ඉසිපතනේ මිගදාය

http://maps.google.com/maps?q=8.567707,80.481675&hl=en&t=h&z=16

වෙසක් පෝදා උතුම් සම්මා සම්බෝධියට පත්වූ,ලොව්තුරා බුද්ධ වූ ගෞතමයන් වහන්සේ ජයසිරි මහාබෝධි මූලයේ ම සත් සතියක් ගතකර මෙතැන් සිට කසීරට ඉසිපතනේ මිගදායෙහි ගල්ලෙනක සිටි පස්වග මහණුන් සොයා පා ගමනින් ම වැඩි සේක.මේ ගමන් විස්තරය හා මඟදී හමු වූ අය පිළිබඳවත් අරිය පර්යේෂණ සූත්‍රයේ ම සඳහන් කර ඇත.

ඉන්දියාවේදී ද අශෝක  මහ රජතුමා විසින්  ද එදා මෙම සිදු වීම සනි‍ටුහන් කිරීම සඳහා ඉසිපතනය නමින් ද එක් ස්ථානයක්  නම්කර එහි ඉදි කිරීම් කරවන ලදි.ඒ දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ යුගයට වසර 300 කට පමණ පසු කාලයේ දී ය. ඉන්දියාවේ ගයා බෝධිය යැයි අද හඳුන්වන ස්ථානය හා ඉසිපතනය යයි අද හඳුන්වන  ස්ථාන දෙක අතර අද දුර කි.මී.400 ක් පමණ වෙයි. මෙවැනි දුරක් එදා පා ගමනින් යාමට නම් දින 20 ක් වත් ගමන් කළ යුතුය. වෙසක් මස පුන් පෝ දා ශ්‍රී මහා බෝධි මූලයේදී උතුම් සම්මා සම් බෝඪියට පත් වූ ගෞතම බුදුපියාණන් ඇසල මස පුන් පොහොය දා එනම් බුද්ධත්වයට පත් වී මාස දෙකකට  පමණ පසුව ඉසිපතනයේ දී දම්සක් පැවතුම් සූත්‍රය දේශනා කළ බව අරිය පරියේෂණ සූත්‍රයේ පොතේ සඳහන්ය. සති හතක්ම බෝ මැඩ අසල ම කාලය ගත කල බවත් සඳහන් ය. මේ අනුව පැහැදිලි වන්නේ ඉතිහාසය ලියූවන්ට කොහේ හරි වැරදී ඇති බවයි.

කෙසේ වුවත් එදා ජන්බුද්වීපයේ (හෙළදිව) දුර ප්‍රමාණයන් අනුව සලකා බලන විට මේ සියලු ප්‍රශ්න විසඳාගත හැකිය. හෙළදිව එදා ඉසිපතනය වූයේ අද මැදවච්චිය අසල පූනෑව පාරේ පිහිටි “ඉසින් බැස්සගල”යන නමින් අදටත් හඳුන්වන ස්ථානයයි.එදා කසී රට වූයේ අද වවුනියාව ,මුලතිව්,පදවිය ඇතුළු ප්‍රදේශයකි. එහි අග නුවර වරනාසි විය.අද එය වවුනියාව නම් වේ.එදා පස්වග මහණුන් වැඩ සිටි ස්වභාවික විශාල ගල් ලෙනත් එහි ඉදි කළ සෙල් ලිපිත් බුදු පියාණන් පස්වග මහණුන්ට දම්සක් පැවතුම් සූත්‍රය දෙසූ ස්ථානයත් යන සියල්ල ම අදටත් මේ “ඉසින් බැස්සගල”යන නමින් ප්‍රසිද්ධ වූ ස්ථානයේදී ම දැක බලා ගත හැකිය. එවකට ඉසිපතනේ මිගදායට බටහිරින් පිහිටියේ සාතාගිර ,හේමවත යන යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය රජුන් පාලනය කළ ප්‍රදේශයකි. මෙම රජ වරුන් දෙදෙනාම එදා ගෞතම බුදු පියාණන් බැහැදැක බණ අසා පැහැදුණු බව අරිය පරියේෂණ සූත්‍රයේ ද සඳහන් ය. සාතාගිරි, හේමවත යන මේ නම් දෙකම ආටානාටා සූත්‍රයේ සඳහන් හෙළදිව ගෝත්‍ර නායකයින්ගේ නම් වලටද ඇතුලත් ය. අදටත් සන්තාන කන්ද නමින් ම මෙම ප්‍රදේශය හඳුන්වයි.

ත්‍රිපිටකයේ සඳහන් වන තවත් වැදගත් පුවතක් ද මෙහිදී මතක් කළ යුතුය.එනම් ගෞතම බුදුන් හිරිවඩුන්නේ ශ්‍රි මහා බෝධි මූලයෙන් ඉසිපතනය බලා වැඩම කරන අතර මඟදී “තපස්සු..භල්ලුක”නම් වෙළඳ දෙබෑයන් හමු වූ බවයි. මොවුන් හමු වූයේ එදා ඉසිපතනයත් ශ්‍රී මහාබෝධියත් අතර මාර්ගයේදීය. අද එය ත්‍රිකුණාමලයට කිට්‍ටු හොරොව්පතාන මොරවැව ප්‍රදේශයේ දීය. එහිදී තපස්සු භල්ලුක දෙබෑයන්ට ගෞතම බුදු පියාණන් ලබා දුන් පූජා භාණ්ඩය වූයේ කේස ධාතුය. ඒවා තැන්පත් කර ඒ වෙළඳ දෙබෑයන් විසින් එදා ඉදි කරන ලද ස්ථුපය ගිරිහඬු සෑය,තිරියාය යන නම් වලින් අදත් ප්‍රසිද්ධය. මේ ගිරිහඬු සෑය හා තිරියාය යන ස්ථාන දෙකම පිහිටියේ හෙළදිවය. ඉසිපතනයටත් ශ්‍රී මහා බෝධියටත් අතර ප්‍රදේශයේය.අදටත් මේ ස්ථාන වල ඉදිකළ ගොඩනැගිලි වල නටඹුන් විශාල ප්‍රමාණයක් දැක බලා ගත හැකිය.

යස කුලපුත්‍රයා සහ ඔහුගේ මිත්‍රයින් පනස් හතර දෙනෙකුද බුද්ධ ධර්මය අවබෝධ කරගෙන එදා මඟ ඵල ලැබූයේ ද කසී රට නම් වූ මෙම ස්ථානයේ දීමය. ඒ අනුව ගෞතම බුදුන් බුද්ධ ධර්ම දූත සේවය ආරම්භ කළේ අද වවුනියාවට නුදුරින් පිහිටි ඉසින් බැස්සගල (ඉසිපතනය)නම් මෙම පින් බිමේ දීය.අදටත් මේ ස්ථානයන් ධර්මතාවයෙන් ම වැසී යටපත්ව ‍රැකී පවතී. ඒ ධර්ම මාර්ගයේ යන අයට දැක බලා වැඳපුදා ගැනීම සඳහා මය.

හිසින් බැස්සගල  හෙවත් ඉර්ෂීන් පතනය වූ ස්ථානය.

Isenbessagala

(පින්තූර මූලාශ්‍රය http://www.panoramio.com/photo/44249406)

ගෞතම බුදු පියාණන් වහන්සේ තමන් වහන්සේ අවබෝධ කරගත් උතුම් බුද්ධ ධර්මය පස්වග මහණුන් ට දේශනා කර දහම් බෙරය හැඬවූ ස්ථානය මෙම ඉසිපතනය හෙවත් ඉසින් බැස්සගල රජමහා විහාර භූමියයි.අද එහි රජ මහා විහාරයක් ඇත. මහනුවර යාපනය අංක 9  පාරේ මැදවච්චියේ සිට කි.මීටර් දෙකක් පමණ වවුනියාව දෙසට ගම්න් කළ විට පාරේ දකුණු පැත්තේ මෙම පින් බිම පිහිටා ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

බුද්ධගයාව (ගයා බෝධිය)

http://maps.google.com/maps?q=8.022746,80.735792&hl=en&t=h&z=16

hiriwadunna

අද බෞද්ධයා සම්මතයෙන් අදහන, බුද්ධගයාව යැයි අනුමාන කරන ස්ථානයක් ඉන්දියාවේ බිහාර ප්‍රාන්තයේ ගයා දුම්රියපළට කි.මීටර් 11 ක් දුරින් ද, ථාල්ගු නම් ගංඟාවට කි.මී. 10 ක් දුරින් ද පිහිටා ඇත. කලකට පෙර ධර්මපාලතුමන් විසින් මෙම ස්ථානය ගෞතම බුදුන් සම්මා සම්බෝධියට පත් වූ ස්ථානය ලෙසින් හඳුනාගෙන එය ලෝකයට මෙසේ පෙන්වා දෙන ලදී. මෙම ස්ථානයේ එදා අශෝක රජතුමා විසින් බුද්ධ රාජ්‍යයේ ආකෘතියක් ගොඩනඟද්දී හින්දු හා ග්‍රීක සම්ප්‍රදායයන්ට අනුව එහි ගොඩනැඟූ ගොඩනැඟිලි කිහිපයක් ද, ඇසතු බෝධිය සිහිපත් කිරීම සඳහා පසුව රෝපණය කරන ලද මුල්ම බෝධීන් වහන්සේ අශෝක රජතුමාගේ ජීවිත කාලය තුළ දී අශෝක අධිරාජ්‍යයාගේ බිසවක විසින් ම කටුගසා විනාශ කර මරා දමන ලද බවක් ද ඉතිහාසයේ සඳහන් ය.

ගෞතම බුදුන්ට උතුම් බුද්ධත්වයට පත් වීමේ දී පිට දෙන්න‍ට උපකාර වූ ඒ අති උතුම් ඇසතු බෝධිය පන්දහසක් කල් යන තුරුම ජන්බුද්වීපයේ මධ්‍ය මණ්ඩල‍යෙහි ආරක්ෂා වී පවතින එකකි. එය කිසිම භූමි කම්පාවකින්, ජල ගැලීමකින්, ගින්නකින්, කුණාටුවකින් හෝ යම්කිසි මිනිස් ක්‍රියාකාරකමකින් හෝ විනාශ කළ හැකි එකක් නොවේ. පන්දහසක් කල් යන තුරු උතුම් බුද්ධ ධර්මය ආරක්ෂා වී පවතින්නාක් මෙන් ම නිවන් දකින්නට පිං ඇති ශ්‍රද්ධාවන්ත කුල පුත්‍රයින්ට විශ්ව ශක්තිය සමඟින් අනුගත වී “බුද්ධ” බවට පත් වන්නට (අරහත් බුද්ධ බවට) පත් වන්නට මේ ඇසතු බෝධීන් වහන්සේ ද උපකාර වනු ඇත. තවත් දීර්ඝ කාලයක් ඉදිරියටත් මෙම උතුම් බෝධි වෘක්ෂය ජීවමානව පවතිනු ඇත.

අශෝක මහ රජතුමා විසින් හෙළදිව ජන්බුද්වීපයෙන් එදා ඇසතු බෝ පැළයක් ගෙන්වා ‍ගෙන ඉන්දියාවේ අද බුද්ධගයාව නමින් සම්මත කරගත් ස්ථානයේ එය රෝපණය කර වූ බවට නිවැරදි සාක්ෂි ඉන්දීය ඉතිහාසයේ ම සඳහන්ව ඇත. අශෝක රජුගේ ආගමික ක්‍රියාකලාපයන් අගය කරන්නටත් ලෝකයාට ප්‍රදර්ශණය කරන්නටත් එදා ඉදි කරන ලද සාංචි තොරණේ අදටත් දකින්නට ඇති රූ සටහන්වලින් පැහැදිළිව ම දැක්වෙන්නේ ජන්බුද්වීපයෙන් එදා වැඩමවාගෙන ආ ඇසතු බෝ පැළය මහරජ විසින් පිළිගෙන එය රොපණය කළ බවයි. එය සාංචි තොරණේ අශෝක රජුගේ කාලයේ දී ම සටහන් කර තබා ඇත.අද එය ද වැරදි ආකාරයට අර්ථකථනය කරන බව පෙනේ.

ගෞතම බුදුන්ට පමණක් නොව මේ මිහිතලය මත සම්මා සම්බුද්ධ තත්වයට පත්වන සියළුම ලොව්තුරා බුදුවරයින් වහන්සේලාට අතීතයේ මෙන් ම මතු අනාගතයේ ද බුද්ධත්වයට පත් විය හැක්කේ එක ම තැනකදී ය. ඒ ස්ථානය යහපත් විශ්ව ශක්තිය කේන්ද්‍රගතව පවතින ජන්බුද්වීපයේ (බුදුන ජන්මය ලබන ද්වීපයේ හෙළදිව) මධ්‍ය මණ්ඩලයයි. එම ස්ථානය මේ හෙළදිව හරිමැද ස්ථිර වශයෙන් ම පිහිටා ඇති අතිරමණීය සථානයකි. ලංකාවේ සිතියමක් ගෙන අක්ෂාංශක දේශාංශක අතර ඇති හරස් කැපුමක හරි මැද ලක්ෂය හිරිවඩුන්නයි. හෙළබිමේ මධ්‍ය මණ්ඩලයේ අදටත් මේ උතුම් ඇසතු බෝධීන් වහන්සේ කාටත් දැක බලා ගත හැකි ආකාරයෙන් ම රැකී රැඳී ආරක්ෂා වී පවතී. (සිතියම බලන්න) මේ ස්ථානය අදත් ලංකාදීපයේ හරි මැදයි.

මෙම පැරණි ඇසතු බෝධීන් වහන්සේ දැනට වසර 2700ක් හෝ ඊටත් වැඩි වසර ගණනක් පැරණි බව එය දකින හැම කෙනෙකුටම මනාව වටහා ගත හැකිය. ගෞතම බෝසත් තුමා එදා මේ රමණීය බිම් කඩට පැමිණ තමන්ට පිටදීමට සුදුසු වෘක්‍ෂයක් සොයද්දී මෙම ඇසතු බෝධීන් වහන්සේ ඊට සුදුසු ප්‍රමාණයෙන් හැදී වැඩී උස් මහත් වී කදිම තත්වයෙන් පවතින්නට ඇත.එය ධර්මතාවයෙන් ම සකස් වූ බෝධිය මිස කවුරුන් හෝ කෘතිමව සකස් කළ එකක් ද නොවේ.

“හිරිවඩුන්න” නමින් මේ ස්ථානය අද හැඳින්වෙයි. මේ ස්ථානය එදා “සිරිවැඩඋන්න” ස්ථානය ලෙසින් ජන්බුද්වීප වැසියන් ගේ ව්‍යවහාරයට පැමිණ අද එය සිරිවැඩඋන්න වෙනුවට කටට හුරු ලෙසින් හිරිවඩුන්න බවට පත්ව ඇති බව පෙනේ. මේ ස්ථානය හබරණ දඹුල්ල පාරේ කි.110 කණුව අසලින් බටහිර දෙසට සැතපුමක් පමණ දුර ගමන් කිරීමෙන් අදටත් දැකගත හැකිය.

hiriwadunna2

පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙසින් ද, අරඤ්ඤ සේනාසනයක් ලෙසින් ද අදටත් රැකී ආරක්ෂා වී ඇති මේ රමණීය බිම අද කාටත් දැක ගත හැකිය. එදා ගෞතම බුදුපියානන්ට බුද්ධත්වයට පත්වීමට උපකාර වූ ඊට ම සම්බන්ධ ස්ථාන රාශියක් ද අදටත් මේ ස්ථානයේදීම දැකගත හැකිය.

1. ඇසතු බෝධීන් වහන්සේ (ශ්‍රී මහා බෝධිය)
2. ගෞතම බෝසත්තුමා වෙනුවෙන් එදා සකස් කළ වජ්‍රාසනය (ශිලා ආසනය)
3. කුසතණ පඳුරු (බෝධිය පිහිටි බිමේදීම දැක ගත හැකිය.මේ කුසතණ කවුරුන් හෝ වගාකළ ඒවා නොවේ) මේ කුසතණ ඒක දේශික බෝගයකි.
4. රුවන් සක්මන (ගෞතම බෝසත්තුමා වෙනුවෙන් සකස්කළ සක්මන)
5. මුචලින් ද රජු විසින් (නාග ගෝත්‍රික) ගෞතම බුදුන්ට මහ වැස්සෙන් බේරෙන්නට සාදා සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් කුටිය හා සැතපෙන්නට සකස් කර දුන් ගල් ආසනය (ඇඳ)
6. සුජාතා සිටු දුව කිරිපිඬු පිළිගැන්වූ අජපල් නුගරුක (මුල් නුගය විනාශ වී ඇතත් ඉන් පැන නැගී ආ නුගයක් අදටත් එහිදී දකින්නට ඇත)
7. බුද්ධත්වයට පත්වීම අධිෂ්ඨාන කරමින් බෝසත්තුමා එදා තම පාත්‍රය උඩුගං බලා පාකර යැවූ නේරංජන නදියේ පාත්‍රය උඩුගං බලා ගිය ගංගාවේ ඉතිරි වූ කොටස, හාස්කමකින් සේ අදටත් ඒ ගංගාවේ යාර 200ක් පමණ වූ කොටසක් ඉතිරි වී ඇත.
8. නදී කාශ්‍යප, ගයා කාශ්‍යප හා උරුවෙල් කාශ්‍යප යන අරහතුන් වහන්සේලා වෙනුවෙන් එදා සකස් කර දුන් ආරාමවල බොහෝ නටඹුන් (හිරිවඩුන්න ගමේ ම කොටසක් අදටත් “කස්සප ගම”) නමින් හඳුන්වන්නේ කාශ්‍යප තුන් බෑයන් සිහිපත් කිරීම සඳහාය.

ගෞතම බුදු පියාණන් එදා බුදු වන්නට අධිෂ්ඨාන කරමින් තම පාත්‍රය නේරංජන ග‍ඟේ උඩුගං බලා යැවූ බව ඉතිහාසයේ සඳහන්ය. අදටත් හිරිවඩුන්නට උඩින් (ඉහත්තාවේ) ඇති ගම “උඩංගාව” නමින් හඳුන්වයි. (උඩ+ගං+ආ) “උඩංගාව” යනු උඩුගං බලා ගිය පාත්‍රය සිහිපත් කිරීමට අතීතයේ විසුවන් විසින් තබන ලද නමකි. හිරිවඩුන්නට තරමක් දුරින් පිහිටි ඒ අසලම වූ ගමක් අදටත් “මාමිණියාව” නමින් හැඳින්වෙයි. මෙය “මහ මුණි ආව” යන අර්ථයෙන් තැබූ නමකි. මහමුණි යනු ගෞතම බුදුපියාණන්ය. බුද්ධත්වයටපත් වූ ගෞතම බුදුන් එදා පළමුවෙන්ම මේ ගමට පැමිණි බව පෙන්වා දිය හැකිය.

මෙවැන් නම් ගම් තම මී මුත්තන්ගේ කාලයේ පටන්ම ධර්මතාවයෙන්ම රැකී රැඳී පවතින බව අදත් හිරිවඩුන්න වැඩිහිටියෝ පවසති. එදා ගෞතම බුදුපියාණන්ට බුද්ධත්වයට පත් වීමට උර දුන් , උපකාර වූ මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේත් රමණීය භූමියත් ඕනෑම කෙනෙකුට දැක බලා ගත හැකි ආකාරයෙන් අදත් විවෘත බව ප්‍රකාශ කළ යුතුය. මෙම මුල් ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ ආරක්ෂාව සලසා දෙන්නේ අති පුදුම නොපෙනෙන බලවේගයකිනි. එහි රනින් කළ රන් වැටවල් නැත. එදා ගෞතම බුදුන් බුදු වූ මොහොතේ පටන් ම මෙම අදෘශ්‍යමාන බලවේගයන් මෙම ස්ථානයට අරක් ගෙන පවතින බව කිව යුතුය. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ළඟ මේ බලවේගය ජීවමානව ම අදටත් සිටින බව මෑතක දී සිදු වූ සිද්ධීන්ගෙන් කාටත් දැන ගත හැකි විය. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව එදා සංඝමිත්තා මෙහෙණිය විසින් හිරිවඩුන්නේ සිට අනුරාධපුර නගරය බලා වැඩමවා ගෙන ඒම එදා සිදු වූ සත්‍යය ම සිදුවීමයි. මෙය මහා වංශයේ ද සඳහන්ය. මෙය “ජන්බුද්ධීපා ඉධා ගතා ලංකාපුර” යනුවෙන් මාගධී බසින් බෝධීන් වහන්සේ වැඩමවීම ගැන මහා වංශයේ සටහන් වෙයි. ජන්බුද්වීපය යනුවෙන් එදා අදහස් කළ ප්‍රදේශය බුදුන් ජන්මය ලැබූ මේ හිරිවඩුන්න ප්‍රදේශයයි. එහි සිට සංඝමිත්තා මෙහෙණිය විසින් පාත්‍රයක් තුළ පැළ කරන ලද මෙම බෝ පැළය ඔරුවක පටවාගෙන මහකනදරාව තෙක් ගඟ දියේ ගෙනවුත් දෙවන පෑ තිස්ස රජුට එහි දී බාර දුන් බව ද පෙන්වා දිය යුතුය. එදා නේරංජනා ගඟ නමින් නම් කරන ලද විශාල ගංගාවක් හිරිවඩුන්න ආරඤ්ඤ සේනාසනය අසල ම ප්‍රදේශයේ සිට සැවැත් නුවර හරහා ගලාගොස් කෝකිලායි කලපුව ළඟින් මුහුදට ගලා ගිය බවද පෙනේ. අද ඒ විශාල ගඟ ඔයක් (හුරුලු ඔය) බවට පත් වූයේ මහාපරාක්‍රමබාහු රජතුමා විසින් පසු කාලයක දී ඇලහැර දී අඹන් ගඟ හා සුදු ගඟ හරවා එහි ජලය පරාක්‍රම සමුද්‍රයට හැරවීමත් ඊට පහළ ප්‍රදේශවල දී මෙම ගඟ හරස් කර හිරිවඩුන්න වැව, හුරුළු වැව, මහගල් කඩවල වැව, වාහල්කඩ වැව හා පදවිය වැව වැනි විශාල වැව් ගණනාවක් පසු කාලයක දී සෑදීමත් නිසාය. අද මේ විශාල ගංඟාව කුඩා ජල පහරක් බවට (යාන් ඔය, හුරුළු ඔය) පත් වී තිබේ. නමුත් එදා සැවැත් නුවරට වෙළඳ බඩු ප්‍රවාහනය කළේ මේ ග‍ඟේ ගමන් කළ ඔරු පාරු හා කුඩා නැව්වලින්ය. සඟමිත් තෙරණිය ද එදා හිරිවඩුන්නේ සිට අනුරාධපුරයට ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව වැඩමවා ගෙන ගියේ ද මේ නේරංජනා ගඟ දිගේම ඔරුවකිනි. ඒ හෙළදිව ජන්බුද්වීයේ සිට ලංකාපුරයටයි. ලංකාපුර පසු කලෙක අනුරපුර ලෙසින් ව්‍යවහාර විය.

එදා බුදුපියාණන් පිට දී බුද්ධත්වයට පත් වූ මෙම බෝ සමිඳුන්ගේ දකුණු ශාඛාව ගලවාගෙන ගිය ස්ථානයේ ම අදටත් සමහර වර්ෂවල මහා ආශ්චර්යයන් පාමින් සුදු බෝධීන් වහන්සේ නමක් මතු වී ඉන් බුදුරැස් විහිදුවන බව කවුරුත් නොදන්නා කරුණකි. 2009 මැයි මස 08 වැනි දින වෙසක් පුන් පොහොය දිනයේ හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිරාජයාගේ මුලින මතු වූ මෙම විශ්මිත සුදු බෝ අංකුරයේ සේයාරුවක් (2009-05-17 ගන්නා ලද) මෙහි ඇතුළත් කර ඇත. මෙම බෝ අංකුරය සති හතක් පවතී. ඉන්පසු ව අපවත් වී යාම ද සිදු වෙයි. මෙම සුදු බෝධි අංකුරය මතු වන්නේ ද වෙසක් පොහොය දිනයටමය. මෙම ශ්‍රී මහා බෝ සමිඳුන්ගේ පත්‍ර පවා වෙනත් කිසිම බෝධියක දකින්නට නැති විශේෂ ලක්ෂණවලින් ද යුක්තය. අදත් මෙහි බෝ පත් වලින් පවා රශ්මියක් කිරණයක් විහිදේ. වෙනත් බෝ ගස්වල නැති විශේෂ ලක්ෂණ රාශියක් මෙහි දී දැකගත හැක. මෙම ශ්‍රී මහා බෝධීන් වහන්සේ අනුරාධපුර වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ මවු බෝධීන් වහන්සේ බව විද්‍යාත්මකව ද ඔප්පු කර පෙන්විය හැකි කරුණකි. ගෞතම බෝසත්තුමාට එදා සුජාතා සිටු දේවිය කිරිපිඞු පූජා කළේත් මේ බෝධීන් වහන්සේට නුදුරින් පිහිටි අජපල් නුග රුක මුලදී ය. ඒ නුග රුක මෙන් ම නේරංජනා නදියේ පාත්‍රය පා කර හැරිය, පාත්‍රය උඩු ගං බලා ගිය අඩි 300ක් 400ක් පමණ ගංඟාවේ කොටසක් ද අදටත් නිරුපද්‍රිතවම ඒ ආකාරයෙන් ම කාටත් දැක ගත හැකි සේ මෙම ආරඤ්ඤ භූමියේ ම ආරක්ෂා වී පවතී. ඒ ග‍‍ඟේඋඩ කෙළවර ප්‍රදේශය අදටත් “උඩංගාව” ලෙසින් නම් කළ ගමකි. ඒ උඩ ගං ආව යන අර්ථයෙනි. උඩු ගං බලා ආවේ පා කර හැරිය පාත්‍රයයි. එදා මේ ස්ථානයට කිට්ටු ම වූ පාලකයා වූයේ මුචලින්ද රජුය. මුචලින්ද රජුගේ නම ආටානාටා සූත්‍රයේ ද සන්ටුහන් වේ. මේ රජු නාග ගෝත්‍රික රජ කෙනෙකි. (නයෙක් නොවේ.) මුචලින්ද රජු එදා පැවති උසස් තාක්ෂණය යොදා ගෙන බුදු පියාණන්ට සකස් කර දුන් ගල් කුටිය හා ගල් ආසනය ද (දිග අඩි 6.5, පළල අඩි 3) අදටත් එතැනම දකින්නට ඇත.

බුදු පියාණන් එදා බුද්ධත්වයට පත් වී පස්වග මහණුන්ට පළමු ධර්ම දේශනාව පවත්වන්න‍ට ගිය ගමන ආරම්භ කළේ මේ බෝධි මූලයේ සිටය. පස්වග මහණුන් හා යසකුල පුත්‍රයා හා පිරිස ද මහණ කර වූ බුදු පියාණන් ටික කලකින් ම යළිත් ශ්‍රී මහා බෝධිය කරා පැමිණියේ ය. හිරිවඩුන්නේ ශ්‍රී මහා බෝධිය අසලම වූ කස්සප ගමේ එදා (අදටත් කස්සප ගම පවතී.) ජීවත් වූ නදී කස්සප, ගයා කස්සප හා උරුවෙල් කස්සප යන ජටිල තුන් බෑයන්ට ධර්මය දේශනා කළේත් මේ ශ්‍රී මහා බෝධි මූලයේදී ම ය. මේ අනුව ජටිල තුන් බෑයන් හා ඔවුන්ගේ පිරිස මඟ පල ලබාගෙන ඉන් පසුව හිරිවඩුන්න නම් වූ මෙම ස්ථානයේ ම ආරඤ්ඤ සේනාසන සකස් කර ගෙන වැඩ සිටි බවත් පැහැදිළිය. අදටත් අක්කර 11ක පමණ වූ මෙම භූමි භාගය තුළ මේ අතීත ආරඤ්ඤ සේනාසනවල සියළුම නටබුන් දක්නට ඇත. ඒ සියලු නටබුන් අනුරාධපුර යුගයට වඩා වසර 300ක්වත් පැරණි ඒවාය.

එදා පැවති මුචලින්ද විල නමින් ප්‍රසිද්ධ වූ විල නේරංජනා නදියට බටහිරින් අදටත් දකින්නට ඇත. අද ඉන්දියාවේ වන්දනාවේ යන පිරිසට දක්නට ලැබෙන්නේ බුද්ධ කාලයට වසර 300කට පමණ කාලයකට පසුව අශෝක මහ රජතුමා විසින් ගඩොලින් සාදා ගොජ නැංවූ බුද්ධගයාවේ ස්මාරකයකි. නමුත් හිරිවඩුන්නේ ඇති සියළු අංග ධර්මතාවයෙන් රැකී ආරක්ෂා වූ දේවල්ය. අරිය පර්යේෂණ සූත්‍රයේ ඉතා ම පැහැදිළිව පෙන්වා දෙන පරිදි “ඉතාම රමණීය භූමි භාගයකින් ද සිත් ගන්නා නේරංජනා ගඟ අසලම පිහිටි වැලි තලාව ද, ඒ අසලම පිහිටි ගොදුරු ගම ද සිත්කළු යැයි බුදු පියාණන් ම පවසයි. අද හිරිවඩුන්න ආරඤ්ඤයට යන ඕනෑම කෙනෙකුට තම දෑසින් ම මේ සියළු දර්ශන අරිය පර්යේෂණ සූත්‍රයේ එන වර්ණනාවට බිඳකුදු නොඅඩුවම දැක ගත හැකි අයුරු ආරක්ෂා වී පවතී. ඒ අතරම ධම්මානුධම්ම පටිපදාවෙහි යෙදෙන යෝගාවචරයෙකුට ම  සුදුසු වූත් සියළුම බුදුවරයින් වහන්සේලාට ද අරහත් ඵල සමාපත්තියට ම පත් වීමට උපකාර වූත් ඒ සමාපත්ති සුවය ලබාගත හැකි වූ විස්මිත විශ්ව ශක්තියක් ද මෙම ස්ථානයේ අදටත් පවතින බවත් මා ලැබූ අත්දැකීමෙන්ම ප්‍රකාශ කර සිටිමු.

ගෞතම බුදුන් ඒ උතුම් සම්මා සම්බුද්ධත්වයට පූර්ණ කර ගත්තේ මේ ස්ථානයේ දී ම බව පෙන්වා දීමට මෙයට වඩා තවත් උපමා උදාහරණ සාක්ෂි අවශ්‍ය නොවේ.

උතුම් විශ්ව ශක්තිය මේ ආකාරයට කේන්ද්‍ර ගත වූ වෙනත් තැනක් මේ මිහිතලය මත නැති බවත් මේ ස්ථානයේ දී ලබාගත හැකි මෙම විශ්ව ශක්තිය ධර්ම මාර්ගයේ යන අයට පමණක් ම ලබා ගත හැකි එකක් බවත් අවංකවම පෙන්වා දිය යුතුය. මෙතෙක් කාලයක්, වසර 1200කටත් වැඩි කාලයක් මෙම උතුම් ස්ථානය සොයාගත නොහැකි වන ආකාරයට මහ වනයෙන් වැසී යටපත්ව තිබිණි. එයට හේතුව ද ධර්මතාවය මිස වෙනත් හේතුවක් නොවේ. පවිත්‍ර බුද්ධ ධර්මය යළි මතුවීමත් සමඟ ම මෙම උතුම් ස්ථානයන් ද ධර්මතාවයෙන් ම මතුවීම සිදුවිය. ඔබත් ධර්ම මාර්ගයම අනුඟමනය කර මේ සත්‍යයන් අත් දැක ගන්න.

හිරිවඩුන්න ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානයට යන ගමන් මාර්ගය :

කොළඹ ත්‍රිකුණාමලය පාරේ දඹුල්ල පසු කර කි. මීටර් 20ක් පමණ ගිය පසුව කි. මීටර් 110 කණුව ළඟින් වමට හැරී කි. මීටර් 1ක් ගුරු පාර දිගේ යා යුතු ය. හබරණ සිට හෝ අනුරාධපුර පොළොන්නරුව සිට හෝ පැමිණෙන විට හබරණ දඹුල්ල පාරේ කි. මීටර් 2 ක් පමණ පැමිණ දකුණට හැරී කි. මීටර් 1ක් ගුරු පාරේ ගමන් කළ පසුව ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ආරඤ්ඤ සේනාසනය හමු වේ. කොළඹින් පොළොන්නරුව, ත්‍රිකුණාමලය, සෝමවතී පුදබිම, කන්තලේ, හිඟුරක්‍ගොඩ, මැදිරිගිරිය, කදුරුවෙල, දෙහිඅත්තකණ්ඩිය, මඩකලපුව බලා යන ඕනෑම බස් රථයක නැඟී හිරිවඩුන්නෙන් බැස මෙම පින් බිමට ළඟාවිය හැකිය. අක්කර 11ක් පමණ විශාල ආරඤ්ඤ සේනාසන භූමිය පුරා විසිරුණු පුරා වස්තු ඇති අතර සත් සතියට අදාළ සියළුම ස්ථාන අදටත් දැක බලාගත හැකිය.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

සිදුහත් කුමරු උපන් ලුම්බිණිය

http://maps.google.com/maps?q=7.289069,80.760788&hl=en&t=h&z=16

lumbini_sal_gasa

අශෝක මහරජතුමා විසින් සිදුහත් උපත සනිටුහන් කරන්නට එදා තෝරා ගත්තේ ඉන්දියාවේ ඈත කෙළවරක පිහිටි කඳු සහිත ස්ථානයකි. මේ ස්ථානය අද “රුමින්දායි” නමැති ගම්මානයකි. එය අද නේපාලයට අයත් ගමකි. මේ ගමට කිසිම දවසක අතීතයේ දී ලුම්බිනිය යැයි නමක් ව්‍යවහාර කර නැත. නමුත් අපේම සමහරුන් මේ ස්ථානයට අද ලුම්බිනිය යන නම ලබා දී ඇත. මේ ස්ථානයේ අශෝක රජ විසින් ස්ථාපනය කරන ලද අශෝක ස්ථම්භයක් පිහිටුවා ඇත. එහි සටහන් වන කරුණු අනුව බුදුන්ගේ පරිනිර්වාණයෙන් වසර 300කට පමණ පසුව පිහිටුවා ඇති මෙම ලිපිය බුද්ධ උත්පත්තිය සිහිපත් කරණු සඳහා සිහිවටනයක් ලෙසින් පිහිටුවන ලද බව සඳහන්ය. නමුත් එහි ඇති අකුරු අනූ හතරෙන් කිසිම තැනක මේ ස්ථානයේ දී සිදුහත් උපත සිදු වූ බවක් නම් ලියා තබා නැත.

අශෝකාවදානය නමැති සංස්කෘත භාෂාවෙන් ඊට කාලයකට පසුව ලියූ පොතක ද ඉන්දීය ගත්කතුවරයෙකු මේ ස්ථානය පිළිබඳව ලියා ඇති විස්තරයෙහි ද සිදුහත් කුමරු මෙම රුමින්දායි ගමෙහිදී උපන් බවක් හෝ ලුම්බිනිය යන නම මේ ස්ථානයට භාවිතා කළ බවක් හෝ සඳහන් කර නැත. එහි ලියා ඇත්තේ අශෝක රජ විසින් තම රාජ්‍යයේ කරන ලද ආගමික සංචාරවලදී මෙම ස්ථානයත් වන්දනා කර ගත් බවයි. එසේ වන්දනා කර ගන්නට පැමිණි අවස්ථාවේ ගම්වරක් පුදා එය තහවුරු කිරීමට මෙම අශෝක ලිපිය එහි ස්ථාපිත කළ බවත් පැහැදිළිය. එදා ඉන්දියාවේ හින්දු රජවරුන් තීර්ථ ස්ථාන වන්දනා කළ බවත්, තීර්ථ යනු පව්‍ සෝදා හරින තොටුපළවල් බවත් අශෝකාවදානයේ ම සඳහන් කර ඇත. මෙවැන් තීර්ථ ස්ථාන අටක් අශෝක රජතුමා මෙන්ම ශිලාදිත්‍යය රජතුමා වන්දනා කළ බව ඉන්දීය ඉතිහාසයෙහි ම දක්වා ඇත. (ලලිත විස්තරය) අශෝක රජතුමා ද තමා ගොඩ නැඟූ ධර්ම රාජ්‍යය තුළ සියළු ආගම්වලට සමතැන් දී ගොඩනැගිලි ඉදි කළ බවත් ඉතාම පැහැදිළිය. මේ අනුව අශෝක මහ රජතුමා විසින් තම රාජ්‍යය තුළ එවකටත් වැඳුම් පිදුම් කළ එක් තීර්ථායතනයක් මේ නමින් හඳුන්වා ගොඩනැගිලි අළුතින් ඉදි කර එය බුදුන්ගේ උපත සිදු වූ ස්ථානය සිහිපත් කිරීමට ඉදි කළ බව ද ලියා තැබූ බව පැහැදිළිය. ඒ මිස ඒ ලිපියෙහි සිදුහත් උපතක් ගැන නම් කිසිවක් ම සටහන් කර නැත. මේ බව බෂාම් නැමැති ඉතිහාසඥයා ද තහවුරු කරයි. පසු කාලවලදී ඉන්දීය හින්දු රජවරු ද මේ ස්ථානය වන්දනා කිරීමට ගිය බවත්, ශීලාදිත්‍ය රජු ද මේ ස්ථානය වැදගත් බවත්, චීන ජාතික හියුං සාං ද මේ ස්ථානයට ගොස් වැඳ පුදා ගත් බවත් ඉතිහාසයේ සඳහන් වේ.

bambaragala

අශෝක මහරජතුමාගේ පුරෝහිතයන්ට බුද්ධොත්පත්තියක් මිස සිදුහත් කුමාරොත්පත්තියක් ගැන අසන්නට හෝ දැන ගන්නට හෝ නොලැබුණු නිසාදෝ ඉන්දියාවේ වෙහෙර විහාර ගොඩනැඟීමේ දී මෙම රුමින්දායි නමැති ස්ථානයේ පිහිටු වූ අශෝක ලිපියේ ලියා තැබුයේ බුද්ධොත්පත්තිය සිහිපත් කිරීම සඳහා මෙම ශිලා ලිපිය ලියා තබන බවයි. සිදුහත් කුමරු පිළිබඳව ඔවුන් දැන සිටියේ නැත. නමුත් නියම නිවැරදි සිදුහත් උපත සිදු වූයේ මේ හෙළදිව දේවහෙළයට අයත් ජන්බුද්වීපයේ ශාක්‍ය ජනපදයක් වූ දෙව්දහ නුවරට ආසන්න සල් වනයකදීය. අද මේ ස්ථානය තෙල්දෙණිය අසල පිහිටි බඹරගල බව හඳුනාගෙන ඇත. එදා දෙව්දහ නුවර පිහිටියේ අද කුණ්ඩසාලය හා ගන්නොරුව පිහිටි ප්‍රදේශයේය. එදා දෙව්දහ නුවර පිහිටිශාක්‍ය ජනපදයට අද උඩරට ප්‍රදේශයේ මහවැලි ගඟ ආශ්‍රිතව පිහිටි බොහෝ ප්‍රදේශ අයත් විය. ගෞතම බුදුන් බුද්ධත්වයට පත් වීමෙන් වසර කිහිපයකට පසුව මෙම තෙල්දෙණියේ තමන් උපත ලැබූ සල්වනය අසල වූ ඉන්දසාල නම් ගුහාවේ එක් වසක් බුදු පියාණන් ගත කළ බව ත්‍රිපිටකයේ ම සක්ක පඤ්හ සූත්‍රයේ සඳහන් කර ඇත. එදා සල් උයන පසුව සල් වත්ත වී අද තල්වත්ත නමින වෙනස් වී ඇත. මේ ඉන්දසාල ගුහාව ද අද බඹරගල යනුවෙන් හැඳින්වෙයි. බඹරගලින් හමු වී ඇති සෙල් ලිපියක ද ගෞතම බුදුන් එහි වැඩ සිටි බව සඳහන් කර ඇත. පණිත සූත්‍රය යැයි සූත්‍රයක් ද මෙහිදී දේශනා කර ඇතත් අද මේ පණිත සූත්‍රය ද යම් කිසි ‍හේතුවක් නිසා ත්‍රිපිටකයෙන් ද හැලී ගොස් ඇත. ගෞතම බුදු පියාණන් එක් වසක් මෙහි ගත කළ බව මහාචාර්ය පරණවිතාන මහතා ද පිළිගෙන ඇත. (INSCRIPTION OF CEYLON- VOL 1.P.63:103 )

මෙම ලේඛනවල පැහැදිළිව ම ලියා දක්වා ඇති පරිදි ක්‍රි. පූර්ව 560 තරම් ඈත යුගයේ දී, එනම්, බුද්ධෝත්පත්තිය සිදු වූ යුගයේ දී ලියා තැබූ සෙල්ලිපි :

1.    දෙකුන්දරා සෙල්ලිපිය
2.    කොටා දැවු හෙළ සෙල්ලිපිය
3.    කොරවක්ගල සෙල්ලිපිය

නමින් නම් කර ඇති ශිලා ලේඛන රාශියකම සඳහන් කර ඇත. ඒ වන විටත් සිතුල්පව්ව (“චිත්තල පබ්බත”) විහාරයේ මහ රහතන් වහන්සේලා දොළොස් දහසක් විසූ බව සඳහන් වේ. (Inscription of Ceylon Volume 1 No.1035,1103,1104)

මහානාම හිමියන් ලියූ පාලි මහාවංශ අටුවාවෙහි ද මේ පුවතම සඳහන් වෙයි. (පාලි මහා වංශ පරිච්ඡේද 24,8,9 ගාථාවල මෙය සඳහන් වේ.)

“සඞඝං සන්නිපාතයි භූපති, ද්වාදසෙත්ථ සහස්සාති භික්ඛු චිත්තල පබ්බතා. තතෝ තතෝ ද්වාදහස්සේව සහස්සාති සමාගමුං” ද්වාදසෙත්ථ සහස්සාති යනු 12000 ක් යන්නයි.  චිත්තල පබ්බත යනු සිතුල්පව්වයි. මේ යුගය ගෞතම බුදුන් ජීවමානව වැඩ සිටි යුගයයි. මේ පුවත සඳහන් වන්නේ රුහුණේ දී හෝ රජගහනුවරදී හෝ ලියූ මුල්ම හෙළ මහා වංශයේ ය.

ඉහත සඳහන් දෙකුන්දරා ලිපිය ඇතුළු සෙල්ලිපි 30කම  “ගෞතම ශ්‍රමන” යන නම පැහැදිළිවම සටහන් වීමෙන් ගල්ලෙන් තනවා ගෞතම ශ්‍රමණයානන් වහන්සේට ඒවා පූජා කළ බව පැහැදිළිවම ඔප්පු වෙයි.

එදා සුද්ධෝදන රජතුමා රජ කළේ ජන්බුද්වීපයේ කපිලවස්තු පුරයේය. හෙළදිව කපිලවස්තු පුරය එදා පිහිටා තිබුණේ අද දිඹුලාගලට පහළින් මාදුරු ඔයේ ජලයෙන් කෙත්වතු අස්වැද්දූ සරුසාර ප්‍රදේශයකටය. සුද්ධෝදන රජු එදා රජ කළ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතිණි. මාදුරු ඔය ජනපදයේ සිට මාවිල්ආරු සේරුවිල අල්ල ජනපදය ආදී විශාල ප්‍රදේශයක් දක්වා ම මේ ශාක්‍ය ජනපදය එදා පැතිර පැවතුණි. මහවැලි ග‍ඟේ අනික් ඉවුරේ අද සෝමවාතිය, පොළොන්නරුව කන්තලේ පිහිටි ප්‍රදේශයේ එදා පිහිටා තිබුණේ කෝලිය ජනපදයයි. ශාක්‍ය හා කෝලිය ජනපද දෙක අතර එදා රෝහිණී නදියේ ජලයට යුද්ධයක් ඇති විය. මේ යුද්ධය ඇති වූයේ මෑතක දී වාගේම මාවිල්ආරු ප්‍රදේශයේ දී ය. ග‍ඟේ ජලය ප්‍රශ්ණයට මුල් විය. මේ ශාක්‍ය කෝලිය යුද්ධයේ පුනරාගමනයක් ලෙස මෑතදීත් මාවිල්ආරු ජල ප්‍රශ්ණය ඇති වූ බව සිහිපත් කළ හැකි ය. මේවා ඉතිහාසය නැවත නැවතත් සිදු වන විශේෂ සිදු වීම්ය. පුනරාගමන්ය.

එදා මහාමායා දේවිය ගැබ් පෙළහර පෑම සඳහා කපිලවස්තුපුර සිට දෙව්දහ නුවරට ගමන් කළබව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ දෙව්දහ නුවරට ගමන් කළ බව සඳහන්ය. දිඹුලාගල සිට මහවැලි ගඟ දිගේ  දෙව්දහ නුවරට යන මාර්ගයක් එදා පිහිටා තිබිණි. මේ මඟ ඔස්සේ කි. මීටර් 40ක් පමණ දුර ගිය විට තෙල්දෙණියට ළඟා විය හැකි ය. එය දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකුට පයින් පවා යා හැකි දුරකි. නමුත් අද ඉන්දියාවේ කපිලවස්තුපුර යැයි ලකුණු කර ඇති තැන සිට නේපාලය ලුම්බිනිය යැයි ලකුණු කළ ස්ථානයට කි. මීටර් 300 පමණ දුරක් දැයි සාධාරණව කාටත් කල්පනා කර බැලිය හැකි කරුණකි.

ගැබ් පෙළහර පෑම එදා මේ හෙළදිව පැවති සිරිතකි. ඒ දරුවකු ලැබෙන්නට ආසන්න මවු කෙනෙකු තම දෙමාපියන් කරා යෑමයි. මේ සිරිත මේ සිරිත අදටත් මේ ලංකාවේ පවතී. නමුත් ඉන්දියාවේ මෙවැනි සිරිතක් නැත. මේ අනුව ලංකාවේ එදා “ජන්බුද්වීපයේ” සිදුහත් කුමාරොත්පත්තිය සිදු වූ බවත් මෙම ස්ථානය අද තෙල්දෙණිය – කුණ්ඩසාලේ අසල ස්ථානයක් බවත් අද එය යටපත්ව ගොස් ඇති බවත් පෙන්වා දිය යුතු ය. බඹරගල රජමහා විහාරය නමින් අද නම්කර ඇත්තේ ලුම්බිනිය යි.සිදුහත් කුමාරයා උපත ලැබූ බඹරගල රජමහා විහාරයට යන ගමන් මාර්ගය මහනුවර සිට මහියංගණයට යන පාරේ කිලෝමීටර 10ක් පමණ ගිය පසු දිගන හන්දිය හමු වෙයි. පරණ තෙල්දෙණියට යන පාරේ වික්ටෝරියා බැම්ම දෙසට කි. මීටර් 2ක් පමණ ගමන් ගන්නා විට වැවගම බඹරගල රජමහා විහාරයට යන පාර හමු වෙයි. එදා කපිල වස්තුපුරයේ සිට දෙව්දහ නුවරට යන මාවත රජ මාවත ලෙසින් හැඳින්වීය. අද බඹරගල රජමහා විහාරය පිහිටියේ මෙම රජ මාවත ආසන්නයේය. බඹරගල රජමහා විහාර භූමියේ දී අදටත් දැක ගත හැකි පරිදි වසර දහස් ගණනක් පැරණි සල්ගස් පිහිටා ඇත. මෙම ස්ථානයේ සදුහත් කුමාරොත්පත්තිය සදු විය. මෙම විහාරස්ථාන භූමියේම ගෞතම බුදු පියාණන් 6 වැනි වස වැඩ සිටි ගල් ගුහාවක් ඉන්දසාල ගුහාව ලෙසින් එම ලෙනෙහිම මාගධී ප්‍රාකෘත අකුරෙන් කොටා ඇත.

ඊළඟ පරිච්ඡේදයට …

Share Button

“ගෞතම බුදුපියාණෝ තෙවරක් ලංකාවට වැඩම කළහ” යන කතාවේ නියම ඇත්ත

එදා ගෞතම බුදුපියාණන් බුද්ධත්වයට පත් වූ ජන්බුද්වීපයේ සිට ලංකාපුරට තෙවරක් වැඩම කළ බව ඉතාමත් ප්‍රසිද්ධ කථාවකි. බොහෝ ඉතිහාස කතා පොත්වල ද බෞද්ධ ඉතිහාසයේ ද මහානාම හිමියන් ලියූ මහාවංශ පාලි අටුවාවේ ද මෙය පැහැදිළිවම සටහන් කර ඇත. නමුත් කිසිම ඉන්දීය ඉතිහාස පොතක පතක, ලියවිල්ලක හෝ වෙනත් කිසිම තැනක බුදුන් පිලිබඳව හෝ ලංකා ගමන ගැන හෝ ජන්බුද්වීපය ගැන හෝ කිසිම දෙයක් ඉන්දියාවේ දී ලියා තබා නැත. බුදුපියාණන් තෙවරක් ලංකාපුරයට වැඩම කළ බව හෙළ බසින් ලියූ මුල්ම මහාවංශයේ සඳහන් වී තිබීම නිවැරදිය. එහි තර්ක කරන්නට දෙයක් ද නැත. වරද සිදු වී ඇත්තේ මුල්ම හෙළ මහාවංශය ලියා වසර 300 කට පමණ පසුව හෙළ මහාවංශයට ලියූ පාලි මහාවංශ අටුවාවේ මෙම කථාව ලිවීමේදීය. එදා බුද්ධ කාලයේ ලංකාපුර – ආලකමංදාව – අලංකාරපුරය ආදී විවිධ හෙළ නාමයන්ගෙන් හැඳින්වූයේ වෙසමුණි නම් මහ රජු රජකම් කළ යක්ෂ හෙළ රාජධානියේ අගනුවරටයි. අද අපි ලංකාව යැයි හඳුන්වන්නේ මුළු තුන් හෙළයටමය. එදා ඒ දේව හෙළය, යක්ඛ හෙළය, නාග හෙළය යි. එදා යක්ඛ හෙළය හා නාග හෙළය එක් රාජ්‍යයක් ලෙස ද, දේව හෙළයේ පිහිටි ශාක්‍ය ජනපද වෙනම රාජ්‍යයන් ලෙස ද හැඳින්විණි.

එදා ලංකාපුරය වුයේ අද විලච්චිය, මහ විලච්චිය ප්‍රදේශවල පිහිටා තිබූ වෙස්සවන මහ රජුගේ රාජධානියේ අග නගරයයි. එදා එය ඉතා මනරම් , අලංකාර නගරයකි. එහි මනරම් බව, අලංකාර බව ආටානාටා සූත්‍රයෙහිත් මොනවට වර්ණනා කර ඇත. මෙය කුවේර රාජධානිය ලෙස ද නම් කර තිබුණි. විජය රජු ලංකාවට පැමිණෙන විටත් මෙහි පාලන බලයේ සිටියේ යක්ෂ ගෝත්‍රික රජවරුන්ය. විජය රජු කුවේණිය නම් යක්ෂ ගෝත්‍රික රජ කුමරියගේ උදව්ව ද ඇතිව යක්ෂ ගෝත්‍රික නායකයින් 80ක්ම මරා දමා පාලනය තමා යටතට ගත්තේ ද මෙම ලංකාපුරය අගනුවර කොටගත් රාජධානියේදීය.

එදා විජය රජු පැමිණියේ ද ලංකාවටය. මේ නිසාම එදා යක්ෂ රාජ්‍යයට පොදුවේ ලංකාපුර රාජ්‍යය යන නම ව්‍යවහාර විය.

ඒ අතරම ශාක්‍ය ජනපද සොළොසක්ම දේව හෙළයේ ද තිබූ අතර ශාක්‍ය වංශයෙහි ඉපදී බුද්ධත්වයට පත් වූ ගෞතම මුනිඳුන් වැඩ සිටි ප්‍රදේශයට එදා බුදුන් ජන්මය ලැබූ දේශය යන අර්ථයෙන් “ ජන්බුද්වීපය” යැයි නම් කොට තිබුණි. “ජන්බුද්වීපය යන නම දේව හෙළයේ එදා පැවති සොළොස් මහා ජනපදයටම පොද්වේ ව්‍යවහාර කළ නාමයකි.

කැළණිය, නාගදීපය, මහියංගණය, ශ්‍රීපාද කන්ද පිහිටි සමනල අඩවියත් එදා යක්ෂ ගෝත්‍රික නායකයින්ගේම පාලනයට නතු වූ ලංකාපුර රාජ්‍යයටම අයත් ප්‍රදේශයෝයි. එදා පැවති දේව හෙළය හා යක්ෂ හෙළය යනු පැහැදිළිවම රාජ්‍යයන් දෙකකි. පාලන අධිකාරිය ද දෙවිධියකම පැවතිණි. කැළණිය යනු නාග ගෝත්‍රිකයන් වාසය කළ නගරයකි. එදා ජන්බුද්වීපයේ සැවැත් නුවර සිට හෝ රජගහනුවර සිට හෝ මේ රටේම බටහිර වෙරළේ පිහිටි කැළණියට ගමන් කිරීම පිටරටකට ගමන් කරනවාට වඩා අපහසු කාර්යයක් විය. පාරවල්, මංමාවත්, පාලම් ආදී කිසිවක් නොවූ එදා බුදුපියාණන් මේ මඟ ගෙවා කැළණියට පැමිණියේ එදා හෙළදිවම පිහිටි ජන්බුද්වීපයේ සිටය. කැළණිය පිහිටියේ ලංකාපුර රාජධානියේය. එමෙන්ම නාගදීපය ද පිහිටියේ ලංකාපුර රාජධානියේමය. අද මහියංගනය පිහිටි තැනට ඔබ්බෙන් වූ ලග්ගල මහ වනය ද එදා යක්ෂ රාජධානියටම අයත් විය. අද ශ්‍රී පාද අඩවිය අයත් විශාල කැළෑ ප්‍රදේශය ද එදා යක්ෂ රාජධානියට අයත් ලංකා පුරයේම කොටසකි. ශ්‍රී පාද අඩවිය එදා පාලනය කළ “සමන” ප්‍රාදේශීය රජුගේ නම ආටානාටා සූත්‍රයේ සඳහන් වූ නායකයින් හතළිස් දෙනාගේ නම් අතර විය. ඒ වාගේ ම බුදුන්ට මඟදී හමු වූ හේමවත, සාතාගිර යන ප්‍රාදේශීය පාලකයින් දෙදෙනා ද මේ ආටානාටා සූත්‍රයේ ද සඳහන් වෙයි.

චූලෝදර, මහෝදර, මනිඅක්ඛිත ඇදී නාග ගෝත්‍රයට අයත් වූ ප්‍රාදේශීය නායකයෝ එදා ලංකාපුර රාජධානියේ ම  කොටස්කරුවෝ වූහ. ලංකාපුරට අයත් කැළණියේ පිහිටි ප්‍රදේශ පාලනය කළ ප්‍රාදේශීය රජුන් දෙදෙනෙකු අතර සිදු වූ හබයක් නිරවුල් කිරීමට ගෞතම බුදුපියාණන් වැඩම කළේ ද මේ හෙළය තුළම එක් ස්ථානයක සිට තවත් ස්ථානයකටයි. එදා නම් ජන්බුද්වීපයේ සිට ලංකාපුරයටයි. අද නම් අම්පාරේ සිට කැළණියටයි.

“සමන” යනු එදා සමනල අඩවිය පාලනය කළ යක්ෂ ගෝත්‍රයට ම අයත් ප්‍රාදේශීය පාලකයෙකි. ඔහු ද ලංකාපුර රාජධානියේම කෙනෙකි. “සමන” රජු පාලනය කළ ප්‍රදේශය සමනල කන්ද සිට මහියංගනය දක්වාම වූ වනගත ප්‍රදේශයකි. බුද්ධ ශ්‍රාවකයින්ට කරදර කළ යකුන් දමනය කරන්නට ගෞතම බුදුන් මේ “සමන” රජුගේ පාලනය පැවති ප්‍රදේශයට පැමිණීමත් ලංකාපුරයටම ආ ගමනක් විය. එදා බුදුන් ලංකාපුරට පැමිණියේ ද ජන්බුද්වීපයේ සිටය. බුදුන් නාගදීපයට වැඩම කළේ ද ජන්බුද්වීපයේම සිටයි. එදා නාගදීපය යනු ද ලංකාපුර රාජධානියේම නාග ගෝත්‍රික ප්‍රාදේශීය පාලකයින් විසින් පාලනය කරන ලද ප්‍රදේශයක්ය. මේ අනුව මුල්ම මහා වංශයේ සඳහන් කළ මේ කථා පුවත් ඉතාමත්ම නිවැරදියි. වරද සිදු වූයේ මුල් හෙළ මහා වංශයට පාලි අටුවාවක් ලියූ අවස්ථාවේය. මේ පාලි අටුවාව ලියා ඇත්තේ මුල් මහා වංශය ලියා වසර 300කට පමණ පසු කාලයේදීය. එය ලියූ කතුවරයා ද ඉන්දීය ජාතික මහානාම හිමි යනුවෙන් සඳහන් වුණු කෙනෙකි.

බුද්ධ පරිණිර්වානයෙන් වසර 600කට පසුවත්, අශෝක යුගයෙන් වසර 300කට පමණ පසුව කාලයකදීත් මහානාම හිමියන් මේ අට්ඨ කතාව ලියන අවස්ථාව වන විට ඉන්දියාවේ අශෝක මහ රජු විසින් ඉදිකරන ලද බුද්ධ රාජ්‍යයේ ආකෘති ජනයා අතර ජනප්‍රිය වන්නට ඇත. හෙළදිව එදා පැවති ශාක්‍ය ජනපදවල පාලනය ද මේ වන විට දුර්වල තත්වයට පත් වී තිබිණි. මේ අනුව ජන්බුද්වීපය යන නම ද ඉන්දියාවටම ආරූඪ කරගෙන භාවිතා කර පොත් ලියූ බවත් පෙනෙන්නට තිබේ. මේ සියල්ලම විකෘති කළේ අනුරාධපුරයේදී පොත් ලියූ, අටුවා ලියූ පසුකාලීන අපේම රටේ ගත් කතුවරුන් මිස ඉන්දි‍යාවේ දී පොත් ලියූ අය නොවේ. ඉන්දි‍යාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක හෝ අශෝක ලිපියක පවා ඉන්දියාවෙහි කිසිම ස්ථානයකට හෝ “ජන්බුද්වීපය” යන නම එදා අතීතයේ භාවිතා කර නැත. මේ අනුව ඉතිහාසයේ ඇත්ත වශයෙන්ම සිදු වූයේ ගෞතම බුදුපියාණන් එදා වැඩසිටි ජන්බුද්වීපය නැමැති මේ හෙළදිවේ ම එක් ස්ථානයක සිට ලංකාපුර නමින් එදා භාවිතා කළ හෙළයේම තවත් ස්ථානයකට ගෞතම බුදුන් වැඩම කිරීමයි. ලංකා ගමන් තුන ම මේ ආකාරයේ ඒවා ම ය.

එදා ලංකාපුර යක්ෂ රාජධානියෙහි විසූ බහුතර ජනතාව බුද්ධ ධර්මය පිළි නො ගත් අතර බුද්ධ ශ්‍රාවකයින්ට ද යම් යම් හිරිහැර කරදර කළ බවත් ආටානාටා සූත්‍රයේ ද, මහා සමය සූත්‍රයේ ද යක්ෂ දමනය, ආලවක දමනය, පාරිලෙයිය වනයේ කථා පුවත වැනි ත්‍රිපිටකයේ ම සඳහන් කථා වලින් මනාව පැහැදිළි වන දෙයකි. ඒවා ත්‍රිපිටකයේ ම සටහන් වන දේවල් මිස පෘතග්ජන පුද්ගලයන් විසින් පසු කාලයක දී අනුමානයෙන් ගොතන ලද කථා නොවේ.

වසර හතළිස් පහක් තරම් දීර්ඝ කාලයක් පුරාම බුදු පියාණන් වහන්සේ දිවා රෑ නොතකා චාරිකා කරමින් ධර්මය දේශනා කළේ යාපනය, මුලතිවු සිට රුහුණේ තිස්සමහාරාමය, මාතර දක්වා එදා පැතිර පැවති දේව හෙළයේ ජනපද දාසයම එදා පිහිටා තිබුණේ මේ හෙළදිවෙහිම දේව හෙළය නමින් ඉතිහාසගත වූ “ජන්බුද්වීපයේමය”.

එදා අශෝක මහ රජු විසින් කෘතිම වහයෙන් ගොඩනැඟූ බුද්ධ රාජ්‍යයේ වෙහෙර විහාර අසූහාර දහසක් ගොඩනංවා ඉදි කළ කෘතිම බුද්ධ රාජ්‍යයට “ජන්බුද්වීපය” යන නම පසු කාලයක දී ආරූඪ කළ බවක් ද ඉතිහාසයෙහි පෙනෙන්නට ඇත. අශෝක අධිරාජ්‍යයාගේ පාලන කාලයෙන් පසුව ආ යුගයේ දී මේ විකෘති කිරීම කළේ මේ හෙල දිවයින තුළදීම ඉතිහාසය ලියන ලද හා බුද්ධ සාහිත්‍යයට අදාළ පොත පත ලියන ලද මේ රටේම ගත්කතුවරුන් විසින්මය. ඉන්දීයයන් නොවේ.

මේ කරුණ පිළිබඳව කිවයුතු විශේෂ දෙයක් නැවතත් සඳහන් කළ යුතුය. එනම්, අප ජීවත්වන මේ මිහිතලය මත යම් දිනෙක ලොව්තුරා බුද්ධත්වයට පත් වන උත්තමයකුට සම්මා සම්බුද්ධ යන උතුම් තත්වයට පත්වීමට ස්වභාව ධර්මයෙන් ම ලැබෙන විශ්ව ශක්තිය ලැබෙන්නේ මේ මිහිතලයේ එකම ස්ථානයක දී පමණි. ඒ ස්ථානය නම් “ජන්බුද්වීපයේ මධ්‍ය මංඩලයයි.” මේ මධ්‍ය මංඩලය පිහිටියේ ලංකාව නමින් අද අප හඳුන්වන  මේ පුණ්‍ය භූමියේ, මේ දිවයිනේ හරිමැද පිහිටි රමණීය ආරඤ්ඤ භූමියකදීයි. බුද්ධ ධර්මයට අර්ථ, ධර්ම, නිරුක්ති හා පටිභාන ධර්ම කීමත් සමඟම ජන්බුද්වීපයේ අර්ථය ධර්මය හා නිරුක්තිය මතු වී එය බුදුන් උපදින ද්වීපය ජන්මය ලබන ද්වීපය ලෙසින් දැන් හඳුනාගෙන ඇත.

ඊළඟ පරිච්ඡේදයට ..

Share Button

ආටානාට සූත්‍රයේ හා මහාසමය සූත්‍රයේ විස්තර කරන එදා හෙළදිව

බුද්ධ දේශනාවක් ම වු ත්‍රිපිටකයේ දීඝනිකායේ සඳහන් වන ආටානාටා සූත්‍රයේ මෙන් ම මහාසමය සූත්‍රයෙහි ද සඳහන් වන කරුණු දෙස විමසිල්ලෙන් බැලුවොත් එදා ගෞතම බුදුපියාණන් වැඩසිටි, ධර්මය දේශනා කළ ජන්බුද්වීපය නම් වු සිව් හෙළය පිළිබදව නිවැරදි වුත් සත්‍යම වුත්, කරුණු රාශියක් හෙළිදරව් කරගත හැකි වෙයි. ත්‍රිපිටකයේ එන මෙම සුත්‍ර දෙක ම බෞද්ධයාට දැකගත හැකි වන්නේ පිරිත් පොතෙන් ය. ඒ වාගේ ම දිනපතා ම ගුවන් විදුලියෙන් ආටානාටා සුත්‍රය අසා ගන්නටත් ලැබෙයි. මෙම සුත්‍රයන් දිනපතා ම වාගේ ශ්‍රවණය කළත් මෙහි සඳහන් මාගධී පදවලින් කියැවෙන සත්‍යයමය වූ ඓතිහාසික කරුණු පිළිබඳව කවුරුන් හෝ තවමත් නිවැරදිව තේරුම් කර දී නැත. මේ ආටානාටිය සුත්‍රය කියන්නේ යකුන් භූතයන් එලවීමට කී දෙයක් යැයි කියමින් එහි අදහස යටපත් කිරීම අද උගත් බොද්ධ පැවිද්දාගේ පවා සිරිතයි.

දිනපතාම ඔබට අසන්නට ලැබෙන, හැම ගෙදරක ම වගේ ඇති පිරිත් පොත් ද සටහන් වන, මෙම සූත්‍ර දෙකෙහි ම සඳහන් වන විශේෂ ඓතිහාසික කරුණු රාශියක් පිළිබඳව විග්රහ කර ඒ අනුව අපේ හෙළ ඉතිහාසය ද නිරවුල් කරගත යුතුව ඇත. මෙම සූත්‍ර දෙකේ ම සඳහන් වන්නේ බිය උපදවන, ආශ්චර් යවත් වූ අත්භූත වු යක්ශ, භූත ආදී නොපෙනෙන බලවේගයන් සමූහයක් පිළිබඳව යැයි සිතතොත් නම් එය බලවත් ම වැරදීමකි. ආටානාටා සූත්‍රය යනු එදා බුද්ධ කාළයේ හෙළදිව පැවති තත්වය පිළිබඳව කදිම චිත්රයක් ඇඳ කරුණු හෙලි දක්වන, සත්‍යමය කරුණු විස්තර කරන සූත්‍රයකි.

මාගධී භාෂාවෙන් ත්රිපිටකයේ ලියා ඇති මෙම ආටානාටා සුත්රය සම්පූර්ණයෙන් ම නැවතත් මාගධී බසෙන් ලියා දැක්වීමට මෙහිදී බලාපොරොත්තු නොවන අතර සමහර වැදගත් කොටස් පමණක් විස්තර සහිතව විග්රහ කර බැලීමට ලියා දක්වන්නට අදහස් කරමි.

“ඒවන් මේ සුතන් ඒකන් සමයන් භගවා
රාජගහේ විහරති ගිජ්ජකූට පබ්බතේ
අථාකෝ චත්තාරෝ මහාරාජා
මහාතියාච යක්ඛ සේනාය
මහතියාච ගන්ධබ්බ සේනාය
මහතියාච නාග සේනාය
මහතියාච කුම්බාණ්ඩ සේනාය”

ගෞතම සම්මා සම්බුදු පියාණන් රජගහ නම් නුවරට නුදුරෙහි වු, ගිජ්ජකූට නමින් එදා ප්‍රකට වූ, පර්වත විහාරයෙහි වැඩවසන එක්තරා දිනයක, මෙහි සඳහන් වන යක්ඛ ගෝත්‍රික මහ රජවරු හතර දෙනා තම සේනාවන් ද පිරිවරාගෙන බුදුපියාණන් බැහැදකින්නට පැමිණියහ. මොවුන් මෙසේ පැමිණියේ යම් විශේෂ කතිකාවක් සඳහා ය. වැදගත් යමක් ප්‍රකාශ කිරීමට ය.

රටක පාලකයකු, මහ රජ කෙනෙකු මෙවැනි විශේෂ කාරයයක් සඳහා තම පාලන ප්‍රදේශයෙන් පිටත පිහිටි තැනකට යෑමේදී තම සේනාවන්ද සහිතව ගමන් කිරීම එදා සිරිතක්ව පැවතිණි.

ගෞතම බුදුන් එදා වැඩසිටි රජගහ නම් නුවරත් ගිජ්ජකූට නම් පර්වත විහාරයත් යක්ඛ රාජ්‍යයත් පිහිටියේ එක ම දීපයක ය. ඒ බව මේ සූත්‍රයේ පැහැදිලිව ම සඳහන් වේ. නමුත් පාලන ප්‍රදේශ දෙකක ය. මෙහි නම් සඳහන් “වෙස්සවන” නම් කුවේර රජුත්, ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුත්, විරූපක්ඛ නම් නාග ගෝත්‍රික රජුත් විරූල්හ නම් කුම්භාණ්ඩ ගෝත්‍රික රජුත් යන හතර දෙනා ම මිනිසුන් ය. මේ රජවරුන් සමග පැමිණි සේනාවල සියලු ම දෙනා ද මිනිසුන් ය. ඔවුන් ඒ ඒ ගෝත්‍රිවලට අයත් මිනිසුන් ම මිස වෙනත් නොපෙනෙන නොදන්නා අද්භූත බලවේග නොවේ.

මේ ගෝත්‍ර හතරට ම අයත් රජවරුන් ද ඔවුන් සමග පැමිණි සේනාවන් ද එදා හෙළදිව ම ජීවත්ව සිටි විවිධ ප්‍රදේශවලට අයත් වු රාජධානිවලට අයත් වු මිනිසුන්ම වුහ.

යක්ඛ හෙළය. නාග හෙළය, කුම් භාණ්ඩ හෙළය හා ගාන්ධර්ව හෙළය නමින් මේ හෙළදිව ම එදා කොටස් හතරකට බෙදී වෙන් විය. ඊට අමතරව ජන්බුද්වීපය යනුවෙන් ප්‍රකාශ කළ දේව හෙළයේ ශාකය ජනපද සොළසක් ද විය. මෙහි සඳහන් රජගහ නුවර එදා පිහිටියේ දේවහෙළයට අයත් මගධ නම් ශාක්‍ය ජනපදයේ ය.

යක්ඛ ගෝත්‍රික මහරජවරුන් හතර දෙනා එදා රාත්‍රි කාලයේ බුදුන් හමුවට පැමිණියේ මහ එළි දල්වාගෙන ය. මේ සියලු දෙනාමද අප වැනිම මිනිසුන්ය. අපේ ම මී මුත්තෝය. මේ අපේ ම රටේ අතීතයේ විසූ ගෝත්‍රික ජන කොටසකට අයත් වු මිනිසුන් ය.

දේව හෙළය හා යක්ඛ හෙළය නමිනුත් නාග හෙළය නමිනුත් එදා තුන් හෙළය ප්‍රසිද්ධ විය. යක්ඛ හෙළයේ යක්ඛ කුම් භාණ්ඩ හා ගාන්ධර්ව නමින් යක්ශ ගෝත්‍රික ජනයා ම තුන් කොටසක් වූහ. ඔවුන්ට වෙන වෙන ම රජවරු සිටියහ. යක්ඛ, නාග, කුම්භාණ්ඩ හා ගාන්ධර්ව යන ගෝත්‍ර හතරට ම නායක වු පාලක වු මහරජ කෙනෙක්ද විය. ඒ  මහරජු අටානාටා නම් නුවර රජකළ වෙසමුණි නමින් හැඳින්වුණු කුවේර මහරජ තුමා ය.මේ යක්ඛ හෙළයේ පාලන මුලස්ථානය සහ රාජ්ය සභාව පිහිටියේ ආටානාටා නුවර ය. එය අද අනුරාධපුරයට ආසන්න විලච්චියේ පිහිටා තිබිණි.

යක්ඛ හෙළයේ රජමක් කළ මෙහි නම් සඳහන් වන රජවරුන් හතර දෙනාට ම පොදු වු මෙම රාජ සභාවේදී, ආටානාටා නුවරදී රජවරුන් හා නායකයෝ එක් වී ආටානාටා ප්‍රඥප්තිය – නමින් ආඥාවක් සම්මත කරගත්හ මේ ආඥාව පනවා ගත් මහරජුන් හතර දෙනා ගෞතම බුදුපියාණන්  හමුවන්නට පැමිණ මේ පනවාගත් ආඥාව හා මෙහි අඩංගු කරුණු ගැනත් එය ක්රියාත්මක කරන්නට බලාපොරොත්තු වන ආකාරය ගැනත් ඒ නීතිය ක්‍රියාත්මක කරන්නට බලය ලබා දුන් යක්ඛ ගෝත්‍ර හතරට අයත් නායකයින් හතළිස් දෙනකුගේ නම් පිළිබඳවත් ගෞතම බුදුපියාණන් වෙත දැනුම් දීමට මේ රාත්‍රියේ රජගහ නුවරට පැමිණි බව දැනුම් දුන්හ.

ආටානාටා නමින් ආඥාවක් පැනවීමට හේතුව ද වෙසමුණි රජු බුදුපියාණන් වෙත විස්තර සහිතව ම දන්වා සිටියේය. මෙම මාගධී පදවලින් එය විස්තර වේ.

1.  සන්තිහි භන්තේ උලාරා යක්ඛා භගවතෝ අප්පසන්නා
     සන්තිහි භන්තේ උලාරා යක්ඛා භගවතෝ පසන්නා
2.  සන්තිහි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ අප්පසන්නා
     සන්තිහි භන්තේ මජ්ඣිමා යක්ඛා භගවතෝ පසන්නා
3.  සන්තිහි භන්තේ නීචා යක්ඛා භගවතෝ අප්පසන්නා
     සන්තිහි භන්තේ නීචා යක්ඛා භගවතෝ පසන්නා
     යේභූයෙයන බෝ පන භන්තේ යක්ඛා
     අප්පසන්නා යේච භගවතෝ
     තං කිස්ස හේතු
     භගවාහි බන්තේ පානාතිපාතා වේරමනියා ධම්මං දේසේති
     අදින්නාදානා වේරමනියා ධම්මං දෙසේති
     කාමේසුධ මිච්ඡාචාරා වේරමනියා ධම්මංදෙසේති
     මුසාවාදා වේරමනියා ධම්මං දෙසේති
    සුරාමේරය මජ්ජිපමා දට්ඨානා වේරමනියා ධම්මං දෙසේති
    යක්ඛා අප්පටිවිරතා යේව
    පානාතිපාතා, අප්පටිවිරතා අදින්නාදානා අප්පටිවිරතා අප්පටිවිරතා
    අප්පටිවිරතා කාමේසුමිඡාචාචාරා
    අප්පටිවිරතා මුසාවාදා
    අප්පටිවිරතා සුරාමේරය මජ්ජිපමා දට්ඨානා
    තේ සං තං හෝති අප්පයං අමනාපං”

වෙසමුණි රජතුමා ගෞතම බුදුපියාණන් සමගින් මෙසේ පවසා සිටියේ ය.

“භාග්‍යවතුන් වහන්ස, යක්ඛ ගෝත්‍රයට අයත් අපේ යටත් වැසි මිනිසුන්න් අතර බලවත් යක්ඛයෝ සමහරෙක් බුදුන් හා බුද්ධ ශ්‍රාවකයින්ට ප්‍රසන්න සිතකින් ගෞරවයෙන් සලකති, වැදුම් පිදුම් කරති. තවත් සමහරෙක් එසේ නොකරන සිත අප්පසන්නතාවයෙන් යුතුව බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැර වන සේ කටයුතු කරති.

යක්ඛ ගෝත්‍රික වු මධ්‍යම බලයක් ඇති අපේම සමහර මිනිසුන් බුදුන්ට හා බුද්ධ ශ්‍රාවකයින්ට ප්‍රසන්න භාවයෙන් සලකති. ගෞරව  දක්වති. නමුත් සමහර මධ්‍යම බලයක් ඇති යක්ඛ ගෝත්‍රික ජනයා බුදුන් හා බුද්ධ ශ්‍රාවකයින් කෙරේ අප්‍රසන්නව වෙසෙති. එය බුද්ධ ශ්‍රාවකයින්ට හිරිහැරයකි.

එමෙන්ම හීන වූ පහත් වු යක්ඛ ගෝත්‍රික ජනයාගෙන්ද සමහරෙක් බුදුන්ට හා බුද්ධ ශ්‍රාවකයින්ට  ගෞරවයෙන් හා ප්‍රසන්න තාවයෙන් සලකති. නමුත් සමහර හීන හා පහත් වූ යක්ඛ ගෝත්‍රික මිනිසුන් එසේ නොකරති.

මෙසේ කොටසක් බුදුන් කෙරේ පැහැදීමටත් තවත් කොටසක් බුදුන් කෙරේ අප්‍රසන්න වීමටත් විශේෂ හේතුවක්ද ඇත.

භාග්‍යවතුන් වහන්ස, ඔබේ ශ්‍රාවකයෝ නිතරම පන්චසීලයේ අගය දේශනා කරති. පන්සින්ල් රකිනා ලෙසින් මිනිසුන්ට දන්වා සිටිති. සතුන් මැරීම නොකරන ලෙස සොරකම් නොකරන ලෙස සුරාපානය නොකරන ලෙස අපේ මිනිසුන්ට ද දන්වා සිටිති.

නමුත් භාග්යවතුන් වහන්ස, බහුතරයක් වන අපේ ගෝත්‍රික ජනයා දඩයම් කරමින්, සතුන් මරමින්, මසුන් මරමින් එයම ජීවිකාව කරගෙන ජීවත් වෙති. ඔවුහු කෙත්වතු වගා නොකරති. නගුලෙන් සීසා ජල පාලනය කරමින් සතුන් ඇති කරමින් ජීවත් වන මිනිසුන් කොටසක් නොවේ. ඔවුහු සොරකම් කරති, සමහර අය මිනිසුන්වද මරාගෙන තරමට දරුණු අය වෙති. සුරාපානය කරති. මෙවැනි මෙවැනි මිනිසුන්ට ඔබවහන්සේගේ ශ්‍රාවකයින් දේශනා කරන බුද්ධ ධර්මය නොගැලපේ. ඔවුන්ට ඒ ධර්මය අනුගමනය කළ නොහැකිය. යක්ඛ ගෝත්‍රයට අයත් අපේ මිනිසුන් සමහරකු තුළ ඇත්තේ අමනුස්ස ගති ගුණයෝය. මිනිසුන්ට නොගැලපෙන ගති සිරිත් ය. මේ නිසා මෙවන් පහත් ගති ඇති අපේ යක්ඛ ගෝත්‍රික ජනයාව, ඔබ වහන්සේ හෝ ඔබ වහන්සේ ගේ ශ්‍රාවකයින් හෝ දේශනා කරන ධර්මයෙන් පාලනය කළ නොහැකිය. ඔවුන්ට ධර්ම මාර්ගය නොගැලපේ. ඔවුන්ට ධර්මය තේරුම්ගත නොහැකිය.

අටානාටා නුවර පිහිටි යක්ඛ හෙළයේ අපේ රාජසභාවේදී මේ සියලු කරුණු විස්තර සහිතව සාකච්චා කර පහත සඳහන් ප්‍රඥප්තිය රාජසභාවේදී අප සම්මත කරගන්නා ලදී. මෙසේ අනුගමනය කරගත්, කරුණු ඔබ වහන්සේ වෙත දැන්වීමට අපි මෙසේ පැමිණියෙමු. මේ කරුණු ඔබවහන්සේගේ සියලු ශ්‍රාවකයින්ටද දන්වා ඒ අනුව ක්‍රියා කරන ලෙසින් බුද්ධ ශ්‍රාවකයන් වෙත දන්වන ලෙසද වෙසමුණි මහරජ තුමා ගොව්තම බුදුපියාණන් ගෙන් ඉල්ලා සිටියේ ය.

මෙය “ආටානාටා ප්‍රඥප්තියයි, ආඥාවයි, මේ ආඥාව ක්‍රියාත්මක කිරීම සඳහා බුද්ධ ශ්‍රාවකයින්ට ගරු කරන, ඔවුන් කෙරේ ප්‍රසන්න වු එමෙන්ම බුද්ධ ධර්මය පිළිගත් යක්ඛ ගෝත්‍රික ප්‍රාදේශීය නායකයින් සතළිස් දෙනකු බලධාරින් ලෙස පත් කරන බවද වෙසමුනි මහරජු බුදුන්ට දැන්වීය. මේ යක්ඛ හෙළ බලධාරී නායකයින් හතලිස් දෙනා දේව හෙළය හා යක්ෂ හෙළයේ මායිම්වල, විශේෂයෙන් ම බුද්ධ ශ්රාවකයින් බණ භාවනා කරමින් ධම්මානු ධම්ම ප්‍රති පදාවෙහි යෙදෙන ආරඤ්ඤ සේනාසනවලට ගල්ගුහාවලට වනපෙත්වලට මෙන් ම විශාල රුක් මුල් ආදියට ද ආරක්ෂාව සපයා දෙනු ඇත. මිනීමරන මස්කන යක්ඛ ගෝත්‍රයේ දරුණු මිනිසුන් පලවා හැර බුද්ධ ශ්‍රාවකයින්ට අවශ්‍ය ආරක්ෂාව සපයා දීමටත්, ඔවුන්ට සියලු ම රාජය බලතල පවරා ඇත. මේ ප්‍රාදේශීය නායකයින් වෙත යම් පැමිණිල්ලක් කළ සැනෙන් ඔවුන් ක්‍රියාත්මක වී වරදකරුවන්ට දඩුවම් දී බුද්ධ ශ්‍රාවකයින්ට අවශ්‍ය ආරක්ශාව සපයා දෙනු ඇත. යම් කරදරයක් හිරිහැරයක් ඇත්නම් එය හඬනගා ඔවුන්ට දන්වන්න.

ආටානාටා සුත්රයේම මේ කරුණු අරභයා උපමාවක්ද ඉදිරිපත් කර ඇත.

 “සෙයියඨාපි මාරිස රඤ්ඤෝ මාගධස්ස
විජිතේ චෝරා, තේ නෙව රඤ්ඤෝ
මාගධස්ස ආදියන්ති න රඤ්ඤෝ මාගධස්ස
පුරිසකානන් ආදියන්ති, තේ ඛෝ තේ මාරිස
මහා චොරා, රඤ්ඤෝ මාගධස්ස
අවරුද්ධා නාම වුචිචන්ති
ඒව මේව ඛෝ මාරිස සන්තිහි
අමනුස්සා චන්ඩා රුද්දා රභසා
තේ නෙව මාරාජානන් ආදියන්ති”

රජගහ නුවරද අයත් මගධ රාජ්‍යයේ මහ රජු මගධය පාලනය කරන විට තම රටේ සොරුන්ට, මහා සොරුන්ට මං පහරන්නන්ට ඔවුගේ තරාතිරම හෝ නිලතල හෝ වෙනත් කිසිම හේතුවක් හෝ නොසලකා දැඩි දඞුවම් දෙන්නාක් මෙන් යක්ඛ හෙළයේ රජකම් කරන මහ රජුන් හැටියට අපේ පාලන බල ප්‍රදේශය තුළ අවැඩ, අසාධාරණකම් කරන සොරකම් කරන බුද්ධ ශ්‍රාවකයින්ට කරදර කරන සියලු ම යක්ඛ ගෝත්‍රිකයින්ට ද ඔවුන් ගේ තරාතිරම හෝ බලතල හෝ නෑදැකම් හෝ කිසිවක් ම නොබලා නිසි දඞුවම් ලබා දෙන බව ද වෙසමුණි රජතුමා බුදුන්ට දන්වා සිටියේය.

මෙනැනදී වෙසමුණි රජතුමා උදාහරණයක් උපමාවක් ලෙස ගත්තේ මගධ මහ රජුවයි. මගධය යනු ශාක්ය වංශික රජ කෙනකුගේ, මගධ රජුගේ පාලනය යටතේ තිබූ රජගහ නුවර අග නගරය කොටගත් දේව හෙලයට අයත් ජනපද දාසයෙන් ප්‍රධානම එකකි. එසේ නම් එදා මගධ රාජධානිය පිහිටියේ ද යක්ඛ හෙලය මායිම් කොටගෙනය.

වෙසමුණි මහ රජතුමා ගෞතම බුදුන්ට ආටානාටා ප්‍රඥප්තිය ප්‍රකාශ කරද්දි තමා සමග පැමිණි අනික් රජවරුන් තුන් දෙනා ගැනත් ඔවුන් පාලනය කරන ලද ප්‍රදේශයන් ගැනත් ඒ ඒ රජු පාලනය කළ ප්‍රදේශය පිහිටි ඉසව්ව පිළිබඳවත් ඔවුන් ගේ රට වැසියන් පිළිබඳවත් ඔවුන්ගේ ජීවන රටාව පිළිබඳවත් යම් යම් තොරතුරු ද විස්තර සහිතව දක්වා ඇත. මේ විස්තර ආටානාටා සූත්‍රයේ එන හත් වැනි ගාථාවේ පටන් 31 වැනි ගාථාව දක්වාම දීර්ඝ වශයෙන් විස්තර කර ඇත. එදා හෙළදිව පිහිටි යක්ඛ රාජ්‍යයන් හා ඒ ඒ රාජ්‍යයන් පිහිටි දිසාවන් ගැනත් මෙහි විස්තර කර ඇත. මේ ගැන පැහැදිලි තොරතුරු සමුහයක් ත්‍රිපිටකයේදී ම සොයාගත හැකි තවත් එක් සුත්‍රයක් ද ඇත. ඒ නම් මහාසමය සූත්‍රයයි. මේ සූත්‍ර දෙකේම ඉතාමත්ම පැහැදිලිව දක්වා ඇති පරිදි එදා හෙළදිව පිළිබඳව සිතියමක් ඇඳ කරුණු දැක්වීම ඉතාමත් ම සුදුසු ය.

 eda_siw_helaya

වෙසමුණි මහ රජතුමා විසින් එදා කරන ලද විස්තරයට අනුව,

1. ගාන්ධර්ව හෙලය

ධතරට්ඨ නම් ගාන්ධර්ව රජුගේ නායකත්වයෙන් යුතු වු ගාන්ධර්ව හෙළය රජගහ නුවරට නැගෙනහිරින් මහ මුහුදට මායිම්ව පිහිටා තිබිණි. හිරු නැගෙන විට දවස උදාවෙන. පුරිමා දිසාවේ (පෙරදිග) පිහිටි මෙම හෙළයේ ජීවත් වූයේ ගාන්ධර්ව ගෝත්රයට අයත් මිනිසුන් ය. ගාන්ධර්ව හෙළය ලෙසින් එදා හැඳින්වූයේ, තොප්පිගල මහ වනය හා මඩකලපුව අම්පාර දිස්ත්රික්කවලට අද අයිති වන තරමක විශාල භූමි භාගයකි. එදා ගාන්ධර්ව ගෝත්රිකයන් වාසය කළ මෙම යක්ඛ හෙළය බුදුන් වැඩසිටි ගිජ්ජකූට පර්වතයට පෙරදිග දෙසින් පිහිටියේ ය. තොප්පිගල එහි අග නගරය විය.

2. කුම්භාන්ඩ හෙලය

විරූල්හ නමැති රජ විසින් පාලනය කරන ලද රජගහ නුවරට දකුණු දිසාවෙන් පිහිටි මෙම රාජධානිය කුම්භාන්ඩ ගෝත්රික ජනයාගේ වාස භූමිය යි. මෙහි වසන ජනයා අමු මස් බුදින, අමු මාළු බුදින, පිටෙහි මස් ගලවා ගෙන කන තරමට දරුණු වු, සතුන් මරා ජීවත්වන සොරකම් කරන සුරා පානය කරන දරුණු සොරුන්ගෙන් යුක්ත ය. ඔවුන්ගේ ගතිගුණ මිනිසුන්ට ගැලපෙන ගතිගුණ නොවේ. ඒ නිසා ඔවුහු අමනුස්සයින් මෙන් ද හැසිරෙත්.

එදා කුම්භාණ්ඩ හෙළයට අයත් වුයේ අද කොළඹ, කලුතර, රත්නපුරය හා ගාල්ල දිස්ත්‍රික්කවලට අයත් කොටසක් හා අද සිංහරාජ වනය ද ඇතුළු වු විශාල වනාන්තර ප්‍රදේශයකි.

3. නාග හෙළය

විරූපක්ඛ යන නැමැති රජ විසින් පාලනය කළ රජගහ නුවරට බටහිර දිසාවේ පිහිටි (පශ්චිමා දිසා) මහ සමුද්‍රයට මායිම් වු ප්‍රදේශයක් එකළ නාග හෙළයට අයත් විය. එහි වැසියන් ජීවනෝපාය සරි කරගත්තේ මුහුදු ගොස් මසුන් මරා ආහාර සපයා ගැනීමෙනි. සමහරක් නාග ගෝත්රික ජනයා මහ මුහුදේ යාත්රා පදවමින් වෙළදාමෙහි ද යෙදී සිටියහ. ප්රධාන වශයෙන් ම නාග හෙළයට අයත් වු ප්රදේශයන් වූයේ අද කල්පිටිය සිට ගාල්ල දක්වා ම බටහිර වෙරළ තීරයේ පිහිටි ගම් හා නගරය. කාළණිය හා මීගමුව අතර ස්ථානයක් එහි අග නගරය කොටගත් විරූපක්ඛ රජු එහි රජ කෙළේය. මෙම නාග රාජය්යට අයත් තවත් ප්රදේශීය නායක රජුන් ගණනාවක් ගණනාවක් ම සිටි බව ද ත්රිපිටකයේ ම සඳහන් ය. අද නාගදීපය, නයිනතිවු, නයිනමඩ ආදී සියලු නම් වලින් හදුන්වන ගම්මාන එදා නාග හෙළයට අයත්ව තිබිණි. රට අභ්යන්තරයේ ද සමහර නැන්වල කුඩා ප්රමාණයේ රාජ්යයන් පාලනය කළ නාග ගෝත්‍රික රජුන් වාසය කළ බවත් පෙන්වා දිය හැකිය. බුලත් වැවුණේ මෙම නාගදීපයේ ය.

චූලෝදර, මහෝදර, මනිඅක්ඛිත, මුචලින්ද ආදි සියලු රජවරුන් රජකළේ මෙම නාග ගෝත්‍රික ජනයා වාසය කළ විවිධ ප්‍රදේශ වලය.

4. යක්ඛ හෙළය

යක්ඛ හෙළයේ අගරජු වූයේ වෙස්සවන මහ රජුය. මෙම යක්ඛ ගෝක මහ රහ රජු අනිකුත් සියලු ගෝත්රික රජවරුගේ ද ප්රධාන නායකයා විය. මේ අනුව මුළු දිවයිනට ම අයත් සියලු ම ගෝත්‍රික ජනයාගේ එනම් යක්ඛ, නාග, කුම්හාණ්ඩ, ගාන්ධර්ව යන ගෝත්‍ර සිවු කොටසේ ම මහරජු වෙස්සවන මහ රජු විය. ආටානාටා නුවර ඔහුගේ රාජ්‍යයේ පාලන මධ්‍යස්ථානය විය. ආලකමන්දාව (පසුව  ලංකාපුරය) වෙස්සවන මහ රජුගේ මාලිගාව තිබු ප්රධාන නගරයකි. මේ යක්ඛ රටේ මිනිසුන් දඩයම් කරමින් මස් හා මාළු ආහාරය කොට ගත් පිරිසකි. වෙසමුණි රජු ප්‍රකාශ කළ පරිදිම තම රටේ වැසියන් කෙත් වතු වැව්වේ නැත. නගුලෙන් සීසා කුඹුරු වැපුරුවේ නැත. කැළෑවෙන් සොයාගත් මස් මාළු අල කොළ හා ධාන්‍ය වර්ග ආහාරයට ගත්හ.

janapada

ආලකමන්දාව හා ආටානාටා නුවර අග නගර කොට එදා පැවති යක්ඛ හෙළයට අද යාපනයේ පුනරින් සිට මන්නාරම, අනුරාධපුර, පුත්තලම හා කුරුණෑගල දිස්ත්‍රික්ක වල වෙන්ම මහනුවර හා මාතලේ දිස්ත්‍රික්ක වල සමහර කොටස්ද අයත් විය. (සිතියම බලන්න) කුරුණෑගල දිස්ත්‍රික්කයේ අලව්ව දක්වා ම පිහිටි ප්‍රදේශයන් සියල්ලමත් මේ යක්ඛ හෙළයට එදා අයත් විය. බුදුපියාණන් අලව් යකු (ආලවක යක්ෂයා) දමනය කළේ අද අලව්ව යන නමින් පිහිටි මෙම ස්ථානයේදී ය. එදා මේ ප්‍රදේශය ද වෙසමුණි මහ රජුගේ පාලනය යටතේ තිබු ප්‍රදේශයකි. එදා උතුරු කුරු දිවයින ලෙසින් ද යක්ඛ හෙළය හැඳින් විය. අද මහවිලච්චිය නමින් ද විලච්චිය නමින් ද හදුන්වන ස්ථානයේ ආලකමංදා නුවර පිහිටියේය. මෙහි එදා ස්වාභාවිකවම සෑදුණු විශාල ජලාශයක් වටකොට ආලකමංදා නම් නගරය පිහිටා තිබිණි. පසු කලක විජය රජු ලංකාවට පැමිණ කුවේනියගේද ආධාරයෙන් යක්ෂ ගෝත්‍රික රජකුමාරවරුන් 80 ක් මරා දමා යක්ඛ හෙළයේ රාජ්ය බලය අල්ලා ගත් බව ඉතිහාසය කියයි. මෙසේ බලය අල්ලා ගත්තේ ආලකමංදා  නුවරයි. මේ නුවර එදා ලංකාපුර නමිද ප්‍රසිද්ධ විය. එම පුරවරයේ පැවති අලංකාරය නිසා ම එය ලංකාපුරය විය.

වෙස්සවන රජු එදා ගෞතම බුදුපියාණන්ට දැන්වු පරිදි යක්ඛ හෙළයේ දේශ සීමා රැක ගෙන බුද්ධ ශ්‍රාවකයින් ද ආරක්ෂා කර ගන්නට සමත්, බලවත් ශ්‍රද්ධාවෙන් හා බුද්ධ ශ්‍රාවකයි කෙරෙහි ගෞරවාදරයෙන් ක්‍රියා කරන යක්ඛ ගෝත්‍රික ප්‍රදේශීය නායකයෝ හතලිස් දෙනකු ම මේ සඳහා පත් කරන ලදහ. මේ නායකයින්ගේ නම් ද ආටානාටා සූත්‍රයේ ම සඳහන් ය.

ඉන්ද්‍ර, සෝම, වරුණ, භාරද්වජ, පජාපතී, චන්දනෝ, කාම සෙට්ඨෝ, කින්නුගන්ඩු, නිගන්ඩු, පනාදෝ, ඕපමඤ්ඤෝ, දේවසුතෝ, මාතලී, චිත්තසෝනෝ, ගන්ධබ්බනලෝ, රාජාජනෝසභෝ, සාතාගිරෝ, හේමවතෝ, පුණ්ණකෝ, කරාතියෝ, ගුලෝ, සිවකෝ, මුචලිංඳෝ, වෙස්සම්ත්තෝ, යුගන්ධරෝ, ගෝපලෝ, සුප්පගෝධෝ, හිරිනෙන්ති, මන්දියෝ, පන්චාලචන්චෝ, ආලවකෝ, පජ්ජුන්නෝ, සුමනෝ, සුමුඛෝ, දධීමුකෝ, මනිමානිචරෝ,  දීඝෝ, අථෝ, සෙරිස්සකෝ යන මෙම ප්‍රාදේශිය යක්ඛ ගෝත්‍රික නායකයින් සීමා රැකවලට පත්කර ආටානාටා ප්‍රඥප්තිය ද රැක බලාගෙන ක්‍රියාත්මක කිරීම සඳහා ඔවුන්ව පත්කර ඇති බව වෙස්සවන රජු එදා ගෞතම බුදුන්ට ප්‍රකාශ කර දන්වා සිටියේය.

මේ සියලු කරුණු සාවධානව අසාගෙන සිටි ගෞතම බුදුපියානන් වහන්සේ වෙස්සවන මහ රජු ප්‍රකාශ කළ කරුණු පිළිගෙන පසුව තම ශ්‍රාවකයින් රැස්කර මේ ආටානාටා ප්‍රඥප්තිය ගැනත් එහි අඩංගු ව්ධිවිධාන ගැනත් ඒ රැක බලාගන්නන්ට පත්කර ඇති යක්ඛ නායකයින්ගේ නම් ගම් සියල්ලමත් බුදු මුවින් ම අනුමත කර භික්ඛු භික්ඛුණී උපාසක උපාසිකා යන සිව්වනක් පිරිසට ම දේශනා කර වදාළහ. මේ අනුව එදා වෙස්සවන රජු තම රාජ්‍ය සභාවේදී සම්මත කර පනවා ගත් ආටානාටා ආඥාව පසුව බුද්ධ ආඥාවක් බවට ද පත් විය. අද ත්‍රිපිටකයේ මෙන් ම පිරිත් පොතේ ද ආටානාටා සූත්‍රය දෙවරක් ම සඳහන් වන්නේත් මේ හේතුව නිසා ය. රජ අණ හා බුද්ධ ආඥාවයි.

මෙවන් වු ආටානාටා සූත්‍රය එදා දේශනා කර වදාළේ මිනිසුන්ට ය. එහි සඳහන් වන්නේ ද මිනිසුන් ගැන ය. ඒ සියලු මිනිසුන් එදා මේ හෙළදිව ජීවත් වු ගෝත්‍රික ජනයා ය. එදා ගෞතම බුදුපියානන් ජීවත් වූයේ ද මෙම දේව හෙළයේ ම ය.

එදා ගෞතම බුදුපියාණන් වැඩ සිටි ආටානාටා සූත්‍රයේ සඳහන් වන ගිජ්ජකූට පර්වතය හා රජගහනුවර ද දැන් පැහැදිලිව ම හෙළදිව තුළින් ම සොයා මතුකර ගත හැකිය.

රජගල, නිල්ගල, බුද්ධංගල, සමන්ගල හා නුවරගල යන නමින් වලල්ලක් සේ පිහිටා ඇති විශාල ගල් පර්වත සහිත වු අද අම්පාර බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්කයට අයත් ප්‍රදේශයක් එදා මගධ රාජ්‍යයටම අයත් විය. ගිජ්ජකූට පර්වථය පිහිටියේද රජගහ නුවරට නුදුරු වේළුවනාරාමය පිහිටි ස්ථානයේමය. මෙය මගධ රටේ අගනුවරට ආසන්න තැනක පිහිටා තිබිණි. අම්පාර දිස්ත්‍රික්කයට අද අයත් වන උහන, බක්කිඇල්ල, ගොනාගල්ල, මහඔය හා පදියතලාව යන ප්රදේශයනුත්, බිබිල, මැදගම සිට බදුල්ල මිගහකිවුල මහියංගනය දක්වාත් අක්කරපත්තුව දක්වාත් විශාල ප්‍රදේශයක් එදා මගධ රාජධානියට අයත්ව තිබිණි. ගල්ඔය ජලාශයෙන් අද වගා කරන සියලු කෙත්වතු ද එදා මේ රාජ්‍යයට ම අයත්ව තිබිණි. ගෞතම බුදුන් වැඩසිටි යුගයේ බිම්බිසාර රජු මගධ අධිරාජයා විය. පසුව අජාසත් රජු මෙහි රජ බවට පත් විය. හෙළ මාගධී බස මෙහි භාවිතා කළ භාෂාවයි. මේ ත්‍රිපිටකයේ නම් සඳහන් රජවරුන් රජ කළේ මේ හෙළදිවයිනේමය. ඉන්දියාවේ ලියූ කිසිම පොතක පතක ලියවිල්ලක මේ රජවරුගේ නම් සඳහන් වී නැත.

මහා සමය සූත්‍රයේ ද මේ ආකාරයට ම යක්ඛ රාජධානි හතර පිළිබඳව ඉතා ම පැහැදිලි විස්තරයක් ගෙන හැර පා ඇත.

මිහිඳු හිමියන් එදා අනුරපුරයේ පිහිටි යක්ඛ හෙළයේ අගනුවරට (ලංකා පුරයට) බුද්ධාගම ගෙන එන දවස දක්වාමත් ඒ අනුරපුර රාජ්‍යයයේ පැවතියේ දඩයම් කරමින් සතුන් මරමින් ජීවත් වු මිනිසුන්ගෙන් හා රාජ්‍යය නායකයකුගෙන් ද සමන්විත වු රාජධානියකි. මිහිඳු හිමියන් බුදුදහම හඳුන්වා දුන්නේ එදා ලංකාපුර (අනුරාධපුර) රාජ්‍යයයේ රජකම් කළ දෙවන පෑතිස් රජුට ය. මිහිඳු හිමියන්ට තිස්ස රජු හමු වුයේ පොසොන් පොහොය දිනකදී ය. එදා පොසොන් පොහොය දිනයේදී පවා රටේ රජ සමග හතලිස් දහසක් පමණ ජනයා සතුන් දඩයමේ යෙදුණු බව මහා වංශයේ ද සඳහන් ය. මේ අනුව මිහිඳු හිමියන් බුද්ධාගම හඳුන්වා දුන්නේ අනුරපුරයේ පිහිටි යක්ඛ ගෝත්‍රික රාජ්යයේ මිනිසුන්ට මිස දේව හෙළයේ ජිවත් වු ශාක්ය මිනිසුන්ට නොවේ. මිහිඳු හිමියන් එදා බුදුකැලි අටුවාවද බුද්ධ ධර්මය ද ලංකාපුරට (එදා අනුරාධපුරයට) ගෙනාවේ ජන්බුද්වීපයෙන්මය. (ජන්බුද්වීපා ඉධාගථා) ලංකාපුර යනුවෙන් මෙය මහා වංශයේ ම සටහන් වෙයි. මේ සටහන ද හරියට ම හරි ප්‍රකාශයකි එදා නියම  නිවැරදි ජන්බුද්වීපය ලෙසින් ප්‍රසිද්ධ වී පැවතුණේ රජගහ නුවර, සැවැත් නුවර ආදී බුදුන් උපන් දේශයට අයිති වු දේව හෙළයේ පිහිටි ශාක්ය ජනපද සොලොසකි. පිරිසිදු බුද්ධ ධර්මය සොයාගෙන එදා ජන්බුද්වීපයට (හෙළදිව රජගහනුවරට) පැමිණි මිහිඳු හිමියන් එහිදී බුද්ධ ධර්මය හා හෙල බස ඉගෙන ගෙන මගපල ලබා පසුව අනුරාධපුරයේ එදා පැවති අබෞද්ධ රාජ්‍යයට බුද්ධ ධර්මයත් ඊට පසුව බුද්ධාගමත් හඳුන්වා දුන් බව ඉතාමත් ම පැහැදිලිය. මිහිඳු හිමියන් එදා ජන්බුද්වීපයට පැමිණ බුද්ධ ධර්මය ඉගෙන ගත්තේ රජගහ නුවරදී ය. ඒ අම්පාර රජගලදිය. මිහිඳු හිමියන්ගේ ආදාහනයෙන් පසුව තැන්පත් කල භෂ්මාවශේෂ හමු වූයේ රජගල මෙම ස්ථානයෙන් ම බව ඉතිහාසයේ සඳහන් ය. එසේ නම් මහා වංශයේ සඳහන් කළ “ජන්බුද්දීපා ඉධා ගථා ලංකාපුර” යන වචන වලින් කියැවුණු දෙය නිවැරදිය. එදා හෙළ මහාවංශය ලියන යුගයේ ජන්බුද්වීපය වුයේ අම්පාර දිස්ත්‍රික්කයේ පිහිටි රජගලයි. ලංකාපුර වූයේ අනුරාධපුරයට ආසන්න මහවිලච්චියයි. මේ අනුව සඟමිත් මෙහෙණිය සිරි මහා බෝධීන් වහන්සේගේ දකුණු ශාඛාව ගෙනාවේ ද ජන්බුද්වීපයේ සිට අනුරාධපුරයටය. එයද නිවැරදිය. අද හිරිවඩුන්න එදා ජන්බුද්වීපයට අයත් වූ තැනකි. එතැන සිට අනුරාධපුරයට බෝධි ශාඛාව ගෙන ආවේ ඔරුවක නැගීගෙනය.

ජන්බුද්වීපය යනු බුදුන් ජන්මය ලැබු, සියලුම බුදුවරුන් ජන්මය ලබන, දීපය යන්නයි. ආටානාටා සූත්‍රයේදී වෙසමුනි රජතුමා ගෞතම බුදුපියාණන්ට මතක් කර දුන්නේ පෙර සිටී බුදුවරුන් සතර නමක් ම මේ ජන්බුද්වීපයේදී ම බුදු වූ බවත් වෙසමුනි රජුගේ පරම්පරාවේ අතීත මී මුත්තන් ඒ සියලු බුදුවරයින්ට වන්දනාමාන කරන සිරිතක් අතීතයේ සිට පවත්වා ගෙන ආ බවත් ය. මේ අනුව අතීතයේ බුදු වූ සියලු බුදුවරයින් වහන්සේලාට ද මතු උපදින සියලු බුදුවරයින් වහන්සේලාට ද ඒ උතුම් බුද්ධත්වයට පත්වන්නට හැකි විශ්ව ශක්තිය රැඳී ඇත්තේ ජන්බුද්වීපය යැයි විරුදාවලිය ලත් මේ හෙළදිවේමය.

ඊළඟ පරිච්ඡේදයට …

siwhelaya

Share Button