත් ප‍්‍රහාණය කර ඉවත් කිරීමත්ය. මේ ආකාරයෙන්ම හැම පෘථග්ජන මිනිසෙකුගේම චිත්තසංථානයද අස්පස් කරගත යුතු තත්ත්වයෙන්ම පවතී. ආනාපාන සති සූත‍්‍ර දේශණාවෙහි පෙන්වාදුන් අස්ස හා පස්ස යන වචන දෙකෙහි ධර්ම අර්ථය කුසලය ආශ‍්‍රය කිරීමත් අකුසලය ප‍්‍රහාණය කිරීමත්ය.

ත‍්‍රිපිටකයේ මජ්ක්‍ධිම නිකායේ අනුපද වග්ගයේම ආනාපානසති සූත‍්‍ර දේශණාවට පෙර ඒ අසලින්ම සඳහන් ”සේවිතබ්බා අසේවිතබ්බා” නමැති සූත‍්‍ර දේශණාවක් ද ඇත. මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍රයෙන් විස්තර සහිතව පියවරෙන් පියවර විග‍්‍රහකර දේශණා කර පෙන්වා වදාළ සේවනය කළයුතු = අස්ස හා සේවනය නොකළ යුතු = පස්ස යන සියලු කුසල් හා අකුසල් දෙකොටසකට බෙදා ඉතාමත් පිරිසිදු ලෙස පෙන්වාදී ඇත. මෙම සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේ ගෙනහැර දැක්වූ කරුණු යම් තරමකට හෝ තේරුම්ගත් කෙනෙකුට ආනාපානසති සූත‍්‍ර දේශණාවේ දේශණාකර වදාළ ”සතෝව අස්සසති සතෝව පස්සසති” යන්නෙන් අදහස් කළ කරුණු දෙවර්ගයම ඉතාම පැහැදිළිව තේරුම් ගත හැකි වනු ඇත. මේ උතුම් අදහස ඇතිවම ත‍්‍රිපිටකයේ ආනාපානසති සූත‍්‍ර දේශණාවට කලින් ඒ අසලින්ම මෙම ”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍රයද ලියාතැබූ බව ඉතාම හොඳින් තේරුම්ගත හැකිවෙයි. මේ සූත‍්‍ර ධර්ම දෙකම කියවා ඒවායේ එන ධර්ම අර්ථයන් තේරුම් ගත් කෙනෙකුට පමණක් නිවන් අවබෝධ කරගන්නට උපකාර වන

ආනාපානසති භාවනාවද නොවැරදීම භාවිතා කරන්නට මනස යොමුවනවා ඇත. මේ කරුණු තේරුම් ගන්නට තරම් හැකියාවක් නොමැතිව කවුරු හෝ කවදා හෝ ත‍්‍රිපිටකයේ එන උතුම් ආනාපානසති දේශණාව සිංහලයට පරිවර්තනය කිරීමේදී ”ප‍්‍රාණයාම” නමැති වේද භාවනාවේ ඇතුළත් අදහසට ගැළපෙන පරිදි ”ආශ්වාස ප‍්‍රාශ්වාස” යන හුස්ම ඉහළ පහළ දැමීම අරමුණු කරගත් වචන අස්ස – පස්ස වෙනුවට ලියා තැබූහ. මේ අස්ස යන පදය ”අස්සාස” යන පදය ලෙසින් ගෙන එය ආශ්වාස කිරීම ලෙසත්, පස්ස යන පදය ”පස්සාස” ලෙසින් ගෙන එය ප‍්‍රාශ්වාස කිරීම ලෙසත් අර්ථ ගන්වා බුද්ධ දේශණාවේ එන උතුම් භාවනා ක‍්‍රමය ප‍්‍රාණයාම භාවනාවක් බවටම පරිවර්තනය කර ගත්හ. අද ලොවපුරා ලක්ෂ සංඛ්‍යාත බෞද්ධයා මෙම අරිය භාවනා ක‍්‍රමය ගැන කරුණු කාරණා තේරුම් ගන්නට නොහැකිව, අනරිය භාවනා ක‍්‍රමයක් භාවිතා කරමින් අතරමංවී ඇති බව තවදුරටත් මේ පොත කියවන කිහිප දෙනෙකුට හෝ තේරුම්ගත හැකිවෙනු ඇත.

(”සේවිතබ්බා අසේවිතබ්බා” සූත‍්‍ර දේශණාවේ සඳහන් ධර්ම කරුණු පසු පරිච්ෙඡ්දයක විස්තර වශයෙන් ලියා තබන අතර ආනාපානසති සූත‍්‍ර දේශණාවේ ධර්ම කරුණු මුළින් පැහැදිළි කරදෙන්නට අදහස් කරමි.)

1. ආනාපානසති සූත්‍රයේ සඳහන් කායානුපස්සනාව

”කථං භාවිතාච භික්‍ඛවේ, ආනාපානසති, කථං බහුලීකථා චත්තාරෝ සතිපට්ඨානෝ පරිපුරෙති. යස්මිං සමයේ භික්‍ඛවේ”

i. භික්‍ඛු දීඝංවා අස්ස සංතෝ දීඝං අස්සසාමිති පජානාති
දීඝංවා පස්ස සංතෝ දීඝං පස්සසාමිති පජානාති
ii. රස්සංවා අස්ස සංතෝ රස්සං අස්සසාමිති පජානාති
රස්සංවා පස්ස සංතෝ රස්සං පස්සසාමිති පජානාති
iii. සබ්බකාය පටිසංවේදි අස්සසිස්සාමිති සික්ඛති
සබ්බකාය පටිසංවේදී පස්සසිස්සාමිති සික්ඛති
iv. පස්සං භයං කායසංකාරං අස්සසිස්සාමිති සික්ඛති
පස්සං භයං කායසංකාරං පස්සසිස්සාමිති සික්කති
කායේකායානුපස්සී භික්ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු විහරති
ආතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං කායේසු කායඤ්ඤතරාහං
භික්ඛවේ ඒවං වදාමි යදිදිං අස්සාසපස්සාසා
තස්මාතිහ භික්‍ඛවේ කායේ කායානු පස්සී තස්මං
සමයේ භික්‍ඛු විහරති”

ආනාපානසති සූත‍්‍ර දේශණාවේ පිළිවෙලින් පියවර දාසයක්ම විග‍්‍රහ කර ඇති අතර මෙම පියවර දාසයම ගිරිමානන්ද සූත‍්‍රයේද ආනාපාන සතිය ලෙසින්ම ඉදිරිපත් කර ඇත. ආනාපානසති සූත‍්‍ර දේශණාවේ මෙම පියවර 16 කොටස් හතරකට බෙදා දක්වා ඇත. මුල් පියවර හතර කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද දෙවන පියවර හතර වේදනානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද තුන්වන පියවර හතර චිත්තානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසින්ද හතරවන අවසාන පියවර හතර ධම්මානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාව ලෙසද ඉතාමත් පිරිසිදු ලෙසින්ම විභජනය කර, විග‍්‍රහකර, විස්තර කරදී ඇත.

ඉහත සඳහන් කළ පාලි පාඨවලින් දැක්වෙන්නේ පළමුවන පියවර වූ කායානුපස්සනාව වැඩෙන ආනාපානසති භාවනාවේ එන පියවර හතරයි. එහිම එන කරුණු කිහිපයක් විස්තර වශයෙනුත් අර්ථ, ධර්ම, නිරුක්ති වශයෙනුත් පැහැදිළිකර ගැනීමෙන් ආනාපානසති භාවනා කිරීමෙන් කායේකායානුපස්සනාව වැඩෙන ආකාරය තේරුම් ගත හැකිය. ”මහණෙනි, ආනාපානසති භාවනාව නිවැරදිව දැන තේරුම් ගෙන නිතර නිතර බහුල ලෙස භාවනා කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙයි. සතර සති පට්ඨානය නිතර නිතර වැඩෙන විට සත්තබොජ්ජංග වැඩෙයි. සත්තබොජ්ජංග වැඞීමෙන් විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි. විද්‍යා විමුක්තිය යනු ප‍්‍රඥා විමුක්තියයි. නිවන් අවබෝධයයි”.

කායානුපස්සනාව විග‍්‍රහකර දේශණාකළ පදවැල් වල ”පජානාති” යන පදය මුල් පේළි හතරේම සඳහන් වේ. පජානාති යන පදය ආනාපානසති සූත‍්‍ර දේශණාවේ සඳහන් පද අතරින් ඉතාමත්ම වැදගත් පදයකි. මෙහි තේරුම නිවැරදිවත් පූර්ණ ලෙසත් මුළින්ම තේරුම්ගත යුතුමය.

”පජානාති” යන පදයෙහි ධර්ම අර්ථය පිරිසිඳ දැන ගැනීම යන්නයි. ”පරිජානාති” ”පරිජානං” යන පදවලින් ද බොහෝ තැන්වල සඳහන් මෙම පදයම ”පරිඤ්ඤෙයිය” යන පදයෙන්ද විග‍්‍රහකර ඇත. මෙසේ පිරිසිඳ දැනගත යුතු වන්නේ හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ‍්‍රය කළයුතු, සේවනය කළයුතු කුසල ධර්මයන් තෝරාබේරා ගෙන ආශ‍්‍රය කිරීමත් (අස්ස) හේතුඵල ධර්මයට බහා ගළපා බලා ආශ‍්‍රය නොකළ යුතු ප‍්‍රහාණය කළයුතු (පස්ස) අකුසල ධර්ම ප‍්‍රහාණය කිරීමත් යන දෙපැත්තයි. මේ තේරුම් නොගත් පිරිසිඳ දැන නොගත් කෙනෙකු ”නප්පජානාති” යන පදයෙන්ද බුද්ධ භාෂිතයේදී හඳුන්වා දී ඇති බවත් තේරුම්ගත යුතුය.

අරිය මාර්ගය වැඩෙන අරිය මාර්ගයට උපකාරවන කුසල ධර්මයන් පිරිසිඳ දැන ආශ‍්‍රය කිරීමත් අරිය මාර්ගය වසා සිටින අරිය මාර්ගයට බාධක අකුසල ධර්මයන් පිරිසිඳ දැන ඒවා ප‍්‍රහාණය කර ඉන් ඉවත්වීමත් යන දෙකම ආනාපානසතිය නිවැරදිව වඩන කෙනෙකු අනිවාර්යයෙන්ම දැනගෙන භාවිතා කළයුතු දෙපැත්තයි. ”අස්සසාමිති පජානාති, පස්සසාමිති පජානාති” යන මේ දෙපැත්ත පිරිසිඳ දැන ක‍්‍රියාකළ යුතු බවයි.

”සතෝව අස්ස සති”,”සතෝව පස්ස සති” එනම් සතියෙහි පිහිටා ඇතුළට ගෙන ආශ‍්‍රය කළ යුතු ධර්මයත්, ප‍්‍රහාණය කර බැහැර කළයුතු අධර්මයකුත් ලෙසින් දෙයාකාරයක්ම ඇති බව පිරිසිඳ දැන නොගත් කෙනෙකුට ආනාපානසති භාවනාවෙන් කායානුපස්සනාව එනම් කාය පස්සදිය, කය සංසිඳවීමක් කරගත නොහැකිය. මේ නිසා ”පජානාති” යන වචනයෙන් හතර වරක්ම අවධාරණයෙන් පළමුකොටම ප‍්‍රකාශකර සිටියේ, ඉතාම වැදගත් දෙයකි. යෝනිසෝමනසිකාරයෙන් යුතුව දෙයාකාර වූ ක‍්‍රියාවන්ම තෝරා බේරාගෙන කටයුතු කළයුතු බව අවධාරණය කිරීමයි.

හුස්ම ඇතුළට ගැනීමත්, හුස්ම පිට කිරීමත් එක ආකාරයක අස්ස පස්ස කිරීමකි. මේ සඳහා ”පජානාති” යන පදයෙන් අවධාරණය කර පෙන්වූ පිරිසිඳ දැන ගැනීමක් අවශ්‍ය නොවේ. හුස්ම ඇතුළට ගැනීම හා පිට කිරීම කල්පනාවක් ඇතත් නැතත් හොඳ සිහියක් ඇතත්, නැතත් මරණ මොහොත දක්වාම නිතැතින්ම සිදුවන දෙයකි. කොතරම් හොඳින් හුස්ම ගත්තත් දිග, කෙටි වශයෙන් හුස්ම ගත්තත් අනිත් ඉන්ද්‍රියයන් පහකින් කරන ක‍්‍රියා යහපත් නොවේ නම් ඒ අනෙක් ක‍්‍රියා නිසා ඇතුළට ගන්නා දේ කෙළෙස් නම් අයහපත් නම් අයහපත් දේ බැහැර කරනු වෙනුවට යහපත් අයහපත්, කුසල් අකුසල්, සියල්ලම බැහැර කරයි නම් එවිටද ඇතුලාන්තය, අභ්‍යන්තරය පිරිසිදු විය නොහැකිය. ඒ නිසා තේරුම් ගතයුතු වන්නේ ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම ආශ‍්‍රය කොටගත් භාවනා ක‍්‍රමයක් ද ඇති බවත් එය අරිය භාවනා ක‍්‍රමය නොවන බවත්ය.

සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රය කියවා සේවනය කළයුතු කුසලය හා අසේවනය කළයුතු සේවනයෙන් බැහැර කර ඉවත් කළයුතු අකුසලය කෙළෙස් තේරුම්ගත් කෙනෙකුට ඉතාම පහසුවෙන් ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ සඳහන් කළ,

”සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමිති
සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමිති සික්‍ඛති”

යනුවෙන් දේශණා කළ ”සබ්බකාය” හා ”පටිසංවේදී” යන පද දෙකේ තේරුමද අරිය විනයෙහි එන ධර්ම අර්ථයෙන්ම තේරුම් ගත හැකිවෙයි. කායානුපස්සනාව – කාය පස්සදිය – කය සංසිඳවීම සිදුකර ගැනීමට නම් මේ කය යනු කුමක්දැයි මුළින්ම තේරුම් ගත යුතුය. කාය යනු ක‍්‍රියා හයක එකතු වීමකි. මේ ක‍්‍රියා හය නිසාම මෙය කයක් වූවා මිස ක‍්‍රියා හය නැති කලක මෙය කඳක් මිස කයක් වන්නේද නැත. ”සබ්බ කාය” ලෙසින් පෙළ දහමේ විග‍්‍රහ කළේ ඇසින් කරන ක‍්‍රියාවන්, කනෙන් කරන ක‍්‍රියාවන්, නාසයෙන් කරන ක‍්‍රියාවන්, කටින් කරන ක‍්‍රියාවන්, කයෙන් කරන ක‍්‍රියාවන් හා මනසින් කරන ක‍්‍රියාවන්ය. මේ ක‍්‍රියා හය නිසාම චක්ඛුකාය – රූපකාය, සෝතකාය – ශබ්දකාය, ඝාණකාය-ගන්ධකාය, ඡුව්හාකාය – රසකාය, ස්පර්ශකාය – කායකාය, මනෝකාය – ධම්මකාය ලෙසින්ද මේ ක‍්‍රියා හඳුන්වන බව ඉතාම පැහැදිළිය.

මේ ක‍්‍රියා හයම කරන්නට දොරවල් හයක්ම ඇත. මේ දොරවල් හයෙන්ම යමක් ඇතුළට ගතහැකි නිසා මේ කයට අපි ”ගත” යන පදයද භාවිතා කරමු. හොඳ – නරක, යහපත් – අයහපත්, කුසල් – අකුසල් යන දෙයාකාරයෙන්ම යුතුවූ සියලුම දේ ඇතුළට ගත හැකිවන්නේ මේ දොරවල් හයෙන්මය. ඇතුලාන්තය ශූද්ධ පවිත‍්‍ර කරගන්නට නම් ඇතුළට ගත් නරක දේ පිට කළ යුතු වන්නේද මේ දොරවල් හයෙන්මය. ඒනිසා ”සබ්බකාය” ලෙස අදහස් කරන විට හැම කෙනෙකුම තමාගේම ඉන්ද්‍රියයන් හය හා ඒ ඉන්ද්‍රියයන් හයෙන්ම කරන ක‍්‍රියාවන් හයද නිවැරදිව තේරුම් ගත යුතුය.

”පටිසංවේදී” යන පදයේද ධර්ම අර්ථයම තේරුම් ගත යුතුය. ”සංවේදිතාවය” යන පදය ඔබ අසා ඇති නිසා දැනටමත් දන්නා දෙයකි. ”සං” යනු යමක් එකතුරගත්, රැස්කරගත්, උපාදානය කරගත් ගති ලක්ෂණ යන තේරුමයි. එසේ එකතු කරගත් දේ නිසා විඳින වින්දනය, ලබන වේදනාව ”පටිසංවේදී” යන්නයි. පටි යනු බැඳීමයි. යම් කෙනෙකු කරන, කියන, හිතන සියලුම ක‍්‍රියා නිසා යමකට, යමෙකුට සිතින් බැඳෙයි. එසේ සිතෙන් බැඳෙන්නේ යම් වින්දනයක්, වේදනාවක් විඳීමට තමා කැමති වූ නිසාය. ඉන්ද්‍රියයන් පිනවීම ලෙසින් සාමාන්‍ය ව්‍යවහාරයේ භාවිතා කරන පදය මේ සංවේදීතාවයයි.

1. ඇසින් බලා රූපයක් දැක, චක්ඛු විඤ්ඤාණයක් බිහිවෙයි. ඇස පිනවීම යනු මෙයයි ඇසින් විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
2. කනෙන් යම් ශබ්දයක් අසා සෝත විඤ්ඤාණයක් බිහිවෙයි. කන පිනවීම යනු මෙයයි. සෝත විඤ්ඤාණ ආහාර බිහිවෙයි.
3. නාසයෙන් යමක ගඳ සුවඳ ගෙන ඝාණ විඤ්ඤාණයක් බිහිවෙයි. නාසය පිනවීම යනු මෙයයි. ඝාණ විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
4. දිවෙන් ආහාරයක රස විඳීමෙන් ජිව්හා විඤ්ඤාණය බිහිවෙයි. දිව පිනවීම යනු මෙයයි. ජිව්හා විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
5. කයට යම් ස්පර්ශයක් ලැබීම නිසා පොට්ඨබ්බ විඤ්ඤාණය බිහිවෙයි. කය පිනවීම යනු මෙයයි. කාය විඤ්ඤාණ ආහාර ගැනීම යනු මෙයයි.
6. මනසට යම් මතක සටහනක් ගෙන මනෝ විඤ්ඤාණය බිහිවෙයි මන පිනවීම යනු මෙයයි. මනෝ විඤ්ඤාණ ආහාර උපදින්නේ මෙසේයි.

”සබ්බ කාය” යනුවෙන් සඳහන් කළේ මෙම ක‍්‍රියාවන් හයම නිසාම උපදින විඤ්ඤාණ ශක්තියටයි. මේ ක‍්‍රියා හය නිසාම කාය පටිසංවේදී බවද ඇතිවෙයි. චිත්ත පටිසංවේදී බවද ඇතිවෙයි. වෙන කිසිම ආකාරයකින් කාය පටිසංවේදී බව හෝ චිත්ත පටිසංවේදී බවක් කිසි කෙනෙකුට ඇතිවිය නොහැකිය. පටිසංවේදී බව යනු විඤ්ඤාණ ශක්තිය ඉපදවීමයි.

කය සංසිඳවීමට නම් මේ ක‍්‍රියා හයෙන්ම (එකතු කරන) ආශ‍්‍රය කරන හොඳ දේ ආශ‍්‍රය කිරීමත්, ආශ‍්‍රය නොකළ යුතු අයහපත් දේ බැහැර කිරීමත් යන ක‍්‍රියා දෙකම කළ යුතුය. හොඳ නරක සියල්ලම ආශ‍්‍රය නොකිරීම හෝ සියල්ලම ආශ‍්‍රය කිරීම හෝ යන දෙකම අන්ත දෙකකි. සියල්ලම ආශ‍්‍රය නොකිරීම නිසා සිත අසංඥ තත්ත්වයකට පැමිණීමත් සියල්ලම ආශ‍්‍රය කිරීම නිසා දාහය, ගින්න – අභිජ්ඣා දෝමනස්ස බිහිවීමත් සිදුවෙයි. අභිජ්ඣා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. එය දුකට, දොම්නසට මුල්වන හේතුවයි. කාය පස්සදිය නැතිවන්නේ ක‍්‍රියාව අසංවර වන්නේ ”දාහය” ”ගින්න” අභිජ්ඣා ගති ලක්ෂණයන් සිතේ උපදින නිසාමය.

”සබ්බකාය පටිසංවේදීතාවය” පිළිබඳව මෙතරම් දීර්ඝ විස්තරයක් කළේ මුළු ආනාපානසති භාවනා ක‍්‍රමයම රැඳී පවතින්නේ මේ ”සබ්බකාය පටිසංවේදී” බව යන්නෙහි දෙපැත්තම නිවැරදිව තේරුම් ගැනීම මත නිසාමය. කය ගිනිගන්නා, කය දාහයට පත්වන අභිජ්ඣා ගති ලක්ෂණයන් සේවනය කිරීමෙන් බැහැරවිය යුතු බවත් කයෙහි ගින්න නිවන, කය සංසිඳවන, කය නිවන ක‍්‍රියාවන්හි යෙදීම කළ යුතු බවත් අවධාරණය කිරීම සඳහාය. ”කාය” යනු ක‍්‍රියාව යන තේරුම මිස ශරීරය නොවේ.

”පස්සං භයං කාය සංඛාරං” යනුවෙන් අදහස් කළේ කෙනෙකු තුළ සියලු භය ඇතිවන්නේ කාය සංඛාර නිසා බව පෙන්වා දී කාය සංඛාර නිසා උපදින අයහපත් අකුසල් දේ බැහැර කර නිදහස් විය යුතු බවත් පෙන්වා දී ඒ සමඟම යහපත් කුසල් ආශ‍්‍රය කිරීමෙන් සියලු භය සංසිඳෙන බවත් භය සංසිඳීමත් සමඟම කය සංසිඳෙන බවත් පෙන්වා දීමටයි. ක‍්‍රියාවන් යහපත් වීමත් සමඟම අයහපත් ක‍්‍රියාවන් බැහැර කිරීමත් සමඟම කය සංසිඳී – කායානුපස්සනාව වැඞී – ගින්න සංසිඳී – දාහය නැතිවී – භය සංසිඳී නිවුණු කයක ස්වභාවයට පත්වෙයි.

ඉන්ද්‍රියයන් හයම දොරවල් හයක් ඇර තැබුවා සේ විවෘත කර තැබීමෙන් හොඳ නරක සියලුම කුණු එකතු වෙයි. කුණු එකතු කිරීම නැවැත්වීමට නම් තමාගේම ඉන්ද්‍රියන් හයම සංවර කරගත යුතුය. ඒ ආකාරයෙන්ම කුණු සළාහැර පිරිසිදු වීම කරගත හැකිවන්නේද ඒ ඉන්ද්‍රියයන් හයෙන්ම කවදා හෝ අතීතයේ එකතු කර චිත්තසංථානයේ තැන්පත් කර ගබඩාවී පවතින කුණු ගති ගුණ ඒ ඉන්ද්‍රියයන් හයම ආශ‍්‍රයෙන් බැහැර කිරීමෙනි. කුණු ඇතුළට ගත් (ඉන්ද්‍රියයන්) දොරවල් හයෙන්ම කුණු බැහැර කිරීමද කළ යුතුය. මෙය ඉන්ද්‍රිය භාවනාවයි. ඉන්ද්‍රියයන් සංවර කර ගැනීමයි. සංවර සීලයයි. මේ අනුව ආනාපානසති භාවනාව යථා පරිදි අවබෝධ කරගෙන සතියෙන් යුතුව භාවනා කිරීමෙන් සීල, සමාධි, පඤ්ඤා යන තුන් ආකාරයේම ක‍්‍රියාකාරීත්වය පූර්ණ වෙයි.

කායානුපස්සනාව යථා පරිදි සිදුනොවී නම් කය සංසිඳීම සිදුවූයේ නැත්නම් වේදනාව සංසිඳීමක් වේදනානුපස්සනාවේ පිහිටීමක්් හෝ සිත සංසිඳීමක් චිත්තානුපස්සනාවේ පිහිටීමක් හෝ ධම්මානුධම්ම ප‍්‍රතිපදාව පුරාගෙන ධම්මානුපස්සනාව පුරා ගැනීමක් හෝ කිසිසේත්ම සිදු නොවේ.

හුස්ම ගැනීම – ආශ්වාසය – හුස්ම පිට කිරීම – ප‍්‍රාශ්වාසය ලෙසින් අස්ස, පස්ස යන පද අර්ථ ගන්නා එක ක‍්‍රියාවක් දෙස පමණක්ම බලා කය සංසිඳවා ගත නොහැකිය. ක‍්‍රියාවන් හයම දෙස බලා ක‍්‍රියාවන් හයෙන්ම යහපත් කුසල් ආශ‍්‍රය කිරීමත්, අයහපත් අකුසල් බැහැර කිරීමත් කළ යුතුය. මේ අනුව තම තමන්ම තමාගේම ඉන්ද්‍රියයන් හයෙන්ම වටිනා, හරවත්, ප‍්‍රිය මධුර යැයි සිතා එකතු කරගන්නා දේ පිළිබඳව දෙවරක් නොව කිහිපවරක්ම ඉවසා, සිතා බලා එවැනි ප‍්‍රිය මනාප දේ ගින්න, දාහය, අභිජ්ඣා, ශෝකය, භය ඇතිකර වන දේ නම් ඒවා ඇතුළට නොගත යුතුය. සිත කය නිවන භය ඇති නොවන කය සංසිඳෙන දේ නම් ඒවා පමණක් ඇතුළට ගත යුතුය. සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍ර දේශණාවේ ඉතා දීර්ඝ වශයෙන් මේ කරුණු විස්තර කර ඇත. එය කියවා තේරුම් ගැනීම කාටත් ඉතාම ප‍්‍රයෝජනවත් වෙනු ඇත’

2. වේදනානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්

යස්මිං සමයේ භික්‍ඛවේ, භික්‍ඛු
v. පීති පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
පීති පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
vi. සුඛ පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
සුඛ පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
vii. චිත්තසංඛාර පටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
viii. පස්සම් භයං චිත්ත සංඛාර පටිසංවේදි අස්සසිස්සාමිති සික්‍ඛති
පස්සම් භයං චිත්තසංඛාර පටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති

”වේදනාසු වේදනානුපස්සී භික්‍ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු විහරති. ආතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ අභිජඣාදෝමස්සං”

කායානුපස්සනාව වැඩූ කෙනෙකු තම ක‍්‍රියාවන්ගේ වේගය සංසිඳවා ගැනීමත් සමඟම වේදනාව ගැනද යම් තරමක හැඟීමක් ඇතිවෙයි. ඉන්ද්‍රියයන් පිනවීමෙන් ලබන ප‍්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බව හා එවන් ඉන්ද්‍රියයන් පිනවීම අත්හැරීමෙන් ලබන නිරාමිස ප‍්‍රීිතිය, නිරාමිස සුවය හා සිත නිවීමද යම් තරමකට හෝ තේරුම් ගත හැකි වෙයි. කය රමණය කරන ක‍්‍රියාවන් නිසා කාම ප‍්‍රීතියත්, කාම සුඛයත් ඇතිවේ. කාමයෙන් වෙන්වීම නිසා නෙක්ඛම්ම ප‍්‍රීතියත්, නෙක්ඛම්ම සුවයත් ඇතිවෙයි. කාම ප‍්‍රීතිය හා කාම සුඛය යන දෙකම වේදනාවෙන් විඳීමත් ප‍්‍රීතියක් හා සුවයකි. ඒ දෙකම සුළු මොහොතකින් වෙනස් වී දුකට පත් කරවන දුකම උරුම කරදෙන එක දිගටම පැවැත්විය නොහැකි ප‍්‍රීතියක් හා සුවයකි. නෙක්ඛම්ම ප‍්‍රීතිය ඊට හාත්පසින්ම වෙනස් නිරාමිස ප‍්‍රීතියකි. නිරාමිස සුවයකි. මේ ආකාරයෙන්ම කායික ප‍්‍රීතිය, උපධි ප‍්‍රීතියකි. උපධි සුඛයකි. නිරුපදි ප‍්‍රීතිය හා නිරුපදි සුඛය යහපත් එකකි. සාසව ප‍්‍රීතිය හා සාසව සුඛය බැඳීමක්, බරක්, බයක් උපදවයි. අනාසව සුඛය සම්මා සුවයයි. අනරිය ප‍්‍රීතිය අනරිය සුවය සසර ගමන දික් කරන්නකි. අරිය ප‍්‍රීතිය, අරිය සුවය නිර්වේදයිත සුඛයකි. නිදහස්වීමේ සුවයකි. ඒ ආකාරයෙන්ම සමාධි සුවය, උපේක්ඛා සුවයද නිවන් සුවයට මංපෙත් හෙළිකරයි.

මෙහි කළින් දැක්වූ පරිදි සෑම සංඛාර ක‍්‍රියාවක් නිසාම කෙනෙක් යම් විඳීමක් වින්දනයක්, වේදනාවක් ලබයි. මෙය ප‍්‍රිය වේදනාවක් හෝ අප‍්‍රිය වේදනාවක් හෝ මැදිහත් වේදනාවක් හෝ විය හැකිය. අකුසල් කර්මයක් කිරීමෙන් ලබන ප‍්‍රිය වේදනාව හා ප‍්‍රිය සුවය මොහොතකින් දුක්, අප‍්‍රිය වේදනාවක් බවටද පත්වෙයි. ඒ අනුවම කුසල කර්මයක් නිසා කුසල ධර්මයක් කිරීමෙන් ලබන ප‍්‍රීතිය හා සුවය නිරාමිස ප‍්‍රීතියක්ද වෙයි. අත්හැර නිදහස්වීමේ සුවයක් වෙයි.

මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ ප‍්‍රීති, සුඛ, චිත්ත, සංඛාර යන තුන් අවස්ථාවෙහිම අත්හැර නිදහස් විය යුතු ප‍්‍රීතියක්, සුවයක් හා චිත්ත සංඛාර පටිසංවේදී බවක් ඇත. ”පස්ස සිස්සාමිති සික්‍ඛති” යනු ඒ අතහැර මිදී හික්මිය යුතු ප‍්‍රීතියයි. සුඛයයි. චිත්ත පටිසංවේදීතාවයයි. ඒවාගේම ආශ‍්‍රය කළයුතු කුසල මූල ප‍්‍රීතියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදී බවක්ද ඇත. ”අස්ස සිස්සාමිති සික්‍ඛති” කීවේ මේ ආශ‍්‍රය කළයුතු ප‍්‍රීතිය, සුඛය හා චිත්ත පටිසංවේදී බවයි.

වේදනානුපස්සනාව සඳහා වේදනාව සංසිඳීම සඳහා මේ දෙයාකාර ක‍්‍රියාවන්ම කළ යුතුය. අත්හළ යුතු කාම ප‍්‍රීති, කාම සුඛ, කාම චිත්ත පටිසංවේදී බව ආදී කොට ඇති ඉන්ද්‍රියයන් පිනවීමේ ප‍්‍රීති, සුඛ අත්හැර, නිදහස් වී, ශික්ෂණය විය යුතුය. එවාගේම ආශ‍්‍රය කළ යුතු නෙක්ඛම්ම සුවය, අනාසව සුවය, නිරාමිස ප‍්‍රීතිය, සමාධි සුවය ආදී ප‍්‍රීති හා සුඛ අත්විඳ ගත යුතුය. එය අරිය සුවයයි. මේ අනුව වේදනානුපස්සනාව ලැබීමට නම් වේදනාව සංසිඳුවා ගැනීමට නම් මේ සඳහන් කළ දෙයාකාරයේම ආශ‍්‍රය කිරීම හා ආශ‍්‍රයෙන් බැහැර කිරීමද තෝරා බේරාගෙන කටයුතු කළ යුතුමය.

නිරාමිස සුවය හා ප‍්‍රීතියත් නෙක්ඛම්ම සුවය හා ප‍්‍රීතියත් නිරුපදි සුවය හා ප‍්‍රීතියත් සමාධි සුවය හා ප‍්‍රීතියත් යන සියල්ලමත් අත්හැර සිත අසංඥ තත්ත්වයට පත්කර ගත හොත් කිසි විටකත් ධම්මානුධම්ම ප‍්‍රතිපදාව සම්පූර්ණ කරගන්නට උපකාර වන ප‍්‍රසාදයට පත්වූ සිතකින් ධම්මානුපස්සනාවෙහි යෙදීමටද නොහැකි වෙනු ඇත. ඒ නිසා ආශ‍්‍රය කළ යුතු ප‍්‍රීතිියක්, සුඛයක් හා චිත්ත පටිසංවේදීතාවයකුත් ඇති බව නිතරම කල්පනා කර කායානුපස්සනාව හා වේදනානුපස්සනාව වැඩිය යුතුය.

කාම ප‍්‍රීතිය, කාම සුවය, උපධි ප‍්‍රීතිය හා උපධි සුවය, සාසව ප‍්‍රීතිය හා සාසව සුවය ආමිස සුවය හා ආමිස පී‍්‍රිතිය හැම විටම අභිජ්ඣා දෝමනස්සයට මුල්වන බව දැන එය ප‍්‍රහාණය කර දමා ඉන් ලබන වේදනාව ප‍්‍රිය මධුර වුවත් එහි අනිච්ච බව පසක් කොට දැන ඉන් මිදී නිදහස්විය යුතුය. එය වේදනානුපස්සනාව වැඞීමයි. වේදනාව සංසිඳීමයි. ඒ මිස කයෙහි ඇතිවන වේදනා බැලීම වේදනානුපස්සනාව නොවේ.

කාම සුවය කාම ප‍්‍රීතිය නිසා උපධි සුවය ප‍්‍රීතිය නිසා නිතරම සිතෙහි භයක්, බරක්, බැඳීමක් ඇතිවෙයි. එයට හේතුව කොයි මොහොතේ හෝ පී‍්‍රතිය, සුවය නැති වී අවසන් වී යාදෝ යන භයයි. නමුත් නෙක්ඛම්ම පී‍්‍රතියේ හා සුවයේ නිරුපධි පී‍්‍රතියේ හා සුවයේ, සමාධි සුවයේ පී‍්‍රතියේ එවැනි භයක්, තැති ගැන්මක් හිතකට ඇති වන්නේ නැත. එය අත්හැර මිදී නිදහස්වීමේ සුවයයි. පී‍්‍රතියයි. ඒ නිසා ”පස්සං භයං චිත්ත සංඛාරං” යන තත්ත්වය තේරුම් ගෙන වේදනාව සංසිඳවා ගත යුතුය.

සේවිතබ්බා අසේවිතබ්බා සූත‍්‍රයේ වේදනානුපස්සනාවට අදාළව සේවනය කළයුතු කුසල් ධර්මයන් හා සේවනයෙන් බැහැර කළ යුතු අකුසලයන් පිළිබඳව පැහැදිළිවම විස්තර කර ඇති නිසා අස්ස හා පස්ස යන කොටස් දෙකම නිවැරදිවත්, පිරිසිදුවත් දැන ඒ අනුව කි‍්‍රයා කළ යුතු වන්නේය. අස්ස යන්න ආශ්වාස ලෙසත් පස්ස යන්න ප‍්‍රාශ්වාස ලෙසත් වැරදියට පරිවර්තනය කරගෙන හුස්ම ඉහළ පහළ දැමීම, පිම්බීම හැකිළීම කෙරෙහි අවධානය යොමු කර අරමුණු වන සියලුම පී‍්‍රති හා සුඛ අත්හැර ලබන්නට හැකි වන්නේ අසඤ්ඤ තත්ත්වයකි. ධර්මය නොදැනීම නිසා ධර්මය වැරදියට පරිවර්තනය කිරීම නිසා සිදුවූයේ මෙවන් මහානර්ඝ වූ ආනාපානසති භාවනා ක‍්‍රමය භාවිතයෙන් අනේක වූ දුක්විඳි ලෝක සත්ත්වයාට ලබාගත හැකිව තිබූ වේදනා සංසිඳියාව ලබාගැනීමේ අරිය මාර්ගය වැසී යටපත් වී යාමයි. අද වේදනානුපස්සනාව යනු කායික වේදනාවක් බැලීමකට පමණක් සීමාවී ඇත. මෙය ප‍්‍රාණයාම භාවනාවකි.

3. චිත්තානුපස්සනාව අනාපානසති භාවනාව ඇසුරෙන්

”යස්මිං සමයේ භික්‍ඛු
ix. චිත්තපටිසංවේදී අස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තපටිසංවේදී පස්සසිස්සාමිති සික්‍ඛති
x. අභිප්පමෝදයං චිත්තං අස්සස්සාමිති සික්‍ඛති
අභිප්පමෝදයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
xi. සමාදහං චිත්තං අස්සසිස්සාමිති සික්‍ඛති
සමාදහං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
xii. විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
විමෝචයං චිත්තං පස්සසිස්සාමිති සික්‍ඛති
චිත්තේ චිත්තානුපස්සී භික්‍ඛවේ, තස්මිං සමයේ භික්‍ඛු
විහරති අතාපි සම්පජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදොමනස්සං නාහං භික්‍ඛවේ මුට්ඨස්සතිස්ස
අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි
තස්මාතිහ භික්‍ඛවේ චිත්තේ චිත්තානුපස්සී තස්මිං
සමයේ භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දොමනස්සං”

සියලු අකුසල් කි‍්‍රයාවන් බැහැර කර කුසල් කි‍්‍රයාවන් ආශ‍්‍රය කිරීම නිසා කයෙහි ක‍්‍රියාවන් නිසා ඇතිවන දාහය, ගින්න සංසිඳවාගත්, ඒ අනුවම වේදනාවද සංසිඳුවාගත් ආනාපානසති භාවනානුයෝගියාට දැන් තම සිත සංසිඳුවා ගැනීම ඉතාමත් පහසු කාර්යයකි. කි‍්‍රයාවන් නිසා බිහිකරගත් වේගය සමඟ මෙතෙක් සිතින් බැඳී තිබූ චිත්ත පටිසංවේදීතාවය අත්හැරීමත් සමගම දැන් චේතෝ විමුක්තිය ලබාගැනීම අරමුණු කරගෙන සිත ප‍්‍රසාදයට පත්වෙයි. මෙය නිරාමිස පී‍්‍රතියයි. නිරාමිස සුඛයයි. නිරාමිස පී‍්‍රතියත්, නිරාමිස සුවයත් ක‍්‍රමයෙන් අත්හැර නිදහස් වීමෙන් සිත අධිමොක්ඛ තත්ත්වයට, අභිප‍්‍රමෝද තත්ත්වයටද පත්වෙයි. අභිප‍්‍රමෝදයට පත්වූ සිත සමාදහං තත්ත්වයටද පත්වෙයි. සමාදහං තත්ත්වයට පත්වීමේදී සිදුවන්නේ මෙතෙක් සිතෙහි රැුඳී පැවති (සං) අභිජ්ඣා, දෝමනස්ස ගති සහමුළින් ඉවත් වී, ”සම්මා” තත්ත්වයට සිත පත්වීමයි. නෙක්ඛම්ම, උපේක්ඛා තත්ත්වයට සිත පත්වීමයි.

පෘථග්ජන පුද්ගලයෙකු තුළ කායික දාහය, ගින්න, දුක ඇතිවන්නේත් මානසික දාහය, ගින්න, දුක ඇත්වන්නේත් පංචස්කන්ධය උපාදානය කරගන්නේත් අභිජ්ඣාව නිසාමය. අභිඉච්චා යනු දැඩි ලෝභයයි. දැඩි ආශාවයි. බලවත් කැමැත්තයි. දැඩි ලෝභය නිසා සිතෙහි ගින්නක් දාහයක් නිරන්තරවම උපදී. දැඩි ලෝභයෙන්, ආශාවෙන්, උපාදානය කරගත් දේ තමන්ට අහිමිවී යාමත් සමගම දොම්නස් සිතක්ද, ද්වේෂයක්ද ඇතිවෙයි.

ආනාපානසති සූත‍්‍ර දේශණාවේ සඳහන් මුල් පියවර දොළහ තුළදීම අභිජ්ඣාව දෝමනස්ස යන කෙළෙස් ගති ලක්ෂණ කෙනෙකුගේ සිත තුළින් සහමුළින්ම ඉවත්කර,
සිත ”සමාදහං චිත්තං” යන තත්ත්වයට පත්කර ගන්නට මඟ කියාදෙයි. මේ සඳහා සිතින් බැහැර කළ යුත්තේ අකුසල් සහගත කි‍්‍රයා, වදන් හා සිතුවිලිය. ඒ සමගම ආශ‍්‍රය කළ යුත්තේ අභිජ්ඣාව දොම්නස සිතෙහි උපදින්නට මුල්වන සිතෙහි තැන්පත්ව පවතින කිළිටි කෙළෙස් ගති ලක්ෂණ සළාහැර පිරිසිදුවීමට උපකාරවන කුසල කි‍්‍රයාවන්ය. කුසලස්ස උපසම්පදා යන පදයෙන් විග‍්‍රහ කරදුන්නේ මෙම යථාර්ථයයි. මේ අනුව ආනාපානසති සූත‍්‍රයෙන්ද පෙන්වා දුන්නේ ”සබ්බ පාපස්ස අකරණං – කුසලස්ස උපසම්පදා” යන ආශ‍්‍රය කළයුතු හා බැහැර කළ යුතු යන දෙපැත්තමයි. මෙතැනදී බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් සඳහන් කළ කරුණක් කෙරෙහිද අවධානය යොමු කළ යුතුය.

”නාහං භික්ඛවේ මුටඨස්සතිස්ස – අසම්පජානස්ස ආනාපානසති භාවනං වදාමි”

”මුට්ඨස්සතිස්ස” යනු ඇත්ත නැත්ත තේරුම් කරගන්නට නොහැකි හේතුඵල ධර්මය තේරුම්ගත නොහැකි මුට්ඨ, මෝහ, සතියෙහි පිහිටා කටයුතු නොකරන, සංපජානනය කළ නොහැකි, අසම්පජානස්ස පුද්ගලයාටයි. ”මම ආනාපානසති භාවනා ක‍්‍රමය එවැන්නන්ට දේශණා නොකරමි, නිර්දේශ නොකරමි” සංපජානනය කළ නොහැකි පුද්ගලයාට සමාදහන් චිත්තං තත්ත්වයට පත්වීමටද හැකියාවක් ද නැත. ”සං” යනු රැස්කරගත් උපාදානය කරගත් රාග, ද්වේෂ, මෝහ මූලික ගති ගුණයෝයි. ”සං” නිවැරදිවම තේරුම් ගෙන, පිරිසිඳ දැනගත නොහැකි පුද්ගලයාට ”සං” වලින් මිදී සම්මා තත්ත්වයට පත් වීමද කරගත නොහැකිය. සම්මා දිට්ඨියට පත්වන්නට නොහැකිය. දස්සනේන සම්පන්නෝ යන තත්ත්වයට පත්විය නොහැකිය. අසම්පජානස්ස යනු එවන් ගති ලක්ෂණයන් ඇති පුද්ගලයාට භාවිතා කළ නමකි. එවන් පුද්ගලයෙකුට තමන් ආශ‍්‍රය කළයුතු කුසල කි‍්‍රයා හෝ බැහැර කළ යුතු අකුසල කි‍්‍රයා හෝ වෙන්කොට දැන හඳුනාගත නොහැකි නම් මෙවන් උතුම් ආනාපානසති භාවනාවකින් ලබාගත හැකි ඵලයක්ද නැත. මේ බුදුපියාණන්ම දේශණා කර පෙන්වූ ධර්මයයි.

හුස්ම ඇතුළට ගැනීම හා පිටකිරීම, ආශ්වාස ප‍්‍රාශ්වාස කිරීම හෝ පිම්බීම හැකිළීම කෙරෙහි පමණක් සිත යොමුකරගෙන සිතට එන සියලුම අරමුණු, සිතුවිලි බැහැර කරන්නාද අසම්පජනාස්ස පුද්ගලයෙකි. අසඤ්ඤ තලයකට පත්වීම ඔහු ලබන ඵල විපාකයයි.

අරිය විනයෙහි ලබන චේතෝ විමුක්තිය ලබන්නේද මෙම චිත්තානුපස්සනාවත් සමඟය. ”විමෝචයං චිත්තං” යනුවෙන් සඳහන් කළේ චේතෝ විමුක්තියයි. ”ප‍්‍රාණයාම” භාවනාව නම් අනරිය භාවනා ක‍්‍රමයෙන්ද චේතෝ විමුක්තියක් ලබාගත හැකිය. අනරිය අරූපී ධ්‍යානයකට පත්වීමෙන් ලබන එම චේතෝ විමුක්තියත් අරිය විනයේ එන අකුප්පා චේතෝ විමුක්තියත් දෙයාකාරය.

අරිය විනයේ එන චේතෝ විමුක්තිය ලැබූ පුද්ගලයාට ධම්මානුධම්ම පටිපදාව අනුගමනය කරන්නට සුදුසු චිත්ත ශක්තියක් සිතේ පිරිසිදු බවක් ධර්මතාවයෙන්ම ලැබෙන නිසා ධම්මානුපස්සනාව වඩා ප‍්‍රඥා විමුක්තියම පූර්ණකර ගැනීම කරගත හැකිය.

නමුත් අනරිය භාවනාවකින් ලබන චේතෝ විමුක්තියත් සමඟම ඒ අනරිය ධ්‍යානයන් නිසා ලබන ලෞකික සුවයෙන් මත් වී ඉන් ඔබ්බට යාමේ පිළිවෙතක් දැකගන්නට නොහැකිව ඒ ලෞකික සුවයෙහිම ඇළෙයි. එයම නිවන යැයි එයම විමුක්තිය යැයි තීරණය කර ඒ අරූපී ධ්‍යානයම සුවයක් සේ ගෙන වාසය කරයි. මේ නිසා සිදුවන්නේ එවන් අනරිය ධ්‍යානයන් ලැබූ පුද්ගලයින් අසඤ්ඤ තලයක් අල්ලාගෙන මරණ මොහොතින් පසුව එවැනි අසඤ්ඤ තලයකම උපත ලැබීමයි.

මේ නිසා නිවැරදි ආනාපානසති භාවනාව තේරුම්ගෙන නිවන් අවබෝධ කර ගැනීම හෝ වැරදි ආනාපානසති භාවනාව භාවිතා කර අසඤ්ඤ තලයක උපත ලබා සංසාරයේ අතරමං වීම හෝ යන දෙකෙන් එකක් තෝරා ගන්නට ඔබ දක්ෂ විය යුතුය.

4. ධම්මානුපස්සනාව වැඩීම

”යස්මිං සමයේ භික්‍ඛවේ, භික්‍ඛු,
xiii. අනිච්චානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
අනිච්චානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
ixv. විරාගානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
විරාගානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
xv. නිරෝධානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
නිරෝධානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
xvi. පටිනිස්සග්ගානු පස්සී අස්සසිස්සාමිති සික්‍ඛති
පටිනිස්සග්ගානු පස්සී පස්සසිස්සාමිති සික්‍ඛති
ධම්මේසු ධම්මානුපස්සී භික්ඛවේ තස්මිං සමයේ
භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං සෝ යංතං
අභිජ්ඣා දෝමනස්සං පහානං තං පඤ්ඤය දිස්වා සාධුකං අජ්ඣුපෙක්‍ඛිතා හොති.
තස්මාතිහ භික්‍ඛු විහරති ආතාපි සම්පජානෝ සතිමා
විනෙය්‍ය ලෝකේ අභිජ්ඣා දෝමනස්සං එවං භාවිතා ඛෝ භික්‍ඛවේ
ආනාපානසති එවං බහුලීකථා චත්තාරෝ
සතිපට්ඨානේ පරිපූරෙති”

”ධම්මානුධම්මපස්සනාව” යන්න අරිය විනයෙහි මිස වෙනත් කිසිම ආගමක, දර්ශනයක හෝ භාවනා ක‍්‍රමයක ඇතුළත් වන එකක් නොවේ. ධම්මානුපස්සනාව වැඞීමට නම් ති‍්‍රලක්ඛණය නිවැරදිවත් යථාවබෝධයකින් යුතුවත් තේරුම්ගත යුතුමය. ති‍්‍රලක්ඛණය නිවැරදි ලෙස අවබෝධ නොවූ කෙනෙකුට ”අනිච්ච” යන පදයේ තේරුම පවා එහි ධර්ම අර්ථය පවා නොදැන ධර්මාවබෝධයක් ඇතිව කි‍්‍රයාකරතියි සිතිය නොහැකිය. මේ ආකාරයෙන්ම ධම්මානුපස්සනාව වැඞීමට නම් හේතුඵල දහම, පටිච්චසමුප්පාද ධර්මය පිළිබඳවද යම්කිසි අවබෝධයක් ලබා සිටිය යුතුමය. අවිද්‍යාමූල පටිච්ච සමුප්පාද ධර්මය තේරුම් ගෙන ”භව” නිරෝධ කිරීමටත්, කුසලමූල පටිච්චසමුප්පාද ධර්මය තේරුම් ගෙන, කුණු මුල් කපාහැර ප‍්‍රඥාව උපදවා පහදා ගැනීමටත් හැකියාව, ශක්තිය ලැබිය යුතුය.

ධම්මානුපස්සනාව වැඞීමෙන් සිදුවන්නේ ප‍්‍රඥා විමුක්තිය සම්පූර්ණ වීමයි. විද්‍යා විමුක්තියට පත්වීම යනුද ප‍්‍රඥා විමුක්තියට පත් වීමයි. සම්මා විමුක්තියට පත්වීම ලෙසින්ද මෙය බොහෝ තැන්වල සඳහන්ව ඇත. චේතෝ විමුක්තියට පත්වීමත් ප‍්‍රඥා විමුුක්තියට පත්වීමත් යනු දෙයාකාරයක විමුක්තියට පත් වීමකි. අවිද්‍යාවෙන් දුරු වූ, මානයෙන් දුරු වූ, භව නිරෝධ කළ උත්තමයා ප‍්‍රඥා විමුක්තියට පත් වූ අරහත් බුද්ධ තත්ත්වයටම පත්වූ උත්තමයෙකි. ඔහුට තවදුරටත් කරගතයුතු දෙයක් ඉතිරිව නැත.

අනිච්ච, දුක්ඛ, අනත්ථ යන ති‍්‍රලක්ඛණය නිවැරදිව තේරුම් ගත් චතුරාර්ය සත්‍යයන් යථාපරිදි අවබෝධකරගත් අරිය පුද්ගලයෙකුට රාග – විරාග කිරීමටත්, රෝද – නිරෝධ කිරීමටත්, සංයෝජන – පටිනිස්සග්ග කිරීමටත් ධර්මතාවයෙන්ම ශක්තිය හා හැකියාවද ලැබෙයි. ඒ අනුව ආශ‍්‍රය කළ යුතු ධර්මතාවය – කුසල ධර්මයන් ආශ‍්‍රය කර, පහකර දැමිය යුතු අකුසල ධර්මයන් ප‍්‍රහාණය කර, සියලු සංයෝජනයන් ගෙන් මිදී මෙතෙක් සංසාර ගමන පවත්වාගෙන යාමට උපකාරවූ සියලු බැඳීම් – පටි නිස්සග්ග කර සියලු උපධීන්ගෙන් මිදී, නිදහස් වී අරහත් තත්ත්වයට පත්වීමට කි‍්‍රයාකරන උත්තමයෙකි.

චේතෝ විමුක්තිය පමණක් ලැබූ පුද්ගලයා යම් ආකාරයක අනරිය ධ්‍යනයක් ලබාගෙන චිත්ත විමුක්තියක් ලබා ගත්තද අරිය තත්ත්වයට පත්නොවූ අරිය ධර්මයෙහි යෙදීමට සමත් නොවන පෘථග්ජන පුද්ගලයෙකු නිසා යම් මොහොතක එම චේතෝ විමුක්තිය නැතිවී ධ්‍යානයන් නැති වී නැවත සාමාන්‍ය පුද්ගලයෙකු බවටත් පත්විය හැකිය. ඒවාගේම ඔහු සතර අපා දුකෙන් මිදුණු පුද්ගලයෙකු ද නොවේ.

චේතෝ විමුක්තිය ලබා ධ්‍යාන ලබාගෙන හෝ චේතෝ විමුක්තියෙන් තොර ධ්‍යානයන් නොලබාම හෝ ප‍්‍රඥා විමුක්තියට පත් අරිය උත්තමයාට ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින් අකුප්පා චේතෝ විමුක්තියද උරුමයෙන් ලැබෙයි. අකුප්පා චේතෝ විමුක්තිය යනු කම්පනය නොවන, නොසෙල්වෙන, වෙනස් නොවන චේතෝ විමුක්තියයි. යමෙකුට අකුප්පා චේතෝ විමුක්තිය ලබා ගත හැකි වන්නේද ප‍්‍රඥා විමුක්තියට පත්වීමේ ප‍්‍රතිඵලයක් ලෙසින්මය. මේ නිසා ප‍්‍රඥා විමුක්තිය හා චේතෝ විමුක්තිය යනු දෙයාකාර දෙවිධියක ශක්තීන් හා බලයන් බව නිවැරදිවම තේරුම් ගත යුතුය. චේතෝ විමුක්තිය පළමුව නොලබා ප‍්‍රඥා විමුක්තියෙන් අරහත් තත්ත්වයට පත් අයම බහුලය. බෞද්ධයෙකුගේ එකම බලාපොරොත්තුව නිවන් අවබෝධය ලබාගෙන සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි. අනරිය භාවනා ක‍්‍රමයකින් ධ්‍යාන ලබාගැනීම හෝ ඍර්ධි ප‍්‍රාතිහාර්යයන් පෑමේ ශක්තිය ලබාගැනීම හෝ පංච අභිඥා ලබාගෙන තම ශක්තීන් විදහාපෑම හෝ බුදුපියාණන්වහන්සේ අනුදැන වදාළ දෙයක් නොවේ. ප‍්‍රතික්ෂේප කළ දෙයකි. මේ අනුවම එවකට ජම්බුද්වීපයේ පැවති අනරිය ආනාපනසති භාවනා ක‍්‍රමයද බැහැර කළ බුදුපියාණන්වහන්සේ අනිකුත් හැමතැනකදීම පෙන්වාදුන් පරිදි ආනාපාන සතිය වැඞීමේදීද අරිය මාර්ගයක් ඇති බව පෙන්වා දී ඒ සඳහා නව අර්ථ කථනයක් ලබාදී පහසුම හා කෙටිම නිවන් මඟ පූර්ණ කරගැනීමේ ඒකායන මාර්ගය නම් අරිය ආනාපානසති භාවනාව වැඞීම බව පැහැදිළිවම ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් පැහැදිළි කර දුන්හ.

සත්ත සම්බොජ්ජංග වැඩීමෙන් විද්යාම විමුක්තිය පූරණය වීම

විද්‍යා විමුක්තිය පරිපූරණය කරගෙන බුද්ධ බවට පත්වී නිවන් අවබෝධය පූර්ණ කරගැනීමට නම් අනිවාර්යයෙන්ම සම්බොජ්ජංග වැඞී සත්ත සම්බෝජ්ජංග පූර්ණ කරගත යුතුමය. නිවන් අවබෝධය පූර්ණකර ගැනීමේදී නියත වශයෙන්ම සම්පූර්ණ කරගත යුතු අංග හතක්ම සත්ත බොජ්ජංග ලෙසින් බුද්ධ භාෂිතයේ පෙන්වා වදාරා ඇත. බුද්ධත්වයට පත්වීම යනු ලොව්තුරා බුද්ධත්වයට පත්වීම, පච්චේක බුද්ධත්වයට පත්වීම හා අරහත් බුද්ධත්වයට පත්වීම යැයි තුන්තරා බෝධියක්ම බුද්ධ භාෂිතයේ සඳහන් වෙයි. මෙතැන බුද්ධ යනුවෙන් වදාළ පදයේ ධර්ම අර්ථය බු+උද්ධ යන්නයි. (භු) බු යනු බිහි කිරීමයි. ”භව” යන පදයෙන්ද පටිච්චසමුප්පාද ධර්මයේ විග‍්‍රහ කළේ (භු) බු යන පදයයි. ”භව” සහමුළින් උදුරා දැමීම බුද්ධ තත්ත්වයට පත්වීමයි. ”භව” යනු කර්මබීජ උත්පත්ති බීජ යන්නයි. ”උපාදාන පච්චයා භව, භව පච්චයා ජාති”, ”උපාදාන නිරෝධා භව නිරෝධා”, ”භව නිරෝධා ජාති නිරෝධා”, යනුවෙන් පටිච්ච සමුප්පාද ධර්මයේ කරන ලද විග‍්‍රහයද ඉතාමත්ම පැහැදිළිය. කර්ම බීජ, උත්පත්ති බීජ සහමුළින්ම උදුරා දමා, නසා දමා අවසන් කිරීමෙන්ම පමණක් ”භව” නිරෝධ කර ජාති නිරෝධ කරගත හැකිවෙයි. ජාති යනු උපතයි. ජාති යනු නිතරම ඵලයකි. ලබා ඇති උපත දැන් නැති කළ නොහැකිය. ජාති නැති කිරීමට නම් මතු ජාතියක උපත ලැබීමම නැති කරනු මිස දැන් ඊට වෙනත් ක‍්‍රමයක්ද නැත. මතු ජාතියක උපත නැති කිරීම සඳහා කළයුතු හා කළ හැකි එකම දේ කර්ම බීජ, උත්පත්ති බීජ, භව නිරෝධ කර, භව උදුරා ඉවත්කර දැමීමයි. භව නිරෝධ කරන්නට අහවර කරන්නට ප‍්‍රායෝගිකවම අනුගමනය කළ යුතු මග, පටිපදාව සත්ත සම්බොජ්ජංග සම්පූර්ණ කර ගැනීමයි. එසේ නම් සත්තබොජ්ජංග වැඞීම යනු භව අංග හතක්ම උදුරා දමා ඉවත් කිරීමයි. චිත්තසංථානයේ යළි යළිත් භව අංග බිහිවෙන තුරාවට කර්ම බීජද උපදී. ”භව” නිරෝධ කර සියලු කර්ම බීජ වලින් චිත්තසංථානය හිස්කර, මතු යළිත් කර්ම බීජ (භව) නැවත කවදාවත් නොඋපදවන තත්ත්වයටම පත්වීම සත්ත බොජ්ජංග පූර්ණ කර ගැනීමයි. මෙතනදී යළි කවදාවත් උත්පත්ති බීජ, කර්ම බීජ එකතු කර, රැස්කර නොගන්නා ආකාරයට චිත්තසංථානය පිරිසිදු කර ගැනීම සත්ත සම්බොජ්ජංග වැඞීම නමින් අදහස් කෙරේ. අතීතයේදී උපදවා චිත්තසංතානයේ රැුස්කර ගබඩා කරගෙන තිබූ සියලු අතීත කර්ම බීජයන්ද විනාශ කර, භව උදුරා දමා, අලුතින් කිසිම කර්ම බීජයක් උපදවා ගබඩා කර ගැනීමද නවතා දමා පිරිසිදු තත්ත්වයටම චිත්තසංථානය පත්කර ගැනීම සත්ත සම්බොජ්ජංග පූර්ණකර ගැනීම ලෙසින් සරළ ලෙස පෙන්වා දිය හැකිය.

අවිද්‍යාව හා තණ්හාව නිසාම මෙතෙක් කළක් ඒවායෙහි ඇති යම් සාර බවක් දැක සංසාර දෘෂ්ඨියෙන්ම එසේ එකතුකර ගබඩා කරගත් සියලු කර්ම බීජයන් දැන් විද්‍යා විමුක්තියට පත්වීම නිසා නිස්සාර ලෙසින් දැක ඒවා එකතු කිරීමෙන්, ගබඩා කිරීමෙන් හා භාවිතා කිරීමෙන්ද වැළකී ඉවත්වීම බුද්ධ බවට පත්වීමයි. සත්ත සම්බොජ්ජංග වැඞීමෙන් නියත වශයෙන්ම අෂ්ටාංගික මාර්ගයද වැඩෙයි. ප‍්‍රඥා විමුක්තියද පූර්ණ වෙයි.

ආනාපානසති අරිය භාවනාව වැඞීමෙන්, නිතර නිතර බහුල ලෙස භාවිතා කිරීමෙන්, සතර සතිපට්ඨානයද වැඩෙයි. සතර සතිපට්ඨානය වැඩෙත්ම, බහුල ලෙස වැඩෙත්ම, සත්ත සම්බෝජ්ජංගද වැඩෙයි. සත්ත සම්බොජ්ජංගයන් වැඞී පූර්ණ වීමත් සමඟම විද්‍යා විමුක්තිය පරිපූරණය වෙයි. ආනාපානසති සූත‍්‍රයෙන් පෙන්වා වදාළ මෙම අරිය මාර්ගය ඉතාම පහසුවෙන් ඉතාම කෙටි කලකින් විද්‍යා විමුක්තිය පරිපූරණය කරගැනීමේ කෙටිම මාර්ගය බවත් ඒකායන මාර්ගය බවත් බුද්ධ දේශණාවෙහිම පැහැදිළිව දක්වා ඇත.

පෘථග්ජන පුද්ගලයෙකු කරන, කියන, හිතන බොහෝමයක් ක‍්‍රියාවන් කරන්නේ අවිද්‍යාවෙන්, තණ්හාවෙන් පංචඋපාදානස්කන්ධයම අල්ලා, උපාදානය කර ගැනීමේ එකම චේතනාවෙනි. මේ ආකාරයට පංචස්කන්ධය උපාදානය කර ගැනීමත් සමඟම උපාදානය කරගත් දේ රැුකගන්නට ක‍්‍රියා කරන නිසා පංචනීවරණ ධර්මයන්ටද යටත්වෙයි. මෙසේ යමක් උපාදානය කර ගැනීමත් සමඟම සිදු වන්නේ කර්ම බීජ උත්පත්තියක් සිදුවීමයි. බොහෝමයක් පෘථග්ජන මිනිස්සු පංච නීවරණ ධර්මයන් යනු මොනවාදැයි නොදනිති. පංචඋපාදානස්කන්ධය පිළිබඳව හා පංචස්කන්ධය පිළිබඳව වෙනස්කම් කිසිවක්ම නොදනිති. කර්ම බීජ තමන්ම තම කැමැත්තෙන්ම උපදවා ගෙන, තමාගේම චිත්තසංථානයේ ගබඩාකර, රැස්කර ගන්නා බවද නොදනිති. මෙවන් කරුණු පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් තේරුම්ගත් පුද්ගලයා පමණක් සති සංපජානකාරී පුද්ගලයෙකි. සම්මා දිට්ඨියට පත් පුද්ගලයෙකි. පංචඋපාදානස්කන්ධයම තම කැමැත්තෙන්ම අල්ලා උපාදානය කරගන්නේත්, පංච නීවරණ ධර්මයන්හිම චන්දරාගයෙන් ඇලෙන්නේත්, දෙවනුව ඒවා සමඟ ගැටෙන්නේත්, මුලා වූ ස්වභාවයෙන් අවිද්‍යාවෙන් හා තණ්හාවෙන් ක‍්‍රියා කරන්නේත් මේ කරුණු පිරිසිඳ නොදත් අසම්පජානස්ස පුද්ගලයායි. මොහු මොටවූ මුට්ඨස්ස පුද්ගලයෙකි. ඇත්ත දැක සතියෙහි පිහිටිය නොහැකි කෙනෙකි. ”ආනාපානසති අරිය භාවනාව එවන් අසම්පජානකාරී, මුට්ඨස්ස පුද්ගලයින් සඳහා නොව සම්පජානකාරී අසම්මුට්ඨස්ස පුද්ගලයින් සඳහාම පමණක් දේශණා කරමි” යි බුදුපියාණන්වහන්සේම විශේෂයෙන් දේශණාකර පෙන්වා වදාළහ.

සත්ත සම්බෝජ්ජංග ධර්මයන් වැඞීමෙන් ”භව” නිරෝධ වී ක‍්‍රමයෙන් කර්ම බීජ උත්පත්ති බීජ ඛය වී යයි. කර්ම බීජ ඛය වී, භව නිරෝධ වීම යනු රාගක්ඛය වීමයි. ද්වේෂඛය වීමයි, මෝහඛය වීමයි. ඒ අනුව සත්ත බොජ්ජංග වැඞීම යනු කුමක්දැයි තේරුම් ගෙන නිවැරදි ආකාරයෙන් ප‍්‍රතිපත්ති පිරීමෙන්ම, කර්ම බීජ ඛය වී ජාති නිරෝධ වීමද සිදුවෙයි. භව නිරෝධ කිරීම යනු සම්බොජ්ජංග වැඞීමයි. භව නිරෝධ වී ජාති නිරෝධ වී, මතු යළි උපතක් නොලබන තත්ත්වයයි. නිවන් අවබෝධය පූර්ණකර ගැනීම සඳහා සත්ත සම්බොජ්ජංග වඩා සම්පූර්ණ කර ගැනීම අනිවාර්ය අංගයක් බව බුද්ධ දේශණාවේ හැම තැනකම පැහැදිළිවම දක්වා ඇත. ඒ ඒ බොජ්ජංග ධර්මයන් වෙන්කොට, නම්කර, පොත පතෙහි වෙන් වශයෙන් සඳහන් කර තිබුණත් මේ කිසිවක් නම් වශයෙන්, පියවර වශයෙන් නොදැනම තමාගේම ආධ්‍යාත්මය තුළින්ම සත්ත සම්බොජ්ජංග ධර්මයන් වැඞී පූර්ණ වී නිවන් අවබෝධ කරගත් බොහෝ අරහතුන්වහන්සේලා පිළිබඳව බුද්ධ සාහිත්‍යයේ සඳහන්ව ඇත.

ආනාපානසති භාවනාව නිවැරදිවත්, යථා පරිදිත් පිරිසිඳ දැනගත් කෙනෙකුට ආශ‍්‍රය කළයුතු කුසල ධර්මයන් හා ආශ‍්‍රයෙන් බැහැර කළයුතු අකුසල ධර්මයන් තෝරා බේරා ගන්නට තරම් දියුණු මනසක්ද ඇතිවන නිසා සතියෙහි පිහිටා කටයුතු කිරීමෙන් සතර සතිපට්ඨානයම වැඩෙන්නට පටන් ගනී. පටිසංවේදී බව, සම්පජානකාරී බව, කාය සංඛාර, චිත්ත සංඛාර ආදී පදවල එන ”සං” යන පදයේ තේරුමද යථාපරිදි වැටහෙනු ඇත. ”සං” යන පදයෙන් විග‍්‍රහ කළේ එකතුවීම, රැස්කිරීම, බැඳීම, උපාදානය කර ගැනීම යන ධර්මතාවයයි. ”භව” යනු මේ බැඳීම නිසා උපදින ගති ලක්ෂණයයි. ඒ ගති ලක්ෂණයම කර්ම බීජයකි. මතු එම ගති ලක්ෂණයටම අදාළ උපතක්ද ලබාදෙන්නට ඒ ”භව” සමත් වන නිසා එය උත්පත්ති බීජයකි. කාය පටිසංවේදී, චිත්ත පටිසංවේදී, පී‍්‍රති පටිසංවේදී, සුඛ පටිසංවේදී යන සියලු ගතිගුණයන් අපි සංතෝසය ලෙසින්ද සතුට ලෙසින්ද සාමාන්‍ය භාෂාවේදී හඳුන්වමු. නමුත් මෙහි එන පටිසංවේදී බව නිසා සංතෝසය පමණක්ම නොව සංවේගය, සංතාපය, සංවේදී බව හා සම්බන්ධයද පෘථග්ජන සිතකම ඇතිවෙයි. සං, නිවැරදිව තේරුම්ගත් කෙනෙකු හේතුඵල ධර්මය දැන ඒ තුළින්ම ”සංදිට්ඨික” තත්ත්වයටද පත්වූ කෙනෙකි. සම්මා දිට්ඨියට පත්වීම යනුද එයයි. සං+මා යනු එකතු කරගත්, බැඳුනු, උපාදානය කරගත් දෙයින් (මා) මිදී නිදහස්විය යුතුයැයි දකින දැකීමයි. මෙයින් පැහැදිළි කරන්නට උත්සාහ ගත්තේ සම්මා අංග අටෙන් නිදහස ්වීමත්, සත්ත බොජ්ජංග ධර්මයන් පූර්ණ කරගැනීමත් යනු එක ම ප‍්‍රතිපදාවක දෙපැත්තක් බව පහදා දීමටයි.

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙහි මෙන්ම සංයුක්ත නිකායේ බොජ්ජංග සංයුක්තයේත් ත‍්‍රිපිටකයේ තවත් බොහෝ තැන්වලත් පෙන්වා වදාළ සත්ත සම්බොජ්ජංග වඩා පූර්ණකර ගැනීම යනු කුමන ආකාරයක ප‍්‍රතිපත්ති පිරීමක්ද යන්න පිළිබඳව යම්කිසි දැනුමක් ලබා ගැනීම කාටත් ප‍්‍රයෝජනවත් වෙනු ඇත.

සත්ත සම්බොජ්ජංග යන පදයේම සඳහන් ආකාරයට අංග හතක්ම ඇත. මෙම අංග හත අතරින් සති සම්බොජ්ජංගය වැදගත්ම හා මූලිකම අංගයයි.

”අතාපි සංපජානෝ සතිමා විනෙය්‍ය ලෝකේ
අභිජ්ඣාදෝමනස්සං උපටඨිස්ස තස්මිං සමයේ
සති හෝති අසම්මුට්ඨා සති සම්බොජ්ඣෙංගා
තස්මිං සමයේ භික්‍ඛු භාවෙති.”

මෙහි සඳහන් අර්ථය ”අභිජ්ඣා දෝමනස්ස” යන ගති ලක්ෂණයන් කෙනෙකු තුළ පහළවීම නිසාම තමා තුළම ඇතිවන අනර්ථකර ඵලවිපාක යථාපරිදි දැක, තේරුම් ගෙන අභිජ්ඣා දෝමනස්ස ගති ලක්ෂණ වලින් ඉවත්වී සිත සම්මා දිට්ඨියට පත්කර ගන්නට හැකි පළමු ලක්ෂණය සති සංපජානනයයි. අසම්පජානස්ස යනු එය දැක ගැනීමට සමත් නොවන යන අර්ථයයි. අසම්පජානකාරී පුද්ගලයාට හේතුඵල දහමට බහා ගළපා බලා තමා තුළම බිහිවන අභිජ්ඣා ගති ලක්ෂණ නිසා ඇතිවන දැඩි ලෝබකමද දැඩි ආශාවද හේතු කොට තමා තුළම බිහිවන අයහපත් ගති ලක්ෂණයන්, කර්මබීජ බිහිවීම තේරුම් ගත නොහැකිය. අභිජ්ඣාව නිසාම තමා තුළ මතුවන දොම්නස් ගතිය ගැනද තේරුම් ගත නොහැකිය. කෙනෙකු දුක් විඳින්නේ අභිජ්ඣාව නිසා ඇතිවන දෝමනස්ස ගතිය නිසාමය.

අභිජ්ඣා දෝමනස්ස යන ගති ලක්ෂණයන් අන්ත දෙකක ගති ලක්ෂණ බව දැක ඒ ගති ලක්ෂණ වලින් තම සිත නිදහස් කරගත හැකි පුද්ගලයා අසම්මුට්ඨස්ස පුද්ගලයායි. මුට්ඨස්ස පුද්ගලයා, මොට්ට පුද්ගලයා මෝහය නිසාම දැඩි ලෝබයෙන්, ආශාවෙන් හැකිතාක් අල්ලා ගන්නට, උපාදානය කරගන්නට දරණ උත්සාහය නිසාම එහි ඵලය ලෙසම දෝමනසයටද පත්වීම නියත වශයෙන්ම සිදුවන දෙයකි.

මේ නිසා සති සම්බොජ්ජංගයේ පිහිටි පුද්ගලයෙකු සතියෙහි පිහිටා හොඳ නරක, හේතුඵල, ආදීනව – ආනිසංස දැන, දැක, තේරුම් ගෙන ක‍්‍රියා කරන පුද්ගලයෙකුද වෙයි. ඔහු හිතට වහල් වී ක‍්‍රියාකරන පුද්ගලයෙකු නොවේ. ඇත්ත ඇති සැටියෙන් දැනගත් කෙනෙකි. සති සම්බොජ්ජංගයෙහි නිවැරදිව පිහිටා කටයුතු කරන පුද්ගලයෙකුට ඉතිරි සම්බොජ්ජංග හයමත් සම්පූර්ණ කරගෙන බොජ්ජංග ධර්ම පරිපූරණය කර ගැනීමේ හැකියාව හා ශක්තියද ලැබෙයි.

ප‍්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය යන බෝධි අංග තුනම එක පැත්තක පිහිටි ඒවාය. සිත තුළම ජනිත වන අභිජ්ඣා දෝමනස්ස ගති පහකර දැමීමෙන් ලබන ප‍්‍රීතිය, සුඛය හා විරිය වඩන පංචකාම නීවරණ ධර්මවලින් සිත නිදහස් කරන කුසල අකුසල ධර්ම තේරුම් ගැනීමටත්, සාවද්‍ය අනවද්‍ය ධර්මයන් තෝරා බේරා ගන්නටත්, හින ප‍්‍රණීත ධර්මයන් තේරුම් ගන්නටත්, කටුක දේ බැහැර කර, සුවදේ තෝරා ගන්නටත් හැකි ශක්තිය හා හැකියාව කෙනෙකු තුළ ඇති කරවන අවස්ථාවයි.

පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගයන් අනික් පැත්තේ වැඩෙන දහම්ය. කාය පස්සදිය, කය සංසිඳීම ඇතිවීම හා චිත්ත පස්සදිය සිත සංසිඳීම ඇතිවීමත්, සමථ, විපස්සනා නිමිති පහළ වී සිත සමාධි ගතවීමටත් සිත නෙක්ඛම්ම උපේක්ඛා යන උතුම් තත්ත්වයට පත්වන්නටත් මේ බොජ්ජංග වැඞීම උපකාර වෙයි. මෙතනදී චේතෝ විමුක්තිය හා ප‍්‍රඥා විමුක්තිය යන දෙයාකාර උභතෝ විමුක්තියම පූර්ණ වන්නේ් උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වීමත් සමඟය.

”සෙයි්‍යථාපි භික්‍ඛවේ අයං කායෝ ආහාරටඨිතිකෝ,
ආහාරං පටිච්ච තිට්ඨති, අනාහාරෝ නො තිට්ඨති
ඒව මේව ඛෝ භික්‍ඛවේ සත්ත බොජ්ඣංගා
ආහාරට්ඨිතිකා ආහාරං පටිච්චා තිටඨන්ති
අනාහාරා නො තිට්ඨන්ති කො ච භික්‍ඛවේ
ආහාරෝ අනුප්පන්නස්ස වා සත්ත බොජ්ජංගස්ස
උප්පාදාය උප්පන්නස්සවා සති සම්බොජ්ජංගස්ස
භාවනාය පරිපුරියෝ අත්ථි භික්‍ඛවේ
සතිසම්බොජ්ජංගංගට්ඨානියා
ධම්මා අයමාහාරෝ අනුප්පන්නස්ස වා
සතිසම්බොජ්ජංගස්ස උප්පාදාය උප්පන්නස්සවා
සතිසම්බොජ්ජංගස්ස භාවනා පරිපූරියා”

ආහාර හේතුකොට ගෙනම ආහාර ප‍්‍රත්‍ය කොට ගෙනම කය පවතින්නා සේම, පංචකාම නීවරණ ධර්මයන් ආහාර කොට ගෙනම, ප‍්‍රත්‍ය කොට ගෙනම වැඩෙන කර්ම බීජ නැතිකර දමා සත්ත බොජ්ජංග ධර්මයන් උපැදීමට නම් ඒ සඳහාද අවශ්‍ය සුදුසු ආහාර දිය යුතුය. ඒනිසා සත්ත බොජ්ජංග ධර්මයන් වැඞීමට බාධක ආහාර පිට කිරීමත්, ආශ‍්‍රය නොකිරීමත් පිරිසිඳ දැන ක‍්‍රියා කිරීමෙන්ම සත්ත බොජ්ජංග ධර්මයන් වැඩෙයි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ පෙන්වා වදාළ ”සබ්බ කාය” මෙතැනදී ද පැහැදිළිකර දී ඇත. මෙතැන ආහාර යනු කබලිංකාර ආහාර, සංචේතනා ආහාර, ස්පර්ෂ ආහාර හා විඤ්ඤාණ ආහාර යන සතර කොටසටම අයත් ආහාර කොටස්මය. මේ ආහාර සතර වර්ගයේමත් භාවිතයට ගතයුතු යහපත් කොටසකුත්, භාවිතයට නොගතයුතු අයහපත් කොටසකුත් යැයි කොටස් දෙකක්ම වෙයි. සියලු ආහාර ගැනීමෙන් හෝ සියලු ආහාර නොගැනීමෙන් හෝ සත්ත බොජ්ජංගයන් වඩාගෙන නිවන් අවබෝධ කරගත නොහැකිය. අයහපත් ආහාර කොටස් භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ ගතිගුණ වැඞී කර්ම බීජ, ”භව” උපත් ලැබෙයි. අයහපත් ආහාර බැහැර කිරීමෙන් හා යහපත් ආහාර භාවිතයට ගැනීමෙන් රාග, ද්වේෂ, මෝහ දුරුවී, සමාධිගත වන්නටත් උපේක්ඛා තත්ත්වයට සිත පත් වන්නටත් ශක්තිය ලැබෙයි.

මේ අනුව ආන – ඇතුළට ගැනීම හා පාන – පිට කිරීම යන්න පිළිබඳව නිවැරදිව තේරුම් ගැනීමම නිවන් අවබෝධයට ඉමහත් සේ උපකාරවන බව මෙහිදීත් ඉතාමත්ම පැහැදිළිය.

ආනාපානසතිය බහුලව නිතර නිතර වඩත්ම, කායානුපස්සනාව වැඞී, කය සංසිඳී, රාග, ද්වේෂ, මෝහ ගති ලක්ෂණ වලින් තොරවූ සිත කය දෙකම විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිණාමී ව සති සම්බොජ්ජංගය වැඩෙයි. සති සම්බොජ්ජංගය වැඞීමත් සමඟම ප‍්‍රීති සම්බොජ්ජංගය, විරිය සම්බොජ්ජංගය හා ධම්මවිචය සම්බොජ්ජංගය වැඞී ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතාවයන් හා කුසල් දහම් මෙනෙහි කිරීමද බහුල වෙයි. අකුසල දහම් බැහැර කිරීමද බහුල වෙයි. ඊළඟ පියවරේදී පස්සදි සම්බොජ්ජංගය, සමාධි සම්බොජ්ජංගය හා උපේක්ඛා සම්බොජ්ජංගය වැඞී සිත සමාදහං චිත්ත තත්ත්වයට පත් වී සමථය හා විපස්සනා නුවණ දෙකම පහළවීමත් සමඟම ධම්මානු ධම්ම පස්සනාවත් පූර්ණ වෙයි.

මේ ආකාරයටම වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිදී ඒ ගති ලක්ෂණයන් නිසා නැවතත් සම්බොජ්ජංග හතම වැඞී දියුණු වෙයි.

මේ ආකාරයටම චිත්තානුපස්සනාවෙන් හා ධම්මානුපස්සනාවෙන්ද හතර වරක්ම වැඞී සත්ත සම්බොජ්ජංග පූර්ණ වෙයි. හතර වරක්ම විවේක නිශි‍්‍රත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී සත්ත සම්බෝජ්ජංගයන් වැඞීමත් සමඟම නෙක්ඛම්ම උපේක්ඛා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පූර්ණ වෙයි.

කායානුපස්සනාව වැඞී, කාය පස්සදිය ලැබීමත් සමඟින් කෙරෙහි උපේක්ඛා සිතක් ඇතිවී නෙක්ඛම්ම උපෙක්ඛාව දියුණු වෙයි. සියලු ක‍්‍රියාවන් වේදනානුපස්සනාව වැඞී වේදනාව සංසිඳීමත් සමඟින් උපේක්ඛා සිතින් සියලු වේදනා ඉවසා දරා, සොම්නස් වේදනා, දොම්නස් වේදනා දෙකම දුරුකර නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි. චිත්ත පස්සදිය වැඞී සිත සංසිඳීමත් සමඟම සිතෙහි ද නෙක්ඛම්ම උපේක්ඛාව ඇතිවෙයි. ධම්මානුපස්සනාව පූර්ණවීමත් සමඟම විපස්සනා නුවණ පහළ වී විද්‍යා විමුක්තිය පහළ වී නෙක්ඛම්ම උපේක්ඛාව සම්පූර්ණ වෙයි.

මේ ආකාරයට සතර සතිපට්ඨානය හා සත්ත සම්බොජ්ජංග මෙන්ම නෙක්ඛම්ම උපේක්ඛාවත් සම්පූර්ණ වීම නිසා අකුප්පා චේතෝ විමුක්තියත්, විද්‍යා විමුක්තියත් සම්පූර්ණ වී ප‍්‍රඥා විමුක්තියේ පිහිටීම සිදුවේ. මෙය නිවන් අවබෝධය පූර්ණ වී අරහත් ඵලයට පත්වීමයි. (මජ්ඣිම නිකායේ සළායතන විභංග සූත‍්‍රය)

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් පසුව ඊළඟටම මජ්ක්‍ධිම නිකායේ සඳහන් වන කායගතාසති සූත‍්‍ර දේශණාවෙහි හා ආනාපානසති සූත‍්‍ර දේශණාවෙහි එන කායානුපස්සනාවේද ප‍්‍රායෝගික වශයෙන් ඇත්තේ ඉතා සුළු වෙනස්කමකි. ආනාපාන සති සූත‍්‍ර දේශණාවේ එන කායානුපස්සනාවම විවිධ ආකාරයෙන් විස්තර සහිතව විග‍්‍රහකර පෙන්වීමක් කායගතාසති සූත‍්‍රයේදී විග‍්‍රහ කර ඇත. මෙහි තේරුම නම් ආනාපානසති භාවනාව සතිසම්පජානයෙන් යුත් ප‍්‍රඥා විමුක්ත හෝ උභතෝභාග විමුක්ත පුද්ගලයාට භාවිතයට සුදුසු වන අතර සද්ධානුසාරී හා ධම්මානුසාරී පුද්ගලයාට කායගතාසති භාවනාව භාවිතයට සුදුසු ලෙසින් විස්තර කර ප‍්‍රතිපදාව දීර්ඝ ලෙසින් පෙන්වා දී ඇත යන්නයි. ඒ විනා මෙම සූත‍්‍ර දෙකෙහි විශේෂ වෙනස්කමක් නැත. මෙසේ බුදුපියාණන් දේශණා කර වදාළ භාවනා කර්මස්ථාන අතරින් හැම අතින්ම සම්පූර්ණ ලෙස නිවන දක්වාම මඟ පෙන්වන වැදගත්ම සූත‍්‍ර දේශණාව වන්නේ ආනාපාන සති සූත‍්‍ර දේශණාවයි. අනිකුත් සියලුම කර්මස්ථානයන්ද මෙහි ඇතුළත්ය’

අරිය අනාපානසති භාවනා ක්‍රමය හා අනරිය ලෞකික අනාපානසති භාවනා මය අතර ඇති විශේෂ වෙනස්කම්

ආනාපානසති සූත‍්‍ර දේශණාවෙන් විස්තර වශයෙන් විග‍්‍රහ කර, ප‍්‍රකාශ කර පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය බුදුපියාණන්වහන්සේ ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, මතුකර, පෙන්වා වදාළ භාවනා ක‍්‍රමයකි. අනරිය ලෞකික ප‍්‍රාණයාම භාවනා ක‍්‍රමය අතීතයේ පටන්ම වේද ග‍්‍රන්ථ වල සඳහන් උපනිෂද් ආගමේ භාවිතා කළ අනරිය භාවනා ක‍්‍රමයකි. මේ ආකාරයට මූලික වශයෙන්ම වෙනස්කම් ඇතිව ආනාපානසති භාවනාව යන නමින්ම භාවිතයේ ඇති භාවනා ක‍්‍රම දෙකක්ම ඇති බව හැම කෙනෙකුම තේරුම් ගත යුතුය. එකක් ලෞකිකය. අනික ලෝකෝත්තරය.

අතීතයේ ලොව ප‍්‍රචලිතව භාවිතා කළ මෙම අනරිය ලෞකික ආනාපානසති භාවනාව පිළිබඳව බුදුපියාණන්වහන්සේ තරම් කරුණු කාරණා දැන සිටි වෙනත් කෙනෙකු නොවූහ. ඊට හේතුව ගිහිගෙයින් නික්මුණු දා පටන්ම වසර හයක්ම ජන්බුද්වීපයේ එවකට පැවති සියලුම අනරිය භාවනා ක‍්‍රම ප‍්‍රායෝගිකවම අත්හදා බලමින්, ධූතාංග රකිමින්, වත්පිළිවෙත් පුරමින්, දහදුක් විඳිමින්, දුෂ්කර ක‍්‍රියා කළ නිසාය. ඒ අනරිය ක‍්‍රමවලින් ප‍්‍රාණයාම භාවනා ක‍්‍රමවලින් අනරිය ආනාපාන සති භාවනා ක‍්‍රමය මගින් ලබාගත හැකිවූ ධ්‍යානයන්ද ප‍්‍රායෝගිකවම ලබාගෙන පුද්ගලිකවම අත්විඳගෙන ලබාගතහැකි නිවනක්, විමුක්තියක් නොදුටු බුදුපියාණන්, ඒ සියලු අනරිය ක‍්‍රමයන් පසෙකලා මෙතෙක් භාවිතයේ නොපැවති අරිය ආනාපානසති භාවනා ක‍්‍රමය ස්වයංභූ ඥාණයෙන්ම සොයා දැන, භාවිතා කර ප‍්‍රඥා විමුක්තියට පත්වූ බව අරිය පර්යේෂණ සූත‍්‍රයේ පැහැදිළිවම දේශණා කර පෙන්වා ඇත. මෙතැනදී බුදුපියාණන් භාවිතා කළේ වේද ග‍්‍රන්ථ වල එන ආනාපානසති භාවනාව නොවේ.

දහසක් දුක්විඳ අත්ථතාපනයෙහි යෙදී ධූතාංග රැුක, වත් පිළිවෙත් පුරා සය වසරක් තුළ ලබාගත් ධ්‍යානයන් සියල්ලම ලෞකික වූත් භෞතික වූත් ඒවා මිස විද්‍යා විමුක්තියට පත්වී ලබන නිවනක් එහි නොවන බව බුදුපියාණන්වහන්සේම යථාපරිදි තේරුම් ගත් බව නිතර නිතර ප‍්‍රකාශ කර ඇත.

අනරිය භාවනා ක‍්‍රම භාවිතයෙන් ලබන අෂ්ට අභිඥාද යම් ආකාරයක රාගයෙන් ද්වේෂයෙන් වෙන්වූ එකකි. නමුත් මෝහයෙන් සහමුළින්ම ඉවත්වී ලබන විද්‍යා විමුක්තිය එහිදී නොලබන බවත් පැහැදිළිවම දේශණා කර ඇත. ලෞකික වූත් භෞතික වූත් පංච අභිඥා හා ඍර්ධි ප‍්‍රාතිහාර්යයන්ද පෑ හැකි මෙම අනරිය ධ්‍යානයන් උපදවා ගැනීමේ භාවනා ක‍්‍රමය බුදුපියාණන් සොයා දැනගත් දෙයක් හෝ බුද්ධ දේශණාවක් හෝ නොවේ. බුදුපියාණන් සොයා දැන දේශණාකළ ආනාපානසති භාවනා ක‍්‍රමය රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර විවේක නිශ‍්‍රිත, විරාග නිශ‍්‍රිත, නිරෝධ නිශ‍්‍රිත, වොස්සග්ග පරිනාමී විද්‍යා විමුක්තියම ළඟාකර දෙන භාවනා ක‍්‍රමයකි. එය අරිය මාර්ගයයි.

අද සම්මත වශයෙන් භාවිතා කරන අනරිය ආනාපාන සතිය භාවනා කිරීමට නම් කැලයකට, ආරඤ්ඤයකට හෝ භාවනා මධ්‍යස්ථානයකට යාමත් එසේ ගොස් මිනිස් වාසයෙන් තරමක් දුරස්වී, තනිවී භාවනා කිරීමත් කළ යුතුය. මෙහිදී ලබාදෙන වැදගත්ම හා එකම උපදේශය සිතට අරමුණු වන සියලු ආකාර අරමුණු සිතින් ඉවත් කර හොඳ නරක සියලු අරමුණු වලින් ඉවත්වීමට ක‍්‍රියා කිරීමට පුරුදු වීමයි. මෙහිදී සිදුවන්නේ රාග, ද්වේෂ අරමුණු තාවකාලිකව යටපත්වී, සිත සංඥා වලින් තොරවී අසංඥ තත්ත්වයට පත්වීමයි. මේ ආනාපානසති භාවනාව වැඞීමට යම් ධර්මාවබෝධයක් හෝ සබ්බකාය පිරිසිඳ දැන ගැනීමක් හෝ අවශ්‍ය නොවේ. ඒ නිසා කිසිවිටෙකත් මෝහයේ, අවිද්‍යාවේ මුල් ගළවා විද්‍යා විමුක්තියට පත්වීම මෙහිදී සිදු නොවේ. අවිද්‍යාව දුරුවී, විද්‍යාව උපතක් නොලබන නිසාම ධ්‍යානයන් ලැබුවත් මෝහ මුල දිගින් දිගටම ක‍්‍රියාත්මක වෙයි.

අද භාවිතා කරන මෙම ලෞකික ආනාපානසති භාවනා ක‍්‍රමයට අනුව කය සෙළවීම, ඉරියවු වෙනස් කිරීම හෝ වෙනත් බාහිර බාධක, උපද්‍රව භාවනාව දිගටම පවත්වා ගෙන යන්නට නොහැකිවන බාධක හේතුන්ය. බලයෙන්, කෘතිම වශයෙන් තාවකාලිකව යටපත් කරගත් රාග, ද්වේෂ ගති ලක්ෂණයන් මෙවන් බාහිර බාධාවීම් සිදුවීමත් සමඟම නැවතත් මතුවී එයි. මෙහිදී මෝහ මූලය නොසිඳන නිසා මෝහ ගතිය සහමුළින්ම උදුරා ඉවත් නොකරන නිසා රාගය උපදවන, ද්වේෂය උපදන යම් අරමුණක්, දර්ශනයක් ශබ්දයක් නිසා ධ්‍යානය කඩා වැටෙයි. වසර පනහක් හෝ කැලයක භාවනා කර සියලු ධ්‍යානයන් ලබාගත් කෙනෙකු පවා කැලයෙන් එළියට පැමිණ සාමාන්‍ය පෘථග්ජන ලෝකයේ ජීවත්වන විට දින ගණනකදී ධ්‍යානයෙන් පිරිහීගත් සාමාන්‍ය පුද්ගලයෙකු බවටම යළි පත්වෙයි. වසර ගණනක් දුක් විඳ ධූතාංග රැක උපයාගත් අනරිය ධ්‍යානයන් සහමුළින්ම නැතිවී යයි.

බුදුපියාණන් දේශණා කර වදාළ අරිය ධ්‍යානයන් එවැනි දේ නොවේ. යථාවබෝධයෙන්, ධර්මාවබෝධයෙන් සත්‍යය දැන තේරුම්ගෙන අරිය තත්ත්වයට පත්වූ උත්තමයෙකු නැවත කිසිදාක වසර සියයක් පෘථග්ජනයා අතර ජීවත් වූවත් රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් මුළා නොවෙයි. ධ්‍යානයන්, මාර්ග ඵලයන් පිරිහීමක් සිදු නොවෙයි. මෙහිදී ආරඤ්ඤගතවීම, රුක්ඛමූලගතවීම, සුඤ්ඤාගාරගතවීම තම ආධ්‍යාත්මයෙන් අභ්‍යන්තර වශයෙන් ඇති කරගන්නා ගතිගුණ සමුදායකි. ඒවාට හුරුපුරුදු වූ විට මහ සෙනඟක් මැදදී පවා මොහොතකින් සමාධි ගතවී සමාපත්තියෙහි පිහිටා ක‍්‍රියාකිරීමේ ශක්තියක් අරිය ධ්‍යානයන් ලැබූවෙකු සතුව පවතී.

මුලදී යම් ආකාරයක නිසල පරිසරයකට වී භාවනාව පුරුදු පුහුණු කරගත් පසුව, භාවනා කරන ඉරියව්ව හෝ ඉඳගෙන, හිටගෙන, ඇවිදිමින්, නිදයමින් සිටම හෝ භාවනා කිරීමට බාධකයක්ද නොවේ. ඒනිසා සතර ඉරියව්වෙන්ම සතර සතිපට්ඨානයේම පිහිටා කටයුතු කිරීමේ ශක්තියක් බුදුපියාණන් පෙන්වා වදාළ අරිය ආනාපානසති භාවනා ක‍්‍රමයේ පවතී. යථාවබෝධය ලැබූ අරහතුන්වහන්සේ පැය විසිහතර මුළුල්ලේම සතර සතිපට්ඨානයෙන් යුතුවම සියලු කටයුතු කරයි.  ඒ ලබාගත් සත්‍යාවබෝධය නිසාම සිදුවන්නකි.

අද භාවිතා කරනු ලබන අනරිය ආනාපානසති භාවනා ක‍්‍රමයේ උගන්වන පරිදි මුළින්ම සමථ භාවනාව වඩා සමථයට පත්වී දෙවන අවස්ථාවේදී විපස්සනා භාවනාව වෙත මාරුවීමක් ප‍්‍රකාශ කරයි. නමුත් බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ ආනාපානසති භාවනාව එවැන්නක් නොවේ. එය යුගනද්ධ භාවනාවකි. සමථ විපස්සනා වැඞීම යැයි දෙකක් එහි වෙන්කොට නැත. සමථ විපස්සනා දෙකම එකටම එක සමගම වැඩෙන එකම භාවනා ක‍්‍රමයද මෙයයි. ඉන්ද්‍රියයන් හයම මෙහිදී එකවර සංවර වන නිසා
තමන් දැන හෝ නොදැන සමථ විපස්සනා යැයි වෙන් කිරීමකින් තොරවම සතර සතිපට්ඨානයේම පිහිටීමත් සමඟම සත්ත බොජ්ජංග වැඩෙන්නට පටන් ගනී. මේ අනුව හුස්ම ගැනීම පිට කිරීම – පිම්බීම හැකිළීම මෙනෙහි කිරීමේදී පළමුව සමථය වඩා දෙවනුව විපස්සනාවට මාරුවිය යුතුයැයි ප‍්‍රකාශ කළත් එහිදී විපස්සනා භාවනාවක් සිදුවන්නේම නැත. අනිච්ච සංඥාව වැඞීමෙන් – සඤ්ඤාපටිලාභය විපස්සනා කිරීමත්, විරාග සංඥාව, නිරෝධ සංඥාව වැඞීමෙන් – දිට්ඨිපටිලාභය විපස්සනා කිරිමත්, පටිනිස්සග්ග සංඥාව වැඞීමෙන් – අත්ථපටිලාභ සංඥාව විපස්සනා කිරීමටත් හැකි වන්නේ අරිය ආනාපානසති භාවනාව වැඞීමේදී මිස පිම්බීම හැකිළීම අරමුණු කරගැනීමේදී නොවේ. මේ අනුව අද පුරුදු කරන පුහුණු කරන ආනාපානසති භාවනාව යැයි නම් කළ ක‍්‍රමයේ විපස්සනා භාවනාවක් සිදුවන්නේ යැයි අනුමානයෙන් වත් සිතිය නොහැකිය.

බුදුපියාණන් අර්ථ විග‍්‍රහ කර අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව සීල, සමාධි, ප‍්‍රඥා යන අංගයන් තුනම ක‍්‍රමානුකූලව වැඩෙන භාවනා ක‍්‍රමයකි. සංවර, සංසිඳීම හා සම්මා යන අංග තුන සීල, සමාධි, ප‍්‍රඥා යන නම් වලින්ද බුද්ධ දේශණාවේ නම්කර ඇත. ඉන්ද්‍රියයන් හයම සංවරවීමත් සමඟ සංවර සීලයේ පිහිටීමත් කාය පස්සදිය, වේදනා පස්සදිය හා චිත්ත පස්සදිය සමඟ සංසිඳීම සිදුවන බවත් ධම්මානුපස්සනාව වැඞීමත් සමඟ ප‍්‍රඥාව පූර්ණ වී සම්මා අංග අටම පූර්ණවන බවත් අරිය ආනාපානසතියේ පෙන්වා වදාළ නිවන් මාර්ගයයි. අනරිය ආනාපානසතිය වැඞීමෙන්ද යම් සීලයක පිහිටන නිසා ශික්ෂණය වීමත් සංවර වීමත් සිදුවන අතර ප‍්‍රඥා විමුක්තියට පත්වීමට උපකාර වන විද්‍යා විමුක්තිය නම් පූර්ණ වීමක් සිදු වන්නේම නැත. ඒනිසා එය නිවනට උපකාර නොවන භාවනා ක‍්‍රමයක් බව කාටත් තේරුම් ගත හැකිය.

බුද්ධ දේශණාවේ අනුදැන වදාළ අරිය ආනාපානසති භාවනාව පෘථග්ජන, සේඛ, අසේඛ යන තුන් කොට්ඨාශයටම භාවිතයට සුදුසු භාවනා ක‍්‍රමයකි. බුදුපියාණන්වහන්සේ පවා බොහෝ අවස්ථාවල විවේක සුවයෙන් සති ගණන් වාසය කළේ මෙම ආනාපානසති භාවනාවේ යෙදෙමිනි. මේ බව බොහෝ සූත‍්‍ර දේශණාවල සඳහන්ය. මේ අනුව අරිය විනයෙහි දක්වා වදාළ ආනාපානසති භාවනා ක‍්‍රමය අරහත් බව ලබා නිවන් අවබෝධකරගත් අසේඛ උත්තමයන්ටත් මගඵල පූර්ණය කරන්නට උත්සාහ ගන්නා සේඛ පුද්ගලයින්ටත් අරිය තත්ත්වයට පත්වන්නට මං සොයන පෘථග්ජන පුද්ගලයින්ටත් එක සමානව භාවනා කළ හැකි මහත්ඵල ලබාදෙන මහානිසංස ඇති භාවනා ක‍්‍රමයකි.

මේ අනුව මෙහි සඳහන් කරුණු කාරණා කිහිප වරක් හෝ කියවා බලා තේරුම්ගෙන තමා තමා තුළින්ම ධර්මය අනුගමනය කර නිවන අත්විඳ ගන්නට උත්සාහ කරන්න. වචන හරඹයක යෙදී මෙවන් උතුම් ධර්මයක් යටපත් කරන්නට උත්සාහ දරණ බොහෝ උගත්තු එදා මෙන්ම අදත් සිටිති. හෙටත් එවැනි අය යම් යම් දෘෂ්ඨි වල එල්බගෙන කටයුතු කරනු ඇත. නිවන් අවබෝධ කරගන්නට උත්සාහ දරණ කෙනෙකු ලෙස මේ පොත කියවන ඔබ මෙහි සඳහන් අරිය මාර්ගය ප‍්‍රායෝගිකවම ක‍්‍රියාත්මක කර බලන්නටම උත්සාහ ගන්න. සුනේථ, ධාරේථ, චරේථ ධම්මෝ යන පියවරයන් තුනම සම්පූර්ණ වශයෙන් මෙම ආනාපානසති සූත‍්‍රයේ ඇති නිසා එය දැන අනුගමනය කර අත්විඳ ගැනීම හෝ නොසළකා මඟහැර අතරමංවීම ඔබටම අයත් කාර්යයයි. වගකීමයි.

Share Button

ධම්මානුධම්ම පටිපදාව III

මේ උතුම් බුද්ධ ධර්මය ප‍්‍රඥාවන්ත පුද්ගලයාට මිස දුප්පඤ්ඤ පුද්ගලයාට ගෝචර නොවේ යැයි ආනාපනා සති සූත‍්‍ර දේශණාවේදී මෙන්ම වෙනත් තැන්වලදීත් බුදුපියාණන් වහන්සේ ම පෙන්වා වදාළහ.

මිනිසුන් ලෙස උපතලත් ඔබ හැම කෙනෙකු උපතින් ම මනසක්ද උරුම කරගෙන ම උපත ලබා ඇත. මනස පාවිච්චි කරමින් තම චිත්තසංථානයේම ගබඩා වී පවතින කෙළෙස් ගති දැක ඒවා ප‍්‍රහාණය කර දැමීමට ක‍්‍රියා කළහොත් බොහෝ මිනිසුන්ටත් ප‍්‍රඥාවන්තයින් ලෙසින් ද ක‍්‍රියා කිරීමේ ශක්තියක් තමා තුළම ඇති කර ගත හැකියි. මේ අනුව ධර්මාවබෝධය ලබා ගැනීමට හැකි ආකාරයට මිනිසුන්ගේ සිතුම් පැතුම් සැකසීමට උපකාර වීමත්, ධර්මාවබෝධය ලැබූ අයට සසර දුකින් සඳහටම මිදී නිදහස් වීමට මඟ පැහැදිළිවම පෙන්වා දීමත් බුද්ධ දේශණාවේ ඒකායන පරමාර්ථය වේ.

යමකුට බුද්ධ ධර්මය අසා බුද්ධ දේශණාවෙහි සඳහන් සරළ දේ පවා තේරුම් ගත නොහැකි නම් එය කාගේවත් ම වරදක් නොවන බවත් තමා තුළම ඇති වැරදි දෘෂ්ඨිය බවත් දැනගත යුතුයි. බුද්ධ ධර්මයේ දේශණා කර වදාළ ගැඹුරු ධර්මයන් නිවැරදිව ම තේරුම් ගත හැකි වන්නේ තමා තුළම අනන්ත අප‍්‍රමාණ කාලයක් පටන්ම මුල් බැසගෙන පවතින මිච්ජා දෘෂ්ඨි, වැරදි ගතිගුණ, වැරදි හුරු පුරුදු තමා තුළින් ම ඉවත් කර නිදහසේ සිතන්නට පුරුදු පුහුණු වීමත් සමඟම පමණි. මේ වැරදි ආකල්ප, නරක ගතිගුණ, හුරු පුරුදු අතීතයේ තමන්ම එකතු කර තමාගේම චිත්තසංන්ථාය තුළම ගබඩා වී පවතින නිසා ඒ කෙළෙස්වලින් ම තමාගේ ම මනස වැසී යෑම හේතු කොට ගෙනම දැන් තමා මෝහයෙන් යුතුව ක‍්‍රියා කරන බවත් දැනගත යුතුයි. තමා දුක් විඳින්නේ මේ බව නොදැනීම, අවිද්‍යාව, නොදන්නාකම නිසයි. මෝඩකම ඇත්තේ තමා තුළමයි. තම මනස වසා, මුවහ කරගත්තේ ද තමන් මයි.

දැඩි දෘෂ්ඨියෙන් මුළා වූ, මිච්ඡ දිට්ඨියෙන් භරිත වූ බොහෝ මිනිසුන්ට බුදු බණ දේශණා කර මනස, ඥාණය උපදවා පහදා ගන්නට මඟ කියා දුන්නත් ක‍්‍රියාත්මක වශයෙන් ඒ මඟ අනුගමනය කරගන්නට ඔවුන්ට නොහැකියි. එවැනි අයට පිහිට වන මඟක් පෙන්වීමද අපහසුයි. එවැනි අයට ධර්මය දේශණා කරන්නට දරණ උත්සාහය ද කාලය අපතේ යැවීමක් පමණි.

පොඩි දරුවන්ට සෙල්ලම් බඩුවක්, සීනි බෝලයක් වැනි ඒ මොහොතේ සිත සනසා ගන්නට යමක් දී රවටනවා මෙන් ඒ අයට ලෞකික දෙව් මිනිස් සැප සම්පත් මවා පෙන්වා දී තාවකාලික හෝ යහමඟට ගැනීමේ ක‍්‍රමයක්ද බුද්ධාගමේ නම් ඇති බව තේරුම් ගත යුතුයි. එවන් ලෞකික සැප සම්පත්, දෙව් මිනිස් සැප සම්පත් හඹා යන පුද්ගලයා නිරන්තරයෙන්ම ආත්ම දෘෂ්ඨියට පත්වීමද සිදුවෙයි. ලාභ දෘෂ්ඨියට පත්වීමද සිදුවෙයි. ආස්වාදයක් විඳගැනීමේ අත්ථපටිලාභ දෘෂ්ඨියද ඒ නිසා ම භව දෘෂ්ඨිය හා විභව දාෂ්ඨියට පත් වීම ද නියත වශයෙන් ම සිදු වේ.

මේ අනුව මිනිසෙකු ලෙසින් අද උපත ලබා සිටින ඔබ පළමු කොටම ශුද්ධ පවිත‍්‍ර කරගත යුතු වන්නේ තමා තුළම මුල් බැසගෙන පවතින වැරදි දෘෂ්ඨියයි. මිච්ඡුා දෘෂ්ඨියයි. සක්කාය දෘෂ්ඨියයි. සීල, සමාධි, ප‍්‍රඥා යන අංග තුනම මේ සඳහා ද නියත වශයෙන් ම උපකාර වන බව තේරුම් ගත යුතුයි. සීල විශුද්ධිය, චිත්ත විශුද්ධිය නිසාම දෘෂ්ඨි විශුද්ධියට පත්වීම ද සිදු කර ගත හැකි වේ.

බුද්ධ භාෂිතයේ සඳහන් පංච සීලය සීල විශුද්ධියයි. බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ පංච සීලය පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ දී මෙසේ දක්වා ඇත.

”පාණාතිපාතස්ස පහානා සීලං වේරමණී සීලං, චේතනා සීලං, සංවරෝ සීලං, අවිතික්කමෝ සීලං”

සංවර සීලය මෙහි වැදගත්ම අංගයයි. එහිදි මූලිකම කොටස් හතරක් විග‍්‍රහ වේ. සියලු සිල් පදයන්හි ම මේ අංග පහම අඩංගු වේ.

1. ප‍්‍රාතිමෝක්ඛ සංවර සීලය – චාරිත‍්‍ර වාරිත‍්‍ර සීලයයි.
2. ඉන්ද්‍රිය සංවර සීලය – ඉන්දියයන් හය සංවර කර ගැනීමයි.
3. ආජීව පාරිශුද්ධ සංවර සීලය – පිරිසිදු ආජීවකයෙකුගේ පැවැත්මයි.
4. ප‍්‍රත්‍ය සංනිශ‍්‍රිත සංවර සීලය – සිවුපසය සංවරත්වයෙන් පරිහරණය කිරීමයි.

සතර සංවර සීලයේ පිහිටියෙකු අප්පමාද වූ අයෙකි. මදයට, ප‍්‍රමාදයට හේතු ඔහු තුළ නොවේ. කළ්‍යාණ ධර්මයන් පිළිපදින කළ්‍යාණ මිත‍්‍රයින් ආශ‍්‍රය කරන කෙනෙකි. බිය පහකර දැමුවෙකි. අවංකව, පිරිසිදුව, පවිත‍්‍රව ක‍්‍රියා කරන කෙනෙකි. මරණ මොහොතේදී පවා සිහි මුළා නොවී සිහියෙන් කාලක‍්‍රියා කරන්නට හැකි ශක්තිය ඇත්තෙකි. මරණයෙන් පසු නිවන් නොදැක්කේ නම් සුගති ලෝකයකම උපත ලබයි. සංවර සීලයේ පිහිටා ක‍්‍රියාකරන කෙනෙකු චේතනා සීලය, ප‍්‍රහාණ සීලය, වේරමණී සීලය මෙන්ම අවිතික්කම සීලයෙහි ද පිහිටා ක‍්‍රියාකරන්නකුම වේ.

මිනිස් සමාජයේ සාමාජිකයකු ලෙසින් එදිනෙදා තම පැවැත්ම යහපත් ලෙසින් පවත්වා ගන්නට නීති ගරුකව ශිෂ්ඨ සම්පන්නව, සුචරිතවත් ලෙසින් ජීවිතය පවත්වා ගන්නට උපකාර වන සම්මත පංච සීලයක්ද තිබේ. එය ලෞකික සීලයයි. එය සමාජ චර්යා ධර්ම පද්ධතියකි. ගිහියාටත්, පැවිද්දාටත් නිත්‍ය සීලයක් ලෙසින් පෙන්වා දුන් මේ ලෞකික සීලය යහපැවැත්මකට මෙන්ම යහපත් සමාජ රටාවකටද උපකාරවන සීලයකි. මේ මඟින් ලෝකයේ ජීවත් වන්නට, ශික්ෂණය වන්නට, හික්මීමට උපකාරයක් ලැබේ. සංවරත්වය, සංවර සීලය යන්න ඊට වඩා බලවත් එකකි. එය බෞද්ධ අබෞද්ධ හැම මිනිසකුටම නිවන් අවබෝධය සඳහාම නියත වශයෙන් උපකාර වන සීලයකි. බුද්ධ ධර්මයේ හැර වෙනත් ආගමක හෝ ආගම් සංකල්පයක් තුළ හෝ මේ සංවර සීලය පෙන්වා දී නොමැත. සුගති ලෝකයකට යාමේ හෝ අපායෙන් බේරී නිදහස් වීමට හෝ බලාපොරොත්තුවෙන් රකින සීලයක් නම් එය සංවර සීලයක් නොවේ. එහි යම් ලෞකික බලාපොරොත්තුවක් පැවතීම එයට හේතුව වේ.

ජෛන, පතංජලී, ශිව ආදී විවිධ පෙරදිග ආගම් වල එදා පැවති පංචසීල හෝ උපෝස්ථ සීල ප‍්‍රතිපත්තීන් ඉතා ගරු කොට වැදගත් කොට සැලකූ බව පෙනේ. බුද්ධඝෝෂ හාමුදුරුවෝ, ගුරුළුගෝමීන් වැනි අටුවාචාරීන් විග‍්‍රහ කර පෙන්වූයේ ද වේද, ජෛන, ශිව, පතංජලී ආදි ආගම්වල එදා අනුගමනය කළ ලෞකික සීල ප‍්‍රතිපදාවන් ම මිස සංවර සීලය යන අර්ථය ඇතිව පෙන්වා වදාළ සීලයක් නොවේ. අද බුද්ධාගමේ ද සිල් ගැනීම, සිල් රැුකීම ආදි වශයෙන් ගිහි, පැවිදි දෙපිරිසම කරන්නේත් විශ්වාස කරන්නේත් එදා විශුද්ධි මාර්ගය ලියා බුද්ධඝෝෂ හාමුදුරුවෝ ඉස්මතු කර දුන් ලෞකික සීල ප‍්‍රතිපදාව මිස සංවර අර්ථයෙන් එදා බුදුපියාණන් පෙන්වා වදාළ ත‍්‍රිපිටකයේ සඳහන් වන සීල විශුද්ධිය නම් නොවේ. මේ සීල සමාදානය ද හොඳ යහපත් දෙයකි. මෙහි අයහපතක් ඇතැයි කාටවත් ම කිව නොහැකිය. නමුත් බුද්ධ ධර්මය අනුගමනය කර, නිවන් අවබෝධයම ලබා ගන්නට බලාපොරොත්තු වන බෞද්ධ පින්වතුනට නම් මෙම ලෞකික සීල ප‍්‍රතිපදාවට අමතර වශයෙන් ලෝකෝත්තර නිවන් මාර්ගයට උපකාර වන සංවර සීලයද අත්‍යවශ්‍යම වන අංගයකි.

වේරමණි සීලය බුදුපියාණන් බුද්ධත්වයට පත්වන වකවානුවෙහිත් ජන්බුද්වීපයේ බහුල ලෙසින් ම භාවිතා කළ සමාදන් වූ සීල ප‍්‍රතිපදාවකි. බුදුපියාණන්වහන්සේ මේ සම්මත සීල ප‍්‍රතිපදාවටම ලෝකෝත්තර අර්ථයක් ලබාදී සංවර අර්ථයෙන්ම සීලයේ පිහිටා ක‍්‍රියාකළ යුතු බව දේශණා කර වදාරා ඇත.

සමාදන් කරවීම යන පදයෙන් අර්ථ ගැන්වෙන්නේ යම් කෙනෙකු පොරොන්දු කරවා ගෙන, සපථ කරවාගෙන, යමකින් වළක්වා ගැනීමට දරණ උත්සාහයකි. මෙය බොහෝ දේව ආගම් වල දකින්නට ලැබෙන ලක්ෂණයකි. නමුත් බුද්ධ භාෂිතයේ අනුදැන වදාළ සීල ප‍්‍රතිපදාවෙහි, සීලයේ පිහිටා ක‍්‍රියාකරන කෙනෙකුගේ ළය සිසිල් වන බව, හදවත සුදුවන බව, (සුහද) ඉන්ද්‍රියයන් සංවර වන බව ඒ පුද්ගලයාටම අත්විඳ ගන්නට හැකි වන කරුණකි. ඒ සීල ප‍්‍රතිපදාවෙන් තමන්ම නිවෙන බව, නිදහස් වන බව, තමන් ම නිවනට ළංවන බව, අත්දැක ගත හැකි වීම විශේෂත්වයකි.

නිවන් මඟට උපකාර වන ලෝකෝත්තර සීලයේ, සීල ප‍්‍රතිපදාවේ පිහිටා ක‍්‍රියාකරන පුද්ගලයා නියත වශයෙන්ම නිරුත්සාහයෙන්ම අනිවාර්යයෙන්ම යහපත්, හොඳ නිවැරදි පුද්ගලයෙකු වීමද සිදුවේ. මෙය අතුරු ප‍්‍රතිඵලයකි. නමුත් අරියකාන්ත සීලයේ ඒකායන පරමාර්ථය සසර දුකින් සදහටම මිදී නිදහස් වීමයි.

ආගම් සංකල්පවල පෙන්වා දෙනු ලබන ලෞකික සීල ප‍්‍රතිපදාවෙහි යෙදීමෙන් අත්කුක්කංසන පරවම්හනය සිදු නොවේ. එනම් කුල බලය, නිල බලය, ධන බලය, උගත්කම, බුද්ධිමත් කම, බහුස්සුත බව වැනි මානය මුල් කොට ගත් ගති ගුණ නිසා අනුන් පහත හෙළා ක‍්‍රියා කරන්නට, තමන් උසස් යැයි සිතන්නට, එසේ කථා කරන්නට උපකාරවන ආත්මාර්ථකාමී ගතිගුණ ප‍්‍රහාණය නොවේ. ප‍්‍රහාණ සීලය, චේතනා සීලය මේ ලෞකික සීල සමාදානයන් තුළ නැති නිසා එවැනි ගතිගුණ ප‍්‍රහාණය වීමක් සිදු නොවේ. අප‍්‍රමාණ මෙත්තාව – චේතෝ විමුක්තිය, සම මෙත පතුරවා විද්‍යා විමුක්තියට පත්වීමට නම් ලෝකෝත්තර සීල ප‍්‍රතිපදාවෙහි ම පිහිටිය යුතුයි. තමන් සංසාරයේ පුරුදු කරගෙන ආ යම් යම් ගති පුරුදු, ආත්මවාදී ලක්ෂණයන් ඉවත් කර පාරිශුද්ධ තත්ත්වයට පත් වීමට නම් අවිතික්කම සීලයේද පිහිටිය යුතුමයි. පාපය, වරද සම්මතයට වඩා ලෝකෝත්තර සීලයේ පදනම බවම තේරුම් ගෙන ක‍්‍රියා කිරීම ”සංවරට්ඨේන සීල විශුද්ධිං” යන පදවල අර්ථයයි.

අරිය අෂ්ටාංගික මාර්ගයේ පෙන්වා වදාළ සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව යන ලෝකෝත්තර සීල අංග සම්පූර්ණ කරගත හැකි වන්නේද සංවර සීලයෙන්, චේතනා සීලයෙන් හා අවිතික්කම සීලයෙන් ම පමණි. මේ බව මහාචත්තාරිස සූත‍්‍රයේදී ඉතාමත් පැහැදිළිව විග‍්‍රහ කර පෙන්වා දී තිබේ.

ආගම්වල සමාදන් වන ලෞකික සීලය ඒ ඒ කාලයට, ඒ ඒ දේශයට, ඒ ඒ පුද්ගලයාට, ඒ ඒ පාලකයාට අනුව වෙනස් වූ, වෙනස් වන දෙයකි. රටක මිනිහකු මැරීම පාණාතිපාතයට අයත් වන පාප කර්මයක් නමුත් යුද්ධයක් පවතින රටක යම් ලෞකික පරමාර්ථයකින් මිනිසුන් මරණයට පත්කර හෝ රට රැුක ගැනීම යහපත් සදාචාරවත් සම්මත වූ එකක් බව අද මෙන් ම එදා ද සැළකූ බව පෙනේ. මේ අනුව සිල්පද රැුකීමත්, සමාදන් වීමත් විවිධ සමාජ අවශ්‍යතාවන් අනුව වෙනස් වන දෙයකි. අනුන් සතු දේ බලයෙන් අල්ලා ගැනීම අදින්නාදානය ද මේ ආකාරයෙන් ම සිදු වේ. කාමයෙහි හැසිරීම ද මේ ආකාරයෙන්ම විග‍්‍රහ කරගත යුතුයි. අතීතයේ රටේ රජුට තම රටේ හැම රුවැති කාන්තාවක්ම තම අන්තඃපුරයට ගෙන්වා ගන්නට අයිතියක් පැවතුණි. මේ නිසාම සම්මත සීලය හා සංවර සීලය යන දෙකෙහි අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාණ යන සියල්ලම නා නා අර්ථ ගන්නා බව පෙන්වා දිය යුතුයි. තමන්ට හොඳ දේ, තමන්ට ගැළපෙන දේ, වැඩි දෙනකු පිළිගන්නා සම්මත ක‍්‍රමය, ලෞකික සීලයයි. එය සමාජමය වශයෙන් කොතරම් යහපත් වුණත්, නිවනට බාධක නම් එය සංවරත්වයට බාධක නම්, චේතනාව අපිරිසිදු නම් එතන නිවනට උපකාර වන සීලයක් ද නොපවතී. මේ අනුව සංවර අර්ථයෙන්ම සීල විශුද්ධියේ පිහිටා ක‍්‍රියා කිරීම නිවනට මාර්ගයයි.

මේ ආකාරයෙන්ම විශුද්ධි මාර්ගයේ කංඛාවිතරණ විශුද්ධියක් පිළිබඳවද පෙන්වාදී ඇත. විචිකිච්ඡුාවෙන් වෙන් වී උද්ධච්චයෙන් වෙන් වීම, අවික්ඛේපාර්ථයෙන්ම චිත්තවිශුද්ධියට පත්වීමක් මිස කංඛාවිතරණයෙන් මිදී, සැකයෙන් නිදහස් වීමේ ක‍්‍රමවේදයක් බුද්ධ දේශණාවෙහි නම් පෙන්වා දී නොමැත. අටුවාචාරීන් ”කංඛා විතරණය” හා ”විචිකිච්ඡුාව” වෙන් කොට නොදුටු නිසා, විචිකිච්චාව ද සැකයක් සේම විග‍්‍රහ කිරීමෙන් ”අනිච්චානුපස්නාව” ප‍්‍රගුණ කර නිච්ච සංඥාව ප‍්‍රහාණය කිරීමෙන් අසාර බව, අනාථ බව අනුපස්සනා කරමින් අත්ථ සංඥාව ප‍්‍රහාණය කිරීමේ ක‍්‍රමය බෞද්ධයාට නුහුරු නුපුරුදු දෙයක් බවට ම පත් කරන ලදී.

නිවන් අවබෝධ කරගැනීමට කටයුතු කරන ගිහියකු හෝ යෝගාවචරයකු ”පංච ප‍්‍රහාණයන්” පිළිබඳවද නිවැරදිවම අවබෝධ කරගත යුතුයි. ”කුසලස්ස උපසම්පදා” යනුවෙන් පෙන්වා දුන්්නේ සළා හැර, අස්කර, ඉවත්කර දැමිය යුතු කුණු, කෙළෙස්, ආසව පිළිබඳවයි. මේ නිසා සංසාර ගමනේදී කවදා හෝ තමන් එකතුකර තම චිත්තසංථානයේ ම
දැනට ගබඩා වී ඇති කිළිටි ගති (කුණු) ප‍්‍රහාණය කර, ඉවත් කිරීම පස් ආකාරයකින් සිදු කරගත යුතුයි. මේ පස් ආකාරය පංච ප‍්‍රහාණයන් ලෙසින් ධර්ම විග‍්‍රහයේ පැහැදිළිවම පෙන්වා දී තිබේ.

1. විෂ්කම්භන වශයෙන් ප‍්‍රහාණය කිරීම
2. තදංගම වශයෙන් ප‍්‍රහාණය කිරීම
3. සමුච්ෙඡ්ද වශයෙන් ප‍්‍රහාණය කිරීම
4. පටිපස්සද්දි වශයෙන් ප‍්‍රහාණය කිරීම හා
5. නිස්සරණ වශයෙන් ප‍්‍රහාණය කිරීම

1. විෂ්කම්භන වශයෙන් ප‍්‍රහාණය කළ යුත්තේ කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චා යන පංචකාම නීවරණ ධර්මයිි. කාමච්ඡන්දය දුරු කිරීමෙන් නෙක්ඛම්ම තත්ත්වයට සිත පත්වීමත්, ව්‍යාපාදය දුරු කිරීමෙන් මෙත් සිත වැඞීමත්, ථීනමිද්ධය දුරු කිරීමෙන් අලෝක සංඥාව මතුවීමත්, උද්ධච්චය දුරු කිරීමෙන් සිතේ විසිරුණු ගතිය දුරු වී, අවික්ඛේප තත්ත්වයට සිත පත්වීමත්, විචිකිච්චාව දුරු වීමෙන්, හේතුඵල දැක සතියෙහි පිහිටා කටයුතු කිරිමේ ශක්තිය ලැබීමත් නිසා, පළමුවැනි අරිය ධ්‍යානයට පත්වීමේ හැකියාව ද ලැබේ. මේ අනුව, එතෙක් කාලයක් සිතේ මුල් බැසගෙන පැවති නීවරණ ධර්මයෝ ප‍්‍රහාණය වී ප‍්‍රථම ධ්‍යානයේ පටන් මාර්ගයන්ට පත් වේ. මේ ක‍්‍රියාවලිය සඳහා ද ආනාපානා සතියම වැඩිය යුතුයි. සේවනය කළ යුතුයි. භාවිතා කළ යුතුය. බහුල ලෙසින් භාවිතා කළ යුතුයි.

නෙක්ඛම්ම අස්සසති කාමච්ඡන්දං පහජති
අව්‍යාපාදං අස්සසති උද්ධච්චං පජහති
අවික්ඛේපං අස්සති උද්ධච්චං පජහති
ධම්මවවත්තේන අස්සසති විචිකිච්චං පජහති
ඥාණ වශයෙන් ජාතධම්මා අවිජ්ජා පජහති
පාමොජ්ජ (ප‍්‍රමෝදය) ජාතධම්මා අරතිං පජහතෝ

මෙහිදී භාවිතා කළයුතු සේවනය කළයුතු වන්නේ ඉතාමත් ම පැහැදිළිව ආනාපානා සතියයි. නෙක්ඛම්ම ආන කරන විට (අස්ස) කාමච්ඡන්දය ”පාන” කළ යුතුයි. ප‍්‍රහාණය කිරීම ”පාන” යන අර්ථයෙන් හා පජහති යන අර්ථයෙන්ද මෙහිදී පෙන්වා දී තිබේ.

2. තදංගප්පහාණංච – දිටිඨිගතානං නිබ්බේධ භාගියා සමාධං භාවයතෝ. මේ දෙවන අවස්ථාවේදී ධ්‍යානයන් ලබා ගැනීමත් සමඟම මෙතෙක් පැවති තද දෘෂ්ඨිගතවීම් නිර්වේදයට පැමිණ, වේදනා විඳීමෙන් තොර වූ තත්ත්වයකට පැමිණ, තදින් දෘෂ්ඨිගත වීමෙන්ද ඉවත් වී සමාධිගත වීමත් සමඟම සංයෝජන වෙන්කර දැක ගැනීමටත්, ආසව අනුසය වෙන්කර දැක ගැනීමටත් හැකි වේ. මෙය තදංගම ප‍්‍රහාණයයි.

3. සමුච්ඡේදප්පහාණං – ලෝකුත්තරා ඛයගාමි මග්ගං භාවයතෝ
මාර්ග ඵලයන් ලබාගන්නටම උපකාර වන ආසව, අනුසය ඛය වී යන, කෙළෙස් මුලින් ගළවා දමන, සමුච්ඡේද වශයෙන් කෙළෙස් ප‍්‍රහාණය කරනු ලබන්නේ මේ අවස්ථාවේදීයි. මෙය ලෝකෝත්තර නිවන් මාර්ගය වන,

1. සෝතාපන්න මාර්ගය
2. සකෘදාගාමි මාර්ගය
3. අනාගාමි මාර්ගය
4. අරහත් මාර්ගය

යන මාර්ගයන් සතර සම්පූර්ණ කර ගැනීමට අවශ්‍ය වන ආසවඛ්‍යා ඥාණය හා අනුසය ඛයා ඥාණයමයි. ඛණ සම්පත්තිය හතර වරකදී සම්පූර්ණ වීමත් සමඟම සමුච්ෙඡ්ද වශයෙන් ආසව ඛය වී, නිවන් මාර්ගය සම්පූර්ණ වන්නේ මෙම තුන් වන පියවරේදීයි.

4. පටිපස්සද්දීප්පහාණංච – පලක්ඛනේ (මාර්ගඵලයකට පත්වීම)සමුච්ඡේද වශයෙන් අනුසය ධර්මයන් ඛය වී යාමත් සමඟම සෝවාන්, සකෘදාගාමි අනාගාමි, අරහත් ඵලයන්ට පත් වන්නේ මේ අවස්ථාවේදීයි. මේ ඛණ සම්පත්තිය පූර්ණ වීමයි.

5. නිස්සරණප්පහානංච – නිරෝධෝ නිබ්බානං
මේ අවස්ථාව නිවන් ඵලයට පත්වී සිත අනුප්පාද තත්ත්වයට පත්වීම නිසා ලබන නිවන් සුවය අත්විඳ ගැනීමයි. අරහත් මාර්ග ඵලයෙන් පසුව ලබන නිබ්බාන සුවය සදාකාලික වශයෙන්ම සසර දුකින් මිදී ලබන අනුප්පාද නිස්සරණයයි. කෙළෙස් උපත ලබන සියලු මාර්ගයන් සහමුළින් ම ගළවා අවසන් කර නිස්සරණ තත්ත්වයට පත්වීමයි.

1. i.  චක්ඛුංච පටිච්ච රූපේච – උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
ii. චක්ඛුංච නපට්ච්ච රූපේච – අනුප්පාදෝ නිබ්බානං

මේ ප‍්‍රකාශ දෙකෙන් පැහැදිළිවම දෙපැත්තක් පෙන්වා දී ඇත. පළමුවැනි ප‍්‍රකාශයෙන ඇසත් රූපයත් පටිච්ච වීම නිසා කැමැත්තෙන්ම බැඳීම හේතුව කොටගෙනම විඤ්ඤාණ ශක්තියක් සිතක උපදී. ”සං” ශක්තිය උපදී. කෙළෙස් උපදී.

දෙවැනිව ප‍්‍රකාශ වන්නේ ”න පටිච්ච” – කැමැත්තට වහල් නොවී, කැමැත්තට නොබැඳී, උපේක්ඛා සිතින් ක‍්‍රියා කිරීම නිසා විඤ්ඤාණ ශක්තියක් නොඋපදින නිසා ඵල විපාකයක් උරුම නොවේ යන අදහසයි. ඵල විපාක උරුම නොවේ නම් එතැන ”අනුප්පාද” තත්ත්වයක් පවතී. එයම නිවනයි. නිදහස් වීමයි. මෙතැන ”අනුප්පාදෝ” යන පදයෙන් විග‍්‍රහ කළේ සම්මත උපතකින් නිදහස්වීම පමණක්ම නොවේ. මොහොතක් මොහොතක්ම පාසාම සිතක උපදින විඤ්ඤාණ ශක්තියකින්ම නිදහස් වීම පිළිබඳවයි. කර්ම බීජ සකස් වීම, කෙළෙස් උපත අනුප්පාද වීමයි. මේ ආකාරයටම

2.      i.    සෝතංච පටිච්ච සද්ධංච – උප්පජ්ජති සෝත විඤ්ඤාණං
ii.    සෝතංච න පටිච්ච්ච සද්ධං ච    – අනුප්පාදෝ නිබ්බානං
3.    i.    ඝානංච පටිච්ච ගන්ධංච    – උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං
ii.    ඝානංච න පටිච්ච ගන්ධං    – අනුප්පාදෝ නිබ්බානං
4.    i.    ජිව්හාච පටිච්ච රසාච    – උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං
ii.    ජිව්හාච න පටිච්ච රසාච    – අනුප්පාදෝ නිබ්බනං
5.    i.    කායංච පටිච්ච පොට්ඨබ්බං    – උප්පජ්ජති කාය විඤ්ඤාණං
ii.    කායංච න පට්ච්ච පොට්ඨබ්බං    – අනුප්පාදෝ නිබ්බානං
6.    i.    මානාච පටිච්ච ධම්මෝච    – උප්පජ්ජති මනෝ විඤ්ඤාණං
ii.    මනාච න පටිච්ච ධම්මෝච    – අනුප්පාදෝ නිබ්බානං

මෙතැනදී තේරුම් ගතයුතු වැදගත්ම මූල ධර්මය වන්නේ මේ ඉන්ද්‍රියයන් හයට පටිච්ච වීමට අමතරව වෙනත් කිසිම ආකාරයකින් විඤ්ඤාණ ශක්තියත් සිතක උත්පාදනය නොවන බවයි. ඒ වාගේම ප‍්‍රිය බවෙන්, අප‍්‍රිය බවෙන් හෝ මුළාවෙන් පටිච්ච නොවුණොත් උපේක්ඛා තත්ත්වයට සිත පත් කර ගෙන ක‍්‍රියා සිතක් පමණක් පැවැත්වූවොත් එතැනදීත් විඤ්ඤාණ ශක්තියක් නොඋපදින බවත්, විඤ්ඤාණ ශක්තියක් උත්පාද නොවුණොත් කර්ම බීජ සකස් නොවන බවත් දැනගත යුතුයි.

1. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීමම දුකට හේතුවයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදෝ සුඛං (නිරාමිස සුවයයි).
2. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීමම භයට හේතුවයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදෝ ඛේමං (සහනයයි).
3. විඤ්ඤාණ ශක්තියක් උප්පාදනය වීම ආමිසං – ආසව උපතට මුලයි.
විඤ්ඤාණ ශක්තීන් අනුත්පාදනය නිරාමිසං.
4. විඤ්දාණ ශක්තියක් ඉපදීම සංඛාර පැවැත්වීමට මුලයි.
විඤ්ඤාණ ශක්තීන් අනුප්පාදනය නිබ්බානං – නිදහස් වීමයි.

මේ නිවන නිදහස මොහොතින් මොහොතම තමන්ටම අත්විඳ ගත හැකි දෙයක්ම බවත් හැම කෙනෙකුටම දැන් අවබෝධ විය යුතුයි. විඤ්ඤාණ ශක්තිය දුර්වල වී යත්ම ප‍්‍රඥා ශක්තිය ක‍්‍රියාත්මක වීමටත් ආරම්භ වේ. ප‍්‍රඥා ශක්තිය යනු රාග, ද්වේෂ, මෝහ ගති වලින් හටගත් ආසව, අනුසය ධර්ම ඛය කර, ගළවා දැමීමට ඇති හැකියාවයි. ආසවඛයා
ඥාණයයි.

භාවනා කිරීම පරමාර්ථ වශයෙන් කොටස් හතරකට බෙදා බුද්ධ භාෂිතයෙහි විග‍්‍රහ කර අර්ථ දක්වා ඇත.

i. අනතිවත්තනට්ඨේන භාවනා
ii. ඉන්ද්‍රියානං එකරසට්ඨේන භාවනා
iii. තදුපග විරිය වහනට්ඨේන භාවනා
iv. ආසේවනට්ඨේන භාවනා යනුවෙනි

1. අනතිවත්තන – අර්ථයෙන් භාවනාව යනු අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් පැවැත්මෙහි, ජීවත්වීමෙහි ඇති යථාර්ථය ප‍්‍රත්‍යක්ෂ කර යථාවබෝධයක් ලබා ගැනීමට හැකි වන ආකාරයට භාවනා කිරීමයි. දුක්ඛ, සමුදය, නිරෝධ ප‍්‍රත්‍යක්ෂ කර චතුරාර්ය සත්‍යයන් ප‍්‍රත්‍යක්ෂ කර අවබෝධ කර ගත හැකි වන්නේ මෙම විපස්සනා භාවනා ක‍්‍රමයෙනුයි.

දුක යනු කිමැයි පීලනට්ඨෝ අභිඤ්ඤෙයියං (පීඩන අර්ථයෙන්)
දුක යනු කිමැයි සංඛතට්ටඨෝ අභිඤ්ඤෙයියං (එකතු කිරීමේ අර්ථයෙන්)
දුක යනු කිමැයි සන්තාපට්ඨෝ අභිඤ්ඤෙයියං (තවන අර්ථයෙන්)
දුක යනු කිමැයි විපරිණාමට්ඨෝ අභිඤ්ඤෙයියං (වෙනස් වන අර්ථයෙන්)

දුක පීඩාවක්ය, තමන්ම සකස්කර ගත් දෙයක්ය, පෙළිමක්ය, විඳ වීමක්ය යන අර්ථයෙන් යථා පරිදි අවබෝධ කරගත යුතුයි. දුක යනු සංඛාර කිරීමෙන් තම සිතෙන් ම සාදා එකතු කර තමාම සකස් කරගත් දෙයක් බව යථා පරිදි අවබෝධ කරගත යුතුයි. දුක යනු නිරන්තරයෙන්ම සන්තාපයට පත්කර වන, සංවේදී බවට මුල්වන බරක්, භයක්, බැම්මක් බව යථා පරිදි දැනගත යුතුයි. දුක යනු නිරන්තරයෙන් ම යමක් විපරිණාමයට පත්වන, වෙනස් වන ස්වභාවය නිසාම උරුම වන්නක් බව යථා පරිදි තේරුම් ගත යුතුයි.

සමුදයස්ස ආයුහනට්ඨෝ අභිඤ්ඤෙයිය (කර්ම බීජ සකස් වන බව) සමුදයස්ස නිදානට්ඨෝ අභිඤ්ඤෙයිය (කර්ම බීජවලට නිදාන වන බව) සමුදයස්ස සංයෝගට්ඨෝ අභිඤ්ඤෙයිය (සංයෝජන බිහි වන බව) සමුදයස්ස පලිබෝධට්ඨෝ අභිඤ්ඤෙයිය (පලිබෝධයක් බව)

සමුදය යනු ආයුහනය කර්ම බීජ සකස් වීමක්, සං උපත ලැබීමක්, රාග ද්වේෂ මෝහ උපත ලැබීමක් යන අර්ථයෙන් යථාපරිදි අවබෝධ කරගත යුතුයි.
සමුදය යනු නිදාන හේතුවක්, පටිච්ච වීමක් නිසා ම සිතක හටගත් කැමැත්තක් මුල්කොට ගෙනම බිහි වූවක් බව යථා පරිදි අවබෝධ කර ගත යුතුයි.
සමුදය යනු සංයෝජන ධර්මයක්, දස සංයෝජනයන් බිහිවීමට උපකාර වන සංඛාරයක් බව යථා පරිදි අවබෝධ කරගත යුතුයි.
සමුදය යනු සිතක මතුවන පලිබෝධයක් බව නිවැරදිවම යථා පරිදි අවබෝධ කර ගත යුතුයි.

නිරෝධස්ස නිස්සරණට්ඨෝ අභිඤ්ඤෙයියං (නිස්සරණය)
නිරෝධස්ස විවේකට්ඨෝ අභිඤ්ඤෙයියං (විවේක නිශ‍්‍රිත)
නිරෝධස්ස අසංඛට්ඨෝ අභිඤ්ඤෙයියං (අසංඛත)
නිරෝධස්ස අමතට්ඨෝ අභිඤ්ඤෙයියං (නිවන)

නිස්සරණ යනු නිස්සරණ අර්ථයෙන්ම නිරෝධය යථා පරිදි දැන ගත යුතුයි. සංසාර රිය ගමනෙන්, සැරි සැරීමෙන් මිදී නිදහස් වීම යන අර්ථයෙන් ම බව තේරුම් ගත යුතුයි.

විවේකය යනු විවේක අර්ථයෙන්ම නිරෝධය යන්නෙහි අර්ථය යථා පරිදි අවබෝධ කර ගත යුතුයි. ක‍්‍රියා හයක වේගයෙන් වෙන් වීම බවද දැන ගත යුතුයි. ඇසින් කරන ක‍්‍රියාව, කනෙන් කරන ක‍්‍රියාව, නාසයෙන්, දිවෙන්, කයෙන් කරන ක‍්‍රියාව මෙන්ම මනසින් කරන ක‍්‍රියාවන් නිසා විඤ්ඤාණ ශක්තිය උපදින බව දැක ඒ ක‍්‍රියා හයම පාලනය කර ගැනීමෙන් විවේක අර්ථයෙන් නිරෝධය තේරුම් ගත යුතුයි.

අසංඛත යනු අසංඛත අර්ථයෙන් ම නිරෝධය යථා පරිදි තේරුම් ගත යුතුයි. මෙතන ක‍්‍රියාව යන්න සංඛාර බවද දැනගත යුතුයි. සංඛාරයකට පටළැවීම නවතාගත හොත්, ක‍්‍රියා සිතක් පමණක් පැවැත්වුවහොත්, අසංඛත අර්ථයෙන් නිරෝධ වීම තේරුම්ගත යුතුයි.

අමතට්ඨෝ යනු අමතට්ඨෝ යන අර්ථයෙන්ම නිරෝධය තේරුම් ගත යුතුයි. මත් වීම, මදයට ප‍්‍රමාදයට හේතුව තේරුම් ගෙන අමත (මත අත්හැරීම) යන අර්ථයෙන්ම, අප්පමාද යන අර්ථයෙන්ම, නිරෝධය තේරුම් ගත යුතුයි. රාගයෙන්, කාමයෙන් මත්වීම සංසාර රිය ගමනට පාදක වන හේතුවයි. අවිද්‍යාව, තණ්හාවට නිදාන වන හේතුවයි. ”අමත” යනු, මතෙන් තොර යන අර්ථයෙන්ම නිරෝධය තේරුම් ගත යුතුයි. මජ්ක්‍ධිමා යන අර්ථයයි.

මේ අනුව අනතිවත්තන භාවනා ක‍්‍රමය, සමථ විපස්සනා යන භාවනා ක‍්‍රම දෙකටම පොදු වූ ඉතාමත් වැදගත්, නිවනට නිවැරදිවම උපකාර වන, උපකාර කර ගත යුතු භාවනා ක‍්‍රමයයි. මෙම භාවනා ක‍්‍රමයේ භාවනා කළයුතු, භාවිත කළ යුතු සියලුම කර්මස්ථාන ආන – පාන මූල ධර්මයට අනුගත වීම ප‍්‍රධානතම ලක්ෂණයයි.

ආන යනු ආශ‍්‍රය කළ යුතු – ඇතුළට ගත යුතු දේ පෙන්වා දීමයි
පාන යනු බැහැර කළ යුත – ප‍්‍රහාණය කර ඉවත් කළ යුතු දේ පෙන්වා දීමයි

මේ සඳහා ආශ‍්‍රය කළ යුතු හා බැහැර කළ යුතු දේ පෙන්වූ කර්මස්ථාන මේ ආකාරයෙන් තේරුම් ගත යුතුයි. අස්ස- පස්ස විග‍්‍රහය
1.    අනිච්චානුපස්සනා    – නිච්ච සඤ්ඤා පජහතෝ (ප‍්‍රහාණය)
2.    දුක්ඛානුපස්සනා    – සුඛ සක්ඤා පජහතෝ
3.    අනත්ථානුපස්සනා    – අත්ථ සඤ්ඤා පජහතෝ
4.    නිබ්බදානුපස්සනා    – නන්දිං පජහතෝ (අභිනන්දනය)
5.    විරාගානුපස්සනා විහරති    – රාගං පජහතෝ
6.    නිරෝධානුපස්සනා විහරති    – සමුදයං පජහතෝ
7.    පටිනිස්සග්ගානුපස්සනා විහරති    – ආදානං පජහතෝ (උපාදානය)
8.    ඛයානුපස්සනා විහරති    – ඝන සඤ්ඤා පජහතෝ
9.    වයානුපස්සනා විහරති    – ආයුහනං පජහති (කර්ම සකස් කිරීම)
10.    විපරිණාමානුපස්සනා විහරති    – ධුව සඤ්ඤා පජහති
11.    අනිමිත්තානුපස්සනා විහරති    – නිමිත්තං පජහති
12.    අප්පනිහිතානුපස්සනා විහරති    – පණිහිතං පජහති
13.    සුඤ්ඤතානුපස්සනා විහරත    – අභිනිවේසං පජහති
14.    අධිපඤ්ඤා ධම්මානුපස්සනා විහරති    – සාරාභිනිවේසං පජහති
15.    යථාභූත ඥාණ දස්සනං විහරති    – සම්මෝහාභිනිවේසං පජහති
16.    ආදීනවානුපස්සි විහරති    – ආලයාභි නිවේසං පජහාති
17.    පටිසංඛානුපස්සී විහරති    – අප්පටිසංඛං පජහති
18.    විවට්ටානුපස්සි විහරති    – සංයෝගාභිනිවේසං පජහති

මෙම විපස්සනා කර්මස්ථාන මාලාවේ, සෑම පියවරකදී ම ආන – පාන (අස්ස – පස්ස ) කොටස් දෙකම ඉතාම පැහැදිළිව අවබෝධ කරගත හැකි ආකාරයෙන්ම පෙන්වා දී ඇත. මෙහිදී කළු ධර්ම ප‍්‍රහාණය කිරීමත්, සුදු ධර්ම ආශ‍්‍රය කිරීමත් කළයුතු බවත් ඉතාමත් පැහැදිළි කරුණකි. නිවන යනු තමා තුළම මෙතෙක් කල් මුල් බැසගෙන පැවති කෙළෙස් (කළු ධර්ම) බැහැර කර දමා, ඒ වෙනුවට සුදු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමයි. සුදු ධර්ම කිසි විටෙකත් සසර දික් කරන කර්ම බීජ සකස් කරන විඤ්ඤාණ ශක්තිය උත්පාදනය කරන ඒවා නොවේ. ආසව නොවේ. සුදු ධර්ම කිසි විටෙකත් ඇලීමට, බැඳීමට ගැටීමට මුල් නොවන නිසා ඒවා ”අනුප්පාදෝ” ධර්මයෝමයි. අනුප්පාදය, නිබ්බානං තත්ත්වයයි.

2. ඉන්ද්‍රියානං ඒක රසට්ඨ භාවනා
පෘථග්ජන පුද්ගලයකුගේ සිත නිරන්තරයෙන්ම විසුරුණු ස්වභාවයෙන් යුතු වූ කැළඹිලි ගතියෙන් යුතු වූ සිතක් ලෙසින්ම පවතී. මෙය ”වික්ඛේප” සිතක් ලෙසින් ධර්මයේ පෙන්වා දී ඇත. සිත වික්ඛේප තත්ත්වයට පත්වීමට හේතුව පංචකාම නීවරණ ධර්ම වලින් ආවරණය වී, මුවහ වී පැවතීමයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය, උද්ධච්චය, විචිකිච්චාව යන පංචකාම නීවරණ ධර්ම නිසා පිරිසිදු සිතක් කෙළෙස් වලින් වැසීයයි. කෙළෙස් වලින් වැසී, මුවහ වූ සිතක් නිරන්තරයෙන්ම භයට පත්වන, කම්පනයට පත්වන, වේදනාවට පත්වන, අසහනයට පත්වන නොසන්සුන් සිතකි. එවන් සිතක් උද්ධච්ච ගතියෙන් යුක්තය. මොහොතින් මොහොතම වෙනස් වන්නා වූ එවන් සිතකින් භාවනා කර්මස්ථාන වැඞීමක් කළ නොහැකියි.

ඉන්ද්‍රියයන් හය සංවර කරගැනීමෙන් ම ඒකරසට්ඨ තත්ත්වයට පත්කර ගත හැකිය. මේ සඳහා සමථ භාවනා කර්මස්ථානයන් භාවිතා කර සිත එකඟ කර ගැනීම ඒකරසට්ඨ භාවනාවයි. මේ සඳහාද භාවිතා කළ යුත්තේ ආන- පාන (අස්ස – පස්ස ) භාවනා කර්මස්ථානයෝමයි.

මේ සඳහා භාවිතා කළ යුතු භාවනා කළයුතු ආන – පාන භාවනා කර්මස්ථාන පහත දැක්වෙන පරිදි දැක්විය හැකියි’
1. කාමච්ඡන්දය ප‍්‍රහාණය කර – නෙක්ඛම්ම වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
2. ව්‍යාපාදය ප‍්‍රහාණය කර – මෙත් සිත (අව්‍යපාදය) වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
3. ථීනමිද්ධ ප‍්‍රහාණය කර – අලෝක සංඥා වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
4. උද්ධච්චය ප‍්‍රහාණය කර – අවික්ඛේප වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
5. විචිකිච්චාව ප‍්‍රහාණය කර – ධම්මවවත්ථාන වශයෙන් සිත ඒකරසට්ඨ කිරීම
6. අවිද්‍යාව ප‍්‍රහාණය කර- ඥාණයන් මතුකර ගැනීම
7. පංචකාමයන් ප‍්‍රහාණය කර – පළමුවැනි ධ්‍යානයට පත්වීම (පළමුවන ධ්‍යානයේදී සවිතක්ක, සවිචාර, ප‍්‍රීති, සුඛ, ඒකාග්ගතා මතුවෙයි)
8. සවිතක්ක සවිචාර ප‍්‍රහාණය කර – දෙවැනි ධ්‍යානයට පත්වීම
9. ප‍්‍රීතියද ප‍්‍රහාණය කර – තුන්වැනි ධ්‍යානයට පත්වීම
10. සුඛයද ප‍්‍රහාණය කර – උපේක්ඛා, ඒකාග්ගතා සහිත සතරවන ධ්‍යානයට පත්වීම
11. රූප සඤ්ඤා, පටිඝ සඤ්ඤා, නානත්ත සංඥා පහකර ආකාසානාඤ්ඤායතන ධ්‍යානයට පත්වීම
12. ආකාසානාඤ්ඤායතන යටපත් කරමින් -විඤ්ඤාණඤ්ඤායතනයට පත්වීම
13. විඤ්ඤාණඤ්ඤායතනය යටපත් කරමින් – ආකිඤ්ඤාණඤ්ඤායතනයට පත්වීම
14. ආකිඤ්ඤාණඤ්ඤායතනය යටපත් කරමින් – නේවසඤ්ඤා නාසඤ්ඤායතනයට පත්වීම

මෙම ක‍්‍රමය සමථ භාවනාව තුළින් ධ්‍යාන ලබා අභිඥා ලබා ගැනීමේ ක‍්‍රමයයි. ධ්‍යානයන් ලබා ගෙන, අභිඥා ලබාගෙන, දෙවනුව මාර්ග ඵලයට පත් වන්නට කැමති වූ කෙනකුට පළමුවෙන් ම සමථ භාවනාව ප‍්‍රගුණ කර, ධ්‍යානයන් ලබා, පසුව විපස්සනාා භාවනා කර්මස්ථානයන් භාවනා කර නිවන් මඟ ඵලයන්ද ලබාගත හැකියි. මෙය බොහෝ කල් ගතවන ක‍්‍රමයකි. මේ ක‍්‍රමය සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක‍්‍රමයයි’

3. තදුපග විරිය වහට්ඨේන භාවනා ක‍්‍රමය
මෙයද බුද්ධ භාෂිතයේ පෙන්වා වදාළ සමථ හා විපස්සනා භාවනා ක‍්‍රම දෙකට ම පොදු වූ භාවනා ක‍්‍රමයකි. යුගනන්ධ භාවනාව භාවිතා කරන කෙනකුට මාර්ග ඵලයන් ඉක්මනින් ලබාගන්නටත්, ආසවඛයා ඥාණය දියුණු කරගෙන සමථ විපස්සනා දෙක සමව ඉදිරියට ගෙන යන්නටත් මේ භාවනා ක‍්‍රමය උපකාර වෙයි. මෙහිදී වෙනම කර්මස්ථාන භාවනා කිරීමක් අවශ්‍ය නැති අතර සමථය හා විපස්සනාව සඳහා භාවිතා කළයුතු කර්මස්ථායක් ම භාවනා කළ යුතුයි.

4. ආසේවනට්ඨේන භාවනා ක‍්‍රමය
මෙම භාවනා ක‍්‍රමයේදී සතර ඉරියවුවේදීම සතර සතිපට්ඨානයේ පිහිටා ක‍්‍රියා කිරීමේ හැකියාව, ශක්තිය, පුරුද්ද මනාකොට ප‍්‍රගුණ කරගත යුතුයි. ආසේවති, භාවේති, බහුලීකරෝති යනුවෙන් මෙය ධර්ම විග‍්‍රහයේදී පෙන්වා දී ඇත. අසා දැනගත්, අවබෝධ කරගත් ධර්මය අනුගමනය කරමින් මගඵල ලබා ගැනීම සඳහා

1. ආවජ්ජන්තෝ – නැවත නැවතත් මාර්ගය ආවර්ජනය කර, අවබෝධය පූර්ණ කර ගැනිීමට උත්සාහ ගත යුතුයි.
2. ජානත්තෝ – අනුගමනය කිරීමට ධර්ම මාර්ගයම යථාපරිදි දැනගත යුතුයි. අවබෝධය පූර්ණ කරගත යුතුයි.
3. පස්සන්තෝ – යෝනිසෝමනසිකාරයෙන් යුතුව ප‍්‍රහාණය කළ යුතු කෙළෙස් පිරිසිඳ දැක ගත යුතුයි.
4. පච්චචෙක්ඛන්තෝ – ප‍්‍රත්‍යාවේක්ෂා නුවණින් පසුවිපරම් කර බලා, තමා තුළම පවතින කෙළෙස් ගති දැක මතුකර ප‍්‍රහාණය කර ගත යුතුයි.
5. චිත්තං අධිට්ඨහන්තෝ – ප‍්‍රහාණය කළ යුතු කළු ධර්ම ප‍්‍රහාණය කිරීමටත් ඒ වෙනුවට සුදු ධර්ම ආශ‍්‍රය කිරීමටත් ඇලීම, ගැටීම දුරලා, උපේක්ඛා
තත්ත්වයෙන් ක‍්‍රියා කිරීමටත් පටන් ගත යුතුයි.
6. සද්ධාය අධිමුච්චන්තෝ – ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය, ශ‍්‍රද්ධා බලයන් සිත තුළ ක‍්‍රියාත්මක වීමට පටන් ගැනීම නිසා මෙතෙක් කලක් අසද්ධාවෙන් කම්පා වුණ ස්වභාවයෙන් පැවති සිත සද්ධාව නිසා කම්පා නොවන, අකම්පියට්ඨේන තත්ත්වයෙන් බලවත් වෙයි.
7. විරියං පග්ගහන්තෝ – විරිය ඉන්ද්‍රිය විරිය සිත තුළින් මතු වී ක‍්‍රියාත්මක වීමට පටන්ගෙන මෙතෙක් කලක් කුසීත කමෙන්, කම්පාවන ස්වභාවයෙන් පැවති සිත (අකම්පියට්ඨේන) කම්පා නොවන, විරිය බලය ලෙසින් වර්ධනය වෙයි.
8. සති උප්පට්ඨපෙන්තෝ – සති ඉන්ද්‍රිය, සති බලය ක‍්‍රියාත්මක වී මෙතෙක් ප‍්‍රමාදයෙන් කම්පනයට පත් වූ සිත අප‍්‍රමාදයෙන් අකම්පන තත්ත්වයට පත්වන, කම්පා නොවන තත්ත්වයට පත්වෙයි. හේතුඵල දෙකම දැක ප‍්‍රමාදයට හේතු ඉවතලා ක‍්‍රියා කරයි.
9. චිත්තං සමාදහන්තෝ – සමාධි ඉන්ද්‍රිය, සමාධි බලය මතු වී ක‍්‍රියාත්මක වීමත් සමඟ ම මෙතෙක් උද්ධච්චයෙන් කම්පනයට පත් වූ සිත දැන් උද්ධච්චයෙන් ඉවත් වී, අකම්පිත තත්ත්වයෙන් ම සමාධිගත වෙයි. චිත්ත සමාධියක පිහිටයි.
10. පඤ්ඤාය පජහන්තෝ – පඤ්ඤා ඉන්ද්‍රිය, පඤ්ඤා බලය ක‍්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප‍්‍රහාණය කර මනස අකම්පිය තත්ත්වයට පත් වීමෙන් ක‍්‍රියාත්මක වෙයි. චිත්තය පිරිසිදු වී ප‍්‍රකෘති තත්ත්වයට පත්වෙයි. මේ පංච ඉන්ද්‍රියයන්, පංච බලයන් ක‍්‍රියාත්මක වී
– අවබෝධ කරගත යුතු දේ අවබෝධ කරගැනීමටත් (අභිඤ්ඤාතං)
– දැක ගත යුතු දේ පිරිසිඳ දැක ගැනීමත් (පරිඤ්ඤාතං)
– භාවිත කළයුතු දේ තෝරා භාවිතා කිරීමත් (භාවේතබ්බං)
– බැහැර කළයුතු දේ දැන හැඳින, බැහැර කර නිදහස් වීමත් සමඟම සත්‍යාවබෝධය ප‍්‍රත්‍යක්ෂ වෙයි. (පහාතබ්බං)

මේ අනුව, ”සංයෝජනා පහීයන්තී, ආසව අනුසයා ඛයා හොන්ති” තත්ත්වයට පත්වෙයි.

සග සෝතාපත්ති මාර්ගය සම්පූර්ණ වී සෝතාපත්ති ඵලයට පත්වෙයි.
සසග සකෘදාගාමි මාර්ගය සම්පූර්ණ වී සකෘදාගාමි ඵලයට පත්වෙයි.
සසසග අනාගාමි මාර්ගය සම්පූර්ණ වී අනාගාමි ඵලයට පත්වෙයි.
සඩග අරහත් මාර්ගය සම්පූර්ණ වී අරහත් ඵලයට පත්වෙයි.

ඉන්ද්‍රියය ධර්මයන් හා බල ධර්මයන් ක‍්‍රියාත්මක නොවූ කාලයකදී නිරතුරුවම සිත කම්පනයට, තැති ගැනීමට, අසහනයට, වේදනාවට, කැළඹීමට පත් වූවත් දැන් සමථයට පත් වූ සිත විපස්සනා වැඞීම සඳහා හේතුඵල ධර්මයට බහා ගළපා, ඉවසා විමසා, තෝරා බේරා ප‍්‍රඥාවෙන් ක‍්‍රියා කරන්නට වීම නිසා සති සම්බොජ්ජංගයේ පටන් සත්ත සම්බොජ්ජංගයම ක‍්‍රියාත්මක වී පැවැත්ම පිළිබඳව, ජීවත්වීම පිළිබඳව යථා තත්ත්වය සම්පුර්ණයෙන් ම අවබෝධ වී, බිහි කිරීමට උපකාර වූ විඤ්ඤාණ ශක්තීන් ප‍්‍රහාණය කර, කෙළෙස් ප‍්‍රභවය කිරීමේ (සංභව ශක්තිය) ක‍්‍රියාකාරිත්වයෙන් බැහැර වෙයි. භව නිරෝධ වෙයි. භව අනුත්පාද වෙයි.

සම්මා අංගයන් අටමත් සම්පූර්ණ වී, සම්මා ඥාණ හා සම්මා විමුක්ති පරිපූර්ණ වීමෙන් නිවන් සුවයට පත් වෙයි. සමථ, විපස්සනා භාවනා ක‍්‍රම දෙකම එක විට යුගනද්ධ වශයෙන් භාවනා කිරීමෙන්, එක දිගටම භාවිතා කිරීමෙන්, බහුල ලෙසින් ම භාවනා කිරීමෙන් (සේවිතාය, භාවිතාය, බහුලීකථාය) යථාභූත ඥාණ දර්ශනය ලැබෙයි. යථා භූත

ඥාණ දර්ශනය ලැබූ අරිය උත්තමයා අබමල් රේණුවක තරම්වත් රාගයෙන් ඇලීමේ සංඛාර සිතකින් කටයුතු නොකරයි. තවත් කෙනෙකු කෙරෙහි ද්වේෂයෙන් කිසි විටෙකත් ක‍්‍රියා නොකරයිි. සිතේ ගැටීමේ සංඛාර මතු නොවෙයි.

මමත්වයෙන්, මානයෙන්, අවිද්‍යාවෙන් මම, මගේ, මගේ ආත්මය යන හැඟීමෙන් ක‍්‍රියා නොකරයි. ”මම” යනු සකස් කරගත් ඝණ සංඥාවක්, හේතුඵල පරම්පාරාවක් මිස නිච්ච සේ, සුඛ සේ, අත්ථ සේ පවතින දෙයක් නොවන බව යථා පරිදි දැක අවබෝධ කරගත් කෙනකු බවට ම පත්වෙයි.

මේ තත්ත්වයට පත් වූ අරිය උත්තමයාට ධ්‍යාන වලට පත් වීමේ හෝ ඍර්ධි ප‍්‍රාතිහාර්ය පෑමේ හෝ ලෝකයාට තමන් කවුදැයි ප‍්‍රකාශ කර පෙන්වා දීමේ හෝ කිසිඳු අවශ්‍යතාවයක් කැමැත්තක් ඇති නොවේ. ලැබූ නිදහස් වීමේ සුවය විඳිමින් ඉහාමත් ම සුඛ විහරණයෙන් කල් ගෙවීමේ අගය දකියි.

යථාවබෝධයෙන්ම ධර්ම මාර්ගය අනුගමනය කරනු ලබන යුගනද්ධ වශයෙන් සමථ විපස්නා භාවනා කරනු ලබන පුද්ගලයාට දැන හෝ නොදැනම ලැබෙන්නා වූ
ඥාණයන් කිහිපයක් පිළිබඳවත් නම් වශයෙන්ම පෙන්වා දීම සුදුසුයි.

1. සම්මස්සන ඥාණය (”සං” දැක ගැනීමේ ඥාණයයි – සං විමර්ශණය)
අතීත, අනාගත, වර්තමාන සියලු රූප, වේදනා, සඤ්ඤා, සංඛාර, විඤ්ඤාණයන්
i. අනිච්ච වශයෙන් දැක, ඒවා නිච්ච ලෙසින් දැකීම මුලාවක් බව යථා පරිදි තේරුම් ගැනීමේත්,
ii. දුක්ඛ වශයෙන් දැක, ඒවා සුඛයක් සේ දැකීම මුළාවක් බව යථා පරිදි තේරුම් ගැනීමේත්,
iii. අනත්ථ වශයෙන් දැක, ඒවාට බැඳීම අනාථ වන තත්ත්වයක් උදාවන බව මෙනෙහි කිරීමේ පිරිසිඳ දැකීමේත් නුවණ (වවත්ථානේ පඤ්ඤා) සම්මස්සන ඥාණයයි.

මේ ආකාරයෙන් ත‍්‍රිලක්ඛණය භාවනා කරන යෝගියාට අනිච්චං ඛය අර්ථයෙනුත්, දුක්ඛං භය අර්ථයෙනුත්, අනත්ථං අසාර අර්ථයෙනුත් වැටහෙන්නට පටන් ගනී. අතීත, අනාගත, වර්තමාන තුන් කාලයටම අදාළව අවිද්‍යා මූළයෙන් මතුවන සියලු සිත් අවිද්‍යා සංඛාර සිත් ම බවත් දැක ගන්නට පටන් ගනී. පැවැත්මේ නිසරු බව ප‍්‍රත්‍යක්ෂ කරගනී. අවිද්‍යාව මුල් නොවූ විට, අවිද්‍යාව නැති තැනක, මතුවන සියලු සිත් ”කාර” සිත් (ක‍්‍රියා සිත්) පමණක් බවත් දකී. මේ කරුණු යථාපරිදි මෙනෙහි කිරීමේ ශක්තිය සම්මස්සන ඥාණයයි. ”සං” දැක ගත්, ධම්මෝ සංදිට්ඨිකෝ තත්ත්වයට පත්වූවෙකුට සම්මස්සන ඥාණයද පහළවෙයි.

2. උදයව්‍ය ඥාණය
පච්චුප්පන්නානං (වර්තමානය) ධම්මානං විපරිණාමානුපස්සනේ පඤ්ඤා උදයව්‍යනුපස්සනේ ඥාණං – වර්තමාන මොහොත කෙරේ සිත පවත්වාගෙන සිටින විට, මොහොතින් මොහොතේ ම සිතෙහි මතුවන – රූප (ජාතං රූපං) ජනිත වීම තුළින්,
– නිබ්බත්ති ලක්ඛණං (අභිනව තත්ත්වයන්ට පත්වීමේ ලකුණු දැකීමත්)
– විපරිණාමානුලක්ඛණං (වෙනස් වී, වැය වීම දැකීමත්) යන දෙයාකාරය අනුපස්සනා කිරීමේ ඥාණය උදය, වැය දැකීමේ ඥාණයයි. උදයවීම සිදුවන හේතු පහක් ඇත.
i. අවිද්‍යාව නිසා රූප උදය වේ. (අවිජ්ජා සමුදය) උපත දකී.
ii. තණ්හාව නිසා රූප උදය වේ. (තණ්හා සමුදය) උපතදකී.
iii. කර්මය හේතුවෙන් රූප උදය වේ. (කම්ම සමුදය) උපත දකී.
iv. ආහාර නිසා රූප උදය වේ. (ආහාර සමුදය) උපත දකී.
v. පස්ස නිසා නිබ්බත්ති ලක්ඛණ උදය වේ. (පස්ස සමුදය) උපත දකී.

මේ කරුණු පහට අමතරව කිසිම දෙයක් රූප, වේදනා සංඥා, සංඛාර, විඤ්ඤාණ උපතට හේතු නොවේ.
i. අවිද්‍යා නිරෝධො රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
ii. තණ්හා නිරෝධෝ රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
iii. කම්ම නිරෝධෝ රූප නිරෝධෝ – වැය වී යන බව දකී.
iv. ආහාර නිරෝධෝ රූප නිරෝධෝ – වැය වන ආකාරය පසක්කොට දකී.

මේ ආකාරයෙන් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයම උදය හා වැය වෙන් කොට දැකගැනීමේ ඥාණය උදය වැය ඥාණයයි.

3. විපස්සනා ඥාණය
ඇසට ප‍්‍රිය හෝ අප‍්‍රිය රූපයක් අරමුණු වූ සිතකට ඇලීමක්, බැඳීමක්, ගැටීමක්, මානයක් ඇති වන බවත් ඒ ගතිය භංගකර අනිච්ච, දුක්ඛ, අනත්ථ වශයෙන් මෙනෙහි කර, ප‍්‍රත්‍යවේක්ඛා නුවණින් පටිච්චවීමේ ගතිය ප‍්‍රහාණය කළ හැකි බවත් තේරුම් ගැනීමේ නුවණ, විපස්සනා නුවණයි. මේ ආකාරයට පංචස්කන්ධය පිළිබඳවම උපාදානය කිරීමේ ගතිය විපස්සනා නුවණින් බැහැර කිරීම රාග විරාගයයි. උද්ධච්චයට හේතුවන වික්ඛේප ගතිය භංග කර සිත ඒකාග්ගතාවයට පත්කර ගැනීම සමථයයි. අවිද්‍යාව විරාග කර සිත තුළ ප‍්‍රඥාව උපදවා ගැනීම ප‍්‍රඥා විමුක්තියයි. මේ අනුව සමථ හා විපස්සනා දෙකම මෙහි අඩංගුයි.

4. ආදීනව ඥාණය
– පංච ආකාරේහි ආදීනවෝ හෝති
– අට්ඨාකාරේහි අවිජ්ජා නිරෝධෝ හෝති

භාවනානුයෝගියාට ඉතාමත් වැදගත් ඥාණයකි. අදීනව ඥාණය. භාවනානුයෝගියා අවිද්‍යාවෙහි ආදීනව පස් ආකාරයකින් දැක අවබෝධ කර ගත යුතුමයි.
i. අනිච්ච වශයෙන්, අනිච්ච අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
ii. දුක්ඛ වශයෙන්්, දුක්ඛ අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
iii. අනත්ථ වශයෙන්, අනාථ අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
iv. සංතාප වශයෙන්, සංතාප අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි.
v. විපරිණාම වශයෙන්, විපරිණාම අර්ථයෙන් ආදීනව දැකිය යුතුයි’

අනිච්ච – කැමති සේ පැවත්විය නොහැකි, රිසිසේ, මනාප සේ නොපවතින දෙයක් බව දැකිය යුතුයි. (න නිච්චං)
දුක්ඛ – කැමැත්ත අනුව පැවැත්විය නොහැකි නම්, දුකම උරුමකර දෙන දෙයක් බව දැකිය යුතුයි.(න සුඛං)
අනත්ථ – දුකම උරුම කර දෙන්නක් නම් නියත වශයෙන්ම අනාථ තත්ත්වයට පත් කරවන්නක් බව (න අත්ථ) සන්තාපයට පත්කරවන්නක් බවත්, සංඛතය විපරිණාමයට පත් වී වැනසී යන බවත් දැකීම ආදීනව ඥාණයයි.

අට ආකාරයකින් අවිද්‍යාව නිරෝධ කිරීමේ දැනුම හා හැකියාව ද ආදීනව ඥාණයයි.

i. නිදානය නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළහැකි බව
ii. සමුදය නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
iii. ජාති (උප්පජ්ජති) නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
iv. ප‍්‍රභව (සංභව) බීජය සකස්වීම නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
v. හේතුව නිරෝධ කිරීමෙන් අවිද්‍යාව නිරෝධ කළ හැකි බව
vi. ප‍්‍රත්‍ය නිරෝධයෙන් අවිද්‍යාව නිරෝධ කළහැකි බව
vii. ඥාණයන් උපද්දවා ගැනීමෙන් අවිද්‍යාව නිරෝධ වන බව
viii. නිරෝධ පට්ඨානයෙන්ම අවිද්‍යාව නිරෝධ වන බව

මෙසේ පස් ආකාර වූ ආදීනවයෝ දැක, අට ආකාර වූ නිරෝධ කළ යුතු කරුණුද දැකගත් පුද්ගලයා ඒ මඟ අනුගමනය කිරීමෙන් ආශ‍්‍රය කළයුතු දේ මෙන්ම ප‍්‍රහාණය කළයුතු දේ (අස්ස පස්ස) දැක ඒ අනුව ශික්ෂණයට පත් වෙයි. මේ අනුව ආදීනව ඥාණය යන්න නිවන් මාර්ගය අනුගමනය කරන කෙනෙකුට ඉතාමත් ම වැදගත් ඥාණයකි.

5. සංඛාරුපෙක්ඛා ඥාණය
ආදීනව ඥාණය අවබෝධ වූ තැනැත්තාට,
”උප්පාදෝ භයං අනුප්පාදෝ සුඛං උප්පාදෝ
ආමිසං අනුප්පාදෝ නිරාමිසං
උප්පාදෝ සංඛාරං අනුප්පාදෝ නිබ්බානං”

වශයෙන් කරුණු අවබෝධ වීමත් සමඟම සංඛාර පැවැත්ම ම, සියලු දුක්, සියලු භය, සියලු ආසව උත්පත්තියට මුල් වූ හේතුව බව යථා පරිදි අවබෝධ කර සංඛාර උපේක්ඛා ඥාණයෙන් සළකා අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව තේරුම් ගැනීමේ නුවණයි.

යමක් එකතු කරන්නට කරුණු ලබන සියලුම ක‍්‍රියා සංඛාර බවත් සංඛාර නිසාම උපත, පැවැත්ම, නිමිත්ත, පටිසන්ධි ආදිය සියල්ලම සිතේ බිහි වන බවත් දැක සංඛාර උපෙක්ඛා ඥාණයෙන් ඒවායෙහි නොවටිනා බව, අසාරවත් බව, නිස්සාර බව, දැකීම සංඛාර උපේක්ඛා ඥාණයයි. සංඛාර සිත් නිස්සාර බව දැකීම සංඛාර උපේක්ඛා ඥාණයයි. සංඛාර සිත් කෙරෙහි උපේක්ඛාවෙන් ම බැලීමට පුරුදු වීමයි.

අනිමිත්ත සමාපත්තියට, අප්පනිහිත සමාපත්තියට පත්වීමට උපකාර වන්නේද සංඛාර උපේක්ඛා ඥාණයමයි. මුංචිතුකම්මතා ඥාණය යන්න ද සංඛාර උපේක්ඛා ඥාණයට ම භාවිතා කරන නමකි. මුංචිතුකම්මතා ඥාණය යනු අවබෝධය ලැබීම නිසා කැමැත්තෙන්ම මුදනු හැකි, මිදී අතහරිනු හැකි, උපේක්ඛා සිතින් ඉවසා විමසනු ප‍්‍රත්‍යාවේක්ෂා කරනු යනුවෙන් වදාළ ගුණයන් පිහිටීමේ ඥාණයයි. මෙසේ කැමැත්තෙන්ම මුදවා අතහරිනු ලබන්නේ රාගය ද්වේෂය හා මෝහය යන කෙළෙස් ගති තුනයි.

සංඛාර උපෙක්ඛා ඥාණය පෘථග්ජන පුද්ගලයාට එක් අයුරකින් ද මඟඵල සම්පූර්ණ කරන ලද අසේඛ වූ අරහතුන්වහන්සේට තවත් අයුරින්ද අවබෝධය ලැබෙන බවත් ධර්මයේ ම පෙන්වා දී ඇත.

විවිධ අරමුණු වලට අදාළව අනිච්චතෝ, දුක්ඛතෝ, අනත්ථතෝ අනුපස්සනා කිරීමෙන් ම නිච්ච, සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය කරමින්ම චිත්තසංථානය පිරිසිදු කර සංඛාර උපෙක්ඛා ඥාණය ප‍්‍රත්‍යක්ෂ කරගත යුතුයි. සංඛාර කිරීම නවතා ක‍්‍රියා සිත් පැවැත්වීමට ම සිත පුරුදු පුහුණු කරගත යුතුයි.

සමථ වශයෙන් ධ්‍යානයන් අටෙහිදීම ධ්‍යානපටිලාභයත් සමඟම නීවරණ දුරු වීමෙන් පටිසංඛා සංතිට්ඨානා පඤ්ඤාවෙන්, සංඛාර උපෙක්ඛා ඥාණය ලබාගනී. අරිය ධ්‍යානයන් අටෙහිදීම සිත සමථ තත්ත්වයට පත් වීමෙන් මෙය සිදු වෙයි.

විපස්සනා වශයෙන් අවස්ථා දහයකදී පටිසංඛා සංතිට්ඨානා, සංනිසීදතී, සම්මාදියති වශයෙන් සෝවාන් මාර්ගය හා ඵලය, සකෘදාගාමී මාර්ගය හා ඵලය, අනාගාමී මාර්ගය හා ඵලය, අරහත් මාර්ගය හා ඵලය, සුඤ්ඤත සමාපත්තිය හා සංඥාවේදයිත නිරෝධ සමාපත්තිය ද ලබා ගනී. මේ අනුව සංඛාර උපෙක්ඛා ඥාණය නිවන් මාර්ගයේ ඉතාමත් උතුම් අවස්ථාවක් බව තේරුම් ගත යුතුයි.

6. මග්ගේ මග්ග ඥාණං
මාර්ග ඥාණය යනු අරිය අෂ්ටාංගික මාර්ගය ලෝකෝත්තර වශයෙන් සම්පූර්ණ වීමයි.
i. දස්සන අර්ථයෙන් සම්මා දිට්ඨියට පත්වීම – ”මිච්ඡ දිට්ඨියා වූට්ඨාති” යනු වැරදි දැක්ම පෙරළා දමා නැඟී සිටීම යන අර්ථයයි. මිත්‍යා දෘෂ්ඨිය, තදංගම වශයෙන් ද චිත්තසංථානයේ පවතින කෙළෙස්් දෘෂ්ඨී වශයෙන් පෙරළා දමා සම්මා දෘෂ්ඨියට පත්වීම මෙහිදී සිදු වේ. තමාම එකතු කරගත් රාග, ද්වේෂ, මෝහ (සං) වලින් මිදී එවැනි කෙළෙස් සහමුළින් ම ගළවා දැමිය යුතු බව දැක ගැනීම සම්මා දිට්ඨියයි’
ii. අභිනිරෝපන අර්ථයෙන් සම්මා සංකප්පයට පත්වීම – මිච්ඡ සංකප්ප
ගළවා ඉවත් කර දමා යළිත් කෙළෙස් රෝපනය නොවන පරිද්දෙන් කාම විතර්ක, විහිංසා විතර්ක, පාප විතර්ක චිත්තසංථානයෙන් ගළවා දැමීම (ඛය කිරීම) සම්මා සංකප්පයයි.
iii. පරිග්ගහ අර්ථයෙන් සම්මා වාචාහි පිහිටා මිච්ඡුා වාචා වුට්ඨාති – මිථ්‍යා වචන වලින් සහමුළින්ම ඉවත් වී වචී සංඛාර ක‍්‍රියා සිත් බවට පෙරළීම මෙහි අදහසයි.
iv. සමුට්ඨාන අර්ථයෙන් සම්මා කම්මන්තයෙහි පිහිටා මිච්ඡ කම්මන්ත වුට්ඨාති – සසර ගමනට හේතු වන සියලුම සංඛාරයන්ගෙන් සහමුළින් ඉවත්වීම මෙයින් අදහස් කෙරේ. කර්ම සකස් කිරීම, කර්ම බීජ නිපදවීම සඳහා මෙතෙක් කරන ලද සියලු කාය සංඛාර නවතා ක‍්‍රියා සිත් පමණක් පැවැත් වීමට පටන් ගනී.
v. වෝදාන අර්ථයෙන් සම්මා ආජීවයෙහි පිහිටා මිච්ඡුා ආජීවෝ වුට්ඨාති (පෙරළා දමා නැඟී සිටීම යන අර්ථයෙනි).
vi. පග්ගහට්ඨේන වෙන් කිරීමේ අර්ථයෙන් සම්මා වායාමයෙහි පිහිටා, මිච්ඡ වායාමයෙන් වුට්ඨාතී.
vii. උපට්ඨාන අර්ථයෙන් සම්මා සතියෙහි පිහිටා ම්ච්ඡුා සති වුට්ඨාති – හේතුඵල දහමට බහා බලා ආසව, කෙළෙස් මුළින් ගළවා නැඟී සිටින අර්ථයෙන්, එළඹ සිටි සිහියෙන් ක‍්‍රියා කිරීම.
viii. අවික්ඛේප අර්ථයෙන් සම්මා සමාධියෙහි පිහිටා ”මිච්ඡුා සමාධි වුට්ඨාති” – සිතෙහි අවික්ඛේප ගතිය, නොවිසුරුණු නොකැළඹුණු ගතිය ඇති කර
ගැනීමෙන් සමාධියෙහි පිහිටා ක‍්‍රියා කිරීමේ ශක්තියයි. මේ ආකාරයට සෝතාපන්න මාර්ගය, සකෘදාගාමී මාර්ගය, අනාගාමී මාර්ගය, අරහත් මාර්ගය යන සතර අවස්ථාවේදීම චිත්තසංථානයේ මෙතෙක් ගබඩා වී පැවති කෙළෙස් (සං) ප‍්‍රහාණය කර, මුළින් ගළවා දමා (වුට්ඨාති) ආසව ඛය කර දමා නිවන් මාර්ගය පූර්ණ කරගත යුතුයි.
ix. විමුක්ති ඥාණය – ජින්නවට්ට මනුපස්සනෝ පඤ්ඤා විමුක්ති ඥාණං. ආධ්‍යාත්මිකව හා බාහිර වශයෙන් උපදින ක්ලේශ ධර්මයන් උපක්ලේශයන් (ඇලීම- ගැටීම- මුළාව) සමුච්ජේද වශයෙන් ප‍්‍රහාණය කිරීම විමුක්ති ඥාණයයි.
x. අනුප්පාදෝ ඥාණං – කෙළෙස් ගති යළිත් සිතෙහි නැවත කවදාවත්ම නොඋපදන ලෙසින් ම අනිච්ච, දුක්ඛ, අනත්ථ යථා පරිදි අවබෝධ කරගත් පසුව රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ කිසිවිටකත් පටිච්ච නොවන නිසාම විඤ්ඤාණ ශක්තියක් නොඋපදින කර්ම බීජ සකස් නොකරන තත්ත්වයටම සිත පත්වීම, අනුප්පාදෝ ඥාණයයි.
xi. පලක්ඛනේ ඥාණං – මාර්ග ඥාණය සම්පූර්ණ වීමත් සමඟම යථාභූත ඥාණ දර්ශනයෙන් සම්මා ඥාණ උපදවා පහදා ගැනීමත් සමඟම සම්මා විමුක්තියද සම්පූර්ණ වී, දස අංගේ සමන්නාගතෝ යන තත්ත්වයට පත් වී මාර්ග සතරත් ඵල සතරත් සම්පූර්ණ වී නිවන් සුවයට පත්වීමයි. මෙසේ සියලු සංයෝජන ධර්ම වලින් නැවත නොඋපදින ලෙසින් ම මිදී නිදහස් වූ බවත් සියලු ආසව, අනුසව ධර්මයන් මුළින් උදුරා දමා, විමුක්ත වූ බවත් චිත්තසංථානය කර්ම බීජවලින් සහමළින්ම නිදහස් වූ තත්ත්වයකට පත් වූ බවත් සහතික කොට දැකීම නිවන් සුවයයි.

කොතෙක් දුක් විඳිමින්, කොයි තරම් වීර්යයෙන් උත්සාහයෙන් ධූතාංග රකිමින් කොපමණ කාලයක් භාවනා කළත් යමෙකු අරිය ධර්මයේ පෙන්වා වදාළ නිවැරදි ආනාපාන සති භාවනාව යන්නෙහි අර්ථය, ධර්මය, නිරුක්්තිය තේරුම් නොගත්තේ නම් ”ද්වතාවය” තේරුම් නොගත්තේ නම් සීල, සමාධි, පඤ්ඤා යන ත‍්‍රිශික්ඛාවෙහි තිපරිවට්ටය යථා පරිදි අවබෝධ කර නොගත්තේ නම් ඔහුට බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ ධම්මානුධම්ම පටිපදාව සම්පූර්ණ නොවේ. අරිය මාර්ගයේ පෙන්වා වදාළ ප‍්‍රතිඵල ද නොලබයි.

අතීතයේදී කවදා කවුරුන් හෝ කෙසේ හෝ මාර්ග ඵල අවබෝධ කර නිවන් අවබෝධ කරගත්තේ නම් ඒ සෑම කෙනෙකුම බුද්ධ ආනාපානසති භාවනාව තුළින්ම සතර සතිපට්ඨානය ප‍්‍රගුණ කර සතර සතිපට්ඨානයේම පිහිටා මාර්ගය සම්පූර්ණ කරගත් අයම වේ. අනාගතයටද මෙම ධර්මතාවය වෙනස් නොවේ.

බුද්ධ දේශණාවට අයත් පටිසම්භිදා මග්ගප්ප‍්‍රකරණයේ සඳහන් ආනාපාන සති විග‍්‍රහයේදී පහත සඳහන් ගාථාව දේශණා කර අනාපානා සතිය නිවැරදි ආකාරයටත් බුද්ධ දේශණාවට අනුවත් තේරුම් ගැනීමේ අවශ්‍යතාවය අවධාරණයෙන් ම පෙන්වා දී ඇත.

”ආනාපානසති යස්ස, පරිපුන්නා සුභාවිතා
අනුපුබ්බං පරිචිතා යථා බුද්ධෙන දේසිතා
සෝ ඉමං ලෝකං පහාසේති
අබ්හං මුත්තෝච චන්දිමා” ති

මෙහි අර්ථය යම් කෙනෙක් බුද්ධ දේශණාවෙහි පෙන්වා වදාළ පරිදි විපස්සනා ක‍්‍රමයට භාවනා කළහොත්්් පූර්ණ වශයෙන් අනුගමනය කළොත් යථාභූත ඥාණ දර්ශනය ලබාගත හොත් හෙතෙම සියලු කෙළෙස් ධර්මයන්ගෙන් මිදී අරහත් මඟ ඵලයට පත් වන්නේ අඳුරු වළා පෙළින් මිදුණු පුන්සඳ බබලන්නාක් මෙනි යන්න වේ.

ත‍්‍රිලක්ඛණ භාවනාව භාවිතා කිරීමෙන් යෝගියකුගේ චිත්තසංථානය තුළ ”නව පාමොජ්ජ” මූලික ධර්මයන් ප‍්‍රගුණ වෙන ආකාරයද මෙහිදී පෙන්වා දීම කළ යුතුමයි.

රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ අනිච්චා, දුක්ඛා, අනත්ථා වශයෙන් භාවනා කර නිච්ච සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය කිරීමේදී

1. අනිච්චතෝ මනසිකරෝතෝ – පාමොජ්ජං ජායති (සිතෙහි ප‍්‍රමෝදය ජනිත කරවයි).
2. පමුදිතස්ස – පීතිං ජායති (ප‍්‍රමෝද වූ සිතෙහි පීතිය ජනිත වෙයි).
3. පීතිං මනස්ස – කායෝ පස්සම්භතී (කය සංසිඳෙයි) කායානුපස්සනාව වැඩෙයි’
4. පස්සද්ධිකායෝ – සුඛං වේදති (කායානුපස්සනාවෙන්, වේදනානු පස්සනාවද වැඩෙයි).
5. සුඛිනෝ චිත්තං සමාධියතිි ( චිත්තානුපස්සනාව ද වැඩෙයි).
6. සමාහිතෝ චිත්තෝ – යථාභූත ඥාණ දස්සනං ජායති පස්සති.
7. යථාභූතං ජානං පස්සං නිබ්බින්දති (නිර්වේදයට, නොබැඳීමට පත්වෙයි).
8. නිබ්බිංදං විරජ්ජති (රාගයෙන් වෙන් වී, විරාග තත්ත්වයට පත්වෙයි).
9. විරාගං විමුච්චති (විමුක්ති ඥාණ දර්ශනයට පත්වෙයි).

මෙහි පෙන්වා වදාළේ විපස්සනා භාවනා (අනිච්ච දුක්ඛ අනත්ථ) කර්මස්ථානයන් දිගටම භාවනා කරගෙන යෑමේදී සතර සතිපට්ඨානයෙහි පිහිටා විමුක්ති ඥාණ දර්ශනයට පත්වෙන නිවැරදි නිවන් මාර්ගයයි. සෑම කෙනෙකුම මේ නිවැරදි මඟ අනුගමනය කරමින් නිවන් සුවය අත්විඳ ගන්නටම ක‍්‍රියා කිරීමට අධිෂ්ඨාන කර ගත යුතුයි.

Share Button

ධම්මානුධම්ම පටිපදාව II

”අභිඤ්ඤෙයියං අභිජානන්තෝ
පරිඤ්ඤෙයියං පරිජානන්තෝ
පහාතබ්බං පජහන්තෝ
භාචේතබ්බං භාවෙන්තෝ
සච්ජිකාතබ්බං සච්ජිකරොන්තෝ
තස්ස තං මග්ග ආසේවතෝ, භාවයතෝ, බහුලීකරෝතෝ සංයෝජනා පහියන්තී, අනුසයා ඛ්‍යයන්තීහොන්තී ති”

ලෝකයේ උපතක් ලබන සත්ත්වයින්, භූතයින්, ප‍්‍රාණීන් අතුරින් මනුස්සයින් ලෙස හඳුන්වන කොටසට පමණක් සෘජුවම මේ උතුම් බුද්ධ ධර්මය අසා ශ‍්‍රවණය කර, අනුගමනය කර, අත්විඳ ගැනීමෙන් නිවන් අවබෝධය ලැබීමට හැකියාව හා ශක්තිය ලබා ඇත. මේ ශක්තිය, මනස, යෝනිසෝමනසීකරණීය ශක්තිය උපතින්ම සෑම මිනිසකුම ලබා තිබුණත් මේ ශක්තිය, හැකියාව නිවැරදි ආකාරයෙන් ප‍්‍රයෝජනයට ගැනීමට නම් කළ්‍යාණ මිත‍්‍රයකුගෙන්ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය අසා දැනගත යුතුයි . වෙනත් කිසිම සත්ත්වයකුට මනස උසස් තත්ත්වයකට පත් කර ගැනීමටත් මනීන්ද්‍රිය පාවිච්චි කිරීමටත් හැකියාවක් උපතින් ලබා නැත. ”දෙවි දේවතාවන්ට මේ ශක්තිය ලැබී නැද්ද?” යන්න ඔබට ගැටළුවක් පැන නැගිය හැකිය. දෙවි දේවතා කොටස් වලටත් මේ ශක්තිය හැකියාව ලබාගන්නට නම් ඒ අයටත් අරිය උත්තමයකු විසින් දේශණා කරනු ලබන ධර්මය ශ‍්‍රවණය කරන්නට හැකිසේ මනුස්සාවේශයක් ගත යුතුයි. එනම් මිනිහකුගේ කටහඩ අසා ගන්නට හැකි පරිදි කන් යොමු කර මනුස්සාවේශයට පත් විය යුතුයි. දෙවියන්ටත් ඒ ආකාර වූ ශක්තියක් හැකියාවක් ලැබී තිබේ. මේ හේතුව නිසා ධර්ම දේශණාවකදී පළමුව ”සමන්තා චක්ඛවාලේසු” යනුවෙන් දෙවියන්ට ආරාධනා කරනු ලැබේ. ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ සඳහන් පහත ගාථා පේළි වලින් එය මනාව දැක ගත හැකියි.

”භුම්මා දේවා සද්ද මනුස්සාවේසුං”
චාතුර්මහා රාජිකා දේවා සද්ද මනුස්සාවේසුං

ආදී වශයෙන් සෑම දෙව්ලොවකටම වෙන් වෙන් වශයෙන් ධර්මය ඇසීම සඳහා කන් යොමු කරන ලෙසට කරන ලද ආරාධනය ”සද්දා මනුස්සාවේසුං” යනුවෙන් දක්වා ඇත. බුදුපියාණන් වහන්සේ මනුස්ස කටහඬින් දේශණා කරනු ලබන ධර්මය ශ‍්‍රවණය කිරීමට හැකිවන ලෙසින් අවේශය වෙනස් කර කන් යොමු කරන ලෙස දෙවියන්ට ආරාධනා කළ වදාළහ. එසේ නොවුණානම් දෙවියන්ට ධර්මය අසා තේරුම් ගැනීමට නොහැකි වේ.

නමුත් සෑම මිනිහෙකුට ම උපතින් ම මනසක් ලැබී ඇති නිසා තවත් මිනිසෙකු ප‍්‍රකාශ කරන දේ අසා තේරුම් ගැනීමටත් අවබෝධ කරගැනීමටත් හැකියාවක් ශක්තියක් ලබා ඇත. ”සෝතාවදානේ පඤ්ඤා සුතමයේ ඥාණං” යන සත්‍යාවබෝධය ලබා ගැනීමට සෑම මිනිසෙකුට ම ශක්තිය හා හැකියාවක් උපතින්ම උරුම වී ඇත.එම නිසා අද මිනිසත් බවට පත් වී සිටින ඔබ සැම මේ උතුම් ධර්මය අසන්නටත් අද වාසනාවන්ත වී සිටින බව තේරුම් ගත යුතුයි.

මේ මනුස්සකම ලැබුවේ අනන්ත අප‍්‍රමාණ කාලයකට පසු විය හැකියි. මනුස්සයකු ලෙස උපත ලැබූ කෝටි ගණනක් අතුරෙන් බෝහෝම සුළු පිරිසකට පමණක්ම මේ උතුම් බුද්ධ ධර්මය අසා තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබී ඇත. එම නිසා මේ ලැබූ දුර්ලභ අවස්ථාව උපරිම ලෙසින් ප‍්‍රයෝජනයට ගෙන මනස යොමු කර මේ ධර්මය අසා දැන, අනුගමනය කිරීමට පසුබට නොවිය යුතුයි.

අසන, ශ‍්‍රවණය කරන ධර්මය යෝනිසෝමනසිකාරයෙන්ම විමර්ශණය කළ යුතුයි. කවුරු හෝ කියූ නිසා මේ සියල්ලම අන්ධ භක්තියෙන් පිළිගැනීම යෝනිසෝ මනසිකාරයෙන් ධර්මය දැන ගැනීම නොවේ. යෝනිසෝමනසිකරණය යනු අසා දැනගත් දේ මනසින් විමසා බැලීමයි. සති සම්පජානකාරී වීම යනුද යෝනිසෝමනසිකරණ ශක්තියයි. එනම් අසා දැනගත් ධර්ම කාරණා හේතුඵල දහමට බහා ගළපා බැලීමයි. යම් හේතුවක් නිසා පටිච්ච වීමක් සිදු වී නම් හේතුව අත්හැර නිදහස් විය යුතුයි. හේතුව නිදහස් වීමක් නම් නොඇලෙන, නොගැටෙන මුළා නොවන්නක් නම් එය භාවිතා කිරීම ආශ‍්‍රය කිරීම නිවනට මඟයි. මේ අනුව සතිපම්පජානකාරී වන කෙනෙකුට සතර සතිපට්ඨානයෙහි ම පිහිටා සතර ඉරියව්වෙන් ම දිනයේ පැය විසිහතර පුරාම සතියෙන් ක‍්‍රියාකිරීමට හැකියාව ලැබේ.

කායනුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යනු ඇලෙන, ගැටෙන, මුළා වන ක‍්‍රියාවලින් වෙන් වී එවන් ක‍්‍රියා, සිතුවිලි, වදන් වලින් ඉවත් වී ඒවා ඉවසා, විමසා උපේක්ඛා සිතින් සළකා බැහැර කර සැනසීම ලබා ගැනීම මිස වෙනත් ප‍්‍රතිහාර්ය පෑමක් නොවෙයි. මේ අනුව ”සතියෙන් යුතුව ක‍්‍රියා කිරීම යනුවෙන් ධර්ම විග‍්‍රහයේ සඳහන් ප‍්‍රකාශය හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීමට යන අදහසට වඩා බලවත් වෙනසක් සහිත ප‍්‍රකාශයක් බව සෑම කෙනෙකුම තේරුම් ගත යුතුයි. ඕනෑ ම කපටි, කෛරාටික වැරදි වැඩක් කිරීම සඳහාත් කෙනකුට හොඳ සිහියක් අවශ්‍ය වේ. නමුත් සතියෙහි පිහිටා හේතුඵල දෙකම දැන ක‍්‍රියා කරන කෙනකු තමාටම ආපසු අනිසි ප‍්‍රති විපාක උරුම වන පව්කාරකම්, ළාමක දේ කිසි විටකත් නොකරයි. සතියෙහි පිහිටා ක‍්‍රියා කීරීමේ ධර්ම අර්ථය හොඳ සිහියෙන් ක‍්‍රියා කිරීම යන්නට වඩා ඉතා ගැඹුරු බව දැන ගත යුතුයි.

සතියෙහි පිහිටා ක‍්‍රියා කිරීමටත්, භාවනා කිරීමටත් ”ද්වතා” ධර්මතාවය පිළිබඳව තරමත් දුරට හෝ අවබෝධයක් ඇති කර ගත යුතුමයි. සෑම සංඛතයකම සෑම සංකල්පනාවකම දෙපැත්තක් තිබේ. ප‍්‍රිය දේ, අප‍්‍රිය දේ, හොඳ දේ, නරක දේ, කළු ධර්ම, සුදු ධර්ම, පින් පව්, කුසල් අකුසල්, සුව අසුව, ලාභ අලාභ, දුක සැප ආදී වශයෙන් ඕනෑ ම දෙයක දෙපැත්තක් ඇති බව කුඩා දරුවකුට පවා තේරුම් ගත හැකි සරළ දෙයකි.

පෘථග්ජන පුද්ගලයෙකු නිතරම උනන්දු වන්නේ ප‍්‍රිය දේට ඇලීමට, අප‍්‍රිය දේ සමඟ ගැටීමට, අප‍්‍රිය දේ ප‍්‍රතික්ෂේප කර ලාභ දේ ඇතුළට ගැනීම හා අලාභ දේ බැහැර කිරීම සඳහායි. හොඳයි යනුවෙන් තීරණය කරනු ලැබූ දේ සමඟ එකතු වීමටත් නරකයි යනුවෙන් තීරණය කළ දේ ඉවත් කිරීමටත් සැම විටම ක‍්‍රියා කරති. එවන් පෘථග්ජන පුද්ගලයෙකු ප‍්‍රිය දෙයක් පිළිබඳව හේතුඵල ධර්මතාවය නොදකී. ප‍්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵලවිපාක ගැන සොයා කටයුතු නෙකරයි. බොහෝ විටම ප‍්‍රිය ගතිය යනු තමා තුළම ඇති සංසාර පුරුද්දක් බව පෘථග්ජන පුද්ගලයා නොදනී. ඒ ප‍්‍රිය බව විඤ්ඤාණය ආහාර සොයා ගැනීම සඳහා ම ඇටවූ උගුලකි. මේ බව තේරුම් ගත නොහැකි පෘථග්ජනයා මේ උගුලේ පැටලී මුළාවට පත් වී සංසාරයට බැඳෙති. ප‍්‍රිය දේම උපාදානය කරගැනීමට වෙහෙසෙති.

පෘථග්ජන පුද්ගලයෙකු ප‍්‍රිය, අප‍්‍රිය යනුවෙන් මිම්මක් තම තමන්ට ම පෞද්ගලික වූ මානයක් ඇති කරගෙන ක‍්‍රියා කරති. මේ මැනීම මේ මිම්ම සැමටම සර්ව සාධාරණ වූ පොදු මිම්මක් නොවේ. මේ මිම්ම තමන්ට රිසි ආකාරයට ගොඩනඟා ගත් ප‍්‍රිය, ලාභ හොඳ මිම්මකි. ප‍්‍රිය දෙයට ඇලීම නිසා හෝ අප‍්‍රිය දෙයක් සමඟ ගැටීම නිසා හෝ තමාගේ ම චිත්තසංථානය තුළ සිදුවන විපර්යාසය, කිළිටි වීම ඔහුටම දැක ගැනීමට නොහැකි වීම නිසාම මෙවන් ප‍්‍රිය දේට ඇලීමත්්, අප‍්‍රිය දේ සමඟ ගැටීමත්, ප‍්‍රිය දේට ඇලීම නිසා තමන්ට උරුම වන ඵල විපාකයත්, තමන් උපාදානය කරගන්නා පංච උපාදානස්කන්ධය තමාටම උරුම කර දෙන සංසාර බරත්, සංසාර බැම්මත්, සංසාර භයත් ඔහුටම දැක ගැනීමට නොහැකි වේ. හිතේ මුල් බැස ගෙන පවතින ප‍්‍රිය දේට ඇලීමේ ගතිය ඊට වඩා බලවත් වීම නිසාම තමාට උරුම වන ඵල විපාක නොපෙනී යයි.

මේ ගතිය හැඟීමට වහල් වී ක‍්‍රියා කිරීමයි. විචිකිච්චාවෙන් ක‍්‍රියා කිරීම යන පෘථග්ජන ගතිය පටිඉචිච වීම යනු මෙයයි. මේ පුරුද්ද තමන්ම අතීතයේ එකතු කරගත් තම චිත්තසංථානයේ ම ගබඩා කරගත් ගති පුරුදු වේ. මේ ගති පුරුදු වලට සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම දෘෂ්ඨි ගත වීම නිසා නිරන්තරයෙන්ම ක‍්‍රියා කරනු ලබන්නේ් අන්තවාදී දෘෂ්ඨියකිනි. තමන්ට යම් ලාභයක් ලබා ගැනීමේ අපේක්ෂාවෙනි. ඒ නිසාම සක්කාය දිටිඨියත්, මිච්ඡුා දිට්ඨියටත් පත් වේ. භව දෘෂ්ඨිය, විභව දෘෂ්ඨියටත් පත් වේ. මේ නිසා පෘථග්ජන ලෝකයා නිරතුරුවම තමාගේම ලෝකයක් නිර්මාණය කරගෙන ලෝකස්වාදයක් විඳීමේ, ලෝකාස්වාද දෘෂ්ඨියකින් ක‍්‍රියා කරති. එනම් සැප හඹා යමින් දුකම උරුම කරගැනීමයි. මේ පරම සත්‍යය දැක ගන්නට නොහැකි වන ලෙසින් ඒ ඒ පුද්ගලයාගේම මනස ප‍්‍රිය, අප‍්‍රිය යන ගති වලින්, පුරුදු වලින් වැසී මුවහ වී පවතී. ප‍්‍රිය, අප‍්‍රිය යන අන්ත දෙකටම අන්තගාමී ලෙසින් නොඇලී, නොගැටී, උපේක්ඛා සිතින් ඉවසා, විමසා ක‍්‍රියාකරන්නට පුරුදු වීම, පුහුණු වීම නිවනට මඟය. ඇලීමෙන්, ගැටීමෙන් හා මුළාවෙන් මිදීමම නිවැරදි මඟයි. පිරිසිඳ දැක ක‍්‍රියා කිරීමට පුරුදු වීම සතියේ පිහිටා සති සම්පජානකාරීව ක‍්‍රියා කිරීම නිදහස් වීමේ මාර්ගයයි.

පෘථග්ජන ලෝකයාගේ දැනුම ඒ ඒ පුද්ගලයාගේ ම ප‍්‍රිය අප‍්‍රියතාවය අනුවම ඊටම සීමා වූ එකකි. ඒ නිසා කෙනෙක් යමක් පිළිගන්නේ හෝ තේරුම් ගන්නේ හෝ ඒ ගැන හොයන්නේ බලන්නේ හෝ එය ප‍්‍රිය මනාප දෙයක් නම් පමණි. ලෝකයේ වාසය කරන මිනිසුන් දෙදෙනෙකුට එකම දෙයක් පිළිබඳව දෙයාකාරයකින් දැකගන්නට, තේරුම් ගන්නට, අවබෝධ කරගන්නට නොහැකි වීමේ හේතුව මේ ප‍්‍රිය, අප‍්‍රිය, මනාප, අමනාප යන අන්තවාදී ගති ලක්ෂණයි. හුරු පුරුදුයි. මේ ප‍්‍රිය අප‍්‍රිය, මනාප අමනාප යන අන්තවාදී ගති ලක්ෂණ නිසා කෙනෙකුගේ චිත්තසංථානය කිළිටි වේ. චිත්තසංථානය කිළිටිවීමත් සමඟම මනස මුවහ වී මෝහය යනුවෙන් හඳුන්වනු ලබන ගති ලක්ෂණය නිසා මනසීකරණීය ශක්තිය දුර්වල වේ. එම නිසා ප‍්‍රියතාවයෙන් ඇලීමත්, අප‍්‍රියතාවයෙන් ගැටීමත් යන අන්ත දෙකම මනස මුවහ කරන කළු ධර්ම වේ. එවන් ගති කෙළෙස්, අකුසල් යනුවෙන් හඳුන්වනු ලබයි. සරළව විග‍්‍රහ කරනවා නම් මේ සියල්ල කුණු ගොඩකි.

මේ අනුව පෘථග්ජන ලෝකයා හොඳය, යහපත්ය, සැපය, සුවයක්ය යනුවෙන් හිතන සියලු දේ, ඒ ඒ පුද්ගලයාගේ සංසාර පුරුද්දට අනුව ඒ ඒ පුද්ගලයාට ම ආවේණික වූ ප‍්‍රිය දේ හා අප‍්‍රිය දේ මිස ඒවායෙහි කාටත් පොදු පරම සත්‍යයක් නැති බව තේරුම් ගත හැකියි. මේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ඇලීම නිසාත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීම නිසාත් සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම සංසාර ගමන යාමට හේතු වන, උපකාර වන සමුදය, කර්ම බීජ තමන් ම සකස් කර ගනී. මේ අනුව රාග, ද්වේෂ, මෝහ යන ගති තුන එනම් කළු ධර්ම, කෙළෙස් නැත්නම් කුණු ගති මෙසේ කර්ම බීජ සකස් කිරීමට හේතු වේ.

එසේම රාගක්ඛ්‍යය, ද්වේෂක්ඛ්‍යය, මෝහක්ඛ්‍යය කිරීම සඳහා උපකාර වන සියලුම ක‍්‍රියාකාරකම් කුසල් ධර්ම ලෙසත් ධර්මයේම විග‍්‍රහ වේ. විඤ්ඤාණ ශක්තියෙන්ම උපත ලැබූ සෑම කෙනෙක් ම කළු ධර්මත්, සුදු ධර්මත් ක‍්‍රියාත්මක කරමින් හොඳ නරක දෙයාකාරයේම ඵල විපාක උරුම කර ගනී. රාග, ද්වේෂ, මෝහ යන කළු ධර්ම සිතක උපත ලැබීමට මුල් වූ ක‍්‍රියාකාරකම් හා රාගක්ඛ්‍යයට, ද්වේෂක්ඛ්‍යයට, මෝහක්ඛ්‍යයට හේතුවූ කුසල් ධර්ම සිතක උපත ලබන ක‍්‍රියාකාරකම් යන ද්වයතාවයම නිවැරදිවත් පූර්ණ ලෙසත් තේරුම් ගැනීම චතු අරිය සත්‍යයයන් තේරුම් ගැනීමටත් උපකාර වේ.

සෑම පෘථග්ජන පුද්ගලයෙක්ම ජීවත් වීම යනුවෙන් අර්ථ ගන්වන්නේ කළු ධර්ම ඉපදීම සඳහා සංඛාර ක‍්‍රියාත්මක කරමින් කුණු එකතු කර ගැනීමේ ක‍්‍රියාවලියක නිරත වීමයි. එසේම සුදු ධර්මයන් ක‍්‍රියාත්මක කරමින් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා යන ගතිගුණාංග නිරාමිස, නිරාසව, වීතරාගී, වීතදේසී, වීතමෝහී යන ක‍්‍රියාකාරකම් වලත් නිරත වේ. තම මනස අපිරිසිදු නම් මෝහය, මුළාව සිතේ පවතී නම් කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තෝරා බේරා දැන හඳුනාගෙන, සංසාර දුකෙන් මිදී නිදහස් වන්නට දැනීමක් නැතිකම නිසා අතරමං වූවන් සේ සැප හඹා ගොස් දුකම උරුම කරගනී.

මනසේ ක‍්‍රියාවලිය යනුවෙන් හඳුන්වනු ලබන්නේ මැනීම, පෙරීම, තෝරා බේරා හොඳ නරක වෙන් කිරීමේ ශක්තියයි. මේ සඳහා මනායතනය උපකාර නොවන අතර ”මනීන්ද්‍රිය”උපකාර වන බව තේරුම් ගත යුතුයි. මනායතනය ලෙස මනස ක‍්‍රියාත්මක වනතාක් එතැනදීත් විඤ්ඤාණයට ම (ආහාර) කුණු එකතුකර ගැනීමටම මනායතනයත් උපකාර වේ. මනස ඉන්ද්‍රීයයක් වශයෙන් ක‍්‍රියාත්මක වන විට පමණක්ම කෙනෙකුට යෝනිසෝමනසිකාරයෙන් ක‍්‍රියා කිරීමේ ශක්තිය හා හැකියාව ලැබේ.

එසේ නම් කළු ධර්ම එකතු කිරීම නිසා චිත්තසංථානය කිළිටි වන බවත්, මනස වැසී අඳුරු වී යන බවත් සුදු ධර්ම ඇතුළට ගැනීම නිසා චිත්තසංථානය පිරිසිදු වී මනස  ශක්තිමත් වන බවත් දකී. සුදු ධර්ම නිසා විඤ්ඤාණ ශක්තිය දුර්වල වේ. ප‍්‍රඥාව දියුණු වේ. අරහතුන්වහන්සේ කෙනෙකු තුළ විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක නොවේ. රාග, ද්වේෂ, මෝහ එකතු කරන ක‍්‍රියාකාරකම් එනම් අවිද්‍යා සංඛාර නොකරයි. පංචස්කන්ධය පරිහරණය කළත්, භාවිතා කළත් පංචස්කන්ධය උපාදානය කර නොගනී. ඒ අනුව අරහතුන්වහන්සේ කෙනෙකු ඇස, කන, නාසය, දිව, කය, මනස යන ඉන්ද්‍රියයන් හයම භාවිතා කළත් ඒ කිසි ම ඉන්ද්‍රියයක් ආයතනයක් බවට පත් කොට කුණු (රාග, ද්වේෂ, මෝහ) එකතු කරන්නට ක‍්‍රියා නොකරයි. අරහතුන්වහන්සේගේ ඉන්ද්‍රියයන් හයම සංවර වී ඇත.

අතීතයේ කවදා හෝ තමන් ම කළු ධර්ම තම චිත්තසංථානය ඇතුළට නොගත්තේ නම් අද තමන්ට ම විඤ්ඤාණයෙන් කටයුතු කරන කෙනෙකු ලෙස මෙවැනි උපතක් ලබා ජීවිතයක් ගත කළ නොහැක. අතීතයේ කවදා හෝ සුදු ධර්ම ස්වල්පයක් හෝ චිත්තසංතානය තුළට නොගත්තේ නම් අද තමන්ට ම මනසක් ලැබී මේ ආකාරයට මිනිසෙකු ලෙස මනීන්ද්‍රිය භාවිතා කිරීමේ හැකියාවද නොලබයි.

මේ අනුව කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් නිවැරදිව ම දැන හඳුනාගෙන, තෝරා බේරා ගැනීමේ ශක්තිය හැකියාව දියුණු කර ගැනීම ධර්මාවබෝධය ලැබීම යනුවෙන් හඳුන්වයි. කළ්‍යාණ මිත‍්‍රයෙක් යනු, කළ්‍යාණ මිත‍්‍ර සම්පත්තිය ලැබීම යනු කළු ධර්ම පෙන්වා දී ඒවා නසා දැමීමට, ප‍්‍රහාණය කිරීමට, නිවැරදිව මඟ කියා දිය හැකි උත්තමයාටයි. කළ්‍යාණ යනු ”කළු නසන” යන අර්ථයයි. කළ්‍යාණ මිත‍්‍රයෙක් කළු ධර්ම කළු ධර්ම ලෙසත්, සුදු ධර්ම සුදු ධර්ම ලෙසත් පිරිසිදුව, පැහැදිළිව වෙන් කර පෙන්වා දී කළු ධර්ම ප‍්‍රහාණය කිරීමට හා සුදු ධර්ම ආශ‍්‍රය කිරීමටද නිවැරදිව මාර්ගය පෙන්වා දෙයි. ඒ නිසා කළ්‍යාණ මිත‍්‍රයකුගෙන් ම පරම පවිත‍්‍ර බුද්ධ ධර්මය ම අසා දැන, ඊට පසු මේ මඟ නිවැරදිව අනුගමනය කිරීමෙන් තමන්ගේ ම චිත්තසංතානය පිරිසිදු කර, ප‍්‍රඥාව උපදවා පහදා ගෙන, භව උදුරා දමන්නටත් ක‍්‍රියා කළ හැකි වේ.

යම් කිසි මිනිසකුගේ මනස අපිරිසිදු නම්, මනායතනය ක‍්‍රියාත්මක වේ නම් ඔහුට ද්වතාවය ධර්මය තේරුම් ගත නොහැක. කළු ධර්ම හා සුදු ධර්ම වෙන් කර තේරුම් ගැනීමට නොහැකි නිසා ඔහු කුණු එකතු කර තව තවත් චිත්තසංථානයේ කෙළෙස් පුරවා ගනී. කළු ධර්ම චිත්තසංථානය තුළට ගැනීමත් සමඟම මනස වැසී මෝහයෙන් මුළා වී සත්‍යාවබෝධය දුරස් වේ.

ප‍්‍රඥාව යනු චිත්තසංථානයේ ගබඩා වී පවතින කෙළෙස් කළු ධර්ම ප‍්‍රහාණය කර ඉවත් කිරීමේ හැකියාවයි. ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වීමට නම් පඤ්ඤා ඉන්ද්‍රියම ක‍්‍රියාත්මක විය යුතුයි. මනීන්ද්‍රිය ක‍්‍රියාත්මක වීමත් සමඟම ශ‍්‍රද්ධා ඉන්ද්‍රිය, වීර්ය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්මයන් සිත තුළම ක‍්‍රියාත්මක වී පඤ්ඤා ඉන්ද්‍රිය ක‍්‍රියාත්මක වීමෙන් කෙළෙස් ප‍්‍රහාණය කර ආසව, අනුසය ඛය කර අස්කර දමන්නටත් ශක්තිය ලැබේ.

තමන්ගේම මනස කිළිටි කර ගැනීමෙන් මනස, මනීන්ද්‍රිය ලෙසින් ක‍්‍රියාත්මක නොවීමත්, එසේම මනස පිරිසිදු කිරීමෙන් මනීන්ද්‍රිය වාගේම පඤ්ඤා ඉන්ද්‍රියත් ක‍්‍රියාත්මක කිරීමට හැකි ශක්තිය ලබා ගන්නෙත් තම තමන්මය. මනස මුවහ වූ තරමට චිත්තසංථානයේ කුණු ගබඩා වූ තරමට කෙනෙක් දුක් විඳියි. උපාදානය කර ගන්නා දේ වල සීමාවක් ද නොදනී. ඒ උපාදානය කර ගන්නේ ම කුණු ගොඩවල් බවත් ඒවා සංසාර බරක් බවත් නොදනී. නොදකී.

කුණු ඉවත් කර අස් කර හිත නිදහස් වූ තරමට ම තමන්ටම නිදහස ලැබේ. තමන් දුක් විඳීමෙන් බැහැර වේ. සත්‍යාවබෝධය පූර්ණ වේ. ප‍්‍රඥාව ක‍්‍රියාත්මක වේ. ආසව, අනුසය ඛය කිරීමෙන් සංයෝජන ප‍්‍රහාණය වේ. නිවන යනු මෙසේ අතීතයේ තමන් එකතු කරගත් කෙළෙස් තමන්ගේම චිත්තසංථානයෙන් සේසයක්වත් ඉතිරි නොවන්නට ප‍්‍රහාණය කර ඉවත්කර දැමීමටයි. මෙතැනදී රාග විරාගයත්, අවිද්‍යා විරාගයත් යන දෙයාකාරයෙන්ම චිත්තසංථානය පිරිසිදු කරගත යුතුයි. චිත්තසංථානය කෙළෙස් රහිත වූ තත්ත්වයටම පිරිසිදු කර ගැනීමත් සමඟම විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤත තත්ත්වයටත් ප‍්‍රඥා ශක්තිය පූර්ණ තත්ත්වයටත් පත්කර ගැනීම අරහත් ඵලයට පත්වීමයි. එසේ නම් නිවන රාගයෙන් තොර, ද්වේෂයෙන් තොර, මෝහයෙන් තොර, විවේක නිස්සිත, විරාග නිස්සිත, නිරෝධ නිස්සිත, වොස්සග්ග පරිණාමී සිතක් බවට තමාගේම සිත විමුක්තියට පත් කර ගැනීමයි නිදහස් කර ගැනීමයි.

එසේ නම් ඔබේම සිත ඔබම කිළිටි කර ගන්නේ ප‍්‍රිය දේට අන්තගාමී ලෙස ඇලීමෙනුත්, අප‍්‍රිය දේට අන්තගාමී ලෙසින් ගැටීමෙනුත් බිහි වන මුළා ගතිය නිසා ම බව නිවැරදිව ම තේරුම් ගත යුතුයි.

ඔබේ සිත තුළ තැති ගැනීමක්, චලනයක්, නොසන්සුන්කමක්, කම්පනයක් ඇති වන්නේ මේ මුළාව නිසාමයි. මුළාව නිසාම මානයක්, මමත්වයක් සිතක ඇති වේ. මානයෙන් සිත මත් වීම නිසා කෙනෙකු තුළ අවිද්‍යාව පහළ වේ. මානය නිසාම කෙනෙකු තුළ තණ්හාවද ඇති වේ. මේ ”මම” යන දෘෂ්ඨිය මුළා දෘෂ්ඨියකි. මායාවකි. තමන්ම ඇත්ත ඇති සැටියෙන් තේරුම් නොගැනීම නිසා බිහි කරගත් මුලා දෘෂ්ඨියක් මිස මම, මාගේ, මාගේ ආත්මය යනුවෙන් අල්ලා ගැනීමට, දිගටම පවත්වා ගැනීමට හැකි කිසිම දෙයක් මේ පැවැත්ම තුළ නොපවතී. මේ පැවැත්ම යනු, ජීවත් වීම යනු තමන්ම කරන, කියන, හිතන හේතුඵල පරම්පරාවකට පටිච්ච වීම නිසා බිහි කරගන්නා ඵලවිපාක පරම්පරාවක් උරුම කරගැනීම හා ඒ ඵලවිපාක සංසාරයි යැයි යන මිථ්‍යා දෘෂ්ඨියෙන් උපාදානය කර ගැනීමයි.

සම්මා දෘෂ්ඨියට පත් වීම යනු මෙසේ එකතු කර ගැනීමේ ක‍්‍රියාවලිය දැක, හේතුඵල පරම්පරාවක් තමන්ම තම චිත්තසංථානයෙන්ම සකස් කර ගන්නා බව නිවැරදිවම දැක, ඒ හේතු පරම්පරාවටමත් පටිච්ච නොවී, ඉන් මිදී, ඵලයෙන්ද නිදහස් විය හැකි බව දැකීමයි. ඒ මිස හොඳ යහපත් දේ අල්ලා උපාදානය කර ගැනීමක් සම්මා දිට්ඨිය යන පදයෙන් ධර්ම අර්ථ නොගැන්වේ. හොඳ, නරක දෙක ම පවතින්නේ් උපදින්නේ මේ හදාගත් ලෝකය තුළමයි. ඒ දෙකම ලෞකිකයි. එම නිසා මිච්ඡ දිට්ඨියෙන් මිදී ඊළඟට ලෞකික සම්මා දිට්ඨියෙනුත් මිදී ලෝකෝත්තර සම්මා දිට්ඨියට පත් වීම නිවනයි.

ප‍්‍රිය දේකට බැඳුණු විට (පටිච්ච වීමෙන්) ප‍්‍රිය මනාපයැයි තමා තීරණය කරගත් දේ, ඒ ප‍්‍රිය ආකාරයෙන්ම එක දිගටම පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවයක්, කැමැත්තක් සෑම පුද්ගලයකු තුළම හට ගනී. මේ ගතිය ”නිච්ච සංඥාව” යන පදයෙන් විග‍්‍රහ වේ. මේ ”නිච්ච” වීම තමන්ගේ සිතේම හටගත් ”නිච්ච සංඥාවක්” නිසා සෑම පෘථග්ජන පුද්ගලයකුම තමන් ප‍්‍රිය කළ දේ තුළින්ම තම ඉන්ද්‍රියන් පිනවීමක් ද බලාපොරොත්තු වේ. මේ ආමිස සැපය, ආමිස සුවය, ඉන්ද්‍රිය පිනවීම යන ගති ලක්ෂණයයි. මේ වාගේ ඉන්ද්‍රියයන් පිනවීමෙන් යම් සැපයක් විඳගන්නට තමාම බලාපොරොත්තු වීමත් සමඟම, පෘථග්ජන පුද්ගලයකු තුළ මමත්වය ඇති වේ. ”සැප විඳගන්නේ” ”මමයි” යන අන්තවාදී දෘෂ්ඨියටත් පත් වේ.

චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං,
තින්නං සංගති පස්සෝ,
සං පස්ස ජා වේදනා
වේදනා පච්චයා තණ්හා, උපාදාන, භව

ඇසට ප‍්‍රිය රූපයක් අරමුණු වීම නිසා ඇසත්, ප‍්‍රිය රූපයත්් පටිච්ච වීමෙන් චක්ඛු විඤ්ඤාණයක් (රූපය උපාදානය කරගැනීමේ බලාපොරොත්තුවක්) සිතේ හටගනී. ඇස, ප‍්‍රිය රූපය හා ඒ රූපය පිළිබඳව ඇති වූ විඤ්ඤාණය, බලාපොරොත්තුව (තින්නං සංගති පස්සෝ) එකට ස්පර්ෂ වීම නිසා ”සංපස්සජා වේදනා” යන ප‍්‍රිය වේදනාවක්, වින්දනයක් සිතේ ජනිත වේ. මෙවන් ප‍්‍රිය වේදනාවක් සිතේ ජනිත වීම යනු තමාගේම මන පින වීමට, ඇස පින වීමට එම රූපය උපාදානය කර ගැනීමේ අවශ්‍යතාවයක් බලවත් සේ සිතෙහිම හට ගැනීමයි. උපාදානය කර ගැනීමත් සමඟම ”භව” තත්ත්වයට පත් වීමෙන් කර්ම බීජ සකස් වේ. නැතිනම් සමුප්පාද ක‍්‍රියාවලියක් පූර්ණ වේ. සමුදය ධර්මයක් සැකසී බිහි වේ. සමුදය බිහි වීමෙන් පසු ජාති, ජරා, මරණ, ශෝක, පරිදේව, දුක් දොම්නස්, උපායාස ආදී සියල්ලමත් උරුමයෙන්ම තමන්ටම ලැබේ.

මුළින් සඳහන් කරන ලද ප‍්‍රිය රූපය දුටු විගසම ඒ අවස්ථාවේදීම ඒ රූපය අනිච්ච බව, දුක්ඛ බව, අනත්ථ බව සේම අසුභ බවත් අවබෝධ කරගැනීමෙන් ඒ ප‍්‍රිය රූපය නිච්ච බවක්, සුභ බවක් හෝ අත්ථ වශයෙන් ගැනීමට යමක් හෝ එහි නැති බව ප‍්‍රත්‍යක්ෂ කර පිරිසිඳ දැකීම සඳහා රූපං අනිච්චා, රූපං දුක්ඛා, රූපං අනත්ථා වශයෙන් ත‍්‍රිලක්ඛණ භාවනාව මෙනෙහි කළ යුතුයි. මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයමත් නිච්චයි, සුඛයි, අත්ථයි, සුබයි යනුවෙන් මෙතෙක් සංසාරයේ ඇති කරගෙන පැවති වැරදි පුරුද්ද නිසාම සියලු මිනිසුන් සැප හඹා ගොස් දුකම උරුම කර ගන්නා බව හතර අවස්ථාවකදී පූර්ණ වශයෙන්ම දැක සත්‍යාවබෝධ කර ගැනීම අනිච්ච, දුක්ඛ, අනත්ථ දැකීමයි. මඟඵල ලබා නිවන් අවබෝධය, සම්පූර්ණ කර ගැනීමයි.

බුද්ධ ධර්මය අසා දැන, අනුගමනය කර ධම්මානුධම්ම පටිපදාවෙහි නිරත වීම යනු අභ්‍යන්තර වශයෙන් මෙන් ම බාහිර වශයෙනුත් තමන්ම හදා ගත් ලෝකය තමන්ටම අදාළව තමා තුළින්ම යථා පරිදි දැක ගැනීමයි. පිරිසිඳ දැකීමයි. යමෙක් ලෝකය යථා පරිදි දැක ගන්නට උත්සාහ කරයි නම් කාම ලෝක, රූප ලෝක, අරූප ලෝක යන තුන් ලෝකයම තමා තුළින්ම දැක ගත යුතුයි. තමන් ජීවත් වෙනවාය, උත්පත්තියක් ලබනවාය, කර්ම සකස් කරනවාය, පටිසන්ධි ලබනවාය, අභිනව තත්ත්වයන්ට පත් වෙනවාය, ජරා, ව්‍යාධි, ශෝක පරිදේව ආද’ ඵල විපාක ලබනවා යන මේ සියල්ලම තමාගේම ක‍්‍රියාකාරකම් නිසාම මිස ඉබේ සිදුවන දේ හෝ ඉබේ සිදු විය හැකි දේ හෝ නොවන බවත් නිවැරදිවම තේරුම් ගත යුතුයි.

තමා යනු කවුද? මේ ජීවත් වීම කියන්නේ කුමකටද? ජීවිත යන පදයේ අර්ථය, ධර්මය කුමක්ද? ලෝකය යනු කුමක්ද? මේ ලෝකය නිර්මාණය කර ගත්තේ කවුද? ඇයි මේ ලෝකයක් හැදුනේ? ලෝකය සාදා ගෙන මම යනුවෙන් කෙනෙක් උපදවා, බිහිකර ගත්තේ නැත්නම්, දුක් විඳින කෙනෙක් ඉන්නවාද? තමන් කිසි විටෙකත් දුකක් බලාපොරොත්තු නොවුණත් නිරතුරුවම තමාට දුකම උරුම වන්නේ ඇයි? මේ ආදී තවත් දහසක් ප‍්‍රශ්ණ වලට තමා තුළින්ම තමන්ට ම පිළිතුරු සපයා ගත යුතුයි. මේ ප‍්‍රත්‍යක්ෂ අවබෝධය හතර අවස්ථාවකදී පුර්ණ වීම නිවනයි.

එදා බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ මුළු බුද්ධ ධර්මයම දේශණා කර වදාළේ පෘථග්ජන ලෝකයාට මේ කරුණු අවබෝධ කරගැනීමටත් මෙම මායා පැවැත්මෙහි සත්‍යය ප‍්‍රත්‍යක්ෂ කරගැනීමට මාර්ගයත් පෙන්වා දීමේ ඒකායන පරමාර්ථයෙනි. පෘථග්ජන ලෝකයා රූපය මමයි, මාගේ රූපයයි, රූපයෙන් තොර මමෙක් නැත, මගෙන් තොර ලෝකයක් නැත, රූපය තුළ ආත්මයක් ඇත ආදී වශයෙන් තමා පිළිබඳවම ඇති කර ගත් වැරදි තීරණයක් නිසා ”මම” යන මමත්ත්ව සංකල්පයන් හිතෙන් මවාගෙන මම ”නිච්ච” බවට පත් කර ගන්නට, මම සැප, සුව, සුඛ විඳගන්නට හැම විටම මුලා වූ දෘෂ්ඨියකින් ක‍්‍රියා කරයි. අවිද්‍යාවට මුළාවට හා තණ්හාවට හේතුව මෙයයි.

මේ සාදාගත් ශරීර කූඩුව තුළ ක‍්‍රියාත්මකව පවතින ගත, හිත යන කොටස් දෙක ”වත” යනුවෙන් හඳුන්වයි. ”වත” විවිධාකාරයෙන් බෙදා වෙන් කර, කොටස් නම් කර විභංග කර පෙන් වූ එකම විද්‍යාඥයා ලොව්තුරා බුදුපියාණන්වහන්සේයි. ගත, හිත යන නාම රූප කොටස් දෙක නැවත නැවතත් විභංග කර බෙදා බලන ආකාරයත් මේ හදාගත් ශරීර කූඩුවේත්්, විඤ්ඤාණ ශක්තියේත් ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” බව පිරිසිඳ දැක ගෙන මේ පැවැත්මෙහි ඇති නිස්සාර බව පසක්කර දැක ගැනීමට උපකාර වීම සඳහා ධර්මය දේශණා කර වදාළහ. විභංග යන පද දෙක වි+වෙන් කිරීම, භංග+බෙදා බැලීීමයිි. විභංග කිරීම යනු බෙදා බැලීමයි. ”භගවත්” ගුණය යන්නත්් විභංග කර බැලීමයි. පැවැත්මෙහි සත්‍යය අවබෝධ කර ගැනීමේ පහසුව තකාම ඉදිරිපත් කරන ලද්දේත් විභජ්ජ වාදයයි. බුද්ධ පරිනිර්වාණය සිදු වී වසර දෙසිය පනහක් පමණ කාලයක් ගතවන තුරු මේ උතුම් බුද්ධ ධර්මයට ”විභජ්ජවාදය” ලෙසින්ද හැඳින්වූයේ මේ විභංග කර පෙන්වීම නිසයි. ”අනිච්ච, දුක්ඛ අනත්ථ, අසුබ” යන සංකල්ප පහසුවෙන්ම කෙනෙකුට තේරුම් ගත හැකි වන්නේ තම වතම බෙදා බලා ඇත්ත ඇති සැටියෙන් දැන ගත් විට පමණකි.

ධම්මචක්කපවත්තන සූත‍්‍රයේ සඳහන් ”ආචික්ඛනා දේශණා පඤ්ඤපනා, පට්ටපනා, විභජනා, විවරණා උත්තානිකම්මන්ති” යන පද වලින් ඉතාම පැහැදිළි ලෙසින් බුදුපියාණන් ලෝකයාට දේශණාකර පෙන්වා වදාළේ චතුරාර්ය සත්‍යයන්, ත‍්‍රිලක්ඛණය, අෂ්ටාංගික මාර්ගය මෙන්ම මජ්ක්‍ධිමා පටිපදාව ද අවබෝධ කර ගැනීමට මේ වත බෙදා භාග කර, විභජනය කර, විවරණා කර දැකීමට උපකාර වන නිසයි.

මේ ආකාරයට තමන්ගේම ගත, හිත බෙදා බලා තමන්ම එහි යථා තත්ත්වය පරිපූර්ණ වශයෙන් දැක බලා ගැනීමට නම් අවම වශයෙන් ”භගවත්” ගුණයෙන් පෙන්වා වදාළ විභංග කිරීම යථා පරිදි අවබෝධ කර ගැනීමට අවශ්‍ය වන බෙදීම් කිහිපයක් හෝ දැනගත යුතුමයි. මේ පහත සඳහන් සියලු විභංග කිරීම් තමා තුළින්ම දැක ගන්නට උත්සාහ ගත යුතුයි.

1. ස්කන්ධ විභංගය – රූප ස්කන්ධය, වේදනා ස්කන්ධය, සංඥා ස්කන්ධය, සංඛාර ස්කන්ධය හා විඤ්ඤාණ ස්කන්ධය යනුවෙන් කොටස් පහකට බෙදා වෙන් කර දැක ගත යුතුයි. අවබෝධ කරගත යුතුයි.
2. පංචඋපාදානස්කන්ධ විභංගය – රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඤ්ඤාණ උපාදානස්කන්ධය. ස්කන්ධය හා උපාදානස්කන්දය වෙන් කොට දැකිය යුතුයි.
3. ඉන්ද්‍රිය විභංගය – චක්ඛු ඉන්ද්‍රිය, සෝත ඉන්ද්‍රිය, ඝාණ ඉන්ද්‍රිය, ජීව්හා ඉන්ද්‍රිය, කාය ඉන්ද්‍රිය, මනීන්ද්‍රිය යන හය මනාව වෙන් කොට දැක ගත යුතුයි.
4. ආයතන විභංගය – චක්ඛායතනය, සෝතායතනය, ඝාණායතනය, රසායතනය, පොට්ඨබ්බායතනය, ධම්මායතනය වෙන් කොට දැකිය යුතුයි. ආයතනය හා ඉන්ද්‍රියයන් වෙන් කොට දැකිය යුතුයි.
5. විඤ්ඤාණ විභංගය – චක්ඛු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ඝාණ විඤ්ඤාණය, ජිව්හා විඤ්ඤාණ, කාය විඤ්ඤාණය, හා මනෝ විඤ්ඤාණය වෙන් කොට තේරුම් ගත යුතුයි.
6. රූප විභංගය – අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ලඟ රූප, සියුම් රූප, ඝණ රූප, ප‍්‍රිය මධුර රූප, ඕලාරික රූප, කටුක රූප ලෙස විභංග කර දැකිය යුතුයි.
7. රූප සංඥාව – රූප සංචේතනාව, රූප තණ්හාව, රූප චිතක්ක, රූප විචාර වෙන් කොට දැන හඳුනා ගත යුතුයි. (මේ ආකාරයට ම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණත් මේ පස් ආකාරයට ම බෙදා බලා දැන හඳුනාගත යුතුයි).
8. ධාතු විභංගය – පඨවි, ආපෝ, තේජෝ, වායෝ, ආකාස, විඤ්ඤාණ යන ධාතු හය විභංග කර දැන ගත යුතුයි.
9. කේසා, ලෝමා, නඛා, දන්තා ආදි රූප කොටස් 32 පිළිබඳව බෙදා බලා දැන තේරුම් ගත යුතුයි.
10. චක්ඛු ධාතු, රූප ධාතු, චක්ඛු විඤ්ඤාණ ධාතු ආදී කොට ඇති අට්ඨාරස ධාතු පිළිබඳවත් තමා තුළින් දැනගත යුතුයි.
11. චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මන යන ඉන්ද්‍රියයන් හයට අමතරව ජිවිතේන්ද්‍රිය, සද්ධා ඉන්ද්‍රිය, වීරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය හා පඤ්ඤා ඉන්ද්‍රිය යන ඉන්ද්‍රිය ධර්ම ගැන ද දැන ගත යුතුයි. මේ සියලුු ඉන්ද්‍රියයන් තමා තුළ ම පවතින බව දැකගත යුතුයි.
12. කාම ධාතු, රූප ධාතු, අරූප ධාතු, කාම භව, රූප භව, අරූප භව, සඤ්ඤී භව, අසඤ්ඤී භව, නේවසඤ්ඤා නාසඤ්ඤ භව ඒකවෝකාර භව, චතුචෝකාර භව හා පඤ්ඤාවෝකාර භව පිළිබඳවත් දැනගත යුතුයි.
13. පළමු වන ධ්‍යානයේ සිට සතර වන ධ්‍යානය ගැනත් (රූප ධ්‍යාන) ආකාසඤ්ඤායතන, ආකිඤ්ඤායතන, විඤ්ඤාණඤ්ඤායතන හා නේවසඤ්ඤානාසඤ්ඤායතන යන අරූප ධ්‍යාන ගැනත් දැනගත යුතුයි. (අරිය ධ්‍යානයන් අරිය ධ්‍යාන ලෙසත්, අනරිය ධ්‍යානයන් අනරිය ධයානයන් ලෙසත් වෙන් කොට දැන ගත යුතුයි.)
14. ධ්‍යාන යනු චේතෝ විමුක්තිය බවත් රාග විරාගය බවත් දැනගත යුතුයි. මඟඵල යනු ප‍්‍රඥා විමුක්තිය, විද්‍යා විමුක්තිය බවත්, අවිද්‍යා විරාගය බවත්, දැනගත යුතුයි. මඟඵල ලැබීමෙන් සංයෝජන ප‍්‍රහාණය වී, ආසව අනුසය ධර්මයන් ඛය වී, ඉවත් වන බවත් දැන ගත යුතුයි. ධ්‍යානයන් ලබාගත් පමණින් ආසව අනුසය ධර්ම ඛය කිරීමට නොහැකි බවත් දැනගත යුතුයි.
15. අවිද්‍යා මූල පට්ච්ච සමුප්පාද ධර්ම අවිද්‍යාව නිසා උපදින බව දැන ගත යුතුයි. සංඛාර, නාම රූප, සළායතන, ඵස්ස, වේදනා, තණ්හා, උපාදාන, භව, ජාති වශයෙන් තමාගේ ම සිත තුළ අවිද්‍යාව ක‍්‍රියාත්මක වන ආකාරය තමාම දැකගත යුතුයි.
16. අවිද්‍යා මූල සංඛාර ආදී සියලුම පටිච්ච සමුප්පාද අංගයන් තම සිත තුළදීම නිර් උදා කර, සමුදය ශක්තියක් උදා නොකර නිරෝධ කළ හැකි බවත් දැකිය යුතුයි.
17. කුසල මූල පටිච්චසමුප්පාද ධර්මය කුණු සළාහැර, සිතින් කෙළෙස් අස්කර දැමීමේදී කුසල මූල සංඛාර විඤ්ඤාණ, නාමරූප, සළායතන, පස්ස, වේදනා පසාදෝ, අධිමොක්කෝ, භව, ජාති යන තත්ත්වයට සිත පත්වන සැටිත් දැක ගත යුතුයි.
18. පටි+ඉච්ච+සං+උප්පන්න යන ක‍්‍රියාවලිය තුළින් ඉච්ච (නිච්ච) ගළවා දැමීමට එහි අනිච්ච, දුක්ඛ, අනත්ථ බව පසක් කොට දැක දුක්ඛ අරිය සත්‍යය, සමුදය අරිය සත්‍යය, නිරෝධ අරිය සත්‍යය හා නිරෝධගාමී මාර්ග අරිය සත්‍යය ද තමාම අවබෝධ කර ගත යුතුයි.
19. දුක්ඛං අභිඤ්ඤෙයිය, දුක්ඛ සමුදයං අභිඤ්ඤෙයිය, දුක්ඛ නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස සමුදය නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස චන්දරාග නිරෝධෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස අස්සාදෝ අභිඤ්ඤෙයිය දුක්ඛස්ස ආදීනවෝ අභිඤ්ඤෙයිය, දුක්ඛස්ස නිස්සරණං අභිඤ්ඤෙයිය පිළිබඳවද යථා පරිදි අවබෝධ කරගත යුතුයි. (අභිඤ්ඤෙයිය යනු උසස්ම මට්ටමකින් සත්‍යවබෝධය, පුර්ණවබෝධය ලැබීමේ යන අදහසයි.)
20. රූපං අභිඤ්ඤෙයිය … වේදනා අභිඤ්ඤෙයිය……..
සංඥා අභිඤ්ඤෙයිය ….සංඛාර අභිඤ්ඤෙයිය…
විඤ්ඤාණ අභිඤ්ඤෙයිය ….රූපං සමුදය අභිඤ්ඤෙයියං
වේදනා සමුදය අභිඤ්ඤෙයියං
රූපං නිස්සරණං අභිඤ්ඤෙයියං, වේදනා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඥා නිස්සරණං අභිඤ්ඤෙයියං, සංඛාර නිස්සරණං අභිඤ්ඤෙයියං, විඤ්ඤාණ නිස්සරණං අභිඤ්ඤෙයියං මේ ආකාරයට රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන පංචස්කන්ධයාගේම උපත (සමුදය), වැය, නිස්සරණය, නිරෝධය ප‍්‍රත්‍යක්ෂ කර දැක ගත යුතුයි.
21. මේ ආකාරයටම රූප, වේදනා ආදී පංචස්කන්ධයෝත්, ආයතනත්, ඉන්ද්‍රියයනුත්, රූප, ශබ්ද, ගන්ධ, රස, පහස, ධම්ම යන බාහිර ආයතනයෝත් යන සියල්ලෙහි ම
1. අනිච්චානුපස්සනා අභිඤ්ඤෙයියං
2. දුක්ඛානුපස්සනා අභිඤ්ඤෙයියං
3. අනත්ථානුපස්සනා අභිඤ්ඤෙයියං
4. නිබ්බිදානුපස්සනා අභිඤ්ඤෙයියං
5. විරාගානුපස්සනා අභිඤ්ඤෙයියං
6. නිරෝධානුපස්සනා අභිඤ්ඤෙයියං
7. පටිනිස්සග්ගානුපස්සනා අභිඤ්ඤෙයියං
මේ විපස්සනා භාවනාවයි. අනුපස්සනා භාවනාවයි. තමා තුළින්ම උපත ලබන පංචඋපාදානස්කන්ධයම පිළිබඳව මේ ආකාරයට තමන් අනුපස්සනා කරමින් ත‍්‍රිලක්ඛණ භාවනාව ප‍්‍රත්‍යක්ෂ වන තුරුම භාවනා කළ යුතුයි. උපාදානය බැහැර කළ හැක්කේ ”නිච්ච, සුඛ, අත්ථ ” සංඥා ප‍්‍රහාණය කිරීමෙන් පමණි.

22. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ආදී අරමුණුවලට පටිච්ච වූ චක්ඛු, සෝත, ඝාණ, ජීව්හා, කාය, මනෝ ආයතන වලින් සමුදය උපදී. (සං උපත ලබයි) උදය වෙයි. මේ ආකාරයට බිහි වන සමුදය උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කර ගත යුතුයි.)

1. උප්පාදෝ අභිඤ්ඤෙයියං (අවබෝධ කරගත යුතුයි)
2. පවත්තං අභිඤ්ඤෙයියං    
3. නිමිත්තං අභිඤ්ඤෙයියං    
4. ආයුහනං අභිඤ්ඤෙයියං (කර්මය සකස් වීම)
5. පටිසන්ධිං අභිඤ්ඤෙයියං    
6. ගතිං අභිඤ්ඤෙයියං    
7. නිබ්බත්ති අභිඤ්ඤෙයියං (අභිනව තත්ත්වය)
8. උපපත්ති අභිඤ්ඤෙයියං (නෙකඩවා උපතක් වීම)
9. ජාති, ජරා, මරණ, ව්‍යාධි, ශෝක, පරිදේව, උපායාස අභිඤ්ඤෙයියං

23. මේ ආකාරයට ම අරමුණුවලට (රූප ආදී) ඇස ආදී ඉන්දියයන් පටිච්ච නොවුවොත් පටිච්ච වීම නිරෝධ කළහොත්”

1. අනුප්පාදෝ අභිඤ්ඤෙයියං
2. අපවත්තං අභිඤ්ඤෙයියං
3. අනිමිත්තං අභිඤ්ඤෙයියං
4. අනායුහනං අභිඤ්ඤෙයියං
5. අප්පටිසංධිං අභිඤ්ඤෙයියං
6. අගතිං අභිඤ්ඤෙයියං
7. අනිබ්බත්ති අභිඤ්ඤෙයියං
8. අනුපපත්ති අභිඤ්ඤෙයියං
9. අජාති, අජරා, අමර, අව්‍යාධි, අශෝකං, අපරිදේව, අනුපයාස අභිඤ්ඤෙයියං. අභිඤ්ඤෙයියං යනු තම සිතින් ම බිහිවෙන තත්ත්වයන් ප‍්‍රත්‍යක්ෂ කර ඇත්ත ඇති සැටියෙන් දැක ගැනීමේ උසස්ම යථාවබෝධයයි.

24. උප්පාදෝ දුක්ඛං – අනුප්පාදෝ සුඛං අභිඤ්ඤෙයියං
පවත්තං දුක්ඛං – අපවත්තං සුඛං අභිඤ්ඤෙයියං
නිමිත්තං දුක්ඛං – අනිමිත්තං සුඛං අභිඤ්ඤෙයියං
ආයුහනං දුක්ඛං – අනායුහං සුඛං අභිඤ්ඤෙයියං
පටිසන්ධිං දුක්ඛං – අප්පටිසන්ධි සුඛං අභිඤ්ඤෙයියං
ගතිං දුක්ඛං – අගතිං සුඛං අභිඤ්ඤෙයියං
නිබ්බන්ති දුක්ඛං – අනිබ්බන්ති සුඛං අභිඤ්ඤෙයියං (අභිනව)
උපපත්ති දුක්ඛං – අනුප්පත්ති සුඛං අභිඤ්ඤෙයියං
ජාති, ජරා…දුක්ඛං – අජාති, අජරා, අමර, අශෝකං සුඛං අභිඤ්ඤෙයියං(ද්වතාවය පිරිසිඳ දැකීමයි)

25. උප්පාදෝ භයං – අනුප්පාදෝ ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පවත්තං භයං අපවත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං භයං – අනිමිත්තං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං භයං – අනායුනහං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං භයං – අප්පටිසන්දිං ඛෙමන්ති අභිඤ්ඤෙයියං
ගතිං භයං – අගති ඛෙමං අභිඤ්ඤෙයියං
නිබ්බති භයං – අනිබ්බති ඛෙමං අභිඤ්ඤෙයියං
උපපත්ති භයං -අනුපපත්ති ඛෙමං අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණං, භයං – අජාති, අව්‍යාධි, අමර, ඛෙමං අභිඤ්ඤෙයියං (ඛෙමං යනු සහනයක් අභය තත්ත්වයකි.)

26. උප්පාදෝ සාමිසන්ති – අනුප්පාදෝ නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පවත්වත්තං සාමිසන්ති – අපවත්තං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සාමිසන්ති – අනායුහනං නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සාමිසන්ති – අප්පටිසන්ධිං නිරාමිසන්ති අභිඤ්ඤයියං
ගතිං සාමිසන්ති – අගති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සාමිසන්ති – අනිබ්බති නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ සාමිසන්ති – අජාති, අජරා, අව්‍යාධි අමර නිරාමිසන්ති අභිඤ්ඤෙයියං
සාමිසන්ති යනු ආමිස බිහි කරන, සමුදය බිහි කරන ගතිගුණ යන අදහසයි. මේ අනුව රාග,ද්වේෂ, මෝහ මෙන්ම කාමසව, භවාසව, දිට්ඨාසව බිහි කිරීමට මේ ආමිස හේතුවේ.

27. උප්පාදෝ සංඛාරාති – අනුප්පාදෝ නිබ්බානන්ති අභිඤ්ඤයියං
පවත්තං සංඛාරාති – අපවත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිමිත්තං සංඛාරාති -අනිමිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ආයුහනං සංඛාරාති – අනායුහං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
පටිසන්ධිං සංඛාරාති – අප්පටිසන්ධිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ගතිං සංඛාරාති – අගතිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
නිබ්බත්ති සංඛාරති – අනිබ්බිත්තං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
උපපත්ති සංඛාරාති – අනුපපත්තිං නිබ්බානන්ති අභිඤ්ඤෙයියං
ජාති, ජරා, ව්‍යාධි, මරණ, සංඛාරාති – අජාති, අජරා, අව්‍යාධි, අමරණං අශෝකං, අපරිදේව, අනුපයාසං, නිබ්බානන්ති අභිඤ්ඤෙයියං

යම් කෙනෙකු යෝනිසෝමනසිකාරයෙන් මේ කරුණු අනුපස්සනා කර විපස්සනා කර තමා ගැනම අවබෝධය පූර්ණ කර ගත හොත් ”අභිඤ්ඤෙයියං” තත්ත්වයට පත් වෙනු ඇත. අවබෝධය ප‍්‍රත්‍යක්ෂ ලෙසින් දැක සත්‍යාවබෝධය බවට පත් කර ගත හොත් අභිඤ්ඤෙයියං යන උසස් තත්ත්වයට පත්වෙනු ඇත. අවබෝධය පරිපූර්ණ කර පරිපූර්ණ සත්‍යාවබෝධය ලබා ගැනීම නිසා ”අභිඤ්ඤෙයියං, අභිජානනත්තෝ” යන තත්ත්වයට ම පත්වීම ද සිදු වේ.

මේ ආකාරයට තමා තුළම ක‍්‍රියාත්මක වන හේතුඵල ධර්ම ක‍්‍රියාවලිය පිරිසිඳ දැක ඒ පිළිබඳව පූර්ණාවබෝධයක් ලැබූ විට,

අභිඤ්ඤාය – අභිඤ්ඤාතට්ඨෝ (උසස් අවබෝධය)
පරිඤ්ඤාය – තීරණට්ඨෝ (පිරිසිඳ දැක තීරණ ගැනීම)
පහානස්ස – පරිච්චාගට්ඨෝ (ප‍්‍රහාණය කළයුතු දේ අත්හැරීම) භාවනාය – ඒකරසට්ඨෝ (ඒකාග්ග සිතින් භාවනා කිරීම)
සච්ජීකිරියාය – දස්සනට්ඨෝ

යන පූර්ණාවබෝධය ලැබූ පුද්ගලයා චතුරාර්ය සත්‍යයන් පරිපූර්ණ ලෙසින්ම අවබෝධ කරගත් කෙනකු බවටත් පත් වේ. ආසව හා අනුසය ධර්ම ඛය කර (උදුරා, ගළවා දමා) ඉවත් කිරීමට අවශ්‍ය ආසවඛ්‍යා ඥාණය ද ලබා ගනී. අනුසය ධර්මයන් ඛ්‍යාහොන්තී, සංයෝජනා පහියන්තී යනුවෙන් පෙන්වා වදාළේ ආසවඛ්‍යා ඥාණය ලැබීමෙන් ආසව ධර්ම ගළවා ඉවත් කර, අනුසය ධර්මයන් ද ගළවා ඉවත් කර දමා, චිත්තසංථානය ප‍්‍රභාශ්වර තත්ත්වයට පත් කර ගැනීමත්, දස සංයෝජන ක‍්‍රමානුකූලව අවස්ථා හතරක දී ප‍්‍රහාණය වී යාමත් සිදු වී සෝතාපන්න, සකෘදාගාමී, අනාගාමී, අරහත් යන මාර්ගයන් හා ඵලයන් සම්පූර්ණ වන ආකාරයත් පැහැදිළි කර පෙන්වා දීමයි.

මෙතැනදී පෙන්වූ උප්පාදෝ භයං, උප්පාදෝ දුක්ඛං, උප්පාදෝ සාමිසං, උප්පාදෝ සංඛාරං යන විග‍්‍රහයේදී ”උප්පාදෝ” යනු පුද්ගලයකුගේ, සත්ත්වයකුගේ සම්මත උත්පත්තිය පමණක්ම නොවේ. මොහොතක් මොහොතක් පාසාම, චිත්තක්ෂණයක් චිත්තක්ෂණයක් පාසාම සිතක උපත ලබන්නාවූ අරමුණු වලට පටිච්ච වීම නිසා ප‍්‍රිය අප‍්‍රියතාවයන්ට බැඳීම නිසා ඇලීම, මුළා වීම නිසා සිතක හේතුඵල පරම්පරාවක් උපත ලබන, පවතින, ක‍්‍රියාත්මක වන ආකාරයත් විග‍්‍රහ කිරීමයි.

අනුප්පාදෝ ඛෙමං, අනුප්පාදෝ සුඛං, අනුප්පාදෝ නිරාමිසං, අනුප්පාදෝ නිබ්බානන්තී යනුවෙන් විග‍්‍රහ වන්නේ චිත්තසංථානයක නිච්ච සංඥාවක්, අත්ථ සංඥාවක් නොඉපදුණොත්, සංඛාර උත්පත්තියක් පටිච්ච නොවුණොත්, චිත්තසංථානය අනිමිත්ත බවට, අප්පණිහිත බවට, සුඤ්ඤත බවට පත්වීම නිසා නිබ්බානන්තී බවට පත්වන බව පෙන්වීමටම කරන ලද විග‍්‍රහයකි. ඒ මිස දැන් ගත කරන මේ ලබා ඇති උපත අනුප්පාද කිරීමේ ක‍්‍රමයක් පිළිබඳව නොවේ. පංචඋපාදානස්කන්ධයම අතහැරියහොත්, සංඛාර පැවැත්වීම (එකතු කිරීම) අත්හැරියහොත්, ආසව – නිරාසව කළහොත් නිබ්බානන්ති යන නිවන් සුවයත් මේ මිනිස් ජීවිත කාලය තුළදීම අත් දැක, අත්විඳ ගත හැකි සත්‍යය වූ දෙයක් බව ප‍්‍රකාශ කිරීමයි. මෙතැනදී විග‍්‍රහ කර පෙන්වා වදාළේ”

”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති     චක්ඛු විඤ්ඤාණං
සෝතංච පට්ච්ච සද්ධං    උප්පජ්ජති    සෝත විඤ්ඤාණං
මනාච පටිච්ච ධම්මා    උප්පජ්ජති    මනෝ විඤ්ඤාණං”

මේ ඉහත පෙන්වා ඇති වාක්‍යවල ”උප්පජ්ජති” යන පදයෙන් පෙන්වා දුන්නේ පෙරදී විග‍්‍රහ කරන ලද උප්පත්ති යන අදහසමයි. එමනිසා පුද්ගලයෙක්, සත්ත්වයෙක් අත්විඳින සම්මත උත්පත්තියත් සම්මත මරණයත් අතර ජීවිත කාලයක් තුළ අනත්ත අප‍්‍රමාණ වාරයක් උප්පත්ති, උපපත්තිි, නිබ්බත්ති යන පද වලින් විග‍්‍රහ කරන ලද ”උපත්” ලබයි. එසේම ඒවා ගෙවී, දිය වී විනාශ වී යයි. ”පොනෝභවිකා” යනු පුන පුනා බිහි කිරීම යන අදහසයි.

”අනුපපත්ති යන සංඛාර නොකරන තත්ත්වය අනුව සමුදය ධර්මයෝ උපදවා නොගැනීම සඳහා ”සං” නූපදීම, නිර්උදා හේතුව කොටගෙන ලබන නිදහස, නිවන අත්විඳ ගත හැකියි. සමුදය නිරෝධ කිරීමත් – නිරෝධගාමී මාර්ගයත් නිවනයි.

මේ අනුව බුද්ධ දේශණාවේ පෙන්වා වදාළ පිරිසිදු නිවන් මාර්ගය ඒකායන අර්ථයෙන්ම ”අනුප්පාදෝ ඥාණං” මුල් කොටගත් අනුප්පාදය අවසාන පරම අර්ථය කොටගත් අනූපූරක නිවන් මාර්ගයක් ම වේ.

මේ නිවන් මාර්ගය පැහැදිළිවම, පිරිසිදුවම දැන ගැනීමත්, ඒ නිවෙන මාර්ගය යථාවබෝධයෙන්ම අනුගමනය කිරීමත්, ඒ දැනගත් මඟ තමන්ම අත්විඳ ගැනීමත් නිවනයි.

Share Button

ධම්මානුධම්ම පටිපදාව I

”අභිඤ්ඤාතං අභිඤ්ඤේයිය
පරිඤ්ඤාතං පරිඤ්ඤෙයිය
භාවේ තබ්බංච භාවිතං පහාතබ්බංච පහීනං
සච්චිකාතබ්බංච සච්චිකිරියා”

බුදුපියාණන්වහන්සේ ඉහත ගාථාවෙන් දේශණා කර වදාළේ අනුපුබ්බංගම නිවන් මාර්ගයි. මෙහි ”අභිඤ්ඤෙයියං අභිඤ්ඤාතං” යනු දැනගත    යුතු දෙයයි. ” භාවේ තබ්බංච භාවිතං, පහාතබ්බංච පහීනං” යනුවෙන් පෙන්වා වදාළ ඉදිරි පියවර දෙක පිළිබඳව බුදුපියාණන්වහන්සේ ඉතාමත් පැහැදිළිව පහත ගාථාවෙන් ඉදිරිපත් කර වදාළහ.

”පරිඤ්ඤට්ඨේ පඤ්ඤා දුක්ඛේ ඥාණං
පහානට්ඨේ පඤ්ඤා සමුදයේ ඥාණං
සජ්ජිකිරියට්ඨේ පඤ්ඤා නිරෝධේ ඥාණං
භාවනට්ඨේ පඤ්ඤා මග්ගේ ඥාණං”

මෙහි විස්තර කරන ලද දුක්ඛ, දුක්ඛ සමුදය, දුක්ඛ නිරෝධය, දුක්ඛ නිරෝධ ගාමිණී මාර්ගය යන මේ හතර පියවරයන් පිළිබඳව අවබෝධයක් ලබාගත යුතුයි. මේ හතර පියවරයන් අතරින් හතරවන පියවර අවසාන පියවර එනම් මාර්ගය සම්පූර්ණ කර ගැනීම සඳහා අනුගමනය කළ යුතුව ඇති කොටස් පිළිබඳව බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළහ. පළමු වන කොටස සමථ භාවනාව ලෙසත් දෙවන කොටස විපස්සනා භාවනාව ලෙසත් විග‍්‍රහ කර පෙන්වා දී ඇත. සමථ භාවනාව හා විපස්සනා භාවනාව යනු විශාල වෙනස්කම් සහිත දෙයාකාරයක ක‍්‍රම දෙකකි. සමථ භාවනාවෙන් සිදු වන්නේ පෘථග්ජන පුද්ගලයෙකුගේ හිතක් සමථයකට පත් කිරීමයි. හිතේ පවතින වික්ෂෝපභාවය, එහෙම නැත්නම් උද්ධච්චභාවය, විචිකිච්චා තත්ත්වය ඉවත් කරලා හිත සමථ තත්ත්වයට ගෙන එ්ම සමථයෙන් සිදු වේ.

සමථ භාවනාවේ කොටස් දෙකක්ම භාවිතයේ ඇති බව හොඳින් ම තේරුම් ගත යුතුයි. අරිය භාවනාවක් ලෙස හෝ එසේ නැත්නම් අනරිය භාවනාවක් ලෙස සමථ භාවනාව භාවනා කළ හැකියි. අද බොහෝ තැන්වල සමථ භාවනාව වඩන්නේ අනරිය භාවනාවක් ලෙසයි. නමුත් විපස්සනා භාවනාවේ නම් මේ ආකාරයට කොටස් දෙකක් නොපවතී. විපස්සනා භාවනාව බුද්ධ දේශණාවේ පමණක් ම ඇති වෙන කිසිම ආගමක, දර්ශනයක හෝ ක‍්‍රමවේදයක නොමැති භාවනා ක‍්‍රමයකි. බුදුපියාණන්වහන්සේ් දේශණා කළ උතුම් බුද්ධ ධර්මයේ ම පමණක් මෙම විපස්සනා භාවනාව විග‍්‍රහ කර පෙන්වා ඇත. නමුත් සමථ භාවනාව බුද්ධොත්පාද කාලයකත්, අබුද්ධෝත්පාද කාලයකත් භාවිතා වේ. බුද්ධාගම පවතින, බුද්ධාගම නොපවතින තැන්වලත් භාවිතා වේ.

බුදුපියාණන් වහන්සේ උපත ලබද්දී ලෝකයේ එකම බෞද්ධයකු හෝ නොසිටියහ. නමුත් ඒ කාලයේ දී සමථ භාවනාව භාවිතයේ තිබුණි. විපස්සනා භාවනාවක් කිසිම විටකත් භාවිතා වී නොතිබිණි. සිද්ධාර්ථ බෝසත්තුමා බුද්ධත්වයට පත් වූ පසුව මේ විපස්සනා භාවනාවක් පිළිබඳව ලෝකයාට දේශණා කර වදාළහ. එසේ නම් සමථ භාවනාව බුදුපියාණන්වහන්සේ් පහළ වීමටත් පෙර සිටම තිබූ බව අප වටහා ගත යුතුයි. බෝසත්තුමා බෝධිසත්ව කාලයේ දී අවුරුදු හයක්ම දුෂ්කර ක‍්‍රියා කළේ මේ අනරිය සමථ භාවනාවක්ම භාවිතා කිරීමෙනි. සමථ භාවනාවක් වැඞීමෙන් පමණක්ම ධ්‍යාන ලබාගත හැකි වේ. විපස්සනා භාවනාවෙන් ධ්‍යාන ලැබිය නොහැකියි. විපස්සනා භාවනාවෙන් ලබා ගත හැක්කේ මඟඵලයි, සමාපත්තිනුයි. සමථ භාවනාව අරිය වූවත් අනරිය වූවත් එයින් ධ්‍යානයන් ලබා ගැනීම කළ හැකි බව දැන ගැනීම අවශ්‍ය වේ. නමුත් එයින් සමාපත්ති ලබා ගැනීම කළ නොහැකිය. විපස්සනා භාවනාවකින් පමණක්ම මඟඵල හා සමාපත්ති යන උසස් අංග ලබා ගත හැකිය. එම නිසා සමථ හා විපස්සනා භාවනා ක‍්‍රම දෙක පිළිබඳව පැහැදිළිවම වෙන් කර තේරුම් ගත යුතුයි.

බුදුපියාණන්වහන්සේ පහළ වීමට පෙරත් ජන්බුද්වීපයේ ඍෂිවරුන් නොයෙකුත් අභිඥාලාභීන් සමථ භාවනා වඩා ඒ ඒ ධ්‍යානයන්ට පත් වී අභිඥා ලබා අෂ්ට සමාපත්තියට පත් වී නොයෙකුත් ඍද්ධි ප‍්‍රාතිහාර්ය පෑ අය ඒ කාලයේත් සිටියහ. ඒ නිසා එදා පැවති සමථ භාවනාවත් බුද්ධ ධර්මයට අනුගත කිරීමට ක‍්‍රමවේදයක් බුදුපියාණන්වහන්සේ ඉදිරිපත් කර වදාළහ. අරිය සමථ භාවනාව එම ක‍්‍රම වේදය තුළ අන්තර්ගත වේ.

බුදුපියාණන්වහන්සේගේ ධර්මය අසා, ශ‍්‍රවණය කර තේරුම් ගත් ඕනෑම කෙනෙකුගේ අවසාන ඉලක්කය ප‍්‍රඥා විමුක්තිය ලබා ගැනීමයි. මෙයම විද්‍යා විමුක්තිය යනුවෙන්්ද සඳහන් වේ. බුදුපියාණන්වහන්සේ බලාපොරොත්තු වූයේ ප‍්‍රඥා විමුක්තියට පත් වීමයි. නිවන යනු ප‍්‍රඥා විමුක්තියයි. සමථ භාවනාවකින් ප‍්‍රඥා විමුක්තියක් ලබා ගත නොහැකියි. එයින් ලබා ගත හැකි වන්නේ චේතෝ විමුක්තිය පමණි. අනරිය භාවනාවක් මඟින්ද චේතෝ විමුක්තිය ලබා ගත හැකියි. මේ අනුව සමථ භාවනාව අරිය හෝ අනරිය හෝ වුුවද මේ ක‍්‍රම දෙකෙන්ම චේතෝ විමුක්තිය ලබා ගත හැකිය. නමුත් ප‍්‍රඥා විමුක්තිය නම් ලබා ගත නොහැකියි.

විශේෂයෙන්ම පටිසම්භිදා මග්ගයේ බුදුපියාණන්වහන්සේ දේශණා කර වදාළ පරිදි යම්කිසි පුද්ගලයෙකු නිවන් අවබෝධ කර ගැනීමට යම්කිසි ධම්මානුධම්ම පටිපදාවක් පුරයි නම් ඒ සඳහා ක‍්‍රම හතරක් භාවිතා කළ හැකි වේ. ඒ ක‍්‍රම හතරෙන් ඕනෑ ම එකකින් හෝ එහෙම නැත්නම් ඒ ක‍්‍රමවලින් එකක් දෙකක් කලවම් කර හෝ ප‍්‍රඥා විමුක්තියත් චේතෝ විමුක්තියත් දෙකම ලබා ගැනීම කළ හැකි බව දේශණා කර වදාරා ඇත. එම ක‍්‍රම හතර නම්,

1. සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක‍්‍රමය
2. විපස්සනා පුබ්බංගම සමථ භාවනා ක‍්‍රමය
3. යුගනද්ධ භාවනා ක‍්‍රමය
4. ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං ක‍්‍රමය

සමථ පුබ්බංගම විපස්සනා භාවනා ක‍්‍රමයේදී පළමුව සමථ භාවනාව වඩා ඊට පසු විපස්සනා භාවනාවට මාරු වීමක් කළ යුතුයි. දෙවන ක‍්‍රමයේදී මුලින් සමථ භාවනාවක් වැඞීමක් නොකර විපස්සනා භාවනාවෙන්ම ආරම්භ කළ හැකියි. විපස්සනා භාවනාව මඟින් සමාධියට එහෙම නැත්නම් සමථයට පත් වීම එහිදී සිදු වේ. යුගනද්ධ භාවනාවේ දී සමථ පුබ්බංගම හෝ විපස්සනා පුබ්බංගම හෝ යනුවෙන් වෙන් නොකෙරේ. මෙහිදී සමථ, විපස්සනා භාවනා දෙකම සම්ප‍්‍රයුක්තව එකටම භාවනා කළ හැකිය. මේ හතර වන ක‍්‍රමය වූ විපස්සනා භාවනාව ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං යනුවෙන් හඳුන්වනු ලබන භාවනා ක‍්‍රමයකි. එය ප‍්‍රඥා විමුක්තිය ලබා ගැනීම සඳහා භාවනා කළ හැකි බොහොම කෙටි ක‍්‍රමයකි. මෙය ගෝචර වන්නේ ප‍්‍රඥාවන්තයන්ට ම පමණි. බාහියදාරුවීරිය තුමා, පුක්කුසාති රජ්ජුරුවෝ, සංතති අමාත්‍යවරයා, දබ්බමල්ලතිස්ස අරහතුන්වහන්සේ, කුමාර කාශ්‍යප හාමුදුරුවෝ වැනි බුද්ධ සාහිත්‍යයේ සඳහන් වන දාහතර දෙනෙකු, නැතිනම් පහළොස් දෙනෙකු ධම්ම උද්ධච්ච විග්ගහිත මානසං යන ක‍්‍රමයට නිවන් අවබෝධ කර ගෙන ඇත. එනම් ප‍්‍රඥා විමුක්තියට පත් වූහ. උන්වහන්සේලා කිසි විටකත් ධ්‍යාන නොවැඩූහ. සමථය නොවැඩූහ. විනාඩි ගණනක් තුළදී උද්ධච්ච විග්ගහික මානසං තත්ත්වය උදාකර ගත්හ. උද්ධච්චය, විග්ගහිත තත්ත්වයට පත් කළහ. එහෙම නැත්නම් උද්ධච්චය උදුරා දැමූහ. රාග, ද්වේෂ මුල් බොහොම පහසුවෙන් උපුටා දමන ක‍්‍රමයක් ලෙස මේ උද්ධච්ච විග්ගහිත මානසං ක‍්‍රමවේදය හැඳින්විය හැකිය.

මේ මුල් ක‍්‍රම තුනේදීම සමථ, විපස්සනා දෙකම භාවිතා කළයුතු බව හොඳින් තේරුම් ගත යුතුයි. මේ ක‍්‍රම දෙක මිශ‍්‍ර කර භාවිත කිරීමද කළ හැකිය. එහෙම නැත්නම් මුලින් සමථය වඩා ඊට පසු විපස්සනාව වැඞීම කළ හැකිය. එසේත්් නැත්නම් පළමුව විපස්සනාව වැඞීම කළ හැකිය. එම නිසා හැම කෙනෙකු ම පිරිසිදුවම, පැහැදිළිවම මේ සමථ හා විපස්සනා භාවනා යනුවෙන් අර්ථ ගන්වන්නේ කුමක්ද යන්න තේරුම් ගත යුතු වේ. එසේ තේරුම් ගත් තරමට පමණක්ම භාවනාවක් වඩා, අනුගමනය කර, අත්දැක, ප‍්‍රතිඵල ලබා ගැනීම කළ හැකි වේ.

ධ්‍යාන ලැබීමට අවශ්‍ය නම් ආරම්භයේ සිටම සමථය වඩා අවසානයේදී ඒ ධ්‍යාන ලබා ගැනීම කළ හැකිය. ඊට පසු විපස්සනා භාවනාවට මාරු වීමටද හැකියාව ඇත. සිත සමථ තත්ත්වයට පත් වූ පසු එනම් උද්ධච්ච යන තත්ත්වයෙන් සිත සමථ තත්ත්වයට පත් වූ පසු විපස්සනාවට මාරු වීමටත් හැකියි. බුදුපියාණන්වහන්සේ දේශණා කළ සමථ, විපස්සනාව භවනාවන්හි ඉබේ මාරු වීමක් නොමැත. සමථ භාවනාව තුළින් ඉබේම විපස්සනාවට මාරු වීමක් සිදු නොවේ. බුදුපියාණන් වහන්සේ දේශණා කළ අරිය භාවනාව තුළ සමථයෙනුත්, විපස්සනාවෙනුත් පියවරෙන් පියවරට තමන්ගේ මනස පිරිසිදු වීම සිදු වේ. සත්‍යාවබෝධය දියුණු වේ. ඒ නිසා තමන්ගේ සිත සමථයකට පත් වූ බව තමන්ම තේරුම් ගත් විගස විපස්සනාවට මාරු වීමට ඕනෑ ම කෙනෙකුට හැකියාව ඇත. ඉබේ මාරු වන ක‍්‍රමයක් බුදුපියාණන්වහන්සේ් දේශණා කර වදාරා නොමැත. යථාවබෝධයෙන්ම විපස්සනාවට මාරු වීම කළ යුතු වේ.

අනරිය භාවනාවකදී නම් සමථයෙන් පසුව විපස්සනාවට මාරු විය නොහැකියි. ඊට හේතුව හිතේ පිරිසිදු වීමක් ඇති නොවන නිසයි. අනරිය භාවනාවකදී සමථය යන තත්ත්වයෙන් මත් වී සිත අසංඥ තත්ත්වයට පත් වීම සිදු වනවා මිස විපස්සනාවකට පත් නොවේ. එනම් අනරිය වූ භාවනාවක් වඩා කිසිම අයුරකින් විපස්සනාවකට මාරු වීමේ ක‍්‍රමයක් නොපවතී.

අරිය හා අනරිය යනුවෙන් කොටස් දෙකක් විස්තර වන්නේ සමථ භාවනාවේදීයි. විපස්සනා භාවනාව අරිය භාවනාවක් ම පමණි. ඒ කාරණය හොඳින් ම තේරුම් ගත යුතුයි. පංච නීවරණවලින් වෙන් වූ සිතක් ඇතිව සමථයකට පත් වුවොත් ධ්‍යාන ලැබුවොත් එය අරිය තත්ත්වය ආශ‍්‍රය කරන අවස්ථාවකි. එසේ නොමැතිව කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන මේ පංචකාම නීවරණ ධර්මවලින් වෙන් නොවී ඕනෑම කෙනෙකුට සමථ භාවනාවක් කිරීමේ හැකියාව පවතී. එවිට එය අරිය භාවනාවක් නොවේ.

අරිය සමථ භාවනාවක දී නම් පළමු පියවර වශයෙන් කාමච්ඡන්දයෙන් වෙන් වීම සඳහා කාමච්ඡන්දය දුරැලීම සඳහා එය යටපත් කිරීම සඳහා නෙක්ඛම්ම භාවනාවක් භාවිතා කළ යුතුයි. නෙක්ඛම්ම තත්ත්වයට හිත පත් කරගත යුතුයි. සෑම පෘථග්ජන පුද්ගලයෙකුගේම හිතේ කාමච්ඡන්දය පවතී. ඒ තත්ත්වය දුරැුලීම සඳහා හිත නෙක්ඛම්ම තත්ත්වයට පත් කර ගැනීම සිදුකළ යුතුයි. ඒ සඳහා කර්මස්ථානයක් ගෙන භාවනාවක් ලෙස භාවිතා කළ යුතුයි.

ඊළඟට දෙවන පියවර ව්‍යාපාදය දුරැලීම සඳහා අව්‍යාපාදයට හිත පත්කර ගැනීම සඳහා භාවනා කර්මස්ථානයක් භාවිතා කිරීමයි. ව්‍යාපාදය යනු ද්වේෂයයි. ඊළඟ පියවර ථිනමිද්ධයෙන් වෙන් වීමයි. ථීනමිද්ධ යනු යම්කිසි මත් වීමකි. ඒ ථිනමිද්ධයෙන් වෙන් වී සිතේ අලෝක සංඥා මතුවන තත්ත්වයට හිත පත් වන භාවනාවක් වැඩිය යුතුයි. ඊළඟට උද්ධච්ච කුක්කුච්චයෙන් සිත නිදහස් කර අයින් වී යෑමත් සමඟ හිතේ පවතින වික්ෂෝප ගතිය ඉවත් වී අවික්ඛේප තත්ත්වයට සිත පත් වී, සමථ තත්ත්වයටත් පත් වේ. මේ පිළිබඳව තවත් විග‍්‍රහ කරනවානම් කාමච්ඡන්දයෙන් වෙන් වී නෙක්ඛම්ම තත්ත්වයට, ව්‍යාපාදයෙන් වෙන් වී අව්‍යාපාද තත්ත්වයට, ථීනමිද්ධයෙන් ඉවත් වී අලෝක සංඥාවක් මතුවන තත්ත්වයට, උද්ධච්චයෙන් වෙන් වී අවික්ඛේප තත්ත්වයට, විචිකිච්චාවෙන් වෙන් වී ධම්ම වවත්තේන තත්ත්වයට, අරතියෙන් වෙන් වී පාමොජ්ජ යන තත්ත්වයට පත්වීම සිදුවිය යුතුයි. සමථ භාවනාවේ මුල් කොටස එනම් පංචකාම නීවරණ ධර්ම යට පත් කර සිත සමථ තත්ත්වයට පත් කර ගැනීම පළමුව කර ගත යුතුයි.

මේ අනුව කාමච්ඡන්දයෙන් වෙන් වීම සඳහා නෙක්ඛම්ම භාවනාවක් වැඩිය යුතුයි. පළමුව සිතක කාමච්ඡන්දය ඇතිවන අයුරු විග‍්‍රහ කර ගත යුතුයි. සිතක විවිධ කාම අරමුණු, නිමිති පහළ වේ. සිතට රූප ආරම්මණයක්, ශබ්ද ආරම්මණයක්, ගන්ධ ආරම්මණයක්, රස ආරම්මණයක්්, කාය පහස පිළිබඳ ආරම්මණයක්, මනෝ ආරම්මණයක් අරමුණු විය හැකිය. සිතකට අරමුණු ආකාර හයකට අරමුණු වේ. මේ ඉන්ද්‍රියය හයට රූපයක් අරමුණු වුණු විගසම අදාළ අරමුණු ප‍්‍රිය ආකාරයේ හෝ අප‍්‍රිය ආකාරයේ හෝ එහෙමත් නැත්නම් මධ්‍යස්ථ යන තත්ත්වයේ අරමුණක් හෝ විය හැකිය. ප‍්‍රිය රූපයක් අරමුණු වුව හොත් හිත කාමඡුන්දයට හා වේ. අප‍්‍රිය රූපයක් අරමුණු වූ විට ව්‍යාපාදයට පත් වේ.

කාමච්ඡන්දය යනු ඉන්ද්‍රියයන් පිනවන ආකාරයේ ප‍්‍රිය අරමුණකට සිතේ බැඳීම, ඇලීම, එකතු වීම, තණ්හා වීම, ආශා වීම, සම්බන්ධ වීම, උපාදානය වීම යන ලක්ෂණයන් ඇති වීමයි. හිතේ කාමච්ඡන්දයක් ඇති වන්නට මුල් වන්නේ මේ රූපාරම්මණ, ශබ්දාරම්මණ, ගන්ධාරම්මණ ආදී අරමුණු හයක් පමණක්මයි. මේ හය ආකාරයෙන් තොරව මීට වෙනස් කිසිම ආකාරයකට හිතේ නිමිත්තක් පහළ විය නොහැකියි. මේ ඉන්ද්‍රිය හයෙන්ම ඉහත විස්තර කළ ආකාරයට කාමච්ඡන්දයට මුල් වන්නා වූ අරමුණු හයක් ඇති කරගනී. තවද රූපයක් පිළිබඳව ව්‍යාපාදයට හේතු වන්නා වූ ගැටීමක්, ද්වේෂයක්, තරහක්, ඊර්ෂියාවක්, ක්‍රෝධයක් ඇති වන්නේ මේ අරමුණුම අප‍්‍රිය වන විටයි. මේ ව්‍යාපාදයට හේතුව කලින් දුටු රූපයට දැන් අප‍්‍රිය වීමයි. කලින් ප‍්‍රිය රූපයක් තිබුණේ නැතිනම් ඒක දැන් අප‍්‍රිය වුණේ නැතිනම් ව්‍යාපාදයක් ඇති විය නොහැකියි. ද්වේෂය යනු සිතේ මතු වන දෙවන වේෂයකි. කාමච්ඡන්දය හා ව්‍යාපාදය යන දෙකෙන්ම වෙන් වීමට නම් ඒ සඳහා භාවනා ක‍්‍රමයක් කර්මස්ථානයක් අනුගමනය කළ යුතුයි. තමන්ගේ හිතට වික්ෂෝපභාවයක්, උද්ධච්චභාවයක්, විචිකිච්චාවක් ඇති වීමට හේතු වන්නේ කාමච්ඡන්දයයි. එහෙම නැත්නම් ව්‍යාපාදයයි. මේ කාමච්ඡන්දය හා ව්‍යාපාදය නිසා නිතර ම කෙනෙකුගේ සිත කිළිටි වේ. සිත සමථ තත්ත්වයෙන් ඉවත් වී අසහනයට, වික්ෂෝප බවට පත් වේ.

කාමච්ඡන්දයෙන් හා ව්‍යාපාදයෙන් සිත කිළිටි වීම නිසා මනස අඳුරු වී, මුවහ වී මෝහය යන තුන්වන කිළිට් ගතියකුත් මතු වීම සිදු වේ. උද්ධච්ච, විචිකිච්චා, අවිජ්ජා යන ගති තුනට ම හේතු වන්නේ මේ තුන්වන කිළිටි ගතියයි. සිත අසහනයට පත් වන්නේ මේ ගති නිසයි. කාමච්ඡන්දයෙන් හා ව්‍යාපාදයෙන් සිත මත් වූ විට ඇති වන්නේ ථීනමිද්ධ තත්ත්වයයි. සිත මත් වී ථීනමිද්ධ තත්ත්වයට පත් වූ විට අප නොදැනීම මෝහයෙන් මුළා වී, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා, අවිජ්ජා යන ගති ලක්ෂණ වලටත් සිත පත් වේ.

මේ අරිය සමථ භාවනාව වඩන විට කාමච්ඡන්දයෙන් දුරුවන්නට අවශ්‍ය කරන කමටහන් භාවිතා කිරීමට සිදු වේ. කාමච්ඡන්දයක් මතු වන්නේ තමන්ගේ ඉන්ද්‍රියයන් හය අතරින් කුමන හෝ ඉන්ද්‍රියයකින් ප‍්‍රිය නිමිත්තක් සිතට ඇතුලු වීමෙනුයි. නැතිනම් ස්පර්ශ වීමෙනුයි. ව්‍යාපාදය ඇති වන්නේත්් ඒ ආකාරයටම වේ. සිතට ස්පර්ශ වන්නේ ප‍්‍රිය අරමුණක් නම් එතැන ඇති වන්නේ කාමච්ඡන්දයයි. අප‍්‍රිය අරමුණක් නම් ව්‍යාපාදයයි. ප‍්‍රිය රූප, ප‍්‍රිය ශබ්ද, ප‍්‍රිය ගන්ධ, ප‍්‍රිය රස, ප‍්‍රිය පහස, ප‍්‍රිය මතක සටහන් නිසා කාමච්ඡන්දයත්, අප‍්‍රිය රූප, අප‍්‍රිය ශබ්ද, අප‍්‍රිය ගන්ධ, අප‍්‍රිය රස, අප‍්‍රිය පහස, අප‍්‍රිය මතක සටහන් නිසා ව්‍යාපාදයත් සිතක ඇති වේ. මේ ප‍්‍රිය පැත්ත එක අන්තයකි. අප‍්‍රිය පැත්ත තවත් අන්තයකි. මේ අන්ත දෙකෙන් එකක්් හෝ සිතේ ඇතිවිට සිතේ සමථයන් ඇති කර ගැනීම කළ නොහැකියි. මේ අන්ත දෙකට මුළා වී සිටින තාක් විපස්සනා කිරීමට හෝ සමථයට පත් වීම කළ නොහැකියි. එමනිසා මේ අන්ත දෙකෙන් ඉවත් වීමට නම් ථීනමිද්ධ තත්ත්වයට පසුව ඇති සිතේ උද්ධච්ච තත්ත්වය අඩුකර ගැනීම අවශ්‍යය වේ. එවිට අවික්ඛේප තත්ත්වයෙන් සිත සමථයකට පත් වී විපස්සනා භාවනාවට පදනම සකස් වේ. මේ සඳහා පියවර හතක්ම අනුගමනය කළ යුතුයි.

1. කාමච්ඡන්දයෙන් නෙක්ඛම්ම තත්ත්වයට පත් වීම
2. ව්‍යාපාදයෙන් වෙන් වී අව්‍යාපාද තත්ත්වයට පත්වීම
3. ථිනමිද්ධයෙන් ඉවත් වී අලෝක සංඥාවට පත්වීම.
4. උද්ධච්චයෙන් ඉවත් වී සමථ තත්ත්වයට, නැත්නම් අවික්ඛේප තත්ත්වයට පත්වීම
5. විචිකිච්චාවෙන් ඉවත් වී ධම්ම වවත්තේන තත්ත්වයට පත්වීම
6. ඊට පසු අවිද්‍යාවෙන් ඉවත් වී, සිතේ ඥාණ මතු වීම
7. අරතියෙන් වෙන් වී, පාමොජ්ජ තත්ත්වයට සිත පත්වීම

පාමොජ්ජ යනු ප‍්‍රමෝදය යන අදහසයි. මේ පියවර හතේදීම එකක් ඉවත් කරමින් එසේ ඉවත් කරන එක වෙනුවට වෙනත් එකක් ඇතුළට ගැනීමේ ක‍්‍රියාවක් සිදු වේ. මෙතැන විස්තර වන්නේ බුදුපියාණන්වහන්සේගේ් දේශණාවේ සඳහන් අනාපාන සතිය බව හොඳින්ම තේරුම් ගත යුතුයි. එකක් ආශ‍්‍රය කරන විට තව එකක් ප‍්‍රහාණය කිරීම කළ යුතුයි. නෙක්ඛම්ම ආශ‍්‍රය කිරීමත් සමඟම කාමච්ඡන්දය බැහැර කිරීම අවශ්‍ය වේ. කාමච්ඡන්දය බැහැර කිරීමත් සමඟ නෙක්ඛම්ම ආශ‍්‍රය කිරීම එහෙම නැත්නම් නෙක්ඛම්ම තත්ත්වයට දියුණු වීම මඟින් පමණක් සිත සමථයකට පත් වීම සිදු වේ. ව්‍යාපාදයෙන් ඉවත් වීමත් සමඟ ”සිතේ අව්‍යාපාද තත්ත්වයත්” ථිනමිද්ධයෙන් දුරු වීමත් සමඟ ”අලෝක සංඥා තත්ත්වයත්” උද්ධච්චයෙන් ඉවත් වීමත් සමඟ ”ධම්ම වවත්තේන තත්ත්වයත්” ඇති වීම සිදුවිය යුතුයි. මේ පියවර හතේම විග‍්‍රහ වන්නේ අනාපාන සතිය භාවනා කිරීමයි.

ඉහත විස්තර කරන ලද පියවර හත වැඞීම සඳහා වඩාත් සුදුසු බොහොම කෙටි කර්මස්ථාන කිහිපයක් පහත සඳහන් කර ඇත. රූපයක්, ශබ්දයක්, ගඳ සුවඳක්, රසයක්, සුව පහසුවක්, මතක සටහනක් පිළිබඳව හිතේ කාමච්ඡන්දයක් ඇති වුව හොත් කය රමණය වීම සිදුවේ. එහෙම නැත්නම් කය ගිනි ගනී. කය ගිනිගන්නා සියලුම දෙයින් කාමච්ඡන්දයත් මතු වේ. කය රමණය වේ. කය රතියට පත් වේ. එමනිසා මේ කාමච්ඡන්දයෙන් ගිනි ගන්නා රාග අරමුණක් යම්කිසි කෙනෙකුට ඇති වූ වහාම කළ යුත්තේ (ඒ අරමුණ ගැන)

”අත්හැරීම නාථයි
නොඇල්ම නාථයි
මිදීම නාථයි
නිවනම නාථයි
අත් හැරීම වෙත්වා
නොඇලීම වෙත්වා
මිදීම වෙත්වා
නිවනම වෙත්වා”

යනුවෙන් භාවනා කිරීමයි. කාමච්ඡන්දයෙන් ඉවත් වී නෙක්ඛම්ම තත්ත්වයට හිත පත් කර ගැනීමයි. මේ ආනාපානා සතියමයි. මේ ආනාපානා සතිය එකක් ප‍්‍රහාණය කිරීම සඳහාත් තව එකක් ඇතුළට ගැනීම සඳහාත් බව තේරුම් ගත යුතුයි. සිතට ආ කාම අරමුණු – රූප, ශබ්ද, ගන්ධ ආදී අරමුණු අත්හැරීම සඳහා ඉහත සඳහන් කළ ”අත් හැරීම නාථයි” ආදී වශයෙන් වන කර්මස්ථානය භාවිත කළ හැකියි.

දෙවන පියවර ව්‍යාපාදයයෙන් ඉවත් වීමයි. එහෙම නැත්නම් අව්‍යාපාද තත්ත්වයට හිත පත්වීමයි. ව්‍යාපාදය යනු හිතේ ඇති වන ද්වේෂයයි. නොයෙක් අවස්ථාවල මේ ද්වේෂය සිතේ මතු වේ. තමන් අකමැති කුමන හෝ රූපාරම්මණයක් හෝ ශබ්දාරම්මණයක් හෝ සළායතන ආශ‍්‍රිතව වෙනත් ආරම්මණයක් හෝ අරමුණු වූ විට ව්‍යාපාදයක්, ද්වේෂයක් සිතේ හට ගනී. මේ ද්වේෂය සිතට අරමුණු වූ විට එය දිගින් දිගටම සිතේ මුල් බැස ගනී. එම නිසා ද්වේෂ සිතිවිල්ලක් ඇති වූ වහාම සිතෙන් එම සිතුවිල්ල ඉවත් කිරීම නැතිනම් ප‍්‍රහාණය කිරීම කළ යුතුයි. අව්‍යපාද තත්ත්වයට සිත පත් කර ගත යුතුයි. ඒ සඳහා සිතට ඇති වූ එම රූපාරම්මණය අරමුණු කොට මෙත්තා, කරුණා, මුදිතා යන පරම මෙත්තා කර්මස්ථානයක් භාවිතා කළ යුතුයි. කාමච්ඡන්දයෙන් හා ව්‍යාපාදයෙන් ඉවත් වූ විගසම හිතේ පවතින්නේ් නෙක්ඛම්ම, අව්‍යාපාද තත්ත්වයයි. නෙක්ඛම්ම තත්ත්වයට, අව්‍යාපාද තත්ත්වයට හිත පත් වූ විටම සියයට පනහක් හැටක් පමණ සිත සමථයකට පත්වේ. නමුත් තව දුරටත් තුන්වන තත්ත්වයක් මෝහයෙන් මතු වී එන මත් වීමක් සිතේ මතු වේ. මේ මත් ගතියත් ඉවත් කළ යුතුයි. ථීනමිද්ධය ඇති වන්නේ මේ මත් ගතිය නිසයි. කාමච්ඡන්දය, ව්‍යාපාදය නිසා කෙනෙකුගේ හිත මත් වේ. රාග මදය, ද්වේෂ මදය, මෝහ මදය, සිලබ්බත පරාමාස මදය, මාන මදය, තරුණ මදය යනුවෙන් මද වර්ග විසි එකක් ම විග‍්‍රහ කර ඇත. කුස පිරෙන්න ආහාර ගත් විට බුදිමත ආදිය නිසා අපේ හිතේ ශක්තිය බොහොම දුර්වල වේ. එහෙම නැත්නම් හීන වේ. මේ සියලුම මත් නිසා සිත ථීනමිද්ධයට පත් වේ. රාගය වැඩි වූ විට ද්වේෂ මදය ඇති වේ. ථීනමිද්ධයෙන් ඉවත් වීමට නම් මෝහයෙන් ඉවත් වී අලෝක සංඥාව සිතේ ඇති කර ගත යුතු වේ. ”අලෝක” යනු එළියක් නොවේ. ”අලෝක” අප මේ ඇලී බැඳී පවත්වා ගෙන යන්නට හදා ගත් ලෝකයෙන් ඉවත් වීම අලෝක සංඥාවයි. ථීනමිද්ධයෙන් ඉවත් වීමට නම් ආලෝක සංඥා තත්ත්වයට පත් විය යුතුයි.

රාගයෙන් ඉවත් වී සිත සමථ තත්ත්වයටත්, ව්‍යාපාදයෙන් ඉවත් වී අව්‍යාපාද තත්ත්වයටත්, ථීන මිද්ධයෙන් ඉවත් වී අලෝක සංඥා තත්ත්වයට පත් වූ විට කෙනෙකුගේ සිතේ ඇතිවන්නා වූ අසහනය, උද්ධච්චය එහෙම නැත්නම් සිතේ ඇති වී තිබෙන කම්පනය, භයට, විඳවීමට, තැති ගැනීමට පත් වන ගතිය ඉවත් වේ. උද්ධච්චයෙන් ඉවත් වීමත් සමඟම හිත සමථයට පත් වීම නිසා කිසිම කම්පනයක් හිතේ ඇති නොවේ. උද්ධච්චයෙන් ඉවත් වීමත් සමඟ අවික්ඛේප යන තත්ත්වයට එහෙම නැත්නම් සමථ තත්ත්වයට යම් පුද්ගලයෙකුගේ හිත පත් වූ විට ඔහු නකම්පති, නචලති, නභයති, නවේදති, නවික්ඛේපති යනුවෙන් බුදුපියාණන් වහන්සේම මේ සමථ තත්ත්වය විග‍්‍රහ කර වදාළහ.

සිත උද්ධච්චයට පත්වීමට, අසහනයට පත් වීමට, හිතේ එකඟතාවයක් ඇති කරගත නොහැකි තත්ත්වයට පත් වීමට මූලික හේතු කාමච්ඡන්දය, ව්‍යාපාදය, ථීනමිද්ධය යන ගති තුනයි. මේ ගති තුන ඉවත් වීමත් සමඟම සමථ තත්ත්වයට, අවික්ඛේප තත්ත්වයට හිත පත්වේ. අවික්ඛේප තත්ත්වයට හිත පත් වීමෙන්, උද්ධච්චය ඉවත් වූ විගසම විචිකිච්චාව, විඤ්ඤාණයේ කිළිටි වූ කැමැත්ත ඉවත් වී හේතුඵල දහමට බහා ගළපා බැලීමේ ශක්තිය ලැබේ. ධම්මෝ වවත්තේන ශක්තිය ලැබේ. මේ සමථ තත්ත්වයට, එහෙම නැත්නම් උද්ධච්චයෙන් ඉවත් වූ තත්ත්වයට පත් වූ විගසම මනස බොහෝම පිරිසිදු බවට පත් වේ. ඒ අවස්ථාවේදී අවශ්‍ය නම් විපස්සනා භාවනාවකටත් මාරුවීමේ හැකියාව ඇත. එහෙම නැතිනම් තව දුරටත් සමථයේම රැුඳෙමින් ධ්‍යාන ලබා ගැනීමටත් හැකියාව ඇත.

කාමච්ඡන්දයෙන් ඉවත් වී නෙක්ඛම්ම තත්ත්වයටත්, ව්‍යාපාදයෙන් ඉවත් වී අව්‍යාපාද තත්ත්වයටත්, ථීනමිද්ධයන්යෙන් ඉවත් වී අලෝක සංඥා තත්ත්වයටත්, උද්ධච්චයෙන් ඉවත් වී සමථ තත්ත්වයටත්, අවික්ඛේප තත්ත්වයටත්, විචිකිච්චාවෙන් ඉවත් වී ධම්මෝ වවත්තේන තත්ත්වයටත් ඊට පසු අවිද්‍යාවෙන් ඉවත් වීමත් සමඟම ඥාණ පහළ වීමට පටන් ගැනීමත් සමඟ පළමු වන අරිය ධ්‍යානයට පත් වන්නට හැකියාව ලැබේ.

කාමච්ඡන්දය ආදී කොට ඇත්තා වූ පංච නීවරණ වලින් ඉවත් වීමත් සමඟ පළමුවන ධ්‍යානයට පත් වී සවිතක්ක, සවිචාර, ප‍්‍රීති, සුඛ, ඒකග්ගතා තත්ත්වයට පත් වීම සිදුවේ. මේ අවස්ථාවේදී විතක්ක, විචාර නොකරයි. මෙතෙක් විතක්ක, විචාර පැවැත්වීමට හේතුව විඤ්ඤාණයේ ඇති උද්ධච්ච බව හා විචිකිච්චාවය. එහෙම නැත්නම් නොයෙකුත් ආකාර වූ රූප, වේදනා, සංඥා ආදී අරමුණු දිගේ කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, ථිනමිද්ධ ආදී නීවරණ ධර්ම ඇසුරු කිරීම සිතේ උද්ධච්ච බවට, විචිකිච්චා බවට හේතුවයි. නමුත් දැන් සිතේ පවතින්නේ සවිතක්ක, සවිචාර නිසා සිත බොහොම යටපත් වේ. නෙක්ඛම්ම, අව්‍යාපාද, අලෝක සංඥා වාගේම ධම්ම වවත්තේන යන ගති සිතේ පවතින නිසා සවිතක්ක, සවිචාර, ප‍්‍රීති, සුඛ, ඒකග්ගතා යන පළමු වන ධ්‍යානයට සිත පත් වේ. ඊට පසු සවිතක්ක, සවිචාර ඉවත්් කර දෙවන ධ්‍යානයට පත්විය හැකිය. ඊළඟට ප‍්‍රීතිය ඉවත් කර තුන්වන ධ්‍යානයටත්, තුන්වන ධ්‍යානයෙන් පසු ප‍්‍රීති සුඛ දෙක ම ඉවත් කර සෝමනස්ස දෝමනස්ස සියල්ලම ඉවත්කර ඒකග්ගතාව හා උපේක්ඛා පමණක්් ඉතිරි වන හතර වන ධ්‍යානයටත් පත්වීමට හැකියි. හතර වන ධ්‍යානයෙන් පසුව රූප සංඥා, පටිඝ සංඥා, නානත්ථ සංඥා ඉවත්කර ආකාසඤ්ඤායතනයටත්, එයත් ඉවත් කර විඤ්ඤාණංඤායතනයටත්, විඤ්ඤාණංඤායතනය ඉවත් කර නේවසඤ්ඤානාසඤ්ඤායතනයටත් පත්වීමත් සමඟම සමථ ධ්‍යානයන් එතැනින් අවසන් වේ.

මෙහි විස්තර කරන ලද්දේ සමාධි භාවනාවයි. මෙම සමාධියෙන් ඉදිරි පියවරකට ගමන් කළ නොහැකියි. කෙසේ වුවද කිසිම කෙනෙකුට දිගින් දිගටම සමථ භාවනාව විතරක්ම වැඞීමෙන් ඵලක් නැත. ඊට හේතුව සමථය තුළ නිවනක් හෝ මාර්ගඵල හෝ නොමැති වීමයි. එයින් ලබා ගත හැක්කේ ධ්‍යාන පමණකි. ධ්‍යාන එකක්, දෙකක්, තුනක්, හතරක් ලබන විට හිත සමථයට පත් වී චේතෝ විමුක්තියත් මතු විය හැකිය. එම නිසා බුදුපියාණන්වහන්සේගේ ධර්මය අනුගමනය කිරීමට බලාපොරොත්තු වන හැම කෙනකුටම තමන්ට කුමන අවස්ථාවකදී හෝ ඥාණ පහළ වූ විට එහෙම නැත්නම් සිත සමථයකට පත් වූ විට විපස්සනා භාවනාවට මාරු වීමේ හැකියාව තිබේ. නමුත් විපස්සනා භාවනාවය යනුවෙන් අර්ථ ගන්වන්නේ කුමක්ද? යන්න පළමුව වටහා ගතයුතුයි. විපස්සනා භාවනාව යනුවෙන් අදහස් කරන ප‍්‍රායෝගික ක‍්‍රියාකාරකම කුමක්ද යන්න දැන ගත්තේ නැත්නම් එම භාවනාවට මාරු වීමටත් නොහැකියි.

ඉහත සඳහන් කළ කිසිම අවස්ථාවකට නොගිහින්ම විපස්සනා භාවනාවක් පමණක්ම වුවත් භාවිතා කළ හැකියි. මේ සමථ භාවනාවේදීත් විස්තර වන්නේ අරිය අනාපානා සතියයි. මෙහිදී සිදු වන්නේ් හිත සමථයකට පත් කරගැනීමයි. ඊට පසු ධ්‍යාන ලබා ගැනීමට අවශ්‍ය නම් අටවන ධ්‍යානයටත් පත් විය හැකියි. නමුත් මේ කටයුත්ත සඳහා දීර්ඝ කාලයක් ගතවන නිසා අපට මේ කෙටි ජීවිත කාලය තුළ නිවන් අවබෝධ කර ගැනීමට අවශ්‍ය නම් මාර්ගඵලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් දිගින් දිගටම සමථ භාවනාව පමණක්ම වැඞීම නිෂ්ඵල කාර්යයකි. මුලින් බොහෝම කෙටි වශයෙන් සමථ භාවනාවක් වඩා කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච, කුක්කුච්ච, විචිකිච්චා යන පංච නීවරණ ධර්ම වලින් ඉවත් වී පසුව විපස්සනා භාවනාවකට මාරු විය හැකිය.

මනසක් ඇති ඕනෑම මිනිසෙකුට මෙය සරළ විධියට තේරුම් ගත හැකිය. මෙතැන විපස්සනා භාවනාවේදී විග‍්‍රහ වන්නේ ආනාපානා සති භාවනාවමයි. අනාපානසතිය යැයි හදුන්වන්නේ හුස්ම ගැනීම, පිට කිරීම දෙස ලබා සිටීම හෝ බඩ පිම්බීම හැකිළීම ගැන බලා සිටීම හෝ නොවෙයි. යම් කිසි දෙයක් ඇතුළට ගැනීමත් එසේ ඇතුළට ගැනීම නිසා යම් කිසි දෙයක් පිට කිරීමත් පමණි. ආන යනු ඇතුළට ගැනීමයි. පාන යනු පිට කිරීමයි. එනම් යම්කිසි දෙයක් ආශ‍්‍රය කිරීමක්් යම් කිසිදෙයක් ප‍්‍රහාණය කිරීමත් කළ යුතුයි. මෙය විපස්සනා භාවනාවයි.

විපස්සනා භාවනා කර්මස්ථාන වලදී පළමුව විග‍්‍රහ වන්නේ ත‍්‍රිලක්ඛණ භාවනාවයි. බුදුරජාණන්වහන්සේ මාගධී භාෂාවෙන් දේශණා කර වදාළේ,

නිච්ච සංඥා පජහති
අනිච්චානු පස්සී විහරති
සුඛ සංඥා පජහති
දුක්ඛානු පස්සී විහරති
අත්ථ සංඥා පජහති
අනත්ථානුපස්සී විහරති යනුවෙනුයි.

අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි යනුවෙන් විපස්සනා භාවනාව වඩා එවා ඇතුළට ගැනීමත් ඇතුළේ පවතින නිච්ච, සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය කිරීමත් කළ යුතුයි. මෙය තවදුරටත් විග‍්‍රහ කළ යුතුයි.

නිච්ච සංඥාවක් සිතකට ඇතුලු වුණේ කෙසේද? යන්න මුලින්ම විග‍්‍රහ කර බැලිය යුතුයි. අනිච්චානුපස්සනාව භාවනාව කරන්නේ ඇයි? මේ මුළු බුද්ධ දේශණාවේම ගැඹුරු තැන වේ. මේ මුළු බුද්ධ ධර්මයම අසා දැන ගත්තේ මේ පිළිබඳව දැන ගැනීම සඳහායි. බුද්ධ ධර්මය යනු පටිඉච්ච – සං උත්පාදන (පටිච්චසමුප්පාද) ධර්මයයි. රූප අරමුණක්, ශබ්ද අරමුණක්, ගන්ධ අරමුණක්, රස අරමුණක්, පොට්ඨබ්බ අරමුණක්, මනෝ අරමුණක් යන මේ හය ආකාර වූ අරමුණු වලට පිටස්තරව වෙනත් කිසිම අරමුණක් හිතට අරමුණු විය නොහැකියි. ඇහැට රූපයක් අරමුණු වූ පමණින්ම සංඛතයක් බිහි නොවේ. එය තව තැනකට පටිච්ච නොවුණි නම් පටිච්ච සමුප්පාද විග‍්‍රහය තුළදී විග‍්‍රහ කර පෙන්වා දුන් පරිදි ”සං” නොඋපදී.

චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං
සෝතංච පටිච්ච සද්දංච උප්පජ්ජති සෝත විඤ්ඤාණං
ඝාණංච පටිච්ච ගණ්ධංච උප්පජ්ජති ඝාණ විඤ්ඤාණං
ජිව්හංච පටිච්ච රසංච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං
කායංච පටිච්ච පොට්ඨබ්බංච උප්පජ්ජති කාය විඤ්ඤාණං
මනාච පටිච්ච ධම්මංච උප්පජ්ජති මනෝ විඤ්ඤාණං

මේ හය අවස්ථාවේදීම ඉන්ද්‍රියයන්ට අරමුණු ලැබුණු හැම විටම පටිඉච්චවීම සිදුවේ. ”පටිඉච්ච” වීම යනු කැමැත්තෙන්ම බැඳීමයි. පෘථග්ජන පුද්ගලයාගේ සිතේ නිතරම කැමැත්තෙන්ම යම් අරමුණකට බැදීමක් ඇති වේ. මේ පටිඉච්ච වීම නිසා සිතේ නොදැනීම විඤ්ඤාණ ශක්තියෙන් ”සං” උපදී. එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ උපදී. ඒ රාග, ද්වේෂ, මෝහ ඉපදීමේ ශක්තිිය ”සං”ලෙස විස්තර වේ. ඉන්ද්‍රියය හය ආශ‍්‍රය කරගෙන විඤ්ඤාණය ඇති වන ආකාරය ඉහතින් විස්තර කරන ලද ආකාරයට බුදුපියාණන්වහන්සේ පෙන්වා වදාළහ. මේ පටිඉච්ච වීම එහෙම නැත්නම් කැමැත්තෙන් බැඳීම යන ක‍්‍රියාවෙහි අන්ත දෙකක්ම තිබේ. කාමච්ඡන්ද යනු ප‍්‍රිය බවත්, ව්‍යාපාද යනු අප‍්‍රිය බවත් යන අන්ත දෙකටම පටිඉච්ච වීම සිදුවේ. කැමැත්තෙන් බැඳීමය යන්න පමණක්ම පටිඉච්ච වීම යනුවෙන් අදහස් නොකෙරේ. එය හොඳින්ම තේරුම් ගත යුතුයි. අකමැත්තෙන් ගැටීමක් අන්තගාමී පටිඉච්ච වීමකි. මෙයට උදාහරණයක් ලෙස තමා ප‍්‍රිය කරන මිත‍්‍රයෙකුට, නෑදෑයෙකුට හොඳක් වීම දැකීමට අපි කැමැති වෙමු. ඒවාගේම තමන් අප‍්‍රිය කරන විරුද්ධකාරයෙකුට නපුරක්, විනාශයක්, නරකක් සිදුවනවා දැකීමටත් අපි කැමති වෙමු. එතැනදීත් කැමැත්තකින් බැඳේ. කැමැත්තෙන් බැදීම විතරක් නොව අකමැත්තෙන් ගැටීමත් එහෙම නැත්නම් අකමැත්තෙන් ප‍්‍රතික්ෂේප වීමත් යන අන්ත දෙකම මේ පටිච්ච වීමට අයිති වේ. අපි අකමැති පුද්ගලයාට හානියක් සිදුවනවාට අපි කැමති වෙමු.

මේ පටිඉච්ච වීම සිදුවනුයේම ආයතන දෙකක් ස්පර්ශ වීම හේතුවෙනි. එහෙම නැත්නම් පටිඉච්ච වීම සිදු නොවේ. අසේ් රූපයයි. ස්පර්ශ වූ විට චක්ඛු විඤ්ඤාණය ඇති වන ආකාරයටම කනයි, ශබ්දයයි ස්පර්ශ වූ විට සෝත විඤ්ඤාණය ඇතිවීම සිදුවේ. අනිකුත් ඉන්ද්‍රියයන් සම්බන්ධ වූ විට ඒ ඒ නමින් ඇති විඤ්ඤාණ හට ගන්නේ ඒ ආකාරයටයි. නමුත් ස්පර්ශ වීම විතරක් ප‍්‍රමාණවත් නොවේ. පටිඉච්ච වීමක් සිදුවිය යුතුයි. පටිඉච්ච වීම සිදු වූයේ නැත්නම් විඤ්ඤාණය හට ගැනීමක් සිදු නොවේ. පටිඉච්ච වීම, විඤ්ඤාණ ශක්තියක් උත්පාදනය වීමට ”සං” උත්පාදනය වීමට එකම හේතුවයි. පටිඉච්ච වුනේ නැත්නම්, දෙක එකට බැඳුනේ නැතිනම් අපේ හිතේ විඤ්ඤාණ ශක්තියක් මතු විය නොහැකියි.

මේ අවස්ථාවේදී හිත ක‍්‍රියාත්මක වන ආකාරය බැලිය යුතුයි. යම්කිසි දේකට හිත කැමැත්තෙන් පටිඉච්ච වූ විට, බැඳුනු විට ඊට පසු එය එතැනින් නොනැවතී ”අභිඉච්ච” වේ. දැඩි කැමැත්තක් හිතේ ඇති වේ. ඇස පිනවන රූපයක් නැවත නැවතත් බැලීමට නැවත නැවතත් ගැටීමට සිත අභිඉච්ච වේ. අභිජ්ජාවක් දැඩි ලෝභයක් හිතේ ඇති වේ. මේ අභිජ්ජාව නිසා අපේ හිතේ නිච්ච සංඥා මතු වේ. ප‍්‍රිය රූපයක් නම් ඒ ප‍්‍රිය ආකාරයෙන්ම ඒ රූපය දිගින් දිගටම දැකීමේ අවශ්‍යතායවක් ඇති වේ. ඉච්ච, නිච්ච කර ගැනීම යනුවෙන් විග‍්‍රහ වන්නේ මේ අවස්ථාවයි. නිච්ච යනු ස්ථිර කර ගැනීමයි. ඉච්ච, පටිඉච්ච වීමත්, පටිඉච්ච අභිඉච්ච වීමත් නිසා ”නිච්ච” කර ගැනීමත් සිදුවේ. මේ නිච්ච කර ගැනීම නිසා අපේ හිත ”උද්ධච්ච” ගතියට පත් වේ. මේ නිච්ච යන ගතිය දිගටම පැවැත්වීමට නොහැකි නිසා තමන්ගේම හිතේ උද්ධච්චයක්, එහෙම නැත්නම් වික්ෂේපයක්, අසහනයක් මතු වේ. මෙ ආකාරයට පටිඉච්ච වීම සිදු වූයේ නැතිනම් ”නිච්ච” සංඥාවක් ඇති නොවේ. නිච්ච සංඥාව ඇතිවුණේ නැතිනම් උද්ධච්ච සංඥාවක් ඇතිවීමක් සිදුනොවේ. උද්ධච්ච සංඥාවක් නැත්නම් විඤ්ඤාණ සිතේ කිළිටි වූ කැමැත්තක් (විචිකිච්චාවක්) මතු නොවේ. මේ ”පටි ඉච්ච” ”නිච්ච” යන ගති දෙක මේ සංසාර ගමනට ප‍්‍රධාන හේතුවයි. එහෙම නැත්නම් අපේ හිත අසහනයට පත් වන්න, කිළිටි වන්න, උදහස් බවට, කම්පනයට, භයට, වේදනාවට, වින්දනයට පත්වන්න හේතුව පටිඉච්ච හා නිච්ච යන ගති දෙකම වේ.

රූප, ශබ්ද, ගන්ධ ආදිය මේ ඇස, කන ආදී ඉන්ද්‍රියය හයට ස්පර්ශ වීමෙන් ඇති වන පටිඉච්ච වීම තේරුම් ගැනීමට හැකියාව ඇත්තේ තම තමන්ටමයි. තමන්ගේ ඇස, රූපයට බැඳීමත්, ඇළීමත් නැත්නම් ගැටීමත් මෙසේ ඇලුණු ගැටුණු රූපය රිසි ආකාරයෙන් පවත්වා ගෙන යාමත් සැප විඳිනවා යනුවෙන් විග‍්‍රහ කළ හැක. සුඛ සංඥාව නැතිනම් සැප යනු ඇස පිනවීම, කන පිනවීම, නාසය හා දිව පිනවීම, කය පිනවීම, මන පිනවීමයි. මේ හය ආකාර වූ ඉන්ද්‍රියයන් පිනවීම පෘථග්ජන පුද්ගලයෙකුගේ සැප ලෙස හඳුන්වනු ලැබේ. නිච්ච සංඥාවක් ඇති කර ගන්නේ නිතරම සැප බලාපොරොත්තුවෙනි. පටිඉච්ච වීම නිසා සිතේ ඇති වන නිච්ච සංඥාව නිසා ඇති වන ගතිය ”සුඛ” සංඥාව හෙවත් සැප විඳීමේ අවශ්‍යතාවයි. සැප විඳීමේ ලෝභකම නිසා සුඛ සංඥාව ඇති වේ. සුඛ සංඥාව නිසා අත්ථ සංඥාව එහෙම නැත්නම් මමත්වය, අස්මි මානය, මඤ්ඤතාවය, තමාය, මමය යන තත්ත්වයක් ඇති වේ. නිච්ච සංඥාවක්, සුඛ සංඥාවක් ඇති වන්නේ නැතිනම් අත්ථ සංඥා (මේ ”මම”) ඇති නොවේ. ඇත්ත ඇති සැටියට තේරුම් ගත්තා නම් ”මම” යන සංඥා ඇති නොවේ.

නිච්ච සංඥාව නිසා සුඛ සංඥාවක්, සුඛ සංඥාව නිසා අත්ථ සංඥාවක් අත්ථ සංඥාව නිසා සෑම පෘථග්ජන පුද්ගයෙකුගේම සිතේ නන්දි රාගයක් ඇති වේ. නන්දි යනු ඡුන්ද රාගයේ මුලයි. අභිනන්දනය යන්නෙහි මුල්්් අවස්ථාවයි. නන්දි එහෙම නැත්නම් නන්දනය යනු සිත පිනවීමේ කැමැත්තයි. ඒ නන්දි සංඥාවක් සිතට බැස ගත් විට ඒ නිසා සිතේ රාගයක් මතුවේ. රාගය නිසා සිතේ සමුදය ධර්මයක් බිහි වේ. සමුදය ධර්මයක් බිහි වීම නිසා අප යම් යම් සංඛත ධර්ම උපාදනය කර ගනී. මෙතැන පියවර හතක්ම විග‍්‍රහ කළ හැක. මේ පියවර හතම එකම තැනකින් ආරම්භ කළ යුතුයි. මේ පියවරවල් එකක් හෝ මැදින් ආරම්භ කළ නොහැක.

1. පටිඉච්ච නිසා නිච්ච සංඥාව
2. නිච්ච සංඥාව නිසා සුඛ සංඥාව
3. සුඛ සංඥාව නිසා අත්ථ සංඥාව
4. අත්ථ සංඥාව නිසා නන්දි සංඥාව
5. නන්දි සංඥාව නිසා රාග සංඥාව
6. රාග සංඥාව නිසා සමුදය
7. සමුදය නිසා උපාදානය

යනුවෙන් මේ පියවර හතම ඒක දිගටම පෘථග්ජන සිතක බිහි වේ.

අප යමක් කැමැත්තෙන්ම උපාදානය කර ගැනීමට පෙර මෙම පියවර හතම සම්පූර්ණ විය යුතුයි. බුදුරජාණන්වහන්සේ මේ විපස්සනා භාවනාවෙන් පෙන්වා වදාළේ ආනාපාන සතියයි. ”නිච්ච සංඥා පජහති, අනිච්චානු පස්සී විහරති” යනුවෙන් නිච්ච සංඥාව ප‍්‍රහාණය කිරීම සඳහා අනිච්චානු පස්සනාව වැඩිය යුතු බවයි.

මේ අනිච්චානුපස්සනාව යනු කුමක්දැයි නැවත විග‍්‍රහ කර බැලිය යුතුයි. තමන්ගේ කැමැත්තෙන් ප‍්‍රිය රූපයට බැඳීමත් ඒ බැඳුණු රූපයට අපේ හිතේ ඇති කැමැත්ත මොහොතකට වඩා පවත්වාගෙන යාමට නොහැකි බවත්, එය ගෙවී විපරිණාමයට පත් වී යන බව තමන් ම මෙනෙහි කර, ප‍්‍රත්‍යක්ෂ කර අවබෝධ කර ගැනීමත් ”අනිච්චානුපස්සී විහරති” යනුවෙන් විස්තර කළ හැක. මෙහි අනිච්ච යනුවෙන් විග‍්‍රහ වන්නේ තමන්ගේම හිතේ ඇති වන ප‍්‍රිය හෝ අප‍්‍රිය හෝ ස්වභාවයයි. අන්තගාමී ලෙසින් අන්තයකට බැඳීමේ කැමැත්තයි. ඒ කැමැත්ත අපට රුචි සේ, මනාප සේ එක දිගට ම පවත්වා ගෙන යෑමට හැකි දෙයක් නොවේ. මේ ගතිය සත්‍යය ස්වභාවය ප‍්‍රත්‍යක්ෂ කර, අවබෝධ කර ගත් විට සත්‍යය වශයෙන්ම තේරුම් ගත් විට එවිට ඒ පුද්ගලයා ”නිච්ච සංඥා පජහති, අනිච්චානුපස්සී විහරති” ක‍්‍රියාත්මක කළ අයෙකු බවට පත්වේ. මේ අවස්ථාවේදී පටිඉච්ච බවට පත් වීම සිදුනොවේ. එනම් පටිනිස්සග්ග වේ.

උදාහරණයක් ලෙස අපි ප‍්‍රිය රූපයක් ගනිමු. ඒ ප‍්‍රිය රූපය අපේ ඇසේ ස්පර්ශ වී ගැටී, පටිඉච්ච වුවද ඊට අපි නොබැඳී සිටිමු. එසේ නොබැඳෙන්නේ ඒ ප‍්‍රිය රූපය තව දවසකින්, දෙකකින් සමහර විට පැයකින්, දෙකකින් වුවද ගෙවී වෙනස් වන නිසයි. මල් පූජාවෙන් බුදුරජාණන්වහන්සේ මේ ධර්මතාවය අවබෝධ කර ගත යුතු බව පෙන්වා වදාළහ. ඒ මල්වල වර්ණ, ගන්ධ සියල්ලම තව ස්වල්ප වේලාවකින් වෙනස් වී විපරිණාමයට පත් වී අවසන් වේ. අප මොන තරම් ආශා කළත්, කැමති වුණත්, ඉච්ච වුණත් ඒ මල්, ඒ ආකාරයට දිගටම නොපවතී. පැයකින් දෙකකින් තුනකින් ඒ මල් පර වී, විනාශ භාවයට පත් වේ. මේ ආකාරයට අනුපස්සනාවේ යෙදීම ”අනිච්චානුපස්සී විහරති” යනුවෙන් විග‍්‍රහ කර වදාළහ. අපේ කැමැත්ත අනුව පවත්වා ගෙන යා හැකි කිසිම දෙයක් නැති බව මෙයින් අවබෝධ කර ගත යුතුයි. මේ ති‍්‍රලක්ඛණ භාවනාවේ ආරම්භයයි. ත‍්‍රිලක්ඛණය යනුවෙන් අදහස් කරන්නේ ලක්ෂණ තුනක් ගැන නොවෙයි. ඛණ තුනක් පිළිබඳවයි. මෙතන ත‍්‍රිලක්ඛණ යනුවෙන් අදහස් කළේ ඛය කර, අස් කර දැමිය යුතු ගති තුනක් පිළිබඳවයි. අපි ඛය කර ඉවත් කර මුළින්ම උදුරා අස් කර දැමිය යුතු ගති තුන වන්නේ,

1.    නිච්ච බව    –    නිච්ච සංඥාව
2.    සුඛ බව    –    සුඛ සංඥාව
3.    අත්ථ බව    –    අත්ථ සංඥාව

මේ ගති ඉවත් කිරීම සඳහා,

1. අනිච්චානුපස්සනාව
2. දුක්ඛානුපස්සනාව
3. අනත්ථානුපස්සනාව

භාවනා කර ප‍්‍රත්‍යක්ෂ කර පිරිසිඳ දැක ගත යුතුයි. මෙලෙස ඉවත් කළයුතු ගති තුන මොනවාද යන්න නිවැරදි ලෙස තේරුම් නොගත්තේ නම් මේ ”ඛණ” සම්පත්තිය ලැබෙන අවස්ථාව තේරුම් නොගත්තේ නම් චතුරාර්ය සත්‍යය අවබෝධ වී, දුක අවබෝධ වී, දුක්ඛ සමුදය අවබෝධ වී, දුක්ඛ නිරෝධ කර ගැනීමටත් හැකියාවක් නොලැබේ. එම නිසා මෙතැන ධර්ම අර්ථයම හොඳින් තේරුම් ගත යුතුයි. මෙතැන විස්තර වන්නේ ඛය කර දැමිය යුතු උදුරා ඉවත් කර දැමිය යුතු කාරණා තුනක් පිළිබඳව මිස ක්ෂණ සම්පත්තිය නොවෙයි. ඛණ සම්පත්තියයි. ”ඛීණං පුරාණං, ආසවක්ඛයා ඥාණං, ඛයං විරාගං” යන ඛණ ලෙස සඳහන් වන්නේ පජහති, පහානාති, පස්සති එනම් ඉවත් කළ යුතු, ප‍්‍රහාණය කළ යුතු, බැහැර කළ යුතු යන තේරුමයි. මේ ති‍්‍රලක්ඛණ භාවනාවෙන් කරගත යුතුදේ කිසිම කෙනකුට සිතාගත නොහැකිව ධර්මය යටපත් වී තිබුණි. යථාර්ථය වැසී තිබුණි. නමුත් දැන් එය මතු කර, විවෘත කර අවසානයි. බුද්ධ දේශණාවේ ඇති නිවැරදිම ආනාපානා සතිය විග‍්‍රහ වන්නේ ත‍්‍රිලක්ඛණ භාවනාවේදී පමණි.

නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව ප‍්‍රහාණය කිරීම සඳහා පිළිවෙලින් අනිච්චානුපස්සනාවත්්, දුක්ඛානුපස්සනාවත්්, අනත්ථාන්පස්සනාවත්් වඩන්නට හැකියි. නන්දි බව, එහෙම නැත්නම් අභිනන්දය හිතේ ඇති වන්නා වූ කැමැත්තේ දැඩි බව ඉවත් කිරීම සඳහා නිබ්බිදානු පස්සනාව වැඩිය යුතුයි. නිබ්බිදාව යනු නොබැඳීමයි. බිහිකිරීමට හේතු වන්නා වූ බැඳීමේ දුරු වීම නිබ්බිදානු පස්සනාවෙන් සිදුවේ. බැඳීමෙන් නික්මීම නිබ්බිදාවයි.

ඊට පසු රාගය දුරුලීම සඳහා විරාගානුපස්සනාව වැඩිය යුතුයි. රාගයක් ඇති වන්නේ සිතේ ඇති වන කැමැත්ත නිසයි. මේ රාගය නිසා ”සං ”උපදී. සම්බන්ධයක් ඇති වේ. ඊළඟට සමුදය දුරු කිරීම සඳහා නිරෝධය කිරීම සඳහා නිරෝධානු පස්සනාව වැඩිය යුතුයි. නිර්+උදා කිරීම නිරෝධ කිරීම යනුවෙන් හැඳින්වේ. ඊළගට පංචස්කන්ධය උපාදානය කර ගැනීමෙන් ඉවත් වීම සඳහා පටිනිස්සග්ගානුපස්සනාව වැඩිය යුතුයි. මේ අවස්ථාව වන විට පියවර හතක් සම්පූර්ණ වී අවසානයි.

1. අනිච්චානුපස්නාව වඩා”නඉච්ච” තත්ත්වයට පත් වීම (නිච්චං පජහති)
2. දුක්ඛානුපස්සනාව වඩා”න සුඛ” තත්ත්වයට පත් වීම (සුඛං පජහති)
3. අනත්ථානුපස්සනාව වඩා ”න අත්ථ” තත්ත්වයට පත් වීම (අත්්ථං පජහති)
4. නිබ්බිදානුපස්සනාව වඩා ”න නන්දි” තත්ත්වයට පත් වීම (නන්දිං පජහති)
5 විරාගානුපස්සනාව වඩා ”න රාග” තත්ත්වයට පත් වීම (රාගං පජහති)
6. නිරෝධානුපස්සනාව වඩා ”සමුදය” වීම වළක්වා ගැනීම (සමුදයං පජහති)
7. පටිනිස්සග්ගානුපස්සනාව වඩා ”උපාදානය” කර ගැනීම නැවැත්වීම (ආදානං පජාහති)

මේ විපස්සනා භාවනාවේ තව ඉදිරි පියවර හතක් තිබේ. වයානුපස්සනාව වඩා ඉවත් කරගතයුතු කොටසක් වගේම ඛයානුපස්සනාව, විපරිණාමානුපස්සනාව, අනිමිත්තානුපස්සනාව, සුන්‍යතානුපස්සනාව, විවට්ටානුපස්සනාව වඩා ඉවත් කර ගත යුතු ඒ ඒ කොටස් තිබේ. මේ පියවරයන් ඉදිරියේදී විස්තර කර ඇත. මේ මුල් පියවර හත හොඳින් තේරුම් ගැනීමෙන් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන ඵල තුනටම පත් වීමටත් අරහත් ඵලය සඳහා ඉදිරි පියවර සියල්ල උපකාර කර ගැනීමත් කළ යුතුයි.

අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ථානුපස්සනාව, නිබ්බිධානු පස්සනාව, විරාගානුපස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව යන අවස්ථා හත තේරුම් ගෙන ඒවා විපස්සනා භාවනාවක් ලෙස වැඞීමට යම් කිසි කෙනෙකුට හැකියාව ඇත්නම් සංයෝජන පහක්ම ඉවත් කර ගැනීම සිදු කර ගත හැක. අනුසය කොටස් හතරක්ම ඛයා වීමත් ඒ සමඟ සිදුවේ.

අප මුළින්ම කරගත යුත්තේ අපේ හිතේ ඇතිවන ආරම්මණයකට, නිමිත්තකට, කැමැත්තකට අන්තවාදීව එහෙම නැත්නම් අකමැත්තකට ඇති බැඳීමෙන් හා අකමැත්තට ගැටීමෙන් ඉවත් වීමට කි‍්‍රයා කිරීමෙන් සිත උපේක්ඛා තත්ත්වයට පත් කර ගැනීමට ක‍්‍රියා කිරීමයි. එනම් නිච්ච, අනිච්ච කර ගැනීමටයි. පටිඉච්ච සංඥාව සමථයකට පත් කර ඉවත් කිරීමටයි. මෙතැනදී වෙනම සමථයක් භාවනා නොකළාට උද්ධච්චය ඉවත් වීම, සමථයකට පත්වීම ඉබේම සිදුවේ. මෙය විපස්සනා පුබ්බංගම සමථ භාවනාව යනුවෙන් හැඳින්වේ. විපස්සනාව වැඞීමත් සමඟ සමථයත් ඉබේම වැඬේ. මෙයම, යුගනන්ධ භාවනාව ලෙස විග‍්‍රහ කළ හැක.

මේ නිච්ච සංඥාවක් සිතේ මතුවීම පිළිබඳව සිතින් පටිඉච්ච වීම පිළිබඳව බුදුරජාණන් වහන්සේ නොයෙකුත් ආකාරයට විභංග කර පෙන්වා දී ඇත. මුළු අභිධර්මයේම විග‍්‍රහ වන්නේ මෙම විභංගය පිළිබඳවයි. මෙම විභංගයෙන් කොටසක් ගෙන විග‍්‍රහ කර බලමු.

පළමුව විග‍්‍රහ කළ යුත්තේ රූප නිමිත්තයි. ”චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං” රූපයකින් තොරව කිසිම කෙනෙකුට වේදනාවක්, සංඥාවක්, සංඛාරයක්, විඤ්ඤාණයක් සිතක මතු විය නොහැකියි. එනම් එය බුද්ධ ධර්මයට සම්පූර්ණයෙන්ම විරුද්ධ ප‍්‍රකාශයක් වේ. නමුත් මේ රූප සංඥාව කුමක්ද යන්න පිළිබඳව හොඳින් බෙදා විග‍්‍රහ කර තේරුම් ගත යුතුයි. මේ රූපය යනු විවිධාකාරයෙන් බෙදිය හැකි දෙයකි. ඒ බෙදීම බුදුරජාණන්වහන්සේ විභංගප‍්‍රකරණයේ එහෙම නැත්නම් අභිධර්මයෙන්ම බෙදා දක්වා වදාළහ. රූප යන්න මුළින්ම පි‍්‍රිය රූප, අප‍්‍රිය රූප ලෙස කොටස් දෙකකට බෙදිය හැකිය. ඊළගට අතීත රූප, වර්තමාන රූප, අනාගත රූප, දුර රූප, ළඟ රූප, සියුම් රූප, ඝණ රූප, අධ්‍යාත්මික රූප, බාහිර රූප, ප‍්‍රණීත රූප, අප‍්‍රිණීත රූප යනුවෙන් එකොළොස් ආකාරයකට බෙදා පෙන්විය හැකියි. පළමුව ප‍්‍රිය, අප‍්‍රිය ලෙසත් ඊට පසුව එකොළොස් ආකාරයක් ලෙසත් බෙදා දැක්විය හැකියි. රූප රූපත්, ශබ්ද රූපත්, ගන්ධ රූපත්, රස රූපත්, ස්පර්ශ රූපත්, මනෝ රූපත් යන ආකාරයට නැවතත් බෙදා දැක්විය හැකිය. රූප, රූප යනුවෙන් නැවතත් හය ආකාරයකට බෙදිය හැකියි. තවදුරටත් විභංග කරනවා නම් සිහින රූප, රූපවාහිනී රූප ආදී වශයෙන් බෙදා දැක්විය හැකියි. මේ ආකාරයට මේ රූප විභංගය තවදුරටත් කළ හැකි වේ. නමුත් මේ විග‍්‍රහය පමණක් තේරුම් ගැනීම හොඳටම ප‍්‍රමාණවත් වේ. රූප විවිධාකාරයි. සෑම රූපයක්ම ප‍්‍රිය, අප‍්‍රිය නම් පටිච්ච වීමක් වීමට ඉඩ ඇත.

රූපයේ නිච්ච සංඥාව පිළිබඳ කර්මස්ථානයක් භාවනා කරන විට කළයුතු දේ හොඳින් තේරුම්ගත යුතුයි. නිච්ච සංඥාව විවිධ ආකාරව ඇති බව ඉහත පෙන්වා ඇත. ඒ විවිධ ආකාර වූ රූප පිළිබඳව නිච්ච සංඥාවක් මතුවී, යමකට පටිඉච්ච වීමට මුල් වේ. අපේ හිත කිළිටි වීමට මුල් වන්නේ පටිඉච්ච වීමයි. නිච්ච සංඥාවක් ඇති වීමයි. අනිච්චානු පස්සනාව වඩා මේ නිච්ච සංඥාව ඉවත් කර ගත හැකි නම් සිත තුළ පටිඉච්ච වීමක් ඇති නොවේ. අපේ හිත කිළිටි නොවේ. එහෙම නම්, අපේ හිත කිළිටි වීමට මුල්ම හේතුව රූප සංඥාවකට පටිඉච්ච වීමයි. කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඇලීම හෝ ගැටීමයි.

රූපය වාගේම වේදනාවත් පිළිබඳව මුලින් ප‍්‍රිය, අප‍්‍රිය ලෙස බෙදා, ඊළඟට අතීත, වර්තමාන, අනාගත, සියුම්, ඝන ආදී වශයෙන් විවිධාකරයට බෙදා වෙන් කර අනුපස්සනා කළ හැකියි. ඒ වාගේම වේදනා, සංඥා, සංඛාර හා විඤ්ඤාණත් ඒ විධියටම බෙදා අනුපස්සනා කළ යුතුයි. ස්කන්ධ විභංග කරමින් භාවනා කිරීම ලෙස මෙය විග‍්‍රහ වේ. රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යන ස්කන්ධ පහ පිළිබඳව පහත ආකාරයටම විපස්සනා කළ හැකියි.

රූපං අනිච්චා
වේදනා අනිච්චා
සංඥා අනිච්චා
සංඛාර අනිච්චා
විඤ්ඤාණං අනිච්චාතී

රූපං දුක්ඛා
වේදනා දුක්ඛා
සංඥා දුක්ඛා
සංඛාර දුක්ඛා
විඤ්ඤාණං දුක්ඛාති

රූපං අනත්ථා
වේදනා අනත්ථා
සංඥා අනත්ථා
සංඛාර අනත්ථා
විඤ්ඤාණං අනත්ථාතී

මේ ති‍්‍රලක්ඛණ භාවනාවෙන් පසුව නිබ්බිදානුපස්සනාවත්, විරාගානුපස්සනාවත්, නිරෝධානුපස්සනාවත්, පටිනිස්සග්ගානුපස්සනාවත් යන හතර ආකාරයටමත් රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ යනු පංචස්කන්ධය ගැනමත් භාවනා කර නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව, නන්දි සංඥාව, රාග සංඥාව, සමුදය සංඥාව, ආදාන, උපාදාන සංඥාව ඉවත් කළ හැකියි. ඒ ස්කන්ධ අනුව කරන භාවනාවයි. ස්කන්ධ අනුපස්සනාවයි.

ඊට පසු ආයතනවලට අනුව භාවනා කළ හැකියි. චක්ඛායතනය, සෝතායතනය, ඝානායතනය, ජිව්හායතනය, කායායතනය, මනායතනය යන ආයතන හය සඳහා පහත සඳහන් භාවනාව යොදා ගත හැකිය.

චක්ඛුං අනිච්චා
සෝතං අනිච්චා
ඝානං අනිච්චා
ජීව්හං අනිච්චා
කායං අනිච්චා
මනං අනිච්චා

චක්ඛුං දුක්ඛා
සෝතං දුක්ඛා
ඝානං දුක්ඛා
ජීව්හං දුක්ඛා
කායං දුක්ඛා
මනං දුක්ඛා

චක්ඛුං අනත්ථා
සෝතං අනත්ථා
ඝානං අනත්ථා
ජීව්හං අනත්ථා
කායං අනත්ථා
මනං අනත්ථා

ආයතන පිළිබඳව ත‍්‍රිලක්ඛණ භාවනාවෙන් පසුව නිබ්බිදානුපස්සනාවත්, විරාගානුපස්සනාවත්, නිරෝධානුපස්සනාවත්, පටිනිස්සග්ගානුපස්සනාවත් වඩා පියවර හතම සම්පූර්ණ කර ගත යුතුයි. අභ්‍යන්තර ආයතන හය සේම බාහිර ආයතන හය පිළිබඳවත් භාවනා කළ යුතුයි.

ඇසෙන් දකින රූප
කනෙන් අසන ශබ්ද
නාසයට දැනෙන ගඳ සුවඳ
දිවට දැනෙන රස
කයට දැනෙන පහස
මනසට දැනෙන මතක සටහන්

මේ ආයතන සම්බන්ධයෙනුත් අනිච්ච, දුක්ඛ, අනත්ථ, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග යන අනුපස්සනා භාවනා කළ හැකි වේ. ඊට පසු අභ්‍යන්තර හා බාහිර ආයතන නිසා ඇති වන විඤ්ඤාණ ශක්තිය පිළිබඳව භාවනා කළ යුතුයි,

චක්ඛු විඤ්ඤාණං අනිච්චා
සෝත විඤ්ඤාණං අනිච්චා
ඝාන විඤ්ඤාණං අනිච්චා
ජිව්හා විඤ්ඤාණං අනිච්චා
කාය විඤ්ඤාණං අනිච්චා
මනෝ විඤ්ඤාණං අනිච්චා

මේ ආකාරයටම දුක්ඛ, අනත්ථ, නිබ්බිදා, විරාග, නිරෝධ, පටිනිස්සග්ග යන ඉතිරි හයටත් මේ භාවනාව දිර්ඝ කර අනුපස්සනා කළ හැකියි.

ඊළඟට ධාතු ලෙස එනම් ධාතුමනසිකාරය ලෙස අනුපස්සනා භාවනාවේ යෙදිය හැකියි. ආපෝ, තේජෝ, වායෝ, පඨවි, ආකාශ, විඤ්ඤාණ යනුවෙන් මූලික ධාතු හයක් විග‍්‍රහ වේ.

ආපෝ අනිච්චා දුක්ඛා අනත්ථා
තේජෝ අනිච්චා දුක්ඛා අනත්ථා
වායෝ අනිච්චා දුක්ඛා අනත්ථා
පඨවි අනිච්චා දුක්ඛා අනත්ථා
අකාශ අනිච්චා දුක්ඛා අනත්ථා
විඤ්ඤාණ අනිච්චා දුක්ඛා අනත්ථා

මේ ආකාරයට ත‍්‍රිලක්ඛණ භාවනාවෙන් ඉදිරියේ ඇති කොටස් ඉන්ද්‍රියය, ආයතන, ධාතු, ස්කන්ධ, යනාකාරයට භාවනා කළ පසු බුදුරජාණන් වහන්සේ දේශණා කළ පටිච්චසමුප්පාද ධර්මයේ සඳහන් අංගයන් අනුවත් ත‍්‍රිලක්ඛණ හා සම්බන්ධ කරමින් භාවනා කළ හැකියි.

අවිද්‍යා සංඛාර අනිච්චා දුක්ඛා අනත්ථා
විඤ්ඤාණ අනිච්චා දුක්ඛා අනත්ථා
නාමරූප අනිච්චා දුක්ඛා අනත්ථා
සළායතන අනිච්චා දුක්ඛා අනත්ථා
පස්ස අනිච්චා දුක්ඛා අනත්ථා
වේදනා අනිච්චා දුක්ඛා අනත්ථා
තණ්හා අනිච්චා දුක්ඛා අනත්ථා
උපාදාන අනිච්චා දුක්ඛා අනත්ථා
භව අනිච්චා දුක්ඛා අනත්ථා
ජාති අනිච්චා දුක්ඛා අනත්ථා
ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමනස්ස, උපායාස, අනිච්චා, දුක්ඛා, අනත්ථා

ත‍්‍රිලක්ඛණය යොදා ගනිමින් භාවනා කළ පසුව නිබ්බිදානුපස්සනාව, විරාගානු පස්සනාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්නාවත් භාවනා කළ හැකි වේ. ඉහත පෙන්වූ සෑම අනුපස්සනාවකදීම පැහැදිළි විය යුත්තේ මේ සියල්ලම සංඛාර බවයි. ස්කන්ධ, ආයතන, විඤ්ඤාණ, ධාතු, පටිච්චසමුප්පාද ධර්මයේ මූල ධර්මය ආදී ලෙස භාවිතා කළ සෑම භාවනාවක්ම හොඳින් තේරුම් ගෙන භාවිතා කළ යුතු වේ.

අප මේ සංසාර ගමන යන්නේ පි‍්‍රය, අප‍්‍රිය සංඛාර කරමිනි. සංඛත හදා ගනිමිනි. සංඛාර යනු එකතු කර ගැනීම සඳහා කරන ක‍්‍රියාවයි. ඒ ක‍්‍රියාව අනිච්චයි, දුක්ඛයි, අනත්ථයි ලෙස අවබෝධ කරගත යුතු වේ. එම නිසා ක‍්‍රියාවට නොබැඳී උපාදානය නොකර, පටිනිස්සගානු කිරීම කළ යුතු වේ. උපේක්ඛා තත්ත්වයට සිත පත්වන්නේ ඒ අනුවයි.

”සබ්බේ සංඛාරා අනිච්චාති
යදා පඤ්ඤාය පස්සති
අත නිබ්බින්දති දුක්ඛේ
එස මග්ගෝ විසුද්ධියා”

”නිච්ච” ”අනිච්ච” දෙකම නිවැරදිවම තේරුම් ගත හැකි වූවානම්, ”සබ්බේ සංඛාරා අනිච්චාති” යනුවෙන් අදහස් කළ දේ පිළිබඳව අවබෝධ විය යුතුයි. මේ කාරණය තේරුම් ගැනීම බුද්ධ ධර්මයේ ත‍්‍රිලක්ඛණය තේරුම් ගැනීමයි. ”සබ්බේ සංඛාරා අනිච්චාති” පිළිබඳ නිවැරදිව විග‍්‍රහ කර සංඛාර පිළිබඳව නිවැරදිව හඳුනා ගත යුතු වේ. ආපෝ, තේජෝ, වායෝ, පඨවි යන ධාතු වශයෙන් හෝ රූප, ශබ්ද, ගඳ, සුවඳ, ආදී කොට අත්තාවූ යම් සංඛත ධර්මයක් එකතු කර ගැනීමට තමාම කරන සියලුම ක‍්‍රියාකාරකම් අවිද්‍යා සංඛාර රාගයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් අප එකතු කර ගන්නා සියලුම දේ සබ්බේ සංඛාරා වශයෙන් හඳුන්වයි. මේ එකතු කර ගන්නා සියලුම දේවලට සිදුවන්නේ කුමක්ද? එනම් ”අනිච්චාති” කැමැත්තට අනුව පැවැත්විය නොහැකි වීමයි. අප කොයි තරම් ආශාවකින්, උවමනාවකින් එකතු කරගැනීමට ක‍්‍රියා කළත් මේ එකතු කර ගන්නා සංඛත ධර්මයන් අපේ කැමැත්තට අනුව පැවැත්විය හැකි දේ නොවේ. ”සබ්බේ සංඛාරා අනිච්චාති” යනු මේ විශ්වයේ ඇති සියලුම සංඛාර ධර්මයන් නොවේ. එහෙනම් මේ මොනවාද? මේ බොහොම සුළු කොටසකි. ප‍්‍රිය හා අප‍්‍රිය දේට පටිච්ච වීමෙන් ඇතිවන සංඛාර මේ සුළු කොටසට අයත් වේ. ඒ ඒ පුද්ගලයා කැමති දේ, එකතු කිරීමට කරන ක‍්‍රියා සංඛාර ලෙස අර්ථ ගැන්වේ.

පෘථග්ජන පුද්ගලයකු දවසේ පැය 24 පුරාම නිරතුරුව ම සංඛාර නොපවත්වති. සියයට 75කට, 80කට වැඩි ප‍්‍රමාණයක් කාර, ක‍්‍රියා සිත් පවත්වති. නමුත් පෘථග්ජන පුද්ගලයකු හැම විටම සංඛාරත් ක‍්‍රියාත්මක කරති. නිතරම අවිද්‍යා සංඛාරයක් කරන්නේ යමකට පටිඉච්ච වී පි‍්‍රය රූප, ප‍්‍රිය හඬ, ප‍්‍රිය ගඳ සුවඳ, ප‍්‍රිය රස, ප‍්‍රිය මතක සටහන් යන මේවායින් යමක් එකතු කිරීම සඳහායි. ”සබ්බේ සංඛාරා අනිච්චාතී” යන වචන වලින් අර්ථ ගැන්වෙන්නේ අවිද්‍යාවෙන් කරන ක‍්‍රියා පමණි.

අපි බලා සිටින විට අනන්ත අප‍්‍රමාණ රූප දකිමු. ඒවා රූප සංඛාර සිත් නොවේ. ඒවා කාර සිත් ලෙස හඳුන්වයි. අප යමක් සිතින් එකතු කිරීමට ක‍්‍රියා නොකරනවා නම් එතැන පවතින්නේ කාර සිත් මිස සංඛාර සිත් නොවෙයි. එකතු නොකරන නිසා ඒවා සංඛාර නොවේ. අවිද්‍යා සංඛාර යනු එකතු කිරීමට කරන සීමා සහිත ක‍්‍රියා කොටසක් පමණි. එකතු කිරීම සඳහා කරනු ලබන සෑම ක‍්‍රියාවක්ම කරනු ලබන්නේ අන්ත දෙකෙන් එකකට අන්තගාමී ලෙසින් බැඳීමෙනි. එනම් ප‍්‍රිය හෝ අප‍්‍රිය අනන්තයට බැඳීමෙනි. ”සබ්බේ සංඛාරා අනිච්චාතී, යදා පඤ්ඤාය පස්සතී” යන්න ප‍්‍රඥාවෙන් යථා පරිදි තේරුම් ගෙන මෙහි තිබෙන ”නිච්ච” බව ප‍්‍රඥාවෙන් යථා පරිදි ප‍්‍රත්‍යක්ෂ කර ගතහොත් අවිද්‍යා සංඛාරයක පැටලී එකතු කරන්නට කරනු ලබන කි‍්‍රයාවෙන් වැළකුණොත් එතැනදී ”අත නිබ්බින්දතීං දුක්ඛේ” යන අර්ථයෙන් සදාකාලිකවම දුකෙන් අත මිදෙන්නටත් හැකිවේ. ”ඒසමග්ගෝ විසුද්ධියා” එනම් නිවන අවබෝධ කර ගැනීමටත් චතුරාර්ය සත්‍යය අවබෝධ කර ගැනීමටත් මඟපාදා ගත හැකියි. ඉතාම පිරිසිදුව, පැහැදිළිව බුදුරජාණන්වහන්සේ මේ කරුණු දේශණා කර වදාළහ. ඉතාම සරළ, ඉතාම සුමට මෙම ධර්මතාවය ඕනෑම කෙනෙකුට මනසින් කල්පනා කර තේරුම් ගත හැකියි.

මේ පැහැදිළි ධර්මය අද භාවිතයෙන් ඉවත් වී වැසී පවතින්නේ ඇයි? මේ ගැන නම් සෑම කෙනෙකුමත් කල්පනා කර බැලිය යුතුයි. ඇයි මේ ධර්මය මෙහෙම වැහුණේ? මේ වැහීමට, යටපත් වීමට මූලික කරුණු දෙකක් බලපා තිබේ. අද භාවනා කරන පුද්ගලයින් නිච්ච සංඥාව ප‍්‍රහාණය කිරීමට අනිච්චානුපස්සනාවක් භාවනා නොකරයි. නිච්ච සංඥාව වෙනුවට අද භාවිතා වන්නේ ”නිත්‍ය” යන වැරදි සංඥාවයි. ”අනිච්ච” සංඥාව වෙනුවට ”අනිත්‍ය” සංඥාවයි. ”නිච්ච” යන වචනය සිංහලට පරිවර්තනය කිරීමේදී නිත්‍ය යනුවෙන් පරිවර්තනය කරන ලදී. ”අනිච්ච” යන්න ”අනිත්‍ය” යනුවෙන් පරිවර්තනය විය. මේ පරිවර්තනය වැරදි ලෙසින් කිරීම නිසා බුද්ධ භාෂිතයේ අර්ථය, ධර්මය විකෘති විය. අපි උදාහරණයකින් මෙය පැහැදිළි කර ගනිමුු. අද සවස 6 ට ඉර බසිනවාය යන්න නිත්‍යයි. සියල්ලන්ටම එය පැහැදිළියි. අනිත්‍යානුපස්සනාව අවුරුදු සීයක් නොව ආත්ම සීයක් භාවනා කළත් මේ ”නිත්‍ය” සංඥාව ඉවත් කිරීමට අපට නොහැකියි. නමුත් අපේ හිතේ යම්කිසි රූපයකට කැමැත්තක් ඇති වී ඒ රූපය ගැන නිච්ච බවක් ඇති වී නම් අනිච්චානුපස්සනාව විනාඩි 5 ක් භාවනා කළවිට අපට එය සිතින් ඉවත් කිරීමට නොහැකිද? හැකියි. කළ නොහැකි දෙයක් කිරීම බුදුරජාණන්වහන්සේ කාටවත්ම අනු දැන වදාළේ නැත. නමුත් ඒ නොහැකි දේම කිරීම අද පවතින භාවනා ක‍්‍රමවල අඩංගු වේ. භාවනා මධ්‍යස්ථානවල කිරීමට උත්සාහ දරන්නේත් කළ නොහැකි දෙයක් කිරීමට වෙහෙසීමටයි. තමන්ගේ හිත හදාගැනීම වෙනුවට නියාම ධර්මයන් වෙනස් කිරීමට උත්සාහ දැරීම නිරර්ථක ප‍්‍රයන්තනයකි.

මෙයට හේතුව ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කිරීමේදී සිදුවුණු වැරැුද්දකි. පාලි ත‍්‍රිපිටකයේ ”නිච්ච අනිච්ච” වශයෙන් ඉතාම පිරිසිදුව සඳහන් වචන දෙක සිංහල පරිවර්තනය කිරීමේදී ”නිත්‍ය අනිත්‍ය” ලෙස පරිවර්තනය කර පද විකෘති කර අර්ථ ගන්වා ඇත. ජීවිතං අනියතං, මරණං නියතං යන්න භාවනා කර මරණයෙන් බේරෙන්නට කාටවත්ම කෙසේවත් කළ නොහැක්කකි. නමුත් අප කැමතිසේ සදා කල් පවතින මරණයක් නොවන ජීවිතයකුත් නැති බවත් නිවැරදිවම තේරුම් ගත්තොත් මේ නිච්ච, අනිච්ච තේරුම් ගත්තොත් මතු මරණයෙන් බේරෙන්නත් ඕනෑම කෙනෙකුට හැකියාව ඇත. නිච්ච, අනිච්ච යන මේ වචන දෙක ”නිත්‍ය, අනිත්‍ය” ලෙස වරද්දා ගත් පසුව, තේරුම් ගත් පසුව, විකෘති කළ පසුව හැම තැනම වාගේ අද වැරදි භාවනාවන් කරනු දක්නට ලැබේ. නිත්‍ය අනිත්‍ය කිරීම නියාම ධර්ම වෙනස් කිරීමට උත්සාහ දැරීමකි.

මෙහිදී පරමාර්ථය නොදැකීම එහෙම නැත්නම් ආනාපාන සතිය තුළින් ධර්මය නොදැකීම මෙයට මුල් වූ හේතුවයි. ආනාපාන සහිත ධර්මානුකූලවම දුටුවා නම් අරිය ආනාපාන සති භාවනාවේ මූල ධර්මය තේරුම් ගත්තා නම් ඉවත් කළයුතු, බැහැර කළයුතු කොටස කුමක්ද, ආශ‍්‍රය කළයුතු, ඇතුළට ගතයුතු කොටස කුමක්ද යන්න ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකියි. තමන්ගේ හිත හදාගැනීම මෙතන පර්මාර්ථය ධර්මයයි. ”නිච්ච අනිච්ච” පද දෙක ”නිත්‍ය අනිත්‍ය” යනුවෙන් වරදවා තේරුම් ගැනීමත්, ඊට පසු ”අත්ථ අනන්ථ” යන වචන දෙක ”ආත්ම අනාත්ම” ලෙස වරදවා තේරුම් ගැනීමත්, වරදවා අර්ථ දැක්වීමත් නිසා නිවන් මඟ වැසුණි. මෙහිදී විග‍්‍රහ වන්නේ ආත්ම අනාත්ම සංකල්පයක් පිළිබඳව නොවෙයි. මෙතැන අදහස් වන්නේ මමත්වය එහෙම නැත්නම් තම්මතාව පිළිබඳවයි. බුදුරාජාණන්වහන්සේ මේ පිළිබඳව විග‍්‍රහ කර ඇත්තේ ”අසාරට්ඨේන අනත්ථා” යනුවෙනි. අසාර අර්ථයෙන් අනත්ථ විග‍්‍රහ කර වදාළහ. ඒ අනුව සාරයක් ඇත යනුවෙන් අර්ථ දැක්වීම අත්ථ ලෙස සැළකිය යුතුයි. එසේ නම් අනත්ථ යන වචනයට යෙදිය යුතු නිවැරදිම සිංහල වචනය ”අනාථ” යන අර්ථයයි. මේ වචනයත් සියයට සියයක්ම නිවැරදි නොවේ. ඒ නිසා තව දුරටත් විග‍්‍රහ කරගත යුතුයි. කෙසේ වුවත් ”අනාථ” යන වචනය අනික් සියලුම වචන වලට වඩා අර්ථය අතින් නිවැරදියි. ආත්ම, අනාත්ම යන වචන සහමුළින්ම වැරදි යෙදීමකි. බුදුපියාණන්වහන්සේ කිසිම දවසක ආත්ම, අනාත්ම වාදයක් ඉදිරිපත් නොකළහ. එය බැහැර කර ප‍්‍රතික්‍ෂේප කළහ. කිසිම විටක ඒ පිළිබඳව දේශණා කිරීමක් හෝ අනුමාන කිරීමක් හෝ නොකළහ. බුදු දහම ආත්ම වාදයෙන් තොර වේ. අනාත්ම වාදයෙනුත් තොර වේ.

වච්චගොත්ත, සච්චක සූත‍්‍රයේදී බුදුපියාණන්වහන්සේ් මේ ආත්ම, අනාත්ම සංකල්ප දෙකම පැහැදිළි ලෙසම ප‍්‍රතික්ෂේප කර වදාළහ. එතරම් පැහැදිළි ලෙස දේශණා කර ඇති දෙයක් මේ ත‍්‍රිපිටය සිංහලට පර්වර්තනය කළ පුද්ගලයින් වැරදියට පරිවර්තනය කර ඉදිරිපත් කර ඇත. ”නොබැඳීම” යන අර්ථය ගෙන දෙන ”නිබ්බිදානුපස්සනාව” පිළිකුල යනුවෙන්් පරිවර්තනය කර ඇත. මේ ආකාරයට වචන කිපයක්ම වැරදි ආකාරයට පරිවර්තනය කිරීම නිසාත්, ඒ වාගේම අරිය ආනාපාන සතිය යන්න තේරුම් නොගැනීම නිසාත් මේ විපස්සනා භාවනාව විකෘති වී, බෞද්ධයන් අතර සහමුළින්ම භාවිතයෙන් ඉවත් වී ගිය බව හැම කෙනෙකුම හොඳින් තේරුම් ගත යුතුමයි.

විපස්සනා භාවනාවට අදාළව තවත් කරුණක් පැහැදිළි කර දිය යුතුයි. විපස්සනා භාවනාවක් වැඞීමට වඩා සමථ භාවනාවක් වැඞීම පහසුයි. සමථ භාවනාව තේරුම් ගැනීම ඕනෑම කෙනෙකුට කළ හැකියි. කාමච්ඡන්ද, ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ච, විචිකිච්චා යන පංචනීවරණ සහමුළින්ම සිතෙන් ඉවත් කිරීම අමාරු කාර්යයකි. බුදුරාජාණන්වහන්සේ දේශණාකර වදාළේ රූපාරම්මණයක්, ශබ්දාරම්මණයක්, ගන්ධාරම්මණයක්, රසාරම්මනයක්, පොට්ඨාබ්බාරම්මණයක්, ධම්මාරම්මණයක් සිතට අරමුණු වූ විට එය පළමුව සමථයකට පත් කර නොසිටියහොත් විපස්සනාවක් කළ නොහැකි බවයි. පළමුව සිත සමථයකට පත්කර ගැනීම කළ යුතුයි. තමන්ගේ හිතට අරමුණු වූ අරමුණ නිමිත්ත මුළින්ම ආවර්ජනය කළ යුතුයි. බුදුරජාණන්වහන්සේ මෙය ”ආවජ්ජන්තේ” යනුවෙන් පෙන්වා වදාළහ. ඊට පසු ‘‘ජානත්තෝ’’ නිවැරදිව දැන ගැනීමත් ”පජානත්තෝ” පිරිසිඳ දැක ගැනීමත් කළ යුතුයි. ”පස්සති පහානත්තෝ” ප‍්‍රහාණය කළයුතු දෙයක්ද, නැත්නම් භාවිත කළයුතු දෙයක්ද යන්න තේරුම් ගත යුතුයි. මෙතැනදී බුදුරජාණන්වහන්සේ පියවර 14 ක් පිළිබඳව විස්තර කර වදාළහ. එම පියවර 14 නම්,

ආවජ්ජනට්ඨෝ – ආවර්ජනය කිරීමේ අර්ථයෙන්
විජානනට්ඨෝ – නිවැරදිව දැන ගැනීමේ අර්ථයෙන්
පජානනට්ඨෝ- පිරිසිඳ දැකගැනීමේ අර්ථයෙන්
පස්සනට්ඨෝ- ප‍්‍රහාණය කළ යුතු ප‍්‍රහාණය කිරීම
පච්චිවෙක්ඛනට්ඨෝ – ප‍්‍රත්‍යාවේක්ෂා නුවණින්
චිත්තං අධිට්ඨහන්තෝ – සිතේ අධිෂ්ඨානයෙන්
සද්ධාය අධිමුච්චන්තෝ – සත්‍යාවබෝධය සඳහා ශ‍්‍රද්ධාවෙන්
වීරිය පග්ගන්හන්තෝ – නොපසුබට වීර්යයෙන්
සතිං උප්පට්ඨපෙන්තෝ – හේතුඵල දහමට ගළපා බැලීමෙන්
චිත්තං සමාදහන්තෝ – චිත්ත සමාදානයෙන්
පඤ්ඤාය පජානනත්තෝ – ප‍්‍රඥාවෙන් කළු ධර්මය බැහැර කිරීමෙන්
අභිඤ්ඤෙයියං – අභිජානනත්තෝ – දැනීම
පරිඤ්ඤෙයියං – පරිජානනත්තෝ – පිරිසිඳ දැකීම
භාවතේබ්බංච – භාවෙන්තෝ – භාවිතා කළයුතු දේ
පහාතබ්බංච – පජාහන්තෝ – ප‍්‍රහාණය කළයුතු දේ
සච්ඡිකාතබ්බංච – සච්ඡිකරොන්තෝ – ලැබිය යුතු සත්‍යාවබෝධය

විපස්සනා භාවනාවක් වඩන සෑම කෙනෙකුම මේ පියවර 14 ම නිවැරදිව දැනගත යුතුයි. හිතට අරමුණක් අරමුණු වූ විගසම පච්චවෙක්ඛන්තෝ යන ප‍්‍රත්‍යවේක්ෂා නුවණින් එය සළකා බලනතුරු ආවර්ජනය කළ යුතුයි. මෙතැනදී ද්වතාවය, තිපරිවට්ටය, ත‍්‍රිලක්ඛණය පිළිබඳව දැනගැනීම අත්‍යාවශ්‍ය වේ. ද්වතාවය ඔස්සේ අදාළ අරමුණ කළු ධර්මයක්ද, සුදු ධර්මයක් ද යන්න බේරා දැනගෙන, සුදු ධර්මයක් නම් එය භාවිතා කළ යුතුයි. කළු ධර්මයක් නම් එය බැහැර කළ යුතුයි. විපස්සනා භාවනාව යනු මෙයයි. සිත සම්පුර්ණයෙන්ම පිරිසිදු වීමත් සමථයකට පත් වීමත් මෙම ක‍්‍රමවේදය අනුගමනය කිරීම මගින් සිදුවේ. නමුත් කළු ධර්මයකින් සිත කිළිටිවන අරමුණකින් නම්, එතැනදී නිච්ච සංඥාවක් සිතේ හට ගනී. නිච්ච සංඥාව වැඩි දියුණු වුවහොත් පටිඉච්ච බව ඇති වී ඇලීමට, බැදීමට, ගැටීමට සිත පත්විය හැකියි. විපස්සනා භාවනාවට නිමිත්ත කරගත යුත්තේ මෙයයි. එමනිසා මෙම නිමිත්ත හොඳින් අවර්ජනය කර දැනගෙන (ජානතෝ), පිරිසිඳ දැනගෙන (පජහන්තෝ) එය ප‍්‍රහාණය (පස්සතෝ) කළ යුතුයි. නැවත නැවතත් අදාළ අරමුණු ප‍්‍රත්‍යාවේක්ෂා කර (පච්චවෙක්ඛිතබ්බං) තේරුම් ගැනීම කළ යුතුයි. මේ පෘථග්ජන හිතක් අවිද්‍යා විතක්ක, විචාර පැවැත්වීම යනු මෙයයි. අවිද්‍යා විතක්ක, විචාර සිතේ උපදී නම් දිගින් දිගටම අදාළ අරමුණ පිළිබඳව සිතින් රෝද නොකර එම අරමුණ වහාම හඳුනා ගැනීමට උත්සාහ ගත යුතුයි. මෙසේ විතක්ක, විචාරයන් මතු වීමට හේතුව නිච්ච සංඥාවක් සිතේ උපදවා ගැනීම සඳහා සිත පටිඉච්ච වන බව තේරුම් ගෙන පටිඉච්ච වීම, අනිච්ච බවත්, දුක බවත්, අනත්ථ බවත් වටහා ගැනීමයි. තවද ඉදිරි පියවරයන් වූ නිබ්බිදානුපස්සනාව, විරාගානුපස්නාව, නිරෝධානුපස්සනාව, පටිනිස්සග්ගානුපස්සනාව පිළිබඳව මනාව තේරුම් ගෙන ති‍්‍රලක්ඛණ භාවනාව වඩා විපස්සනා භාවනාව මගින් නිමිත්ත ඉවත් කර අදාළ නිමිත්ත නිසා යමකට බැඳීමෙන් හෝ ගැටීමෙන් හෝ ඉවත් වී උපේක්ඛාවට පත්විය යුතුයි.

මේ අවස්ථාවේදී හොඳින්ම තේරුම් ගතයුතු වන්නේ අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ථානුපස්සානාව යන ත‍්‍රිලක්ඛණය පමණක් වැඞීමට චතුරාර්ය සත්‍යය අවබෝධ වී, සෝවාන් මාර්ගයටත්, ඵලයටත්, පත්වීමට හැකි බවයි. නමුත් සකෘදාගාමී, අනාගාමී මාර්ග හා ඵල සම්පූර්ණ කරගැනීම සඳහා නිබ්බිදා, විරාගා, නිරෝධා, පටිනිස්සග්ගා යන පියවරවල් සම්පූර්ණ කර ගත යුතුයි.

සමථ භාවනාවේදී නිදාන හේතුව මුළින්ම ගළවා දැමීම සිදුනොවේ. නමුත් විපස්සනා භාවනාවකදී හේතුව දැක එය සහමුළින්ම ගළවා ඉවත් කිරීම සිදුකරනු ලබයි. සමුච්ඡේද වශයෙන් ඉවත් කිරීම ප‍්‍රහාණය කිරීම යනු මෙයයි. මුල් අවස්ථාවේදී තදංගම වශයෙන් නැත්නම් විෂ්කම්භන වශයෙන්, සමථ තත්ත්වයට පත් වීම පමණක් සිදුවේ. නමුත් විපස්සනාවකදී හේතුව සමුච්ඡේද වශයෙන්ම එහෙම නැත්නම් සහමුළින්ම උදුරා, ඉවත් කිරීම සිදුවෙයි. පටිඉච්ච වුණේ නැත්නම් හිත කැමැත්තට බැදුණේ නැත්නම් සිත අන්තගාමී ලෙස කිළිටි කරන රාගයට, ද්වේෂයට, මෝහයට පත්විය නොහැකි වේ. හේතුඵල ධර්මයට බහා ගළපා බලා මුල්ම හේතුව පළමුවන හේතුව ම ගළවා ඉවත් කිරීම විපස්සනා කිරීමයි. ”නිච්ච” සංඥාව ප‍්‍රහාණය කිරීමෙන් සුඛ සංඥාව ඉවත් වේ. පටිනිස්සග්ගානුපස්සී වීමෙන් ”උපාදානය” ඉවත් වී සමුච්ෙඡ්ද වශයෙන්ම කෙළෙස් මුල් ගැළවී යයි. විපස්සනා භාවනාවක් යනු තමන්ගේ හිතේ ඇති වන රාග, ද්වේෂ, මෝහ ගති තුනම සහමළින්ම ගළවා ඉවත් කිරීමයි. විපස්සනා භාවනාව නිවැරදිව හඳුනාගැනීම මගින් නිවනට මඟ දැන ගැනීමටත් මාර්ගඵල අවබෝධ කර ගැනීමටත්, ප‍්‍රඥා විමුක්තියට පත් වීමටත්, ප‍්‍රඥා විමුක්තිය පිළිබඳව යථා පරිදි අවබෝධ වීමටත් උපකාරී වේ.
විපස්සනා භාවනාවක් වඩනවිට සද්ධා, වීර්ය, සති, සමාධි, ප‍්‍රඥා යන පංච බලයන්ට, සතර සම්මප්පධන්වලට, සතර සතිපට්ඨානයට, සප්ත බොජ්ඣංගයට, අෂ්ටාංගික මාර්ගයට ගළපා බැලිය යුතුයි. නමුත් ”අනිච්ච, දුක්ඛ, අනත්ථ” නිවැරදිව තේරුම් ගැනීම මගින් සත්තිස්බෝධිපාක්ෂික ධර්ම දැන හෝ නොදැන හෝ සම්පූර්ණ වීම සිදු වේ. ත‍්‍රිලක්ඛණය වැඞීමත් සමඟම නිච්ච, සුඛ, අත්ථ සංඥා ප‍්‍රහාණය වීමත්, නිවන් අවබෝධ වීමත්, මඟ ඵල ලබා ගැනීමත්, ප‍්‍රඥා විමුක්තියට පත්වීමත් සිදු කර ගත හැකියි.

නිච්ච, සුබ, අත්ථ යන ගති තුන ඉවත්කර, ඛය කර, අස්කර ගැනීම පමණක් නිවනට උපකාර වන බව මතක තබා ගත යුතුයි. තමන්ගේ ආධ්‍යාත්මය තුළින්ම, තමන් කෙරෙන්ම මතුවන කිළිටිවූ කැමැත්ත, විචිකිච්චාව තමන්ම ඉවත් කර ගැනීම හැර වෙනත් කෙනෙකුට අප වෙනුවෙන් මෙය කරදිය නොහැකියි. විඤ්ඤාණ චිත්තයෙන් මතු වන පටිඉච්චය එහෙම නැත්නම් නිච්ච සංඥාව නිසාම ඇතිවන විඤ්ඤාණය මේ සංසාර ගමනට හේතු වන එකම බලවේගයයි. මේ පටිඉච්චය ඉවත් වූ විට හිතක විඤ්ඤාණ ශක්තියක් ක‍්‍රියාත්මක වීම සිදු නොවේ. සමුදය ධර්මතාවක් බිහි නොවේ. රාගය, ද්වේෂය, මෝහය, ඉවත් වීමෙන් හිත සමථයටත් පත් වීමත් සමඟම ප‍්‍රඥා විමුක්තියටත් පත් වේ. නිවන් අවබෝධ කර ගැනීමෙන් ආධ්‍යාත්මික වශයෙන් නිවුණුු පුද්ගලයෙකු බවට පත්වේ.

”දීඝංවා අස්සසන්තෝ දීඝංවා අස්සසාමීති පජානාති, දීඝංවා පස්සසන්තො දීඝංවා පස්සසාමීති පජානාති”

”දීඝංවා” යන වචනය පිළිබඳව විග‍්‍රහ කළ යුතුයි. අප මේ දීර්ඝ සංසාරයේ මෙතෙක් කල් රැඳී සිටින්නට හේතුව කුමක්ද? දිගින් දිගටම මේ දිවි පෙවත පවත්වා ගෙන යෑමට හේතුව කුමක්ද? දීර්ඝ වශයෙන් ආශ‍්‍රය කළා වූ නිච්ච සංඥාව, සුඛ සංඥාව, අත්ථ සංඥාව මේ දීර්ඝ සංසාර ගමනට හේතුවයි. සංසාර ගමන නවත්වා ගැනීමට අවශ්‍ය නම් නිච්ච, සුඛ, අත්ථ සංඥාවන් ප‍්‍රහාණය කළ යුතුයි. අනිච්ච, දුක්ඛ, අනත්ථ අනුපස්සනා කර ආශ‍්‍රය කිරීමත් කළ යුතුයි. ආනාපාන සතිය යනුවෙන් විග‍්‍රහ කරන ලද්දේ මෙයයි. සංසාරයේ දිගින් දිගටම සිතින් පටිඉච්චවීම නිසා නිච්ච සංඥාවට බැඳීමෙන් මේ දීර්ඝ සංසාර ගමන නිමා නොවීය. දීර්ඝ වශයෙන්ම ආශ‍්‍රය කරන ලද මේ ”නිච්ච” ගතිය ඉවත් කිරීමට අනිච්චානුපස්සනාව භාවනාව කළ යුතුයි. පජානාති යන පිරිසිඳ දැකීම නොමැතිව විපස්සනාවත්, අනුපස්සනාවත් කළ නොහැකිය.

ඉහත දක්වන ලද ගාථා පාඨයේ ඊළඟ ගාථාව ”රස්සංවා” යන්න යොදා අනාපානාසති සූත‍්‍රයේ ඉදිරිපත් කර ඇත. මෙහි ”රස්සංවා” යනු අද අදම තමන් අසන, තේරුම් ගන්නා දේ නිසා තමාගේ හිතේ නොයෙකුත් පටිඉච්ච වීම ඇතිවීම විග‍්‍රහ කිරීමට භාවිතා කළ පදයකි. කැමැත්ත නිසාත්, නොකැමැත්ත නිසාත්, සිතේ උපදින තත්ත්වයන් සිතින් ම ඉවත්කළ යුතුයි. අද අද අප පටිඉච්ච වන රූප, වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණත් ඉවත් කළ යුතු වේ. එම නිච්ච සංඥාව ඉවත් කිරීමට අනිච්චානුපස්සනාව වැඩිය යුතුයි. ආනාපානා සති භාවනාවේ අස්ස පස්ස නැතිනම් ආශ‍්‍රය කළ යුතු දේ හා ප‍්‍රහාණය කළයුතු දේ යනුවෙන් විග‍්‍රහ කරන ලද්දේ මෙයයි.

ආනාපාන සති භාවනාවේ ”සබ්බකාය පටිසංවේදී” යන පද කිහිපය බුදුපියාණන් වහන්සේ් පටිසම්භිදා මග්ගයේ ආනාපාන සතිය විග‍්‍රහ කිරීමේදී සබ්බකාය පිළිබඳව විස්තර කර වදාළහ. කාය යනු – රූප කාය, චක්ඛු කාය, සෝත කාය, ශබ්ද කාය, ඝාණ කාය, ගන්ධ කාය, ජීවිහාකාය, රස කාය, කාය කාය, පොට්ඨබ්භ කාය, මනෝ කාය, ධම්ම කාය ලෙස විග‍්‍රහ වේ. පංචස්කන්ධයේද කායවල් පහක් පෙන්වා දිය හැක.

රූප කාය
වේදනා කාය
සංඥා කාය
සංඛාර කාය
විඤ්ඤාණ කාය

මෙහි සඳහන් කළ සියලුම ක‍්‍රියාවන් සබ්බ කාය ලෙස විස්තර වේ. යමක් එකතු කිරීම සඳහා කරන, කියන, හිතන සියලුම ක‍්‍රියා සබ්බ කාය ලෙස හැඳින්වේ. ප‍්‍රිය වේදනාවකට හෝ අප‍්‍රිය වේදනාවකට හෝ සෑම විටම කෙනෙකු පටිසංවේදී වේ නම් එසේත් නැත්නම් බැඳේ නම් එය ”සබ්බ කාය පටිසංවේදී” යනුවෙන් විග‍්‍රහ වේ. අප ඒ බැඳීමත් අඩුකර ගැනීම අවශ්‍ය වේ. ”අස්සසිස්සාමීති සික්ඛති, පස්ස සිස්සාමීති සික්ඛති” යනු ශික්ෂණයෙන්, සංවරත්වයෙන් ප‍්‍රහාණය කළ යුතු කොටස හා ඇතුලු කර ගත යුතු කොටසයි. හිත සමථයකට පත්වීමත් සමඟ මේ සබ්බ කාය පටිසංවේදී බව අපට නොදැනීම ”පස්සං භයං” කාය සංඛාරං යන තත්ත්වයටත් පත් වේ.

මේ ආකාරයට විපස්සනා භාවනාවෙන්, කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව, ධම්මානුපස්සනාව යන සියලු ආකාර වූ සංසිඳීම් සඳහා ආනාපාන සති සූත‍්‍රයේ ඇතුළත් පියවර 16ටම තමන්ම තම සිතින්ම පත්වේ. කායානුපස්සනාව, ධම්මානුපස්සනාව යනු කුමක්ද? සංසිඳීම සඳහා අප කළ යුත්තේ කුමක්ද? ඒ සඳහා අනිච්චානුපස්සනාව, දුක්ඛානුපස්සනාව, අනත්ථානුපස්සනාව, නිබ්බිදානුපස්සනාව, ධම්මානුපස්සනාව, ඛයානුපස්සනාව, විපරිණාමධම්මානුපස්නාව, අනිමිත්තානුපස්සනාව යන භාවනාවන් භාවිතා කළ යුතුයි.

බුදුපියාණන්වහන්සේ දේශණා කළ මේ බුද්ධ ධර්මය සුඤ්ඤතා දර්ශනයකි. මෙහි සුඤ්ඤ යන පදය හොඳින් තේරුම් ගත යුතුයි. දර්ශන දෙකක් පිළිබඳ විග‍්‍රහ වේ. අසඤ්ඤතා දර්ශනය හා සුඤ්ඤතා දර්ශනය යනු එම දර්ශන දෙකයි. මේ සුඤ්ඤතාවයට මුල් වන්නේ අනිමිත්තානුපස්සනාව, අප්පතිහිතානුපස්සනාව හා සුඤ්ඤාතානුපස්සනාව යන සමාපත්ති තුනකි. මේවා සමාධි නොවේ. සමාපත්ති වේ. මේ සුඤ්ඤතා සමාපත්තිය යන්නෙහි තේරුම පැහැදිළිව වටහා ගත යුතුයි. මෙහිදී සිදුවන්නේ රාග, ද්වේෂ, මෝහ යන විඤ්ඤාණ ශක්තිය සුඤ්ඤ කිරීමයි. එහෙම නැත්නම් ඒ ශක්තිය සහමුළින්ම ඉවත් කිරීම සඳහා විපස්සනා භාවනාව භාවිතා කළ යුතුයි. නමුත් අනරිය භාවනාවේදී රාග, ද්වේෂ, මෝහ ශූන්‍ය වී, ඉවත් වී මුලින් ගළවා දැමීමක් සිදු නොවේ. ඒ වෙනුවට රාග, ද්වේෂ, මෝහ යටපත් වේ. යටපත් වීමත් සමඟම සිත් මත් වේ. මත් වූ නිසාම නේවසඤ්ඤා නාසඤ්ඤා යන අනරිය ධ්‍යානයේ දී සිදු වන්නේ මේ විඤ්ඤාණ ශක්තිය සහමුළින් ශූන්‍යතා තත්ත්වයට පත්වීම නොවෙයි. සිත අසඤ්ඤ වීමයි. අසඤ්ඤ වීමේ දී සිදු වන්නේ රූප, වේදනා, සංඥා, සංඛාර වශයෙන් ලැබෙන සංඥා පවා නැතිව යාමයි.

අනරිය භාවනාවේ ප‍්‍රතිඵලයක් ලෙස ලබන්නා වූ ධ්‍යානයේ දී නේවසඤ්ඤා නාසඤ්ඤා තත්ත්වයේ දී සිදු වන්නේ මෙයයි. සංඥා පැමිණීමක් සිදුනොවන අතර සංඥා ලබා ගැනීමත් කළ නොහැකියි. නමුත් අරිය විපස්සනා භාවනාවේ දී සිදු වන්නේ විඤ්ඤාණ ශක්තිය, එහෙම නැත්නම් රාග, ද්වේෂ, මෝහ ශක්තිය ඉවත් වී සුඤ්ඤ තත්ත්වයට පත් වීමයි. බුදුරජාණන්වහන්සේ මේ විපස්සනා භාවනාවෙහි එනම් ”දස අනුස්සති” භාවනාවෙහි අවසානයට ”දස සංයෝජනං පහීයන්ති ආසව අනුසයා ඛ්‍යායන්ති” යනුවෙන් විග‍්‍රහ කළ වදාළේ විපස්සනා භාවනාවේ පෙන් වූ පියවර 14 නිවැරදිව අනුගමනය කිරීම නිසා දස සංයෝජනම ප‍්‍රහාණය වී ආසව අනුසය සියල්ලමත් ඛය වී ආසවක්ඛයා ඥාණයෙන් ආසව ගැළවී සෝවාන් ආදී මාර්ගඵල වලටත් පත්වීම පිළිබඳවයි. මෙහි ඛය යනු මුළින්ම ගළවා ඉවත් කිරීමයි.

ප‍්‍රඥා විමුක්තියත් විද්‍යා විමුක්තියත් සම්පූර්ණ වීමෙන් දස සංයෝජනයම ප‍්‍රහීණ වී සියලුම ආසව අනුසය සහමුළින්ම ඉවත් වීම සිදුවේ. නමුත් අරිය හෝ අනරිය හෝ සමථ භාවනාවෙන් දස සංයෝජනවලන් එකක් හෝ් ප‍්‍රහීණ වීමක් සිදු නොවේ. ආසව අනුසය ඛය වීමකුත් සිදු නොවේ. එතැන දී සිදුවන්නේ සිත සමථයකට වීමත් ධ්‍යාන ලැබීමෙන් චේතෝ විමුක්තියට පත්වීමයි. ධ්‍යානයන් යනු නිවන නොවේ.

චේතෝ විමුක්තිය කිසිසේත්ම නිවන නොවේ. එය රජ්ජුරුවන්ට ඇති ආභරණයක් හා සමාන වේ. අරහතුන්වහසේ කෙනෙකුට යම්කිසි බලයක්, ඍර්ධි ප‍්‍රාතිහාර්යය පෑමේ ශක්තියක් ආදී වශයෙන් නොයෙකුත් ශක්තීන් ලැබිය හැකි වන්නේ චේතෝ විමුක්තිය ලබා ගැනීමෙන් පමණයි. ඒවා නිවනට නම් උපකාර වන දේ නොවේ. ඒවා පුණ්‍ය ශක්තිය අනුවම ලැබෙන ශක්තීන් ය. යම්කිසි අරහතුන්වහන්සේ කෙනෙකුට අභිඥා ලැබීමට, ඍර්ධි ප‍්‍රාතිහාර්ය පෑමට, අහසින් යෑමට, දිව්‍ය චක්ෂුසයක් ලැබීමට අවශ්‍ය නම් සමථ භාවනාව වඩා අෂ්ට සමාපත්තියටම පත්විය යුතුයි. සමථ භාවනාව වඩා පංචනීවරණ ධර්මයන්ගෙන් ම ඉවත් වී ඊට පසු පිළිවෙලින් අරිය ධ්‍යාන අටටම පත්විය හැකියි. එතැනදී අභිඥා ශක්තීන් ලබාගත හැකි වේ. චේතෝ විමුක්තිය, ධයාන, ඍර්ධි ප‍්‍රාතිහාර්ය පෑමේ හැකියාව ශක්තිය ලැබේ. එතනින් පසු විපස්සනා භාවනාවට මාරු වී මඟ ඵල ලබා ගැනීමෙන් නිවන සාක්ෂාත් කරගත හැකිය.

නමුත් මේ ක‍්‍රමය ඉතාමත්ම අපහසු වැඩ පිළිවෙලකි. අතීත සංසාරයේ දී එවැනි සමථ භාවනාවක් වඩා හුරු පුරුදු කෙනෙකුට නම් මෙම ක‍්‍රමවේදය උචිත වේ. නමුත් අපේ මේ ජීවිත කාලය හුඟක් කෙටි නිසා ඒ කෙටි කාලය තුළ නිවන් දකින්නටත් වුවමනා හෙයින් සමථ භාවනාව යම්තාක් දුරට වඩා කාමච්ඡන්දයෙන් වෙන් වූ විගසම නිවන් අවබෝධයට අවශ්‍ය වන්නා වූ විපස්සනා භාවනාව වඩා මඟඵල ලබා ප‍්‍රඥා විමුක්තියට පත් විය හැකියි. අවුරුද්දකින් දෙකකින් වුවත් මෙම ක‍්‍රමය අනුගමන කිරීමෙන් ප‍්‍රතිඵල ලබා ගත හැකිය. ඒ නිසා විපස්සනා භාවනාවම වැදගත් කොට ධ්‍යාන ලැබීමේ බලාපොරොත්තුවෙන් තොරව රාගක්ඛය, ද්වේෂක්ඛය, මෝහක්ඛය කිරීමේ එක ම පරමාර්ථයෙන් ත‍්‍රිලක්ඛණ භාවනාවේ ම යෙදීමට සැවොම අදිටන් කරගත යුතුයි.

Share Button