අශෝක මහාධිරාජයා සහ ඔහු ගොඩ නැගූ බුද්ධ රාජ්‍යය

ඉන්දීය ඉතිහාස කථාවේ අසහාය රාජ්‍යය නායකයකු වූ, අධිරාජයකු වූ, අශෝක මහ රජතුමා විසින් ගෞතම බුදුන්ගේ පරිනිර්වානයෙන් වසර 280කට පමණ පසුව පසුව ඉන්දියාවේ තමා යටත් කරගත් ප්රදේශවල ධර්ම රාජ්‍යයක් පිහිටුවන ලද බව කියැවෙන කථාව කවුරුත් දන්නා සත්‍යය සිද්ධියකි. මෙහි ගැබ්ව ඇති තවත් සත්‍යය ම වූ කථා පුවතක් කාලයේ වැලි තලාවෙන් යටපත්ව ගොස් ඇත. අශෝක යුගය පිළිබඳව ඉන්දීය ඉතිහාසය ලියා තැබූ මහාචාර්ය එල්. ඒ. බෂාම් තම ඉන්දීය ඉතිහාස පොතේ සටහන් කර තැබූ බොහෝ දේවල් ද මේ සත්‍යය එළි දැක්වීම සඳහා අපට ප්‍රයෝජනවත්ය. මේ පොත පළවූයේ ඉංග්‍රීසි භාෂාවෙනි. පසුව මෙය සිංහල භාෂාවටද පරිවර්ථනය විය. මුල් ඉංග්‍රීසි පිටපතේ සටහන් වන සමහරක් කරුණු පරිවර්තනයේදී ගිලිහී ගොස් ඇත. එසේ නැත්නම් පරිවර්තකයන් දැරූ මතයන් ද පොතට ඇතුළු කර ඇති බව පෙනේ.

අශෝක අධිරාජයා ඉන්දියාව තුළ බලය අල්ලා ගත්තේ ග්‍රීක පාලකයින් පලවා හැරීමෙන් පසුව ය. පළමුවෙන් ම නැඟෙනහිර ඉන්දියාවත් බටහිර ඉන්දියාවත් ඊට පසුව උතුරු ඉන්දියාවත් තම අධිරාජ්යයට අල්ලා ගත් අශෝක මහරජු ඉන් පසුව දකුණු ඉන්දියාව දෙසට ද හැරුණේය. කාලිංග යුද්ධය අශෝක මහරජතුමා විසින් කරන ලද අවසාන ම හා දරුණු ම යුද්ධයයි. මිනිසුන් ලක්ෂ ගණනක් මරා ඒ හා සමාන ම මිනිසුන් ප්‍රමාණයක් සිරගත කොට විශාල ජීවිත විනාශයක් සිදු කළ මෙම යුද්ධයෙන් පසුව අශෝක අධිරාජයා කාවේරි නදිය දක්වා ම තම බලය පතුරුවා ගත්තේය.

හෙළදිව එදා පැවති දියුණු රාජ්‍යය ගැනද අසා දැන තිබූ අශෝක මහ රජතුමා කාලිංග දේශයේ ම රැඳී සිට හෙළදිව යටත් කර ගැනීමේ අදහසින් යුද්ධ හමුදා හෙළ දිවයින වෙතට එවීය. කිහිප වරක් ම මේ ආකාරයට හමුදාවන් හෙළ දිවයින කරා යැවුවත් ඒ කිසි ම හමුදාවකට හෙළ දිවට ළං වන්නට හෝ නොහැකි විය.

මේ වන විට හෙළ දිවයිනේ බොහෝ තැන් වල බුද්ධ ධර්මය ස්ථාපිත වී දකුණු ඉන්දියාවේ පවා බුද්ධ ශ්‍රාවකයින් නිතර දකින්නට ලැබිණි. කාවේරි නදිය තෙක් ම දකුණු ඉන්දියාවේ ද බුද්ධ ධර්මය ව්‍යාප්තව පැවතිණි. බුද්ධ ශ්‍රාවකයින් ගැනත්, බුද්ධ ධර්මයේ අවිහිංසාවාදී ප්‍රතිපත්ති ගැනත් අසා දැනගන්නට අශෝක මහ රජුට මේ වන විට අවස්ථාව ද ලැබිණි. කාලිංග යුද්ධයෙන් හෙම්බත්ව මානසිකව අසහනයට පත්ව සිටි අශෝක මහ රජුට අති මහත් මානසික සුවයක් මෙන්ම ජීවිත පැවැත්මේ නව පරිවර්තනයක් ඇති කරන්නට ද සමත් වූ විශේෂ සිදු වීමක් ද මේ අතර ම සිදු විය. ඒ බුද්ධ ශ්‍රාවකයින්ගේ දර්ශනයත් බුද්ධ ධර්මයේ ආ අවිහිංසා ප්‍රතිපත්ති මාර්ගය ගැනත් අසා දැන ගැනීමයි. හෙළ දිවයින ගැනත් බුද්ධ ධර්මය ගැනත් මේ වන විටත් යම්යම් තොරතුරු බුද්ධ ශ්‍රාවකයින්ගෙන් ම අසා දැන ගන්නටත් අශෝක අධිරාජයාට අවස්ථාව ලැබී තිබිණි.

යුද්ධ හමුදා මෙහෙයවා හෙළදිව යටත් කර ගන්නට අශෝක රජු මෙතෙක් දැරූ සියලු ප්‍රයත්නයන් ද අසාර්ථක විය. මේ අනුව බුද්ධ පුත්‍රයින්ගෙන් අශෝක මහරජු විමසා සිටියේ “මෙපමණ විශාල වූ භාරත දේශය ම ජයගත් මට මේ කුඩා හෙළ දිවයින යටත් කර ගන්නට නොහැකි වූයේ එහි ඇති කුමන බලයක් නිසාද?” යන්නයි.

මෙයට පිළිතුරු දුන් බුද්ධ ශ්‍රාවකයන් ප්‍රකාශ කර සිටියේ, “මහරජ ඒ හෙළ දිවයින යනු ජන්බුද්වීපයයි, බුද්ධ රාජ්යයයි. එහි පවතින්නේ ධර්ම රාජ්යයක්. බුද්ධ රාජ්යය යුද්ධ බලයෙන් යටපත් කළ නොහැකියි. ඒ නිසා යුද්ධයෙන් හෙළදිව යටත් කර ගන්නට තිබෙන ආශාව අදහස අතහැර දමන්න” යනුවෙනි. මේ අනුව යුද්ධ කිරීමේ අදහස සම්පූර්ණයෙන් ම අත්හැර දැමූ අශෝක මහරජතුමාට අලුත් ම අදහසක් පහළ විය. ඒ අලුත් අදහස නම් තමන් ද බුද්ධ රාජ්යයක් – ධර්ම රාජ්‍යයක් තම රාජ්යය තුලම ස්ථාපිත කළ යුතුය යන්නයි. මේ අනුව වසර නවයක් තිස්සේ ම යුද්ධයෙන් බලයෙන් රට පාලනය කළ යුගය අවසන් කර ධර්මයෙන් රට පාලනය කිරීමේ යුගයක් ඇති විය. චණ්ඩාශෝක ධර්මාශෝක බවට පත් විය.

මේ අනුව බුද්ධ රාජ්‍යය යනු කුමක්ද, ජන්බුද්වීපය යනු කුමක්ද, එහි ඇති විශේෂ ස්ථාන හා වත්පිළිවෙත් මොනවාද යනාදී දේ ගැන කරුණු සොයා බලා තමන්ට වාර්තා කරන ලෙසින් අශෝක රජු පුරෝහිතයින් නව දෙනෙකු ම හෙළ දිවයින කරා පිටත් කර එවීය. බුද්ධ රාජ්‍යය,  ජන්බුද්වීපය පිළිබඳව සියලු තොරතුරු හා කරුණු සටහන් කරගෙන එන ලෙස ද ඔවුන්ට නියෝග කළේය. (මහාවංශයේද මේ බව පැහැදිලිවම සටහන් කර ඇත.). මේ අනුව හෙළ දිවයින ගැනත්, ජන්බුද්වීපයය ගැනත්, බුද්ධ රාජ්යය ගැනත්,  බුද්ධ ධර්මය ගැනත්,  බොහෝ තොරතුරු අශෝක රජුට තම පුරෝහිතයින් වෙතින් ලබා ගන්නට හැකි විය. මේ සියලු තොරතුරු දැන ගත් අශෝක මහ රජුට පුදුම විධියේ අදහසක් පහළ විය. ඒ අදහස නම් තම ඉන්දීය අධිරාජ්‍යය පුරාම බුද්ධ රාජ්‍යයක් කෘතීම ලෙසින් ප්‍රතිශ්ඨාපනය කිරීමයි. මේ අදහස අනුව හෙළදිව ජන්බුද්වීපයේ එදා පැවති සියලු වෙහෙර විහාර , ජනපද, පූජනීය ස්ථාන සියල්ල ම ඉන්දියාවේ ද ආකෘති ලෙසින් පිහිටුවීම එතුමා ආරම්භ කළේය. ඒ අනුව අශෝක මහ රජුගේ නියෝගයෙන් මුළු ඉන්දීය අධිරාජ්යය පුරාම විසිරී පැතිරී යන ආකාරයෙන් තුන්වසරක් තුලදී වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩ නංවා එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද සමහරක් නම් ගම් පවා ඒවාට ආරෝපනය කෙළේය. මීට අමතරව එදා ජම්බුද්වීපයේ පැවති සොලොස් මහා ජනපදයන්ට අනුරූපව ඉන්දියාවේ ද සමහරක් ජනපදයන් ම නාමිකව නම් කෙළේය. විශෂයෙන් ම ගෞතම බුදුන්ගේ උපත, බුද්ධත්වය, පළමු ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානයන් මෙන් ම පිරිනිවන් පෑ ස්ථානයද සිහිපත් කිරීම සඳහා විශේෂ ස්මාරක ස්ථානයන් ගොඩ නැඟීය. ඒ වාගේම එදා හෙළදිව විශේෂ ස්ථානයන් වූ දෙව් රම් වෙහෙර, ජේතවනාරාමය, රජගහ නුවර වේළුවනාරාමය ආදී ප්‍රධාන ස්ථානයන් ද විශෙෂයෙන් ම ගොඩ නැංවීය. එසේම අශෝක මහරජතුමා ධර්ම අමාත්යයින් පත් කර මේ වෙහෙර විහාරවලට බුද්ධ ශ්‍රාවකයින් ද ගෙන්වා ගන්නටත් ක්‍රියා කළේය.

අශෝක මහරජතුමා ගොඩනැඟූ මෙම ආකෘති සිද්ධස්ථාන වල ආගම් බේදයකින් තොරව එදා ඉන්දියාවේ පැවති සියලු ආගමිකයින්ට ලැගුම් ගත හැකි බව ද ප්‍රකාශ කෙළේය. එදා ඉන්දියාවේ පැවති සියලු ආගම් වල අනුගමනය කළ යහපත් ප්‍රතිපත්ති සමග හෙළදිවෙන් ගෙන ආ බුද්ධ ධර්මයේ යම් යම් ලෞකික අවිහිංසාවාදී ප්රතිපත්ති ද, පංචසීල ප්‍රතිපදාව ද තවත් යම්යම් විශේෂ අංගයන් ද එක් කර මෙතෙක් හෙළදිව පැවැති පවිත්ර බුද්ධ ධර්මය වෙනුවට ඉන්දියාවේදී බුද්ධාගමක් ස්ථාපිත කරන්නටත් අශෝක මහරජතුමා සමත් විය. තම අධිරාජ්යය පුරාම මෙම අලුත් ආගම පැතිර වූ අශෝක මහරජතුමා ඉන්දියාවේ සියලු අසල්වැසි රාජ්‍යයන් වෙත ද මේ අලුත් ආගම පැතිරවීම සඳහා ධර්ම දූතයින් පිටත් කර යැවීය. මේ අනුව අශෝක මහරජුගේ ජීවිත කාලය තුලදී පෙරදිග බොහෝ රටවලට බුද්ධාගම පැතිර ගියේය. මෙහි නියත ප්‍රතිඵලය වූයේ නිවන් දකින්නට උපකාර වන ලෙසින් ම එදා ගෞතම බුදුපියාණන් දේශනා කර වදාළ පරම පවිත්‍ර බුද්ධ ධර්මය වසර 300 කට පමණ පසුව නැවතත් ආගම් සංකල්පවල බලයට යටත් වී බුද්ධාගමක් ලෙසින්  ව්‍යාප්ත වීමයි.

අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක් පිහිටුවා ඉන්දියාවේ ධර්ම රාජ්‍යයක් ද ස්ථාපිත කර බුද්ධාගම ඉන්දීය රාජ්‍ය ආගම බවට ද ප්‍රකාශ කරන අවස්ථාව වන විටත් මේ හෙළ දිවයිනේ කොටසක එනම් දේව හෙළයේ (එදා බුදුන් උපත ලැබූ ජන්බුද්වීපයේ) බොහොමයක් ස්ථාන වල පරම පවිත්‍ර බුද්ධ ධර්මය අනුගමනය කරමින් මඟපල ලැබූ අරහතුන් වහන්සේලා ම විසි තිස් දහසකටත් වඩා වාසය කළ බවද ඉතිහාසයෙන්ම පැහැදිලි වෙයි. මේ යුගය වන විටත් හෙළදිව ජන්බුද්වීපයේ කොටසක පරම පවිත්‍ර බුද්ධ ධර්මය පැතිර පැවති අතර ම තවත් කොටසක කිසිම ආගමක් ධර්මයක් නැති ගෝත්‍රික ජනතාවක් ද වාසය කළහ. ඒ යක්ෂ හෙළයේ යි. එදා ගෞතම බුදුපියාණන් ජීවමානව ම හෙළදිව ජන්බුද්වීපයේ වැඩවසන යුගයේ දී පවා හෙළදිව මෙම කොටසේ ජීවත් වූ යක්ඛ, නාග, කුම්භාණ්ඩ , හා ගාන්ධර්ව ගෝත්‍රික ජනයාගෙන් බහුතර කොටසක් බුදුන් දේශනා කළ ධර්මය පිළිගත්තේ ම නැත. පසු කලෙක මෙම යක්ෂ ගෝත්‍රික නායකයින්ව මරවා ඉන්දියානු ජාතික විජය රජු යක්ෂ හෙළයේ පාලනය භාර ගත්තද එහි විසූ පොදු ජනයාට හෝ විජය රජුගෙන් පැවත ආ වෙනත් රජ වරුන්ට හෝ බුද්ධ ධර්මය අනුගමනය කරන්නට ද දැනුමක් නොවීය. මිහිඳු හිමියන් මෙන් ම අශෝක මහරජතුමා ද සිදු කළේ එදා මෙම යක්ෂ හෙළයේ විසූ රජුට මෙන්ම එහි ජීවත් වූ පන්සිල් පවා නොරැකි මිනිසුන්ට ද බුද්ධාගම හඳුන්වා දීමයි. මේ ආකාරයට අනුරපුර රාජධානියට අශෝක රජු හා මිහිඳු හිමියන් බුද්ධාගම හඳුන්වා දෙන අවස්ථාව වන විටත් දේව හෙළයට අයත් මේ රටේම බොහෝ ප්රදේශවල මඟපල ලාභී අරහතුන් වහන්සේලා දස දහස් ගණනින් වැඩ සිටි බව ඉතිහාසයේ පැහැදිලිව ම සඳහන් ය. ලංකාවට බුද්ධාගම ගෙනා බව කියන මිහිඳු හිමියන් මෙන් ම මිහිඳු හිමියන්ගේ සොහොයුරිය වූ සංඝමිත්තා මෙහෙණියද එදා හෙළදිව පිරිසිදු බුද්ධ ධර්මය පැවති සැවැත් නුවර, රජගහ නුවර වැනි ප්‍රදේශ වලට පැමිණ එදා එහි සිටි මහ අරහතුන් වහන්සේලා ගෙන් බුද්ධ ධර්මය අසා දැන ඉගෙන ගෙන මඟපල ලබාගත් බව ද පෙන්වා දිය යුතුය. මිහිඳු හිමියන් හෙළබස හා මාගධී බස ඉගෙන ගත්තේ ද මේ දේව හෙළයේදි ම ය.

මිහිඳු හිමියන් හා සඟමිත් කුමරිය ඉන්දියාවේ සිට ලංකාවට පැමිණෙන අවධිය වන විටත් හෙළදිව නැඟෙනහිර, මධ්යම, හා දකුණු දිග ප්‍රදේශ වල පිහිටි ශාක්ය ජනපද රාශියක්ම ශාක්‍ය කුමාරවරුන්විසින් ම පාලනය කරනු ලබමින් පැවතුණු බවද පෙනේ. කාවන්තිස්ස රජු, මහාසේන රජු, හා අභය රජු මෙන් ම තවත් නම් සඳහන් වන හා නම් සඳහන් නොවන රජවරුන් ගණනාවක් ම මේ හෙළදිව ජන්බුද්වීපයේම තිස්සමහාරාමය, සිතුල්පව්ව, රජගහනුවර, දෙව්දහනුවර, කිඹුල්වත්පුර ආදී නගරවල රජකම් කළ බවද පෙනේ.

බුද්ධාගම (ලංකාපුර) අනුරාධපුර රාජධානියට හඳුන්වා දීමත් සමඟම මෙතෙක් අනුරාධපුරයේ පැවති සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් වී ගියේය. කෙත්වතු කුඹුරු වගා කිරීමේ ක්‍රමයක් ද එහි ක්‍රමයෙන් ආරම්භ විය. මිහිඳු හිමියන් බුද්ධාගම අනුරාධපුරයට ගෙනා අවධියේ පවා අනුරපුර රාජ්‍යයේ රාජ්‍ය පාලකයා ද තම යටත් වැසියන් ද සමග පසලොස්වක පොය දිනයේ දී පවා සතුන් දඩයම් කිරීමට ගිය බව ඉතිහාසයේ සඳහන් ය. මේ සතුන් දඩයම් කිරීමේ සංස්කෘතිය වෙනස් කර කෙත්වතු වගා කිරීමට පසු කලකදී ඉන්දියාවෙන් අනුරාධපුරයට පැමිණි කුල දහ අටකට අයත් උගත් වියත් පිරිසේ බලපෑම ද බෙහෙවින් ම හේතු වන්නට ඇත. මේ පිරිසගේ බලපෑම අනුව එදා අනුරපුර පැවති රාජ්‍යයේ යක්ෂ ගෝත්‍රික පාලනය අවසන්ව හෙළදිව පාලන බලයද සහමුලින්ම වෙනස් වී යක්ෂ හෙළය පමණක් නොව දේව හෙළයේ පාලනයද ක්රමයෙන් අනුරපුර පාලනයට නතු විය.

අශෝක මහරජතුමාගේ රාජ්‍ය පාලනයේ දසවැනි වර්ෂයේ පටන් මහරජුගේ මරණය දක්වාම ඔහු ධර්ම රාජ්‍ය සංකල්පයෙන්ම රට පාලනය කෙළේය. නමුත් පරම පවිත්ර බුද්ධ ධර්මයේ ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ නිවන් දැකීම පිළිබඳව හෝ පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගය අනුගමනය කිරීම හෝ අශෝක රජතුමා කිසි විටකත් විශ්වාස නොකළ බවත් පැහැදිලිව ම පෙනේ. ඔහු එතෙක් විශ්වාස කළ, ඉන්දීය ජනයාගෙන් බහුතරයක් ද විශ්වාස කළ හින්දු දේව ආගම් සංකල්ප ඔහු කිසි විටකත් අත නොහැරියේය. නිරතුරුව ම ආගමික සංචාරයන්හි යෙදුණේ හින්දු තීර්ථයන් කරා බවද බෂාම්තුමා පැහැදිලිව ම සඳහන් කරයි. ඒ වාගේම කිසි ම අශෝක සෙල්ලිපියක පවිත්‍ර බුද්ධ ධර්මය ගැන කිසිම සටහනක් සඳහන් නොවන බවත් ආගම් සංකල්ප හා දේව ඇදහිලි පිලිබඳව නිරතුරුව ම විස්තර ලියා ඇති බවත් ඉතාමත් ම පැහැදිලිව දකින්නට ඇත. ඒ අනුව අශෝක මහරජතුමා බුද්ධ රාජ්‍යයක්, ධර්ම රාජ්‍යයක් මෙන් ම කෘතිම ජන්බුද්වීපයක් ද ඉන්දියාවේ ස්ථාපිත කළේ තමා යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය ධර්මානුකූලව ආරක්ෂා කර තම බලය පවත්වා ගන්නටත් යුද්ධයෙන් තොර වූ ධර්ම පාලනයක් තම රටේ පවත්වා ගන්නටත් පමණි. නිවන පිළිබඳව කිසිම දැනුමක් ඔහුට නොවීය. විශ්වාසයක් ද නොවීය.

එදා ඉන්දියාවේ ප්‍රචලිතව පැවති වේද, ශිව, ජෛන, ආගම්වල පැවති යාග හෝම බලි බිලි සත්ව ඝාතන සියල්ල ම නවතා දමා සත්ව හිංසාව ද නවතා දමා අවිහිංසාව ජනයා අතරේ ප්‍රචලිත කරන්නටත් බුද්ධාගම අශෝක රජුට බලවත් සේම උපකාර විය.

අශෝක මහරජ තුමාගේ සංකල්පයක් අනුව බිහි වූ බුද්ධාගම ඉන්දියාවේ මෙන් ම අසල්වැසි සියලු ම රට වලත් කෙටි කලකට හෝ ව්යාප්ත විය. හෙළදිව යක්ෂ ගෝත්‍රික රාජ්‍යක්ව පැවති අනුරාධපුර කොටසේ ද මෙම බුද්ධාගම ව්‍යාප්ත විය. ඒ සමගම සිදු වූ විපර්යාසය නම් එතෙක් රුහුණේ දේව හෙළයේ ජන්බුද්වීපයේ පැතිර පැවති නිවන් දකින්නට උපකාර වූ පරම පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රමානුකූලව අභාවයට ගොස් අවසානයේ බුද්ධාගම පමණක් හෙළදිවයින පුරා ජනප්‍රිය වීමය. නිවන් දකින්නට උපකාර වන පරම පවිත්‍ර බුද්ධ ධර්මය පෘතග්ජන ලෝකයා අතරේ එතරම් ජනප්‍රිය දෙයක් නොවේ. එය හුදී ජනයාට ගැලපෙන හිතවාදී ආගම් සංකල්පයක් ද නොවේ. පරම පවිත්‍ර බුද්ධ ධර්මයට අනුව සැප කියා දෙයක් නැත. එය මායාවක් ම පමණි. දුක උරුම කර දෙන්නේ සැප හඹා යන හෙයිනි. නමුත් අශෝක රජතුමා දේව ආගම් සංකල්ප ද සමග ඒකාබද්ධ කර සකස් කළ බුද්ධාගමට අනුව දෙව් සැප මිනිස් සැප විඳිමින් ම නිවන් දකින්නට පැතුම් පතන ලෞකික ආගමික සංකල්පයන් ද බිහි විය. දෙව් සැප මිනිස් සැප අත්කර ගැනීම සඳහා ම සියලු පිංකම් කළයුතු බව පෙන්වා දුන් ලෞකික වූත් හුදී ජනයාගේ සිත් ගත්තා වූත් රජ සිටු වරුන්ට ප්‍රිය මනාප වූත් ආගමක් බවට ම බුද්ධාගම ද පරිවර්තනය විය. මේ අනුව නිවන් දකින පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත්ව ගොස් ලෞකික සැප සඳහා ම ක්‍රියා කරන බෞද්ධ ආගමිකයින් පිරිසක් මේ හෙළදිවෙහි ද පසු කාලයකදී බිහි වූහ. එදා අනුරාධපුරයේදී සිදු වූයේ මේ විපරියාසයයි.

ජන්බුද්වීපයේ දේවහෙළයෙහි එදා ඇදහූ ආගම් හැට ගණනක් ම බැහැර කරමින් ගෞතම බුදුපියාණන් ලෝකයාට පෙන්වා වදාළ, දේශනා කර වදාළ, උතුම් නිවන් මාර්ගය බුද්ධ පරිනිර්වානයෙන් වසර 1000 ක් පමණ කාලයකට පසුවමේ ආකාරයට හෙළදිවෙන් ද සහමුලින් ම යටපත් වී අභාවයට ම ගියේය. නැවතත් ආගමික සංකල්පවලට ම ජනයා හුරු පුරුදු වී බුද්ධාගම ද ඇදහිල්ලක් බවට ම පත්වී, දේව ආගම් සංකල්ප සමග එකතු වී වසර 1500 ක් පමණම කාලයක් අද වන විට ගෙවී ඇත. මේ අනුව හෙළදිව ඉතිහාසයේ බොහෝ යුගයන්හිදී බුද්ධාගම රාජ්ය ආගම ලෙසින් ද පිළිගෙන තිබුණේය. ගෞතම බුදුපියාණන් පෙන්වා වදාළ පිරිසිදු නිවන් මඟ නම් වැසී යටපත්ව ගියේය. එය ධර්මතාවයයි.

ජන්බුද්වීපය නමින් එදා ප්‍රචලිතව පැවති බුද්ධෝත්පත්තිය සිදු වූ මෙම දේව හෙළයේ එදා ප්‍රධාන ජනපද දහසයක් ම විය. මෙම ජනපද බොහොමයකමත් අශෝක රාජ්‍ය යුගය වන විටත් පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය ක්‍රියාත්මකව පැවතිණි. මහ රහතුන් වහන්සේලා මෙන් ම මඟපල ලාභීහුද වැඩ සිටියහ. පිරිසිදු බුද්ධ ධර්මය අනුගමනය කිරීම නිසාම, එහි ප්‍රතිඵලයක් ලෙසින් ම, හෙළ රජදරුවන් පවා මහණ වී යුද්ධ කිරීම අතහැර දමා, රජසැප හැර දමා, යෑම නිසා ක්‍රමානුකූලව රාජ්‍ය බලයද ගිලිහී හීනවී ගියේය. රාජ පරම්පරාවෝ ද අභාවයට ම ගියහ. අනුරාධපුරයේ පිහිටුවා ගත් අලුත් රාජ්‍යයට මේ සමගම රටේ බොහෝ ප්‍රදේශ ද යටත් විය. දුටුගැමුණු රජු කලකට පසුව දේවහෙළයේ රාජධානියකින් බිහි වූ එමෙන් ම අනුරපුර රාජ්‍යයද යටපත් කරගත් හෙළදිව එක්සේසත් කළ පළමුවන රජතුමා බවට පත් විය. අප දන්නා හෙළ ඉතිහාසයේ සිව් හෙළය ම එක් සේසත් කළ පළමු රජතුමා රුහුණෙන් පැමිණි දුටුගැමුණු මහරජතුමා ය.

දුටුගැමුණු රජතුමා රජ වන විටත් රුහුණේ දේවහෙළයේ සමහර රාජධානි වල පිරිසිදු බුද්ධ ධර්මය ම රැඳී පැවතිණි. නමුත් දුටුගැමුණු මහරජ බලයට පත් වීමත් සමග ම ඉන්දියානු බලපෑම්වලට ඔහු ද යටත් වී බුද්ධාගම දියුණු කරන්නට ඔහු ද සියලු ම කටයුතු කෙළේය. මේ අනුව ගෞතම බුදුපියාණන් පමණක් නොව අතීතයේ මේ මිහිතලය මත බුද්ධත්වයට පත් වු සියලු ම බුදුවරයින් වහන්සේලාට ම ඒ උතුම් බුද්ධ තත්වයට පත් වීමට ස්වභාව ධර්මයෙන් ම උපකාර වූ, උරුම වූ මේ රුහුණේ පිංබිම ක්‍රමයෙන් වල්බිහි වී මහ ඝණ වනයෙන් වෑසී යන්නට විය. කල් යත්ම මිනිසුන්ගෙන් ද තොර වූ මහා වනයක් බවට ම පත් විය. මුල් යුගයේ ඉදිකරන ලද දෙවිරම් වෙහෙර, රජගහනුවර මෙන් ම අනිකුත් සියලු ම සිද්ධස්ථාන ද වල් බිහි වී ජම්බුද්වීපය මහ වනයෙන් වෑසී මිනිසුන්ගේ මතකයෙන් නම් ගම් පවා ඉවත් වී සහමුලින් ම යටපත්ව ගියේය. මේ විනාශයට ස්වභාවිකව සිදු වු සුනාමි ජලගැලීම් හා නියගයන් මෙන්ම මිනිසුන් විසින්ම නිර්මාණය කරගත් බොහෝ අකටයුතු ක්‍රියාවන්ද මුල් විය.

දේව හෙළයේ ඉදිකරන ලද වෙහෙර විහාර වල් බිහි වී ගියත් අශෝක මහරජ විසින් පසුව ඉන්දියාවේ ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය එතරම් ඉක්මනින් විනාශ නොවීය. ඒ බුද්ධ රාජ්‍ය ආකෘතියට අයත් සිද්ධස්ථාන පසුව හින්දුන් විසින් තම ආගමික සිද්ධස්ථාන ලෙසින්ද පවත්වාගෙන යන ලදී.  අනුරාධපුර රාජධානියේදී පොතපත ලියූ බොහෝ ඉන්දීය ජාතික මෙන් ම ලාංකික ගත්කතුවරුන් ද ඉන්දියාවේ පිහිටු වූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගැන දැන සිටී අතර එදා හෙළදිව ජන්බුද්වීපයේ බුද්ධ කාලයේ දී ඉදිකරන ලද මුල් ගොඩනැගිලි හෝ ඒවා පිහිටි ස්ථානයන් පිලිබදව හෝ දැන නොසිටින්නට ඇත. මේ අනුව අනුරපුර යුගයෙන් පසු එදා මෙදා තුර පොත පත ලියු සියලු දෙනාමත් ජන්බුද්වීපය යනුවෙන් ලියා තැබුයේත් අදහස් කළේත් අශෝක රජු විසින් දෙවනුව ඉදිකර ලද ආකෘති බුද්ධ රාජ්‍යයේ නටබුන් මිස හෙළ දිව පිහිටි මුල් බුද්ධ රාජ්යයේ නටබුන් නොවේ. නමුත් හෙළ දිව ඉතිරි වූ නටබුන් අදටත් විනාශ නොවී ධර්මතාවයෙන්ම රැකී පවතින බව පෙන්වා දිය යුතු ය.

බුදුන් උපන් දේශය යන අර්ථය ඇතිව ජම්බුද්වීපය යනුවෙන් එදා බුද්ධ කාලයේ දී දේව හෙළයට භාවිතා කළ නාමය, පසුව මේ රටේ ම විසූ ගත්කතුවරු හා අර්ථ කථා ලියු අය ඉන්දියාවට භාවිතා කළ නමකැයි අනුමානයෙන් සිතා ක්‍රියා කළහ. එය පොත්පත් වල ද ලියූහ. ජන්බුද්වීපය යන නාමය පිලිබදව මුල් බැසගත් මේ වැරදි මතය වෙනස් කර මේ පිලිබදව සත්ය නිවැරදි ලෙසින් ලෝකයාට හෙලිකර දෙන්නට දැන් කාලය පැමිණ තිබේ. මේ පිලිබදව එදා මෙදාතුර කාලය තුළ බොහෝ අය යම් යම් උත්සාහ දැරුවද එය පිලිබදව සත්‍ය හෙලි කරන්නට ඔවුහු අපොහොසත් වූහ. මෙයට මූලික ම හේතුව බුද්ධාගම හා බුද්ධ ධර්මය යනු එකක් ම යැයි තවමත් බොහෝ අය දැඩිව විශ්වාස කිරීම යි. බුද්ධ ධර්මය නොදැනීම යි.

පිරිසිදු පවිත්‍ර බුද්ධ ධර්මය යලින් මතු වී නිවන් දකින්න උපකාර වන ලෙසින් ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරන්නට පටන් ගැනීමත් සමගම “ජන්බුද්වීපය” හා එහි ඉතිහාසය පිලිබදව ද මෙතෙක් පැවති දුර්මත බැහැර වී පිරිසිදු ලෙස ම නියම සත්‍ය හෙලි කිරීමට ද දැන් කාලය පැමිණ ඇත. මෙය යුග මෙහෙවරක් ඉටු කිරීමකි.

අශෝක මහරජතුමා එදා ඉන්දියාවේ තම අධිරාජයය තුළ බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ඉදි කළේ කිසිවකු නොමග යවන්නට හෝ වෙනත් වංක වැරදි අදහසක් හෝ නොවේ. බුදුන් උපන් දේශය ඉන්දියාව යැයි ලෝකයාට පවසා සිටීමේ කිසි ම අදහසක් එදා අශෝක මහ රජතුමා තුළ නොවීය. අශෝක ලිපි සියල්ල ම පිහිටු වූයේත් මේ ස්ථානයෙන් සිහිපත් කිරීම සදහම පමණි. අශෝක රජුට අවශය වූයේ තමන් යුද්ධ කර අල්ලා ගත් විශාල අධිරාජ්‍යය දැහැමෙන් සාමයෙන් තම මුලු ජීවිත කාලය තුළම යුද්ධයකින් තොරව පාලනය කිරීමට සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීමටයි. එය සාර්ථක විය.  ඒ අතර ම ලංකාවේ ම ගත්කතුවරු පසු කාලයකදී මෙය වැරදි ආකාරයෙන් ලෝකයාට ඉදිරිපත් කළහ. මේ විකෘති කිරීම ඉන්දියාවේදී සිදු වූවක් නොවේ.

අශෝක මහරජතුමා එදා හෙළදිව ජන්බුද්වීපයේ පැවති වැදගත් ස්ථාන ඉන්දියාවේ ද ඉදිකරන අවස්ථාවේදී මේ ස්ථානයන් අතර දුර ප්‍රමාණයන් ගැන පවා සලකා නැත. ඔහුට අවශ්‍ය වූයේ තම රාජ්‍යය පුරාම මේ ස්ථානයන් ඉදි කිරීම ය. වංචාවක් කිරීමේ අදහසක් වූයේ නම් මේ දුර ප්‍රමාණයන් ද සලකා කටයුතු කරන්නට තිබුනි.

කිඹුල්වත්නුවර සුද්ධෝදන මාලිගාවේ සිට දෙව්දහ නුවරට එදා සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ ස්ථානයට හෙළදිව ජන්බුද්වීපයේ නියම වශයෙන් ම පැවති දුර කි.මීටර් 40ක් 50ක් පමණ වූ දුරකි. ඒ අද දිඹුලාගල සිට කුණ්ඩසාලය තෙල්දෙනිය අසල ප්‍රදේශයටයි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තු පුරය යැයි මුලින්ම හඳුනාගත් තැන සිට නේපාලයේ ලුම්බිනියට දුර කි.මී. 3000 ක් පමණ වේ. (පසු කලෙක මේ දුර ගැන ම සලකා, කපිලවස්තුපුරය ලෙස වෙනත් තැනක ද අලුතින් හදුනාගෙන නම් කර ඇති බවත් පෙනේ. ඒ අද උගතුන් විසිනි) දරු ප්‍රසූතියට ආසන්නයේ ගැබ් පෙරහර පාන්නට තම දෙමවුපියන් වෙත ගමන් කරන මවු කෙනෙකුට යාන වාහන නොවූ එවන් යුගයක මෙවැනි දුරක් මග ගෙවා ගමන් කිරීම කිසි සේත් ම සිතාගත නොහැකිය. ගැබ් පෙරහර පෑම ලංකාවේ එදා මෙන් ම අදටත් පවතින සිරිතකි. ඉන්දියාවේ මෙවැනි සිරිත් නැත. ගැබ් පෙරහර පෑම යනු දරු  ප්‍රසූතියට ළංවූ මවක තම දෙමව්පියන් කරා යෑමයි. ඒ වාගේ ම අද ඉන්දියාවේ බුද්ධගයාව යැයි හදුනාගෙන නම් කළ ස්ථානයේ සිට පළමු ධර්ම දේශනය කළ ඉසිපතනය යැයි හඳුනා ගත් ස්ථානයට කි. මීටර් 450 ක් පමණ දුර ගමන් කළ යුතුය.

හෙළදිව ජන්බුද්වීපයේ සිරි මහා බෝධින් වහන්සේ අදත් වැඩ සිටින හිරිවඩුන්නේ සිට කසී රට පිහිටි නියම ඉසිපතනයට [අද මැදවච්චිය අසල පිහිටි ඉසින්බැස්සගල නම් ස්ථානයට] ගෞතම බුදුන් එදා පස්වග මහණුන් සොයා ඇවිද්ද දුර කි. මීටර් 60 ක් පමණ වූ දුරකි. මේ දුර ගමන් කරන්නටත් එදා ගෞතම බුදු පියානන්ට දින 3ක් පමණ කල් ගත විය. එදා කී. මීටර් 450ක් දුර ගෙවා යන්නට නම් ඒ අනුව දින 20 ක් වත් ගත විය හැක. නමුත් වෙසක් පොහොය දින බුද්ධත්වයට පත් වූ ගෞතමයන් වහන්සේ සත්සතියක් එහි ගතකොට අටවැනි සතිය අවසානයේ ඇසල පොහොය දින ඉසිපතනයේ දී පස්වග මහණුන්ට දහම් දෙසූ බව ද සඳහන් ය. මේ කරුණු ගැන තර්කානුකූලව නැතත් ධර්මානුකූලව කරුණු සලකා බැලිය යුතු ය.

ඒ වාගේ ම එදා හෙළදිව ජන්බුද්වීපයේ විශාලා මහනුවර සිට කුසිනාරාව තෙක් ද රජගහ නුවර සිට විශාලා මහනුවර තෙක් ද පැවතී දුර ප්‍රමාණයන් හා අද ඉන්දියාවේ ඒ ස්ථානයන් ලකුණු කර ඇති ස්ථාන වලට ඇති දුර ප්‍රමාණයන් ද සලකන විට මෙම ස්ථාන සියල්ල ම හිතාගත නොහැකි තරම් දුරින් පිහිටා ඇත. මේ කරුණු ද සසදා බලා කෙනෙකුට ඇත්ත නැත්ත තේරුම් ගත හැකි ය. ඉන්දියාවේ වන්දනා චාරිකාවල යන, චාරිකාවල ගිය, හැම කෙනෙකුට ම මේ ගැන අත්දැකීම් ද ඇත. ( ඉදිරි පරිච්චේදයක දී මේ ස්ථානද විස්තර කරදී ඇත.)

එදා ඉන්දියාවේ අශෝක රජතුමා ව්සින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘතිය සහ ඊට වර්ෂ 300 කට පමණ පෙර කාලයකදී මේ හෙළදිව ජන්බුද්වීපයේ මුල් බුද්ධ රාජ්‍යය තුළ ඉදිකරන ලද ගොඩනැගිලිවල පදනම් ද අදටත් ඉතිරිව ඇත. මේ නටබුන් සන්සන්දනය කර බලන කෙනෙකුට පහත සදහන් වෙනස්කම් ද දැක බලාගත හැකි ය. සත්‍යවබෝදයට මේවා බෙහෙවින් ම උපකාර කරගත හැකි ය.

1. බුද්ධ කාලයේ හෙළදිව ජන්බුද්වීපයේ රජකම් කළ රජදරුවන්, සිටුවරුන්, ධනවතුන් ඉදිකළ විවිධ ගොඩනැගිලි වෙහෙර විහාර ආදියේ අදටත් ඉතිරිව ඇති සුවිශේෂී නටබුන් දෙස බලන විට ඒ සියලු ගොඩනැගිලිවල පදනම තනි කලුගලෙන්, පදම් කරන ලද කලුගල් පුවරුවලින් සකස් කර ඇති බව පෙනේ . ඒ සියලු ගල් පුවරු උසස් තාක්ෂණයක් යොදාගෙන සකස් කරගෙන ඇති පවත් පෙනේ. අද කළු ගල් සකස් කර ග්රෑනයිට් සාදාන්නාක් මෙන් එදා හෙළදිව වැසියන් කළුගල් පදම්කර සකස් කර ගත් බව පෙනේ. අදටත් රිටිගල, හිරිවඩුන්න, අම්පාරේ බුද්ධංගල, රජගල, නිල් ගල, තිරියාය ප්‍රදේශවල හා බලංගොඩ බුදුගල, කුරගල ප්‍රදේශවලත්, සිතුල්පව්ව, තිස්සමහාරාමය, මාලිගාවිල, කුඩුම්බිගල, මුහුදු මහ විහාරය මෙන් ම විශේෂයෙන් ම සේරුවිලට දකුණෙන් ඇති කොට්ටියාරම් නුවරත්, කටාරම් පුරයේත් එදා ඉදිකල කළුගල් පුවරු හා ගොඩනැගිලිවල පදනම් අදටත් ඉතිරිව ඇති නිසා මේ කළුගල් තාක්ෂණය දියුණුව පැවති ආකාරය සිතාගත හැකි ය. නමුත් ඉන්දියාවේදී අශෝක මහරජ විසින් ගොඩනැගූ බුද්ධ රාජ්‍යයේ ආකෘතිය ගොඩනැගීමේදී භාවිතා කර ඇත්තේ ගඩොල් ය. අනුරාධපුර යුගයට පෙර බුද්ධ කාලයේ දී හෙළදිව ගඩොල් භාවිතා කර නැත.

2. අශෝක මහ රජු විසින් එදා ඉන්දියාවේ ඉදිකළ බොහෝ ගොඩනැගිලිවල අදටත් ඉතිරිව ඇති නටඹුන් සියල්ල ම ගැන සලකන විට ඒවාගේ හින්දු සංස්කෘතියට, හින්දු ගෘහහනිර්මාණ ශිල්පයට හෝ ග්‍රීක ගෘහ නිර්මාණ ශිල්පයට  අයත් ලක්ශණයන් හා ඒවාගේ බලපෑම් ඇති බව පැහැදිලිවම දකින්නට ඇත. නමුත් එදා හෙළ දිව බුද්ධ කාලයේ ඉදිකරන ලද සියලු ම ගොඩනැගිලි පදනම්වල දක්නට ඇත්තේ අපට ම ආවේනික වූ, ලොව වෙනත් තැනක දක්නට නැති ශිල්ප ක්‍රම හා ලක්ෂණයන් ය. මේ බව රිටිගල පුරාවිද්යා නටඹුන්වලින් පමනක් ම වුවත් දැකගත හැකි ය. අද රිටිගල යැයි අප හදුන්වන්නේ එදා සුදන්ත (අණේපිඬු) සිටුතුමා තම ධනය වැය කර ඉදිකරන ලද දෙව්රම්වෙහෙරේ නටඹුන් ය. එය ගෞතම බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩසිටී ජේතවනාරාමය යි. මේ අනුව ම එදා ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලැබූ, දේව හෙළයට අයත්ව තිබු සොලොස් මහ ජනපදවලම රජ කළ රජදරුවන් හා මහ ධන සිටුවරුන් බුද්ධ ප්‍රමුඛ මහා සන්ඝයාට පූජා කළ වෙහෙර විහාර කිසිවක් ගඩොලින් සෑදු ඒවා නොවේ. හින්දු හෝ ග්‍රීක සංස්කෘතියක ලක්ෂණවලින් යුතු ඒවා ද නොවේ. නමුත් පසු කලෙක අනුරාධපුර යුගයේ හෝ ඊට පසුව හෝ ඉදිකළ ගොඩනැගිලි වෙහෙර විහාර බොහොමයක් ගඩොල් භාවිතයෙන් ඉදිකළ හින්දු හා ග්‍රීක ගෘහනිර්මාන ශිල්පිය බලපෑම් සහිත වු ඉදිකිරීම් ය. ඒ ඉන්දීය බලපෑම්වලට පසු යුගයයි.

3. පිළිම නෙළීම, පිළිම වන්දනාව හෝ පිළිම තැනීම එදා බුද්ධ යුගයේ මුල් හෙළදිව ජන්බුද්වීපයේ දකින්නට නොතිබිණි. පිළිම නෙළීම හා පිළිම වන්දනාව භාවිතයට පැමිණියේ ග්‍රීක බලපෑමක් අනුව ය. අනුරාධපුර යුගයේද පසුව ඉන්දීය බලපෑම් මත පිළිම නෙළීම, පුදසුන් සකස් කිරීම, ලංකාවේ ද ආරම්භ කළේ ඉන්දියා වෙන් ලංකාවට පැමිණි කුල දහඅටක ශිල්පීන්ගේ ක්‍රියාකාරකම් නිසා ය. පවිත්‍ර බුද්ධ ධර්මයේ මේවා කිසිවක්ම නොවීය. බුද්ධාගමේ, බෞද්ධ සංස්කෘතියේ මේවා සියල්ල අඩංගු ය. එදා හෙළදිව වැසියන් වන්දනාමාන පැවැත්වුයේ බුදු සිරි පතුලට හා ඇසතු බෝධියටය.

4. එදා හෙළදිව ජන්බුද්වීපයේ භාවිතා කරන ලද කළුගල් පදම් කර සකස් කරගත් විශ්මිත තාක්ශණය පිළිබදව ද මෙහි සටහනක් තැබිය යුතු ය. මෙය ඉතාමත් ම දියුණු තාක්ශණයකි. ගල් වඩුවන් විසින් ගල් කඩා, ගල් කොටා සකස් කර, ගල් පුවරු සකස් කරගත් ක්රමයක් මෙහි නැත. විශේෂයෙන් ම මෙම ගල් පුවරු භාවිතා කළේ ආගමික ගොඩනැගිලි නැනීමේදී ම පමණක් බව ද දකින්නට ඇත. මෙසේ කළුගල් පදම් කර සකස් කර ගන්නට එදා භාවිතා කළේ කැළයෙන් ම සපයා ගත් කැලෑ කොළ තුන් වර්ගයක් යම් පදමකට කොටා මිරිකා සකස් කරගත් දියරයකට තවත් කැළයෙන් ම සොයාගත් ගෙඩි වර්ගයක යුෂ ද මිශ්‍ර කිරීමෙනි. මෙම මිශ්‍රණය යොදාගෙන කළුගල් සියුම් ආකාරයට පැලීමටත් කිරිමැටි මෙන් කළුගල් මෙලක් කර කැමති ආකෘතියට ගල් සකස් කර, කැමති හැඩයකින් ගල් පුවරු ලබා ගන්නටත් හැකි වු උසස්  ක්‍රමවේදයක් එදා හෙළදිව තිබිණි. ඉන්දියාවේ සෘෂිවරු පවා මෙම උසස් ක්‍රමවේදයක් එදා ඉන්දියාවේ සෘශිවරුන් පවා මෙම උසස් ක්‍රමවේදය එදා දැන සිටියේ නැති බව මෙහිදී පැවසිය යුතුය.

බුද්ධ කාලයේ හෙළදිව මෙවන් උසස් තාක්ෂශනයක් නොවුයේ නම් අද රිටිගල අක්කර 1000 ක තරම් විශාල ප්‍රදේශයක් තුළ විශේෂ ස්ථාන 58 ක විසිරී පැතිර පවතින ලක්ෂ සංඛ්‍යාත වූ මට සිලිටු ගල් පුවරු සකස් කරගන්නට වසර දහසකටත් වැඩි දීර්ඝ කාලයක් ගත වෙනු ඇත. නමුත් එදා මේ සියල්ල සකස් කරගෙන ඇත්තේ වසරක් හෝ දෙකක් ඇතුළතදී ය. අද මෙය විශ්ව ක්‍රමයකුගේ ක්‍රියාවක් ලෙසින් දකින්නට ඇතත් එය එදා ජන්බුද්වීපයේ පැවති උසස් තාක්ශණය විදහා පෙන්වීමකි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ නිව‍රැදි ස්ථාන

මහා පරිනිබ්බාන සුත්‍රයේ දැක්වෙන පරිදි ගෞතම බුදුපියාණන් වහන්සේ ම එදා ආනන්ද හිමියන් අමතා මේ ආකාර වූ ප්‍රකාශයක් කර ඇත.

“ චත්තාරි මානි ආනන්ද,
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානි, සංවේජනීයානි ඨානානි
කතමානි චත්තාරි”

1) “ඉධ තථාග‍තෝ ජා‍තෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

2) ඉධ තථාග‍තෝ අනුත්තරෝ සම්මා සම්බෝධිං
අභිසම්බුද්ධෝති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

3) ඉධ තථාග‍තෝ අනුත්තරං ධම්ම චක්කං
පවත්තන්ති ආනන්ද
සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං

4) ඉධ තථාග‍තෝ අනුපදිසේසාය, නිබ්බාන ධාතුයා
පරිනිබ්බු‍තෝති ආනන්ද, සද්ධස්ස කුලපුත්තස්ස
දස්සනීයානං සංවේජනීයානං ඨානං”

ගෞතම බුදුපියාණන් ම එදා ආනන්ද හාමුදුරුවන් අමතා මේ ආකාරයෙන් පවසා ඇත. “ආනන්ද නිවන් මඟ සොයන, ධර්ම මාර්ගයේ යන, ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට දස්සනේන සංපන්නවීමට,  චිත්ත ප්‍රසාදයක් ඇති කරගෙන සම්මා දිට්ඨියට පත් වන්නට -සෝතාපත්ති මාර්ගයෙන් සෝතාපත්ති ඵලයට පත් වන්නට -බලවත් ලෙසින් ම උපකාර වන, උපකාර කර ගත හැකි ස්ථාන හතරක් දැක බලා වැඳපුදා ගෙන සිත පහන් කර ගැනීම ද සුදුසු ය” මේ ස්ථාන හතර නම්,

1) සිදුහත් කුමාරයාගේ උපත සිදු වූ ස්ථානය
http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16
2) ගෞතම බුදුපියාණන් අනුත්තර සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය
http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16
3)  ගෞතම බුදුපියාණන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ ස්ථානය හා
http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16
4)  ගෞතම බුදුපියාණන් අනුපදිසේස නිර්වාන ධාතුවෙන් පිරිනිවන් පෑ ස්ථානය
http://maps.google.com/maps?q=6.633791,80.875546&hl=en&t=h&z=16

යන හතරයි.

chaththaro_tanani
එකම රේඛාවක සමාන්තර දුරින් පිහිටි ස්ථාන හතර

ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයා යනු නිවැරදිව ධර්මය අසා දැන , නියම බුද්ධ ධර්ම මාර්ගය ම අනුගමනය කරන, සෝතාපන්න මාර්ගයේ ගමන්කරන කෙනෙකු ගැන හැඳින්වූ විෂේෂණ පදයකි. දැඩි භක්තියෙන් මුළා වූවකු ශ්‍රද්ධාව ඇති කෙනෙකු වන්නේ ද නැත. මේ උතුම් ස්ථාන හතර පිළිබඳව බුදු පියාණන්ම දේශනා කර පෙන්වූ නිසා නිවැරදිවත් පිරිසිදුවත් මෙම ස්ථානයන් සොයා දැන ඒවායේ ඇති වැදගත් කම ද තේරුම් ගත යුතුය. මඟපල ලබන්නට උපකාර වන බුද්ධ ශක්තිය කේන්ද්‍ර ගත වී පවතින්නේ මේ ස්ථානයන් ආශ්‍රයෙන් ම පමණි. එදා බුදුපියාණන් වැඩ සිටි යුගයේ නම්, ශ්‍රාවක මහ අරහතුන් වැඩ සිටි යුගයකදී නම් මේ ස්ථාන එතරම් වැදගත් වූයේ නොවේ. ඊට හේතුව බුද්ධ රූපය දර්ශනය ම බුද්ධ කටහඬ ශ්‍රවණයම, ඒ බුද්ධ ශක්තිය ම, එදා සද්ධස්ස කුලපුත්‍රයින්ට ජීවමානවම ලැබුණු නිසාය. නමුත් අද නිවැරදි ලෙසින්ම, මේ විශ්ව ශක්තිය ලබා ගත හැකි වන්නේ මේ ස්ථානයන් ද නිවැරදිව ම දැන දැක බලා වැඳ පුදා ගැනීමෙනි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මය ම මතුකර පෙන්වා දී ලෝකයාට, දේශනා කරමින් ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින් පිරිසක් ද බිහි කරමින් එවන් පිරිසකට මඟපල ලබා නිවන් අවබෝධ කර ගැනීමට උපකාර වන පරිදි අවංක අදහසින් ම මෙම උතුම් ස්ථානයන් ද නිවැරදිව ම සොයා දැන ඒවා ලෝකයාට ප්‍රකාශ කිරීම ද කළ යුතු යුග මෙහෙවරකි. මෙසේ සත්‍යය හෙළි කරන්නේ කාගේවත් හිත රිදවීමට හෝ කාටවත් ලැබෙන ලාභ සත්කාර අප වෙත ලබා ගැනීමට හෝ කිසියම්ම ආකාරයක ප්‍රතිලාභයක් බලාපොරොත්තුවෙන් හෝ නොවන බවත් අවංකව ම ප්‍රකාශ කළ යුතු ය. මෙහිදී යම් යම් විරුද්ධතා මතු විය හැකි බව ද පැහැදිලිව ම පෙනෙන්ට ඇතත් මේ සත්‍යය කවදා හෝ නොබියව ම හෙළි පෙහෙළි කළ යුතු ම ය. භය යනු පෘතග්ජන සිතක පහළවන ගතියකි. අද වන විට පරම පවිත්‍ර ශ්‍රී සද්ධර්මය අවංකව ම අනුගමනය කරන විශාල ජන සමූහයක් මේ හෙළ දිවයින තුළම බිහිවී ඇති නිසා එවැනි අයට නිසි මඟ පෙන්වා දීමට මේ පරම සත්‍යය මෙසේ හෙළිදක්වමි. මෙහිදී කිසිම ආකරයක ප්‍රසිද්ධියක්, ප්‍රචාරයක්, ප්‍රණාමයක් හෝ ප්‍රතිලාභයක් බලාපොරොත්තු නොවන බවද පෙන්වා දිය යුතුය.

මේ උතුම් බුද්ධ ශක්තිය ගැබ්වී පවතින ස්ථාන හතරම පසුගිය වසර 1500 ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම ධර්මතාවයෙන් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් සියල්ල ම කාලයාගේ වැලි තලාවෙන් වැසී යටපත් වී යෑමත් සමග ම බොහෝ මිනිසුන්ට නිවන් දැක ගන්නට තිබූ උතුම් අවස්ථාව ද වැසී යටපත් වී අහිමි වී ගිය බවත් ප්‍රකාශ කළ යුතුම ය. මේ ප්‍රධාන ස්ථානයන් හතර පමණක් නොව බුදුපියාණන් වසර විස්සක් පමණ ම වැඩ සිටි දෙව් රම් වෙහෙර, රජගහ නුවර, වේලුවනය මෙන් ම බුද්ධ ස්පර්ශය ලැබූ තවත් වැදගත් සිද්ධස්ථාන රාශියක් ම මෙසේ යටපත්ව ගියේ උතුම් බුද්ධ ධර්මය විකෘති වී යටපත් වී යෑමත් සමගම බවද පෙන්වා දිය යුතුය. පරම පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී, බුද්ධාගමක් බවට පත් වීමත් ආගම් ඇදහිල්ලක් බවට පත් වීමත් සමග ම ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයෝ ද දුලබ වී ගියහ. භක්තියෙන් ආගම් අදහන, ඇදහිලි වලට මුල් තැන දුන් පෘතග්ජන අය ම බහුල වූහ. මේ නිසා මේ උතුම් ස්ථාන ධර්මතාවයෙන් ම යටපත් වී ඒ වෙනුවට වෙනත් ආකෘති ස්ථාන සම්මත කර ගැනීම ද සිදු වූ බව පෙනේ. එය ධර්මතාවයයි. සද්ධස්ස කුලපුත්‍රයින් නැති කාලයකදී මේ උතුම් ස්ථානයන්ද ධර්මතාවයෙන්ම යටපත් වී අභාවයට පත් වීම ධර්මතාවයකි.

පරම පවිත්‍ර බුද්ධ ධර්මය දේශනා කර, “සං” දේශනාව දේශනා කර අනුශාසනා ප්‍රාතිහාර්ය පෑම,  තරමට ම මෙම ස්ථානයන් නිවැරදිව ම හඳුනාගෙන ඒවා මතුකර ශ්‍රද්ධාවන්ත පුද්ගලයන්ට වැඳ පුදා ගන්නට පෙන්වා දීමත් නිවන් මාර්ගයට බෙහෙවින් ම උපකාරක ය. පටිච්ච සමුප්පාද ධර්මය, ද්වතා ධර්මය,  තිපරිවට්ටය, හා චතුරාර්ය සත්‍යය නිවැරදිව ම දේශනා කරමින් ආධ්‍යාත්මික පාරිශුද්ධිය ලබා දෙන අතරේ ම අතීත බුදුපියාණන් වහන්සේලා නිකුත් කළ විශ්ව ශක්තිය සමග ද අනුගත විය හැක්කේ මෙම ස්ථානයන්ද වැඳ පුදා ගැනීමෙනි. මේ අනුව අවංකවම මේ ලබා ගත් මිනිස් ආත්මභාවයේ දී ම මඟපලයකට පත් වන්නට උර දරන ශ්‍රද්ධාවන්ත කුලපුත්‍රයින්ට මේ නිවැරදි තොරතුරු හෙලි කර දැනුම් දීම ද මහත් වූ අස්වැසිල්ලක් ම වනු ඇත. අදටත් මේ උතුම් ස්ථානයන් සියල්ල ම පිරිසිදුව ආරක්ෂා වී ‍රැකී පවතින අතර මේවා හෙලිකර දීමේ අවංක වූ චේතනාව, බලාපොරොත්තුව නිවන් දකින්නට පින් ඇති මිනිසුන්ට මේ ස්ථානයන් ලෙහෙසියෙන් හා පහසුවෙන් දැක බලා වැඳපුදා ගන්නට ද අවස්ථාව ලබා දීමයි.

වසර 1500 ක් තරම් දිගු කාලයක්ම මේ උතුම් ස්ථානයන් යම්කිසි බලවත් ධර්මතාවයකින් ම වැසී යටපත් වී ගොස් තිබිණි. මේ ස්ථානයන් වෙනුවට මේ වෙනුවෙන් ම ගොඩ නැඟූ, ආකෘති සහිත වූ වෙනත් ස්ථානයන් සම්මත කරගෙන වැඳපුදා ගත් බවත් නිවැරදිව ම තේරුම් ගත යුතුය. ජන්බුද්වීපයෙන් බාහිර තැනක පිහිටි මෙම ආකෘති ස්ථාන වල බුද්ධ ශක්තිය හෝ විශ්ව ශක්තිය හෝ ‍රැඳී නැති නිසා මිනිසුන්ගේ ආධ්‍යාත්මික පාරිශුද්ධිය මතු වීමට උපකාර වන සුදුසු බලයක් එම ස්ථාන වල ගැබ් වී නැත. ඒ අනුව පසුගිය කාලයේ බුද්ධ ශක්තිය – විශ්ව ශක්තිය සොයා වන්දනාවේ ගිය පිංවතුන්ට ඒ ශක්තිය ලබාගැනීමේ අවස්ථාවද අහිමි වී ගියේය. මේ ස්ථාන සියල්ල ම දැන් නිවැරදිවත්,  පිරිසිදුවත් සොයා දැන මතු කරගෙන ලෝකයාට ප්‍රකාශ කරන්නට සුදුසු ම කාලය දැන් එළඹ ඇති නිසා මේ නිරාවරණය කිරීම සිදු කරන බවද ප්‍රකාශ කරමි. මෙය අවංක පිරිසිදු චේතනාවක් මිස වෙනත් කිසිම ආකාරයක සැඟවුණු චේතනාවක්, ප්‍රතිලාභ ලැබීමේ අපේක්ෂාවක් හෝ වෙනත් කෙනෙකුන් ගැරහීමේ හෝ පහත් කොට සැලකීමේ චේතනාවක් මෙහි නැත. මෙය යුග මෙහෙවරක් ඉ‍ටු කිරීමේ චේතනාවෙන්ම කරන සත් ක්‍රියාවකි.  අනුරාධපුර යුගයේ, අනුරාධපුරයේ වාසය කළ සමහර හාමුදුරුවරුන් යාන්ත්‍රික ජීවිතයක් ගත කළා මිසක උතුම් බුද්ධ දේශනාවෙන් මතුකර පෙන්වා වදාළ ආධ්‍යාත්මික යථාවබෝධය, යථා භූත ඤාණ දර්ශනය ලබා තිබුණේ නැහැයි කියා වල්පොල රාහුල හාමුදුරුවන් පොතක ලියා තිබේ. අද බුද්ධාගම අදහන උගත් ගිහි පැවිදි දෙපක්ෂයට ම මේ කියමන නැවතත් සිහිපත් කර දෙන්නට කාලය දැන් උදා වී තියෙන බවද පෙනේ. මේ යාන්ත්‍රික ජීවිතයකට පුරුදු වූ පැවිදි පිරිස අද එහි අන්තයට ම ගොස් ඇති නිසා සත්‍යය විවෘත කර දීමට නියම සුදුසු කාලයක් උදාවී තියෙන බවද කිව යුතුයි.

මුළු පෘතුවි තලයෙන්ම ගුරුත්වාකර්ශන බලය අඩුම මේ විශ්ව ශක්තිය කේන්ද්‍රගත වූ ස්ථාන ආශ්‍රිතව බව බව නවීන විද්‍යාත්මක පරීකෂණ වලින් ද සනාථ වී ඇත.

goce_gravity_field_786map

(මූලාශ්‍රය : http://news.bbc.co.uk/2/hi/8767763.stm )

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

බුද්ධත්වය – ජන්බුද්වීපය හා හෙළදිව

සිදුහත් කුමරා උත්පත්තිය ලැබුයේත්, ගෞතම බෝසත් තුමා උතුම් බුද්ධත්වයට පත් වුයේත්, ගෞතම බුදු පියාණන් වහන්සේගේ පිරිනිවන් පෑම සිදු වූයේත්, ජන්බුද්වීපයේදීය. වසර හතලිස් පහක් තරම් දීර්ඝ කාලයක් තුළම බුද්ධ ධර්මය දේශනා කළේත් ජන්බුද්වීපයේ ම ජනයාට ය. ජන්බුද්වීපය යනු (ජන්+බුද්+ද්වීපය)  “බුදුන් ජන්මය ලබන දීපය”  යන අර්ථය ඇති මාගධී භාෂාවේ පද තුනකි. මෙම මාගධී පදයේ අර්ථයට අනුව ම මේ මිහි තලය මත යම් උත්තමයකු බුද්ධත්වය නම් වූ ඒ අති උතුම් තත්වයට පත් වන්නට හේතු වාසනා ලබන්නේ මෙම ජන්බුද්වීපයේදීම පමණි. අතීතයේ ලොව්තුරා බුද්ධ බවට පත් වූ සියලුම බුදුවරයන් වහන්සේලා මෙන් ම අනාගතයේ මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලුම බුදුවරයින් වහන්සේලාට ද ජන්මය ලබන්නට හේතු වාසනා ඇත්තේ මෙම දීපයේදී ම පමණි. ජන්බුද්වීපය යන නම යම් කිසි රටක හෝ ප්‍රදේශයක හෝ නාමයක් නොවේ. බුදුකෙනෙකුගේ උපතක් සිදුවන්නට සුදුසු වූ විශ්ව ශක්තිය කේන්ද්‍ර ගත වූ මෙවැනි ස්ථාන එකකට වැඩි ගණනක් මේ මිහි තලය මත ඇත්තේද නැත. එවන් විශ්ව ශක්තියක් කේන්ද්‍ර ගතවූ ස්ථාන ඇත්තේ එකක් ම පමණි. එවන් වූ ස්ථානය ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යන නමින් හැඳින්වෙයි. ඒ අති ශ්‍රේෂ්ඨ මිනිසා, ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයා,  ගුරු උපදේශ රහිතව ම, ස්වයංභූ ඤාණයෙන් ම ඒ උතුම් තත්වයට පත් වීමට නම් නියත වශයෙන් ම ජන්බුද්වීපයේ ම උපත ලබා එහි මධ්‍ය මංඩලයේ පිහිටි විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ එක ම නිශ්චිත ස්ථානයක දී නියත බෝධි මූලයක දී ම, මේ උතුම් සිදුවීම සිදු විය යුතුය. මේ අනුව ලොව්තුරා බුද්ධත්වයට පත් වීම ධර්ම නියාමයට අනුව ම සිදුවන නියත සිදු වීමකි.

දීපංකර බුදු පියාණන්ගේ පටන් මේ මහා බද්ධ කල්පය තුල මේ මිහි තලය මත, අතීතයේ බුද්ධත්වයට පත්වූ සියලුම බුදු පියාණන් වහන්සේලාට එම උතුම් ලොව්තුරා බුද්ධත්වයට පත් වන්නට උපකාර වූ නිජ බිම නම් ජන්බුද්වීපයයි. මේ පදයෙහි පදගත අර්ථය අනුව ම මෙය දීපයකි. දිවයිනකි. එය අර්ධද්වීපයක් හෝ මහාද්වීපයක් හෝ විය නොහැකිය. එයට හේතුව අර්ධද්වීපයක හෝ මහාද්වීපයක හෝ මධ්‍ය මංඩලය යැයි නිශ්චිත තැනක් ලකුණු කර පෙන්වා දිය නොහැකි හෙයිනි. එවැනි මධ්‍ය මංඩලයක් නොවන තැනක විශ්ව ශක්තියක් ද කේන්ද්‍ර ගත නොවන හෙයිනි.

මේ අනුව මිහිතලය මත එකම විශේෂිත ස්ථානයක් හැර වෙනත් කිසිම ස්ථානයක නියත වශයෙන් ම ධර්ම නියාමයට අනුව ම ලොව්තුරා බුදුවරයෙකුට බුද්ධත්වයට පත් වන්නට උපකාර වන,  උපකාර කරගත හැකි, විශේෂ විශ්ව ශක්තියක් සහිත වූ තවත් ස්ථානයක් ඇත්තේද නැත. සමතිස් පාරමිතා පිරීමෙන් සිදු වන්නේ මෙම විශ්ව ශක්තිය සමග සම්බන්ධ වීමට අනන්ත අප්‍රමාණ කාල පරාසයක් තුළ තමා තුළින් ම විශ්ව ශක්තියක් ගොඩනඟා ගැනීමයි. එසේ තමා ම ගොඩ නඟා ගත් , බිහි කර ගත් විශ්ව ශක්තිය අතීත බුදුවරයින් වහන්සේලා බිහි කළ විශ්ව ශක්තිය සමග ද අනුගත වී එක්තැන් වී ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලයට කේන්ද්‍රගත වන්නේය. විවරණ ගැනීම යනු මේ ක්‍රියා දාමය පරිපූරණයවීමයි.

ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලය යනුවෙන් අප සම්මත බස් වහරෙහි හදුන්වා දෙන, මේ මිහිතලය මත පවතින, යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ,  අනන්ත බුදු වරයින්ට සෙවන දුන්, මේ නිශ්චිත රමණීය ස්ථානය උතුම් ධර්ම ද්වීපයක ම හරි මැද පිහිටා ඇති බව පෙන්වා දිය යුතුය. මෙවන් යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතවූ මධ්‍ය මංඩලයක් මේ මිහිතලය මත පවතිනවා වාගේ ම අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ මකර කටක් ද ඊට සමානුපාතව ම එහි අනික් අන්තයේ පිහිටයි. බර්මියුඩා ත්‍රිකෝණය නමින් අද බටහිර ලෝකයා හඳුන්වන මෙවන් අයහපත් විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවූ ස්ථානයක් ද මේ මිහි තලය මත ම ඇත. මේ දෙක පිහිටියේ අන්ත දෙකකය. මේ අනුව ධර්ම මාර්ගයේ යන අයට ස්වභාව ධර්මයෙන් ම ඊට උපකාර කරන ස්වභාවයකුත් අධර්ම මාර්ගයේ යන අය ස්වභාව ධර්මයේ ශක්තියෙන් ම විනාශ කරන ධර්ම තාවයකුත් මෙහි පවතී. මේ අනුව විශ්ව ශක්තියේ ද යහපත් හා අයහපත් යන අන්ත දෙකක්, ද්වතාවයක් පවතින බවත් පෙන්වා දිය යුතුය.

බුද්ධ බලය, බුද්ධ ධර්මය, බුද්ධ ශක්තිය, බුද්ධ ඥාණ, බුද්ධානුස්සතිය, බුද්ධ මාර්ගය, ආදී විවිධ පද වලින් සම්මතයේ භාවිතා කරන හා අදහස් කරන, විවිධාකාරයෙන් අද අර්ථ ප්‍රකාශ කරන “බුද්ධ” යන පදයේ අර්ථ, ධර්ම, නිරුක්ති, පටිභාන යන මේ කරුණු යථා පරිදි අවබෝධ කරගත් කෙනෙකුට “ජන්බුද්වීපය” යන පද වලද අර්ථය පැහැදිලි වනු නො අනුමානය.

මේ මිහිතලය මත බිහි වන , උත්පාදනය වන සියලු සංඛත, සියලු සංකාර, බිහි වන්නට (සබ්බේ ධම්මා) උත්පාදනය වන්නට හේතු වූ නිධාන වූ එකම ශක්ති විශේෂය “විඤ්ඤාණ ශක්තියයි”. හැම සත්වයාම මෙම විඤ්ඤාණ ශක්තිය නොනවත්වාම නොකඩවාම (පුනබ්බවෝති) උත්පාදනය කරගැනීමේ ක්‍රියාවලියක ම නිරත වෙයි. බු+උද්ද=බුද්ධ යනු මේ බිහි කිරීමේ -උත්පාදනය කිරීමේ-පුනබ්බවෝති-යනුවෙන් පෙන්වා දුන් ශක්ති විශේෂය වූ විඤ්ඤාණ ශක්තිය උත්පාදන කිරීමේ ක්‍රියාවලිය සහමුලින් ම උදුරා ඉවත් කර දැමීමයි. විඤ්ඤාණ ශක්තිය උපදවන සමුදය ක්‍රියාවලිය සහමුලින් ම උදුරා දැමූ පසුව ප්‍රඥා ශක්තිය සිතක පූර්ණ වශයෙන් ම මතු වේ. එය අනුප්පාදෝ යනුවෙන් හඳුන්වන ප්‍රඥා ශක්තියයි. “අනුප්පාදෝ නිබ්බානං” යැයි ප්‍රකාශ කළේ මේ ධර්මතාවයට අනුවයි.

පැවැත්ම,  ජීවත් වීම යනු මොහොතක් මොහොතක් පාසාම විඤාඤාණ ශක්තියෙන් ම රාග, ද්වේශ, මෝහ ගති තම තම චිත්ත සංථානයේම උත්පාදනය වීමයි. රාග, ද්වේශ, මෝහ ගති උත්පාදනය කිරීමේ ශක්ති මූලය (භව) සංභව ශක්තිය උදුරා දැමීම බු+උද්ද යන පදයෙන් අර්ථ ගැන්වේ. මේ සමුදය ශක්තිය, උත්පාදන ශක්තිය සිතක ම මිස වෙනත් කිසි තැනක බිහි නොවේ. යථා භූත ඤාණ දර්ශණය යනු මේ බිහි කිරීමේ ශක්තිය උදුරා දැමිය යුතු බව යථා පරිදි දැකීමයි. රාග,  ද්වේශ, මෝහ ශක්ති උත්පාදනය කර ගනිමින් නිරතුරුවම දුක් විඳින සත්වයාට නියත වූත්, ස්ථිර වූත් සුවයක් නිදහසක්, නිවනක් ලබා ගත හැකි වන්නේ මෙවන් කෙළෙස් ගති බිහි කිරීමේ ශක්තිය (භව)  සහමුලින්ම උදුරා දැමීමෙනි. ස්වයංභූ ඥාණයෙන් ම මේ ප්‍රතිපදාව සොයා දැන ලෝකයාට ධර්මය දේශනා කරන උත්තමයා සම්මා සම්බුද්ධ යන නමින් ජන්බුද්වීපයේ දීම මේ උතුම් තත්වයට පත් වීමද සිදු වන්නේ මය.

මේ අනුව ලොව්තුරා බුදු කෙනෙකුන් උපත ලබන්නේත්, ලෝකයාට බුද්ධ ධර්මය දේශනා කරනු ලබන්නේත්,  බුද්ධ ධර්මය යළි යළිත් මතු වී ධම්මානුධම්ම පටිපදාව ක්‍රියාත්මක වන්නේත් ජම්බුද්වීපය නමැති එකම මධ්‍ය මංඩලයක් කේන්ද්‍ර කරගත් දීපයකදී ම ය. මේ සත්‍ය ධර්මතාවය ත්‍රිපිටක ධර්ම සාහිත්‍යයේ මෙන්ම එදා ලියූ හෙළ මහාවංශ කථාවේ ද ඉතාමත් ම පැහැදිලිව ම සටහන් කර ඇත. දැන් අපට විසඳා ගත යුතු මූලික ම ප්‍රශ්නය වන්නේමේ “ජන්බුද්වීපය”  යනුවෙන් එදා අනුරාධපුර යුගයටත් පෙර, එනම් බුද්ධ යුගයේදී හැඳින්වූයේත් භාවිතා කළේත් කුමන දීපයකට ද යන්න සොයා ගැනීමයි.

මාගධී ප්‍රාකෘත භාෂා ව්‍යවහාරයේ එදා භාවිතා කළ “ජන්බුද්වීපය” යන පද තුන ඇතුළත් නාමය පසු කාලයකදී කවුරුන් හෝ නොදැනුවත් කමෙන් පදපරම දැනුමෙන් අවිද්‍යාව නිසා ම දඹදිව දඹ ගස් සහිත දීපය යනුවෙන් ද සිංහලට පරිවර්තනය කරගෙන අද වැරදි ලෙසම භාවිතා කරනු ලබයි. ජන්බුද්වීපය හෝ දඹදිව හෝ යන මේ නම් වලින් ඉන්දියාව භාරතය හෝ භාරතයේ කිසිම තැනක් හෝ කිසිම කොටසක් හෝ ඉතිහාසයේ කිසිම දවසක නම්කර භාවිතයේ නොතිබූ බවත් ඉන්දීය ඉතිහාසයේ කිසිම කාලයක මේ නමින් හැඳින්වූ තැනක් භාවිතයේ නොවූ බවත් සහතික කර ප්‍රකාශ කළ යුතුය. බුද්ධ කාලයට වසර 600 කට පමණ පසුව ලංකාවේ ම අනුරාධපුර රාජධානියේදී පොත්පත් ලියූ ඉන්දියාවෙන්ම මෙරටට පැමිණි සමහර ගත් කතුවරු පමණක් ජන්බුද්වීපය යන නම ඉන්දියාවට අනුමානයෙන් භාවිතා කරන්නට පටන් ගත්හ. මහාවංශ පෙල අ‍ටුවාව ලියූ මහානාම හිමියන් ද ඉන්දීය ජාතිකයෙකි. මුල් ම මහාවංශය හෙළ බසින් ලියා තිබිණි. මහානාම හිමියන් කළේ මේ හෙළ මහා වංශය පාලි බසට පරිවර්තනය කිරීමයි. මහානාම හිමියන් ජන්බුද්වීපය යන නම ම කිහිප තැනකදී ම පාලි මහා වංශ අ‍ටුවාවේ භාවිතා කර ඇති බව පෙනේ. එම භාවිතය නිවැරදිය. මෙහිදී මහානාම හිමියන්ද ජන්බුද්වීපය යනුවෙන් අර්ථ දැක්වූයේ බුදුන් උපන් දීපයටයි. බුදුන් උපන් දීපය ජන්බුද්වීපය යනුවෙන් ව්‍යවහාරයේ භාවිතා වූ බව ඉන් පැහැදිලි වෙයි.

“ජන්බුදීපා ඉධා ගථා” යනුවෙන් පාලි මහාවංශ අ‍ටුවාවෙහි සඳහන් කර ඇති දේ නිවැරදිය. එදා “ජන්බුද්වීපය” යන නම භාවිතා කළේ දේව හෙළය යන නමින් ප්‍රසිද්ධ වූ හෙළ දිවයිනේ ම කොටසක් වූ බුදුන් උපන් ප්‍රදේශයටයි. ලෝකෝපකාරය නමැති අනුරපුර යුගයේ ලියූ පොතකද මේ හෙළබිම එදා ජන්බුද්වීප, උතුරුකුරු දීපා, අපර ගෝයානය, පූර්ව විදේහය යනුවෙන් සතර දිවයින් ලෙස නම් කර තිබූ බව ලියා දක්වා ඇත. එමෙන් ම එදා ලංකාපුර (ලකමන්දාව)  යනුවෙන් භාවිතා කළේත්, හැඳින්වූයේත් යක්ඛ හෙළයේ අග නුවරටයි. ලංකා පුරය යනුවෙන් එදා යක්ඛ හෙළයේ අගනුවරට භාවිතා කළ බව විජය රජුගේ කථා පුවතෙහි ද සඳහන් කර ඇත. කුවේණිය විසින් විජය රජු ලවා යක්ඛ නායකයින් අසූ දෙනෙකු ඝාතනය කරවූයේ ද ලංකා පුරයේදීය. ලංකා පුර රාජධානිය ම පසු කලකදී අනුරාධ පුර රාජධානිය ලෙසින් ද අලුතින් නම් කර සකස් කර ගති. ලංකාපුර හා ජන්බුද්වීපය යන නම් වලින් එදා පාලි මහාවංශ අ‍ටුවාවෙහි භාවිතා කළ නම් වැරදි ආකාරයෙන් ම ප්‍රයෝජනයට ගත් පසුකාලීන ගත් කතුවරු මෙන්ම අ‍ටුවා ටීකා ටිප්පනි ලියූ බොහෝ අයද ජන්බුද්වීපය යනු කොතැනකට භාවිතා කළ නමක් ද යන්න පිලිබඳව පැහැදිලි දැනුමක් හෝ තේරුමක් නැතිවම එය ඉන්දියාවේ පිහිටි තැනකැයි අනුමානයෙන් ලියා තැබූහ. අනුරාධපුර මුල් යුගයේදී නිවැරදි ආකාරයෙන් හෙළ බසින් ලියා තිබූ මුල් ම හෙළ මහාවංශය අද දක්නට නැත. ඒවෙනුවට අද ඇත්තේ ඒ හෙළ මහාවංශයට පාලියෙන් ලියූ අ‍ටුවාවක් ම පමණි. ඒ අ‍ටුවාව ලියා ඇත්තේ මුල් හෙළ මහා වංශය ලියා වසර 500 කට පමණ පසුවය. එනම්, බුද්ධෝත්පත්තියෙන් වසර 850 කට පමණ පසුවය. මේ යුගය වන විට බුදුන් උපන් දේව හෙළය (ජන්බුද්වීපය)  වන ගත වී ආරඤ්ඤ සේනාසන හා වෙහෙර විහාර ටිකක් පමණක් ඉතිරි වූ ධර්ම මාර්ගයේ ගමන් ගත් දුකසේ කල් ගෙවූ භික්ඛූන් පිරිසකගෙන් පමණක්ම සමන්විත වූ වනගත ප්‍රදේශයක් බවටද පත් විය. අනුරාධපුර යුගයේදී නිවන් දකින්නට උපකාර වූ පවිත්‍ර බුද්ධ ධර්මය යටපත් වී බුද්ධාගම නමින් ආගමක් ප්‍රචලිත වී රජ ගෙදර ආශ්‍රය කොටගත්, රජ ගෙදරින් ම දන් වැලඳූ, සත් මහල් ප්‍රාසාද වල සුවසේ වැඩ සිටි, විශාල පෘථග්ජන භික්ෂු පිරිසක් ද මේ රටේ බිහි වූහ. ඔවුන් අනුගමනය කළේ පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය නොව පසුව සකස් කර ගත් , සම්මත කරගත්,  බුද්ධාගමේ ඇදහිලි හා ලෞකික වත්පිළිවෙත්ය. නිකාය භේද, අභයගිරි-මහාවිහාර අර්බුදය, රාජ පාක්ෂික හා රාජ විරෝධී යැයි දෙපක්ෂයකට භික්ෂූන් බෙදීම, දේව ආගම් සංකල්ප ආදී සියලු දේ බුද්ධාගමේ ලක්ෂණ මිස පිරිසිදු බුද්ධ ධර්මයේ ලක්ෂණ නම් නොවේ. පොළොන්නරු යුගය වන විට මේ තත්වය තවත් දරුණු විය. උතුම් බුද්ධ ධර්මය සහමුලින් ම වෙනස් කරගත් පෘතග්ජන භික්ෂූන් දේව ආගම් සංකල්ප හිස් මුදුනින් ම පිළිගෙන ක්‍රියා කළ බවත් පෙනේ. මේ අතරම නැගෙනහිර පළාතේත්, දකුණේ සිතුල්පව්ව, කුඩුම්බිගල, තිස්සමහාරාම ආදී ප්‍රදේශ වලත් සබරගමු පළාතේත්, කෑගල්ල ආදී ප්‍රදේශවලත් මේ යුගය වන විටත් ආරඤ්ඤ වාසී, වනවාසී පිරිසිදු බුද්ධ ධර්ම මාර්ගය ‍රැකගත් ආර්යයන් වහන්සේලා පිරිසිදු නිවන් මඟ අනුගමනය කරමින් මඟපල ලබාගත් බවද පැහැදිලිය.

මේ අනුව මුල්ම හෙළ මහාවංශ කතුතුමා විසින් එදා ලියා තබන ලද නිවැරදි කථා පුවත වසර 500 ක් පමණ කාලයකට පසුව “ජන්බුද්වීපය” යන පදයන්ට වෙනත් අර්ථයකින් වැරදි අර්ථකථනයක් ලබා දීමෙන් අ‍ටුවා ලියා පළ කර මුළු හෙළ ඉතිහාසය ම විකෘති කර වෙනස් කරගත් බව ඉඳුරා ම පෙන්වා දිය යුතුය.

බුද්ධ චරිතය,  බුද්ධ ධර්මය, ත්‍රිපිටකය, ධම්මපදය, ජාතකපොත මෙන් ම ඒ හා සම්බන්ධ අනෙකුත් බොහොමයක් පොත්පත් එදා ලියුවේ ද මේ හෙළ දිවයිනේ දී ම ය. ඒ හෙළ බසින් හෝ මාගධී ප්‍රාකෘත බසින් ම ය. මාගධී බසින් ලියූ ලිඛිත මුල් ම කෘතීන් දක්නට ලැබෙන්නේ වළගම්බා යුගයේ දී නමුත් හෙළ බසින් ලියූ හෙළ අ‍ටුවා, කුරුන්දි අ‍ටුවා, බුදුකැලි අ‍ටුවා, මහා අට්ඨකථා, සීහළට්ඨ කථා වැනි පොත් අනුරාධපුර යුගයටත් පෙර දේව හෙළයේ පවා භාවිතා කළ බව ද පෙනෙන්නට ඇත. එදා මිහිඳු හිමියන් හෙළදිව අම්පාරේ පිහිටි රජගහ නුවර (අද රජගල)  සිට අනුරාධපුරයට ආ ගමනේ දී හෙළ බසින් ලියූ බුදුකැලි අ‍ටුවාව ගෙනා බව මහාවංශයේම ඉතිහාසයේ ම සඳහන්ය. රජගහ නුවර යනු එදා දේව හෙළයේ පිහිටි මගධ රාජ්‍යයේ අගනුවරයි. මාගධී බසින් ලියූ බොහෝ පොත්පත් ද ලියූවේ මේ හෙළ දිවයිනේ දී ම ය. පාලි භාෂාව, පාලි සාහිත්‍ය, පාලි ව්‍යාකරණ ආදී වශයෙන් පසුව සකස් කර ගත්තේ ද මාගධී බසින් ලියූ පෙළ දහමය. එසේ පාලි භාෂාවක් ලෙස සකස් කර ගත්තේ අනුරාධපුර යුගයේ අන්තිම කාලයේදී ය. පොළොන්නරු යුගය වන විට එදා බුද්ධඝෝෂ හිමියන් ලියූ පාලි අ‍ටුවා පොත් බහුල ලෙසින් ම භාවිතා වන්නට ද, පටන් ගැනිණි. පාලි යනුවෙන් බස් වහරක් ලොව කිසි ම රටක කිසි ම දිනක භාවිතා කළේනැත. එය මළ භාෂාවක් ද නොවේ. එය කෘතිම ලෙස සදා සකස් කරගත් භාෂාවකි. මාගධී ප්‍රාකෘත හා පාලි යනු එකම භාෂාවක් ද නොවේ.

මාගධී ප්‍රාකෘත බස් වහරෙන්ගෞතම බුදු පියාණන් එදා දේශනා කර වදාළ උතුම් බුද්ධ ධර්මය කට පාඩම් කරගෙන වනපොත් කරගෙන පරම්පරාවෙන් පරම්පරාවට පවත්වා ගෙන ඒම සඳහා පේළි ලෙසින් සකස් කර පෙළ ගස්වා තිබිණි. මේ ආකාරයෙන් පේළි ගස්වා තිබූ බුද්ධ ධර්මය පෙළ දහම ලෙසින් පසු කලෙක ප්‍රචලිත විය. මේ පෙළ දහමට ම පසු කාලයක දී ව්‍යවහාර අර්ථයෙන් අර්ථ ලියා සකස් කරගත් භාෂාව පාලි භාෂාව නම් විය. මේ සියල්ල ම සිදු වූයේත්, විපරිනාමයට පත් වූයේත් මේ හෙළ දිවයින තුලදීමය. ඉන්දියාවේ කිසිම තැනක, කිසිම කාලයක මාගධී ප්‍රාකෘත නමින් භාෂාවක් භාවිතා කළේ නැත. පරිහරණය කළේ නැත. අනුරාධපුර යුගයේ දෙවැනි භාගයේදී ලංකාවෙන් බොහෝ පාලි පොත්පත් ඉන්දියාවට ගෙන ගොස් සංස්කෘත භාෂාවට ඒවා පරිවර්තනය කර ඉන්දියාවේ ද භාවිතා කළ අතර ලංකාවේ පාලි උගතුන් ඉන්දීය විශ්ව විද්‍යාල වල (අජන්තා වෙල්ලෝරා) පාලි භාෂාව ඉගැන්වූ බව ද සඳහන් වෙයි. සමහර ඉන්දියානු ජාතිකයන් ලංකාවේ දී මෙන්ම ඉන්දියාවේදී ද පාලි භාෂාව ඉගෙන ගෙන හෙළ බසින් ලියා තිබූ පොත්පත් පාලි භාෂාවට පරිවර්තනය කළ බවද පෙනේ. බුද්ධඝෝෂ ආචාරීන් මෙන් ම විනය අ‍ටුවාව ලියූ මහානාම හිමි ද මේ අතර ම වූහ. මේ අය පාලි මෙන් ම හෙළ බස ද ඉගෙන ගත්තේ මේ හෙළ දිවෙහි ම වැඩ සිටි භික්ෂූන් වහන්සේලාගෙන් ම ය. මේ අනුව ගෞතම බුදුන් මාගධී බසින් එදා බුද්ධ ධර්මය දේශනා කළේ මේ රටේ ම කොටසක් වූ දේව හෙළය, ජන්බුද්වීපය නමින් හැඳින්වූ ප්‍රදේශයේ දී ම ය. ලංකා පුරය නමින් ප්‍රසිද්ධ වූයේ උතුරු කුරු දීපයේ එනම් යක්ඛ හෙළයේ අගනුවරයි.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

පෙරවදන – “අප උපන් මේ හෙළබිම බුදුන් උපන් ජන්බුද්වීපයයි” පළමුවන ග්‍රන්ථය

මෙහි ලියා දක්වන කථාව ආශ්චර්යවත් කථාවකි.මෙයට පෙර අසන්නට නොලැබුණු, මෙතෙක් ඔබ නොසිතූ පුවතකි.නමුත් මෙය පරම සත්‍යයකි.මෙය ගෙතූ කථාවක් නොවේ. අනුමානයෙන් කරන ප්‍රකාශයක් ද නොවේ. මනඃකල්පිතයක් හෝ පදනම්ක් නැති මවා පෑමක් ද නොවේ. ඉඳුරා ම පැහැදිලිව ම ප්‍රකාශ කරන පරම සත්‍යයකි.

මේ මිහි තලය මත බුද්ධත්වයට පත් වන සියලු ම බුදුවරයින් වහන්සේලා උපත ලබන එකම දීපය වු ජන්බුද්වීපයේ මේ සත්‍යයම වු  කථාව කියවන ඔබත්, අද උපත ලබා ජීවත් වන බව දැන ගන්නට, තේරුම් ගන්නට ලැබුණු විට ඔබටත් බලවත් චිත්තප්‍රසාදයක්, ප්‍රමෝදයක් බුද්ධාලම්බන ප්‍රීතියක් ඇතිවෙනු නො අනුමානය. නියම ශ්‍රද්ධාව යනු එයයි. මෙවන් උතුම් දීපයක, විශ්ව ශක්තිය කේන්ද්‍ර ගතවු මධ්‍ය මංඩලයක, උපත ලබා පරම පවිත්‍ර බුද්ධ ධර්මය ද මතු කර දේශනා කරන මෙවන් යුගයක, ධර්ම මාර්ගයේ යන සියලු දෙනා ම මේ සත්‍ය කථාව ද කියවා දැන ගත යුතුමය.

පසුගිය වසර 1500ක් තරම් දීර්ඝ කාලයක් තිස්සේ ම මෙම පරම සත්‍යය ද යටපත් වී, බුද්ධ ධර්මයද විකෘති වී, නිවන් මග වැසී තිබුණු බව බොහෝ අය දන්නා කරුණකි. දැන් නැවතත් සත්‍යය එළිකර දැක්වීමටත්, පවිත්‍ර බුද්ධ ධර්මය පිංවත් ලෝකයාට දේශනා කරන්නටත්, නිවන් මඟ විවෘත කර පෙන්වා දෙන්නටත් සුදුසු පරිසරය හැම අතින් ම සකස් වෙමින් පවතින බව ද ප්‍රකාශ කළ යුතුය. පරම සත්‍යය කවදාවත් ම බොරුවෙන් මුළාවෙන් මනඃකල්පිත වලින් හෝ සම්මත වලින් යටපත් කර දිගින් දිගටම සඟවා වසා තැබිය නොහැකිය. නියම අවස්ථාව පැමිණි විට පරම සත්‍යය කා අතින් හෝ එළිදැක්වෙන බව ධර්ම නියාමයට ම අනුකූලය.

පරම සතය්‍ය පවා පිළි නොගන්නා පිරිසක් ද මේ අප අතරම සිටින බවත් අප නිතරම කල්පනා කල යුතු දෙයකි. රාගයෙන්, ද්වේශයෙන් හා මෝහයෙන් අන්තවාදී ලෙස දෘෂ්ටි ගත වු බොහෝ දෙනෙකුට සත්‍යය කිසිසේත් ම දැක ගත නොහැකිය.සත්‍යය ඔවුන්ට නොගැලපෙන දෙයකි. අප එවැනි අය කෙරෙහිද අනුකම්පා කල යුතුය.

මේ සත්‍ය ම වු කථාව අසන කියවන එවැනි අය ඉවසීමේ සීමා මායිම් ඉක්මවා, සත්‍යයටද එරෙහි වනු ඇත.එයද ධර්ම තාවයකි. ගෞතම බුදුපියාණන් ලොව පහළ වු යුගයේත් මෙවැනි දේ ම සිදු විය.අප ඔවුන්ට වෛර කළ යුතු නොවේ. ඔවුන් සමග උරණ විය යුතු නොවේ. ඔවුන්ටද කවදා හෝ සත්‍යය අවබෝධ වේවා යන්න අපේ අවංක ම පැතුම විය යුතුය.

මෙම පරම සත්‍යය එළි දැක්වු විට ලාභයෙන් දෘෂ්ටි ගත වු, ආස්වාදයෙන් දෘෂ්ටි ගතවු, උගත් කමෙන්, බුද්ධිමත් කමෙන් මත්වු,තානාන්තර වලින් නිල තල වලින් බලවත්වු බොහෝ දෙනෙකුට මෙය නොගැලපෙන දෙයක්ම වන්නටත් පුලුවන. සමහර විට එවන් අය ඇත්ත නැත්ත කිරීමට ම තව තවත් වෙර දරනු ඇත. තම බලය පෙන්වීමට ජන මාධ්‍යයන් මුදලට ගන්නටත් උත්සාහ දරණු ඇත. පරම සත්‍යයට විරුද්ධ වන ඔවුන් විරුද්ධ වන්නේ බුදු පියාණන් වහන්සේටමය. ඔවුන් ආර්යෝපවාදයක්ම කර ගන්නා බවත් තේරුම් ගත යුතුය.

මේ යුගය කල්ප විනාශයකට ඉතාමත් ම ආසන්න කාල පරාසයක් බව කවුරුත් දන්නා කරුණකි. කල්ප විනාශයකදී විනාශ වන අංශ අතර සංකල්ප විනාශය ද මූලික ම අංගයකි. සම්මත කරගෙන අදහන බොහෝ මිත්‍යා ආගම් සංකල්ප මෙහිදී විනාශ වී යෑම නියතයෙන් ම සිදු වනු ඇත. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමත් සමඟ එදා සංකල්ප විනාශයක් ද සිදු විය. ඒ ආගම් හැට දෙකක් ම යටපත් වී යෑමත් පරම පවිත්‍ර බුද්ධ ධර්මය මතු වීමත් සමගම සිදු වු දෙයකි. මෙය අතීත ඉතිහාසයේ සිදු වූවා මෙන්ම මතුවටත් නැවත නැවතත් සිදු වන නියත සිදු වීමකි. පුනරාගමනයකි. කල්පවිනාශය සමගම මිත්‍යා ආගම් සංකල්ප විනාශ වී යාමද කාටවත්ම මොනම නවීන විද්‍යාවකින් හෝ  වළක්වා ලිය නොහැකිය. මනසක් ඇති මිනිසුන්ට තමන් ගැන  ම සිතා පරමාර්ථ සත්‍යය තේරුම් ගෙන ආගම් සංකල්ප අතහැර පවිත්‍ර බුද්ධ ධර්ම මාර්ගයට අවතීර්ණ විය යුතු කාලය දැන් උදාවී ඇති බව පැවසීමට මේ පරම සත්‍යය මතු කර දෙනු ලැබේ. ධර්ම මාර්ගයට ඉඩ සලසා දෙනු සදසා අධර්මයේ හැසිරෙන අය ධර්මතාවයෙන් ම විනාශ වී යෑම දැන් සිදු වෙමින් පවතී. මේ අනුව අන්තගාමී සංකල්ප විනාශ වෙන්නටත් සත්‍යය ලොව රජ වෙන්නටත් දැන් කාලය එළඹ තිබේ.

මේ පොතෙහි සඳහන් කරුණු ලබන්නාවු කාරණා වලින් එළි දක්වන සත්‍යයන් මෙසේ එළි දක්වන්නේ කාට හෝ පහර ගැසීමට, කාව හෝ අවමානයකට පත් කිරීමට, අපහසුවකට පත් කිරීමට හෝ යමෙකුට අසාධාරණයක් කිරීමේ හෝ කිසිම ප‍ටු බලාපොරොත්තුවකින් නොවේ. ඒ වාගේම මේ සත්‍යය හෙළි කිරීමෙන් කිසිම පෞද්ගලික ප්‍රතිලාභයක් ලැබීමේ හෝ ප්‍රචාරයක්, ප්‍රශංසාවක් ප්‍රසිද්ධියක් ලැබීමේ හෝ බලාපොරොත්තුවක් ද නැත. පොතක් ලියා විකුණා මුදල් ‍රැස් කිරීමේ කිසිම බලාපොරොත්තුවක් ද මෙහි නැත. මෙය නියත වශයෙන්ම ඉ‍ටු කල යුතු යුග මෙහෙවරකි.

මේ හෙළදිව බුද්ධ රාජ්‍යයයි. ධර්ම දීපයයි. අද ඒ බුද්ධ රාජ්‍යය, ධර්ම දීපය සියලු ආකාරයෙන් ම ශුද්ධ පවිත්‍ර වී, පිරිසිදු වී, සියලු බාධක හා බැඳීම් දුරු වී ක්‍රමානුකූලව සමස්ත ලෝක වාසී ජනතාවටම දහම් දිය බෙදා දෙන ධර්ම මධ්‍යස්ථානය බවට නැවතත් පත් වන්නට අවශ්‍ය සියලු කරුණු ද සම්පූර්ණ වෙමින් පවතී. මේ සියලු කරුණු සත්‍යයේ නාමයෙන්, ධර්මතාවයේ බලයෙන්, මතු වී එළි දැකීමත් සමග ම ධර්ම මාර්ගයේ අවංකවම ගමන් කරන්නන්ට ද නිවන නිදහස ළඟාකර ගත හැකි වනු ඇත.

මීවනපලානේ සිරි ධම්මාලංකාර හිමි
පරම නිබ්බාන ධර්මායතනය,
වටරැක,
පාදුක්ක.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button